Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘‘අහවල් එහෙකට ද නානකොට චේං? මහන්තත්තකම නෙ... වෙන මොකක් ද? යකෝ කජු ඇට ද? කොස් ඇට ද? රුපියල් ම තිස්දාහක් නේ ද? තොපිලට නං මොක ද? මං දාඩිය මහංසියෙං හම්බුකොරපුවා... මහ අම්මණ්ඩිගෙ නම්බුව බේරන්ඩ නෙ... නැත්තං මට ඇති රුදාවකට ද? ඒ අම්මණ්ඩිගෙ ම දෝණියැන්ද නෙ... ගියා මහ ලොකුවට චේං දාගෙන නාන්ඩ... ඔය නෑවෙ ’’

අමරෙ කටට කමසිරියාවක් නැතුව දෙස් දෙවොල් තියනව. වෙනදට නං මාත් අරින්නෑ. ‘‘තියාගන්නව ඕයි තමුසෙගෙ බඩකඩුත්තුව... තමුසෙට මාව වටින්නෙ රුපියල් තිස්දාහ ද?’’ කියල අහන්ඩ අද මගෙ බෙලිකටුමල්ල හෙලවෙන් නැති හැටි.. එක අතකට අමරෙ කියනව වගේ කජු ඇට ද? කොස් ඇට ද? රුපියල් ම තිස්දාහක් නේ ද දෙයියනේ...? ටකරං කඩේ මුදලාලිය සීනි රාත්තල හොරට කිරපු දාට මිනි මරාගන්න ගෑනි... බස් කොන්දොස්තරයා සත පනහක් අඩුවෙන් දුන්නොත් උගෙ අම්ම මෝ මතක් කරල දෙන ගෑනි... අද සද්ද නෑ. අර කටයි තව මොකක් ද එහෙකුයි වහගෙන පත්තිනි අම්ම වගේ ඉන්න අපූරුව. අනේ අම්මප මෙහෙමත් ගෑනු.... තමංගෙ මිනිහ දාඩිය මහන්සියෙන් හම්බුකරලා හදවල දුන්න චේංපොට... අර කොහෙවත් යන හොර තක්කඩියෙකුට පුදල ඇවිත්... දැං ඉන්නවා... ඇටි කෙහෙල් කාපු උගුඩුදෙන වගේ...

චේංපොටක් තියා කනේ කරාබුවක්වත් නැතුව උන්න කාලෙ නේ ද අමරෙ මයෙ පස්සෙං වැටුණෙ? මොනව නැතත් ඒ ගුණේ තියන්ඩ ඕන නේ ද? රත්තරං නැතුවට දිස්නෙගහන රූපයක් තිබ්බෙ... ඒ මදෑ... ඒ කාලෙ පාරකට බහින්ඩ නෑ... පිරිමි ඇස් කී සීයක් පස්සෙං පන්නනව ද? ගෑනු ඇස් කීයක කටු ඇනෙනව ද? මොකද අමරෙ නැතුවට මට මිනිහෙක් හොයාගන්ඩ බැරිකමක් තිබුණයැ... ලොරි මුදලාලියගෙ පුතා කොච්චර නං මයෙ වටේ කැරකුණා ද... ඇඹලයා වගේ... අනේ එළදෙන. ඌ එක්ක ගියා නං ඉන්ඩ තිබුණ උගෙ අන්තප්පුරේ ද මොකක් ද එකේ බිසවක් වෙලා. සල්ලිකාරයො අපි වගේ හිඟන්නියො පස්සෙ එන්නෙ ආදරේටයැ ... අමරෙ ඒ අතිං රත්තරං... දැං ඔය ටිකක් අඩි පුඩි ගැහුවට ගෑනු අන්සෙ නරක වැඩ ඒ මිනිහා ගාව නෑනෙ. අම්මත් කැමති උනේ අමරෙගෙ හොඳ කල්කිරියාවටයි උත්සාහවන්තකමටයි නෙ. ”අතමිට යහමින් නැති උනාට අපි බොහො ම නම්බුකාරකොමට ජීවත්වෙන මිනිස්සු. දෑහෙ මූණෙ තියාගෙන යි මං මයෙ කෙල්ලව හැදුවෙ. ඒකිගෙ රූපලස්සනේ හැටියට දොස්තරෙකුට පෙරකදෝරුවෙකුට උනත් දෙන්ඩ බැරිකමක් නෑ. උඹ ඉතිං පැටියා සංදියෙ ඉඳං දන්න කියන එකා. යමක් කමක් හම්බුකොන්න එකා. ආං ඒකොමටයි මං මේ කටයුත්තට කැමැත්ත දුන්නෙ. කෙල්ල සහේට ගන්න දාට ඒකිගෙ කරට රත්තරනින් මාලයක් නැතත් චේංපොටක්කත් පැළැන්දුවොත් නේ ද පුතේ හොඳ?” අම්ම එහෙම අහනකොට ” මේ මොනව කියනව ද. මං දැනටමත් චේංපොටක් හදවන්ඩ දීලයි තියෙන්නෙ” කියල අමරෙ කිව්වෙ කිසි අගයක්, ලෝබකමක් නැතුව. එහෙම කිව්වට මොකෝ චේංපොට හදවන්ඩ නං ඇත්තෙ අම්මගෙ වචනෙ අහක දාන්ඩ බැරිකමට තමා. මොක උනත් ඉතිං දෑතෙ රස්සාවෙන් හම්බුකොරාපු සල්ලි නෙව කිසි කුම්මැහිකමක් නැතුව වියදං කෙරුවෙ.

ඒ කාලෙ අමරෙගෙ අත්දෙක තමයි අත්දෙක මේ ටවුමෙ මහ විසාල බිල්ඩිං කීයක් නං අමරෙව දැක්කම ඔළුව පාත් කරනව ඇද්ද? ගලෙං ගල නග්ගල අපට පණ දුන්න මිනිහයි කියලා. එහෙව් සත්තිවන්ත අත් දෙක තමයි අද ඔය කේඩෑරි වෙලා තියෙන්නෙ... කසිප්පු වීදුරුවට ම දියවෙලා. අමරෙ මයෙ කරේ බඳින්ඩ ඔය චේං පොට හදවන්ඩ කොච්චර නං නැහෙන්ඩ ඇද්ද? කරකාර බඳින දවසෙ දේව ප‍්‍රතිමාවකට මල් මාලයක් පලන්දන්නැහේ සර්දාවකින් චේංපොට මයෙ කරේ බැන්දෙ. දැං ඔය කසිප්පු බීලම ඔළුව කුරුවල් වෙලා දෙස් දෙවොල් තිබ්බට ඒ කාලෙ මිනිහාගෙ හිතේ මං ගැන නොසෑහෙන ආදර කරුණාවක් තිබ්බා. එහෙව් මිනිහා හදවලා දුන්න චේංපොටනෙ යකෝ මං අර හොර තක්කඩියට පුදලා ආවෙ...

මේ ගෙවල් පේළියෙ එහෙකුටවත් තිබුණ ද ඔය වාගෙ යස අපූරු චේංපොටක්? නාන්ඩ යනකොටත් චේංපොට කරෙං ගැලෙව්වෙ නැත්තෙ අනික් උන්ට පේන්ඩත් එක්කනෙ... ගෙවල් පේළියෙ ගැනු කීදෙනෙක් නං වලිකෑව ද ඔය චේංපොටට විදින්ඩ.. ‘‘අනේ මල්ලිකෝ...” ”මඟුල් ගෙදරක යන්ඩ” ‘‘දානෙ ගෙදරක යන්ඩ’’ කිය කියා... මං නෙමෙයි එහෙකුටවත් දුන්නෙ. ජසින්තා සල්ලි හදිස්සියකට උගස් තියාගන්ඩ කියලා චේංපොට ඉල්ලපු දවසෙ තමයි මගෙ යක්සය ඉහ මුදුනට නැග්ගෙ. ‘‘ඇයි යකෝ මගෙ මිනිහා සතේ පිට සතේ තියලා හදවලා දුන්න චේංපොට. මං පණ වාගේ ආරස්සා කොරන්නෙ. අනේ ජසින්තො තරහ වෙන්ඩ එපා. අමරෙ කැමති නෑ මං නාන වේලාවටවත් චේංපොට කරෙං ගලවනවට’’ මං එහෙම කියද්දි ජසින්තාගෙ කට ඇද උණේ ඔලොක්කුවට කියලා මට නොතේරුණා නෙමෙයි. ‘‘එතකොට උඹේ මිනිහා සැරින් සැරේ චේංපොට හෙට්ටි කඬේ ගිහිං තියන්නෙ පරිස්සමට වෙන්ඩැ’’ කියලා ඒකි කිවව නං මගෙ කටේ කෙළත් හිඳෙනවා සිකුරුයි. හැබෑට ඔය මිනිහා කී පාරකට නං චේං පොට හෙට්ටියට පුදල ආව ද? හැම වතාවෙම සින්න වෙන්ඩ නොදී බේරගත්තෙ මං උගුර ලේ රහ වෙනකං ‘‘කීරේ කීරේ’’ කියලා බෙරිහංදීලා හොයපු සල්ලිවලිං. දැං මහලොකුවට රුපියල් තිස්දාහ ගැන කතා කරනවා. තිස්දාහක් වියදං කොරල චේංපොටක් හදවල තියෙන්නෙ මට ආදරේකට නෙමෙයි. සාක්කුව හිඳෙනකොට විකුණගෙන කන්ඩ.

‘‘බොට හොඳට ම විස්සාස ද චේංපොට වැටුණමයි කියලා? ඇයි යකෝ මේකිට මසක්කම වෙන්ඩැ මේ මහ දවාලෙ චේංපොට වට්ටගත්තෙග කොහෙද ඉතිං... තාම මඟුල්විසේ ගිහිං නෑනෙ... නැත්තං මේ ගෙදර යස අගේට නලේ තියෙද්දි... යනවැයි පාරෙ ළිඳේ නාන්ඩ... අර දෙනෝදාහක් යන පාරෙ ඉඳං රෙදි ගලෝනකොට රෙද්දෙ පැටලිලා වැටෙන්ඩෑ...’’

’’නෑ මං නානකොටත් චේං පොට තිබ්බ... නාල එනකොට වැටෙන්ඩැත්තෙ මයෙ හිතේ...’’

‘‘කොහෙද යකෝ දියරෙදි ඇඳල චේං දාගෙන නාන ගෑනු ඉන්නෙ? තොපිල වගේ ගෑනුන්ට තලන්ඩ ඕනා බූවල්ලෙං’’


වෙනද මේ වගේ වෙලාවට බට්ටොවැල පුපුරන්නැහේ අමරෙට උත්තර බඳින මගෙ කටට අද වචන එන්නැති හැටි. හිතේ හොරේනෙ වෙන මොකක් ද? මෙච්චර ඕන්නෑ... ඊට මෙහායිං දෙයක් කිව්වත් වෙනද නං මං පරල වෙන්නෙ කාලි අම්මගෙ නිවුන් සහෝදරී ගාණට... අද කටයි අතපයයි සේරෝම හිරිවැටිල තියෙන්නෙ නාලා, හීතලේ අල්ලලා නං වෙන්ඩ බෑ. එක අතකට අරූ චේංපොට කඩං යනකොට අඩුගානෙ ‘‘මෙන්න හොරූ...’’ කියලවත් කිව්ව නං පාරෙ ඈතින් යන එහෙකුටවත් නෑහි තියෙන්න නෑ. ඒ වෙලාවෙ පාරෙ ළඟපාතක කව්රුවත් නොගියෙ මයෙ ම නරක වෙලාවට. ඒ උණාට ටයර් කඬේ තිබ්බනෙ බඹ දෙක තුනක් ඇතිං. ගිනි මද්දහනෙ හන්ද ටයර් ගන්ඩ එන මිනිස්සු නැතත් කඬේ කොල්ලවත් ඉන්ඩ නැතෑ. කෑගැහුව නං ඌ දුවගෙන එන්නැතුව ඉන්නෑ. කොහෙද... කට අරින්ඩ හිත දුන්නෙම නෑනෙ. අනේ අම්මප මුං තමයි ගෑනු. එහෙමයි කියලා තමංගෙ ජීවිතේ බේරපු මිනිහා... මොන හිතකිං අල්ලල දෙන්ඩ ද? බේරුවෙ ඌ හන්දම නැතිවෙන්ඩ ගිය ජීවිතේ නෙ. චේංපොට බේරගන්ඩ ඌත් එක්ක පොරබැදුවෙ නැත්තං මාව ළිඳට වැටෙන්නෙ අහවල් එකටයැ... අනේ මංදා... එහෙනං ඌට තිබුණනේ ‘‘තෝ ළිඳ ඇතුළෙ ම මකබෑවියං’’ කියලා පස්ස නොබලා දුවන්ඩ... මං මරුවිකලෙන් දඟලනකොට ඒකා ආපහු දුවලා ඇවිත් මාව ගොඩට ඇදල ගත්තෙ... උගෙ ජීවිතේ ගැනවත් නොහිත... මනුස්සකමටනෙ... යකාගෙ ’‘මනුස්සකම’’ ...චේං කඩන්නෙ මනුස්සකමට ද? බීගෙන ඇවිත් හොඳටෝම තඩිබාලා... ? වෙනකොට සේරෝම අමතක වෙලා වාගෙ ‘‘මං ඔයාට ගැහුවෙ ආදරේටනෙ රත්තරං’’ කියාගෙන ඇඳට බඩගානකොට අමරෙ ළඟත් හරීරීරීරී..යට තියෙනව ඔය ජාතියෙ ‘‘මනුස්සකං’’

අමරෙ තාම එළිපත්ත උඩ කුදගහගෙන කටු කුටු ගානව. ‘‘ගෝරනාඩුව’’ ‘‘කුටුකුටුවකට’’ හැරෙන්ඩ ඇත්තෙ මං බීරි ඇතින්න වාගෙ ඉන්න හන්ද වෙන්ඩ ඇති. බනින්ඩ බනින්ඩ බුකවගෙන ඉන්නෙ නැතුව ‘‘චේංපොට හොරෙක් කඩාගෙන ගියා’’ කිව්වනං ඉවරයි... මොන ‘‘ඉවරයක්’’ ද? එතකොට කියයි ‘‘කඩාගෙන ගියා ද නැත්තං හොර වාහෙ කෙනෙකුට පුදල ආව ද කව්ද දන්නෙ’’ කියලා. එක අතකට ‘‘හොරවාහෙ කෙනෙකුට පිදුව’’ වාගේ තමා. නැත්තං හරන්තිකයව පොලිසියට අල්ලලා දෙන්ඩ තිබ්බනෙ. පොලිසිය අල්ලයි උගෙ නැට්ට. පැමිණිල්ල ලියාගෙන කියයි අපි හොයලා බලල දන්නංනං කියලා. එච්චර තමයි ඉතිං ‘‘හෙවිල්ල’’ හොරාට යන්ඩ ඇරල දැං පොලිසිය පිටිං අරින්ඩ හදනවා. ඒ වෙලාවෙ කෑගැහුව නං හරන්තිකයව කුදලගෙන පොලිසියට ගෙනියන්ඩ බැරුවයැ. බිරංතට්ටු වෙලා බලන් හිටිය මිසක ඌ ආගිය අතක්වත් නිච්චියට ගත්තෙ නෑ නෙව? පොලීසියෙයි කියල මොකෝ ඉර්දි බලෙං හොයන්ඩයැ? ‘‘හොරා දැක්කොත් අඳුරගත්තෑකි ද?’’ කියල පොලීසියෙං ඇහුවොත් ? අපොයි ඒ මූණකට නං කොහොම අමතක වෙන්ඩ ද? ආං පිරිමි. මාව එක පිම්මට ළිඳෙං ඇදල ගත්තෙ හරියට නීලමහ යෝධයා වාගෙ කිසි ගැම්මක් නැතුව. අපේ අමරෙ නං එහෙම ළිඳ වටේ දුව දුවා ‘‘අනේ වරෙල්ලකෝ... අපේ ගෑනි ළිඳේ වැටුණෝ...’’ කියලා බෙරිහන් දෙයි. ළිඳෙං ඇදල ගත්තු පාර මාව උගේ දඬු අඬුවලට හිර වෙනකොට දිය රෙද්දත් බුරුල් උණා ද කොහෙද... උගේ පපු කැනැත්තෙ ඩිඃ ඩිඃ සද්දෙ මයෙ පපුවටත් දැනුනෙ ඒක නෙ. කොහෙද... දිය රෙද්ද ඇඳගන්ඩවත් මට සිහියක් තිබ්බයැ. මං උගේ ඇස් දෙකේ පැටලුණා නෙව. ඒවා නං ඇස්ම තමයි. මොන ඉනාවක් කවල තිබුණ ද මන්ද. හරන්තිකය නං එක තප්පරේට ඇස්වල පැටලුම ලිහාගෙන පස්සට පැන්නෙ චේං කැඩිල්ල මදිවට ඉස්තිරී දුසනේකටත් අහුවෙයි කියල බයේ වෙන්ඩැ. ඌ මාව අතහැරියා නෙමෙයි... තල්ලු කොරා. ඒ තල්ලු කිරිල්ලට තව ඩිංගෙං මං ආයෙත් ජබොඃ ගාලා ළිඳේ. මොන කාන්දං බලේකට ද මන්ද ඌ තල්ලු කොළ වේගෙට මාව පස්සට විසික් නොවී ඌ දිහාවට ම ඇදිලා ගිය එකනෙ පුදුමෙ. හරන්තිකය පස්සෙං පස්සට ගිහිං ආපහු හැරිලා දුවනකොටත් මං ගල්ඉබ්බි වාගෙ බලං උන්නනෙ කටේ පිට්ටු පුරෝගෙන. මං කෑගැහුවා නං පාරෙ රස්තියාදුවෙ යන කොල්ලෙක් දෙන්නෙක්වත් දුවල ඇවිදින් හරන්තිකයව අල්ලලා උගේ ඇටකටු හයිය ද බලාවි. එක අතකට ළිඳ ඇතුළෙ මැරෙන්ඩ ගිය තමංගෙ ජීවිතේ බේරගත්ත මිනිහට ගුටි අන්නලා උගෙ අතපය කඩවන එක මොන ගුණමකුකමක් ද? මං කෑගහලා ඌව අල්ලලා නොදුන්නත් මාව ළිඳෙං ගොඩගන්ඩ ආපහු දුවං එනකොට කවුරු හරි දැක්ක නං... සිද්ධිය මොකක් ද කියල කාට හරි පාරෙ යන එහෙකුට නිකමට ඉව වැටුණා නං... වෙන්නෙ හරන්තිකයගෙ ඇටකටු කුඩුවෙන එක තමා. ඌ චේංපොටත් අරන් දුවන්නැතුව මාව ළිඳෙං ගොඩ ගන්ඩ ආවෙ උගෙ හතර හංදි ගැන ආසාවක් නැතුව වෙන්ඩ බෑනෙ. මං ගැන උපන්න අනුකම්පාවටනෙ දෙයියනේ. තමං හන්ද නැතිවෙන්ඩ යන මනුස්ස ජීවිතයක් බේරගන්ඩ නෙ. ඒකා හොරෙක් උණාට මිනීමරුවෙක් නෙමෙයි නෙ. මේ ඇත්තෝමයි මට ඒ වෙලාවෙ නං ඌව පෙනුණෙ මගෙ පණ බේරගන්ඩ දිවියලෝකෙං බැහැපු සුර කුමාරයෙක් ගාණට... පණ නැහෙන්ඩ ගියෙත් ඌ හන්දමයි කියන එකේ වගේ වගක් නැතුව ගිය හැටි.

එක අතකට ඌ හිතාමතා මාව ළිඳට තල්ලු කොරා නෙමේනෙ... මං පොරබදන්ඩ ගිහිං නෙ වැටුණෙ... එහෙමයි කියලා ඌව සුදනා කරන්ඩ හදන එක හරි ද? චේං කඩනව ද සත්පුරුසයො. ඒකා චේං කැඩුවෙ බඩගින්නට වෙන්ඩ බැරි ද? ඌට නං එහෙමට කෑම අහේනියක් පෙනුන් නෑ... ඔය අතපය... පපුව... තිබුණෙ නිකං යකඩිං වාත්තු කළා වගේ... ඌට සල්ලි හදිසියක් උණා වෙන්ඩ බැරි ද? ණයක් තුරහක් ලෙඩක් දුකක් උණා වෙන්ඩ බැරි ද? උගෙන් කන්ඩ තව කටවල් හත අටක් ඉන්නව වෙන්ඩ බැරි ද? දීග ඇරිච්ච අක්කලා නගාලයි, උංගෙ පොඩි එව්වොයි, නාකි අම්මල අප්පලයි සේරෝටම කන්ඩ අඳින්ඩ දෙන්නෙ මේ මිනිහා වෙන්ඩ බැරි ද? යකාගෙ වැඩක් නෙ... උගෙ සනුහරේ බඩගින්නෙ උන්නැයි කියල අපි පළි ද? අපිත් කී දවසක් නං බඩපණුවන්ට සාප කර කර ඇල් වතුර බීල තියෙනව ද..?

දැං කාලෙ මිනිස්සු ගස් ගල් වාගෙ හිටියට ඇඟවල් ඇතුළෙ මහ බයානක ලෙඩ. අරූගෙ ඇඟෙත් එහෙම ලෙඩක් තිබුණ වෙන්ඩ බැරි ද? අනේ... මොන...? ඌට නං ඇති ලෙඩක් නෑ. ගෑනියෙකුව තනි අතින් ළිඳෙං ගොඩට ඇදල ගන්ඩ පුළුවන් ද ලෙඩෙකුට? එහෙනං අපේ අමරෙ කොච්චර ලෙඩා දුකා ද? එහෙමැයි කියල ඒ මිනිහ ගියා ද චේං කඩන්ඩ ? ඒ උණාට අරූගෙ දරුවෙක් මල්ලෙකුට හරි එහෙම ලෙඩක් දුකක් හැදිල වෙන්ඩ බැරි ද, ලස්ස ගාණක් වියදං වෙන? දැං කාලෙ ලෙඩවලට බේත් නෙමෙයි, සල්ලි නෙව ඕන වෙන්නෙ... ලස්ස දහයයි පහළොවයි කිය කියා ඔය පොළවල් ගානෙත් සල්ලි එකතු කරන්නෙ... හරි, ලෙඩක් දුකක් උණාමයි කියමු. එහෙමැයි කියල මයෙ චේංපොට පළි ද? ඇයි යකෝ... ලෙඞ්ඩුන්ට බේත් කරන්ඩ රත්තරං චේං පුදන්ඩ මං විසාකා සිටු කුමාරි ද? අරූටත් බැරුවයැ බස් එහෙකටවත් නැගල විරිදුවක් කියල කීයක් හරි ඉල්ලගන්ඩ... විරිදු කියල කීයක් හොයන්ඩ ද? එදා වේල කන්ඩ සොච්චමක් හම්බෙයි... ලස්ස ගාණක් කොහොම හොයන්ඩ ද? එහෙනං ඌට දිව ගෙවිල කොට වෙනකං විරිදු කියන්ඩ වෙයි... දැං කාලෙ මිනිස්සුත් ඉල්ලන පළියට සල්ලි දෙන්නෑ... යසයි වැඬේ... එතකොට උගෙ චේං කැඩිල්ලෙ වැරැද්දක් නෑ... ඌ සුදනා. අම්මාපල්ල... රුපියල් ම තිස්දාහක් වටින රත්තරං චේංපොට... නිකං නෙමෙයි තමංගෙ මිනිහා කරකාර බඳින දවසෙ පලන්දපු චේංපොට... කොහෙවත් යන හොර තක්කඩියෙකුට පූජ කරල... දැං ඌට සුදු හුණු ගාන්ඩත් හදනවා. අනේ අම්මප. අර අමරෙ කියන්නැහෙ ‘‘උඹල වාගේ ගෑනුන්ට තලන්ඩ ඕනා බූවල්ලෙං... ’’

රුවනි සිසිජා ජයකොඩි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails