Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොහෝ අවස්‌ථාවන් හිදී මවිසින් අවධානයට ලක්‌ කරනු ලැබුවේ, වෙසෙසින්ම නව පරපුරේ සංවාදයට ලක්‌ නොවන ප්‍රතිභාන්විතයන්ගේ නිර්මාණ කෘතීන්ය. නමුදු මේ වෑයම අවධානයට ලක්‌ වුවත් බොහෝවිට සංවාදයට බඳුන් නොවන කවියෙකුගේ නවමු කෘතිය පිළිබඳව යමක්‌ සටහන් කරන්නටය. ඒ මංජුල වෙඩිවර්ධන කවියා විසින් ප්‍රකාශයට පත් කොට ඇති "ඇහැළ ඇමතුමකට ඇහැරෙමි" නම් නිර්මාණ එකතුවයි.

ඔහු සිය කවි තුලින් මතු කරන අදහස්‌ නිතරම නිහඬතාවයේ ගිල්වා මරා දමනු ලබයි. උතුරේ දේශපාලන අධිකාරියේ මෙහෙයවීමෙන් වැලි හොරුන් විසින් මරා දමනු ලැබූ "තේවා" නම් තරුණයා පිළිබඳව වන ඔහුගේ කවියට [නියඟලා කවි] දක්‌වන නිහඬ බව එය පල වූ වෙබ් අඩවිය බැලීමෙන් වටහා ගත හැක. සමහර ගොබ්බ කවි වලට, කඳු ගණන් ප්‍රතිචාර ලැබෙතත් මේවා අසා නිහඬ බවම රැකේ.

පළමුව මෙය විචාරයක්‌ නොවන බව කිය යුතුය. විචාරයක්‌ කළ යුත්තේ ආන්තික නොවන ලෙසටය. මංජුලගේ කවියට (සමහර විටෙක නොඑකඟතාවයන් සහිතව වුවත්) ආදරය කරන්නෙකු ලෙස, ඒවා විචාරයට බටහොත් එය ආන්තික විචාරයක්‌ වීම වැළැක්‌විය නොහැකිය. එබැවින් මේ ඔහුගේ නව කෘතිය පිළිබඳ යම් සටහනක්‌ පමණක්‌ බව සැළකුව මනාය.

"පල් හොරුණි
මල් නොවන මගේ කවි
ගල් වගේ දමා ගසන්නෙමි නුඹලාට..."


යනුවෙන් සිය පළමු කෘතියේ පළමු කවියෙන් තම කාව්‍ය සංසාරය ඇරඹූ ඔහු එකල සිහින දැක්‌කේ, ඔහුම කියා ඇති පරිදි විප්ලවයේ කවියා වන්නටය. ප්‍රාණ සම වූ මිතුරා ෂේන් මැකෙල්වි කවියා යුධ බිම ඇද වැටී, ඉනික්‌බිති බොහෝ සිදුවීම් වලින් පසුව....,

නිර්භයව තමන් පෙනී සිටි මතවාදයක්‌ වෙනුවෙන් විසංවාදය රුචි නොවූ සමාජයක්‌ කෙරෙන් පිටමංව පියස්‌සක්‌ රහිත හීතලක දුරු රටක හිඳ සිය හැඟූම් කවි බවට පෙරලයි. එහි නැවුම් ප්‍රකාශනය මෙකියන කවි එකතුවයි.

1997 වසරේදී ෂේන් සමග ප්‍රකාශිත නිරුත්තර සමාධිය, 2002 දී පළ වූ පිළිහුඩුවී කෘති ඔහු වෙත ප්‍රවණතාවාදී ලේබලය ගෙන ආවේය. 2007 වසරේදී ප්‍රකාශිත රුබයියාට්‌ පන්නයේ මධු සඳිනි මධු විත සහ කතාබහට ලක්‌ වූ මාතෘකාවක්‌ නැති මාතෘ භූමිය යන කෘති වලට පසුව මේ නව කෘතිය අප අත පත් වෙයි.

මහගමසේකරයන් විසින් පැවසූ, "කවිය යනු කවියාගේ ආධ්‍යාත්මය මිස අනෙකක්‌ නොවේ." යන්න නිර්ව්‍යාජ කවි කියවන සෑම විටෙකම පාහේ සිතට නැගෙන්නකි. සමහර විටෙක අප කෝප කරවන තරම් එකී නිර්ව්‍යාජ ආධ්‍යාත්ම ප්‍රකාශනය ආත්ම කේන්ද්‍රීය වුවත්, ව්‍යාජ සටන් පාඨ කවි දහසකට වඩා එවැන්නක්‌ උතුම්ය.

මේ අදහසට ආසන්න උදාහරණයක්‌ ලෙස, කිවියර රත්න ශ්‍රී විඡේසිංහයන්ගේ සන්ධ්‍යා තීර්ථය කෘතිය පෙන්වා දිය හැකිය. එහිදී ද බොහෝ කොට හමු වන්නේ ඔහු දැරූ යම් ආස්‌ථානයක්‌ නිසාවෙන්, සිය පරිවාර සම්පත්තියෙන් බැට කෑ කවියාගේ ආධ්‍යාත්මයයි.
ඇහැළ ඇමතුමකට කෘතිය තුල දී ද, පළවා හළ, තනි කරනු ලැබූ, විරහී කවියෙකුගේ ආධ්‍යාත්මය විදහාපාන කවි බොහෝ කොට මුණගැසේ. ඒවා නිරුත්සාහක කවි ලෙස හැඳින්විය හැකිය. එකී කවි අප තුල මහත් සංවේදනා ඇති කරයි. බලන්න, මේ "විසල් නගරය"...

දුමක්‌ මිස හිත නිවා සනහන
පෙමක්‌ නැත හිතගාව හිනැහෙන
දුකක්‌ බව දැනෙන විට කවියද
කෙතෙක්‌ නම් රිදෙන්නෙද හදවත

සෙත් සාන්තිය ගලන දෙනෙතක
කාන්තිය අඳුරෙහි වෙලේ
අත්ලාන්තික සයුරු පතුලට
ආන්තික කඳුළක්‌ සැලේ


එකී හුදෙකලාවට නිරාවරණිතව දිවි ගෙවන කල තම ආදරණීය බිමේ සමීපතමයින්ගේ අවසන් මොහොතට පවා එක්‌ වීමට නොහැකි වීම තුල කවිය පවා අසමත් නොවන්නේද?

පාස්‌කුවත් වියෑකී ගිය සැඳෑවක
දෑස්‌ බොඳවුණා ඔරසන් තලාවක
දෑත් පිරිසිදුයි කොන්තෙද මලානික
මාත් අඳිමි කුරුසිය හුදෙකලාවක


-තෙරේසා හෙවත් ලොකු පුංචි

ගල්කිස්‌ස සුසානේ සැතපෙන
අත්තම්ම නෙතේ වූ කඳුළක
සද්දන්ත සෙනේහේ සිසිලක
නිස්‌සද්ද මගේ ළය කළඹන


-අත්තම්මා

ආත්ම කේන්ද්‍රියත්වයක්‌ ලෙස යමෙකුට හඳුන්වා දිය හැකි වුවද එහි සරැළි නංවන්නේ පළවා හළ අයෙකුගේ සංතානයේ රිද්මයයි. එකවි මදක්‌ බැහැරට යවා තවත් වෙසෙස්‌ කවි කිහිපයකට අවධානය යොමු කරමි.

රත්න ශ්‍රී කවියාගේ කාව්‍ය භාවිතය පිළිබඳව සාහිත්‍ය සමාජය තුල පසුගිය වකවානුවේ නොයෙක්‌ කතාබහ ඇති වූ බව නොරහසකි. කවියන් විසින් ඒ පිළිබඳව තම අදහස කවි බවට පෙරළුෑ අවස්‌ථා දක්‌නට ලැබුණි. ඒ අතර පද තියුණු සැත් කොට ගෙන කපා කොටා කළ බැණ අඬගෑම් ද දක්‌නට ලැබුණි. මංජුල ද මෙය වස්‌තු විෂය කොට ගෙන කවක්‌ පබඳියි. නමුත් ඔහු ඉතා සංයමයක්‌ ඒ තුළ පිළිබිඹු කරයි. එසේ කරන්නේ මංජුලට ප්‍රතිමුඛ ලෙස රත්න ශ්‍රී ස්‌ථානගතව සිටියදීමය.

සිංහලෙන් ගී ගැයුව කිරිල්ලී
සුදු කොඩි මැදින් එද්දි ඉගිල්ලී
වෙඩි තිබ්බ කෙසරුන්ට ගසල් ලී
කිවිඳුන්ට කවි ලියමි නොසෙල්ලී

ඇස පෙළන ඔය උපැස ගලවන්න
බොඳ ඇහින් කඳුළු බිඳු දැකගන්න
තුඩ බිඳුණු පන්හිඳට පණ දෙන්න
ඔය මුහුණ යළි වරක්‌ දැක ගන්න
අත වනන්නම් සෙමෙන් ඈත සිට


-ඒ වුණාට රත්නේ ඔබ, රත්නේ ඔබ....* [රත්න ශ්‍රී ට ප්‍රේමයෙනි]

අනෙක්‌ අතට චූල සමාජයික දුක්‌ප්‍රාප්ති ගත අපේ එකියක්‌ ගැන කියෑවෙන කවකි, "පත්තර කන්තෝරුවේ ප්‍රතිග්‍රාහිකාව" කව.

කෙටි කතා දහසකට කන් දී
නවකතාවක්‌ ලියයි හැංඟී
ළං නොවන ස්‌නේහයට හැංඟී
දුර කතාකරනවද නංගී


"සුසා" වැනි කවියක්‌ තවදුරටත් හෘදයංගමව මිතුරු ඇසුරේ යෙදෙන්නෙකුගේ සිත අසුරු සැණෙකින් දවාලයි.

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්‌ම බොට දෙන්න
මගේ අත්- තටු නොවෙන නිසා
කිනිහිරියෙ දුක්‌ විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇන ගනිමි හදවතට සුසා...

පත්තිරක ලියනු බැහැ මුසා
ඇත්තටම ආදරෙයි සුසා...


ඔහුගේ නියඟලා කවි නම් නිර්මාණය ඉඟිකරන යථාර්ථය කවර මතවාදයක්‌ දරන්නෙකුට වුව පිටු දැකිය නොහේ. උතුරේ සුන්දර වෙරළ තීරයක්‌ භක්‌ෂණය කරමින් සිදු වූ පාරිසරික සංහාරිත වැලි කොල්ලයකයට එරෙහිව සමාජ ජාල වෙබ් අඩවියක ආධාරයෙන් සටන් වැදුණු කේතීස්‌වරන් තේවරාජා නම් තරුණයාගේ ජීවිත වන්දිය මෙයට වස්‌තු කොට ගෙන ඇත. මෙකවිය ඔහුගේ පිළිහුඩුවී කෘතියේ සමහර කවි සිහිපත් කරවයි.

වැලි කඳුත් ගිලින නැඩ මකරුන්ට
ඉඳුමිණක්‌ හැකිද වෙන් කර හඳුනන්ට
මවුබිමත් සමග රමණය කළවුන්ට
මවු වුණත් කයක්‌ පමණකි හැමිනෙන්ට

පියඹලා පැමිණි ගිජු ලිහිනියන් කැළ
බිම හෙලා පයින් පෑගුව නමුදු මල
ඉවසලාම ඇස්‌ දෙක රතු වුණ වෙරළ
නියඟලා පිපෙනු නවතන්නද කෙළෙස

සටහන් තැබිය යුතු බොහෝ කවි ඇතත් මෙම සටහන ඉතා දීර්ඝ වනවාට නොරිසියෙන් කීපයක්‌ පමණක්‌ සඳහන් කරමි. ජනකවි ආර, යසෝදරාවත සිහිගන්වන නිර්මාණද ඒ අතරින් කිහිපයකි. නමුත් එකී අතීතකාමී රිද්මයන් ඔහු හාත්පසින් වෙනස්‌ සන්දර්භයන් තුල බහාලයි.

සාර සියක්‌ ගව් දුර කුලුණක හෙවන
වීර කෙසර ගිලිහෙන සිහිනෙන් මිදුණ
මාර සෙනඟ විමසන සඳ මඳ පවන
බීර මලක්‌ පිපුණයි පිපිරුණු ලවන

"නිස්‌කාරණේ සැතපෙනු බෑ තනි යහනේ
පස්‌ මහ බැලුම් පාවෙනවා උඩු ගුවනේ
රස්‌සාවක්‌ නුඹට විතරද හමුනොවුණේ
බැස්‌ටීලයට හෙන වැදිලද සුවාමිනේ"


-අබිනික්‌මනක ඉක්‌මන නම් වූ ගිරිස්‌මයේ හිම පතනය

මේ සියලු නිර්මාණ අතරින් සුවිශේෂම නිර්මාණයක්‌ ලෙස ඩොනා නම් නාගරික ජන කවියා පිළිබඳ කවිය දක්‌වා ලමි. එහි අකෘතිය මුලුමනින්ම බයිලා රිද්මය ගනී. සැබැවින්ම නැවුම් අත්හදා බැලීමකි. ඔහු එහි රිසි සේ හැසිරෙයි. ඒවා රස විඳිය යුත්තේ බයිලා ගායනා කරන රිද්මයට අනුව යමිනි. ව්‍යාජ පණ්‌ඩිතමානි වදන් වෙනුවට එහිදී ඔහු සරළ වදන් යොදා ගනියි. අතරින් උපුටා දක්‌වමි.

සවී ගෙනෙන පද
සිඹියි
නිවී තියෙන හද
අවී වුණත් වැඳ
වැටෙයි
කවී පොකුරු මැද

සුවර්ගෙ යන දින
මොටද
සුවර් ඔබගෙ තැන
ලිවර් එකට පණ
පොවල
කවර් කරමි දෙණ


-මධුවිත තනිකර නික්‌ම ගිය නාගරික ජන කවියෙක්‌ වූ ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය

එසේම ක්‍රිස්‌තියානි ආගමික සංකල්ප කවිය වෙත ගෙන ඒමටද හේ රුචි වෙයි. විටෙක විවේචනාර්ථයෙනි. නමුත් මෙය සිංහල කවිය වෙත බොහෝ සෙයින් ගෙන ආවේ මංජුල විසිනැයි සිතමි. එපමණක්‌ද නොවේ. ඔහු බෞද්ධ සහ ක්‍රිස්‌තියානි සංකල්ප එකට පෑහෙන ලෙස කවි තුල බහාලයි.

සුදු ඇතු සොඬය අග
නෙළුමක්‌ විය විකසිත
එහි සිලිටි පෙති මත
නොනැඟින සෙත් පිරිත

සුසුදු අත්තටු සීතය
ගබ්රියෙල් දේව දූතය
හොරණෑවෙ වූ ගීතය
ගීතිකාවට ඈතයි
නියත විවරණ


මේ එකතුවේ අනෙක්‌ වෙසෙස්‌ම නිර්මාණය "අම්මා සහ අපේ ගේ" නමි. නිරුත්සාහකය. නිර්ව්‍යාජය. එය බොහෝවුන්ගේ දිවිය පිළිබිඹු කෙරෙන කැටපතක්‌ වැන්න. උපුටනය සීමා කිරීමට වීම ගැන දුක්‌වෙමි.

බ්ලොග් ගල් වගේ පෙනෙන අර හරිය
උකස්‌ ආයෝජනේ වැල් පොලිය
වැඩ වවන ගල් බාස්‌ලගෙ කුලිය
කපරාරු කරන්නට නම් බැරිය

කතාවල පොඩි එකෙක්‌ ඉන්නවා
වැඩිය නෑ පොඩියකුත් ගන්නවා
අත්තිවාරමෙන් පද පන්නවා
කවි එහෙම ලියන්නත් දන්නවා


-අම්මා සහ අපේ ගේ

මංජුල වෙඩිවර්ධන කවියාගේ සමහර කවි පිලිබඳව මා හට යම් විවේචනයක්‌ තිබුණි. එය පශ්චාත්තාපී යුධ කවි නම් ලිපියේ මෙසේ සටහන් කළෙමි.

.....එහෙත් මේ සමහර කවි තුල ප්‍රශ්න කරනු ලබන්නේ සමස්‌ත සිංහල ප්‍රජාවයි. මේ මහත් ඛේදවාචකයට සිංහල ප්‍රජාව වගකිය යුතු ප්‍රමාණයක්‌ ඇත. එපමණක්‌ නොව දෙමළ සහ මුස්‌ලිම් ප්‍රජාවන්ද වගකිය යුතු ප්‍රමාණ තිබේ. නමුදු සකල විධ වරද වලට සිංහල ප්‍රජාවට ඇඟිල්ල දිගු වන විට මේ සියල්ලටම සැබෑ ලෙසම වග කිය යුතු ජරපත් ධනේෂ්වරය සහ පාලක රෙජිමය අනියමින් සුජාතකරණයට ලක්‌ වීම සිදු වේ.... එකී දුබලතාවයෙන් මිදුණු කෘතියත් ලෙස ඇහැළ ඇමතුමකට ඇහැරෙමි කෘතිය දකිමි.

ඇහැළ ඇමතුම කුමක්‌ විය හැකිද? ඇහැළ මාසය විශේෂ හැඟවුමක්‌ බවට පත් වන්නේ එය බටහිර මාස ක්‍රමයට පෙරළා ගත් විටය. එකී ඇමතුම ඔබටද ඇසෙනු ඇත. ඉතින් අවදි විය යුතුය.

වෙනස්‌ ඇසින් දකින්නේ එකම සිහිනය නොවේද?
ඉතින් කවියෙනි, පිල් බෙදී බැණ අඬ ගා මේ අරෝවන් කුමටද?


සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් World Citizenship, Cosmopolitanism and Literature යන ‍මැයෙන් කරන ප්‍රසිද්ධ දෙසුම අප්‍රේල් 08 වැනිදා සවස 2.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ දී පැවැත්වේ.

සංවිධානය: ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා - 2011 (A) කණ්ඩායම

විමසීම්: 071-8107396



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගාලු කොටුවෙන් එහා සුසුම්ලන මහ මුහුද
අසනි වැහි වලාවෙන් වැසුණා
ලුණු හුළඟ මුහුවෙච්ච වැහි බිංදු පොළොවටම වැටුණා

පරෙවි හඬ රජකෙරුව ඕලන්ද පල්ලියේ
මහ දොරක් සුළඟට ම ඇරුණා
අවසාන බංකුවේ සිටි ඇයත් වැහි පොදට තෙමුණා

කඳුළු ගුලි හිරකරන් සිටි නමුත් හදිසියේ, එකම එක ඉකියකින්
නිහඬ බව මොහොතකට බිඳුනා
සිහින් සුරතින් වැහුණු ඇගේ මුව පැකිලෙමින් සැලුනා

දවස් තුනකට කලින් ඔහු එව්ව කෙටි ලිපිය
ඇය අතින් ගිලිහෙමින් වැටුණා
තෙතබරිත පොළොව මත වැටුන එය හරි අතට හැරුණා

වැහි බිංදු හෝ කඳුළු මුහුවෙච්ච කඩදහියේ, අවසාන පේලියේ
අත් අකුරු බොඳවෙලා පෙණුනා
"විප්ලවය දිනේවා!"
අවසාන වතාවට ලොකු අකුරු ඔහු ලියල තිබුණා

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු- 6

Posted by BoondiOnLine



අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස

-ෂිකෝ
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බලංට කුස පබා චිත්තරපටිය අලුත්
පානංපත්තුවේ ඉඳලා මං ආවා
පෝලිං එහෙම මහ ලොකුවට තිවුනෙ නැත
මං නං කුසගෙ නාහේ ඉතරයි දැක්කේ

රහක් නැති අතේ ආපහු බලපි මම
කබල් දෙමල චිත්තරපටියක්ම තමයි
සරුංගලේ නං හොඳටොම ඉහල ගියා
ඒක කොලේ ගාමිනි ලොක්කලු නේද?

චිත්තරපටි හදංට නං රිහි යංට
අග මුල දැනං ගෙවඩින්නට එපැයි බොටා
පත්තරඔලිං පතු විදහං නටන කොට
පිඩි ගැටයි හාචි කොටෙයි එලියේය

-පානංපත්තුවේ ඩිංගිරි අම්මා

ඩිංගිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත- සිසැක් වෝල් ස්ට්‍රීට් ජනතාව අමතයි.

ප්‍රාසාද පාමුල
කුරු කුහුඹු සඟයින් සටනෙක
පඬුවෙකුය එහි බට
පඬුපුල් අසුන් අත්හල

වෝල් වීදිය පිස
නැගෙන රළ පතරේ කිමිදෙන
යකඩ කඟ තැලුමට
මහෞෂධ ඉහමොල වෙහෙසන

මහ පොත්ද පෙරළන
අති මහත් පොළවද පාගන
අලුත් ජය පිරිතට
පද හොයන රැවුලෙකි පෙම්බර

ඉරුනු කොඩි එලලන
බර්ලින් පවුරු සවි විමසන
පවුරු නැති යායක
දුර දිග සිහිනයක් මුමුනන

අප්‍රිකා ආසියා ගොදුරු බිම්
මැද දැවෙන මනු සතුන් ගැන තැවෙන
අරබිකර හටන් බිම් පිරික්සා
කුරු කුහුඹු දෑත් සවි මැන බලන

හොවැංහෝ වෝල්ගා දොන් නදී
මයෙස්ත්‍රා ශිඛර පිස සැරිසරන
විස කැවුනු දෑකැති ද
තල තලා මිටියකින්
දෙව් සදිසි සඟයින්ට
බඹුන් වැනි මිනිසුන්ට
වැරදුනේ කොතැනදැයි යළි අහන

ඉසුරු ප්‍රසංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපේ‍්‍රල් 4 දා, කොලඹ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවනාගාරයේ දී, ලියෝ තොල්ස්තෝයි පිලිබඳ මාක්ස්වාදී ඇගැයීමක් ඉදිරිපත් කෙරෙන දේශනයක් පැවැත්වෙන අතර මෙය සමාජවාදී සමානතා පක්ෂයේ(සසප) ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) විසින් සංවිධානය කෙරේ.

රුසියානු හා ජගත් සාහිත්‍යය පෝෂනය කල අග‍්‍රගන්‍ය කලාකරුවෙකු වන තොල්ස්තෝයිගේ අභාවයෙහි ශත සංවත්සරය 2010 නොවැම්බර් මසට යෙදුනි. මෙම ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ ඇවෑමෙන් සියවසක් ගත වූ තැන පවා ඔහු අරබයා ව්‍යාකූල අදහස් ගොන්නක් රජයයි. මේ අලාමුලාව ජනනය කෙරී පවතිනුයේ සාහිත්‍යකලා ක්ෂේත‍්‍රයෙහි ආධිපත්‍යය දැරූ/දරන ඇතැම් ධනේශ්වර, සුලු-ධනේශ්වර, ස්ටැලින්වාදී හා වෙනත් නන්වැදෑරුම් ජනතාවාදී විචාරකයන්ගේ නන්දෙඩවිලි හා මුසා බස් කරනකොටගෙන ය. තොල්ස්තෝයි කෘතීන්හි බාල අනුවාද ද, තොල්ස්තෝයි පිලිබඳ ලෙනින්ගේ ලිපිවල සදොස් හා විකෘත පරිවර්තන ද අඩුවැඩි වශයෙන් ඊට දායක වී ඇත.

මෙයට ප‍්‍රතිකූලව, තොල්ස්තෝයිගේ සාහිත්යික කර්තව්‍යයන්හි සැබෑ අර්ථභාරයත් ඔහුගේ ජීවන දර්ශනයෙහි සැබෑ ස්වරූපයත් වටහාගත හැකි වනුයේ ලෙනින් පමනක් නොව ලෝක කම්කරු පන්ති ව්‍යාපාරයේ ප‍්‍රමුඛ නායකයන් වූ ට්‍රොට්ස්කි, ජෝර්ජි ප්ලෙඛානොව්, ෆ්රාන්ස් මෙහ්රිං, රෝසා ලක්සම්බර්ග් හා ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි බඳු මාක්ස්වාදීන්ගේ සම්ප‍්‍රදානයන් ඇසුරින් ම පමනි.

දශක ගනනාවක් මුලුල්ලේ තොල්ස්තෝයි පිලිබඳව වපුරන ලද දුර්මත ඇතුලු සෙසු ජුගුප්සාජනක හා වංචනික ප‍්‍රයත්නයන් අනාවරනය කරමින් තොල්ස්තෝයි නමැති සාහිත්‍යකරු හා චින්තකයා පිලිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී ඇගයුම තහවුරු කිරීම අදාල දේශනයෙහි මූලික අරමුන වන අතර එම කර්තව්‍යය ඉටු වනුයේ සකලවිධ ප‍්‍රතිගාමී බලවේගවලට එරෙහිව විප්ලවවාදී පක්ෂය ලෝක පරිමානව ගෙන යන්නා වූ අරගලයෙහි ම අවියෝජනීය කොටසක් හැටියට ය.

දිනය: 2012 අපේ‍්‍රල් 04 බදාදා
වේලාව: සවස 4.00 ට
ස්ථානය: කොලඹ මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවනාගාරයේ දී
දේශක: දර්ශන මේදිස්
මෙහෙයවීම: සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය විසින් සංවිධානය කරනු ලබන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාවේ පස් වන සම්මන්ත්‍රණ සැසි 2012 මාර්තු 30 හා 31 දෙදින කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි (නෙළුම් පොකුණ) මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. 2012 පර්යේෂණ සැසි මාලාවේ විශේෂත්වය වන්නේ සෞන්දර්ය අධ්‍යයනය පිළිබඳ පළමු සම්මන්ත්‍රණය ඇතුළත් වීම යි. දර්ශනය විෂයය අළලා පැවැත්වෙන දෙවන සම්මන්ත්‍රණය හා සිංහල අධ්‍යයනය සම්බන්ධ සිවු වන සම්මන්ත්‍රණය ද 2012 පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාවට ඇතුළත් ය. මීට අමතරව පුරාවිද්‍යාවල ඉතිහාසය, සමාජවිද්‍යා යන විෂයයන් අළලා ද ශාස්ත්‍රීය පත්‍රිකා ඉදිරිපත් කෙරේ.

වාර්ෂික ව පවත්වනු ලබන මේ ශාස්ත්‍රීය පර්යේෂණ සම්මන්ත්‍රණ මාලාව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය අරභයා පැවැත්වෙන ප්‍රධානතම ජාතික සම්මන්ත්‍රණ සැසිය වන අතර මේ වසරේ සම්මන්ත්‍රණ පත්‍රිකා 330ක් ඒ සඳහා ලැබී තිබීම විශේෂත්වයකි. ඒ අනුව මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ රාජකීය ආසියාතික සංගමයේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ මාලාව, ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පවත්වනු ලබන ස්වාභාවික විද්‍යා පිළිබඳ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ මාලාව හා සම වෙයි. රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයන්ට මෙන් ම ශාස්ත්‍රිය විෂයයන් පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට ද මේ සඳහා සහභාගි විය හැකි ය.

සහභාගි වීම සම්බන්ධ විස්තර සඳහා 0112 699249 අංකය අමතන්න.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දෘශ්ටිවාදී යුගයේ කලාවේ ව්‍යවහාරය- නිර්මාල් රංජිත් දේවසිරි, රෝහණ පොතුලියැද්ද.
2012 අප්‍රේල් 4 වැනිදා සවස 3:00ට මහජන පුස්තකාලයේදී.
ක යන්න වි යන්න පුවත්පත මධ්‍යකල්ෂය නමින් කලා සඟරාවක් ලෙස ඔබ අතට.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශුද්ධ අමු කුණු හරුප
දෙසිය හැකි දෙවොල පරුස
දෙමල සිංහල ජනයට
පුල්ලයාරේ නුඹ ගියේ කොහෙද

අස්වනු කැපෙන කාලේ
පොංගල් බතුත් කෑවේ
කිරිවලින් නුඹව නැහැවේ
අපේක්ෂා පහන් දැල්වේ

ණයවලින් පිරිනු බැත
ගසාගෙන ගියේ බැති සිත
කිරි රසින් හෙබි බත
තුට්ටු දෙක බව කිව්ව ඒ දුක

අසබඩ කුඹුරු වන ලැහැබ
ගල් කඳු ගැටය පුදබිම
ගම්මුන්ගෙ හද කකියන
පෙරකදෝරුවො නැති උසාවිය

ගල් ළය පලා පුපුරා
ගනි බිඳ අඳුර පතුරා
රැකවල් ඇතුව හතුරා
රහසක් ඉතිරි කෙරුවා

නීතිය දහම නොඅසන දුක්ගැනවිල්ල
හෙම්බත් උනත් උඹගෙන්වත් සැනසිල්ල
ගමේ දුකට වැඩ හිටි ගණ දෙවි දෙවොල
දෙවියොත් අතුරුදන් කර දීලා බිල්ල

සියක් දහස් පණ නැසුවත් අති සරල
වගක් නැතිව හිත් උන්ගෙ නැහැ සසළ
අපල මකා රජවෙන්නට ගෙන කිරුළ
රටක් නසන්නත් බැරි නැති රජ පවුල

අණක් ගුණක් නැතිනම් මක් කරන්නද
පිණක් නොමැති දන මොන පිං පුදන්නද
පණක් සුරැක සැනෙකින් චුත උනොත් හොඳ
දෙවියන් උනත් එහෙමයි මක් කොරන්නද

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දිනක නුගේගොඩ නම් හන්දියක
වීදි නෙත්තියක - මිනිස් වාටියක
ඈ රැදී සිටියාය
දහවල මියයමින් යන හෝරාවක

කෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරඹෙන
රතු බැනියමකිය - උඩුකය වසා හිරවී බේරෙන
රැලි තියා සිරුවට හැඩ - කුඩයකිය සුරත මත
නොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකට
අනෙත් අය සමග ද ඒ සමව
ඈ රැඳී නොරැඳී සිටියාය ඔවුනතර
මදක් මඩ රැඳුනා උවද
නෙලුම් පතක රැඳි දිය බිඳුවක් ලෙස

ගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙස
පිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමට
වැරදි ඇසකින් නොබලතිය ඔවුන් ඈ දෙස
හරි විදිහටද නොබලතිය ඔවුන් කිසිලෙස

වෙර නොබැන්දා ඇය ඔවුන් වෙත කිසි ලෙස
මුතු හරක ලිහී ගිලිහී හැලුනු මුතුවක්
මවා අඩුවක් - තනා හිඩැසක්
වහා මතු වී කැපී පෙනෙනා බව දන්නාක මෙනි

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඊයේ අපි මුණ ගැසුණෙමු

බලාපොරොත්තුව
සැකය
උට්ඨාන වීර්යය
මම!

බලාපොරොත්තුව කීයෙය:

මරු කතරෙන් එහා පැත්තෙ
අර පෙනෙන්නෙ
සව් සැපතින් ආඪ්‍ය වූ
නිල්වන් වන රේඛාවයි
නුඹ සිතන
නුඹ පතන
හැම දෙයම එහි තිබෙයි
එහි පලයන්.

සැකය කීය:

මිනිස් පුළුටක්
පැන් පොදක් නැති
මං ලකුණක් හෝ
හව්හරනක් නැති
මේ මරු කතරේ
මං මුලාව ගිය
දහසක් සත් වග
මලහ අතර මඟ.

නුඹට ඒ ගමන යා ගත හැකිද
හැරත්,
ඔය පෙනෙන්නේ මිරිඟුවක් විය හැකියි

වීර්යය එවිට කී,

මම ඔටුවෙක්
නුඹ කරපිට නංවා ගෙන මම යන්නම්
නොතකා කෑම බීම
ගමන් වෙහෙස
බයක් නැතිව නුඹ පලයන්.

ඉක්බිති දෙදෙනා ගමන් ගතිමු.

දිගු රාත‍්‍රිය ගෙවී
(දීඝා ජාගරතො රත්ති)
පෙර ගිරගින් අරුනලු කැන් නඟින කල
රන්වන් ඵලබරින් නැමුණු
නිල්වන් වන රේඛාවට
අපි ආයෙමු.

රන්වන් ඵල බරින් හරිත
නිල්වන් වන රේඛාවේ
කනාටු වූ මහ ගහ යට
බිම හිඳ ගෙන
දෙපා අතර මුහුණ ඔබා
ඉකිබිඳිමින් සිටිනා
සෝකය
එහි දී මට හමු විය.

නාඬන්!

බලාපොරොත්තුව කිසිවක්
නොපතන් කිසිම දෙයක්
කිසිම ජයක්

දිනුවෙක් ලොවේ නොමැත
හම් බැම්මෙන් බැඳ
මහ පොත්ගුල් වල
රාක්ක පුරවා
අහුරා ඇත්තේ
එතෙක් මෙතෙක් ලොව විසුවන්ගේ
පැරදුණු සිත් තුළ දුක් ගින්නයි

කලාගාර වල පියකරු සිත්තම්
සායම් වූයේ
ඒ ඇඳි අයගේ ලේ වලිනුයි
හදවත් කෙඳුරූ දුක්ගැනවිල්ලයි

සවන පිනන කන්කලු සංගීතය
තමන් දැවෙමින් හිරු
හෙළි කරන මෙන් සක්වල
තමන් දැවෙමින් සිපි
හෙළි කරවයි අනුන් සිත්.

ලොවේ තිබෙන එකම සැපත
ඒ දුක් කඳ
වටහා ගැනුම පමණි.

(මක් නිසා ද යත්- 1964)

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හුරතලේට මැදින් තියන් දෑලේ ගිය ඇත් පැටාන
මගෙයි හාමිනේගෙයි පණ වාගේ රැකි පුත් පැටාන
නෙළුං පොකුණ ළඟ පාරේ සිත්තර වැට උඩ එලාන
ඉන්නට බැරුවා සාමිනි දූවිලි බොන හැටි බලාන

සාප්පුවක් දාල දෙන්ඩ ණය ඉල්ලුව සත්තයි
පරංපරාවක් වපුරපු කුඹුරට ණය බැරුවයි
බෙදා නැතිලු ඉඩං කඩං නීති කතා බෝමයි
රංවල හාමුදුරුවනේ මේ දුක දැන ගන්ඩයි

පාන ළඟින් බැහැලා අඹ හෙවනට ආවේ කියන්ඩ
මහත්තුරුන් නාහන කොලු පැටියාගේ දුක කියන්ඩ
අච්චු කරේ ඇයි දෙයියෝ මහත්තැන්ට මට කියන්ඩ
තුන් හිතකත් තිබුණේ නෑ හිතක් අපේ පළි ගහන්ඩ

රෑට පාරෙ රේස් යන්ට ළමිස්සියන් දපනෙ ගන්ට
කොළඹ කොලීජියෙන් ඇවිත් දහ අට සන්නිය නටන්ට
මැම්බරගේ පුතණ්ඩියට දුන්නයි ණය උතුරවන්ට
ගෙටම ඇවිත් මහත්තුරුන් දුන්නයි ණය උතුරවන්ට

තාත්තගේ බිසිනොස් වල බල මහිමේ පෙන්නාගෙන
අනේ අහිංසක බැංකුවෙ මහත්තුරුත් රවටාගෙන
හිටි මැම්බරගේ පුතාට අච්චු නොකර හංගාගෙන
වැඩ තහනං කොරේ ඇයිද මැනේජරගෙ මට කියන්ඩ

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අද වන විට, ලාංකේය දේශප්‍රේමී ව්‍යාපාරය දේශපාලනික වශයෙන් මහත් බලපෑම් සහගත භූමිකාවකට එළඹ තිබෙයි. විටෙක ආණ්ඩු වෙනස් කිරීමට මෙම දේශප්‍රේමී ව්‍යාපාරයන් සමත්ව ඇත. ලෝක ඉතිහාසය දෙස හැරී බලන විට, මෙවැනි දේශප්‍රේමී ව්‍යාපාරයන්ගේ උපත සිදුවන්නේ කුරුස යුද්ධයේ සිට කාර්මික විප්ලවය සහ ඒ හා සමගාමීව සිදුවන ජාතික රාජ්‍යයන් බිහි වීමේ දී එක් ජාතියකට එක් රටක් යන සංකල්පය වටා ජනතාව බලමුලු ගැන්වීම පිණිසය. ඉන් අනතුරුව යටත් විජිත සමයන්හි දී අධිරාජ්‍යවාදී පීඩනයට, සූරාකෑමට එරෙහිව සහ රාජ්‍යයන්වලට අහිමි වූ ස්වාධිපත්‍යය නැවත ලබා ගැනීම පිණිස ජනතාව බලමුලු ගැන්වීම සඳහාවන ජාතික ව්‍යාපාරයක් ලෙස මෙම දේශප්‍රේමී ව්‍යාපාර ලෝකයේ රටවල් තුළ නිර්මාණය විය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට නතු වූ පසු පරිපාලන කටයුතු සඳහා අවශ්‍යයවන කණ්ඩායමක් මෙරටින්ම නිර්මාණය කර ගැනීමට අවශ්‍යය විය. ඒ සඳහා බ්‍රිතාන්‍යන් විසින් මෙරටට ආණ්ඩු ක්‍රම හදුන්වා දුන් අතර එහි වූ සුවිශේෂී කරුණක් වන්නේ බෙදා වෙන්කොට පාලනය කිරීමේ ක්‍රමයයි. එනම් මෙරට විවිධ ජාතින් එක් එක් අනුපාතිකයන්ට අනුව තෝරා ගෙන පාලන කටයුතු සඳහා ඔවුන්ව සහභාගීකරවා ගැනීමයි. මෙම අනුපාතික ක්‍රමය නිසා ජනවර්ග අතර තිබූ ඒකාබද්ධතාව ඈත් වන්නට වූ අතර සමස්ත රටේ ජනතාවගේ අභිවෘද්ධිය පිළිබඳව සිතනවා වෙනුවට තම ජන වර්ගයේ අභිවෘද්ධිය පිළිබඳ පමණක් සිතීමට ඒ ඒ ජනවර්ගවලට සිදු විය. එනම් සමස්තයක් ලෙස “අපි” යැයි සිතනවා වෙනුවට “අපි” සහ “උන්” ලෙස කටයුතු කිරීමය. මෙය සැබවින්ම අධිරාජ්‍යවාදීන් විසින් සමිපත් කොල්ලකෑම පහසු කරවා ගනු පිණිස යෙදූ දිගු කාලීන උපක්‍රමයක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් මේ එක් එක් ජනවර්ග සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා සිය දුක්ගැනවිලි ඉදිරිපත් කෙරුණේ මෙකී බ්‍රිතාන්‍ය පලනාධිකාරියට වීමෙන්, ඒ හරහා ඔවුන්ගේ පැවැත්ම තහවුරු වීම සිදු විය. මෙවැනි වාතාවරණයක් තුළ භික්ෂුන් වහන්සේලා සිය ශාස්තෲවරුන්ගේ මගපෙන්වීම්වලින් සහ ධර්මයන්ගෙන් බැහැරව නායකයන්ට උපදෙස් දෙමින් සහ ජනතාව බලමුලු ගන්වමින් ඒකාකෘතික (Stereotyped) චිත්‍රයක් සිංහල බෞද්ධ ජනතාව තුළ පැළ පදියම් කිරීමට සමත් විය.


වත්මන් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ව්‍යාපාරය කුමක් ද? විමල් වීරවංශ සහ චම්පික රණවක වැනි මහජන නියෝජිතයන්ගේ මත තුළින් පිළිබිඹුවන කාරණයක් නම් ඔවුන් අද වෙර දරමින් සිටින්නේ ද ඉහත අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරන ලද ජනවර්ග අතර වෙන් කිරීම තව දුරටත් පවත්වාගෙන යෑම බව නොවේද? වත්මන් දේශප්‍රේමී ව්‍යාපාරය තුළින් ඇඟවෙන එක් කාරණයක් නම් ජනවර්ග ධුරාවලියක් ඇත: එය සකස්වන්නේ හේතු සාධක කීපයක් මතය: එනම්, ආගම, ජනවර්ග සහ ‍ඓතිහාසික කාරණාය. ජනවර්ග ධුරාවලියේ සිංහල ජනවර්ගය ප්‍රමුඛ යැයි බහුතරයවන සිංහලයන් තීරණය කිරීම සහ සිංහලයන්ගේ පීඩිතයන් බවට සෙසු ජනවර්ගයන් පත් විය යුතුය යන ගතානුගතික මතයක් සමාජය තුළ පැළ පදියම් කිරීමට උත්සහ දරමින් සිටිති. ඔවුන්ගේ මතය තුළින් ඇඟවෙන්නේ දෙමළ කථාකරන ජනයාට හිමි දේශපාලනික නිදහස සඳහා දකුණේ පාලකයන්ට මෙන් සමාන අයිතියක් නොමැති බවය. කෙසේ හෝ විමල් වීරවංශ සහ චම්පික රණවකලාගේ මනසේ තවමත් පවතින්නේ අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරන ලද මානසිකත්වය වන අතර එම විෂබීජයන් තවදුරටත් වපුරමින් සිටිති. මෙයින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ තවදුරටත් ජනවර්ග අතර අවිස්වාසය වර්ධනය වීම තුළ ධ්‍රැවීකරණයක් වීමත් සියලු ජනවර්ග එක්ව ලාංකිකයන් ලෙස ඉදිරියට යෑමේ හැකියාවන් ඇහිරීමත්ය.


මෙම දේශප්‍රේමී ව්‍යාපාරයන් ජාත්‍යන්තරය සම්බන්ධයෙන් දරණ ස්ථාවරය කුමක්ද? විමල් වීරවංශලා, චම්පික රණවකලා අධිරාජ්‍ය විරෝධීය. නමුත් ඔවුන් අධිරාජ්‍ය විරෝධී වන්නේ පවතින ව්‍යුහයන් පිළිබඳ තැකීමක් නොකරමිනි. ඔවුන් තවදුරටත් සන්ධානගත වී සිටින්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලබන ආණ්ඩුවක් සමගය. 2012 අයවැය තුළ ප්‍රධාන යෝජනාවක් වන්නේ රුපියලේ අගය අවප්‍රමාණය කර විදේශ ආයෝජන ලංකාව තුළට වැඩි වැඩියෙන් ලබා ගැනීමය. එසේ නම් මේ ආයෝජකයන් යනු අන් කිසිවෙක් නොව ඇමරිකාව, යුරෝපය සහ චීනය ආදී රටවල් නොවේද? 2012 අයවැස සඳහා චම්පික රණවකලා සහ විමල් වීරවංශලා ඡන්දය ප්‍රකාශ කොට එම අධිරාජ්‍යයන්ට මෙරට තුළ රැදී සිටීමට අවකාශය සහ ලබා දී ඇත.

එම්මානුවෙල් වොලස්ටයින්ට අනුව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්ති සහ ගෝලියකරණයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් පවත්වන ආර්ථික සම්බන්ධතා අනුව ලෝකයේ රටවල් කේන්ද්‍රිය රටවල් (Core countries) සහ පරිධිය රටවල් (Periphery countries); එනම් සංවර්ධිත රටවල් සහ සංවර්ධන‍ය වෙමින් පවතින් රටවල් වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත. වොලස්ටයින්ට අනුව මෙම කාණ්ඩ දෙක අතර සහසම්බන්ධයක් ඇත. දියුණු වෙමින් පවතින රටවල් සිය රටෙහි සම්පත් සංවර්ධිත රටවල්වලට අපනයනය කිරීම සහ සංවර්ධිත රටවල් එම සම්පත් යොදා ගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සිදු වේ. එසේම සංවර්ධිත රටවල් එම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ලාභ දායි ශ්‍රමය සහ සම්පත් ලබා ගැනීමේ පහසුව නිසා ආයෝජනය කිරීම් ද සිදු වේ. ඒ අනුව ලිබරල් ගෝලීය ආර්ථික ක්‍රමය තුළ සංවර්ධිත සහ සංවර්ධන‍ය වෙමින් පවතින රටවල් අතර අවියෝජනීය සබඳතාවක් දැකිය හැකිය.


වීරවංශලා සහ චම්පික රණවකලා අධිරාජ්‍ය විරෝධී මතයක් දැරුවද එය පවතින ව්‍යුහාත්මක තත්ත්වයන් විවේචනය නොකරති. ඔවුන් මෙම ආර්ථික ප්‍රතිපත්තීන් වෙනස් කිරීම පිළිබඳ කථා කරන්නේ ද නැත. ඔවුන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටින්නේ යම් යම් අවස්ථාවල මතුවන තාවකාලික සංසිද්ධීන් පාදක කර ගෙනය. නිදසුන් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් සම්මත කළ ‍ඇමරිකානු යෝජනාවලිය සැලකුවහොත් එය යම් කිසි කාල රාමුවකට යටත් වූවකි. දිගු කාලීන නැත. එසේම ඇමරිකාවේ හමුදා භටයින් කිහිපදෙනෙකු ලංකාවේ සිටීම තාවකාලිකය. ඒ අනුව පැහිදිලිවන්නේ වත්මන් දේශප්‍රේමී ව්‍යාපාරය අවස්ථාවාදීව මතුවන තත්ත්වයන් අලෙවි කරමින් තම පැවැත්ම තහවුරු කර ගන්නා බව නොවේද?

ඒ අනුව විමල් වීරවංශලා සහ චම්පික රණවකලා විසින් එක් අතකින් අධි‍රාජ්‍යවාදීන්ට මේ රට තුළට ඒමට තිබෙන අවකාශයන් ශක්තිමත් කරන අතර අනෙත් අතට යම් යම් අවස්ථාවල මතුවන සෘජු තර්ජනාත්මක අවස්ථාවන්වලදී පමණක් එයට එරෙහිව කථා කරනු ලබයි.

උදිත අසංග විජේතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දරුණු සටනකින් පසු ඇතිවන්නේ දරුණු වෙහෙස කි. යුද්ධයක්‌ නිමා වන්නේ අධික තෙහෙට්‌ටුවක්‌ හා බරපතළ චිත්ත පීඩාවක්‌ ඇති කරමිනි. යුද්ධයේදී විඳි ආතතිය හේතුවෙන් හට ගන්නා මානසික ආබාධයෙන් (Combat fatigue) පීඩා විඳින්නේ යුද සෙබළකු පමණක්‌ම නොවිය හැකිය. පශ්චාත් ව්‍යසන ආතතිමය රෝගවලින් යුද වදින දෙපාර්ශ්වයත් ඔවුනොවුන් පසුපස නිරායුධ ව පීඩාවට පත් සාමාන්‍ය මිනිසුන් ද තෙහෙට්‌ටුවට පත්වනු ඇත. මේ තුළ සිනමාකරුවා යනු එක්‌ චරිතයක්‌ පමණි. නිර්මාණකරුවාගේ කාර්යය තුළින් පිළිබිඹු වන්නේ සිය චිත්ත පීඩාවයි. බුද්ධික කීර්තිසේන වැන්නකු මෙම පශ්චාත් ව්‍යසන ආතතියට හසුව සසැලී ඇති තරම සිය 'මාතා' චිත්‍රපටයෙන් පිළිබිඹු වෙයි. මාතා යනු චිත්‍රපටයක්‌ම නොවේ යෑයි අප සිතන්නේ හේතු යුක්‌තව ය.

බූඩීට පෙර ප්‍රසන්න විතානගේ (පුරහඳ කළුවර), අශෝක හඳගම (මේ මගේ සඳයි), විමුක්‌ති ජයසුන්දර (සුළඟ එනු පිණිස) වැන්නෝ ද නන් ලෙසින් මෙම යුද ආතතියේ පීඩාවෙන් වෙහෙසට පත් වූවෝ ය. ඔවුහු සිය තෙහෙට්‌ටුව මුදාහළේ ස්‌ව පරිකල්පනයෙන් සන්නද්ධව සිය මාධ්‍ය යුද බිමෙහි තම දෙපයින් ම සිට ගනිමිනි. සංජය ලීලාරත්න, සරත් වීරසේකර, ජැක්‌සන් ඇන්තනී, සනත් අබේසේකර, බෙනට්‌ රත්නායක වැන්නෝ ද (සෙල්වම්, ගාමනී, අබා, මහින්දාගමනය, ඉරහඳ යට) සිය සිනමා ව්‍යාපෘතීන් තුළින් විවිධ ලෙස පෙන්නුම් කළේ සිය පශ්චාත් ව්‍යසන ආතතියේ තෙහෙට්‌ටුවම හැර අන් කවරක්‌ද? සිනමාව යනු මෙයම ද?

මීට තෙදශකයකට ඉහතදී ධර්මසේන පතිරාජ අපට මුණගැස්‌වූ "සොල්දාදු උන්නැහේ" ද යුද ආතතියෙන් වෙහෙසට පත් වර්තමානික ලාංකික ජීවියා ම යෑයි දැන් අපට සිතෙයි. පිටිසර ගමක හැදී වැඩී යටත් විජිත සේනාංකයට බැඳී ලෝක මහා සංග්‍රාමයට එක්‌වන එම සොල්දාදු උන්නැහේ තම පෙම්වතියගේ බලවත් විරෝධය වුව ද නොතකන්නේ ජීවත්වීමේ සටන ඊට වඩා බලවත් නිසා ය. බූඩි කීර්තිසේන, ජැක්‌සන් ඇන්තනී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න, සංජය ලීලාරත්න, ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර වැන්නෝ ද සිනමා පෙම්වතියත්, ජීවත්වීමේ දේශපාලන සටනත් අතර ආතතිමය පීඩාවට පත්වන තරම සිය සිනමා ව්‍යාපෘතීන් තුළින් ප්‍රකට කොට හමාරය. යුද සිනමාව ද සර්වකාලීන වියයුතු බවට සොල්දාදු උන්නැහේ අදට ද ගැළපෙන තරමින් පෙනේ.


"යුද සිනමාව" සහ "යුද සැමරුම් සිනමාව" යනු හාත්පසින්ම වෙනස්‌ සිනමා කටයුතු දෙකකි. 'මාතා' යනු යුද්ධය වින්දනය කිරීමකි. යුද්ධය ස්‌මරණය කොට තෘප්තිමත් වීම කි. වීරත්වයේ අභිමානය ගැනම සිතමින් සැනසීම කි. ඉහත විස්‌තර කළ යුද ආතතිය (Combat fatigue/ Battle stress) මැනවින් තේමා කොටගත් 'ද හර්ට්‌ලොකර්' වැනි ඔස්‌කාර් සම්මානලාභී විශිෂ්ට සිනමා කෘතියක්‌ අප ගොනු කරන්නේ යුද සිනමාව නමැති ශොනරය ට යි. කැතරින් බිගලොව් යුද්ධය භාවිතයට ගනුයේ යුද ආතතියට පත් මිනිසාගේ සිත කියෑවීම ට මිස බූඩී මෙන් යුද බිමේ බිහිසුණු දර්ශන වෙත අසීමිතව තම කැමරාව යොමාලන්නට නොවේ. යුද්ධය වින්දනය කිරීමේදී යුද්ධයම පෙන්විය යුතු යෑයි මෙම සිනමාකරුවා සිත යි. යුද්ධය තේමා කොට ගැනීමේදී යුද්ධය නොපෙන්වා එහි ව්‍යසනකාරී තරම මැවිය හැකි ය. 'පුරහඳ කළුවර' මෙම කාරණයට ප්‍රශස්‌ත නිදසුන කි. සිනමාකරුවා සහ යුද පුවත් වාර්තාකරුවා අතර වෙනසක්‌ඇත. යුද සමයේ මෙරට චැනල් රොත්ත කරට කර පෙන්වන ලද යුද පුවත් දර්ශන බූඩි වැන්නකු නැවත නැවතත් පුනරූපණය කරන්නේ ඇයි? පශ්චාත් ව්‍යසන ආතතිය එපමණටම බරපතළ නිසා ය. සිනමාකරුවා ට පමණක්‌ මෙම යුද්ධයට හසු නොවී බංකරගතව සැඟවී සිටිය නොහැකි බව සැබෑ ය. නමුත් ඔහු සත්‍යයෙන් ඔබ්බට යා හැකි මැවුම්කරුවකු මිස සත්‍යයේ වහලකු නොවේ.

යුද සිනමාව යුද සැමරුම් සිනමාවෙන් වෙනස්‌වන අයුරු දැක ගත හැකි තවත් ලෝක නිදසුනක්‌ ලෙස ඔලිවර් ස්‌ටෝන් අධ්‍යක්‍ෂණය කළ 'ප්ලැටූන්' (1986) චිත්‍රපටය ද සිහිකළ හැකිය. යුද්ධයේ සාහසිකත්වය තාත්විකව නිරූපණය කිරීම සඳහා සිනමා භාෂාව යොදා ගත හැකි තරම මෙම චිත්‍රපටයෙන් ද කියා පායි. 'අබා'ගෙන් ඇරැඹි පශ්චාත් යුද සංස්‌කෘතික සිනමා නිරූපණ සියල්ල සිනමාව දෙසට නොව යුද්ධය දෙසට වඩාත් ඇදී යන්නේ ඇයි. සිනමාකරුවන් සිනමාවට දුර නිසා ය. යුද්ධයට සහ ඒ ආශ්‍රිත දේශපාලනයට සංවේදී නිසා ය.

තමා අයත් කණ්‌ඩායම ක්‍රියා කරන ආකාරය පමණක්‌ නිවැරැදි යෑයි සිතීමේ ප්‍රවනතාව (Group absolutism) යුද ආතතියෙන් තෙහෙට්‌ටුවට පත් යුද ජයග්‍රාහකයන්ගේ තවත් චිත්ත ස්‌වභාවයකි. බූඩී අයත් වන්නේ ද යුද ජයග්‍රාහකයන්ගේ පාර්ශ්වයටයි. ඔහු තම සිනමා ප්‍රකාශනය තබන්නේ ද යුද ජයග්‍රාහකයන් හමුවෙහි ය. දෙපාර්ශ්වය ම යුද්ධය සිහිපත් කරමින් ම සැනසෙති. බූඩී යනු මෙතැනදී දේශපාලනමය යුද්ධයට හසු වූ ප්‍රාණ ඇපකරුවකු මිස නිවහල් ස්‌වීය සිනමාකරුවකු නොවේ. මෙවේලෙහි ඔහු ස්‌වාධීන නැත. අනෙකකු ඔහු මෙහෙයව යි.

තෙවැනි පරපුරේ කැරලිකාර සිනමාකරුවකු ලෙස ප්‍රකට බූඩී ලංකාවේ මුල්ම යුද චිත්‍රපටය තමා කළේ යෑයි උදම් අනයි. (සරසවිය 2012.01.26 : පිටුව 14) මෙය විශිෂ්ටතම සිනමා කෘතියකැයි ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ පවා පැවසී යෑයි ඔහු සාඩම්බර වෙයි. තම දරුවන්ගේ කොයිකටත් නොහොඳක්‌ නොකියා ඇගයීම ගෞරවනීය වැඩිහිටියකුගේ සංයමය යි. සිනමාකරුවා විමසිලිමත් විය යුත්තේ රසිකාගාරයේ සැබෑ මතය කෙරෙහි ය. යුද්ධය සමරමින් හා වීරත්වය අගයමින් සිනමාකරුවා නිරත වී සිටිනුයේ යුද ජයග්‍රාහක පාර්ශ්වය තෘප්තිමත් කිරීමේ ව්‍යාපෘතියකයි. මෙය ආත්ම වංචනික ය.

'මාතා' හි වස්‌තු විෂය ත්‍රස්‌තවාදීන් පරාජය කළ රජයේ මානුෂීය මෙහෙයුම ය. අනෙක්‌ පැත්තෙන් ත්‍රස්‌තවාදී ළමා සොල්දාදුවන්ගේ ‍‍‍ඛේදවාචකය ය. මෙය කලා ප්‍රකාශනයෙන් බැහැර වී යම් ආකාර වූ ප්‍රචාරකවාදී රාමුවකට වැටෙනුයේ නිරායාසයෙනි. බූඩී තම කෘතිය තුළ වඩාත් පක්‍ෂපාතී වනුයේ තම බලගතු රසිකාගාරයට නොව යුද ජයග්‍රාහකයන්ට බව චිත්‍රපටය නරඹද්දී අපට හැඟෙයි. මෙම පක්‍ෂපාතීත්වය යනු යුද චිත්‍රපටයක්‌ කිරීමේ මිල අධික සිහිනය සඵල කර ගැනීම සඳහා ම අනුගමනය කළ අවස්‌ථානුකූල වංචාවක්‌ විය නොහැකිද? මානුෂීය මෙහෙයුම හා රජයේ ත්‍රිවිධ හමුදාවේ වික්‍රමයන් මෙන්ම ත්‍රස්‌තවාදීන්ගේ සැහැසිකම් හා පරාජයන් වාර්තා කිරීමෙන් ඔබ්බට සිනමාකරුවාට ගමන් කළ නොහැකි වන්නේ මෙම බලගතු සාහසික යුද්ධයේ දේශපාලනය විසින් අපේ සිත් මරා දමා ඇති නිසා ය.


සිනමාකරුවාගේ ඇගැයුම් හා පරමාර්ථ පිළිබඳ ප්‍රමිතයන් ක්‍රමානුකූලව කඩා බිඳ දමා ඒ වෙනුවට ඊට හාත්පසින් ම වෙනස්‌වූ චර්යා රටා ඔහු තුළ ඇති කිරීම 'සිත මරා දැමීමකි'. (Menticide) සිනමාකරුවා ගේ ඒකාන්තික ස්‌වාමීත්වය බිඳ වැටී යුද ජයග්‍රහණ සමරන්නන්ගේ ඒකාධිකාරය බලවත් වී ඇත. 'මාතා' චිත්‍රපටය තුළ යුද්ධය පමණට සිනමාව බලවත් නොවන්නේ ඒ නිසාය. 'මාතා' චිත්‍රපටයේ ශිල්පීය හරඹ වඩාත් කැපී පෙනෙයි. ඊට හේතුව සිනමාකරුවා යුද පිටිය තුළ තම කැමරාව තබන්නට දැඩි රුචියක්‌දැක්‌වීමේ ඵලයකි. සිනමාකරුවා යුද බිමෙහි සජීවී බව නිර්ව්‍යාජව රූපයට නඟන්නට හැකි උපරිම ශක්‌තිය, දැනුම යොදවයි. යුද්ධයේ සාහසිකත්වය මිස යුද්ධයට මැදිවන මානුෂිකත්වය එපමණින් සිනමා බසට නඟන්නට සිනමාකරුවා සංයමශීලී නොවන්නේ එබැවිනි.

'මාතා' හි යුද්ධයේ සාහසිකකමට මැදිවන මානුෂික බැඳීම් මතුකරන වෘත්තාන්තයක ඉඟි නොමඳව ඇත. එම වෘත්තාන්තයේ චරිත ඉඳහිට මතුව වහා නොපෙනී යයි. මිනිස්‌ සබඳතා සහ ඒ ආශ්‍රිත චරිත ගොඩනැංවීම සඳහා වැය කළ යුතු කාලය හා ශ්‍රමය සිනමාකරුවා මුළුමනින් ම වැය කරනුයේ සැබෑ යුද පිටියෙහි සජීවී රූප සෙවීමටය. යුද චිත්‍රපටයක්‌ කිරීමේ සිහිනය සඵල කර ගැනීමට වෙහෙසෙන සිනමාකරුවා සිනමා අන්තයෙන් ගිලිහී යුද පිටිය මැද වික්‍ෂිප්ත වෙයි. මෙම වික්‍ෂිප්තය කෙතරම් ද යත් සිනමාකරුවා ඇතැම් තැනක රූපවාහිනී යුද වාර්තාකරුවකු තරමටම කුඩා වෙයි. 1990 වසරේ කාත්තන්කුඩි මුස්‌ලිම් පල්ලියකට ත්‍රස්‌තවාදීන් පහරදීම වැනි තනි සිදුවීම් වාර්තා කිරීම සමස්‌ත තේමාවට බලහත්කාරයෙන් පූට්‌ටු කරන ලද ප්‍රකට යුද පුවත් පමණි. ස්‌පිල්බර්ග්ගේ Saving Private Ryan නම් වූ විශිෂ්ට යුද සිනමා කෘතියෙන් නිර්ලඡ්ජිතව පිටපත් කළ දර්ශන කිහිපයක්‌ද 'මාතා' හි ඇත. එකම වෙනස ස්‌පිල්බර්ග් නිර්ව්‍යාජ ලෙස මවන යුද්ධයේ බිහිසුණුකම 'මාතා' හි ඇත්තේ අතිශයෝක්‌තියකට හරවමිනි. රජයේ නාවික භටයන් මුහුද දෙසින් පැමිණ ගොඩබිමට ඇතුළුවන අවස්‌ථාවේ ත්‍රස්‌තවාදීන් සමඟ හටගන්නා ගැටුම් ජවනිකා මීට නිදසුන් ය. එක්‌ චිත්‍රපටයක මුහුදු ජලය හා සෙබළුන්ගේ රුධිරය මිශ්‍ර වන දර්ශන අනෙක්‌ චිත්‍රපටයේ ඇත්තේ මුහුදු ජලය රත් පැහැ ගන්වන්නට මිශ්‍ර කළ පාට සායම් නොවේදැයි සැක උපදවන තරමටම බාල මට්‌ටමිනි. යුද සැමරුම් එපමණටම අතිශයෝක්‌තිමත් වී ඇත. යුද්ධය විඳීම චිත්‍රපටයක්‌ ලෙස නම් කොට ඇත.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජාතීන් යුද්ධයෙන් බැට කෑ තරම පෙන්විය යුතුම යෑයි කොන්දේසියකට මෙම සිනමාකරුවා එකඟ වී ඇති සෙයකි. එක්‌තැනක මුස්‌ලිම් කවියකුගේ සිංහල නැඹුරුව දෙමළ ත්‍රස්‌තවාදීන් සිංහළුන්ට වෛර කරන තරම පෙන්වීමට යොදා ගන්නා හුදෙකලා සිද්ධියකි. එවැනි හුදෙකලා සංවේදී සිදුවීම් වහා මතුවී එසැණින් ම මැකී ගොස්‌ දසතින් බෝම්බ පත්තු වෙයි. මද වේලාවකින් යළිදු එවන් ප්‍රබල සංවේදී සිදුවීමක්‌ මතුවෙයි. නැවතත් වෙඩි ශබ්දයෙන් අපගේ කන් අඩි පුපුරයි. ඉවසීමෙන් හා සංයමයෙන් ගොඩ නැඟිය හැකි ප්‍රබල නාටකීය සිදුවීම් රැසක්‌ සිනමාකරුවාගේ යුද සිනමා සිහිනයේ තාක්‍ෂණ ශිල්ප හරඹවලට හසු වී අකාලයේ මිය යනු දැකිය හැකිය. සූර සිනමා කවියකුට කෘති කිහිපයක්‌ පුරා ව්‍යාප්ත කළ හැකි රූපමය සිද්ධි හා ප්‍රබල චරිත පෙළකින් මෙම චිත්‍රපටය සමන්විතය. මෙම සිනමාකරුවාට එකී චරිත හා සිදුවීම් මත මොහොතක්‌ නතර වීමට තරම් චිත්ත විවේකයක්‌ යුද ආතතිය විසින් ලබා දී නැතුවා සේ ය. එසේත් නැතහොත් යුද ජයග්‍රාහකයන් විසින් කලාකරුවාගේ චිත්ත සංයමය ස්‌වකීය සැමරුම් සඳහා පවරාගෙන ඇති සෙයකි.


මෙහි පිටපත රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල ගෙනි. උඩින්, බිමින් සහ මුහුදින් පහරදෙන රජයේ ත්‍රිවිධ හමුදාවේ බලපරාක්‍රමය වාර්තානුසාරීව පෙළ ගස්‌වන්නට ද මෙම සිනමාකරුවා සමත් වී ඇත. මෙවිට මෙය ත්‍රිවිධ හමුදාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක සිරි ගනී. මෙවැනි වාර්තාකාරයකුගේ ද වගකීම උසුලන්නට සිදුවන නිසා චිත්‍රපටයේ බොහෝ ප්‍රබල තැන් අවශ්‍ය පමණින් ගොඩනඟන්නට සිනමාකරුට කාලය මදිවෙයි. හුදෙකලා ප්‍රබල සිදුවීම්, දීර්ඝ යුද ජවනිකා සහ ප්‍රචාරාත්මක වාර්තානුසාරී විස්‌තර මැද කෙටි වෙයි. පටුවෙයි. මෙහි ළමා සොල්දාදුවන්ගේ නර්තන විලාසය යනු සත්‍ය යුද බිමේ වහලකු සේ අතරමංව සිටි සිනමාකරුට හදිසියේම තම ප්‍රබන්ධ මාධ්‍යයේ ප්‍රබලතාව සිහිවූවාක්‌ වැනි අවස්‌ථාවකි. එම ජවනිකා ද සිනමාකරුවා තරමට ම හුදෙකලා වී ඇත.

පතිරාජ 1981 දී ගෙනා 'සොල්දාදු උන්නැහේ' සිහි විකල් වූවෙකි. යුද්ධයේ සාහසික බව විසින් ඔහුගේ චිත්ත පීඩාව දරුණු කරයි. ඔහු මානසික රෝහලක සිර කරනු ලබන්නේ එහෙයිනි. යුද්ධය නිම වෙයි. සොල්දාදු උන්නැහේ යළි ශ්‍රී ලංකාවට එවනු ලබයි. නමුත් ඔහු නැවතත් තම ගමට නොයයි. යුද්ධයේ භයංකර සෙවණැලි සිත් හි දරාගෙන ඔහු කොළඹ නගරයේ හුදෙකලා වෙයි. කොළඹ නගරය සහ සමස්‌ත ලංකාවම යනු හර්ට්‌ ලොකරයකි. එනම් අන්තවේදනාකාරී ස්‌ථානයකි. 'මාතා' බිහිකරන මොහු ද, එය රස විඳින අප ද මෙම හර්ට්‌ ලොකරයේ ආතතියට පත් සොල්දාදු උන්නැහේලා ය. අපට ඉතිරිව ඇත්තේ නෙක සැමරුම් විසිතුරු සිත්තම් දෙස බලා සිටින්නට පමණි. යුද්ධය සහ යුද්ධ එතරම්ම භ්‍රාන්තියකි.

අජිත් ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අකුරු නම් බොහෝ තිබේ. ඒ අකුරු මුද්‍රිත වී නන්විධ ලෙස පෙළගැසී සිටිනු දුටිමි. ඒත් ලක්ෂයක් අකුරු අතර අප කම්පනය කරන අකුරු ඇත්තේ කීයෙන් කීයද? එවන් අකුරු පෙළක් දුටුමතින් කිසිවක් සටහන් කළ යුතු යැයි සිතමි. පසුගිය රාවයක පළ වී තිබුණු මංජුල වෙඩිවර්ධනගේ කවියක් මේ පූර්විකාවේ නිමිත්තයි. "මධුවිත තනිකර නික්මගිය නාගරික ජනකවියෙකු වූ ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය" යනු ඒ කවියේ නමයි.

ඩොනා හෙවත් ඩොනල්ඩ් මාමා කවුදැයි අපි නොදනිමු. ඇත්තවශයෙන්ම, ඩොනල්ඩ් මාමා සැබැවින්ම ජීවත් වූ අයෙක්දැයි හෝ මංජුලගේ මනසේම ඉපදී මනසේම නික්මගිය රසවතෙක්දැයි අපි නොදනිමු. එහෙත් මේ කවියෙන් පසු අපි ඩොනල්ඩ් මාමා හඳුනන්නෙමු. මේ කවියෙන් පසු ඩොනල්ඩ් මාමා ජීවතුන් අතර සිටියේය. ඉනික්බිති නික්ම ගියේය. එය කෙතරම් ඇත්තක් වී ද යත්, ඩොනල්ඩ් මාමා ළඟින් නික්ම එන මධුවිත සුවඳ පවා අපට දැනේ. එය අපට අපුලක් නොවේ. මන්ද ඒ ඔහුගේ ජීවිතයේ සුවඳය. ඉතින් මේ අසිරිමත් නාගරිකයාගේ විස්මය කුමක්ද? ඔහු හිටිවනම කියන වාද බයිලාවේ කප් ගැසුවෙකු වීමයි. ඩොනල්ඩ් මාමා මධුවිත ඉන්ධනය කර ගනිමින් ධාවනය වූ චමත්කාර දුම්රියක් නම්, ඩොනල්ඩ් මාමාගේ රේල්පාර දිගේම ඔහු ගැන කියන්නට මංජුල එන අයුරු අපූරු ය.

බැස්ටියන් ඩොනා - හිටියම
කස්ටියක් මෙනා
ගුරු මුස්ටියත් උනා දී
සන්තුස්ටියක් වුණා

ඉල්ලූ ගමන් පද ලැබෙන
කල්ප වෘක්ෂෙ වැඳ, කවි
මල්ල ලිහමි අද, බලනු
එල්ල හැලෙන නද


අටකොණ පද මායාකාරී ලෙස පෙළගස්වන මංජුල මේ අපට කියන්නේ කවියෙන් යා හැකි දුර අවසන් නැත කියාද?

ඩොනල්ඩ් මාමාගේ නික්මයාමේ කම්පනය අපගේ හදවත තුළ අවුළුවාලන්නට, මංජුල හා "ඩොනා" අතර වාදය පූර්විකාවක් වෙයි. මිත්‍රවරුනි, එය නම් සැබෑ වාදයකි. මනුෂ්‍යත්වයේ තොටිල්ලක දෝලනය වන සොඳුරු වාදයකි. මෙතැනදී "මම" යනු මංජුලය. "ඔහු" යනු ඩොනාය.

මම :-
මස් මාළුම කැව්වෙ
හැබැයි රස්සාවට බිව්වෙ
මම දුස්රාවකි එව්වෙ, කොහෙද
ඇස්වහගෙන දිව්වෙ

ඔහු :-
ඩොනා එවන පද - දැකල
අනාගෙනද අද
අපෙ සනා පිටිය මැද - වැටුණෙ
කනා මුට්ටි බිඳ

මම :-
දාඩිය ගඳ යසයි
තිත්ත කාඩිය වුව රසයි
කවි ජාඩිය හරි උසයි නමුත්
මූඩිය හෙණ වසයි

ඔහු :-
දාස් ගණන් පද ගලන
සාස්තරය ලද
අපෙ රාස් කියනවද
පොඩි රෝස් පාන් මැද

මම :-
ගිරා මොටකු කට අරියි
සිරා කවියෙකුට
සුරා සොඬකු හට බැරිය
ගුරා කියනු මට

ඔහු :-
දාලා දෙක ඉතා රසට
මෝලා ඇඹරෙතා
අර නාලාගිරි ඇතා වගෙයි
බීලා නැති පුතා


එතැනින් පසු කවියේ කවි බස අතර මැද නවතින මංජුල කවිය තුළ ඇති දෙවැනි ගද්‍ය කොටසට මුල පුරයි. එය මෙසේය.

"ඔහුගේ මඳහසෙහි ඇත්තේ සදය උපහාසයකි. උත්ප‍්‍රාසයෙන් මා දෙස බලා ඔහු යළි ඇස් පියයි. මම වේදනාවෙන් සසැළෙමි. ඔහු වෙනුවෙන් ලිවිය යුතු දෑ බොහෝ ය. මෙම නිහඬ නාගරික ජන කවියා වණන්නට පියවි ලෝකය බාධාවකි. එහෙයින් මේ නිමේෂයේ මම, මධුවිතක් පිණිස හිත හදා ගනිමි."

එසේ සටහන් කිරීමෙන් පසු කවි අවි ගබඩාව හැර ඩොනාගෙන් ලද අටකොණ මුනිස්සම් වැලක් එළියට ගන්නා මංජුල ඒවායින් අපගේ හද මත සිදුරු පොකුරක් නිර්මාණය කරයි. ඒ සිදුරු මතින් රුධිරය පමණක් නොව කඳුළු ද දහදිය ද වැගිරෙයි. සියලු බේබද්දන්ට සමා වුව මැනවි, මිත්‍රවරුනි, ඒ හෘදය සිදුරෙන් මනුස්සකම් රැඳි ඇඟිලි තුඩගින් සව්දිය පුරා මුවග තෙත්කළ මධුවිත ද සෙමින් සෙමින් ගලා එයි. මන්ද, ඒ මධු ද රුධිරය හා වර්ණයෙන් ද ගුණයෙන් ද දැනටමත් එක්ව ඇති බැවිනි. සැබැවින්ම, ඩොනාගේ මධුවිත සුවඳ ඔහු වැනි මනුෂ්‍යයන්ගේ හෘදය රුධිරයේ සුවඳ වන්නේ එහෙයිනි. මංජුලගේ අටකොණ වෙඩි හඩ රැව්දෙන හඬ යළිත් අසන්නට ඔබ කැමතිද?

සුවර්ගෙ යන දින මොටද
සුවර් ඔබගෙ තැන - ඔය
ලිවර් එකට පණ පොවල
කවර් කරමි දෙණ

ඔබෙ කට ගෙන බුදුවෙන්ට හදපු
රට සට කපටින්ට
අර අට කොණ ගෙන එන්ට කියමු
බටකොළ වළඳන්ට

අර මැරෑටියකු වෙන්න හදපු
මට මඟ පෙන්නා
කවි කරාටි පද පුහුණු කරල
කලු පටි දුන්නා


ඩොනාගේ මනුෂ්‍යත්වය මෙන්ම අවිධිමත් නාගරික ගුරුවරයාගේ භූමිකාව තුළ ඇති ශ්‍රේෂ්ඨත්වය ද පිළිබඳව ඒ පද සාක්ෂි නොවන්නේද? එතෙකින් නොනවතින මංජුල, ඩොනල්ඩ් මාමාගේ මධු ප්‍රේමය ගැනද අසිරිමත් විවරණයක් දෙයි.

තනි අතින් කවපු පිට්ටු
වලට ලතින් පවා මට්ටු
මධු විතින් අපට කිට්ටු
කරපු ඇතුන් සදා කෙට්ටු

පොඩි කුරුල්ලකුව සොයා
කවි කරල් කවපු පියා
මධු බැරල් අපිට තියා
අපෙ ඩොනල් මාම ගියා


මේ කවි පෙළ විචාරය කරන්නට මා නොතරම්ය. මේ සටහන කිසියම් අදහසක් ලෙස සැලකුව මනාය. ඉතා දීර්ඝ විචාරයක් විශ්ලේෂණාත්මකව ලියැවිය යුතු මේ කවිය පිළිබඳ කටු සටහනක් තැබීම වරදක් නම්, මිත්‍රවරුනි සමාවන්න. මා ඒ කම්පනය ඔබත් සමග බෙදානොගෙන සිටින්නේ කෙසේදැයි මම නොදනිමි. මා සිතන අන්දමට එය මංජුල ද නොදනී. ඔහු අවසන මෙසේ ලියන්නේ එනිසා විය යුතුය.

ඔය සදාතනික මූණෙ
රැස් නිදා වැටෙනු නෑනෙ
අත් මුදාහැරෙන මානෙ
අපි බෙදා ගනිමු හීනෙ


-ජනරළ

විමල් කැටිපෙආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



......ආයෙම අපිව බලන්ඩ එනවා, ලියුං ලියනවා කියලා අඬා දොඩා, මාරුවක් අරං ගියා ගියාමයි කෝල් එකක්වත් නෑ. නොම්බර වැඩත් නෑ. මගෙ මඟුළට ඔච්චර කියලත් නෑවිදින් සල්ලි එවාපු එක වැරදියි. අපේ හිත් බිඳුනා......

-කහටගස්දිගිලියේ පොඩි හේරත් එවූ ලිපියක කොටසක්.


මගෙන් උත්තර නැතත්
ලියනවා උඹ තාමත්
බලන්නෙම නෑ කියා හිතුවත්
බැලෙනවා උඹෙ ලියුං හේරත්

තිබහකට වෙහෙසකට ගන්නට
ඉතුරු කරගත් මතක තෙත ටික
පපුව මැද දුක සේ රකිනකොට
එපා අත දා බොර කරන්නට

කෙළ ගසා කට ඇඹුල් කොට
එකම වීදුරුවෙන් මාරුවට
තෙමා පපු, ගැයු ගීත අඳුරට
ගැයෙනවා තාම මගෙ හිත යට

ජෝතිගේ සිංදු යනකොට
වහනවා මං රේඩියෝ එක
ඇහෙනවා ඒ සිංදු දිගටම
වහන්නට බෑ මගේ හිත මට

පෙති මහත රතුම රතු
රෝස මල් හත අටක් පහුකලා
ඇනුනු ඒ බොකුටු කටු
ලේසියට පහසුවට ගැලවුනා
කහටගස්දිගිලියෙදි ඇනුනු
පොඩි පතොක් කටු සිහිවුනා
නොපෙනුනත් තාම ඒ හීන් කටු
රිදි රිදී මගෙ හිතේ කෙවෙනවා

අද හෙට නෙමෙයි හිත හයි වෙච්චි දවසක
මේ ලියුම තැපෑලට දාන්නං
පොළොං පැටියෙක් වගේ විස ගෝර
මගේ හිත මං තලා මරණ්නං
උඹ එවපු ඔක්කෝම ලියුං ටික
කුණු ගොඩේ දවන්නං
ආයෙමත් ලියන්නට එපා මට
මං උඹට වඳින්නං

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මාගේ මිත‍්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි."
(-ගෝලයන් ධෛර්යය කිරීම, ලූක් 12 : 4-5)


ඇන්තනි ප‍්‍රනාන්දු නම් වූ ඝාතනය කරන ලද ධීවරයාගේ කතෝලික අධ්‍යාත්මය හරහා ශී‍්‍ර ලාංකීය සිංහල කතෝලික හෘදය සාක්ෂිය කියවීම මෙම ලියවිල්ලේ මුඛ්‍ය අරමුණ යි. මාර්තු 15 වැනිදාට ඔහු ඝාතනය කිරීමේ සිද්ධියට මසකි. අදට මාසයකුත් සතියකි. එහෙත් මිනී මරන්නන්ට අතීතය අමතක වන නිසාත් මසුන් මරන්නන්ගේ අනාගතය මුහුදුබත් වෙමින් පවතින නිසාත් මෙම ලියවිල්ල මඟ හැර යා නො හැකිය.

ශී‍්‍ර ලාංකීය සිංහල කතෝලික බහුතරය ඔවුන් කතෝලිකයන් බව හඳුණාගැනීමට හැකි එකම මඟ වනුයේ ඔවුන් විසින්ම ඔවුන් කතෝලිකයන් බව හඳුන්වා දෙනු ලැබීම තුළ මතු වන උත්ප‍්‍රාසයයි. හිත රිදවෙන කියමනක් වුවද, හරයාත්මකව ගත් කල එසේ හඳුන්වනු ලැබීමට අවශ්‍ය නිර්දිෂ්ඨ බොහොමයක් ඔවුන් සපුරා නැත. කතෝලිකකම යනු පුද්ගලයන් තුළ ඒ ඒ යුගයන්හි ඒ ඒ භූමි වපසරි තුළ පවත්නා අශිෂ්ඨ, අධම, දුර්දාන්ත, මානව විරෝධී පාලනයන්ට එරෙහිව උත්පාද වන දේශපාලනික ආස්ථානයන් මිසක තම තමන් හඳුන්වා දිය හැකි විශේෂණ පදයක් හෝ ආගමික ධම්ම පදයක් නොවනා බැවිනි.

ඇන්තනි ප‍්‍රනාන්දුගේ කතෝලිකකම වනාහි සිය ජීවිත පරිත්‍යාගය තුළින් ප‍්‍රතිඅර්ථකථණය වූ ඓතිහාසික යථාර්ථයකි. යථාර්ථය එසේ වුව ඊට අදාළව ඓතිහාසිකව කතෝලික සංස්කෘතිය නම් වන ආගමික හික්මීම තුළ ගොඩ නැගී ඇති ඔහුගේ ජීවිත සන්දර්භය සංක්ෂිප්තව හෝ කියැවීම හරහා උත්ප‍්‍රසාත්මක කරුණු කාරණා රැසක් ඔබ හමුවේ දිග හැරෙනු ඇත.

ඇන්තනි, අන්තෝනි, ඇන්ටනි, ඇන්ටෝනියෝ, අන්තුවාන් ඈ වූ උච්චාරණයන් හරහා ඇති නාමකරණය වූ කලි වෙසෙසින් ප‍්‍රාතිහාර්යයේ ශාන්තුවරයා ලෙස උත්කර්ෂයට නැගුණ අන්තෝනි මුනින්ද්‍රයා වෙත පවතින ගෞරව පූර්වක ආචාරයක් බඳු ය. කොළඹ කේන්ද්‍රීයව වරාය මාඉමේ ඉදිකර ඇති කොච්චිකඩේ පල්ලිය නමින් ප‍්‍රකට කතෝලික දේවස්ථානය වනාහි අන්තෝනි මුනි නමින් ලංකාවේ පවතින සුප‍්‍රකට සංකේතීය වපසරියයි. නාමමාත‍්‍රීය කතෝලිකයන් පමණක් නොව නාමමාත‍්‍රීය සිංහල බෞද්ධයන් පවා අපමණක් බාරහාර සිදුකරන්නාවූ මෙම ශූද්ධ වූ වපසරිය සැබැවින්ම ශී‍්‍ර ලාංකික නිල කතෝලක සහාවට ආදායම් මැවෙනා කේන්ද්‍රස්ථානයක් බව ඇත්තකි. පෘතුගාලයේ, ලිස්බන්හි ඉපදුන මෙම ශාන්තුවර අන්තෝනීන්ගේ සැබෑ නාමය වූ ෆර්නෑන්ඩු වෙනුවට ඇන්ටනි යන අන්වර්ථ නාමය වෙත රූපාන්තරණය වූයේ මොරොක්කෝවේ ගත කළ ධර්ම ප‍්‍රචාරණ මෙහෙවරෙහි දුෂ්කරතා මධ්‍යයේ ය. අධිකතර වෙහෙසකර ජීවන භාවිතයේදී ශෝථය නොහොත් ඉදිමාව රෝගයෙන් ඔත්පලවූ පාදුවාවේ නගරයේ ශුද්ධවරයා වයස අවුරුදු 36දී ස්වර්ගස්ථ වූ බව ඔහු තමන් කෙරෙහිවත් භාවිතයට නොගත් ප‍්‍රාතිහාර්ය බලයෙන් සුඛ විහරණ වරම් පතන ශ‍්‍රැද්ධාවන්තයෝ බහුතරය නොදනිති.


ප‍්‍රාතිහාර්යයීය ශාන්තුවරයාගේ සැබෑ නාමයත් අන්වර්ථ නාමයත් යන දෙකම තුළ සංකේතගත, මෙම ලියවිල්ලේ ප‍්‍රස්තුත අපේ ඇන්තනි ෆර්නෑන්ඩෝ සිංහල රජයේ හමුදා වෙඩිපහරට හිස පුදාලූයේ වයස අවුරුදු 35දී ය. ෆර්නෑන්ඩෝ ඇන්තනි පාදුවාවේදී මිය යන විට කතෝලිය පල්ලියේ පියතුමකු වූ අතර ඔහුට ආදරය කළ දරුවෝ වීදි පුරා හඩමින් සිටියහ. අපේ ඇන්තනි ෆර්නෑන්ඩෝ හලාවත වැල්ලේදී කෲරතර ලෙස ඝාතනය කර දැමෙන විට තමන් අපමණක් ආදරය කළ දරු දෙදෙනෙකුගේ පියතුමකු වූ අතර ඔවුහුද තාත්තාගේ නිසල දෙණ අසල කඳුළු වගුරුවමින් පසුවූහ.

මේ වන විට ත් කතෝලික නිල සභාවට අමතකව ගොස් ඇති එගොඩවත්ත පොළෝ ගර්භයේ සැතපී සිටින ඇන්තනි වනාහී ධීවර සටන් බිමකදී ප‍්‍රාණ පරිත්‍යගයේ යෙදුණු විරුවකු බව අප අවධාරණය කරනුයේ ධීවර ජීවිතය හා කතෝලික අධ්‍යාත්මයේ අවිච්චින්නභාවය කරණකොටගෙන ය. මුල් ගෝලයන් කැඳවීම ශීර්ෂය යටතේ එන ලූක් සුවිශෙෂයේ 5 වැනි පරිච්ඡේදය මෙබඳු ය.

"තවද උන්වහන්සේ ගෙන්නෙසෙරෙත්නම් විල ළඟ සිටිය දී සමූහයෝ උන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගෙන සිටියෝය. විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටු සේක. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. උන්වහන්සේ ඒ ඔරු වලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී ගොඩින් ටිකක් ඈත් කරන්නට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩ හිඳගෙන සමූහයන්ට ඉගැන්වූ සේක. උන්වහන්සේ තකා කොට නිම වූ කල ගැඹුරට ගොස් මසුන් අල්ලන්නට දැල හෙළන්නැයි සීමොන්ට කී සේක. සීමොන් උත්තර දෙමින්, ස්වාමීනි අපි මුළු රාත‍්‍රියේ ම වෙහෙස වීමුව, නමුත් මොකවත් ඇල්ලූවේ නැත. නමුත් ඔබගේ වචනය නිසා දැල හෙළමියි කීවේ ය. ඔවුන් එසේ කළවිට මසුන් රාශියක අසු විය. ඔවුන්ගේ දැල ඉරෙන්ට පටන් ගත්තේය. ඇවිත් තමුනට උපකාර කරන්නැයි අනෙක් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔවුහු සංඥා කළෝ ය. ගිලෙන තරමට ඔරු දෙකම පුරවා ගත්තෝය. සීමොන් පේ‍්‍රතුස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමීනි, මාවෙතින් ගිය මැනව, මම පව්කාර මනුෂ්‍යයෙකැයි කීවේය. මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ වෝය. යේසුස්වහන්සේ : භය නොවන්න, මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කී සේක. ඔවුහු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝ ය."

මෙලෙස විකාශය වීම ඇරඹුණ ක‍්‍රිස්තියානි විමුක්ති මාර්ගයට අද වන විට ශී‍්‍ර ලාංකීය නිල කතෝලිය පල්ලිය විසින් පයින් ගසනු ලැබ, ඇණ ගසා ඇත. පීඩිතයන් ආරක්ෂා කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට, පීඩකයන් ආරක්ෂා කරමින් පීඩකයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් පවා නො සෑහී පීඩිතයන් වෙනුවෙන් පෙනීසිටින සැබෑ විමුක්තිදායකයෝ පීඩකයන් අතට පාවා දෙන තත්වයට නිල කතෝලික සහාව පිරිහෙළනු ලැබ ඇත. සමස්ත ශ‍්‍රී ලංකාවට ඇති පීඩාවේ සේ ම කතෝලික සභාව තුළ වන පීඩාවේ මහා පොදු සාධකය ලෙස එම්. ආර්. නම් මුලකුරු සංඛේතගතව පෙනී සිටීම ඔවුනොවුන්ගේ දෛවෝපගතය ලෙස ඔවුනොවුන්ටම පෙනී යා හැකි වුව අපට අනුව නම් එය දේශපාලනික සංසිද්ධියකි.


මහා යුද ජයග‍්‍රහණයන්ගෙන් වියරු වැටී ඔද වැඞී සිටි රාජපක්ෂ ආණ්ඩුවේ පළමු දැවැන්ත පරාජය සිදුවූයේ සී ප්ලෙන් ව්‍යාපෘතිය හකුළා ගැනීමට සිදුවීම ය. ජන අරගලය මතු වූයේ මීගමුවට ඔබ්බේ වූ කළාපයෙනි. ඉන් අනතුරුව එම කළාපය තුළම වන කටුනායක නිදහස් වෙළෙඳ කළාපයෙන් මතුව ආ ඊනියා විශාම වැටුප් යෝජනාවට එරෙහි කම්කරු අරගලයයි. එම ජයග‍්‍රාහී සටනේදී ප‍්‍රාණ පරිත්‍යාගයේ යෙදුණු රොෂේන් චානක, මීනුවන්ගොඩ, ගල්ලොළුව රෝමානු කතෝලික සුසාන භූමියේ මිහිදන් කෙරුණේ නිල කතෝලික සහාවේ අවසාන ගෞරවය පවා නො ලබමිනි. අනතුරුව මතු වූ භූමිතෙල් සටන ද පැණ නැගුණේ උක්ත කළාපයෙන් ම වීම හරහා ආණ්ඩුව සිය මර්ධන යන්ත‍්‍රය ස්ථානගත කරන ආකාරය දේශපාලනිකව කියවීම සඳහා කිසිඳු භාෂා දැනුමක් අවශ්‍ය නොවේ. ඉදින්, ඇන්තනි ෆර්නෑන්ඩෝ ඝාතනය සැළසුම් සහගතව, දැනුවත් ප‍්‍රවේශයකින් සිදුවූවක් බවත් එය අහම්බයක් නොවන බවත් අතිශයින් ම පැහැදිලි ය. එහෙත් එම ඝාතනයෙන් නො සෑහෙන ආණ්ඩුවේ මර්දන යන්ත‍්‍රයට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ හර්මන් කුමාර සහ සමස්ත ලංකා ජනතා ධීවර සමිති සම්මේලනයේ අරුණ රොෂාන්ත ෆර්නෑන්ඩෝ යන ධීවර නායකයන් පාවා දෙනු ලබන්නේ වතිකානුවේ තලෙන්තු ගණන් කළ ශුද්ධවූ දෑතකින් වීම සැබෑ කතෝලික හෘදය සාක්ෂියට සිදු කළ නිග‍්‍රහයක් නොවන්නේද ? ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තම මිනීමෝරු කටහඬින් පෙබරවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළ පරිදි සමස්ථ ධීවර සටන් පසුපස නියාමක කාර්යභාරය සිදුකරන්නේ මොවුන් දෙදෙනා ය. එම ප‍්‍රකාශය හරහා මෙම අශික්ෂික අමාත්‍යවරයා ඔවුන් පසුපස මරණය ලූහුබඳින්නට ඉඩ සැළස්සූ අතර එකී මරණයෙන් දිවි ගළවා ගනු වස් සැඟව දිවි ගෙවීමට හර්මන් කුමාරට සහ අරුණ රොෂාන්තට සිදුව තිබේ. ඔවුන් රජයේ ඇම්බැට්ටයන් වෙත පාවා දුන් (ප‍්‍රති)කතෝලික නිළධාරීන්ට ඔවුන්ගේම සභාවේ ආරම්භක නායකයා වූ ධීවර සීමොන් පේතෲස් අමතක ය.

"නුඹ පේතෲස්ය. තව ද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. ස්වර්ග රාජ්‍යයෙ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවෙහි දී යමක් බැඳිනනෙහි ද ඒක ස්වර්ගයේහි දී බඳිනු ලබන්නේ ය. නුඹ පොළොවෙහිදී යමක් මුදනු ලබන්නේ ද ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ යැයි ඔහුට කී සේක."
(-මතෙව් 16: 18-19 )


පේතෲස් යනු ලතින් බසින් පර්වතය යන අරුතයි. එහෙත් එවන් පර්වතයක් මත ගොඩ නැංවුණු සභාවක් ලංකාවේ නම් දක්නට නැත. තවත් එක් නිදසුනක් ලෙස මන්නාරම රදගුරු රායප්පු ජෝසප් ඇතුළු කි‍්‍රස්තියානි පූජකවරු ඉදිරිපත් කළ ලියවිල්ල හා ඊට එරෙහිව පැන නැගුණ සිංහල ප‍්‍රතිවිරෝධය දැක්විය හැකි ය. ඔවුන්ගේ ලියවිල්ල ඉවසීම් සහගතව කියවන්නට හැකිනම් එය, උතුරු නැගෙනහිර සිදුකෙරුණු මානව විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී කිි‍්‍රයාවලිය මත පමණක් පදනම් වූවක් නොව එය දකුණටත් අදාලව සැකසුණු ලියවිල්ලක් බව පෙනී යයි. ජනමාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන වෛරී ක‍්‍රියා පිළිවෙතට එරෙහිව පමණක් නොව, ඝාතනයට ලක් කළ ඇන්තනි ෆර්නෑන්ඩෝ ධීවරයා ගැනත් එහි ඇත. එම ලියවිල්ල හරහා ඔවුන් ඉල්ලා සිටින්නේ යුක්තිය ම මිස අන් කවරක්වත් නොවේ. එතේ ඊට ප‍්‍රතිචාර දක්වන නිල කෙතෝලික සභාවේ එක් ලවුඩ්ස්පීකර කටක් වන කිතුහඬ පවසන දැයින් කොටසක් උපුටනය කරමි. ඔවුන් ඔවුන්වම හඳුන්වා දෙන්නේ කතෝලික දහම රැක ගැනීමේ ව්‍යාපාරය යනුවෙනි. මන්නාරම රදගුරු තුමන්ගේ ප‍්‍රකෘශයට අපි එකග නෑ යන මැයෙන් යුතු කිතුහඬ නිවේදයේ, රට බේරා ගැනීමට දායක වූ කතෝලික ජනතාව- නම් වූ අනුමාතෘකාව යටතේ වන ඡේදය මෙපරිද්දෙනි.


යුද්ධය සිදුවූ පසුගිය දශක තුනකට ආසන්න කාලයේදී දකුණේ සමස්ත කතෝලික ජනතාව කටයුතු කළේ මෙරටට හිතවාදී දේශපේ‍්‍රමීන් ළෙස ය. රජය සමඟ අත්වැල් බැඳ ගනිමින් යුද්ධය ජයගැනීම සඳහා හා රජයට සහාය වූ කතෝලික අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්තී‍්‍රවරුන්, පළාත් සබා මන්තී‍්‍රවරුන්, ප‍්‍රාදේශීය සභා නගරසභා මන්තී‍්‍රවරුන්, සභාපතිවරුන් හා නගරාධිපතිවරුන් විශාල ප‍්‍රමාණයකි. එසේම යුද්ධය මෙහෙයවීමේදී දේශපේ‍්‍රමීව කටයුතු කරමින් රජයට හා ආරක්ෂක හමුදාවන්ට සහාය වූ කතෝලික රජයේ නිළධාරීන් ගණන අති මහත්ය. රට වෙනුවෙන් වෙඩි උන්ඩයට බෝම්බයට සිට ජීවිතය පවා පුදා මව්බිම රැකගත්, සටන් කර එය ජයග‍්‍රහණය කරා මෙහෙයැ වූ කතෝලික ති‍්‍රවිධ හමුදා සෙබළුන් සහ නිළධාරින්ද බොහෝ ය, එසේම යුද්ධය ජයගැනීමට ඉතා විශාල සේවයක් කරමින් මෙරට මර්මස්ථාන හා අධිආරක්ෂිත කලාප රැකගනිමින් කටුනායක, මීගමුව, ජා ඇල, වත්තල, කෙරවළපිටිය, උස්වැටකෙයියාව, මෝදර, හැඳළ, වැලිසර, වැනි ප‍්‍රදේශ රාශියක ආරක්ෂක කටයුතු සඳහා ග‍්‍රාමීය සිවිල් ආරක්ෂක බලකාය හා එක්ව රටේ වැදගත් ස්ථාන කොටින්ගෙන් බේරාගත්, කොටි මරාගෙන මැරෙන බෝම්බ විශාල ප‍්‍රමාණයක් සොයාදුන්, මරාගෙන මැරෙන කොටි විශාල ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට තොරතුරු දුන් වැඩි පිරිසක්ද කතෝලික ජනතාවය. යුද්ධයට සහය දක්වා ලිපි ලියූ කතෝලික මාධ්‍යවවේදීන් බොහෝ ය, යුද්ධය වෙනුවෙන් ගීත හා කවි ලියූ කතෝලික ලේකඛයෝ බෝහෝ ය. යුද්ධය සම්බන්ධව දේශාභිමාන හා රණවිරු ගී ලියූ හා ගී ගැයූ කතෝලික ගායකයින් සහ සංගීත කණ්ඩායම්ද බොහෝය.

මෙම ලියවිල්ල සැකසූවන් සැබෑ කිතුනුවන් වන්නේ නම් කි‍්‍රස්තුන් වහන්සේ පවා තම කිතුනුභාවයෙන් ඉල්ලා අස්වනු ඇත. කි‍්‍රස්තුන් සහ බරබ්බස් යන දෙදෙනාගෙන් කවරෙක් නිදහස් කළ යුතුදැයි එදා පිළාත් ප‍්‍රශ්න කළ කල්හි - බරබ්බස් බරබ්බස් - යනුවෙන් කෑ ගැසුවෝ මෙවන් ශ‍්‍රැද්ධාවන්තයෝ ය.

ඇන්තනි ෆර්නෑන්ඩු නම් ධීවරයා වෙනුවෙන් ලියැවුණු මෙම සටහනට විරාමය තැබීමට පෙර, සැබෑ කතෝලික අධ්‍යාත්මයක් සහත සැබෑ විමුක්තිදායක මාර්ගයේ තවමත් අඛණ්ඩව ගමන් ගන්නා සටන්කාමී අභීත පූජක හා ගිහි දෙපාර්ශවයේම අතලොස්සක් පමණ වූ නායකකාරකාදීන්ට ගෞරවපූර්වකව හිස නමා ආචාර කරමි. මා මෙම ලියවිල්ල නිමකරන්නේ ධීවරයෙකු වූ පේතෲස් උපුටනය කරමිනි. පේතෲස්, පේතෲස්ගේ සාමාන්‍ය දෙවෙනි පත‍්‍රය නම් ලියවිල්ල නිම කරන්නේ මෙළෙසිනි.

"එබැවින් පේ‍්‍රමවන්තයිනි නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී ගොස් නුඹලාගේ ම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරිස්සම් වන්න."

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විජය කුමාරණතුංග ඝාතනය කොට පැය ගණනක් ගත වන්නට පෙර රට පුරා වීදියක් වීදියක් පාසා අදින ලද දම්පාට කොඩි තැනින් තැන මෙය ලියන මොහොත වන විටත් ඉතිරි වී තිබෙනවා. එහෙත් පසුගිය කෙටි කාලය තුළ ඒවා පාරිසරික හා කාලගුණික තත්වයන්ගේ සැඩකමට අසු වීම නිසා ඒවා මූලික වර්ණයන් වන නිල් පාටට හැරිලා. අව්ව වැස්ස නිසා මූලික වර්ණවල පාට එච්චර ලේසියෙන් පිච්චෙන්නෙ නැතිලු. චන්ද්‍රිකා ඩයස් බණ්ඩාරනායක කුමාරණතුංග පොල් හේන්ගොඩ නිවස වසා දමා ගොස්, රොස්මිඩ් පෙදෙසේ අල්ලපු ගෙදර සිට පළාත් සභා මැතිවරණය මෙහෙයවනවා. උතුරේ හා නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනවාර්ගික කරුණු අධ්‍යනය පිළිබඳ කේන්ද්‍රය විසින් නිපදවන ලද විත්ති වීඩියෝ චිත්‍රපටය රොස්මීඩ් පෙදෙසේ තම නිවසේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ ළඟදී නරඹා ඇත්තේ විජය කුමාරණතුංග ගේ දරුවෙකු උකුලේ තබාගෙන නළවමින්.

මෙම සංකේත හා සිද්ධීන් පිළිබඳ ඇත්ත නාටකය අපේ රටේ වර්තමාන සංකීර්ණත්වය පිළිබඳ චිත්‍රපටයකට අපූරු වස්තුවක් සහ තේමාවක්. එහෙත් එය අද වැදි රජුන් නැතිව "මනමේ" නටනවා වාගෙ වැඩක්. නළුවා අද නැති නිසා.

මීගමුව අසල වෙරළබඩ ගමක පල්ලියක සෙවනේ සිට හොරගොල්ල - රත්වත්ත වලව්ව දක්වාත්, හන්තානේ බොළඳ කතාවක සිට ක්‍රිස්තු චරිතය දක්වාත්, ට්‍රොට්ස්ට්කිවාදී ගැටවරකමේ සිට නළුකම ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දක්වාත්, එතැන් සිට අලුත් පක්ෂයක් පිහිටුවීමේ සිට සම්මත වම එක් කිරීමේ චිතකය දක්වාත් වේදිකා රැසක රඟ පෑ යුගයේ අරුම නළුවා විජය.


මීට අවුරුදු ගණනකට පෙර වෙසක් දවසක සුගතදාස ස්ටේඩියම් පහුකොට යනකොට මම දැක්කා විජය කුමාරණතුංග වෙසක් දන්සැලක් විවෘත කරනවා. විජය මිය ගිය දා එතැනම පසුකොට යනකොට, පරණ කුණුමෝල තිබුණු තැනට එහා වැසිකිළි සහ කම්කරු තට්ටු නිවෙස් ළඟ, සුදු රෙද්දේ අවියත් කළු අකුරෙන් ඇඳපු බැනර් එකක් දැක්කා. ඒකෙ තිබුණ්ණ් ශෝක ප්‍රකාශය: "අම්මපා හදවත පැලෙනවා. විජය කුමාරණතුංග මහතාට නිවන් සැප ලැබේවා!" මම හිතන්නේ ඒ රෙදි කෑල්ලේ "හදවත පැලෙනවා" කියන හරිය එතැන තවමත් තියෙනවා.

සිය නළු සොහොයුරා ගේ අවමඟුල අත්පොලාසන් දෙන දේශපාලන වේදිකාවක් බවට පත් වීමෙන් ගාමිණී පොන්සේකාට අඩ මිලියනයක් ජනතාව ඉදිරියේ හරියට තරහ ගියා. අපේ රටේ අවමඟුල්වල සම්මත සිරිත් සුන්වුණා. කාලෝ පොන්සේකා ජුලියස් සීසර් නාට්‍ය රඟ පපා, මාක් ඇන්ටනී වාගේ කතා කළා. වර්තමාන බෲටස් පිස්සෙක්ය කියන්නට ඔහු උත්සාහ කළා.


ට්‍රොට්ස්කිවාදයේ සිට ගොර්බචොෆ් ගේ පෙරෙස්ට්‍රොයිකා දක්වා සියලු වමේ වාද මිනී පෙට්ටියක් මත දුරු වුණා. ඒ අතර, රටේ ප්‍රධාන සිනමා ශාලාවල "ඔබටයි ප්‍රියේ ආදරේ" ප්‍රදර්ශනය වෙමින් පැවතුනා.

නවසිය හැට අටේ සිට අසූ අට දක්වා පෙන්නපු චිත්‍රපට 88ක විජය රඟපෑවා. ඉන් 18ක් හොඳයි කියන්නට පුළුවන් චිත්‍රපට. මෙයින් 8ක් අපේ රටේ හැටියට හුඟාක් හොඳ චිත්‍රපට. ඔහුගෙන් සිනමාවට සිද්ද වෙච්ච සම්මාදම මේ අටට සීමා කරනවාද? අනික් දහයත් එක්ක ගණන් ගන්නවාද? නැත්නම් ඔහුගේ සැබෑ සම්මාදම තිබුණේ අර ඉතිරි හැත්තෑවේද? ඔහු නැවත ජනප්‍රිය නළුවා බවට පත් කළේ අර හැත්තෑවයි. ඔහුට දේශපාලන වේදිකාවට මග පෑදුවේ අර හැත්තෑවයි. ඉතින් විජය මනින මිනුම් දණ්ඩ ඒකද?

එක පැත්තකින් ජාතිවාදය උග්‍රව ඇවිස්සෙද්දි අනෙක් පැත්තෙන් ඔහු දෙමළ කොටස් සමග සමගි සන්ධාන ඇති කර ගත්තත් ඔහු ගේ ජනප්‍රියත්වයට ඒවා බලපාන්නට හේතුව කුමක්ද? ඔහුගේ ආගම් පසුබිම ගැන, කුලගොත් පසුබිම ගැන මිනිසුන් ප්‍රශන නාහන්නට හේතුව කුමක්ද? අර චිත්‍රපට හැත්තෑවද?


විජයගේ මෙම කැරිස්මාවේ හේතුව දකින්නට පුළුවන් අර චිත්‍රපට හැත්තෑව තුළ නම්, විජය පිළිබඳ හොඳම අධ්‍යනය වන්නේ ඒ චිත්‍රපට හැදෑරීමයි; ඒවායේ තේමා, දෙබස් ආදිය හැදෑරීමයි; ඒවායේ හිඟාකන ධනපාලලාගේ, මෝඩ ඥාණපාලලාගේ, දුෂ්ට ගුණපාලලාගේ අනෙක් චරිත හැදෑරීමයි. එය අප රටේ වර්තමාන සමාජ මනස පිළිබඳ ඉතා වැදගත් අධ්‍යනයක් වනවාට සැක නැහැ. විජය කැරිස්මාව හැදෑරීම අපේ රටේ වර්තමාන දේශපාලන, සාමාජික, සංස්කෘතික හා මානසික තත්ත්වයක් පිළිබඳ හැදෑරීමක්. ඒ කැඩපතෙන් අපිත් මූණ බලමුද?

(-චිචිත්‍ර රේඛා 1988.06.25 කලාපයේ පළ වූ මෙම ලිපිය අප උපුටා ගත්තේ සිනෙසිත් 1992/අංක 22 කලාපයෙන්.)


සිරිල් බී. පෙරේරා

පසු සටහනක්-
සිරිල් බී. පෙරේරා මෙරට සිනමා විචාරක සම්ප්‍රදායක් බිහිකිරීමෙහි ලා පුරෝගාමී කර්තව්‍යයක් ඉටු කළ ලේඛකයෙක්; පුවත්පත් කලාවේදියෙක්. 1950 දශකයේ සිට 1992 ජනවාරියේ සමුගන්නා තෙක්ම සිබීරා හෙවත් සිරිල් බී පෙරේරා, සිය බුද්ධිමය දායකත්වයෙන් සාහිත්‍ය කලා ක්ෂේත්‍ර ගණනාවක් පෝෂණය කළේය. විජය කුමාරණතුංග සමුගත් වසරේ ලියැවුණු ඉහත උද්ධෘතය සිබීරාගේ සුගම බස් වහරත්, වෙසෙස් දෘෂ්ටියත් පිළිබිඹු කරයි. මෙරට සිනමාවේ මුල් බිම් සොයා වෙහෙසෙන ඕනෑම සහෘදයෙකුට සිබීරාත් ඔහුගේ විචාර සම්ප්‍රදායත් යනු මග හැර යා නොහැකි මං සලකුණකි.

සිරිල් බී. පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සම්මානලාභී වේදිකා නළුවෙකු, ටෙලි නාට්‍ය නළුවෙකු, හඬ කැවීම් ශිල්පියෙකු සහ විටෙක නාට්‍ය ගුරුවරයෙකු වූ සරත් කරුණාරත්න වේදිකාවට පිවිසෙන්නේ පාසල් වේදිකාවෙනි. පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයෙන් උසස් පෙළට නාට්‍ය හදාරණ ඔහුට වෘත්තීය රංගන ශිල්පියෙකු වීමට අඩිතාලම වැටෙන්නේ ජාතික කරුණ සේවා සභාවේ නාට්‍ය පාසලෙනි. 2006 යෞවන සම්මාන උළෙලේ දී කෝච්චිය එනකං කෙටි නාට්‍යයේ රංඟනය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගන්නා ඔහු 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී කෙටි නාට්‍ය සඳහා වන හොඳම නළුවා සම්මානය ලබා ගන්නේ බොක්ස් වේදිකා නාට්‍යය වෙනුවෙනි. කළම්බෝ කළම්බෝ නාට්‍යයේ කරන ලද ඔහුගේ රංගනය සුවිශේෂී එකකි. මේ කතාබහ 'සරා' සමගයි.

බූන්දි- දැනට කලාව ගැන තියෙන සංවාදය නූතනවාදයෙනුත් ඔබ්බට ගිහින් පශ්චාත් නූතනවාදී තැනක තියෙන්නේ. Art (කලාව) කියල ඔබ අඳුනගන්නෙ මොකක්ද?

සරා- මට මූලිකව කියන්න තියෙන්නෙ කලාව කියන එකේ තියෙන්න ඕන දෙයක් තමයි බලන හෝ අහන කෙනාට මුලින්ම ඒක දැනෙන්න ඕන කියන කාරණාව. ඇහැ නම් ඇහැ හෝ කන නම් කන අල්ලන්න ඕනෙ. මුලින්ම ඒ රසය විඳල ඊට පස්සෙ ඒ මොකක්ද මේ කියල බැලීමක් තමා ඒකෙන් වෙන්නෙ. උදාහරණයක් ලෙස වේදිකා නාට්‍යයක් ගත්තොත් පෙළ කොච්චර බැරෑරුම් වුනත් අත්‍යාවශ්‍ය වුනත් බර වුනත් වැඩක් නෑ සහෘදයා ඒකත් එක්ක ඒකාත්මික වෙන්නෙ නැත්නම්. එහෙම ප්‍රේක්ෂකයව අල්ල ගත්ත තැන ඉඳල තමයි කරන්න ඕනෙ සංවාදය හදාගන්න තියෙන්නෙ. මගේ අදහස ඒකයි. කලාවේ ලස්සන හෝ කැත තුළින් අසන්නා හෝ බලන්නා අල්ලගෙන ඉන්න ඕනෙ. ඉන් පස්සෙ තමයි අනෙක් දේවල්. එතන තමයි Art හැදෙන්නෙ කියල මම හිතන්නෙ.

අනෙක කලාව පශ්චාත් නූතන තත්ත්වයන්ගෙන් වියුක්ත කරන්න බෑ. ඕනෑම කලා කෘතියක පශ්චාත් නූතන ලක්ෂණ අඩංගු විය හැකි යි. කලාකරුවාට අසු නො වෙන පශ්චාත් නූතන තත්ත්වයන් විචාරකයට අසුවිය හැකි යි. උදාහරණයක් විදිහට කුන්දේරා සහ මාර්කේස් යන අයගෙ කෘති බැලුවොත් ඒවයේ ඇති මේ ලක්ෂණ විචාරකයින් විසින් පසුව හඳුන ගත්තා. මේ සංවාදය තුළින් මතුවෙන, ‘සියල්ල කඩා බිඳ දමා නැවත අලුතින් ගොඩ නැගීම’ කියන අදහසට මම කැමතියි. නමුත් ඒ තුළින් විතරක් කලා කෘතියක් රස විඳිම පිළිබඳ මට ගැටළුවක් තියෙනවා. සමහරවිට මම නාට්‍යයක්, ඡායාරූපයක් ඉස්සර වගේම පරණ විදිහටම රස විඳිනවා ඇති. නමුත් මොන පදනමින් කළත් කෘතිය සහෘදයා සමඟ ඒකාත්මික නො වුණොත් ඒක ගැටළුවක්.

බූන්දි- අපි නාට්‍යවල විවිධ ශෛලීන් සම්ප්‍රදායයන් සහ යුගයන් පහු කරල තියෙනවා. සරා කැමති ශෛලියක් සම්ප්‍රදායයක් තියෙනවද?

සරා- නෑ. එහෙම ශෛලියකට වැටිල නෑ. නමුත් මම ආස කරන සහ විශ්වාස කරන දෙය තමයි තියටර් එකේ තියෙන මැජික් එක ප්‍රයෝජනයට ගන්න ඕනෙ කියන එක. ඒක හසුකරගන්න හරි අමාරු දෙයක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මැජික් එකක්. ඒ තුළින් අපිට අලුත් තියටර් අත්දැකීමක් දෙන්න පුළුවන් නම් මම හිතනව එතන ඩ්‍රාමා තියෙනව කියල. ඒක ‍මියුසික්වලින් ද පෙළ ඇතුළින් ද මොකෙන්ද කියල කියන්න බෑ. ඕනම ඩ්‍රාමා එකක් - උදාහරණයක් හැටියට බලන් ඉන්න අමාරුයි කියල සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන ඉබ්සන්ගේ නාට්‍යයක් වුණත් නූතන තැනකට ගෙනත් වෙන විදිහකින් ඉදිරිපත් කළ හැකි නම් මම විශ්වාස කරන ආට් එක තියෙන්නෙ එතන. කළම්බෝ වලට මම ගොඩක් කැමති වෙන්නෙ අන්න ඒ හේතුවත් එක්ක. මොකද ෆර්ඩි අයියා (ඉන්දික ෆර්ඩිනැන්ඩු) කළම්බෝවල දි (Colombo Colombo) ඒ මැජික් එක ගොඩක් පාවිච්චි කළා. අලුත් වේදිකාමය අත්දැකීමක් දෙන්න හැකිනම් ඒක තමයි වැඩේ.


Colombo Colombo


බූන්දි- Colombo Colombo (කළම්බෝ කළම්බෝ) කියන්නෙ ප්‍රේක්ෂකයාව දැඩිව ග්‍රහණය කරපු හොලවපු වෙනස් නාට්‍යයක්. කළම්බො වෙනස් වෙන්නෙ මේ මැජික් එක හසුකරගන්නව කියන එකෙන් විතර ද? වෙන හේතු තියෙනව ද?

සරා- ඔව්. ඒ කියපු දේට අමතරව ෆර්ඩි අයියගේ පිටපත ඉතාම ප්‍රබලයි සහ හැම දෙබසක් ම කාව්‍යාත්මක යි. හරියට හොඳ පොතක් කියෙව්වා වගේ. පුදුම ගලා යාමක් හා සෞන්දර්යයක් තිබුණා. ඊළඟට පියල් කාරියවසම් ගේ ගීතවල වචන. ඒවා ඇතුළෙත් අර මැජික් එක තියෙනවා. ඊළඟට තේමාව. ඒ නාට්‍යය ගත්තම කියන්න බෑ ඒකෙ තේමාව මොකක්ද කියලා. කෙනෙකුට කියන්න පුලුවන් මේක ලාංකේය කාන්තාව ගැන කතා කරනව කියලා. නෑ... තව වෙලාවකට love ගැන කියන්න පුලුවන්... නෑ. නැත්නම් දේශපාලනය ගැන ද? නෑ... නැත්නම් ලංකාවේ වයසක පිරිමින්ට වෙන දේ ද කතා කරන්නෙ? නෑ. හැබැයි ඒ සියල්ල ම නැත්තෙත් නෑ. ඒ සියල්ලමත් තියෙනවා. කොළඹ ඇතුළෙ තියෙන මේ ගූඪ සංස්කෘතියත් තියෙනවා. සියල්ලම කතා කරන එක ‘රංගයක්’. ඒ නිසයි ඒක සාර්ථක වෙන්නෙ. ඒ වගේම ෆර්ඩි කියන්නෙ ඔතනට එන්න කලින් වේදිකාව මත විවිධ පර්යේෂණ කරපු මිනිහෙක්. "නහය නැති මිනිහා" වැනි විවිධ නිර්මාණ ඔහු කළා. ඒවා මට අනුව නම් අසාර්ථකයි. නමුත් ඒ සියල්ල තුළ පර්යේෂණාත්මක ලක්ෂණ තිබුණා. ඇතැම් නාට්‍යවල ඔහු දේශීය බෙර පවා යොදා ගත්තා. මේ සියලු උත්සහයන්ගේ ප්‍රතිඵලය තමයි කළම්බෝවල සාර්ථකත්වය. මොකද ඊට පස්සෙ එයා දැනගන්නවා කලින් වුණු අඩුපාඩු. කළම්බෝ සංගීතය විවිධ සංගීත ශෛලීන් යොදා ගනිමින් සහ විටෙක අපේම වන දෙයක් වෙන්නෙ ඒ නිසා. ඒ පර්යේෂණයට මම ආසයි.

බූන්දි- කළම්බෝ සමග ඔබේ අත්දැකීම කොහොමද?

සරා- ෆර්ඩි අයියා එක්ක වැඩ කරද්දි සමහර දෙබස් ගීත වුණා සහ අපිට මුලින්ම ඒ දෙබස කියන්න හිතෙන විදිහ ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කියල බැලුවා. ඒහෙම බලද්දි ඒක හොඳම විදිහට ජවනිකාවට ගැළපුණා. අන්න එහෙම ලොකු වැඩමුළුවක්. ඒ අර්ථයෙනුත් මම ඒකට කැමතියි. තියටර් එකේ එහෙම වැඩ කරන්න තියෙනව නම් නළුවො විදිහට අපිටත් ඒක ලොකු අත්දැකීමක්. නැත්නම් මොකක් හරි පිටපතක් අරගෙන කියවල ඒකෙ තියෙන අදහස රඟපානවනම් ඒක අපිට විශේෂ අත්දැකීමක් වෙන්නෙත් නෑ. ප්‍රේක්ෂකයට අලුත් දෙයක් යන්නෙත් නෑ. මේකෙ එහෙම නෑ. අපිත් හොයමින් යන අය, ෆර්ඩිත් හොයනවා. අනෙක් අතට සෞම්‍ය අයියත් ඒ වගේම තියටර් ගැන හොයන කෙනෙක්. ඉතිං ඒක හොඳ එකමුතුවක් වුණා.

බූන්දි- ටෙලි නාට්‍යය කරා යන ගමනේ නවාතැනක් ලෙස නොසළකා, හොඳ වේදිකා නළුවෙක් වීමට නම් සැපිරිය යුතු දේවල් හැටියට ඔබ දකින්නෙ මොනවද?

සරා- අභ්‍යාසයෙන් ලබා ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. තාක්ෂණික පැත්තෙන් ගත්තොත් හඬ පාලනය කිරීම, relax වීම, රංගනය ප්‍රසාරණය කළ යුතු සීමාවන් දැන ගැනීම. අනෙක් දේ වැඩමුළු. කොචචර නළුවෙක් වුනත් කලින් කලට වැඩමුළු ඕනෙ. පුහුණුව අවශ්‍යයි. ලොකු දරා ගැනීමේ ශක්තියකුත් ඕනෙ වෙනවා. ජීවිතයේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඒ ප්‍රශ්න වෙදිකාවට නොගෙන චරිතය රඟපෑමේ වගකීම ඔහුට හෝ ඇයට තියෙනවා.

බූන්දි- ඔබ රඟපෑම හැර සම්බන්ධවෙන ඕනෑම නාට්‍යයක නිෂ්පාදනයක් ලෙස සාර්ථක කරගැනීමට ඔබේ දායකත්වය දෙනවා. ඔබ හොඳම නළුවා සම්මානයට පාත්‍ර කළ බොක්ස් කෙටි නාට්‍යයේ ඔබ රඟපාපු අමුතු චරිතය ගැන මොකද හිතන්නෙ?

සරා- නාට්‍යයක් කියන්නෙ සාමූහික වැඩක්. ඒ නිසාම අපි අපි කරන සාකච්ඡා ආදිය තුළින් නාට්‍යය වැඩෙනවා. ඒක හැම නාට්‍යයකම වෙනවා. මේ චරිතය මට ලැබුණෙ යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් කරන නාට්‍යවලට අවුරුදු තිස්පහට ට වැඩි අයට දාන්න බැරි නිසා. චාලක මාව ගන්න ඇත්තෙත් ඒ නිසා. ඇත්තම කියනවනම් මුලින්ම කියවද්දි මට පිටපත හිතට ඇල්ලුවෙ නෑ. ඒකෙ බරක් තියෙනව කියල දැනුනෙ නෑ. නමුත් ආයි ආයි කියවද්දි මේකෙ කියන දේට එහා දෙයක් තියෙනව යට කතාවක් තියෙනව කියල මට හිතුණා. මම නැවත චාලක එක්ක කතා කළාම ඒ වෙනස් කිරීමට චාලක එකඟ වුණා. චාලක ගෙන්ම ඒක වැඩුණා. එයා මම එක යෝජනාවක් කරද්දි එයා ඒක දහස් ගුණයකින් වැඩි දියුණු කළා. නැත්නම් මම ඒක නො කරන්නයි හිටියෙ. චරිතයක් විදිහට ගත්තම මට ආසාවත් බයක් දෙකම තිබුණා. මොකද ඉන්න වයසට අඩු හෝ වැඩි චරිතයක් රඟපාද්දි ප්‍රවේශම් වෙන්න ඕනෙ. පොඩි ළමයෙකුගෙ චරිතයක් කරන්න ලැබිල නියම විදිහට නො කළොත් ඒක විකෘති වැඩක් වෙනවා. වයසක චරිතයක් වුනත් ඒ වගේ. මම දන්නෙ නෑ මම ඒක කොයි තරම් හොඳට කළා ද කියලා. නමුත් මම පුහුණු වුණේ මගේ වයසට යාමේ සීමාව සහ තියටර් එකේ කොහොමද ඒක පාවිච්චි කරන්නෙ කියන එක. ඒකට මට මගේ පුරුදු වෙනස් කරගන්න වුණා. මම මාස හයක් කළම්බෝ පුහුණුවීම් කරලා, රඟපාලා ඒකෙන් හැදුණු පුරුදු වලට ඇබ්බැහි වෙලා හිටියෙ. අනෙක් කොටස මගේ පුද්ගලික පුරුදු. පුළුවන් තරම් relax වෙන එක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. මොකද සාමාන්‍යයෙන් වයසක චරිත කරන්න ගියාම වයස ඇඟට ගන්න ගිහින් අමාරුවෙ වැටෙනවා. අපි එහෙම ඒව දැකල තියෙනව. මම පුලුවන් තරම් සරල තැන්වලින් චරිතෙට ඇතුළු වුණා. ඒකත් එක්ක චාලකගෙන් සහ මා එක්ක රඟපාපු අනෙක් නිළියගෙන් ලැබුණු සහයෝගයත් එකතු වුණාම හැමදේම සාර්ථක වුණා. මමත් නොහිතපු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.

බූන්දි- මේ මොහොත තුළ හොඳ වේදිකා නාට්‍ය බිහිවෙනවද?

සරා- ඔව් හොඳ නාට්‍ය කීපයක් ම හැදුණා එක දිගට. කළම්බෝ කළම්බෝ, ග්ලැඩියේටර් ප්‍රේමය, දොළහක් වැනි නාට්‍ය තුළ ගොඩක් ඉස්සරහ පිම්මක් තිබුණා. සාමාන්‍යයෙන් ගත්තොත් කලාව ඉස්සරහට යමින් තියෙනවා.

බූන්දි- වත්මන් වේදිකා නාට්‍යකරුවා ගැන ඔබේ අදහස මොකක්ද? ඔවුන් දායක වන හෝ නිර්මාණය කරන වේදිකා නාට්‍යවලින් දෙන ප්‍රබල සාමාජයීය සහ දේශපාලනික පණිවුඩ නිර්මාණකරුවාගේ සැබෑ භාවිතය තුළ දියවෙලා යනවා කියල චෝදනාවක් තියෙනවා.

සරා- අර කියන විදිහට දේශපාලනිකව විසංවාදී ව හැසිරෙන්න සිදුවීම නො වැළැක්විය හැකි දෙයක් වෙලා. අපිට වැඩ කරන්න සිදු වෙන්නෙ විවිධ වෙනස් අදහස් දරන අය එක්ක. ඒක කොන්දේසි විරහිතව කරන්න සිද්ධ වෙනවා. නළුවන්ටත් මේක පොදුයි. එහෙම නොකළොත් පැවැත්මක් නෑ. ඩබ්. ජයසිරි ‘නැගෙනහිර වෙරළින් ඇසෙන’ චිත්‍රපටයේ කතා කරන මාතෘකාවට හාත්පසින් වෙනස් චරිතයක් ‘ගාමණි’ චිත්‍රපටයේ කරනවා. තමන් විශ්වාස කරන දේශපාලනය රැගත් නිර්මාණවල පමණක් රඟපාන්න බැරි අවස්ථාවල් එන්න පුළුවන්. නමුත් මේක සාපේක්ෂයි. අධ්‍යක්ෂවරයාට ත් ඒකම වෙනවා. දක්ෂතාවය බලල නළු නිළියො ගනිද්දි තමන්ගෙ දේශපාලන ආස්ථානයට ප්‍රතිවිරුද්ධ අදහස් දරණ අය එක්ක වැඩ කරන්න වෙනවා. අභ්‍යන්තර ගැටළු තියාගෙන තමයි සමහර නාට්‍ය එළියට එන්නෙ.

බූන්දි- පවතින ක්‍රමය දැඩිව විවේචනය කරන නාට්‍යයකට ඒ අවුරුද්දෙ රාජ්‍ය නාට්‍ය උළෙලෙ දි එම නාට්‍යය විසින් විවේචිත පීඩක ක්‍රමය විසින් ම සම්මානයක් දෙනවා. සම්මානවලින් සංවාදය ඉවර කරනවා නේද?

සරා- මට හිතෙන්නෙ මෙහෙමයි. විනිශ්චය මණ්ඩලයට ඒ නාට්‍යයට ඒ සම්මානය නොදී බැරි වෙනවා. ඉතිං එයාලා ඒ සම්මානය දෙනවා. සංවාදය තියෙන්නෙ නාට්‍යකරුවා හෝ විනිශ්චය මණ්ඩලය අතේ නෙවෙයි. විචාරකයා අත. කිසියම් විචාරයක් කළත් බොහෝවිට කරන්නේ තාක්ෂණික පැත්ත ගැන විතරයි- සංවාදය වැහිල යනවා. ප්‍රේක්ෂකයාට මේ තාක්ෂණික කාරණා අදාළ නෑ. ඔවුන්ට වැදගත් වෙන්නෙ නිර්මාණයෙන් ලැබෙන කම්පනය විතරයි. ප්‍රබල විචාර දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. ප්‍රේක්ෂකයා බලන්න එද්දි දන්නෙ නෑ නාට්‍යය හොඳ ද නරකද කියල. සම්මාන ලැබුණා හෝ නැතා එතනින් එහාට ගෙන යාමේ වගකීම තියෙන්නෙ විචාරකයට. නමුත් ලංකාවේ ඒක සිද්ධවෙන්නෙ හරි අඩුවෙන්.

බූන්දි- වේදිකා නාට්‍යකට කොළඹින් එහාට මිනිස්සු අතරට යන්න තියෙන ඉඩකඩ අඩුයි නේද? මුල්‍යමය හේතු හැර මේකට වෙනත් හේතු තියෙනවද?

සරා- තියෙනවා. දයානන්ද ගුණවර්ධන මහත්තයා ජයලත් මනෝරත්න මහත්තයා වැනි අය නාට්‍ය කරද්දි ඒවා ගමට ගියා. ඒවා වෙනුවෙන් හැදුණු ප්‍රේක්ෂකයින් හිටියා. ගමේ ම සංවිධාකයන් හිටියා. ඒ යුගය අපි නාට්‍ය බලන්න ගනිද්දිත් ඉවර වෙලයි තිබුණෙ. ඉන්පසු එක් යුගයක් ආවා විවිධ හේතු නිසා වේදිකා නාට්‍ය කඩන් වැටුණු. එතැනින් ගම සහ නාට්‍යකරුවා අතර සම්බන්ධය කැඩුණා. නමුත් මනෝරත්න මහත්තයට මේක වෙන්නෙ නෑ. මොකද ඔහුට හැදුණු රසික පිරිස සහ සංවිධයකයින් අතර සබඳතාව තාම තියෙනවා. ඔහුට අදටත් කමතක් හරි තියෙනවා. නමුත් අලුත් නාට්‍යකාරයෙකුට මේ සබඳතා නෑ. එතනයි රික්තකය තියෙන්නෙ. අනෙක් කාරණය තමයි ටෙලි නාට්‍යවලට පුරුදු වුණ ප්‍රේක්ෂකයා නාට්‍යවල හොයන්නෙත් පුරුදු මූණු. ඉතිං අපි නාට්‍යයක් පෙන්නන්න සංවිධායකයෙකුට කතා කරද්දි එයාල අහන්නෙ "කවුද ඉන්න ස්ටාර්ස්ලා" කියලා. ඒ ස්ටාර්ස්ලා නිර්වචනය කළොත් අඩුගාණේ සෞම්‍ය ලියනගේවත් ‘ස්ටාර්’ කෙනෙක් නෙවෙයි. ඒක සංවිධායකයගෙ වරදකුත් නෙවෙයි. ඔහුට විකුණගන්න පුළුවන් දේනෙ ඔහු හොයන්නෙ. ඔහු ඒක කරන්නෙ ඔහුගෙ පැවැත්ම වෙනුවෙන්.

බූන්දි- මේකට මිනිසුන්ගෙ සමාජයීය දේශපාලනික පරිසරය වගේම රසඥතාවත් බලපානවා නේද?

සරා- ඔව් ඇත්තටම. අපට එවැනි අත්දැකීම් තියෙනවා. 2007 හොඳම නාට්‍යය වුණ ‘හයිනා’ නාට්‍යය ගමට ගෙනිච්චම ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කළා. ඒක ඔවුන්ට දරා ගන්න බැරි වුණා.

බූන්දි- කලා නිර්මාණවලට විශේෂයෙන්ම වේදිකා නාට්‍යවලට මිනිසා වෙනස් කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

සරා- ඔව්. අනිවාර්යයෙන්ම! වේදිකා නාට්‍ය තුළ රැඳී සිටින්න මට ඒකත් එක හේතුවක්. තියටර් එකෙන් දෙන කම්පනය වැනි කම්පනයක් වෙන කිසිම කලා මාධ්‍යයකින් දෙන්න බෑ කියල මම තරයේ විශ්වාස කරනවා. ඒක මම ප්‍රේක්ෂකයෙක් හැටියටත් නාට්‍යයක් ඉවර වෙලා සහෘදයා වේදිකාව මතට ඇවිල්ලා ඍජුවම දක්වන ප්‍රතිචාරය අත්විඳින නළුවෙක් ලෙසත් අත්දකිනවා. මනුස්සයෙක් වෙනස් කරන්න පුළුවන් හොඳම කලා භාවිතය තමයි වේදිකාව. ඒකෙ තියෙන සජීවි බව, ඒ කියන්නෙ ඒ වෙලාවෙ එතනට ඇවිත් සජීවීව බලන්න පුළුවන් කියන එකම නෙවෙයි. අවට පරිසරය එක පාරට කලුවර කරලා, එක තැනකට හිර කරලා, එක පැත්තක් විතරක් එළිය කරලා, අපට එක පැත්තක් විතරක් බලන්න බල කරලා එතැනින් එහාට අරන් යන චාරිකාව කියන්නෙ සජීවීව මනුස්සයෙක්ව වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒක ට අඩු වැඩි වශයෙන් නාට්‍යයේ සාර්ථකත්වය බලපානවා. නමුත් තර්ඩ් බෙල් එකෙන් පස්සෙ ප්‍රේක්ෂකයාට ඒ දෙන අත්දැකීම සුවිශේෂී එකක්. එක ම නාට්‍යය වුණත් දෙවරක් බලන්න බෑ. ප්‍රේක්ෂකයා ඒ මොහොතේ දක්වන ප්‍රතිචාරය එක්ක නාට්‍යය වෙනස් වෙනවා. ඒක වැරදියට ගන්න එපා. ඒකෙ තේරුම ප්‍රේක්ෂකයා හිනාවෙනකොට ඔහුව තවත් හිනස්සන්න දේවල් අපි විහිළුකාරයො වෙනවා කියන එක නෙවෙයි. ඒක වැරදියි. සමහරවිට හිනාවෙන්න විවේකය දීගෙන ඉන්න වෙනවා තප්පර දහයක් පහළොවක් ඊළඟ දෙබස කියන්න. නමුත් ඒ කාලය තුළ අපිට ඒ චරිතයෙන් මිදෙන්නත් බෑ. ඒ තුළ අපි ජීවත් වෙන්නත් ඕනේ. ඉතිං නාට්‍යය කියන්නේ ප්‍රේක්ෂකයවත් එක්කහු කරන් යන ගමනක්. ඒ දර්ශනය දවසින් දවස වෙනස් වෙන එකක්. ඒ සජීවී බව තුළ මිනිහෙක්ව වෙනස් කරන්න පුළුවන් හොඳම මෙවලමක් තමයි වේදිකා නාට්‍යය.

බූන්දි- කලාකරුවෙකුගේ කාර්යභාරය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

සරා- සැබෑ කලාකරුවා අනිවාර්යයෙන්ම මිනිසාව වෙනස් සමාජයක් කරා ගෙන යාමට සහ වෙනස් මිනිසෙක් බිහිකිරීමට කලාව කළ යුතුයි. නිර්මාණ බිහිවිය යුත්තෙත් ඒ අර්ථයෙන්. නමුත් එය කළ යුත්තේ කලාව මරල නෙවෙයි. ඒ තුළ නිරායාසයෙන්ම කලාවටමත් සේවයක් විය යුතුයි. කලාව මරල, කලාව යට කරල ඒක පරණ තැනක තියාගෙන මිනිස්සු හෝ සමාජය වෙනස් කිරීම සඳහා පමණක් නිර්මාණ කළොත් ඒක අසාර්ථකයි. තමන්ගෙ දැක්මේ ඉඳගෙන වෙනස් සමාජයක් හදන්න වෙනස් දියුණු කලාවක් යොදාගෙන වෙහෙස වෙනව නම් ඒක තමයි කලාකරුවෙකුගෙ කාර්යභාරය කියල මම හිතන්නෙ.

එක කාලයක් ලංකාවෙ Art වෙනස් වුණානෙ. සමහර කාල තිබුණ ලංකාවෙ වේදිකා නාට්‍ය කලාව ප්‍රේක්ෂකයාට ඉදිරියෙන් තිබුණා. ඒ නාට්‍ය ප්‍රේක්ෂකයාව රැ‍ගෙන ගියෙ නෑ. ඒහෙම වුණාම වෙන්නෙ උළෙලට ‘මාර’ නාට්‍යයක් කරනවා. ඉන් එහාට ප්‍රේක්ෂකයට යන්නෙ නෑ. ඔහු එතන නෑ. එහෙම කරල බෑ . ප්‍රේක්ෂකයා සමග තමයි මේ ගමන යන්න ඕනෙ. නිර්මාණකරුවා තියටර් එකේ අත්දැකීම් හෙව්වා. නමුත් ප්‍රේක්ෂකයා එක තැනක නැවතුණා.

බූන්දි- ප්‍රේක්ෂකයා එතැන නෑ කියල නිර්මාණකරුවා නිර්මාණය නො කර සිටිය යුතුද?

සරා- නැහැ. නමුත් නිර්මාණයක් පවතින්න නම් ප්‍රේක්ෂකයාත් ඇදගෙන යා යුතුයි. ප්‍රේක්ෂකයාත් වැඩෙනවා පියවරෙන් පියවර. එක තැන ඉන්නෙ නෑ. කලාකරුවන් එයාලව අරන් යා යුතුයි.

බූන්දි- අපි ටිකක් ටෙලි නාට්‍ය ගැන කතා කරමු. සරා ටෙලි නාට්‍යවල මෙගා ටෙලි නාට්‍යවලත් රඟපානවා. නමුත් වේදිකාව මත අපිව මවිත කරන ප්‍රතිභාන්විත රංඟන ශිල්පියා ටෙලි නාට්‍ය තුළ හමුවෙන්නෙ නෑ. ඒ හිඩැස හැදෙන්නෙ කොතනින්ද?

සරා- ඒක ටෙලි නාට්‍යවල වරදක්මත් කියන්න බෑ. මොකද ටෙලි නාට්‍යය කියන්නෙම සෝප් ඔපෙරා නෙ. ඒක හැදෙන්නෙ ගෘහණියන්ට උයන පිහන ගමන් බලන්න. ඉතිං ඒවයේ අපට ඉහළ මට්ටමක් බලාපොරොත්තු වෙන්න බෑ. එක කාලෙකදි ලංකාවෙ ටෙලි නාට්‍ය ලෝකෙ හැදුණු අනෙක් ටෙලි නාට්‍ය වලිනුත් එහාට යමින් වෙන කතිකාවක් හදමින් කලාත්මක බවක් නඩත්තු කරන තැනකට ආවා. ඒක නෑ කියන්න බෑ. ඒවයේ සිනමාත්මක ලක්ෂණ පවා තිබුණා. එච්චර වියදම් කළා. ඒකට මිලක් තිබුණා. මේ වෙනකොට ඒක ප්‍රාග්ධනය කියන සාධකය ත් එක්ක කඩන් වැටිලා නැවත ආපහු සාමාන්‍ය සෝප් ඔපෙරාව තමා රූපවාහිනියෙ දකින්න ලැබෙන්නෙ. අපි තවදුරටත් උසස් ගණයේ නිර්මාණ රූපවාහිනියේ දකින්න බලාපොරොත්තු වෙනව නම් ඒක හමුවෙන එකක් නෑ. කවුරුහරි සිනමා නිර්මාණයක් කරන්න තද ආසාවක් තියෙන කෙනෙක් පුහුණු වීමක් හැටියට හොඳ ටෙලි නාට්‍යයක් කළොත් ඇරෙන්න. නමුත් ඒකත් අවදානම් සහගත වැඩක්. මොකද එවැනි කලාත්මක දේවල් විකුණගන්න අමාරුයි. විකිණීම සඳහා සැපිරිය යුතු සාධක බැලුවම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප වෙනවා. අපිට ලැබෙන චරිතත් නිර්මාණත් ඒ වගේ. එයාල දන්නවා එයාලගේ ප්‍රේක්ෂකයා කවුද කියලා. ඒ අනුවයි නිර්මාණ බිහිවෙන්නෙ. ඉතිං ඒක ඇතුළෙ මම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. නළුවෙක් ලෙස ක්ෂේත්‍රයේ රැඳී ඉන්න මම මේක කරනවා. මට වෙන වෘත්තියක් කළ හැකියි. එහෙම කළොත් මම නළුවෙක් වෙන්නෙ නෑ. එහෙම කියල ලැබෙන හැමදේම කරන්නෙත් නෑ. මගේ සරල ජීවිතේට ගැළපෙන්න ටෙලි නාට්‍යකට දෙකකට සම්බන්ධ වෙනවා. මොකද ඒකත් එක්ක මට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඉඩ හැදෙන නිසා. මට කරන්න අවශ්‍ය දේ තියටර් එකේ කරන්න මම උත්සාහ ගන්නවා.


Colombo Colombo


බූන්දි- ඔබ මේ සියල්ලට අමතරව සංගීත කටයුත්තක ඉන්නව නේද?

සරා- මට සංගීතයේ ලොකු හැකියාවක් නෑ. තිලංක තමගේ සහ අපි කට්ටියක් එකතු වෙලා ‘Wanted’ කියන බෑන්ඩ් එක හදාගෙන තියෙන්නෙ. මම මට දැනෙන යම් දේවල් ලියලා තිලංකට දීලා කට්ටියත් එක්කත් කතා කරලා සංගීත සංයෝජනය කරනවා. ඒ එකක්වත් ශුද්ධ රාගධාරී හෝ හිපොප් හෝ රෙගේ වෙන්නෙ නෑ. මේ ඔක්කොම කලවම් ඒවා තමයි නිර්මාණය වෙන්නෙ. අපි මෙට්ල් දේවල් පාවිච්චි කරනවා. රෙගේත් තියෙනවා. අපට වෙන කිසිදු මාධ්‍යකින් ප්‍රකාශ කරගන්න බැරි වුණු දේ තමයි මේ කියන්නෙ. ඒක සමාජගත කරන්න පුළුවන් සීමාව ඇතුළෙ දේවල් කරනවා. මේවා මාධ්‍යවලට දෙන්න බෑ. මොකද මේවා එයාලගේ නිර්ණායකවලට එකඟ නෑ. අපි හදපු ‘කුඩුකාරයා’ ගීතය අපි රූපවාහිනී නාළිකාවකට දැම්මා. ඒක අත්හදා බැලීමක්. ඊට අමතරව අපි විශ්වාස කරන දේශපාලනය ගෑවිලාවත් තියෙන සමාජ ව්‍යාපාරයක් කතා කළොත් අපි ගිහිල්ලා මේ ගීත ඉදිරිපත් කරනවා.

බූන්දි- ඔබ තවමත් හදාරනවද?

සරා- ඔව්. නමුත් ඒකට තියෙන්නෙ සීමිත අවස්ථාවන් ටිකක්. පුළුවන් විදිහට වැඩමුළුවලට සහභාගී වෙනවා. චිත්‍රපටි බලනවා. නාට්‍ය බලනවා සහ වැඩ ඇතුළෙ හදාරනවා. වැඩමුළු වගේ දේවල් අඩුයි. සමහර නාට්‍ය නිෂ්පාදන අපි වැඩමුළු කරගන්නවා.

බූන්දි- ලංකාවේ කලාව ගැන මොකද හිතෙන්නෙ?

සරා- කලාව තවමත් නො කිළිටිව ඉතිරි වෙලා තියෙන්නෙ තියටර් එකේ විතරයි. ඒක වෙන්නෙ මුල්‍යමය සාධකයත් එක්ක මම හිතන්නෙ. හොඳ චිත්‍රපටි බිහිවෙන්නේ ඉතාම අතළොස්සයි. දැන් තියෙන්නේ ජාතික හැඟීම පුබුදුවන වීර කාව්‍ය පමණයි. සංගීතයත් එහෙමයි. වීඩියෝ අංශය යම් දුරකට හොඳයි. නමුත් ඒකත් කරන්නෙ කලාත්මක හැඟීමකින් නෙවෙයි. තනු නම් ගොඩක් ඒවා කොපි. වචන නම් ඇත්තෙම නෑ. වචන ශබ්ද කිරීමවත් ගණන් ගන්නෙ නෑ. ප්‍රවීණයෝ පවා තම කාර්යය අත්හැරලා. කවිවල නම් ප්‍රබෝධයක් දකිනවා. නාට්‍ය හෝ කවි සංවාදවල රස්තියාදු ගසමින් ඉන්න තරුණ පිරිසක් ඉන්නවා. ඒ අය හොඳ දේවල් කරන්න උත්සහ කරනවා.

බූන්දි- ඔබේ කලා දිවියේ පරිපාකය කුමක් විය යුතුද?

සරා- සරල ජීවිතයක් ගෙවමින් තියටර් එකේ වැඩක් කරමින් ජීවත් වෙන්න ඕනේ. මට දැනෙනවා ඒකෙ අපි අත නො ගහපු තැන් ගොඩක් තියෙනව කියල. ඒක ස්පර්ශ කරන්න මේ වෙලාවේ විවේකය සහ නිදහස අඩුයි. එහෙම සමාජ පරිසරයකුත් නෑ. එවැනි කලා කටයුත්තක් කිරීමට තරම් දියුණු නිදහස් සමාජයක් බිහිවේවා කියන එකයි මගේ ප්‍රාර්ථනාව.

බූන්දි වැඩ දෙපාර්තමේන්තුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රේමයේ දූ කෙළිය පැරදී
සියක් බිඳු දිය යුතුව තිබුණද
උපායෙන් මම නොදී සිටියෙමි

ජීවිතේ මග හසර වැරදී
හැපී උමතුව හැඬිය යුතු තැන
වැරෙන් සිර කර තබා ගත්තෙමි

මැදි රැයේ අග ඇලී වධ දෙන
ළසෝ උණුසුම තෙත් කරන්නට
එකදු බිඳුවක්වත් නොපෑවෙමි

මාවතේ වැළපෙන දුකක් දැක
සොච්චමක් දුන් නමුත් -කඳුළක්
දෙනෙත් යදියන් හට නොදුන්නෙමි

ඉබි සිතින් හාවුනගෙ අබිමන
දරා ආ මුත් දිනුම් කණුවට
සතුටු කඳුළක් මුදා නොහළෙමි

වසන්තෙක යළි දිනා දූ පෙත
සැරූවද සඳ නුරා පරතෙර
පෙඟුණු හැඟුමක් නෙතට නොගතිමි

මෙයාදී ලෙස වසර ගණනක්
ග්‍රීෂ්මය මැද ඉතිරි කර ගත්
කඳුළු පිරවූ පළිඟු බඳුනක්
තිබේ මා සිත් ගැබේ තවමත්

සිතේ සුදු තිර නෙතේ සුදු තිර
පසා කර එන ඊ ගහක් වන්
සෙනෙහසක් දෑතෙහි ස‍ඟෝගෙන
කැක්කුමක් දෙන දුම් රුවක් මෙන්
දිනෙක ගේ මැද දෙණක සැතපෙන
සොඳුරු මවගේ නිසල පා ළඟ
හැළේවා ඒ කඳුළු දවසක

සංසසෝබන පියඹ දැහැනෙහි
අසංසාරික මිහිර ගැල්වුණ
සිතුම් කැටියක් මිට මොලෝගෙන
දුරින් දිලිසෙන සිනා‍වක් වන්
පුතෙකු හෝ දියණියක නංවන
පළමු හැඬුමෙහි සිහිනි සර වැද
බි‍ඳේවා ඒ බඳුන දවසක

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැම මාළුවෙකුගෙ ම වරල ඇතුළෙ හංග ගත්ත පුංචි කෙටේරියක් තිබුණා. චූටි ම චූටි මාළු ළඟත් මොකාක් හරි උල් ආයුධයක් තිබුණා. කොරල්පර ඇතුළෙ ගෙවල්වලින් එළියට බහිද්දි හැමෝම අමතක නො කර තම තමන්ගෙ ආයුධ අරන් ගියා. ටික දවසක් යන කොට තේරුණා මේක හරිම මහන්සි වැඩක් කියලා. මොකද පීනනවට අමතරව තවත් බරක් වරල් ඇතුළෙ හංගාගෙන ඉන්න එකෙන් සමබරතාවය බි‍ඳෙනවා. මේ නිසා ම බොහොමයක් මාළුන්ව පීනන අතරතුර ගිලෙන අවධානමකට ලක් වුණා.

ඒත් ඒක එහෙමයි කියලා කාටවත් 'ලොකු මාළුව'ගෙ අණට පිටුපාන්න බැරි වුණා. හැම සෙනසුරාද ම රැස්වීමක් කැදවලා ගම්මානෙ ම ඉන්න මාළුන්ව දැනුවත් කරන එක ලොකු මාළුවගෙ ලොකු ම වගකීම. ඒත් ලොකු මාළුවගෙ බිරියට මේ අනතුර ගැන තඹ සතේක තැකීමක් තිබ්බෙ නෑ. ඈ හිටියෙ ස්වල්ප වශයෙන් උන්මාද තත්ත්වයක. වැඩි කාලයක් සිප්පි කටු ඔටුන්න දාගෙන ඉන්න කොට මේක කාටත් වෙනවා කියලා කවුරුත් දැනන් හිටියට ඒ තත්ත්වෙට මුහුණ දුන්නු ලොකු මාළුවගෙ බිරියට ඒක දැනුනෙවත් නෑ. ඉතිං හැමෝම කරනවා වාගෙ ගම්මානෙ ඔක්කෝම ඇගේ උන්මාදය නොසලකා හැරියා.

ඈට කවුරුත් කිව්වෙ මැඩම් කියලා. ඈට නම කියලා කතා කළේ ලොකු මාළුවා විතරයි.

'සමෑන්තා.... ඩාලිං... කෝ ඔයාගෙ වරල් සාලුව? අර නිල් පාටයි තැඹිලි පාටයි එක?'

'.. ඔය අල්මාරියෙ පහළ තට්ටුවෙ ඇති ඩාලිං.. ඔයාට මොකටද අනේ ඒක? 'මට අලුත් එකක් අරන් දෙන්නද?'
ඈ හිතුවෙ ඔන්න ඔය විදිහටයි.

ඈට උවමනා වුණේ ඔපෙරා ගායිකාවක් වෙන්න. ඈ නිතරම ස්වර අභ්‍යාස කළා. ඇමරිකන් අයිඩල් පවා බැලුවා. මාළුවෙකුට උරුම සංවේදනා සියල්ලම ඈ වෙන් කළේ ගායනය වෙනුවෙන්. සමහර වෙලාවට ඈ පීනන එකත් අතපසු කළා. කෙටේරියක් වරල් ඇතුළෙ හංගගෙන නො යන නිසා ඈව දියේ ගිලුණෙ නම් නෑ. ඒත් කල් යනකොට පීනන්න අතපසු කිරීම නිසා ඇගේ දකුණු පැත්තෙ වරලක් ටිකෙන් ටික අඩපණ වුණා. මුලු කාලෙම ගායනයට වැය කරපු නිසා ඈට මේ බව දැනුනෙවත් නෑ.

එදා සෙනසුරාදා. ලොකු මාළුවා ගම්මානෙ අමතන දවස. ලොකු අට්ටාලෙ උඩට නැඟ ගත්ත ලොකු මාළුවා තමන්ගෙ වම් වරල ඇතුළෙ හංගගෙන හිටපු විසාල කෙටේරිය කාටත් පේන්නත් එක්ක බිමින් තිබ්බා. ඊළඟට දකුණු වරල ඇතුළෙ තිබුණ මැෂින් ගන් එකත් හිමිහිට පැත්තකින් තිබ්බා. මුලු ගම්මානෙ ම මාළු ලොකු හුස්මක් උඩට අරගත්තා. කට කතාවක් විතරක් වෙච්ච මැෂින් ගන් එක තව දුරටත් රහසේ කතා කරන්න ඕන මාතෘකාවක් නො වුණෙ ඊට පස්සෙ.

ඇත්තම කියනවා නම් ලොකු මාළුවට ඕන වුණේ මේ මැෂින් ගන් එක කාටත් පෙන්නගන්න. සඳලුතලේ ඉදන් මේ දිහා බලන් හිටපු සමෑන්තට මැෂින් ගන් එක දැක්කම ඉහිලුම් නැතිව ගියා.

'.. අන්නේ... ඩගී.. හොරා.. ඔයා මට කිව්වෙවත් නෑ... '

ඈ ඉක්මනටම ලොකු මාළුවට කෙටි පණිවිඩයක් යැව්වා.

*******

ලොකු මාළුවා කතාව පටන් ගත්තා.

'... අපි අවුරුදු ගාණක් තිස්සෙ කෙටේරි වරල් ඇතුළෙ හංගගෙන පීනුවා. නිල් තීන්ත විදින බූවල්ලා අපෙන් පළිගන්නවා කියපු නිසයි අපි එහෙම කළේ.'

'.. ඒත් මේ සෙල්ලම දිගටම කරගෙන යන්න බෑ. අපේ ගම්මානෙ මාළුන්ගෙ බාගෙකම වරල් ඉරිලා යන්න පටන් අරන්.
මෙහෙම ගියොත් අපිට පීනන්න වරල් අලුතින් ගන්න වෙනවා. ගන්න වෙන්නෙ නිකං රබර් වරල්. ඒවා හරියට වැඩ කරනවද කියලා තාම කියන්නත් බෑ.'

'.. ඒ නිසා මින් ඉදිරියට අපි වරල් ඇතුළෙ කෙටේරි හංගගෙන යන එක නවත්තනවා...'
මුළු මාළු ගම්මානෙම තම වරල් එකතු කරමින් අත්පොළසන් දුන්නා. ඇතැම් ගැටවරයො විසිල් ගහන්නත් වුණා. ලොකු මාළුවා යළිත් කතා කරන්න පටන් ගත්තා.

'... මින් පස්සෙ කෙටේරි වෙනුවට හැමෝටම ෂොපින් බෑග් එක ගානෙ දෙනවා. නිල් තීන්ත විදින බූවල්ලා ප්‍රහාරයක් එල්ල කළොත් කාටත් තියෙන්නෙ ඔය ෂොපින් බෑග් එකට ඒ තීන්ත ටික පුරෝ ගන්න.'

'.. බූවල්ලා ඔහොම මෝඩයෙක් වගේ නිල් තීන්ත විදලා, විදලා තීන්ත ටික ඉවර කර ගත්තට පස්සෙ අපිට පුළුවන් අපේ සතුරාව දියේ ගිල්ලලා මරලා දාන්න..'

'.. අපේ ඊළඟ සැලසුම බූවල්ලව පුලුන් පුරෝලා ගම්මානෙ ඉස්සරහා වැටේ රඳෝලා තියන එක...'

සුපුරුදු විදිහට කවුරුත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වුණේ නෑ. ලොකු මාළුවා කිව්වොත් කියන්නෙ මෝඩ කතාවක් නිසා කවුරුත් සතුටු වුණේ නෑ ඒ විකල්පෙට.

මොකද විස විදින බූවල්ලගෙ නිල් තීන්ත එකතු කරන්න ෂොපින් බෑග්වලින් බැරි බව කවුරුත් දැනගෙන හිටියා.

මාළු ගම්මානෙන් බාගයක්වත් මේ තීරණය නිසා මැරෙන බව වැඩිහිටියො දැනගත්තා. ඒත් ලොකු මාළුවගෙ මැෂින් ගන් එක ගැන මතක් වෙන නිසා කවුරුත් ඊට විරුද්ධව කතා කළේ නෑ.

ලොකු මාළුවගෙ අතවැසියො මෝඩ හිනා පාමින් හැමෝටම ෂොපින් බෑග් බෙදා දුන්නා.

බාළ, මහලු සියල්ලම ෂොපින් බෑග් වරල් අතර හංගගෙන බොහොම තරහින් පීනන්න ගත්තා.

ඉරිදා බොහොම සාමකාමී දවසක්. පොළේ යන අය, පන්සල් යන අය, ක්‍රිකට් ගහන්න යන අය වගේම මාළු පැටවුන්ව පීනන්න පුරුදු කරන පන්තියට එක්ක යන අම්මලා, තාත්තලා බොහොම බැරෑරුම්ව එහේ මෙහේ යන්න පටන් ගත්තා. වෙනදට ඇහෙන සිනා කටහඬවල් අද නම් ඇහුනෙ නෑ. පොඩි මාළු නම් සුපුරුදු විදිහට කච, පච ගෑවා. කවුරුත් තමන්ගෙ වරල් කෙලවර බැදගෙන තිබුණු ඔරලෝසුවලින් වෙලාව බැලුව එක විතරයි කළේ.

හදිසියේම නගරෙ මැද්දට විසාල ලොරි වගයක් ආවා. ලොරිවලින් බැහැපු හැඩිදැඩි මාළු යුහුසුලුව බෆල් සීයක් විතර එළියට ගන්න වුණා. තවත් පිරිසක් ලහි, ලහියේ වයර් අදිමින් බෆල්වලට පණ දෙන්න කටයුතු කළා. ඒත් එක්කම තවත් කට්ටියක් යෝධ වේදිකාවක් ඉදිකරන්න පටන් ගත්තා. පැයක් වත් ගත වුණේ නැතිවම එතැන සුවිසාල වේදිකාවකුයි, ප්‍රේක්ෂකාගාරෙකුයි ඉදි වුණා. ත්‍රීවීල් එකකින් මාළු ගැටයෙක් නිවේදනයක් කරගෙන ගියා.

'.. ප්‍රකට ඔපෙරා ගායිකා සමෑන්තා සමඟ ආනන්දනීය රාත්‍රියක්.. අද රාත්‍රියේ ඈ සමඟ ගී ගැයීමට රිකී මාටින් මහතා සහ ශකීරා ද පැමිණෙනු ඇත.

ආසන සීමිතයි. වහා පැමිණ ඔබේ ටිකට්පත වෙන් කරවා ගන්න....'

ආයෙමත් පාරක් මුලු ගම්මානෙම මාළුන්ගෙ හුස්ම හිර වුණා. කවුරුත් විස්මයෙන් එකිනෙකා දිහා බලා ගත්තා.

'.. මේ වගේ බයානක වෙලාවක අර මළ ඉලව් ගෑනිගෙ සංගීත ප්‍රසංගයක් තියන්න? යකෝ මුන්ට අමු කැවිලද?
බූවල්ලා අපේ ගම්මානෙම නිල් තීන්තෙ ගිල්ලලා දාවි....'

වැඩිහිටියෙක් පළමු පාරට ලොකු මාළුවගෙ බිරියට විරුද්ධව කතා කළා. ගැහැනු අය තමන්ගෙ කටවල් අතින් වහගත්තෙ වචන එළියට පනීවි කියන බයට.

*******

රිකී මාටින් ආවෙ විසාල හෙලිකොප්ටරයකින්. ශකීරා ආවෙ සබ්මැරීන් එකකින්. මාළු තරුණ, තරුණියො සිංදු අහලා මළත් මොකෝ කියමින් තම තමන්ගෙ ළපටි වරල් ගායක, ගායිකා දෙපළට පෑවෙ සමරු අත්සන් ගන්න. බෑ නොකියා රිකී මාටින් තුඩ හීනි මාකර් පෑනකින් තමන්ගෙ අත්සන තරුණියන්ගෙ වරල්වල තැබුවා. තරුණයො පිස්සුවෙන් වගේ ශකීරා වටා රොක් වුණා. ඈ ටිකක් තුඩ මහත මාකර් පෑනකින් තරුණ වරල්වල සමරු සටහන් තිබ්බා. ඈ හිත ගත්ත මාළු ගැටවරයන්ගෙ වරල්වල වෝටර්පෲෆ් ලිප්ස්ටික් දෙතොලක් තබන්නත් අමතක කළේ නෑ.
ලොකු මාළුවා මාලිගාවෙ හිටියට හිත තිබ්බෙ බූවල්ලා ළඟ. මෝඩ කමට කෙටේරි ඕනා නෑ කිව්වට දවසක්, දෙකක් යද්දි වැඩේ බරපතලකම තේරුණා. බූවල්ලා එක්ක සාම සාකච්ඡාවකට යන්න තරම් ධෙර්යයක් ලොකු මාළුවට තිබුණේ නෑ. මාළු ගම්මානෙ බූවල්ලගෙන් බේර ගන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ. ඒත් මේ වෙන්න යන මරණීය සිද්ධිය වෙන කාගෙ හරි ඇගේ ගහලා බේරෙන්න ඕනා කියලා නම් ලොකු මාළුවගෙ මෝඩ මොළේට තේරුණා.

දැන් ප්‍රශ්න දෙකයි.

සමෑන්තගෙ මළ ඉලව් සංගීත ප්‍රසංගෙ නවත්තන්නත් බෑ.

බූවල්ලගෙ නිල් තීන්ත ප්‍රහාරෙන් ගම්මානෙ බේර ගන්නත් බෑ.

ඇතුළෙත් ගැට. පිටත් ගැට.

'බුම්... බුම්...'

සංගීත ප්‍රසංගෙ පටන් ගන්නයි ලෑස්තිය. ලොකු මාළුවා තමන්ගෙ හොඳම ඇඳුම ඇදගෙන මාලිගාවෙන් පිටත් වුණා.

මිස් කෝල් 75ක්, එස්. එම්. එස් 45ක්. ලොකු මාළුවා ජංගම දුරකතනෙ දිහා බලලා ආයෙ අහක බලා ගත්තා.

'... හ්ම්.. ඔය පේන්නෙ මළ ඉලව් සංගීත සංදර්ශනේ... මාටින් ද මොකාද වෙන්නැති අර හිටං ඉන්නෙ. එතකොට කෝ අර ලස්සන කෙළි පොඩිත්ත?'

'.. ඒක නම් දන්නෑ සර්...'

'... කට වහපං මාළුවො.. මං උඹෙන් ඇහුවෙ නෑ... මම තනියම කතා කළේ..'

ලොකු මාළුවා තමන්ගෙ දකුණු වරල පරෙස්සමින් වහ ගන්න ගමන් වාහනයෙන් බැස්සා.

'... මාටින්... මාටින්... ටින්.. ටින්... මාටින්...'
මාළු ගැටිස්සියො තාලෙකට කෑ ගහන්නෙ තම වරල් දෙපැත්තට වීසි කරමින්.

'.. ශකීරා... ශකීරා.. රා.... රා... ශකීරා...'
මාළු ගැටව් ඊට නොදෙවෙනි ලස්සන තාලෙකට කෑ ගහන්න වුණා. ලොකු මාළුවා හිස කසමින් විසාල වේදිකාව යට ඔහේ හිටගෙන හිටියා.

'ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්...'
මහා ගෝසාවක් ඇති කරමින් සංගීත ප්‍රසංගෙ පටන් ගත්තා. මුලින්ම ගී ගයන්න ගත්තෙ සමෑන්තා ඩග්ලස්. ඈ තරබාරු ශරීරෙ සොලවමින් වේදිකාවට ආවා.

ගෙල වටා දමාගෙන හිටපු දුහුල සාටකය ප්‍රේක්ෂකාගාරය වීසි කළා. කවුරුත් ඒ සලුව තමන්ගෙ ඇගේ වදීවි කියලා අහකට වුණා.

'.. බුම්... බුම්... '

ඈ ගිරිය යටින් ගී ගයන්න වුණා. මාටින් හිනා වෙමින් තමන්ගෙ අයි පෑඩ් එකෙන් වෙනත් ගීතයක් අහන්න ගත්තා. ශකීරාත් මොකාක්දෝ උපකරණයක් කනේ ලා ගත්තා.

ලොකු මාළුවා වේදිකාව උඩ පුටුවක වාඩිවෙලයි හිටියෙ. වම් වරලින් එක කණක් වහගත්ත ලොකු මාළුවා එකම නමක් කියමින් කෑ ගහන්න වුණා.

'.. සමෑන්තා... සමෑන්තා... ගෑනියේ... නවත්තපං ඔය උඩු බිරිල්ල.... සමෑන්තා....'

ප්‍රේක්ෂකාගාරයේ හිටපු මාළු රසවතුන් තමන්ගෙ වරල්වලින් කන් දෙකම වහගෙන වේදිකාව දිහා බලාගෙන හිටියා.
ඈ නොනවත්නාම ගැයුවා. මාටින් මායාකාර මදහසකින් ඈ දිහා බලාගෙන හිනැහුණා.

එක පාරටම නිල් පාට තීන්ත අහසින් වැටෙන්න ගත්තා. මාළු ප්‍රේක්ෂකාගාරය නිල් තීන්තෙන් වැහිලා ගියා.

'කොලා තමයි වැඩේ. බූවල්ලා තමයි. වෙන කවුද. නිල් තීන්ත විදින්නෙ බූවල්ලා තමයි. ෂොපින් බෑග් ගේපල්ලා.......
යකුනේ ෂොපින් බෑග් ගේපල්ලා. උඹලා මොකද ඔය ඔතන හැංගෙන්නෙ?.. '

ලොකු මාළුවා පිස්සුවෙන් වගේ ගෝරනාඩු කරන්න ගත්තා. අනිත් මාළු ඔක්කොම හිස් ලූ ලූ අත දුවන්න පටන් ගත්තා.

'..බූවල්ලා විස විදිනෝ... දුවපල්ල මාළුවනේ දුවපල්ලා.. ඔය ෂොපින් බෑග් වීසි කරපල්ලා...'

තප්පර දෙක, තුනකින් සංගීත ප්‍රසංගෙ තිබ්බ තැන මාළු ශූන්‍ය ප්‍රදේශයක් වුණා. මාටින් සහ ශකීරා විතරයි වේදිකාව උඩ ඉතිරි වුණේ.
සමෑන්තා වැලහින්නක් වාගේ මාලිගාවෙ කණුවක් බදාගෙන අඩනවා. හොටු හූරමින් අඩනවා. හතර පැත්තටම අත දික් කර කර මොනවාදෝ කියනවා.

ලොකු මාළුවා යක්ෂාවේස වෙලා මාලිගාව පුරා දුවනවා. ඔහුගෙ පස්සෙන් සේවකයො දුවනවා. ඊටත් පිටිපස්සෙන් ෂොපින් බෑග් ගත්තු අතවැසියො රාශියක් දුවනවා.

ලොකු මාළුවා දිවිල්ල පැත්තකින් තියලා ප්‍රිය බිරිය ළඟට ගියේ අඩි දෙකට.

'... ගෑනියේ .. නවත්තපං ඔය ඇඩිල්ල. උඹේ මළ ඉලව් සංගීත සංදර්ශනේ නිසා තමයි බූවල්ලා අපිට විස විද්දෙ.
මේං බලාපං මගේ ඇ‍ඟෙත් කෑලි හැලෙනවා. හැම තැනම ගෙඩි දාලා. ඉවසන්න බෑ කසනවා....'

'...මොන බූවල්ලද ඩගී? විස කිව්වෙ?...'

ඈ මේ දැන් උපන්නා වාගෙ ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

'.. අපෙන් පළිගන්න එන විස විදින බූවල්ලව ඔහේ දන්නෑ කියලද කියන්නෙ?'
ලොකු මාළුවා වරල් ගස්සමින් ඇගෙන් ඇහුවා.

'.. අනික ඔයාමනෙ මුලින්ම බූවල්ලව දැක්කෙ. ඔයානෙ කිව්වෙ ඌ විස විදිනවාය, ඒ විස නිල් පාටය... අරවා... මේවා...'

'විස... ? ? ? ? '
ඈ පුදුම වූ ගමන්ය.

හිස කසමින් කල්පනාවට වැටුණු සමෑන්තාට එක් වරම ලස්සන හිනාවක් ගියේ යමක් මතක් වූ සැටියෙනි.

'.. අනේ ඩාලිං... අර මම කාලෙකට කලින් කියාපු නිල් තීන්ත විදින බූවල්ලගෙ කතාවද?'

'... ඒක මම විහිලුවටනේ කිව්වෙ. ඔයා බය වෙනවද බලන්නයි මං ඒක කිව්වෙ..'

'... සොරි අනේ... මට ඒක බොරුවක් කියලා කියන්න අමතක වුණානෙ...'

'... වෙරි සොරි ඩාලිං...'

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails