Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කර්ම සිනමා පටය නැරඹීමෙන් අප තුල ඇති වු පහන් සංවේගය ඒ පිළිබඳව පල වු විචාර ලිපි කියවීමෙන් පලුදු විය. මේ ඊට හේතු සොයා යාමට දරණ ලද අවංක සාමූහික ප්‍රයත්නයකි. පාඨාකයාට ලිපිය කියවා ගැනීමට මෙම ආකෘතිය බාධාවක් නොවේ යයි හඟිමු.

මම- අපි අත් විඳින ජීවන අත් දැකීම් හෝ අපගේ මානව සබඳතාවල නොමැති පරිපුර්ණත්වයක් අප කලා කෘතියක් තුල ඇතැයි බලාපොරොත්තු වන්නේ මන්ද? අපි අපගේ ආශාවන් ලුහුබැඳ යන්නේ යම් පරිපුර්ණත්වයක් සොයගෙන. අපගේ ඒ බලාපොරොත්තුව කඩවන ප්‍රමණයට ප්‍රතිලෝමව සමානුපාතිකව අප අනෙකා ගැන කෝප වෙනවා. සාමාන්‍ය පෙළ අසමත් අම්මා කෙනෙක් සිය දරුවට A සමාර්ථ දහයක් අරන් දෙන්න උත්සාහ කරනවා. සමහරවිට එය දරුවගෙ ප්‍රාර්ථනාව නොවෙන්න පුළුවන්. එතැනදි එය හිංසනයක ස්වරූපය ගැනීම වළක්වන්න බැහැ.

නිර්මාණ කරුවෙකු ඔහුගේ ජිවන අත්දැකීම් ප්‍රමාණයට ශාපේක්ෂව නිර්මාණය කරන කලා කෘතියකට සංවේදී වෙලා අපි ඒ පිළිබඳව සදය වුත් නිර්දය වුත් ප්‍රතික්‍රියා දක්වනවා. මේ කෘතිය ඇතුලෙ තියන සමාජ, සංස්කෘතික, ආර්ථීක හැඩතල දරණ මානව සම්බන්ධතා ප්‍රේක්ෂකයාට කියවා ගැනීමට පහසුකම් සපයන්නෙක් වශයෙන් විචාරකයෙක් අවශ්‍ය වෙනවා. ඔහුට පුළුවන් අපගේ ඉහත කී ප්‍රතික්‍රියා දැක්වීමේ මානයන් (dimensions) පුළුල් කරන්න.

ඔහු- කර්ම සිනමා පටය ගැන විචාරයක් ලියන අමිල සංජිව කෝපවන්නෙ නදීගෙ චරිතය ඒකමාන වීම පිළිබඳව. නදීගෙ අසම්පුර්ණ, අසමත් හැසිරීමට හේතුව අමිල සංජිව කෘතිය ඇතුලෙ කියවා ගන්නෙ නෑ. එය නිරිමාණ කරු විසින් සවිඥානිකව හෝ එසේ නැතිව හිස්ව (void) තැබීම පිළිබඳව ඔහු තෘප්තිමත් වන්නෙ නෑ. ඒවාගෙම එම චරිතවල හැසිරිම ඔහු දත් මනෝවිශ්ලේෂනාත්මක ප්‍රවාද වල තරමට අනුගත නොවන විට ඔහු කලකිරෙනවා. මෙහිදී ඔහුට විකල්ප දෙකක් යෝජනා කරන්න පුලුවන්.

එකක් තමයි කලා කෘතියක ඔහුට හමුවන මානව සම්බන්ධතා තේරුම් ගැනිමට (තේරුම් කිරිමට?) ඔහුගෙ මනෝවිශ්ලේෂනයේ යෙදිම් (Applications) වපසරිය පුළුල් කර ගැනීමත් සඳහා ප්‍රමාණවත් හැදෑරීමක් කිරීම. අනෙක් විකල්පය තමයි චිත්‍ර පටයේ වු සංකේත පිළිබඳව 'අතිකියවීමකට' (Over read) නොයා සිටීම.

මම- විශේෂයෙන්ම කර්ම කියන්නෙම සංකේත බහුලව භාවිත වුණු කෘතියක්. මේ සංකේත කියවා ගන්න ප්‍රේක්ෂකයා උනන්දුවීම සාධාරණයි. මෙහිදී ඔබ යෝජනා කරන්නේ ඒ සඳහා නිර්මාණකරු විමසිය යුතු බවද? නුතනවාදී සන්දර්භය තුල ඉහලට ඔසවා තැබුණු කතුවරයා (Author) පශ්චාත් නුතනවාදි කතිකාව තුල බල රහිත තත්වයකට පත් වෙනවා කියලා රෝලන්ඩ බාත් විසින් 1967 දී පල කළ මහත් සේ සංවාදයට බදුන් වුණු රචනාවක සඳහන් කරනවා. [Death of the Author - 1967 - essay by Roland Barthes]. එහිදී ඔහු නගන ප්‍රශ්නය වන්නේ, "රචකයා විසින් අදහස් කරන දේ අප විසින් සංක්ෂිප්තව නිරීක්ෂනය කරනු ලබන්නේ කෙසේද?" යන්නයි. ඔහුගේ පිළිතුර වන්නේ අපට නොහැකියි යන්නයි. එවිට සිදුවන්නේ සංකේත මගින් ප්‍රෙක්ෂකයන් තුලින් ජනිතකරන හැඟවුම් කාරක (Signifiers) වල විවිධත්වයක් ඇති වීමයි. මෙයට යම් විචාරකයෙක් විසින් ඒකත්වයක් (unity) යෝජනා කිරීම හාස්‍යයට කාරණයක්. ඔහු මේ සදහා කෘතියෙන් හුවා දක්වන සමහර සිදුවීම් ආයාසාත්මක ආරෝපණය කිරීම්.

ඔහු- ඔව්, වරක් චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරණයක කියනවා (ගම්පහ සනස ශාලාවේදී) ඔහුගේ හංස විලක් තාමත් ප්‍රේක්ෂකයන් විව්ධ කියවීම් ඔස්සේ නරඹන බව. ඒ විතරක් නොවෙයි ඔහුත් ඉන් පෝෂනය වන බව මෙයින් ගම්‍ය වන්නේ කෘතියක් සමාජගත වු විට ඉන් සෑබෑ ජීවන අත් දැකීමක ඡායාවක් ජනනය කරන බව.

අපිට මිය යන තුරුම අපගේ හැසිරීම් හේතුඵල වාදයක් ඔස්සේ කියවා ගැනීමට අසීරු බවත් අපගේ පෙර කියවීම් මොහොතින් මොහොත යාවත්කාලීන වී වෙනස් වන බවත් අපි වටහා ගත යුතුයි.

මම- වරක් චාලි චැප්ලින් පවසනවා මට කොමඩියක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ පියකරු යුවතියක්, උද්‍යානයක් හා පාර්ක් එකක් පමණක් බව. (All I need to make a comedy is a park, a policeman and a pretty girl. - Charley Chaplin) ඔබ හිතන්න මේ ත්‍රිත්වය එකතු කරලා විවිධ සංයෝජන වලින් විවිධ සිනමා කෘති නිපදවන්න පුළුවන්. සරලව කියනවා නම් එකම සංකේතය විවිධ කෘති තුල විවිධ තේමාවන් ප්‍රේක්ෂකයින් වෙත ප්‍රක්ශේපණය කරන්න අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්න පුළුවන්.

ඔහු- උදාහරණයකට කර්ම චිත්‍රපටයේ අවසාන දර්ශනයේ පියවුරක් අහිමි අමාගේ උකුලෙ හිස තබාගෙන සිටින පියල්ගෙ දර්ශනය කෘතියෙන් ව්‍යුක්තව කීප ආකාරයකටම කියව ගන්න පුළුවන්.

"සිනමා කරු පියල්ට බරපතල අසාධාරණයක් කරමින් චිත්‍රපටයේ අවසාන දර්ශනයේ පියවුරක් අහිමි අමාගෙ උකුලේ හිස තබා ගෙන සිටින අතපය වකුටු කරගත් දරුවෙකු බවට ඔහු පත් කරයි. මෙයින් ඔහු සිදු කරගන්නේ හුදෙක් ළය විරේකයක් පමණක් බවට සිය කෘතිය අවප්‍රමාණ කර ගැනීමකි."
[-අමිල සංජිව -රාවය]

අමිල එම රූප රාමුව කියවාගන්නේ එය පියල් නැවත මවගේ ගර්හාෂගත වීමක් ලෙසයි.

මම- හොඳයි මම මේ රූප රාමුව මේ විදියට කියෙව්වොත්. පියල්ගේ හිස අමාගේ උකුලට යොමුවෙලා තියෙන්නෙ ගර්භාෂ ගතවීමකට නොවෙයි ඇගේ ලිංගේන්ද්‍රිය කරා කිව්වොත්, උකුල ගර්භාෂය කරා වාගෙම යෝනිය කරාත් යොමුවන මාර්ගය, ස්‍රොණි මේඛලාව- එතකොට පියල් නිවැරදි සංඛේත පිළිවෙලට අනුගත වුණා කියලා අමිල සංජිවට කියන්න පුළුවන්. මොකද ඒ කියවීමට අනුව පියල් මවගේ ගර්භාෂ ගත සම්බන්ධයෙන් මිදිලා ස්ත්‍රිය හා පුරුෂයා පිළිබඳ පොදු වැඩිහිටි කතිකාවකට යොමුවන නිසා මෙහෙම වෙන්නෙම තමා දන්නා බව පවසන මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවාද වලට සිනමා කෘතියේ සිදුවීම් ගැලපේද බැලීමට යාමෙන්.



ඔහු- අමිල සංජිව යෝජනා කරන්නෙ කෘතියේ ප්‍රධාන කතිකා ලක්ෂ්‍යය පියා පිළිබඳ සංවාදය බවයි. ඔහු මේ පවසන්නේ Lacanian father ගැන විය යුතුයි. තාත්තා දරුවෙකුගෙන් ඉවත් වුනාම ඔහුට ඔහුගෙ සංකේතීය පියා අහිමි වන්නේ නෑ. මේක මිත්‍යාවක්. මට මගෙ පියා අහිමි වන්නෙ ළදරු වියේදිමයි. ඉතින් ඔබ කියන්න මගේ සංකේත පිළිවෙල (Symbolic order) අවුල් සහගතද?

මේක පියා අහිමි දරුවන්ට විරුද්ධ හිංසනාත්මක කියවීමක්. පියාගේ සංකල්පය අපි සිතන තරම් සරළ වන්නේ නැහැ.එයින් අදහස් වන්නේ භෞතික පියෙකුට වඩා පියෙකුගේ සංකේතිය කාර්ය භාරයයි. ලැකාන් එය හඟන්වන්නේ ආශාව හා නීතිය (desire and low) පිළිබඳව එකඟතාවයකට පත්කිරීම එම කාර්ය භාර්ය බවයි. ඔහු මේ සදහා කෘතියෙන් හුවා දක්වන සමහර සිදුවීම් ආයාසාත්මක ආරෝපණය කිරීම්.


මම- මෙහිදී විචාරකයාගේ අරමුණ තේරුම් ගැනීම වැදගත්. ඔහු අවංකවම මේ උත්සාහ දරන්නේ කෘතිය විඳීමට ප්‍රේක්ෂකයාට අත්වැලක් සැපයීමටද? නොඑසේනම් තමන් කලාත්මක සමාජය තුල යම් අධිපතිවාදී ගුරු කුලයක නියෝජනයක් සහිත පුද්ගලයකු බව පෙන්නුම් කිරීමටද?

ලූවර් (louvre) නම් ප්‍රංශ කලාගාරයේ මොනාලිසාගේ සිතුවම ඉවත් වීමෙන් පසු එහි වූ හිස් තැන බැලීමට ඊට පෙරදීට වඩා ප්‍රේක්ෂකයින් පැමිණි බව පැවසේ. විචාරකයන් පැමිණෙන්නේ කෘතියේ වූ අඩුව දැකීමේ ඉහත දැක්වුණු අන්දමේ සහජාසයකින්ද?

ඔහු- යථ (real) යන භාෂාවෙනුත් ප්‍රකාශන හැකියාවෙනුත් ඔබ්බෙන් ඇති පැවැත්මක් බව පවසන අමිල සංජීව කර්ම තුල වූ සියලු ප්‍රකාශන විධීන් (සංකේත ඇතුලුව) භාෂාත්මක ව්‍යුහයක් තුල ප්‍රශ්න කිරීමෙන් සිදුවන්නේ කුමක්ද? ඔහු ඉන් ප්‍රේක්ෂකයාට දැනවෙන හෝ නොදැනුවෙන සියුම් වේදයිතයන් ස්පර්ශ කිරීමේ ප්‍රේක්ෂක අයිතියට බලපෑමක් කිරීමයි. ඉන් යම් පමණකට සිනමාකරු අසමත් වීම නොවැලැක්විය හැක්කකි.

මම- සිනමා කෘතියක් මුල සිට අගට සාරාංශ කර එය සිනමාත්මක නොවන බව කියමින් බැණ වදින පිරිසක් නිත්‍ය විචාරකයින් ලෙස රෙජිස්ටර් වී සිටින සමාජයක විචාරය තව දුරටත් ඇකඩමික් කටයුත්තක් නොවීම නොවැලැක්විය හැකියි. කෘතිය තම විචාරයට තරම් නොවේ නම් එය මගහැර යෑමට මේ අය ප්‍රජාතන්ත්‍ර වාදී විය යුතුය. එය තිරණය කිරීමට ප්‍රෙක්ෂකයාට ඉඩ දීමට තරම් මේ අය කාරුණික විය යුතුයි.

ඔහු- සත්‍යජිත් රායි වරක මෙසේ පවසන්නේ සිනමා කෘතියක භාවිතා වන රූප රාමු කියවිම සංස්කෘතික බවත් එහිදී ඉන්දියානු සමාජයට පථීත කරන හැඟවුම් (Signified) සඳහා පිටස්තර කියවීමකට සංස්තෘතික සවිඥානිකත්වය බාධා කරන බවත්ය. අවාසනාවකට ලාංකේය සමාජයට අනන්‍ය වූ සංස්කෘතික සවිඥානිකත්වය විචාරකයාට හසු නොවේ. පියල් රෝහල් ගත අමාගේ ඇදුම් බෝඩිමට ගෙන ගොස් සේදීම හෝ කැත කුණු අත ගෑම කියවා ගැනීම අපට ආයාසකර නොවේ. කර්මය පිළිබඳ ආගමික කියවීම දුෂ්ඨ කමක් නොවන අතර එය සංස්කෘතික වී විවිධ බල ක්ෂේත්‍ර ඔස්සේ විවිධ අරුත් ගැන් වෙන බව සැබෑය. එසේ කියා සිනමා කෘතිය "කර්ම" ලෙස නම් කිරීම එය ආගමික කියවීමකට සීමා වන්නේ නැත. උදාහරණ ලෙස සයිමන් නවගත්තේගම ගේ කෘති තන්ත්‍ර, උපනිෂද්, ජාතක කතා, ජනශ්‍රැති පාදකව නිර්මාණය වී ඇත. නමුත් ලාංකීය සාහිත්‍ය කතිකාව තුල ඔහු ඔසවා තබන්නේ ඔහු ආගමික දෘෂ්ඨිවාද යලි බලවත් කරන්නෙකු ලෙස නොවේ.

මම- වරෙක යුද්ධය තේමාව කරගත් කෘතීන් ද තවත් වරෙක ඊට හාත්පසින්ම වෙනස් Eyes wide shut වැනි කෘතියකුත් නිපදවන ස්ටැන්ලි කුබිරික් සිනමාව ගැන මෙසේ ප්‍රකාශ කරනවා.

"ජීවිතයේ වූ අර්ථ ශුන්‍යත්වය විසින් මිනිසාට බල කර සිටිනවා ඊට ඔහුගේම වූ අරුත් ගැන්වීමකට. එය ඔහුට ප්‍රශ්නයක් කරගත හැකි නම් ඉන් සිනමා කෘතියක් තැනිය හැකිය." [The meaninglessness of life forces man to create his own meaning. If it can be thought and write it can be filmed.]

ඔහු ඔහුගේ කෘති තුල ගවේශනය කරන්නේ මිනිස් ස්වභාවයේ අදුරු පැත්ත. කර්ම අධ්‍යක්ෂවරයා අහිංසකයි. ඔහු වෛරය අවුලුවුන්නෙක් නොවෙයි. මම කෘතිය කියවා ගත්තේ අමාට අනන්‍ය වීමෙන්. ඒ මගේ හැටි. හැබැයි මම නදීට වෛර නොකරන්න ඇත්තෙ සිනමාකරුගේ මානව දයාවට මම හසුවන නිසායි. කලා සමාජය ඇතුලෙ නදී වැනි සංගීත ශිල්පීන්ගේ චරිත සුලභයි. ඒ සඳහා උදාහරණ සැපයිම තරම් නොවෙයි.

ඔහු- ගාමිණී වේරගම මහතා සිය විචාරයෙන් ඉගිකරනවා ප්‍රසන්නට ආපසු එන ලෙස. සංඛාරා වැනි සිනමා කෘති නැවත නිපදවන ලෙස. මෙය සාහසික ආරාධනාවක්. කර්ම තුල එයට අනන්‍ය වූ ආකෘතිමය හා තේමාත්මක (Themetic) වෙනස්කම් තියනවා. ඔහු සිනමාවේ මූලික සිද්ධාන්ත භාවිතා කරල අපූරු සිනමාත්මක නිර්මාණයක් කරනවා. මුලින් චලනය වන චිත්‍ර (motion picture) ලෙස හැදින්වුණු සිනමාව සංගීතය, නර්තනය, කතා නාද ආදියෙන් පෝෂණය වෙනවා.ඒ තුලම පසු යුගයක මේ ආකෘතිය ඇතුලෙ සිනමාවට සිනමාව අභිවෙනවා. කර්ම අපිව නැවත සිනමාවට කැදවාගෙන යනවා. පූර්ව නිගමන වලින් බැහැරව ඔබ එයට පූර්ණව නිරාවරණය වුවහොත් ඔබට එය විඳගන්න නොහැකි වෙන්නේ නෑ.



මම- ජයන්ත කහටපිටිය
ඔහු- චමින්ද ක්‍රිෂාන්ත කුමාර

ජයන්ත කහටපිටිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails