Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[ශ්‍රීමත් ජෝර්ජ් එච්. ඩාවින් ට අනුව එක් යුගයක දී හඳ පෘතුවියට ඉතා ආසන්නව තිබිණි. ‍‍ හඳේ බලපෑම නිසාම සාගර වල නැගෙන වඩදිය හේතුවෙන් පෘතුවියේ බ්‍රමණ ශක්තිය සෙමින් හීන වන බැවින් හඳ ක්‍රම ක්‍රමයෙන් පෘතුවියෙන් ඉතා ඈතට තල්ලුවිය.]

මම කොච්චර හොඳට දන්නවාද! - මහළු ක්ෆික් හඬ නැගීය. උඹලට මතක නෑ, ඒත් මට තවම මතක් කර ගන්න පුළුවන්. එයා හැම තිස්සෙම අපට ඉහළින් හිටියා. ඒ මහා විශාල හඳ... එයා පිරුණු කාලෙට - දවාල වගේ එළියයි රාත්‍රිය, ඒත් ගිතෙල් පාට එළියක් - ඒක පෙණුනෙ හරියට එයා අපිව චප්ප කරන්න හදනව වගේ. අමාවකට එයා හුළඟට ගහගෙන යන කළුම කළු විසාල කුඩයක් වගේ අහස පුරා පෙරළුණා. පිරීගෙන එන දවස්වලට එයාගෙ තියුණු අඟ කොච්චර පහතින් තිබුණද කිව්වොත්, මුහුද අයිනෙ උස ගල්පරයක හැප්පිලා ඇවණේවියි කියල හිතුණ. එතකොට හඳේ කලාවල් වෙනස් විදිහකටයි වැඩ කළේ, මොකද ඉරේ ඉඳල තිබුණ දුරවල් වෙනස්නෙ. ග්‍රහලෝක වල කක්ෂයි, කෝණයි තව මොනවද... මට මතක නෑ. ආ චන්ද්‍රග්‍රහණ? පොළවයි හඳයි එකට ළං වෙලා තිබුණ හැටියට මිනිත්තුවෙන් මිනිත්තුවට ග්‍රහණ. ස්වභාවයෙන්ම මේ මහා රාස්සයින් දෙන්නා තම තමන්ගෙ හෙවනැලි වලින් අනික් එකා වහගන්න දැඟලුවා... දැන් එකෙක්... ඊළඟට අනෙකා.

කක්ෂය... ? ඒක අණ්ඩාකාරයි සහසුද්දෙන්ම. වෙලාවකට ඒක අපට තුරුළු වෙලා වගේ ඉන්නවා... ඉන් පස්සෙ ඔන්න දුවනවා ටික කාලෙකට. හඳ එහෙම ළඟට ඇදිල එන දවස් වලට, වඩදිය නගිනවා මහා උසට... කාටවත් පාලනයක් නෑ. සමහර රාත්‍රි තිබුණා, හඳ පිරිලා පාතටම පාතටම ඇවිත්, වඩදිය මේ උසට නැගිලා... හඳ මූදු වතුරෙන් තෙමෙන්න කෙස් ගහක දුරින්... ඇත්තටම කිව්වොත් යාර ගණනක් උඩින්. හඳට නගින්න... ? ඇත්තටම අපි ඒක කෙරුවා. කරන්න තිබුණෙ ඔරුවක් පැදගෙන ගිහින්, හරියටම හඳ යටට ගියාම ඉණිමගක් තියලා උඩට නගින එක විතරයි.

හඳ ඒ විදිහෙන් පල්ලෙහාටම එන තැන තිබුණෙ ඔය තුත්තනාගම් කන්ද කෙලවරක. අපි ඒ දවස් වලට ඒ කාලෙ තිබුන පුංචි ඔරු පැදගෙන යන්න පුරුදු වෙලා හිටිය එතනට. ඒව කිරළ මුල් වලින් හදපු වටකුරු පැතලි ඔරු. සෑහෙන කට්ටියකට යන්න පුළුවන්. කපිතාන් වාවා, එයාගෙ බිරිඳ, මගෙ බීරි මස්සිනා... සමහර වෙලාවට පුංචි ෂ්ලිත්ෂ්ලි ත්. එයා එතකොට අවුරුදු දොළහක් විතර වයස ඇති. ඔය දවස්වලට වතුර හරීම නිස්කලංකයි. කොච්චර රිදී පාටද කියනව නම් රහදිය වගේ පෙණුනෙ. ඇයි මාළු... දම් පාටට. උන්ට හඳේ ආකර්ෂණය දරා ඉන්න බෑ ඇදිල එනව ඉහළට... සේරම උන්... බූවල්ලො, කහ ජල්ලි මාළු සේරමත්. හැමදාම මේ පුංචි පුංචි සත්තු ඇදිල ඇවිත් වතුරෙන් උඩ අහසෙ පාවෙන්න ගන්නව. පුංචි කකුළුවො, දැල්ලො... සමහර මූදු පැලෑටිත්, සැහැල්ලු පෙඳ පාසි කොරල් පැල... මේව මුහුදෙන් ගැලවිල ඇවිත් හඳේ ඇලිල අර හුණු පාට සිවිලිමෙන් පහළට එල්ලෙනව. එහෙම නැත්තං අහසෙ පාවෙනව දිදුල් දෙන කුරුමිණි වලාකුලක් වගේ... අපි උන්ව ඈතට පන්නනව කෙහෙල් කොල වලින් පවන් ගහල.

මෙන්න මෙහෙමයි අපි ඒ වැඩේ කලේ. අපේ ඔරුවෙ ඉණිමගක් තිබුණ. එක්කෙනෙක් ඒක අල්ලගෙන, එක්කෙනෙක් ඉණිමගේ ඉහලටම නැගල. තුන්වෙනිය හබල් ගහනව හරියටම හඳ යටටම ඔරුව එනතුරු. ඒකයි අපට ඒ තරම් දෙනෙක් ඔරුවෙ ඉන්න ඕනෑ වුනේ (මං සඳහන් කලේ මුලික අයව විතරයි). ඉණිමග උඩම ඉන්න මනුස්සයා ඔරුව හඳ ලඟට කිට්ටු වෙද්දි බයවෙලා කෑ ගහන්න ගන්නවා "නවත්තපල්ලා... ! නවත්තපල්ලා... ! මගේ ඔළුව හැප්පෙන්නයි යන්නේ..." එහෙම තමයි අපට දැණුනෙ එයා අපට උඩින්, මහා විසාලෙට ඉන්නව දැක්කම... ගොරහැඩිවට තියුණු උල්... කඩතොළු කියත් දැති වගේ ගැටිති... දැන් සමහරවිට වෙනස් ඇති, ඒත් ඒ කාලෙ හඳ... හඳේ යට හරිය මං කියන්නෙ, යටිබඩ හරිය, පොළවට ලඟින්ම වගේ පොළව සූරන තරම් ලඟින් ගිය හරිය, මුවහත් කොරපොතු කබල්ලකින් වැහිල තිවුණ. ඒක හරියට මාළුවෙක්ගෙ බඩ පැත්ත වගේ... ඒ වගේම ගඳකුත් තිවුණ. මාළු ගඳම නෙවි නම් ඊට හුඟාක්ම කිට්ටු. හරියට දුම් ගහපු සැමන් මාළු වගේ...

ඇත්තෙන්ම, ඉණිමගේ උඩම පෙත්තේ හිටගෙන අත් ඉස්සුවාම, කෙනෙකුට හඳ යන්තමට අල්ලන්න පුළුවන්. අපි ඒක පරෙස්සමට මැනගෙන හිටියෙ (ඒත් අපි සැක කලේ නෑ එයා අපෙන් ඈතට ඇදිල යන විත්තිය නම්). එකම දේ, පරෙස්සම් වෙන්න ඕන එකම දේ, කොහෙටද අත තියන්නෙ කියන එකයි. මම හැම වෙලෙම හොඳට හයි හත්තිය තියනවයි පෙනෙන කොර පොත්තක් තෝරගන්නව (අපි නැග්ගෙ හය හත්දෙනෙක් ගෙ කාණ්ඩයක් හැදිල) ඉන් පස්සෙ මම එක අතකින් එල්ලෙනව ඒකෙ, ඉන් පස්සෙ අත් දෙකෙන්ම... එතකොටම මට දැනෙනව ඉණිමඟයි ඔරුවයි මගෙන් පල්ලෙහාට පා... වෙලා යන ගතියක්... ඒ එක්කම හඳ මාව ඇදල ගන්නව පොලොවෙ ආකර්ෂණය බිඳල. ඔව්... හඳ ට මහ ශක්තියක් තියෙනව මිනිහෙක්ව උඩට උස්සල ගන්න තරම්... ඒක තේරෙනව එක පාරටම... පොළොවෙන් හඳට මාරු වෙච්ච ගමන්ම. ඒකට උඩට ඉස්සිලා එක විදිහක පිම්මක් වගේ පනින්න ඕන. කොරපොතු වල එල්ලිලා ඇඟ නවල කකුල් ඔළුව දිහාට උස්සන්න ඕන කකුල් දෙක හඳේ වදින තුරු... ඉන් පස්සෙ හඳ උඩ හිට ගන්න පුළුවන්... පොළොවෙ ඉඳල බැළුවම පේන්නෙ හරියට ඔළුව පහලට එන්න එල්ලිලා ඉන්නව වගේ... ඒත් හඳ උඩ ඉන්න කෙනාට ඒක සාමාන්‍ය විදිහට හිට ගෙන ඉන්නව වගේමයි. එකම විකාර දේ ඔළුව උස්සල බැළුවම ඔළුවට උඩින් මූද පේන එක... දිලිසි දිලිසි, ඔරුවයි අනෙක් කාණ්ඩෙයි උඩු යටිකුරු වෙලා එල්ලිලා ඉන්නව හරියට මිදි වැලක මිදි පොකුරක් වගේ... !

මගෙ මස්සිනා, බීරි මනුස්සය, හරිම හපනෙක් ඔය හඳට පනින වැඩේට. මිනිහගෙ කිසිම වැඩකට නැති අත් දෙක (මිනිහ තමයි හැමදාම වගෙ ඉස්සෙල්ලම ඉණිමගෙන් උඩට පනින්නෙ... !) හඳ අල්ලපු හැටියෙම අපූරුවට වැඩ කරන්න ගන්නව හරිම කඩිසරකමට බොහොම සූක්ෂම විදිහට. ඒව ටක් ගාල හොයා ගන්නව හරියටම හරි තැන මිනිහට එල්ලිලා ඉස්සෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් ඒක හරියට මිනිහගෙ අත් දෙක යන්තම් හඳ කබොල්ලට තද කලාම ඒකෙ ඇලෙනව වගේ. සහතිකයි වාරයක් මට පෙණුන හැටියට හිතුනෙ මිනිහ අත් දෙක දික් කරන් ඉන්න කොට හඳ මිනිහ දිහාට ඇදී... ල එනව වගේ.. !

ආපහු පොළවට එන වැඩේටත් මිනිහ හපන. ඒක තවත් අමාරු වැඩක්. ඒකට අත් දෙක පුළුවන් උඩට උස්සගෙන පුළුවන් තරම් උඩට පනින්න ඕනෙ (ඒ හඳේ ඉඳල පෙනෙන විදිහ. පොළොව පැත්තෙන් බැළුවම නිකං කිමිදෙන්න වතුරට පනිනව වගේ පෙනුනෙ, නැත්තන් දිය යටට පීනන්න දඟලනව වගේ...) හරියටම පොළොවෙන් හඳට උඩ පැන්න වගේම තමයි. එකම දේ ඉණිමගක් නෑ. මොකද හඳේ ඉඳල ඉණිමග හේත්තු කරන්න තැනක් නෑනෙ... ! ඔය විදිහට අත් දික්කරගෙන පනිනව වෙනුවට මගේ මස්සිනා කරන්නෙ හඳ මතුපිටට නැවෙන එක. එහෙම ඔළුව පල්ලෙහාට නවල, හරියට කරණමක් ගහන්න ලෑස්ති වෙනව වගේ... මිනිහ පිම්මක් පනිනව අත් දෙකෙන් හඳ තල්ලු කරගෙන... ! ඔරුවෙ ඉඳල බලන් ඉන්දැද්දි පෙනෙන්නෙ හරියට මිනිහ අහසෙ හිටගෙන අර මහ විසාල හඳ බෝලෙ උස්සල අරන් ඒකට අත්දෙකෙන්ම ගහල උඩ දාන්න හදනව වගේ... මිනිහගෙ කකුල් අපේ අත් පොව්වන හරියට ආවම අපි මිනිහගෙ වළලු කරේ එල්ලිල ඇදල ගන්නව ඔරුවට.

දැන් ඔහෙල අහයි අහවල් හේතුවකටද අපි ඔය හඳ උඩට බඩ ගෑවෙ කියල. මං තේරුම් කරල දෙන්නං. අපි ගියෙ කිරි එකතු කරන්න. ලොකු හැන්දකුයි බාල්දියි අරගෙන. හඳේ කිරි හරිම උකුයි. නිකං මුදවාපු මී කිරි වගේ. ඒව හැදුනෙ කොරපොතු අතරෙ හිඩැස් වල. හඳ පොළවෙ තැනිතලා වනාන්තර විල් ජලාශ උඩින් පාවෙලා යද්දි ඒවයින් ඇදිල ගිහින් හඳේ රැඳිච්ච ගස්කොලන්, සත්තු ජාති පැහිල තමයි ඒව හැදුණෙ. වැඩියෙම ගස් පැළෑටි වල යුෂ, තව ඉස්ගෙඩියො, තාර කැට, පරිප්පු වගේ ඇට වර්ග, මී පැණි, ධාන්‍ය වල පිටි, මාළු බිත්තර, පුස් ජාති, මල් පැණි, පනු පැටව්, ගස්වල දුම්මල ලාටු, ගම්මිරිස් වගේ ඇට ජාති, ලුණු ජාති වගේ නා නා ප්‍රකාර දේවල්. හඳේ ගොරහැඩි කොරපොතු අස්සට හැන්ද ඔබන එක විතරයි, ඒක පුරවල මේ අමෘතෙ ගන්න පුළුවන්. ඇත්තයි, පිරිසිදුම නැහැ තමයි, මහ ගොඩක් අනවශ්‍ය දේත් තියෙනව. ඒක පැහෙන කොට (මේක සිද්ධ වුනේ හඳ කාන්තාර වගේ රස්නෙ පලාත් වලට උඩින් පාවෙලා යන කොට) ඔය සත්තුන්ගෙ සරීර සම්පූර්ණයෙන්ම දියවෙලා යන්නෙ නැහැ. සමහර කෑලි එහෙමම තිබුණ. නියපොතුයි ඇට මිදුළු කෑලියි, දඬු කෑලි, මූදු අස්සයො වගේ සත්තු, ඇට නටු වගේ දේවල්, හැලි වලං කෑලි, මාළු කටු, බිලි කටු වගේ දේවල්... සමහර වෙලාවට පනාවක් එහෙමත්. ඉතින් මේ පාප්පෙ එකතු කරගත්තට පස්සෙ පිරිසිදු කරල පෙරන්න ඕනෙ. ඒක නෙවෙයි අමාරු හරිය. අමාරු වැඩේ මේව එකතු කරල පොළවට ගෙනෙන එක. මේං මෙහෙමයි අපි ඒක කෙරුවෙ. අපි අත් දෙකෙන්ම වීරිය අරන් හැන්ද පුරවල ගත්ත කිරි ටික අහසට වීසි කරනව... හැන්ද හරියට කැටපෝලයක් ගස්සනව වගේ ගස්සල. ඇති පමණ වේගෙන් විසි උනා නම් කිරි ටික ඇදිල ගිහින් සිවිලිමේ රැඳෙනව. මං අදහස් කෙරුවෙ සිවිලිමක් වගේ ඉහට උඩින් රැඳිල තිවුණ මුහුද... ඉන් පස්සෙ මුහුද මත්තෙ පාවෙන කිරි කැට ඇදල අරන් ඔරුවට දාගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි. මේ වැඩේදිත් මගෙ බීරි මස්සිනාට අමුතු සමර්තකමක් තිබුණ. මිනිහට හයි හත්තිය තිබුණ, හරියට එල්ලෙ ගන්න පුළුවන් කම තිබුණ. හරියට මාන බලල පලවෙනි සැරෙන්ම ඔරුවෙ ඉඳන් අපි දික්කරගෙන හිටිය බාල්දියටම කිරි ටික වැටෙන්න විසි කරන්න මිනිහට පුළුවන්. මම නම් ඉතින් ඉඳහිට වරද්ද ගත්ත. එහෙම උනාම හැන්දෙන් ඉගිල්ලිලා යන කිරි හඳේ ආකර්ෂණයෙන් ගැලවෙන්න බැරි වෙලා වැටෙනව ආයෙමත් මගෙ ඇස්වලට.

තාම මම කියල ඉවර වුනේ නෑ අපේ මස්සිනාගෙ සේරම හපන් කම්. ඔය හඳේ කොරපොතු වලින් කිරි අහුලන එක මිනිහට ළමා සෙල්ලමක්. සමහර වෙලාවට හැන්ද වෙනුවට මිනිහ නිකම්ම අත් දෙක දාල ඇදල ගන්නව හඳේ කිරි... සමහර විට තනි ඇඟිල්ලෙන්... ! මිනිහ කිසිම පිළිවෙලක් සැලැස්මක් නැතුව පාළු තැන් වලට පැන පැන යනව. හරියට හඳ එක්ක ඔට්ටු සෙල්ලං කරනව වගේ. හඳ පුදුම කරවන්න, හඳට කිතිකවල හිනා ගස්සන්න වගේ. ඒ මොන තැනකට මිනිහ අත තිබ්බත් හරියට කිරිබර වෙච්ච එළු දෙනක්ගෙ තන් පුඩු වලට අත තිබ්බ වගේ කිරි විහිදිලා ඇදිල ආව. ඉතින් අපට තිබුණෙ මිනිහ පස්සෙන් වැටිල මිනිහ පාදල මතුකරන කිරි හැඳිවලින් එකතු කර ගන්න එක විතරයි. දැන් මෙතන, ඊළඟට අතන... හැම වෙලෙම මහ අහම්බෙන් වගේ... මොකද බීරි මස්සිනාගෙ දුව පැනිල්ලෙ කිසි පැහැදිලි රටාවක් සැලැස්මක් කොහොමටවත් පෙනුනෙ නෑ.

උදාහරණෙකට කිව්වොත්, සමහර තැන් තිබුණ මිනිහ නිකාං ආසාවට අත තියපු. ඈත් වෙච්ච කොර පොතු දෙකක් අතර හිඩැසක්, නිරුවත් මොළකැටි චන්ද්‍ර ගැටිත්තක්... සමහර වෙලාවට මස්සිනා අතේ ඇඟිලි වලින් විතරක් නෙමේ, පරෙස්සමට මාන බලල පුංචි පිම්මක් පැනල කකුලෙ මහපටැඟිල්ලෙනුත් (මිනිහ හඳට නැග්ගෙ පාවහන් නැතුවමයි) හඳේ කිරි හෑරුව. මෙහෙම පැන පැන යනකොට මිනිහ උගුර යටින් පුංචි කුරුල්ලෙක් වගේ සද්ද කරන හැටි ඇහුවම අපට පෙණුනෙ මේක මිනිහගෙ උපරිම විනෝදය වගෙයි.

හඳ මතුපිට එක දිගටම කොරපොතු කබොල්ලකින් වැහිල තිබුණෙ නෑ. තැනින් තැන ලා පාට ලේසියෙන් ලිස්සල යන ගතියක් තියෙන මැට්ටක් මතුවෙලා තිබුණා. මේ සිනිඳු හරියවල් දැක්කම තමයි බීරි එකාට පිනුම් ගහන්න, පියාඹන්න ඔළුවට එන්නෙ. හරියට කුරුල්ලෙක් පාවෙනව වගේ... හරියට මිනිහගෙ මුළු සරීරෙම හඳේ මදය ඇතුලට කිඳා දාන්න දඟලනව වගේ මිනිහ පියාඹල යන්නෙ. ඔය විදිහට ඈතට ඈතට ගිහින් එක වෙලාවක අපට මිනිහව මග ඇරුණ. හඳේ මහ විසාල පලාත් තිවුණ අපට යන්න කිසිම හේතුවක්වත් කුතුහලයක්වත් තිබුණෙ නැති. ඔන්න ඔය පැත්තකදි තමයි මගේ මස්සිනා අතුරුදහන් වුනේ... මට පුංචි සැකයක් තිවුන කොහොමත්... අපිට පෙනෙන්න මිනිහ කරපු ඒ පිනුම් ගැහිලියි දැඟලිලියි සේරම මේ හැංගිච්ච පැති වලදි කෙරෙන්න යන මොකාක් හරි හොර රහස් වැඩකට අර ඇදිල්ලක් තමාය කියල.

ඔය තුත්නාගම් කන්ද අද්දර රාත්‍රි වලදි අපි සේරමත් මොකක්දෝ අමුතුම මානසිකත්වයකින් හිටියෙ. බොහොම උද්දාමයෙන් ඒත් යාන්තමට දැනෙන චකිතයකින්... හරියට අපේ හිස් කබල් ඇතුලෙ මොළය වෙනුවට, මාළුවෙක් ඉන්නව වගේ... හඳට වශීවෙලා හඳ දිහාටම පීනගෙන යන... ඉතින් අපි ඔරුව පැද්දා... සිංදු කිය කිය කෙළිදෙලෙන්. කපිතාන් ගෙ බිරිඳ වීණාව වාදනය කලා. එයාට දිග අත් තිවුණ. හඳ පිරුණ රෑ ඇගේ අත් රිදී පාට ආඳන් වගේ දිලිසුණා. ඇගේ කිහිලි කාළ වර්ණ ගුප්ත මුහුදු ඉකිරියන් වගේ... වීණාවෙ තියුණු මධුර හඬ... කොච්චර තියුණුද මධුරද කියනව නම්, ඒක ඉවසගෙන ඉන්න බැරි තරම්. අපිට ඉබේටම දිග විලාප තියවුණා... සංගීතෙට එකතු වෙන්නම නෙවි... අපේ කන් ආරක්ෂා කරගන්න.

වීදුරු වගේ ජල්ලි මාළුවො මූද මතුපිටට ඇවිල්ල මොහොතක් දෙකක් දඟලල, පියෑඹිලා ගියා හඳ දිහාට. පුංචි ෂ්ලිත්ෂ් ත් සෙල්ලං කලා පාවෙන ජල්ලි මාළුවො අල්ල අල්ල. ඒත් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. එක පාරක් එයා එකෙක් අල්ලන්න පුංචි අත් පොඩි දික් කරන ගමන් යාන්තමට උඩ පැනල පාවෙලා යන්න ගියා. එයා එතකොට කොච්චර කෙට්ටුද කියනව නම්, හඳේ ආකර්ෂණයෙන් බේරිල පොළවට ඇලිල ඉන්න ඕන බරටත් වඩා අවුන්සයක් දෙකක් අඩුයි. ඉතින් එයා පාවෙලා ගියා ජල්ලි මාළුවො අස්සට... මූදට උඩින් අහසෙ එල්ලිලා... කෙල්ල බයවෙලා අඬන්න ගත්ත... ඒත් ටිකකින් හිනා වෙන්නයි සෙල්ලන් කරන්නයි පටන් ගත්ත. පියෑඹිලා යන බෙල්ලොයි පුංචි හාල් මැස්සොයි අල්ල අල්ල... සමහරක් උන්ව කටේ දාල විකන්නත් අරන්... අපි පණ දාල ඔරුව පැද්ද... ළමයගෙ පස්සෙන්. හඳ ඉතින් මේ මුදු සත්තු සේනාවයි, ඒ අස්සට එකතු වෙලා ඇදිල ගිය දිග... පෙඳ පාසි වල්ගෙයි මේ සේරම මැද්දට හිරවෙච්ච ෂ්ලිත්ෂ්වයි ඇදගෙන එයාගෙ කක්ෂෙ දිගේ දුවන්න ගත්ත. කෙල්ලගෙ කොණ්ඩ කරල් දෙක හඳ දිහාට දික් වෙලා... හරියට ඒවටත් පණ ඇවිත් පියාඹනව වගේ. හැබැයි කෙල්ල දිගටම ඇඹරි ඇඹරි අතපය එහෙ මෙහෙ වීසි කළා. හරියට හඳේ ඇදිල්ලත් එක්ක පොරබදනව වගේ. එයාගෙ මේස් දෙක - සපත්තු දෙක නැති වෙලා මේ පියෑඹිල්ලෙදි - කකුල් දෙකෙන් බාගෙට ගැලවිලා මුහුද දිහාට වැනෙනව; පොළොවෙ ආකර්ෂණයට... අපි ඉතින් ඉණිමග උඩ ඉඳන් දඟලනව ඒ මේස් කෙලවරවල් අල්ල ගන්න...

මේ පියෑඹිල්ල අස්සෙ කෙල්ල අර පුංචි මාළුවන්ව කාපු එක නුවණක්කාර වැඩක්, මොකද ෂ්ලිත්ෂ් ගෙ ඇඟේ බර වැඩිවෙන්න වෙන්න එයා පොළව පැත්තට පාත් වුනා. ඇත්තෙන්ම ඒ කැරකි කැරකි තිබුණ දේවල් අතර ලොකුම දේ ෂ්ලිත්ෂ් නිසා බෙල්ලොයි බූවල්ලොයි මූදු පාසියි පෙඳයි සේරම එයා වටේට කැරකෙන්න පටන් අරන් මහ වෙලාවක් යන්න කලින් ළමයව පුංචි පුංචි බෙලිකටුවලිනුයි ඉස්සො කකුළුවන්ගෙ පොතු වලිනුයි මූදු පාසි වැල් වලිනුයි වැහිල ගියා. මේව ඇඟේ එතෙන්න එතෙන්න එයාව හඳේ ග්‍රහණයෙන් ටික ටික මිදිල හෙමි හෙමින් පාත් වෙලා මූදට වැටුණ.

අපි හනික ඔරුව පැදගෙන ගියා ළමයව වතුරෙන් ඇදල අරන් බේරගන්න. ළමයගෙ ඇඟ කාන්දම් වෙලා, අපට සෑහෙන්න මහන්සි වෙන්න වුනා ඇඟේ එතිල ඇලිල තිබුණ දේවල් සූරල අයින් කරන්න. ලපටි කොරල් එයාගෙ ඔළුව වටේ එතිල. කොණ්ඩෙ පීරන පීරන සැරේට වරුසාවක් වගේ වැටුන පුංචි පොකිරිසි පැටව් සූඩයො සාලයො... එයාගෙ ඇස් වැහිල තිබුනෙ ඇහිපිය වල එල්ලිලා හිටිය කාවාටි නිසා. අත පය, බෙල්ල වටේ දරණ ගැහිල බූවල්ලන්ගෙ අඬු. ළමයගෙ පුංචි ගවුම පෙණුනෙ මුහුදු හතුයි පාසියි වලින් වියල වගේ. අපි මේව පුළුවන් තරම් අයින් කලත් සති ගාණක් යනකන් එයා ඇඟේ ඇනිල තිබුණ මාළු කටු කෑලි බෙලිකටු කෑලි ගලව ගලව හිටිය. පුංචි ඩයටම් ඇලිල කාවැදිල තිබුණ එයාගෙ හම නම් සදාටම එහෙමමයි තිබුණෙ... හොඳ විමසිල්ලෙන් නොබලන කෙනෙකුට නම් හිතුණෙ යන්තම් ගෝමර වැටිල කියලයි ඒත්...
මේකෙන් තේරෙයි හඳෙයි පොළවෙයි එක ගානටම බලසම්පන්න... ආකර්ෂණ බල... , ඒ දෙන්නා අතර ඉඩකඩට ඔට්ටු වෙච්චි හැටි. මං තව එකක් කියල දෙන්නං. ඔය චන්ද්‍රිකාවෙන් පොළවට බැහැපු හැම කෙනෙක්ම ටික වෙලාවක් යනකං හඳේ ශක්තියෙන් පිරිල, පොළවෙ ආකර්ෂණයෙන් ගැලවෙන්න දැඟළුවා. මට උනත්... එච්චර බරට ලොකුවට ඉඳල උනත්, ඉහලට ගිය හැම සැරේම වගේ ආපහු පොළවට හැඩ ගැහෙන්න, පොළවෙ උඩ යට තෝර බේර ගන්න වෙලාවක් ගියා. අපේ සේරම කාණ්ඩෙ මගෙ අත් කකුල් බදල අල්ලගන එක පොදියට මූදු රළේ පැද්දෙන ඔරුවට තද කරාන ඉන්නව. එහෙම කරලත් මගෙ කකුල් ඇදි ඇදි දික් වෙනව අහස දිහාට...

"අල්ල ගනින්! අපිව අල්ල ගනින්! " උන් සේරමත් කෑගැහුව. මේ සේරම පොරබැදිලි අස්සෙ සමහර වෙලාවල මගේ අතට අහුවුණේ වාවා නෝනගෙ පියයුරක්. වටකුරු, පිරුණු,... හොඳ ආරක්ෂිත ගතියක් දැනෙන ස්පර්ශයක් ඒකෙ තිවුණෙ. ඒ වගෙම හඳ තරම්ම ප්‍රබල... ඊටත් වඩා කියන්නත් පුළුවන්... ආකර්ෂණයකුත්. වීශේෂයෙන් මම එහෙම පහලට පනින කොට මගේ අනිත් අත එයාගෙ උකුල වටේට යවන්න පුළුවන් වුනොත්... ඉතින් මේ විදිහට හඳෙන් පොළවට පාත්වෙලා දඩස් ගාල වැටෙනව මම ඔරුව පතුලට. කපිතාන් වාවා ගහනව වතුර බාල්දියක්, මගෙ හොඳ සිහිය එන්න...

මෙන්න මෙහෙම තමයි කපිතාන්ගෙ බිරිඳට මගේ ආදරයේ සහ මගේ වේදනාවේ කතාව පටන්ගත්තෙ. මොකද මහ කාලයක් ගියෙ නෑ මට තේරුම්ගන්න කා දිහාද මේ නෝන ඇස් ගහන්නෙ කියල. මගේ මස්සිනාගෙ අත් හඳ බදාගන්න කොට මම බලා හිටිය වාවා නෝන දිහා. එයාගෙ හිතිවිලි, බීරි මස්සිනා හඳ එක්ක කරන ආදර සෙල්ලම එයාගෙ හිතේ අවුස්සන හිතිවිලි... අපූරුවට ලියවිලා තිවුන එයාගෙ ඇස් වල… මස්සිනා එයාගෙ ගුප්තාකාර චන්ද්‍ර චාරිකා වලදි හදිස්සියෙ අතුරුදහන් වුනාම මට පෙනුණ එයා කලබල වෙන හැටි හරියට ඉඳිකටු තුඩු උඩ ඇවිදිනව වගේ... එතකොට මට තේරුණා වාවා නෝන හඳත් එක්ක ඉරිසියා වෙන්න පටන් අරන් තියෙන්නෙ කියල... මට ඉරිසියාව ඇති වුනේ මස්සිනා එක්ක... වවා නෝනගෙ ඇස් දියමන්ති වගේ... ඒව ගිනි අරන් දිලිසුණා හඳ දිහා බලන කොට... හරියට අභියෝග කරනව වගේ... හරියට කියනව වගේ "උඹට අරගන්න බෑ එයාව... " කියල. මට දැණුනෙ මම පිටස්තරයෙක් වගේ...

මේක නොතේරුණම එකා මගෙ බීරි මස්සිනා. අපි මිනිහට ආපහු ඔරුවට බහින්න උදව් කරන කොට - හඳෙන් ඇදල අරගෙන, අර මම කිව්ව විදිහට - කකුල් වලින් ඇදල, වාවා නෝනට මුළු ලෝකෙම අමතකයි. එයා මස්සිනාගෙ ශරීරෙ මුළුමනින්ම තමන් ලඟට ඇදල කන්න වගේ ඇගේ රිදී පාට දිග අත් එයා වටේ ඔතා ගන්නව. මට එවෙලෙට දැනෙනව මගෙ හදවත ට මොකෙක්දෝ දෂ්ඨ කරනව වගේ... මාව ඇදල ගත්ත වෙලාවල මම ඇගේ සිරුරෙ එල්ලිලා ඉන්නව... ඒක සුමුදු දයාබර ආලිංගනයක්... ඒත් ඇගේ මුළු සිරුරම ඉදිරියට තෙරපන එකක් නම් නෙවි... මගෙ මස්සිනා එක්ක වගෙ. මේ සේරම අස්සෙ බීරි මස්සිනා කිසි වෙනසක් නැතුව මිනිහගෙ චන්ද්‍ර උත්කර්ෂයේ අතරමං වෙලා ඉන්නව.

මම කපිතාන් දිහා බැළුව... මිනිහ තමුන්ගෙ බිරිඳගෙ මේ හැසිරීම තේරුම් ගත්තද කියල දැනගන්න. ඒත් ලුණෙන් කාරම් ගැහිල ගොරහැඩිව රැලි වැටිච්ච ඒ මුහුණෙ කිසිම විදිහක හැඟීමක සේයාවක් වත් නැහැ. බීරි එකා හැමදාම ආපහු බෝට්ටුවට ගොඩවෙන අන්තිම එකා නිසා, මිනිහ ආව කියන්නෙ බෝට්ටු වලට ආපහු යන්න සංඥාවක්. මට හිතාගන්න බැරි විදිහට වාවා බෝට්ටුව පතුලෙන් වීණාව අරගෙන බිරිඳගෙ අතේ තිබ්බ. එයාට සිද්ධ වුණා ඒක අරගෙන තාලයක් වාදනය කරන්න. විණාවෙ හඬ මිසක අනෙක් කිසි දේකට එයාගෙ හිත බීරි මස්සිනාගෙන් වෙන් කරන්න පුළුවන් වුනේ නැහැ. ඇහෙන නෑහෙන පහත් ස්වරයකින් මම පටන්ගත්ත ගයන්න අර ශෝකාකූල සින්දුව...

"මාළුවෝ... ඔක්කෝම ලොකු පොඩි මාළුවෝ
රිදී රන්වන් දිදුල් දී දිලිසෙනා...
පාවෙතී උන් පාවෙතී සයුරු රළ මත පාවෙතී
මාළුවෝ... ඔක්කෝම ලොකු පොඩි මාළුවෝ
අඳුරු කළු රළු පාට වී හැංගෙනා...
හැංගිලා උන් හැංගිලා මුහුදු පතුලේ හැංගිලා..."


මගෙ බීරි මස්සිනා ඇර අනිත් උන් හැමෝම මුමුණන්න ගත්ත ඒ සිංදුව...

හැම මාසෙම, හඳ පාවෙලා ගියාට පස්සෙ, ලෝකෙ අනිත් වැඩ වලින් ඈත්වෙලා බීරි එකා ආපහු යනව මිනිහගෙ හුදකලාවට. ආයෙත් මිනිහ කුලප්පු වෙන්න ගන්නෙ හඳ දවස් ලංවේගන එද්දි. ඒ සැරේ හඳ ලංවෙන කොට මම වැඩ පිළිවෙල හදාගත්ත උඩට නොගිහින් බෝට්ටුවෙ නවතින්න. කපිතාන් ගෙ බිරින්දැත් එක්ක ටික වෙලාවකට හරි ඉන්න පුළුවන් වෙන විදිහට. ඒ උණාට, මස්සිනා ඉණිමග දිගේ නැගපු ගමන්ම... මෙන්න වාවා නෝන කියනව, "මේ සැරේ නම් අනේ... මමත් යන්න ඕනේ උඩට... !"

මේක මීට කලින් කවමදාකවත් වෙච්ච දෙයක් නොවෙයි, කපිතානු යි බිරිඳ යි කවදාවත් හඳ උඩට පය ගැහුවෙ නෑ. ඒත් වාවා කිසිම බාධා කිරිල්ලක් පෙන්නුවෙවත් නෑ. ඇත්තම කිව්වොත් මිනිහා එයාව උස්සල තිබ්බ ඉණිමග උඩ, "යන්න යන්න එහෙනම්... ! " කියල දිරිමත් කලා. අපි ඔක්කොමත් එයාට උඩට නගින්න උදව් කරන්න දැඟළුව. මම එයාගෙ පස්සෙන් අල්ලන්. මගෙ අත් පිරිල ඒ සිනිඳු උණුහුමෙන්. එයාව උඩට උස්සන්න මම තල්ලු කරන්න පටන් ගත්ත මගේ මුහුණෙනුයි අත්ලෙනුයි... මගෙ හිත බිඳිල ගිය වගෙ වුනා... එයා අපෙන් ඉස්සිලා හඳේ ආකර්ෂණයට ඇදිල යන කොට... මම ඉණිමගේ හදිසියෙන් නගින්න ගත්ත: "මමත් යනව ටිකකට ‍‍උඩට... උදව්වට... !"

දඬු අඬුවක් මාව ඇදල ගත්ත ආපහු. "උඹ මෙහෙම හිටපන්. උඹට වැඩ තියෙනව කරන්න මෙතන" කපිතාන් අණකලා, බොහොම පහත් හඬකින්.

මං හිතන්නෙ ඒ මොහොතෙ පැහැදිලිව පෙණුන කාගෙත් හිතිවිලි. ඒත් මට තාම තේරුමක් නෑ මම මේක තේරුම් ගත්ත විදිහ හරිද කියල. පැහැදිලිවම කපිතාන්ගෙ බිරිඳ සෑහෙන කාලයක් තිස්සෙ හිතේ ආසාවක් හංගගෙන හිටිය බීරි මස්සිනත් එක්ක හඳ මතුපිට තනිවෙන්න... (අඩුම ගානෙ මිනිහා තනි පංගලමෙ හඳට යන එක වලකන්න..). සමහරවිට එයාට ඊටත් වඩා දෙයක් හිතේ තියෙන්න ඇති. බීරි එකාගෙ අනුදැනුම ඇතුවම කළයුතු දෙයක්... උඩට ගිහින් හැංගිලා පුරා මාසයක්ම දෙන්න එක්ක හඳේ තනිවෙලා ඉන්න... මං හිතන්නෙ මගෙ මස්සිනා... ඌ ඉතින් බීරනෙ, තේරුම් ගන්න නැතුව ඇති එයා කියපු මේ කිසි දෙයක්. බාගවිට මිනිහට කිසිම අවබෝ‍ධයක් තියෙන්න නැතුව ඇති මිනිහ මේ ලලනාවගෙ හීන වල රජවෙලා ඉන්න විත්තිය. එතකොට කපිතාන්... ? මිනිහට ගෑණිගෙන් ගැලවෙන එක තරම් දෙයක් තිවුනෙ නෑ. ‍ඇත්තටම බිරින් දෑ උඩට සේන්දු වෙච්චි ගමන් ම, අපට පෙනුන මිනිහ කොයි තරම් නිදහසේ මිනිහගෙ අනිත් ආශාවල් වලට මතුවෙන්න ඉඩ දුන්නද කියල. අපිට එතකොට තේරුණා ඇයි මිනිහ එයාව නවත්තන්න කිසි දෙයක් නොකලෙ කියල. ඒත් මිනිහ මුල ඉඳන් ම දැන හිටිය ද හඳේ කක්ෂය ටිකින් ටික විශාල වෙවී තිබුණ බව?

මං හිතන්නෙ නෑ අපි කාටවත් ඒක සැක කරන්නවත් පුළුවන් වුනාය කියල. බාග විට බීරි එකා, මිනිහ විතරමයි. සමහර තේරුම් කරන්න බැරි දේවල් මිනිහ තේරුම් අරගෙන තිවුණු ගුප්ත විදිහෙන්ම මිනිහට දැනිල තියෙන්න ඇති එදා රෑ හඳෙන් සදහටම සමුගන්න සිද්ධවෙන විත්තිය. ඒක හින්ද තමයි මිනිහ හඳ මතුපිට මිනිහගෙ රහස් තැන් සේරගෙම හැංගි හැංගි කරක් ගහල, ආපහු බහින්න ‍ඔන්න මෙන්න කියා තියෙද්දි කොහේදෝ හිට ආපහු මතු වුණේ. මිනිහව හොයා ගන්න අනන්තවත් මාන්සි වුනා කපිතාන් ගෙ බිරිඳ. අපි දැක්ක එයා හඳේ කොරපොතු මණ්ඩියෙ ඒ කෙළවරටයි මේ කෙළවරටයි ඇවිදිනව... එක වතාවක් එයා හදිසියෙම නැවතිලා බෝට්ටුවෙ අපි දිහා බලාගන හිටිය. හරියට බීරි මස්සිනා දැක්ක ද කියල අපෙන් අහන්න වගෙ... !

සහතිකෙන්ම එදා රෑ මොකක්දෝ මහ අමුත්තක් තිබුණ. මූදු වතුර, වෙනද පුර හඳ කාලෙට වගේ ඇදිල තද වෙල, අහස දිහාට පිම්බිල තියෙනව වෙනුවට, පෙනුණෙ ලිහිල් වෙලා හැලිල ගිහින් වගෙ. නිකම්ම ලිහිල්වට... හරියට චන්ද්‍ර කාන්දමේ පූර්ණ බලය මූදු වතුරට දැණුනෙ නැතුව වගේ... ඊළඟට එළිය... එදා හඳ එළිය පෙනුණෙ කලින් පුරහඳ දවස් වලට වඩා වෙනස් ව. එදා රෑ හෙවනැලි වෙනද ට වඩා ඝනකමයි වගෙයි පෙනුණෙ. උඩට ගිහින් හිටිය අපේ යාළුවන්ට තේරෙන්න ඇති මොකක්ද වෙන්න යන්නෙ කියල. අපි දිහා බලපු ඒ ගොල්ලගෙ විහිදිච්ච ඇස් වල භීතිය ක් සටහන් වෙලා තිවුනෙ. ඒ ගොල්ලට යි අපට යි දෙගොල්ලටම එකම විඩේ මහ හයියෙන් කෑ ගැහුණ: "හඳ යන්න යන වෝ... "

කෑ ගැහිල්ල නතර වෙන්නත් ඉස්සර මස්සිනා මතුවුනා හඳ මතු පිට. මිනිහ දුවගෙන ආවෙ. මිනිහගෙ කිසි බයක් චකිතයක්, අඩුම ගානේ මවිත වීමක්වත් පෙනුණෙ නැහැ. තිබ්බ අත් දෙක හඳට... ගැහුව මිනිහගෙ පුරුදු කරණම... ඒත් මේ පාර වෙනද වගේ නොවෙයි මිනිහ විසි වෙලා ගිහින් අහසෙ මැද්දෑවෙ එල්ලිලා පාවෙන්න ගත්ත. හරියට ෂ්ලිත් ට වුනා වගෙ. ටික වෙලාවක් මෙහෙම හඳයි පොළවයි අතරෙ පාවෙවි දඟලල, වෑයමෙන් අත පය වනල වනල හරියට දිය පාර උඩට පීනන්න දඟලන මිනිහෙක් වගේ... කවදාවත් නැති විදිහට හෙමිට හෙමිට හෙමිට පාත් වෙන්න ගත්ත පොළව දිහාට.

හඳ උඩ හිටපු අනිත් නාවුක යො දඩි බිඩි ගාල මිනිහ පස්සෙ වැටුන. එක්කෙනෙක් වත් එකතු කරපු හඳේ කිරි පහලට දාන්න හිතුවෙවත් නෑ. කවුරුවත් කපිතාන් වත් ඒක ගැන කෑ ගැහුවෙ නෑ. උන් ඒ වෙන කොටත් පරක්කුයි. හඳේ දුර ඒ වෙනකොටත් සෑහෙන්න වැඩි වෙලා. කෙනෙකුට පැන ගන්න අමාරු වෙන තරමට. උන් මස්සිනා කරපු විදිහට කරණමක් ගහල පීනන්න දැඟලුවාම, පාවෙන්න ගත්ත උන් සේරමත් අහස මැද අත පය දික් කර කර මොකක් හරි අල්ල ගන්න දඟල දඟල... "එකට එකතු වෙයල්ලා බූරුවනේ... එකතු වෙලා පොදි ගැහියල්ලා... !" කපිතාන් කෑ ගහන්න ගත්තා. මේ අණ ලැබුනාම නැවියො සේරම එකට කිට්ටු වෙලා පොදි ගැහුනා, එහෙම එකතු වෙලා බර වැඩි පොදියක් වෙලා තල්ලු වුනා පොළොවෙ ආකර්ෂණ කලාපෙට. ඒ කිට්ටුවුනා විතරයි ගල් ගොඩක් වගේ සරීර වැස්සක් මහ සද්දෙන් ඇදගෙන වැටුන මුහුදට...

දැන් බෝට්ටුකාරයො හබල් ගානව වතුරෙ වැටුන අයව එකතු කර ගන්න. "නැවතියල්ලා... කපිතාන් ගෙ නෝනා නෑ නේද!" මම කෑ ගැහුව. කපිතාන් ගෙ බිරිඳත් උත්සාහ කලා පනින්න. ඒත් එයා තවමත් හඳ ට යාර කීපයක් එහායින් අහසෙ පාවෙනව රිදී පාට මල් මාල වගේ දිග අත් අහස අතගාන්න වගේ එහෙ මෙහෙ වෙනව. මම නැග්ග ඉණිමග දිගේ... ඒත් තව ඈතයි... අත පොව්වන්නෙ නෑ... මම කරගන්න දෙයක් නැතුව දික්කලා එයාගෙ වීණාව එයා දිහාට... "මට අල්ලගන්න බෑ එයාව... ! අපි තව යන්න ඕනෙ ඉහලට... !" මම උඩ පනින්න ගත්තා එයා දිහාට වීණාව දික් කරගෙන... මට ඉහළින් අහසෙ හඳ තැටිය පෙනුනෙ නෑ ඉස්සර වගේ මහා විශාලෙට... ඒක පුංචි වෙලා... තවත් තවත් පුංචි වෙවි ඇකිලෙනව... හරියට මගෙ බැල්මත් ඒක ඈතට තල්ලු කරනව වගේ... දිගින් දිගට දිග ඇරෙන හිස් ආකාසෙ මහා අගාධයක් වගේ කට අරිනව... පතුලෙ... ඈත තාරකා පැටව් ගහන්න පටන් අරන්... රාත්තිරිය හිස්කම ගංගාවක් වගේ මගේ ඇතුලට වක් කරල... මාව ගිල්ලනව... තැති ගන්නල... හිස කරකවනව...

‘මම බය ගුල්ලෙක්’ මට හිතුණ. "මම පැනල එයා අල්ල ගන්න බය බය ගුල්ලෙක්" ඒ හිතිවිල්ලත් එක්කම මම පැන්න... පුළුවන් තරම් වීරියෙන් පීනුව අහස හරහට... පීනල ගිහින් විණාව ඈට දික්කලා. ඒත් මගේ පැත්තට පාවෙලා ඇවිත් ඒක අල්ලගන්නව වෙනුවට එයා අහසෙ පෙරලෙන්න පටන් ගත්ත... මගෙ දිහාට ඇගේ සිත බඳින මුහුණත් ඊලඟට ඇගේ පසු පැත්තත් පෙන්න පෙන්න...

"මාව තදකරල අල්ලගන්න!" මම කෑ ගැහුව, ඒ වෙද්දි මම එයාවත් පහුකර යන්නත් පටන් අරන්... මගේ අතපය එයාගෙ අතපය අතර පැටලිලා... "අපි එකට තුරුළු වෙලා ගුලිවෙලා හිටියොත් පුළුවන් වේවි පල්ලෙහාට යන්න!" මම මගෙ මුළු ශක්තියෙන්ම එයාට ගුලිවෙලා තුරුළු වෙලා එක පොදියක් වෙන්න වෑයම් කලා. ඒ වැළඳ ගැනීමේ උත්කර්ෂයට මගෙ මුළු හිතම යොමු වෙලා තිබුන නිසා මට මුලින් තේරුණේ නැහැ මම ඇත්තටම එයාව ආපහු හඳ මත්තටමයි වට්ටන්න හදන්නෙ කියල. මට ඒක නොතේරුණා ද එහෙ ම නැත්නම් ඒකම කරන්න මට උවමනා වුනා ද? මගේ සිහිය හරියාකාර වෙන්නත් කලින් මගේ උගුරු දණ්ඩ අස්සෙන් කෑ ගැහිල්ලක් එළියට ආව. "මම යි ඔයැත් එක්ක මාසයක් ඉන්න යන්නෙ... ඇත්තෙන් ම කිව්වොත් ඔයා මත" මම කෑ ගැහුව මහ කලබලේකින් "ඔයා මත මාසෙකට... " අන්න ඒ මොහොතෙ අපේ වැළඳ ගැනීම ගිලහිල ගියා අපි දෙන්නම හඳ මත්තට ඇද ගෙන වැටිල සීතල කොරපොතු මත්තෙන් රෝල් වෙලා ගියා.

මම හඳ පොත්තට අත ගහපු හැම වතාවකදිම කළා වගෙ ඉහලට ඇස් හරවල බැළුව. හැමදාම වගෙ ඉමක් කොණක් නැති මහ සාගරේ සිවිලිමක් වගේ එල්ලිල තියෙන දිහාව. මම දැක්ක ඒක. ඔව් මේ පාරත් මම දැක්ක ඒක ඒ විදිහටම, ඒත් බොහෝම ඉහළින් බොහොම පටුවට... වෙරළින් ගල්පර වලින් රාමු වෙලා... කොච්චර කුඩාවට ද බෝට්ටු පෙණුනෙ... මගේ යාළුවන් ගෙ මූණු බොඳවෙලා උන්ගෙ කෑ ගැහිල්ල නිකම්ම කෙඳිරියක්... ! මට සද්දයක් ඇහුණ මගෙ ළඟින් ම... වාවා නෝනා එයාගෙ වීණාව හොයාගෙන... එයා ඒක සීරුවෙන් වයන්න පටන් ගත්ත... වැළපිල්ලක් වගේ දුක්මුසු තාලයක්...

මහා දිග මාසයක් ඇරඹුනා. හඳ කම්මැලිකමින් පොළව වටේට කැරකුණා. අපට ඉහළින් එල්ලිලා තිබ්බ ලෝක ගෝලයෙ අපට පුරුදු මුහුදත් වෙරළත් පෙණුනෙ නෑ තවදුරටත්. ආගාධ මෙන් ගැඹුරු සාගර, ඉර එළියට දිදුලන කාන්තාර, අයිස් තට්ටුවලින් වැහුණු මහාද්වීප, සර්පයෝ පොදි කකා ඇඹරෙන මහා වනාන්තර, කඩිසරව ගලන ගංගාවලින් පළුදු වුණු කඳු පංතිවල කඩතොළු වුනු මුණත්, ගොහොරු නගර, ගලින් කල ස්මාරක පිරුණු සොහොන් පිටි මඩින් හා මැටියෙන් තැනුණු අධිරා‍ජ්‍යයන්... අපේ ඇස් පහුකරගෙන කැරකුණා. ඒවයි අපි යි අතර තිබුණු මහා දුර නිසා මේ සේරම දේවල් එකම පාණ්ඩු වර්ණයකින් පාට වෙලා පෙණුනෙ. මේ අමුතු දර්ශනය මේ හැම රූප රාමුවකම අද්භූත පිටස්තර ගතියක් තැවරුවා. ඇත් රංචු, පළඟැටි සේනා වල්, වෙන් කරලා අඳුනන්න බැරිවෙන තරමටම ඝනට ගස් කොලන් වැවුනු මහ විසල් තැනිතලා මත්තෙන් දුවාන ගියා.

මොන තරම් සන්තෝස හිතෙන්න ඕන අවස්ථාවක්ද? මම හීන මැව්වා වගේම මම ඈත් එක්ක තනිවෙලා. මම හැම වෙලෙම ඉරිසියා කළ වාවා නෝනායි හඳයි එක්ක බීරි මස්සිනාගෙ තිබිච්චි ඇඟෑළුම් කම දැන් මගේ තනි බුක්තියට පැවරිලා. මුළු මාසයක්ම දවාල් කාලයි චන්ද්‍ර රාත්‍රියි කිසිම බාධා කිරීමක් නැතුව අපි ඉස්සරහ. චන්ද්‍ර භූමිය අපව එයාගේ ක්ෂිරයෙන් පෝෂණය කලා. ඒක අපට හුරු පුරුදු සොඳුරු ඇඹුල් රසය. අපි අපේ ඇස් ඔසවලා අපි උපන් ලෝකය දිහා බලාන හිටිය. අපේ ඇස් පෘතුවිය සිසාරා විහිදුනා... මීට කලින් කිසිම පෘතුවි වැසියෙක් නොදැකපු භූමි ප්‍රදේශ පුරාම. අපි දැහැන් ගත වුනා හඳට ඔබ්බෙන් විසිරුණු තරු බිංදු අතර. ආකාසේ වක ගැහුණු අතු අගිසි වල පැහී දිලිසෙන ආලෝකයෙන් හැදුණු පළතුරු ගෙඩි වගේ දිලිසුනා ඒ තාරකා. මේ සේරම මගේ හිතේ තිබුණු වර්ණවත්ම බලාපොරොත්තු වලටත් ඔබ්බෙන් වුණත්... ඒ සේරම වහගෙන හිතේ පිරුනෙ මම විප්‍රවාසීය, අසරණය දැනවෙන හැඟීමක්.

මම හිතුවේ පෘථිවිය ගැන විතරමයි. අපි එකිනෙකා අපි එකිනෙකා මිස වෙන අය නොවුනෙ පෘතුවිය මත්තෙදි යි. පොළවෙන් ඉදිරිලා ගිහින් අරහෙම උඩ ඉඳිද්දි මට දැණුනෙ තවත් මම මමම නොවෙයි වගේ... එයාත් මම දන්න එයාම නොවෙයි වගේ. මට ඕනැ වුනේම ආයෙත් පොළවට යන්න. පොළවට යන්න නොලැබෙයි කියන බයෙන් මගේ සිරුරම වෙවුලුවා. මගේ ආදර සිහිනය සැබෑවීමේ ආශ්චර්යය ඇත්තටම පැවතුනේ හඳත් පොළවත් අතර භ්‍රමණය වෙවී අපි දෙදෙනා එකට එකතු වෙලා හිටපු මොහොත දෙක විතරයි. ඉන් පස්සෙ තිබුනෙ හද කකියවන කාංසාවක්, ආරම්භයක් අවසානයක් ස්ථිරත්වයක් නැති කමේ පාළුවක් අඩුවක්...

මේ මට දැනුන හැටි. ඒත් එයාට? මට මෙහෙම හිතුණම මගේ හිත කීරි ගැහිල ගියා. හොඳයි එයත් පොළව ගැනම හිතනව නම් ඒක හොඳ ලකුණක්. අන්තිමේ දි හරි එයා මාව තේරුම් අරගෙන කියන එකේ ලකුණක්... ඒත් ඒකෙ අදහස මේ හැම දෙයක්ම පලක් නැති දේවල් ය කියන එක වෙන්නත් පුළුවන්. එයාගේ ආකර්ෂණය ආශාව තවම තියෙන්නෙ බීරි මස්සිනා දිහාට විහිදිලාය කියන එක වෙන්නත් පුළුවන්. ඒ වුණත් එයා ට මේ කිසි දෙයක් දැණුනෙ නැහැ. එයා අපේ මහළු ග්‍රහයා දිහා ඇස් උස්සලා බැළුවෙ නැහැ. එයා සුදුමැලි වෙලා ඇවිදින්න ගත්තා හඳේ මුඩු මුහුණත පුරාම. එයාගේ වීණාව වය වයා ශෝකී ලතෝනියක් මුමුණ මුමුණා. හරියට එයා මේ තාවකාලික (මට හිතුන හැටි තමයි ඒ) චන්ද්‍ර සෙයියාවට සම්පූර්ණයෙන්ම ආවේශ වෙලා වගේ. මේකෙන් අදහස් වෙනවද මම මගේ තරඟකාරයාව පැරැද්දුවයි කියල? නෑ... මම පැරදිලා... අන්තම අන්ත පරාජයක් ලබල. මොක ද එයා අන්තිමේ වටහගෙන මගේ බීරි මස්සිනා ඇත්තටම ආදරය කළේ හඳට විත්තිය. හඳට විතරක් ම විත්තිය. දැන් එයා ට ඕනැ වුනු එකම දේ හඳම වෙන්න. මේ විශේෂිත මිනිස් ආදරයේ කේන්ද්‍රස්ථානය එක්ක එකතු වෙලා එකම වස්තුවක් බවට පත්වෙන්න. හඳ පොළව වටේ වටයක් ගැහුවට පස්සෙ අපි ආයෙත් තුත්තනාගම් පව්ව ඉහලට ආව. එතැන අඳුනගත්තම මාව කිළිපෙළුන. මගේ භයානකම හීනෙ දි වත් මම හිතුවෙ නැහැ ඒව ඒ තරම් ඈත ඒ තරම් කුඩාවට පෙනේවි යි කියල. ඈත මඩ වලක් වගේ පෙණුනු මුහුදෙ මගේ මිත්‍රයො, බෝට්ටු අරන් ඇවිත් හිටිය. ඉණිමං තිබුණෙ නැහැ. ඒවයින් වැඩක් නැහැ දැන්. ඒත් ඒ වෙනුවට බෝට්ටු වල ඉඳල දිග රිටි වනාන්තරයක් අහසට දික් වෙලා තිබුන. හැම කෙනෙක්ම අගිස්සට කොක්කක් හරි මණ්ඩාවක් හරි අවුණපු රිටක් දික් කරගෙන හිටිය. හරියට අවසාන වතාවට හරි හඳේ කිරි ටිකක් සූරගන්න බලනව වගේ. සමහර විට අතරමං වෙච්ච අපේ පරාණ වලට මොනයම්ම හරි උදව්වක් කරන්න උත්සාහ කරනව වගෙත් හිතුන මට. ඒත් බොහොම ඉක්මනින්ම තේරුණා ඒ එක රිටක් වත් හඳට ලං කරන්න තරමටවත් දිග නැති විත්තිය. බෝට්ටු කාරයො කලබල වෙලා අසරණ වෙලා එහෙ මෙහෙ පාවෙන්න ගත්ත. සමහර බෝට්ටු මේ කළබලේ අස්සෙ සමබර කම නැතිවෙලා පෙරළිලා. මෙන්න මේ මොහොතෙ එක බෝට්ටුවකින් දිගම දිග රිටක්, දිග නිසාම ඒ වෙනතුරුම මුහුද දිගේ ඇදගෙන ආපු රිටක් ඉහල නංවන්න පටන් ගත්ත. ඒක දිගම දිග උණගස් එකිනෙකට ගැට ගහල හදල තිබුණෙ. ඒක ඉහල නංවන්න සිද්ධ වුනේ ඉතාම පරෙස්සමින් හෙමින් හෙමින්. මොකද සිහින් රිටක් නිසාම ඕනැවට වඩා වැනෙන් ගත්තොත් කඩා වැටෙන්න පුළුවන් නිසා. මේ නිසා ඒක ඉහළට එවන්න වුනේ ඉතාම පරිස්සමින් මුළු රිටේම බර කෙලින්ම බෝට්ටුවට දැනෙන විදිහට. එහා මෙහා වැනිල බෝට්ටුවත් එක්කම නොපෙරෙලෙන විදිහට.

හදිසියෙන්ම වගේ අපට පැහැදිලි වුනා මේ රිට නම් හඳේ වදින තරමටම දිග විත්තිය. අපි දැක්ක ඒක කොරපොතු වල ඇතිල්ලිලා, ඇතිල්ලිලා හඳේ මතුපිටට ඇණිල නතරවෙනව. ඊලඟ මොහොතෙ ඒක හඳ යන්තමට තල්ලු කරනව වගේ පෙණුන. තල්ලුව වැඩි වෙලා රිට පොලා පැන්න ආපහු. ආයෙත් ඇවිත් කලින් හූරපු තැනම වැදුන. ආයෙත් පොලා පැන්න. හරියට හඳත් එක්ක සෙල්ලම් කරනව වගේ. මම එක පාර අඳුනගත්ත. මං හිතන්නෙ අපි දෙන්නම; කපිතාන් ගෙ බිරිඳයි මමයි; අපි අඳුනගත්ත මේ නම් බීරි මස්සිනා තමයි කියල. වෙන කවුරුවත් වෙන්න බෑ... මිනිහ අන්තිම සෙල්ලම කරනව හඳත් එක්ක. අපූරු ක්‍රීඩාවක්. හඳ රඳාගෙන මිනිහගෙ රිටේ අග... හරියට සර්කස් කාරයෙක් බෝලයක් එක්ක සෙල්ලම් කරනව වගේ. අපට තේරුණා මිනිහ මේ දක්ෂකම් පෙන්නවා මිස වැඩකට ඇති අරමුණකින් කරන දෙයක් නොවෙන වග. ඇත්තටම කිව්වොත් මිනිහ හඳ තවත් ඈතට තල්ලු කිරීමක් කළේ. මිනිහ හඳ තල්ලු කළා තවත් ඈතට. ඈත කක්ෂයකට. මේකත් මිනිහගෙ ගතිගුණයක්ම තමයි. මිනිහට පුළුවන් කමක් තිබුණෙ නෑ හඳේ සුබාවට විරුද්ධ වෙන කිසි දෙයක් කරන්න හිත හදාගන්න. හඳේ ආසාවන්ට හඳේ ගමනට ඉරණමට ප්‍රති විරුද්ධ වෙන කිසි දෙයක් කරන්න. ඉතින් දැන් හඳ තමුන්ගෙන් ඈත් වෙලා යන්න නම් හදන්නෙ, මිනිහ බොහොම හිතේ සන්තෝසෙන් ඒකට උදව් කරනව... හඳ ඉස්සර ලඟටම ඇවිත් උන්නු කාලෙ ඒ ගැන සතුටින් හිටිය වගේම.

වා වා නෝනා මොනව කරන්න ද මේ තත්වයෙ දි? මේ මොහොතෙ තමයි එයා ඔප්පු කලේ එයා අපේ බීරි මනුස්සයාට තිබුණු බැඳීම නිකං නැගල බැහැල යන රැල්ලක් නොවෙයි සදාකාලික සපථ කිරීමක් බව. මගේ මස්සිනාගෙ ආදරය යොමුවෙන්නෙ දුර ඈත තියෙන හඳකට නම් එයාටත් ඕනැ වුනේ දුරස්ථව ඈත් වෙලා හඳ මතුපිටම ඉන්න. මම අනුමාන කලා මේක. එයා අඩියක්වත් ඉස්සුවෙ නෑ උණ බම්බු රිට දිහාට. එයා වීණාව පෘතුවිය දිහාට දික් කරාන ඒක වයන්න ගත්තා. මම එයාව දැක්ක වගේ කිව්වත් ඇත්තම නම් මේ දේවල් යාන්තමට මගේ ඇස් කොණේ වැදුනු දේවල්. මොකද අර රිට හඳ මත්තෙ හැපුණ ගමන්ම, මම පැනල ඒක අල්ල ගත්ත. නාගයෙක් වගේ ඒකෙ එතිල උණ පුරුක් වලට වාරු දිදී මම ඒක දිගේ නැග්ග. පුළුවන් හයියෙන් මගේ අත් දණිස් ඉහල පහල ගියා. ආපහු පෘථිවියට යන්න මට බල කරපු ඒ ස්වභාවික බලය මාව තල්ලු කලා ඉහළට. හරියට මම හඳට පය ගැහූ කාරිය ගැන කිසි තැකීමක් නෑ වගේ... නෑ එහෙම නෙවෙයි. මම හිතන්නෙ ඒ කාරියත් ඒකෙ අවාසනාවන්ත අවසාන ඵලයත් ගැන වඩාත් පැහැදිලි අවබෝධයකින් මම උණ රිට දිගේ බඩගෑව. බොහොම ඉක්මණින් එහා මෙහා වියරුවෙන් පැද්දුනු රිටේ සෑහෙන ඉහළට, පොළවෙ ආකර්ෂණ බලය නිසා ආයාසයක් නැතුව ඔළුව පහලට දික් කරන් පොළව දිහාට රූටලා යන්න පුළුවන් තරම් දුරකට නගින්න මට පුළුවන් වුනා. අන්න එතකොට තමයි මගෙ දඩි බිඩි කලබලේ නිසා උණ බම්බු රිට දාස් ගාණක් කෑලි කෑලි වලට කැඩිල ගිහින් මාව බෝට්ටු අස්සෙන් මූදට ඇදගෙන වැටුණෙ.

මගේ ආපහු ඒම මගේ නවාතැන නැවත හොයා ගැනීම ඉතා මිහිරියි. ඒත් මගේ හිතිවිලි ඇයව නැතිවිමේ කණගාටුවෙන් පිරිල. මගේ ඇස් නොදැනුවත්වම, සදාකාලිකවම මගේ සීමාවෙන් ඈතට ගිය හඳ හොයාන දිව්ව. ඈව හෙව්ව මම. මම දැක්ක ඈව. ඈ එතනම, මම ඈගෙන් වෙන්වෙලා ආව තැනම හිටිය. අපේ ඔළු වලට ඉහලින් වෙරළක දිගාවෙලා... ඈ මුකුත්ම කිව්වෙ නැහැ. ඇගේ වර්ණයත් හඳේ වර්ණයම වෙලා. ඈ ඇගේ වීණාව ඇගේ පැත්තකින් තියාගෙන ඉඳහිට හෙමින් මලානික රිද්මයක් වාදනය කලා. මට ඇගේ ලපැත්ත, ඇගේ අත්, ඇගේ වටොර වෙන් කරල මතක් කර ගන්න පුළුවනි. මේ දැන් මේ මොහොතෙ දකිනව වගේ. හඳ ඈත එල්ලෙන පැතලි කවයක් වුනත් දැන්, ඒකෙ පළමුවෙනි හීන් රිදී පතුර ආකහෙ පේන්න පටන් ගත් දවසෙම මම ඈව හොයන්න පටන් ගන්නව. ඒක ටිකින් ටික මෝදු වෙන්න මෝදු වෙන්න, මට හිතෙනව මට ඈව පේනව වගේ... ඈ ම හරි ඇගේ යම් ලකුණක් හරි... ඒ ඇයම තමා. සිය දහස් ගණන් වෙනස් වෙනස් දසුන් වලින් පෙණුනත් ඈ නිසා තමයි හඳ, හඳ වෙන්නෙ. ඈ ම තමයි පසලොස්වක ට හඳ පිරිච්ච දවසට මුළු රෑම නිදි නැතුව බල්ලන් වත්, උන් එක්කම මාවත් උඩු බුරුලවන්නෙ.

[*ඉටැලෝ කැල්විනෝ (15 ඔක්තෝම්බර 1923 – 19 සැප්තැම්බර 1985) : ඉතාලියානු ජාතික කෙටිකතා හා නවකතා රචකයකු හා මාධ්‍යවේදියෙකි. ඔහුගේ වඩාත් ප්‍රචලිත කෘති ලෙස Our Ancestors (කතා ත්‍රිත්වය;1952–1959) , Cosmicomics (කෙටිකතා එකතුව; 1965) , Invisible Cities (නවකතා; 1972) හා If on a winter's night a traveler (නවකතා; 1979) හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයේ හා ඇමරිකාවේ අග්‍රගණ්‍ය සැලකුම් ලද කැල්විනෝ මියයන විට වඩාත්ම පරිවර්තනය වූ නූතන ඉතාලියානු සාහිත්‍යධරයා ලෙසත්, නොබෙල් සාහිත්‍ය සම්මානයට ප්‍රධාන තරඟකරුවකු ලෙසත් නමක් දිනාගෙන සිටියේය.

Cosmicomics (විශ්ව ප්‍රහර්ෂ) කෙටිකතා එකතුව 1965 දී ඉතාලි බසින් ප්‍රථම වරටත් 1968 දී ඉංග්‍රීසියෙනුත් පළ විය. මෙහි එන සෑම කතාවක් ම යම් විද්‍යාත්මක දත්තයක් (සමහර කරුණු නූතන දැනුම විසින් නිශ්ප්‍රභා කරන ලද දේ වුවද) අළලා ගොඩනැගුනු මනඃකල්පිත කතාන්දර වෙයි. කතා දෙකක් හැරෙන්නට අනෙක් සෑම කතාවක්ම, සර්වකාලීන චරිතයක් සේ ගොඩනැගුනු "ක්ෆික්" විසින්, විශ්ව ඉතිහාසයේ යම් සිදුවීමක් පිළබඳව කියනු ලබන මතක සටහනක් සේ ලියා තිබේ.

The Distance of the Moon(හඳේ දුර) මේ කෙටිකතා එකතුවේ පළමු මෙන්ම වඩාත්ම ප්‍රචලිත කතාවයි. විශ්වයේ ආරම්භක අවධියක දී හඳ පෘතුවියට ඉතා සමීපව තිබුණේය යන දැනුම පාදක කරගෙන, හඳ පොළවට වඩාත් සමීපවන කාලවල දී හඳ මතුපිටට පනින්නට පුරුදුව සිටි ජන කණ්ඩායමක ගැහැණියක හා පිරිමින් දෙදෙනෙකු අතර සිදුවන ප්‍රේම පටලැවිල්ලක් අළලා මේ කතාව ගෙතී ඇත. ]

ඉටලෝ කැල්විනෝ
පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails