Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අතුරුදන් කිරීම් දැන් දෛනික ජීවිතයේ අංගයකි. මිනිසුන් මතු නොව සොහොන් බිම් ද සොහොනකටත් අස්වාමිකව ටයර් සෑ වල දැවී හළු වී ගිය සහසක් මිනිසුන් වෙනුවෙන් තැනුණු ස්මාරක ද අතුරුදන් කෙරෙමින් තිබේ. එයට උතුර දකුණ කියා වෙනසක් දැන් නැත. සිංහලයාට නොතිබුණු එහෙත් දෙමළාට තිබුණු ප්‍රශ්ණය දැන් විසඳා හමාරය. ඒ දෙමළුන් අතුරුදහන් වෙන වේගය සහ සිංහලුන් අතුරුදහන් වෙන වේගය සමාන කොට "සමානාත්මතාව" ඇති කිරීමෙනි. ෂර්ලොක් හෝම්ස් වර්ගයේ අපරාධ පරීක්ෂකයන් සමාජ ක්‍රියාධරයන්ගේ නිවෙස් අවට සැරිසරමින් ඔවුන් ව සමානාත්මතා පදනමකින් අතුරුදහන් කිරීම සදහා සලකා බලමින් සිටිති. පශ්චාත් නන්දිකඩාල් මොහොතෙන් පසු යුද්ධය දකුණට ද "විමධ්‍යගත" කරන ලද අතර දැන්, "බලය බෙදාහැරීම" සිදු කෙරෙමින් පවතියි. අතුරුදහන් වීමට නියමිත අයට ටෙලිෆෝන් වලින් කතා කොට, තර්ජනය කොට "බලය බෙදා හැරෙන" අතර, උතුර දකුණ කියා වෙනසක් නැතිව අවශ්‍ය ඕනෑම තැනකට නොමිලේ බලය ගෙන්වා ගැනීමට වයිට් කැබ් සර්විසය යොදා ගැනීමට හැක. අවශ්‍ය වන්නේ "ප්‍රශ්ණ ඇසීම"යි! ප්‍රශ්ණ අසන පුරවැසියන්ට නොමිලේ ලැබෙන එම්බාම් සේවයේ සුව පහසුව අත් විඳ, අහසින් ගොස් තම තමන්ගෙ බොකු බඩවැල් මුහුදේ ඉන්නා "බලය"න්ට "බෙදා හැරීමේ", "ස්වයං තීරණ අයිතිය" ලැබී ඇත.

නිදන් හාරන්නේ, කඩු හොරකම් කරන්නේ රටේ කී වැනි පුරවැසියාදැයි මේ වන විට මුළු රටම දන්නා බව ඇත්තය. වයිට් කැබ් සර්විසය අයිති ඒකී පුරවැසියාගේ කී වැනි සහෝදරයාටදැයි යන්න ද මුළු රටම දන්නා බව ඇත්තය. ඉඳ හිට කෙනෙකු කට පිරෙන්නට ඔබා ඇති රගර් බෝල, අධිවේගී මාර්ග සහ මොඩන් ක්වේණිලා ගේ රෝස පාට ජංගි ගලවා දමා ප්‍රශ්ණයක් දෙකක් අසති. "බලය" (මදි නොකියන්නට) බෙදාහැරෙන්නට ගන්නේ අන්න එවිට ය!

මිතුරනි, ජාතික කෞතුකාගාරයේ කඩු සොරකම ගැන සාක්ෂි දුන් ස්ටැන්ලි ලියනගේ සහෝදරයා ආ ගිය අතක් නැත. (ජනරළ 2012.06.17 මුල් පුවත1 සහ 2012.07.01 තෙවන පිටේ පුවත2) ස්ටැන්ලි, ප්‍රගීත් ගිය අතකම ගියා ද ගියා ද ලලිත් කූගන් ගිය අතකම ගියා ද කුමාර් දිමුතු ගිය අතකම ගියා ද අපි නොදන්නෙමු. එහෙත් ඒ ආ ගිය අත එදා ජූනි 12 වන දා සවස 2:15 වන තුරුත් ස්ටැන්ලී නොදැන සිටි බව පමණක් අපි දන්නෙමු. එහෙත් ඒ ආගිය අත ස්ටැන්ලිගේ ආදරණීය බිරිඳ නොදැන සිටි බව පමණක් අපි දන්නෙමු. එහෙත් ඒ ආගිය අත ස්ටැන්ලිගේ අහිංසක දරු පැටවුන් දෙදෙනා නොදැන හිටි බව පමණක් අපි දන්නෙමු. කිසිවෙක් නොදැන හුන් ඒ ආ ගිය අත ගැන වයිට් කැබ් සර්විසයේ සී.ඊ.ඕ. ධූරන්ධර මහතුන් දන්නා බව පමණක් අපි දන්නෙමු.

මිතුරනි, ස්ටැන්ලි කවුද?



ඔහු කලා භවනත් ජෝන් ද සිල්වා රඟහලත් මැද පිහිටි මුර කුටියේ සිටි ආරක්ෂක නිලධාරියාය. ස්ටැන්ලි කවියෙකි. මුලින්ම අපට ස්ටැන්ලි හමු වූයේ ඔහු කවියෙකු වූ නිසාවෙනි. බූන්දි වෙබ් අඩවිය සංවිධානය කළ අක්ෂර සෙනග නිර්මාණ තරඟයේ විවෘත අංශයේ හොඳම කවිය3 වෙනුවෙන් වූ තිළිණය දිනා ගත්තේ ස්ටැන්ලිය. ඉන් වසර කීපයකට පසු ස්ටැන්ලි අපට අහම්බෙන් හමු වූයේ විරාජ් ලියනාරච්චි සහෝදරයාගේ සේයා රූ ප්‍රදර්ශනය දා කලා භවනේ මුර කුටියේ දී ය. නෙළුම් පොකුණේ යෝධ හෙවණැල්ල යට වූ බිම් කඩෙක සිට කලෙකට පසු හමු වූ උණුසුම් හැඟීමෙන් ස්ටැන්ලි බොහෝ දේ අප සමග කීවේය. නිල ඇඳුමට යටින් හුන් කවියෙකු සහ මිනිසෙකු අපට හමු විය. දරුවන්ගේ හෙට දවස ගැන බිය වෙන, අනවරත හුදකලා ජීවන අරගලයේ වෙහෙස මැද තවමත් යහපත් ලෝකයක් ගැන හීන දකින, දිවි දෙවනුවට තබා හර්ද සාක්ෂිය ගැන වද වෙන මිනිසෙකු අපට හමු විය.

ඉන් දෙසතියක් යන්නටත් පසුව ආවේ ස්ටැන්ලි ආ ගිය අතක් නැති වූ පුවතයි.

ආනන්ද කුමාරස්වාමි මරා දමා අහසට පැන නැගුණු යෝධ නෙළුම් පොකුණ, ඒකාධිපති වාදයේත්, උද්ධච්ඡ අධම නග්න බලයේත් පුරුෂ ලිඟු සංකේතයයි. ඒ ව්‍යාජ නාට්‍යාගාරයත්, විනාශ කර දමන ලද ජෝන් ද සිල්වාවත් ඉදිරියේදී විනාශ කර දමන්නට නියමිත කලා භවනත් අතර මැද "අවදියෙන් සිටි" මිනිසා දැන් නැත. එසේ අවදියෙන් සිටීමේ භයානක ත්‍රස්තවාදී ක්‍රියාව විසින් ස්ටැන්ලී ට අතුරුදන් වීමත්, ඔහුගේ බිරිඳ සහ දරුවන්ට ඉසිලුම් නොදෙන විප්‍රයෝගයත් උරුම ව ඇත. සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරිය ශිරන්ති රාජපක්ෂ ආර්යාවට ලියූ ලිපියට පිළිතුරක් ලැබුණාදැයි නොදනිමු. ස්ටැන්ලිගේ බිරිඳ ද ජනාධිපතිවරයා ට ලිපියක් යවා තිබේ. චේ ග්වාරාගේ වැන්දඹු බිරිඳ ගැන වද වෙන තරමෙන් අංශු මාත්‍රයකින්වත් ඔය ජනාධිපති මේ අහිංසක ගැහැණුන් ගැන වද නොවෙන බව පමණක් අපි දන්නෙමු. තමන්ගේ පුතුන් තිදෙනා වෙනුවෙන් මුළු රටක් "සෙල්ලම් මිදුලක්" බවට පත් කරනු ලැබ ඇති ඔය ජෝඩුව ස්ටැන්ලිලාගේ ප්‍රගීත්ලාගේ අසරණ අහිංසක නොදරුවන් ගැන එක තඹ පයිසෙකට මායිම් නොකරන බව පමණක් අපි දන්නෙමු.



මිතුරනි,
මර්වින් සිල්වාලා, දුමින්ද සිල්වාලා, ජුලම්පිටියෙ අමරේලා මෙන් ජාතික වීරයන් නොවෙන ප්‍රගීත්ලා- ස්ටැන්ලිලා- ලලිත්ලා- කූගන්ලා වැනි ත්‍රස්තවාදීන් ගැන හොයන්නට ජනතා සේවය වෙනුවෙන් තව ඉතිරිව ඇති පුංචිම පුංචි අවුරුදු එක සිය පණහ නාස්ති කරගන්නට එතුමන්ලාට බල කරන එක අන්තිම අසාධාරණය.

*****

මේ වගේ ලිපි ඉවර කරන සාමාන්‍ය විදිහ වෙන "ඔබ අත වූ ධජය අපි ද ගෙනියන්නෙමු" වගේ බරපතල පොරොන්දු දෙනවා වෙනුවට අපි කැමතියි ආයෙත් අර හැන්දෑවට යන්න.....

ස්ටැන්ලි සමග අප කතා බහේ යෙදෙමින් ඉන්නා විට අපේ පුංචි දරුවා (සෙල්ලමට) බිම තිබූ ගල් කැට එකින් එක අර ගෙන නෙළුම් පොකුණ දෙසට වීසි කරන්නට පටන් ගත්තා- මොකද්ද එයාගෙම සිංදුවක් කිය කියා....

ස්ටැන්ලි කිවුවා.... අපිත් එක්ක හිනා වෙවී....
"ගහපං පුතේ ගහපං... අපිට කරන්න බැරි වැඩේ උඹලවත් කරපන්"

අපි හිනාවුනා හරියට.
එච්චරයි!


-2012.07.30


පාද සටහන්-
1-
සාක්ෂිකරු අතුරුදන් කළේ රජකඩු සොරකම යටගැසීමටද?
-ජනරළ (2012.06.17)



මිෂන් ඉම්පොසිබල් පන්නයේ කෞතුකාගාර මෙහෙයුම ගැන අප ලියූ දේ ඔබට තවමත් මතක ඇතුවාට සැක නැත. එතැනින් අනතුරුව බොහෝ දේ සිදු විය. පොලිස් පරීක්ෂණ පෙරට යන බව කියැවිණි. හෝඩුවාවක් සොයාගත් බව ද කියැවිණි. සොරුන්ට දැල එළාගෙන යන බව ද කියැවිණි. ඒ අතර ආරංචි වූයේ කෞතුකාගාරයේ සොරුන් නෙළුම් පොකුණ රඟහල දෙසට පැමිණි බවය. ජූනි මාසයෙ දොළොස් වෙනිදා වන විට ද තත්වය එබඳුය. එසේ පවතිද්දී මහනුවර, රංගම ලිමගහකොටුවේ සිට පැමිණි ස්ටැන්ලි ලියනගේ පිටකොටුවට විත් සූදානම් වූයේ තමන්ගේ සේවා ස්ථානය වූ "ජාතික කලා භවන" බලා පිටත්වන්නටය. කොළඹ කොටුවේ සිට කලා භවනට යන්නට පෙර සේවා ස්ථානභාර නිලධාරී විජේසිංහට දුරකථන ඇමතුමක් දෙමින් "තව පැයක් ඇතුළත" එන බව කියා සිටියේය. එවිට වේලාව ප. ව. 2:15 වී තිබිණි. එ ස්ටැන්ලිගෙන් ලද අවසන් ඇමතුමය. රාත්‍රී නවය වන තුරුත් ස්ටැන්ලි පැමිණියේ නැත. විජේසිංහ මේ අසාමාන්‍ය ප්‍රමාදය ස්ටැන්ලිගේ නිවසේ උදවියට දුරකථනයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව ස්ටැන්ලිගේ භාර්යාව වන සේපාලිකා හේමමාලී වික්‍රමසිංහ උඩුනුවර, දවුලගල පොලිසියට වහා ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළාය. 85/178/CIB/18.01 යටතේ ඇති එම පැමිණිල්ල අයි. ජී. ස්ටැන්ලි ලියනගේ නැමති කලා භවනේ ආරක්ෂක නිලධාරියාගේ අතුරුදන් වීම නිල වශයෙන් සහතික කරයි.

මැයි මාසයේ සිදු වූ මිෂන් ඉම්පොසිබල් කෞතුකාගාර මෙහෙයුමත් ජූනි මාසයේ සිදු වූ කලා භවනේ සේවකයාගේ අතුරුදන් වීමත් අතර සම්බන්ධයක් තිබේද? ඔව්. එහි සම්බන්ධයක් තිබේ. අතුරුදන් වී සිටින ස්ටැන්ලි, කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් පොලිසියට සාක්ෂියක් දුන් අයෙකි. ජූනි 01 වන දා පෙ. ව. 10:30 සිට 01:30 දක්වා ලියනගේගෙන් කට උත්තර ලබාගෙන ඇත්තේ ගුණසේකර නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක වරයෙකි. ජූනි 2 දා ද කට උත්තරයක් ලබාගෙන ඇත. පොලිස් පරීක්ෂක නිශාන්ත ලබා ගත් එම කට උත්තරය සටහන් කර ඇත්තේ 37/314 පොතේ අංක 509996-510000 දරන පිටුවලය. කෙසේ වෙතත් අපට අනාවරණය වී තිබෙන්නේ එම කට උත්තරය තුළ කෞතුකාගාර මෙහෙයුම සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු ඇතුළත් වී ඇති බවය.

පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්ණ ගණනාවක් තිබේ. ස්ටැන්ලිගේ භාර්යාව තම ස්වාමි පුරුෂයා වහා සොයා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවටත් කරන ලද පැමිණිල්ලෙහි කරුණු රාශියක් අඩංගු වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු පිළිබඳව එහි සඳහන් වේ. ගුණසේකර සහ නිශාන්ත යන අයවලුන්ගෙන් ස්ටැන්ලිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කට උත්තරයක් ගත්තාද?

එය හෝ වෙනත් කට උත්තරයක් ගැනීමට පරීක්ෂණ පවත්වන්නේ කොටුව පොලිසියද? දිවුලගල පොලිසියද? නො එසේ නම්, චෝදනාව එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවමද?

කළු වීදුරු සහිත ප්‍රභූන් පාවිච්චි කරන පන්නයේ වාහනයක් කෙතුකාගාර මෙහෙයුම සිදු වූ දා රාත්‍රියේ ඒ අවට සැරිසැරූ බවට ස්ටැන්ලිගේ කට උත්තරයේ සඳහන් වූ බවට ලැබෙන තොරතුරු ඇත්තක්ද?

ස්ටැන්ලි එසේ පැවසුවේ නම්, ඒ වාහනය ඔහු දුටුවේ තම සේවා ස්ථානය වන කලා භවන ආසන්නයේ ඇති නෙළුම් පොකුණ රඟහල අසල තැනකදීද? රජ කඩු සොරුන් නෙළුම් පොකුණ දෙසට ආවේයැයි (නෙළුම් පොකුණේ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය වනුයේ ආරක්ෂක අමාත්‍යාංශය හරහාය.) පැවසෙන කතාවත් මේ කට උත්තරයත් අතර අනුරූපී සම්බන්ධයක් තිබේ ද?

කෞතුකාගාර මෙහෙයුමට සම්බන්ධ වූවන් පිළිබඳ ආසන්නතම හෝඩුවාවක් ලෙස දැකිය හැකි එම තොරතුරු දුන් ස්ටැන්ලි ලියනගේ මහ දවාලේ කොළඹ නගරයෙ දී අතුරුදන් වන්නේ අහම්බයකින් ද?

ආණ්ඩුව මේවාට උත්තර දිය යුතුය. සේපාලිකාට සැමියාත් දරු දෙදෙනාට පියාත් යළි මුණ ගැස්විය යුතුය. නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් සිදු වී ඇති නස්පැත්තිය ජනතාව තේරුම් ගත යුතුය.

-විසිකු


2-


ජනරළ 2012.06.17 මුල් පුවත | විශාලිත දසුන- මෙතන ඔබන්න.


3-
'බස් රියේදී (නො) ගැයූ ගීතය'
-එස්. ලියනගේ

නොදන්නා තාලයට
රබානට තඩිබාන
බැරැන්ඩි කටහෙඟ
ස්වර කොහිද....
දුකම වළඳන ගීතය ගයන්නට
බස් රියට ගොඩ වැදුණු
ලාබාල කෙවිලිය....

වැඩි මහළු පාප කඳ
පවුලෙන්ම උරුම වී
මව්පියන් හා සහෝදර
බාලයින් රකින්නට
වීසි කළ තුරුණු විය....

ඔඩෙල් නෝලිමිට්
මැක්ඩොනල් ඇඩ් බෝඩ්
වේගයෙන් පහුවෙද්දී
කෙළිකමට උවමනා
තනපටක්වත් නැතිව
ඔහේ පූදින ළය මඬල....

සාගින්න ඉඟිකරන
අකීකරු ඈනුමට
හාමතේම ඉඩ නොදී
මිහිර ගිලගෙන
ගයන ගීතය.......

ඇසී නැසී නිදි බරිත
දැන උගත් බුද්ධිමත්
නෝනවරු මහත්වරු
පිං පතා විසිකරන
කාසියට පුළුවන්ද
පුබුදන්න සිනහවෙන්
දුක පිරුණු ජීවිතය......

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අලුතෙන් මුද්‍රණය කිරීමට සැලසුම් කොට ඇති සාමූහික කවි සංග්‍රහයක් පිළිබඳ බූන්දියට ලැබුණු ඔත්තුවක් මේ.

කවි කිවිඳියනට ඇරයුමක්...

අද අපේ රටේ සිටින ආධුනික, ප‍්‍රවීණ සියලූම කවි කිවිඳියන්ගේ එක කවියක් හෝ ඇතුළත්ව කවි සංග‍්‍රහයක් එළිදැක්වීමට අපි අදහස් කරමු. ‘අද’ එසේත් නැත්නම් ‘වත්මන’ තේමා කොටගෙන ලියන්නේ නම් වඩාත් මැනැවි. එසේ නමුත්, මාතෘකාව තෝරා ගැනීමේදී හෝ සඳැස්, නිසඳැස් ලෙස හෝ, අලූත්, පැරැණි, දේශපාලන, සාමාජීය තේමාවන් ලෙස හෝ ඔබේ රුචියට කිසිදු සීමාවක් පැනැවීමට අප අදහස් කරන්නේ නැත. ප‍්‍රවීණයන්ගේ කවිද ඇතුලූව කවි බොහෝ සංඛ්‍යාවක් දැනටමත් ලැබී තිබේ.

මේ ඇරයුම අපේ ආදරණීය කවි කිවිඳියන් සියලූ දෙනාට මයි. ඔබේ කවියකුත් ජූලි මස 20 දිනට පෙර තැපැල් හෝ විද්‍යුත් තැපැල් මඟින් කෙසේ හෝ අප වෙත එවන්න.

මේ වගට,
මහින්ද සෙනරත් ගමගේ (071-5181421) [mahinda.senarath.gamage@gmail.com]
එන්. ඩබ්. පී. ලාල් (071-8360689)
සඳුන් ප‍්‍රියංකර විතානගේ (071-8028311) [priyasandun@gmail.com]

තැපැල් ලිපිනය:
මහින්ද සෙනරත් ගමගේ,
අංක 135,
සල්ගස් හන්දිය,
මත්තෙගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හර්බට් රංජිත් පිරිස්ගේ 'එක්ටැම් ගේ' චිත්‍රපටය ප්‍රදර්ශණය හා කතාබහ.
2012 ජුනි 30 වැනිදා සවස 3:00 ට.
බාන්ස් පෙදසේ, අලියොන්ස් ෆ්‍රාන්ස් හී දී.
පහේ කල්ලියේ වැඩක්.







මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කළු ගඟ පිටාර යන්න තරම් වැසි නොවැටුනාට යාන්තමට වහින වැස්සටත් පාලින්දනුවර මාර්ගය දිස්වුනේ කළු ගෙඟ් අතු ශාඛාවක් විදියටයි. වාර අවසාන විභාගයට පෙනී සිටීමට නිවසින් එළියට පැමිණි ෆාතිමා අහස දෙස බැලුවේ අල්ලාහ් දෙවියන් කලු අහස් දිය යටින් තමා දෙස බලනු ඇද්දැයි විපරීමට.

"අල්ලාහ් දෙවියෝ ඉන්නවනම් මට අද ඉස්කෝලේ යන්න පුළුවන්, ඒත් අල්ලාහ් දෙවියෝ මාව විභාගයෙන් ෆේල් කලොත් ආපහු මට කවදාවත්ම ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ." තවමත් වර්ෂාව හරි හැටි පායා නොමැති අහස දෙස බලමින් ෆාතිමා අඩක් හීල්ලුවා.

"උඹලට පිස්සු, තව මාස දෙක තුනකින් මේකිව මොහොමඩ්ගේ පුතාට තීන්දු කලාම ඉස්කෝලේ යව යව ඉන්න වෙන්නේ නැහැ. ඔය අතේ මරතෝඬිය ගගා ඉන්න වෙලේ නරකද මස් ටිකක්, වටලප්පන් ටිකක් හදන්න පුරුදු කලාම" මහම්මා උජාරුවට කියවගෙන ගියා.

"මටත් හරියට ඉගෙන ගන්න බැරිවුන එකේ මහම්මේ, මම හිතන් ඉන්නේ නස්නාව සාමාන්‍ය පෙළ වෙනකම් හරි ඉස්කෝලේ යවන්න" මම්මාගේ වචනය ෆාතිමාට නැවුම් බලාපොරොත්තුවක් ගෙනාවා. ඒ කියන්නේ මට තව අවුරුදු දෙකක් අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් ඉස්කෝලේ යන්න පුලුවන්. දොරේ ගලායන ගං දියට ෆාතිමා තමන්ගේ සතුට අත් අස්සෙන් දික්කර පෙන්වා සුරුකිව තබා ගත්තා.

"යකෝ කෙල්ලෙක් කියන්නේ බරක්, උන්ව ගෙදර තියන් ඉඳලා වැඩක් තියෙනවද? කසාදයක් කරලා දීලා ළමයි හදලා මනුස්සයාගේ ඕනෑ එපාකම් කරන්න තමයි අල්ලාහ් කෙල්ලන්ව මවලා තියෙන්නේ. ඒ නිසා උඹ පණ්ඩිතකම් කියවන්නේ නැතිව මේකිගේ ඉස්කෝලේ ගමන අදම නවත්තපන්. මම කොහොමත් උඹේ පැටිකිරිය අස්ලම්ට කියන්න තමයි ඉන්නේ, ඌ ගියපාර කෝල් කරපු වෙලාවෙත් කිව්වේ මංගල්ලේ ඉක්මන් කරන්න ඕන කියලයි" මහම්මා කියවගෙන කියවගෙන ගියා, මම්මා දිගම දිග සුසුමක් හෙලුවා, ෆාතිමාගේ ඉස්කෝලේ ගමන කළු ගඟ පිටාර නොගිය දිනකම, පාලින්ද නුවර ගඟ දියට යටවුනු දිනයෙම ගංදියට සතුට දික්කර පෙන්වූ දිනයේම සදහටම නැවතුනා.

ෆාතිමා නිවසින් එළියට පැන්නා. කළු පාට පර්දාව ජීවිත කාලයේම සින්න වෙන ශරීරය අද විතරක් අවසානයට ඇඳි සුදුපාට ඉස්කොලේ ඇඳුම වැස්සට තෙමෙනකම්, ඉනවටක් වතුරට ෆාතිමා දිවගියා.

"ලොකුවෙලා මාස දෙක තුනයි, බලපන්කෝ මේකිගේ ඇඟ හැදිලා තියෙන විදිය. ඔහොම එළියේ දැඟලුවොත් මේකිව සහනාධාර බෙදන්න ආපු එකෙක් උස්සන් යනවා. එන්න කියපන් ඇතුලට. " මහම්මාගේ ගොරනාඩුවට මම්මාට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.

"නස්නා, ඉන්ග වා" ඒ විදානයේ මම්මාට වඩා තිබුනේ මහම්මාගේ ස්වරය බව ෆාතිමාට වැටහුනු හෙයින් වරක් දෙවරක් නොසිතාම ෆාතිමා තමන්ගේ නිවස ඇතුලට පැන ගත්තා.

තෙතබරියන් වෙලා තිබුණු ඉස්කෝලේ ඇඳුම ගලවන්න නිනව්වක් නොමැති ෆාතිමාට ඒ සඳහා ඉස්පාසුවක් ලැබුනේ මම්මාගේ කන්දොස්කිරියාව ආරම්භ වීමත් සමඟයි.

"දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. උඹට දැන් වෙන්නේ මොහොමඩ්ගේ පුතා හිලූර්ගේ ගෑණි විදියට ළමයි හය හත්දෙනෙක් හදාගෙන ගෙදරට වෙලා ඉන්න. මොනා කරන්නද බං අපි ගොඩක් බැඳීම් එක්ක ජිවිතේ ගෙවන්න පහළවුන ගැහැණුනේ. " මම්මා කියවගෙන ගියා.

"කෙහෙල් මල" ෆාතිමාගේ හිත තදේටම තමන්ටම කියා ගත්තා.

" මම්මා මේක හරි අසාධාරණයි, එහා ගෙදර සෆ්රාන් නානා දැන් කැම්පස් යනවා. එයාගේ තම්බි මශාරික් මවුලවි වෙන්න පල්ලියේ ඉගෙන ගන්නවා. මාව විතරක් ඇයි නමයේ පන්තියෙන් ඉස්කෝලෙන් අස්කරන්නේ. අනික මහම්මලාගේ කාලේ වගේ නෙමෙයි. දැන් ගැහැණු පිරිමි කියලා බේදයක් නැතිව ඉගෙන ගන්න ඕන. " ෆාතිමා කියවගෙන කියවගෙන ගියත් ඇයගේ මවට අසා සිටිනවා හැරෙන්න කල හැක්කක් තිබුණේ නැහැ.

"අර ලිපේ කන්ජි ටිකක් ඇති බීපන්, ගං වතුර නිසා හම්බවුණ හාල් කිලෝ පහත් මහම්මා අරගෙන ගියා"

* * * * *

දින 07 තිස්සේ පාලින්ද නුවර තිබුණු ගංවතුර ඉන් දින 84 කට පස්සේ සේයාවක් වත් නොවුනු තැනට වියලී ගොස් තිබුණා. ගංවතුරෙන් 91 වන දිනයේ හිලූර්ගේ කසාද ගෑණි විදියට පල්ලියේ මවුලවිවරු ඉදිරියේ සහේට යාමට ෆාතිමාට සිද්ධ වුණා.

අවුරුදු 14 යි මාස 08 යි දින 11 වයසැති ෆාතිමා, කසාද ජීවිතය තියා ළමා ජීවිතේවත් හරිහැටි නොදන්නා කෙල්ල අවුරුදු 29 යි මාස 03 යි දින 17 ක් වයසැති හිලූර්ගේ කසාද ගෑණි වුණා.

"අස්සලාම් මලෙක්කුම්"

"මලෙක්කුම් සලාම්"

"මේ කසාදේ ගැන කාටවත් විරෝධතා තිබෙයිද? " මවුලවි උත්සව සභාවෙන් විමසුවා. ෆාතිමා මම්මා දිහා බැලුවා. මම්මා හිටියේ පල්ලියේ එහා කොනේ. ෆාතිමා දුටුවේ මම්මා පර්දාවෙන් මුහුණ වසා ගන්නවා විතරයි. පල්ලියේ උස බිත්තියේ එල්ලෙන මක්කම දේවස්ථානයේ පින්තූරය විතරයි ඒ වෙලාවේ ෆාතිමා දිහා බලන් හිටියේ. අනෙක් හැමෝගෙම ඇස කෙවෙනි වල හිටියේ හිලූර්ගේ තේජාන්විත රූපය විතරයි.

"ඉන්ෂා අල්ලාහ්, එහෙනම් මේ විවාහය තීන්දුයි. " මවුලවි කුරාණය වැසුවා. මඟුල් ගෙදර හැමෝම සවානේ කෑම කනවා ෆාතිමා බලන් හිටියා. බැදලා තිබුණ හරක් මස් ෆාතිමා දැක්කේ තමාගේ මාංශය වගේ. හැමෝම තළු මර මර හක්කේ ඒ පැත්තට මේ පැත්තට දම දම ඇද ඇද මස් බුදිනවා. අස්ලම්ගේ අතේ හිලූර් දහකොල දහයක් ගුලිකරනවා ෆාතිමා දැක්කා. බඳින දවසට ගැහැණු දරුවාගේ පියාට සල්ලි කීයක් හරි දෙන එක ඉස්ලාම් ආගෙමි විවාහ චාරිත්‍රයක්. ඒක හරියට අපි සල්ලිවලට ගැහැණියක් ළඟට යන එක හා සමාන කරන්න බැරි වෙන්නේ ඒක ආගම් චාරිත්‍රයක් හින්දයි.

* * * * *

කසාද බැඳපු දවසේ මංගල රාත්‍රියේම කෙල්ලක් ගැබ්බර වෙනවා කියන්නේ ඒක පිරිමියාගේ හැකියාව කියලා අපේ පුරුෂ මූලික සමාජයේ සමාජයේ පිළිගැනීමක් තියෙනවා. හැබැයි පිරිමියෙක් අතින්වත් අල්ලලා නැති කෙල්ලක් පිරිමියෙක් සමඟ යහන්ගත වෙන පළමු රාත්‍රියේම ගැබ්බර වෙන්නේ ඒ කෙල්ලගේ තියෙන කුළුඳුල් කමට කියලා පිලිගන්න අපේ සමාජය සූදානම් නැහැ. ඒ කොහොම වෙතත් ෆාතිමා පළමු දවසේ රාත්‍රියේම ගැබ්බරවී තිබුණා.

"මේකිගේ අකමැත්තට කසාදෙ කලා කියලා ඔප්පු කරන්නද කොහෙද මේකි නොකා නොබී ඉන්නේ, කොහෙද අපේ එකාට මං කීවතාවක් කිව්වද ඩුබායි වලින්ම කෙල්ලක් හොයා ගනින් කියලා. මේකි ඉතින් ආපු දවසේ ඉඳලම ලෙඩ ලෙඩ. මං දැන් ඉන්නේ ටික දොහක් බලලා අපාහු අස්ලම්ගේ ගෙදරටම මේකිව ගිහින් දාන්න කියාලා හිලූර්ට කියන්න" නැන්දම්මා හැමනිතරම ෆාතිමාට කිව්වේ ආඩපාලි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව කල හිලූර්ට විවාහය සඳහා අරාබිකාරයන් ලබාදී තිබුණු දින හතලිස් පහ අවසානයේ නැවතත් රැකියාවට යාමට සූදානම් වුණා.

"අම්මා කියපු නිසා මම ඔයාව ඔයාලගේ ගෙදර නවත්තලා යන්නම්, මම ආපහු වැකේෂන් එන්නේ තව මාස හයකින්. ඒ ආවම අපි ළමයෙක් හදන්න බලමු. ඔයා මේ මාස හයේ හරියට බෙහෙත් කරලා ඔය බඩේ කැක්කුම හොඳ කර ගන්න" කටුනායක ගුවන් තොටුපළෙන් හිලූර් රැගත් ගුවන් යානය පිටත් වුණා. ෆාතිමා රැගත් හයිඑස් වෑන් රථය පාලින්දනුවර බලා පිටත් වුණා.

"අනේ මම්මේ මට නිකම් ඔක්කාරය වගේ, අනේ වාහනේ ටිකකට නවත්තලා මට බොන්න මොනවා හරි අරන් දෙන්නකෝ " ෆාතිමා ඉවසිය නොහැකි තැන සිය මෑණියන්ට කතා කලා. ඒ වෙන කොටත් ෆාතිමා හිටියේ වාහනයේ පිටුපස අසුනේ දිගා වී.

"දැන් දවස් ගාණක ඉඳලානේද ඔය අමාරුව තියෙන්නේ. නස්නා ඔයා හිලූර්ගේ අම්මාට ඕක ගැන කිව්වේ නැද්ද? " මම්මා ෆාතිමාගෙන් විමසුවා.

"කිව්වා මම්මා, ඒත් එයා ඒක ගණන් ගත්තේ නැහැ" ෆාතිමා ඇඬූ කදුලින් උත්තර දුන්නා. වත්තල හන්දියේ කඩේකින් සමෝසායි බීමයි අරගෙන වාහනය පිටත්වුනේ ඒ වන විට ෆාතිමාගේ බඩේ රුදාය අඩුවී තිබුණු නිසයි. නැවතත් කළුතර පාළම කිට්ටුවදී ෆාතිමා තමන්ගේ බඩ අල්ලාගෙන කෑ ගැහුවා.

"අපේ මහත්තයා මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ අපි පිලිප්ස් එකටවත් නස්නාව අරන් යමුද? " මම්මා ෆාතිමාගේ වේදනාව බලාසිටිය නොහැකි තැන අස්ලම්ට යෝජනා කලා.

"හ්ම්" අස්ලම් සිය එකඟතාවය පළ කලා.

අවුරුදු 14 යි මාස 09 යි දින 26 ෆාතිමාගේ වසය. ඇයට පසුගිය මාසයේ ඔපස්වීම සිදුවී නැහැ. වෛද්‍යවරයාගේ වාර්තාව හා නිර්දේශය ෆාතිමා දින හතලිස් පහක් සම්පූර්ණවූ ගැබිණියක්. එම වෛද්‍ය වාර්තාවේ මෙසේද සටහන්ව තිබුණා. අඩුවයස් ගැබිණියක් වන හෙයින් ගර්භාෂයෙන් පිටත ළමයා හැඳීමේ අවධානමක් සහිතයි.

* * * * *

දවස් හතලිස් පහක් යනකම් ෆාතිමාව එළියට එවන්න එපා. කවුද දන්නේ ඔය ළමයා හිලූර්ගෙද නැත්තම් වෙන කාගෙද කියලා. මේකිට තිබ්බ විසේ හැටියට අපිට එහෙම හිතන්නත් සිද්ධ වෙන එක සාධරණයි. මොකද මම අද හිලූර්ට කෝල් කරලා ඇහුවා. ඌ කිව්වේ ෆාතිමාත් එක්ක හිටියේ දවස් දෙකයි කියලායි. දවස් දෙකක් හිටපු පලියට එහෙම වෙන්න පුළුවන්ද? මම ඒකයි කියන්නේ මට මේ හම්බ වෙන්න ඉන්න එකා හිලූර්ගේ කියලා විශ්වාස නැහැ කියලා. හිලූර්ගේ අම්මා කියවගෙන කියවගෙන ගියා. ෆාතිමාගේ පාර්ශවය කිසිවක් කියන්නේ නැතිව බිම බලාගෙන හිටියා.

"ඇයි මුන්ට අහන්න බැරි කෙල්ලක් කොල්ලෙක් එක්ක හරි සරු භාවයක් තියෙන මිනිහෙක් එක්ක හරි දවසක් නෙමේ තත්පර 10 ක් හිටියත් ගැබ්ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා" ෆාතිමාගේ හිත විතරක් හයියෙන් කතා කලා. මුලදී දවසට කිහිප වතාව කෝල් කලා හිලූර්ගේ ඩුවායි ඩූ සබඳතාවය දැන් දැන් වැඩි වෙලාවක් තිබුනේ "ඔබ ඇමතූ ග්‍රාහකයා ප්‍රතිචාර නොදක්වයි" කියන පසුබිමේ. ඉඳලා හිටලා අරාබි ගීතයක් ශ්‍රවණය වුණ මොහොතක අවසානයේ ෆාතිමාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ දක්නට ලැබුනේ නෝ ආන්සර් කියන වචන ටික විතරයි. දැන් ෆාතිමාගේ වයස කෙසේ වෙතත් බඩට මාස හතයි. මාස හයෙන් වැකේෂන් එනවා කියලා ගිය හිලූර්ගේ කොම්පැනිය හිලූර්ට අවුරුදු දෙකක් යනකම් නිවාඩු දෙන්නේ නැතිලූ. ෆාතිමා ඒක දැන ගත්තෙත් හිලූර්ගේ යාළුවෙකුගෙන්.

"දැන් මොකද කරන්නේ, මට පේන්නේ මිනිහා දුවව මඟ හරිනවා. නැත්තම් වුවමනාවක් තියෙන මිනිහෙක් නම් අනිවාර්යෙන් වැකේෂන් එන්න පුළුවන්. මොකද ඩුබායි කියන්නේ මම නොහිටපු තැනක් නෙමෙයිනේ, මම හිතුවා කෙල්ලට මේදේ වෙයි කියලා. කොහිද ඉස්කෝලේ යන කෙල්ලව බන්ඳලා දෙන්න තමුසෙට මාර අමාරුවක්නේ තිබ්බේ. දැන් ඒ අමාරුව සනීප ඇතිනේ. අප්පෙක් නැති දරුවෙක් වඳන්න වුනා. " අස්ලම් දොස් කිව්වේ ෆාතිමාගේ අම්මාට. මේ වෙලාවේ මහම්මා සාලයේ ඉඳලා කියවාගෙන ගේ ඇතුලට "මමත් කිව්වා බං, කොහෙද අම්මටයි දුවටයි හරිම අමාරුවක්නේ තිබ්බේ මූ ගැන"

* * * * *

හිලූර්ගෙන් එස්. එම්. එස් එකක් හම්බවුනා. ඒකත් ෆාතිමා අඳුරන හිලූර්ගේ යාළුවෙකුගේ ෆෝන් එකකට. " හිලූර් මොනවද ඒකේ කියලා තිබ්බේ. " ෆාතිමා ඒක දැන ගන්න ඉතාමත් උනන්දු වුණා.

"හිලූර්ගේ මලබාරි යාළුවාගේ වයිෆ්ට කේරලේදී ළමයා හම්බ වෙලාලු. ඒ සතුටට මලබාරියා කට්ටියටහ ලඩ්ඩු බෙදුවාලූ. ඊට පස්සේ හවස බාඩුබායි වල තියෙන කල්පක කියන මලබාරි රෙස්ටූරන්ට් එකේ කට්ටියටම බියර් පාටියක් දුන්නාලු. "

"අන්න ගෑණිටයි දරුවටයි ආදරේ කරන මිනිස්සු" ෆාතිමාට ඉබේම කියවුණා.

"තමන්ගේ දරුවා ඉපදෙන වෙලාවේ ගෙදර එන්න බැරිවුණත් ඒ සතුට තමන් ඉන්න තැනක හරි සමරන්න ඒ මිනිහට කොන්දක් තිබ්බා" තමන්ගේ දින හතලිස් පහේ ස්වාමියාවූ හිලූර්ට නොමැති කශේරුකාව ගැන ෆාතිමා තම අදහස පල කලා. අස්ලම් වගේම නස්නාගේ අම්මාත් ෆාතිමාගේ මේ ප්‍රකාශය අනුමත කරන්නා සේ බිම බලා ගත්තාත් හිලූර්ගේ යාළුවා තකට කොනකින් හිනාවෙනවා ෆාතිමා දුටුවා.

"ඇයි මශාරික් ඔහොම හනි වෙන්නේ, මම කිව්වේ ඇත්තනේ " ෆාතිමා තමන්ගේ මතය සනාථ කිරීමේ අටියෙන් මශාරික්ගේ මුහුණ දිහා බැලුවා. මශාරික් පිටත්වෙන්න නැගිටින ගමන්. .

"ඔව් ඔයාගේ කතාව නම් ඉන්ෂල්ලාහ් හරි, ඒත් හිලූර් අන්තිමට එස්. එම්. එස් එකේ කියලා තිබුණා ඒ මලබාරි යාළුවා අවුරුදු තුනකින් වැකේෂන් ගහින් නැහැ කියලා" හිලූර් සේම හිලූර්ට අදාල සනුහරේම ඉන්නේ මොන ස්ථාවරයේද කියලා තේරුම් ගැනීමේ හැකියාවක් මශාරික්ගේ අදාල ප්‍රකාශයේ ගැබ්ගෙක තිබුණ වගක් අමුතවෙන් තේරුම් ගන්න දෙයක් ෆාතිමාට වත් සනුහරේට වත් වුවමනා වුනේ නැහැ.

* * * * *

ඉන් මාස දෙකක අවෑමෙන් ෆාතිමා ලස්සන බෝනික්කියක් මෙළොවට ජනිත කලා. දොස්තර මුලදී කිව්වා වගේ ගැබිණිය අඩුවයස් නිසා කළලය පිහිටා තිබුනේ ගර්භාශයෙන් එළියේ. ඒ නිසා ෆාතිමාට දරුවා බිහිකරන්න සිසේරියන් සැත්කම දායක වුණා. බඩේ කැපුම් තුවාල හිලූර්ගේ සාහසික හැරයාමේ වේඳනාව තරම් දරුණුවට ෆාතිමාට දැනුනේ නැහැ. ඉස්පිරිතාලේ දින දෙකකින් පස්සේ ෆාතිමා දරුවාව තුරුලු කරන් පාලින්දනුවර ෆාතිමාගේ නිවසට ගියා. දරුවා නිවසට රැගෙන ආපු රාත්‍රියෙත් ෆාතිමා ඉස්පිරිතාලේ නවත්තන්න ගියදා රාත්‍රියේ වගේම ආගමික ගල් ප්‍රහාර කිහිපයක් ෆාතිමාගේ වහලයේ ඇති ටකරන් මතට පතිතවුණා. "ඔය රිපෝට් ටික නැතිවෙන්නේ නැති තැනක තියපන්. " පියෙකුගේ නම නොමැති ෆාතිමාගේ දරුවාගේ උප්පැන්නයයි, දසින හතලිස්පහක ස්වාමිපුරුෂයා ලබාදුන් විවාහ සහතිකයයි ෆාතිමා තමන්ගේ ඉස්කෝලේ සහතික තිබුණු ෆයිල් කවරයටම දමා වැසුවා. ෆාතිමාගේ ඇසින් වැටුණ කඳුළු බිංදුව ඇයගේ නවය වසරේ ප්‍රගති වාර්තා පොතේ දෙවැනි වාරයේ ලකණු ලබා ගන්න තිබුණු පිටුවටම වැටී බොඳව ගියා.

* * * * *

කළු ගඟ පිටාර යන්න තරම් වැසි නොවැටුනාට යාන්තමට වහින වැස්සටත් පාලින්දනුවර මාර්ගය දිස්වුනේ කළු ගෙඟ් අතු ශාඛාවක් විදියටයි. තමන්ගේ දියණියව සායනයට අරන් යන්න නිවසින් එළියට පැමිණි ෆාතිමා අහස දෙස බැලුවේ අල්ලාහ් දෙවියන් කලු අහස් දිය යටින් තමා දෙස බලනු ඇද්දැයි විපරීමට.

"අල්ලාහ් දෙවියෝ ඉන්නවනම් මට අද ක්ලීනික් යන්න පුළුවන්, ඒත් අල්ලාහ් දෙවියෝ මාව ගංවතුරට ගසාගෙන යන්න සිදුකලොත් ආපහු මට කවදාවත්ම ක්ලීනික් යන්න වෙන්නේ නැහැ" තවමත් වර්ෂාව හරි හැටි පායා නොමැති අහස දෙස බලමින් ෆාතිමා අඩක් හීල්ලුවා.

නුවන් නිරෝධ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චුටි දුවේ
මෙහෙ එන්න
රේක්කයක් අරගෙන
අර අහස පීරන්න.

බලාගෙන !
කවි වැටී තිබුනොතින්
ඇහිඳගෙන ගෙට එන්න!

සිත්තම- Andrey Zadorin

වර්ණ රසිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු- 18

Posted by BoondiOnLine 6.26.2012



මැකී යා යුතුද වසන්තය?
කුරුල්ලනි හඬන්න
මාළුවෝ, වගුරන්න කඳුළු
මලානික සීතල ඇස්වලින්

-බෂෝ
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සොරොව් වැසූ වැවකිය මගේ හදවත
විලක් නොවෙයි හිස් වූ විට දිය උනන
සකල සෙනෙහෙ දිය අත්කරගෙන එවැව
ඉගිලුණු නුඹට හමුවූවෙද නිලන විල

උරුමය මිසක කිළි කුණු කැලිකසළවල
වැවකට කොහිද විල් නෙළුමක හැඩ මහිම
මට දුක එවන් උන්මන්තක සිරිය යට
රකුසන් නුඹ රවටනවාටය සොඳුර

සිතුවිලි කෙතක් අස්වද්දන්නට තිබුණ
නුඹ ගෙන ගියෙහිය ආදර වතුර ටික
දැන් නම් නුඹම ආපසු ආවත් මවෙත
බැමි බිඳුනෙන් වැව පුරවන්නට නොහැක

නුඹ රකුසෙකුට බිසවක වූ නිසා නොව
බිසෝකොටුව සේ සුරකින්නේ මතක
අතීතය මුදා නොයවයි පිටවාන
සිඳිනු මිස වැවක් රවටන්නේ කොහොම

ආදරයක් කියා කිසිවක් ඇතිද ලොව
ආසා රැසින් බිහි විය මේ ඉඩෝරය
ගිය එක හොඳයි හරිහැටි නොපිපුණු නෙළුම
මෙහෙව් වැවක නුඹ දුක් විඳිනුයෙ කුමට

[යටි වියන]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමය මෙහෙයවන මාසික හමුව සහ දේශනය, 2012 ජූලි 04 වන බදාදා සවස 4:15ට බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී.

මෙවර දෙසුම- "දෙවියෝ සහ භූතයෝ" මැයෙන් පුබුදු ජයගොඩගෙන්.

විමසීම්- lanka.rationalist@gmail.com



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජූනි 26 (අඟහරුවාදා) හැන්දෑවේ ලන්ඩනයේ තේම්ස් නදියේ දකුණු ඉවුරට බෝම්බ වර්ෂාවක් අහසින් හෙලන්නට නියමිතව තිබුණා. කිසිවෙකු රිදවන අටියෙන් නම් නොවේ! 'මානුෂික මෙහෙයුමකුත්' නොවෙයි! බෝම්බ කිවුවාට ඒවා බෝම්බ වලටත් වඩා දරුණුයි. කවි....! ඔව්... කවි වැස්සක්....! හෙලිකොප්ටරයකින් ඉගිලී ඇවිත් ලන්ඩන් නගරයට කවි බෝම්බ වර්ෂාවක් වස්සවන්නට සැලසුම් කළේ චිලී රටෙන් පැමිණි කලා සාමූහිකයක් වන "Casagrande" කණ්ඩායමේ සහෘදයෝ.

බරින් ටොන් බාගයකට ආසන්න බුක් මාර්ක් හැඩයේ පත්‍රිකාවල ලියන ලද මේ "බෝම්බ" තොගයට ලෝ පුරා රටවල් 204ක ජීවමානව සිටින කවි කිවිඳියන් 300කගේ කවි (පිටපත්) මිලියනයකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගතයි.

අතීතයේ දිනවල අහසේ සිට බෝම්බ වැහි වැටුණු මේ නගර වල, ඒ අහසින්ම එන කවි වැස්සක සිත්තමක් මවන්නටයි, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ. මේ බෝම්බ හිස් මතට වහින්නේ අර බෝම්බ වැහැපු විදිහෙන් සම්පූර්ණයෙන්ම වෙනස් සන්දර්භයක. බර්ලිනය, වෝර්සෝව, ගුවර්නිකාව, සන්තියාගෝව බඳු නගර වලට කවි බෝම්බ දැමීමේ අත්දැකීම් සමගයි ඔවුන් මෙවර ලන්ඩනයට එන්නේ.

"කවි බෝම්බ වල අයිතිකරුවන් බොහොමයක් වයස 40ට අඩු අයයි. අනාගතය දෙස බැලීමයි ඉන් අදහස් වෙන්නේ... විවිධ සංස්කෘතීන්ට අයත් වෙනස් සන්දර්භයන්ගෙන් පැමිණෙන වැඩිහිටි සහ තරුණ පරම්පරා දෙකක් ඉහළ අහසේ දී එකට මුහු වෙනවා.... !" Casagrande සාමූහිකයේ Cristóbal Bianchi පවසනවා.



සිය ගණන් කවි සහෘදයන් පොළව මත කවි වැස්සට තෙමෙන්නට දෑස් දල්වා බලා සිටිනවා. "අපි කවි වැස්සවූ කිසිම වතාවක කවි වැස්සෙන් පසු පොළව මත කිසිදු කවි පත්‍රිකාවක් ඉතිරි වූයේ නැහැ. මිනිස්සු ඒ හැම කවියක්ම අහසේදීම අල්ලා ගත්තා... පොළවෙන් අහුලා ගත්තා..."

Casagrandeවේ ඔවුන් මුල්ම වරට කවි බෝම්බ දැම්මේ ඔවුන්ගේ රටේ ඒකාධිපතියා, පිනෝචේ සිර ගත කළ සතුටට... අති මහත් කැපවීම් වලින් උදා කර ගත් නිදහස සමරන්නටයි.















සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රම්‍ය ජලකර පුෂ්ප ගලවා
මත්ස්‍ය දියකා පිරිස පලවා
ඉර මෙවර තව වැවක් හිස් කර
පාර අයිනක තිබුණි රඳවා

අඳුරු රොන්මඩ ගැලුණු කොපුලක
ගඩොල් කැපුමෙන් සැදුණු කැළලකි
නෙළුම් දණ්ඩෙන් කළ සොහොන් බිඳ
මිනී ඇට, හිස් කබල් මතුවෙති

නිල පැළඳි රැළි තරඟ අතගා
දිය කෙළින ලද අයෙකු ළඟ නැති
කෘමි නැසූ විස රැඳුණු බෝතල්
ඇනී වණ වී රිදෙන පපුවකි

රම්‍ය ජලකර පුශ්ප ගලවා
මත්ස්‍ය දියකා පිරිස පලවා
ඉර මෙවර තව වැවක් හිස් කර
පාර අයිනක තිබුණි රඳවා

වැහි වලාකුළු එන්න කලියෙන්
වැවෙහි පිරිපත අසනු රිසියෙන්
වැව වෙතට පා නගන කිසිවෙකු
සිටීදැයි ඉර බලයි විමසා .......

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මිතුරනේ...
ගසාපන් අවසාන
ගල් පහරත් අප වෙත
සුවපත් වේ නම්
බිඳුණු සිත්...

එකල හැඟුම්බර වූ
අප පයට පෑගී
ලේ ගැලූ හදවත්
සුවපත් වේ නම්
දමා ගසාපන්
අවසාන ගල් පහරත් අප වෙත

අවිදුර දෘෂ්ටියෙන් ආතුර
පිළුණු දෑසම උගුල්ලා දැමුවෙමි
නැවුම් දෑසින් ලෝකය දකින්නට
මේ මහ පොළොව
සොහොන් පිටියකිය අද
සහෝදර හදවත් විරසකව
මග කිවූ මිනිසුන් නොමැතිව

මිතුරනේ...
නුඹලා බැඳපු ජාතියක් නැති
මහ විසල් කවි බලකොටුව ළඟ
අප පැල්පත්වාසීන් පමණය

අවසාන මුගුරු පහරත්
හෙළා ඉවර නම්
අප හිස මත
නම නොදත් සිංහල දමිළ
කවීන් කැටුව පැමිණෙන්න

කඳුළු ගුරු කොට නැගුණු
මේ.. අඳුරු දොරකඩට
නිහඬ සුන්බුන් අතර
හුදෙකලා වූ
සිංහල - දමිළ මිනිසුන්ට
එකම පහනක් දල්වන්න

සුනන්ද ගාර්දියවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ඒමට සැලසුම් කරනු ලැබ ඇති භික්ෂූන් දේශපාලනයට ඒම වැලැක්වීම ඉලක්ක කරගත් පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ ද, විරුද්ධ ද යන ගැටලූව දැන් පැන නැඟී තිබේ. බැලූ බැල්මටම පෙනෙන්නේ නම් එය කොහොමටත් ව්‍යවස්ථාවේ තිබෙන සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කරන්නක් බවයි. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා එම තර්කයට එරෙහිව හොඳ ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ තර්කය රඳා පවතින්නේ මේ සම්බන්ධව පූර්වාදර්ශ ලෙස ගත හැකි නඩු තීන්දු කීපයක් මතය. භික්ෂූන්ට නීතිඥ කබාය පැලඳීමට නොහැකි බවට සහ රියැදුරු බලපත් නිකුත් කරනු ලැබිය නොහැකි බවට දෙනු ලැබූ නඩු තීන්දු ඒ අතර ප‍්‍රධාන වේ.

මා හිතන ආකාරයට මෙහිදී රාජපක්ෂ මහතාගේ තර්කය වලංගු එකකි. නමුත් ඒ වලංගුතාවය තිබෙන්නේ එක් කොන්දේසියකට යටත්වය. එම කොන්දේසිය නම් ඒ මහතා උපයෝගී කරග්න්නා ඉහත සඳහන් නඩු තීන්දු පසුපස ඇති තර්කය වලංගු එකක්ය යන්නයි. රාජපක්ෂ මහතාගේ තර්කයට විරුද්ධව මා ඉදිරිපත් කිරීමට කැමති ප‍්‍රති තර්කය වන්නේ ඒ නඩු තීන්දු පසුපස ඇති තර්කයේ වලංගු භාවයට අභියෝග කළ හැකිය යන්නයි. මා එසේ කියන්නේ ඇයි?

රාජපක්ෂ මහතා පූර්වාදර්ශ ලෙස යොදා ගන්නා නඩු තීන්දු පසුපස ඇති තර්කය බව පෙනෙන්නේ ඒ මහතාමත් සඳහන් කරන ආකාරයට භික්ෂූන් සෙසු ගිහියන්ට වඩා ඉහලින් සිටින්නේය, නීතිඥ කබා දැමීම, වාහන පැදවීම වැනි ක‍්‍රියා මඟින් භික්ෂූන් ගිහියන් හා සම මට්ටමට දැමෙන්නේ ය යන පිළිගැනීමයි. මෙම තර්කය එහි තර්කානුකූල අන්තයට ගෙන ගියහොත් රාජපක්ෂ මහතාගේ පනතට පක්ෂ වීමට පදනමක් ලැබෙනවා පමණක් නොව වර්තමාන සමාජය තුළ භික්ෂූන් නියැලෙන තවත් කටයුතු ගනනාවක් සම්බන්ධව යලි සලකා බැලීමට සිද්ධ වනු ඇත. ගිහියන් සමඟ සම මට්ටමේ අසුන් ගෙන වාහන වල ගමන් කීරීම, ගිහියන් සමග සමාන මට්ටමේ සිටිමින් ගුරුවෘත්තිය වැනි වෘත්තීන්හී නියැලීම, විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතනවල ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ එක්ව අධ්‍යාපනය ලැබීම වැනි කි‍්‍රයාකාරකම් විශාල සංඛ්‍යාවක් සම්බන්ධව යලි සිතා බැලීමට සිදුවේ.

මෙහි දී අමතර වශයෙන් අපගේ අවධානයට ලක්විය යුතු කාරණයක් ලෙස පෙනෙන්නේ අධිකරණය තින්දුවලට එලඹෙන්නේ කවර පදනමක් මත ද යන්නයි. මේ කාලයේ නම් කොහොමටත් එයට පාලන තන්ත‍්‍රයේ ඉහල තලයන්ගෙන් ස්වාධීන වූ පැවැත්මක් නැති බව පැහැදිලිය. එසේ නැතත් සාමාන්‍ය තත්වයන්හි දී පවා ජන මතය, අධිපති දෘෂ්ටිවාදය, විනිෂ්චයකාරවරුන්ගේ ආකල්ප වැනි නීති පොතේ ලියැවී ඇති දේට පිටින් ඇති දේ ලියැවී ඇති නීති අර්ථකථනය කිරීමේ දී බලපානු ලබයි. ඒ අනුව මගේ අදහස වන්නේ රාජපක්ෂ මහතා සඳහන් කරන තීන්දු දෙක නීතියේ සෘජුව අඩංගු දේ නොව ජන මතය, අධිපති දෘෂ්ටිවාදය, විනිශ්චයකාරවරුන්ගේ ආකල්ප වැනි සාධක මත තීන්දු වූ ඒවා බවයි. ව්‍යවස්ථාවේ බුද්ධ සාශනය ගැන වූ ගැටලූ සහගත වගන්තිය ද එහිලා උපකාර වන්නට ඇතැයි කිව හැක.

මෙහිදී අප ඉදිරිපිට පවතින මූලික ගැටලූව වන්නේ භික්ෂූන් ගිහියන්ට වඩා ඉහලින් සිටින්නේය යන රාජපක්ෂ මහතා තම පනත් කෙටුම්පත යුක්තිසහගත කිරීම සඳහා උපයෝගී කරගන්නා මූලධර්මය අනුව ගියොත් භික්ෂූන් සම්බන්ධව, භික්ෂූන්ගේ චර්යාව සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට ගිහියන්ට බලයක් ලැබෙන්නේ ද යන්නයි. භික්ෂු සංස්ථාව තුළ බලපවත්වන සංවිධාන මූලධර්මය වන්නේ නම් භික්ෂු විනය සම්බන්ධව තිරණය කිරීමේ අයිතිය ඇත්තේ සංඝයාට බවයි. අවශ්‍ය නම් රාජපක්ෂ මහතාට මෙහිදී මගේ අදහසට අභියෝග කිරීමට ඇතැම් ඓතිහාසික අද්දැකීම් ගෙනහැර දැක්වීමට හැකියාව තිබේ. ඒවා නම් මූලික වශයෙන්ම පූර්ව නූතන රජවරු භික්ෂු සමාජය ප‍්‍රතිසංවිධානය කිරිම සදහා තීරණාත්මක මැදිහත් වීම් කරනු ලැබූ අවස්ථාවන්ය. එවැනි අවස්ථා විරල නොවේ. එසේ විරල නොවනවා පමණක් නොව ඒ ක‍්‍රියා මාර්ග භික්ෂු සංඝයේ අභ්‍යන්තර සංවිධාන මූලධර්ම වලට එකඟ බව ද නො පෙනේ.

මීට අදාලව තවත් කාරණයක් මතු කිරීමට පුළුවන. එනම් නෛතික වශයෙන්ම භික්ෂූන් සමාජයේ ඉහලම තීරණ ගැනීමේ ආයතනයෙන් ඉවත් කරනු ලැබීමයි. බැලූ බැල්මටම එය රාජපක්ෂ මහතාම පදනම් වන මූලධර්මය, එනම් භික්ෂූන් සිටිය යුත්තේ ගිහියන්ට ඉහළින්ය යන මූලධර්මය උල්ලංඝනය කිරීමකි. මෙය වෙනත් ආකාරයෙන් කියනවා නම් "ඉහල තට්ටුවට පයින් ගසා තල්ලූ කර දැමීමක්" (kicking upstairs) වැනි ක‍්‍රියාවක් නොවන්නේ ද?

කෙසේ වෙතත් මා මෙතෙක් වේලා උත්සාහ කරනු ලැබුවේ රාජපක්ෂ මහතාගේ තර්කයේ ඇති ඇතැම් දුබලතා වෙත අවධානය යොමු කිරීමටයි. නමුත් මගේ අදහස වන්නේ රාජපක්ෂ මහතාගේ සමස්ත තර්කයම පදනම් වී තිබෙන්නේ ආගමික අදහසක් මත බවයි. එය ආගමික අදහසක් ලෙස ගත් කල සාධාරණ විය හැකි වුවත් ආණ්ඩුකරණ මූලධර්මයක් ලෙස ගත්කල බෙහෙවින් ගැටලූ සහගත වේ. වෙනත් වචන වලින් කියනවා නම් රාජපක්ෂ මහතා දායක සභාවකදී මේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවානම් ගැටලූවක් ඇත්තේ නැත. මක්නිසාද යත් එහි බලපැවැත්වෙන්නේ ආගමික මූලධර්ම වන බැවිනි. ආණ්ඩුකරණ මූලධර්ම මත තීරණ ගත යුතු පාර්ලිමේන්තුව තුලට ආගමික මූලධර්ම මත තීන්දු ගැනීමට යැයි යෝජනා කිරීම බෙහෙවින් ගැටලූ සහගතය.


ඇත්ත වශයෙන්ම රාජපක්ෂ මහතාගේ ප‍්‍රාරම්භයට ස්තූති වන්නට මෙම සමස්ත ගැටලූව දෙසටම සමාජ අවධානය යොමුකරවීමට දැන් අපට අවස්ථාව ලැබී තිබේ. අනෙකක් තබා රාජ්‍යය ආගමීකකරණය කිරීම තම මූලික අභිප‍්‍රාය ලෙස සමාජයට පෙන්නුම් කරන ජාතික හෙළ උරුමය පක්ෂයට එය කොතරම් ගැටලූ සහගත දෙයක් ද යන්න පිළිබඳව අවශ්‍යනම් සිතා බැලීම අවස්ථාව ඇත. නමුත් ඒ අය එවැනි දේ පිළිබඳ බරපතල ලෙස සිතා බලාවි යැයි බලාපොරොත්තුවීම දුෂ්කර බවද මෙහිදී සඳහන් කළ යුතුය.

රාජපක්ෂ මහතා විසින් මතුකරනු ලබන මූලික ගැටලූව වෙත ද යොමුවීම මෙහි දී වැදගත්ය. එනම් භික්ෂූන් දේශපාලනයට පැමිණීම පිළිබඳ ගැටලූවයි. කෙසේවෙතත් රාජපක්ෂ මහතා මෙම ගැටලූව මතුකරනු ලබන්නේ බෞද්ධ ආගමික සංස්ථාව රැකගැනීමේ දෘෂ්ටිකෝණයෙනි. කිසිඳු ආගමික ස්ථාපිතයකට අයත් කෙනෙක් නොවන මට ඒවා රැක ගැනීම සම්බන්ධව විශේෂ උන්දුවක් ඇත්තේ නැත. අදහස් පද්ධතියක් ලෙස බුදු දහම රැකගැනීම සම්බන්ධව නම් මගේ උනන්දුවක් තිබේ. නමුත් මීට ශත වර්ෂ ගණනාකට පෙර මෙන් ඒ සඳහා ආගමික සංස්ථාවක් සහ භික්ෂු ප‍්‍රජාවක් අවශ්‍ය නොවේ. බුදු දහම රැකගැනීම සඳහා වර්තමානයේ මුද්‍රිත පොත් පත්, අන්තර් ජාලය, සී.ඞී. තැටි පුස්තකාල යනාදී දේවල් තිබේ. ඒ අනුව "ධර්මය රැකගැනීම" සඳහා (එය ධර්මය පිළිබඳ බුදුන්ගේ ප‍්‍රවේශට විරුද්ධ වුවත්) පළමු ධර්ම සංගායනාවෙන් භික්ෂූන්ට පවරනු ලැබූ කාර්යය මේ වනවිට ඓතිහාසික වශයෙන් යල්පැනගිය දෙයක් බවට පත්වී ඇත.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය හරහා සිදුවූ භික්ෂූන් පාර්ලිමේන්තුවට පැමිණීමේ සංසිද්ධිය සම්බන්ධව මට විවේචනයක් තිබේ. එම විවේචනය හුදෙක් භික්ෂූන්ට හා ජාතික හෙළ උරුමයට අදාලව පමණක් පවත්නා එකක් නොවේ. එය පොදුවේ මැතිවරණ වලදී ඡුන්ද දායකයන් ආකර්ෂණය කරගැනීම සඳහා නළු නිළියන්, ක‍්‍රීඩකයින් වැනි ප‍්‍රකට චරිත (celebrities) අපේක්ෂකයින් ලෙස හෝ එවැනි අය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාර සඳහා හෝ යොදා ගැනීම පිළිබඳව ඇති විවේචනයකි. එය ඇති තරම් මුදල් වීසිකොට 'ඡන්ද මිලදී ගැනීම' වැනිම ක‍්‍රියාවකි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ දක්නට ලැබෙන්නේ බටහිර විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොඳින් ක‍්‍රියාත්මක වන සමාජවල මෙන් ඡුන්ද දායක කොට්ඨාශ තම නියෝජිතයින්ගේ කටයුතු පිළිබඳව පරීක්ෂාකාරීව සිටින තත්වයක් නොවන බැවින් මේ තත්වය කොහොමටත් අහිතකරය. අවාසනාවකට මෙන් මෙම ගැටලූ රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්වන්නේ නැත.

භික්ෂූන් දේශපාලනය කිරීම පිළිබඳ ගැටලූව රාජපක්ෂ මහතා පෙන්නුම් කරනවාට වඩා සංකීර්ණ ගැටලූවක් බව මගේ අදහසයි. මේ සාකච්ඡාව සඳහා අඩුම තරමින් වල්පොල රාහුල හිමියන්ගේ ‘භික්ෂුවගේ උරුමය’ හා ‘විද්‍යාලංකාර ප‍්‍රකාශනයෙන්’ අපගේ සාකච්ඡාව ආරම්භ කල යුතුය.

නිර්මාල් රංජිත් දේවසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වංගුවෙන්
හැරුණු කෙණෙහිම
ඔබ ඔතන
කොළ දලු බඳුන මත අතුරාලා
නේක පලු පල්ලවයෙන් සරසා
දෙව් ලොවට පානා සාදයක් සේ
රත් මලින් ඉතිරීලා
පාර බඩ

කියන්න
මැව්වේ
කව්ද
මේ
අසිරිය?

දෙරන තුළ
ගැඹුර වළඳින
මූලය ද
නෙසැඩ වියවුල්
දරා
නොසැලීම හිඳින
තුඟු බඳ ද
මිහිරි නළ පහස
ඉවසන අතු ඉතිද?

[අතු ඉති- 1994]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කියවති
ලොකු ලොකු
පොත පත
ලියවුනු
වම ගැන..

ලියති
කවි ලිපි
බරසාර
කියවෙන
වම ගැන..

කරති
සංවාද
තැන තැන
පිරිසිදු
වමක් ගැන..

එක් වෙති
හවස
වට කොට
බඳුන්
පිරවුණු බීර..

හිස්වෙති
එකින් එක
පිරෙයි යළි යළි
අතර මැද
සමාජ වාද..

මතු වෙයි
තැන තැන
වෙන වෙනම
සැඟවුණු
සිහින ..

වියැකෙයි
ටික ටික
රතු පාට
මතුවෙයි
නෙක නෙක
වර්ණ..

කියවෙයි
මුවග
අවන්හල්
රජ බොජුන්
ගැන ..

ඇසෙයි
තව තැනක
සැප ගෙනෙන
රිය වරුණ ..

නිමවෙයි
උගුල්
වැඩ පලට
අටවන්න
රිංගන්න
උඩ තැනට ..

අවදිවෙති
යලි හෙටත්
ඇවිදිමින්
තබා බර අඩි
වමට බර ...

[මාතෘකාවේ අයිතිය ගාල්ලේදී දුටු ලොරියක අලවා තිබූ ස්ටිකරයේ නිර්මාණකරුවා සතුය.]

කෞශල්‍ය පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහා ගත්කරු ලියෝ තොල්ස්තෝයිගේ සාහිත නිධානයේ අග්‍ර ඵලයක් වූ ඇනා කැරනිනා ඇසුරින් තැනූ නවතම සිනමා සිත්තම, Anna Karenina (2012), එළඹෙන සැප්තැම්බරයේදී එක්සත් රාජධානියේදී මුල් වරට තිර ගත වීමට නියමිතයි. එය එම කෘතියේ දහ තුන් වැනි සිනමා පුනර් රූපණයයි. ඊට අමතරව ඇනා කැරනිනා තෙවරක් වේදිකාව මත ප්‍රතිරූපණය වී තිබේ. නවතම සිනමාපටය Joe Wrightගේ අධ්‍යක්ෂණයකි. එහි ඇනා ලෙස Keira Knightley ද ඩොලී ලෙස Kelly Macdonald ද සිටුවරයා ලෙස Aaron Johnson ද චරිත මවති.

චිත්‍රපටයේ පළමු ට්‍රේලරය (පහත) ඉකුත් ජූනි 20 වන දින අන්තර්ජාලයට එක් කොට තිබේ.



තොල්ස්තෝයිගේ ඇනා කැරනිනා, මුල් වරට පල කරන ලද්දේ 1873 සිට 1877 දක්වා The Russian Messenger නම් වාර ප්‍රකාශනයේය. ෆියදොර් දොස්තෝව්ස්කි වරෙක මේ කෘතිය හැඳින්වූයේ "ඉතාම නිකැළැල් කලා කෘතිය" ලෙසිනි. වැලැද්මීර් නකබොව් ඇනා කැරනිනා හැඳින්වූයේ "තොල්ස්තෝයි ශෛලියේ නිකැළැල් විජ්ජාව" ලෙසිනි.

වත්මන් ලේඛකයන් 125 දෙනෙකු ඇසුරින් 2007 තරම් මෑතකදී පවත්වන ලද මත විමසුමකදී, ඇනා කැරනිනා මෙතෙක් ලියැවුණු අති විශිෂ්ටතම ප්‍රබන්ධය ලෙස සම්භාවනාවට පාත්‍ර විණි.









සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉකුත් මැයි මාසයේ දිනයක, ඉතාලියානු ලේඛක උම්බර්ටෝ ඊකෝ (ප්‍රකට The Name of the Rose නවකථාවේ කතුවරයා), ට්වීටර් සමාජ ජාලයේ පළ කළ පුවතකින් කියවුණේ ගාර්ෂියා මාකේස් මිය ගොස් ඇති බවයි. එම පුවත මාරියෝ වර්ගාස් ලෝසා විසින් ද මාකේස් පවුලේ සාමාජිකයන් විසින් ද තහවුරු කරන ලද බවත් තවත් පැය කිහිපයකින් එය නිල වශයෙන් තහවුරු කරන්නට නියමිත බවත්, ඊකෝ සදහන් කොට තිබිණ. ඊකෝගේ ට්වීටර් ගිණුම සමග සම්බන්ධ මිතුරන් 2000ක් වූ බැවින් මෙකී පුවත අත්තටු ලැබ මුළු මහත් ලෝකය පුරා ඉගිල යන්නට විය.

එකී පුවතට අදාළව මාකේස් විසින්ම ලියන ලදැයි සිතිය හැකි ප්‍රතිචාරයක් ("ව්‍යාජ ට්විටර් ගිණුමකින් උම්බර්ටෝ ඊකෝ මිය ගියායැයි පළ වුනොත් කොහොමද? වැරදි ගිණුමක්!") ට්වීටරයේ පළ වෙන විටත් මාකේස්ට ආදරය කරන මිලියන ගණනක් පාඨකයන් මෙකී දිරච්ච ලණුව පහසුවෙන් ගිල දමා, මාකේස් "ගුණ- සැමරුම්" සඳහා සූදානම් වෙමින් සිටියහ.

පසුව ගාර්ෂියා මාකේස් පදනමේ අධ්‍යක්ෂකවරයෙකු පුවත ව්‍යාජයක් බව තහවුරු කළ අතර, මාකේස් ඒ වන විටත් ලොස් ඇන්ජලීස්වල සිය පවුල සමග කල් ගෙවන බව මෙක්සිකානු රොයිටර් වාර්තාකරු විසින් තහවුරු කරන ලදී.


Tommaso De Benedetti: ට්වීටර් ලණු නිෂ්පාදකයා


පසුව සොයා ගැණුනේ උම්බර්ටෝ ඊකෝ නමින් වූ ට්වීටර් ගිණුම ද ව්‍යාජයක් බවයි. ට්වීටරය පණ පිටින් ඉන්නා ප්‍රකට පුදගලයන් මිය ගිය බව පතුරුවන දිරච්ච ලණු මෝලක් වී ඇති අතර, එමගින් බෙනඩික්ට් XVI පාප්වරයා, ෆිදෙල් කස්ත්‍රෝ සහ ස්පාඤ්ඤ සිනමාවේදී Pedro Almodóvar යන අය ද පණ පිටින් මරා දමන්නට යෙදිණ!

යට කී තිදෙනා සම්බන්ධ ලණුව නිෂ්පාදනය කොට බෙදාහරින ලද්දේ තමන් බවට ඉදිරිපත් වූ Tommaso De Benedetti නම් ඉතාලියානු පාසල් ගුරුවරයා පවසා සිටියේ තමන් එසේ කරන්නේ පුවත් මූලාශ්‍ර වශයෙන් සමාජ ජාල යොදා ගැනීම කෙතරම් අවිශ්වාසනීය ද යන්න ලෝකයට පෙන්වීමට බවයි.

"ට්වීටර්! ඒක මරණ දැන්වීම් වලට මරු!" Benedetti පවසයි.

සුභ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුලිට්සර් සම්මානලාභී ඇලිස් වෝකර්, සිය ලෝක ප්‍රකට නවකථාව: The Color Purple කෘතියෙහි ඉශ්‍රායෙල් මුශ්‍රණය සඳහා අවසර නොදීමට තීරණය කළාය. ඊශ්‍රායලය පලස්තීනුවන් අරභයා පවත්වාගෙන යනු ලබන හිංසාකාරී, සාපරාධී ප්‍රතිතිපත්තිය හෙළා දැකීම එහි ලා ඇය පොළඹවාලූ සාධකයයි. පොත පළ කිරීම සඳහා අවසර පැතූ Yediot Books ප්‍රකාශකයන් වෙත, 2012 ජූනි 12 දාතමින් ඇලිස් වෝකර් යැවූ සම්පූර්ණ ලිපිය "ඊශ්‍රායල් සංස්කෘතික සහ ශ්‍රාස්ත්‍රාලීය වර්ජනය සඳහා පලස්තීනු ව්‍යාපාරයේ" වෙබ් අඩවිය උපුටා දක්වා තිබේ. (කියවීමට මෙතනින් යන්න.)

1983 දී පුලිට්සර් සම්මාන දිනූ The Color Purple, 1985 දී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් එනමින්ම සිනමාවට නගන ලද අතර, 2005 දී ඒ ඇසුරින් තැනූ බ්‍රෝඩ්වේ සංගීතමය නාට්‍යයක් අද දක්වා ද රංග ගත කෙරෙයි. 1930 දශකයේ දී ඇමරිකානු සමාජය තුළ කළු ස්ත්‍රීන්ගේ ඉරණම පිළිබඳ ලෝකයට හඬ ගා කී මෙම කෘතිය, වර්ණභේදවාදය ආගම කර ගත් අන්තගාමීන්ගේ දැඩි විරෝධයට ලක් විය.







සුභ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිත සෙල්ලං කරන කොට
සබන් බෝල ගොන්නක් අතර
චිත්තක්ෂණයකටත් කලින් බිඳී විසිරෙන බව
දැන දැනම පෙම් කෙරුවෙ
දේදුන්නෙ පාට තියන
සබන් බෝලයකට‍
නොදැන...

සබන් පෙණ ලෝකයක
වයිවාරන්න සබන් ඔපෙරා අතර
හති වැටුණු හිත නැවතුනේ
අන්තිම වතාවට
උඹේ සබන් පුසුඹ ළඟ

දුරුවරුණ ගත උලන
නෙක වරුණ පුසුඹ දෙන
කම්හලේ ගිනි ගත්ත යන්තරේ ළඟ උනත්
සබන් සිසිලසමයි තිබුනෙ උඹ ගාව....

දමනය කරපු ඇඟිලි තුඩුත්
සීරුවට දඟ කරන කොට
සබන් දවටන අතර
අහවර වෙන්න පෙර
පැය අටේ වැඩ මුරය
දවටන හැටිත් හිතපං
උඹේ අන්තිම සබන් කැටය..

වතුර
වැටුණු
හැටියෙ

දියවෙන....

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails