Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිතවත් රසිකයාණනේ අසනු මැනව
තොල ගානා මී බිඳුවක් සේ දැණුනත්
පෙදෙන් පෙදෙට ඔබ ගයනා ඇගේ කවිය
ජීවිතයේ ඇය කිසිදා නොවිඳි මිහිර

කවෙන් කවට සැඟ වී හිඳ ඔබ අමතන
බාල මහලු ගෑණු පිරිමි රූපාවලි
ඇගේ අඳුරු ජීවිතයේ කළු සෙවණැළි

වචන සෙලවි සෙලවි ඔබෙ කනට ගෙනෙන
මොහොතින් ඔබ සතපා නළවනා විරිත
මියුරු නදකි සිහිනෙන් පමණක්ම ඇසුණ

සැරිසරනා අකුරු අතර ඔබට දැනෙන
අඳුරට එළියක් ගෙනෙනා අලුත් අරුත
හැමදාමත් අහිමිව ගිය ඇගේ පැතුම

හිතවත් රසිකයාණනේ අසනු මැනව
නිසන්සලේ ඔබ කියවන ඇගේ කවිය
ගැහැණියකගෙ තිත්ත කටුක ජීවිතයයි
පත් ඉරුවක මුතු අහුරක් සේ විසිරුණ

[අලුත්ම සිහිනය - 2003]

මොනිකා රුවන් පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රකින්නට ගොස් සයින් පීඩිත වෙරළ අද්දර සනුහරේ
කාළවන් ගත පිදූ ලේ බිඳු ටී පනස් හයකින් පෙරේ
භීත වූ ලෙස නිහඬ වී ඇත මහා රළ ගෙඩි සාගරේ
මිනී මෝරෙක් වෙලා ඇවිදින් උන්ව ගිලපන් සොහොයුරේ...

විශ්ව හේවාවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දෙනෝදහක් කොස්සෝ පිටමැද තැලුවා
දෙනෝදහක් යන එන පාරක ඉඳුවා
කඳුළු වායුවත් සමගින් පැන් වැඩුවා
අසිරිය මවන රට මම හීනෙන් දුටුවා

සුදුසක ලෙසට රථයක් ඇවිදින් පාරේ
කළු රෙදි කඩෙන් මගේ ඇස්දෙක බඳිති අනේ
සුදුයම් දෙයක් සිදුවේදැයි දුටු සීනේ
ආරියරත්නයෙනි මොකදැයි ඔය සීනේ

මහ මග ගිහින් උද්ඝෝෂණ කළ කලට
ඉන්ධන සහන ලැබුනා පොල්ලෙන් පිටට
රන්දම් විලස තොන්ඩුව දැමුවා කරට
අළුයම් වෙලේ ඔය සීනය පෙනුනි මට

කුරහන් සාටකේ ඇවිදින් මල් යහනේ
ඉන්ධන වලින් මගෙ බඩ පිරිමදිති අනේ
මැලියම් කහට නැතිවෙද මම දුටු සිහිනේ
ආරියරත්නයෙනි මොකදැයි ඔය සීනේ

මහසෙන් රැස්ව කුළු පොලු ගෙන වට කරට
අහසින් ඇවිත් උන්ඩත් වැදුනා හිසට
විගසින් ඇහිඳ ගත්තෙමි අමයුරු ලෙසට
හීනෙන් උණ්ඩ ගිලුනා මගේ ගැබ තුළට

අප්පච්චී මරා අප කැඳවා එදිනේ
කිරිබත කවා ඇසුවා දෙවනුව සිහිනේ
ජනයිනි අපල නැත කාටත් ඔය සිහිනේ
ලක්ෂ පහක වන්දිය දුන්නා සහනේ

ඉතින් ඇවිත් කොස්සෝ පැල්පත් දොරට
සොඳින් සිහින තෝරා දුන්නේ අපට
බෝතල් කඩු කිණිසි ආයුධ දී අතට
කුඩෙන් වෙඩි තබනු දුටුවානේ හිසට

කලාකාරයින් උගතුන් බුද්ධි මතුන්
නාහිමි වරුන් පූජකයන් සමග රජුන්
ජන දුක නිවන හැටි දුටුවෙමි හලා පවන්
සංවේදී සතුන් පමණක් බකන් නිලන්

සුනිල් රත්නයෙනි වැඳගෙන බණ පොතට
නපුරු හීන නොපෙනෙයි පිං කල අයට
පෙනුනේ අපට උවදුරු නොම එයි ඔබට
පිං ඇති සිනමාව උපදියි තුං ලොවට

දයා නෙත්තසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ත්‍රස්තවාදය| අත්‍යාවශ්‍ය කියවීමක් යන ලිපියෙහි දිගුවකි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ අපගේ මූලික එ‍ලැ‍ඹුමේදී අප උත්සාහ ගත්තේ, එකී වචනය අර්ථදැක්වීමට සහ ඊට බලපාන දේශපාලන අරුත්ගැන්වීම් වෙන්කොට හදුනාගැනීමටයි. [ත්‍රස්තවාදය| අත්‍යාවශ්‍ය කියවීමක්] ඉතා පළල් දිසාවන් ගණනාවක් පුරා විහිදී යන මෙම මාතෘකාවේ මීළඟට විමසා බැලෙන්නේ, "රාජ්‍ය ත්‍රස්තවාදය" යන කොටසයි. ත්‍රස්තවාදය යන වචනය ඉතා සුලබ ලෙස භාවිතා වුවත් "රාජ්‍ය ත්‍රස්තවාදය" කියන වචනය පිළිබදව ඒ ආකාරයේ අවධානය‍ යොමු වීමක් දක්නට නැහැ. මැක්ස් වෙබර් විසින් පවසා ඇති පරිදි හිංසනයේ ඒකාධිකාරය (Monopoly of Violence) රාජ්‍ය සතු වූ නිසාවෙන්ම එය හිතුමතයේ ක්‍රියාවේ යෙදවීමට නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඉඩහසර ලබාදෙන්නේ නැහැ.

ලෝකයේ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදුකරන සන්නද්‍ධ ක්‍රියාවන්ගේ ප්‍රමාණය මෑත කාලිනව සංඛ්‍යාත්මක වශයෙන් විශාල වුවත්, සැබැවින්ම මානවවර්ගයා හට වැඩිම විනාශයක් සිදුකර ඇත්තේ රාජ්‍යයන් මැදිහත්වීමෙන් ඇතිවූ ගැටුම් නිසාවෙන් බව ලෝක ඉතිහාසය විමසීමෙන් පෙනීයනවා. විශේෂයෙන් මානව වර්ගයාගේ ශිෂ්ඨත්වයට එරෙහි වූ එවැනි මානුෂ්‍ය සංහාරයන් අතිවිශාල ප්‍රමාණයක් මානව ඉතිහාසයේ කළු අකුරින් සටහන්ව තිබෙනවා.

ත්‍රස්තවාදය නිර්වචනය සම්බන්ධයෙන් ඇති පරස්පරතාව ලෙසින්ම "රාජ්‍ය ත්‍රස්තවාදය" සම්බන්ධ නිර්වචනය තු‍‍ළත් ඇත්තේ පරස්පරතාවයක්. මීට හේතුව නම් රාජ්‍ය සදහා හිංසනය බලාත්මක කිරීමේ නෛතික බලය පැවතීම නිසයි. බොහෝ විට "ත්‍රස්තවාදය" කියන නාමකර‍ණය යෙදවුණේ රාජ්‍ය නොවන පාර්ශවයක් අතින් හිංසනය ක්‍රියාත්මක වන්නේනම් පමණයි. ඒ අනුව ත්‍රස්තවාදී ගණනට ගැනෙන හිංසාකාරී ක්‍රියාවක් රාජ්‍ය මැදිහත්වීම මත සිදුවේ නම් එය රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් හෝ රාජ්‍යයට එල්ලවන තර්ජනයකට ප්‍රතිචාරයක් මත සිදුවන්නක් බව හෙන්රි කොමාගර් නම් ඉතිහාසඥයා විසින් සඳහන් කර තිබෙනවා.


හඩන පලස්තීන දරුවා- රෆා සරණාගත කඳවුර- ගාසා- 2002 ජනවාරි-
ඊශ්‍රායල් යුද ටැංකි සහ බුල්ඩෝසර විසින් බිමට සමතලා කරන ලද සිය නිවසේ සුන් බුන් අතර තිබී, තමාට හිමි ව තිබූ මහඟු වස්තුවක්- 'සෙල්ලම් බඩුවක්' සොයා ගන්නා දරුවෙක්. මේ සේයාරුවට යොදා තිබූ මැය වූයේ 'Home Sweet Home!' යනු යි. {AP Photo]


විවිධාකාරයේ වචන සැරසිලි වලින් අර්ථදක්වා තිබුණත් රාජ්‍යය නම් යාන්ත්‍රණය එහි වෙසෙන ජනතාවගේ පොදු අවශ්‍යතාවයන් වලට වඩා එහි පාලනය කරන කණ්ඩායම් වල උවමනාවන්ට අනුකූලව ක්‍රියාත්මක වන බව තුන්වන ලෝකයේ රටවල අවශ්‍යතරම් උදාහරණ තිබෙනවා. විශේෂයෙන්ම හමුදා පාලනයන්, විදේශ බලවත් රාජ්‍යයන්ගේ අනුග්‍රහය ලබන රූකඩ පාලකයන්, ගෝත්‍රවාදී පාලන තන්ත්‍රයන් බලය උසුලන අවස්ථාවන්හි දී මේ තත්ත්වයන් තීව්‍ර ලෙස පෙන්නුම් කෙරෙනවා. මේ නිසාම රාජ්‍ය විසින් සිදුකරන ත්‍රස්ත ක්‍රියාවන් වෙනමම අධ්‍යනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතුව තිබෙනවා.

'රාජ්‍ය ත්‍රස්තවාදය' අර්ථ දක්වන නිර්වචන

"උපක්‍රමිකව යොදාගනු ලබන හිංසාව මගින් යම් ප්‍රදේශයක වෙසෙන ජනතාව බියට පත්කිරීම මගින් යම් ආකාර‍යක දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම හෝ බලගැන්විම. ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීම හෝ රජයට අනුබද්ධ පාර්ශ්වයක් විසින් දියත් කිරීම සිදුවන අතරම එහි වින්දිතයා වනුයේ රාජ්‍යයේ ජනතාව හෝ රාජ්‍යයට අයත් වෙනත් පාර්ශවයක් හෝ විදේශ රාජ්‍යයක් හෝ කණ්ඩායමක්ය."
- බ්‍රිටැනිකා විශ්වකෝෂය

terrorism-research වෙබ් අඩවියට අනුව රාජ්‍ය ත්‍රස්තවාදය ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයකට බෙදා හඳුනාගන්න පු‍ළුවන්. එනම්;

1. රාජ්‍ය ත්‍රස්තවාදය

එනම් රාජ්‍ය සෘජුව සම්බන්ධ වෙමින් එහි උපකර‍ණ වන රාජ්‍ය ප්‍රතිපත්ති, නීතිය පසිදලන ආයතන, පොලීසිය හා හමුදාව යොදාගනිමින් සිය ජනතාවහෝ එහි නිශ්චිත කොටසක් ඉලක්ක කරගනිමින් මුදාහැරෙන ත්‍රස්තවාදයයි. මෙමගින්අන් පාර්ශවයන් වෙත දන්වා සිටින්නේ තමන් විසින් නීතිය ක්‍රියාත්මක කරනවාවිනා අන්යමක් නොකරන බවයි. විශේෂයෙන් ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය, දේශපාලන දෘෂ්ඨිවාද වලට මුවාවී සිදුකරන මර්ධනයන් අයත් වන්නේ මේ ගණයටය. නීත්‍යනුකුලව බලයට පැමිණි හිට්ලර් විසින් තමන්ගේ රාජ්‍යයේ හතුරන් යැයි නාමකරණයට කොට සුපිරි ජාතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් යුදෙව් සංහාරය සිදුකිරීම ආරම්භ කළා.


ඉඩි අමින්- චිර ප්‍රකට රාජ්‍ය ත්‍රස්තවාදියා-
තම රටවල ජනතාව මර්දනය කරන සියලු ඒකාධිපතීහු මොහුට දැඩි ලෙස වෛර කරන අතර සමහරු මොහු පිළිබඳ තැනුනු චිත්‍රපටය සුදුසු කාලයන් හී දී තම රටවල ජාතික ටෙලිවිෂන මගින් විකාශය කොට තම මහ ජනතාව දැනුවත් කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙති!


2. රාජ්‍ය සහභාගීත්ව ත්‍රස්තවාදය

ත්‍රස්ත උපක්‍රම භාවිතා කරමින් රාජ්‍යයන් විසින් අනෙක් පාර්ශ්ව වෙත බලපෑම් කිරීම් මේ ගණයට අයත් වෙනවා. ප්‍රසිද්ධියේ පිළිගැනීමට මැලිවුවත් රාජ්‍ය අනුග්‍රහය සෘජුව ලබමින්, එසේ වුවත් රාජ්‍ය සම්බන්ධතාව අප්‍රසිද්ධව තබාගනිමින් සිදුකරන ත්‍රස්ත ක්‍රියා මේ ගණයට අයත් වෙනවා. සීතල යුධ සමයේදී ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානය මෙන්ම සෝවියට් සමූහාණ්ඩුවේ කේ.ජී.බී ඔත්තු සේවය ද මෙවැනි මෙහෙයුම් බොහෝ ගණනක් සිදුකර තිබෙනවා. "ජේම්ස් බොන්ඩ්", "මිෂන් ඉම්පොසිබල්" "ද ගුඩ් ෂෙපර්ඩ්" වැනි හොලිවුඩ් චිත්‍රපට විශාල ප්‍රමාණයක් මෙකී මෙහෙයුම් ඇසුරුකොටගෙන නිපදවා ඇති බව දැකගන්න පුළුවන්. ඊශ්‍රායලය විසින් තමන්ගේ මෝසාර්ට් ඔත්තු සේවය ඔස්සේ මැදපෙරදිග රටවල් ගණනාවක මෙවැනි ත්‍රස්ත ක්‍රියා සිදුකෙරෙමින් පවතිනවා. පසුගිය දිනවලදි ඉරානය තුළ ඝාතනයට ලක්වූ න්‍යෂ්ඨික විද්‍යාඥයින්ට එරෙහි ප්‍රහාර ඊශ්‍රායලය විසින් දියත් කළ ඒවා බව ඉරානය චෝදනා කරනවා. සම්ප්‍රදායික යුධ උපක්‍රමයන්ගෙන් මිදී සම්ප්‍රදායික නොවන ත්‍රස්ත ක්‍රියා ක්‍රියාවෙහි යොදවමින් ශ්‍රී ලාංකික හමුදාවඑල්ටීටීඊ සංවිධානයට එරෙහිව මෙහෙයුම් ගණනාවක් සිදුකර ඇති බවට වන පුවත්පත් වාර්තා දක්නට ලැබෙනවා.

රාජ්‍යයට එරෙහිව නැගෙන ජන විරෝධයන් පිළිබදව සවන්දීමත් ඒවා වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා වෙනුවට ඒවා මර්දනය කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වලින් මිදී සෘජු රාජ්‍ය මැදිහත් වීම මත ත්‍රස්ත ක්‍රියා සිදුකරනු ලබනවා. රාජ්‍ය අනුග්‍රහය ලබන පාතාල කණ්ඩායම් සහ විවිධ රාජ්‍ය නොවන ආයතන මේ වෙනුවෙන් ක්‍රියාත්මක වනු ලබන්නේ රජයේ අවශ්‍යතාවය මතයි. එසේ වුවත් අවශ්‍ය විටෙක රජය හා ඇති සම්බන්ධතාවය බිඳ දැමීමට ඇති හැකියාව මේ සම්බන්ධයෙන් වන විශේෂත්වයයි. පසුගිය කාලයේ සිදුවූ මානව හිමිකම් බිඳ වැටීම්, පුද්ගල පැහැරගැනීම් සම්බන්ධයෙන් රජයේ ඇති සම්බන්ධතාවයක් ගැන කටකතා පැතිරුණත් ඒවා සෘජුව ඔප්පුකරලීම අපහසු වුණා.

3. රාජ්‍ය අනුග්‍රාහක ත්‍රස්තවාදය

ත්‍රස්ත ක්‍රියාවන් ක්‍රියාවේ යොදවන කණ්ඩායම් සදහා අවශ්‍ය ආයුධ, පුහුණුවීම්, මුල්‍යමය වැනි විවිධ සහයෝගයන් ලබාදී තමන්ට අවශ්‍ය අරමුනු වලට ත්‍රස්ත සංවිධාන මෙහෙයවීම රාජ්‍ය අනුග්‍රාහක ත්‍රස්තවාදයයි. සිය සංවිධානය පවත්වාගෙන යාමට ආරක්ෂිත ප්‍රදේශයක් හා අවශ්‍ය භෞතික පසුබිම සපයාදීම මෙහිදී තීරණාත්මකව වැදගත් වෙනවා. බොරු ලියකියවිලි, ව්‍යාජ අනන්‍යතා පත්‍ර, ව්‍යාජ ආයුධ ලියකියවිලි සකස්කරදීම වැනි කාරණාමගින් රාජ්‍යය ඔවුන් වෙත අවශ්‍ය උපකාර ලබාදෙනවා. ජාත්‍යන්තරයට පිවිසීමට මෙන්ම නීතියෙන් සැගව සිටීමට ද රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරනවා. ඉන්දියාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන වලට අවශ්‍ය සහයෝගය ලබාදෙනුයේ පාකිස්ථාන‍ය බවට ඉන්දියාව චෝදනා කරනවා. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට සිරියාව විසින් සහයෝගය ලබාදෙන බවටත් චෝදනා එල්ල වෙනවා. යාපනය ප්‍රදේශයේ සිදුවන පුද්ගල පැහැරගැනීම්, ඝාතන සිදුකරන සන්නද්ධ කණ්ඩායම් සදහා රාජ්‍ය සහයෝගය පවතින බවට චෝදනා එල්ලවෙමින් පවතින බව අප දන්නා කරුණක්.


පාකිස්ථානය- හමුදා පාලක සියා-උල්-හක්ගේ යුගය-
වරදකරුවන්ට ප්‍රසිද්ධියේ දඩුවම්.


ජ්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩු හා ත්‍රස්තවාදය

මානව සමාජ පරිණාමයේ දියුණුතම සංස්ථාපිත ක්‍රමවේදය ලෙස අදවන විට හඳුනා ගැනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. සමාජයේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශවන (ඡන්දය මගින්), එමගින් තමන්ට කැමති පාලකයින් පත්කර ගත හැකි, එමෙන්ම තමන් අකමැති පාලකයින් ඉවත්කර දැමිය හැකි පාලන ක්‍රමයක් එමගින් යෝජනා කෙරෙනවා. බහුතර ජනතාවක් විසින් ‍තෝරාගත් පාලකයින් විසින් අදාළ දේශසීමාවේ පාලනයට උපකාරී වෙන නීතී සම්පාදනය කිරීම, විධායක බලතල මගින් වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම මෙන්ම නීතිය පසිඳලන ආයතන විසින් සමාජයේ සුභ සිද්ධිය සදහා ඉවහල් වන පරිද්දෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මෙකී ක්‍රමයේ මූලික ලක්ෂණ සේ සැලකිය හැකියි. මේ සමාජයේ ජීවත්වන සියළුම පුද්ගලයෝ ජ්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නන් වීමත්, එහි ක්‍රමවේදයට අවනත වී එහි සදාචාර වටිනාකම්වලට එකගව කටයුතු කිරීමත් මේ ක්‍රමය සාර්ථකව පවත්වාගෙන යාමට බොහෝ ඉවහල් වන කාරණයක්.

එවිට, "රාජ්‍ය ත්‍රස්තවාදය" ක්‍රියාත්මක කරන්නෙත් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රාජ්‍යයන් විසින්ම ද යන ගැටළුව පැන නගිනනවා. සමීප නිරීක්ෂණයක් කළහොත් පෙනෙන්නට තියෙන දෙයක් තමයි රාජ්‍ය මර්දනය දරුණුවට ක්‍රියාත්මක කරන පාලකයින් ජනතා කැමැත්තෙන් පාලන බලය හෙබවීමට සුදුකම් ලැබුවත් ඔවුන් විසින් රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනෙකුත් රීති සම්ප්‍රදායන්ට එකගව නොවන බවයි. ඒ අකාරයේ තවත් පාලකයෝ පිරිසක් හමුදා කුමන්ත්‍රණ, රාජ්‍ය පැහැරගැනීම් වැනි ක්‍රමවේද වලින් පාලන බලය අත්පත්කරගත් අය.

රජෙක්ගේ යටතේ පාලනය වනවා වැනි තත්ත්වයකට වඩා ‍ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ පුරවැසියා, සිවිල් පුරවැසියෙකු බවට පත්වී ඔහු රටේ දේශපාලනයට සක්‍රීය දායකත්වය දක්වන්නෙක් බවට පත්වෙනවා. පුද්ගලයෙක් හැටියට කෙනෙක් විසින් තමන්ගේ ඡන්දය ලබාදෙන පුද්ගලයා පාලන බලය උපයෝගී කරගෙන සිදුකරන දෑ පිළිබදව සවිඥානික වෙන්නට සිද්ධ වෙනවා‍‍. යම් පුද්ගලයෙකු බහුතර ජනතාවකගේ කැමැත්ත ලබාගැනීම සදහා බොරු පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යනකොට ඊට හාත්පසින්ම වෙනස්ව තමන් සතු බලය දූෂිතව පාවිච්චි කරනවා නම් අදාළ පුද්ගලයාට හෝ ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වීමට සිවිල් පුරවැසියන් ක්‍රියාත්මක වෙනවා‍‍. මේ අවස්ථා වලදි අදාළ සිවිල් විරෝධය මර්ධනය කිරීම සදහා ත්‍රස්ත උපක්‍රම භාවිතා කිරීමට සමහර පාලකයෝ ක්‍රියාත්මක වෙනවා‍.


ප්‍රජාතන්ත්‍රවාදය කෙතරම් හොඳ පාලන ක්‍රමයක් වුවත් එහි තාක්ෂණික දුර්වලතාවන් නිසාම අර්බුදයන් හටගැනීමට ඉඩ තිබෙනවා. ‍ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනෙන්නේ අවසාන වශයෙන් බහුතර මතයයි. විශේෂයෙන් තනි රටක වාර්ගික හෝ ආගමික වැනි බෙදීම් සහිත සුළුතරයන් සහිත ජනයා ජීවත් වන විට ඔවුන්ගේ අවශ්‍යතාවන් "ප්‍රජාතන්ත්‍රවාදය" නැමැති සංකල්පයෙන් වසා දමා තැබීමට වංක පාලන තන්ත්‍රයන්ට හැකිවෙනවා. සියළු පුද්ගලයින් සමානාත්මව සැලකීම මුලධර්මයක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ක්‍රියාත්මක රටවල් ගණනාවක සුළුතර ජනකණ්ඩායම් විසින් සිදුකරන අරගල දැකගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, ‍සුඩානය, රුසියාව වැනි රටවල් මේ සදහා උදාහරණ. මෙවැනි අවස්ථා වලදි රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වන සුළුතර ජනකණ්ඩායම් වගේම ත්‍රස්ත ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ත්‍රස්ත මිලිටරි ක්‍රම උපයෝගි කරගැනීමේ අවස්ථාවන් ද සුලභව දකින්නට පුළුවන්.

රාජ්‍යය කියන්නේ සියළු ජනතාවගේ බල‍යේ කේන්ද්‍රස්ථානයක්. රාජ්‍ය පාලනය සදහා ඉදිරිපත් වන ආණ්ඩු සත්‍ය වශයෙන්ම එකී සියළු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වනවා නම් සාමූහික ශක්තිය මගින් වඩා දියුණු සමාජ සංස්කෘතියක් හිමි රටක් දක්වා ගොඩනැගෙන්නට හැකියාව ලැබෙනවා. එසේත් නොමැතිව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයන් සහ ස්ව පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් බලය මෙහෙයවෙනවා නම් ජන උද්ඝෝෂණ හා නොසන්සුන්කම් සුලභ වනවා පමණක් නොවේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාකාරීත්වය ද එළිපිට දැකගන්නට හැකිවෙනවා.

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එදත් පෙර මෙන් සීත හිම කැට නිමක් නොමැතිව වැටුණු දිනයකි
හිරු ද මිය යන සැඳෑ වරුවේ සුසානය තුළ නිහඬ ගමනකි
හිමෙන් නැහැවුණු සොහොන් කොත මත නිබඳ දැල්වෙන කුඩා පහනකි
පහන අසලම දණ ඔබාගත් ජීවිතය මඟහැරුණු මිනිසෙකි

ඔහු හදේ දැවි දැවී අළුවෙන ඉටු නොවූ මහ හීන කන්දකි
මතකයේ කස පහරවල් මැද නෙතට බර වැඩි කඳුළු බිඳුවකි
ගිලිහෙනා එක හුස්ම පොදකින් පහන් සිළුව ද නිවෙන විටකදි
වෙව්ලනා දකුණතෙහි ගුලිවෙන මෙතෙක් කල් හෙළි නොවූ රහසකි

ප්‍රේමයක කුළුඳුලේ සුවඳින් තරුණ හදවත් වෙලුණු යුගයෙදි
දිළින්දෙක් විය අඹුට දෙන්නට මල් මිටක් වත් විතර ළඟ නැති
හිතට එකඟව නොවෙයි එනමුදු සොරාගෙන අවසාන මොහොතෙදි
රැගෙන ආ මේ මුදුව ඇයටයි පළන්ඳන්නට අතර මඟකදි

පුරුදු ගහ කොළ විහඟ පිරිවර උයන කෙළවර බලා සිටියදි
සොඳුරු මිතුරිය ගොසින් තිබුණේ නැවත ඔහු වෙත නො එන ගමනකි
මිටින් ගිළිහෙන පස් අහුරු මැද ආදරය වැළලෙනා අරුමෙකි
එතැන් සිට ගත කෙරුණු කාලය ඔහුට නම් රුදු රැයක් පමණකි

******

නොබෝ දිනකින් සොහොන් කොත අස අළුත ඉදි කළ තවත් කුරුසෙකි
පුරුදු ගහ කොළ විහඟ පිරිවර එදා ගැයුවේ අමුතු ගීයකි

"කාලයක් යනු පිබිදි හිරු දැක සෙමින් දියවෙන හිම පියල්ලකි
ආලයක් යනු එහිරු අභියස අළුත පූදින මල් කිණිත්තකි"


බඹර චුම්බන කුසුම් පෙති මත දිග හැරෙන එක් වසත් කලකදි
සොහොන අසලින් සැඳෑ වරුවට නිතර යන එන තරුණ යුවලකි
මඳක් නැවතී බලා ආපසු අතීතය අහුලනා මොහොතෙදි
ඔවුන් දෑඟිලි අතර පැටලී දිලෙන එක් හුරු පුරුදු මුදුවකි

මහේෂ් මධුරංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අනේ!.....අහෝ!....අහෝ!.....
ඔබ...මගෙන්.....වෙන් උනේ......
ඔබව....සදා................"

එම්බා! හුලං බිංදු වැනි හිස් වචන ගොඩ!
මම තොප හඳුනමි.
තොප, ම හදෙහි කිසි ශෝකී හැඟුමක් ඇති නො කරයි.
මා වෙනුවෙන් හැඬවුන ද,
ආත්මාර්ථකාමය ආත්මය කොට ගත් තොප,
මගේ කන පිළිකුලින් පුරවයි!
තවත් වරෙක,
කොක්සනින් මා සිනා ගන්වයි.
හොඃ ! හොඃ ! හිඃ ! හිඃ ! හඃ ! හඃ ! හා!!!

(18-01-1963)
ප්‍රකාශයට පත් නොකළ කවි

සයිමන් නවගත්තේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත: පපුවෙහි සැත්කමක් කළ ගැහැණියක් සිය සිඟිති දියණියද සමග බස් රියේ සිඟා කයි.

සුජාතා මහරගම ආවා
මුදුන් ලීයක් නැති ගෙදරින්
දුම්බර කන්ද බැහැලා
හිතේ ගහගෙන රෝස පාටට
නිදිකුම්බා මලක්

තව යන්න බැරුව-වැටුණෙ හරියටම
ඉස්පිරිතාල හංදිය ළඟය

ලාවා ගැලුවේ රතුපාටට
වාට්ටුව යට කරගෙන
නිදිකුම්බා මල ඇකිළුනා
සිරින්ජරයක් ඇතුළට

කහ පාට සුදු පාට රතු පාට
පීල්ලට යන මංකඩේ
රූස්ස අඹ ගහේ දළු පාට
ඈ ආසම පාට ලා කොළ පාට
මෙන්න ඇස් ඉස්සරහ
ගිණි කණ දිදී
ළපැත්තම ඇවිලී වැටී හරහට

වාරු දී සේලයින් කණුවට
විසිවුණේ ආයෙත් හන්දියට
නිදිකුම්බා මල එක්ක
හිත වැහෙන්නම අලවලා බැන්ඩේජ්
පපුවට බයේ කහින්නී
කරන්ට් අල්ලලාම මැලවී
බෑඟිරි දෙන බස් රිය ළඟ සිඟන්නී

අතින් ඇදගෙන
හිතෙන් බැණ බැණ
අලුත් කවි අරගෙන
බස් රියෙන් බස් රියට ගොඩවෙන
සති දෙකක් ජීවිතේ ඉල්ලන

සති දෙකක බෙහෙත්
ලූල්වත්තට ටිකට් එකහමාරක්
හැට්ටය පලා
බැන්ඩේජ් කළ
ළය මඬළ හැර පාමි
මහතුනේ රුපියලක් හරි දෙතොත්
නිරෝගී සුව පතමි

නිදිකුම්බා මල
එල්ලී කෙසඟ අත්වල
මගී උරහිස් මතට
වැටි වැටී නිදි කරයි

ජීවිතය
බෙහෙත් පෙති තරමට ම
තිත්තයි-කලුවරයි

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රාත්තිරිය කට්ට කරුවලත් කුදලගෙන හැමදාම වගේ මට තනි රකින්ට පිලට ආවා. කතා කොරලා අහක් කොරන්න බැරි දුක් කන්දක් හුස්ම වලට පෙරලිලා කරුවලේ ඉහිරෙනවා. රාත්තිරිය හූ මිටිවත් නොතියාම ඒ දුක අහුලගෙන පාන්දරින් යන්ට යනවා. මං තනිවෙනවා. උදේ දහවලට එක්කාසු වන හිත් වේදනාවල බර වැඩි වෙන්නේ රාත්තිරියට. රාත්තිරියට හූල්ලලා හූල්ලලා මගේ පපුකැනැත්ත දැන් හොදටෝම රිදුම් දෙනවා. මේ හීල්ලූම් නවත්තන්ට මං කල්ගත්තා හොදටෝම වැඩී. පැල වට කරගෙන තණ කොළ වල් පඳුරු ඉහ උස්සලා. මටෙයි කියලා අන්තිම හුස්ම ඩිංගිත්ත යවන්ට තියන පැල්කොටේ කොයි මොහොතේ හරි ඉහට කඩා වැටෙන්ට ඉස්සොර පිලියලක් කොරන්ට ඕනෑ. හැමදොහොකම එහෙම හිතලා හිත හයිකොරගත්තත් ඉලපතක් අතට ගන්ට හිත් නොදෙන තරමට හිත ඉහිරිලා. උදේ දහවලේ වෙර වීරිය අරන් එක්කාසු කොර ගන්න හිත ඉහිරෙන්නේ රාත්තිරියට.

සාක්‍ය මහත්තයා පුකට පයින් ගහලා ගෙයින් දොට්ටදාපු දවසේ ඉතිරි වෙච්ච කඳුලක් වට්ට ගන්න බැරිව තාමත් මයේ ඇස්වාටියේ නළියනවා. පපුකැනැත්තට සාගරයක් වගේ හැමදොහොකම එක්කාසු වන වේදනාව කදුළු කැටවලින් අහවර කොරන්ට ඇහැක්ද. ඇහිපිල්ලමේ වාඩි ගත්තු සාක්‍ය මහත්තයව වට්ටලා දාන්න ඒ කදුළු වලට බැරුවා. පොල් ගහක් පීදෙනවා වගේ අපේ මහත්තයා උස්මහත් උනේ මයේ ඇස් ඉදිරි පිට. මේ මයේ සුළැගිල්ලේ එල්ලිලා තමයි අපේ මහත්තයා පොලොවේ පය ගැහුවෙත්. එදා හිටං විස්සවිද්‍යාලෙට ගොඩ වෙනකම්ම යන එන ගමනේ බිමනේ මං උන්දැගේ පස්සෙමයි. මතක ඇති කාලෙක මයේ අතින් අපේ මහත්තයට වරදක් වෙලා නෑ. එහෙව් මාව එකෝම එක වැරැද්දකින් වහ කදුරු ගානට වැටුණා නෙව. රීරි යකෙක් ගහලා උණ සන්නිපාතේ හැදිලා මයෙ අප්පොච්චා මියැදෙනකොට මං හිටියේ පොල් ගෙඩියක් කඩා ගන්න ගහක් බඩගාන්ට පුළුවන් වයසක උනත් අම්මා අප්ප නැති මට පොල් ගස් බඩ ගාන්ට ඉඩ නොතියා සාක්‍ය මහත්තයලගේ අප්පච්චි මාව එකහු කොරගෙන ආවා කොළඹ වලව්වට. මයේ අප්පේ මට අද වගේ මතකයි. මුළු වලව්වෙම අපේ සාක්‍ය මහත්තයගේ කිරි සුවඳ ඉහිරිලා. එදා හිටං සාක්‍ය මහත්තයා මාව දොට්ට දානකම් ම මං නෙවෙයි සාක්‍ය මහත්තයගෙන් මගේ ඇස් ගෙඩි දෙක අහක් කොර ගත්තේ. නෝනා හාමුයි හාමු මහත්තයයි ගිය වාහනේ පෙරළිලා එතනමයි කියලා ආරංචිය වලව්වට එනකොට මං හිටියේ මං කැරොලයින්ව කරකාර ගන්නට හිතාන ඉන්න වග ලොකු මහත්තයට කියලා ගමේ යන්ට බලාන. අම්මා අප්පා නැති දරුවෙක්ව තනි කොරලා ගමේ ගොහිං මඟුල් කන්ට මට හිත් දුන්නෑ. මං මඟුලයි ගමයි දෙකම අමතක කොරලා දැම්මා. එහෙව් සියදොරිස්ව අපේ සාක්‍ය මහත්තයට එපා උනා නෙව.

බකමූණෙක් පොල් අත්තක ලැගලා කෑදෙනවා මූසලකමට. පුවක්ගෙඩිය අතට ගත්තේ මූසලකම එලවන්ට. රාත්තිරිය එල්ල ගත්තු හඳ පළුව පොල් අත්තේ වාඩි වෙලා. මට අපේ මහත්තයා මතක් උනා. පොල් අත්තට වහං වෙන හඳ පළුවට අපේ මහත්තයා කිව්වේ සම්පදායිකද මක්කාද හඳපළුවක්ය කියලා. අපේ මහත්තයාට කවි ලියන්ට ඇහැකි. ඒ කවි ගොයං කවි නෙළුං කවි වාගේ හතර පදේ නො ගැලපුණාට එව්වා පත්තර කඩදහිවලත් වැටිලා තියනවා. දොහක් අපේ මහත්තය කවියක් ලියලා බාල්දියකට වැටුණු හඳක් ගැන. මට හිනා. හිත අස්සෙන් හිනා උනාට මොකද මක්කවත් දෙඩුවෙ නෑ මහත්තයගේ හිත රිදෙන්ට. කරබාන අහං උන්නා. දැන් මක්කා කොරනවා ඇත්ද. නාට්‍ය උණේ නම් එදා රාත්තිරියෙන් අහවර වෙන්ඩැති. ඒත් දේසපාලනේ නම් තවමත් ඉහමුදුනේ ඇත්තේ. ඒකට මක්කා වෙනවද. සාක්‍ය මහත්තයා වගේ ඇත්තෝ නැතිව වෙන කවුරු දේසපාලනේ කොරන්නද. ඕං ආයෙත් පපුකැනැත්ත රිදුම් දෙනවා. කෙල ඩිංගිත්තක් ගිලදාන්ඩ බැරි තරමට උගුරු දණ්ඩ හිර වෙලා. කේන්තියයි වේදනාවයි පාළුවයි තනිකමයි සේරෝම බුලත් වංගෙඩියට දාලා අත ඉක්මන් කොරලා සද්දේ වට්ටලා කොටන්ඩ ගත්තා. වංගෙඩිය මගේ පපුකැනැත්ත. කොටන්ඩ කොටන්ඩ රිදුම් දෙන්නෙ මයේ හිත. කාංසිය මකාගන්ඩ අතට ගත්තු බුලත් වංගෙඩිය අහක් කොරලා ඇස් ගෙඩි දෙක පැන්නා ආකහේට. හිත් අක්කොරේම සින්න කොරගෙන සාක්‍ය මහත්තයා බින්න බැහැලා. මහත්තයත් මාත් දෙතැනකට වෙලා දැන් අවුරුද්දකටත් වැඩි. ඒ ගෙඋනු හැම දොහකම මයෙ ඇස් ගෙඩි දෙක හැම උදැනැක්කෙම දුවනවා පාර දිහාට. වෙලාවකට සාක්‍ය මහත්තයා උදැල්ලක් කරතියාන පාර දිහායින් ගේ පැත්ත බල බල යනවා. තවත් වෙලවකට පොල් කඩනවා පොල් කඩනවා කිය කිය යනවා. තව වෙලාවකට පුස් බයිසිකොලේ නැගිලා මං නො දැක්ක ගානට ටිලි බිලිං ගගා යනවා. මයෙ හිත කියනව අපේ මහත්තයා දැන් ඒවි. දැන් ඒවි කියලා. එක අතකට එහෙම හිටියෑං අමාරුවෙන් හරි දවස අහවර කොර ගන්න ඇහැක් උනා. සාක්‍ය මහත්තයට ඒ දවස් වල මම කිව්වේ මහේ සාක්‍ය කියලා. ඒ වෙලාවට මත්තයා හක හක ගාලා හිනාවෙනවා. ඇත්තමයි හීන්දෑරි උනාට උන්දැට තිඋනේ මහේ සාක්‍ය ලීලාවක්. කට වටේට වවපු රැවුල උන්දැගේ මූණට අමුතු පෙනුමක් එක්කහු කොලා. මං ඒ පෙනුමට ආසා කොලේ සාක්‍ය මහත්තයගේ කාමරේ තිඋනු ලෙනින් මහත්තයගේ මුහුණුවරම ඒ රැවුලෙන් සාක්‍ය මහත්තයගේ මූණට වැටිලා තිඋන හින්දා. ලෙනින් මහත්තයා කාගේ කවුද සාක්‍ය මහත්තයා කොහොම ඒ උන්දැව අඳුරනවද කියලා මන්දන්නෑ. මං ඇහුවෙත් නෑ. මං දන්න කාළේ ඉදලා ඔය රූපේ ගෙයි මුල්ලේ තිඋනට දූලි පිහලා ඔය තරම් උඩකින් ඔය රූපේ තිබ්බේ සාක්‍ය මහත්තයා. එහෙව් ගෞරවයක් කොරන්ට නෑකමක් නැති වෙන්ට විදිහක් නැහැ නෙව. එහෙම නැතුව බුදු පිළිමයක් දෙයියංගේ රූපයක් අහලකවත් නැති ගෙදර ඒ උන්දැට ඔච්චර ඉහළින් ඉන්න ඇහැක්යැ. මහත්තයා ගාව තියෙන පොත් වලින් බාගෙන් බාගයක් ඒ උන්දැගේ කියලා දොහක් මහත්තයා කාටදෝ සහෝදර මහත්තයෙක්ට කියනව මං අහගෙන. මං හිතන්නේ ලෙනින් මහත්තයා අන්තිම කාලේ මේ බංගලාවේ හිටියා වෙන්නත් ඇති. සාක්‍ය මහත්තයට මේ පොත් කන්දරාව ඒ උන්දැගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්නැති. අනේ දෙයියනේ මේ පරම්පරා උරුමය තව කලක් ඉදිරියට ගෙනියන්ට අපේ මහත්තයටත් දරුපැටියෙක් හිටියා නං. දරු පැටියෙක් ගැන හිතුනමයි මතක් උනේ. සාක්‍ය මහත්තයා ආලවන්තකම් පාපු කෙල්ලක් හිටියා. මහත්තයට වැඩිය බෝම වයසින් ලාබාලලූ. ඒත් අපේ මහත්තයත් ඒ වෙන කොට උන් හිටිගමන් පොඩි කොලු පැටියෙක් වෙන්ට පටන් අරගෙනයි තිඋනේ. රෑට රෑට මාත් එක්ක කතා කරපු දේසපාලනේ නො තේරුනාට ඒ ප්‍රේම කතානං මට යස අපූරුවට තේරුණා. ඒ වෙලාවට අපේ මහත්තයගේ මූණට හඳක් වඩිනවා. දවසක් අපේ මහත්තයට මං කිව්වා ඒ දැරිවිත් එක්කත් දේසපාලනේ ම දොඩන්න ගොහින් වැඬේ දෙල් කොර ගන්න එපා කියලා. අපේ මහත්තයා එතකොට හක හක ගාලා හිනා උනා. අපේ මහත්තයා ගාව පිරිලා ඉතිරිලා යන කරුණාැවක් තිඋනේ. මහත්තයාගාව ඉතරක් නෙමෙයි. මහත්තයා ආස්සරේ කොරන සහෝදර මහත්තුරු නෝනලා ගාවත් බෝම කරුණාවක් තිඋනේ. ඒ කවුරුත් මට කට පුරා අයියේ කියලා කතා කොළේ. අනේ මට වඩා බෝම උගත් ඇත්තෝ. ඡන්දේ කාලේට පෝස්ටර් කඩදහි අලවන්ඩ පාප්ප හදලා දෙන්නේ මම. ඒ කාලේ තමයි කාලේ. අපේ මහත්තයගේ සහෝදර සහෝදරියන්ගේ කිවුම් කෙරුම් වලින් ගෙයි පාලූව වැලි ඇටේට කුඩු පට්ටම් වෙනවා. ඉහ නිකට පැහිලා නැති වුණාට ඒ දරුවෝ දොඩන සමහරක් දේවල් ඇත්තය කියලත් හිතෙනවා. මේ රටේ ඉන්නේ කාළකන්නි දේසපාලන හැතිකරේ පන්නලා මේ දරුවෝ ටිකට රට කොරගෙන යන්න දුන්නනං අහවරයිනේ කියලා මං දවසක් කීර කොලූටත් කිව්වා. ඌ මට කියාපි අනේ සියදෝරිසෝ උඹයි මායි දන්න උලව්වක් නැතය අපි හම්බකොලොත් අපිට කතැහැකිය එච්චරයි කියලා. අනේ මන්දා. අපේ මහත්තයගේ දේසපාලන නාට්ටියක අර බඩගෝස්තරවාදියා කියලා බැන්නේ කීර කොලූ වගේ එඋවන්නටද මන්දා. ඇයි හත්දෙයියනේ කතා කලොත් ඇත්තං බඩ. නාට්ටි කියනකොටයි මතක් උනේ. අපේ මහත්තයත් හොද නාට්ටිකාරයෙක්. ඔය දේසපාලන වේදිකාවල අපේ මහත්තයා කතා නොකලට අපේ මහත්තයගේ දේසපාලන නාට්ටි වේදිකාවල පෙන්නුවා. මයේ අප්පේ ඒ නාට්ටි බලන්න එන සෙනග කන්දරාව. නාට්ටි පෙන්නන කාලෙට මේ සියදොරිසාට ඉතිං ඉස්පාසුවක් නෑ. එහාට දුවනවා. මෙහාට දුවනවා. තේ වක් කොරනවා. කන්න උයනවා. නිදි මරනවා. මයෙ අප්පේ මොන තරම් වැඩ රාජකාරි තොගයක්ද. ඔය දේසපාලන නාට්ටියක රගන්න දවසක් අපූරු කෙලිපොඩිත්තක් ආවා. රත්තරනින් පින්තාරූ කොලා වාගේ. හැබෑම ලස්සනක්. හැබැයි කට නාරින කල්. මයෙ හිතේ අපේ සාක්‍ය මහත්තයත් වසී වුණේ ඒ ලස්සනට වෙන්ටෑ. උන්හිටි ගමන් අපේ මහත්තයටත් ආලවන්තකමක් පහල වුණේ මොකැ කියලා මයෙ හිත අහපු පුරස්නෙට උත්තරේ හම්බවුණේ ලස්සන නෝනා ගෙට ගොඩ වුණදායි. මහත්තයගේ ආස්සරේ හිටපු අනෙක් දැරිවියන්ට වඩා නිළි නෝනා ටිකක් වෙනස්. ටිකක් නෙවෙයි බෝම වෙනස්. නිළි නෝනා වැඩිපුර කතා බහ කොලේ අපේ සාක්‍ය මහත්තයත් එක්ක ඉතරයි. මොකද්දෝ මහන්තත්ත කමක් පේන්ට තිඋනා. ඒ උනාට අපේ සාක්‍ය මහත්තයට ඒ දවස් වල නිළිනෝනට වැඩිය කෙනෙක් නෑ. හරි හැටි රඟන්නත් බැරිය කියලා මහත්තයම කිය කිය හදාගන්න පුළුවන්ය කියලත් කියනවා. මට තේරුනේ මෙච්චරයි. අපේ මහත්තයට දේසපාලනේ තේරුණාට ගෑණු මායං තේරෙන්නේ නෑ. අනෙක් අතට දැන් අවුරුදු තිස් ගානකටත් කිට්ටු වෙච්චි අපේ මහත්තයට හා හා පුරා කියලා ආදර කරුණාවක් පහල උනාම ඊට වැඩිය දෙයක් කොයින්ද. ආදරේ අන්දයිලූ නෙව. මට ඔය කෙහෙල්මල් කතාව උගැන්නුවේ මං කරකාර ගන්ට උන්නු කැරොලැයින්. ඒකි දැන් කරදඬු උස් මහත් වෙච්චි ඉලන්දාරියෙක්ගේ අම්මණ්ඩියෙක්. මං ඒවි කිය කියා ඒකිට උනත් ගෙදරට නාකිවෙතෑකියැ. ඒ කාලෙම මම ඒකිව කැන්දං ආවනං හැම උදැනැක්කෙම ගෙපැල ගාවින් යන එන ගමනේ කට පුරා හිනා විසික්කා කොරන කැරලැයින්ගේ කොලූ අප්පොච්චා කියන්නේ මට. ඒකට මක්කා වෙනවද. මේ ඉන්නේ රත්තරං කඳක් වගේ අපූරු දරුවෙක්. අනේ ඉතිං සාක්‍ය මහත්තයා මට අප්පොච්චි නොකිව්වට මං උන්දැගේ අප්පොච්චි ගානයි. අනේ දෙයියනේ එහෙව් මාව එකෝම එක වරදකින් දොට්ට දැම්මා නෙව. අර ඉස්ගෙඩි නෝනා කඩාපාත්තුනේ නැත්තං අන්තිම හුස්ම ඩිංගිත්තත් සාක්‍ය මහත්තයගේ හෙවනෙම යවන්ට තිඋනා. යස අපූරු කෙලිපොඩිත්තෝ යන එන ගෙදර අපේ මහත්තයටත් අර ඉස්ගෙඩි නෝනවම ඕන උනානේ. හිත ගිය තැන මාළිගාව කියනවනේ. මහත්තයගෙ කැමැත්තක් කොර ගන්ට කියලා මාත් කරබාගෙන උන්නා.

නාට්ටි පුහුණු කොලේ අපේ බංගලාවේ බැල්කොනියේ. නාට්ටිකාරයින්ට ආවතේවකං කොලෙත් මම. නාට්ටිය පෙන්නන දොහොට නාට්ටිය අහවර උනාම තිර රෙද්ද ඈත් කොරන කොට ආයිබෝං කියන්ට මාත් යනවා. මේ පාරත් මට ආයිබෝං කියන්ට ලැබෙන හන්දා මමත් නාට්ටියේ ඇත්තෝ වාගේ කුස්සියට වෙලා ආයිබෝං කියන්ට පුහුණු උනා. ඒ උනාට ඒකත් හරි හැටි පුහුණු වෙන්ට ඉස්පාසුවක් කොයින්ද. අර ඉස්ගෙඩි නෝනගේ ආවතේවකං බෝම වැඩී. සියදොරිස් අරක ගෙනෙං සියදොරිස් මේක ගෙනෙං කොයිවෙලාවෙත් සියදොරිස් සියදොරිස්. කන බොන කෑම ජාතිත් බෝම වෙනස්. තියන දෙයක් කාලා හැදිච්ච කෙනෙක් නෙවෙයි වාගේ. අපේ මහත්තයා මොනතරම් වංසක්කාරයෙක් උනත් ලුණුයි බතුයි දුන්නත් කයි. ඒකට මේ ඉසකුඩිච්චිය. අනේ මන්දා. අපේ මහත්තයත් ඉතිං නෝනා එනදොහොට ඉස්තරම් කෑම තමයි හදන්ට කියන්නේ. මං නොදන්න විච්චූරණ අලගෙඩියට ලූණු ගෙඩියට හැඩතියන්නේ අපේ මහත්තයා. නෝනට නෙවෙයි හ්ම් කියලා වචනයක්වත් කියන්නේ. ආදරේට වෙන්ටෑ. ඒ උනාට අර ඉසකුඩිච්චිය නෙව ඒකෙන් උඩ ගියේ. වෙලාවකට නාට්ටිය කෙරෙන්නෙත් උන්දැට ඕන විදිහට. අපේ සාක්‍ය මහත්තයත් ඉස්ගෙඩි නෝනට ඕන හැටියට නටන්න පටන් අරන්. ඉස්ගෙඩි නෝනත් දැං ඉන්නේ ආකහේ. අනෙක් සහෝදර නෝන මහත්තුරුත් අපේ මහතතයට නොපෙනෙන්න අර ඉසකුඩිච්චියට හිනා වෙනවා. අපෙ මහත්තයත් දැන් නිකම්ම විහිලුකාරයෙක් ගානයි.

ඉස්සකුඩිච්චි නෝනා බෝම තරුණ උනාට නාට්ටියේ රැඟුවේ වයසක උන්දැ කෙනෙකුට. ඒ උන්දැගේ ස්වාමි පුරුසයා යුද්ධෙට ගොහිං මැරිලලු. නෑ නෑ යුද්ධේ කිව්වට යුද්ධෙමත් නෙවෙයි ඒ වගේ වෙන එකක්. විප්ලවේ. විප්ලවෙත් යුද්ධෙ වගේම රට වෙනුවෙන් කොරන හටනක්ලු. හැබැයි යුද්ධ කොරන ඇත්තෝ යුද්ධ කොරන්නේ පඩියට උනාට විප්ලව කොරන ඇත්තෝ විප්ලව කොරන්නේ පඩියට නෙමෙයිලු. රටට ඇත්තටම ආදරෙන් ලු. ඕක මට පහදලා දෙන්න ගොහිං හෙම්බත් වෙච්ච අපේ සාක්‍ය මහත්තයා බැරිම තැන කියපු උත්තරේ තමයි ඕක. ඒ පහද ගැනිල්ල හරියටම හරි නැතිය කියලා මහත්තයා කිව්වට මයෙ තරමට ඔය මදෑ. ඉතිං මේ උන්දෑට ඒ කිව්වේ අම්මට, තරුණ පුතෙක් ඉන්නවා. මේ උන්දෑ තමංගේ මිනිහා විප්ලවේට ගොහිං මළාය කියලා මේ කොල්ලව විප්ලවේට යවන්නෑ නෙව. ඔය අල්ල පනල්ලේ මේ ගෙට ගොඩ වෙනවා මේ උන්දැගේ මලයන්ඩි, අන්න මිනිහා. මේ මිනිහා හීන් නූලෙන් අක්කණ්ඩිගේ හිත වෙනස් කොරලා කොල්ලව විප්ලවේට ගෙනියන්ටයි මානබලන්නේ. කොහෙද.. මේ අම්මණ්ඩිව නම්මගන්න ඒක ලේසිනෑ. මලයණ්ඩිත් ඊට දෙවෙනි නෑ. අක්කණ්ඩිගේ හිත වෙනස් කොරන ගමන් කොලුවව කුලප්පු කොරනවා. අන්තිමට අක්කණ්ඩිගේ හිත වෙනස් කිරිල්ල කෙසේ වෙතත් කොලුවගේ කුලප්පුව උත්සන්න වෙනවා. කොලුවා විප්ලවේට යන්ට තාත්තණ්ඩිගේ තුවක්කුව ඉල්ලනවා. මුළු ගේම පීරලා අර කොල්ලා තුවක්කු හොයා ගන්නවා. ඒ තුවක්කුව ඔතලා තියෙන්නේ කොඩියකින්. මේ අම්මණ්ඩි පැනපු ගමන් අර කොඩිය ඉරාපි. ඔන්න ඔය වෙලාවේ අර මාමණ්ඩි පැනලා අක්කා කියලා බලන්නැතුව ගහපි කම්මුලට පාරක්. තරු විසි වෙන්න. හා මං කියන්නේ තමංගේ රටේ කොඩියක් අර විදිහට කීතු කීතූ කොරන කොට මොකාටද බලාන ඉන්ට ඇහැක් වෙන්නේ. මම නං ගන්නේ කොස්ස. ඒ උනාට අපේ නිළි නෝනා කියාපි කම්මුලට ගහන කොටස අයින් කොරන්න කියලා. මට යකා ඇවිස්සුනේ ඔය වෙලාවේ. මයෙ යකා ඇවිස්සුනාට මක්කා කොරන්නද අපේ සාක්‍ය මහත්තයගේ යකා සිල් ගත්තු කොට. සාක්‍ය මහත්තයා අත දරුවෙක්ට වගේ පහදනවා. පහදනවා. අර ඉසකුඩිච්චිය නෙවෙයි කනකට ගන්නේ. අනේ අම්මපා මට කුණු හරුප මතක් උනා. මං ඉතිං නොදන්න කමටත් එක්ක නළු මහත්තයෙක්ගෙන් ඇහුවා නිළි නෝනට මක්කා වෙලාද කියලා. ඒ මහත්තයා කියන විදිහට නං මෙතන තියෙන්නේ පංති ප‍්‍රශ්නයක්. මමත් තේරුනා වගේ හිටියට ඇත්තම කාරණේ ඒක අහලා ඔළුව කුරිංඤං වෙච්චි එක. ඒ නිසාම ඔය අපේ මහත්තයගේ සහෝදර සහෝදරියෝ කතා කොරන තැංවලට මම කණ එල්ලලා තිබ්බා. එතකොටනේ මට තේරුණේ. අපේ ඉස්සකුඩිච්චචියගේ අප්පොච්චා ආණ්ඩුවේ සභාපති මහත්තයෙක් ලු. අපේ නාට්ටියේ අර අම්මණඩිගේ මලයණ්ඩිට රගන මහත්තයා අර සභාපති මහත්තයගේ සුළු සේවකයෙක්ලු. සුළු සේවකයෙක්ගෙන් ගුටි කන එක අර හෝන්තුවට මදිකමක්ලු. රෙද්ද. ඕකට අපේ ගමේ එව්වෝ නං කිව්වේ පංති ප‍්‍රශ්නේ කියලා නෙමෙයි මහන්තත්තකම කියලා. අනේ අපේ මහත්තයට නං මේ ඉසකුඩිච්චිය පෑහෙන්නෑ. මේ දීගේ නොකෙරෙන තරමට හොදයි. දෙයියන්ට බුදුන්ට කියන්ට රූපයක්වත් හොයාගන්ට නැති හන්දා මං ලෙනින් මහත්තයා ගාව දණින් වැටිලා කිව්වා ඉන්න තැනක ඉදන් අනේ අපේ මහත්තයව මේ හෝන්තුවෙන් බේරලා දෙන්ටය කියලා. කොහොමෙං කොහොම හරි අර හෝන්තුවගේ කියුම් බහට නාට්ටියත් වෙනස් කොලා නෙව. නාට්‍යයේ අනෙක් ඇත්තංගෙත් හිත් හොදටෝම රිදිලයි උන්නේ අපේ සාක්‍ය මහත්තයට වෙලා තියන වින්නැහියට. ඒත් ඉතිං මක්කා කොරන්නද.

නාට්ටිය පෙන්නන දොහත් ආවා. වෙනදට නාට්ටි පෙන්නන දොහොට අපේ මහත්තයගේ මූණත් තහඩුවට වඩින සඳ දෙයියො එදා නං රැවුල් ගහකවත් එල්ලිලා ඉන්නවා මං දැක්කේ නෑ. මූණ සුදු මැලිවෙලා. හිතේ හැටියකට නාට්ටිය කොරගන්න බැරුව වෙන්ටෑ. ආදරයක් කොරපු වින්නැහියක්. අපේ මහ්තයගේ ඇඳුමේ පැළඳුමේ හිට වෙනස් කොරපු නිළි හෝන්තුව අර අපූරුවට ලෝකයකට ආදරේ කරුණාව පිරිලා ඉතිරිලා ගිය හිතත් වෙනස් කොලා නෙව. තුක් නොදකිං උලව් ආදරේ. ආදරේ මේ තරම් ලොකු උලව්වක් කියලා මං දැනං උන්නේ නෑ. නාට්ටිය පෙන්නන්ට අන්තිම සීනුව වදින කල්ම තිර රෙද්දට වහං වෙලා මයෙ ඇස්ගෙඩි එහෙ මෙහේ දිව්වේ අපේ මහත්තයගේ වෙනස් වීමත් එක්ක. නාට්ටියත් පටන් ගත්තා. අපේ නිළි නෝනා සසබසගාලා වචන විසික්කා කොරනවා. ඇස්ගෙඩි දෙක නිළි නෝනා ගාව ඉන්දෝලා සරීර කූඩුව හැංගුවේ තිර රෙද්ද අස්සේ. අම්මණ්ඩි කොරන කියන දේත් එක්ක වහං වෙලා නළිය නළිය මං ළඟ උන්නු හිත හෙමින් හෙමින් උන්දැ ළඟට ගෑටුවා. දෙයිහාදුරුවනේ අම්මණ්ඩිගේ කතාවට පපු කැනැත්ත දෙදෙරනවා. ඇස් ගෙඩි දෙක පුපුරු ගහනවා. මම කොච්චර කීවත් මයේ අම්මා නෙවෙයි කනකට ගන්නේ. හරිම හිතුවක්කාරයි. මයෙ අප්පත් විප්ලවේට ගොහිං දිවිපිදු කොට මට ඇහැක්ද ගෙට රිංගලා කෙලිපොඩිත්තක් වාගේ වහං වෙන්ට. කොහේදැ අපේ අප්පොච්චිගේ තුවක්කු. අඩුම තරමින් මයෙ අම්මට අපේ මාමණ්ඩි කියන දෙයක්වත් අහන්ට බැරි හැටි. අනෙක් අතට මාමය කියන්නේ සුළු පටු මිනිහෙක්ද. අපේ ලෙනින් මහත්තයා? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? ? සාක්‍ය මහත්තයගේ කාමරේ උඩින්ම තියන පින්තුරේ ඉන්න උත්තමයා. ලෙනින් මහත්තයයි මායි එක ජරමරේට ගෙයි පෙරලලා තුවක්කු හොයන්ට පටන් ගත්තා. අතේ බ්ලේඩ් තලයක්වත් නැතිව විප්ලවයක් කොරන්ට ඇහැක්ද. තාත්තගේ හංගපු පෙට්ටියක තුවක්කු. දෙයියනේ සීලංකා කොඩියේ හැමතැනම ලේ. අප්පොච්චිගේ ලේ. අපේ ලේ. මයෙ අම්මා මයෙ අතින් උදුරලා ගත්තා අර කොඩිය. මගේ ඇස් ගෙඩි දෙක ඉදිරිපිට අර කොඩිය කෑලි කෑලි වලට ඉරාපි. නහරයක් නහරයක් ගානේ ගලා ආපු කේන්තියක තරම. අතට අහුවුනේ කොස්ස. මම උන්දැට...... වේස බැල්ලි මං තෝව ඉතුරු කරන්නෑ. කාළකන්නි මලෙයිලව්ව. තොගේ මිනිහගේ වලටත් හෙන ගහනවා මේ කරපු අපරාදෙට. පඩත්තර බැල්ලි............. ? ? ? ? ? ? ? ? ? මහා ගෝසාවක් ඇහෙන්ට උනා. මම වටපිට බැලූවා. දෙයිහාදුරුවනේ දැන් ඩිංගිත්තකට කළියෙන් තිර රෙද්දට වහං වෙලා උන්නු මම නිළි නෝනා ගාව, මහ සෙනග කන්දරාවක් ඇස් ඉස්සොරහ. කෝ දැං ඩිංගිත්තකට ඉස්සොර මෙතන උන්නු ලෙනින් මහත්තයා. උන්දෑ අහලකවත් නෑ. මයෙ කකුල් සට සට ගාලා ගැහෙනවා. අපේ සාක්‍ය මහත්තයා දුවගෙන ඇවිත් මයේ කම්මුලට ගහපි. මාව විසික්කා වෙලා ගොහිං වැටුණේ නිළි නෝනගේ දෙපාමුල. මම දනිපනි ගාලා නැගිට්ටා. කාරලා කෙලබෙට්ටක් ගැහුවා අර බැල්ලිගේ මූණට. රටක් රාජ්‍යක් වටින මයේ මහත්තයගේ ඔලුගෙඩිය සූරගෙන කෑවාට. අපිවගේ ඇත්තංගේ පිහිටට උන්නු මිනිහෙක්ව අන්ද කොලාට. තුක් නොදකිං වේස ආදරේ. එදාවගේම අදත් ඔය බැල්ලිව මතක් වෙන මතක් වෙන ගානේ කටේ කෙල හි‍ඳෙන කල් ඕකිට හෙණ ගහපං කියලයි කියන්නේ. විප්ලවයක් කොරන්ට දැං අපේ අතපය වලංගු නැතුවා. කොරන්ට ඉන්න එවුනුත් මේවගේ වේසාවියන්ට යට වෙනවා බලාන ඉන්ට බෑ. අන්තිම හුස්ම ඩිංගිත්ත අහවර වෙන්ට කලියෙං මං මයේ මහත්තයව බේර ගන්ට ඕනි. රාත්තිරිය මයේ තනියට පාන්දර කැන්දලා යන්ට ගොහින්. ඉර එළිය පැලේ හිල් අසෙන් මගේ දෙපාමුලට කඩා වැටිලා. මෙතුවක් කල් පිරිමිකමට කියලා නතර කොරගත්ත කදුළු කැට වලට වැටෙන්ඩ ඉඩදීලා මං ඔහේ බලාන උන්නා. සරොං වාටියට කදුළු අලෝලා මං පිලෙන් නැගිට්ටේ විප්ලවයක් කොරන්ට. උන්නත් එකයි මලත් එකයි. මං යනවා කොළඹ. කොළඹ ගොහිං මයෙ මහත්තයව අර වේස බැල්ලිගෙන් බේර ගන්නවා. සත්තයි. ඒකිව කරකාරේට අරන් තිඋනොත්? ? ? ? ? ඕන උලව්වක්. මං ආයිත් කොළඹ යන්ටය කියල හිතාන අන්තිම වතාවට මයෙ පැල දිහා හැරිලා බැලූවා. විප්ලවේට යන්ට හදනවා වගේ දහිරියක් මයෙ හිතට ආවා. විස්වාස කරන්ට මයේ අම්මා.... මගේ ඇස් ගෙඩිදෙක ඉහිලුම් නැතුව කඩුල්ලේ ඇලවුණා. සාක්‍ය මහත්තයා කඩුල්ල ගාව. පරණ විදිහටම. නිළිනෝනගේ කිවුම් බහට කපාපු රැවුල ආයිත් කට වටේට යස අපූරුවට. මයෙ ඇස් වාටියේ නළිය නළිය තියුණු කදුළු කැටේ කුදලගෙන කදුළු ගංගාවක් දෝරේ ගැලූවා. මයෙ සාක්‍ය මහත්තයා මාව බදාගත්තා. උන්දැගේ ඇස්ගෙඩි වලත් කදුළු. මයේ නැතිවුණු පුතන්ඩියව මට ආයිත් ගෙනත් දුන්නට ලෙනින් මහත්තයට බුදුබවත්වෙන්ට ඕනේ. ලෙනින් මහත්තයට වෙච්ච බාරේ ඔප්පු කරන්ට ඕං දැං මට හයිය හත්තිය තියන පුතෙක් ඉන්නවා.

උවනි චාමිකා ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් ප්‍රදානය කරනු ලැබූ නිදහස, 61 වෙනි වතාවටත් සමරා ඉක්ම ගොස් තිබුනේ දින හතක කාලයකි. වන්නියේ යුද්ධයට මැදිව සිටින අහිංසක දෙමළ ජනයා මුදා ගැනීමේ 'මානුෂික මෙහෙයුම්' අඛණ්ඩව ඉදිරියට යමින් තිබිණි. ඒ දකුණේ අසහාය යුධ වීරයා වූ සරත් ෆොන්සේකාගේ නායකත්වයෙනි. සකල දේශවාසී බලවතුන්ගේ ආශීර්වාදයෙන් වන්නියේ සීමා බිම් අඟලක් පුරාම මෝටාර්,ෂෙල්, පොකුරු බෝම්බ වැසි ඇද වැටුනේබොහෝ අහිංසකයින්ගේ හිස මතටය.

මුලතිව් හි තේවපුරම් ගම්මානය ට දහස් ගණන් අවතැන් ජනයා එක වුයේ අඛණ්ඩව ඇද වැටෙන ෂෙල්, මෝටාර් බෝම්බ වරුසාවෙන් මුවා වෙන්නටය. තේවපුරම් යුධ මුක්ත කලාපයක් ලෙස ද නම් කෙරුනේ අවතැන් ජනයාගේ පැමිණීම දිනෙන් දින වැඩිවීමත් සමගින්ය. 2009 පෙබරවරී 12 වෙනිදා උදා වුයේ ආරක්ෂාව පතා තේවපුරම් ගම්මානයේ ලැගුම් ලා සිටි බොහොදෙනක්ගේ ජීවිත අහිමි කරමිනි. ගුවනින් හා හතරවටින් එල්ල වූ ෂෙල් මෝටාර් ප්‍රහාරයන්ගෙන් මෙදින මියගියවුන් අතර වන්නියේ ජනමාධ්‍යවේදියෙකු වූ සත්‍යමූර්ති ද විය. සත්‍යමූර්ති තේවපුරම් ආරක්ෂක කලාපයට ඇතුල් වූයේ සිය බිරිදත් සිඟිති දියණියත් සමගිනි. බෝම්බ වරුසා මැදින් සත්‍යමූර්ති ගේ අවසන් කටයුතු සිදුකෙරිණි. සය හැවිරිදි සිගිති දියණිය කිසිවක් අදහාගත නොහැකිව, සිය අප්පාගේ දෙණ අසල නිහඬවම කඳුළු සැලුවාය.

1972 දී පොලොන්නරුව මනම්පිටියේදී උපන් පුන්‍යමූර්ති සත්‍යමූර්ති සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලැබීත් සමගින් යාපනය සිය වාසස්ථානය කරගත්තේය. යාපන විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද අධ්‍යාපන කටයුතු හමාර වීමෙන් පසු සත්‍යමූර්ති ජනමාධ්‍යයට පිවිසුණි. ආරම්භයේදී නිර්මාණාත්මක ලේඛයෙකු ලෙසින් කවි සහ කෙටිකථා- වෙලිච්චම්, සන්කති, පුදිනම්, පතිව්, වෙල්ලිනාතම්, ඊලනදම්, සහ කොටිහඬ ගුවන්විදුලිය වෙත නිර්මාණ යොමුකෙරිණි. ඔහුගේ බොහෝ නිර්මාණයන් ට පාදක වුයේ දෙමළ ජනයා පත්ව ඇති පීඩනයයි. 2000 වසර වන විට සත්‍යමූර්ති කෙමෙන් කෙමෙන් සිය ජනමාධ්‍ය කුසලතා වර්ධනය කරගනිමින් දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස බොහෝ මාධ්‍යන් වෙත ලිපි සැපයුවේය. ඒ අතරින් උතුරු නැගෙනහිර පළාත් වල සිදු කෙරෙමින් තිබුණු මිලිටරිමය ක්‍රියාදාමයන් විශ්ලේෂණයට ලක් කරමින් ඊලනදම් පුවත් පතට සත්‍යමූර්ති ලියන ලද යුධ විශ්ලේෂණය වන්නියේ ජනයා අතර පමණක් නොව සමස්ත දෙමල ජනයා අතරද ප්‍රකටවිය. කැනේඩියන් දෙමළ ගුවන්විදුලිය, කැනඩා බහු සංස්කෘතික ගුවන් විදුලිය, තමිල් විෂන් ජාත්‍යන්තර ගුවන් විදුලිය වැනි කැනඩාව පදනම් කරගත් විද්‍යුත් මාධ්‍යන් සමග සත්‍යමූර්ති ට පැවතියේ සමීප සම්බන්ධයකි. දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ඔහු සිය අදහස් මේ ඔස්සේ සමාජ ගත කළේය. ඊට අමතරව අයි.බි.සි., ටි.ටි.එන් රූපවාහිනිය, කොටි හඬ ගුවන් විදුලිය ඔස්සේ ද සත්‍යමූර්ති උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ගැටළු , යුධමය වාතාවරණය හා දේශපාලනය පිලිබඳ තොරතුරු මෙන්ම විශ්ලේෂනයන් ද ගෙන ආවේ වන්නියට ඇදහැලෙමින් තිබුණු බෝම්බ වැසි මැද්දෙනි. සත්‍යමූර්ති මියයන තෙක්ම වන්නියේ සිදුවෙමින් තිබෙන දේ පිළිබඳව ලෝකයට හෙළිකරන්නට පසුබට වූයේ නැත.

යුධ ආරක්ෂක කලාපයකදී ෂෙල් ප්‍රහාරයකින් මියගිය සත්‍යමූර්ති පිළිබඳ සත්‍යය ජාත්‍යන්තර අවධානයට ලක්විණි. ජාත්‍යන්තර මානවහිමිකම් හා මාධ්‍ය සංවිධාන රැසක්ම ඔහුගේ ඝාතනය හෙළ දකිමින් ප්‍රකාශ නිකුත් කළහ. එවකට මෙම සිද්ධිය යුධ අපරාධයක් ලෙසින් හැදින්වීමට බොහෝ සංවිධාන පසුබට වුයේ නැත. මේ වන විට සතයමූර්තිගේ ඝාතනයට වසර 3 ක් ගත වුවද එයද අනෙකුත් උතුරු නැගෙනහිර අනෙකුත් ඝාතනයන් මෙන්ම කිසිදු වග විභාගයකින් තොරව යටපත් වෙමින් තිබේ.

සත්‍යමූර්තිටද සිදුව ඇත්තේ මාධ්‍යවේදී ඝාතන ලැයිස්තු, සංඛ්‍යා ලේඛන අතර සිරව සිටින්නටය.

අම්මා අප්පා අහිමි වූ වන්නියේ බොහෝ දරුවන් අතර සිය අප්පාගේ නො මැකෙන මතකයන් මැද සත්‍යමූර්තිගේ සිඟිති දියණිය මේ මොහොතේත් ඉකිබිඳියි.

රොහාන් රඹුක්වැල්ල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පූජනීය පූජාසන අහිමිවුණ
කඩි ගුලකට උණු අළු ගෙන දැමු ලෙසින
විසිරී ගිය නමුත් අප හැම තැනින් තැන
මිතුර උඹයි තාමත් හු‍දෙකලා වුණ

අකීකරුම කෙහෙරැළි ගස්සා හිසින
නාට්‍ය ගැන නිතරම මා හා දොඩන
පිස්සා-කියා මිතුරන් විවරණය දෙන
සකිසඳ නුඹ සෙනෙහෙ මා හද පුබුදුවන

අල්ලට සිඟා ගෙන රස නැති කැවිලි කකා
බෝඩිම් වල ලගින අනියත දුකින් වකා
ශිල්පය සොයන ඇදුරිඳු නැති බිමක මකා
මතු රැකෙනට නොවෙයි වෑයම නොමැත සැකා

පැතුමක් පතමි පැතුමට හැකි දෙයක් නැතී
නුඹ ගැන සිතමි සිතුවිලි වල නිමක් නැතී
උණක් තියෙන මුත් උඹ වෙත නිමක් නැතී
එය නිම වුණෝතින් උඹගෙන් පලක් නැතී

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඩී.බී.කුරුප්පුගේ ග්‍රන්ථ 13ක් එළි දැක්වීමේ උළෙල, 2012 පෙබරවාරි මස 18 දා සවස 3 ට, Uniting Church Hall, 482 High Street Rd, MT Waverley, Victoria, Australia හි දී පැවැත් වේ. සිංහල සාහිත්‍යයේ දීර්ඝතම පරිවර්තනය සේ සැළකිය හැකි, අර්බත් දරුවෝ හි කොටස් 1-7 දක්වා ද, මඟ හොඳට නොතිබුණත්, සරල සිංහල වියරණ විදි, පිතු හදක ඇත සිඟිති හිඩැසක්, දානයේ ආනිශංස, නැතක් රූ ගත් එකත් මූලය, සුමුදු බොදු බවුන් මඟ නම් වූ ග්‍රන්ථ එදින ජනගත කෙරෙයි.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඈත නක්කාවිට දුදුළු මත
නැතත් පොප්ලර් ගස් දෙකක්
චන්ද්‍ර ගුණ පිරි කුඹුක් හෙවණක
ගලයි සිහිලැල් දියවරක්

දුර කඳු තුඩක ගුල්මයක
උල්පතක සැඟවුණු විභව ශක්තිය
මෝඩ පාලම පහළ
නව දැනුමින් උපන් ඩයිනමෝ කරකවන
චන්ද්‍ර ගුණ පිරි කුඹුක් හෙවණක
ගලයි සිහිලැල් දියවරක්
අඳුරු ගංකරයට ගලා එයි
සහස් සඳ රැස් විදුලියක්

අතැඹුලක් සේ දැන දෙවන බස
මීරි මවු කිරි සේ පෙරා
පොවා, සවිබල දෑත් මැවු
මවුනි ඔබ වෙයි එහි දේවතා..

කොළොම් තොට කලු මුහුද මත
සිහිනයන් ගිලිහුණ ඈත දිනයක
සෙක්කලේ යන දිවි තෙප්පමට
පහන් තරුවක් දිස් වුණා
නුඹ සොයා දුන් "ඩී" අකුර
බටහිර අහස් කුස එළි කළා

නක්කවිට වැල් පාලමේ
හයි හක්තිමත් වානේ රැහැන් ලෙස
සැලී පැද්දෙන ජීවිතේ ළඟ
නුඹේ සවි අත හමු වුණා
සංහිඳේ බෝ රුකේ නුදුටුව
මවුනි නුඹ මගෙ දේවතා...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මකරු ගොරවති දස අත
කා ගනිති උනුන් හා අහස් කුස
ගිණි සැරයෙන් වැටී ඇස් ගිණිකන
දනෝ තෝරති තම මකර තෙම

සදා දී පුදසුනක් රුවනින්
සදා කැවිලි ද පෙවිලි රස බර
තබා දරු කැල පුද වට්ටි මත
පුදා ඉල්ලති සියලු සුර සැප

මකර තෙම ඉන් බොහෝ සැනහී
බුදා පුද දුන් බොජුන් රසකර
යොදා ගෙන දරු රථය ඇදුමට
යෙහෙන් වැජඹෙයි අරා නුබ ගැබ

කැවිලි සැදුමට නොමැත තව සවි
ලැබුනු සුර සැප කෙමෙන් වියැකී
රථය ඇදි දරු ගතින් දුබලව
හිස් ව අත මිට හිඳී සෝකව

මේ මකර තෙම ඉදින් වයසයි
ඒ නිසයි මේ සියලු දොම්නස්
යොවුන් මකරෙක් සොයා ගෙන අපි
යදිමු සැමගේ දෝස නැසුමට

මකර උතුමෝ අති කාරුණික
අවැසිය අපට මේ රන් දෙවොල
නව මකර තෙම ගෙනත් තැබුමට
බැස යන්න සොඳ හිටි මකර රජ

ඇසී දන ගේ මේ යැදුම් හඬ
කිපී ඝෝරව හිටි මකර තෙම
උනා සලු පිලි පැන අහස් කුස
පිඹී ගිණි සැර දනෝ හිස් මත

සොරෙන් ගෙන්වා නව මකර තෙම
යවා සවි දී මකර පොරයට
ඉවත විසි වන ගිණි පුපුරු මැද
දනෝ සවි දෙති මකර කුමරුට

ලද නිසා සවි මකර කුමරුන්
ජය ලබා ගෙන මකර පොරයෙන්
උදම් වී ජය ප්‍රීති ගොස මැද
වඩී දෙවොලට අසිරි ලබමින

ඉතින් යළි දන සදා කැවිලිද
සොයා ගෙන පුද පඬුරු කාසිද
ඉතිරි දරු කැල පුදා සතොසින
යදිති දෙන ලෙස යළිත් සුර සැප

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හඹා එන බස් රියේ ගමන අඩපණ වෙලා
බබා සේ මගේ රිය යා යාතුයි ඉගිලිලා
තබා පාපුවරුවේ පාදයක් ඇලවෙලා
ඔබා යයි කාසියක් මාතලී නැවතිලා

ඇදුරුකම උකස් කළ මුදදාලි කඩයකට
දූ පුතුන් යන නිසා කඩුලු හත පනින්නට
මාපියන් සෙත් පතා වදින විට බෝධියට
ඔවුන් ඇත ගුලිවෙලා පැයට ගත් කුටියකට

හැකි කලට පුලන්නෙකු දැක දැකත් නොදුටු සේ
පලවමින් යදින්නන් කිපි සිහ රජෙකු සේ
ඔත්පලව වැටුනු දා නැගුණු කදුළින් ඇසේ
කන්නළව් කරන විට පිහිට වෙන්නෙමි කෙසේ

පෙමිවතුන් වූ එදා පන්නමින් රතු ඉරක්
කුසට ආ කළල රුව කීතු කොට කළ පවක්
විවාපත් වූ මෙදා නැතුව දරු සම්පතක්
අනේ වැද වැටෙනවා කරන්න ද මං කුමක්

එකට එක බත් පතේ කකා උන් සෝයුරන්
බදාගෙන බිම්කඩක් කා කොටාගෙන මරන්
නඩු කියන දා හෙටයි පඬුරු තෙල් මල් අරන්
දෙපිරිසම යදිනවා දිනුම දෙන්නලු අරන්

පුතුන් රජ කරන්නට විදින දුක් නිම් නැතී
බැරි ගැහුණු මාපියන් මහලු මඩමෙහි වෙතී
එවන් පුතු සපිරිවර සමඟ මෙහි පැමිණෙතී
සෙත් පතා, මැතිඳු හට පහන් වැටි දල්වතී

ඉදහිටක බැති සිතන් කෙනෙක් දෙන්නෙක් එතත්
යාතිකා කන්නළව් බිඳියි උන් එකඟ සිත්
සුළඟ හා මුසුවලා කපුරු කලුවැල් දුමත්
අහිමි කර ඇති වගයි දෙවොල තුල හිමි තැනත්

ගැට ගැහී පඬුරු කොඩි දුමිඳු ළඟ බර දැනේ
මිනිස් සිත මකුඟ දැල් හුයෙනි එහි එල්ලුනේ
යදිති අයදිති යළිත් පළිගසති හිමියනේ
ගිනිවැදුනු පරඬැල්ය මනු ලොව අද දිනේ

උද රළ ගෙඩි ඇවිත් නෑසියන් වනසලා
පැලී මිහිකත ගිලී පණ පිටින් වැළලිලා
වැසි වැටී ගං පොකුණු වැවි දෙගොඩ තල තලා
උගත් පාඩමි යළි උන්ට අමතක වෙලා

යදින මනුසත් වගට වඩා අප අසරණයි
ඇතුල් ගැට පිටත ගැට ගැටගැසී කරදරයි
පුද පඬුරු පපා අඬගසන විට හිරිහැරයි
පලායමි සහැස් දෙවි රජාණනි අවසරයි

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කුරුලෑව තනි ගිනි කන්ද සේ
පිපිරෙන්න නියමිතව සිටියා
විසර ගෙඩියක පිපිරිලා ගිය
සැරව සේ කඳුළකුත් ගැලුවා

උඹේ මුහුණේ කැළැල් නැසුමට
ක‍්‍රීම් දහසක් දොරට වැඩියා
සඳුන්,කොකුමඟර නැති තැන
ලාබ ආලේපන ම පැතුවා

පෙරුම් පුරලා පුයර ලතු ගා
උඩු සමේ කැත නිවා දැමුවා
උපන් දා සිට තිබුණු ලපයත්
මැරී වැටිලා සුදට පෙනුණා

යටගිය දවසක යටගිය පැල්ලම්
යට සමින් මතුවෙන්න ගත්තා
පෙම්වතා හැර ගිය සැඳෑවක
මිදුණු කඳුළේ කබත් තිබුණා

සිදුරු වී ගිය තැලී ඇද වුණ
කම්මුලේ සැංගුණු අතීතය
මැහුම් පහරින් උඩට මතු වී
ඇඟිලි අග්ගිස්සේ ම ඇනුණා

ලප පිරුණු අතීතයේ නටඹුන්
මුහුණ මත වැතිරිලා තිබුණා
කැළැල් නැති හෙට දිනක් ගැන හිත
හිත හිතා හීනෙනුත් දෙඩුවා

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ඒත් ඇත්ත කතාව නං, දුර්ග බෑවුමෙන් එබිකම් කොට කියන්නේ, ඉවර කරපු නැති නවකතාවක්. හරියට ම කියනවා නං පටන් අරගෙන විතරක් තියෙන නවකතාවක්. මං දැක්කා ඒකෙ මුල් පිටපත.."

"එබිකම් කොට... ඔන්න දැන් පටලෝගන්න එපා. අහලා පුරුදු මාතෘකාවක්. ඒත් ඒ ඒක ම නෙවෙයි. බමනය.. අන්න හරි. විල්ජන්ඩි ගේ බමනය.."

"මාරුතය හෝ බමනය ගැන නො බිය ව? හරි. ඒක පරිවර්තනය වෙලා තියෙනව ද? මේ සමාගමෙන් ප‍්‍රකාශයට පත් කරලා තියෙනව ද?"

පොඞ්ඩක් ඉන්න. පරිවර්තකයා, ඒ කියන්නේ එර්මේස් මරානා කියලා තරුණයෙක්, සුදුසුකමුත් තියෙන. මිනිහා අපිට දුන්නා පරිවර්තනයේ සාම්පලයක්. අපි නමක් දැම්මා. ඊට පස්සෙ මිනිහා කොටස් වශයෙන් පිටු දුන්නා. සැරේකට පිටු සීය ගාණේ. සල්ලිත් ගෙව්වා, ඒ අතරේ අපි. වෙලාව ඉතුරු කරගන්නත් එක්ක, ලැබෙන ලැබෙන හැටියට මුද්‍රණයට සෙට් කළා. ඊට පස්සෙ සෝදුපත් බලද්දි අපිට පෙණුනා, නො ගැලපෙන, විකාර තැන් වගයක්. අපි මරානාට එන්න කියලා ඇරලා, ප‍්‍රශ්නයක් දෙකක් අහන කොට මිනිහා පැටලුණා. ඊට පස්සෙ මුල් පිටපත අරං ඒකෙන් යම් යම් කොටස් වාචික ව පරිවර්තනය කරන්න කියලා කිව්ව ම, මිනිහා එරුණා. අන්තිමට, සිම්බි‍්‍රයානු භාෂාවෙන් එක වචනයක් වත් දන්නෙ නැහැ කියලා පාපොච්චාරණේ කරන්න මිනිහට සිද්ධ වුණා."

"එතකොට එයා ගෙනල්ලා දුන්න පරිවර්තනය?"

"සිම්බි‍්‍රයානු භාෂාවෙන් නැහැ. සිමෙරියානු භාෂාවේ, මට දැන් මතක නැහැ. එන චරිත වල නම් ටික හරියට දාලා තිබුණා. ඒ වුණාට පොතේ පෙළ ඇවිල්ලා, වෙන නවකතාවකින් ගත්ත එකක්."

"මොන නවකතාවෙන් ද?"

"මොන නවකතාවෙන් ද, අපිත් ඇහැව්වා. මිනිහා කියනවා, තාසියෝ බසික්බාල් ලේ පෝලන්ත නවකතාවක්."

"මල්බෝර්ක් නුවරින් පිටත..."

[****]

....දැන් පවා, ඔහුගේ බාල විලවුන් සුවඳ පරයා නැෙඟන මළ මිනී ගඳ අස්සෙ පවා, ඔහු සමඟ සෙල්ලම තව ම අවසන් නැති බව, ජීවතුන් අතර සිටි ජෝජෝ තරමට ම මළ ජෝජෝ ද මට වින කිරීමට සමත් බව, මට වැටහිණ.

මෙ ලෙස එක විට කතා ගණනාවක් කියැවෙන්නේ, කතාව වටා ඇති වෙනත් කතාවල, දැනට මට කිව හැකි හෝ අනාගතේ දවසක මා කීමට ඉඩ ඇති, ඇතැම් විට, වෙනත් අවස්ථාවක දැනට මත් මා කියා තිබිය හැකි වෙනත් කතා වල පරිපූරණයක්, හුදෙක් මගේ ජීවිත කාලය ම වන කතාවලින් පිරිපුන් අවකාශයක්, ඔබ කැමති දිශාවකට ඔබට යා හැකි සහ අවශේෂ කතා නො කියා කිව නො හැකි කතාවලින් ගහන අවකාශයක්, ඔබටත් ස්පර්ශ වන සේ ඉදිරිපත් කිරීමට ය. කොයි මොහොතින් හෝ කොයි තැනකින් පටන් ගත්තත්, කීමට ඇති අමුද්‍රව්‍ය එක ම ඝනත්වයෙන් යුක්ත බව ඔබට වැටහෙනු ඇත. ඇත්තෙන් ම, ප‍්‍රධාන ආඛ්‍යානය තුළ මා නො කියා අත්හළ සියල්ල දෙස ආපසු හැරී බලද්දී, දසත විහිදෙන කැළෑවක් වැනි දෙයක් මට පෙනේ. එය කෙතරම් ඝන ද යත්, ආලෝකයට ඒ හරහා යාමට ඉඩක් නැත. වෙනත් වචන වලින් කිවහොත්, මේ අවස්ථාවේ මා කීමට යොදා ගත් දෙයට වඩා බෙහෙවින් සරු අමුද්‍රව්‍ය ගොන්නක්. ඉතිං, මගේ කතාව ලුහුබඳින කෙනෙකුට, දිය දහර අනේක අතු ඉති වලට ඉහිරී යද්දී, තමාට හමුවන්නේ, හරවත් සිදුවීම් වල අවසාන දෝංකාර සහ ප‍්‍රතිරාව පමණකි යි හැෙඟන නිසා තමා තරමක් රැවටී ඇතැ යි සිතෙන්ට බැරි කමක් නැත. එහෙත් මා කතාව ආරම්භ කළේ ම ඒ අරමුණ පෙරදැරි ව වීමට ද පිළිවන. නැත්නම් අපි මෙසේ කියමු. ඒ වනා හි, මා භාවිතා කිරීමට තැත් කරන ආඛ්‍යාන කලාවේ එක් ප‍්‍රයෝගයකි. මා සන්තකයේ ඇති කතා ශක්‍යතා වලට ටිකක් පහළින් මගේ ස්ථානය නිර්ණය කර ගැනීම සඳහා භාවිතා කෙරෙන අභිමතානුසාරී රීතීයකි....

[-If On A Winter S Night A Traveller පරිවර්තනය- සිසිරයේ රැයක මඟියෙකු... නම්]

ඉටලෝ කැල්විනෝ
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලයනල් වෙන්ඩ්ට් එකේ "දොළහක්" බලන්න ගියා. කට කපලා සෙනග... "ඇඩ්වර්ටයිසින්" "ඉන්ග්ලිෂ් තියටර්" "ජෝන් ද සිල්වා" නළු නිළියන් සහ පොලිටික්කන් හැම කාණ්ඩෙකම කට්ටිය එක ඕඩියන්ස් එකක. "බකමූණා" වගේම තව ජෝක් පොලිටිකල් වැඩක් වෙන්න ඇති කියල මට හිතුණ. නාට්ටිය පටන් ගත්ත. ජූරි කාමරයක් ඇතුලෙ සෙට් එකක්, කොල්ලෙක් විසින් තාත්තාව පිහියෙන් ඇන මරා දැමීමක් ගැන විනිශ්චයකාරවරයාගේ කතාවක් ඇහෙන්න ගන්නවා. ජූරි කාමරේ හිස් පුටු උඩ ඒ ගැන ඒකමතික තීරණයක් අරන් එන්න ජූරියෙ දොලොස් දෙනා කාමරේට එනවා, අම්මට හුඩු...! ඒ නළුවො දොලොස් දෙනා එකට එකතු කර ගත්තෙ කෙහොමද කියල පුදුම හිතුණ. මේ තරම් මෙගා තියෙද්දි කොහොම රිහර්සල් ආවද? ඒ තරං කැපකිරීමක් වත් කරන්න ඉඩක් ඉතුරු වෙලා තිබ්බ එක ගැන ඒ දොළහට රඟපාපු දොලහට මගේ ප‍්‍රණාමය!

නාට්ටිය පටන් ගත්තා, මට පරිවර්තන නාට්ටි දිරවන්නෙම නෑ, හිම කබා ඇඳගෙන තොප්පි දාගෙන සිංහලෙන් කතා කර කර ලංකාවෙ වේදිකාවෙ ඒ චරිත කරද්දි මට එන්නෙ අප්පිරියාවක්. ඒ නාට්ටි වල දෙබස් කියන්නෙත් දැදිගම රුද්‍රිගූ ගේ පරිවර්තන පොත්වල භාෂාවෙන්. ඒත් "දොළහක්" එහෙම තිබුණෙ නෑ, පරිවර්තනයෙන් හරිම සියුම් අනුවර්තනයක් දක්වා අතුල පතිරණ නාට්‍ය අරගෙන ගිහින් තිබුණ. ඒ වෙනස හරිම සියුම් වෙනසක්, හාඩ්කෝර් වෙනසක් නෙමෙයි. මුලදි නාට්ටියේ රංගනය එහේ මෙහේ යනවා මං දැක්කා, ඩබ්. ජයසිරි වෙන කොහේදෝ තැනකින් දෙබස් පටන් ගත්තෙ. ඒත් අටවෙනි ජූරි සභිකයා (මෙයා තමයි ප‍්‍රධාන චරිතය) ඊට වෙනස්ම අන්තයකින් රංගනයට ඇතුල් වෙනවත් එක්ක දොළහම බැලන්ස් වෙන්න පටන් ගත්ත.

ඒක හරිම හොලිවුඩ් ලක්ෂණ තියෙන නාට්‍යයක්. එකම කාමරයක් ඇතුලෙ ගතවුණත් හරිම ප්ලොට් පොයින්ට් වලදි නාට්ටිය වෙනස් වෙන්න ගත්ත. ඒක ඇමරිකන් පරිවර්තනයක්. ඉස්සර යුරෝපීය පරිවර්තන වලටම ගිය අපේ වේදිකාව වෙනස් වෙලා, දැන් ඇමරිකානු කතා හොයාගෙන යන්න පටන් අරගෙන "දොළහක්" "කලම්බු කලම්බු" වගේ නාට්ටි බලන්න එන ඕඩියන්ස් එකේ මං කලින් කියපු වෙනසට ඒකත් හේතුවක්. නාට්‍යයේ පෙළත් එක්ක මට ආස හිතුණා දොළහක් මුල් කෘතිය හොයාගෙන යන්න.


දොළහක් මුලින්ම එන්නෙ 1954 "ටුවෙල් ඇන්ග්රි මෙන්"(Twelve Angry Men) කියල ටෙලි සීරිස් එකක් විදිහට. මේක ලියන්නෙ රෙජිනෝල්ඩ් රෝස්, නාට්‍යය බලාගෙන යද්දි මට පුදුම හිතුණෙ මේ තරම් වෙනස්කම් ගොඩක් එක්ක රචකයෙක් (රෝස්) වැඩ කරන්නෙ කොහොමද කියන එක. චරිත දොළහක්, ටිකින් ටික වෙනස් වේගෙන යන ජූරි තීරණයක්. ඒ ඇතුලෙ එලියට පුද්ගලික ආත්මීය ස්වභාවයන්, හුඟක් සියුම් දේවල්, කොහොමද මේක ලිව්වෙ?

මේක රෙජිනෝල්ඩ් රෝස් ගේ පුද්ගලික අත්දැකීමක් උඩයි ලියවෙන්නෙ. එයා දවසක යනවා ජූරි සභිකයෙක් විදිහට, එතනදි වෙන වෙනස්කම් දැක්කම රෝස්ට හිතෙනවා මේක මාරයි කතාවකට කියල. ටුවෙල් ඇන්ග්රි මෙන් ලියවෙන්නෙ ඒ විදිහට. ඒත් රෙජිනෝල්ඩ් පුදුම තරම් සමීපව චරිත දිහා බලන්න පුරුදු වෙච්ච කෙනෙක්. උදා විදිහට ටෙලි සීරිස් එකේ අටවෙනි ජූරි සභිකයා මුල් වතාවට මරණයට කැපවුණු කොල්ලා වෙනුවෙන් අඩුම තරමේ පැයක සාකච්ඡාවක් ඉල්ලද්දි, හැම දෙයක්ම මේ තරම් පැහැදිලි නිසාම තමන්ට මේ ගැන සැකයක් තියෙන වග කියද්දි එයාගෙ කටහඬ ඇතුලෙන් වෙව්ලන්න ගන්නවා. (මේ ටෙලි සීරිස් එක මං බලලා නෑ, මං මෙතන කියන්නෙ ඒ ගැන විචාරකයන් පළ කරන අදහස්) ඒක මේ චරිතය නිරූපණය කරපු රොබර්ට් කමින්ග්ස් ගේ සුවිශේෂ දක්ෂතාවයක් විදිහට කතා බහ වෙනවා. අතුලගේ නාට්‍යයේදිත් අටවෙනි ජූරි සභිකයා "විශ්වජිත් ගුණසේකර" මුලින් කතා කරද්දි අපිට මේ වෙව්ලිල්ල ඇහෙනවා. ටෙලියේ අතිශය සියුම් වුණු මේ වගේ වෙනසක් පවා වේදිකාවට අරන් එන්න පුළුවන් වීම අතුලගේ දක්ෂකම.

ඊට පස්සෙ මේ ටෙලි සීරිස් එක වේදිකාවට එනවා. අතුල පෝස්ටරය පවා ඩිසයින් කරන්නෙ මේ ඔරිජිනල් ස්ටේජ් ප්ලේ එකේ විදිහට. මේක තනිකරම පිරිමි නාට්‍යයක්. පිරිමි දොළහකගේ කතාවක්, සාක්කි දෙන්න ආපු ගෑණු චරිතයක් ගැන ඇරෙන්න කතාවෙ කොතනකවත් ගෑණු පුළුටක් නෑ. ඒත් නීතිය වගේ තාර්කික කාරණයක් හරහා කියාගෙන යන කතාවක පිරිමි විතරක් ඉන්න එක්ක කොච්චර ගැලපෙනවද? ඒත් රෝස් මේ වේදිකා නාට්‍යයේ නිෂ්පාදන කීපයක් කරනවා. එයා එකපාරක් "ටුවෙල් ඇන්ග්රි විමෙන්" කියල ගැහැණු ජූරි සභිකයො දොළොස් දෙනෙක් එක්කත් මේ නාට්‍යය කරනවා, මට හිතෙන්නෙ ඒක වැරදීමක්.


1957දි මේ කතාව සිඩ්නි ලූමේ අතින් චිත‍්‍රපටියකට එනවා. ඒ චිත‍්‍රපටිය මං බැලූවා. නාට්‍යයේදී අධිරංගයක් විදිහට එන හැඟීමක් ෆිල්ම් එකේ ක්ලෝස් අප් එකේදි සියුම් තාත්විකත්වයෙන් නිර්මාණය වෙන විදිහ විඳින්න මරු අත්දැකීමක්. 1957 වගේ කාලෙක එකම සෙට් එකක් ඇතුලෙ, එකම නමක් වත් පාවිච්චි නොවී (නම් දෙකක සුළු හුවමාරු වීමක් ඇරණම) ලූමේ කරන මේ ෆිල්ම් එක සිරා වැඩක්. අතුලගේ නිෂ්පාදනය මට දැණුනෙ ෆිල්ම් එකට ගොඩක් ළඟයි වගේ. දොළහක් වේදිකා නාට්‍යය බලපු හැමෝටම මං කියන්නෙ ටොරන්ට් එක ඩවුන් ලෝඩ් කරලා සිඩ්නි ලූමේ ගේ ෆිල්ම් එකත් බලන්න. [Link] ඊට පස්සෙ 1997දි මේක ආයිමත් ෆිල්ම් එකකට එනවා. විලියම් ෆ්‍රෙඩ්කින් කරන ඒ වැඩේට 57 දි කරපු එකේ ළඟටවත් එන්න බැරි වෙනවා.

අතුල වේදිකාවට අරගෙන එන්නෙ මේ වගේ ලොකු ඉතිහාසයක් තියෙන වැඩක්. ඒ හින්දම වඩාත් පිරිමැදුණු කෘතියක් කරන්න ඕන තරම් සම්පත් අතුලට තියෙනවා. මේ ප්‍රොඩක්ෂන් එක වුණත් අඩු වියදමකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අතුල ලංකාවෙ මේ මොහොතෙ කලාත්මක වෙළඳ අගයකින් පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම "තරු" මෙතනදි පාවිච්චි කරනවා. ඒක හොඳ වැඩක්. ඕඩියන්ස් එකක් ගැන අදහස අතුලට තිබුණ එක අගය කරන්න ඕන. ලංකාවෙ වේදිකාවට කෙළවුණෙම මේ අදහස නැති දාර්ශනික මනස්ගාතම වේදිකාවට ආපු එකෙන්. ඒ වගේම ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ, රාජිතගේ, දැන් අතුලගේ විදිහට ගොඩනැගෙන අලූත් වේදිකාවෙ ආයිමත් චරිත ගොඩක් හැසිරෙන්න ගන්න එකත් විශේෂයක්. වේදිකාව චරිත දෙකෙන් එක චරිතය දක්වා අඩුවෙලා ගිහින් වින්දනය කියන නාමයක් නැති තැනකට වැටිලයි හිටියෙ. දැන් ආයිමත් එකිනෙකට වෙනස් චරිත ගණනාවක විචිත‍්‍රත්වය වේදිකාවට එන්න පටන් අරං. ඒක සාධනීය ලකුණක්.

1954 ලියවෙන මේ කෘතිය 2012ටත් විඳින්න පුළුවන් එකක් වීම රෝස් ගේ පරිණතකම ගැන සාක්කියක්. නිශ්චිත කාල වකවානු, දේශපාලන හෝ දාර්ශනික රාමුවල හිර නොවී මේක නීතිය (තර්කය) ඇතුලෙන් ජීවිතය ඇතුලට රිංගන්න කරන නිර්මාණාත්මක උත්සාහයක්. ඒක නිසාම කිසිම රටකටවත්, ජාතියකටවත් සීමා නැති ලොකු පාරාසයක් දක්වා පැතිරෙන්න "කේන්තිකාර පිරිමි දොළහට" පුළුවන් වෙනවා. ඒ කොහොම වුණත් අතුලගේ පරිවර්තනය හෑල්ලූ කරන්න බෑ. ඒක පරිවර්තනයකට වඩා අනුවර්තනයකට කිට්ටු වෙනවා. වේදිකාව උඩ පරාරෝපිත දෙයක් දිහා බලාගෙන ජරාජීර්ණ රසයක් විඳිනවා වෙනුවට අපිට ළඟ දෙයක් එක්ක ළඟ සංවාදයකට යන්න අතුල ඉඩ හදනවා. මං මේ නාට්‍ය පුරාම දකින සුවිශේෂීම නැත්නම් අතුලට අනන්‍යම දෙයක් වෙන්නෙ මේ සියුම් කම. ඒක එහේ හෝ මෙහේ කියන අන්ත දෙක අතර වෙනස් තැනක පිහිටන්නෙ. ඒක අලූත් ගණුදෙනුවක්. ලංකාවෙ ගොඩක් නාට්‍ය විහින් පරිවර්තන තැනකට යන්න ට‍්‍රයි කරද්දි, අතුල පරිවර්තනයක් අපේ තැනකට ගේන්න ට‍්‍රයි කරනවා.

අපේ කට්ටිය මේක ගන්නෙ ලංකාවෙ අධිකරණය ගැන කතාවක් වගේ හුඟක් පටු තැනකින්. ඒත් දොළහක් කියන්නෙ දේශපාලනය ගැන කතාවක් නෙමෙයි, දේශපාලනයේ දේශපාලනය ගැන කතාවක්. මට අනුව 54දි රෙජිනෝල්ඩ් රෝස් "පර්වර්ට්" නැත්නම් විකෘතිය කියන එක මේක ඇතුලෙ එලියට ගේනවා. ධර්මප‍්‍රිය ඩයස් නිරූපණය කරන තමන්ගේ පුතා මරණයට පත්කිරීමට වේදනාත්මක ආශාවකින් පෙළෙන පියා මට අනුව ඒ විකෘතියේ හොඳම ප‍්‍රකාශනය. වයසකම ජූරි සභිකයා සතු පැහැදිලි, සංයමයක් සහිත දැක්ම මේ වෙනස කපලා මතු කරනවා. මේක පුතා අතින් නොදැනුවත්ව හෝ අවිඥාණිකව පියා ඝාතනය වීමට එරෙහිව පියා විසින් දැනුවත්ව සවිඥාණකව පුතා මරා දැමීමට සැලසුම් කරන සමාජයක් ගැන යටි පෙළක්. ඒක ඇතුලෙ "ක‍්‍රිකට්" "කොටස් වෙළඳපොල" "ඇඞ්වර්ටයිසින්" වගේ ගොඩක් දේවල් එහා මෙහා මාරු වෙන්න පුළුවන්. ඒත් මේ හුඟක් පැහැදිලියි වගේ පේන සැලසුම ප‍්‍රශ්න කරන කෙනෙක් ඉන්නවා. ඒ ප‍්‍රශ්න කිරීම බාරගන්නවත් පුළුවන් තරම් තැනක ඉන්නෙ ඒ වෙද්දි සීයාවරුන්ගේ වයසට ආපු ජූරි සභිකයා විතරයි. අනිත් අය තමන්ගේ පුද්ගලික අනාරක්‍ෂිතතා සහ ආශාවන් අතර තීරණ වලට එද්දි ඒ වයස්ගත සාමාජිකයා හුඟක් දේවල් බලාගෙන ඉඳලා තියෙනවා. මට අනුව "දොළහක්" කියන්නෙ නීතිය කියන ස්ථාවරය පිටිපස්සෙ ඇති "පර්වර්ට්" නැත්නම් විකෘතිය ගැන මනුස්ස සංවාදයක්. ඒක දැන් තියෙන දේශපාලනික රාමුවක් ඇතුලෙ නිශ්චිත කරන එකම ආයිමත් අර මැච් එක බලන්න යන්න බලන් ඉන්න ජූරි සභිකයා විසින් කොල්ලා නිවැරදියි කියන එකට එකඟ වීම වගේමයි. ඒක තේරුම් ගැනීම වෙනුවට රාමුවක් තෝරා ගැනීමක්.

රෝස් නාට්‍යය ඉවර කරන්නෙත් දොළහක් ඉවර වෙන්නෙත් එකම තැනකින්. ඒ තාත්තා පුතා ගැන ඇති තමන්ගේ වෛරය පිළිබඳ ආත්මීය පශ්චත්තාපයකට යන තැනින්. ඒක 54දි සෙට් වුණාට 2012 වෙන්ඩ්ට් එකේදි මට අවුලක් දැනුනා. හුඟක් පරණ තැනක්. පෝය නාට්‍යයක අවසානයක් වගේ. මට අනුව මේ යතාර්ථවාදී අවසානය පහුවෙලා හුඟක් කල්. මේ විපරීතය මෙබඳු වටහාගැනීමේ අවසානයක් කරා යයි කියන බලාපොරොත්තුව 54දි තියෙන්න පුළුවන් වුණාට මේ වෙද්දි ඒක එහෙම නෙමෙයි කියල ඔප්පු කරලා ඉවරයි. මේ අවසානයත් එක්ක නාට්‍යය ගොඩක් බැස්සා.


ඒ වගේම ඩබ් ජයසිරි ඕඩියන්ස් එකේ විසිල් එකට තමන්ගෙ ටෙම්පො එක උස්පහත් කරන්න ගන්න එක හුඟක් අවලස්සනට පෙණුන. ඒක නාට්‍යයේ රිද්මය අවුල් කරනවා. ගිහාන් ඩි චිකේරා මුඩුක්කුවෙන් ආපු කොල්ලගෙ චරිතයට කොයි විදිහෙකින්වත් සාධාරණයක් කරන්නෙ නෑ. ලක්ෂ්මන් මෙන්ඩිස් කල්පනා කරනවා වගේ වේදිකාව ඉස්සරහට ඇවිත් උඩ බලන් ඉද්දි එයා නිකංම හිටගෙන ඉන්නවා විතරයි කියල නිතර පේනවා. මේ විදිහට සීරියස් විදිහට නිකං බලාගෙන ඉන්න එක අපේ නළුනිළියන්ට තියෙන සම්භාව්‍ය රෝගයක්. මේ වගේ බලා ඉඳීමකදි පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්න ඕන එයාගෙ ඇතුලෙ සිද්ද වෙන මානසික පෙරළිය. වේදිකාව ඉස්සරහ ලයිට් එකක් යටට එයාව පේන්නෙ සාත්වික අභිනයන්ට පවා වැඩි ඉඩක් හදන්න. ඒත් ලක්ෂ්මන් මේකෙන් ප‍්‍රයෝජනයක් ගන්නෙ නෑ.

ඒ කොහොම වුණත් දොළහක් බලලා එලියට එද්දි මට දැණුනෙ පරිපූර්ණ හැඟීමක්. නිකම් විනෝදාස්වාදී නාට්‍යයක් බලලා එද්දි දැනෙන හිස්කම වෙනුවට ඔළුවට වින්දනයක් (බ්රේන් එකක්) ඒ පැය දෙක පුරා අතුල අරගෙන ආවා. ඒ රසය ලංකාව ඇතුලෙ ගොඩ කාලයකට නොදැණුන රසයක්. මං දොළහට කැමති ලොකුම හේතුව ඒකයි. ඒක මොළේ කිතිකැවිලා එන ත‍්‍රිල් එකක්.

ඒ පරිපූර්ණ අත්දැකීමට අතුලට පහක් දාන්න ඕනි!!!

චින්තන ධර්මදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙලාව උදේ අටකුත් විනාඩි පහළොවක් පමණ විය.

නාරද තෙරණුවෝ බෝධියත් බුදු මැදුරත් යා කරන වැලි මළුව දිගේ සක්මන් කරමින් අරුණ නැගෙන්නට පෙර කියවූ මාක්ස්ගේ ලුයී බොනපාට් පිළිබඳ විග්‍රහය තේරුම් බේරුම් කර ගන්නට උත්සාහ දරමින් සිටියහ. බලය නැමති සාධකය විසින් මිනිස් මනස තුළ ඇති කරනු ලබන ව්‍යාධියත් එහි ප්‍රතිඵල මගින් මුළු මහත් සමාජයක් පීඩාවට පත් වෙන අයුරුත් පුදුම සහගතය. රාජ්‍යය විසින් පොඩි පට්ටම් කර දමන ලද අරගලය ඉතිහාසයේ අහම්බයක් නොව, මේ උමතු බල අධිකාරීත්වයට එරෙහිව පැන නැගිය යුතුව තිබුණු අනිවාර්යයකැයි උන් වහන්සේ කල්පනා කළ සේක. නිෂ්ක්‍රීයතාවය තුළ සියල්ල ගිලෙමින් පවත්නා අවකාශයක තව දුරටත් "මම" යනු කෙබඳු දෙයක්දැයි සිතන්නට උන් වහන්සේට උවමනා විය. බෝ මළුවේ මලසුනේ පෙරේදා හින්නි අම්මා පූජා කළ පරවුණු අරලිය මල් තුනක් තිබෙනු පෙනේ. ඉඳ හිට හෝ පන්සලට මලක් පූජා කරන්නට එන්නේ ඈ පමණය.

බුදු මැදුරට උඩින් අල්ලපු වත්තේ පිපුණු තල මල අපූරුවට පෙනෙයි. තල මලක් පිපෙන්නේ කාලාන්තරයකට සැරයකි. එහි සිටි ඇටිකුකුළෙකු වේගයෙන් පාත් වී බුදු මැදුර ළඟ මල් පාත්තියේ සිටි ගොළුබෙල්ලෙකු ඩැහැ ගෙන නැවත ඉගිලී ගියේය. උදේ පින්නෙන් නාරද හිමියන්ගේ නැහැය බර වී තිබිණ.

"චාදු තාත්තේ.."
ජංගිය අතේ උණ්ඩි කරගෙන උංගි හෙළුවෙන් ආවාසය පැත්තේ සිට පඩි පෙළ නැග ගෙන එයි.
"චාදු තාත්තේ.. කක්කා.. කක්කා.."
නාරද හිමියෝ උංගිව අතකින් අල්ලා ගෙන පහළ ළිඳ ළඟට එක්කර ගෙන ගොස් උංගිගේ කක්කා හේදූහ. දුවන්නට හදන උංගි අල්ලාගෙන ජංගිය ඇන්ඳවූහ.

උංගි ගලක් ගෙන පියදාස පස්සේ එළවන්නට විය. පියදාස පන්සල සතු චංචල දේපළක් බවට පත් වුනේ අවුරුද්දකට පෙරය. පන්සලේ ගේට්ටුව ළඟ දමා ගොස් සිටියදී නාරද තෙරණුවන් විසින් වඩා ගෙනවිත් ලොකු හාමුදුරුවන්ට හොරෙන් ආවාසේ පිළිකන්නේ තියා ගෙන ලොකු මහත් කරගත් පියදාසට කිසිදා සුව නොවෙන කුෂ්ටයක් සෑදී තිබේ. ලේ පොක්කලන් එන තුරුම කුෂ්ටය කැසීමට ශක්තිය යෙදවීම හන්දා පියදාස දැන් ඇටෙයි හමයි විතරය.

"චාදු තාත්තේ.. බවුවා.. බවුවා"

උංගී චාදු තාත්තේ කියන හැම වතාවකම නාරද තෙරණුවන්ගේ හිත කීරි ගැහෙයි. උංගී පන්සලට සින්න වී සතියක් ගත වී ඇතත් තවමත් ඒ ආමන්ත්‍රණය නාරද තෙරණුවන් පෙලයි. හාමුදුරුවන්ට එසේ නොකියන ලෙසත් - කීවොත් අපායේ යන බවත් උංගීගේ ඔළුව අත ගාමින් කී ලොකු හාමුදුරුවන්ට දැන් උංගී කියන්නේ චාදු චීයා කියාය. ලොකු හාමුදුරුවෝ කොන්දේ අමාරුව හන්දා ඇඳට වැටී දැන් මාස තුනකටත් වැඩිය.

පියදාස පස්සේ කොර ගහමින් එළවා ඇති වුණු උංගී දුවගෙන ඇවිත් තෙරණුවන්ගේ සිවුරේ එල්ලුණේය. පොඩ්ඩාට උදෙන්ම බඩගිනිවෙන බව නාරද තෙරණුවෝ දනිති. උංගීගේ නහය මිරිකා එළියට එන්නට දඟලන හොටු දල්ල අයින් කළ නාරද තෙරණුවෝ උංගීව වඩා ගෙන ආවාසයට ඇතුළු වුණහ. දිගෙන් දිගටම පනවා තිබූ ඇඳිරි නීතිය නිසාත් ගමේ බොහෝ දායකයෝ චේගුවේරාරාමයට දන් එවීම නවත්වා තිබූ නිසාත් බණ්ඩයියාට බතක් මාළුවක් ඒදන්නට සිදු වී තිබිණ. නාරද තෙරණුවෝ උංගීව ඔඩොක්කුවට ගෙන බතුත් පොල් සම්බෝලයත් අනා කවන ගමන් සෝපාකගේ කතන්දරය කියා දුන්හ. උංගීට සෝපාකගේ කතාව තේරුණේම නැත. උංගී ඔඩොක්කුවෙන් පැන දුව ගොස් කටේ හිර කර ගෙන උන් බත් ගුලිය බිම දැම්මේය. පියදාස ඒ බත් ගුලිය බිමට වැටෙන්නටත් කලියෙන් ඩැහැගත්තේය. කිසිවෙකු එන බව දැක පියදාස බුරා හැලෙන්නට විය.

"හාමුදුරුවනේ."
ආවාසයට එක වරම ඇතුළු වූ තරුණයා මින් පෙර නොදුටුවෙකි.
"මං තිස්ස- දෙවුන්දරිං හාමුදුරුවනේ. පෙරේදා රෑයි වීරවිල ඉඳං ආවෙ."
"රහස් වචනය කියන්න සහෝදරයා."
"රස්පුටින්"
"උන් පිස්සු බල්ලො වගේ පස්සෙන් එළෝනවා හාමුදුරුවනේ. දෙපාරක් සර්ච් කෙරුව රෑ හන්දා බේරිල ආවා."
"බණ්ඩයියෙ මේ මහත්තයටත් එක්ක තව හාල් කාලක් ලිපේ තියන්ඩ."
"මේ ලියමන දෙන්ඩ කිවුව සනත් සහෝදරය- ඒ සහෝදරයා ඔබ වහන්සෙ එක්ක රුහුණෙ එක බැජ් එකේ හිටිය කිවුවා."


උංගී බිම ඉඳගෙන තිස්සගේ නියපොතු අත ගා බලන්නට විය. බණ්ඩයියා කුරු කුරු ගාමින් හාල් කැටයක් නෑඹිලියට දමා ගරමින් තිස්සට රැවුවේය. නාරද තෙරණුවන්ගේ වැඩ හන්දා තමන්ටත් පන්සලටත් නුදුරේදීම සිදුවන මහත් විනාශය බණ්ඩයියාට ඉව වැටී තිබිණ. පොත් ගුලේ ඇතුළු කාමරයේ පෙට්ටියක දමා හංගා තිබූ රතු පාට පොත් බණ්ඩයියා තුළ ඇති කළේ මහත් බියකි. ඒ පොත් ඇතුළේ සිරගතව සිටි ලොකු රැවුල් වවාගත් අංගුලිමාලලා හැමදාම රාත්‍රියට එළියට පැමිණ බණ්ඩයියාගේ හීන වලට ඇතුළු වී ඔහුව බය කරති.

"හාමුදුරුවනේ මේ දරුවා කාගෙද?"
උංගී තිස්ස දිහා බිම ඉඳගෙන බලාගෙන හිටියේය. තිස්සගේ මූණේ උංගිට නරඹන්නට බොහෝ දේ තිබිණ.
"ධර්මෙගෙ- මේ ළමයත් අරං ගිය අප්රේල් පළවෙනිදා මහ රෑ ධර්මෙ ආව. ධර්මසිංහ ගමාරච්චි- ඌරගහ. දන්නවද?"
"දන්නව හාමුදුරුවනේ."
"දරුවගෙ අම්ම නැති වෙලා තියෙන්නෙ දරුවා උපං දාමයි. මන්ද-බුද්ධික හන්දා කවුරුත් ළමය බලා ගන්න කැමති නෑලු. ධර්මෙ ගියා දරුව දාල- ඇල්පිටිය පොලීසියට පහර දුන්නු කණ්ඩායමේ ධර්මෙත් හිටිය. ඔය සහෝදරයා ධර්මෙ ගැන මොකුත් ආරංචියක් දන්නවද?"
"දන්නව හාමුදුරුවනේ."

තිස්ස උංගීව ඔඩොක්කුවට ගෙන ඔළුව අත ගෑවේය.
"මාමි මාමි"
උංගී තිස්සගේ රැවුල අත ගා බලන්නට පටන් ගත්තේය.
"ඒ ඇටෑක් එක වැරදුනා හාමුදුරුවනේ. ඊට පස්සෙ ඇල්පිටියෙයි ඌරගහයි කණ්ඩායම් බටපොලට එකතුවෙලා සිංහරාජෙ පැත්තට පහු බැස්සා. ආමි එක දිගටම පහර දීල තියනවා. අන්තිමේදි සීයක විතර කාණ්ඩෙකිං ඉතුරු වෙලා කැලේට රිංගගෙන තියෙන්නෙ හතළිහක් විතරයි. ධර්මෙ මැරිල තියෙන්නෙ පළවෙනි පහර දීමෙදිමයි හාමුදුරුවනේ. මට වීරවිලදි ආරංචි උනේ."
නාරද තෙරණුවෝ දිග සුසුමක් හෙලූහ.

උංගී තිස්සගේ රැවුලෙන් අදින්නට වූ හන්දා හාමුදුරුවෝ උංගීව අතට ගෙන පහළ දෙණිය පැත්තට ඇවිද ගියහ. උංගී තෙරණුවන්ව කොනිත්තමින් බිමට බහින්නට දැඟළුවේය. පහළ වෙල්ලාවේ ඈත ගුණයා සහ ගුණයාගේ ලොකු කෙල්ල සුද්දී වැඩ කරනු නාරද හිමියන්ට පෙනේ. වෙල්ලාවේ හෑම රෙදි වැලක්ම මළගෙදරක යන්නට මෙන් සුදු රෙදිවලින් සැරසී උන්හ.

තෙරණුවන් අඬන බව උංගීට තේරුණේ නැත. උංගී ගහක පිපී තිබුණු සුදු මුස්සැන්ද මලක් කඩා එය අතින් පොඩි කර දැම්මේය. නාරද තෙරණුවෝ සිවුරු කොණකින් කඳුළු පිස දැමූහ. ධර්මේ හමු වූ මුල් දිනය තෙරණුවන්ට අද මෙන් මතකය. ධර්මේ හොඳ හිතක් තිබූ, ව්‍යාපාරය වෙනුවෙන් සියල්ල කැප කළ, නායක සහෝදරයාගෙන් පවා දක්ෂ, නිර්මල කාඩර්වරයෙකුයැයි යන හැඳින්වීම දිනූවෙකි. පංති පහ ඉගැන්වීමට ධර්මේ තරම් සමතෙකු නොසිටි තරම්ය. ඔහුගේ ආකර්ශනීය වාග් චාතුර්යය මගින් ව්‍යාපාරයට කී දෙනෙකු දිනා දුන්නේද?
එදා රෑ උංගී පන්සලේ දමා සමු ගනිද්දී ධර්මේ කියූ වදන් තෙරණුවන්ගේ සවනෙහි දෝංකාර දෙන්නාක් වැන්න.

"හාමුදුරුවනේ, මං යනවා- මං ආයෙ එනකල් මගෙ කොල්ලව බලාගන්න - මං මගෙ හිත ඌ ගාව දාල යන්නේ."

ඒ හිත විතරක් උංගීට ඉතුරු කොට ධර්මේ ගිහිල්ලාය. ගුණයා එකම එක රතු රෙද්දක් වෙල්ලා හැලියෙන් ගෙන වතුර බේරෙන සේ මිරිකා සුදු රෙදි වැලේ ඉතිරි වී තිබූ එකම ඉඩෙහි වැනුවේය. දෙණියේ බැඳ හුන් එළදෙනක පැටියාට කෑ ගෑවාය. නාරද තෙරණුවෝ තිස්සට කන්න දෙන්නට මතක් වූ හන්දා ආයෙමත් ආවසය දෙසට පියමං කළහ.

(****)

එදා රෑ දොළහට පමණ නාරද තෙරණුවෝ උංගීගේ අහකට වී තිබුණු පොරෝනය සකසා, නින්ද ගොස් සිටි තිස්සව ඇහැරවාගෙන බුදු මැඳුරට ගියහ. දොර වසා, එළිය අඩු කරන ලද කුප්පි ලාම්පුව මලසුන මත තැබූ තෙරණුවෝ තිස්සගේ රැවුල ද කොණ්ඩය ද බූ ගෑහ. තිස්සට කුප්පි ලාම්පුවේ දුබල ආලෝකයෙන් බුදු පිළිමයේ විතරාගී මුව මඩල පෙණින. උන් වහන්සේගේ මදහසෙහි අනුකම්පාවක් ගැබ්ව ඇතැයි තිස්සට හිතුණේය. පිළිම වහන්සේ තමන්ට සුපුරුදු මේ දසුන දහ හතර වෙනි වතාවට ඉවසා වදාළ සේක. නාරද තෙරණුවෝ තිස්සට අඳනකඩ සිවුරු ඇන්ඳවූහ. ඉන්පසු නාරද තෙරණුවෝ පහත් හඩින් තිස්සට පන්සිල් දුන්හ. තිස්ස හඬ නොනගා හිතෙන් පන්සිල් ගත්තේය. ඉතිපිසෝ ආදී ගාථා ද සජ්ජායනයෙන් පසු තිස්ස නාරද තෙරණුවන්ගේ දෙපා සිඹ වැන්ඳේය.

"තිස්ස, ඉක්මනින් පිට වෙන්න ඕන. එළිය වැටෙන්න කළින්."
ඉන්පසු දෙදෙනාම නැවත ආවාසයට පැමිණ උංගී නිදා හුන් ඇතුළු කාමරයට වැදුනහ. නාරද තෙරණුවෝ තිස්සට සිවුර අඳින හැටි කියා දුන්හ. සැකකාර භික්ෂුවක් හසු කර ගැනීමට පහසුම ක්‍රමය සිවුර කඩා නැවත අඳින්නට කීමය. තිස්ස දහ පහළොස් වතාවක් නැවත නැවත සිවුර කඩමින් ඇඳ පුරුදු විය. විශ්ව විද්‍යාලයේදී පාලි විෂයයක් ලෙස හැදෑරූ තිස්සට ගාථා සහ සූත්‍ර දේශනා කට පාඩම් තිබීම නාරද හිමියන්ට පහසුවක්ම විය.

එළිවෙන්නට පැය හතරක් තිබියදී තිස්ස පන්සලෙන් පිටවිය. වටාපතක් ද කළු කුඩයක් ද ගත් අළුත් හාමුදුරුවෝ එළඹෙන මරණයේ අඳුර අතරේ නොපෙනී යනු නාරද තෙරණුවෝ සඳ එළියෙන් බලා උන්හ. රැහැයියන් තොර තෝංචියක් නැතිව ළතෝනි දුන්නෝය. නාරද තෙරණුවෝ රැහැයියන්ටම රැය භාර දී නිදිමත ඇස් පිස දමමින් කුටියට පිවිසුණහ.

උංගීගේ පොරෝණය ඇඳෙන් බිමට වැටී තිබිණ. නාරද තෙරණුවෝ එය ගෙන පොරවා උංගීගේ ළඟින් ඇල වූහ. නාරද තෙරණුවන්ගේ කම්මුල් වලට උංගීගේ හුස්ම වැදිණ. උංගී චාදු තාත්තේයි කියන කොට ඇතිවන ආකාරයේම තිගැස්මක් නාරද හිමියන්ට දැනුණේය. ඒ තිගැස්ම ආදරයේත් අනුකම්පාවේත් එකතුවෙන් සැදි කිසිවක් බව උන් වහන්සේ දැන සිටියහ.

උංගීගේ සිඟිති පපු පෙදෙස රිද්මයකට මෙන් සෙලවෙමින් තිබිණ. නාරද තෙරණුවෝ උංගීගේ පපුවට අත තබා බැලූහ. නාරද තෙරණුවන් තමන් මරණය හිසින් දරා ගෙන සිටින බව නොදන්නේ නොවේ. නමුත්, ඉන් සැඟවීමට උන්වහන්සේ විශේෂ කිසිවක් නොකළහ. නුදුරේ දිනෙක පන්සලේ දොරෙන් මරණය ඇතුළු වෙන බව උන්වහන්සේ දනිති. එහෙත් උංගී, කිසිවෙකුත් නැතිව අසරණවූ දරුවා සතියක් ඇතුළත නාරද තෙරණුවන්ව වෙනස් කොට තිබිණ. චාදු තාත්තාට හැර යා නොහැකි කිසිවක් උංගි පුතා ළඟ තිබුණාක් වැන්න. නාරද තෙරණුවෝ උංගී තුරුළු කොට ගෙන උංගිගේ සිඟිති කම්මුල් ඉම්බේය. වැඩි වෙලාවක් ගත නොවී නාරද තෙරණුවෝ නින්දට වන්හ. උංගී උන්වහන්සේගේ නිරුවත් පපුව අස්සේ උණුහුමට ගුලි වූ පූසි පැටවෙකු බවට පත් විය.

(****)

චාදු තාත්තාට විශාල කාලයක් ඉතිරිව නොතිබිණ.
එළිවෙන්නට පැය තුනක් තිබියදී මරණය ට්‍රක් රථයක නැගී පන්සලට කඩා වැදින. මහ හඩින් කෑ ගැසූ තිරිංග විසින් නාරද තෙරණුවන්ව ඇහැරවන ලදී. පියදාස මුළු ශක්තියම යොදා බුරා හැලුණේය. හමුදාවේ අය ආවාස ගෙට එන්නට කලින් නාරද තෙරණුවෝ පඩි පෙළ නැග ආහ.

ඉනික්බිති,
උංගී නිදියන් හිටියේය.
චාදු තාත්තා බ්රුම් එකකින් ගමනක් යමින් හිටියේය.
පියදාස ළතෝනි දී හති වැටී සෙමෙන් සෙමෙන් කුෂ්ටය ලෙව කා ගනිමින් වැතිරී උන්නේය.

(****)

වෙලාව උදේ අටකුත් විනාඩි පහළොවක් පමණ විය.

නාරද තෙරණුවන්ගේ ජීවිතයේ අපවත් නොකරන ලද ශේෂය සීතල සිමෙන්ති පොළව මත දිගේලි කොට තිබිණ. සිහිය එන විට තමන්ගේ අත පය ගැලවී ඇතැයි උන් වහන්සේට සිතිණ. යටි බඩෙන් පැන නැගී ආමාශය හරහා පපු කුහරය ද හාරවා ගෙන මතු වූ වේදනාව ලේ ගුලියක් කොට වමනය දැමූ නාරද තෙරණුවෝ පාන්දර ජාමයේ තමන්ගෙන් දන්නවාදැයි ඇසූ සංවිධානයේ සහෝදරයන්ගේ නම් මතකයට නගා ගන්නට වෑයම් කළහ. ඉන් එකදු නමක් හෝ උන්වහන්සේට සිහියට නගා ගත නොහැකි වුණි. තව දුරටත් ඉතිරිව තිබූ සිහි කල්පනාව ප්‍රමාණවත් වූයේ එකම එක නමක් සිහියට නගා ගැනීමට පමණි.

ඒ මොහොතේ ඒ නමේ අයිතිකාරයා ජංගිය අතේ උණ්ඩි කරගෙන හෙළුවෙන් ආවාසය පැත්තේ සිට පඩි පෙළ නැග ගෙන බෝ මළුව පැත්තට ඇවිදගන ආවේය.

"චාදු තාත්තේ.. කක්කා.. කක්කා.."

[2007]

කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඇමරිකාව විසින් කිරිපොවා ඇති දැඩිකළ කුප්‍රකට "බැල්ලිගේ පුතාලා" ගණනාවකටම දැන් කෙළවී ඇත. සදාම් හුසේන්ගේ සිට අල්ඛයිඩා නායක බින් ලාඩෙන්, තලේබාන් සංවිධානය, ටියුනිසීයානු හිටපු නායක බෙන් අලී දක්වා නම් ප්‍රසිද්ධ වූ බැල්ලිගේ පුතාලා ගණනාවක්ම තමන් විසින්ම විනාශ කිරීමට ඇමරිකාව ක්‍රියා කළ අතර එසේත් නැතිනම්, ඔවුන්ගේ විනාශයේදී මගහැර අ‍න් පාර්ශ්වය වෙත සිය වක්‍ර සහයෝගය දීමට ක්‍රියා කළේය. සීතල යුධ සමයේදී එක්සත් ජනපදය මෙන්ම රුසියානු සමූහාණ්ඩව යන දෙපාර්ශවය තරගයට මෙන් තමන්ට කීකරු බැල්ලිගේ පුතාලා ඇති දැඩි කළ අතර ඒවා පොල්පොට්, හෝ ඔගස්ටෝ පිනෝෂේ වැනි මානව ඉතිහාසයේ දැවැන්තම විනාශයන් කළ ඝාතක යන්ත්‍ර බිහිකිරීමට පවා හේතුවිය.

"බැල්ලිගේ පුතෙකු" වුවද, ඔහු "අපේ බැල්ලිගේ පුතෙකු" වේ නම් ගැටළුවක් නැති බවත්, ඒ අනුව ඔහුට අවශ්‍ය සියළු සහයෝගය ලබාදී තමන්ට අවශ්‍ය දෑ ඉටුකර ගැනීමට යොදා ගැනීමත් මෙකී "බැල්ලිගේ පුතාලා" න්‍යා‍‍යේ ස්වභාවයයි. ‍තමන්ට අවශ්‍ය වූ කර්තව්‍ය ඉටුකරගන්නා විට හෝ ඉටුකරගැනීමෙන් පසු ඔහු විසින් තමන්ගේ අණසකට විරුද්ධ වන්නේ නම් ඌව කෙසේ හෝ විනාශ කිරීමට සැලැස්සවීමත් මේ න්‍යායේම ඉදිරි දිගුවකි. එසේ නැතිනම් ඔහුට දේශපාලනිකව ස්වභාවික මරණයක් ලබා ගැනීමට ඉඩපහසුකම් සපයයි; නැවත කෘතීම ශ්වසනය තබා වතුර පොදක් වත් ළගට නොඑවීමට තරම් ඔවුනගේ ආදරය බලවත්ය!

"අපේ බැල්ලිගේ පුතාලා" න්‍යායට අනුව "බැල්ලිගේ පුතාලා" බවට පත්වූවන් ලාංකික දේශපාලන ක්ෂේත්‍රය තුළද අතිශයින්ම සුලබය. බලවත් ස්වාමියෙකුගේ කටු කමින් කොන්දේසි විරහිත සේවයක නිරත මොවුන්ගේ ආයුෂ කෙටිවීම න්‍යායයටම පොදුවූ කොන්දේසිකි.



[He may Be a Son of A Bitch...,
But He's Our Son of A Bitch.]


"බල්ලා" යනු මිනිසා‍ට අතිශයින්ම සමීප, කුළුපග සත්වයෙකු වුවද "බැල්ලිගේ පුතා" යන යෙදුමට අනුව නරක, වෛරීසහගත, අර්ථයක් ගැබ්වන නිසා මෙම සංකල්පය පැහැදිලි කරගැනීමේ පහසුව උදෙසා "බල්ලා" යන සතා පිළිබදව නොව "බැල්ලිගේ පුතා" යන යෙදුමේ අර්ථය පමණක් සැලකීමට ලක්කරමු.

"බැල්ලිගේ පුතා" යනුවෙන් මෙකී සංකල්පය තුළ හැඳින්වීමට යෙදෙන පුද්ගලයා සතු ගතිලක්ෂණ මොනවාදැයි සළකා බලමු.

1. බැලූ බැල්මටම බාහිර සමාජයට අහිතකර වීම.
2. නීතිය, සදාචාරයට පිළිනොගැනීම හා ඊට එරෙහිව ක්‍රියාත්මක වීම.
3. තමන්වෙත බලය ලබාදෙන පුද්ගලයා වෙනුවෙන් කොන්දේසි විරහිතව ක්‍රියාත්මක වීම‍.
4. බලය අතැති පුද්ගලයා හා "බැල්ලිගේ පුතා" අතර වන කුප්‍රකට ප්‍රේමය.
5. බලය අතැති පුද්ගලයා විසින් ප්‍රසිද්ධියේ සිදුකරන එකම වැරැද්ද "බැල්ලිගේ පුතා"ට සහයෝගය දැක්වීමම පමණක් යැයි පිටතට පෙනීම.
6. "බැල්ලිගේ පුතා" චරිත නිරූපණය ආරම්භ වී නොබෝ දිනකින්ම ක්ෂණික ධනපතියෙකු බවට පත්විම.
7. කුලී හමුදා පවත්වාගෙන යාම.

ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා තුළ ඇති දුෂ්ඨ ලක්ෂණයක් හැදින්වීම සදහා යොදාගනු ලැබුවද "ඔහු බැල්ලිගේ පුතෙකි. එහෙත් ඔහු අපේ බැල්ලිගේ පුතෙකි." යන හැදින්වීම ලාංකික දේශපාලන තුළ ද ඇති සැගවුණු දේශපාලන සම්බන්ධතා ක්ෂේත්‍රයක් අනාවරණය කරගැනීමට උපකාරී වේ. විශේෂයෙන්ම මෙතෙක් කාලයක් දේශපාලනයේ අදුරු පැතිකඩ ක්‍රියාත්මක කරලීම සදහා "පාතාල ලෝකය" නමින් අදුරු පෙදෙසක් නම් කර තිබුණද රාජපක්ෂ සමය තුළ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වනුයේ මෙතෙක් තිරය පිටුපස සිටි "පාතාලය" තිරය ඉදිරියටවිත් මහජනයා ආමන්ත්‍රණය කිරීමට පටන් ගැනීමයි. ඒ අනුව මෙතෙක් හැංගි සිටි "බැල්ලිගේ පුතාලා" පිරිස එළිපිට රඟදක්වමින් සිටී. ප්‍රසිද්ධ දේශපාලනයේ සදාචාරය ද අන්තයටම පිරිහෙමින් පවතින නිසාවෙන් එළියට පැමිණි පාතාලයින් හා ගේම් ගසන දේශපාලඥයින් අතර වන වෙනසද බොඳවී ගොස් ඇත.

"බැල්ලිගේ පුතෙකු" අපේ බවට පත්කරගන්නේ ඔහු සතුව ඇති සුවිශේෂීකමක් නිසාමය. නීතිය හෝ පොදු ආචාරධර්ම කැඩීමට හෘදසාක්ෂිය බාධාවක් නොවන, ශිෂ්ඨ සමාජය තුළ පිළිගත් වඩාත් අශිෂ්ඨ යැයි සම්මත සියළු ක්‍රියාදාමයන් සිදුකිරීමට හැකියාව ඇති, එකී ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සමාජ සම්බන්ධතාවයන්ගෙන් පරිපූර්ණ අයෙකු "බැල්ලිගේ පුතෙකු" නිර්වචනයට ඇතුලත්වීමට මූලික සුදුසුකම් සපයයි.


"බැල්ලිගේ පුතෙකු" සමාජයට සාපේක්ෂව ඉතා ඉහළින් වත්කම් අත්පත්කර ගනී. එසේ වුවද ඔහු "කටු කන්නෙකු" යැයි ලේබල් කරනුයේ, ඔහුව පාවිච්චි කොට බල ඇත්තා/ ඇත්තන් විසින් අත්පත් කරගනු ලබන වත්කම් වලට සාපේක්ෂව අදාළ පුද්ගලයාට හිමිකම් කීමට හැකිවන්නේ සොච්චම් මුදලක් පමණි. නීතිවිරෝධීව අත්පත්කරගනු ලබන ඉඩකඩම් වලින් මැරයන්ට හිමිවන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් පමණි. අවසාන වශයෙන් ලංකාවේ බලවත් දේශපාලඥයින් කොළඹ නගරය පුරාවට ඇති ඉඩකඩම් වල හිමිකරුවන්ව සිටී. ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායිට පාරම්පරා ගණනාවක් ජීවත්විය හැකි තරම් මුදල් ලැබුණ ද, ඊට වඩා දිගුකාලීන, අතිවිශාල වත්කම් සම්බාරයක් ඇමරිකානු සමාගම් විසින් අත්පත් කරගෙන ඇත.

"බැල්ලිගේ පුතෙකු" ගේ කාලය ඉකුත්වීමේ දිනය "බල ඇත්තා" ට වඩා කෙටිකාලීනය. බල ඇත්තාගේ බලයේ ස්වභාවය අනුව ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සිදුවන වෙනස්කම් වල අතරමගදී සමහරෙකුට කල්ඉකුත් වීමේ දිනය වෙත ළගා වීමට සිදුවේ. වම්බොට්ටලා, ආමි ජිනේලා නියෝජනය කළේ වඩා සංකීර්ණ කොළඹ පාතාලය නොවුණත් ඔවුන්ගේ ආයුෂ ද කෙටි විය. මාළිගාවත්තේ මුස්ලිම් පාතාලය නියෝජනය කළ එමෙන්ම පසුගිය ඡන්දයේදී දුමින්ද සිල්වාට සහයෝගය දුන් පිරිස් ආරක්ෂක අංශ අතින් ඝාතනය වූ බව මාධ්‍ය වර්තා කොට තිබුණි.

"බැල්ලිගේ පුතා"ට බොහෝ විට සිය ස්වමියා වෙනුවෙන් දඩුවම් විදීමට සිදුවේ. ඔහු විසින් නියෝජනය කරනුයේ බල ඇත්තාගේ අවශ්‍යතාවන් වුවද එහි සම්පූර්ණ වගකීම ඔහු විසින්ම දැරිය යුතුමය. සාක්ෂි නොමැතිව සිදුකිරීමට නියමිත මනුෂ්‍ය ඝාතනයකදී, කිසියම් හෝ අතපසුවීමකින් සාක්ෂි ඉතිරිවුවහොත් දඩුවම් ලැබෙනුයේ "බැල්ලිගේ පුතාට"මය. මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධ වෙනුවෙන් කාම්බෝජයේ පොල්පොට් මෙන්ම චිලී දේශයේ ඔගස්ටෝ පිනෝෂෙටද දඬුවම් ලැබුණි. කොන්ත්‍රාත් මත සිදුකරන මනුෂ්‍ය ඝාතන වලදී අදාළ ඝාතකයා පමණක් දඬුවම් විඳ ඒ පිටුපස සිටි පුද්ගලයින් අනාවරණය නොවන්නේ මේ පදනම මතය. කලකට ඉහතදී අධිකරණය තුළදී ඝාතනයට ලක්වූ පාතාල නායක ධම්මික අමරසිංහ ලෝක කුසලාන තරග නැරඹීමට විදෙස්ගත කළා යැයි එවකට ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාලට චෝදනා එල්ල වී තිබුණි.




මෙකී සියළු තත්ත්වයන් තුළදී නිතිය ඉදිරියේ පමණක් නොව සමාජය ඉදිරියේද වරදකරුවන් බවට පත්වීමේ අවාසනාවට ගොදුරුවන්නේ "බැල්ලිගේ පුතාලා"ය. එසේ වුවද ඔවුන් විසින් නියෝජනය කරනුයේ බල ඇත්තෙකුගේ ජීවි‍තයේ නරක, අසම්මත චරිතය බව පිටතට වසන්කොට තිබෙනවා පමණක් නොව සමාජයට එය එලෙසින්ම බාරගැනීමට මැලි‍ නොවේ. අදාළ "බැල්‍ලිගේ පුතා" ගෙන් තමන්ට අවශ්‍යතාක් සේවය ලබාගෙන එය අවසන් වූ පසු හෝ ප්‍රමාණය ඉක්මවා ගිය පසු පිළිකාවක් ඉවත්කරන්නාක් මෙන් ඔහුව විනාශයට පත්කර අදාළ බල ඇත්තා විසින් තවත් "බැල්ලිගේ පුතෙකු" පත්කර ගනු ලබයි. සැබැවින්ම "බැල්ලිගේ පුතෙකු" විසින් ලාංකික සන්දර්භය තුලදී නියෝජනය කරන්නේ සිය ස්වාමියාගේ කළු චරිතය බව සක්සුදක් සේ පැහැදිලිය.

ජාත්‍යන්තරයේදී තත්ත්වය යම් තරමකින් වෙනස් වුවද ලංකාවේදී නම් "බැල්ලිගේ පුතා"ට ස්වාමියාගේ බැලමෙහෙවරකම් වලම යෙදී විනාශයට පත්වීම ස්වභාවයෙන්ම උරුමය. ඒ අනුව "බැල්ලිගේ පුතා" යනු සමාජයේ බො‍හෝ අයවළුන් මෙන් සූරාකෑමට ලක්වන්නන් බව පැහැදිලිය. කැළණිය ප්‍රාදේශීය සභාව තමන් අවනතව සිටි "වල් බල්ලාට" එරෙහිව අවි එසෙව්වාක් මෙන් "බැල්ලගේ පුතාලා" සියල්ල ඔවුන්ගේ ස්වමියාගේ අශ්ශිලත්වය එළිකොට සමාජයේ ඉදිරියට පැමිණිය යුතුය. එවිට ආර්. දුමින්ද සිල්වාට හෝ වම්බොට්ටාට වෙඩි කෑමට පෙර පණබේරා ගත හැකිය, මර්වින් සිල්වාට උදේ හවා භාවනා කොට දවස ඇරඹිය හැකිය, කැළණිය ප්‍රදේශයේ හාමුදුරුවරුන්ට මුසාවාදා පාපයෙන් බේරීමට හැකිවනු ඇත!

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නෙක පැතුම් හිත පුරා
කෝල බැලුමින් මඟුල් යහනත
දුහුල් ඇඳුමින් සැදී පැහැදී
කිම්ද විමසුම් බැලුම්
දනිමි මම් සොඳුරියේ
"ප්‍රියාදරය කිම පමා මා වැළඳ ගන්නට?"

වීනස් රුව විලසට
මා දෑස ළඟ නිරාවරණිත
උකුල, ළැම හස, සුමුදු දඟ යුග
ජීවිතේ අනියත අපුල මිස
කෙළෙස නම් හිත උපදවන්නද..?

වසර ගණනක් කපා සුණු කළ
කිරිගරුඬ හීතල සිරුරු ළඟ
නුරා සිතුවිලි අකම්පාලව
හැර ගියා බුදු බණ සපථ කොට...

පැල් බැඳන් උන් සහස් බැමි බිඳ
රාග සිත මා සතපවන්නට
ලැබුණු'මුත් මට සියළු අවසර
ක්ෂේම භූමිය නම් නොවේ එය
කෙසේ වටහා දෙමිද මම
සොඳුර නුඹ දෙනෙත් ළඟ
රමණයට ඇරයුම් කරන

[අක්ෂර සෙනග - 2008]

දිලිනි නිලංගා විලත්ගමුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැමදාම පුරුද්දට මෙන් කියමි!
මගේ දුයිෂෙන් නුඹය..
ඒත් ගුත්තිල ඇදුරු- කිසි කලෙක නුඹ නොවෙයි..

ඒත් මේ ළඟක සිට මට පෙනේ..
අයිලයේ දුයිෂෙන් ද පරදවා..
උස් ව වැඩෙනා විසල් තුරෙක් වේ;
මගේ ජීවිත ඉඩම තුළ කොණෙක
එ තුඟු තුර බෝ උස්ය..
නුඹ උස්ය..!

අපේ ජීවිතය වෙත හිරු කිරණ ගලා එයි..
අප අසළ පෙනෙයි මට මහ තුරෙක්!
හිස්වලට සෙවණ දෙන..
පත් පිරුණු අතු බිමට නවා
අප හිස් සෙමෙන් අත ගාන තුඟු තුරෙක්..
එ තුඟු තුර බෝ උස්ය..
නුඹ උස්ය..!

ගුත්තිලය අතට ගන්නා විටෙක,
මැවේ කඳුළින් පිරුණු මූසිලගෙ දුක් මුහුණ..
අතැර දැමු වීණාව - ඔහු පසෙක!
නුඹ උස්ය..!

දුයිෂෙන්ගෙ ඉස්කෝලෙ පාමුලේ පහත් බිම
අතුපතර විදා සිටගෙන සිටින
බෝ උසැති විසල් පොප්ලර් ගසට වඩා මට
එ තුඟු තුර බෝ උස්ය..
නුඹ උස්ය..!

මගේ ජීවිතය අස,
වසත් පත් පුබුදුවා සිනහසෙන..
නුඹ උස්ය..!

තවම මම තණපතකි,
වැඩෙන තුඟු තුර අසළ
නුඹ වගේ ලෝකයට ඇස් දෙවන තුරක් වන්නට පතන!
මම තවම තණපතකි වැඩෙන තුඟු තුර අසළ..
නුඹ උස්ය..!

දුයිෂෙන් ද - ගුත්තිල ද නොව
මගේ වනස්පතියට කියමි;
නුඹ උස්ය..!

[සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ
10 වන ශ්‍රේණිය, මධ්‍ය මහා විද්‍යාලය- මහරගම]

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උහුලන්න බැරි තරම්
දුක් ගැහැට දළුලද්දි
උණු කඳුළු වැහි පොදේ හංඟා
හිතුවෙ නැති වෙලාවක
කොග්ගලත් නිල් අහස හැඬුවා

බිඳුණු උළු කැට මැදින්
වෑස්සෙන වැහි බිංඳු
තිස්සගේ පන් පැඳුරෙ වැටිලා
වෙනද වාගෙම අදත්
නුඹෙ හිතේ බිඳුණු තැන්
හොඳටෝම තෙමනවද නන්දා ?

අතීතයෙ පිහි තුඩ'ග
පපුව මැද ඇමිණෙද්දි
හෙණ හඬක ගැඹුරින් ම රන්දා
මම නගපු විලාපය
හිරි ගලේ දෙවොලටත් ඇහුණා

අවසාන පණ කෙන්ඳ
වාට්ටුවෙ ඇඳ උඩදි
නික්මෙන්න පොර බඳපු හින්දා
පියවෙනා ඇස් අතර
නුඹෙ නමට පවරාපු
හීනයක් ඉතිරි වී තිබුණා

ජීවිතේ පුරාවට
මැරි මැරී ඉපදිලා
මටත් දැන් පුරුදු ඇති හින්දා
මගේ තුන් හිතකවත්
අමනාප නැති බවත්
පියල්ටත් කියාපන් නන්දා .

මහේෂ් මධුරංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails