Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම

මට තියෙන්නේ තුනට බෙදුණු හදවතක්. හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා. ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි.. අංශක 170 යි 110 යි 80යි. ඇත්ත , බැලූ බැල්මට අංශක 170 ලොකුයි. ඒක එහෙම තමයි. මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා. අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්. උතසව, සාද , විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්. අංශක 80 හරිම පටුයි හැබැයි ඒ වගේම ගැඹුරුයි. කෝඨරකෙ ගැඹුරු බව තීරණය වෙන්නෙ ඒක ඇතුලෙ ජීවත්වෙන කාලෙ අනුව නෙමෙයි. ජීවත්වෙන විදිහ අනුව. හිත ඇතුලෙ ස්පර්ශ කරන තැන් අනුව. ස්පර්ශයේ රළු බව සහ සුමුදු බව අනුව. ඒ වුනාට මම ඒ හිස් කෝඨරකෙ පිරෙන්නම පස් පුරවලා තියෙන්නෙ. දැන් යනකොට ඉතිරි කරලා ගියපු කමිසෙ ගඳවත් දැනෙන්නෙ නැහැ. ගඳ නෙමෙයි ජීවන සුවඳ ද මන්දා... මොක වුනත් මම ඒක සදහටම මකලා ඉවරයි.

ඒ වුනාට අංශක 110 මේ දෙකටම වඩා වෙනස්. එයා ගියෙ නැහැ . මමයි එයාගෙ හදවතෙන් ආවෙ. ඒ හදවතේ හිස්තැනට මොනවා කරාද දන්නෙ නැති වුනත් මගේ හදවතේ කුටීරය තාම එහෙමමයි. ඒ කුටීරය ඇතුලෙ තියෙනවා .යූ' අකුර සහිත රත්තරන් මුදුවක්, ලස්සන සිනාවක් සහ රෝස පාට ෆලූඩා වීදුරුවක්. තව ජංගම දුරකථන තිබියදීත් ලියූ පෙම් හසුන්. කේන්දරවල නොගැලපීම් සහ කම්මුල් දිගේ ගලාගෙන ගිය කඳුළු බින්දු. සමහර දවස්වල එයා මට ආදරෙයි කියනකොට මම කියුවෙ මට ඔයා සහෝදරයෙක් වගේ කියලයි. කොහොමටත් සහෝදරයෙක් කියලා හිතෙන කෙනෙක් එක්ක විවාහයකටවත් රමණයකටවත් හිතා හදා ගන්න බෑ කියලා මට තේරෙනකොට ටිකක් පරක්කුයි. මම එයා දැක්කම ගිනි ගන්නෙ නැහැ. සීතල වතුර පාරකින් මුහුණ සෝදාගත්තාම ඇතිවන හැගීම වගේ හැඟීමක් මට දැනුනා.

එතකොට මම ඉන්නෙ වැඩ කරන තැන. හදිසියේ මගේ දකුණු අතේ වේදනාවක් ඇති වෙනවා. දකුණු අත දිගේ උරහිස දෙසට. රිදෙන්න ගන්නවා හදවත. කුමන කුටීරයදැයි හිතාගන්නටත් ප්‍රථම මා ඇතුලත් කෙරෙනවා රජයේ ඉස්පිරිතාලයට."හාට් ඇටෑක් එකක්" සිහි නැති වීමට ප්‍රථම එහෙම කියනවා මතකයි. ඊට පසුව කිසිවක් මතක නැහැ.

අංශක 110

"ඔයා හදිස්සියෙම ඉස්පිරිතාලෙට ඇතුල් වෙලා කියලා දැනගත්තම මම හිතුවෙ තව ලෙඩෙක් කියලා විතරයි. මම කෑම කාලා එන්න හිතුවේ ඒකයි. ලෙඩ්ඩු කියන්නේ හරිම සාමාන්‍ය දේවල් ගණයට වැටුනෙ දොස්තර කෙනෙක් වුනාට පස්සෙ. ඇස් ඉස්සරහාම මළ මිනීවල ඇස් නර්ස් නෝනලා වහනවා දැක්කට පස්සෙ. ඒත් ඒ ඔයා කියලා දන්නවා නම් සුවිශේෂී වෙනවා. සමහර වෙලාවට මගේ හදවත තාම ස්ඵන්දනය වෙන්නෙ ඔයා නිසා . ඔයා නොදන්නවා උනාට. ඒත් ඔයාගෙ හදවතේ නාල අවහිර වෙන්නට තරම් ප්‍රබල තැනක මම ඉන්න නැතුවැති කියලා මම දන්නවා. එතකොට කව්ද මේක කරපු බූරුවා කියලා හොයන්න වෙනවා. අවුරුදු පහකට පස්සෙ ඔපරේෂන් තියටර් එකේදි දකින්න තරම් අපි (අ)වාසනාවන්ත වුනේ ඇයි. ඒත් ඉස්සර මට නොපෙනෙන්න කෝල බැල්මෙන් බලලා රෝස මල් තිබුනු කුඩෙන් වහගත්ත සුදු කකුල් වලින් නහරයක් කපා ගන්න මට සිද්ධ වෙනවා. ඔයාගේ අවහිර වුන හදවතේ නාලය වෙනුවට පාස්සන්න. මේක කම්මලක් වගේනෙ. ඔයාට සිහිය තිබුනා නම් කියයි. ඒත් ඔයා එහෙම කියුවෙ නෑ. ඔයාව මම අඳුර ගන්නෙ සැත්කම කරන්න පලමුවෙන් අතින් ඉවත් කරපු යූ අකුර තියෙන මුදුවෙන්. ඒ මුදුවත් තිබුනෙ වෙද ඇගිල්ලෙමයි. හැබැයි මගුල් මුදුවට ඉහලින්. රුපියල් පන්දාහෙ යූ අකුරෙ ආදරේ. ඒත් ඉතින් මට දැන් නම් ඊට වටින මුද්දක් අරන් දෙන්න පුළුවන්. මම හිතුවෙ නෑ ඔයා ඕක දානවා ඇති කියලා. හදවතේ පැත්තක්ම පස් වලින් පිරිලා. මේ සේරටම මුල ඒක විත්තිය මම හොයාගන්නවා. ඒත් සැත්කම් කාමරයේ පස් ඉවත් කල හැකි සවලක් තිබුනේ නැහැ. මම අසරණ වෙනවා."

"මට කරන්න පුළුවන් උපරිමය කලා. ඒත් ඔයා ආයෙමත් ඇස් අරින්නේ නැති බව මම දැනගෙන හිටියා. මම ඔයාට ආදරෙයි මම කියුවා."

මගේ ඇස් වලට කඳුළු ආවා. අනිත් අයට පෙනුනට කමන් නෑ මම හිතුවා. මම ඔයා ව බදාගෙන අඬන්න පටන් ගත්තා. හිටි ගමන් නලලට සීතලක් දැනුනා. ඒ මොහොතකට විතරයි. ආයෙමත් සුපුරුදු කඳුළු.

ගන්ධබ්බ

මට කවුදෝ මන්දා ආදරෙයි කියනවා ඇහෙනවා. පුරුදු කටහඩක්. මම පාවෙලා යනවා. මම වගේ කවුද සැත්කම් මේසයක් උඩ ඉන්නවා. කවුදෝ මන්දා මාව බදාගෙන අඬනවා."අනේ ඒ එයා... අවුරුදු කීයකට පස්සෙද?"දන්නවා නම් මැරෙන්නෙ නෑ. ඒත් දැන් මැරිලා ඉවරයි. මම පාවෙලා ම යනවා. යන ගමන් එයාගෙ නලලට හාද්දක් දෙනවා.

එක පාරට වතුර පිරුණු බෝලයක් ඇතුලෙ ඉන්නවා දැනෙනවා. මම වතුර ගොඩක . කොහොමටත් මම මේ සෙවල ගතියට කැමති නෑ. ඉක්මනට මම මෙතනින් යන්න ඕන මට හිතෙනවා. මම බඩක් ඇතුලෙ. ඊයා... මට අප්පිරිය හිතෙනවා.

ඒ ගමන් කටහඬක්..

"ඉක්මනට ගෙදර එන්න සුබ ආරංචියක්. අදයි ප්‍රෙග්නන්සි රිපෝට් එක ලැබුනෙ. ලෙඩා මැරුනද? අයියෝ ගනන් ගන්න එපා. ඔය ලෙඩෙක් මැරුණු පලවෙනි පාර නෙමෙයි නෙ."

ටිකකින් වාහනයක් නවත්වන හඩ සහ මම ඉන්නා බඩ දොර දෙසට ඇවිදගෙන යන බව දැනෙනවා.

මම හිමිහිට බඩෙන් එලියට ඔලුව දාලා බලනවා. අංශක 110 . මට සතුටුයි.. ඒ වගේම දුකයි. අංශක 110 මම ඉන්න බඩේ අයිතිකාරයට හාදුවක් දෙනවා.

"මට සතුටුයි" එයා කියනවා.

"එහෙනම් ඇස් වල කඳුළු?" බඩේ අයිතිකාරිය අහනවා.

"ඒ සතුටු කදුළු"...

මට හිනා යනවා. කොච්චර අප්පිරිය වුනත් බඩේම ඉන්න මම තීරණය කරනවා.

දසුනි හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails