Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බලහත්කාරය, මර්ධනය හා ආයුධ යථාර්ථයන් අධිනිශ්චය වූ සමාජ කාලයක දිවි ගෙවන අප අනෙකා ඉවසීමේ දේශපාලනය පිළිබඳ නැවත සිතා බැලීම යනුම විස්මිත අභ්‍යාසයකි. මෙම අනෙකා ඉවසීම නම් වූ සංවාද භාෂණය ලාංකේය පොළොවේ යම් දුරකට ජීවමාන කළ සිදුවීම වන්නේ මගේ පරම්පරාව අත්විඳි ජනඝාතන යුද්ධය යැයි කිව හැකිය. එනම් දෙමළාට දෙමළ වීම හේතුවෙන් ප්‍රශ්නයක් ඇති බවත්, එයට චිරාත්කාලීන දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බවත්, ලංකාවේ දේශපාලන සමාජයේ හා සිවිල් සමාජයේ ඇතැම් ප්‍රමුඛ කණ්ඩායම් විසින් දශක ගණනාවක් පුරා ලාංකේය පොළොවේ වරනැගූ තර්කයයි. එය වනාහි අනෙකා ඉවසීමේ කලාවයි. එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඒ පිළිබඳව වන කතිකාව තුළ නිශ්චය වන්නට හැර තවදුරටත් අනෙකා ඉවසීමේ දේශපාලනය අපගේ එදිනෙදා ශාස්ත්‍රීය හෝ දේශපාලන සබඳතා වලට අදාල කරගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුව ඇත.

මංසල කතිකා කවය විසින් සංවිධානය කළ ලියනගේ අමරකීර්ති පරිවර්තනය කළ "නෙරූදාගේ ලියුම්කාරයා" පොත දොරට වැඩීම පිළිබඳ අවස්ථාවේදී එම පොත වියමනක් ලෙස කියැවීම අපි විසින් කරනු ලැබුවෙමු. වියමන යනු සමාජය වන නිසා පොතෙහි හමුවන මිනිසුන් සහ අපගේ වත්මන් දේශපාලනික මොහොතේ හමුවන මිනිසුන් පිළිබඳ එහිදී දේශපාලන විවේචනයක යෙදිනි. මහින්ද චින්තනය හා රාජපක්ෂ පාලනය යනු නව ලිබරල්වාදයට එරෙහිව කරනු ලැබූ ජනතා අභිලාශයක් ලෙස හඳුනා ගනිමින් පසුගිය දශකය පුරා එය මතවාදීව ආරක්ෂා කළ වාමාංශික යයි හඳුනා ගන්නා හා ආයතනික බුද්ධිමතුන් කිහිප දෙනෙකුගේ භාවිතයෙහි දුර්වලතාවය පිළිබඳව මෑත විවේචනයකට ලක් කර තිබුණි. මෙම බුද්ධිමතුන් තව දුරටත් තමන් විසින් කලින් දරන ලද මතවාදී ආස්ථානය වෙනස් කරමින් රාජපක්ෂ පාලනය යනු නව ලිබරල් ධනවාදයේම නව සේවකයෙක් ලෙස පිළිගෙන ඊට එරෙහිව සිය වියමන් සකස් කරන බව පෙනෙන්නට තිබුණි. තමන් විසින් මීට කලින් දරන ලද මතයන් පිළිබද ස්වයං විවේචනයක නොයෙදීම පිළිබදව ඉහත කී විවේචනය එදින ද ඔවුන් වෙත එල්ල වුණි. මෙම නම් සදහන් කරමින් කරන ලද විවේචනය පිළිබඳ එහි සිටි සමහරෙකුට ඉතාමත් කේන්තියක් ගොස් තිබූ අතර එම අවස්ථාව මෙම ලිපිය ලියන්නට මූලික විය.

සමාජය අර්ථවත් වන එක් අයුරක් වන්නේ තනි තනි පුද්ගලයන් කරන අන්තර් ක්‍රියාවන්හි ප්‍රතිඵලයන්ය. එනිසාම පුද්ගල අනන්‍යතාවන් වැදගත්වේ. නූතන මිනිසා පවුලකට, පංතියකට, ගෝත්‍රයකට පසු බැසීම වෙනුවට පුළුල් සමාජයක් තුළට අවතීර්ණ වන විට, එහි සමාජ ගනුදෙණුවේ විවිධ ආකාර තිබිය හැකි අතර එවන් ගනුදෙණු අර්ථවත් වන්නේ ඒවායේ අන්තර් ක්‍රියාවන් සිදුවන්නේ කෙසේද යන්න මතය. නූතන ඇකඩමියාව, දේශපාලන වටපිටාව යනාදී සියල්ල රඳා පවතින්නේත්, ඒවාට අර්ථ සපයන්නේත්, මෙම අන්තර් ක්‍රියාවන්හි ප්‍රකාරයන් සමඟය. උදාහරණයක් ලෙස අප මහින්ද රාජපක්ෂ රෙජීමයට සහාය දක්වන්නන් යැයි සඳහන් කළ විට එය ඉතා පුළුල් සමාජ ගණුදෙණුවක ප්‍රකාරයකි. එනිසාම සුවිශේෂි නාමකරණයන් අවැසි වේ. අපට පුද්ගලයන් නම් කරන්නට සිදුවන්නේ එවිට එම විවේචනය වඩාත් අර්ථවත් වන නිසාය.

ලිබරල්වාදී ඉවසීම යනු මෑත කාලීනව වඩාත් සංවාදයට ලක් වූ මාතෘකාවකි. සංස්කෘතික බහූත්වවාදී ඉවසීම යනු එහි ප්‍රතිවිරුද්ධ දෙයට එනම් නොඉවසීමට ඇති වෙස් මුහුණක් බව වරෙක ස්ලෙවෝයි සිසෙක් පැවසීය. ඉන් අදහස් කරනු ලැබුවේ ලිබරල් ඉවසීම තුළ වඩාත් හිංසාකාරී තත්වයන් ගැබ් වන බවය. අනෙකා උත්කර්ෂණයේ තැනකට යවා තබන මෙම ඉවසීම තුළ එහි අවසානයේ හිංසනයක්ද ජනනය කෙරේ. දෙමළා සිංහලයාගේ සතුට සොරා ගෙන ඇතැයි විශ්වාස කර දෙමළාගෙන් නැවත එය ලබා ගැනීමට කරන ප්‍රචන්ඩ වෑයම මෙන්ම ඔහුගේ/ඇයගේ සංස්කෘතියෙහි, පැවැත්මෙහි සුන්දරත්වය උත්කර්ශනය කිරීමද සංකීර්ණව හිංසනයට මුල පිරීමකි. එහෙත් අපට අනෙකාගේ පැවැත්ම එලෙසින්ම භාර ගත හැකි නම් සහ එය ඉවසිය හැකි නම් එහි හිංසනයට ඇති ඉඩ අහිමි වනු ඇත. මන්ද අනෙකාද මම ම යන අවබෝධය ඉන් ලැබෙන නිසාවෙනි.

අපට පුද්ගලයකුගේ නම් මතක තිබීමට විවිධ හේතු තිබිය හැකිය. ඔහු හෝ ඇය මිතුරකු හෝ සතුරකු වීම එහිදී ප්‍රධාන කරුණක් විය හැකිය. ශාස්ත්‍රීය අවකාශය තුළදී මිනිසුන්ගේ නම් අප මතකයේ රැදෙන්නේ ඔහු හෝ ඇය මට සිතන්නට අලුතින් යමක් ලබා දුනහොත් හෝ මට මගේ චින්තනමය සිතිජය මට අවබෝධ කරවීමට සමත් වන්නේ නම්ය. එවිට අපි ඔවුහු විශ්වාස කරන්නෙමු. මගේ චින්තනමය වීරයා නිර්මාණය වන්නේ එලෙසය. අප ශ්‍රාස්ත්‍රීය කටයුතු වලදී නිරන්තරයෙන් යම් යම් විෂයයන්ට අදාල වූ පුද්ගලයන්ගේ අදහස් සංම්භාෂණයට ගන්නේ ඔවුනගේ නම් සලකුණු කරමින්ය. ඔවුන් සමග මතවාදීව එකඟ විය නොහැකි වෙද්දී පවා ඔහු හෝ ඇයගේ දායකත්වය අගය කිරීම ඉන් සිදුවේ.

එහෙත් දේශපාලන සංවාද තලය තුළ මෙය වෙනස් අයුරක් ගනු පෙනේ. එවිට කෙනෙකු පැවසු දෙයකට අරුත් දෙනු ඇත්තේ දේශපාලන කතිකාවට අදාළ වූ අරුත් ද සමඟය. විටෙක යමෙකු එක් දෙයකුත් තවත් විටෙක තවත් දෙයකුත් කීම වනාහී සමාජයීය සත්‍යයක් වන මිනිසා යනු වෙනස් වන සහ වෙනස් කළ හැකි ප්‍රපංචයක්ය යන සත්‍යය තහවුරු කරන්නකි. එහෙත් එයට ගරු කළ හැක්කේ ඔවුන් සපයන චින්තනමය ආලෝකය මගින් පොළොවේ දේශපාලනය සවිමත් වුවහොත් සහ එමගින් අහිතකර ප්‍රතිඵල ඇති කරන විට එය විවේචනය කිරීමට ද, ඔවුන් අප නොමඟ යැවූ බව නොබියව පැවසීමට ද අවකාශ තිබේ නම්ය. මන්ද සියල්ලන්ටම චින්තනමය ආලෝකයක් දිය හැකි සේම, අනාගත දේශපාලන පෙර කියවීමක් කළ හැකි යැයිද කිසිවෙකුත් නොහිතනු ඇත. එවන් ගරු කටයුතු දේශපාලන සංස්කෘතියක් තබා ශාස්ත්‍රීය වටපිටාවක්වත් අපට ඇත්තේ අවමයෙනි. එය විශ්ව විද්‍යාලවල සිය ගුරුවරුන් ප්‍රශ්න කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබුණු සන්තෝසම් මඟින් දැන ගත හැකිය.

අධ්‍යාපනය මගින් මානව විමුක්තිය අත්පත් කර දෙන්නේ යැයි අපි විශ්වාස කරමු. ඉන් අනෙකාට ඇහුම් කන් දීමට, ඔහු හෝ ඇය ඉවසීමට සංයමය ලැබේ. එහෙත් අර්බුදය වී ඇත්තේ විවේචනය හෝ පෙරළා පිළිතුරු දීම පිළිගැනීම හෝ දරා ගැනීම අප අතැම් උගතුන් සමත් නොවීමය. එවන් අවකාශයක් නඩත්තු කිරීමට අනෙකා ඉවසීමේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින මෙම උගතුන් යැයි කියන චින්තකයින්ට නොහැකි බව පෙනෙන්නේ ඔවුන් විවේචනයන්ට දක්වන ප්‍රතිචාර තුළය. ඔවුන්ගේ උදහස තුළ විවේචනය කරන අයට තබා එම විවේචකයන්ව නියෝජනය කිරීමට ද ඉඩක් නැත. මෙය අනෙකා ඉවසීමට සේම ඒ වෙනුවෙන් දේශපාලනික අර්ථකථන ශාස්ත්‍රීවය සැපයීම තමන්ගේ අනන්‍යතාවය ලෙස ලොවට පෙන්වන අද යුගයේ බොහොමයක් උගතුන්ගේ ලක්ෂණය වන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රති විවේචනය වන්නේ සිය නම් පුද්ගලිකව සඳහන් නොකළ යුතු බවයි. මා ලියූ දෙයකට මගේ නම් සඳහන් නොකර විවේචනය කරන්නේ කෙසේදැයි විමසා බැලිය යුතු තරම් අපූරු දෙයකි. තමන් ලියු යමක් සමාජ ගත කළ විට එය නිදහසේ පැවතිය යුතු යැයි කෙනෙකු අදහස් කිරීම යනු මුග්ධභාවයකි. ස්කර්මෙතාගේ නෙරූදාගේ ලියුම්කාරයා පොතෙහි මරියෝ සහ පැබ්ලෝ නෙරූදා අතර ඇතිවන දෙබසකදී නෙරූදා මරියෝගෙන් අසන පැනයක් වන්නේ "ඔබ මගේ කවි සොරකම් කිරීම හරියි කියලා කියන්නද ඔබ මට කියන්නේ" යන්නයි. ඊට මරියෝ නම් වූ ලියුම්කාරයාගේ පිළිතුර වන්නේ "කවි අයිති ලියපු අයට නොව ඒවා භාවිත කරන අයට" බවයි. මෙහි දේශපාලන මානය නම් යමක් ස්ථානගත කිරීම යනු කතිකාමය වූවක් හා භාෂා ලෝකය විශ්වාස කිරීම මත පදනම් වන දෙයක්ය යන්නයි. මෙය plagiarism ලෙස පටලවා නොගත යුතුය.

පෞද්ගලික හා පොදු අතර පරතරය පිළිබඳ විශාල විවාදයක් තිබේ. පෞද්ගලික යනුවෙන් අදහස් කරන දේ අතර විශාල පරතරයන් තිබිය හැකිය. ඇයගේ හෝ ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ සොයා බලා ඒ පිළිබද හොඳ- නරක සුදු- කලු ආදී ද්විත්ව ප්‍රතිපක්ෂ තුළ තබා විවේචනය කිරීම ඊට බොහෝ විට අදාල වනු ඇත. එවිට හොඳ හෝ නරක අර්ථකථනය වන්නේ මට ඊට ඇති අර්ථය සමඟය. උදාහරණයකට ගැහැණුන් කිහිප දෙනෙකු සමග ජීවිතය ගෙවන පිරිමියෙක් හෝ පිරිමින් කිහිප දෙනෙකු සමග ජීවිතය ගෙවන ගැහැණියකගේ හොඳ නරක තීරණය වනු ඇත්තේ ජීවිතය, විවාහය, පවුල සඳහා වැනි ව්‍යුහයන් පිළිබඳ සංකල්ප වලට අදාළ එකිනෙකාට ඊට ඇති අර්ථකථන අනුව විය හැකිය. එහෙත් ඔබ ලියා පල කළ දෙයක්, අදහස් ගොඩනැංවීමේ ශාස්ත්‍රීය භාවිතයක් විවේචනය කිරීම දේශපාලනික කාර්යයකි. මන්ද එමගින් අදාල දේශපාලන කාල අවකාශ නිමේශය හදුනාගැනීමටත් මා ද ඇතුළුව මා වටා ඇති සමාජය සංවිධානය කිරීමටත් ඇවැසි පදනම ඉන් නිර්මාණය වන නිසාත්ය. කෙනෙක් යමක් ලියමින් එය සමාජගත කළ පසු එහි හරය මත අප ඔහුව/ඇයව විවේචනය කරන්නේ නම් එය පෞද්ගලික ප්‍රහාරයක් වන්නේ කෙසේදැයි ගැටළුවක් පැන නගී. සමාජ දේශපාලන සංඥානාමයන්ගෙන් ඔබ ඔබටම ලියන්නේ වුවද අනෙකා ඉන් ලබා ගන්නා ආලෝකය හෝ නිරාලෝකය පිළිබඳ ඔබට වගකීමක් නැත්තේ මන්දැයි ඇසිය යුතු තරම් ප්‍රශ්නයකි.

සමාජ ප්‍රකාශනයක් සම්බන්ධයෙන් වන විවේචනය සමාජයීය කාර්යයකි. විවේචනයක් නොමැති නම් එතැන ඇත්තේ සියල්ල එලෙසින් බාරගැනීමකි. වෙනසක විය හැකිබාවයන් ගැන සිතන ඒ කෙරෙහි මැදිහත් විය යුතු යැයි කල්පනා කරන ඒ වෙනුවෙන් සමාජය සංවිධානය කරන අය පසමිතුරු අනෙකා නම් කිරීම (Naming the antagonistic other) යනු දේශපාලනයේ මූලධාර්මික කලාවයි. සමාජය විමුක්ති අභිලාෂයකින් පරිවර්තනය කිරීම අරභයා කෙරෙන ශාස්ත්‍රීය භාවිතයටත් මෙම තර්කය අදාළ යැයි අපි සිතන්නෙමු. සියලුම අනේකත්වයන් ඇතුළත් කරගත් ශ්‍රාස්ත්‍රීය ව්‍යවහාරය විය නොහැක්කක් වන්නේ එහෙයිනි. ලිවීමේ දේශපාලනය යනු ද එහෙයින් සංකීර්ණ කරුණකි. එහෙයින් අනෙකා ඉවසන හා පිළිගත් ඇකඩමික් භාවිතය තුළ තමන් දේශපාලනයක නිරත වනවා යැයි කියන ඇතැම් ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ සැබෑ දේශපාලන භාවිතය හෙළිදරව් වන්නේ පෑනේ හා වචනවල විවේචනයන් තුළින් නොව පුද්ගලිකව හා සීතල පාතාලයකින් සිදුකරන භෞතික පලිගැනීම් තුළින් යැයි දැන් නොබියව කිව හැක. නිර්දය දේශපාලන විවේචනය සංවාද හා වචනයන්ට සීමාව තිබෙද්දී මෙම සීතල අහිංසක යැයි කියන බුද්ධිමතුන් තමන්ගේ සැබෑ ජීවන භාවිතය තුළ වෛරය ස්ථානගත කර පිළිතුරු දීම් සිදුකර ඇතිවට ඕනෑතරම් උදාහරණ තිබේ. මෙය තියුණු හා සංකීර්ණ ෆැසිස්ට්වාදයක ලක්ෂණ ගනී.

කෙනෙකු සමාජගත කළ ප්‍රකාශනයක් තවකෙකු එම කෙනාගේ පුද්ගලික ජීවිතය තුළ තබා අවලාද නොනගා එය සමාජීය සංඥා නාමකරණයන් තුළ තබා නිර්දය ලෙස විවේචනය කරන විට එය පුද්ගලික ප්‍රහාරයක් යැයි කියමින් ව්‍යවහාරිකව වෛරය පිරිමසා ගැනීම තුළින් මහජන සංවාද තලය විනාශ කරන්නේ පළමු සමාජ ප්‍රකාශකයාය. ඔවුන් එසේ කරන්නේ ඉන් ඔවුන්ගේ බුද්ධිමය සීතල බව සසල වන නිසාවෙනි. ඔවුන්ට පෙරළා තමන් ගැන සිතන්නටත් ඒ පිළිබඳව නැවත විචාරයක යෙදෙන්නටත් අවකාශය ඉන් විවර කර දෙයි. විවේචනය ඔවුන්ගේ සංඥා නම සඳහන් නොකර සිටින්න යයි කීම යනු තවදුරටත් ඔවුන් ඔවුනගේ සීතලභාවය තුළට රැඳවීමට රුකුල් දීමකි. එසේනම් ඔවුන් කළ යුත්තේ සිය මතය යනු 'මමය' යන්නට වැටෙනු මිස සමාජ අනන්‍යකරණයට නොවැටෙන මේවා මගේ සිතට නැගෙන සිතිවිලි ලෙස සිය ලියමනේ මුලින්ම දන්වා සිටීම පමණි.

දේශපාලනික විවේචනය අප දන්නා ලෙසට ඉතා දැඩිව කළ අයෙකු ලෙස සඳහන් කළ හැක්කේ වී.අයි. ලෙනින්ය. ඔහු සිය දේශපාලන සම්භාෂකයන්ව දැඩිව විවේචනය කළ අතර ඉන් සිය විප්ලවීය භාවිතය දීප්තිමත් ඉලක්කයක් දෙසට මෙහෙය වීය. අප යමෙක් නම් කරන විට ඔහුගේ/ඇයගේ අනන්‍යතාවය නම් කිරීමක් සිදු කරයි. එය පිළිගැනීමකි (Recognition). එමගින් කෙනෙක් ලියූ දේ සංවාදයට භාජනය කිරීමට සුදුසු යැයි සළකුණු කරනු ලැබේ.

අපට සියල්ලම සමග ගැටෙමින් එම සියල්ලම සමඟ එකඟ වීමට හැකිනම් එතැන දේශපාලනයේ මූලික පාඩම අමතක කර ඇත. සංවිධානමය ප්‍රජාවක් සිය සාමූහික අදහස් ජනතාව මත භෞතික බලයක් ලෙස ක්‍රියාකිරීම හා මිනිසුන්ගේ පිළිගැනීමට ලක්කරවීම දේශපාලනයේ හෝඩිපොතයි. අධිපති දෘෂ්ටිවාදයන්ට එරෙහි ප්‍රතිහෙජමොනික ව්‍යවහාරයක් ගොඩනැගිය හැකි මාර්ගය එයයි. එහෙයින් අනෙකාව විවේචනය කිරීමද එම ක්‍රියාවලියේම අත්‍යයන්ත කොටසකි. ඒ නිසා අපේ මතයන්ට විරුද්ධ අනෙකා නම් කිරීම අවශ්‍යතාවයකි. විවේචනය කිරීම අපහාස කිරීමක් ලෙස දැකීම සමාජ භීතිකාවකි. සෑම සෙලවීමකම යට කුමන්ත්‍රණ න්‍යායක් දැකීම එහි ස්වභාවයයි.

විවේචනය කරන්න, එනමුත් නම් සඳහන් නොකරන්න යැයි ඉල්ලා සිටීම එක්තරා ක්‍රීඩාවකි. එය අප අත් විඳින වත්මන් දේශපාලන යථාර්ථය මෙන්ය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබේ යැයි ඉන් පුන පුනා කියයි. එහෙත් අපට තෝරා ගත හැක්කේ පාලකයා කැමති දේ පමණි. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් දක්වමින් ෂන්තාල් මූෆ් සිය On the Political කෘතියෙහි පවසන්නේ අනෙකා ඉවසීම තුළ තමාට විමුක්තිය ලැබෙන බවයි. එහෙත් අනෙකා විවේචනය නොකර සිටීමක් ඉන් අදහස් වන්නේ නැත. එල්.ටී.ටී.ඊ.ය විවේචනය කිරීම අත්‍යවශ්‍යය. ඔවුන්ගේ විමුක්ති අරගලය ගිය දිශාවෙහි අර්බුදය නම් කිරීම ඉතා වැදගත්ය. එහෙත් ඔවුන්ව මරා දැමීම ඉන් අදහස් නොවේ. මන්ද අනෙකා මරා දැමීම තුළ අපට අපව ද අහිමි වී යන බැවිණි. මා අර්ථවත් වන්නේ අනෙකා සිටින විටය. අනෙකා නැති තැන මාද නැත. විවේචනය අත් නොහරින්න. ඉන් අපට අපවම මුණ ගැසෙනු ඇත.

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails