Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තාත්තා එහා ඇඳේ. තවම නිදි නැහැ. හදිසි ශල්‍යකර්මයකට පස්සෙ. සුළු ශල්‍යකර්මයක් වුණත් හදිසියෙමයි කරන්න සිද්ධ වුණේ.

දැන් තරමක් සනීපයි. දවස් දෙක තුනකින් ගෙදර යන්න පුළුවනි.

පහුගිය දවස් තුනේ ලොකු මල්ලියි, නංගිගෙ මහත්තයයි තාත්ත ළඟ තනියට නැවතුණා. පිට කෙනෙක්ව ළඟ නවත්තනවට වඩා අපි අපිම ඒ කාරියට උර දුන්නෙ තාත්ත ගැන වැඩි අවධානයක් යොමු කරගන්නම යි.

අයියට ගොඩක් වැඩ නිසා තාත්ත ළඟ ඉන්න වෙලාවක් නැත්තං අපිට ඉන්න පුළුවන් කියල මල්ලියි, මස්සිනයි කිව්වට මං අද දවස භාර ගත්තෙ කැමැත්තෙන්මයි.

කාරණා දෙකක් මත. එකක් තාත්ත ළඟ දවසක්වත් ඉන්න එක මගේ යුතුකම. අනෙක් අයටම බර නොදී. වැඩ රාජකාරි අධික තමයි, බොහොමත්ම අවිවේකී තමයි. ප්‍රශ්න. . . ප්‍රශ්න. . . කාටද ප්‍රශ්න නැත්තෙ.

දෙවැනි කාරණේ හෙට උදේ වෙන කොට භාරදෙන්න තියෙන වාර්තාව ලියල ඉවර කරන්න අවස්ථාවක් උදා කරගැනීම.

ගෙදර හිටියනං කීයටවත් ලියන්න වෙන්නෙ නෑ. ඔෆිස් එකේදිනං ලියනව තියා ලියන්න පටන් ගන්නෙකත් බොරු වැඩක්. හැම වෙලාවෙම කවුරු හරි කාමරේට එබෙනව. ඔෆිස් එකේදි දොර වහගෙන වැඩ කරන්න විදිහකුත් නෑ, ගෙදරදි වගේ. එහෙම වුණොත් හොඳ පදයක් හැදෙයි. සෙකට්‍රි ඉන්නෙත් එහා පැත්තෙනෙ.

අන්න රත්නජීව මහත්තයි, මාධවී නෝනයි කාමරේ වහගෙන ඇතුළෙ කියල මුළු ඔෆිස් එකම ගිනි ගනීවි.

මාධවී නං අකමැති වෙන එකක් නෑ දොර ලොක් කරනවට. ඒත් දැන් ඕවට අපි වයස වැඩියි. කොලු කාලෙ කරපුව දැන් බෑනෙ. පනහත් පැනලනෙ. . .

තාත්ත ඇඳේ දිගා වෙලා ටී. වී. එක බලනව. මොනා හරි ඕනෙනං කතා කරන්න කියලයි මම හැම වෙලේම කියන්නෙ. ඒත් මං දිගටම ලියන නිසා තාත්ත බාධා කරන්න කැමති නැති බව මම දන්නව. ඒ නිසා විටින් විට මතක් වුණාම තාත්තට මොනාත් ඕනිද කියල මං අහනව.

ඒත් හිත එකලාසයක් කරගෙන මේ වැඩේ කරන එක ලේසි නෑ. ගෙදර තව හොඳයි. ගෙදරදිත් වැඩක් කරන්න ඉඳගත්ත වෙලාවෙ ඉඳලම එක එක බාධා කිරීම්. දොර වහගෙන හිටියොත් එළියෙ ඉඳන් හරි කතා කරනව.

''අනේ ඔයා දවසම නැහිල ඇවිල්ල ගෙදරදිත් ඔෆිස් එකේ වැඩද. . . ? ''

''අනේ තාත්තෙ අක්ක මට ඉන්න දෙන්නෑ. . . ''

''තාත්තට කරදර කරන්නෙපා. එයා ඔෆිස් එකේ වැඩක්. නිවාඩු දවසෙ වෙලත් එයාගෙ ඔළුවෙ තියෙන්නෙ ඔෆිස් එකම තමයි. . . ''

''තාත්තෙ පොඩි ගණිත ප්‍රශ්නයක්. . . අම්මට කියල දෙන්න තේරෙන්නෑලු. . . ''

''හෙට උදේට මොනාද හදන්නෙ? මස්ද, මාළුද. . . මාළුනං ඉවර වෙන්නත් ළඟයි. ''

''අන්න දවාලෙ අම්ම කෝල් කරා. මේ වීක්එන්ඩ් එකට එනවද කියල ඇහැව්ව. තව පොඩ්ඩෙන් ඒක කියන්න අමතක වෙනව. . . ''

''තාත්තෙ අපි නිදාගන්න යනව. . . ''

''මෙන්න ටීවී එකේ දේශපාලන සංවාදෙ පටන්ගත්ත. ඔයාගෙ ෆේවරිට් වැඩසටහන. . . ''

''අනේ රත්නෙ. . . කීයටද ඕක ඉවර වෙන්නෙ. මට නිදිමතයි. . . යමු නිදාගන්න. ''


කම්මලේ බල්ලට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නෑ වගේ මට ඕව හොඳට පුරුදුයි. මේ කණෙන් ඇතුළු වෙලා අනෙක් කනෙන් පිට වෙනව කිසිම සංඥාවක් මනසට ළඟා නොවී.

ඒත් මෙතන ඊට හාත්පසින්ම වෙනස්. විනාඩි පහෙන් පහට දොර ඇරගෙන කවුරුම හරි එනව. කවුරුම හරි කියන්නෙ පිට අය නොවෙයි, ඉස්පිරිතාලෙ විවිධ තරාතිරම්වල අය. නර්ස්ල, ඇටෙන්ඩන්ට්ල, පිරිසිදු කරන අය, උණ බලන අය, ප්‍රෙෂර් චෙක් කරන ළමයි, සේලයින් ලෙවල් එක බලල යන සහ සේලයින් බෝතලේ මාරු කරන තරුණියන්, කෑම ගෙනෙන, ආයෙම හිස් පිඟන් ගෙනියන්න එන පිරිමි ළමයි, කොහොමද දැන් සනීපද කියල යමිං එමිං ගමං අහල යන මාණවිකාවන්, සමහර විට එකම ප්‍රශ්නෙ අහන්න එන විවිධ තරාතිරමෙ අය, සිස්ටර්ල, නර්ස්ල, හෙඩ් නර්ස්ල, මේට්‍රන්ල, සාමාන්‍ය හා විශේෂඥ වෛද්‍යවරුන් සහ වරියන්. මෙකී නොකී හැට හුටාමාරක් කාමරේට එබිකම් කරනව.

මුලින් මුලින් දොර ඇරගෙන කවුරු හරි ආවම හිස ඔසවල බලල, අහන සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න උත්සුක වුණ මම හවස් වෙනකොට ඒ වැඩේ අත හැරල දැම්ම. සමහර වෙලාවට තාත්ත පිළිතුරු දෙන්නෙත් තරමක් තරහකින්. මම හිස නොඔසවාම වාර්තාව ලියන එක කරගෙන යනව. දොස්තර කෙනෙක් ආව බව දැනුණම නම් මගෙ අවධානය ඒ වෙත යොමු කරනව. හිතෛෂී බව පෙන්නන්න බොරු හිනාවක් මූණට නගා ගන්නව. හවස පහ, හය වෙනකොට වැඩ මුරය මාරු වෙනව. එතකොට වෙනත් කණ්ඩායම් රාත්‍රී මුරය භාර ගන්නව. ඒ අයත් කාමර ගානෙ යනව.

එක අතකට මෙහෙම අවධානයක් තියෙන එකත් හොඳයි. අන්තිමේ බිල එනකොට තරු පෙනෙන්නෙ නැත්නම්.

රෑට කෑවට පස්සෙ මම ආයෙම ලියන්න ඉඳගත්ත. වාර්තාව ගොඩක් දුරට ලියල ඉවර වෙමින් තිබුණෙ.
දොර ඇරෙන සද්දෙත් එක්ක කාන්තා පරාණ දෙකක් කාමරයට ඇතුළු වෙනු මගෙ හොරැ'හැට පෙනුණ. මං හිස ඔසවල බැලුවෙ නෑ. . . දිගටම ලියමින් හිටිය. හරිම බැරෑරුම් මුහුණක් ආරූඪ කරගත්තෙ ආ අයට දැනෙන්නත් එක්කයි.

''දැන් තාත්තට කොහොමද. . . ? ''

''දැන් හොඳයි. . . ''

''යූරින් පාස් වෙනවද. . . ? ''

''ඔව්. . . ''

''සේලයින් එක ඉවර වෙන්න ළඟයි. චම්පට කියන්න තව ටිකකින් ඇවිත් මාරු කරන්න කියල. ''

''හොඳයි මැඩම්. . . ''

''මම චීෆ් මේට්‍රන්. ''

''ආහ්. . . '' තාත්ත හඬක් පිට කළේ ඒ බව දැනගෙන හිටියනං මීට වඩා සැලකිල්ලෙන් පිළිතුරු දෙනවනෙ කියල කියන්න වගේ.

''වෝඩ් රවුන්ඩ් එක යන ගමන්. . . ''

''හොඳයි. . . ''


චීප් මේට්‍රන් සහායිකාවත් එක්ක වැඩි වෙලාවක් ගත නොකර පිට වෙලා ගියා. සමහර විට මම හිස එසෙවුව නම් තව ටිකක් විස්තර කතා කරයි. එයාගෙ කටහඬ මිහිරි වුණත් කිසියම් තලතුනා බවක් පළ කළා. එයාගෙ මුහුණ දැකගන්න හිතුණත් මම ඒ පැත්ත බැලුවෙ නෑ. එයා දකින්න ඇත්තෙ මගෙ මුහුණෙ ප්‍රොෆයිල් එක.

පසුවදා උදෙන්ම මස්සිනා ආව. මට කෙළින්ම වැඩට යන්න අවශ්‍ය ඇඳුම් එයා ගෙදරින් අරගෙන ආවෙ මගෙ ඉල්ලීම පිට. දහසක් බාධා කිරීම් මැද වුණත් වාර්තාව ඉවර කරගන්න ලැබුණ එක ලොකු දෙයක්.

* * * * * * * * * * * * * * *

දවස් දෙකකට පස්සෙ මම ආයෙම ඉස්පිරිතාලෙ ඩියුටි බාර ගත්ත. ආයෙම වතාවක් තාත්ත ළඟ ඉන්න. බොහෝ විට හෙට හවස ඩිස්චාර්ජ් කරන්න ඉඩ තියෙනව. ඒ නිසා මේ මගෙ අවසාන ඩියුටි දවස.

පෙරේද ලියල දුන්න වාර්තාව ඩිරෙක්ටර් බෝඩ් එකෙන් අනුමත කරල තිබුණෙ සංශෝධන සහිතව. ඒ ටික අද ලියල හෙට උදේට දෙන්න පුළුවනි. උදේම මාධවී ලවා ටයිප් කරවල පිටපත් හදල දෙන්න ඕනෙ හෙට හවසම ෆොරින් ඩෙලිගේෂන් එකට දෙන්න.

එදා මට ගොඩක් කාර්යක්ෂමව රිපෝට් එක ලියන්න පුළුවන් වුණ නිසා, ඒ කියන්නෙ ඔෆිස් එකේදි නැත්නම් ගෙදරදි ලියනවට වඩා වැඩි වේගයකින් වඩාත් හොඳින් නිමා කරන්න ලැබුණ නිසා තාත්තගෙ ලෙඩ ඇඳ අසලට වෙලා ඉතිරි සංශෝධනත් කරන්න මම තීරණය කළා. ඒ එක්කම තවත් දවසක් තාත්ත ළඟ ඉන්න ලැබෙන එකත් හිතට හොඳයි.

පුංචි කාලෙ මං නිතර අසනීප වුණ නිසා දවල් රෑ නැතිව මාව ඉස්පිරිතාලෙට අරන් ගිහින් ප්‍රතිකාර කරපු හැටි අම්ම පහු කාලෙදි සිහිපත් කළා. ඒ ගොල්ලන්ට මේ තරමින්වත් ප්‍රතිඋපකාර කරන්න ලැබීම කොයි තරම් දෙයක්ද?

අදත් ආපු වෙලාවෙ ඉඳන්ම තාත්තට අවශ්‍ය දේ ලබාදෙන අතරම, මම වාර්තාවෙ සංශෝධන ටික ඉවර කරන්න පටන් ගත්ත. බලන් ගියාම ඒක සංශෝධනයක් කරනවට වඩා නැවත ලිවීමක් වගේ. මාධවීට මුල ඉඳල ආයෙම ටයිප් කරන එක ලේසි වෙයි.

ඔව්. . . එහෙම කරන්න කියනව. නැත්නම් මල වදේ. වචනෙන් වචනෙ අහ අහ ළඟට එයි. පාත් වෙන ගමන් පපුව පැත්ත මගෙ උරහිසේ වද්දන එක තමයි කාගෙන ඉන්නම බැරි. මාත් අකමැති නැතිවම නොවෙයි. ඒත් එහෙම කළාම මාවත් ඇවිස්සෙනව. එක එක ඒව කරන්න හිතෙනව. ඒ වුණාට දැන් මම බොහොම පරෙස්සමෙන් වැඩ කරන්නෙ. නිකං කාඩ් එක සවුත්තු කරගන්න බෑ. ඒ දවස්වල නිකං ඉන්න බැරිව එහෙං මෙහෙං අතපත දාන්න ගිහිල්ල මමමයි මාධවීව නරක් කරගත්තෙ. දැන් මොනාත් කියන්නත් බෑ.

අවුරුදු කීයක් මාත්තෙක්කම වැඩ කළාද? අපි කරපු දේවල් අපි දෙන්න විතරයි දන්නෙ. ඒත් ඔෆිස් එකේ අය හිතා ඉන්නෙ මං බෝ පැළයක් කියල.

''රත්නජීව මහත්තය කොහොම බේරිල ඉන්නවද දන්නෑ මාධවී නෝනගෙන්. . . මහත්තය හින්දම හොඳා. . . ''

සමහරු එහෙම කතා වෙන බව සුමතිපාල දවසක් කිව්වෙ මට හොඳ රෙකමදාරුවක් දෙන්නයි. මාධවීත් උන්න ගමන් අවකැපෙන කතාවක් කියනව, පොඩි පහේ හින්ට් පාස් කරනව. ඉස්සර කරපු ඒව මතක් කරල.

''අපි දැන් වයසයිනෙ. . . '' මම කියනව.

''අපෝ සර්. . . පනහත් මොන වයසක්ද. . . කොහොමත් මම කැමති පනහ පැනපු අයට. . . ''

මාධවීගෙ කට අවුස්ස ගත්තොත් ඉවරම තමයි.

''ඔය ලියුම ඉක්මනට ටයිප් කරල ගන්න. '' මම කතාව වෙන පැත්තකට තල්ලු කරල දානව.

පුරුදු වෙලාවටම චීෆ් මේට්‍රන් ආව. තාත්තගෙ සැප දුක් විමසුව. මම නොදන්න ගානට දිගටම ලියමින් හිටිය.

''ලොකු පුතා අදත් ඉන්නෙ. . . ''

''ඔව්. . . ''

''මොනාද එයා ඔය ලියන්නෙ. පෙරේදත් මම එනකොට ලිය ලිය හිටිය මතකයි. . . ''

''මේ ඔෆිස් එකේ වාර්තාවක්. හෙට උදේට දෙන්න තියෙනව මිස්. . . ''
මම බාගෙට හිස ඔසවල ඇය දෙස නොබලාම පිළිතුරු දුන්න. ආයෙමත් ලියන්න ගත්ත.

චීෆ් මේට්‍රන් මොනාත් උත්තර දුන්නෙ නෑ. තවත් මොහොතක් නොසෙල්වී සිටි ඈ කිසිවක් නොකියාම ඉවතට ඇදෙන ඡායාව මට පෙනුණ.

''බය වෙලා වගේ බලං ඉඳල එක පාරටම ගියා. ඊයෙත් මගෙං විස්තර ඇහුව. . . '' තාත්ත කිව්ව
.
මං ඒ කතාව ඒ තරම් ගණන් ගත්තෙ නෑ. ඊට පස්සෙත් විවිධ තරාතිරමෙ අය ඇවිල්ල ගියා. සුපුරුදු ප්‍රශ්න ඇහුව. යූරින් සාම්පලුත් ගත්ත. සේලයින් බෝතලේ මාරු කළා. මම දිගටම ලිව්ව.

රෑ දහයට විතර තාත්තට බේත් පෙත්තක් දෙන්න තරුණ නර්ස් කෙනෙක් ආව. මම ලිවීම අහවර කරල ටීවී එක බලමින් හිටියෙ. කොහොමත් මේ බේත් වාරය දෙනතුරු නිදාගන්න යන එකේ තේරුමක් නැහැ.

''සර්ගෙ වැඩ ඉවරනං චීෆ් මේට්‍රන් ඇවිල්ල යන්න කිව්ව. . . ''

''මට. . . ? ''

''ඔව්. . . මැඩම් ඔෆිස් කාමරේ ඉන්නව. ''


* * * * * * * * * * * * * * *

මම මේ සිද්ධි දාමය සටහන් කරන්නෙ අවුරුදු පහකට පස්සෙ. ඒ කියන්නෙ තාත්ත රෝහල් ගත වෙලා හිටියෙ මීට අවුරුදු පහකට කලින්.

නමුත් මේ කතාවෙ ආරම්භය එතැනිනුත් අවුරුදු විසි පහක් ආපස්සට දිවෙනව. ඒ තරම් දීර්ඝ කාලයක් වුවත් මට හැම සිදුවීමක්ම රූප රාමු පෙළක් වගේ හිතේ මවාගන්න පුළුවනි. කිසියම් අපිළිවෙළකට වුණත්.

මේ ලියන මොහොතෙ මම ඉන්නෙ රෝහල් ගත වෙලා. සම්පූර්ණ බොඩි චෙකප් එකකට. හදිසියේම සුළු පපුවෙ ඇම්මක් හැදුණට පස්සෙ ඩොක්ටර් තීරණය කළා බොඩි චෙකප් එකක් කරන එක හොඳයි කියල. තාත්තගෙ ඔපරේෂන් එක කළ පෞද්ගලික රෝහලටම ඇතුළු වෙන්නයි ඩොක්ටර් උපදෙස් දුන්නෙ. ඒත් මම කාරුණිකව ඉල්ලා හිටිය මාව වෙනත් රෝහලකට යොමු කරන්න කියල.

මේ ඩොක්ටර් විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගද්දි මගේ සමකාලීනයෙක්. බෙහෙත් ගන්න ආවට පස්සෙ තමයි අඳුන ගත්තෙ. කැම්පස් කාලෙ ඩොකාල ආටොත් එක්ක ඒ තරම් එකට ගැවසෙන්නෙ නැති නිසා දැන හැඳුනුම්කමක් තිබුණෙ නෑ. එයා මට මිස්ටර් කිව්ව නිසා මම ඩොක්ටර් කියල කතා කළත්, අප අතර ඊට එහා ගිය හිතවත්කමක් ගොඩනැඟිල තිබුණ.

''මිස්ටර් රත්නජීව. . . මේ හොස්පිටල් එකේ තමයි ලංකාවෙදි නිවැරැදිවම මේ චෙකප් එක කරන්න සුදුසු ඉක්විප්මන්ට් තියෙන්නෙ. ''

''ප්ලීස් ඩොක්ටර්. . . මාව වෙන තැනකට යවන්න. මෙතන නම් කොහෙත්ම බෑ. . . ''

''ඒක මට කියන්න බැරි පෞද්ගලික කාරණාවක්ද? ''

''මට ඒක නොකිය ඉන්න පුළුවන්නං මම වඩාත් කැමතියි. . . ඒක මගෙ ජීවිතයෙ අතිශය පෞද්ගලික කාරණාවක්. ''

''මිස්ටර් රත්නජීව මුණ ගැහෙන්න අකමැති කෙනෙක් එතන ඉන්නවද. . . ? මම හරි නේද? ''

''හරියටම හරි ඩොක්ටර්. . . එතෙන්ට ගියොත් නැති හාට් ඇටෑක් එකක් හැදෙන්න පුළුවනි. . . ''


මම විහිළුවට වගේ කිව්වම ඩොක්ටර් ඒක බොහොම සීරියස් විදියට ගත්ත. මාව වෙනත් පෞද්ගලික රෝහලකට යොමු කළා.

මම කතාව නවත්වපු තැනින් ලියන්න පටන් ගන්නම්. අර තාත්ත එක්ක රෝහල් කාමරයෙ නැවතිලා හිටිය අවසාන රාත්‍රියෙ චීෆ් මේට්‍රන් මට එයාගෙ කාමරේට එන්න කියල පණිවුඩයක් එවපු තැනින්. එතැන සිට වසර විසිපහක අතීතයට.

* * * * * * * * * * * * * * *

මම වාට්ටුව මැද නර්ස්ල ගැවසෙන ඉමේ විපරම් කළේ චීෆ් මේට්‍රන්ගෙ කාමරය හරියටම දැනගෙන නොසිටි නිසා.

''සර්. . . මොකක් හරි ප්‍රශ්නයක්ද? ''

''නෑ මිස්. . . මේ. . . මට එන්න කියල පණිවිඩයක්. . . ''
එහෙම කියන කොටම මට පණිවිඩය ගෙනා නර්ස් මා වෙත දුවගෙන ආව.

''මේ සර්ට මැඩම් කතා කළා. . . සර්! පොඩ්ඩක් ඉන්න මං සර් ආව කියල කියන්නං. . . ''

අසල වූ කාමරයක් ඇතුළට ගිය ඇය මොහොතකින් ඉන් පිටතට ආවෙ දොර බාගෙට ඇරගෙන ''සර්ට එන්නලු'' කියමින්.

මා ඇතුළු වනතුරු එසේ සිටි ඇය කාමරයේ දොර වසාගෙනම පිටතට ගියා. චීෆ් මේට්‍රන් මේසය මතට හිස යොමු කරගෙන හිඳගෙන සිටි ඉරියව්වෙන්ම හිටිය මිසක හිස ඔසවා මා දෙස බැලුවෙ නෑ.

ගෝලාකාර හැඩයට ඔප මට්ටම් කර තිබූ ඇගේ බොකුටු කොණ්ඩය දෙස බලාගෙන මා මොහොතක් ඈ ඉදිරියේ සිටගෙන සිටිය.

''වාඩි වෙන්න. . . '' ඈ ඉතා කාරුණික විදිහට හිස නොඔසවාම කිව්ව. මට තරමක අපහසුතාවක් දැනුණත් ''තෑන්ක් යූ'' කියල ඇය ඉදිරියේ අසුන් ගත්ත.

''මිස්ටර් රත්නජීව නේද? '' ඇගේ හඬේ වුණේ වෙව්ලන ස්වරයක්. මේසය මත රැඳුණ ඇගේ සුරතෙ ඇඟිලි පවා යන්තමින් වෙවුලනව මට පෙනුණා.

''ඔව්. . . ! මම රත්නජීව. . . '' මම පිළිතුරු දුන්නෙ 'මාව කොහොමද දන්නෙ' කියල අහන ස්වරයෙන්.

''මම මේ කතා කරනවද නැද්ද කියල දෙගිඩියාවෙන් ඉඳල බැරිම තැනයි එන්න කිව්වෙ. සමාවෙන්න මගෙ ළඟට එන්න කීවට. තාත්ත ඉන්න තැන කතා කරන්න බැරි නිසයි මගෙ රූම් එකට කතා කළේ. පෙරේද මම කාමරේට ගිය වෙලාවෙ මිස්ටර් රත්නජීවගෙ මූණ හොඳින් දැක්කෙ නැති වුණාට මට මොකක්දෝ අමුත්තක් දැනුණා. අවුරුදු විස්සක් ගත වුණාට ඒ මූණෙ හැඩතල වෙනස් වෙලා නෑ. . . ''

ඇය ඉතාම පරෙස්සමින් වචන තෝරමින්, වෙව්ලන හඬින් ඒ ටික කියාගෙන යද්දි මගෙ මුළු ගතම ශීතල වෙන්න ගත්ත. වියපත් කටහඬ ඇතුළෙන් අවුරුදු විස්සකට පෙර මගෙ සිරුර මත දිගා වෙලා පපුවෙ හිස තියාගෙන හෙමින් කෙඳිරූ නිර්මලීගෙ කටහඬ මට ඇසුණ.

මගෙ හදවත ගැහෙන හඬ කාමරයෙන් පිටත ඉන්න නර්ස්ලටත් ඇහෙන්න ඇති. මගෙ මුළු ශරීරයම පණ නැතිව ගියා. තොල කට වේලුණා. ඇය හෙමිහිට හිස ඔසවා මා දෙස බැලුව.

''නිර්මලී. . . ''

''තාමත් නම මතකයි එහෙනං. . . ''

''කොහොම අමතක වෙන්නද නිම්මි. . . ''


අපි දෙන්න එකිනෙකා දිහා මොහොතක් බලා හිටිය. මඳක් තරබාරු, වියපත් පෙනුම. තැනින් තැන මතු වන සුදු කෙහෙරැලි සඟවා ගත් බොකුටු හිස. තරමක් ලොකු නැහැය. පහළට බෙරි වුණ යටි තොල, කී වතාවක් නම් මගෙ දත්වලට තුවාල වෙන්න ඇතිද විකලම. . .

මට නිර්මලී මුණ ගැහුණෙත්, අප අතර සම්බන්ධතාවක් ගොඩ නැඟුණෙත් අහම්බෙන්, ඒ වගේම හරිම අසම්මත විදිහට. අපි කවමදාකවත් සම්මත ප්‍රේමවන්තයො බවට පත් වුණේ නැහැ. ඒ කියන්නෙ අපි එකිනෙකාට ආදරෙයි කියල කියාගත්තෙ නෑ. විවාහ ජීවිතයකින් කෙළවර වෙන ඇසුරකට හීන මැව්වෙ නෑ.

ඒත් අපි දෙන්න එකිනෙකාට පුදුම විදිහට සමීප වුණා. ඒක ලිංගික ආකර්ෂණයක් විතරක්ම නොවේ. ඊට එහා ගිය කිසියම් අධ්‍යාත්මික බැඳීමක් ඇති වුණා කියල මට හිතෙනව.

ඇත්තෙන්ම ඒ බැඳීම විග්‍රහ කරන්න හෝ අර්ථ දක්වන්න මට තේරෙන්නෙ නෑ. විවාහය පිළිබඳ ඇය දැරූ අදහස වුණේ කඩදාසියක අත්සන් කරල විවාහකයින් ලෙස එක වහලක් යට ජීවත් වීමේ පරමාර්ථයෙන්ම ප්‍රේමකරීම ප්‍රෝඩාවක් බවයි . එකිනෙකා පිළිබඳ ආකර්ෂණයෙන්, අවබෝධයෙන් යුතුව විරුද්ධ ලිංගිකයන් සමීප වීම ස්වභාවික වුණත් ඒ සඳහා සම්මත අත්සන යෙදීමේ ක්‍රමවේදය ඇය බැහැර කළා.

පොතේ අත්සන් කරල, මහා විශාලෙට මඟුල අරගෙන ඊට පස්සෙ ලිහාගන්න බැරිව දුක් විඳින අය කොයි තරම් ඉන්නවද කියල නිර්මලී ප්‍රශ්න කළේ අවංකවමයි. හැබැයි ඒ කාලෙ හැටියට ගෑනු ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරමෙ රැඩිකල් අදහසක්, ඒ කාලෙ විතරක් නොවෙයි, අද කාලෙ කියලත් වැඩි වෙනසක් නැහැ.

අපි මුණ ගැසුණෙ ප්‍රයිවෙට් බස් එකක පිටුපසම ආසනයෙ කෙළවරකදි. එතකොට මම විශ්වවිද්‍යාලෙ අවසන් වසරෙ ඉගෙන ගනිමින් උන්නෙ. සති අන්තයත් එක්ක දීර්ඝ නිවාඩුවක් ලැබිල තිබුණ නිසා ගෙදර යන්න හිතාගෙන මම නුවර බස් නැවතුමට ගියෙ දවල් කෑමෙන් පස්සෙ.

මම නුවර- කොළඹ බස් එකට නැඟල දෙපස ආසන ගැන විපරම් කළා. එදා නිවාඩු දවසක් නිසා ඒ තරම් සෙනඟක් හිටියෙත් නැහැ. දෙපස හැම ආසනයකම අඩුම තරමින් එක්කෙනෙක්වත් හිටි නිසා මං පිටුපසම පේළියට ඇදිල ගියා.

ඒ ඇදී යාමට හේතුව සුන්දර තරුණියක් කෙළවරේ වාඩි වී සිටීම බව කියන්න තරම් මං මේ මොහොතෙ අවංක වෙනව. කවුද අකමැති සුන්දර ගෑනු ළමයෙක් ගාව ඉඳගෙන යන්න. ඇරත් පැය තුන හතරක ගමනක්.

ඒ වෙන කොට පිටුපසම පේළියෙ ඇය හැර වෙන කවුරුවත්ම හිටියෙ නැහැ. මං ඈ නොදැක්ක වගේ ගිහිං අසුන් ගත්තෙ මඳක් ඇගේ පැත්තට බර වෙන්නයි. ඒ තවත් මගීන් ආවම ඒ අයට අනෙක් පැත්තෙන් ඉඩ දීල ඈ වෙත තවත් සමීප වෙන අදහසින්.

ඇය මට වඩා මඳක් වැඩිමහලු විය හැකි බව හැඟුණා. කොහොමත් වැඩිම වුණොත් මට වඩා අවුරුදු දෙක තුනක් වැඩි ඇති කියල මං හිතාගත්ත.

ඇය සුන්දරයි, තරුණයි, ආකර්ෂණීයයි. සෙක්සි ගතියක් විද්‍යමාන වුණා. අපි ඉන්න පැත්තට දැඩි අව් රශ්මියක් වැටෙන්න පටන් ගත්ත. ගිනි මද්දහන. මම යම්තම් අනෙක් පැත්තට තල්ලු වුණේ අපහසු නම් ඇයටත් මෙහාට වෙන්න හැකි වන ලෙසිනුයි. අව් රශ්මිය දෙසත්, ඈ දෙසත් බලා මා ඉඟි මැරූ ආකාරයෙන් ඇය මගේ සිතුවිල්ල තේරුම් ගන්න ඇති.

''යද්දි අව්ව එන්නෙ අනෙක් පැත්තට. . . ''

ඇය තමාටම වගේ කිව්වෙ මට ඇහෙන්න බව මම තේරුම් ගත්ත. මං ඈ දෙස බලල ඒ අදහස අනුමත කරන ආකාරයේ සිනාවක් නැගුව. ඇයත් මඳ සිනාවක් පෑව. එතකොට එයාගෙ ඇස් දෙක පුංචි වුණා. ඇගේ බැල්මෙ ළෙන්ගතු බවක් ගැබ් වී ඇතැයි මට හිතුණ. හරිම ලස්සන හිනාවක්.

බසය පිටත් වෙද්දිත් ඒ තරම් සෙනඟ හිටියෙ නෑ. අනෙක් කෙළවරට ජෝඩුවක් ඇවිත් ඒ ගොල්ලන්ගෙ ලෝකෙ තනිවෙලා හිටිය. ගමනාරම්භ කරද්දිම ඇය දේශන සටහන් වගයක් දිග හැර ගත්ත.

මම නෙත් කොනින් ඒ දිහාව එබිකම් කළා. වෛද්‍ය විද්‍යාවට අදාළ සටහන් වගයක්. මට විශාල කුතුහලයක් ඇති වුණා. ඈ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ශිෂ්‍යාවක්ද? විශ්වවිද්‍යාල උන්හිටි ගමන් මාස ගණනක් වහල දමන කාලයක් නිසා අවුරුදු පහේ වෛද්‍ය උපාධිය නිමා කරන්න අවුරුදු හය හතක් යන බැවින් ඇය අවසන් වසරෙ පමණ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යාවක්ම විය හැකි යැයි මට සිතුණා.

කොහොමත් ඈ පිළිබඳ තොරතුරු දැනගැනීමේ ආශාවක් එක්කම පැය තුන හතරක ගමන කම්මැලි කමකින් තොරව ගත කරන්න හැකි බවත් මට හැඟී ගියා. එකම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න දෙන්නෙකුට කතා කරන්න දේවල්ද නැත්තෙ. ඇරත් ගෑනු ළමයෙක් එකක් කතා කර කර යනකොට කාලය ගෙවෙන්නෙ නොදැනීම බව මම අත්දැකීමෙන් දැනගෙන හිටිය.

''කොළඹටද යන්නෙ. . . ''

තිගැස්සී සටහන්වලින් දෙනෙත් ඉවට ගත් ඈ පුදුමයෙන් වගේ මා දිහාව බලා හිටිය.

''ඔව්. . . ''
එච්චරයි.

''විභාගෙටද පාඩම් කරන්නෙ. . . ''

''ඔව්. . . ''


සටහන් දෙස නෙත් යොමාගෙනම ඇය පැවසුව.

''කී වෙනි අවුරුද්දෙද. . . ''

එවර ඇය සටහන් ගොන්න හකුළා ගත්තෙ 'මේ කරදරකාරයෙක් නිසා මට පාඩම් කර ගන්නත් නැහැ. ඕනැ දෙයක් අහල දැනගෙන ඉවරයක් කර ගන්නවකො. . . මං උත්තර දෙන්නම්. . . ' කියල හිතමින්ද, 'මං හිතුවෙ නෑ මෙයා කතාබහ කරයි කියල. ලැජ්ජකාරයෙක් වගේනෙ ඇඹරි ඇඹරි හිටියෙ. දැන් මටත් පාළුවක් නැතිව කොළඹට යතෑකි. . . ' කියල හිතමින්ද? මං මොහොතකට විපිළිසර වුණා.

''ෆයිනල් එග්සෑම් කළේ ගිය අවුරුද්දෙ. . . ඒත් සබ්ජෙක්ට් එකක් ෆේල් වුණා. ඒක තියෙන්නෙ ලබන සතියෙ. . . ''

''ඔයා මෙඩිකල්. . . ''

''නෑ. . . මං නර්සිං. . . ඔයා. . . ''

''මම කැම්පස්. ආට්ස් ෆයිනල් ඉයර්. ''


****

නිර්මලී බන්දුලහේවා, චීෆ් මේට්‍රන්වරිය මා දෙස එක එල්ලේ බලා සිටි තත්පර කීපය ඇතුළත මේ සිදුවීම මගේ සිතුවිලි හරහා නිමේෂයකින් ගලා ගියා.

''වෙච්චි කිසිම දෙයක් ගැන මම කම්පා වෙන්නෙවත්, ඔයාට චෝදනා කරන්නෙවත් නෑ මිස්ටර් රත්නජීව. . . ''

''ඇයි මට මිස්ටර් කියන්නෙ? ''

''ඒ දවස්වල වගේ රත්නෙ කියල කියන්න මට බෑ. . . ඔයා අමාත්‍යාංශෙක ඩිරෙක්ටර් කෙනෙක්නෙ. ''

''ඔයා කොහොමද දන්නෙ. . . ? ''

''මං ඊයෙ ඔයාගෙ තාත්තගෙන් අහ දැන ගත්ත. බය වෙන්න එපා. . . මං ඔයාව දන්න බව කීවෙ නෑ. . . ''


ඇය හරිම තැන්පත් විදිහට කතා කරන්නට වුණා. ඒ දවස්වල වගේ කිසිම දඟකාරකමක් නැහැ.

''ලොකු දුවෙකුයි, පුතෙකුයි ඉන්නවලු නේද? ''

මේ ගෑනි තාත්තගෙන් සේරම අහගෙන. මගෙ හිතට සියුම් කෝපයක් ඇති වුණා. ඒත් ඒ බව නොපෙන්වා සිටින්නට මං උත්සාහ ගත්ත.

''අපේ දෙන්නත් හිටියනං ඊටත් වඩා ලොකු මහත් වෙලා ඉඳීවි නේද? ''

නිර්මලී ඒක ඇහැව්වෙ මගෙ ඇස් දෙක දිහාවෙ කෙළින්ම බලාගෙන. ඒ බැල්ම දරාගන්න බැරිව මම බිම බලාගත්ත.

නිර්මලී මේසය මත තිබුණ මගෙ දෑත් දැඩිව අල්ල ගත්ත.

''එහෙම නේද? ''

ඇගේ වෙව්ලන හඬේ කිසියම් වියරු ස්වභාවයක් මට දැනුණා. 'අපේ දෙන්න' කියන වචන දෙක ඇතුළෙ මහා දිග කතාවක් තිබුණ.

ජීවිතේ පළමු වතාවට මට ඒ නූපන් කලල පිළිබඳ ආත්මීය බැඳීමක්, හැඟීමක් දැනෙන්න පටන් ගත්ත.

ඒ මහා දිග කතාවෙ ආරම්භක දවසෙ ඉතිරි හෝරා කිහිපය හරිම සංවාදශීලී වුණා.

****

''හොස්ටල්ද ඉන්නෙ. . . ? ''

''ඔව්. . . ''

''අද මේ කොහෙද යන්නෙ. . . ? ''

''අද ගෙදර යනව. . . ''

''කොළඹටම යනවද. . . ? ''

''වත්තල ගෙවල්. පෑලියගොඩින් බහිනව. ''

''මගෙ ගම පූජාපිටිය. මමත් අපේ හොස්ටල් එකට යනව. ''

''කොහෙද හොස්ටල් එක තියෙන්නෙ. ''

''බොරැල්ලෙ. . . ''


*****

''ඔයාගෙ වයස කීයද. . . ? ''

''අපෝ. . . මගේ වයස දැනගෙන වැඩක් ඇතැයි. මං බැඳල ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෑනියෙක්. . . ''

''විහිළු නැතිව කියන්නකො. . . ''

''විහිළු නෙවි. මං කීවෙ ඇත්ත. . . ''

''කෝ බැඳලනං මුද්දක් තියෙන්න එපැයි. . . ''

''කොල්ලන්ව රවට්ටන්න මුද්ද ගෙදරදි ගලෝල තියලයි එන්නෙ. . . ''


*****

''ඔයා පිටකොටුවටම යනවද? ''

''නෑ. . . පාලම උඩින් බැහැල 154 ගන්නව. ''

''මමත් පාලම උඩින් බැහැල තමයි බස් එක ගන්නෙ. . . ''

''එතකොට අපි පාලම උඩදි වෙන් වෙනව. . . ''

''අද මං පාලම උඩින් බැහැල 154 ගන්නව. ''

''ඒ මොකද. . . ? ''

''මට බොරැල්ලට යන්න උවමනාවක් තියෙනව. . . ''


****

''අපි බම්බලපිටියටම ටිකට් ගනිමුද. . . එතකොට තව ටිකක් කතා කර කර ගිහිං ආපහු ආවෑකි. . . ''

''රෑ වෙන්නෙ නැද්ද. . . ? ''

''රෑ වුණාට බය නෑ. . . ආරක්ෂාවට කෙනෙක් ඉන්නවනෙ. ''


****

''අනේ මෝඩ ළමය. නර්සිං කරන අයට කසාද බඳින්න තහනම්. අවුරුදු කීපයක් යනකල්. . . ''

''ඔයාගෙ අත්ල හරිම ශීතලයි. ''

''මටනං ඒ නීතිය ප්‍රශ්නයක් නෑ. . . මම කවදාවත් කසාද බඳින්නෙ නෑ. . . ''

''ඇයි ඒ. . . ? ''

''ඔයාගෙ අත රස්නෙයි. . . ''

''ඇයි ඒ. . . ''

''ඇඟ උණුසුම් වෙලා වෙන්නැති. . . ''

''නෑ මං ඇහැව්වෙ ඇයි ඒ කියල. . . ''

''ඒක දිග කතාවක්. කොටින්ම කිව්වොත් අපේ අම්ම විඳවපු විඳවිල්ල දැකල මං ඒ තීරණය ගත්තෙ පුංචි කාලෙදිමයි. ''

''ඒ කියන්නෙ ඔයාගෙ හිතේ ප්‍රේමයට ඉඩක් නෑ. . . ''

''පිස්සු කොල්ල . . . කසාද බඳින්නෑ කියල ප්‍රේමයට තහනමක් තියෙනවද. . . ? ''


****

''ඔන්න දැන්නං මං බහින්න ළඟයි. ''

''මං ඔයාව හොස්ටල් එක ළඟට ගිහිං ඇරලවන්නං. . . ''

''එපා. . . බොරැල්ල හංදියෙ ඉඳල ටික දුරයිනෙ. . . මට මේ ගමන පුරුදුයි, මේ වෙලාවට පාරෙ සෙනඟ ඉන්නව. ''

''ඒත් මගෙ හිතට හරි නෑ තනියම යවන්න. මට රෑ වෙන්නෑ. . . මං එන්නම්. . . ''

''එපා හොස්ටල් එක ළඟදි කෙල්ලො දකින්න පුළුවනි. ඊට පස්සෙ හරිම වාතයක් වෙනව. ''

''එතකොට ආයෙම අපි මුණ ගැහෙන්නැද්ද? ''

''කව්ද අප්පේ නෑ කිව්වෙ. හිතාගෙන ඇති ලේසියෙන් මාරු වෙන්න. . . ''

''එහෙනං ඔයා මට ලියන්න. ගමේ එන දවස කියන්න. නුවරදි මුණ ගැහෙමු. ''

''ඔව්. . . අනිවාර්යයෙන්ම. . . ඊට කලිං මට ඔයාගෙන් එක දෙයක් ඕනෙ. . . ''

''මොකක්ද. . . ? ''

''මේ සීට්වල සෙනඟ කවුරුවත් නෑනෙ. ඒ හින්ද දෙන්ඩ බය වෙන්න එපා. . . ''

''මොකක්ද ඉතිං. . . ''

''හාද්දක්. . . ''


*****
අවුරුදු ගණනාවකට පස්සෙ නිර්මලී හමු වුණාම මගෙ සිත චංචල වුණා. ඈ පිළිබඳ ඉමහත් සෙනෙහසකින් හිත ගැබ්බර වෙන්න ගත්ත. ඒත් ඒ ගැබ්බර හිතේ බිහිවුණ කලලය මම වහාම ගබ්සා කරගත්ත. පසුගිය දෙවතාවෙම කලල ගබ්සා කරගත්තෙ ඇගේ උවමනාවට. පළමු වතාවෙ ඇගෙ තනියට මං ළඟින් හිටියා. දෙවන වතාවෙනං මං දැනගත්තෙත් සති කීපයකට පස්සෙ. මේ වතාවෙ තනිකරම මගේ උවමනාවට.

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails