Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වසන්තේ ජිල් මංඩියක
දනෝ දාහක ඇස් අස්සෙ තෙරපි තෙරපි
කබ්බොම කිරන
තනිකම
තනියෙම්ම
උඹට තියෙන්නෙ ම
මිනී මෝරු උපකල්පන

ලේ ගිහිම් ම ගබ්සාවක දි නැහිල පණ
බඩින් උන්නු මකුණු ළඳකගෙ
මැදිවෙලා හිටි මගේ කොට්ටෙට
කීතු කීතු ඇස් ඉරනා
කහ කියතක් බල්බ් එළිය

කන්පට ගසා තනිකමේ
අවුලමි දුමක් තනිකංදෝසෙට
දුම් උගුරක්
පෙවෙන එක හුසුමත් හුස්මකි
ඔක්සිජන් අඩමාන පපුවට

උන්නති කාමයේ ද්‍රව ඝන වෙන
සෙල්සියස් බිංදුවේ ඌෂ්ණය
ආත්මාරාගය අධි රුධිර පීඩනෙන්
උඩ බඩ ගාන විනාඩියෙ
අතීතතයෙ වැව් හොරොව් දොරකඩ
ජල කාන්දම් සුල්ලියකි ඇඹරෙන
හුස්ම කටක ඉඩ නොතියම
ගිලෙනවා ජඹුරටම හුසුමට..

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බලන්න...
මේ අකුරු අමුණන
මාපට ඇඟිලි ජෝඩුව..

මොන තරම් නං අකුරු කන්දරාවක් අමුණල ඇද්ද
මේ වෙනකොට...

නිදිවරාගෙන
අකුරු අමුණනව
දෙන්නම - දෙපැත්තක
ඉඳගෙන...

කොයි තරම් ආදරෙන්
පද පේලි ගෙතුවද එයාලා
ළං ළං වෙලා ඉදගෙන..

එකම අකුරක්
අමුණනකොට දෙපාරක් - එක ළඟ
බලා ඉන්නව මොහොතක්......
දෙන්නම..

පුදුම ඉවසීමකින්...

වමී මොන වැරදි කළත් දකුණා ට ගානක්වත් නෑ...
ආදරෙන් මකනව
ඒ වැරදි සේරම
එකින් එක...
හෙමිහිට...

ජෝඩුවම එකතුවෙලා
ADARE
අමුණනවා
දිග අකුරු වැල්වල

වචන අතරට පුංචි පුංචි හිදැස් තිය තියා ගියේ
දකුණා...
අගක් මුලක් තේරුමක් හොයාගන්න බැරි තරම්
දිග්ගැස්සුණු දිගම දිග වචන පේලිවලට පවා
තිත තියල
අවසන් කළේ
වමී...

ඒත්.....

දැන් ටික දවසක ඉඳං
ඉවසන්නෑ
කලිං තරං
දෙන්නම....

ඒ හින්දමද කොහෙද
හරීයට වැරදි
දැන් දැන් අමුණන පදවල

වමීගෙ හරි අකුරුත්
දකුණා අතින් මැකෙනව

දකුණාගෙ වැරදිත්
ඉතිරිවෙලා වගෙ
පේනව

තිත තියන අයිතිය
වමීටම විතරක් උනත්...
දකුණා ට පුළුවන්
තනියෙන්ම උනත්

එක්කරන්න ඒ වචනය....
WENWEMU

වමීට
වෙන කිසිම
වචනයක් නෑ...
අමුණන්න
HA
කියනව ඇරෙන්න

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අතු මතින් පෙරී ආ
පහන් කණුවේ එළිය,
දොර පියන් වසාගෙන
මා එතැ යි මග බලන
හුදෙකලා කාමරය
යන්තමින් පෙන්වී ය

අත යවා
යතුර ගෙන,
කරකවා
අගුල හැර...

හිසේ බර
කයේ බර
දැරූ පාවහන් යුග
මුදා හැර කොහෙට දෝ
අඳුරේ ම

වැසිමි දොර...

යමක් තද වනු සමඟ
අමුත්තක් මට දැනිණ...

පුරුදු බිත්තිය දිගේ
මඳ දුරක් යැවූ පසු
ඇඟිලි තුඩු,

එළිය විය කාමරය...

සරනේරුව මත
මිරිකී
පොඩි වී
ඇලී
තැලී
මොහොතකින් ඇද වැටී...

මට මතකයි,
කාමරයේ මගෙ තනියට හිටියෙ උඹ යි
නිහැඬියාව බිඳ හැඬුවෙත් උඹ ම තමයි
දත් බුරුසුව
බත් පිඟාන
බුලත් පුවක් හුනු දුංකළ
උඹෙන් පරෙස්සම් කරගෙන හිිටියෙ මම යි...

කාමරයේ මට සිටි සකි සඳාණෝ
අසුබ නිමිති හඬ ගා කී සතාණෝ
ඉපි මෙරුනට ඇවිදින මරු වැලාණෝ
තව ම නො මළ දඟලන මළ කඳාණෝ

දැඟලිල්ල නතර වී
නිසල වූ උඹේ කය,
දරාගනු බැරි තරම්
නිහැඬියාවක හඬින්
අවසාන නිමිත්ත ද
මට කී ය

පුරුදු බිත්තිය දිගේ
යවා යළි ඇඟිලි තුඩු
අඳුරු කර කාමරය,

අසා ඒ නිහඬ බව
වසාගත්තෙමි දෙ නෙත...

අනුරාධ මහසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.

මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.

තණ පත‍්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.

හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.

උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.

එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.

ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.

"ජනවාරි මාසෙත් ඉවරයි"
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.

සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.

වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
"ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි."

2012 ජනේරු 25

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇලකර හිස
ගිරි උරහිසට
සඳ ඇවිත් හැන්දෑවට ඇන්ද
හද්දා ඈත කඳුයාය ම
සේ සිතුවමකි.
මට නුඹ තරමට ම
තවමත් මඳමත් එසඳ
නැංඟ ගිරිහිස විතරක්
යන්තමින් පෙනේ

විමසිල්ලෙන් උන්නු
ගහ කොළ ට
පුර-අවපස වෙනසත්
කටපාඩම්
පුදුමයෙන් ව‍ගේ ඇහුවට
මතකද?
ඔතනින් විතරමයි
සඳ නැං‍ඟෙ අහසට නම්

රෑ නිදන සමනලුන්
දැන් හොඳටම නිදි
නපුරු හීන නො දකී
අනිවාරීත අවාරෙත් මඟහැර
සඳ ඇවිත් ගිය රෑට
කන්දක මල් සුවඳට පිපී

සඳ දියෙන් දොවා හැඩ ට නො ඉවසිලි මහ ගිරග
සිඹ සොඳින් උරා ‍තෙත ට කන්දක දූවිලි සුවඳ
හිඳ ළඟින් නුරා පෙම ට විඳින්නට හැමදා ට
ගිර අගින් නඟී සඳ, හෙට රැයෙත් එතැනින් ම

මහේෂ් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජයන්ත නිමල්සිරි විසින් රචිත ‘ප්‍රත්‍යාවලෝකන’ සහ ‘සිව්වන වැඳීම’ කාව්‍ය ග්‍රන්ථද්වය 2012 ජනවාරි මස 21 දින ප. ව. 2 ට කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සමාජයේ වෙසෙන සාමාන්‍ය මිනිසා ට වඩා, කවියකු යනු, වඩා සංවේදී පුද්ගලයෙකි. ඔහු, සියළු සංවේදනා අනෙකාට වඩා විඳින්නෙකි. කවිය පිළිබඳව වෙනදාට වැඩියෙන් කතා කරන යුගයක වුව ද, කවියට නිසි තැන ලැබෙන්නේ ද යන්න සංවාදාත්මක ය. කෙසේ වුව ද, කිසිවකු කවියක් ලියන්නට දරන තැත පමණක් ම, එක්තරා අන්දමක ඇගයීමකට හෝ පැසසීමට ලක් කළ යුතු බව මගේ පෞද්ගලික පිළිගැනීම වන්නේ, කවිය ට ළං වීමට දරන උත්සාහය ම, අවියෙන් ඈත් වීමක් වන නිසා ය. වඩාත් සුන්දර ලෝකයක් තනන්නට නම්, පළමුවෙන් මිනිසුන් සැදිය යුතු ය. වඩාත් සුන්දර මිනිසුන් තනන්නට නම්, වඩාත් සංවේදී විය යුතු ය. එසේ නම් වඩාත් සුන්දර වූ ලෝකයක් තනන්නට හැකි වන්නේ වඩාත් සංවේදී මිනිසුනට ය. එහෙත් එදා මෙදා තුර කාලය පුරාම, ලෝකය තනන්නේ ගොරහැඬි මිනිසුන් විසිනි. ඉදිරිය තව තවත් අඳුරු වනු මිසක, ආලෝකය දල්වන්නට හැකි වේ යැයි සිතීම පවා අසීරු මොහොතක් ගෙවී යමින් තිබෙයි. එහෙත්, ලෝකයට වඩාත් ලෙන්ගතු පුද්ගලයින් අත, අවසන් මොහොත දක්වා ම, තම සහෘදයා වෙනුවෙන් කළ යුතු යමක් වෙතැයි අපි සිතමු. ඒ, අනෙකාට මඟ පෙන්වන පහන් තාරකාව වීම ය. ඉදින්, ඒ පහන් තාරකාවක් විය හැක්කේ, කවියෙකු ට ම නොවේ ද? අනෙකා ගේ ඇසට හසු වූ කවීහු ද, අනෙකා ගේ ඇස නො ගැටී වහන් වී, මගෑරෙන කවීහු ද අප අතර වෙති. එවන් දුල් මිණි හාරා සොයා ගන්න ට අද පාඨකයා ට සිදුව ඇත.

අන්තර්ජාලයේ බලමහිමයෙන් අද අපට, අනෙකා හා ජීවිතය බෙදාහදා ගන්නට පහසු ය. නිර්මාන ද, අසුරු සැණෙන් බෙදා ගන්නට හැකි ය. එබැවින් එක නිමේෂයක දී ඔබ ට, ඔබ ගේ නිර්මාන ලොව පුරා ම බෙදාලිය හැකි ය. එසේ යන මෙම සයිබර් අවකාශගමනය අතරතුර දී ඔබ ට මඳක් නැවතී සිතන්න ට ද සිදු විය හැකි ය. ඒ, ඔබේ සිත සලිත කළ හැකි යමක් නෙතු ගැටෙන විට ය. කවියකු වන්නට පෙර ඔහු, කවි "රස විඳින්නෙකු" විය යුතු බව ඇත්ත ය. එවිට, අපට කවිය ද, කවියා ද මුණ ගැසෙයි.

සමිත බී. අටුවබැන්දෑල.... අටුවබැන්දෑල යනු දිවට නුහුරු නාමයකි. එහි උච්චාරණය, විටෙක අප අපහසුතාව ට ද පත් කරයි. එහෙත් එය, අප නෙතට හෝ සිතට හුරුපුරුදු බවක් ගෙන එයි. ඔහුගේ පන්හිඳගින් ගලා හැලෙන්නේ අතිශයින් සරල, ඔහු ගේ ම රටාවක ට තනාගත් කාව්‍ය ආරකි. ඒවායෙහි, අපට එදිනෙදා මුණ ගැසෙන ගැහැණුන් සහ මිනිසුන් වෙයි. ඔවුනගේ කප්පරක් දුක් ගැහැට, ජීවන අත්දැකීම්, තමන් ගේ පරිසරයෙන් ම සොයා ගන්නා සමිත, ඒවා අපූරු කාව්‍ය නිර්මාන බව ට පෙරළයි. උනුන් ගේ කඳුළ, සුසුම ඔහු තම හදවත මත්තේ පුපුරුවා හැර දමමින් සංතාපයන් අවුළයි.

විටෙක දී, ඔහු ගේ ආකෘතියෙහි ස්වභාවය එහා මෙහා ගොස් ඇති බවක් දිස් වුව ද, ඒවායෙහි හෘදයංගමභාවය රකින්නට ඔහු උත්සුක වෙයි. එමෙන් ම, එ සියලු තැන් හි, අප ට ඇසුරු කරන්නට ලැබෙනුයේ නිරන්තරයෙන් අප නෙත ගැටෙන, ජීවිතය ගැට ගසා ගන්නට අප‍්‍රමාණ දුක් විඳින දයාබරිත මිනිසුන් ය. සහෝදර සහෝදරියන් ය. මව්වරු සහ පියවරු ය. සමිත බණ්ඩාර අටුවබැන්දෑල අපට පුදන අපූර්වත්වය, ඇත්තේ එතැන ය. සංසාර මාවත කෘතියෙහි "පිදුම" සහ සමිත ගේ පෙරවදන ම, කවියේ පෙරනිමිති ගැන පූර්ව අදහසක් අපට කියයි.

දරුවකු ට පාසල් නිම්න භූමිය තරම් මතක අවුළුවාලන තවත් තෝතැන්නක් නැති ය. එය වඩ වඩාත් දැනෙන්නට ගන්නේ පාසල් කාලය අහවර වීමත් සමඟිනි. අගනුවර පාසල් පිළිබඳ කතාන්දරය ට වඩා, පසුකාලයේ දී රසබර වන, දැඩි කටුක අත්දැකීම් ගම්බද ළමුන් ට අත්විඳින්නට සිදුවීම අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

දහඩිය විලවුන්
තවරගෙන
දුහුවිලි කොකුම් උලා ගෙන
බොරළු පාර දිගේ
ඇවිද ගෙන ඇවිද ගෙන ඇවිද ගෙන ඇවිත්
මන්දපෝෂිත ඉස්කෝලෙට
ගොඩ වැදෙන්නී...

වද කොස් ගහ යට පංතියේ
මැලේරියා උණ හැදුණ අපට
හැන්දෙන් හැන්ද අකුරු පොවන්නී...

-පි.17


සමිත ගේ සංසාර මාවත ඇරඹෙන්නේ "දුෂ්කර සේවයට ආ අපේ අලුත් ගුරුතුමී ට" යනුවෙන් අලුත් ගුරුවරිය ගැන ලොවට පාන පහන් කන්දෙනි. එවැනි ගුරුවරු පුදන්නට කිසිවකු හෝ පසුබට වන්නේ නැත. ස්වේඡා ගුරු සේවය ස්ථාපිත කරගැනුම වෙනුවට, සැබෑවට ම දුෂ්කර පෙදෙස් සඳහා තම සේවය සැපයීම ම අරමුණු කරගන්නා නගරවාසී ගුරුවරු වෙති. සමාජය විසින් ඔවුන් සදා පුදනු ලබන්නේ ය.

ගුරුතුමී
ඔය අලුත් සාරි පොටේ සෙවණැල්ල
ඉස්කෝල වත්තෙ බිම පුරාම
හැමදාම එලී තියෙයි
ඔන්න කටුකම්බි මල් වැලෙත්
සතුටක් පිපී ගෙන එයි.

-පි.18


"රැකියා විරහිතයාගේ කවිය" තුළින්, පරපුරේ රැකියා අහේනියත්, ඊට වඩා ඉස්මතු කොට ගන්නේ, පවත්නා විෂය මූලික අධ්‍යාපන ක‍්‍රමය කෙතරම් දුරට ප‍්‍රායෝගික දැයි සිතන්නට කාරණා ය.

අම්මේ තාත්තේ
ධනුද්ධරය මං දඹදිවටම
දහසක් වැදි රජුන් පරදා
තක්සලාවේ සිට පැමිණුන
මේ අපේ පුංචි ගෙදර
අලුත්වැඩියා කරන
කිසිම සිල්පයක් නොදන්න

-පි.38


නූතනවාදී සංකල්ප පිළිබඳව අප‍්‍රමාණව කතා කෙරෙන යුගයක වුව ද, බොහෝ දෙනෙකු දෑවැද්ද, කුලය, ආගම වැනි දේ විවාහයක දී සළකා බලයි. අඟහිඟකමෙන් පිරුණු පවුලක තරුණියකට එවිට සිදු විය හැක්කේ මෙවන් දෙයක් නොවේ ද?

නැටි කැඩුණු බලාපොරොත්තු
ගුලි ගැහුණු බුලත් හෙප්පුව
සම්ප‍්‍රදායෙන් වහගෙන වඩාගන්නී
කුර ගගා නැකත ආ කලට එය
පුරුෂ ප‍්‍රාණයක් අතට දෙන්නී
සියවැනි වතාවටත් ඇය
එරබදු ගහේ
කෙළ කෝටියක් මල් ගනින්නී.

-පේ‍්‍රමවතී -පි.41


සමාජ විෂමතාව මත මෙවන් අකාරුණිකකම් වලට මුහුණ දෙන සොයුරියන් අපට නිතර හමු වෙයි. උරුමක්කාරයින් මුණ නොගැසී ම, ඔවුන්ගේ ජීවිතය තව තවත් අසරණ කර දමන්නට සමත් වෙයි. එවන් සොයුරියන් ගේ ඇල්මැරුණු ජීවිතය සමිත ගේ හද සසළ කරවන්නේ මහත් අනුකම්පාවකිනි.

බිම වැටී ළය පැළුණු හෙප්පුව
සාලයෙන් කුස්සියට
හිස මුදුනේ තබා ගෙන වඩම්මන්නී.

-පි. 42


රට තුළ මේ වන විට විශාල දියුණුවක් ඇතැයි මාධ්‍යය මඟින් තහවුරු කරන්නට කෙතරම් උත්සාහ දැරුව ද, අගනුවර සහ ඒ අවටින් පිට ගම්බිම් ඇතුළත කෙතරම් අඳුරක් පැතිර ඇද්දැයි දන්නේ ඒ හරහා යනවුන් ය. සමහර ප‍්‍රදේශ වල, පාසලට සැතපුම් කිහිපයක් දුර පයින් යා යුතු ය. ඇත්තේ විටෙක කුඩා මංමාවත් ය. වාහනයක් පැදවිය හැකි මාර්ගයක වුව ද, බසයක් ධාවනය වන්නේ නම් පැය කිහිපයක් බලා සිටිය යුතු ය. රෝහලක ට, වෙළඳපොලකට වුව ද එසේ ය. අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ලැබෙන්නේ ඡන්ද පොරොන්දු ලෙස පමණ ය. එහෙත් ඒවා ට බාලගිරි දෝෂ ය. කන්දකඩුව වැනි ප‍්‍රදේශ වල සහෝදර ජනතාව තාමත් අඩිපාර දිගේ සැතපුම් ගණනාවක් දුර ඇවිද ගොස් මහපාර අයිනට වී, පොළට යන්නට, කුඩා ලොරි බාගය එන තෙක් පැය ගණනාවක් බලා ඉන්නවා ඇත. රෝගියෙකු පුටුවක තබා, සැතපුම් ගණනක් දුර ඇති ඩිස්පැන්සරියකට, ගම්මුන් එකතුව ඔසවා ගෙන යනු ඇත. මේ සියලු කම්පිත මතක මතුව ආයේ, සමිත ගේ "දුෂ්කර පළාතේ අකීකරු සිසුවා" කියැවීමෙනි.

පාසල නිමා වී ගොසින
හේන මත උදැල්ලෙන්
මහා රචනාවක් ලියන්නා
වාර විභාගයට
පොත පුරා
කරගැටයක් සදිසි ලොකු බිංදුවක් ලබන්නා

බඩගින්නේ මියෑදුණු
වාර ගණන එකතු කොට
කොටුරූල් කොළයක සතපවා
මහා සූත‍්‍රයක් තනන්නා
විසඳනා ක‍්‍රමයක් නොදන්නා

-පි.45


සමිත මෙම අපූරු ගැටපද සොයාගන්නේ සැබෑ ජීවිතය හාරා අවුස්සාලමින් යැයි, ඒවායෙන් මැවෙන නොයෙක් රූප අපට කියා පාන්නේ ය.

"අම්මාගේ පපුව කැක්කුම
මනින්නට නොහැකි
මේ අඩිකෝදුව කුමකට දැයි
මහා හයියෙන්ම අසන්නා"

-පි.46


පාසල් දරුවකුගේ එදිනෙදා අත්දැකීම්, ගැඹුරු අරුතකට නංවා ඔහු, අපට, ඉන් දමා ගැසූ පසුත්, ඔබේ හිත රිදවූයේ නැතැයි දැන් ඔබට කිව හැකි ද?

ඔහු තව දුරටත් මෙසේ අසයි.

සියල්ල ම පසිඳ දැන ගත්
මගේ මුල් ගුරුතුමනි
ඉතිං
විද්‍යා පොතේ
සමබල ආහාර වේල
පිසෙන පිට
ඉරා කෑ හැකි ද
වන්නියේ මන්දපෝෂිත දරුවන්ට
අඩිරූල් අත්, පා වල ලේ පිරෙන්නට?


මේ සියලු දුක් ගැහැට අස්සෙන් දුව එන "පුංචි දුව" හිතට සිසිලසක් එක් කරයි. ඒ සමඟම "කොහු මෝලෙ සහෝදරීට ආධුනික කවියා ලියූ වචන" තුළින් අප සිහියට නැෙඟන්නේ ගුණදාස කපුගේ ශූරීන් ගැයූ "ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඬි ද දෝණී" නම් සමාජයක් ප‍්‍රශ්න කළ ගීතය යි.

සංසාර මාවත දිගේ කෙතරම් කටුඅකුළ් හමු වන්නේ දැයි ඔහු පෙන්වන්නේ සිත්තමක් අඳින්නා සේ ය. සමිතගේ කවිය තෝරා ගන්නට පහසු ය. එහි අපමණක් උපමා රූපක වෙයි. හුස්ම වැටෙන මිනිසුන්ගේ ඇටසැකිළි රූප ඒවායෙන් මතු වී එයි. සෙනෙහස, මනුස්සකම පොඟවා සමිත සැබෑ මිනිසාගේ සුසුම අප වෙත පා කරයි.

සුළි සුළං පිඹ
අවුළුවා දර ලිප
දර කෝටු අත් දෙකෙන්
සෙනෙහසේ බත පිසින්නී
පාසල් යන දරුවන්ට
කටින් කට ජීවිතය කවන්නී

-මගේ බිරිඳ -පි.58


කෙතරම් අඟහිඟකම් මැද වුව ද, සංසාර මාවතේ මිනිසුන්, ඔවුන ගේ මනුස්සකම, දයාව, ලෙන්ගතු භාවය බිඳ ගන්නේ නැත. ඔවුනගේ සිත් පුරා ආදරය වෑහේ. "මගේ බිරිඳ" ද එවැන්නිය කි.

ආසියාවේ
පරණ සිතියමක් සදිසි සරීරේ
හිඳුණු ගංගා
යකඩ කරාමෙන් එන සිසිලසින්
පුරව ගන්නී..

-පි. 58


"වීථියේ දරුවාගේ කව" ද අප‍්‍රමාණ මව් සෙනෙහසක් පුරවා ගත්තෙක්, සමිත අප ඉදිරියේ තබයි.

පියයුරු කපා දැමූ කල
විස්කෝතු කව කවා
මා රැක්ක අම්මා
නුඹය

පව් නොකළ වුන්
ගල් ගසන කල මට
ඉදිරියට පැන
ඇටකෝටු ළය පෑව අම්මා
නුඹය

-පි. 64


පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන්
ගඩොළු බිත්ති ආමාශය
කපරාරු කරගන්නී


"කිසාගෝතමී" කාව්‍යයේ මෙවැනි අපූරු උපමා රූපක තුළින් සමිතගේ නිර්මාන ප‍්‍රතිභාව විදහා දක්වයි.

පොල් ඉරටු සේ කෙට්ටු
ඇඟිලි තුඩුවලින් ඇය
සෙනෙහසේ කළාලය
ලෝකාවසානය තෙක් ම වියන්නීය
ගොම පොළොවේ
ගත එළාගන්නීය

-කිසාගෝතමී


සංසාර මාවතින් එහා ගිය සමිත ගේ නිර්මාණ බොහෝ විට අන්තර්ජාලය හරහා විඳින්නට ලැබෙයි. එමෙන්ම ඔහු, කවිය ඉක්මවා කෙටිකතාවෙහි ද නිරත වෙයි. ඔහු ගේ නවතම නිර්මාන අතරින් "මට මගේ දුව ඕනේ" නම් කෙටිකතාව පාඨකයාට වඩා සමීප වෙයි.

දෙදෙනෙකුගේ ආදර සම්බන්ධතාවක් විවාහයෙන් කෙළවර වී ගිය ද, ඒ අතර ට තෙවැන්නකු එකතු විය හැකි ය. විවාහයත් සමඟින් එකිනෙකා හඳුනා ගැනීමත්, සැබෑ චරිත ස්වභාවයන් මතු වීමෙන් ගැලපීම් සහ නො ගැලපීම් අතර ඝට්ටනයන්, තෙවැන්නකු ඒ අතරට එකතු වීමට මඟ සදයි. මේ ඉතා සාමාන්‍ය ස්වභාවයක් වුව ද, සමාජයීය සහ සංස්කෘතික හැදියාවන් පෙරටු කරගත්, ඉන් පවුල නමැති ප‍්‍රපංචය රාමුකර ගත් අප සමාජය තුළ, දැවි දැවී හිඳ, මහළු වී මිය යන්නට සිදු වී ඇති බැවින්, අප එකිනෙකා ආදරය සොයා යන්නේ අනෙකාට රහසිනි. එය වෙනම කතා කළ යුතු මාතෘකාවක් වුව ද, මේවායෙන් අසාධාරණය ට ලක් වන්නේ අහිංසක දරුවන් ය. සමිත මෙම කෙටිකතාවෙන් අරඹන්නේ එම සංවාදයයි. සමිතගේ කවිය මෙන්ම කෙටිකතාව තුළ ද, ඍජු දේශපාලනයක් හැඟවෙන්නේ නැත. ඔහුගේ නිර්මානයන් හි පදනම ලෙස මතු වන්නේ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික පසුබිම් ය. එහෙත් ඒවායෙන් ඔහු වක‍්‍රාකාරව උලුප්පා දක්වන්නේ ද දේශපාලනය ම නොවේද? සමිත ගේ, මෑත නිර්මානයක් වූ, "මීයා" ගේ කෙටිකතාව එය බිඳ දා යම් තරමක ඍජු දේශපාලනික පිවිසුමකට එළැඹිය ද, ඔහු එම නිර්මානය පාඨකයා බලාපොරොත්තු වන ඉසව් ඔස්සේ වැඩි දුරක් නො ගොස් නවතී.

".. එහෙත් එසැණ මොකක්දෝ සතුටක් ද මගේ හිත ඇතුළේ මීඅඩි තබමින් ඇවිදින්නට විය. ඒ, මගේ වාසනාවකට මගේ කාර්යාලයේ මගේ බොස් යනු, ඇමතිතුමා විසින් දේශපාලන සුදුසුකම මත පත්කරන ලද, පුංචි කොස් ඇට මීයෙක්වත් අල්ලා ගන්ට බැරි, මහළු බළලෙක් වීම නිසාය."

- මීයා-


අපි සැවොම සංසාර මාවතේ ඇවිද යමින් සිටින්නෙමු. තෙරක් නැති සසර මඟ දී, අප ට හමුවන්නෝ අපමණ ය. ඔවූහූ විවිධ හැඩැත්තෝ ය. අට ලෝ දහමින් කම්පා වන්නෝ වෙති. කාව්‍යය එවන් විටෙක දී, සිත සුවපත් කරයි.

දුෂ්කර සේවයට ආ අලුත් ගුරුතුමී, සේවය නිමා කොට, සංසාර මාවතින් අබිනික්මන් කර යන්නට සැරසෙන්නී, දරුවන් තුළ සෙනෙහස ද, නැණැස ද වැඩුවා ය. ඉදින්, ඇගේ දරුවෝ ඈ වෙනුවෙන් හඬා නො වැටේ යැයි, කවුරු නම් කියත් ද?

කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.

ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට

කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්

අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්

විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත‍්‍රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.

-දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට


තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොඩියක් නො වෙයි ඒ
සළුව යි ජැමෙයිකා පොළොවේ
ලෙළෙනවා නො වෙයි උඩු ගුවනේ
වැනෙනවා හුළඟේ
රඟනවා නිදැල්ලේ
රෙගෙ රෙගේ රෙගෙ රෙගේ...

ගැහෙන්නේ බෙර හඬින්
උපන් පොළොවේ හදවත
නළාවෙන් ගලන්නේ උණුසුම
දර අහුරු රෑ පුරා දැවෙද්දී
ගිනිමැලය අසල හිඳ වේදනා තවද්දී
ගයන්නේ නිදි වරන කටහඬ:
-නංගියේ, නාඬන්...
No women, no cry!

පලාවන් සුහුඹුල් පත් පිළිස්සී
පෙරී එන සාර දුම
පපු කුහර පාරමින් පාදමින් සොයන්නේ
ප්‍රේමයේ ශේෂය ද
ලෝලයේ රස පොද ද...

-කලපුවට හඳ එළිය වැටුණු දා
අමතක ද උඹට අපි හමු වුණා
සිඳී ගිය පැතුමේ පතුලේ
රෝස කුසුමක් නො වෙද පිපුණේ
වයන්නම් ගිටාරේ
මිය ඇදෙන ඇඟිලි තුඩු පණ ගසා
Stir it up, little darling!

පා වහන් ගලවා
මහ පොළොව පාගා
වීදියේ යායේ අවුවේ
කළු ගැසෙන සිනා රැළි සෙවණේ
දාඩියෙන් පෙඟුණු අත්වැල සදා වට කළේ
පවුරු නැති සම බිම ද
අරාජක සිහිනය ද

-නො දෙසනු ස්වර්ගය අහසේ යැයි
තිබෙන්නේ එය මේ පොළොවේ
අනුන්ගේ යුද්ධයට
කුලී මිනිසුන් සැදූ පොළොවේ
වහසි බස් අසාලා
බිය නො වවු සගයිනි...
අවදි වවු!
Get up! stand up!

සිංදුවක් නො වෙයි ඒ
ඇහෙනවා පෙර අසා නැති යමක්
හැඳිනගත හැකි වේ ද...
නිර්භය ව කෑ ගසා ප්‍රශ්න කළ
ගවේසී යෞවනේ ගීතය ද
බිය වැදී ජීවිතෙන් පලා යන
උන්මාද උච්ඡේද රිද්මය ද...

අනුරාධ මහසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


දෙමළ ජාතික සංධානය නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත දෙමළ සිවිල් සමාජයෙන් ඉදිරිපත් කෙරුණු විවෘත සංදේශයේ සිංහල භාෂා පරිවර්තනය

[2011 දෙසැම්බර් 13] දෙමළ ජාතියේ පැවැත්ම සහ අනාගත අභිවෘද්ධිය පිළිබඳ උනන්දු වන දෙමළ සිවිල් සමාජයේ සාමාජිකයින් වශයෙන් පහතින් සඳහන් දෑ ඔබගේ අවධානයට යොමුකරන්නට අපි කැමැත්තෙමු.

1. ශ්‍රී ලංකා රජය හා පැවැත්වෙන සාකච්ඡා: දේශපාලන විසඳුමක් සාක්‍ෂ්‍යාත් කරගැනීම

අ) ශ්‍රී ලංකා රජය හා පැවැති සාකච්ඡා වාර කිහිපයකින් පසු එම සාකච්ඡාවල යම් ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන බැව් පිළිගන්නා අතරවාරයේදී අතිශය වැදගත් කරුණු තුනක් සම්බන්ධයෙන් ලිඛිත ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඊළඟ සාකච්ඡා වාරය සඳහා ඔබ විසින් දින නියම නොකරන බැව් සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් අගෝස්තු 4 වෙනිදා නිල නිවේදනයක් නිකුත් කර තිබිණ. මේ දක්වා පැවැති එකී සාකච්ඡා බොහෝ දුරට ‘රැවටිලිසහගත’ බව ඔබගේ නිල නිවේදනය මඟින් පැහැදිලි කර තිබුණි. අගෝස්තු 4 වෙනිදා ඔබ ගත් ස්ථාවරයට දෙමළ ප්‍රජාවේ අතිමහත් සහයෝගය ලැබුණු බව දෙමළ සිවිල් සමාජයේ සාමාජිකයින් වශයෙන් අපි දැන සිටියෙමු.

කෙසේ නමුදු, සැප්තැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකා රජය සමඟ නැවතත් සාකච්ඡා ඇරඹෙන බැව් ප්‍රකාශයට පත්වූ විට අපි අතිශයින් විශ්මයට පත් වීමු. මෙකී දෙවෙනි නිවේදනය විසින් අගෝස්තු 4 වෙනිදා ඔබ විසින්ම නිකුත් කළ පළමු නිල නිවේදනය සහමුලින් බෙලහීන කොට තිබුණි. සාකච්ඡා නැවත ඇරඹීමට ඔබ ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන්හිදී ශ්‍රී ලංකා රජය වෙත සැළකිය යුතු පීඩනයක් ගොඩනැංවෙමින් පැවති අතරතුරේදීය. ඔබගේ එම තීරණය රජය වෙත එල්ලවන අන්තර්ජාතික පීඩනය වළකාලමින් ඔවුන්ට සහාය වීමේ චේතනාවෙන් සිදුකරණ ලදැයි යන යුක්තිසහගත විවේචනයක් එමඟින් මේ මොහොතේ ඉස්මතු කොට තිබේ. ඉහතින් සදහන් පරිදි, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වූ ඔබගේ තීරණයට අදාළ හේතු පැහැදිලි කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඔබ සතුව ඇති බව අප විශ්වාස කරමු.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් නම් කෙරෙන සාමාජිකයින් පිළිබඳව වහාම දන්වන ලෙස රජය විසින් අවධාරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වඩාත් මෑතක දී, එනම් දෙසැම්බර් 1 දා වන විට, බරපතල නො එකඟතාවන් සාකච්ඡාවන් තුළ ඉස්මතු වූ බව දැනගන්න ලැබිණ. ඒ කෙසේ නමුදු මේ මතභේදයට තුඩුදුන් කාරණාව පිළිබදව වැඩිදුර සන්නිවේදනයක් සිදු නොවී තිබියදීත් දෙසැම්බර් 06 වෙනි දා ඊ ළඟ සාකච්ඡා වටය සඳහා ඔබ සියල්ලෝ සහභාගි වූහ. දෙසැම්බර් 06 වෙනි දා සාකච්ඡා වටය අවසානයේදී ඔබ පවසා සිටියේ ශ්‍රී ලංකා රජය පොලිස් හා ඉඩම් බලතල සම්බන්ධයෙන් අනම්‍ය පිළිවෙත් දරණ බව හා ඔවුන් උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම ඒකාන්තයෙන්ම ප්‍රතික්ශේප කළ බවයි. මෙම කරුණු තුන ප්‍රතික්‍ෂේප කෙරෙන්නේ නම් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැත. සාකච්ඡා මේසයේ දී සැබැවින්ම හෙළිදරව් වූ දෑ දෙමළ ජනතාව වෙත පැහැදිලි කිරීම ඔබගේ වගකීමකි.

ආ) 2011 අගෝස්තු 23 හා 24 යන දෙදින ඉන්දියානු කොන්ග්‍රසයේ රාජ්‍ය ස‌භා මන්ත්‍රී සුදර්ශන නාච්චියප්පන් මහතා කැඳවූ දෙමළ බහු පාක්‍ෂික සමුළුවේ දී ‘වාර්ගික අර්බුදය සඳහා වූ ඕනෑම විසඳුමක් දෙමළ ජනයා යනු ස්වයං නිර්ණයට හිමිකම් ඇති ජාතියක් වශයෙන් පිළිගන්නා පදනමේ සිට ඉදිරියට යා යුතු බවට’ අවධාරණය කෙරුණු යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම අපගේ දැඩි කණස්සල්ලට හේතු විය. අදාළ යෝජනාවට දෙමළ ජාතික සන්ධානය අත්සන් නොකිරීමට බල පෑ කරුණු වශයෙන් දක්වන ලැබුණේ සමුළුව තුළ දී ඒ සම්බන්ධයෙන් ඒකමතිකත්වයක් ඇති නොවූ බැවින් එය පිළිගත නොහැකි වූ බවයි. ඇත්ත වශයෙන්ම පුදුම සහගත කරුණ වන්නේ ‘දෙමළ ජාතිය’ හා ‘ස්වයං නිර්ණය අයිතිය’ සඳහා පැහැදිලි ලෙසම විරෝධතාවය දැක්වූවන් අතරට ඔබ විසින් දෙමළ ජාතික සන්ධානයට මෑතක දී සම්බන්ධකර ගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ප්ලොට් සංවිධානය ද ඇතුළත් වීමයි. (යෝජනාවට විරුද්ධ වූ අනෙකුත් කණ්ඩායම් දෙක වූයේ ඊ.පී.ආර්.එල්.එෆ්. (පත්මනාභ පිළ) සහ ඊ.එන්.ඩී.එල්.එෆ්. යන කණ්ඩායම් ය.) මෑත කාලීන මැතිවරණවල දී ඔබ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ප්ලොට් සංවිධානය සමඟ එක්ව තරඟ කළ බව කවුරුත් හොඳින් දන්නා කාරණයකි. මේ සමුළුවේ දී ඉහත කී කණ්ඩායම් දෙමළ ජාතික සන්ධානයේ මූලාරම්භක ප්‍රතිපත්තීන්ට එරෙහිව කටයුතු කළේ නම්, ඔවුන් පක්ෂයේ පිළිවෙත් හා බැඳී සිටින්නේද යන්න තහවුරු කර ගැනීම ඔබගේ වගකීමකි. අඩුම වශයෙන් මේ පිළිබඳ නිශ්චිත කරුණු පැහැදිලි කිරීමක් අදාළ සන්ධානගත පක්ෂවලින් ඔබ විසින් ඉල්ලා සිටිය යුතුය. ඔවුන්ගේ සථාවරය ඔබ විසින් හෙළා දැකීමක් හෝ ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා නොසිටින කල්හී නවදිල්ලි සමුළුවේදී ඔවුන් ගත් ස්ථාවරය සමඟ ඔබගේ එකඟතාවක් එමගින් ගම්‍ය වන බැව් සිතීමට යමෙකුට බල කෙරෙණු ඇත. පොදු අරමුණක් සඳහා නොමැති ඒකමතිකත්වයක් හෝ එක්සත්භාවයක් අරුත් විරහිත ය. දෙමළ පක්ෂ අතර එක්සත්භාවය අදාළ වන්නේ එකී එක්සත්භාවය දෙමළ ජාතික දේශපාලනයට ගාමක බලයක් සැපයීමට උපකාර වනවිට මිස එය ඒ සඳහා විනාශකාරී වන විට නොවේ.

ඇ) අපගේ නිරීක්‍ෂණයට අනුව සම්බන්ධන් මහතා හා සුමන්දිරන් මහතා දේශපාලන විසඳුමක් යන විෂය සම්බන්ධව සිදුකරණ ප්‍රසිද්ධ ප්‍රකාශයන්ගේ ස්වභාවය දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය මැතිවරණ වේදිකා මතදීත්, මැතිවරණ ප්‍රකාශන මගිනුත් පැවසූ දෙයින් අපගමනයක් පෙන්නුම් කරයි. ඔවුනට අනුව දේශපාලන විසඳුමක් පදනම් විය යුත්තේ දෙමළ ජනයා යනු ‘සුළු ජාතියක්’ සහ ‘සම අයිතිවාසිකම්’ යන සංකල්පයන් මත පදනම්ව මිස ‘ජාතිකභාවය’ හෝ ‘ස්ව නිර්ණ අයිතිය’ මත නොවේ. (උදාහරණයක් වශයෙන් 2011 අප්‍රේල් 26 වෙනිදා සුමන්දිරන් මහතාගේ එස්.ජේ.වී චෙල්වනායගම් අනුස්මරණ දේශනය සහ 2011 ඔක්තෝබර් 04 දා කල්මුනේ නාගරික මැතිවරණයට පෙර දින සම්බන්ධන් මහතාගේ මාධ්‍ය නිවේදනය බලන්න.)

‘සුළු ජාතීන්ගේ’ ඉල්ලීම් වන්නේ භාෂා සහ සංස්කෘතික අයිතීන් පමණක් බව පැහැදිලි කරුණකි. නමුත් යම් ජනතාවක් තමන් ස්ව නිර්ණ අයිතිය සඳහා සුදුසුකම් ලත් ජාතියක් වශයෙන් සළකන කල්හී ඔවුහු ස්ව පාලන ව්‍යුහයක් අපේක්‍ෂා කරති. අපි, දෙමළ ජනයා වනාහී ස්ව නිර්ණය අයිතිය සඳහා හිමිකම් ඇති ජාතියක් ලෙස සලකන්නෙමු.

ඒ හා සමානවම ‘සම අයිතිවාසිකම්’ ඉල්ලා සිටීම යනු ස්වයං පාලනයක් ඉල්ලා සිටීම නොවේ. නීතියේ ආධිපත්‍යයට හා යහ පාලන ක්‍රමයකට පවා සම අයිතිවාසිකම් තහවුරු කිරීමට පුළුවන. නමුත් දෙමළ ජනතාව බලා පොරොත්තුවෙන දෑ හුදෙක් නීතියේ ආධිපත්‍යය හා යහ පාලන ක්‍රමයක් තහවුරු කිරීමෙන් පමණක් සංතෘප්ත කළ නොහැක. වර්තමානයේ අප සතු ගැටළු විසඳා ගත හැක්කේ ස්වයං පාලනය ව්‍යුහයක් හරහා පමණි.

අපගේ සාමූහික දේශපාලන අභිලාශය ප්‍රකාශයට පත් විය යුත්තේ ස්ව නීර්ණ අයිතිය සඳහා සුදුසුකම් ඇති, ස්වයං පාලන ව්‍යුහයක් අරමුණු කොටගත් ජාතියක් වශයෙනැයි මෑත අතීතයේදී - නිශ්චිතවම කිවතොත් 1976 සහ 1977 කාල වකවානුවේ දී - අපගේ නායකයින් සහ ජනතාව තීරණය කරන ලද්දේ මෙකී අවබෝධය සහ අත්දැකීම් මත පදනම් වෙමිනි. මෙම ස්ථාවරයන් තවදුරටත් දැරීම නුසුදුසු යැයි හුදෙක් කිහිපදෙනෙකු විසින් දරණ ආකල්පය අපගේ දේශපාලනයේ මූලධාර්මික පදනම් අතහැර දැමීමට පාදක කරගත නොහැක.

දෙමළ ජනතාව වනාහී ස්ව නීර්ණ අයිතිය සඳහා සුදුසුකම් ඇති ජනතාවක් බැව් පැවසීම වෙනම රටක් ඉල්ලා සිටීමක් හඟවනු නොලබයි. අපගේ අභිලාෂයන් සපුරාලන ආයතනික ව්‍යුහයක් පිළිබඳව සාකච්ඡා මේසයේදී අදහස් හුවමාරු කර ගත හැක. නමුත් ඉහතින් සඳහන් කළ මූලධාර්මික ආස්ථානයන් මත පිහිටා සිට මේ සාකච්ඡා සඳහා යොමු නොවන්නේ නම් මොනයම් ලෙසකින් හෝ අර්ථවත් ස්වයං පාලන ව්‍යුහයක් සාක්‍ෂ්‍යාත් කරගැනීමට අපට නොහැකි වනු ඇත. මේ මූලධර්මයන් පිළිනොගන්නා කිසිදු දේශපාලන විසඳුමක අර්ථයක් නොමැත. ඊට පටහැනිව, මේ මූලධාර්මික පදනම් පිළිගන්නා විසඳුමක් විසින් පමණක් කල් පවත්නා දේශපාලන විසඳුමක් සම්පාදනය කොට සංහිඳියාව සඳහා මඟ සළසනු ඇති අතර අනතර්ජාතික මැදිහත්වීමක අනවශ්‍යභාවයද තහවුරු කරනු ඇත.

ස්ව නීර්ණ අයිතිය සඳහා හිමිකම් ඇති ජාතියක් වශයෙන් අපගේ දේශපාලන අභිලාශයන් පැහැදිලි කිරීමේ දී අප විසින් ගත් ස්ථාවරය නිවැරදි බව ඔබට ප්‍රත්‍යක්‍ෂව තිබීමත්, ඒ බව පැවසීමට ධෛර්යය සහ අධිෂ්ඨානයක් ඔබ සතුව තිබීමත් ඉතා වැදගත් වේ. දෙමළ ජනතාව වෙනුවෙන් කතා කළ හැක්කේ හා කතා කළ යුතු වන්නේ මේ ධෛර්යමත්භාවය ඇති අය පමණි. මේ ඉල්ලීම් හුදු සටන් පාඨ වශයෙන් පමණක් ඉදිරිපත් කිරීමෙන් පමණක් අපට කිසිවක් ළඟාකර ගත නොහැකි බව ඇත්තකි. දේශපාලන උපක්‍රම ඇත්ත වශයෙන්ම අති මහත් වැදගත්කමක් සහිත බවට සැක නැත. නමුත් උපක්‍රම වෙනුවෙන් අපගේ දේශපාලන මූල සිද්ධාන්තයන් අත්හැර දැමිය නොහැකි ය. මේ මූල ධාර්මික පදනම් අත්හැර දමන්නේ නම් අප විසින් දේශපාලනය කරන්නනේ කුමටද - කා සඳහාද යන ප්‍රශ්නය පැන නඟී.

2. උතුරු පළාත් ස‌භා මැතිවරණය

උතුරු පළාත් ස‌භා මැතිවරණය 2012 දී පැවැත්වෙන බැව් ශ්‍රී ලංකා රජය දැන් පවසයි. දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය සඳහා තරඟ කරන්නේ නම් ඉන් ඒකාන්ත ජයග්‍රහණයක් ලබාගන්නා බැව් අපට සැකයක් නැත. නමුත් තේරුම් ගත යුතු සියුම් කාරණාව වන්නේ ශ්‍රී ලංකා රජයට අවශ්‍යව ඇත්තේ ද එයම බවයි. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ( මේ මොහොතේ එය ක්‍රියාත්මක කර ඇති ආකාරයට වඩා ) කිසිවක් සාකච්ඡා කිරීමට රජයට අවශ්‍ය නොවන තත්ත්වයක් තුළ හා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වාර්ගික අර්බුදයට විසඳුමක් නොවන බව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ම දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්‍ෂේප කර ඇති තත්ත්වයක් තුළ උතුරු පළාත් සභාවේ පාලනය දෙමළ ජාතික සන්ධානය අතට පත්වනු දැකීමට රජය කැමැති වීම පුදුමයක් නොවේ. රජයේ අභිලාෂය සේ පෙනෙන්නේ වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජනතාව එකඟ වී ඇති බව අන්තර්ජාතික ප්‍රජාව අතර ප්‍රචාරය කිරීමයි.

විසඳුමක් සඳහා වන ආරම්භයක් ලෙස 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සළකන මෙන් එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් බල කර සිටීමෙන් පෙන්නුම් කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සම්පාදනය කරන මූලික රාමුවට ඔබ්බෙන් වූ යමක් ඔවුන් ද අපේක්‍ෂා නොකරන බව පමණකි. එබැවින් පළාත් සභාවල බලය ලබා ගැනීමෙන් පසුව වැඩි බලතල ඉල්ලා සිටීමේ හැකියාවක් දෙමළ ජාතික සන්ධානයට ලැබෙනු ඇතැයි යන්න උපායමාර්ගයක් වශයෙන් සාර්ථක නොවනු ඇත. එනයින් පවත්නා තත්ත්වය තුළ ‘වර්ධක බල විමධ්‍යගතකරණය’ (ක්‍රමිකව වැඩිවන බල බෙදාහැරීමක් - පරිවර්තක) යනු ක්‍රියාවට නැංවිය නොහැකි විකල්පයකි. නෛතික විෂයයෙහි ප්‍රභාමත් විශාරදයින් බොහෝ දෙනෙක් දෙමළ ජාතික සන්ධානය තුළ සිටිති. එහෙයින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මූලික රාමුව මත පදනම්ව ‘ක්‍රමික වර්ධනයන්’ සඳහා තල්ලු කිරීමට අවකාශයක් නැති බව අප විසින් ඔබට පැවසිය යුතු නොවේ. එවැනි ඉඩක් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොමැත. එමෙන්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යනු අන්තර්කාලීන විසඳුමක් ද නොවේ. දෙමළ ජනයාගේ එදිනෙදා ප්‍රශ්න හෝ විසඳීමේ හැකියාවක් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොමැති තත්ත්වයක් තුළ මෙය නිශ්ඵල ව්‍යායාමයක් වනු ඇත. තව දුරටත් සැළකිය යුතු කරුණක් වන්නේ, එකිනෙකින් වෙන් කළ උතුරු හා නැගෙනහිර පළාත් සඳහා දෙමළ ජාතික සන්ධානය තරඟ වැදීම විසින් මතුකරන දුරදිග යන දේශපාලන හැඟවුම් පිළිබඳව ය. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳ අතරමැද සම්මුතියක් තිබිය නොහැක. දෙමළ ජාතික සන්ධානය විසින් මෙය එක්සත් ජනපදයට සහ ඉන්දියාවට අවධාරණය කළ යුතු වන අතර ඔවුන් පිහිටා සිටින ස්ථාවරයේ අනිසි බලපෑමකට යටත්ව ස්වකීය අභිප්‍රායන් අත්හැර දැමීම නොකළ යුතු ය.

එනයින් යෝජිත උතුරු පළාත් සභා මැතිවරණය ස්වයං පාලන ව්‍යුහයක් සාක්‍ෂ්‍යාත් කරගැනීම උදෙසා වන අ‍පගේ දේශපාලන ගමනේ දී බරපතල අවහිරයක් වනු ඇත. වඩාත් නිවැරදිව පැවසුවහොත් දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාත් සභාවේ බලය ලබා ගැනීම ‘දේශපාලන අරුතෙන් මුල්ලිවෛක්කාල්’ වැන්නක් වනු ඇත. එය වැළැක්වීම දෙමළ ජාතික සන්ධානයේ දෙවුර මත පැටවුණු ‍‍‍ඓතිහාසික වගකීමකි.

සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හා නුසුදුසු ක්‍රියාවක් යන ස්ථාවරය දෙමළ ජාතික සන්ධානය විසින් රජය හා අන්තර්ජාතික ප්‍රජාව හමුවේ මතු කළ යුතුය. මෙම ස්ථාවරය සඳහා ප්‍රමාණවත් දේශපාලන සයුක්තිකභාවයක් තිබේ. අපගේ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමට දෙමළ ජාතික සන්ධානයට අලුත් ජනවරමක් අවශ්‍ය නැත.

රජය මේ ඉල්ලීම නොසළකා හැර මැතිවරණ කැඳවන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා සෘජුව සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතු ය. උතුරු පළාත් සභාවේ බලය දෙමළ නොවන හෝ රජයට පක්‍ෂපාතී කණ්ඩායම් වෙත හිමි නොවනු පිණිස ගත යුතු විකල්ප උපාය මාර්ගයන් ගැන අපට සිතිය හැක. දෙමළ ජාතික සන්ධානය මේ සඳහා තවදුරටත් දෙමළ ජනතාවගේ උපදෙස් ලබා ගත යුතුය.

අවසාන වශයෙන්, අප විශ්වාස කරන්නේ දෙමළ ජාතික සන්ධානය යනු සාමාන්‍ය දේශපාලන පක්ෂයක් නොව, අපගේ ජනතාවගේ විමුක්තිය සඳහා වූ ව්‍යාපාරයක් බව ය. පසුගිය සියළු මැතිවරණයන් හී දී දෙමළ ජනයා නොසැළී ඔබ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ ‍දෙමළ ජාතික සන්ධානය පදනම් වූ අරමුණු උදෙසා ඔබ අචලව ක්‍රියාකරනු ඇතැයි යන විශ්වාසයෙනි.

මෙම ඓතිහාසික සන්ධිස්ථානයේ දී දෙමළ ජාතික ප්‍රජාවේ සාමූහික ආත්ම ප්‍රකාශනයක් වශයෙන් මෙම සංදේශය අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. මෙම අරගලය වෙනුවෙන් සිය ජීවිත පූජා කළ ලක්ෂ ගණනාවක් වූ ජනතාවකගේ අපේක්ෂාව මෙයයි. එමෙන්ම අඛන්ඩ පීඩනයට හා යටත්භාවයට හෙළා ඇති අපගේ ජනතාවගේ බලාපෙරොත්තුව වන්නේද මෙයයි. ‍ගෞරවාන්විත හා ධරණීය දේශපාලන විසඳුමක් සහතික කරනු පිණිස අත්‍යවශ්‍ය නිවැරැදි තීරණ ඔබ විසින් ගනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් යුතුව මෙම සංදේශය අපි නිමා කරන්නෙමු.

ස්තුතියි.

අති උතුම් ආචාර්ය රායප්පු ජෝසප් පියනම
මන්නාරම අග රදගුරු

අති උතුම් සෝමසුන්දර පරමාචාර්ය ස්වාමි,
නල්ලෛ ආදීනම්, යාපනය

ආචාර්ය ආරු.තිරුමුරුගන්
භාරකරු, තිරුක්කෝවිල් දේවස්ථානය, තෙල්ලිප්පලෛ,
සමාරම්භක - සිවභූමි භාරය, යාපනය

පූජ්‍ය ආචාර්ය එස්.ජෙබනේසන් දේවගැති තුමා
හිටපු අග රදගුරු - දකුණු ඉන්දීය සභාව,
යාපනය

ශාන්තා අභිමානසිංහම් මිය
ජනාධිපති නීතිඥ,
යාපනය

මහාචාර්ය එස්.කේ.සිත්‍රම්පලම්
ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්ය,
හිටපු පීඨාධිපති - උපාධි අධ්‍යයන ආයතනය,
යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය එස්. රවිරාජ්
විශේෂඥ ශල්‍ය වෛද්‍ය,
ශික්ෂණ රෝහල, යාපනය

මහාචාර්ය කේ.කන්දසාමි
පීඨාධිපති - විද්‍යා පීඨය
යාපනය විශ්ව විද්‍යාලය

මහාචාර්ය ආර්. කුමාරවඩිවේල්
භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
හිටපු වැඩ බලන උපකුලපති,
යාපනය විශ්ව විද්‍යාලය

මහාචාර්ය ආර්. විග්නේෂ්වරන්
ගණිතය පිළිබඳ මහාචාර්ය,
සභාපති - සරසවි ආචාර්ය සංගමය

මහාචාර්ය වී.පී.සිවනාදන්,
ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී,
යාපනය විශ්ව විද්‍යාලය

මහාචාර්ය පී.පුෂ්පරත්නම්
ඉතිහාස අංශ ප්‍රධානී,
යාපනය විශ්ව විද්‍යාලය

කේ.සූරියකුමාරන්
නියෝජිත - යාපන දිස්ත්‍රික් ධීවර සමිති බල මණ්ඩලය,
නියෝජිත - උතුරු වඩමරාච්චි ධීවර සමිතිය

ටී. රාජන්
මඩකළපු දිස්ත්‍රික් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ සන්ධානය

පූජ්‍ය සී.ජෙයකුමාර් පියනම,
මීසම් භාර පූජක,
කයිට්ස්

ආචාර්ය ඒ.එස්.සූසෛ
භූගෝල විද්‍යා අංශය,
යාපන විශ්ව විද්‍යාලය

එස්.අර්සරත්නම්
විශ්‍රාමික බැංකුකරු,
අම්පාර දෙමළ සංගමය

කේ.එස්.රත්නවේල්
ජ්‍යෙෂ්ඨ නීතීඥ,
විධායක අධ්‍යක්‍ෂ - මානව හිමිකම් සහ සංවර්ධන කේන්ද්‍රය

ආචාර්ය ටී.ගුණරාජසිංහම්
කායික විද්‍යා අංශය,
වෛද්‍ය පීඨය,
යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය එස්.උදයකුමාර් මිය,
විශේෂඥ වෛද්‍ය,
ශික්ෂණ රෝහල, යාපනය

වෛද්‍ය එස්.ප්‍රේමක්‍රිෂ්ණා
නිර්වින්දක විශේෂඥ,
ශික්ෂණ රෝහල, යාපනය

වෛද්‍ය එස්.සිවන්සුදන්
විශේෂඥ වෛද්‍ය,
ශික්ෂණ රෝහල, යාපනය

වෛද්‍ය පී.ලක්‍ෂ්මන්
හෘද රෝග විශේෂඥ,
ශික්ෂණ රෝහල, යාපනය

ඒ.පංචලිංගම්
හිටපු විදුහල්පති,
යාපනය හින්දු විදුහල - කොකුවිල් හින්දු විදුහල

පූජ්‍ය ඊ.රවිචන්ද්‍රන් පියනම,
අධ්‍යක්‍ෂ - යොවුන් ජීවනාලි කේන්ද්‍රය,
යාපනය

නාච්චියාර් සෙල්වනායගම් මිය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
හින්දු ශිෂ්ටාචාර අංශය,
යාපනය විශ්ව විද්‍යාලය

කේ.සන්දිරලිංගම්
විශ්‍රාමික විදුහල්පති,
අම්පාර දෙමළ සංගමය

වෛද්‍ය එස්.කුමාරවේල්
ශික්ෂණ රෝහල, යාපනය

එස්.ඒ.ජෝදිලිංගම්,
නීතීඥ - ගුරු වෘත්තික,
දේශපාලන විශ්ලේෂක

ඒ.රාසකුමාරන්
ලේකම් - යාපන සරසවි ආචාර්ය සංගමය

වී.පුවිදරන්,
ජ්‍යෙෂ්ඨ නීතීඥ, කොළඹ

පී.තියාගරාජා,
හිටපු සභාපති - පරන්තන් රසායන සංයුක්ත සංස්ථාව

බී.එන්.තම්බූ
නීතිඥ, කොළඹ

ජේ.ටී.සිම්සන්
ගුරු වෘත්තික,
මන්නාරම

නීතීඥ කේ. ගුරුපරන්,
කථිකාචාර්ය - නීති පීඨය,
යාපනය විශ්ව විද්‍යාලය

ටී.රාමක්‍රිශ්ණන්
හිටපු කාර්මික නිළධාරී,
අම්පාර දෙමළ සංගමය

වෛද්‍ය එස්.කන්නදාසන්,
ව්‍යාධිවේදී අංශය - වෛද්‍ය පීඨය,
යාපනය විශ්ව විද්‍යාලය

පූජ්‍ය එස්.එම්.පී.ආනන්ද කුමාර්
ලේකම් - යාපනය කතෝලික පූජක සංගමය

වෛද්‍ය කේ.ඉලන්ගෝඥානියාර්
ශික්ෂණ රෝහල, යාපනය

එස්.තවපාලසිංහම්,
සභාපති - මහා ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය

එන්.ඉන්පනායගම්
සභාපති - ග්‍රාමීය කම්කරුවන්ගේ සංගමය,
යාපනය

එස්.කිරුපාකරන්,
සභාපති - ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය කේ.සුරේශ් කුමාර්
නාරි සහ ප්‍රසව විශේෂඥ,
ශික්ෂණ රෝහල, යාපනය

ඒ.ප්‍රසන්න
සභාපති - විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය එස්.බහීරදන්
ශික්ෂණ රෝහල, යාපනය

එස්.සිවසොරූබන්
සභාපති - කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය ඒ.කමලනාදන්
ශික්ෂණ රෝහල, යාපනය

වෛද්‍ය ජී.හිරින් ආක්
ශික්ෂණ රෝහල, යාපනය

එස්.ජනහන්,
සභාපති - වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය

වෛද්‍ය පී.නන්දකුමාර්
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී,
තෙල්ලිප්පලෛ

වෛද්‍ය එම්.වාසුදේවන්
ශික්ෂණ රෝහල, යාපනය

වෛද්‍ය එස්.මෝහන්කුමාර්
ශික්ෂණ රෝහල, යාපනය

වී.අර්සරත්නම්
හිටපු සමූපාකාර සහකාර කොමසාරිස්,
අම්පාර දෙමළ සංගමය

කේ.සෙයොන්
මඩකළපු දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරිකයින්ගේ සංගමය

ජී.රන්ජිත්කුමාර්
මඩකළපු දිස්ත්‍රික් ධීවර සංවර්ධන සමිතිය

පූජ්‍ය ඒ. ඔගස්ටීන් පියනම
මීසම් භාර පූජක - චක්කෝට්ටෛ
යාපනය

එස්.එස්.පිලිප් මෝයි
ගුරු වෘත්තික,
යාපනය

පූජ්‍ය ඔගස්ටීන් පුෂ්පරාජ් පියනම
මීසම් භාර පූජක - නනාට්ටන්,
මන්නාරම

ටී.නිශාන්තන්
මඩකළපු දිස්ත්‍රික් ගොවි සංවර්ධන සමිතිය

පූජ්‍ය ජෙයපාලන් කෲස් පියනම
මීසම් භාර පූජක - වන්කාලෛ,
මන්නාරම

ඒ.සිත්‍රම්පලම්
සභාපති - මාදගල් ගොවි සන්ධානය

වෛද්‍ය එස්.සිවදාසන්
ශික්ෂණ රෝහල, යාපනය

පූජ්‍ය එල්.ඥාන්තික්කම් පියනම
මීසම් භාර පූජක - වන්චියාන්කුලම්,
මන්නාරම

ඒ.ආර්.මතිලාලගු
සභාපති - මාදගල් ධීවර සමිතිය

එම්‍.තයාලිනී මිය
මඩකළපු දිස්ත්‍රික් කාන්තා සංවර්ධන සමිතිය

කේ.සෞන්දරනායගම්
සභාපති - ශාන්ත අන්තෝනි ධීවර සමිතිය

කේ.සුගාෂ්
නීතීඥ, යාපනය

ඒ.ජෙයමනි මිය
සභාපති - බටහිර මාදගල් කාන්තා සංවර්ධන සමිතිය

ටී.අර්ජුන
නීතීඥ, යාපනය

කේ.අරුමෛතුරෛ
සභාපති - ශාන්ත ලූතර් ධීවර සමිතිය

එස්.ජයසේගරම්
සභාපති - යාපනය වාණිජ මණ්ඩලය

කේ.පාවාලකේසන්
මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන සමිතිය

ඒ.සන්තියාපිල්ලෛ
සාමය සහ යුක්තිය සඳහා වූ අංශය,
යාපනය කතෝලික පුරවැසි සමිතිය

කේ.සෙල්වරත්නම්
සභාපති - විවිධ සේවා සමූපාකාර සමිතිය,
පණ්ඩතිරිප්පු

ආර්.ජෝන්පිල්ලෛ
නනාත්තන්,
මන්නාරම
පරිවර්තනය - තාරක පතිර‍ගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගීකියන කන්ද පාමුල
ගී අමතකව ගිය මහගෙදර
පුරුදු මහපට ඇඟිලි පහස ලැබ
නොවිය හැකි දෙයක් යැයි තිගැස්සෙයි

සියක් පුස් තිත් වලින් බතික් කළ
කමිස කොලරය තදින් පියවගෙන
කැමැත්තෙන් අලුත් හුස්මක් ගන්න
තාත්තා මඟ බලා සිනාසෙයි

දෙවොල් බිම සැර වෙවී දෙවියන් ට
යාතිකා ගී ගැයූ ස්වර තන්තු
පිළිල වී වැඩෙන දුක දරන්නට
රබර් ගස් කල් තියා පත් මුදා
වැලපෙමින් පෙබරවාරිය ගෙනෙයි

කන්ද මුල මිනිස් රූ
ඇද වැටෙන්නට නොදී
ගමට සෙත් කවි කියූ තාත්තා…..

කවි කියා පන රකිත හැකි වෙනම්
අලුත් ස්වර ‍සොයා ‍ගෙන ගයන්නෙමි
ඇහැ පියා නො ගන්නෙමි
දිය පවා නො ගන්නෙමි
ගයන්නෙමි ගයන්නෙමි ගයන්නෙමි

කවිය සෙත් ‍‍වෙන්නනම් මිතුරනේ
ස්වර තාල ගායනා කළ යුතුයි.

අනුමස්තිෂ්ක කාගෙන
සිහි නිලංකාර ‍‍වෙන යාමෙට
ජීවිතය මරණය ද සැක සිතී
පරාජය උත්තුංග වී නැ‍ඟෙයි

අත් හරින අත් හරින පත් පැමිණ
මුදුන් උළු කැටය මත දුක ලියයි

සෙත් කවිය කන්ද මුදුනේ හැපී
අත් හැ‍රෙනු බෑ කියා හඬාගෙන
ජීවිතය කියා දී බිම වැ‍ටෙයි

2012 ජනවාරි

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේ සීත දුරුත්තට ගිනි තියන
සීතල ම තව තවත් අවුලුවන
පොල් මටුල්ලෙන් පෙරෙන තෙළි දියට
බිඟුන් අවතාර වී නිති පෙරෙන
එතොත් ඔබ අවුළුපත් බුදින්නට
නෙරළු ගස් මණ්ඩියක වාඩිගෙන
පුරන්නට අවසරද මෙ'තෙළි දිය

දසුන් නැති නමුත් නෙතු තුළ රැඳුනු
කසුන් සිහිනයක ඔබ සිටිනවලු
මසුන් වුව ගැහෙන සීතල හිමක
දුරුතු තනිකමක් දැනුනද යාළු

අඳුරු වන ගැබකි සිත ගුළු ගැණුනු
අඳුරු වැහි කෝඩයට මුළු ගැණුනු
මොණර කුකුළෙකුගෙ මතකය ඇවිලු
සොඳුරු මතකය පමණි මට යාළු

සඳුන් හර ලෙස දවන ජීවිතය
අළුත් සුළගේ ගියා නොකියාම
සුදුම සිගරට්ටුවකි ජීවිතය
ෆිල්ටරය මතක මරණෙකි තාම

ගම්මිරිස් ඇටයකින්
බැදි මිරිස් කරලකින්
මම නුඹට වෙඩි තබමි
හදවතම හිල් වෙන්න
කවි ගලා ගියාවේ
රතු රුහිරු විලාසෙන්
ඒත්........................
පෙණහළුව........ අක්මාව
නුඹ ම එය රැකිය යුතු

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මාතෘකාව- කේදීස්වරන් තේවරාජා

පරම සත්‍යයේත්, නිර්මලත්වයේත් සංයමයේ හා ශික්ෂණයේත් සංඛේතීය කුසුම වන බ්ලූ වෝටර් ලිලී හෙවත් නිල් මහනෙල, ශ්‍රී ලාංකීක යන ව්‍යාජ පොදු ජාතිකත්ව හැඟවුම්කාරකය තුළ අධිනිශ්චය වූ සිංහල ජාතියේ හෙවත් සිංහල බෞද්ධ අනන්‍යතාවයේ පරම පුෂ්පය බවට පත්ව ඇති යථාර්ථයෙහි සත්‍ය වශයෙන්ම පවතින්නාවූ නිර්මලත්වය, සංයමය හා ශික්ෂණය අපි සිය දහස් වරක් අත්දැක ඇත්තෙමු.

බුද්ධත්වයට පත්වූ කුමාර සිද්ධාර්ථයන්ගේ පා පතුල්හි ඉසියුම්ව කැටයම් ව තිබේයේ යැයි සැළකෙන වෙසෙස් සුබ ලකුණු අතරේ මෙම නිල් මහනෙලද වී යැයි චිරන්තන බෞද්ධ සාහිත්‍යයේ සඳහනි. සිහිගිරි පර්වතය මුදුනේ එකෙළ මෙකෙළ වෙමින් මහණදම් පිරූ මහායානික බුද්ධ පුත්‍රයන්ගේ ශික්ෂණයට ආරම්මණයක් වූ ගුහා සිත්තම් අප්සරාවන්ගේ සුකොමළ අතැඟිලි අතර වූයේද මෙකී නිල් මහනෙල් කුසුම ය.

එවන්වූ කලාත්මක සංයමයකින් අනූන සංඛේතීය අරුත් උත්කර්ෂයට පත් කළ නිල් මහනෙල් මල, නූතන වීරෝදාර සිංහලයා අත ප්‍රතිඅර්ථකතනය වූයේ මිලේච්ඡසහගත පිළිකුල් උත්ප්‍රාසයක් තුළ ය. දෙමළා පරසක්වල ගසන්නට ම සන්නද්ධව පේවී සිටි රණවිරුවන්ට පරසතුරා සෙත්තපොච්චි කර දමන්නට යෝධබල, යෝධ වීර්යය පොම්ප කරනු පිණිස අටවා ගත් ප්‍රතිබෞද්ධ ජාතිවාදී ව්‍යාපාරයන් නිල්මහනෙලෙහි රුධිරය තවරාලූයේ සදාතනිකව සෝදා හරිනු නොහැකි පරිද්දෙනි. මන්දයත් අවසන ඔවුන් සිය පාරභෞතික මෙත්මල් විල යථාර්ථයික අවකාශයේදී භෞතික රුහිරු තඩාගයක් බවට පත් කරලු බැවිනි.

තවද බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ එන ප්‍රඥාවන්ත රජ කෙනෙකුන් සේ සැළකෙන සලමන්ගේ ගීතිකාවන් අතර පුරාතන ඊජිප්තුවේ සංඛේත පුෂ්පය ලෙස සඳහන්ව ඇත්තේ මෙම නිල් මහනෙල් කුසුම වුව ද නූතන ඊජිප්තුවේ මහා රාජෝ ත් තමයානන් වූ හොස්නි මුබාරක් හට මහජන අරගල හමුවේ තම කිරීටය හිසින් ගලවා ලන්නට සිදුවිය. එහි සංඛේතීය අර්ථයක් කුමක් වී ද?

දෙමළ කිවියර අරිවුමදීහු සඳහන් කළ පරිදි අතීත දෙමළාගේ යුද දෙවිඳානන් වූ මුරුගන් ගේ නිල පුෂ්පය වූයේ 'කාර්තිගෙයිපූ' හෙවත් ෆ්ලේමි ලිලී හෙවත් ෆයර් ලිලී හෙවත් ග්ලොරියෝසා ලිලී හෙවත් සුපර්බ් ලිලී හෙවත් ක්‍රීපිං ලිලී හෙවත් ක්ලය්ම්බිං ලිලී හෙවත් නියඟලා මල ය. මුරුගන් හෙවත් කතරගම දෙවියන් හා සිංහල බෞද්ධයන් අතර වන සහ සම්බන්ධය මුදලිඳු එච්. ඊ. අමරසේකරයන් ගේ පර්යේෂණ තුළ පැහැදිලිව සටහන් ව ඇත. මහාචාර්ය එස්. පත්මනාදන් සිය පර්යේෂණ මගින් සනාත කරගත් නිගමනයන් ආසියානු අධ්‍යයන ආයතනය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සඟරාවේ 1999 සැප්තැම්බර් කලාපයේ පළකර ඇති අතර එමගින් ඔහු අමරසේකරයන් ගේ මතය සනාත කරමින් තව දුරටත් පවසන්නේ මුරුගන් වනාහි සිංහල බෞද්ධයන්ගේ රැකවල් දෙවියා බවයි. එහෙත් සිංහල බෞද්ධයන්ට තමන්ගේම වීරත්වයට අධිපති වන කතරගම දෙවියන් අත වූ නියඟලා මල වහ කඳුරු මෙනි. නියඟලා මලක් දුටු විගසින් ඔවුන් ලේ කිපේ. නූතන ම සිංහලයට අනුව නම් මළ ම පනී. සිංහලයන් වනාහී ස්වයංව, තම තමන්ගේ ම ජීවිත, සමස්ථ ප්‍රෞඪ ඉතිහාසය සමඟින් ම උත්ප්‍රාසයට නඟා ගන්නා ජාතියක් බව අප තර්ක කරන්නේ එබැවිනි.

ඉදින් අපි අනුමාතෘකාවෙන් මාතෘකාවට පිවිසෙමු.


වෘත්තීමය වශයෙන් යාපනය වඩමාරච්චි තැපැල් හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා, තමා උපන් පරිසරයට බෙහෙවින් ආදරය කළ පරිසරවේදියකු විය. දේශපාලන අනුග්‍රහය මත, යාපනයේ කුඩාතනෛ වෙරළේ, මූදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව පෙරමුණේ සටන් කළ ඔහු ඒ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීමෙන් නො නැවතී, "ෆේස්බුක්" අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය හරහා නො බිය ව, ඊට එරෙහි මතයක් සමාජගත කිරීමෙහි ලා වන පළමු පියවර තැබීමට උත්සුක විය. තර්ජන හා බිය වැද්දවීම් හමුවේ, උකටලී නො වූ තේවා, කුඩාතනෛ වෙරළ තීරය ඡායාරූපයට නගා, එය අන්තර්ජාල මිත්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ "කුඩාතනෙන වෙරළේ සම්පත් සංහාරය" මැයෙනි. ඡායාරූප කිහිපයක දැක්වෙන පරිදි තේවා අත වනුයේ නියඟලා මල් ඉත්තකි. ඒ 2010 වසරේ අවසාන දිනයයි. එදින ම රාත්‍රියේ ඔහුගේ නිවසට කඩා වැදුණු 'වැලි හොරු' ඔහු බොටුවෙන් අල්ලා ගෙමිදුලට රැගෙන ආහ. අනතුරුව ඔහු කුඩාතනෛ වැල්ලට රැගෙන ගිය හ. ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.

සිංහල මනස තුළ සිත්තම්ව ඇති පරිදි තේවා අත වූ නියඟලා මල වනාහි ත්‍රස්වාදය පිළිබඳ සංඛේතයයි. මන්දයත් වසර 2003 දී දෙමළ ඊළාමයේ නිල පුෂ්පය ලෙසින් නම් කෙරුණේ මෙකී පුෂ්පයයි. දෙමළ ජාතික අරගලය වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාග කළ සටන්කරුවන් වෙනුවෙන් වෙන් වූ මහවිරු සතිය මුළුමනින්ම සංඛේතගත කෙරුණේ නියඟලා කුසුම තුළයි. එවන් වූ ත්‍රස්ත කුසුම් සංඛේතය දෙවැනි වනවා නම් දෙවැනි වන්නේ දෙමළ ඊළාම් ධජයේ ලැග සිටින කොටියාට පමණකි. උවන පුස්තකය අරා විසිහතර පැයේම ලැග සිටිමින් මහා සමාජ අරගලයන්ට දිවි හිමියෙන් කැප වී සිටින සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ටත්, සිහිනයෙන් අවදිවූ මාක්ස්වාදී කැරලිකරුවන්ටත් වසරක් ඉක්ම යනතුරුත් කේදීස්වරන් තේවරාජා විෂය නොවන යථාර්ථය වන්නේ ඔහු අත වූ කහ- රතු අග්නි ලිලී කුසුමයි. එකී කුසුමේ සංඛේතීය වීරත්වය විසින් දනවනු ලබන සංත්‍රාසයයි. සංත්‍රාසය විසින් හික්මවනු ලැබූ හීනමානයයි. දෙමළ ජාතිය ගැන කෙළක් පර්යේෂණයන්හි නිරත සිංහල මහා දිසාපාමොක් අතකුරු වලින් පවා දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු යැයි ලියැවෙනා බැවින් ඔවුන්ගෙන් උගන්නා උගත් සිංහල පරපුරු, නියඟලා මලක් අතින් ගත් තේවා අවම වශයෙන් විරුවකු ලෙසවත් වටහා නොගන්නා සන්ධර්භය වනුයේ නියඟලා මලට ඇති තැති ගැන්මයි. තැතිගැන්මෙන් මිදිය හැකි දේශපාලන විඥානයක් ඔවුන් වෙත පහළ නොවන්නේ වාමවාදී නැඹුරුවක් සහිත බව පෙන්වමින් ඒ නයින් මහ මඟට අවතීර්ණ වන්නට වෑයම් කළත් අත්පා හකුළගෙන ගුලි ගැසී, නිදිිවැදී හුන් දේශපාලන ගර්භාෂය මහනෙල් මල් ජනිත වන මඩ ගොහොර තුළ ම වීම ය.

තේවරාජා ඝාතනය හුදෙකලා සිද්ධියක් නොව එය යාපනය අර්ධද්වීපයේ වෙරළ තීරය තුළ සිදුවූ හා තවමත් සිදුවෙමින් පවත්නා සංවිධානාත්මක වැලි මංකොල්ලයට එරෙහිව නැගී සිටි මහජන විරෝධය හකුලා ගන්නට බල කළ රාජ්‍ය ත්‍රස්තවාදයේ එක් සුවිශේෂී අවස්ථාවකි. මෙය 2010 දිග්ගැස්සුණු පාරිසරික අරගලයකට එරෙහිව තබන ලද වෙඩි පහරකි. අදහස් ප්‍රකාශණයේ නිදහස වෙනුවෙන් අන්තර්ජාල වාරණයට එරෙහිව පෙළ ගැසී සිටින සිංහල නියමුවන්ට තේවාගේ හිසට තබන ලද වෙඩිපහර මඟ හැරී යන යථාර්ථය වන්නේ උතුරේ මුහුදු තීරය තම මවුබිමේ කොටසක් ලෙස හැඟී නොයන නිසාවෙන් නොවන්නේ ද? එහෙත් තේවාට එය තමන්ගේ මව්බිමයි. නැගෙනහිර කුඩාතනෛ උපන් තේවා වන්නි සංහාරය සමයේ වන්නියේම කොටුවී සිට යළි ගමරට බලාවිත් එහි ම පදිංචි වූවෙකි. දෙමළ නම් සහිත, දෙමළ කතා කරන එහෙත් දෙමළ නොවන උතුරට ගිනි පිඹිමින් දකුණේ සිංහල ආණ්ඩුවේ හොරි කසන මුග්ද අවස්ථාවාදීන්, ඊට සන්නද්ධ නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ඊපීඩීපියේ අනුග්‍රහයෙන් දෙමළ නිජබිමේ මුහුදු වැල්ලටත් කෙළින්නට පටන් ගත් විට ඊට එරෙහිව නැඟිට ආ පරිසරකාමී පෙරමුණු බල ඇණියේ තේවාගේ හඬ පිළිරැව් නැඟුණි.

පොකුරු බෝම්බ ගසමින්, බැරල් බෝම්බ දමමින් පොඩිපට්ටම් කළ සමස්ථ උතුරේ ඊනියා වසන්තය නම් වන කොන්ත්‍රාත්කාර පරිඡ්ඡේදය තුළ ඉදිකිරීමට නියමිත දහස් සංඛ්‍යාත නිවාස සඳහා වැලි සැපයීමේ ඒකාධිකාරය බලහත්කාරයෙන් අත්පත් කරගන්නා මහේෂ්වරී අරමුදල නම් වන ඊපීඩීපී බළල් අත වැලි කඳු ගිල දමමින් මුදල් කඳු ගොඩගසමින් ගෙන ගිය නීති විරෝධී වැලි මංකොල්ලය රාජ්‍ය අනුග්‍රහය හා අනුදැනුම මත සිංහල හමුදා රැකවරණය සහිතව සිද්ද වූවක් බව පැහැදිලි කරලීමට ඕනෑතරම් නිදසුන් තිබේ. අරියාලේ සහ මාන්කුම්පාන්හි ලොරි ගණන් වැලි ගිල දමා, චිරප්‍රසිද්ධ සුන්දර මනල්කාඩු වෙරළ කෙළෙසමින් සිටියදී ප්‍රදේශවාසීන් එක්ව අඛණ්ඩව උද්ඝෝෂණයේ යෙදෙමින් ම, ඊට එරෙහිව ලබා ගත් අධිකරණ නියෝගය ඉරා දමා මනල්කාඩුවට මදක් ඔබ්බෙන් කොඩ්ඩුවාඩෙ අසලින් යළිඳු ස්වභාවික වැලි පවුර බිඳ දැමීමට සිංහල රැකවලුන් මධ්‍යයේ ඔවුන් ක්‍රියා කරමින් සිටියේ විරුද්ධ වූවන්ට මරණීය තර්ජනය කරමිනි. 2010 අගෝස්තුවේදී ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් යාපනය වෙරළ තීරයට ගොඩ බැස සිය සමීක්ෂණ කටයුතු ඇරඹීමත් සමඟම එහි කඩාවැදුණු ඩග්ලස් දේවානන්දාගේ වැලිඇණියේ නියෝගය මත වහාම සිය නිල කටයුතු හකුලාලෙන කාර්යාලය බලා පසුබැසීමට භූ විද්‍යා නිලධරයට සිදුවිය. කෙමෙන් කුඩාත්තනෛ වෙරළ තීරය දෙසට හැරුණු වැලි ලොරි ආපසු හරවා ගැනීමට තරම් ජවසම්පන්න උද්ඝෝෂණ නැඟ එම්න් පැවති අතර ඊට එරෙහි මර්ධනය කූඨප්‍රාප්තියට පත් වූ අවස්ථාවක් වූයේ රාජපක්ෂ රෙජීමයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය දේවානන්දා සිංහල හමුදාව සහ පොලීසිය සමඟ කුඩාත්තනෛ ගම්වාසීන්ට සෘජුවම මරණීය තර්ජන සිදුකිරීම ය. තේවා ෆේස් බුක් සමාජ ජාලය වෙත කුඩාත්තනෛ රූපාවලිය මුදාලීම සිදුවන්නේ මෙම තර්ජනාවලියට සමාන්තරවය. ඉදින්, ඔහු ඝාතනය කරලීම සහ එය නිශ්චිතවම 2010 දෙසැම්බර් 31 දා ම සිදුකිරීම හරහා ඝාතකයන් අලුත් අවුරුදු සුබපැතුම් සමඟින් නිකුත් කළ සංඥාර්ථය වටහා ගැනීමට අතිශයින් පහසු කටයුත්තක් නොවන්නේද?


ඔහුගේ ඝාතනය ගැන සොයා බලා ලියු කිසිඳු මාධ්‍යවේදියකු නැති දකුණට එම ඝාතනය ගැන පසුවිපරම් කොට අඛණ්ඩව ඔහු ගෙන ගිය අරගලය ඉදිරියට ගෙන ගොස් එකී ජීවිත පරිත්‍යාගයේ අර්ථය සම්පූර්ණ කරන්නට සමත් කිසිවකු සිටීනම්, එයට තවමත් කල් ඇතැයි යෝජනා කිරීම හාස්‍යයක් නොවන බව අපගේ අවබෝධයයි. මන්දයත් මේ මොහොත වන විට අපමණක් දෙමළ ජන හිතෛෂීන් දකුණේ කරක් ගසමින් සිටින බැවිනි.

අවසන අපි මෙසේ පවසමු.

බලන්න. කේතීස්වරන් තේවරාජා නම් වූ දෙමළ තරුණයා සිටින සේයාරුව දෙස. ඔහු අත වන නියඟලා මලෙහි වන්නේ සිය මාතෘභූමිය ළය කෙරෙන් මතුවූ රක්ත - ස්වර්ණ වර්ණයයි.

බලන්න ඔහු ඇඟලා සිටින කාලවර්ණ බැනියම දෙස. එහි වන්නේ සිය සමාජ පරමාර්ථ වෙනුවෙන් කටහඬ අවදි කළ ජෝන් ලෙනන් නම් අසහාය ගායකයාගේ රූපයයි. බලන්න. ඔහු අතවන්නේ ජීවිත පරිත්‍යගයෙන් සහෘදයන් ආමන්ත්‍රණය කළ මයික්‍රෆෝනයයි. ඝාතනය කළ නොහුණ ප්‍රාණවත් කටහඬන් ලෙනනුවෝ මෙසේ ගයමින් සිටිති.

When the night has come
And the land is dark
And the moon is the only light we'll see
No I won't be afraid, no I won't be afraid
Just as long as you stand, stand by me

තේවාගේ ප්‍රාණපරිත්‍යාගය අතිශයින් දේශපාලනික එකක් බව ඔබට පසක් කරලීමට තවත් උපහැරණ අවශ්‍යද?

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඔය ඇති ගේ දොර අස්පස් කළා. එන්න ස්වප්නා නිදා ගන්න."

ඒ හඬින් ස්වප්නා සාලයෙන් කාමරයට එයි. ඈ හැඳ සිටින රෑ ඇඳුම සිත්කලු යි.

"වේලාසනම ඇවිල්ලද අද ඔයාගෙ සීතල ලෙඩේ?"

"ඔයා ඇවිත් ඇඳ අයිනෙන් ඉඳ ගත්තොත් ඒ ලෙඩේ හොඳ වෙනවා"

"ඒ ඇතිද?"

"හොඳටෝම"

"එතකොට ඔයාගෙ අත් දෙකෙන් අල්ල ගන්න එපා ද මම?"

"ඔයාගෙ කැමැත්තක්"

"මං ඔයාට තුරුල් වෙන්න ඕන ද එපා ද?" ඈ ඇද පැද කියයි.

"ඔයා එහෙම කළොත් ඉතින් සීතල ලෙඩේ හොඳටම හොඳ වේවි."

"ඊට පස්සෙ?" ඈ අසයි. මම නිහඬයි. ඈ පැමිණ මා ළඟින් දිගා වෙයි.

"මං දන්නේ නෑ" මම පමා වී කොඳුරමි.

ඇතුළත උණුසුමත් පිටත සීතලත් ඇති අතක් මගේ ළය උඩින් වැටෙයි. මගේ හද ගැස්ම වැඩි වෙයි. සිරුර අප්‍රාණික වෙයි. මම ඒ අත සීරුවෙන් රැගෙන ඇගේ බඳ මතින් තබමි; නැඟිට ඇඳ මතින් ඉඳ ගනිමි.

"ඇයි මොකද වුණේ?"

"හරියට මදුරුවො"

"ඉතින්"

"කොයිල් එකක් පත්තු කරන්න කියලා හදන්නේ"

"කොයිල් එකක්?"

"ඔව්. ඇයි?"

මට නිල් පාට විදුලි එළියෙන් දිලිසෙන ඇගේ මුහුණ පෙනේ. ඇගේ දෙතොලග නිතරම රැඳුණු සිනහවක් තිබේ. උපුල් මල් වල නිල්වන් බව පැතූ බුදුන් කාලයේ උත්පලවණ්ණා තෙරණිය.... කාශ්මීරයේ හිම කඳු මතින් මෑත කාලයේ ලංකාවට ආ ස්වප්නා කුමරිය.... රතු විදුලි බුබුලක් ප්‍රතික්ෂේප කොට, ලා නිල් පැහැයක් තෝරා ගැනීමේ මගේ නුවණැතිකම... මේ සියල්ල එකවර නැඟෙන කල්පනා ලෝකයක්!

"ස්වප්නා, ඇයි ඔයා ඔය තරමට ම කොයිල් පත්තු කරනවට අකැමැති?"

"මගේ ඇති අකැමැත්තක් නෑ" ඈ නෝක්කාඩුවෙන් මුහුණ සඟවා ගනී.

"නෑ ඔයා මේකෙ දඟර හැඩේට අකැමැතියි."

"දඟර වලින් මදුරුවො මැරෙන්නෙ නෑ" ඈ තර්ක කිරීමට සැරසෙයි.

"ඔයා කියන්න හදන්නෙ ස්වප්නා, දඟර අපිව නිදි කරවනව කියලද?"

"අපොයි නෑ"

"එහෙනම්?"

"දඟර වලින් මදුරුවො මැරෙන්නෙ නෑ"

"හරි, ඒ වුණාට උන් මේ කාමරෙන් යනවනේ"

"අන්න ඒකම තමයි මාත් කියන්නේ?" ඈ මට තවත් සමීප වෙයි.

"ස්වප්නා මට තේරෙන්නෙ නෑ. ඔයා මොනවද කියන්නේ? මදුරුවො මරන්න ද ඔයා මට කියන්නේ?"

"මදුරුවො නෙවෙයි සරෝජ්ට විදින්න එන්නේ. මදුරුවාගේ ගැහැණු සතා. මදුරියො!" ස්වප්නා සිනාසෙයි. ඒ උපහාසය කාටද?

"ඔයා ඔය මොනවටද එන්න හදන්නේ?" මම අසමි.

"විදින්නේ පිරිමි මදුරුවො නොවන හින්දා උන්ව විනාශ කරල දාන්න ඔයාට හිත දෙන්නෑ."

"ගැහැණු පිරිමි කවුරු වුණත් මරල දාන එක පව්!"

"ඔව්. ඒක හරි"
"ඉතින් තවත් මොනවද ඔයා මේ දොඩවන්නේ?"

"ඔයාට තරහ ගිහින්ද?"

"නෑ ස්වප්නා, විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැති නම්, විවේචන වලට මං ඉතාම අකැමැතියි." මා දරදඬු සිතුවිලිවලින් ගහණ කරවනු මට දැනෙයි.

"අර බලන්න තාම අර ජනේලේ ඇරලා. ඒකෙන් මදුරුවෝ ඇතුළට එන්නේ නැද්ද? ඔයාට තිබුණේ වේලාසන ම ඒක වහලා දාන්න." ස්වප්නා ගේ පැහැදිලි කිරීම් ප්‍රායෝගික යි. උදාහරණ ද සහිත යි.

"ඒක මට අමතක වුණා."

"හැමදාම ඔයාට අමතක වෙනවා"

"ඇත්තම කියනවා නම් ස්වප්නා මට ඒක පුරුද්දට ගිහින්. ඒක වැහුවොත් සමහර දාට මේක ඇතුළෙ රස්නෙ වැඩි වෙනවා. ඒ ජනේලෙන් තමයි ටිකක් වත් ග්‍රීෂ්මය සමනය වෙන්නෙ."
"ඒ වුණාට ඔයාගෙ සීතල ලෙඩේ ඒකෙන් වැඩි වෙනවා"

"ඒක නම් ඇත්ත තමයි"

මට කල්පනා කරන්නට ඈ ඉඩ සලසයි. හන්දියේ මහ ඔරලෝසුවේ එකොළහමාර වදියි. ඔරලෝසු කණුව ළඟ පාරෙන් ගිහින් හැරුණාම නගරයේ ලොකුම ඇඟලුම් කම්හල. ඒක මේ වෙලාවට මොන වගේ ඇත්ද? සමහර විට ගෑනු තාමත් මැෂින් පාගනවා ඇති. නිතර ඇරල තිබෙන ජනේලෙන් කෙළින්ම පේන ගෙදර කෙල්ල වැඩ කරන්නෙ එතැන. එයාගෙ නම 'මධුරි'. ඒක එයාගෙ ඇත්ත නම ද කියා හරි හැටි කීමට මා දන්නේ නැත.

තනිකඩ මධුරිට දැන් තිහට කිට්ටු කර ඇතැයි කලාතුරකින් විටෙක මට සිතෙයි. ඇයට කාත් කවුරුත් නැති බව දැන් මට නිසැකයි. ඈ ඒ ගෙදර කුලියට නැවතී සිටිනා බව ද දැන් හොඳින් පැහැදිලි යි. ඇගේ කාමරයත් මගේ කාමරයත් වැටකින් වෙන් වී සම්මුඛ ව පිහිටයි. ඇගේ ජනේලයත් මගේ ජනේලයත් ඊටම කැපෙයි. ඒ ජනේලය ඇගේ කාමරයෙන් වැඩි හරියක් මට පෙන්වයි. කණ්ණාඩිය සහිත අල්මාරියක්, ඇඳුම් රාක්කයක්, ඇඳෙන් කොටසක් සහ රෙදි වනා එල්ලා තබන වැලකින් කොටසක්. බොහෝ විට උදෑසනේත් හැන්දෑවේත් නිවාඩු දිනවලත් මට මේවා පෙනේ. ඒ හා ම ඇයත්. ඇගේ උරහිසට මඳක් පහළින් ඉවර වෙන රැළි ගැසුණු බූසි කොණ්ඩයත්, ළා පැහැති "ලිප්ස්ටික්ස්" තැවරූ තොල් පෙතිත්.... තවද පිම්බුණු දෙකම්මුල්. මෙ හැම සමඟ ඈ!

ඇගේ වැලේ සෝදා හෝ නොසෝදා හෝ රැඳී එල්ලෙන යට ඇඳුම් පවා මට පැහැදිලි ව පෙනෙයි. ඈ ඒවා අඳින පළඳින අයුරු ද ඇතැම් දිනවල මම දකිමි. මුල් කාලයේ මම එදෙස නො බලා සිටීමට වෑයම් කළෙමි. එකල, ජනේලය වැඩිපුර ඇර තැබූ බවක් මට මතක නැත. එසේ ම, එය මෑත කාලයේ වසා තැබූ දිනක් ද මට මතක නැත. මධුරි මේ නිවසේ පදිංචියට ආවේ කවදාදැ'යි මට මතක නැතත් ඇගේ ජනේලය තරමට ම මගේ ජනේලයත් එය දන්නවා ඇත. දිවා කාලයේත් රාත්‍රී කාලයේත් මුහුණට මුහුණ බලාගෙන ඈතට වී සිටිමින් මේ ජනේල දෙක විඳින දඬුවම කෙතරම් විය හැකිදැ'යි සිතීමට කිසිවකුට වුවමනා නැත.

"ස්වප්නා ඔයා නිදිද?" ඇගේ මුහුණ මදෙස හැරවී දෙනෙත් පියැ වී ය. ඒ මුහුණ සිඹින්නට සිතුණු වාර අනන්ත ය. එහෙත්, සිගරැට් උරන මේ තොල් වලින් ඒ රන්වන් සුන්දර බව කිළිටි කිරීම පහත් වැඩකැ'යි ඒ හැම විට ම මට සිතිණ.

"ස්වප්නා! ස්වප්නා!"

"මං නිදි නෑ." ඈ ඇස් හරී. ඒ ඇස්වල නිදිබර බවක් නැත.

"එහෙනම් ඇහෙන්නේ නැතිව වගේ හිටියේ?" මම අසමි.

"මං අහගෙන හිටියේ සේරම"

"සේරම?"

"ඔව්. ඒත් ඔයා මට ස්වප්නා කියන්නේ ඇයි සරෝජ්? මං කල්පනා කර කර හිටියේ ඒ ගැන."

"ඒ මම ඔයාට දමාපු නමනේ. ඇයි ඒක හොඳ නැද්ද?

"ඔයා හින්දි චිත්‍රපටි බලනවා වැඩියි සරෝජ්."

"හැම හින්දි චිත්‍රපටියක් ම බොළඳ නෑ ස්වප්නා"

ස්වප්නා ඇඳෙන් නැඟිටියි.

"ඔයා ඔය කොහේද යන්නේ?"

"දැන් එළි වෙලා. ඇඳේ ඉන්න හොඳ නෑ"

"ඒ වුණාට ඔයා නිදා ගත්තේ නෑ." ඈ සිනාසෙයි.

බුදුන් කාලේ උත්පලවණ්ණා! කාශ්මීරේ ස්වප්නා කුමරිය!

"ස්වප්නා ඔයා නිදා නොගත්තේ මං නිසා. මගේ මේ ඇඳේ තියෙන අපිළිවෙල නිසා. කාමරේ මදුරුවොයි දූවිල්ලයි නිසා"

"නෑ, නෑ, මට නිදිමත නෑ"

ඈ කාමරේ දොර ළඟ.

"ස්වප්නා, මං අර ජනේලේ වහලා දාන්නම්. ඔයා හෙට ඇවිත් කාමරේ පිළිවෙලකට හදලා දෙනවා නේද?"

අනේ, ඈ ගිහින්! ඇයට එය ඇසෙන්නට ඇත්ද? නෑ, ඈ හෙට ඒවි. කාමරේ හදා දේවි. නොවැරදී ම ඒවි.

මම කාමරය තුළ නෙත් යවමි. මකුළු දැල්- දූවිලි- අඳුර- පාළු ගඳ. මේ සියල්ලට ම බොහෝ වයස ය. අලුතින් කාමරයට එක් වූයේ සියුම් දූවිලි බැඳුණු කොම්පියුටරය පමණි. එය මෙතනට ආවේ කාගේ වුවමනාවට දැ'යි කීම උගහට ය. එය අභිමානයෙන් වැජඹෙන ස්ථානයේ කලින් තිබූ කණ්ණාඩි මේසය සාලයට ගියේ, පැමිණි අමුත්තාට ඉඩ දීමට ය. සාලයට ගොස් මුහුණ බැලීමට ඇති අලසකමට වගකිව යුත්තේ මේ කොම්පියුටරය නොවේද? කොම්පියුටරය ළඟ ම ඊ ළඟට ඇත්තේ ජනේලය යි. ජනේලය ගැන අදවන තුරු කිසිවක් ම නො කියූ ස්වප්නා යමක් අද කීවා නම් ඒ මුල් වරට ය. කොම්පියුටරය ගැන ද එය එසේ ම ය. ඈ හෙට දිනේ ඒ ගැන යමක් කියනු ඇත. එය කුමක් විය හැකිදැ'යි මම උනන්දුවෙන් බලා සිටිමි. සැබැවින් ම ඒ හෙට නොව අද ය. දැන් එළිය වැටී ඇත. හෙට කියන්නේ අද ය.

පැයක් වත් නිදා ගත යුතු ය.

ස්වප්නා මට සමාවෙන්න. මට ටිකක් නිදිමත යි. පැයක් නිදාගත්තොත් හොඳටෝ ම ඇති. හෙට මං ජනේලය වහනවා, වහනවා ම යි!

ම්ම්ම්... මේ මොකද දඟරයට වෙලා තියෙන්නේ? ඒක ඉක්මණට ම පත්තු වෙලා ද? මදුරුවෙක්- ගැහැනු මදුරුවෙක්- මා වටේ කැරකෙයි. ඌ මහ හඬින් කෑ ගසයි. හරියට කණට ම කිට්ටුකරලා. මධුරී! මධුරී! මධුරී!

ඒ පාර මේ මොනවා වෙලාද? ජනේලය වහන්න එපා ද මම? ඒත් එහෙම කොහොමද? ජනේලය වහන්නට ඕනෑ ම යි!

මධුරී - ස්වප්නා - මධුරී - ස්වප්නා - මධුරී - ස්වප්නා........
ස්වප්නා - ස්වප්න්න්නා - ස්වප්ප්න්න්නා ආ ආ........

මට නින්ද යන්න ඔන්න මෙන්න.

ප්‍රදීප් සාරංග කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක පාරක් වයින් කළොත්
බල්ටි හතක් ගහල මිසක්
නතර නොවෙයි
වඳුරු රාළ

මෙහෙම ඇදල ඇත ඇරියම
අත්තටු දෙක දිග ඇරගෙන
පාවෙයි මේ සමනළයා
හමන අතට හුළං පාර

රේස් කරල බිම තියන්න
බොරුනම් ආ දැන් බලන්න
ඕන්න යනවා බස් එක
හරි හයියයි මේකෙ රෝද

සෙල්ලම් බඩු විකිණුවාට
ඇත්ත පොඩි එවුන් දෙන්නෙක්
අපේ දිහා ඉන්නව මට
තවනම් බෑ අඩු කරන්න

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තබා ෆැක්ටේරියෙ පියස්සට
චන්ද්‍ර බිම්බය දිලිහෙනා
කෝල සපුමල් කන්ද හිනැහුන
රාත්‍රිය මට සිහි වෙනා

නළල් තිලකයෙ රත සොරා ගෙන
පපුතුරේ සෙනෙහස ලියා
යන්න පෙර වතුකරෙන් ඉගිලී
කඳුළු පිරි නෙත් දිලිහුණා

පැළඳ මල් පල රුව සුවඳ විඳ
සිනා සෙන්නට ඉඩ නැතී
පීඩිතම තේ පඳුරු යායක
තේ මලක් නුඹ රාජිනී

සිතින් බැණ වැද පිච්ච සුවඳට
නුඹෙ සුවඳ ගන්නට පෙරා
වෙහෙස වුණු මේ නාස් පුඩු වල
වෙන සුවඳ නෑ දැවටිලා

සැඳෑ හිරු රැස් පෑ උරන
කනකාම්බරම් පොකුරක සිරී
නුඹේ හිස පළඳනා දින
දුර ඇත නෑ මගෙ රාජිනී..

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාක්කියේ මලකඩ බැඳුණ පොතක් අස්සේ තිබී සොයාගත් ඇගේ ඡායාරූපය රාමුකරගෙන ඇවිත් මම සාලයේ තැබීමී. සැබවින්ම මෙය මෙසේ විවෘතව එළියෙන් තබා තිබිය හැකි සේයාරුවක් වේද.... නැත! එය සඟවා තබා ගත යුත්තකි. එය තිබිය යුත්තේ මගේ අතිශයින්ම පෞද්ගලික දෑ සමග නොවේද....!

එහෙයින් මම එය වඩම්මාගෙන ගොස් මගේ ඇඳුම් අල්මාරියේ යටඇඳුම් තියෙන තැන ගබඩා කර තැබුවෙමි. නැත. ඇය ඇත්තටම එසේ මුළුගැන්වී, සැඟවී ජීවත් විය යුත්තියක නොවේ. මිගදායේ මුවැත්තියක සේ නිදහසේම ජීවත්විය යුත්තියකි. මම ඇගේ ඡායාරූපය දෝතින්ම රැගෙන ගොස් මගේ නිදන ඇඳ අසල තැන්පත් කර තැබුවෙමි. ඒ ඊට සුදුසු තැන නොවේද ඇත්තටම.....!

මම ඇගේ මුහුණ දෙස හෙමින් බැලුවෙමි. මොහොතින් මොහොත සාලයෙන් අල්මාරියටත්, අල්මාරියෙන් නිදන කාමරයටත් පදිංචිය මාරුවී ඇගේ අභ්‍යන්තරය තුළ වෙහෙසක් අතුරිකිලි දමා තිබුණා වුව මුහුණ තුළ මද සිනාව තවමත් නොසෙල්වී එසේම රැඳී තිබේ.
මට මතකයි...... කල්පකාලයක් පුරා එක දිගටම ඇය ඒ මද සිනාව ඇගේ මුතු වලින් හපාගෙන සිටියාය.

ඒක තමයි මට පුදුමම. ඒ කියන්නේ මේ ලෝකේ පුදුම හතම.
මම අනිමිසයෙන් ඇය දෙස බලා සිටියෙමි.

ජීවිතේ මේ හැම දෙයක්ම කොයි අතට නම නමා බැලුවත්, කොයි අතට දිගෑර දිගෑර බැලුවත් තර්කයට අහු නොවෙන, තේරුම් ගන්ට බැරි ඇත්තවල් මිසක් වෙන මොනවද අන්තිමේට අපේ අත්වල ඉතිරි වෙන්නේ...... ශූන්‍යත් නැහැ. ශූන්‍ය නොවන්නෙත් නැහැ. හරියටම අහස වගේ.

මොනවා වුණත් ඔයා මගේ දුවගේ අම්මා. ඒක තමයි අන්තිම සරල සාරාංශය.

මං ඔයාව හම්බ වෙන්ට කොච්චර උත්සහ කළාද ? ඒත් ඒක දහවලට පෙණුන හීනයක් වුණා විතරයි.

ඒ හින්දා තමයි මං ඔයාට මේ ලියුම එවන්ට තීරණය කළේ. අපි අද මෙහෙම හිටියට හෙට උදේ වෙද්දී නිදි පැදුරේම මැරිලා ඉඳීවිද දන්නෑ. ඉතිං මැරෙනකංනේ මේ ඔක්කෝම දේවල්....... මේ ඉන්න චුට්ටි කාලෙටනේ මේ ඔක්කෝම දේවල්...... නේද?

ඔයා දැන් ඉස්සර වගේ වැඩට යන්නේත් නැතිලු. වෙලාවකට හරී පුදුමයි.

මේ ලියුමේ තියෙන්නේ හුළඟකට ගහකින් වැටුණු වචන ටිකක් කියලා ඔයා හිතන්ට උත්සහ කරයි දැන්. ඒක මං දන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා මං මහා බොළඳයි කියලා. මට පුළුවන් ලෝක යුද්ධ හා සමාජ විපර්යාස ගැන කියලා මහාචාර්යවරයෙක් වෙන්ට. ඒත් ඔයා ඉස්සරහාපිට එහෙම වීරයෙක් වෙලා ඇති වැඩේ මොකක්ද.......?

ඔයාට මං මේ කියන සමහර අපබ්‍රන්ස දේවල් නොතේරෙන්නටත් පුළුවන්, හරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ. නොතේරුණාට කමන් නෑ අඩුම තරමින් මං කියන දේවල් ඔයාට දැනෙනවා නම් ඇති, ඉස්සර වගේ.

මගේ ගොඩාක් වැඩ වගේම මේ ලිපියත් අපිළිවෙළටම තියෙන බව ඔයාට හැඟේවි, මුලින්ම. හරියට පිස්සිගේ පලා මල්ල වගේ ලියුමක්. ඕනෑ දේවල් - එපා දේවල් ඔක්කෝම එක රොත්තට එකම මල්ලේ.

ඔයා දන්නවා ඇති.... කවදාවත්ම යම් රාමුවකට, දඬුකඳකට හිරවෙලා මගේ නිදහස අහිමි කරගන්ට මං කොහොමත්ම කැමති නැති එකෙක් කියලා. ඇරත් කපලා කොටලා සංස්කරණය කරලා හදාගත්ත දෙයක් නෙවෙයි නේද අපේ මේ පහුගිය ජීවිතය. ඒ හින්දා මේ වචනත් ඔහේ ගලාගෙන ගියාදෙන් සුළඟ වගේ ස්වාභාවිකවම.

මතක තියාගන්ට...... හොඳටම මතක තියාගන්ට...... මේ ලියුම කියවලා ඉවර වුණ ගමන්ම ගිනිකන්ඳේ ගින්නට අල්ලලා ගිනිතියලා දාන්ට, හරියට කන්නකී පඬීරටට කළා වගේ.

තුන්වෙනියෙක් අතට මේ ලියුම ගියොත් ඔයා ඔයාගේ වටේ ගොඩනගා ගෙන තියෙන සුදුපාට දේවලුත්, මං මං වටේ ගොඩනගා ගෙන තියෙන සුදුපාට දේවලුත් එක මොහොතකින් දියවෙලා සුණුවිසුණු වෙලා යාවි, හරියටම හිරෝෂිමාව පරමාණු බෝම්බෙට අහුවුණා වගේ.
ඇත්තටම අපිට මොනවා නොවේවි ද එතකොට? හැම දෙයක් ම වේවි.......

අත්තක් උඩ හැංගිලා ඉඳලා කටටම ගිරවෙක් වර්චස් හෙළාවි. රිලව් කිරිපල්ලත් මිරිකාවි.
වංගෙඩියේ දාලා කොටාවි.
ඔයාගේ ඇඟේ ගලක් බැඳලා බෝගම්බර වැවට අතාරීවී.
මාව කුදලාගෙන ගිහිං රජවාසල ඉස්සරහපිට හිස ගසා දමාවි.
අපි දෙන්නම සිල්පරකොටං කරලා උඩරට මැණිකෙට අහුවෙන්ට තියාවි.
ඇයි ඔයාමනේ එක දවසක් කීවේ අපිට කවදාවත්ම මැද්දුම බණ්ඩාරට වගේ එක සැරෙන්ම දිවි පූජා කරන්ට බැරි වේවි කියලා. එහෙම වුණොත් අපි කොහොමද වෙනදා වගේ කෙලින් ජීවත් වෙන්නේ. බයක් සැකක් නැතිව පය ගහන්නේ.... මේක සෙල්ලමක්වත්, විහිලුවක්වත් නෙමෙයි නේද ?

අපි අපි අතරේ විතරක් මේක හුවමාරු කරගන්ට බලමු, හරියට සාම සාකච්චාවක් වගේ. මට මගේ දුව ඕනේ...
ඔයාට දුව දකින සමහර වෙලාවල්වලට මාව මතක් වෙනවා ඇති නේද ?
මගේ වගේම ඇගේ නහයත් ටිකක් විතර ලොකු ඇති. මං වගේම ගොඩාක් වෙලාවට නිහඬ ඇති. හිටපුගමං ඔන්න ඔහේ කියවන්ට පටන් ගන්නවා ඇති, උදේ පාන්දර ඉස්කෝලයක කුරුලු පැටව් වගේ.... සමහර විට මං වගේම ටිකක් විතර සුදුත් ඇති. ඔන්න මං වගේමයි ඇවිදිනවා ඇත්තේත්. දැන් අවුරුදු කොච්චරක්ද ?

මට මතකයි ඔයා ඉස්සර මගේ නහය අතගාන්ට හරි කැමතියි. ඒ දවස්වල ඔයාගේ ලොකුම රාජකාරි දේවල්වලින් එකක්නේ ඒක.
ඔයා කිව්වා ඔයා මගේ ගුප්තකමට කැමතියි කියලා. ඒක ඉබේම වුණ, තේරුම් ගන්ට බැරි, හේතු නැති කැමැත්තක් කියලා තමයි ඔයා කීවේ. ඒ කියන්නේ සංසාරේ පුරුද්දක් වෙන්ට ඇති කියලා.

ඉතිං මමත් ගුප්ත චරිතයක් කියලා මං දැනගත්තේ ඔයා කීවාට පස්සේ. ඒකේ ඇත්තකුත් ඇති කියලා මටත් දැන් හිතෙනවා.

වෙලාවකට මට හිතාගන්ට බෑ මේ ඉන්නේ මම ම ද කියලා. මට හිතෙනවා මේ ඉන්නේ මම නෙවෙයි වෙන කවුරුහරි වෙන්ට ඇති කියලා. බිත්ති කන්නාඩිය ළඟදි ඒක මට හොඳටෝම දැනෙනවා. එක එක තිරවලින් අපි වැහිලා නේද ඇත්තටම ? සමහර වෙලාවල්වලට කොච්චරක් නම් අපි ව්‍යාජද ? සමහරවිට හිතාගන්ටවත් බැරි තරම් ව්‍යාජයි.

මං දන්නවා ඔයා හරී අහිංසකයි. දවසක් මතකද ඔයා ඇඟට තදවෙන දුහුල් ඇඳුමක් ඇඳගෙන ආපු වෙලාවක මං කිව්වා, "බුදු අම්මෝ ඔයාට කිරිබුරුල් කීයක් තියෙනවද ? තව දෙක තුනක් තිබ්බත් හොඳයි" කියලා.

එතකොට ඔයා මහා හයියෙන් හිනා වුණා, නිදහස්ව විවෘතව. හරියට නමක් නැති අලුත්ම කිරිල්ලියක් වගේ. එතකොට මට දැනුණා ඔයා ගොඩාක් අහිංසක බව. දඟකාර බව.

මම කොච්චර කැමති වුණාද ඒ අව්‍යාජත්වයට......

මම කොච්චර බොරු කියනවද ? ඒත් මමත් ඔයාට කවදාවත්ම බොරුවක් කීවේ නෑ... ඔයා ඒක දන්නවානේ.

එක අතකින් අපේ ඒ අව්‍යාජත්වය, බොරු නොකීමම නේද අපේ මේ සේරම කරදරවලට මුල ?

දවසක් ඔයා මගේ අතින් කීවා ඔයා එයාට කැමති නැහැ කියලා චුට්ටක්වත්. ඔයා එයා එක්ක එකම කැදැල්ලේ මෙච්චර කල්ම ඉන්න එක ගැන ඔයාටත් හරී පුදුමයි කියලත් ඔයා කිව්වා. ඔයා හේතු වශයෙන් කීවේ එයා යකාගේ කම්මලේ ඉන්න යකඩ දන්ඩක් කියලා. එහෙමත් නැත්තං එයා පොළොන්නරුව වගේ පරණ නගරයක ගල් ගිල්ල බිත්තියක් වගේ කියලා. ඔයාගේ සියුම්, සියුමැලි ඇඟිලි තුඩු ගල් වගේ රළු දේවල්වල්ට කැමති නැති බව මං දන්නවා.

ඒ වුණාට දැන් මට හිතෙනවා එයා නෙමෙයි රළු මමයි රළු කියලා. ඒ හින්දා නෙමෙයිද ඇත්තටම මට අවුරුදු තුනක්ම මගේ දුව බලන් නැතිව ඉන්ට පුළුවන් වුණේ.

ඔයයි මමයි පංචස්කන්ධවලින් නම් අහසට පොළොව වගේ වෙනස් කිව්වත් කමන් නෑ. ඒත් හැඟීම්වලිනුත් අපි එහෙම එකින් එකාට වෙනස්ද ?
මං තනියම ඔහේ හැඳුණා - වැඩුණා තමයි. ඒත් මේ ලෝකේ තනියි කියලා දෙයක් නෑ කියලා මට ඉගැන්නුවේ ඔයා. හරියටම බාලාංශ පංතියේ ගුරුතුමී වගේ.

මං කවි ලියනවා කියලා දැනගෙන හිටියේ වෙන කවුද? ඔයා විතරයි.

මං අඳින - පලඳින විලාසිතාවල විදිහට, මං කොණ්ඩේ කපන අලුත් අලුත් රටාවලට අනුව මගේ අභ්‍යන්තරයේ යම්කිසි කවියෙක් ජීවත් වෙනවා කියලා දූපතකට බෙල්ලම හිර වෙච්ච රටක ඉන්න වෙන කාටද හිතන්ට පුළුවන්, ඔයාට හැර..... !

මං මගේ ඒ කවි ඔයාට පෙන්නුවාම ඔයා හරී පුදුම වෙනවා. විස්මයට පත් වෙනවා. මගේ දස්කම් ගැන ආඩම්බර වෙනවා. මට පේනවා ඔයාගේ මුහුණේ මල්පෙති එක දෙක දිගෑරෙනවා. හරියට කඩුපුල් මලක් වගේ. මං දැකලා තියෙන පරසතුමල ඒක තමයි.
එතකොට මගේ හිත පිම්බෙනවා. හරියට රාජාභිෂේකයක් වගේ. මට ඒ ටිකම ඇති ඊළඟ කවිය ලියන්ට.
(කොහොමත් මං මේ ලෝකේ වැඩිපුරම මල් දැක්කේ උද්‍යානවලදී නෙවෙයි ඔයාගේ මුහුණුන්නේ)
ඇත්තටම අපිට මේ ලෝකයේ ජීවත්වෙන්ට පැයක්වත් තිබුණද එක දිගටම....
මේ ඔක්කෝම වුණේ පුන්චි පුන්චි වෙලාවල් එකතුවෙලා නේද ?

මෙහෙම මොහොත මොහොත එකතුවෙලා මහා සාගරයක් හැදුණු හැටි අදවත් මට හරියට හිතා ගන්ට බෑ. මං දන්නවා ඔයාටත් බැරිව ඇති.
මට මතකයි මං දවසක් ඔයාගෙන් ඇහැව්වා, "ඔයාටවත් තේරෙනවද මේ ගල්ගුහා ජීවිතයේ තියෙන්නේ සතුටක්ද ? දුකක්ද ?" කියලා.....
එතකොට ඔයත් ගොලුවුණා. මමත් ගොලුවුණා.

එදා ඉඳලමද කොහෙදෝ අපි කොච්චර කතා කළත්, හිතුවත් ගොළුයි නේද ගොළුවෝ වගේ....
හුඟ කාලෙකින් මට හමුවෙන මගේ යාළුවෝ මගෙන් අහනවා, "හා....... දැන් බැඳලද ? දරුවෝ එහෙම ඉන්නවද ?" කියලා.

වෙන මොනවා ඇත්ත වුණත් මට දරුවෝ නෑ කියලා කට පුරාම මං කියනවා. මට දුවක් නෑ කියලා කියන්ට තරම් මගේ හිත කොච්චර කුරිරුද? ව්‍යාග්‍රයෙක් වගේ නේද?

මට මේවා හැමදාම හිතේ ඔබාගෙන හිරකරගෙන ඉන්ට බෑ. ඒ ඔක්කෝම ඔයාගේ අතින් ම කියන්ට ඕනේ. මං දන්නවා දැන් ඔයත් මේවා අහගෙන ඉන්නේ නැතිවෙයි.

හරියටම ලබන විසිඑක් වෙනිදට මගේ දුවට අවුරුදු තුන පිරෙනවා නේද?

ඇයි මට අයිති දෙයකට වෙන කෙනෙකුගේ වාසගමක් දාන්නේ.... ඇයි මට අයිති දෙයක් හැමදාම වෙන කෙනෙක් ළඟම විතරක් තියාගන්ට දෙන්නේ..... මගේ අභ්‍යන්තරය මහා විප්ලවයක් කරනවා දැන්. හරියට මුහුද ඉහින්ට හැදුව ලේණී වගේ.

එක අතකට මේ හැම දෙයකින්ම ගැලවෙන්ට නම් කරන්ට තියෙන්නේ (කරන්ට තියෙන එකම දේ) මේ හැම දේකටම මුහුණ දීමයි කියලා අපිට අත පිහදාගෙන ඉන්ට පුළුවන්ද ?

ඔයාටයි, දුවටයි වෙන්වුණ ලොකූ ජීවිතයක් ඇති. ඒ වගේම එයාටයි, දුවටයි ලොකූ ජීවිතයක් ලැබිලා ඇති.
ඇයි එතකොට මටයි, ඒ මගේම දුවටයි එහෙම නිර්මාණය වුණ ලොකූ ජීවිතයක් නැද්ද.... ?
මං ඔයාගෙන් ආයෙත් ඉල්ලන්නම්,
මට මගේ දුව ඕනේ..

ඔයා කීයටවත් හිතන්ට එපා මේක ඔයාගේ කැදැල්ලට, ඔයාගේ පවුල් ජීවිතයට මගේ හුදු ඇඟිලි ගැහීමක් විතරයි කියලා. මේක ඇත්තටම ඔය කට්ටියගේ එකම දරුවා ගැන ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක මගෙත් එකම දරුවා ගැන ප්‍රශ්නයක්. ඔය දෙන්නාට තියෙන මහා නිධානය දුව වගේමයි මට තියෙන එකම නිධානයත් ඒ මගේ දුව.

ඔයා දන්නවනේ මට තරහා යන්නේ අවුරුදු හතකට එක පාරයි. ඒ යකා නගින දවසට මට සොහොන් පිට්ටනිය අනික් පැත්තටම පෙරලන්ට පුළුවන්. ඇත්තටම ඔයා ඔය හදන්නේ ගෑනු කියන සත්ත්වයා මට සදහටම එපා කරවා දමන්ටද?

එක අතකට ඔයා දන්නවා ඇති මගේ දුව මේ ලෝකේ ඉන්නකන් මට ගෑනු කියන සත්ත්වයා එපා වෙන්නේ නැති බව.
ඔයාට සුබ ආරංචියක් කියන්ටත් තියෙනවා. මට ළඟදීම රස්සාවක් ලැබෙයි. ඇත්තටම මට මේ එන අත ළඟම දවසක රස්සාවක් ලැබෙයි. ඒකේ සතර පෙරනිමිති මං දැන් දකිනවා.

මගේ ලේවලින් ඇත්තටම මහා විස්මයක් මැවුණා නේද? ලස්සනම ලස්සන දුවක් මගේම ලේවලින් හැඳුණා කියන්නේ කොච්චර නම් ආශ්චර්යයක්ද? හිතාගන්ටවත් පුළුවන් දෙයක්ද ඒක! මට හරිම පුදුමයි වෙලාවකට මේ ලෝකය ගැන.
තාත්තා කෙනෙක් ගාව දුවකට තියෙන ආදරය කොච්චරද? ඒක දැන් මගේ රුධිරයේ හැම අංශුවකටම, දූවිල්ලකටම දැනෙනවා. කොටින්ම හැම රෝමකූපයකටම දැනෙනවා. ඒක අහස වගේ අනන්තයක්.

ඔයා මගේ දුවගේ අතින් අල්ලාගෙන ඇතිවෙනකන්ම මුහුණින් ආදරය ඉඹිනවා ඇති හැමදාම. මමත් ආසයි ඒ කිරි සුවඳින් මගේ පපුව පුරවාගෙන එක දවසක් හරි ආඩම්බරයෙන් රජ්ජුරුවෝ වගේ රටටම පේන්ට ඇවිදින්ට.
මට මගේ දුව ඕනේ.
ඇත්තටම ඕනේ.

මේ දවස්වල මට දැනෙන්නේ එච්චරයි. මේ වගේ මහා ප්‍රශ්නවලට නිට්ටාවටම සුවය සදන බෙහෙත් තියෙනවද මං දන්නෙ නෑ.... මේකෙන් මේ ප්‍රශ්නය තව තවත් උඩුදුවයිද මං දන්නෙ නෑ, පිළිකාවක් වගේ මරණය දක්වාම.... (සමහරවිට එතනම හොඳවෙන්ටත් අවස්ථාව තියෙනවා) මේවා ප්‍රායෝගිකද? ප්‍රායෝගික නොවේද? ඒකත් මං දන් නෑ.

.....මගේ ඔලුව අවුල් වෙලා නේද එහෙන්පිටින්ම....
හැමදාම මට අන්තිමේට ඉතිරිවෙන්නේ කටුකම්බි අනිනවා වගේ වේදනාවක්. ඉඳුල් ටිකක්. ඇත්තටම මේකට වගකියන්ට ඕනේ මං විතරමද....? එහෙම නැත්තන් ඔයා විතරමද.....?
බලාගෙන යද්දී මිනිස්සු කියන්නේ කොයි තරම් නම් අසරණ, දුර්වල සත්ත්ව කොට්ඨාශයක්ද?
ඒක තමයි මේ ලෝකේ තියෙන ලොකුම ඇත්ත.
කොහොමහරි මේ ලෝකේ හැමෝටම එක්කෝ අපි අපිම හදාගත්ත නැත්තන් ඉබේ හැදුණ මේ හැම ගල්ගුහාවකින්ම එළියට ඇවිල්ලා මිනිස්සු වගේ ජීවත් වෙන්ට පුළුවන්නම් කවදාහරි දවසක.... !

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජනතා විමුක්ති කතිකාව සහ විජේවීර උරුමය පිළිබඳ පශ්චාත්-මාක්ස්වාදී විශ්ලේෂණයක්| 2 කොටස| කියවන්න මෙතනින් යන්න. [මෙම ලිපිය මුල් වරට [2011 ඔක්තෝම්බර්-නොවැම්බර්] රාවය පුවත්පතෙහි ලිපි හයකින් පළ විය. මේ අවසන් කොටසයි.]

V ලිපිය|

"විජේවීර සංසිද්ධිය" වටහා ගැනීමට ස්ලේවෝයී ශීසෙක් "ලෙනින්ගේ ක‍්‍රියාව" පිළිබඳව පවසන දෙයට යළිත් සවන් දීම ප‍්‍රයෝජනවත් වනු ඇත. ලෙනින්ගේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ කුමක් මතදැයි යන ප‍්‍රශ්ණයට Repeating Lenin රචනාවේදී ශීසෙක් ප‍්‍රවේශ වෙයි. ලෙනිනියානු ක‍්‍රියාව එහි අද්විතීය රැඩිකල්භාවයෙන් යුතුව පැන නගින්නේ 1914 අඳුරු සීතල සිසිරයේදී යුරෝපයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය තීරණාත්මකව බිඳ වැටෙන නිමේශයේදී ය. පළමුවන ලෝක යුද්ධයේ ආරම්භය සළකුණු කෙරුණු ඒ නිමේෂය ඉතිහාසයේ කවර නම් හැරවුම් ලක්‍ෂයක් ද යත්, යුරෝපීය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ පංති අරගලය ද්විතීයික කොට තම තමන්ගේ රටවල ජාතිකවාදී රණකාමීත්වය සමග සම්මුතිගත වීමට තීරණය කිරීමෙන් දෙවන ජාත්‍යන්තරය සීසීකඩව විසිර ගියේය.

මේ ක්‍ෂතිමය අත්දැකීමෙන් ලෙනින් කොතරම් කම්පනයට පත් වූවා ද යත් ජීවමාන පශ්චාත් මාක්ස්වාදී දාර්ශණිකයෙකු වන ඇලන් බදියු එය "මහා ව්‍යසනයක්" ලෙස හඳුන්වයි. දෙවන ජාත්‍යන්තරයේ විශාලතම පක්‍ෂය වූද, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයේ කීර්තිමත් චින්තකයන් රැසකට සෙවණ සැපයූවා වූද ජර්මන් සමාජ ප‍්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ජර්මනියේ යුධ ණය සඳහා වූ යෝජනා වලට සහාය පළ කළ බව ඇසූ ලෙනින් එය මුලින් විශ්වාස කළේ නැත. ඔහු පැවසුවේ එය රුසියානු කම්කරුවන් රැවටීම සඳහා රජයේ ඔත්තු සේවාවන් විසින් ප‍්‍රචලිත කළ ව්‍යාජ ප‍්‍රවෘත්තියක් බවයි. ඔබ Margarethe Von Trotta විසින් අධක්‍ෂණය කළ "රෝසා ලක්සම්බර්ග්" නමැති චිත‍්‍රපටිය නරඹන්නේ නම්, ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යුධ අයවැයට පක්‍ෂව ඡන්දය දුන් පසුව කම්පනයට පත් වන ලක්සම්බර්ග් රයික්ස්ටාගයේ (ජර්මානු පාර්ලිමේන්තුවේ) පිය ගැට පෙළ බසිමින් යන දුරස්ථ රූප රාමුව ඔබගේ මනසේ සටහන් වනු ඇත. නමුත්, වෙනස් සන්දර්භයක ලක්සම්බර්ග්ගේ සේම ලෙනින්ගේ ද අද්විතීය විෂය පැන නැගීම සිදු වනුයේ මේ ව්‍යසනය විසින් විවෘත කළ අතීරණාත්මක අවකාශය තුළම ය. එක් අතකින් ලෙනින්ට එතෙක් ඔහුගේ අර්ථාන්විත ලෝකය වූ දෙවන ජාත්‍යන්තරය අහිමි විය. මේ අහිමි වීම ගත් කළ ඔහුගේ විෂයීය පැවැත්මට බාහිර (සංකේතීය) ආධාරකය සැපයූ අර්ථාන්විත යථාර්ථය (නොහොත් අනෙකා - the other) අහිමි වීමකි. අනෙකාගේ නොපැවැත්ම අභිමුඛ වූ මෙකී නිමේෂයේදී සත්‍යය කෙරෙහි එකම සාක්‍ෂි දරන්නා වන්නේ ලෙනිනියානු විෂය යි. අනෙක් අතින් දෙවන ජාත්‍යන්තරය විසින් ප‍්‍රචලිත කළ සමාජවාදය කරා දිශානත වූ ඉතිහාසයේ පරිණාමීය වර්ධනය පිළිබඳ තේරුම් කිරීම ද ලෝක යුද්ධයේ පැන නැගීම සමග බිඳ වැටුණි. මන්දයත් න්‍යායිකව සමකාලීන ඉතිහාසයේ කර්තෘත්වය ගත යුතුව තිබූ කම්කරු පංති ව්‍යාපාරය ජාතිකවාදය ඉදිරියේ පරාජයට පත් වූ බැවින් ය. ලෙනින් "ඇද වැටුණේ" මාක්ස්, එංගල්ස්, ප්ලෙකනොෆ් ඇතුළු ඔහුගේ කිසිදු අතීත ගුරුවරයෙකුගේ සහායක් හිමි නොවන භවසත්තාවාදී (existentialist ) මොහොතක් මතට ය; ජේසුස් "පියාණෙනි, නුඹ මා පාවා දුන්නේ මන්දැ" යි ඇසූ මොහොත මෙන්ය.


ශීසෙක් පෙන්වා දෙන්නේ මෙකී "සත්‍යයේ මොහොත" තුළ ලෙනින් ඔහුගේ "රාජ්‍යය සහ විප්ලවය" කෘතිය ලිවීමට මුළුමනින්ම කැප වූ බවයි. ඔහු තම සමීපතම සටන් සගයෙකු වූ කමනෙෆ්ට දන්වා යවන්නේ තමන් මරා දැමුවහොත් මේ කෘතිය පළ කරන ලෙසයි. රුසියානු මාක්ස්වාදයේ පියා ලෙස සැළකුණු ප්ලෙකනෙෆ්ට පමණක් නොව දෙවන ජාත්‍යන්තරයේ විශිෂ්ටතම න්‍යායවේදියා ලෙස සැළකුණු කෞට්ස්කිට ද වැරදී ගොස් ඇතැයි ලෙනින් මේ කෘතියෙන් පවසයි. ගතානුගතික මාක්ස්වාදයෙන් ව්‍යවහාරිකව සහ න්‍යායිකව කැඞී වෙන් වන ලෙනින් පළමු ලෝක යුද්ධය ආශ‍්‍රිතව ගොඩ නැගෙමින් යන සුවිශේෂී තත්ත්වයන් හමුවේ සහ බිඳ වැටුණු දෙවන ජාත්‍යන්තරයේ සංකල්පීය නටඹුන් අතරින් රුසියානු විප්ලවයේ "විය හැකිභාවය" දැක ගන්නට සමත් වෙයි.

ලෙනින්ගේ ශ්‍රේෂ්ඨත්වය සළකුණු වූයේ පවත්නා යථාර්ථය තුළ "විය හැකිභාවයක්" නොවූ රුසියානු විප්ලවය ඔහුගේ ක‍්‍රියාව මගින් විය හැකිභාවයක් බවට පරිවර්තනය කිරීම මගින්ය. 1917 අපේ‍්‍රල් මාසයේදී ස්විට්සර්ලන්තයේ සිට රුසියාවට පැමිණි ලෙනින් "බොල්ෂෙවික්වරුන් දැන් රාජ්‍ය බලය අත්පත් කරගත යුතු" යැයි ඔහුගේ "අපේ‍්‍රල් තිසීස" නම් ලියැවිල්ලෙන් තර්ක කළ විට පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ අති බහුතරය ඔහුට එරෙහි විය. ලෙනින්ගේ සමීපතම සගයන් පමණක් නොව ඔහුගේ බිරිඳ පවා ඔහු මනෝ ව්‍යාධියෙන් පෙලෙන්නේදැයි සැක පහළ කළාය. නමුත්, ඔහුගේ ක‍්‍රියාව විසින් යථාර්ථය ඉක්මවනු ලැබූ එම මොහොතේදී රුසියානු ඉතිහාසය පමණක් නොව මානව ඉතිහාසයම විමුක්ති දේශපාලනයේ මැදිහත්වීමෙන් යළි සන්දර්භගත කළ හැකි විය.

1960 දශකයේ මැද භාගයේදී විජේවීර අභිමුඛ වූයේත්, 2011 දී ඔහුගේ විමුක්තිවාදී උරුමය සොයා යන නව පරපුර අභිමුඛ වී සිටින්නේත් 1914 දී ලෙනින් මුහුණ දුන් ආකාරයේ "බදියානු ව්‍යසනයකට" යැයි පැවසීම අතිශයෝක්තියක් විය හැකිද? ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙකු වූ විජේවීර ඉපැරණි වාමාංශය විසින් ස්වකීය පරමාදර්ශයන් සම්මුතිගත කරනු සියැසින් දුටුවේය. 1964 සභාගය විසින් එන්. එම්. - කොල්වින් පරපුරේ වාම ප‍්‍රතිසංස්කරණවාදී ගමනක අවසානය සළකුණු විය. පරමාදර්ශයන් අත් නොහළ සෙසු වාමාංශිකයන් පවා පොතේ ගුරුවාදයක හිර වී ස්වයං- හුදෙකලාවට හෝ ස්වයං- විනාශයට ගමන් කරමින් තිබිණි. මේ බදියානු ව්‍යසනයේ නටඹුන් අතරින් "කොල්වින්ට පමණක් නොව ශන්ට පවා වැරදී ඇතැයි" නිගමනය කරන විජේවීර "මාක්ස්වාදය ලංකාවේ සුවිශේෂී තත්ත්වයන්ට ගැලපිය යුතු" ය යන ප‍්‍රවාදය මුල් වරට සංකල්පගත කරන්නට සමත් වේ. මේ ප‍්‍රවාදය ක‍්‍රියාවට නැංවීමේදී සිදුවූ සියලූම වැරදීම්, දුර්වලතා, විනාශයන් සහ වර්ගෝත්තමවාදී මංමුලාවීම් විවේචනය කරන අතරම අපට මේ ප‍්‍රවාදයේ ගැඹුරු, දාර්ශනික සහ දේශපාලනික අරුත ආරක්‍ෂා කළ නොහැකිද? ලංකාවේ අන්ත පිටිසර ගම්වල කුප්පි ලාම්පු එළියෙන් කොමියුනිස්ට් ප‍්‍රකාශණය කියවූ ක‍්‍රියාධරයන් තනන්නට සමත් වූයේ ඉහත කී ප‍්‍රවාදයේ ආලෝකයෙන් නොවේද? ලූවී අල්තුසර් "ලෙනින්ගේ උසස් දාර්ශණික ප‍්‍රවාද" පිළිබඳව Philosophy and Other Essays (1971) කෘතියේදී සාකච්ඡා කළේ නම්, අප විජේවීරගේ මේ ප‍්‍රවාදය ගැන කතා කරන්නට සහ එය අපගේ සමකාලීනත්වය තුළ පුනර්- අර්ථකථනයට ලක් කරන්නට ශාස්ත‍්‍රීයව පසුබට විය යුතුද? "ලංකාවේ සුවිශේෂී තත්ත්වයන්ට මාක්ස්වාදය ගැලපීම" යනු, අනිවාර්යයෙන්ම මෙරට වාර්ගික සහ ආගමික බහුතරයේ දෘෂ්ටිවාදය සමග අනුගත වීමක් අදහස් කරන්නේද? නොඑසේනම්, ග‍්‍රාම්ස්චි පැවසූ පරිදි ජනයාගේ පොදු දැනීම (common sense) බවට පරිවර්තනය වී තිබෙන ජනතා සම්ප‍්‍රදායන් සමග විවේචනාත්මකව ගැටෙන සහ පොදු ජන ජීවිතය සමග ඓන්ද්‍රීයව ගොඩ නැගෙන සමාජවාදී චින්තාවක් ගැන විජේවීර පරිකල්පනය කළා විය නොහැකිද? මේ අනුව ග‍්‍රාම්ස්චියානු දේශපාලන සාහිත්‍ය සමග ගණුදෙනු නොකළ ද ලංකාවේ ප‍්‍රථම අකාල- පරිණත ග‍්‍රාම්ස්චියානු චින්තකයා සහ ක‍්‍රියාධරයා විජේවීර යැයි කිව නොහැකිද? ග‍්‍රාම්ස්චියානු චින්තනයේ අරටුව වන න්‍යායේ සහ භාවිතයේ ඓන්ද්‍රීය එකතුව එනම්, ප‍්‍රයුක්තිය නොහොත් ප‍්‍රැක්සිසය (praxis) ලාංකේය සන්දර්භයක් තුළ ප‍්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූයේ විජේවීරගේ දේශපාලන ලියැවිලි සහ භාවිතයන් මගින් යැයි තර්ක කළ නොහැකිද?


මේ විජේවීර ආගමික සුරුවමක්, ප‍්‍රශ්ණ නොකර පිළිගන්නා වෘක්තෘවරයෙක් හෝ සැරසිලි භාණ්ඩයක් බවට පත් නොකර ඔහුගේ චින්තනයත්, ක‍්‍රියාකාරීත්වයත් යළි විමසා බලන (සහ එය විවේචනාත්මකව අගයන) පරපුරක් හමුවේ මතු කළ යුතු න්‍යායික ප‍්‍රශ්ණ රාශියකින් බිඳක් පමණි.


VI ලිපිය|

"සියල්ල මුල පටන් යළි අරඹන්න."

මේ විජේවීර ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර ස්වකීය ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන්ට/ ක‍්‍රියාකාරිනියන්ට දුන් පණිවිඩය යි. මේ ප‍්‍රකාශය එහි මතුපිට අරුතින් පමණක් සැලකිල්ලට ගෙන එය ආකර්ශණීය උධෘතයක් ලෙස උපුටා දක්වනු අප කොතෙකුත් දැක තිබේ. නමුත් මේ කෙටි වාක්‍යයෙන් සැබැවින්ම ඔහු ලාංකේය අනාගත තරුණ සමාජවාදීන්ට දුන් න්‍යායික හා දේශපාලනික පණිවිඩය කුමක්දැයි අප විමසා බැලූවහොත් අපට එහි ගැඹුරු අරුත් කරා සේන්දු වීමට හැකිවනු ඇත. මන්දයත්, විජේවීරගේ මෙම ප‍්‍රකාශය සිදුවන්නේ ලාංකේය වාමාංශික දේශපාලනයේ එක් යුගයක අවසානය මෙන්ම ගෝලීයව බර්ලින් තාප්පයේ බිඳී යාමෙන් සලකුණු වූ "සුසමාදර්ශීය විතැන්වීමක්" (paradigm shift - මෙයින් අදහස් වන්නේ දේශපාලනය පිළිබඳව පැවති මූලික පෙර සිතා ගැනීම්, න්‍යායන්, වටිනාකම් යනාදිය පැවතුණේ යම්කිසි සංකල්පීය රාමුවක් තුළද, එම සංකල්පීය රාමුව බිඳ වැටීමයි; නව සංකල්පීය රාමුවක් කරා අවතීර්ණ වීමයි.) සනිටුහන් වූ නිමේෂයකදීය.


"සියල්ල මුල පටන් යළි ඇරඹීම" යන්නෙහි අරුත තමන් එතෙක් පැමිණි මාවත ඔස්සේ එතෙක් පැමිණි විලාශයෙන්ම දිගටම ගමන් කිරීම විය නොහැකිය. යමක් යළි ඇරඹිය යුතු වන්නේ එය කොතැනකදී හෝ වැරදී ගොස් තිබීම නිසා නොවේද? ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවිය නොහැකි බව දන්නා මාක්ස්වාදියෙකු, වෙනස් වූ තත්ත්වයන් හමුවේ පැරණි ක‍්‍රියාමාර්ගයම යළි අනුගමනය කරන ලෙස උපදෙස් නොදෙනු ඇත. ස්වකීය ක‍්‍රියාවේ අග‍්‍රඵලය වූ ව්‍යාපාරයම පෙරළා ස්වකීය ගුරුවරයා විය යුතු බව ව්‍යවහාරිකව දන්නා "ප‍්‍රැක්සිසයේ දර්ශණය" (philosophy of praxis - ග‍්‍රාම්ස්චි මාක්ස්වාදය හැඳින්වීම සඳහා මෙම යෙදුම භාවිතා කළේය) අනුගමනය කරන්නෙකු එවන් උපදෙසක් කිසිසේත්ම නොදෙනු ඇත. විජේවීර ඔහුගේ දේශපාලන භාවිතය තුළ දී කිහිප වරක්ම ස්වකීය ව්‍යාපාරයේ අසමත්වීම් වලින් යළි උගෙන "සියල්ල මුල පටන් යළි ඇරඹූ" අවස්ථා කිහිපයක්ම පසු කළ නායකයෙකි; ඇතැම් විට ලංකාවේ සිටි එවන් එකම නායකයා ඔහුය. 1971 සමාජවාදී අරගලයේ (එය කැරැල්ලක් ලෙස නම් කළේ බි‍්‍රතාන්‍ය රැජිනගේ ආණ්ඩුවයි) පරාජයෙන් පසුව තමන් පැමිණි මග දෙස ස්වයං- විවේචනාත්මක අවලෝකනයක යෙදෙන්නට ඔහු සමත් විය. 1980 දශකයේ මුල් භාගයේදී "නිර්ධන පංතික ජාත්‍යන්තරවාදය" පිළිබඳ ඔහුගේ ප‍්‍රවේශය හැඩ ගැසුණේ එම යළි ඇරඹීමේ මග සළකුණු සටහන් කරමින් ය.

නමුත්, පක්‍ෂ තහනමින් පසුව සහ නිව්ටන් ගුණසිංහ ලාංකේය දේශපාලනයේ නව සමතුලිතතාවක් (new political equilibrium) ලෙස හැඳින්වූ 1983 ජූලි මාසයෙන් පසු යුගය තුළ විජේවීර "යටත් විජිත විරෝධී ජාතික විමුක්ති අරගලයෙන් සමාජවාදය කරා" යන ප‍්‍රවාදය යළි සන්දර්භගත කළේය. මෙහිදී සිහි තබා ගත යුතු කාරණය නම් කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතියක් පැවති සහ වාමාංශික දේශපාලනයේ විවිධ ප‍්‍රවණතා තෘෂ්ණි යුද්ධයෙන් හැඩ ගස්වනු ලැබූ යුගයක ඉහත කී ප‍්‍රවාදය ත්‍රෛයිමහද්වීපික රටවල සමාජවාදී ව්‍යාපාරයන් අතර පොදුවේ පිළිගැනුනු එකක් බවයි. පශ්චාත්- මාක්ස්වාදී න්‍යායික භාෂාවෙන් කිවහොත් ජාතිකවාදය නමැති දෘෂ්ටිවාදී සංඝටකය (ideological category ) සමාජවාදී පරිකල්පනාවක් (socialist imagination ) තුළ ස්ථානගත කරන්නට සහ එනයින් ජාතිය සමාජවාදයට යටත්ව යළි අර්ථකථනය කරන්නට හැකි වූ ඓතිහාසික තත්ත්වයක් යටතේ විජේවීර මෙම සූත‍්‍රය වර නැගීය. නමුත් ජාතිකවාදය වාර්ගික හා ආගමික අනන්‍යතා මගින්ද අර්ථකථනය කෙරුණු ඓතිහාසිකත්වයක් තුළ ජ. වි. පෙ. පමණක් නොව ලාංකේය වාමාංශයේ සියලූම ධාරාවන් මෙම කාරණයේදී ප‍්‍රශ්ණකාරී ප‍්‍රවේශයන් අනුගමනය කළහ. මෙරට ප‍්‍රථම කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ 1940 දශකයේදී කොළඹ නගරයේ සිංහල වර්ගවාදයේ ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශකයෙකු බවට පත් වූ අතර 1956 දී ස්ව- භාෂා ප‍්‍රතිපත්තිය වෙනුවෙන් දෘඪතරව පෙනී සිටි ල.ස.ස.ප.ය සහ කො.ප.ය 1960 දශකයේ මැද භාගය වන විට සිංහල- බෞද්ධ වාර්ගික- ජාතිකවාදී ජනප‍්‍රියවාදයේ ප‍්‍රකාශකයන් බවට පත් වූහ. 1967 දී සේනානායක- චෙල්වනායකම් ගිවිසුමට එරෙහිව "ඩඩ්ලිගේ බඩේ- මසල වඩේ" යැයි මොර දෙමින් පෙළපාලි ගියේද 1972 "සිංහල- බෞද්ධ ජනරජ ව්‍යවස්ථාව" කෙටුම්පත් කළේද ඔවුන්ය. (එහෙයින් ජාතික- ජනප‍්‍රියවාදය සහ සමාජවාදය අතර සම්බන්ධතාව පිළිබඳ ගැටළුව ජ.වි.පෙ.ට පමණක් සීමා කොට වටහාගත නොහැකි අතර එය සමස්ත වාමාංශයේම ගැටළුවක් ලෙස විමසා බැලිය යුතුව පවතී ).

කෙසේ උවත්, 1989 නොවැම්බරයේදී විජේවීර සිටියේ ජාතික විමුක්ති අරගලය පිළිබඳ සූත‍්‍රය ලාංකේය සුවිශේෂ තත්ත්වයන්ට ගැලපීමට දැරුණු ඔහුගේ සුවිශේෂී ප‍්‍රයත්නය අසමත් වීමේ අත්දැකීමට සාක්‍ෂි දරමින් පමණක් නොවේ. එම සූත‍්‍රයට ලෝක පරිමාණව වලංගුතාවක් ලබා දුන් කතිකාමය තත්ත්වයන් ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ට්‍රොයිකා කුණාටුවේ සැඩ පහරට ලක්ව බිඳ වැටෙන ආකාරය ද ඔහු දකිමින් සිටියේය. එය ඇතැම් විට වාමාංශික සන්නද්ධ දේශපාලන උපාය මාර්ගයේද අසමත්භාවය සලකුණු වූ නිමේශයකි. නව- ලිබරල් ධනවාදය ගෝලීය බලාධිකාරයක් බවට පරිවර්තනය වෙමින් ද, ත්‍රෛයිමහද්වීපික රටවල ඊනියා ජාතිකවාදී ධනේෂ්වරය (හාඞ් සහ නෙගි‍්‍රගේ වචනයෙන් කිවහොත්) "නව- ලිබරල් අධිරාජ්‍යයේ" ස්වදේශීය ඒජන්තයින් බවට පරිවර්තනය වෙමින් ද, ඇමරිකානු- විරෝධී ජාතික විමුක්ති අරගලය පිළිබඳ සටන්පාඨය පරිවාරයේ රටවල වාමාංශික සළු පොරවාගත් අන්ත දක්‍ෂිණාංශික නව- කොම්ප‍්‍රදෝරු බලාධිකාරවලට යුක්ති සහගතභාවයක් ලබාදෙන සූත‍්‍රයක් බවට පරිවර්තනය වෙමින් ද පැවතිණ. විජේවීර, බිහිවන නව අධිරාජ්‍යය දකින්නට තරම් කාලයක් ජීවත් නොවීය. නමුත්, දේශපාලන- ආර්ථිකය විෂයට ලූමුම්බා විශ්ව විද්‍යාලයෙන් විශිෂ්ට සාමාර්ථයක් හිමිකරගත් ඔහුගේ බුද්ධිමය දෑසට ගොඩ නැගෙන නව ඓතිහාසික තත්ත්වයන්ගේ සංකල්පීය හැඩතලයන් දිස් වන්නට ඇත. එසේනම්, "මුල පටන් යළි අරඹන්න" යැයි ඔහු පවසන්නට ඇත්තේ මිනිස් වර්ගයා පොදුවේද, ලාංකිකයන් සුවිශේෂීවද නව ඉතිහාස- කාල රාමුවකට, එනම් නව සන්දර්භයකට අවතීර්ණ වෙමින් සිටින බව ඔහු වටහා ගත් නිසාත්, එම නව ඉතිහාස- කාල රාමුව තුළ නව උපායමාර්ගික ප‍්‍රවේශයක් ගත යුතුය යන විදර්ශනාත්මක කල්පනාව ඔහුගේ මනසේ විදුලි ඉරක් සේ ඇඳීගිය නිසාත් වන්නට පුළුවන. (එම නව උපායමාර්ගික ප‍්‍රවේශය "ප‍්‍රජාතාන්ත‍්‍රික අරගලයෙන් සමාජවාදය කරා" යන්න විය නොහැකිද? )

විජේවීර ඉහත පණිවිඩය ලබාදී දෙවිසි වසරකට පසුව ලංකාවේ අප වෙසෙන්නේ කවර නම් වටාපිටාවකද? නව- ලිබරල් ධනවාදය තදින්ම වැළඳගත් (නමුත් එයට වචනයෙන් බැණ වදින) බලාධිකාරයක් නිර්මාණය වී ඇත; මෙම බලාධිකාරයේ කේන්ද්‍රය බවට පත් වූ නව- කොම්ප‍්‍රදෝරු පාලක ස්ථරයක් ගොඩ නැගෙමින් තිබේ; සිංහල- බෞද්ධ රණකාමී ජාතිකවාදය රාජ්‍ය දෘෂ්ටිවාදය බවට පත්ව තිබේ; "අධිරාජ්‍ය විරෝධය" සහ "ජාතික විමුක්ති අරගලය" මෙම නව- ලිබරල් සහ නව- කොම්ප‍්‍රදෝරු පාලනයේ සූත‍්‍රපාඨ බවට පත්ව තිබේ; ව්‍යවස්ථාමය, අධිකරණමය සහ විධායක බලතල අන් කවර කළෙකවත් නොවූවිරූ පරිදි කුඩා පුද්ගල කවයක් අත සංකේන්ද්‍රණය වී ඇත; මේ භයංකර සත්‍යය ප‍්‍රගතිශීලීත්වයේ සළුපිළි වලින් සරසන වාම වේෂධාරී ඇමතිවරුන් පිරිසක් ද, මාධ්‍ය- තහනම සදාචාරමය ලෙස යුක්ති සහගත කරන විකල්ප- වේෂධාරී ආණ්ඩු ගැති පුවත්පත් කතුවරුන් පිරිසක් ද, "සතුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය" යැයි දේශණා කරන (සහ එනයින් "සතුරාගේ සතුරා" ට කඩේ යාම සඳහා න්‍යාය සම්පාදනය කරගන්නා) බුද්ධිමය හෙංචයියන් පිරිසක් ද පහළ වී සිටිති.


ඉදින්, මේ එළඹෙමින් ඇත්තේ ‘සියල්ල මුල පටන් යළි අරඹන්න’ යන විජේවීරගේ අවසන් පණිවිඩය එහි ගැඹුරු දේශපාලනික සහ දාර්ශණික අරුතින් යළි වටහා ගන්නට ලාංකේය තරුණ සමාජවාදීන් උත්සුක විය යුතු කාල පරිච්ඡේදයක් නොවේද?

[ලිපි පෙළ අවසන්. ]

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සරසවියේ අවන්හලක
මුළුතැන්ගෙහි කොනක නිසල
දල්වන නිති දුම්වැටියක
හිමිකරුවෙකි ඔබද එකල

බරසාරෙට පද අමුණන
මාක්ස් ලෙනින් ගැන දොඩවන
ගත රුහිරු'ව ගෙනැත් පුදන
සොහෝවුරෙකි උඹත් කදිම

රැඩිකල් සංගම් නායක
පෙළපාලිය මුල හොබවන
උපකුලපති වුවද සැළෙන
වදනනින් පිලිමල් පරදන

වුවන වැසුණ චේ රැවුලට
ගන දෙබැමකි කැපෙන යසට
නැතිබැරි උන් හට අතදෙන
තේ කහටින් කුස පුරවන

සිසු මහ ජන ගඟ හසුරන
රතු තොල් හඬගා ඉල්ලන
ලේ දහදිය කඳුළු හළන
අපේ ගමන නො නවත්වන

කිසිවිට කිසි තැන නො නමන
නුඹේ හිසද සිඳි බව දැන
සරසවියේ මල් සුපිපුණ
අකලට පරවිය උරණව

නුඹ මින් පිටවී යන විට
ගැලවූ රතු කමිස පොඩිය
ගලහ හන්දියේ කණුවක
ඊයෙත් තෙමුණා වැස්සට

ආයෙත් ඒ කමිස පොඩිය
ඇඟ ලා ගන්නට සුරතින
නිස්සෙකු ඒ දැයි බලමින
සරසවියේ කහමල් පෙති
පාර බලන්නා.....

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හෙලි තුඩින් ඇන අමුණගෙන ආ තව පරංගියෙකුගෙ හිසක්
ගලන දියවන්නාව මැද්දට වීසි කෙරුවෙමි මං අදත්
ලේ වැකුණු කංචුකය විනිවිද ඇදී ආ සඳ රැස් රැසක්
ගෙනෙයි සිහියට ඔයේ මෙතැන ම ගිලී නො පෙනී ගිය ඇසක්

කෝට්ටේ වාසලින් නික්මී කාලවන් වූ අසු අරා
සමුද්‍රා, නුඹ ළඟින් හිඳුවන් ඔයබඩට අසු මෙහෙයවා
චන්ද්‍ර තෙම ඇතිරූ කැළුම් මත වැතිර මිමිනූ බස් නුරා
මන්ද්‍ර ස්වරයෙන් ගයයි තවමත් කුඩා සුදු කොඳ මල් පවා

හෙලි තුඩින් ඇණ අමුණගෙන ආ තව පරංගියෙකුගෙ හිසක්
ගලන දියවන්නාව මැද්දට වීසි කෙරුවෙමි මං අදත්
නුඹව ගිල්වා මරා දමනට තරම් සැහැසිව නැගි හිතක්
තියුණු විලසින් සිදුරු කරනට සඳ එබෙයි ගෙන අසිපතක්....

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙඩි බෙහෙත්වලින් සැදූ බදාමයකින්
පාදම සාදා ගොඩ නගනු
ඔබගේ නිවහන ගින්දරෙන්,
එය වඩාත් සවිමත් වනු පිණිස
මිනිස් ලෙය ඒ මත වගුරවා.
එය මුර කරනු වස් අවතාර පමණක් කැඳවනු.

ඊයේ වළලා දැමුණවුන්
හාරා ගොඩදමනු!
ඔවුන්ගේ පා සහ බාහු ඇට ගෙන
නුඹගේ මන්දිරයේ කවුළු ගරාදි තනා ගනුව!
අන්ධකාරයේදීත් රාත්‍රියේදීත් දොර විවරව තබා,
ගිනියම් සුළං සමග බාගෙට පිළිස්සුණු මිනී ගඳ
පමණක් ඇතුළට ගලා එනුවස්
එම කවුළු විවරව තබනු!

රක්ත තප්ත යකඩින්
ද්වාරයක් තනනු!
ගිනියම්ව දැවෙන යතුරෙන්
එය විවර කර
සාතන්ට බාර දී ඉවත් වෙනු!

මළවුන්ගේ ඇටකටුවලින්
සිංහාසනයක් නිමවා,
පොලු මුගුරු පහර දී හිස සුන් කර
මරා දැමූ ගැහැණියකගේ දත් ඔබ්බවා
එය විසිතුරු කරව,
නුඹගේ යුක්තියේ තුලා දණ්ඩ
විසිතුරු කරනු වස්
ළදරු හිස් කබල් යොදාගනුව.
තරුණියකගේ විලාපයේ දෝංකාරය
දරුවන්ගේ කෙඳිරිය සහ ප්‍රජාවගේ වැළපුම
යොදා නුඹගේ නිවස ගීතවත් කරව!

එහි සපැමිණන ආගන්තුකයන් හට
හළාහල විෂමුසු
උණුසුම් පානයකින් සත්කාර කරව!
එයින් ඔවුන්ගේ උගුර බොටු දියවනවිට
නුඹගේ වික්‍රමාන්විත අසිපතෙන්
ඔවුන් කැබැලිවලට ඉරා දමනු.
ව්‍යංජනයන් පිසිය හැකි වන ලෙස....
ඔවුන්ගේ ඇස් උගුලා එයින්
බොජුන් මේසය සරසව!
ඉරා දැමුණු දිවවල්
කටගැස්මට යොදාගනුව,

නුඹගේ ක්ෂුධාග්නිය
ඉදින් සංසිඳුණේද?
දැන් මට පිළිතුරු දෙව,
කිසිදු වෙනසක් අද දැකිය හැකි වෙද?
නුඹ මා උදෙසා ගොඩ නැගූ මේ
නිවහන සහ මාගේ මාතෘභූමිය අතර?

[A House Of Quicksand]

එම්. රිෂාන් ෂෙරී‍ෆ්
පරිවර්තනය - අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails