Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඒ තුමාගෙ ගෝලයන්ට අපට වාගෙ නඩු වැටෙන්නෙ නෑ
නඩු වැටුනත් ඒ උදවිය කවදාවත් හිරේ යන්නෙ නෑ

දෙකට නමලා අරං යන්න- අරං ගිහිං දත් කඩන්න
බරට බරේ ගල් කඩන්න - පොල් ලෙලි වල කෙඳි අරින්න
ඒවා මොකුත් ඕනෙ වෙන්නෙ නෑ.....

බී තුමාගේ ගෝලයන්ට අපට වාගෙ නඩු වැටෙන්නෙ නෑ
නඩු වැටුනත් අපිට වගේ 'පාත්තරේ ඉරක් යන්නෙ' නෑ

යකඩ කන්න- ගස් බඳින්න - කුඩු ගේන්න- වෙඩි තියන්ඩ
වරෙන්තු පිට කඩේ යන්න- ටී.වී. වල දඟ කරන්න
ඕං ඉතිං නඩු වැටෙන්නෙ නෑ....

සී තුමාගේ ගෝලයන්ට අපට වාගෙ නඩු වැටෙන්නෙ නෑ
නඩු වැටුනත් 'පිප්පි පිප්පි' පොලීසියට ඇස් පේන්නෙ නෑ



ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් අත්අඩංගුවට ගත්තවුන් ත්‍රස්තවාදීන්ය. බූස්ස රැඳවුම් කඳවුර දෙවන වර විවෘත වූයේ දෙමළ විමුක්ති කොටින් හා ත්‍රසතවාදයට සැකකටයුතු පුද්ගලයින් රඳවා තැබීම පිණිසය. සතියකට එක් වරක් පමණක් සිරකරුවන් සිය ඥාතීන්ට ඉතා කෙටි කාලයක් තුළ බැලිය හැකිය. සිකුරාදා එම දිනයයි.]

සිකුරාදා
මහ සිකුරාදාවකි
රැඳවුම් කඳවුරට
බලාපොරොත්තු
දැල්වෙන දෑස්
සියුම් දෙකන්
වෝකි ටෝකි මෙසේජ් එකට
තම නම
කියැවෙතැයි අවදියෙන්

යති සතුටින්
එති වූ හැඟුම්
බර දුකින්
එල්ලාගෙන
බිස්කට් පැකැට්
බීම බෝතල්
නියම කළ
බූස්සේ කැන්ටිමෙන්

නින්දා අපහාස
තර්ජන ගර්ජන
විඳ දරා කැණහිලි
බිතු සිතුවම්
පිටු නොපෑ
මා පිය
බිරිඳ නෑයින්

කියන්නට තිබුණ දෑ අපමණ
අසන්නට තිබුන දෑ කොපමණ
වචනවලට වඩා
වැටෙන කඳුළ
ලොකුය භාෂාවට
ඊට ද වඩා
හිරකරගත් කඳුළ
නළියන මුහුණු
වළිකන හිත්
දඬුවම් විඳිති
හිරගෙයටත් වඩා.

-2009/අප්‍රේල් බූස්ස රැඳවුම් කඳවුරේදී

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දකින දකින පාර දිගේ
හදලා ෆිල්ම් හෝල් ඇතේ
ෆිල්ම් කියල නාමයක් නෑ ඕයි......!
සැලෝලයිඩ් බොරුව පුතේ
මහවංසෙත් අලුත් වෙතේ
මුං ඉතිහාසෙත් වෙනස් කරනව ඕයි.....!


විජය කුවේණි චිත්‍රපටය විලිසංගයක් නැතිව මේ දවස්වල ලංකාව පුරාම තිරගත වන්නේ ය. විජය හරි හොඳ ය. ඉතිහාසයේ විජය බොරුවක් ය. මේ තමා ඉන්දියාවෙන් මෙහේ ආව රියල් විජය. එයා හරිම හොඳ ය. ඒ රොජර් උන්නැහේ ය. ඒත් මෙයාට විලිසංගයක් නැත්තේ ය. කුවේණි නම් නරක ය. පිරිමි පහසක් නො ලැබූ පුදුම ඇරියස් සහිත ස්තිරියාවක ය. ආලිංගනයම පතා ගෝත්‍රය පාවා දෙන්නේ ය. ඒ නිසා කුවේණිය හරිම නෝටි ය. විජේ එයාව දේශපාලනිකව පාවිච්චි නො කරන්නේ ය. විජේ සහපිරිවරගේ ‍බස්වලට රැවටෙන බබෙක් ය. කුවේණිය එලවා ගන්නේ ඒක ය. නැතුව විජේ නරක නැති ය. එයා හැමදාමත් හොඳ ය. චිත්තරපටියේ කුවේණියට හොඳ වැඩේ ය. ඒත් විජේ මැරෙනතුරුත් කුවේණිය සිහි කරන්නේ ය. හරිම ෂෝක් ය. එයා එලෙව්වත් කුවේණිට ආදරේ ය. කුවේණි දුලානි අනුරාධා ය. මෙයාට ත් සංගයක් නැත්තේ ය. නැත්තං ඔය වගේ සංගයක් නැති එව්වයේ රඟපාන්නේ නැත්තේ ය. කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ ය. මෙයාලා සල්ලි පෙරේතයෝ ය. අන්තිමට විජේ ඇයම පතා බතුත් නො කා මියැදෙන්නේ ය. විජය ඒ තරම්ම හොඳ ය. දැන් අපිට හිතෙන්නේ ඉස්සර විජය කුවේණි කතාව ලියපු ඈයොන්ට පිස්සු කියා ය.

විජය කුවේණි චිත්‍රපටය අප කියවා ගත යුත්තේ කෙසේද? මේ තවත් එක් චිත්තරපටියක් පමණක් ම නොවන්නේ ය. මේ බූරු මොළේට ඒක නම් වැටහෙන්නේ ය. අබා ගෙන් පටන් අරං බබා පාට් එකෙන්ම මේ වැඩේ දිගටම කර ගෙන යන්නේ ය. පවතින අන්දොස් දේශපාලනික චරියාවන් සියල්ල ඇක්සෙප්ට් කොරගන්න මේවා යොදා ගන්නේ ය. මෙවුං ඒ තරංම උපක්‍රමශීලි ය. මේ ඉතිහාස පාඩම නො නවත්වා සිදු කෙරෙන්නේ ය. ඉදිරියට දළදා සිරිත ද එන්නේ ය. සාදු...! සාදු....! සාදු....! ය. තවෙකෙකුගේ නිජබිමක් බලෙන් අත්පත් කර ගන්නා විජය මේ චිත්‍රපටියේ සාධාරණීය චරිතය වන්නේ ය. බලෙන් රටක් අල්ලා ගන්නා ඔහු ඒ රට දැහැමින් පාලනය කරන්නේ යැයි කියන්නේ ය. මෙහි විජයගේ චරිතය හරිම ෂෝක් ආකාරයට මහජරාගේ න්‍යාය පත්‍රයට අනුව ම යන්නේ ය. විජය ගේ ආක්‍රමණය හරිම සුන්දර, ශිෂ්ට සම්පන්න, විනයානුකූල, ආදරණීය, මානුෂික මෙහෙයුමක් ම වන්නේ ය. වෙනසකට විජේ ළමයි වඩා ගන්නා එකක් නම් නො දැක්කේ ය. එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේදී මෙන්ම විජය අමානුෂිකව සිවිල් ජනතාවක් සමූල ඝාතනය කරන්නේ ය. විජය රජ වෙන්නේ ය. කුවේණිට යක්ෂ ගෝත්‍රය දුන් පීඩනයට සාපේක්ෂව විජය හොඳ බව පෙන්නන්නේ ය. හරියට දෙමළ ජනතාවට එල්.ටී.ටී.ඊ.යට වඩා මහජරාගේ පාලන යාන්ත්‍රණය හොඳ යැයි පෙන්නන්නා සේ ය. මෙවැනි චිත්තරපටිවලින් දිගටම සිදු කරමින් ඉන්නේ මහජරාව ගොඩ දැමීම ය. එයාගේ න්‍යාය පත්‍රයට ජහමනයා‍ගේ මනස සූදානම් කිරීම ම ය. කුවේණිව එළවා දමන්නේ ළමයි ටික වි‍ජය ළඟ තියා ගෙන ය. එයා ඒ තරම් හොඳ ය. කොච්චර හොඳ දැයි කියන්නේ නම් එයාද ආඩම්බරකාර තාත්තෙක් ය. ළමයි නො දෙන්නේ නම් ඇයව මරන්න කියද්දී ආ එහෙනං අරං යන්න කියා ළමයි දෙන්නා දෙන්නේ ය. අනේ විජය ඒ තරං හොඳ ය. දැං ඔහොම කැලේ මැද්දෙන් කුවේණි එන්නේ ය. ළමයි "අම්මෙ බඩගිනියි" කියන්නේ ය. "ආ විනාඩි දෙකයි" කියා කුවේණි මොකද්දෝ ගෙඩි දෙකක් දෙන්නේ ය. පස්සෙ ඒවා කන්න එපා යැයි කියා විසි කරන්නේ ය. පස්සෙ කුවේණි මැරෙන්නේ ය. ළමයි පැන යන්නේ ය. අනේ විජය දිගුකල් වැජඹෙන්නේ ය. ඉතිං විජය කුවේණි කතා වත ඔහොම වන්නේ ය. දැං ඉතිහාස කතාව අලුත් වී ඇත. තව වසර දහයකින් විතර ඉස්කෝලෙ උගන්නන්නේ ඕක ය. වැරදි දැනුමක් ය. ඒ මහජරාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුකූල නිෂ්පාදනයක් ය. මේ චිත්‍රපට සියල්ලකගේම භයානක මුහුණුවර ඕක ය. මුං ඉතිහාසය වෙනස් කරමින් ඉන්නේ ය. බූරුවන්ගේ දේශයේ චිත්‍රපටි නම් මේවා ම වන්නේ ය.

චක්‍රවර්තීගේ නිධාන කතාව

මේ අතර චක්‍රවර්තී ගොං වහන්සේ මාරම කතා කියන්නේ ය. මහජරා වගේම එයා ද නිධානවලට ආස ය. පුරා විද්‍යාවට හරිම ලැදි ය. රට පුරා නිධාන හාරමින් යන ආණ්ඩුවට ත් මෙයා හරිම ලැදි ය. ඒත් සැතපෙන්නේ ලෑලි ඇඳක යැයි හසන්තගෙ ගොං මඩුවෙදි කිව්වේ ය. ආණ්ඩුවේ මේ සත්ක්‍රියා වෙනුවෙන් මේ වහන්සේ කඩේ නොව සුපර් මාර්කට් වුණත් යෑමට සූදානම් බව ද කියන්නේ ය. මොන මතට තිත තිබ්බත් රජගෙදර අරක්කු පොඩ්ඩක් බිව්වට කමක් නෑ කිව්වෙත් මේ වහන්සේම ය. දැන් නිධාන් හෑරුවට කමක් නෑ යැයි කියන්නේ ය. නැත්තං ඒවා හොරු ගන්නවාලු ය. ආණ්ඩුව මේ කරන්නේ නිධන් හොරුන්ගෙන් ඒවා ආරක්ෂා කර ගැනීම ය.

ජාතියේ කරුමෙට පහල වූ මේ වාගේ ගොං වහන්සේලා තව ඕනෑ තරං ඇත්තේ ය. රට ආසියාවේ ආශ්චර්යය කරා ඇදෙන්නේ ය. කතරගමින් මැණික් ද කැලණියෙන් රත්තරං ද මතුවෙන්නේ ය. දැං හරිම ෂෝක් ය. මේ වාගේ රටක් නම් මේ තුන් ලෝකෙම නැත්තේ ය. ඒ අස්සේ නිධානත් ගොඩ ගන්නේ ය. කඩු නැති වෙන්නේ ය. මහජරා අජරාමර වෙන්න තනන්නේ ය. මහජරාගෙ බත් පිඟානෙන් රම්පෙ කරපිංචා කමින් මේ වහන්සේ ජීවත් වන්නේ ය. හසන්තගෙ ගොං මඩුවේදී මේ වහන්සේ කියන්නේ ඩී.එස්. සේනානායකගේ ඉඳන් මේ වෙනකං හැම නායකයෙකු එක්කම ගනුදෙනු කළා කියා ය. ඒක අහපු මට එක පාරටම මතක් වුණේ මේ වහන්සේ කී දෙනෙක්ගෙ බත් පිඟන්වල රම්පෙ කරපිංචා කන්නට ඇද්ද කියා ය. තවත් ඉවරයක් නැත්තේ ය. ජාතියේ කරුමෙට මේ වහන්සේලා මියැදෙන්නේවත් නැත්තේ ය. මට නම් සිතෙන්නේ ෆොන්සේකාගේ බත් පිඟානේ රම්පෙ කරපිංචාවලට ත් මේ වහන්සේ ආසයි කියා ය. මම නං කියන්නේ කරුණාගෙ පිල්ලෙයාන්ගෙ පිඟානෙනුත් පොඩ්ඩක් කන්න කියා ය. ඔහොම යද්දි කරුණාගෙ අඟර දඟර සෙකට්‍රිට කවන්නටත් මේ වහන්සේට සිද්ධ වුනොත් අනේ බුදු ම බුදු සරණ ය.

ලක්ෂපතියේ නුවන් චතුරංග නාට්ටිය

සිරස ලක්ෂපති රටේ නැති බැරි උන්ගේ හීනවලට කෝචොක් දමමින් වෙනම වැඩක් මේ දවස්වල කර ගෙන යන්නේ ය. රටේ උන්ට කන්න බොන්න අඳින්න පළදින්න අතේ සතේ නැති බව ඇත්ත ය. මහජරා කෙළින විදියට මොවුන් වතුර උගුරක්වත් බි ජීවත් වෙනවාට ස්තූති කරන්න ඕන ය. දැං මේ රටේ එවුංට ඔය ලක්ෂපති වගේ ජිම්කා‍නා එකක්ම නැතුව ගොඩ එන්න අමාරුම තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ය. ඉතිං සිරස ලක්ෂපති අපේ එවුංට මාර වැඩක් ම වන්නේ ය. මෙතෙක් බඩගින්න තිබුණත් කැව වගේ හිටිය මිනිස්සු දැං සිරස ලක්ෂපතිය ඉස්සරහා හිඟා කමින් යන්නේ ය. සිරසට මාර ආතල් ය. මිනිස්සුන්ගේ හුදු පෞද්ගලික හීන 'ෆිෆ්ටි- ෆි‍ෆ්ටි', 'කෝල් අ ‍ෆ්‍රෙන්ඩ්', 'ආස්ක් දි ඕඩියන්ස්' දක්වා ජෝක් වෙන්නේ ය. අපේ රටේ බූරු හැත්ත මේ දේශපාලනික රටාවෙන් කන්න බොන්න අදින්න විදිහක් නැති බව කියා ප්‍රශ්න කරන්නේ නැතිව මේ වාගේ වැඩසටහන්වල අහන ප්‍රශ්න ඉස්සරහා ඇඳුං ගලවන්නේ ය.

ගාල්ල දෙවැටේ පදිංචි නුවන් චතුරංග තවත් විසිදෙහැවිරිදි ගොං පාට් එකක් ය. කොල්ලා ස්ලම්ඩෝග් මිලියනර් එකේ කොල්ලා වගේම ය. වෙනසකට ඇත්තේ ඒ වාගේ සුදු නැති ය. මෙයා කළු ය. හැබැයි අර කොලුවා වාගේම ය. පොඩි කාලේ ඉඳංම මෙයත් දුක් වින්දා බව කියන්නේ ය. සිරසට මාරම ආතල් එකක් එන්නේ ය. පළමු දවසේ තිස් පන්දාහක් වැනි ප්‍රමාණයක් දිනා ගෙන කාලය ඉවර වී මෙයා ගෙදර යන්නේ ය. ඊළඟ සුමානෙ ළං වෙත්ම සිරසේ වෙනම ඇඩ් එකක් නුවන් චතුරංගට හදලා ය. නුවන් චතුරංග අද කීයක් දිනා ගනීද? මේ අංකයට එස්.එම්.එස්. කරන්න කියා වෙනම දැන්වීමක් යැව්වේ ය. මේ අතර නුවන් චතුරංග මේකට එන්නේ එක්තැන් වී සිටින තාත්තව සනීප කර ගන්න ය. තාත්තා ඇඳක ඉන්න කවන පොවන වීඩියෝවක් සිරස හදන්නේ ය. නුවන් චතුරංග තාත්තාට උපස්ථාන කරනවා මේකෙන් පෙන්නන්නේ ය. දැං මාරම සීන් එකක් ය. බැලු බැලු තැන කතා බතාව "මේ කොල්ල ලක්ෂ විස්ස ගනීද බං" කියා ය. දැන් නුවන් චතුරංග වැඩේට මාට්ටු ය. ඌ විතරක් නොව මුළු රටමත් සිරසට මාට්ටු ය. උඩදාලා විකුණන්න පුළුවං අති සංවේදී පුවතක් අරන් නුවන් චතුරංග සිරසට ආවේ ය. වැඩ දාලා විකුණන්න සමත් සිරස ඉන් උපරිමය නෙලා ගත්තේ ය. ඉතිං සිරස හරිම හොඳ ය. අසරණ අයට උදව් කරන්නේ ය. "මේ කොල්ලා වගේ උත්සහවන්ත වෙයල්ලා" යැයි අපේ අම්මලා ළමයිට කියන්නේ ය. දැං මළ කෙළියයි ය. හරියට බැලුවොත් මේ කියන්නේ මාකට් කරගෙන හිඟා කන්න කියා ය. ඒත් ජන විඥානයට සිරස මදන මෝදකයක් සේ සැප ය.

මේ ලක්ෂපතිය එසේ මෙසේ එකක් නොවන්නේ ය. රුපියල් හැත්තෑපන්දාහෙන් පස්සේ අහන ප්‍රශ්න උණ්ඩුක පුච්ච පවා එලියට අදින ඒවා ය. අනික තරගයට එන එකාගේ තොරතුරු සියල්ල අහලා ඌට පුළුවන් බැරි සියල්ලක්ම ත් දන්නේ ය.එසේ දැනගෙන ඌ නො දන්නා විෂයන්ගෙන් පමණක් ප්‍රශ්න අසන්නේ ය.ඉතිං හරිම ලේසියෙන් තරගකරුවාට කෙළවන්නේ ය. ඒත් මේ නුවන් චතුරංග තරගකරුවාට හරිම ආදරේ කරන්නේ ය. ඇට ගැලවෙන ප්‍රශ්න වෙනුවට හුරතල් බේබි ෂෙරමි සහනයක් දෙන්නේ ය. වන්නමක ගීතයක් කියන්න කියා ඕඩියන්ස් එක සතුටු සාගරේ ගිල්වා වන්නමක් ගැන ම ප්‍රශ්නයක් අහන්නේ ය. ලක්ෂ දහයක් දෙන්නට අහන්නේ අපූර් සංසාර් නම් ප්‍රසිද්ධ චිත්තරපටියේ අධ්‍යක්ෂක කවුද කියා ය. වෙනදාට නම් ඒවා අහන්නේ පන්දාහේ කඩ ඉමේ දී ය.බොහොම අමාරුවෙන් කොල්ලා මේකට තටමලා තටමලා කරුංකා ගෙඩියක් පිටකළා වගේ උත්තරය දෙන්නේ ය.දෙනවටත් වඩා සුන්දන චාරියබණ්ඩාර උත්තරය ඇදලා ගන්නේ ය. දැං එක පාරටම කොලුවාගේ අම්මා ටෙලිෆෝනයෙන් කතා කරන්නේ ය. මගේ පුතා ට බුදු සරණයි කිය කියා අඬන්නේ ය. කොලුවා ද අඩන්නේ ය. ඕඩියන්ස් එකේ උනුත් අඬන්නේ ය. ගෙදර ඉඳන් බලන උනුත් අඩන්නේ ය. මාරම මාර සීන් එක ය. ඒ වෙලාවේ ඡන්දෙ ඉල්ලුවා නම් කොල්ලා ජනාධිපති ද වන්නේ ය. මේක ඒ තරංම බූරු දේශයක් ය.මෙයාගෙන් ලක්ෂ විස්සක් දෙන්න අහන්නේ චීන මහා ප්‍රාකාරයේ දිග කීයද කියා ය. සාමාන්‍යයෙන් මේකට එන උං එන්නේ දැනුම මිනුම පොත් ටික කට පාඩම් කරගෙන ය. ඒත් මේ කොලුවාට ඒ ටිකවත් බැරි ය. කොලුවා මේකට උත්තර නො දන්නේ ය. මෙහිදී හොඳම සතුටක් නිෂ්පාදනය කරන්නට සිරස මාරම ගේමක් දුන්නේ ය. එක පාරටම ලක්ෂ දහය දින්න ගමන් බ්‍රේකිං නිව්ස් එකකින් රටම සැපවත් කරන්නේ ය. මේ නිව්ස් එක භාෂා තුනෙන්ම යන්නේ ය. අම්මා සිරස මාරම ජනතා සේවයක ඉන්නේ ය. දැං කොලුවා චීන මහා ප්‍රාකාරයේ දිග නො දන්නේ ය. කලින් සුන්දන චාරියබණ්ඩාර තරගකරුවා වැරදි පිළිතුරක් දුන්නේ නම් "ඔබට ලයිෆ් ලයින්ස් තියෙනවා" යැයි නැවත නැවත මතක් කළ ද මේකෙදි තරගයෙන් ඉවත් වෙන්න යැයි ඉඟියක් ද කරන්නේ ය.අන්තිමට නුවන් චතුරංග ලක්ෂ දහයක් අරන් තරගයෙන් ඉවත් වන්නේ ය. දැං මාර ම මාර ය. මෙවැනි පෙර වැඩසටහනවල නො කෙරුණු දෑ කරමින් නුවන් චතුරංගව උඩටම ගන්තේ ය. ලක්ෂපතිය ගොඩදාගන්න නුවන් චතුරංග උපක්‍රමශීලීව සිරසට පාවිච්චි වුණේ ය. ඉන් පස්සේ සිරස සුපර්ස්ටාර් ලා විථි සංචාරය කළා වගේම වාහනයක නංවා මල්මාලා දමමින් ගොං කොල්ලෙක්ව කඩේ යැව්වේ ය. දෙපස බලාගෙන හිටි අම්මලා තාත්තලා කිව්වේ "දරුවෙක් නම් මේ වාගේ වෙන්න ඕනේ" කියා ය.

බූරුවන්ගේ දේශයේ සිට...

බූරුවා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන ස්ත්‍රී අධ්‍යාපයන සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මෙම දිනවල සිදු කෙරේ.

පාඨමාලා ආරම්භය - 2012 අගෝස්තු
පාඨමාලා කාල සීමාව - මාස 03
පාඨමාලා මාධ්‍යය - සිංහල
සුදුසුකම් - උපාධිධාරී / උපාධි අපේක්ෂක / අ. පො. ස උ. පෙ. සමත් අදාළ ක්ෂේත්‍රයේ වසර 03කට නො අඩු සේවා පළපුරුද්ද සමඟ විෂයට ඇති උනන්දුව
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2012 ජූනි 17

වැඩසටහන් නිළධාරිනී
කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය
අංක 58, ධර්මාරාම පාර,
කොළඹ 06.

දු:ක: 011 2595296 / 011 2590985
ඊමේල් : womedre@gmail.com



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Though the last breath blew away by bay breeze,
dead ones’ veins & arteries are still wet
The grisliest past slithers towards my heart,
and makes me pen about ceaseless felonies

Victorious cronies are traveling joyful trips,
and delighted by seeing war-torn zones
Seized comatose lands of slaughtered Tamils - yet bleed,
when relentless robbers flee off with their deeds

A young woman’s body is hanging in a bough
Bitten nipples and beaten breast mutely wail
Blood has seeped along feeble lower limbs,
dripped drops & splattered in August dry soil

A toddler plays hopscotch beneath the same tree
She is having enough - long and everyday grieves
She knows neither why?
the chicken crossed the road nor father was slayed…
Early in the dawn, now mother is gone

The sacred Ganesh is wiped out from the base
The land is ready to have Buddha’s bronze
Deployed Soldiers who build street shrines,
are eyeing from the far at the last night prey

Coroner is ready, the lifeless body is bringing down
The girl stops hopping and watches her missing only love
The crane is ready - the heavy statue yet to be downed
"Saadhu… Saadhu.." - the devotees are singing aloud

-May 2012

Reciting the term Saadhu is an expression of respect and reverence of a person
who clasps his hands in the gesture of worship in front of religious symbols (in Buddhism).


මහේෂ් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිත්තරී බලන් කඳුළු පිපුණා
සත්සරී අහන් තනුව බිඳුණා
කින්නරී ඉතිං හීය ඇනුණා
කින්නරා මං මේ ලිපිය එවනා

කිඳුරා නැටුවෙ ගම මැද්දේ කැලෑවේ
කිඳුරී ගැයුවෙ මැදපෙරදිග තලාවේ
කළඹා එව්ව ඊතලයක් විරහාවේ
වැදිලා කිඳුරු වැටුණයි සිහිමුලාවේ

සතේ නැතිව මැදපෙරදිග ගිය කිඳුරී
ගිනිකතරේ රියාල් වතුර හෙව් කිඳුරී
කඳුළු දමා ඉඳිපැලයක් හැදු කිඳුරී
ඔටුවෙක් දැක පෙම හිතුණද රන් කිඳුරී

රට යන්නේ මං අයියේ හෙටයි කියා
සිප බඳ කොමලතින් බත් කටකුත් කවා පියා
වෙලිලා උන් අපට මක් වූයේද කියා
කිඳුරා හිඳී පපුවේ අත් දෙකම තියා

දිසි මහවැලියේය කෙළ සිහිලැල්ලේයා
ටකරන් හෙවණැල්ලේය මද පවනැල්ලේයා
නුඹ සහ හීනේය හිත්මල් පලසේයා
උන් මට ලොල්ලේය දැන් ළතැවුල්ලේයා

පොලෙන් ගෙනා මල කනලා හිනාවුණ
තෑගි දුන්න පොඩි මාලය කර රැඳුණ
මල් අකුරින් නම් මහලා මට දුන්න
නුඹේ සෙවණෙ උන් මට මේ තැවුල් විණ

හැම්බේකන් චීස් පුඩින් නිති වලඳන්
පුන්චි ගෙයක් කතරේ එක තැනක හදන්
බලලා යන්ට නෑයෝ ඔණෑය හිතන්
හීනෙන්වත් යළි එන්නැතිවාද කියන්.

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බියයි

තැළෙයි
කියා
ඔබේ අතින්

සියුම්ය

උදේ උපන්
ළදල්ල සේ

විළිය
මෙදැන්
ගමෙන්
ගෙනා
මනාලි සේ

පතයි
නමුත්
ඔබේ
පහස්
ඇතුල්
සිතින්

බියයි
එහෙත්
තැලෙයි කියා
ඔබේ අතින්

[තිත්- 1997]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කාලයක්‌ තිස්‌සේ පුවත්පත් කවි පිටු හරහා තම ප්‍රතිභාව විදහා පෑ තරුණ කවියකු වන "ළහිරු කරුණාරත්න" ඉතා අඩු කාලයකදී කාව්‍ය ක්‍ෂේත්‍රය තුළ තම අනන්‍යතාව සනිටුහන් කිරීමට සමත් වූ කවියෙකි. ළහිරුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "කටු තුඩට පිනි පහස" නමින් එළිදක්‌වා ඇත. තම පළමු කවිය පුවත්පතක පළ වී වසර හතරක්‌ තරම් කෙටි කාලයක්‌ ඇතුළත කවිපොතක්‌ පළ කළ ද, ළහිරුගේ කවි බෙහෙවින් ප්‍රශස්‌ත මට්‌ටමක පවත්නා බව කිව යුතුය. සෑම කවියකුටම පොදු වන විවිධ ජීවිත අත්දැකීම් කවි කරන්නට උත්සුක වන ළහිරුගේ කවීත්වයේ සුවිශේෂත්වයක්‌ ලෙස මා දකිනුයේ, භාෂාව ප්‍රබල ලෙස යොදා ගනිමින් වාග් සිතුවම් මැවීමටත් එමගින් අප හදවත් සසළ කිරීමටත් ඔහු දක්‌වන සමත්කමය. "කිරි සුවඳ" එබඳු ප්‍රශස්‌ත කවියකි. අලුතින් යමක්‌ ගොඩනැගීමේදී පැරැණි දේවල් කඩා ඉවත් කරන කල්හි ඇතැම් විට පැරැණි දේවල් හා සබැඳි අතීත මතක අප හද රිදවනු විය හැකිය. එම අතීත මතක පිටුපස ඇත්තේ අප අත්විඳි සොඳුරු ජීවන අත්දැකීමක්‌ පිළිබඳ කතන්දරයක්‌ විය හැකිය. මෙහිදී පැරැණි ගෙය කඩා අලුත් ගෙය හදන්නට යැමේදී වැහි පීල්ලක රොඩු අතර තිබූ (කථකයාගේ) කිරි දතක්‌ (අන්තිම කිරිදත) ඔහුගේ අතීත මතක අවුස්‌සයි. කුඩා කළ කිරි දතක්‌ ගැලවී වැටුණ කල එය වහලය මතට විසි කර ලේනාගෙන් අලුත් දතක්‌ ඉල්ලීම අප බොහෝ දෙනකුට සමීප අත්දැකීමකි. ඉතින් මේ පැරැණි ගෙය කඩා බිඳ දා අලුත් ගෙය හදන්නට යනවිට දිරා ගිය රොඩු අතර හමුවන කිරිදත සමග කථකයාට තම අම්මා පෙවූ කිරි සුවඳ මතක්‌ වෙයි. එය හද රිදවන මතකයකි. බොහෝවිට, මේ වනවිට අම්මා ජීවතුන් අතර නොමැති වීමටද පුළුවන.

කිරි සුවඳ
තනන්නට අලුත් ගෙය
කඩන විට මහ ගෙදර
හමු වුණා
වැහි පීල්ලක
දිරා ගිය රොඩු අතර නොදිරූ
මගේ අවසන් කිරිදත
කණ්‌නාඩියෙන් බල බල
බිලිඳු මා අඬන විට
කතා කොට ලේනාට
කැකුළු දතක්‌ ඉල්ලා
විසි කරන්නැයි වහලයට
තුරුල්ලට ගෙන මා
අම්මා කියූ හැටි
යළිත් ඇසෙන්නට විය
එ කිරි දත
සිඹිනවිට
අම්මා පෙවූ කිරිවල
මතක කිරි සුවඳින්
හදවතම තෙත් විය


අප බොහෝ දෙනකුට ඇත්තේ බොහෝ දුර ඈත ඉහළ අරමුණුය. සමහරවිට එකී අරමුණු අප සැබැවින්ම පෙළන තත්ත්වයකට විසඳුමක්‌ නොවෙනවා වන්නටද පුළුවන. ඉතා ඈත තිබෙන දේවල් නොව අප සමීපයේ පවත්නා දේවලින් අපට ඊට වඩා පල ප්‍රයෝජන ලද හැකිය.

"ප්‍රභාව" ඒ ගැන කියන කවියකි. ඈත අහසේ දිලෙන තාරුකාවන් බෙහෙවින් සුන්දර විය හැකි නමුත් එකී තාරකාවල එළිය මහපොළොවට හරිහැටි පතිත නොවේ. බොහෝ විට ඒවායේ එළි බිඳක්‌වත් මහ පොළොවට නොලැබේ. පොළොවේ දුකඳුර නිවන්නට ඈත දිලෙන තරු එළියට නොහැක.

"අතුළ මුදු වලා සළු යහනක
වැතිර සඳ දිය ගිලී නහවින
ඉහළ නුබ ගැබ සොඳුරු තැන්වල
හිඳින තාරකාවකි දුලමින
ගණ අඳුරු රෑ අන්ධකාරෙන
දුකම වළදන පොළෝ තලයට
එකදු අලු බිඳක්‌වත් නොමදෙන
ඔබේ එළියෙන් පලක්‌ වේවිද?"


නමුත් දුර ඈත තාරුකා මෙන් නොව, කුඩා නමුත් පොළොවට එළි බිඳක්‌ හෝ දෙමින් ඒ සමීපයේ සිටින කදෝකිවියන්ගේ එළිය තරු දහසක ප්‍රභාවට වඩා වටනේය. හුදු තරු හෝ කදෝකිවියන් ගැන පමණක්‌ නොව යම් දාර්ශනික අරුතක්‌ ද මේ කවිය තුළින් වහනය වේ.

"සොයා නොගොසන දුර අහස්‌කුස
සව්සිරින් පිරි රම්‍ය මාළිග
කෙසඟ දුප්පත් එළිය විහිදන
කදෝකිවියනි හිඳින දොරමත
නැත ද රූසිරු විලස දුර තරු
කේතු මාලා රශ්මී ජාලය
නුඹෙන් විහිදෙන එළිය අංශුව
තරු දහසකට වැඩි ප්‍රභාවය"


ළහිරු ඉතාමත් සාර්ථක, තවත් අත්දැකීම් ඉසව්වක්‌ නම් ප්‍රේම විරහ වේදනාවයි. "පුනරාගමනය" යනු ප්‍රේම විරහවෙන් දැවෙන ජීවිතය මධුවිතින් පොඟවමින් සිහිනයක්‌ තුළ ජීවත් වන ප්‍රේමවන්තයකුගේ ආත්ම ප්‍රකාශයකි. මේ මධුවිතින් - මධුමතින් මැවෙන සිහින ලෝකය තුළ අප ප්‍රේමවන්තයාට තම අහිමි පෙම්වතිය හමුවෙයි

"ළංකොට නුඹෙ රුව තවතවත්
හිස්‌වෙයි එකින් එක මධුවිත්
කලෙකින් නෑසුණු නුඹෙ හඬත්
රැව්දෙයි අබියස මදෙසවන්"


තත්ත්වය ඉතා බරපතළය. විරහවෙන් දැවෙන පෙම්වතා තම "ගින්න" නිවා ගන්නට දිනපතාම මධුවිතේ පිහිට පතා සිටී.

"නිහඬව ඔබෙ තෙපුල් අසනට
නොවරදවා පැමිණෙමි හෙට ද
හිස්‌ කර මධුවිත් එකින් එක
නුඹෙ වත සඟව ගමි පපු තුර"


දේශපාලන ස්‌ථාන මාරුවීමත් කුටුම්බයට කරන බලපෑම ගැන මීට පෙරද කවි ලියෑවී ඇතත් ළහිරුගේ "ඡන්දයෙන් පසු" කවියද "යසෝදරාවතේ" ද අභ්‍යාසය ලබමින් ලියූ හොඳ කවියකි. බුදුවන්නට බෝ සතුන් පෙරුම්පිරූ කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකි. මේ බිරිඳට තම සැමියා දුර බැහැරව ස්‌ථාන මාරු කර ගෙවනා පළමු රාත්‍රිය "සාරාසංඛ්‍යයට" වඩා දිගුය.

"කාරණාව දැක දැක ළඟ නපුර එන
පාර අතැර නොම ගිය මගෙ හිමි සඳුන
මාරු කර දුරට ගත වෙන පළමු දින
සාරාසංඛ්‍යයට වැඩි දිගු බව දැනෙන"


වර්තමාන ශ්‍රී ලංකාවේ ගැඹුරු හැඟීමකින් පොත් කියවන්නන් හිඟය. (බොරුවට කට කියවන දේශපාලකයන්ගෙන් අපට හිඟයක්‌ නැත.) පොත් මිලදී ගෙන කියවන්නන් ඊටත් හිඟය. කවිපොත් කියවන අය ඉතා අල්පය. ඉතින් "කවිපොත් මිල දී ගෙන කියවන" ජනතාව ඊටත් අල්පය . ඉතින් කවි පොත් මිල දී ගෙන කියවන උදවිය එය කරනුයේ සෑහෙන තරම් කැපවීමකින් යුතුවය. මේ ගැන හිත අවදි කරවන කවියකි, "ඔබේ කවි පොත් දෙක" අතේ ඇති අන්තිම රුපියල් හාරසියය රැගෙන ඔහු පොත් සාප්පුවට ගොඩ වදිනුයේ එම මුදල ඊට පෙර වියදම් කරවන්නට පොළඹවන විවිධ "අතුරු - ආන්තරා" වලින් මිදෙමිනි. අන්තිමට අවශ්‍ය පොත් දෙක මිලදී ගත්තද එම මිලදී ගත් සතුටෙහි බරට වඩා මිල දී ගන්නට බැරි වූ පොත් නිසා හට ගත් දුකෙහි බර වැඩිය. පොත් සාප්පුවේ තවත් පොත් ඇත. (පොත් පිස්‌සෙකු වන මම මේ දුක හොඳින් අත්විඳ ඇත්තෙමි).

ඊටත් වැඩි දුක්‌බර කරුණ වන්නේ තම පියා කොළඹ ගොස්‌ තමාට රස කැවිල්ලක්‌වත් නොගෙන, පොත් මිල දී ගෙන ගෙදර ආ බව පොඩි දුවගෙන් වසං කිරීමට සිදු වීමය. තමාට කිසිවක්‌ නොගෙනා බැව් දැන ගන්නා ඇයගේ වතෙහි තැවරෙන දුක, කවි පොත්වල ඇති දුක්‌බර කවි සියල්ල පරදාලනු ඇත.

ඔබේ කවි පොත් දෙක
අන්තිම රුපියල් හාරසීය
ඇඟිලි අතරින්
මිදී ඉගිලී යන්න පෙර
සිල්ලර කඩේ ලාච්චුවට
මං ආවේ කෝච්චියෙන් කොළඹ
ඔබේ කවි පොත් දෙක
අරගෙන යන්න
සාක්‌කුවට දමාගෙන
මිට මොලවාගත් දෑත
කෝච්චියේ යදී පිරිසගේ
දුක්‌බරම වචනවලින්
ලෙහෙන්නට නොදී හදවත
පැමිණියෙමි තදින් බැඳගෙන
අතරමග සයිවර් කඩවල සිට
අතවැනුව බඩගින්නට
පැමිණ අත නොවනාම
ගොඩවැදිමි පොත් සාප්පුවට
මිලට ගත් කවි පොත් දෙක
හදවත් තරාදියට
දැමූ සතුටු බරට වඩා
කිසිදාක මිලට ගත නොහැකි පොත්
දුන් දුක
බරින් වැඩි විය.

ඒ බරත් දරාගෙන
යා යුතුය නිවසට
පොඩි දූ දැනගන්න පෙර
ඈට කිසිත් නොම ගෙන
ගෙදර යන තාත්තා
කොළඹ ගිය බව
පොත්වල තියෙන
නැතත් දුක්‌බර කවි කියෙව්වද
පොඩි දුගේ ඇස්‌වල ලියවෙන
දුක්‌බර කවියක
එක අකුරකුදු
කියවිය නොහැක මට"


වර්තමානයේ විවිධ රැකියාවන් තුළ සිරකර ඇති අපේ ජීවිත අපට අවාසි ආකාරයට සැලසුම් කර ගැනීමේ අවස්‌ථාවක්‌ අපට නැත. කැමැති වේලාවක කන්නට, බොන්නට, නිදා ගන්නට හෝ අවදි වීමට නුපුළුවන. ඒ සියල්ල අපට ඉහළ බලධාරීන් විසින් තීරණය කරන ලද "කාල සටහනකට" අනුව සිදු කළ යුතුව ඇත. වැටුපට ශ්‍රමය විකුණන සියල්ලන් අත්විඳින යථාර්ථය එය වෙයි. මේ ගැන ළහිරු ලියා ඇති කවි, "සුරලොවින් වට කඳුළු නම් වෙයි. නියමිත වේලාවට වැඩට යන්නට නම් තමන් කැමැති වේලාවට අවදි වී බැරිය. "එලාම්" තබා එහි ශබ්දයට "උඩ විසිවී බිම වැටී" ඇහැරී දස යුද්ධයක්‌ කොට සූදානම් වී වැඩට යා යුතුය. මේ පීඩනය ගැන සිතා තනියෙන්වත් හඬන්නට වේලාවක්‌ නැත. මෙහිදී ළහිරු "එලාම් වසවත්" ලෙස හඳුන්වමින් එහි ඇති කෲර අමානුෂික භාවය මැනවින් මතුකර පෙන්වයි.

"එලාම් වසවත්
යකුළු පහරින්
සිහින පළිඟුව
බිඳී විසිරින
දෙපා පොළොවක
තබන විගසින
බිඳුණ කැබලිති
හදෙහි ඇමිණින
ඇති තරම් ළඟ
කඳුළු තිබුණද
හඬන්නටවත්
වෙලා නොතිබිණ"


"මතක ශේෂය" ද, විරහ ප්‍රේමය ගැන අපූර්ව අරුත්බර කවියකි. සොබාදහම ඇසුරින් ගත් සංෙඛ්‍යර්ථ කවියට ප්‍රබල මෙහෙයක්‌ ඉටු කරයි.. මේ බලන්න.

මතක ශේෂය
බෝම ප්‍රවේසමෙන් රැකගත්
මදිවි තුළ මත
නුඹ පිපී හිනැහෙමින් සිටි තැන
නාය ගිය දිගේ
සිනහ පැළ පොඩිති යට කර
විසුළ මතක පස්‌ගොඩ හෙමිහිට
පීරලා බැලූ පසු දින
අහුලලා පෙනේ රේණු එකිනෙක
වැතිරිලා තිබූ තැන තැන
හදවතේ සුරැකි තැනකින්
ගොඩ ගැසුයෙමි
අදත් සත් අහස කළුවර වන
ඇතැම් වැහි බර දිනවල
හමා එන සුළං රැල්ලක්‌
ඇදී ගොස්‌ හදේ අඳුරු පතුලට
අවුස්‌සා ඒ රේණු ගොඩ
නිදා හුන් පැරැණි සුවඳක්‌
යළි අවදි කරමි


මෙහි එන "ජානකි" හා "දුම්රියේදී" ද හොඳ කවි වෙයි. කෙසේ නමුත් තමා තෝරාගත් අත්දැකීම් විචිත්‍රවත් හා අර්ථවත් ලෙස "කවි කරන්නට" මනා වූ කවි ශක්‌තියක්‌ යම් තරමකට තමාටම අනන්‍ය වූ බස්‌ වහරක්‌ද ළහිරු කරුණාරත්න කවියා සතුව ඇත. දිගින් දිගටම කවි ලිවීමෙන්ද, හැදෑරීමෙහි ද, එම කවිත්වය මනාව ඔප වැටී දිදුලනු ඇත. ඉදින් " ළහිරු කරුණාරත්න" යනු තම පළමු කාව්‍ය කෘතියෙන්ම, "බලාපොරොත්තු තැබිය හැකි" කවියකු බව පළ කළ කවියෙකි.

පියන්කාරගේ බන්දුල ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අශෝක හඳගමගේ සිනමා පුනරාගමනය 'ඉනියවන්' නමැති දෙමළ භාෂිත කෘතියකි. හඳගම මෙය නම් කොට ඇත්තේ இனி அவன் (Him, here after) යනුවෙනි. අශෝක හඳගමගේ අර්ථකථනය හමාර කොට දැන් එය අප හමුවෙහි තබා ඇති බැවින් අප අපගේ අර්ථගැන්වීම් මතු කළ යුතුය. යම් කෘතියක් අරභයා නිසි, ප්‍රාමාණික හා සාධාරණ අර්ථගැන්වීම් මතු නොකළහොත් සිදුවිය හැක්කේ අන් ප්‍රදර්ශනකාමීන්ගේ අනිසි අර්ථ මතුවී අන් අතකට කෘතිය 'පුනරාවර්තනය' වීමය. කෙසේ වෙතත් හඳගමගේ 'ඉනියවන්' මෙරට සිනමාව තුළ පමණක් නොව සමස්ත දේශපාලන හා සංස්කෘතිමය පරමාධිකාර තුළ අධිබලැති යමකි.

ශ්‍රී ලාංකික හඳගම විසින් ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයට එකතු කරනු ලබන මෙම දෙමළ භාෂිත චිත්‍රපටය වැලඳගැනීමට, ඉවතලෑමට පළමුව අප විසින් නිහතමානීවම වටහාගත යුත්තක් ඇත. එනම් 'ශ්‍රී ලාංකික සිනමාව' යනුවෙන් යමක් නොමැති බවය. තිබී ඇත්තේ 'සිංහල සිනමාවකි'. මේ සිංහල සිනමා ඉතිහාසය තුළ අඩුම තරමින් ශ්‍රී ලංකා දූපත තුළ ඉපදුණු දෙමළ චිත්‍රපට සමූහයවත් ලියවී, ඉතිහාසගත වී නැත. අපේ සිනමා ඉතිහාසයේ තොරතුරු ලේඛනගත කොට ඇති ග්‍රන්ථවල හෝ ලාංකික චිත්‍රපට ලැයිස්තුවල මෙම ලාංකික දෙමළ චිත්‍රපට සමූහය සඳහන්ව නැත. පතිරාජගේ 'පොන්මනී' පවා බැහැර කරනු ලැබූ සිංහල චිත්‍රපට නාමාවලියට හඳගමගේ 'ඉනියවන්' ද ඇතුළු නොකරනු ඇත. මෙම යථාර්ථය තුළ අන් අතකට සිනමා කෘතියක් සිංහල ද දෙමළද කියා සෙවීම පවා විහිළුවක් බව 'ඉනියවන්' දෘශ්‍යමාන කරයි. සිනමාවේ භාෂාව රූපයයි. 'ඉනියවන්' හි රූප සහ උච්චාරණ දෙබස් ද ප්‍රබල රූපාර්ථ දරාගෙන සිටියි. මෙහි ශ්‍රව්‍ය කථන ස්වරූපය තුළ ඇත්තේ ද ව්‍යංගාර්ථ පිරි ප්‍රබල දේශපාලන රූපණයකි. 'ඉනියවන්' යනු සිංහල හෝ දෙමළ නොව 'සිනමාව' ය. 'ඉනියවන්' ප්‍රබල සිනමාත්මක කාර්යයක් වනුයේ භාෂාමය ස්වාධිපත්‍යය අතික්‍රමණය කොට රූපයේ ප්‍රබල සන්නිවේදනමය හා දේශපාලනමය ප්‍රකාශන ශක්‍යතාවට ඉඩදෙන නිසාය.


අන්තගාමී සිංහලීය සිනමාවේ රාජ භක්තික හෝ බඩගෝස්තරික සිංහල චිත්‍රපට ප්‍රවණතාවට 'ඉනියවන්' පිළිතුරු සපයයි. රාජභක්තික ඇන්තනීලාගේ සිට බඩගෝස්තරික ආරියරත්නලා දක්වා ('අබා' සිට 'පබා' දක්වා) අප නැරඹූ සිංහලමය චිත්‍රපට ව්‍යාපෘතිකරණයෙන් ලාංකික චිත්‍රපටය 'සිනමාව' වෙත යළි කැඳවාගත යුතු පුනරුත්ථාපනමය අවධාරණය 'ඉනියවන්' මතු කරයි. 'කුස පබා' ප්‍රශස්ත චමත්කාර චිත්‍රපටයකැයි දැන්වීම් ප්‍රකාශ නිකුත් කළ ඩී.බී. නිහාල්සිංහ, ගුණදාස අමරසේකර වැනි දැනවත්හු ඉනියවන් පුනරාවර්තනය කරන සිනමාව දෙස බලන අයුරු දෙස අපි බලා සිටිමු. සියල්ල සිංහලකරණය වූ ආකාරයට සිනමා ප්‍රකාශනය සිංහල වීම යනු සිනමාව සිනමාවෙන් බැහැරවීම හැර අන් කුමක්ද? ඉනියවන් සිංහල සිනමා නාමාවලිය සහ ඉතිහාසය අලුතින් සකස් කරනු ලබන පුනරුත්ථාපනයකි. පශ්චාත් යුද සංස්කෘතියක් තුළ උපදින පළමුවැනි විශිෂ්ට සිනමා ප්‍රකාශනය මෙයය. 'අබා' ගේ සිට 'කුස පබා' දක්වා බිහි වූ අන් චිත්‍රපට යනු සිනමා ප්‍රකාශනයෙන් බැහැර වූ අන් ව්‍යාපෘතීන් ය. 'ඉනියවන්' චිත්‍රපටයට වස්තු විෂය වනුයේ දෙමළ තරුණයාය. එනම් පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදියාය. ඔහුගේ පුනරාවර්තනයයි.

පුනරාවර්තනය යනු යළි පැමිණීමය. එනම් පෙරළා ඒමය. ප්‍රේක්ෂකයා තුළ ද නැවත ආවර්තනය වීම් සිදුවෙයි. ඒ සඳහා අනුබල සපයනුයේ සිනමා කෘතියෙහි සක්‍රීය ස්වභාවයයි. නොමැරී ජීවත්වන ත්‍රස්තවාදියා මෙන්ම ප්‍රේක්ෂකයා ද පීඩිතයෙකි. ඔහු තුළ අමතක වූ අවිඥානගත වූ බොහෝ දෑ ඇත. ඔහු තුළ අවරෝධනය කරන ලද බොහෝ දෙයින් ඔහු පීඩිතයකු බවට පත්කොට ඇත. අවිඥානයේ තැන්පත්ව, යටපත්ව ඇති එම අවරෝධිත දෑ යම් විටෙක යම් ක්‍රියාවන්ට පරිවර්තනය වීමට ඉඩ තිබේ. මෙය පුනරාවර්තනයකි. මෙසේ අවිඥානයේ සිට නැවත පැමිණෙන්නේ මතක සටහන්ම ලෙස නොවිය හැක. සිනමා කෘතිය සමග බැඳෙන ප්‍රේක්ෂකයා යම් යම් ක්‍රියාවන්හි පෙලඹෙන්නේ එය පුනරාවර්තනයක් බව නොදැන විය හැක. ප්‍රතිරෝධය බලවත් වූ විට මතක සටහන් ලෙස ඉස්මතු නොවී ප්‍රතිරෝධන ක්‍රියා ලෙස මේවා සිදුවෙයි. මෙසේ ක්‍රියාවට නගන්නේ ප්‍රේක්ෂකයා තුළ අවරෝධනය කළ දෑය. බාධා කළ දෑය. තහනම් කළ දෑය. මේවා හැඟන්වෙන්නේ අවශෝෂණයන් (Inhibition) වශයෙනි. චිත්‍රපටය විඳින කාලය තුළ ප්‍රේක්ෂකයා සක්‍රිය වෙයි. අවරෝධනයන්ගෙන් නිවහල් වන තරමට ඔහු ප්‍රබෝධමත් වෙයි. පුනරාවර්තනය ප්‍රබල වෙයි. මෙය වඩාත් බිහිසුණු වීමට ද ඉඩ තිබේ. පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදියකු තමා විසින් වළලෑ අතීත ගිනි අවි යළි ගොඩගන්නට තරම් සාහසික විය හැක. සමාජ යථාර්ථය යනු යුද්ධයකි. ප්‍රභාකරන්ගේ මරණය සියල්ල විසඳා නැත. පුනරාවර්තනය (transmigrate) නැවත පැරැණි තත්වයට යාමට ඇති නැඹුරුතාවය ද විය හැක. එකම ක්‍රියාව යළි යළි කිරීමට අප තුළ ඇති කැමැත්ත එබඳුය. නෛසර්ගික නැඹුරුවක ප්‍රකාශනය හෙවත් සහජයන් ද පුනරාවර්තන ලෙස හඳුනාගැනේ.


'ඉනියවන්' චිත්‍රපටයට ප්‍රස්තුත වනුයේ මෙයාකාර වූ පුනරාවර්තනය හමුවෙහි වික්ෂිප්ත වූ පුනරුත්තාපනය කෙරුණු දෙමළ තරුණයාය. ඔහු නොනැසී බේරුණු එනම් 'ජීවත්වීමට' තරම් 'වාසනාව' ලද්දෙකි. එය අවාසනාවක් වන තරම මෙම තරුණයා අපට විස්තර කරනුයේ යුද්ධය නිමවීමෙන් පසු නිමා නොවූ අන් යුද්ධවල බිහිසුණු බව කොතෙක්දැයි පහදමිනි. නොනැසී ජීවත්වන්නාගේ අවාසනාවන්තකම හෙවත් අමර්ත්‍යතාවයෙහි (survival) සැබෑ ස්වරූපය තීන්දු කරනුයේ සමාජ යථාර්ථයයි. මෙබඟ සමාජ යථාර්ථයක් තුළ ජීවත්වන්නට භාග්‍ය ලද්දා අභාග්‍යවන්තයෙකි. 'ඉනියවන්' තුළ මීට හේතු පහදයි. නොනැසී අඛණ්ඩව ජීවත්වන්නට සුදුසුකම් ලබන්නේ පරිසරයට ඔරොත්තු දීමට සමත්වන්නා පමණි. මෙතැනදී ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදියා යනු මෙම පුනරුත්ථාපිත පරිසරයට නුසුදුස්සෙකි. මෙම බිහිසුණු සමාජ සැබෑව ත්‍රස්තවාදියකු ජීවත් වූ පෙර පරිසරයට වඩා භයංකරය. සිය පළපුරුදු නිවස හා නිවැසියන් පතමින් යළි නිවස බලා එන මෙම තරුණයා පෙරටත් වඩා භ්‍රාන්ත වෙයි. රජයේ හමුදාවක් සමග යුද්ධ කරද්දී නොදැනුණු දෙගිඩියාවක් පශ්චාත් යුද සමයෙහි මෙම පුනරුත්ථාපනය වූ තරුණයාට දැනෙයි. යුද්ධයේ දෘශ්‍යමානයට වඩා අදෘශ්‍යමානය බිහිසුණු බවත් එම අදෘශ්‍යමාන ප්‍රභාකරන්ලා කිසිදු ලෙසකින් නතර කළ නොහැකි බවත් මින් ගම්‍ය වෙයි. යුද්ධයේ සැබෑව අවධාරණය කෙරෙනුයේ මෙබඟ නිර්ව්‍යාජ ප්‍රකාශයකිනි. මෙය නිර්භීත සත්‍ය අර්ථකථනයකැයි අප වටහාගන්නේ රාජ්‍ය පාක්ෂික ප්‍රචාරකවාදී ව්‍යාජ ප්‍රකාශනවලට ද සාපේක්ෂවය.


"එදා අපි කළේ සෙල්ලමක්. අද තමයි ගේම් එක." යනුවෙන් මෙම පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදී තරුණයා වටහාගනී. මොහුව එදා සන්නද්ධ කෙරුණු තුවක්කුවට වඩා මෙදා ඔහු අත බලහත්කාරයෙන් තැබෙන තුවක්කුව බලගතුය. බිහිසුණුය. පැරැණි තුවක්කුව ඔහු ගෙවත්තේ වළදමා යටපත් කොට ඇත. යළි එය ගොඩගන්නට ඔහුට බලකර සිටිනුයේ මෙම සමාජමය යුද පිටියයි. ප්‍රභාකරන් මරා දැමුවාට ප්‍රභාකරන්ලා ජීවතුන් අතර සිටිනතාක් කල් මෙම යුද විරෝධී, පුනරුත්ථාපිත (transmigrated/ reborn) තරුණයන්ට නිරායුධ විය නොහැකි යථාර්ථය 'ඉනියවන්' හෙළිකරයි.

මෙහි නොනැසෙන හෝ නැසිය නොහැකි ප්‍රභාකරන්ලා සංකේතවත් කරන, පෙනුමෙන් අහිංසක මුදලාලිගේ චරිතය යනු අධ්‍යතන ධනවාදී යුද පිටියේ යෙහෙන් වැජඹෙන සූරාකන්නාගේ භූමිකාව (Exploitive character) කියාපායි. යුද පිටියේ සිට යළි නිවස බලා එන පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදී තරුණයාගේ සාරය උරාගන්නා මුදලාලි යුද්ධය අභිබවන සමාජ යථාර්ථයේ ත්‍රස්ත බව පෙන්වයි. මොහු බලහත්කාරයෙන් සහ වංචාවෙන් අනෙකා සතු දේ ගැනීමෙන් සන්තෘෂ්ටිය සොයන්නෙකි. ස්වාර්ථය සඳහා අයුතු ප්‍රයෝජන ගන්නෙකි. අනෙකාගේ ශ්‍රම ශක්තිය ගසා කන්නෙකි. මෙම ක්‍රියාවලිය චිත්‍රපටය තුළ සවිස්තර කෙරෙනුයේ පශ්චාත් යුද බිමක හිස ඔසවන ගෝත්‍රික, වහල් වැඩවසම් ගති ලක්ෂණ මත සක්‍රිය වන ධනවාදී අවස්ථාවාදය ය. මෙහි ගුප්ත හා අප්‍රකට ස්වභාවය යුද්ධය මෙන් දෘශ්‍යමාන නැතත් ගරිල්ලා ත්‍රස්තවාදියකු මෙන් සැඟව සිට වෙඩි තබයි. 'ඉනියවන්' හි ත්‍රස්තවාදී තරුණයාගේ සියලු ශක්තින් ධනවාදී ප්‍රභාකරන්ලා ට මනුෂ්‍ය ප්‍රාග්ධනයකි. භෞතික ප්‍රාග්ධනය බලගැන්වීමට මේ මිනිස් ශ්‍රමය උවමනාය. පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදී තරුණයා මේ ආකාරයෙන් පුනරුත්පත්තිය (rebirth in other life/ transmigration) ලබයි. ඔහුට තම අහිමි වූ සහ යටපත් වූ සිය පළපුරුදු නිවස යළි උරුම නොවේ.

දරුණු යුද්ධයක් නිමා වී තවදුරටත් නොමැරී සිටින්නට වරම් ලද ත්‍රස්තවාදී තරුණයා තම පෙම්වතියගේ නළල් මත සිය රුධිරයෙන් තිලක තබා සපථ කරන නිහඬ ප්‍රතිඥාව ප්‍රබලය. ත්‍රස්තවාදියකුව සිටි තරුණයාගේ එකී වීරත්වය මතු නොකොට ඔහු තුළ සිටින සැබෑ වීරයාගේ සංවේදී දැඩි සිත ඉල්ලා සිටින ජීවිතය මින් ඉඟි කෙරේ. ජීවත්වන්නවුන් ඉල්ලා සිටින ජීවිතය සහ ඔවුන් මත පවරනු ලැබූ ජීවිතය එකිනෙකට ප්‍රතිවිරෝධීව යුද වදින අයුරු මෙහි චරිත විග්‍රහයෙහි හරයයි. ජීවිතයට එරෙහිව ජීවත්වන්නවුන්ගේ යුද්ධය අභියෝගාත්මකය.


යටපත් කරන ලද ගිනි අවි යළි පත්තු වන්නේ ජීවත්වන්නවුන් ජීවිතය සමග යුද වදිද්දීය. විඥානයෙන් පළවා හරින ලද හෝ යටපත් කරන ලද ජීවන අපේක්ෂා මතුවන්නේ මෙම භාව යුද පිටියේ දීය. යුද්ධය යනු මිනිසුන්ට මරණය සේම ජීවිතය ද උරුම කරන අවස්ථාවක් බව 'ඉනියවන්' පවසයි. ජනප්‍රිය අවස්ථාවාදී දේශපාලනය හා ඒ මත යැපෙන පශ්චාත් යුද චිත්‍රපට ව්‍යාපෘති විසින් පෙන්වනු ලබන යුද්ධය 'ඉනියවන්' විසින් කණපිට හරවනුයේ එසේය. සිනමාකරුගේ කාර්යය රසිකයාගේ අවිඥානික මනස සවිඥානික කිරීමය. මෙවිට සිදුවන්නේ රසිකයා තුළ පවත්නා අවරෝධනය (repression) සක්‍රිය කිරීමයි. ඊට බලපෑ පූර්වාරෝපණය ද ශුන්‍ය කරනු ලැබේ. සංකීර්ණ චිත්ත පීඩාවක් වූ 'හේතුව' සාමාන්‍ය තත්වයට පත්වූ කල එහි 'ඵලය' නිරාකරණය කරගැනීම පහසු කිරීම මෙහි අභිප්‍රායයි. ප්‍රශ්නය ප්‍රශ්නකාරී ස්වරූපයෙන් මුදාගත් විට විසඳුම් හඹායාම පහසු වේ. සිනමාකරුවාගේ කාර්යය රසිකයා තුළ මෙම මනෝ සක්‍රියතාවය හටගැන්වීමයි. චිත්‍රපටය යනු ඓතිහාසික විපර්යාසයකට අනුබලයකි. සිනමාකරුවා තම චිත්‍රපටය තුළ රඳවන්නේ රසිකයා තුළ පවත්නා ප්‍රති-ශක්ත්‍යාරෝපණය (anty-cathexis) ප්‍රතිවිරෝධයකි.

රසිකයා අතට බොරු තුවක්කු දී පාස්පෝට් හදාගන්නා රාජභක්තික හා බඩගෝස්තරික යුද සැමරුම් සිනමා ව්‍යාපෘතිධාරීන් හමුවේ රසිකයා සන්නද්ධ කළ යුතුව ඇත. වැළලූ හා යටපත් කළ තුවක්කු යළි පත්තුවනු නොවැළැක්විය හැක්කකි. මැඩපවත්වන ලද, යටපත් කරන ලද හා වසන් කරන ලද රසිකයා යනු පුනරුත්ථාපනය කරන ලද ත්‍රස්තවාදියකු වැනිය. පශ්චාත් යුද සමයක යළි ගොඩගන්නා තුවක්කු පැරැණි පිළිවෙතට සක්‍රිය කළ නොහැක. ඒ සැබෑ යුද්ධය යනු පැරැණි දෘශ්‍යමාන යුද්ධයම නොවන නිසාය. ප්‍රභාකරන්ලා ප්‍රභාකරන්ට වඩා ත්‍රස්තය. සන්නද්ධය. යුදකාමීය. 'ඉනියවන්' චිත්‍රපටයෙන් ප්‍රභාකරන්ලා වෙනුවෙන් යළි ගොඩගන්නා ප්‍රභාකරන්ගේ තුවක්කුව සංකේතවත් කරනුයේ අවරෝධනය කරන ලද අභිලාෂයන්ය. (repressed wish)

'අලුත් ජීවිතයක් නැහැ පරණ ජීවිතයම අලුතින් පටන්ගමු.'
'ඉනියවන්' චිත්‍රපටයේ තැනක එකෙකු කියයි.

[ඡායාරුප- මොහාන් රාජ් මඩවලගේ එකතුවකින් උපුටා ගැණින.]

අජිත් ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයට නදීක ගුරුගේ ගැයූ ගීය.

ගීත රචනය- ඉනෝකා සත්‍යාංගනී
මියැසිය- නදීක ගුරුගේ
රැඟුම්- උපේක්ෂා ස්වර්ණමාලි සමග අකලංක ගණේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ෆැක්ටේරියේ
පඩි වැඩි කලත් දවසින් දවස
ඉහලට නගින්නට අපිට
කොහොමටත් අමාරුය

* * * *

තාර පින්සල් පාර
ගෑවුණු නො ගෑවුණු කෙළවර තීරුවක
කහපාට සුදුගවුම් පොඩිය ඇඳි
මතක මීදුමාරය
නැඟෙයි හැමදාම

* * * *

කඳුළක් බේරේ වැවට වැටේ

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මහ උළු ගෙදර"
වැනිය
උළු නැති
කොංකී‍්‍රට් වහළැති
අපේ ගේ.....

සිර කුටි ය
වෙන් වෙන්,
අමුත්තෝ
ඉඳ හිට එත්....

නැත තෙපුල් සාද
මිස අවලාද
තුන් තිස් පැය
දැවෙන....

පසිඳලන්න ද
කෙළෙස යුක්තිය
දණ්ඩනය ට නොසිර
හිත ඉගිල්ලෙයි
ඈතට...

මනෙත් නොදුටුව
ඉමක පියඹා
නුඹ නම්
නොවෙනසින්
සුවෙන්
ආවාය...

කිමා වූ මෙ’විපත

එවන් ගමනක්
ගියේ මසිත ද
එනමුත් නුඹට සේ
හැරවුමක් නම් නැත....

දිරයි
රැකි කිත් යසස්
ගුණ කඳ
මිහිදන් කරන්නේ
කවදා ද?
නොඉවසිල්ලෙනි
ලෝකය....

කතා නොකරයි නුඹ
කතා නොකරමි මම
..............

හැරපියා යන්නට
තැබූ පය අවසඟ වන
ඇත කුමක්දෝ
ශේෂයක්.......

හදට තුඩගින්
අනින....

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (ICES) සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනු කමිටුව විසින් "ඉතිහාසය: දෘෂ්ටිවාදී යුධ බිමක සිට වාර්ගික සංහිඳියාවේ කෙම්බිමක් කරා" යන තේමාව යටතේ සංවිධානය කරන සාකච්ඡාවක් සහ දෙසුම් කිහිපයක් 2012 මැයි 28 වැනිදා සවස 5 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ "මාගේ දේ‍ශය අවදි කරනු මැන" සාහිත්‍ය උළෙලේ දී පැවැත්වේ.

දෙසුම්-
මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
මහාචාර්ය ගාමිණී කීරවැල්ල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"නේක ඉල්ලම්" පාද පාදා
මැණික් ගැරුයෙමි
"ආසාවකට උඩ බලන්නට"
"දලං පතුරක්" නැතිව සිටියෙමි

අතැර ඒ මිණි සොයන සෙල්ලම
අතර සැරුයෙමි, මිනිස් ඉල්ලම

සොයා යන විට රුවන්පුර නෙක
මිනිස් ඉල්ලම් පාස් කරමින්
බලංගොඩ දී මවෙත හමු වූ "නිල් මැණික" නුඹ
එසැණ සිට මා දිවි එළිය විණ

මැණික් රක්නා නාගයෙක් මෙන්
එවක සිට මම නුඹව රැක්කෙමි

මැණික් රකිනා නාගයින් වෙත
මැණික් අස්වාමිකැයි කියමින්
එපුර මිණි මුදලාලි සපැමිණ
මා මැණික නුඹ මිලට ගත්තෙන්
"ගමන් රත" සේ මගෙන් ගිලිහිණ

"තට්ටු තිහ හතලිහක්" ගැඹුරැති
මහා පතලක, අඳුරු
දෝනාව කෙළවරක
කදෝපැණි එළියකුදු නොමැතිව
බොහෝ කල් ගෙව ගෙවා උන්නෙමි

දිනෙක
කුඩා මිණි කැට දෙකක් සමගින්
කාන්තිය තවමත් විහිදමින්
මග යනෙන මා මැණික නුඹ දැක

"ගෙවුඩයක්" වී තිබූ මා සිත
එසැණ දිදුලන නිල් මැණික විණ

සටහන-

නිල් මැණික- ඉතා වටිනාම මැණික් වර්ගයකි.
ඉල්ලම්- මෙය මැණික් අඩංගු වෙන, ගැරුමට තෝරා ගත් පස කොටසයි
දලං පතුරක්- වටිනාකමින් අඩු මැණික් වර්ග මෙනමින් හඳුන්වයි.
ආසාවකට උඩ බලන්නට- මැණික් හමු වූ පසු පරික්ෂා කර බලන්නේ හිරු එළියට උඩට ඇල්ලීමෙනි.
ගමන් රත- කිසි දිනෙක නතර කර නොහෙන කෙසෙල් මුහයක් සා විශාල ඉතා වටිනා මැණිකක් පොළව යටින් ගමන් කරමින් තිබෙන බව ජනප‍්‍රවාදයේ කියවේ.
ගෙවුඩය- ගෙවුඩ තාපකරණය කිරීම තුලින් නිල් මැණික් බවට හැරේ. තාපකරණය සොයා ගන්නා කාලය වන තෙක් ගෙවුඩ නොවටිනා මැණික් විශේෂයක් ලෙස සැළකිණ.


සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ආ ගිය ලකුණු නැවතුණු
වැල්ල
නිසලය නින්දේය

අහසෙහි එළිය
වළකන පඳුරු
අඳුරුය බියමුසුය

ඉවුරේ එරුණු
ගොනු කුර
තණ පඳුරු ගොදුරුය

වැල්ලේ එරී ඇලවුණු
ඔරුව
ඔත්පලය මහළුය

කුරුමිණි මතුව
කඳ විද
කුහර බහුලය

ඉස්සර නිතර සුවදුන්
ගඟ
අත ළඟය

ගඟ දිය ගලන
කෙළිබරය
තුරුණුය

ගඟ රැළි නිතොර
කැඳවත
ඔරුව ගඟවෙත

ඔරු කඳ දුකිනි
ගඟ
නුදුරේය - ඈතය

[සඳ ඇබින්දක් - 1991]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ නවතම කෘතිය වන "මානසික රෝගියාගේ පරිකල්පනය" මෙතෙක් නොවූ විරූ ආකාරයකට ලියන ලද, අර්ධ නවකතාවකි. මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික රෝගියෙකුගේ මනස තුල සිදුවන වියෝජනය සාහිත්‍යමය ආකාරයට මෙම කෘතිය හරහා කතුවරයා ඉදිරිපත් කරයි. තවමත් පල නොවූ මෙම කෘතියේ ඇත්තේ සාහිත්‍යට ලැදි සීමිත සාමාජිකයන් පිරිසක් අතර බෙදී ගිය ඉලෙක්ට්‍රොනික පිටපත් සුළු සංඛ්‍යාවක් පමණි. එම නිසා මෙම කෘතිය පිලිබඳව විවේචනයක් හෝ ගුණදොස් දැක්වීමක් ඉදිරිපත් කිරීම නොකල් වැයමක් විය හැකිය. දැනට මාතෘ භූමියෙන් පිටත ජිවත් වන කතුවරයා ලාංකික මෙන්ම නැගෙනහිර යුරෝපය, බටහිර යුරෝපය සහ උතුරු ඇමරිකානු සමාජයන් අධ්‍යනය කරන ලද පුද්ගලයෙකි. මෙම කෘතිය මගින් කතුවරයා පුද්ගලයා හා සමාජය විනිවිද දකියි. ඒ සඳහා ඔහු මෙවලම් ලෙස මනෝවිද්‍යාත්මක උවාරණ භාවිතා කොට තිබේ.

කතුවරයා සමාජය විවරණය කරන්නේ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලෙන වින්සන්ට් ලංකාතිලක යන මනඃකල්පිත රෝගියෙකුගේ චරිතය හරහාය. රෝගියා මානසික වෛද්‍යවරයෙකු සමග සංවාදයේ යෙදෙමින් තමන්ගේ ජිවිත කතාව සහ ඔහුට මුණ ගැසුණු මිනිසුන් පිලිබඳ තොරතුරු කියයි. රෝගියා තමාගේ අදහස්, මත පළ කරයි. නොයෙකුත් සිද්ධීන්, කතාන්තර මගින් ලෝක ස්වභාව ගැන මානසික වෛද්‍යවරයාට කරුණු පවසයි. නමුත් අවසානයේදී මානසික වෛද්‍යවරයා ද රෝගියාගේ මනසේ වියෝජනයක් බව පාඨකයාට තේරුම් යයි.

වින්සන්ට් ලංකාතිලක යන මනඃකල්පිත රෝගියා ගැන කතුවරයා දෙන හැඳින්වීම මෙසේය.

"වින්සන්ට් ලංකාතිලකගේ ගේ චින්තනය නිරවුල් නැත. අසමවාය චින්තනය සහ කථනය ඔහු තුලින් දක්නට ලැබේ. ඇතැම් විට සිතුවිලි දෝංකාරය නිසා ඔහු සිතුවිලි වචන වලට පරිවර්තනය කරයි. එහි බොහෝ විට තර්කානුකුල බවක් නොමැති සෙයක් හැඟුනත්, මානසික රෝගීන් වඩාත් යථාර්තයට සමීප වෙති, යන කියම සනාථ කිරීමට දෝ ඔහු ඇතැම් අවස්ථා වල තර්කානුකුල විශ්ලේෂණයන් මානව සමාජය හදාරා පවසයි."

වින්සන්ට් ලංකාතිලක භින්නෝන්මාදයෙන් පෙළුන ද, ඔහු අපට වඩා යථාර්තවාදී පුද්ගලයෙකු බව කතුවරයා ව්‍යංගයෙන් පවසයි. තමන්ගේ සිතිවිලි ගැන රෝගියා වෛද්‍යවරයාට මෙසේ කියයි.

"මම සිතමි. එම නිසා මා වෙමි. යන රෙනේ දෙකාත් ගේ ප‍්‍රකාශය මා විශ්වාස නොකරමි. මා කවුද? සිතන්නේ කවරෙක්ද? මගේ මනස තුළ පුද්ගලයා සිතන්නේ කුමක්ද? මා එය නොදනිමි. මගේ කය මගේ සිත මගේ ඇඳුම මේ ආදී වශයෙන් මගේ යන ගොඩට තව එකතු වෙලා එතකොට මම කියන්නේ කවුද? මම සිතන දේ මගේ කය නොසිතන්නේ මන්ද? මට අවශ්‍යයි නින්දට නොයා සංවාදයේ යෙදෙන්න- නමුත් මගේ කය නිදිමත වී ගෙන එනවා. කය වෙහෙසට පත් වෙලා. ඒ නිසා මනසට බැහැ තව දුරටත් අවදි වී සිටින්න. කයෙන් බැහැරව මේ මනසේ පැවැත්මක් තිබෙනවද? වෛද්‍යවරයෙක් හැටියට ඔබ දන්නවා ඔක්සිජන් සැපයීම නැවතුනු විට මොලය කෙමෙන් කෙමෙන් මැරෙනවා. මගේ හිස් කබල දෙබෑ කර මස්තිෂ්කය ගලවා ග්ලුකෝස් ද්‍රාවණයේ තබන්න. එවිට මගේ සිතුවිලි වලට මොනවාද වෙන්නේ? සිතුවිලි වල පැවැත්ම තිබෙනවද? මරණින් පසු මගේ සිතිවිලි වලට මොනවාද වෙන්නේ?"

නිරෝගී මිනිසුන් සහ මානසික රෝගීන් අතර වෙනස වින්සන්ට් ලංකාතිලක දකින්නේ මෙසේය.

"මා එක්ක නානා මාදිලියේ රෝගීන් ඉන්නවා. සමහරු දරුණුයි. සමහරු බාහිර ලෝකය සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අය ජීවත් වන්නේ තමන්ගේම ලෝකයක. ඒ ලෝකයේ කාලය යන්නේ ඉතාම හෙමින්. අර බලන්න අර ඇඳ උඩ වැතිරිලා ඉන්න ලෙඩා. දැනට ඇවිල්ලා සති තුනයි. තාම එකම වචනයක්වත් කථා කළේ නැහැ. සිවිලිම දිහා බලාගෙන මුමුණනවා. තනියම හිනා වෙනවා. මම හිතනවා ඒ මිනිහා වාසනාවන්තයෙක් කියලා. මේ රෝහලෙන් පිටත ජීවත් වෙන මිනිස්සු කොච්චර කරදර පොදි බැඳගෙන ජීවත් වෙනවාද? ජීවිතය විඳවනවා. එහෙම බලනකොට අර හාදයා තමාගේම ලෝකයක තනිවෙලා. ඒ ලෝකයේ උද්ධමනය, විරැකියාව, ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මොනවත් නැහැ. මිනිහයි, සිවිලිමයි විතරයි. ඩොක්ටලා කරන්ට් අල්ලපු හැටියෙම මිනිහා ආපසු යථා ලෝකයට එනවා. එතකොට මිනිහගෙ ඔළුවට ජීවිත ප‍්‍රශ්න දැනෙනවා. මිනිහා දැවෙනවා, නොසන්සුන් වෙනවා, හිතේ කරදර නිසා විඳවනවා. ඔහු අසතුටට පත් වෙනවා. මම හිතන්නේ වෛද්‍යවරු හොයාගන්න ඕනේ මිනිහව ඒකෙන් මුදවන හැටි නෙවෙයි, ඒ ලෝකයේ සදහටම ජීවත් කරවන්න හැකි ක‍්‍රමයක්."

පරම්පරා වෙනස නිසා සංස්කෘතික ලැග්මකට ලක් වී ඇති රෝගියා ඇමරිකාවේ පහල සමාජ ස්ථරය ගැන උදාසීන බවක් දක්වයි. ඔහු ඒ ගැන වෛද්‍යවරයාට කියන්නේ මේ අයුරිනි.

"ඩිට්‍රොයිට් වල කළු මිනිස්සු ජීවත් වෙන මුඩුක්කු මම දැක්කා. ගරා වැටුණු ගෙවල්, පීඩිත මුහුණු මට දැනුත් මැවිලා පේනවා. විශාල අපිරිසුදු පරණ කාර්, යකඩ මාල දාගෙන හවසට බාස්කට් බෝල් ගසන කළු තරුණයන්, උස හඬින් කරන බැන ගැනීම්, පොලිස් සයිරන් හඬවල් මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා. මම දැක්කා ඩිට්‍රොයිට් වල ක‍්‍රැක් කියන ඩ‍්‍රග්ස් විකුණන මිනිස්සු. එක්ස්ටසි ගහලා නටන කොල්ලෝ කෙල්ලෝ. මට දැණුනේ ලෝකයම වල්මත් වෙලා කියලා. උන් අහන සංගීතයත් වෙනස්, වචනයෙන් වචනයට ඉංග්‍රීසි කුණුහර්ප. ලිංගික අවයව, සහවාසේ යෙදීම, මුඛ සංසර්ගය තමයි අසභ්‍ය යැයි ශිෂ්ට සමාජය සලකන පදවැල්. සංගීතය වල්මත් වෙලා. සමහර විට මම පරණ පරම්පරාවේ නිසා මට මේවා නොතේරෙනවා ඇති. අපි කොල්ලෝ කාලේ ඇහුවේ බීට්ල්ස්. බේ සිටි රෝලර්ස්, බූම් ටවුන් රැට්ස් බීච් බෝයිස්, බීජීස්. එත් දැන් නව පරම්පරාව අහන්නේ රැප් හිපොප්. මට මේවා තේරෙන්නේ නැහැ. ඒ කාලයේ මම එල්විස්ගේ සිංදු දානකොට ඩැඩී මට බනිනවා."

වින්සන්ට් ලංකාතිලකගේ රෝගයේ ආරම්භය ඇති වන්නේ අහඹු ලෙස හමු වූ කායික සබඳතාවයක් මතය. එම සබඳතාවය සඳහා ඔහුව යොමු කරවන්නේ ඔහුගේ සිතිවිලි පාලනය කරන කැසනෝවා ය.

"සෙලීන් ඩියෝන්ගේ ගීතයක් මුමුනමින් සිටි ඇය මගෙන් උදව්වක් ඉල්ලුවා. මේගන් මට කිව්වා ඇයගේ පිටේ සන් ක‍්‍රීම් ගාන්න පුලුවන්ද කියලා. මම ඔව් කිව්වා. එතකොට ඇය ටොප් එක ගලවලා මට පිටුපාලා බ්‍රෙසියර් එක ඉවත් කරලා ඇඳ උඩ මුනින් අතට වැතිරුනා. 'කී‍්‍රම් ඊස් ඔන් ද ටේබල්..' ඇය මට ඇඟිල්ලෙන් පෙන්නුවා. මම ක‍්‍රීම් බෝතලය අරගෙන මේගන් ළඟට ගියා. මගේ හිතට අමුතු හැඟීමක් දැණුනා. මේගන්ගේ රන් පාට ඇඟ, ලස්සන අත්, ඇය වීනස් දෙව්දුව වගේ. මම මේගන්ගේ රන් පැහැ හිසකේ පැත්තකට කරලා ක‍්‍රීම් අත්ලට ගත්තා. ඇයගේ ගෙල පිට උරහිස්වල ක‍්‍රීම් ආලේප කරලා හෙමිහිට මෘදුව මසාජ් කළා. මේගන් ඇස් වහගෙන ගැඹුරු හුස්මක් ගත්තා. මම විනාඩි විස්සක් විතර මේගන්ගේ පිටේ ක‍්‍රීම් ගාමින් මසාජ් කළා. ඇය මට කිව්වා 'යූ රිමයින්ඩඞ් මී මයි ෆස්ට් හස්බන්ඞ්..' කියලා ඊට පස්සේ මුනින් අතට හිටි මේගන් මගේ පැත්තට හැරුනා. මම මේගන්ගේ ඇස් මඟ අරින්න උත්සාහ කළා. නොදැනුවත්වම මගේ ඇස් ගියේ ඇගේ රන්පාට පියයුරු වලටයි. මට දැණුනා වෙනත් කෙනෙක් මගේ මනස පාලනය කරන බව."

තම අත්දැකීම් තුලින් අන්තර්ඥානය සොයා යන වින්සන්ට් ලංකාතිලක මිනිසුන්ගේ විඳවීම, පිඩා, දුගී බව සහ ධනවතුන්ගේ අධි පරිභෝජනය හොඳාකාරවම දකියි. ඔහු ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයාට දීර්ඝ පැහැදිලි කිරීමක් කරයි.

"බුදුහාමුදුරුවෝ අත්හරින්න කිව්වා අන්ත දෙකක්. කාමසුඛල්ලිකානුයෝගය, ඒ වගේම අත්තකිලමතානුයෝගය. මම ඉන්දියාවේ බිහාර් වලදී දැක්කා මිනිස්සු දුප්පත්කමින් පීඩා විඳින හැටි. කන්න නැහැ. අඳින්න නැහැ. හොරකම් කරගෙන කන්නවත් දෙයක් නැහැ. ඇට ගැසුණු කෙට්ටු වැරහැලි ඇඳගත්ත මිනිසුන්. ඔවුන්ගේ දෙනෙත් වල අසරණකම, කුසගින්න පිරිලා. කකුල් අතපය වල හොරි, තුවාල, මැස්සෝ පිරිලා. හැමෝටම අත පානවා කන්න යමක් ඉල්ලලා. පාන් පෙත්තක් විසි කරාම එක සියක් විතර රැස් වෙනවා ඒ පාන් කෑල්ල උදුරා ගෙන කන්න. පෙරේත ලෝකය වගේ දසුනක් තමයි මම දැක්කේ. මම කාමසුඛල්ලිකානුයෝගය දැක්කා කැලිපෝනියා වල, බෙවර්ලි ස්ටී‍්‍රට් පැත්තේ. මාළිගා වගේ ගෙවල්, දිලිසෙන කාර්, ස්විමිං පූල්, ලස්සනට ඇඳ පැළඳගත්ත මනස්කාන්ත ගෑනු පිරිමි. මේ අය හැම මොහොතේම භෞතික සැප විඳිනවා, නමුත් සිත මොකක්දෝ නොසන්සුන්තාවයකින් පිරිලා. මේ පැති දෙකේම මිනිසුන් නොසන්සුන්. එක අන්තයක දුක වැඩිවෙලා. අනික් අන්තයේ සැප වැඩිවෙලා. ක‍්‍රිස්තුත්වහන්සේ දිළින්දන් භාග්‍යවන්තයන්ය කීවේ ඉන්දියාවේ මම දුටුව හිඟන්නන්ට වගේ අයට නෙවෙයි මගේ හිතේ. ක‍්‍රිස්තුත්වහන්සේ භාග්‍යවන්තයන් කිව්වේ අල්පේච්ඡ ජීවිත ගත කරන පුද්ගලයන්ට. ඒ මිනිස්සු මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප‍්‍රතිපදාවේ ඉන්නේ.

මධ්‍යම ප‍්‍රතිපදාවේ ඉන්න කොට අපිට අන්තර්ඥානයට ළඟා වෙන්න පහසුයි. අන්තර්ඥානය ඩොක්ට හරියට බක්මහේ විදුලි කෙටිල්ලක් වගේ. ඒක ක්ෂණයකින් ඇතිවන ඥානයක්. උදාහරණයකට කිව්වොත් ඇපල් ගෙඩිය වැටෙනවා දැක්ක නිව්ටන්ට ඇති වෙච්ච අදහස, කෝච්චි දෙකක් සමාන්තරව ප‍්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරනවා දුටු අයින්ස්ටයින්ට ඇති වෙච්ච හැඟීම වගේ. ක්ෂණයකින් ඇති වෙන බුද්ධි කැළඹීමක්. අන්තර්ඥානය ලබාගන්න අමාරුයි. දැනුම ගබඩා වෙලා තියෙන්න ඕන."


අපගේ ලෝකයේ පටු සිමා ගැන තරසර උදාහරණ භාවිතා කරමින් මානසික රෝගියා වෛද්‍යවරයාට කරුණු පෙන්වා දෙන්නේ මේ ආකාරයටය.

"ඩොක්ටට මම කියන දේවල් තේරෙනවද? මගේ තර්කය තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හිතන්නේ, අපි ලෝක දෙකක තනිවෙලා. ගුණදාස කපුගේ ගැන දන්න මිනිහා ජෝජ් බෙන්සන් ගැන දන්නේ නැහැ. ජෝජ් බෙන්සන් ගැන දන්න මිනිහා ගුණදාස කපුගේ ගේ උන්මාද සිතුවම් අහලා නැහැ. මේක එක වෙලාවකට අවුල් ජාලයක් වාගේ. කීර්ති පැස්කුවෙල් අහපු මිනිහා ඉයන් සදලෑන්ඩ්ගේ සිංදු අහලා නැහැ. ඒ නිසා දැනුම රස විඳීම සීමා වෙලා. එතකොට බුද්ධියට සීමා පැනවෙනවා. තමන් දකින දර්ශනය පටුයි. තමන්ගේ විශ්වාස පීරිසියක්, පිඟානක් තරම් කුඩයි. මේ ක්ෂුද්‍ර විශ්වයේ ඉඳගෙන වෛවාරන්න ප‍්‍රශ්න අහනවා. සත්‍ය සමහරක් විට අපිට තේරුම් ගන්න අමාරුයි. දුමාරයෙන් වැහිල. හරියට මුල්කිරිගල චිත‍්‍රය වගේ. සත්‍ය අන්ධකාර වෙනකොට අසත්‍යය දිස්නේ ගහනවා. අසත්‍යය තමයි සත්‍යයේ සළු පොරවගෙන ඉන්නේ."

da vinci code ග්‍රන්ථයේ මෙන් "මානසික රෝගියාගේ පරිකල්පනය" කෘතියේ ඇතැම් විශ්ලේෂණයන් කතුවරයා පවසන්නේ ව්‍යංගයෙනි. මෙම කෘතියේ කේතයන් සහ ගුප්ත සංඥා දකින්නට තිබේ. එම කේතයන් විසඳීම සඳහා පාඨකයාගේ පෙර දැණුම සහ අත්දැකීම් අත්‍යවශ්‍ය වෙයි.

"රෝගය නිසා මම වෙනස් මිනිහෙක් බවට පරිවර්තනය උණා. ඒක හරියට මාක් ඩේවිඩ් චැප්මන් කිව්වා වගේ I found my identity ,but lost my life. මගේ හිස තුල සිටි කුඩා මිනිසුන් සහ විශාල මිනිසුන් අතර යුද්දයක්. සුර අසුර යුද්දය වගේ, තල්මසුන් මෝරුන් අතර යුද්දය වගේ. දෙපක්ෂයම එකවගේ සටන් කරනවා. අවසානයේදී කුඩා මිනිසුන් සහ විශාල මිනිසුන් පරයා ජයගත්තා. කුඩා මිනිසුන් එකට එක්කාසු වී එක ශක්තිමත් කුඩා මිනිසෙක්ව සැදුවා. ඔහු රොකී මාශියානෝ වගේ ශක්තිමත්. නමුත් ඔහු හුදකලායි මර්සෝ වගේ. ඔහු තමයි මොලයේ පාලනය අතට ගන්නේ. ස්නායු ට්‍රාන්ස්මීටර මෙහෙයවීම කරන්නේ ඔහු විසින්. ඔහු ඒකාධිපතියෙක්, ඔහුගේ අණ අනුව තමයි සෑම මස්තිෂ්ක සෛලයක්ම ක්‍රියා කරන්නේ. අකිකරු සෛල විනාශ කරනවා. පැවතිය හැක්කේ කීකරු අනුගතවන සෛල වලට පමණයි. කීකරු අනුගත සෛල වලට යහමින් ඔක්සිජන් ලැබෙනවා. ඔක්සිජන් යහමින් ලැබෙන පුද්ගලාභිවාදනයේ යෙදෙනවා. පුද්ගලාභිවාදනයේ නොදෙන සෛල වලට ලැබෙන්නේ එදිනෙදා සෛලය පවත්වාගෙන යාමට අවශ්‍ය පෝෂක දියර සහ ඔක්සිජන් පමණයි. සමහර සෛල එකතුවෙලා උද්ගෝෂණ කරනවා සෑම සෛලයකටම එක හා සමාන පෝෂක තරලය සහ ලබාදෙනු කියලා. නමුත් මේ උද්ගෝෂණ අසාර්ථකයි. උද්ගෝෂක සෛල අතුරුදහන් වෙනවා, සමහර සෛල උද්ගෝෂණ අතරමග නවත්තලා කීකරු පුද්ගලාභිවාදනයේ යෙදෙන සෛල බවට පත් වෙලා තම පැවැත්ම යහපත් කරගන්නවා."

කේතයන් සහ ගුප්ත සංඥා ඇති තවත් තැනකි මේ.

"වියනාවේ මගේ ඩොක්ට මාව යොමු කරා මනෝ විශ්ලේශකයෙකු ළඟට. මම ගිය වෛද්‍ය ශනයිඩර් හමුවීමට. මාව යොමු කරා මරියා තේරේසා රැජිනගේ ගේ උඩුකයේ පින්තූරයක් බිත්තියේ ගහලා තිබුණු විශාල කාමරයකට. ඒ කාමරයේ ඕක්වලින් හදපු මේසයක් තිබුණා. ඒ මේසය ලඟ ෆ්‍රොයිඩියානු වර්ගයේ කවිච්චියක්. මම ඒ කවිච්චියේ වැතිරුනා. යටි රැවුලක් තියෙන මනෝවිශ්ලේෂකයා මගේ ඉහ අද්දර වාඩිවෙලා මට ඇහුම්කන් දෙන්න සූදානම. මම මගේ සිතේ පහළ වෙච්ච සියලූම අදහස්, හැඟීම් සංස්කරණයකින් තොරව විශ්ලේෂකයට කිව්වා. සෑම අදහසක්ම. නිව්යෝක් ටයිම්ස් පුවත් පත අධි වේගයෙන් ලේසර් මුද්‍රණ යන්ත‍්‍ර හරහා තොරතුරු පත්තර පිටුවල සටහන් කරනවා වගේ මගේ මනසේ විවිධ අදහස් සටහන් වුණා. මම ඒවා සියල්ලම බැහැරට ප‍්‍රකාශ කළා. මනෝවිශ්ලේශක හාන්ස් ශනයිඩර් මට සවන් දෙනවා. වියනාවේ ෆ්‍රොයිඩියානු ගුරුකුලයෙන් මනෝවිශ්ලේෂණය හදාරපු වියානා විශ්වවිද්‍යාලයේ එම්.ඞී. උපාධිය ලැබූ වෛද්‍ය ශනයිඩර් මගේ අදහස් දැනටමත් විශ්ලේෂණය කරනව ඇති කියලා මට හිතුනා.

ශනයිඩර් අපි වගේ ආසියාතිකයෝ එක්ක බලනකොට උස මහතයි. රවුම් කණ්නාඩි දෙකක් දාලා හිටියේ. ශනයිඩර් මගෙන් ඇහුවා මම මගේ පියාට වෛර කළාද, පියා මගේ ශිෂ්ණය ඡේදනය කරයි කියලා ළමා කාලයේ බයක් තිබ්බාද කියලා. මේක පොදු බයක් වෙන්න ඕන. තමන්ම කප්පාදු කරයි කියලා මිනිසුන්ගේ හිත්වල අනවතර බයක් තියෙනවා වෙන්න ඇති. අපි බලමු ස්ත‍්‍රී චර්මඡේදනය. සෝමාලියාවේ වාරිස් ඩයරි ලෝකයේ නොම්බර එකේ මෝස්තර නිරූපිකාවක්. වාරිස් ඇත්තටම මේ කටුක අද්දැකීම ලැබුවා. චර්ම ඡේදනයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? පවිත‍්‍රතාව, ආත්ම පවිත‍්‍ර කරගත්තා සේ ශාරීරිකවත් නුඹ පවිත‍්‍ර විය යුතුය. ඒ සඳහා නුඹගේ පාපකාරී ඉන්ද්‍රියන් ශරීරයෙන් ඉවත් කරනු. නුඹගේ ඇස, නුඹගේ ආධ්‍යාත්මයට බාදාවක් නම් ඇස උගුල්ලනු. භගමනිය නුඹගේ ආධ්‍යාත්මය අපවිත්‍ර කරයි නම් භගමනිය කපා දමනු. අධ්‍යාත්මික මාවත පුරන් නොකරගනු.

නමුත් ඇයි අපි ශාරීරික අවයව ඉවත් කරන්නේ. ඉසඩෝරා නලඟන අහපු දේමයි කියන්න වෙන්නේ. මගේ ශරීරයේ එක් අවයවයකට සාපේක්‍ෂව අනෙක් අවයවයට අසභ්‍ය වන්නේ කෙසේද? එක ශරීර අවයවයක් නිසා අධ්‍යාත්මික මාවත පටු වන්නේ මන්ද? මට පෙනුනේ සිලිම, මනෝ විශ්ලේෂකයාගේ කටහඬ ඇහුනේ සත් සමුදුරින් එහා. ෆ්‍රොයිඩියානු කවිච්චියේ මම ගැඹුරටම කිඳාගෙන ගියා. මම නොකඩවා කතා කරනවා. මගේ කටහඬ මට ඇසෙන්නේ වෙනත් අයෙකුගේ කටහඬින්. මටසිලුටු සොෆාවේ වැතිරී සිටින මම ද්‍රව්‍යාත්මක වෙනස්කමකට ලක් වනවාද? මගේ ආධ්‍යත්මය ම තුලින් ඉවත් වෙනවාද? මගේ දෙනෙත් වැසි ගියා, කටහඬ මලානික උනා. ශනයිඩර් මාව විශ්ලේෂණය කළා. මම දන්නේ නැහැ ශනයිඩර්ගේ විශ්ලේෂණය කොච්චර දුරකට හරිද කියලා. සමහරවිට විශ්ලේශකයා විශ්ලේෂණය වන්නා අතින් විශ්ලේෂණයකට ලක් වෙන්න පුළුවන්. විශ්ලේෂණය තුළින් සත්‍ය සොයා ගන්න පුළුවන්ද? ෆ්රවුලීන් ඇනා ඕ පිලිබඳ සත්‍ය ෆ්රොයිඩ් සොයා ගත්තද? ඇනා ගේ මනස විශ්ලේෂණය උනාද ? විශ්ලේෂණය උනේ විබණ්ඩනයට ලක් කිරීමෙන්ද ?

මනස පදාර්ථයක් සේ වෙන් කල හැකිද ? අපි පදාර්ථය ගත්තොත් ඒ පාදාර්ථය කුඩා අංශු දක්වා කඩන්න පුළුවන්. අපි පරමාණුව දක්වා ඒ පදාර්ථය කැඩුවා. පරමාණු තව දුරටත් කැඩුවොත් හමුවෙනවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, මිසෝන අංශු. ඒවා තව දුරටත් කැඩුවොත් ලැබෙන්නේ තරංග. ඒ හරහා විද්‍යාඥයෝ ඉදිරිපත් කළා ස්ටි‍්‍රං තියරි කියල මතයක්. මේ ස්ටි‍්‍රංස් තව දුරටත් විබණ්ඩනය කළොත් ලැබෙන්නේ මොනවද? ශක්තිය. ශක්තිය තවදුරටත් විශ්ලේෂණය කලොත් අපට ලැබෙන්නේ මොනවද? මේ විදිහට අනන්තය දක්වා අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මට හිතෙනවා අවසානයේදී වෘත්තයක ගමන්කරන්නා ආරම්භ කරපු ලක්‍ෂයට එනවා වගේ, අන්තිමට අපි එන්නේ එකම තැනට කියලා. මනසත් මෙසේ විබණ්ඩනය කළහොත් අවසානයෙදි වෘතයක ගමන් කළා වගේ, අපි යලි එම ස්ථානයට ලඟා වෙනවද?"


ලිංග වන්දනාව යනු කේතයකි. ආශ්වාදය යනු මොලයේ ලිම්බික කොටසේ උද්වේගයක් සමග ඇතිවන සක්‍රියතාවයකි. වින්සන්ට් ලංකාතිලක ඒ ගැන මෙසේ කියයි.

"ශරීරය හා ආත්මය අතර ඇති සබඳතාව මම දැක්කා කජුරාහෝ දේවාලයේ ගල් පිළිම අතර. කාම සූත‍්‍ර දේවාලය කියලා කියන්නේ මේ දේවාලයට. ලිංගික ඉරියව් ගල්වල කොටලා, ශරීරය, මනස හා ආත්මය බද්ධ වෙලා. රාත‍්‍රී කාලයේ මුහුද අද්දර රැල්ල නැගෙන හඬ, ක්‍ෂිතිජයට මදක් උඩින් පෙනෙන මළානික සඳ, මුහුදු හුළඟ මේවා එකතු උනාම ශරීරයට දැනෙන්නේ මොකද්ද? එම දේම කජුරාහෝ දේවාලයේදී මට දැණුනා. මම ගෝපතී ගේ අත තද කරළා අල්ල ගත්තා. ගෝපතී හින්දි උරුවට ඉංග‍්‍රීසියෙන් කෙඳිරුවා. ලතා මංගේෂ්කාර්ගේ හඬ සමඟ නෝරා ජෝන්ස් ගේ Come away with me in the night මට ඇසුනා. ගෝපතී ගේ කටහඬ මට ඇසුනේ නැහැ. හින්දි උරුවට කථා කරන ඉංග‍්‍රීසි කටහඬ පරයා නෝරා. නෝරා ජෝන්ස් ගේ මුදු කටහඬ රවි ශංකර්ගේ සිතාර් වාදනයත් එක්ක රිංගෝ ස්ටාර් ගේ සිනහව, ජෝජ් හැරිසන්ගේ ගිටාර් නාදය, ජෝන් ලෙනන් ගේ කටහඬ මේවා වගේ දෙසවන් වල ගලාගෙන ගියා. මම ගෝපතීගෙන් ඇහුවා කෝ මොහොමඞ් රාෆි කියලා. මොහොමඞ් රාෆි ගේ ලයාන්විත කටහඬ වෙනුවට ඇහුනේ මරණිය රාවයක්. අවුට්ස්විච් කඳවුරේ ගීතිකාවක් වගේ. වේදනාව, ශරීරය ග‍්‍රහණය කර ගැනීම, ගල් කැටයමක ජීවය පිරිලා. දිල්ලි වල ඔබරෝයි හෝටලයේ දී ගෝපති කජුරාහෝ දේවාලයේ පිළිමයක් වුණා. ශරීරය, කම්පනය, රිද්මය, ආවේගය, සංතෘප්ත වීම මේ විවිධ තළයන් තුළ අප ගමන් කළා. චාලි ෂින් යුද්ධය ග‍්‍රහණය කර ගත්තා වගේ. චාලි කොම්පැණිය සීසි කඩ. ටැට් ප‍්‍රහාරයේදී වාගේ ආලෝක මල් වෙඩි ඉහට උඩින් පත්තු වෙනවා."

බොහිමියානු දර්ශනයක් සොයා ගිය වින්සන්ට් ලංකාතිලක ට කානි නම් අයර්ලන්ත ජාතිකයා හමුවේ. ඔහු කානි ගැන මෙසේ පවසයි.

"කානි ක්‍රිෂ්ණා භක්ති ව්‍යාපාරයට ඇදී ගියා. කානි ඉපදුනේ අයර්ලන්තේ වෙක්ස්ෆොර්ඩ් වල. ලිවර්පූල් වල බිට්ල්ස් ප්‍රත්යානයනය ඔහුට තදින්ම දැනුනා. ඔහු මුලින්ම ගියේ හිපි ව්‍යාපාරයට. අනෙකුත් හිපි තරුණ තරුණියන් මෙන් ඔහුත් වැඩිහිටි පරම්පරාවට දෝෂාරෝපණය කළා මහා යුද්ද දෙකක් මේ කොළ ග්‍රහ ලෝකයේ සිදු වීමට ඉඩ සැලසීම ගැන. ඔවුන් වැඩිහිටි පරම්පරාව විශ්වාස කලේ නැහැ. කානි ඉන්දියාවට වාර දෙකක් ගියා. එහිදී තමයි ඔහුට ක්‍රිෂ්ණා ගැන දැනගන්නේ. ඔහු යලි වෙක්ස්ෆොර්ඩ්වලට එනකොට අධ්‍යාත්මික විපර්යාසයකට මුහුණ දීලා. කානි ක්‍රිෂ්ණා ගැන භාජන ගීත ගයනා කිරීම නිතරම කළා. ඔහු ගිටාරය ගෙන ජෝජ් හැරිසන් කියන ස්වීට් ලෝර්ඩ් ගීතය වාදනය කළා. ගීතය අවසන් වූ වහාම මොලී සහ බියන්කා කානි ගේ දෙපා සිඹිනවා, ඔහු ශුද්ධත්වයට පත් වූ මිනිසෙකු ලෙසට. ඔවුන් කානි ව වන්දනා කළා මනුෂ්‍ය දෙවියකු ලෙසට. කානි තමයි ඔවුන්ගේ අධ්‍යාත්මික ගුරු. මොලී ආවේ මිඩ්ලන්ඩ් වලින්, බියන්කා අප්‍රිකානු, ඇමරිකානු සම්භාවයකින් යුත් තරුණියක්. ඔවුන් දෙදෙනා එක වගේ කානිට ආදර බුහුමන් කළා. දෙදෙනා අතර තරගයක්, මාත්සර්ය්යයක් තිබුනේ නැහැ. ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ක්‍රිෂ්ණා වර්ණනාව ගැන සඳහන් වෙනවා. කානි ළඟ ගීත ගෝවින්දයේ පිටපතක් තිබුනා. ග්‍රීෂ්ම ඍතුවේ සඳ පැය ඇති දවස් වළ ඔහු බියන්කා සහ මොලී දෙපස තබාගෙන ගීත ගෝවින්දයේ කාව්‍ය වර්ණනාවන් කියවනවා. එය අසා සිටීමට ඉතා මිහිරියි."

හිපි සංස්කෘතියේ ශේෂයන් ද, මානසික රෝගියා ප්‍රතිග්‍රහණය කර ගනී .

"කානි තුලින් ඔවුන් දුටුවා දෙවන ආගමනය. ශුද්ධ වූ පරමාත්මය ඔවුන් සෙව්වේ කානි තුලින්. මෝක්ෂය ලැබීමට දිනපතා ඔවුන් කානි සමග එක උණා. ඔවුන් ආත්ම ගවේෂණය කලේ මනෝභ්‍රමික ඖෂධ මගින්. දුමාරය හෝ නහර ගත කරන සමාසය හරහා ඔවුන් ද්‍රව්‍යාත්මක ශරීරය අත් හැරලා, දිව්‍යමය ශරීරය එක්ක නභෝගත අවකාශයේ සැරිසරනවා. එවිට ඉන්ද්‍රිය චාලක සංවේදනයන් ඌන වෙනවා. ශරිරය පිලිබඳ සංවේදනය ඇත්තේම නැහැ. වේදනාවක් දැනෙන්නෙම නැහැ. ශරීර පුළුන් රොදක් සේ සැහැල්ලුයි. ඔවුන් එකට කිව්වේ ආත්ම විශුද්ධිය කියලා. ඔවුන් කාලය සහ අවකාශය අතර පාවී යනවා. තිදෙනාම එකම අධ්‍යාත්මික අවකාශයක සැරිසරනවා බාහිර ලෝකයේ අගාරික ආශවයන් නොතකා. ඔවුන් තිදෙනා ආශක්තව සිටිනවා තමන්ගේ ලෝකය තුල."

මරණය ගැන ඇතිවන උකටලී හැඟීම්, කතුවරයා විවිධ සාහිත්‍යමය චරිත හරහා පාඨකයාට ඉදිරිපත් කරයි.

"කානි අද ජිවතුන් අතර නැහැ. ඔහුගේ මරණය මා තුල ඇති කලේ ශුන්‍ය හැඟීම්. මරණය මේ සියලු දෑ ගේම අවසානය නේද? මට මතක් වෙනවා බණ්ඩරී නැන්දාගේ මරණය. ඇගේ මරණයට පුංචි රාළ මාමා දැක්වූ ප‍්‍රතිචාරය. ගොවීන්ගේ වේදනාව, ධනේෂ්වර රාජ්‍ය තන්ත‍්‍රය, පරිපාලකයන් හා ඔවුන්ගේ ඊනියා නීති රීති. ගොවීන්ව සැමදා පීඩනයේ වියගසට බැඳ තබන දේශපාලක සහ ඔවුන්ගෙන් යැපෙන සහචර පලිබෝධකයන්. මේ මජර පර්යාය පවත්වාගෙන යාමට උපකාර වෙන සහ ඊට ආවඩන ගුජුප්සාජනක භික්ෂු පැලැන්තිය අතර පවතින පරස්පර විරෝධි එකමුතුව. මේ පරස්පර විරෝධි එකමුතුව අපේ ජීවිත වටාත් වෙලිලා තියෙනවා. අපි ඔක්කෝම වප් මඟුලට ගෙන ආ සර්ව පිත්තල ප‍්‍රදර්ශන භාණ්ඩ. අපිට ජයරත්නලා, පුංචි රාළළා, ගුණීලා, අංගෝ නැන්දලා මේ හැමෝම සර්ව පිත්තල කඩතුරාවෙන් පේන්නේ නැහැ. ඒ ගොල්ලෝ හැබෑ ලෝකෙම දියවෙලා ගිහිල්ලා. ඔවුන්ගේ භෞතික සහ අධ්‍යාත්මික ලෝක ක්ෂීණ වී ගොසින්."

දහසකුත් දුක් විඳින ලංකික ගොවියා සහ උතුරු ඇමරිකානු ගොවියා ගැන සංසන්දනයකි මේ.

"සවුත් ඩැකෝඩා වල සූරියකාන්ත මල් පිපුණු ගොවිපළ හා ඩෙනිම් කලිසමෙන් සැරසුණු ගොවියා වප් මඟුලේ ගොවියාට වඩා කොච්චර වෙනස්ද? ඔහුගේ ශරීරය පුෂ්ටිමත්. මන්දපෝෂණය අහලකවත් නැහැ. ෆෝඞ් ට‍්‍රැක්ටර් එකකට නැගලා අක්කර විශාල ගණනකින් යුක්ත ගොවිපළ හානවා. ගොවියා, ගෙවිලිය, ගොවිපළ, ඩැල්මේෂන් බල්ලා. අපි හතු හැඩයට හදලා තිබ්බ ලී ආසන වල වාඩිවෙලා හැවිනා එක්ක ස්පාඤ්ඤ වයින් බෝතලයක් බිව්වා. ශීතත් උෂ්ණත් නැති සනීප හුළඟ. සූරියකාන්ත මල්. කිලෝ මීටර් දෙකක් විතර දිග ලී කණුවලින් තැනූ වැට. පිකප් රථය. මම ඩේව් දිහා බැළුවා. තෘප්තිමත් ගොවියෙක්. මට වප් මඟුල මතක් වුණා. පුංචිරාළ මාමගේ හකු ඇට පැදුණු මුහුණ. කෙරන් අපිට ඉතාලි ක‍්‍රමයට හදාපු මාළු පිඟානක් ගෙනාවා.

කෙරන් ගේ රන් පැහැති කොණ්ඩය. මට බණ්ඩරී නැන්දාගේ අව්වට කරවෙච්ච මුහුණ මතක් වුණා. අපි ගිනිමැලය වටේ එකතුවෙලා සින්දු කිව්වා. ඩේව් ගිටාර් එක වයමින් ඩොන් විලියම්ස්ගේ සින්දුවක් කිව්වා. කෙරන් තාලය ඇල්ලුවා. මම ඔවුන්ට ජෝන් ඩෙන්වර්ගේ ඇනීස් සෝං ගීතය තිළිණ කළා. විදේශීය උරුවකින් කියන ඇනීස් සෝං ඔවුන්ව කුල්මත් කරන්න ඇති. මට පාළුවක් දැණුනා. මට ගුණරත්බණ්ඩයියා මතක් වුණා. මට මහා පාළුවක් දැනුනා. මගේ අධ්‍යාත්මය හඬා වැටෙනවා. මම ගිනි මැලය ළඟින් ඉවත් වෙලා පාර දිගේ තනියෙන් ඇවිදගෙන ගියා. ඩේව් ගේ ඩැල්මේෂන් මගේ පස්සේ ගාටනවා. මගේ උඩ සාක්කුවේ රෝට්ස්මන් පැකට් එකක් තිබ්බා. මම එකක් පත්තුකර ගත්තේ කාන්සි ගතිය නිසයි. මම ඔහේ ඇවිදගෙන ගියා. ඒ පාළු ගතියට මම කවදත් ආසයි. සතුටට වඩා දුක සිතේ පැලපදියන් වෙනවා. පැල් කවියක එන දුක්මුසු රාවය, අමරදේවගේ හඬින් ගයන මහගම සේකරගේ 'මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි.... එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී......' යන හඬ මට ඈතින් ඇසුණා."


දුක යනු සතුටට වඩා මිනිස් සිත ග්‍රහණය කර ගන්නා හැඟීමකි. කතුවරයා පාඨකයාව දුක්මුසු කාන්සිය දනවන ඉස්සව්වකට ගෙන යයි.

"මගේ හිතට දුක ගලාගෙන එනවා. ඩොක්ටට මතකද දෙවෙන්දොරා සහ නොරිකො? දෙවෙන්දොරාට නොරිකො පළමුවෙන් හමුවන්නේ අවන්හලක දී නේද? මතකද ඒ අවන්හල? නොරිකො ඒ අවන්හලේ සේවිකාවක්. මතකද ඔවුන් දෙදෙනා කබුකි බලන්න ගිය දවස? ඒ ආදරයට මොකද උනේ? ඇයි, දෙවෙන්දොරා නොරිකො අතහැරලා තෝකියෝ වලින් කියෝතෝ නගරයට ගියේ? දෙවෙන්දොරා සං, නොරිකො ගෙන් සමුගන්නා අවස්ථාව මගේ මතකයට ආවා. මේ සිදුවීම් මට චිත්‍රපටයක් වගේ මැවී පේනවා. මට අමතක කරන්න බැහැ මේ සිදුවීම්. කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග එක් වීම මතකයි නේද? කායික තෘප්තිය මගින් ප්‍රේමය යටපත් කිරීම. එය කල හැකි දෙයක්ද? අවසානය ළඟ වෙලා. මළවුන්ගේ අවුරුදු දා දෙවොන්දරා සං සියදිවි නසා ගත්තේ ඇයි කියලා මට තේරුම්ගන්න බැරි උණා. නොරිකො, දෙවෙන්දොරාව පවුලේ සුසාන භුමියේ මිහිදන් කරනවා. පොලව යටට ගියේ දෙවෙන්දොරා ද? නැතහොත් මමද? නොරිකො, දෙවෙන්දොරා සං ගෙ මතක සමඟ ගෙවන ජීවිතය ගැන මගේ හිතට දැනෙන්නේ දුකක්, කම්පනයක්, පාළුවක්. හරියට ගරා වැටුන ගෙයක දොර හෙලවෙනකොට නැගෙන මුසල හඬ වගේ. අහස අඳුරුයි. එක තරු කැටයක්වත් අහසේ නැහැ. මුළු පරිසරයම මලානික වෙලා. මහපොළව ඉකිබිඳිනවා. හමන සුළඟ ඒ ශෝකී රාවය සෑම දිශාවකටම ගෙන යනවා. මිය ගිය පෙම්වතා ගැන මතකය, අතීතයක් පමණයි ඉතිරිව ඇත්තේ. හරියට ඔලිවර් ගොල්ඩ්ස්මිත්ගේ දුක්මුසු කවියක වගේ.

දහසක් ලෙඩුන් මිය ගිය මේ ඇඳ මත මම වැතිරී හිටියා. මගේ ශරීරය කෙට්ටු වෙලා. ඇටකටු ගොඩක් වගෙයි. දුෂ්කර කි‍්‍රයාවේ යෙදුණු සිදුහත් කුමාරයාගේ නැත්තම් බෙල්සන් කඳවුරේ යුදෙව්වෙකුගේ වාගේ. කරාතියෙව්ගේ අවංක හිත, ලෙවින්ගේ වෙහෙසට පත් නොවන දෑත්, මොනාලිසාගේ දෑස්, මික් ජගර්ගේ දෙතොල්, ට‍්‍රැවොල්ටාගේ කොණ්ඩය, මේ සියල්ලේම සංකලනය මගේ දෑස් ඉදිරියේ මැවුණා. මොහොතකදී මහා ධාරානිපාත වර්ෂාවක් එක්ක විදුලි කෙටුවා. දෑස් නිලංකාර වුණා. අඳුරු අහසේ කඩතොළු ආකාරයේ ඉරි වරින් වර මතුවුණා. මහා වර්ෂාව එක්ක විශාල සුනාමියක්. ජල කඳ පොල්ගස් තුන හතරක් උසයි. මහා තාප්පයක් නැත්තම් ප‍්‍රාකාරයක් වාගේ. ගෙවල් දොරවල් යටකරගෙන ජල කඳ ගලාගෙන ගියා. පොළවේ ගලාගෙන ගිය මුහුදු ජලය යළිත් මුහුද කරා ඇදී ගියා. අහස එළිය වුණා. වර්ෂාව නැවතුණා. සියල්ල සන්සුන්. යළිත් වරක් සූරියකාන්ත මල් පිපුණ ගොවිපළ මගේ දෑස් ඉදිරියේ. මම දැක්කා පිණි මුවෙක්. මට දුකක් හිතුනා, ඩේව් ඌව වින්චෙස්ටර් රයිෆල් එකෙන් බිම දායිද කියලා. ඩේව් තුල දඩයකරයෙකුත් ඉන්නවා.

ඩේව් රයිෆලයෙන් ඉලක්කය ගත්තා. මම දුටුවේ ඩේව් නොවේ මයිකල් ව්රොන්ස්කි. ඔහු පැමිණියේ වියට්නාමයේ සිටයි. ඔහු තුල පුර්ණ පෞරුෂ වෙනස්වීමක්. වියට්නාමයට යාමට පෙර ඔහුට මුවා එක වෙඩි පහරින් බිම දාන්න පුළුවන්. ව්රොන්ස්කි මුවාට ඉලක්කය ගන්නවා, ලා තණපත් කමින් සිටි මුවා හිස ඔසවා ව්රොන්ස්කි දෙස බැලුවා. ව්රෝන්ස්කිගේ දබර ඇඟිල්ල අක්‍රිය වෙලා වගේ. කොකා තද උනේ නැහැ. මුවා යලිත් තණ කනවා. නැවත වරක් ව්රොන්ස්කි මුවාට රයිෆලය එල්ල කළා. එහෙත් වෙඩිල්ල පිට උන්නේ නැහැ. මුවා සහ දඩයක්කරුවා එකිනෙකා දෙස බලාගෙන සිටිනවා. ටික වෙලාවකින් මුවා කැලය ඇතුලට නොපෙනී ගියා."


මුවා සහ දඩයක්කරුවා යනු මානසික රෝගියාගේ මනසේ මැවෙන චිත්ත සංකේතයන් සමුහයක් පමණි. වින්සන්ට් ලංකාතිලක දකින භ්‍රාන්තීන් අතර මනමේ කුමරිය ද සිටයි.

"මම දැක්කා මනමේ කුමරිය. ඇය හරියට ප්‍රින්සස් ලියා වගේ. ඔව්, Leia Amidala Skywalker කුමරිය වගේ. මගේ ඇස් මට බොරු කලේ නැහැ. ඇය කිව්වා 'නැත අන් සරණා ඔබ හැර මෙමටා- වනයේ විසුමා වෙන්නේ සැමදා, වග වලසුන්ගේ උවදුරු වලකා, රකිනුය ඔබ මා, රකිනුය ඔබ මා' . මනමේ කුමරා ලේ පෙරාගෙන ඇද වැටිලා. හරියට හි පහර කාගෙන ඇද වැටුන පැරිස් කුමාරයා වගේ. ඔහුගේ උදරයෙන් ලේ ගලනවා. හුස්ම ගන්නේ අමාරුවෙන්. මට පසුබිමෙන් ඇසුනා බොන් ජෝවිගේ කටහඬ. ඔහු කිව්වා This Romeo is bleeding, but you can't see his blood මුළු ගීතයම වාදනය උණා. රඟහල තවමත් අඩ අඳුරේ. මම දකින්නේ මනමේ කුමරු, මනමේ කුමරිය සහ වැදි රජා විතරයි. ජෝන් බොන් ජෝවිගේ Romeo Is Bleeding මට නොකඩවා ඇසුනා. ඇත්තටම මනමේ නාට්‍ය යේ මනමේ කුමරා මැරෙන අවස්ථාවට ඒ ගීතය වාදනය උනා නම් කියල මට හිතුනා. කොපමණ අලංකාර ඔපෙරාවක් වෙයිද? ඩොක්ටර් සරත්චන්ද්‍ර ඒක ඇසුවා නම් අනිවාර්යෙන්ම එකඟ වෙනවා, එම මනමේ කුමරා මැරෙන අවස්ථාවට බොන් ජෝවිගේ ගීතය වාදනය කිරීමට. ඒ ගීතය නොඇසූ දෙසවන් කුමටද? සවන් දෙන්න....

ගීතය කෙමෙන් කෙමෙන් අවසන් වෙනවා. මනමේ කුමරා මිය ගොසින්. යලිත් නිහඬතාවය සහ අඩඅඳුර. මනමේ කුමරිය කියනවා 'මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා කඩුව ඉල්ලු සඳ - ඔහු වලකන්ටා කළ තැත දුටුවද- ඔබ ගලවන්ටා සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා' ඔපෙරාව අවසානයක් නැතිව ඇදෙනවා. හරියට ඒකාකාරී ජිවිතයක් වගේ."


ස්ටලින්වාදයට හසු වූ යුක්රයිනයේ Holodomor දුර්භික්ෂය හිට්ලර්ගේ ආගමනය ගැන කේතයන් මගින් හෙළි කරන්නේ මෙසේය.

"සඳ බැස ගියා. ඉර පෑයුවා. ලොවි ගස නොපෙනී ගියා. මම සිටියේ විශාල තිරිඟු කුඹුරක. මගේ නාභියටත් වඩා උස්ව ගිය සරුවට වැවුණු රන් පැහැති තිරිඟු ක්ෂිතිජය දැක්කා පැතිරෙනවා. රන්වන් කරල් බිමට බර වෙලා. කිසිම මිනිස් ප්‍රාණියෙකු මම දැක්කේ නැහැ. මම නියර දිගේ ඇවිදගෙන ගියා. තිරිඟු කපන යෝධ කොම්බයින් යන්ත්‍රයක යකඩ රෝද මගේ කන අසලින් ගියා. රෝදයක් මම වගේ දෙගුණයක් උසයි. ඒ වගේ විශාල කොම්බයින් යන්ත්‍රයක් මම උපන්තේකට දැකලා නැහැ. කපන තිරිඟු එක ඇටයක්වත් බිම නොහලා විශාල බටයකට පොම්ප වෙනවා. බටයේ අග්ගිස්ස පෙන්නේ නැහැ ඒක බටහිර දක්වා දිගටම විහිදිලා. සෑම තිරිඟු ඇටයක්ම බටයට ඇදිලා යනවා. හරියට දඟර සුළි සුළඟට අසු වූ වැලි ඇට වගේ. යන්ත්‍රය තිරිඟු කපමින් ඉදිරියට යනවා. එක ඇටයක් බිමට වැටෙන්නේ නැහැ.

නියර ළඟ එක දිගට ගෙවල් පේලියක්. මම ගෙවල් ලඟට ගියා. මට ඇසුනා මිනිසුන් හුස්ම ගන්න හඬ. ඔවුන් හුස්ම ගත්තේ අමාරුවෙන්. ගෙවල් වල මිනිසුන් හාමතින් අඩපණ වී තැනින් තැන වැටිලා ඉන්නවා. ඔවුන්ට කථා කරගන්නවත් පණක් නැහැ. ඇටසැකිලි වගේ. හිස කබල ඇතුලට ගිලා බැස්ස ඇස්, ඉල ඇට පෙනෙන පපු කුහර පෙන්නුම් කලේ සුමාන දෙකකින්වත් යමක් බඩට නොවැටුණු මිනිසුන්. හාමතයට ලක් වූ කුඩා ළමුන් සමහරු මිය ගිහිල්ලා. ඔවුන් වියලුනු දර ඉපල් වගේ, නිසලව බිම වැතිරිලා ඉන්නවා. මෙතරම් සරුවට වැඩුණු විශාල තිරිඟු කුඹුරක අද්දර සිටින මිනිසුන් හාමතේ මිය යාම මට තේරුම් ගන්න බැරි උණා. හරියට දේව සාපයක් වගේ මෙහෙම විනාසයක් උනේ කොහොමද?.......

......මම ක්ෂිතිජය පැත්තට ඇවිදගෙන ගියා. මට ඇසුනා අනාගත වක්තෘ නොස්ට්‍රඩාමුස් ගේ හඬ දෝංකාර ස්වරයෙන්. මැදිවියේ පුරුෂයෙක් ඩැනියුබ් ගංගාව තරණය කරගෙන මෙගොඩට එනවා. ඔහු ඇඳගෙන සිටියේ අළුපාට දිග කබායක්. ඔහුගේ වම් අතේ රතු පැහැති පටියක්. එහි සුදු පැහැති රවුම් පසුබිමක ආදී ආර්යන්ගේ සංකේතය වූ ස්වස්තිකය. නමුත් මේ ස්වස්තිකය දක්ෂිනාවෘතව ඇද වෙලා. එහි සිව් කොන් මම දුටුවේ දුම් බට වගේ. ඒ බට වලින් කළු පැහැති දුමාරයක් පිට උණා. යුදෙව්වන්, අහිකුන්ටිකයන් ඇතුළු අනෙකුත් ජන වර්ග ශ්‍රේෂ්ට ජර්මානු ආර්යන් ගේ ලේ ධාතුවට එකතු වීමට පෙර ඔවුන්ව ධුලි අළු බවට පත් කරනවා. ඔවුන්ගේ ශරීර පුළුස්සන විට මතුවන දුමාරයෙන් අවට පරිසරය පිරී ගිහිල්ලා. හුස්ම ගැනිමටත් අපහසුයි. උගුරේ කාරමක් බැඳිලා වගේ. මළකුණු පිළිස්සෙන ගඳ පැතිරෙනවා. රන්වන් හිසකේ ඇති උස මහතට වැඩුණු නිරෝගී එස් එස් භටයන් ඒ දුමාරය ඉතා ආශාවෙන් ආග්‍රහණය කරනවා. ඔවුන්ගේ නිල් පැහැති ඇස් වල සතුට අභිමානය පිරිලා. ඔවුන් එකවරම මහා හඬින් කියනවා 'Meine Ehre Heisst Treue' මගේ උදාරභාවය පක්ෂපාතිකමයි.

ඔවුන් රණ ගී හඬට අභිමානවත් ලෙස පා තබමින් නැගෙනහිර බලා යනවා. ඔවුන් ගේ බුට්ස් පොලවේ වදින විට දුහුවිල්ල ඇවිස්සෙනවා. පොලව කම්පනය වනවා. ඒ එක්කම අහස දෙදරාගෙන ගගන යානා සියක් දහසක් නැගෙනහිර ඉසව්වට පියාසර කළා. මම අහස දෙස බැලුවා. මම දැක්කේ ගුවන් යානා නොවේ සොහොන් කොත් ආකෘතියට තැනු සුදු පැහැති කුරුස. මුළු අහසම සුදු පැහැති කුරුස වලින් පිරිලා, හරියට අහසේ මැවුණු සුසාන භුමියක් වගේ. හිරු අවරට ගිහිල්ලා. ආකාසය මළානික පාටයි. සොල්දාදුවන්ගේ පා හඬ, ගුවන් යානා වල දෙදරුම්කන එන්ජින් හඬ සියල්ලම ක්‍රමක් ක්‍රමයෙන් මැකී යනවා. මම ඉදිරියටම ගමන් කළා. යලිත් රාත්‍රිය එළඹුනා."


වර්තමාන ශ්‍රී ලංකික සමාජයේ ඇති අධ්‍යාත්මික රික්තකය හුරා කන යතිවරුන් ගැන මානසික රෝගියා මෙසේ කියයි.

"මා තුල ක්ලේශයන් පිරිලා, මට ක්ලේශයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය යි. මම අධ්‍යාත්මික පරමාදර්ශය සොයාගෙන ගියා. සේනාසනෙන් සේනාසනයට, අසපුවෙන් අසපුවට, මට මුණගැසුනා තමන් සෝවාන්, සකෘදාගාමී මාර්ග එලයන්ට පත් වූ බව දිවුරා කියූ පුද්ගලයන්. මම ඔවුන්ගේ දෙපා අසල දොහොත් මුදුනින් වැඳ වැටුනා. නමුත් කෙටි කාලයකින් මම තේරුම් ගත්තා ඔවුන් තුල, මා තුල ඇති ක්ලේශයන්ම තිබෙන බව. ඔවුන් තුල දස සංයෝජන වල මුල්ම තුන වන සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සිලබ්බතපරාමාස ප්‍රහීන වෙලා තිබ්බේ නැහැ. ඔවුන් ඒ සංයෝජනයන් ප්‍රහීන කිරීමට පිළිපන්නේ නැති පුද්ගලයන්. ඒ නිසා ඔවුනුත් මම වගේම පෘථග්ජන පුද්ගලයන්. මට වැටහුණු සත්‍ය මම ඔවුන්ට කියලා දුන්නා, ඔවුන් ඉන්න මුළාව ගැන පැහැදිලි කරා. නමුත් ගලා එන ධනය, යසස, කිර්තිය නිසා ඔවුන්ගේ ඇස් ගිනිකණ වැටිලා. ඔවුන් සිටියේ සත්‍යට බොහෝ ඈතින්. ඒ නිසා මම ඔවුන්ව හැරපියා මගේ ගමන ගියා.

සත්‍ය සොයාගෙන යන ගමනේ දී, මට මුණ ගැසුනා නාරායන භද්‍ර භික්ෂුව. එම භික්ෂුව මට ප්‍රකාශ කළා තමන් අනාගාමී වූ උත්තමයෙක් බව. කාම රාග, පඨිඝ ආදීන්ගෙන් වෙන් වූ උතුමෙකු ලෙසටයි එතුමන් පෙනී සිටියේ. මට මහත් ධර්ම තුෂ්ටියක් සිතට ආවා. මා සොයමින් සිත් අධ්යාත්මික පරමාදර්ශය නාරායන භද්‍ර භික්ෂුව තුලින් හමු වීම ගැන. කාමච්ඡන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව යන නීවරණයන්ගෙන් මිදුණු උත්තම පුරුෂයෙක්. මම නාරායන භද්‍ර භික්ෂුව ගේ පාද නමස්කාර කළා. මම එතුමාගේ භක්තිමත් අනුගාමිකයෙක් උණා. නාරායන භද්‍ර භික්ෂුව අපට කීවා, සියලු අසාවන් අත් හරින්න කියලා. විමුක්තිය ලැබීමට අපගේ ධනය, ඉඩකඩම් අත් හැර යුතුයි කියලා. විවාහක අනුගාමිකයන්ට ලිංගික සම්බන්ධතා පවා නුසුදුසු බව දේශනා කරා. අපගේ ධනය පොදු යහපත උදෙසා නාරායන පදනමට පරිත්‍යාග කරන්න කිව්වා. සමහරු තමන්ගේ ඉඩකඩම්, ගෙවල් දොරවල් පවා ඒ පදනමට ලිව්වා.

කාලයක් යනකොට මට හැඟීමක් ආවා නාරායන භද්‍ර භික්ෂුව තමන් විසින්ම මුලාවකට පත් වී බුදු දහමේ හරය විකෘති කොට, බුද්ධ දේශනාවක් ලෙසට තමන්ගේ අදහස් සියුම් ව ප්‍රකාශ කරනවාදෝ යි කියා. එය පාපකාරී සිතුවිල්ලක්. මම එම සිතුවිල්ල සිතෙන් ඉවත් කරගන්නට උත්සහ කළා. නමුත් එතුමාගේ බණ අසන අසන වාරයක් පාසා මට හැඟෙනවා, මේ බුදු බණ නොවේ නාරායන භද්‍ර සංකල්පයන් කියලා. කෙටි කාලයක් යනකොට මට තේරුනා නාරායන භද්‍ර භික්ෂුව ධනව්‍යාපාර වලට ලොල් වෙලා කියලා. එතුමා ලියපු ග්‍රන්ථයක් ගැන ප්‍රචාරයට විශාල ඩිජිටල් බැනර් සඳහා මට මුදල් දෙන්න කිව්වා. මම බැංකු පොතේ තිබු මුදල් වගයක් දුන්නා. පසුව මම දැක්කා හන්දියක් හන්දියක් ගානේ එතුමාගේ මුහුණ සහිත ඩිජිටල් බැනර්. මට හිතුනා මෙතරම් විතරාගී පුද්ගලයෙක් ඇයි මමත්වය හුවා දක්වන්නේ කියලා."


සමාජ ක්‍රියාධරයන් මුලාවේ වැටීම ගැන වින්සන්ට් ලංකාතිලක චරිතය හරහා කතුවරයා මෙසේ කරුණු දක්වයි.

මගේ ගමන යනකොට මම දුටුවා මංමුලා වූ මිනිසුන්. සමහරු හිතා මතා මංමුලා වෙලා. සමහරු තමන්ගේ පැවැත්මට මංමුලා වෙලා. සමහරු තමන් මුලාවේ කියලා දන්නෙත් නැහැ. හරියට සිංහල ජාතිකවාදයට විරුද්ධ වෙලා සිංහල ජාතිකවාදය විවේචනය කරමින් යන සමාජ ක්‍රියාකාරිකයා තමන් නොදැනුවත්වම දෙමළ ජාතිකවාදයට යට වෙනවා වගේ. ඔවුන් සිතනවා, ඔවුන් විශාල දුරක් ගමන් කළා කියලා. නමුත් ඒක, වාන් දොරකින් පිට වෙලා තවත් දොරකින් යලි සොරොව්වට ඇතුල් වෙලා. ඔවුන් දියසුලියක් වගේ එක තැන කැරකෙනවා. එක ජාතිවාදයකින් මිදෙන කොට තවත් ජාතිවාදයක අනුයෝතයන් වෙලා.

වින්සන්ට් ලංකාතිලක මුලාවන් දකින්නේ මෙසේ ය.

"මම දිගටම ගමන් කළා. මිනිසුන් වැටෙන මුලාවන් දකිමින් මම ඉදිරියටම ගියා. මම කනාන් දේශය පසු කරගෙන ගොස් අරූපලන්තයට පැමිණියා. මිනිසුන් එහි මහා මාර්ගවලත් පොත් කියවනවා. කියවීමට උපන් ජාතියක්. ඔවුන්ට නාට්‍ය සහ චිත‍්‍රපට කලාවකුත් තිබුනා. නමුත් මට කෙටි කාලයකින් තේරුනා මිනිසුන්ගේ රසාස්වාදය ඒකාකාරිව කෘතිමව ගොඩනගලා තියන බව. පොත් පළ කලේ ලේඛකයෝ සීමිත ප‍්‍රමාණයක්. ඔවුන් ජිවත් උනේ මහා ධනකුවේරයන් ලෙසට. අරූපලන්තයේ සිරගෙවල් පිරි තිබුනේ අපරාධකරුවන්ගෙන් නෙවෙයි- වාරණ නීතිය දාපු ලේඛකයන් , නාට්‍යකරුවන් සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ගෙන්. මම එහි ගත කල කාලයේදී, එක් චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක් එල්ලා මරා දැමීමට නියමිතව සිටියා. ඔහුගේ අභියාචනය විභාග වෙමිනුයි පැවතියේ. අරූපලන්තයේ ලේඛකයන් ලියන සියලුම අත් පිටපත් එම රට පාලනය කරන ඒකාධිපතියා අනුමත කල මණ්ඩලයකට යවනවා. ඒ මණ්ඩලය විසින් අත් පිටපත් වල නුසුදුසු කොටස් කපා දමා පළ කිරීමට සුදුසු කොටස් පමණයි ප‍්‍රකාශකයන් වෙත යවන්නේ. නාට්‍ය, චිත‍්‍රපට සඳහාද මෙම නීතිය බලපානවා.

සමහර ලේඛකයන් වාරණ නීති කමින් අත් පිටපත් ගල් අච්චුවේ ලා මුද්‍රණය කොට රහසින් පාඨකයන් අතර බෙදා හරිනවා. මෙවැනි වාරණ සාහිත්‍ය ඔවුන් අතර ජනප්‍රියයි. ඒවා රහසින් තමයි කියවන්නේ. ඒකාධිපතියා ගේ වරුණ ගැන සඳහන් වන පොත් පත් පමණක් කියවලා වෙහෙසට පත්ව සිටින අරූපලන්තයේ වැසියෝ, ගල් අච්චුවේ ලා මුද්‍රණය කරන, තම සමාජයේ සිදු වන අසාධාරණයන්, පාලක පන්තිය විසින් කරන අකටයුතුකම් , පීඩිතයන්ගේ ජීවිත ගැන දැනගන්නේ මෙම රහස් සාහිත්‍ය කියවලා. ඒ ඔස්සේ කෙටිකතා, නවකතා, කවි නිර්මාණය වෙනවා. මේ සියලු දේම තහනම් සාහිත්‍ය ගොන්නට වැටෙනවා. සමහර නාට්‍යකරුවන් සමාජ අසාධාරණයන් තේමා කොටගෙන රහස් නාට්‍ය අධ්‍යක්ෂණය කොට ඒවා සමහර ගොඩනැගිලි වල, පතුල්මාල වල, තෝරාගත් සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට පෙන්වනවා. වාරණ සාහිත්‍යය ගැන සොයා බැලීමට රජය විසින් පත් කරන ලද, සාහිත්‍ය පොලිස්කරුවන් මෙවැනි පිරිස් සමග ගැවසිලා වාරණ සාහිත්‍ය වපුරන්නන්ව සිරභාරයට ගන්නවා.

එක මහළු ලේඛකයෙක් සිටියා, ජිවිතන්තයට සිර ගෙදරට යවපු. ඔහු සිර ගෙදර බිත්ති වල අඟුරු කැට අරගෙන කෙටි කතා, කවි ලිව්වා. ඔහු මෙහෙම කරන කොට පාලකයන් ඔහුට පහර දීලා, අතේ ඇඟිලි කඩලා දැමුවා ලිවීමට නොහැකි වන ලෙසට. ඉන්පසුව මෙම මහළු ලේඛකයා අනෙකුත් සිරකරුවන්ට ඇසෙන්නට ඔහුගේ නිර්මාණ කියන්න ගත්තා. සහෝදර සිරකරුවන් ඒවා අහගෙන ඉඳලා, ඒවා කටපාඩම් කර ගෙන, එලියට ගිහින් මිනිසුන්ට කියනවා. මේ වගේ ඔහුගේ තහනම් කරපු කෘති, වේගයෙන් අරූපලන්තයේ ජනතාව අතර පැතිර ගියා. ජනතාව අතරින්ම උද්ගෝෂණ ආවා මහළු ලේඛකයාව නිදහස් කරනු කියලා. උද්ගෝෂණ එන්න එන්න වැඩි වෙනකොට පාලකයන් මේ මහළු ලේඛකයාගේ කෑමට රහසින් වස දැම්මා. ඉන් රෝගාතුර වූ ඔහු මිය ගියා. ඔහු දැන් අරූපලන්තයේ නිල නොලත් මහා ලේඛකයා. රාජ්‍ය අනුග්‍රහය ලැබූ මහා ලේඛකයන් සිටිය ද, ඔවුන් කිසිවෙකු මහජන පිළිකුලට මිසක්, මහජන බුහුමනට පාත්‍ර වෙලා නැහැ. ජනතාව බොල් පිළිම වන්දි භට්ටයන් මායිම් නොකර අර මහළු ලේඛකයාගේ ගෙවී ගිය පරණ මිරිවැඩි සඟල වන්දනා කරනවා. වන්දි භට්ටයන් පාලකයන්ගේ ගුණ ගී ගායනා කල ද, මිනිසුන් නැසූ කන් ඇතිව සිටිනවා. පාලකයන්ගේ පුද්ගල වන්දනාව ඔවුන් තුල ඇති කරන්නේ පිළිකුලක්. මට සිතුනා මේ පාලකයෝ සියලුම දෙනා ඉන්නේ තමන් විසින් ගොඩ නගාගත් මුලාවක නේද කියලා. පිරමිඩයක ආකාරයෙන් මේ මුලාව පහළට ගලා ගෙන එනවා. තර්කානුකුල බුද්ධිය ඇති අතලොස්සක් හැර අනෙකුත් පාලිතයන් සියල්ල වගේ මේ මුලාව හිස් මුදුනේ තබා ගෙන."


ඉබිසා නගරයට යන විසන්ට් ලංකාතිලක නම් මානසික රෝගියා එය පුජනිය නගරයක් ලෙස දකියි.

"ඉබිසා නගරය ඔබට අමතක කල හැකිද? සංගීතය සහ රිද්මය පිරි මධ්‍යධරණි උණුසුම් සුළඟ රැගත් ඉබිසා නගරයේ දැකුම්කළු රැයක්. මනස්කාන්ත වෙරළ, වේග රිද්ම ගීතයට නටන මිනිසුන් හා කාන්තාවන්. ජීවිතය දුකක් කීවේ කවරෙක්ද? ඉබිසා නගරයේ මම දැක්කේ උතුරා යන සතුට. ඉබිසා නගරයට මුලින්ම ආවේ කොරියානු සහ වියට්නාම යුද වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ඇමරිකානු තරුණයන්. කරුණාකර ඔවුන්ව යුද විරෝධී මානවාදීන් කියා උත්කර්ෂයට නග්ගන්න එපා. ඒ වගේම රට වෙනුවෙන් යුද කිරීම ප්‍රතික්ෂේප කල දේශ ද්‍රෝහියන් කියා හෙලා දකින්නත් එපා. ඔවුන් වීරයන් හෝ ද්‍රෝහියන් නොවේ. ඔවුන් ජීවිතය තෝරාගත් මිනිසුන්. මේ පෘතුවි ගෝලයේ පිහිටා ඇති එක් තෝරාගත් භූමියක් වෙනුවෙන් යුද වැදී මියයාමට, දේශපාලන සංකල්පයක් වෙනුවෙන් මිනී මැරීමට, උණ්ඩයට ළය පෑමට ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. ඔවුන්ට උවමනා කලේ ජීවිතය විඳින්න. ඉතින් ඉබිසා නගරය ඔවුන්ට ක්ෂේම භූමියක් උණා. ඔවුන් සංගීතය හා ජිවන රිද්මය සොයාගෙන ගියා. පුපුරා යන අර්ටිලරි හඬ, කීන් නාදයෙන් මරණයේ පණිවිඩය රැගෙන එන උණ්ඩ වල හඬ, මිනිස් ශරීර යකඩ කෑලි වලින් හිල් වී යන විට නැගෙන විලාපය, ශරීර වේදනාව නිසා නඟන හඬ, සතුරාට සාප කරන ක්‍රෝධ ස්වරය, හුස්ම හිරවන මිට උගුරින් නැගෙන බොල් හඬ, සියලු දෙනා මිය ගිය පසු යුද බිමේ ඇතිවන නිහඬතාවය , මේවා කිසිම දෙයක් ඔවුනට අවශ්‍ය කෙරුනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කලේ, උදෑසන හිරුරැස් වල උණුසුම ලබන්න. දහවලට උණුසුම් සුළං හමන විට මුහුදු රළ අතර කිමිදෙන්න. හවසට ඉර සක්වලගල යටින් බැස යනවා බලන්න. ඔවුන්ට නම්බු නාම, විරු පදක්කම්, ආචාර වෙඩිමුර අවශ්‍ය කලේ නැහැ. ඔවුන් උණුසුම් හැඟීම් තිබු මිනිසුන් පිරිසක්. ප්‍රීතිමත් නගරයක් නිර්මාණය කළා. උදේ සිට රාත්‍රිය දක්වා ජීවිතය විඳිය හැකි නගරයක් ඔවුන් සැදුවා. යුද අගල්, බංකර, කඳවුරු, කටුකම්බි , බිම් බෝම්බ, උණ්ඩ, නැති ලෝකයක් නිර්මාණය කල හැකි බවට මේ අව්‍යාජ මිනිසුන් පෙන්නා දුන්නා. යුද්දය දේශනා කරන පුජකයන්, දේශප්‍රේමය ගැන දෙසුම් පවත්වමින් තම බලය තහවුරු කර ගන්නා දේශපාලකයන්, ආයුධ විකුණා ප්‍රකෝටිපතියන් වූ වෙළෙන්දන්, සටනින් මියගිය සොල්දාදුවගේ මළකඳ පවා විකුණගෙන කන ගිජුලිහිණියන් මේ ඉබිසා නගරයට පා තැබුවේ නැහැ. ඒ නිසා ඉබිසා නගරය පුජනිය නගරයක්."

ඉබිසා නගරයට පසු ඔහු තවත් නගරයකට පැමිණේ. මේ එම නගරයේ විස්තර සටහනයි.

"ඉබිසා නගරය පසුකොට මම ගියේ තවත් නගරයකටයි. මේ නගරය චන්ද්‍ර නගරය. මිනිසුන් ස්වභාවික සම්පත් අසීමිතව විකුණගෙන කනවා. ඔවුන් ඒ නිසා සුපිරි ධනවත්. නමුත් තවම සමාජයික අතින් ඉන්නේ ගෝත්‍රික යුගයේ. ඔවුන්ගේ නගරය ඉතා අලංකාරයි. නිවාස මාලිගා වගේ. නගරයේ මැද තිබුණා උයනක්. ඒ උයන හරිම මනස්කාන්තයි. නදුන් උයන පරදන සිරිය. මට ඇසුනා ගෝසාවක්. මිනිසුන් කණ්ඩායමක් රූමත් ගැහැනියක් කුදලාගෙන එනවා. ඇයව උයන මධ්‍යයේ කිරිගරුඬ ඇතිරූ ගෝලාකාර පොලව මතට තල්ලු කලා. ඇය කිරිගරුඬ පොලවේ ඇද වැටුනා. අයි මේ පිරිමි සේනාවක් එක තනි ගැහැනියකට හිරිහැර කරන්නේ. මම ළඟ සිටි මිනිසාගෙන් ඇසුවා. ඔහු කිව්වා, ඇය පව්කාරියක්. ඇය පිරිමියෙකු සමග අනාචාරයේ හැසිරිලා කියලා.

ඒ අසරණ ගැහැණියව, අඩ කවයක ආකාරයට පිරිමින් වට කර ගත්තා. ඒ එක්කම තව මිනිසෙක් කුඩා අත් කරත්තයක පටවාගෙන දොඹ ගෙඩි ප්‍රමාණයේ ගල් තොගයක් ගෙනාවා. ඒ ගල් බෑවේ මිනිස් අඩ කවය ළඟ. වටවී හිටිය මිනිසුන් ගල් අහුරු අහුරු අත් වලට ගත්තා. ඔවුන් ගල් ගැනීමට පොර කෑවේ පොඩි ළමයි සිනි බෝල වලට පොර කනවා වගේ. මම අර මිනිසාගෙන් ඇසුවා දැන් මොකද වෙන්නේ කියලා. ඔහු කිව්වා ඇයට දඬුවමක් ලෙසට අනාචාරයේ යෙදුනු මේ පව්කාරියට ගල් ගසා මරා දැමීමට යනවා කියලා. මම එහිදී ඔහුගෙන් ඇහුවා, ඇයි ගැහැණියට විතරක් ගල් ගහන්නේ ? ඇය සමග අනාචාරයේ යෙදුනු පුරුෂයා, ඔහුත් පව්කාරයෙක්, ඇයි ඔහුවත් මෙතෙන්ට කුදලාගෙන ඇවිල්ලා දඬුවම් නොකරන්නේ කියලා. එතකොට අර මිනිසා මා දෙස බැලුවේ දවා හළු කරන ක්‍රෝධයෙන්. මම නිහඬ උනා.

ලෝගුවක් පොරවාගෙන සිටි එක් මහලු පුරුෂයෙක් ඇයට විරුද්ධව ඇති චෝදනා එකින් එක කිව්වා. ඉන් පසු ඔහු තම අත තිබූ ගල ඉස්සුවා ඇයට ගැසීමට. මට බලාගෙන සිටීමට හැකියාවක් තිබුනේ නැහැ. මම අසරණ ගැහැණිය ඉදිරියට පැන්නා. සහෝදරවරුනි ඕක මොහොතකට නවත්වලා මම කියන එක අහන්න, මම උස් හඬින් කිව්වා. ඔවුන් සියලුදෙනා එකපාරටම ගැස්සිලා මා දෙස බැලුවා. දැන් සියලුදෙනාගේම ඇස් මා දෙසට යොමු වෙලා. මම ඔවුනට කිව්වා, "සහෝදරවරුනි, මෙතන පව් නොකරපු කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගසන්න" කියලා. සෙනග එකිනෙක සමග කොඳුරනවා. එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා, බොරුවට ක්‍රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා. ලෝගුව පොරවාගෙන සිටි මහලු පුරුෂයා කිව්වා, මම කිසිම දවසක ගැහැණියකගේ පහස සොයා ගෙන ගිහිල්ලා නැහැ ඒ නිසා මම පව්කාරයෙක් නෙවෙයි කියලා, තඩි ගලක් අරගෙන අර ගැහැණියට ගැහැව්වා. ඒක වැදුනේ ඇයගේ නළලට. ඒ සමගම, අනෙක් මිනිසුන් ඇයට ගල් ගසන්න පටන් ගත්තා. ගැහැණිය වේදනාවෙන් මොර දෙනවා. ඇයගේ සිරුරට වැදෙන ගල් වල හඬ මට ඇසෙනවා. ඒක හරිම බොල් හඬක්.

මටත් තිරිසන් ආසාවක් ඇති උනා ඇයට ගල් ගැසීමට. මටත් චන්ද්‍ර නගරයේ පුරුෂයෙකු වෙන්න අවශ්‍ය උනා. මමත් ගලක් අහුලාගෙන සෙනග අතරින් රිංගලා ඉලක්කය අරගෙන, අර ගැහැනියගේ ඔළුවට ගැහුවා. ඒක වැදුනේ ඇයගේ වම් කම්මුලේ. එතනින් ලේ ආවා. මට ඇයට ගල් ගසන්න පුදුමාකාර ආසාවක් ඇතිඋනා. මම ගල් වලින් මගේ සාක්කු පුරවාගෙන, සෙනග තල්ලු කරගෙන ඉදිරියට ගිහිල්ලා අර වැටිලා ඉන්න ගැහැණියට ගැහුවා. ගල් ඇයගේ ශරීරයේ වැදෙන්න වැදෙන්න මට දැනුනේ පරපීඩාකාමී ආශාවක්. මේ මිනිසුන් සියලුමදෙනට ඒ ආශාව දැනෙන බව මට තේරුනා. ගැහැනියගේ අඳෝනාව, වේදනාවෙන් කෑ ගසන හඬ, අපගේ හැඟීම් උද්දීපනය කළා. අපි තරගයට ගල් ගැසුවා. බොහෝ වෙලාවක් ගල් ගැසුවා. අපේ කමිස දහදියෙන් පෙඟෙන තුරු ගල් ගැසුවා. ගැහැණිය මැරිලා, ඒත් අපි ගල් ගැසුවා. ඇයගේ ශරීර මස් තැළිලා, ඒත් අපි ගල් ගැසීම නැවැත්තුවේ නැහැ. ඇයගේ මළකුණ හප වන තුරු අපි ගල් ගැසුවා. අවසානයේ අඳුර වැටිලා ඉල්ලක්කය ගැනීමට ඇයගේ මළකඳ පෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලක්කය අනුමාන කරගෙන ගැහුවා. සඳ පෑයුවා, අපි සඳ එලිය ආධාරයෙන් හප ගිය මිනිස් කුනුපයට ගල් ගැහුවා. ගල් ඉවර වෙනකොට අර හපය ලඟට ගිහින් ලේ තැවරුණු ගල් අරගෙන ආවා. අවසානයේදී, එතන තිබුනේ විසිරි ගිය මස් කෑලි තොගයක් විතරයි. මිනිසෙකු තවත් මිනිසෙකු විනිශ්චය කිරීම, ඔහුට හෝ ඇයට දඬුවම් දීම කොතරම් සුමිහිරි දෙයක්ද. එහි ප්‍රීතිය නියමාකාරයෙන් භුක්ති වින්ඳේ අද. මට විශාල ප්‍රීතියක් දැනුනා. උඩ පනින්න, ගී ගයන්න, නටන්න මගේ සිත උද්දාමයෙන් පිරිලා. චන්ද්‍ර නගරය කොතරම් අනගි නගරයක්ද? ගැහැනුන්ට ගල් ගසා මරා දමන, වරදකරුවන්ගේ අතපය කපන, ප්‍රසිද්ධියේ මිනිසුන්ට කස පහර දෙන අපේක්ෂාවේ නගරය.

චන්ද්‍ර නගරයේ ජීවිතය ඉතා සරලයි. එක්කෝ තහනම් නැත්නම් අනිවාර්යයයි. ඉන් අතර මැද විකල්පය නැහැ. සෑම දේම තීරණය කලේ පැරණි ශුද්ධ ලියවිලි වල තියන නීති අනුව. ශුද්ධ ලියවිල්ලක තිබුනා නම් මිනිසා ආහාර ගත යුත්තේ මුඛයෙන් නොව නාසයෙන් කියලා, අනිවාර්යෙන්ම මිනිසුන් එය පිලි පැදිය යුතුයි. කිසිවෙකුට ශුද්ධ ලියවිල්ලේ තථ්‍යතාව ප්‍රශ්න කරන්න තහනම්. එයට විරුද්ධ අදහස් දැරූවන්, මිථ්‍යා දෘෂ්ටිකයන්. ඔවුන් ගෙල කපා මරා දැමිය යුතුයි. මා තුල සිටි පරපීඩකයාට රිසි සේ තෘප්තිය ලබා දුන් චන්ද්‍ර නගරය. මම නුඹට සුභ පතනවා. මගේ ගමන මා යා යුතුයි, ඒ නිසා මම අමාරුවෙන් චන්ද්‍ර නගරයට සමු දුන්නා."


නිකිටා මිකාලොව් ගේ Burnt by the Sun චිත්‍රපටය සිහිපත් කරවන රතු විප්ලවය මගින් විප්ලවයේ ක්‍රියාධරයන් විනාශ කිරීම ගැන මානසික රෝගියාගේ තම වෛද්‍යවරයාට පවසන්නේ මෙසේය.

"මම කඳුවැටිය තරණය කළා. මම දුටුවා ඈතින් පායා ඇති හිරු. මිනිසුන් පිරිසක් කඳු පාමුල, රැස්වීමක් වගේ. ඔවුන් රතු පැහැති කොඩි අරගෙන ඈතින් පෙනෙන හිරු දෙසට යනවා. ඔවුන් හිරු ගේ රක්ත වර්ණ පැහැයට වශී වෙලා. ඔවුන් ගෙනයන ධජ, හිරුගේ පැහැය. යන ගමන් ඔවුන් සටන් පාඨ කියනවා. උද්යෝගය පිරිලා. මම ඈත සිට බලාගෙන හිටියා. ඔවුන් දිගටම ගමන් කලේ සුර්යා දෙසට. මුළු අහසම රතු පාටයි. අහසේ රතු පැහැය තව තවත් වැඩි උනා. දැන් මුළු අහසම ලේ රතු පාටයි. හිරුගේ රශ්මිය එන්න එන්නම වැඩි වෙනවා. එත් මිනිසුන් පිරිස හිරු දෙසටම යනවා. මම කඳු වළල්ලට මුවා වෙලා ඔවුන් දෙස බලා සිටියා. තද හිරුගේ රශ්මිය වැදිලා ඔවුන් පිලිස්සී ගියා. එහෙත් ඔවුන් ගමන නතර කරන්නේ නැහැ ඉදිරියටම යනවා. ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියෙන් යන මිනිසුන් දැවී අළු වී ගියා. ඔවුන්ව පරයා ගෙන දෙවන පෙළ යනවා. ඔවුනුත් දැවෙනවා. මෙසේ සියලුම දෙනා රක්ත වර්ණ සුර්යා විසින් දවා හළු කරනු ලැබුවා. ඒක භයානක දර්ශනයක් ඩොක්ටර්, නමුත්, මිනිසුන් ඔවුන් ප්‍රේම කල හිරු නිසාම විනාශ උනා. විනාශය පැවත්මේම එක් අංගයක් වෙන්න ඇති....."

"මානසික රෝගියා ගේ පරිකල්පනය" කෘතිය සිංහල සාහිත්‍යයේ මෙතෙක් පළ නොවූ අන්දමේ කෘතියකි. එය අර්ධ නවකතාවක්, විස්තර ප්‍රකාශයක්, ඓතිහාසික විශ්ලේෂණයක් යනා දී ප්‍රවර්ග රැසකට අයත් වන නිර්මාණයකි. මෙය සිංහල පාඨකයාට අමුතුම අත්දැකීමක් ගෙන දෙන කෘතියක් වනු ඇත.

ඒ. එස්. වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වසර හයක් තිස්සේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස අප හඳුනන විරාජ් ලියනාරච්චි ඡායාරූපකරණය ඇසුරේ විවිධ පර්යේෂණවල නිරත වෙමින් සිටියි. වත්මන් ලාංකේය සන්දර්භය තුළ දුලබව ස්පර්ශ වන ඉම් කරා ළඟා වීමට වෙර දරයි. කලාවට අදාළ අධිපති මතවාදයෙන් ඔබ්බට ගිය වෙනස් වූ මානයන් ගවේශණය කරන ඔහු ඒ ප්‍රකාශනයන් සිදු කරන්නේ අප අවට ඇති වෙනත් විවිධ මාධ්‍ය සමඟ මිශ්‍ර කරමිනි. සිය ඡායාරූප හරහා අන්තර්ජාතික අවධානයට ද ලක්ව ඇති ඔහුගේ ප්‍රථම කේවල ඡායාරූප ප්‍රදර්ශනය ‍මැයි මස 27 සිට 29 වැනිදා දක්වා කොළඹ ජාතික කලා භවනේ දී සහ ජුනි 2 සහ 3 යන දෙදින තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘මාගේ දේශය අවදි කරනු මැන’ ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දී පැවැත්වීමට බලාපොරොත්තු වෙයි. විරාජ් බූන්දිය සමඟ කළ ‍මේ සංවාද සටහන ඒ නිමිත්තෙනි.

ඇයි ඔබ ඔබේ ප්‍රකාශන මාධ්‍යය ලෙස ඡායාරූපකරණය තෝර ගන්නේ?

ඇත්තට ම මගේ ප්‍රකාශන මාධ්‍යය ඡායාරූපකරණය පමණක් නෙවෙයි. මම විවිධ මාධ්‍ය ඔස්සේ දේවල් ඉදිරිපත් කරනවා. කවිය, කෙටි චිත්‍රපටකරණය වගේ විවිධ දේවල් හරහා මගේ ප්‍රකාශනයන් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා.

නමුත් ඡායාරූපකරණය කියන්නේ විශේෂ මාධ්‍යයක්. චිත්‍රපටියක් ගත්තොත් ඒකෙ ගලා යාමක් සිද්ධි ගොඩක් තියෙනවා. ඒත් ඡායාරූපයකට හසුවෙන්නේ ජීවිතයේ එකම එක නිමේෂයක් විතරයි. එක රූපයක්. ඒ එක රූපයෙන් පුලුවන් මිනිහෙක්ව සසල කරන්න. ඒ නිසා ඡායාරූප කලාවට මම වඩාත් කැමතියි.

අපි දන්නවා ඡායාරූපකරණයේ modern art(නූතනවාදී කලාව), surrealism(අධියථාර්ථවාදය), post-modern art (පශ්චාත් නූතනවාදී කලාව) වැනි විවිධ ශානරයන් තිබෙන බව. මේවා අතරින් ඔබේ එළඹුම මොකක්ද?

මම මේ එකකට සීමාවෙලා නෑ. මම විවිධ ශානර තුළ අත්හදා බැලීම් කරමින් ඉන්නවා. අපි සාමාන්‍ය ස්වභාවික ඡායාරූපයක් ගත්තොත් ඒ තමා අපි දකින දේ. එය අයත් වෙන්නේ modern art වලට. නමුත් surrealism කියල කියන්නේ දේවල් ඉන්ද්‍රජාලිකව කියවා ගැනීමක්. ඒ ඡායාරූපය දිහා බැලුවම ඒක යථාර්ථය නෙවෙයි. නමුත් ඒක ඇසින් දකින දේ ම විය යුතු ද? නෑ. මනසින් දකින දෙයක් වෙන්න පුලුවන්. modern art ඉඳන් surrealism වලට එද්දි නිර්ණායක ටිකක් හැලිලා තමයි එන්නෙ. post-modern කලාව ඊටත් වඩා වෙනස්. එහිදී නිර්මාණයේ කර්‍තෘ ගැන හොයනවා, මාතෘකාව බලනවා. ‍ modern art වලදි අනුගමනය කරන ඇතැම් රීති- එනම්, වස්තු සංවිධානයේ දී ප්‍රධාන අරමුණට බාධා නො වන පරිදි අනෙක් වස්තූන් තැබීම, ප්‍රධාන අරමුණ බලා සිටින දිශාවට (Looking Phase) වැඩි ඉඩක් තැබීම වැනි දෑ නො සලකා හරිනවා. මම කියන්නෙ නෑ ඒ රීති නරකයි, post-modern ශානරය තමයි හොඳම කියල. නමුත් නිර්ණායක සේම ඒ තුළින් කියවෙන මිනිසුන්ගේ ජීවිතයට බද්ධ වන දේවල් පිළිබඳ කතිකාවත් (Discourse) වැදගත්.


අලුත් විෂයක් තියෙනවා Photo Manipulate කියල. එහිදී එක් නිර්මාණයක් කරන්න ඡායාරූප ගණනාවක් යොදා ගන්නවා. ඒ නිසාම එතුළින් මතුවන කතිකාව ප්‍රබලයි.

කවුරුත් වැඩිය අත තියන්න බය ‘නිරුවත් ඡායාරූපකරණය’ ගැන ඔබ උනන්දුයි නේද?

ජීවිතයෙ නිරුවත මම දකින්නෙ වෙනත් විදිහකට. සිංහල- බෞද්ධ ලාංකික විඥානයේ තියෙන ලංකාව කියන්නේ දොරමඬලාවෙ කියන ‘හරි ෂෝක්’ එක. එහි නිරුවතට ඉඩ නෑ. නමුත් ඇත්තටම නිරුවත කියන්නෙ නිදහස සහ ගැඹුර පිළිබඳ අදහසක් ඉස්මතු කරන දෙයක්. නිරුවතට පොදු සමාජය දෙන අර්ථ කථනය තුළ තමයි ඒක කුණුහරුපයක් වෙන්නෙ. නමුත් ඒක කුණුහරුපයක් නෙවෙයි. ඉතිහාසයෙ දි ලයනල් වෙන්ඩ්ට් වැනි අය විශිෂ්ට ලෙස මේක කළා. එහි ලස්සනක් තිබුණා. රැලෙක්ස් රණසිංහ, පී.බී. වීරවර්ධන, වෛද්‍ය එම්. එස්. වීරකෝන් සහ ජී. හෙට්ටිආරච්චි වැනි අය අතර මේ ගැන විශේෂ කතිකාවක් තිබුණා. ඒ පෙළ එකපාරට ම නැතිවෙලා ගිහින්. දැන් Nude Photography දකින්නෙ විනාශකාරී දෙයක් විදිහට. ඒ අදහස මේ භූමියේ අධිපති මතවාදයට සාපේක්ෂ යි. ඉස්සර මෙය යොදා ගැනුනෙ ස්ත්‍රියගෙ සුන්දරත්වය මතු කරන ක්‍රමවේදයක් විදිහට. නමුත් මම වැඩිපුර ගන්නෙ නග්න පිරිමි රූප. මම ඒ තුළින් උත්සාහ කරන්නේ පිරිමියා තුළ ඇති ස්ත්‍රී ස්වභාවය මතු කරන්නයි. මේ පුරුෂාර්ථවලින් පිරුණු සමාජයට පිරිමියා යනු පරම දෙයක් නොව ස්ත්‍රිය හා පුරුෂයාගේ සංකලනයක් බව කියන්නයි මට ඔනෙ. අනෙක් අතට ස්ත්‍රී ඡායාරූප සම්බන්ධයෙන් ගත්තොත් සුන්දරත්වය මතු කිරීම වෙනුවට මම උත්සාහ දරන්නෙ බඩ මහත, රැළි වැටුණු සැබෑ ස්ත්‍රී ශරීර ඡායාරූපගත කරන්න‍. ලස්සන කැත තීරණය කරන්නේ රේඛා සහ හැඩතලවලින් නෙවෙයි. නිරුවත තුළ ඉන් එහා ගිය නිදහස පිලිබඳ කතිකාවක් ගොඩ නැඟිය යුතුයි. ඒ නිදහස ලස්සන ස්ත්‍රියට පමණක් අයිති දෙයක් නෙවෙයි.

වික්ටෝරියානු සමාජයෙ මිනිසුන්ට ඇඳුම් ගලවන්න සෑහෙන්න කාලයක් ගත වුණා. ඒ වගේ තමයි ලංකාවෙ වාමාංශික පක්ෂ අතර රාවයක් ගියා නිරුවත් වෙරළ කලාප ඇති කරන්නට සැලසුම් කිරීම ගැන. ඔවුන් කිව්වෙ මෙය ගෝලීය ධනවාදය තුළ සූරා කෑමක් කියලා. ඒ නිසා ඒ අදහසට විරුද්ධ වුණා. නමුත් ගොඩ නැගිය යුතු සැබෑ තර්කය එය නෙවෙයි. නිරුවත් වෙරළ කලාප ඇති කිරීම නෙවෙයි ප්‍රශ්නය- එය එක්තරා පිරිසකට පමණක් සීමා කිරීම යි.


ඔබ ලංකාවට තවම එතරම් ම හුරු නැති දෙයක් වන Interactive Art ඇසුරින් පර්යේෂණ කරනවා?

ඔව්. මම ඒ තුළත් අත්හදා බැලීම් කරමින් ඉන්නවා. Interactive Art කියල කියන්නෙ කලා කෘතියක් විඳින මිනිසාව ඒ කෘතියට බද්ධ කරගෙන ඔහු හෝ ඇය එහි කොටසක් බවට පත් කරගැනීමේ ක්‍රියාවලියකට යි. මම පහුගිය පෙබරවාරි මාසේ "Coca" කණ්ඩායම සමඟ එක් වෙලා මරදාන where house එකේ එවැන්නක් කළා. ඉන් එකක් තමයි බිත්තියක ප්‍රොජෙක්ට් කරලා කෙටි චිත්‍රපටයක් දිගට ම ප්‍රදර්ශනය කිරීම. ඒකත් එක්ක සහ- සම්බන්ධයක් හැදෙන විදිහට ගැලරි එක පුරා පොළවෙ තැන තැන හැඟීම් ප්‍රකට කරන මිනිස් මුහුණුවල ඡායාරූප ඇලෙව්වා. ගැලරියෙ අනික් දේවල් බලද්දි මිනිසුන්ට මේවා පෑගුණා. වී අයි පී කණ්ඩායම්වලට පවා. එතකොට එයාල ඇහුවා "ඇයි මේ ‍ෆොටෝස් පෑගෙන්න දාල තියෙන්නෙ? අපරාදෙ නේද?" කියලා. මගේ පිළිතුර වුණේ මේකයි. "අපි මේ පින්තූරෙ ඉන්න මිනිස්සු පෑගෙන එක ගැන දුක්වෙනවා. හැබැයි එළියෙ ඇත්තට ම නිමේෂයක් පාසා මිනිස්සු පෑගෙනවා. ඒ ගැන කාටවත් තැකීමක් නෑ." ඒ අදහසත් එක්කම විවිධ සංවාද ගොඩ නැගුණා. ජන ජීවිතයේ ගැටළුව ගැන කාටත් පොදු ප්‍රශ්න ගැන එවැනි දේ හිතන්නෙවත් නැති අය පවා විමතියට පත් වෙලා අදහස් දැක්වුවා.

ලෝකයේ ඡායාරූපකරණය ගැන කතා කළොත්?

දැනට හැදිල තියෙන පද්ධති ගත්තම ඒවා නිතරම නිර්මාණය වෙන්නේ දෘෂ්ටිවාදවලින් ගහණ මහා පද්ධතියට සාපේක්ෂව. ඉතින් ඡායාරූපයෙන් වෙන්නෙත් ඒ මතවාද ක්‍රියාවට නඟන එකම යි. උදාහරණයක් ලෙස ගත්තොත් හොලිවුඩ්වල හොඳම චිත්‍රපටි කියල සැලකෙන නිර්මාණ තුළ තියෙන දෘෂ්ටිය වෙන්නෙ ඒ සංස්කෘතිය තුළ බලවත් මතවාදය. ඡායාරූපකරණයත් ඒ වගෙයි. ලෝකෙ දැවැන්තම ඡායාරූප උළෙලක් වන 'Australian Super Circuit' ගනිමු. අපි මෑතකදි දැක්කා ඒකට ඉදිරිපත් කරපු ළමා අංශයේ ඡායාරූප පෙළක්. ඒ ළමයි හරි සුන්දරයි. කිසිම දුකක් කරදරයක් පේන්නවත් නෑ. නමුත් අපි දන්නවා ඇත්ත ලෝකයේ ළමයින්ට කොච්චර ප්‍රශ්න තියෙනවද කියල. සෞඛ්‍යය, අධ්‍යාපනය, අපචාර මෙවැනි ප්‍රශ්න කොයි තරම්ද? නමුත් මෙතනදි මුළු ලෝකෙම කියවන්න පදනම හැටියට ගන්නෙ යුරෝපයේ දියුණු ජීවිතය. මම මේකෙන් අදහස් කරන්නෙ නෑ ළමයින්ගේ සුන්දරත්වය අගය නො කළ යුතුයි, දුක ම වර නැගිය යුතුයි කියල. නමුත් ඉහත කී විභවය වෙනස් කළ හැකි කතිකාවක් ගොඩ නැගිය යුතුයි.

මෙවැනි තත්ත්වයක් තුළ ඔබ ඔබේ ඡායාරූපවලින් වෙනස් යමක් කරනවද?

මම මේ කතා කරන්නේ Art Photography එහෙම නැත්නම් කලාත්මක ඡායාරූපකරණය සම්බන්ධයෙන්. Wedding Photography, nature and wild life photography, commercial photography මෙවැනි ෂානර ගොඩක් තියෙනවා. යම්කිසි ඡායාරූපයක් කලාත්මකයි කියල පිළිගන්න බලන්නාවූ නිර්ණායක ටිකක් තියෙනවා. රූපයේ හැඩතල, වර්ණ සංයෝජනය, වස්තු සංවිධානය, අඳුර- එළිය, රේඛා සහ ස්වර්ණමය අනුපාත ඉන් සමහරක්. ලංකාවෙදි කලාත්මක ඡායාරූප විග්‍රහ වෙන්නෙ මේ නිර්ණායකවලට සාපේක්ෂව. අපි සාමාන්‍යයෙන් බලන්නෙ ඇස් මට්ටමින්. නමුත් අපි මේ ඇස් දෙකෙන් දකින යථාර්ථය වෙනස්ම කෝණයකින් බලලා පෙර නොවූ විරූ විදිහට ඉදිරිපත් කිරීම තමයි සිද්ධ වෙන්නෙ. මේක තමයි පාඨමාලාවල න්‍යාය වශයෙන් උගන්වන්නෙ. ඒකෙ වරදක් නෑ. නමුත් අපි මේ ඔක්කොම කතා කරන්නෙ ගොඩ නැගීම් පද්ධතියක් තුළ විතරයි. අපට ඒ තුළින් මතු කළ යුතු කතිකාව මඟ ඇරිලා. අපි ජාතික ඡායාරූප කලා සංගමයේ ඩිප්ලෝමාව කරන කාලේ මිනිස්සු හොයාගෙන දුර බැහැර සංචාරය කරලා ඒ මිනිස්සු එක්ක ජීවත් වෙලා ඔවුන්ගේ ජීවිත කැමරාවට ග්‍රහණය කර ගත්තා. ඒ ගත්ත ඡායාරූපවලින් ජාතික කලා භවනේ ප්‍රදර්ශනයකුත් කළා. එතන තිබුන මගේ ‘Gypsy Girl’ කියන ඡායාරූපයට දෙවැනි තැන ලැබුණා. මේකට විවිධ ප්‍රතිචාර ලැබුණා. "දුකයි", "පව්", "හරි ස්වීට්" වගේ ඒවා වගේම සමහරු ඇහුවා "ඇයි මේකට ‘Gypsy Girl’ කියලා නම දැම්මෙ? නිකම් තිබ්බ නම් හරිනේ බලන කෙනාට විවෘතව හිතන්න" කියල. මම කියන්නෙ මේ ඉන්නෙ Gypsy Girl ම තමයි. අපි එයාව වෙන විදිහකට නෙවෙයි ඒ විදිහට ම දකින්න ඕනේ. ඒක තමා යථාව. කෙසේ නමුත් ඒ මාතෘකාව සහ එය බෙදාගත් ආකාරය අනුව ඒ තුළින් අහිකුණ්ඨික මිනිසුන් ගැන සංවාද ගොඩ නැඟුණා.

දේශපාලනිකව ගත්තොත් මිනිස්සු යථාර්ථය කියල කියව ගන්නෙ, දකින්නේ යථාව නෙවෙයි. කතිකාව ගොඩ නැඟීම යි වැදගත්. ඒ සඳහා මම කරන්නේ මේ යථාව මගේ පැත්තෙන් බලන්න කියලා ආරාධනාවක් කරන එකයි.


විරාජ් "අWL Art" නමින් තමන්ගෙ ප්‍රථම කේවල ඡායාරූප ප්‍රදර්ශනය කරන්න යනවා. ඔබ ඒ තුළින් ඉහත කියූ කතිකාව ගොඩ නඟන්නේ කොහොමද? ප්‍රදර්ශනය සහ අපේක්ෂිත කතිකාව ගැන කතා කළොත්?

මම ඡායාරූපකරණයට පිවිසිලා අවුරුදු හයක්. අපි කාචයට හසු කර ගන්න කලාත්මක ඡායාරූප මිනිසුන් සමඟ බෙදා ගත යුතුයි. ඒ සඳහා ඇති මාධ්‍යය ප්‍රදර්ශනයක් පැවැත්විම යි. ලංකාවෙ ප්‍රදර්ශනයක් කළාම ඒක බලන්න එන්නේ මම වගේම තවත් ඡායාරූප ගන්න අය. "මේ ෂොට් එක මාරයි" වගේ දේවල් කියලා විචාරයකුත් කරනවා. ඊට පස්සෙ කේක් කාලා, තේ බීලා, පිට කසලා යනවා. ඊට අමතරව ජාත්‍යන්තර ප්‍රදර්ශන ම පමණක් ඉලක්ක කරගෙන නිර්මාණ කරනවා. ඒ තුළ විශිෂ්ටයින් බිහිවෙලා තියෙනවා. ඒ තරමටම රන් පදක්කම් ගෙනල්ලත් තියෙනවා. මේකට අපේ ගුරුවරුත් ඇතුළත්. හැබැයි අඩුගාණෙ මහජනතාව නෙවෙයි, ඡායාරූප ක්ෂේත්‍රයේ ඉන්න අයවත් මේ ඡායාරූප දකින්නෙ නෑ. ප්‍රදර්ශනය තමයි තියෙන එකම ෆෝමැට් එක.

අපි ඉන්නෙ ගෝලීය ධනවාදී සමාජයක. ඒකට සාපේක්ෂව දැනුම හුවමාරු වෙන වේගය ඉස්සරට වඩා වැඩියි. අන්තර්ජාලය නිසා මේක තවත් පහසු වෙනවා. දවසකට ලක්ෂ ගණනක් හොඳ හෝ හොඳ නැති ඡායාරූප ඊට එක්වෙනවා. මම මුලින් ම අWL Art කළෙත් අන්තර්ජාලයෙ. ඒකෙන් මගේ රසික ප්‍රජාව පුළුල් වුණා. නමුත් ඇත්තම කාර්යය වුණේ අන්තර්ජාලය තුළ කතිකාව ගොඩ නඟන එක. මම ඡායාරූපය තුළ කවිය, විස්ථාපන කලාව වැනි දෑ එහෙට මෙහෙට දාලා අත්හදා බැලීම් කරනවා. මට හිතෙනවා ඒකෙ සාර්ථකත්වයක් තියෙනවා කියලා. මොකද ඒ තුළ යම් පිරිසක් රොක් වුණා. ඒ සියල්ලෙන් ලැබුණු උත්තේජනය තමයි මේ ප්‍රදර්ශනය සඳහා මුල් වුණේ.

ඔබ අහයි එතකොට මාත් කරන්නේ කලින් අය කරපු දේම නේද කියල. නමුත් අන්තර්ජාලයේ හෝ එහි නොවන පිරිසට කලාගාරයේ බිත්තියක එල්ලලා මේවා පෙන්නුවම එය පරිගණක මොනිටරයක් මත අඩු ගුණාත්මකභාවයකින් දකින ඡායාරූපයකට වඩා වෙනස්. එය කතිකාව සඳහා ඉඩ හැදීමක්. ඒ වෙනුවෙන් ම තමයි ප්‍රදර්ශනයේ ආරම්භයට සමගාමීව විදර්ශන කන්නන්ගර සහ සිතුමිණි රත්නමලල අදහස් දක්වන්නෙ. කොළඹ ම කේන්ද්‍ර නොකොට නුවරටත් මෙය ගෙනියන්න හිතුවෙ එහි තවත් ඉදිරි පියවරක් ලෙස.

විරාජ් විවිධ පිරිස් සමඟ කලා සහ දේශපාලන වැඩවල නිරත වෙනවා. මේ දේවල්වලට වැඩිපුරම අවකාශය හැදෙන මහල්වරාවෙ "බේකරිය" ගැන යමක් කිව්වොත්?

අපේ ඉතිහාසය පුරාම අවුරුදු ගණනක් වමේ ව්‍යාපාර එක්ක වැඩ කළා. අන්තිමේදි එයාල අපිට ෆැන්ටසි එකක් පෙන්නලා සුදු ඇඳුම් ඇඳ ගත්තා. බේකරියෙ අපි කරපු 'Saturday Night Fever' සංගීත වැඩසටහනේ මූලික අරමුණ වුණේ මේ තියෙන අධිපතිවාදී ‘මෙගා ස්ටාර්’ මියුසික් ශානරය ට පිටින් වෙන යමක් ගොඩ නැඟීම. ඒකට අපිත් එක්ක බොහෝ කලක් තිස්සේ ආදරය හා දේශපාලනය බෙදා ගත් මිතුරු කණ්ඩායම් හතක් එකතු වු ණා. ගීතදේව, ශාක්‍ය, O2, සරාලගේ Wanted බෑන්ඩ් එක, මාධව, පාලිත සහ ජෙහාන් වැනි දිගටම මියුසික් වැඩවල ඉන්න අය තමයි ක්ලැසික්, හාඩ් රොක් වැනි අංශ වලින් මේකට දායක වුණේ. මම ඒ එකතු වීමෙ ම වැදගත් කමක් දකිනවා. ඒක මේ මෙගා කතිතාව ඇතුළෙ real එකත් එක්ක කළ කතිකාවක්. සමහර සිංදු දේශපාලනික හැඩයක් ගත්තා. ඒකෙන් අපි දේශපාලන ව්‍යාපාර එක්ක සම්බන්ධයි කියලා චෝදනා ආවා. ජාතික පුවත්පත්වලිනුත් පහර දුන්නා. නමුත් මම කියන්න ඕනෙ එතන එහෙම දේශපාලන ව්‍යාපාර නෑ. මේ වගේ වැඩවලට කඩේ යන දේශපාලන ව්‍යාපාර දැන් ඇත්තෙත් නෑ.


විරාජ්ගෙ කලාවෙ ඉදිරි දැක්ම?

Art කරන කෙනෙක් විදිහට ඡායාරූපකරණය කියන්නෙ ෆොටෝ එකක් බිත්තියෙ එල්ලලා විනෝද වෙන එක නෙවෙයි. මේ තියෙන තත්ත්වයට දේශපාලනික උත්තරයක් ඕනෙ. අද සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය දරන්නාවූ බහුතරය බලන් ඉන්නෙ හෙට නිවන් යන්න. එයාලගෙ ඇස් ඇරවන්න හරබර දේශපාලන සාකච්ඡා පමණක් ම ප්‍රමාණවත් නෑ. කලාවත් අවශ්‍යයි. අපි කලාව කළ යුත්තේ මිනිස්සු වෙනුවෙන්.

බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails