Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තහනම් දෙතොල් තහනම් කළ හාදුවක
ගින්දර විඳිමි තහනම් නැත පිච්චෙන්න
ආදර ආල නුරාව පෑ දෑස යට
තෙමුණත් හදෙහි කිහිරඟුරුය නිම් නොවන

මල්පෙති දුටිමි පෙරදා නුඹ සිත පිපුණ
මුදු බව දනිමි හැඳිනිමි දැන කළ පවට
අබියස විසල් පවුරක් තිබුණාට උස
නුඹ අත වැනුව දා සිට මම උමතුය තවම

වැහි පොද වැටෙයි මන්දාරම කළුවරය
අවසර කොහිද දුකටත් තනියම විඳින
නුඹටත් මටත් ඇයටත් මුදුවකි රිදෙන
ළංවෙන ලිහෙන සිරවෙන වරපට අතර

[හද සෛල සහ ඩයිනමයිට් - 2012]

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පසුගිය වසර කීපය තිස්සේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා තෝරා ගනු ලැබූ පොත් පිළිබඳව නිර්දය විවේචන ඉදිරිපත් විය. එලෙස චෝදනා එල්ලවුවත් ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය හෝ ඒ යටතේ ඇති රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එම විවේචනවලට ප‍්‍රතිචාර දැක්වීමට තරම් නම්‍යශීලි නොවීය. ඊට හේතු වන්නට ඇත්තේ එක් අතකින් විවේචකයන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු දීමට තරම් සුදුසු කාරණා හෝ තර්ක නොමැති වීම විය හැකිය. අනෙක් අතට එම චෝදනාවල ස්වරූපය දුටු විට ඔවුන්ගේ හෘද සාක්‍ෂිය ඔවුනට එරෙහිවූවා වන්නට ද පුලුවන. (තමන් එම විවේචන නුදුටු බවට රාජ්‍ය සාහිත්‍ය අනුමණඩල බලධාරියෙකු පැවසු බවත් එම පුවත්පත් වාර්තා ලබාගෙන ගොනු කරන ලෙස නිලධාරියකුට උපදෙස් දුන් බවත් වාර්තා විය. එහෙත් එම බලධාරියා විවේචන කියැවූ බවට නම් වාර්තා නොවීය.)

සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලැබූ පොත් කීපයක් පිළිබඳව නැවත වරක් සිහිපත් කර දීම වැදගත් වේයැයි කල්පනා කරන්නේ මේ පසුබිම යටතේයි. විද්‍යා ප‍්‍රබන්ධයට හිමි සම්මානය වරක් ලබා දුන්නේ 'කොළ පැල්ලම' නම් කෘතියකටයි. එම කෘතිය විද්‍යා ප‍්‍රබන්ධයක් නොවන බවටත් එහි ඇති වාක්‍යවලින් වැඩි කොටසක් මූලික ව්‍යාකරණ නීති පවා පිළිපැද නැති බවත් පුවත්පත් මගින් පෙන්වා දෙනු ලැබ ඇත. පසුගිය වසරේ පරිවර්තන සඳහා ලබා දී තිබූ සම්මානයක් පිළිබඳවද දැඩි විවේචනයක් එල්ල විය. චාල්ස් ඩාවින්ගේ 'පරිණාමවාදය' පිළිබඳ කෘතියේ සිංහල පරිවර්තනය අමු අමුවේ කරන ලද වැරදි පරිවර්තනයක් බවට නිදසුන් සහිතව කරුණු දක්වා තිබිණ. මෙම කෘති දෙකෙහිම දුර්වලතා පැහැදිලිවම දෘශ්‍යමාන වෙයි. විවේචකයන්ගේ තර්ක අභියෝග කළ නොහැකි තරම් ප‍්‍රබලවෙයි. සම්මාන දුන් අනෙක් කෘති දෙස බලන විටද සම්මාන ලැබූ කෘතිවලට වඩා ප‍්‍රශස්ත කෘති ඇති බවට කරුණු ඉදිරිපත් කෙරිණ. එහෙත් ඒවාට එරෙහිව සෘජුව චෝදනා කිරීම අපහසුවන්නේ සාහිත්‍ය විවේචනය පිළිබඳව එක් එක් පුද්ගලයන් අතර පවත්නා අදහස් විවිධ වන හෙයින් යැයි කියනු ලැබේ. එහෙත් එසේ විය නොහැක්කේ සාහිත්‍ය කෘතියක හොඳ නරක සඳහා නිශ්චිත නිර්ණායක සම්මත වී ඇති බැවිනි. සාහිත්‍ය විචාරය පිළිබඳ ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලැබූ කෙනෙකුට සම්මාන ලැබූ කෘති කෙතරම් දුර්වලදැයි අවබෝධ වන බවට සැකයක් නම් නැත.

සාහිත්‍යයේ ප‍්‍රවර්ධනය පිළිබඳව අවංක ‍චේතනාවෙන් ක‍්‍රියා කරන්නේ නම් සුදුසු කෘති තෝරා ගැනීම දුෂ්කර කටයුත්තක් නොවේ. සුදුසු කෘතියකට සම්මාන ලබා දුන්ව විට ඊට එරෙහිව චෝදනා නැගුණ අවස්ථා විරලය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන දීමේ ක‍්‍රමය ආරම්භ කළ වකවානුවේ සම්මාන ලබා ඇති කෘති අද දක්වාත් පාඨකයන් අතර සම්භාවනාවට පාත‍්‍රවෙයි. එහෙත් පසුගිය වසර කීපය තුළ සම්මාන ලැබූ කෘති එම වර්ෂයේවත් පාඨක ප‍්‍රසාදයට ලක්වූ බවක් නොපෙනේ. මෑතක සිට පෞද්ගලික හිතවත්කම්, ගුරුකුල සහ කුලය වැනි නොවැදගත් කාරණා පවා සම්මාන සඳහා කෘති තේරීමේදි වැදගත් කාරණා ලෙස බලපා ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදුව ඇත.

මෙම වැරදි තීරණ ගැනීම නිසා සිදුවන්නේ කුමක්ද? සාහිත්‍ය කෘති පිළිබඳ වැරදි ප‍්‍රමිතීන් ගොඩ නැගීමයි. මෙයින් ලේඛන ක්‍ෂෙත‍්‍රයට පිවිසෙන නවකයන් නොමග යෑමට ඉඩ ප‍්‍රස්ථා ඇති වේ. හඩු බසින් ලියැවෙන කෘතිවලට සම්මාන දුන් විට එය අනුකරණය කරන්නට බොහෝ දෙනෙක් පෙළඹේ. එය සාහිත්‍යයේ පමණක් නොව සිංහල භාෂාවේද පරිහානියටද හේතු වෙයි.

සම්මාන ප‍්‍රදානයෙන් පසු කෙතරම් චෝදනා එල්ල කළත් ඉන් ප‍්‍රතිඵලයක් අත්වන බවක් නොපෙනේ. අශ්වයා පිටව ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් ඵලක් නොවන්නාක් මෙනි.

එබැවින් කල්වේලා ඇතිවම බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාරණා කිහිපයක් පෙන්වාදීම යුතුකමක් මෙන්ම වගකීමක් කොට සළකමි. රාජ්‍ය සම්මාන සඳහා කෘති තේරීමේ වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයටයි. එය ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ ඇති අනුමණ්ඩලයක් බැවින් ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයට ද මේ සම්බන්ධව වැදගත් වගකීමක් පැවරී ඇත. එබැවින් මෙම සිදුව ඇති වැරදි නිවැරදි කිරීම ආරම්භ කළ යුත්තේද ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ මෙහෙයවීමෙනි. රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයට සුදුසු සාමාජිකයන් පත් කිරීමේ වගකීම ඇත්තේ කලා මණ්ඩලයටයි. එබැවින් වර්තමාන සාහිත්‍ය මණ්ඩලය විසුරුවා හැර එම මණ්ඩලයට දේශපාලන ගැත්තන් නොවන සුදුස්සන් තෝරා පත්කිරීමට ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය වග බලා ගත යුතුවෙයි. වර්තමාන සාහිත්‍ය මණඩල සාමාජිකත්වය දරන සියල්ලන්ම නුසුදුස්සන් බවක් මෙයින් අදහස් නොකෙරේ. (මෙම මණ්ඩලයේ සාහිත්‍යධරයන් නොවන කිහිප දෙනෙක් සාමාජිකත්වය දරති.) මණ්ඩලයේ කටයුතුවලදී සුදුස්සන් අභිබවා නුසුදුස්සන්ගේ හඬ ඉස්මතු වන බව පෙනී යයි. සාහිත්‍ය මණ්ඩලයට සම්පප‍්‍රලාප සම්-ප‍්‍රවේශකයන් වෙනුවට ශාස්ත‍්‍රීය පදනමක පිහිටා සාහිත්‍යය විභාග කිරීමේ හැකියාවෙන් යුතු විමර්ශන බුද්ධිය හා සිහිනුවණ ඇත්තවුන් සම්බන්ධ කර ගැනීම කාලෝචිත බව වටහා ගත යුතු බව ය. සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රය වෙනුවෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කර ඇති දේශපාලන ගැත්තන් නොවන පිරිස් තවමත් පිටත සිටින බව ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයට මතක් කරදීමට කැමැත්තෙමි. (මෙම අදහස කලා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය නියම සුදුස්සන්ගෙන් සමන්විත බලපෑම්වලට යටත් නොවන අදීන සංස්ථාවක්ය යන උපකල්පනයේ පිහිටා බව කරුණාවෙන් සළකනු මැනවි.) එම කලා මණ්ඩලයට සාධනීය කාර්යභාරයක් ඉටු කර ඇති සාහිත්‍යධරයන් අතරින් තෝරාගත් පුද්ගලයන් සාහිත්‍ය අනුමණ්ඩලයට පත් කර ගැනීමට හැකිනම් දැනට සිදුවන දුර්වලතා අවම කර ගත හැකිවේ යැයි විශ්වාස කරමි.

රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය සම්මාන සඳහා කෘති තෝරාගැනීමේදී අනුගමනය කළ ක‍්‍රියා මාර්ගය වුයේ ඊට පෙර වර්ෂයේ පළවූ පොත් සමීක්‍ෂකයන් වෙත යවා වාර්තා ලබා ගැනීමයි. එම වාර්තා පදනම් කරගෙන සුදුසු කෘති තෝරා ගැනේ. ප‍්‍රථමයෙන් සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකත්වය සංශෝධනය විය යුතු අතර දෙවනුව සම්මාන සඳහා සාහිත්‍ය කෘති තේරූ සමීක්‍ෂණ මණ්ඩල වෙනස් විය යුතුවෙයි.

පසුගිය වසර කීපය තුල පොත් තේරීම් කළ සමීක්‍ෂණ මණ්ඩල තමන්ගේ වගකීම් නිසියාකාරව ඉටු කර නැතිවා පමණක් නොව වගකීම් පැහැර ඇති බව ඔවුන් තෝරා නිර්දේශ කර ඇති පොත් දෙස බලනවිට පෙනීයයි. නිදසුනක් වශයෙන් හොඳම පරිවර්තන කෘතිය සඳහා සම්මාන නිර්දේශ කළ සමීක්‍ෂකවරු මුල් කෘතිය සහ පරිවර්තනය අතර සැසඳීමක් කර නැත. යටත් පිරිසෙයින් පරිවර්තන කෘතිය කියවාවත් නැත. (එහෙත් ඒ සඳහා ගෙවන ගාස්තු නම් ලබාගෙන ඇත!) ඔවුන් සළකා බලා ඇත්තේ පොතේ ප‍්‍රමාණය සහ ඝනකම පමණකි. මීට වසර කීපයකට පමණ පෙර යොවුන් සාහිත්‍යය සම්මානය සඳහා සාහිත්‍ය අනුමණ්ඩලය නිර්දේශ කළ පොතක් ඉන් වසර විස්සකට පමණ පෙර පළ වූ පොතක් බව පෙන්වා දීමෙන් පසු එම සම්මානය දීම අවලංගු කරනු ලැබීය. එම යොවුන් කෘතියේ රචකයා සම්මානයට හිමිකරුවෙක් බව ප‍්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු අවසාන මොහොතේ එය අවලංගු කිරීමෙන් එම ලේඛකයාට සිදුවුයේ බරපතළ අවමානයකි. රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන් අතර හෝ සමීක්‍ෂකයන් අතර සමකාලින සාහිත්‍ය ක‍්‍රියාකාරකම් පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති අයෙකු සිටියා නම් අදාළ යොවුන් සාහිත්‍ය කෘතිය වසර ගණනාවකට පෙර පළවූ පොතක් බව පෙන්වා දිය හැකිව තිබිණි. එම යොවුන් සාහිත්‍ය කෘතියේ මුල් පිටුවලම එය වසර විස්සකට පමණ පෙර පළවූ පොතක් බවට පැහැදිලි සාධක දක්නට ලැබිණ. තමන්ගේ නිර්මාණ ලෙස ඉදිරිපත් කරන සමහර සාහිත්‍ය කෘති විදේශීය ලේඛකයන්ගේ කෘතිවල අනුවාදයන් වුවත් සාහිත්‍ය අනුමණ්ඩලය ඒවා විශිෂ්ට කෘති ලෙස නම්කර ඇත. නිදසුනක් වශයෙන් දෙමළ සාහිත්‍ය ඉතිහාසය නමැති කෘතිය දැක්විය හැකිය. එය විශිෂ්ට කෘතියක් ලෙස සාහිත්‍ය අනු මණ්ඩලය විසින් නම් කරනු ලැබ ඇතග එහෙත් එම කෘතිය චෙන්නායි සරසවියේ උපකුලපති විසින් දෙමළ භාෂාවෙන් රචනා කර පසු කාලයක ඉංග‍්‍රිසියට පරිවර්තනය කරනු ලැබූ 'The History of Tamil Literature' නම් කෘතියේ අඩුපාඩු සහිත සිංහල පරිවර්තනයකි.

සමීක්‍ෂකයන් අතින් සිදුවන වැරදිවලට වගකිව යුත්තේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයයි. පසුගිය වසරේ වැරදි පරිවර්තන කෘතිය සඳහා සම්මානය නිර්දේශ කර තිබුනේ සමාජ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු බව දැනගන්නට ලැබිණ. එතුමා මුල් කෘතිය පරිවර්තන කෘතිය සමග සැසඳිම කෙසේ වෙතත් පරිවර්තන කෘතිය එක් වරක්වත් කියවා නැත. එසේ කියැවුවා නම් සම්මානය සඳහා නිර්දේශ නොකරන බවට සැකයක් ද නැත.

මෙම තත්වයට පිළියම් වශයෙන් ගත යුතු පියවර කවරේද? පසුගිය වසර කීපය තුළ සාහිත්‍ය කෘති සමීක්‍ෂණය සඳහා පත්කර සිටි සිල්ලර සමීක්‍ෂකයන් නැවත පත් කර නොගැනීම ඒ සඳහා වන එක් පිළියමකි. සමීක්‍ෂණ කටයුතු සඳහා අනුමණ්ඩල සාමාජිකයන්ගේ පෞද්ගලික හිතවතුන් පත් කරගෙන එමගින් ඔවුන්ට දීමනාවක් ලබාදීම මගින් සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයට සිදුවන්නේ බලවත් හානියකි. මෙම සමීක්‍ෂණ කාර්යය විශ්ව සාහිත්‍යය පිළිබඳ මූලික අවබෝධයක්වත් ඇති වෙනත් සුදුස්සන් පිරිසකට පැවරීම මැනැවැයි යෝජනා කරන්නේ එබැවිනි. එමගින් යටත් පිරිසෙයින් අලුත් වෙනසක් අපේක්‍ෂා කළ හැකිය. එසේ නැතිනම් පරණ මඩ ගොහොරුවේම ලගිමින් නැවත වරක් මඩ නාගැනීමට සාහිත්‍ය අනුමණ්ඩලයට සහ කලා මණ්ඩලයට සිදුවනු ඇත.

රාජ්‍ය සාහිත්‍ය සම්මානවලට අමතරව ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන වැනි සම්මාන ප‍්‍රදාන කිරීමේ තවත් වැඩ පිළිවෙළවල් ඇත. එහෙත් එම වැඩ පිළිවෙළවල දුර්වලතා හෝ සාධනිය ලක්‍ෂණ පිළිබඳව අදහස් පළ කිරීමට අපේක්‍ෂා නොකරන්නේ ඒවා හුදෙක් පෞද්ගලික ආයතනවලින් සිදු කරන සේවාවන් වන හෙයිනි. එම ආයතනවල අරමුණ වෙළඳ ප‍්‍රචාරණයක් ලබා ගැනීමයි. එහෙත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනමන්නේ මේ රටේ සමස්ත ජනතාවගේම මුදලිනි. එබැවින් එහි පාරදෘශ්‍ය භාවයක් තිබිය යුතුය. එමගින් රටට ඵලදායී සේවාවක් ලැබිය යුතුය. හැකිතාක් අවංකව හා නිරවද්‍යව කටයුතු කරන සැබෑ උගතුන් ලවා සුදුසු කෘති තෝරා සම්මාන පිරිනැමීම රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ පමණක් නොව ශ‍්‍රී ලංකා කලා මණ්ඩලයේද වගකීමකි. තරමක කල්වේලා ඇතිව මෙම කාරණා සඳහන් කරන්නේ සුදුස්සක් කිරීමට තවමත් ප‍්‍රමාද නැති බැවිනි.

විචක්ෂණ අධිකාරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලංකාවේ වර්තමාන විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ සාමාන්‍යයෙන් නිතර සාහිත්‍ය පොත පත කියවන - සංවාද කරන සංස්කෘතියක් නැත. එහෙත් මේ දිනවල දී පොත් දෙකක් සම්බන්ධයෙන් කලාතුරකින් ඇතිවන සැළකිය යුතු අවධානයක් යොමු විය. එම කෘති දෙක දින කිහිපයක් තිස්සේ සිසුන්ගේ කියවීමටත් සාකච්ඡාවටත් බඳුන් විය. ලියනගේ අමරකීර්තිගේ අලුත් කෙටිකතා පොත "අර මිහිරි සීනු නාදය" ඉන් එකකි. අඩුම තරමින් එහි "නොනිදන අවදිය" හිසින් එන කෙටිකතාවවත් බොහෝ දෙනෙක් කියවූහ. එය ඒ තරම්ම සිත් ගත් බව පෙනිණ. කතාව මගින් රූපකාත්මකමව මතු කරන්නට උත්සාහ කරන දිනචරියාම කුසීතකමේ තමනුත් පංගුකාරයින් හැටියට විචාරශීලී දුරස්ථභාවයක් තබා ගනිමින් කියවන්නට අපොහොසත් වුවත් එවැනි කතා මගින් යළි සිතන්නට කරන පෙළඹුම නොසළකාහැරිය හැකි නොවේ. බොහෝ දෙනෙකටු ප‍්‍රබන්ධයේ හමුවන කතානායකයා අනුව කටයුතු කරන්නට තරම් සිත් වූ බව සාක්ච්ඡාවන්හිදී එලි විය. එනම් පරිකල්පනීය පොඩි පොඩි විදර්ශනලා පැටව් ගසන්නට වූ බවයි. (මෙම ලිපියෙන් මතු කිරීමට අපේක්ෂිත කේන්ද‍්‍රීය අදහස සමග මෙම අත්දැකීම වක‍්‍ර- සමානකමක් දක්වයි. එනම් සාහිත්‍ය කෘති මගින් තමාද අයත් අසංතෘප්ත ව්‍යුහවල ඇති අවුල පෙන්නද්දීත් එම ව්‍යූහයෙන් තමන් නොපෙනී ගොස් ව්‍යුහය අනේකත්වයට නැංවීමේ අවාසනාවයි.) මෙසේ අවධානයට යොමු වූ දෙවැන්න "ඇම්ඩන්- නූතන ජන කතා" නමැති අසංක සායක්කාරගේ කෘතියයි. මේ ලියුම මගින් උත්සාහ කරන්නේ ඉන් දෙවැනියට කියූ කෘතිය වර්තමාන සිංහල සමාජ- සංස්කෘතික විචාරය වෙත කරන බලපෑම අවධාරණය කිරීමයි.

මේ සටහන ලිවීමට ආවේශය සැපයූ අනියම් කාරණයක්ද තිබේ. ඒ ඉරිදා ලංකාදීපයේ පළවූ දේශපාලනඥයෙකු තමා ලිංගිකව හැසිරුන ස්ත‍්‍රීන් ගණන සියයක් වීමේ ප‍්‍රීතිය නිමිති කොටගෙන පැවැත් වූ සාදය පිළිබඳ පුවතයි. අපේ ජාතියේ සංකල්පීය පියවරුන්ගේ හැටි!.. මේ දිනවල පුවත්පත්- රූපවාහිනී පුවත් මගින් කියන්නේ තවදුරටත් ඇම්ඩා යනු නූතන ජනප‍්‍රවාදයක් පමණක් නොවන බවයි.

ඇම්ඩා, ඇම්ඩන් වීම තෙක් පසුබිම් කතාව

ඇම්ඩා යනු කවුදැයි යන්න හඳුන්වා දීමට අමුතුවෙන් වචන වියදම් කළ යුතු නැත. පාසලේදීත්, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේදීත්, විනෝද චාරිකා ආදියේදීත්, ගමේ කොල්ලෝ හවසට සෙට්වෙන වෙලාවලදීත්, නගරයේ කොල්ලෝ දවල්ටත්, හමුදා කඳවුරු- නේවාසිකාගාර, සිර කඳවුරු සහ එදිනෙදා සංස්කෘතික ජීවිතයේ හමුවන අවස්ථාවන් ආදී තරුණ, වැඩිහිටි කණ්ඩායම් ගැවසෙන බොහෝ තැන්වලදී ඇම්ඩා වටා ගෙතුණු කතා වින්දනය කිරීම සඳහා අවකාශය සැළසෙයි. මෙය බොහෝවිට සිංහල භාෂක සමාජයේ පිරිමි, සිනහවෙන් විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා පාවිච්චි කරන එක් භාෂාමය නිර්මිතයකි. සිංහල බෞද්ධ සංස්කෘතියේ සීමාන්තික ආගමික හා සදාචාරාත්මක මෙල්ල කිරීම තුළ විශේෂයෙන්ම පිරිමි විසින් කාලාන්තරයක් තිස්සේ යටපත් කරන ලද ආශාවන් අවිඥානගතව තිබී ඒවා උත්කර්ෂණයට නැංවෙන එක් මාදිලියක් හැටියට ඇම්ඩා නමැති චරිතය මුල් කොටගත් ජනකතා හඳුනාගැනීමට පූලූවන. මෙය පුරුෂාධිපත්‍යයේ ප‍්‍රකාශනයකි. අසංක සායක්කාර නමැති තරුණ නිර්මාණකරුවා විසින් මෙම ජනකතා ඇම්ඩාගේ උපතේ සිට මරණය දක්වා චරිත කතාවක් ලෙස පෙළගස්වා ලේඛනයට ගෙන එයි. ව්‍යවහාරයේදී ඇම්ඩා නමැති චරිතය, සායක්කාරගේ කෘතිය වෙත එන විට ඇම්ඩන් බවට උසස්වීමක් ලබයි.

සාමාන්‍යයෙන් ජන සමාජයේ දෛනික ජීවන රිද්මයෙහි හඬ අනෙකුත් නිර්මාණ සාහිත්‍යයට වඩා ජනකතා තුළ ප‍්‍රතිනිර්මාණය වෙයි. එදිනෙදා ජීවිතයේ අවස්ථාවන් - සිද්ධි ජනකතා මඟින් සෘජුව හා වක‍්‍රව නිරූපණය වේ. එය නිරූපණය මෙන්ම ප‍්‍රති- නිර්මාණයක්ද විය හැකිය. කෙසේ හෝ ජනශ‍්‍රැති සංස්කෘතික අමාත්‍යංශයේ හෝ වෙනත් ආධිපත්‍යයක වාරණයට ලක් නොවේ. ජන කතාවලට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ද නැත. ඒ එම සාහිත්‍ය කෘතිවලට නිශ්චිත අයිතිකරුවෙක් නොමැති බැවිනි. ඒ අර්ථයෙන් ජනකතා යනු බෙහෙවින්ම අවංක නිර්මාණ වෙයි. මේ අයිතිකරුවෙකු නොමැතිවීම යනු පළල් අර්ථයෙන් ගත් විට එම අදාළ ජන සමාජයම එහි අයිතිකරුවන් බවයි. සාහිත්යික කලාත්මකත්වයෙන් උසස් ප‍්‍රබන්ධ කතා කියවීමට/ අර්ථකථනය කිරීමට හුරුකරනු ලැබූ පාඨකත්වයක්- රසිකත්වයක් අවශ්‍ය වුව ද ජනකතා කියැවීමත් ඒවා මඟින් සැපයෙන අන්තර්දෘෂ්ටි වටහාගැනීමටත් ඉතාම සාමාන්‍ය රසිකයකුට වුවද පුලූවන. විශේෂයෙන් ඕනෑම පුද්ගලයෙකුට තේරෙන ඇම්ඩාගේ කතා වැනි ජන ශ‍්‍රැති නැවත කියවමින් සංවාදයට යොදාගන්නේ නම් විශිෂ්ට යැයි කියන සාහිත්‍ය කෘතිවලට වඩා සමාජ ප‍්‍රතිසංස්කරණ කාර්යය අතින් ඒවා දෙවැනි වන්නේ නැත. තුලනාත්මක සාහිත්‍ය අධ්‍යයන වලදීත් කිසියම් සංස්කෘතියක් ගැඹුරින් වටහාගැනීමේදී මේ වාචික සාහිත්‍යයේ(orature) පවතින කෘති වෙත සෑහෙන වැදගත්කමක් දෙනු ලැබේ.

ඇම්ඩාගේ කතා තුළ එන ඔහුගේ ක‍්‍රියාකාරකම් බොහෝවිට පදනම් වන්නේ ලිංගික කාරණා මතය. කතාවල එන හාස්‍යය උපදින්නේද බොහෝ විට ඔහු සම්මත ලිංගික සංස්කෘතියට එරෙහි වීම සහ ඔහු පාවිච්චි කරන අශිෂ්ට යැයි සම්මත වචන මඟිනි. ව්‍යවහාරය තුළ නිරන්තරයෙන් උත්කර්ෂයට නැෙඟන්නේ මේ නූතන ජනකතා වල මතුපිට හාස්‍යයම පමණක් වුවද ඔහුට මුහුණ දෙන්නට සිදුවන එක් එක් අවස්ථා වලට ඔහු මුහුණ දෙන ආකාරය- ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් හුදු ලිංගිකත්වය පදනම් කරගත් ඒවා පමණක්ම නොවේ. වර්තමාන සමාජය තුළ පවතින ජරාජීර්ණත්වය- කුහකත්වය- රැවටීම- බොරුව මේ ජනකතා මඟින් ප‍්‍රතිනිර්මාණය කරයි. වර්තමාන ක‍්‍රමයේ ඇති පාදඩකම ගැන මේ කතා මඟින් අපට බොහෝ දේ උගන්වයි. ව්‍යවහාරයේ පවතින ඇම්ඩාගේ ජනකතාවලට වඩා සායක්කාරගේ ඇම්ඩන් පිළිබඳ නිර්මාණ සිංහල සංස්කෘතිය කියවීමට බොහෝ ඉඟි- පෙළඹුම් සපයයි. මෙය ව්‍යවහාරයේ පවතින කතාවලට සාපේක්ෂව සායක්කාරගේ කෘතියේ ඇති ශක්‍යතාවකි. සමහර විට මෙම කතුවරයාට අවංකවම අවශ්‍ය වූයේ මේ කතා හුදු ලේඛනාරූඪ කිරීම පමණක් වුවද කිසි ලෙසකින්වත් මේවා ඇම්ඩාගේ ජනකතා නොවේ. ඒවා ජනකතා පදනම් කොටගෙන නිර්මාණය කරන ලද ස්වාධීන ප‍්‍රබන්ධයන්ය. ඒ අර්ථයෙන් සායක්කාර ඇම්ඩා, ඇම්ඩන් කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද මේවා නූතන ජනකතා ලෙස නම් කිරීම වරදකි.

වැඩි කීකරුකම, අකීකරුවීමේ ම ප‍්‍රකාශනයක් ලෙස

මෙහිදී කීකරුවීම යනුවෙන් අදහස් වන්නේ භාෂාමය කීකරුවීමයි. එනම් මෙම කෘතියේ කතුවරයා අසම්මත භාෂා නිර්මිතයන් සම්මත භාෂාවේ රිද්මය තුළට ගාල් කිරීමයි. ඇම්ඩාගේ කතාවල ප‍්‍රබලව හාස්‍යය මතුවන්නේ ඇම්ඩා නිතරම පාවිච්චි කරන අශිෂ්ට වචන මඟිනි. නමුත් සායක්කාර අල්ලාගන්නේ ඔහු මුහුණ දෙන සිදුවීම්වල එන උත්ප‍්‍රාසය පමණි. නිතර ඇම්ඩා වහරන සම්මත- අශිෂ්ට වචන වෙනුවට සායක්කාර භාවිතා කරන්නේ වර්තමානයේ සාමාන්‍ය ලේඛනවල පවා පාවිච්චි නොකරන සාම්ප‍්‍රදායික සාහිත්‍යයට අයත් වන භාෂා ශෛලියකි. යම් ජන සමාජයක පවත්නා ජනශ‍්‍රැති එම භාෂා රිද්මයෙන් බැහැරව රචනා කරන විට එහි පවතින ජීවය නැතිව යයි. විශේෂයෙන්ම ඇම්ඩාගේ කතාවලට මෙය බෙහෙවින්ම බලපායි. එවිට ඉතිරිවන්නේ මියගිය ජනශ‍්‍රැතියෙහි මතක- ඡායාවක් පමණකි. එක අතකින් පවතින සංස්කෘතික ව්‍යුහය කඩා කුඩුපට්ටම් කර දමන ඇම්ඩා පාදක කොටගත් කතාම මේ ආකාරයේ ව්‍යුහමය ආධිපත්‍ය දරන සම්මත භාෂා සංස්කෘතියට අවනත වීම උත්ප‍්‍රාසයකි. සායක්කාරගේ කතා සංධානය විශිෂ්ට වන නමුත් ජනශ‍්‍රැතියේ එන වචනම පාවිච්චි කළේ නම් ඔහු කරන අභියෝගය මීට වඩා රැඩිකල් වන්නට ඉඩ තිබුණි.

එසේ වුවත් සායක්කාරගේ අපට පෙනෙනෙ මේ කීකරුකම ආශ‍්‍රයෙන් අපට ප‍්‍රශ්න කිහිපයක් අසන්නට පුලුවනි. ඉන් එකක් නම් ජනශ‍්‍රැතියේ එන භාෂාව මෙහි කතුවරයා තමන්ගේ කෘතිය තුළ ඇත්තටම පාවිච්චි නොකළේ ඇයිද යන්නයි. එයට පිළිතුර භාෂාමය සංස්කෘතික වහන්තරාව විය හැකිය. කුණුහරුප/ අසභ්‍ය/ අශිෂ්ට යන නාමකරණයෙන් පවතින භාෂාත්මක කොටසක් ලේඛනය තුළට ගෙන ඒමේදී ඇතිවන සංස්කෘතික බිය ඔහුට ඇති වූවා විය හැකිය. නමුත් මේ අශිෂ්ට යැයි කියන වචන සිංහල භාෂක සමාජයට දුරස්ථ වූ ඒවා නොවේ. දෛනික ජීවිතයේ නිරන්තරයෙන් ව්‍යවහාර කරන වචනය. එවිට මෙම කෘතියේදි එම නිවැරදිම වචන පාවිච්චි නොකිරීම නමැති තත්වය භාෂා ව්‍යුහයේ ආධිපත්‍යය ප‍්‍රශ්න කරන කතිකාවට අපව කැඳවන හොඳ නිමිත්තකි.

අනෙක් අතට මේ අශිෂ්ට භාෂා ව්‍යවහාරය, ජන සම්මත භාෂා සංසකෘතියේ සාම්ප‍්‍රදායික භාෂා රිද්මය බවට රූපාන්තරණය කිරීම උත්ප‍්‍රාසවත්ය. ඔහු ඇම්ඩා ගැන පටන්ගන්නේම ඔහුට ඇම්ඩනයාණෝ යනුවෙන් ගෞරවාර්ථයෙන් අමතමිනි. මුල සිටම සම්මත සංස්කෘතික තර්කනයෙන් ගැලවී යන අශිෂ්ට යැයි සැලකෙන හැම අවස්ථාවක්ම කතුවරයා ප‍්‍රතිනිර්මාණය කරන්නේ ගෞරවය දනවන ගාම්භීර භාෂා ශෛලියකිනි. ඇම්ඩා වැනි කුණහරුපකාරයකු වෙනුවෙන් මෙවැනි සම්මත- ව්‍යක්ත- උසස්- ගෞරවාර්ථ දනවන භාෂාවක් පාවිච්චි කිරීම ම එම භාෂා සංස්කෘතියේ අධිපතීත්වයට ගසන පහරකි. සායක්කාරගේ භාෂාමය කීකරුකම, අකීකරුවීමේ ප‍්‍රකාශනයක් වන්නේ ඒ අර්ථයෙනි.

ශ‍්‍රැතියෙන් පිට පනින ඇම්ඩන්ගේ කතා

එක් අර්ථයකින් ශ‍්‍රැතියෙන් පිට පැනීම යනු මෙම කෘතියේ නිර්මාණකරුවා ජනශ‍්‍රැතිය වරද්දා ලිවීම ද වන නමුත් මෙහි දී වඩාත් අවධාරණය කරන්නේ ඇම්ඩා නමැති චරිතය සම්මුතිගත සංස්කෘතික තර්කනය නම් වන ශ‍්‍රැතියෙන් පිටපැනීමයි. කෘතියේ එන මේ දඩබ්බර කතා එකින් එක වෙන වෙනම කියවිය හැකි වුවද මේ ලේඛනය මඟින් අරමුණු කරන්නේ සමස්තයක් ලෙස ඇම්ඩා නමැති සංකේත රූපය/ සංඥාව මඟින් වර්තමාන සිංහල සංස්කෘතිය වෙත අවශ්‍යයෙන්ම ඇති කරගත යුතු යැයි සිතෙන සංවාදයට කිසියම් වූ ප‍්‍රවේශයක් ගැනීමයි.

මේ ඇම්ඩාගේ කතා සාමාන්‍ය ජනකතා ලෙස ව්‍යවහාරයේ පවතින විට ඒවා පිළිබඳ හාස්‍යයෙන් ඔබ්බට ගොස් අර්ථකතනය නොකළද ජනකතා විදිහටම පවතින විට පවා ඒවා සිංහල භාෂක සමාජය තුළ ආගමික- සදාචාරමය ව්‍යුහයන් මඟින් අවිඥානයේ යටපත් කරන ලද මැඩපවත්වන ලද මිනිස් ආශාවන්ගේ උත්කර්ෂණයක් ලෙස කියවිය හැකිය. විශේෂයෙන්ම ලාංකික බෞද්ධ සමාජය විසින් යටපත්කරන ලද - හංගන ලද ලිංගිකත්වය කෙරෙහි ප‍්‍රතිවිරෝධාත්මක නැඟීසිටීමකි මේ කතා. මේ කතා මඟින් විනෝදවන්නේ බහුල වශයෙන් පිරිමින් වන අතර ඇම්ඩා යනු ලාංකීය බෞද්ධ පිරිමි අවිඥානය තුළ වීරයෙකි. නමුත් ඇම්ඩා නමැති ඒ සංකේතය එළිමහන් සංස්කෘතිය තුළ එනම් සාමාන්‍ය ජන විඥානය තුළ ප‍්‍රතිවීරයා හෙවත් දුෂ්ටයා දක්වා පසුබසියි. කෙසේ වෙතත් ඇම්ඩාගේ කතා අසමින් සාමාන්‍ය ජීවිතය තුළදී බෙහෙවින් සිනාසෙන අපි ඉන් ඔබ්බට නොයන්නෙමු. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදී ඇම්ඩන් ගේ කතා පොත බහුතරයක් කියෙව්වේත් ඒවා නැවත සායක්කාරගේ භාෂාවෙන් එකිනෙකාට නැවත කියමින් විනෝද වුණේත් එම නිර්මාණ බරපතල ලෙස අප අයත් වන සමාජ සංදර්භයම සිනහවට ලක්කරන බව දැනුවත්ව නොවේ. එම කතා මඟින් උපදින හුදු හාස්‍යය ළඟ පමණක් නතර වෙමිනි. පත්තර හා රූපවාහිනී පුවත් තුළත් දෛනික යථාර්ථයේදීත් මුහුණටම හමුවන ඇම්ඩන් වර්ගයේ මිනිසුන්ගේ නොසන්ඩාලකම් සිනහවෙන් නොඉවසන අපි ඇම්ඩා හා හුදු සිනහවෙන් පමණක් නතරවීමේ දෙබෙදුම ගැටලුවකි. කුහකකමකි. කෙසේවෙතත් ජනප‍්‍රවාදයේ එන කතාවලටත් වඩා අප සමාජය ගැන ගැඹුරු විග‍්‍රහයක යෙදෙන සායක්කාරගේ කෘතිය අප විසින් නැවත කියවීම මේ මොහොතේ දී බෙහෙවින්ම වැදගත්ය.

ඇම්ඩා අපේ සමාජයේ මතු උපදින්නට පස් මහ බැලුම් බලන කාලය සායක්කාර ප‍්‍රතිනිර්මාණය කරන්නේ මෙසේය.

"තවද එක් භීම සමයක් උදා විය. එසඳ අං ඇති ගැරඬීහු ගොදුරු සොයමින් තැන තැන සරන්නාහ. දලූ ලූ මෝල් ගස් මුදුනෙහි කැදලි තනාගත් ධවල කපුටෝ නිති නින්දටම හැරුනාහ. පිහාටු ලද ඉබ්බෝ පියාසර කිරීමෙන් ලද තෙහෙට්ටුව සංසිඳුණු රිසියෙන් මෝල් ගස් සෙවනෙහි ගිමන් හැරියාය.........

මෙලොව බිහිවන්නට අකනිටා බඹ ලොවට වි නිමිති බැලූ ඇම්ඩනයාණෝ මේ සිය අභිනව භවයට අභිමත කාලය යැයි සිතූහ...

ශක‍්‍ර දේවයිනි, අභිනව භවයට මා සොයමින් සිටි සියල්ල දැන් සැපිරී තිබේ. එසේ හෙයින් තවත් නම් පමාවීම අකැප වන්නේය."


සායක්කාර ඇම්ඩනියානු සංස්කෘතික ලක්ෂණ නුතන සමාජය උත්තරාරෝපණය වීම වටා ඇති නූතන සමාජ- දේශපාලනික පරිසරය මුලදීම තම කෘතියට හසුකර ගනියි. ඇම්ඩා දෙව් ලොවින් චුත වන්නේ ඊෂ්වර දෙවියන් සමග ආරවුලක් ද ඇතිකර ගනිමිනි. ඊෂ්වර දෙවියන් හින්දු ආගමික සංකේතයක් වුවත් එය සිංහල සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ ස්ථානගත වන්නේ - ඔහු සම්බන්ධව පවතින විවිධ විශ්වාස අන්‍යයෙකුට වඩා අපේම සංස්කෘතික දෘෂ්ටිමය බල ව්‍යුහයේ එක් බලවත් සංකේතයක් ලෙසය. එවිට ඇම්ඩා නමැති අශිෂ්ටයා තමන්ගේ වැඩ පටන්ගත්නේම අපේ සමාජ ව්‍යුහයේ එක් බලවතෙකුට පහර ගසමිනි. තමාගේ තෙවන ඇස ඇරියහොත් ඊෂ්වරයාගේ බිරිය වුව ගැබ්බර විය හැකි බව පවසමින් ඇම්ඩා කරන ප‍්‍රකාශය මගින් ඉඟි කරන්නේ ඇම්ඩාගේ තෙවන ඇස නම් වන පුරුෂ ලිංගයට ඊෂ්වරයාගේ තෙවන ඇසට වුව අභියෝග කරන්නට පුලුවන් බවයි. එක්තරා ආකාරයකට මෙය අපේ සංස්කෘතික බලාධිකාරයන්ට එරෙහිව සංකේතීය කැරලි ගැසීමකි. ඊෂ්වරයාගේ තෙවන ඇසත් සමච්චලයට ලක් කරමින් ඇම්ඩා අපේ සමාජයට එන්නේ මිහිපිට ඇති ලොකුම පුරුෂ ලිංගයත් අරගෙනය. යට කී විදිහටම මෙය එක් අර්ථයකින් පුරුෂෝත්තම සමාජයේම අධිපති ප‍්‍රකාශනයක්. වීර කාව්‍යයක්. නමුත් මෙම ප‍්‍රකාශනය හිමිකමක් නොව අහිමිකමක් නිසා උත්කර්ෂණයට නැංවෙන්නක්. සිංහල බෞද්ධ පරිසරය මගින් අපේ පිරිමින්ගේ මානසික අවශ්‍යතාවන් අහිමි කිරීම නිසා මතුවන අහිංසක විවේචනයක්. (ඇතැම් විට ස්ත‍්‍රීයගේ මානසික ලිංගික අහිමිය ගැන ද සුළුවෙන් වුවත් ඇම්ඩන්ගේ කතා මඟින් හෙළි කරයි.) ඇම්ඩන්ගේ උපත සිදුවන්නට පෙර පවා ඇම්ඩාගේ පීතෘ භූමිකාවට හිමිකම් කියන සිරිපාල පුරංගනාවන් සමඟ අනියම් ලිංගික සේවනයේ යෙදෙයි. සංස්කෘතිය මඟින් වසංගන ලද සැබෑ ප‍්‍රතිරූපය එයයි. නිරුවත එයයි. කෘතිය තුළ ඇමිඩාගේ උපතේ සිට මරණය දක්වාම ගෙතෙන කතා රූපකාත්මකව අපේ සමාජ සංදර්භය හා බෙහෙවින්ම සමීප වෙයි.

මව්- පුතු, පිය- පුතු, සීයා- මුණුබුරු, ආච්චි- මුණුබුරු, ගුරු- සිසු, පූජක- ශ‍්‍රාවක, නිළධාරී- සිවිල් ජනයා ඇතුළුවන සදාචාර ලෝකය (ධූරාවලිගත ව්‍යුහය) තුළට පැමිණෙන ඇම්ඩන් නමැති අශිෂ්ටයා මේ ව්‍යුහය තුළ සම්මත සදාචාර පද්ධතිය අභියෝගයට ලක්කරන්නේ ඒවා කඩා කුඩුපට්ටම් කොට දැමීමෙනි. ඒ අර්ථයෙන් ඇම්ඩා යනු ප‍්‍රති- සංස්කෘතික කැරළිකාරයෙකි. ව්‍යුහ කඩන්නෙකි. මේ පිළිබඳව අපි යළි සිතා බැලිය යුත්තේ ඇම්ඩා යනු හුදු කුණුහරුපකාරයකු ලෙස ආන්තිකව කියවමින් ඔහුව අප සිනාගන්වන විහිළුකාරයෙකු බවට ඌනනය කරමින් නොවේ. ඊට වඩා ගැඹුරින් සිතන්නට ඇම්ඩා නමැති රූපකය පාවිච්චි කළ යුතුය. ඒ සඳහා විදග්ධ රසිකත්වයක් උවමනා නොවේ. මෙම කතා පොත එම කතිකාවට අවශ්‍ය ආවේශය සපයන සාමාන්‍ය ජනයා එයට සම්බන්ධ කරගැනීමේ විභවතාව ඇති රචනා සමූහයකි.

ලාංකික පුරුෂෝත්තම සමාජයේ ඇම්ඩා අප කා තුළත් සැඟවී සිටියි. ඒ ඇම්ඩාට ප‍්‍රසිද්ධියේ සිනාසෙන අපි රහසේම ඇලූම් කරමු. එබැවිනි අපේ සමාජයේ දෛනික ජීවිතය තුළ බොහෝ මිනිසුන් "ඌ නං මාර ඇම්ඩෙක්" යැයි උපහාස- වීරත්වයට නංවන්නේ. මේ රචනාව අනවශ්‍ය ලෙස දැනටමත් දික්ව ඇති නිසා ලාංකේය සමාජය ඇම්ඩා විසින් ස්පර්ෂ කරන ආකාරය ගැන එන බොහෝ කතා මෙහිදී මඟහැර යන්නට සිදුවෙයි. කතා පොතේ අවසානයට කිට්ටු වන විට ඇම්ඩා එක්තරා අවස්ථාවක දී සියලූ දේව පිළිම- ප‍්‍රතිරූප කඩා බිඳ දමනවා ඊෂ්වරයත් ඇතුලුව. නමුත් අවාසනාවකට මෙන් මෙතනදිත් අවිඥානිකව වුව අපි විසින් කඩා බිඳ දමන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළට ආත්මීයකරණය කරගත් අන්‍යයෙකු වන ඊෂ්වරයා ඇතුලු දේව පිළිමයන් පමණක් වීම ද උත්ප‍්‍රාසවත්ය. මේ පරෙස්සම ද වෙනත් ප‍්‍රවේශයකින් කතිකාවට බඳුන් කළ හැක්කකි. කෘතියේ එන වෙසක් පෝයට අදාළ සිද්ධියේ දී පවා මේ ස්ව- සංස්කෘතික ප‍්‍රතිරූපවලට හානි නොකරන්නට ඇම්ඩා පරිස්සම් වෙයි. ව්‍යුහ කඩන්නාට වුව තමාගේ රැඩිකල් බව පිළිබඳව නැවත සිතා බලන්නට කරන ඇරයුමක් ලෙස මෙය වටහා ගත යුතුය. අවසානයට ඇම්ඩා මරණයට පත් කරන්නේ ද ඊෂ්වරයා නමැති බලාධිකාරිය විසින්මය. එමඟින් සපයන අන්තර් දෘෂ්ටි මොනවාද යන්න ගැන ද අප සිතා බැලිය යුතුය.

අවසාන වශයෙන් තඩි ලිංගික උපකරණයක් ඇති මේ පුරුෂයා මඟින් අප මත ඇතිකරන හාස්‍ය "හාස්‍යය" තුළ අඩංගු සමාජ කාර්යයන්ගෙන් ද වෙන් කරන්නට හැකියාවක් නැත. හාස්‍යය මඟින් පීඩිත මනස සුවපත් කරයි. තව අර්ථයකින් හාස්‍යය පෑම විරෝධය පාන එක ක‍්‍රමයක් ද වෙයි. එනම් පවතින සමාජ සම්මතයට එරෙමිව යාමේ කාරකත්වය හාස්‍යයට ද තිබේ. හාස්‍යය මඟින් ව්‍යුහ කඩන්නට දෙන දායකත්වය ගෙන දෙන්නේ අහිංසක සතුටක් වුව එහි සමාජ කාර්යය බරපතල එකකි.

මේ කෘතිය මගින් ගොඩනගන රූපකය කුළුගන්වන්නට එහි පිට කවරය පවා සමත් වෙයි. තද කළු පසුබිමක පසුපසට හැරී වාඩි වී සිටින්නේ කොණ්ඩයද බූ ගා ගත් තරුණයෙකි. ඔහු ඇඳ සිටින්නේ ඩෙනිමක් වන අතර උඩු කය නිරුවත්ය. යට කලිසමෙන්ද කොටසක් නිරාවරණය වී පෙනේ. පිට සම්පූර්ණයෙන්ම පච්චයකින් වැසී තිබේ. බැලූ බැල්මට එය පිට හම විනිවිද පෙනෙන මිනිස් ඉන්ද‍්‍රිය පද්ධතියේ කොටසක් ලෙස හැඟී යයි. පච්ච ඇම්ඩා එබි බලන්නේ ඒ දෘශ්‍ය- ඉන්ද‍්‍රිය පද්ධතියේ සිටයි. මෙය අප නොදන්නවා උනත් ඇම්ඩා ඉන්නේ අප ඇතුලේම යනුවෙන් බවට කරන යෝජනාවකි. මේ රූප සංඥාව කතාවේ අන්තර්ගතය මගින් ගොඩනගන රූපකයේම දිගුවකි.

මේ දිනවල ලංකාවේ දෛනික යථාර්ථය දෙස සවිඥානිකව බලන්නෙකුට බෙහෙවින් ඉහළ යන ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර- කාන්තා හිංසන ආදිය මඟ හැර යා හැකි නොවේ. පවුලේ පියවරුද, ජාතියේ සංකල්පීය පියවරුද(දේශපාලන බල ස්ථරයේ ඉහළ සිටින අය) , වැඩිහිටියන් ද, ඥාතීන්ද, දේශපාලක හෙවනේ වැජඹෙන මහැදුරෝද, රාජ්‍ය සේවකයෝ ද මැරයෝ ද මෙම ව්‍යසනයේ කේන්ද්‍රයේ සිටිති. එවිට කේන්ද‍්‍රය යනු මධ්‍ය ලක්ෂ්‍යය හෝ පරිධියෙහි ඇති තනි තිතක් නොවේ. "පිරිමින් වීම" ඔවුන්ගේ නිදහස රැකදීමේ දෘෂ්ටිවාදාත්මක අධිපතිත්වයයි. එක අතකින් ආර්ථික උවමනාකම් පසු පස ලූහු බඳින නව ධනේශ්වරය තුළ මිනිස් සබඳතා දියකර හැරීම ක‍්‍රමයේම දෘෂ්ටිමය උවමනාවක් ලෙසත්, අතිකාල සේවා වැනි දේ මඟින් සංස්කෘතිකවත් ජීවිතයක් ගත කිරීමට ඇති අතිරික්ත කාලය ද අහිමි කිරීමේ ප‍්‍රතිපලයක් ලෙසත්, පුද්ගල ඉව්ඡාභංගත්වය හා සීමාන්තික ආගමික- සදාචාර දෘෂ්ටිවාදයන් මඟින් ඒ මතම ඇති කරන තෙරපුමක් ලෙසත් අර සිදුවීම් මතුවිම වටහාගන්නට පුලූවනි. එනම් "ඇම්ඩා" ජනශ‍්‍රැතියෙන් පිට පැන තථ්‍ය ජීවිත තුළට- දෛනික යථාර්ථය තුළට රිංගා ගැනීමයි. එබැවින් මේ ඇම්ඩා ගැන ගොඩ නැඟිය යුතු සංවාදය අදට බෙහෙවින්ම ගැළපෙන්නකි. අවසාන වශයෙන් ජනශ‍්‍රැතිය ඒ අයුරින්ම ලේඛනගත කිරීමේ උවමනාව පිරිමහන්නට ගොස් ඓතිහාසික වැරුද්දකට හසු වන සායක්කාරගේ නූතන ජනකතා පොත මේ මොහොතේ අප විසින් ඇතිකර ගත යුතු බරපතල සංවාදයට සපයන ආලෝකය හේතුවෙන් වැරැද්දෙහි සැර බාල කර ගනියි. එසේ සැර බාල වන්නට නම් මේ කතා විසින් ඇති කරන මතුපිට හාස්‍යයේ යටි පෙළ පිළිබඳ ගැඹුරු කියවිමක් දක්වා අපේ කතිකාව පළල් විය යුතුය.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අපේ ජීවිත විනාශ කළාට උඹලාට හෙණ හතම ගහපන්"

ඒ මේ දිනවල ෆේස්බුක් එකේත් අන්තර්ජාලයේත් තියෙන ජනප්‍රිය පණිවුඩයකි. පණිවුඩය සමග අමුණා ඇත්තේ සරදම්කාරී සිනාවෙන් පිරුණු මුහුණු තුනක් සහිත ඡායාරූපයකි. ඒ සරදම්කාරී සිනාවෙන් පිරුණු මුහුණත්තහඩුවල අයිතිකාරයෝ අමුත්තන් පිරිසක් නොවන බව එක කෙටි බැල්මකින් වුව පෙණේ. කෙටියෙන්ම කියනවානම්, ඒ මුහුණත්තහඩුවල අයිතිකාරයෝ අධ්‍යාපන අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් හිටපු විභාග කොමසාරිස් වරයාත් ය. "ඔබගේ පැතුමත් මෙය නම් එය යාලුවන් සමග බෙදාගන්න" පණිවිඩය තවදුරටත් දක්වයි.

පණිවිඩය ප්‍රවේගකාරී නමුත් ඊට යටින් ඇති කතාව නම් ඛේද ජනකය. ඒ අනාගතය විනාශ කරමින් අතරමන් කරනු ලැබූ දහස් ගණනක් සිසුන්ගේ කඳුලු කතාවක් ය. අතරමං කරනු ලැබුවා කීවාට යළි යළිත් අතරමං කරනු ලැබූ දරුවන් පිරිසකගේ කතාවක් ය!

අපොස උසස්පෙළ විභාග ප්‍රතිඵල පසුගියවර ගණනය කර ඇත්තේ ඉතා වැරදි සහගත ලෙස බව හෙළිවද්දීත් ඒ පිළිබඳ සමාජයේ කථීකාවක් ගොඩනැගෙද්දීත් බලධාරීන් කීවේ එවැනි වරදක් නම් කෙසේවත් සිදුවී නොමැති බවය. ඉසෙඩ් ලකුණු ක්‍රමය රටට හඳුන්වා දුන් මහාචාර්යවරයා පවා ඒ ප්‍රතිඵලයට විරුද්ධව හඬ නගද්දී ඔවුන් කළේ ප්‍රශ්නයට උත්තර හොයනවා වෙනුවට මහාචාර්යවරයා ඇතුළු පිරිසට මඩ ගැසීමය. නොඑසේනම් කෙස් පැලෙන තර්කත්, බඩ පැලෙනකන් හිනායන කතාන්දරත් කියමින් ප්‍රශ්නය දිගින් දිගටම ඇදීමය. හිතාමතා නොතකා හැරීමය.

වැඩේ හත්පොලේ ගෑවී ඇති බව තේරෙන්නට පටන්ගත්තේ වාණිජ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන්ට විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රතිඵල ලැබෙද්දීත්, "ඒ" සාමාර්ථ තුනක් ලබා ගත් ශිෂ්‍යයින්ට වඩා "එස්" සාමාර්ථ තුනක් ලබා ගත් සිසුන් දිස්ත්‍රීක් හා දිවයින් කුසලතා මට්ටමෙන් ඉහළ ගොස් තිබෙද්දීත් ය. කෙසේ හෝ ජාමේ බේරාගන්නට සිතූ මේ අය කීවේ, මෙතන තියෙන්නේ "චූටි කොම්පියුටර් අවුලක්" විතරයි කියලාය. මේ අය කළේ, ඒ චූටි අවුලෙන් ගැලවී තම සායම පිරියම් කරන්නට තවත් කමිටුවක් පත් කිරීමය.

ප්‍රධාන ප්‍රශ්නය වූ ඉසෙඩ් ලකුණු ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වගකුදු නොසෙවූ මේ කමිටුව කළේ ලොකු අවුල පැත්තක තිබියදී "චූටි අවුල" සැකසීමට නිර්දේශ ඉදිරිපත් කිරීමය. පැරණි සහ නව විෂය නිර්දේශයන් දෙකකින් සිසුන් විභාගය ලියා තියෙද්දී ඒ විෂය නිර්දේශ දෙක පිළිබඳ නොතකා හැර, ඒ ඒ විෂයන්හි මධ්‍යනයන් එකතු කිරීම සාවද්‍ය බව රට පුරා උගතුන් ප්‍රකාශ කළත් වගකිව යුත්තන් කීවේ තමන් ඉසෙඩ් ස්කෝර් හදන්න දන්නේ නැති නමුත් මේ හදලා තියෙන විදිහේ වරදක් නැති බවනම් තමන්ට සක්සුදක් සේ පැහැදිලියි කියලාය.



ලබාදී තිබූ ලකුණු සාවද්‍ය බවට රට පුරා කතා බහ වෙද්දීත් ඊට විරුද්ධව විරෝධතා සංවිධානය වෙද්දීත් ඔවුන් යළි යළිත් කළේ සියල්ලට නෑසූකන්ව හිඳ තම උද්දච්චකම හුවාදැක්වීම විතරය. කවුරු කුමක් කීවත් තමන් කිසිලෙසක නොසැලෙන බවට පෙන්වන්නට මෙන් ඔවුන් කළේ එම ප්‍රතිඵලයේ ඉදිරියෙන්ම සිටින සිසුන් හෙළි කිරීමටත් ඔවුන් ඇගයීමටත් ඉක්මන් වීමය. එ පමණක් නොව, විශ්වවිද්‍යාල ප්‍රවේශයේදි ලබාදෙන නායකත්ත්ව පුහුණුවට පවා විභාගය සමත්යැ'යි සම්මත වූ සිසුන් කැඳවීමට යුහුසුලු වීමය.

බන්දුල- එස්බී- අනුර රටේ පුවත්පත් කාටුන් සහ තීරු ලිපි තුළත් අන්තර්ජාලයේත් ත්‍රී-ඉඩියට්ස් ලෙසත් බෞතීස්මවද්දීත්, වැඩේ පොරවෙන් කපන්නටත් බැරි තැනකට ඔඩුදුවා එද්දීත් තම විශ්‍රාම සුවය සොයා අනුර එදිරිසිංහ ලිස්සා ගිය අතර, සාවද්‍ය ප්‍රතිඵලයේ නිවැරදියැ'යි තහවුරු කිරීමේ ඔහුගෙන් හිස්වූ වගකීමට කරගහන්නෙත් පොදු ලක්ෂණ අතින් මේ තිදෙනාටම නොදෙවෙනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාය.

අගතියට පත්වූ සිසුන් හා ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරූ පසු සහ නඩුව පරාජය වූ පසු මේ අය කීවේත්, නිවැරදි ලෙස ගණනය වූ ඉසෙඩ් ලකුණු පළවී මුළු රටම තක්බීරිවී සිටියදී මේ අය හඟවන්නේත් වරදක් සිදුවූ බව තමන් නොපිළිගන්නා බවය. තම සාවද්‍ය ප්‍රතිඵලය ඉවත් කර අලුත් ප්‍රතිඵලයක් ගෙන ආ නිසා යම් සිසුවෙක්ට අවාසිසහගත වූවේනම් ඒ සඳහා තමන් වගකීම බාර නොගන්නා බවය. එය පිරිසිදු ප්‍රතිඵලයක බලාපොරොත්තුවෙන් නඩු දැමූවන් සමගම බලා ගත යුතු වබය.

වැරදි ප්‍රතිඵලය වහා අත්හිටුවා නැවත ප්‍රතිඵල ගණනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේ තමන් පැරණි ප්‍රතිඵලය වැරදි සහගත එකක්යැ'යි නොපිළිගන්නා බවය. අවසානයේ අධිකරණයට සිදුවූයේ සියල්ල පසෙකින් තිබියදී තමන්ගේත් නීතියේත් ගෞරවය ආරක්ෂා කරගැනීම ගැන හිතා බලන එකය. අධිකරණයට අපහාස වීම පිළිබඳ නිදහසට කරුණු කියන ලෙස මහාචාර්යවරයාට නියෝග කරන එකය.



අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී මෙන්ම මේ වසරෙහි උසස්පෙළ විභාගය මුවවිටටම පැමිණ තිබියදී පවා සුපුරුදු කල් මරන ප්‍රතිපත්තියෙන් බැහැරවීමට බලධාරීන් කල්පනා කළේ නැත. ඉසෙඩ් ලකුණු ක්‍රමය හඟන්වා දුන් මහාචාර්යවරයා වන ආර්.ඕ. තටිල් පෙන්වා දුන්නේ ප්‍රතිඵල යළි සංශෝධනය දින බාගයකින් කළ හැකි'යි කියලාය. එසේ නමුත් ඒ කටයුත්ත කිරීමටත් කමිටු පත් කරමින් ආණ්ඩුව තවත් සති ගණනක් කල් මැරීය.

කෙසේ වෙතත් සංශෝධිත ප්‍රතිඵල අනුව පැරණි ප්‍රතිඵලය හාත්පසින් උඩු යටිකුරු වී ගියේය. ඒ රටම නොසිතූ ආකාරයටය. එය ඒ තරමට විකෘති වී තිබුණේයැ'යි කාගෙ කාගේත් ඇස් ඇරෙන්නට වූයේ එවිටය. ඛේදයට කරුණ වූයේ, විශ්වවිද්‍යාලවල ප්‍රවේශයට සිහින මවමින් සිටි සුවහසක් සිසු සිසුවියන්ගේත් ඔවුන්ගේ නෑ හිතවතුන්ගේත් බලාපොරොත්තුත් මේ සමග පරසක්වලෙහි ගැටී ඉරිතැලී යෑමය. ඒ, ප්‍රතිඵලය වැරදි බව දැනගත් විගසම එය නිවැරදි කරන්නට තරම් ආණ්ඩුව නිහතමානී නොවීම හින්දාය.

මේ ක්‍රියා පටිපාටියත් සමග ඇගයීමට ලක් කළ බොහෝ සිසුන්ට අද වී ඇත්තේ පයතැබූ අත්තත් අල්ලන්න ගිය අත්තත් නැතිවී යෑම විතරක්ය. ඒ නැවත සංශෝධිත විභාග ප්‍රතිඵල ලබාදීම පැවැත්වීමට නියමිත විභාගය මුවවිටට එනතුරු හිතාමතා දික් ගැස්සූ නිසාය. සංශෝධිත ප්‍රතිඵලය තුළින් ගැටලු මතුවී ඇති සිසුන් සඳහා එන උසස් පෙළ විභාගය ලියන්නට සාධාරණ ඉඩක් ලැබෙන්නේ නැත. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ඔවුන්ට ඉතිරිකර නැති නිසාය. තවත් පැත්තකින් කියනවානම්, තමන් නිකුත් කළ ප්‍රතිඵලය ඉතා නිවැරදි බවට බලධාරීන් මැවූ සිහින ලෝකයේ අතරමං වූ බොහෝ සිසුන් ඒ ලකුණු තුළින්ම විශ්වවිද්‍යාලවලට යෑමට බලා සිටියා මිස තමන්ට නැවතත් විභාගයකට පෙනී සිටින්නට සිදුවනු ඇතැ'යි සිහිනෙනුදු සිතුවේ නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය අද කියන්නේ අගතියට පත් වූ සියලු සිසුන්ට මෙවර විභාග ලියන්නට සියලු පහසුකම් සලසා ඇති බවය. විභාගයට අයදුම් නොකළ ඕනෑම කෙනෙකුට තම විස්තර "ෆැක්ස්" කිරීම මගින් ඉක්මනින් ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බවය. ප්‍රවේශපත්‍ර ලබා දුන් විගසින් ප්‍රශ්න සියල්ල විසඳී යන බව ඔවුන් කල්පනා කරනවා වන්නට බැරි නැත. තවත් අතකින් "ෆැක්ස්" යන්ත්‍රයක් යනු රටේ හතරදිග්භාගයේ අස්සක් මුල්ලක් නෑර ඇති අති සරල උපකරණයකැ'යි මේ අය කල්පනා කරනවාද විය යුතුය. ෆැක්ස් යන්ත්‍රයක් තියා විදුලි බුබුලක් දල්වාගන්නට අවශ්‍ය විදුලි වයරයක් හතර මායිමකටවත් ගොසින් නැති ගම්මාන ඕනෑතරම් මේ ආශ්චර්යමත් රටේ තිබෙනා බවටවත් මේ අයට අවබෝධ වී නැතුවා සේය.

ලැබී ඇති නව ප්‍රතිඵලය තුළ පසුගිය ප්‍රතිඵලය මගින් යටගසා තිබුණු දක්ෂයින් බොහෝ දෙනෙක්ට සරසවි වරම් හිමිව තිබෙන්නේය. ඒත් සමගම පසුගිය ප්‍රතිඵලය තුළ ඉදිරියෙන් සිට බලාපොරොත්තු දල්වා සිටි සිසුන් රාශියකට ඒ අවස්ථාව අහිමිවීද තිබෙන්නේය. අද ඔවුන් ඉන්නේ සමාජයටත් දෙමව්පියන්ටත් කාටවත් මුහුණ දෙන්න බැරි මානසික පීඩනයකය. කුමක් කරන්නදැ'යි හිතාගන්න බැරි අතීරණයකය. ඔවුන්ට ඉතිරිවී ඇත්තේ උද්ඝෝෂණය කිරීමත්, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කිරීමත්, දෙවියන් බුදුන් යැදීමත් විතරක්ය. එසේ නොකර විභාගය නැවත ලිවීමට කාලයක් ද ශක්තියක්ද ඔවුන්ට ඉතිරිකර නැති නිසාය.

මේ ගැටලුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා නැවතත් කර ඇත්තේ සුපුරුදු කටයුත්තමය. ඒ අලුත් ප්‍රතිඵලයත් සමග විශ්වවිද්‍යාල වරම් අහිමිවන සිසුන් පිළිබඳ වාර්තාවක් ඉල්ලන එකය. මේ වගේ වාර්තාවක් නිසා කාලය කා දැමීම මිස අගතියට පත් අයට යහපතක් වන්නේයැ'යි සිතන්නට බැරිය. මේ ප්‍රශ්නය මාස ගණනාවක් දික් ගැස්සුනේත් තව තවත් උග්‍ර වූයේත් වාර්තා ඉල්ලීමත් කමිටු පත්කිරීමත් කියන ව්‍යාජ ක්‍රියා පටිපාටියන් නිසා බව අමුතුවෙන් මතක් කරන්නට ඕනේද නැත.



අද ආණ්ඩුව කියන්නේ මේ දෙපිරිසටම අසාධාරණයක් නොවෙන්නට තමං කටයුතු කරන බවය. වගකීමක් නැති වුණත්, වග කිව යුතු ආණ්ඩුවක් විදිහට කරන්නට ඕනේද එයය. මක් නිසාද යත් වරද ඔවුන්ගේම මිස සිසුන් අතේවත් ගුරුවරුන් අතේවත් වෙනත් බාහිර බලවේගයක් අතේවත් නොවන හින්දාය.

ගැටලුව විසඳන්නට විවිධ යෝජනා ඉදිරිපත්වෙමින් තිබෙන්නේය. පැරණි සහ නව විෂය නිර්දේශයන් වලින් ඉසෙඩ් ලකුණු ලබාගත් සිසුන් සියයට පනහ බැගින් හෝ විභාගයට මුහුණ දුන් ප්‍රතිශතවලට අනුව ගෙන විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීම ඉන් එක යෝජනාවකි. අත පුච්චා නොගෙන මේ ගැටලුවෙන් ගැලවී යන්නට මෙවැනි යෝජනාවක් ආණ්ඩුවට හිතකර වන බවට නම් සැකයක් නැත. එසේ නමුත් එවන් කෝටා ක්‍රමයකින් සියයට සියයක් දක්ෂයින්ම පෙරී එනු ඇතැ'යි කල්පනා කරන්නටද බැරිය. අවසානයේදී වෙන්නේ මේ මොහොතේ ගැටලුව විසඳුනත් නැවතත් ප්‍රශ්නයේ මුල් ස්වරූපයටම යන එක විතරක්ය.

වැඩි පිරිසක් විශ්වවිද්‍යාලවලට ගැනීමෙන් මේ ප්‍රශ්නය විසඳන බව අද උසස් අධ්‍යාපන ඇමතිවරයා කියමින් සිටින්නේය. රටේ සියලු විශ්වවිද්‍යාල තමන්ගේ උපරිම ධාරිතාවන්ටත් වඩා මේ වනවිටත් සිසුන් බඳවා ගනමින් සිටිද්දී මෙසේ වැඩි පිරිසක් බඳවා ගන්නේ කෙසේදැ'යි ඇමතිවරයා කියන්නේ නැත. සිසුන් වැඩිපුර බඳවාගන්නටනම් අලුතින් විශ්වවිද්‍යාල සහ අධ්‍යන පීඨ පිහිටුවන්නට ආණ්ඩුවට සිදුවනු ඇත. අවශ්‍ය භෞතික සම්පත් තබා ගුරුවරුන්වත් නොමැතිව රජරට වෛද්‍ය පීඨය වැනි පීඨයන් ආරම්භ කළ ආණ්ඩුවකට තමන්ගේ සායම බේරගන්නට අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට වුනත් බැරිවේයැ'යි කල්පනා කරන්නද බැරිය.

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල කලාපයේ ඕනෑම දුප්පත් රටකට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක ඇති බවත්, පාසල් සහ විශ්වවිද්‍යාලවල භෞතික හා මානව සම්පත් කිසිසේත් අධ්‍යාපනය සඳහා නොසෑහෙන බවත් පවසමින් වේදිකාවේ එක්පසක රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියලුදෙනා වැඩවර්ජනයක යෙදෙමින් සිටියදී මෙවන් දේවල් කියන්නට බලධාරීන්ට සිදුවීම එක් අතකින් දෛවයේ සරදමක්ම මිස අන් කවරක්ද?

උදුල නුවන් බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

BoondiLets | චේ ලියයි.

Posted by BoondiOnLine



...මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත. එතෙක් සූදානම් වන්න! ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු, හැකි තරම් හොඳින් ඉගෙන ගැනීමත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය.....

....ඔබ නිතරම පාසැලේ හොඳම ළමුන් අතර රැඳීමට වෑයම් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ "හොඳම" දරුවෙකු විය යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම්, යහපත් හැසිරීමෙන්- විප්ලවය කෙරෙහි වූ ආදරයෙන් - සහෝදරත්වයෙන් ඔබ "හොඳම" විය යුතුයි. මා දරුවෙකු කාලයේ මට එසේ වන්නට නොහැකි වූවා; අප ජීවත් වූයේ මිනිසා මිනිසාගේම සතුරෙකු වූ වෙනස් සමාජයකයි. දැන් ඔබ වෙනත් යුගයක ජීවත් වීමේ වරප්‍රසාදය ලබා තිබෙනවා. ඉන් ඵළ නෙලා ගැනීම ඔබේ වගකීමයි.....

[1966 පෙබරවාරි 15 දා චේ සිය දියණිය හිල්දිතාට ඇගේ දහ වැනි උපන්දිනය දා යැවූ ලිපියෙන්.]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැකි විනි. නම් සිංහයාට
අඹු දරු පවුලක් රකින්ට
ගල් ලෙන තුළ...

ඇයි බැරි ගොර සර්පයෙකුට
ජීවත් වෙන්නට නිවෙසක-
රිසි තැන් වල... ?

කැලේ උන්නු සර්පයෙකුව ගෙට අරගෙන
කවා පොවා කිරි දුන්නේ අහලක ගෙන
රටේ ලෝකෙ කියන කතා කණට නොගෙන
ඌ මෙට්ටේ නිදි.. මම බිම නිදා නොගෙන

පුංචි කමට හුරතලේට කෙළිලන කොට
පිපුණු හිතේ මල් කැඩුවා හෙට දවසට
ඕප දූප කටු අනුන්ගෙ ඇස් ගෙඩි වල
දැනෙන රිදුම ඇවිදිනවා තැන් තැන් වල...

ගත සවි ලා- විස වැඩි ලා උඩ හක්කේ
බුදු රැස් පිටත මුත් දඩමස් යට බොක්කේ
දැක, හුඹහකට පෙම් බැඳ අතහැර මෙට්ටේ
දැනුනේ එ’සඳ රහ බට්ටේ නොව නැට්ටේ....

නොරත රතට ගෙල දුන්න ද සිංහයාට
මුදා හලෙමි. දොර විසකුරු සර්පයාට...
පොතේ ඇතත්, 'නොහරිනු, අත!' මෝඩ කමට
කොහොමද මං වහං වෙන්නෙ බුදු පානට?

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු -20

Posted by BoondiOnLine



තණකොළපෙත්තෝ
බලාගෙනයි පාගන්නෙ
බි‍ඳෙයි කෑලිවලට
දිළිසෙන පිනි මුතු

-ඉසා
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දිරාපත් ලෑලි මඩුවේ අඩ නින්දෙන්
ඇඳ නම් ලෑලි මැස්සෙන්
අලුයමින් බැස යයි
තාත්තා නම් අපේ මළ හිරු
ගිවිසුම නිසා කන්න දිය යුතු

"මම උක්කුං" කිරි කඳුළක් නොදුටු
අම්මා දාල ගිය තුන් වැනියා, පරම්පරා තුනක
මම, අපේ තාත්තා, තාත්තගේ තාත්තා
මහත්වරුනි, මේ ඇත්ත "පට්ට" ඇත්ත

මේ තමයි අපි ඉපදුණ බිම මියැදෙන බිම
සහතිකයි මුඩු බිම් කෑලි රේල් පාර අයිනක
බ්ලූමැන්ඩල් මහා කුණු කඳු අපේ අස්වනු
මේ දැනුත් බලා සිටින්නේ එනතුරු හොඳම කුණු ලොරි

කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් නංගිට
බෙලෙක්ක, යකඩ බෝතල්, තාත්තාට මට
ඉඩදෙන්න මොහොතකට සිහින ලෝකෙට
අම්මා ආවා වගේ දැනේවි එතකොට අපට

[අඩ පියාසැරිය | 1999]


ප්‍රේමරත්න තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සසඳර මන නන්ද නැග කරදර කන්ද
උවනත පිරිකුන්ද ඔය දා බිඳු මන්ද
අතවර නැගෙන විට කොහොමට ඉවසම්ද
කත නුඹ පොල් ගසන්නේ මොන පවකින්ද


පිනවන සවන් මී පැණි රස බසට ලොලේ
දෙණ ළඟ දුන් පිළිණ මම වළලමි ද වලේ
දණ ගස්සවා මිස සුදු මද ඇතුගෙ බලේ
පණ ගිය නමුත් නොහරිමි අත රැඳුණු පොලේ

පැහැදුනේ මිගැස දැක ඔය සුරූපා
ඇයි අනේ නගනු දුක් මුසු විලාපා
කිව්මෙනේ රට ම නුඹ හට මනාපා
ඇයි පනේ ඔහොම නොකියන් සරූපා


පැටී වියෙන් එන සෝයුරු පෙම පරණ
දිටී ඔබෙ ඇසින් බේරන මෙත් කුළුණ
අටී වඩන මුත් දියවන්නා පහන
වටී 'ලකී' නම මට සක්සැප පමණ

සාගරේ බැරිය පීනා ගොඩ යන් ඩ
චාටරේ බැරිය මට තව ඉවසන් ඩ
ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ
මේ සැරේ ඇවිත් නොමිනේෂන් දෙන් ඩ!


ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නොගැඹුරු දියට බැස විමසන්න
ගැඹුරට දුරට එතෙරට යන්න
වෙරළත කුමන ඵල පිහිනන්න
ක්ෂිතිජය ඉවුර නොව දැනගන්න

දම් සුරකිම්ද සුරැකෙමු ඉන්ම
ඉදින් ළතැවෙම්ද එතෙරට යම්ද
හදින් විමසන්න හොඳින් කන් දෙන්න
මගින් නවතින්න නොහැක දැනගන්න

සියල් අප කළද මුළාවකි අපද
දැනන් නුඹ එන්න අඳුර බිඳලන්න
නොමින් නැඟ යන්න නොනිම් දුක් කන්ද
වෙරෙන් නැහැ ලාබ වැරෙන් මිස නොමඳ

දැනන් නුඹ එන්න අඳුර බිඳලන්න
දැනන් නුඹ එන්න අඳුර බිඳලන්න

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි පිරුණේ
අඳුන් තොලින් නැහැවෙන වදමල් යහනේ
ඔවුන් අතින් මෝරන දරු ගැබ බිඳුණේ

රිදී කඳුළුමයි රන් කොතලෙට පිරුණේ
මහමායාවරුන් ඇයි මහ මඟ පිපුණේ
වදා පලක් නැත බෝසත්වරු සොහොනේ
අපාගත නොවවු තනිවම මවුවරුනේ

[රුවන් සක්මන|1988]

කුමාර හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලංකාවේ දාර්ශනික සංවාදයන් තුල වඩාත් කතා බහට ලක් වූ තැනැත්තා කවුද? අප කවුරුත් දන්නා පරිදි ඒ මහාචාර්ය නලින් ද සිල්වාය. ඔහු තරම් මාක්ස්වාදීන්ගේ හේතුවාදින් ගේ විවේචනයට ලක් වූ වෙනත් කිසිවෙකු නැති තරම්ය. ඔහු තරම් දාර්ශනික සංවාදයන් පුවත් පත් තුල විවෘත වේදිකා තුල මුහුන දුන් කෙනෙකු නොමැත. එමෙන්ම ලංකාවේ නලින් ද සිල්වා තරම් මාක්ස්වාදය විවේචනය කල අයෙකු ද නොමැති අතර අනිවාර්ය ලෙස නලින් කියන්නේ කුමක්දැයි හඳුනා ගැනීමටවත් ලංකාවේ මාක්ස්වාදීන්ට මෙතුවක් හැකි වී නැත. එයට උත්සහයක්වත් දරා නැත.

ලංකාවේ උගතුන් නලීන් ද සිල්වා විවේචනය කරන්නේ ඔහු විඥානවාදියෙකු, බෞද්ධාගමිකයෙකු, මහායානිකයෙකු, මාක්ස් විරෝධියෙකු,වි ද්‍යා විරෝධියෙකු ලෙසය. අප සූදානම් වන්නේ මෙතෙක් මාක්ස්වාදීන් නලින් ද සිල්වා විවේචනය කරන ආකාරය මාක්ස් විරෝධී බව පෙන්වා දීමටයි.

නලීන් ද සිල්වාගේ අදහස් තුල විශේෂයෙන්ම මනසින් පරිභාහිරව ලෝකයක් නැත යන අදහසත් ඔහුගේ විද්‍යාව විවේචනය කිරීම මාක්ස් විරෝධී නොවන බවයි. අපට අනුව මාක්ස් විරෝධීවන්නේ ඔහු ගේ සිංහල බෞද්ධ ආත්මය පිළිබද ප්‍රවාදයයි. මෙතෙක් ලංකාවේ මාක්ස්වාදීන් නලින්ද සිල්වා විඥානවාදියෙකු ලෙස ආත්මවාදියෙක් ලෙස කරන විවේචනය පිළිබඳව අප යලි සලකා බැලිය යුතුව ඇත. එම නිසා නලීන් ද සිල්වාගේ මාක්ස් විරෝධය අප හඳූනා ගත යුත්තේ බුද්ධි ප්‍රබෝධක යුගයේ අදහස් පිළිගත්, මාක්ස්වාදය ද්‍රව්‍යවාදයක් ලෙස ගත් හා බටහිර විද්‍යාව පිළිගත් රුසියානු මාක්ස්වාදය වෙත කෙරෙන විවේචනයක් ලෙසය. නමුත් මාක්ස්ගේ අදහස් නලින් ද සිල්වාගේ විවේචන ඔස්සේ විවේචනය නොවේ.නලීන් ගේ ලිපි ලේඛන දේශන විමසීමේදී ඔහු මනසින් භාහිර ලෝකයක් නැති බව පැවසීමේ දී පවසන්නේ අප අර්ථකතනය කරන භාෂාමය ලෝකය මිස මනසින් ස්වායක්ත විමර්ශකයක් නැති බව නොවේ. මා උපදින විට ලෝකය තිබුනු බවත් මා මල පසුවද ලෝකය පවතින බව නලින් ද සිල්වාගේ අදහසයි. මා මල පසු ලෝකය නොපවතින බව මින් අදහස් නොවේ. නලීන් ද සිල්වා මනසින් ස්වායක්ත ලෝකයේ පැවැත්ම පිළිනොගන්නේ යැයි විවේචනය කරන අය ගෙනෙන තර්කවලට නලීන් පිළිතුරු දෙන්නේ ඔවුන් නලීන් තුල ඇතැයි උපකල්පනය කරන අදහසට ප්‍රථීවිරුද්ධ අදහසක් නලින් දරන බැවිනි.

මාක්ස් ෆොයර්බාග් තිසීස තුල පවසන්නේ මනසින් පරිභාහිර ලෝකයක් නැති බවයි. මෙහි දී මාක්ස් ද පවසන්නේ භාෂාව මගින් අර්ථකතනය කරන ලෝකය මිස අන් යමක් නොවේ. මාක්ස් ද මනසින් ස්වායක්ත විමර්ශකයක පැවැත්ම ප්‍රතික්ශේප කලේ නැත. මාක්ස් කියන දෙය තවත් විස්ථාරනය කල හොත් මාක්ස් හා නලීන් ද සිල්වා යන දෙදෙනාම පවසන්නේ මනසින් ස්වායක්තව පවතින විමර්ශක වලට එහිම වූ නෛසර්ගික ගුණයක් නැති බවයි.



මාක්ස්ගේ ෆොයර්බාග් තිසීසයේ මුල් ජර්මන් කෘතියෙන් ඉංග්‍රීසියට පෙරලූ අදහස :

The chief defect of all hitherto existing materialism -- that of Feuerbach included -- is that the thing [Gegenstand], reality, sensuousness, is conceived only in the form of the object [Objekt] or of intuition [Anschauung],* but not as human sensuous activity, practice, not subjectively. Hence it happened that the active side, in contradistinction to materialism, was developed by idealism -- but only abstractly, since, of course, idealism does not know real, sensuous activity as such. Feuerbach wants sensuous objects, really distinct from the objects of thought, but he does not conceive human activity itself as objective[gegenständliche] activity. Hence, in the Essence of Christianity, he regards the theoreti-cal attitude as the only genuinely human attitude, while practice is conceived and fixed only in its dirty Jewish manifestation. Hence he does not grasp the significance of "revolutionary," of "practical-critical," activity.* Anschauung-- in Kant and Hegel means awareness, or direct knowledge, through the senses, and is translated as intuition in English versions of Kant and Hegel. It is in this sense that Marx uses Anschauung and not in the sense of contemplation, which is how it has usually and incorrectly been translated. --Ed.

එහි සිංහල පරිවර්තනය :

1.ෆොයර්බාක් ඇතුළු මෙතෙක් පැවති සියළු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ දෙය,යතාර්ථය සහ ඉන්ද්‍රිය ගෝචරත්වය සංකල්ප ගත වී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥානයෙහි (intuition) ආකෘතියක් (ආකාරයක්) තුල පමණක් මුත්, එය එසේ වන්නේ මිනිස් ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරීත්වයත්වය ලෙස, ව්‍යවහාරික ලෙස විශයික නොවන ලෙසයි. මෙතැන් සිට එය භෞතිකවාදයට හාත්පසින් වෙනත් භාවයකින් (ආකාරයකින්), එහි ක්‍රියාකාරී පැත්ත (අංශය) විඥානවාදය විසින් වියුක්තව වර්ධනය කෙරුනේ, සත්තකින්ම විඥානවාදය,යථ (real), එවැනි ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාකාරීත්වයක් නොදන්නවා යන්නෙහි සිටය. ෆොයර්බාක්ට සත්‍ය වශයෙන්ම සංකල්පිත වස්තූන්ගෙන් වෙනස්වන ඉන්ද්‍රිය ගෝචර වස්තූන් අවශ්‍ය කරන මුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වයම යනු වාස්තවික ක්‍රියාකාරීත්වය බවයි. එම නිසා "ක්‍රිස්තියානි සාරය" තුල න්‍යායික ආකාරය නියම වශයෙන් නියම මිනිස් සාරයක් හැටියට පමනක් සලකන්නේ ව්‍යවහාරය සංකල්ප ගත වී ඇත්තේ සහ ස්ථාපිතව ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමාන වීම තුලය යන්න සලකන අතරතුරය. එම නිසා ඔහු ග්‍රහනය කර නොගන්නේ ව්‍යවහාරික විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි විප්ලවකාරී අර්ථාන්විත භාවයයි.

*Anschauung කාන්ට්ට සහ හෙගල්ට අනුව ඉන්ද්‍රියන් තුලින් දැනුවත් කම (වැටහීම) හෝ ඍජු දැනුම යන්න හෙගල්ගේ සහ කාන්ට්ගේ කෘතීන්හි ඉංග්‍රීසි පරිවර්තනයන්හි පරිවර්තනය වී ඇත්තේ Intuition යනුවෙනි. මෙම අර්ථය (හැඟීම) තුල මාක්ස් විසින් භාවිත කරන වචනය වනුයේ Anschauung යන වචනයයි. ඔහු විසින් භාවිත කරනුයේ contemplation යන වචනයෙහි අර්ථය තුල නොවේ. කෙසේ වුවත් එය වැරදි සහගත ලෙස contemplation යනුවෙන් පරිවර්ථනය වී ඇත.

නලින් ද සිල්වා ඔහු ගේ මගේ ලෝකය කෘතිය තුල මතු කරන්නේද මෙම අදහසමය. මාක්ස් මෙහිදී ගන්නේ අපේ මනසෙන් පරිභාහිරව යතාර්ථයක් නොපවතින බව හා එම යථාර්තයට එහිම ස්වරූපයක් හෙවත් නෛසර්ගික ගුණයක් නැති බවයි. මනසින් පරිභාහිර විමර්ශක අර්ථකතනය කරන්නේ මිනිස් මනසෙනි. මාක්ස් කතා කරන්නේ මිනිස් ආත්මය හා දයලෙක්තිකව හමුවන වස්තූන්ය.

දර්ශනයේ මූලික ප්‍රශ්නය වන්නේ ලෝකය දත හැකිද යන්නයි. ඩෙකාට්ස්ගේ බුද්ධිවාදයේ සිට එමානුවෙල් කාන්ට්ගේ අදහස වූ දැන ගත හැකි ප්‍රපංචමය ලෝකය හා දැන ගත නොහැකි නිෂ්ප්‍රපන්චමය ලෝකය යන බෙදුම තුල දැන ගත නොහැකි ලෝකය හිඩස හෙගල්ගේ දර්ශනය තුල මහා ආත්මය අවබෝධ කර ගැනීම තුල සම්පූර්ණ කර ගෙන විමුක්තිය ලබා ගත හැකි බව පවසයි. බෞද්ධ දර්ශනය තුල නිවන තුල මෙය සම්පූර්ණ කර ගත හැකි යැයි පවසයි. මාක්ස් පවසන්නේ පරාරෝපණය අහෝසි කල ශ්‍රම සම්පූර්න විභජනය රහිත ආයතන රහිත කොමියුනිස්ට් සමාජයේ මිනිසාට මෙම හිඩස සම්පූර්ණ කරගත හැකි බවයි.



මාක්ස් මෙහිදී විද්‍යාව දෘෂ්ඨිවාදයක් ලෙස සලකා විවේචනය කරන අතර නලින් ද සිල්වා බටහිර විද්‍යාව ප්‍රතික්ශේප කරමින් ලංකාවේ අතීතයේ පැවතියැයි විශ්වාස කරන දැනුමක් (විද්‍යාවක්) ගොඩනැගීම දක්වා අතිතයට පසු බසී. නලින් ද සිල්වාගේ සිංහල බෞද්ධ ආත්මය වෙනුට මාක්ස් පරාරෝපණයෙන් මිදුනු මිනිස් ආත්මයක් ගැන කතා කරයි. නලින් ද සිල්වාමෙන් ම මාක්ස් ද ද්‍රව්‍යවාදය ප්‍රතිශේප කරන අතර ආත්මීයත්වය උත්කර්ශයට නගමින් ආත්මවාදයට ද නොවැටෙති. නලින්ද සිල්වා යෝජනා කරන සිංහල බෞද්ධ දැනුම ද බටහිර විද්‍යාව මෙන්ම දෘෂඨිවාදයක් බව එනම් සිංහල බෞද්ධ සංඥා පද්ධතියක් වෙනුවට ක්‍රිස්තියානි යුදෙව් සංඥා පද්ධතියක් ආදේශ කිරීමක් (ක්‍රිස්තියානි යුදෙව් අර්ථකථනයක් වෙනුවට සිංහල බෞද්ධ අර්ථකථනයක්) බව හඳුනා නොගන්නේ ඇයි? නලින් ද සිල්වා තන්හාව ආශාව නැති කිරීමක් ගැන කතා කරයි. එනම් ඔහු පරිභෝජනවාදයට විරුද්ධය. මාක්ස්වාදය ද පරිභෝජනවාදයට විරුද්ධය. නලින් ද සිල්වා බුද්ධි ප්‍රබෝධක යුගයේ අදහස් පිළිගත්, මාක්ස්වාදය ද්‍රව්‍යවාදයක් ලෙස ගත් හා බටහිර විද්‍යාව පිළිගත් රුසියානු මාක්ස්වාදය තුල විශාල නිෂ්පාදනයක් හා පාරිභෝජනවාදී සුඛපරමවාදයක් ගැන කෙරෙන අදහස් විවේචනය කරයි. නමුත් මාක්ස් කොමියුනිස්ට් යුගයක් තුල යෝජනා කරන්නේ අල්පේච්ඡ සරල දිවි පැවැත්මකි. නලින්ද සිල්වා සිතන ලෙස මාක්ස් යෝජනා කරන්නේ විසිතුරු ඇඳුම් පැලඳුම් ඇද කාබී බඩ පුරාවාගත් ලෞකිකත්වය පරමත්වයට නැගුනු සමාජ ක්‍රමයක් නොවේ.

මාක්ස්වාදයේ දරිද්‍රතාවය කෘතියේ මාක්ස්වාදය ආර්ථික නියතිවාදයක් පන්ති ඌන්නතිවාදයක් ද්‍රව්‍යවාදයක් ලෙස නලින්ද සිල්වා ගෙන එන විවේචනය රුසියානු මාක්ස්වාදයට අදාල වුවද මාක්ස්ගේ අදහස් වලට අදාල නැත.

නලීන් ද සිල්වා විවේචනය කරන කවුරු හෝ නලීන්ගේ මතය කුමක්දැයි නිවැරැදිව හඳුනා ගත යුතුය. එසේ හඳුනා නොගෙන කල විවේචන නිසා සිදු වූයේ සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය තහවුරු වී මුළු රටම ජාතිවාදයට යට වීමය. තවද මාක්ස්වාදය ලෙස ප්‍රථීවිරුද්ධ අදහසක් තහවුරු වී ප්‍රථීගාමීත්වය තහවුරු විමය.

චතුර මධුසංක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැන්දෑ සුළඟක් වගේ
සැරිසරනවා ඔබේ මතකය මා වටේ

අඳුරු අහුමුලු සහිත
වියලි සීතලකි ඇත්තේ ඒ තුළ

අමතකයෙ මායිම ළඟ තබා බොහොමයක් මතක
දවසින් දවස කාලය
තල්ලු කරනවා මා අනාගතය දෙසට

දැන්,
මහා දුකක් නැති නමුත්
ගෝලාකාර ආකාසයේ
ඉඳහිට පැතිර යන ලා විදුලි එළි වගේ
තවමත්
සැරිසරනවා ඔබේ මතකය මා වටේ.

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සයිමන් නවගත්තේගමගේ පහත සඳහන් කෘතින්, සරසවි සහ වෙනත් පොත්හල් වලින් දැන් ලබා ගත හැක.

1. සුබ සහ යස
2. දඩයක්කාරයගේ කතාව
3. සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
4. සංසරාරණ්‍යයේ උරුමක්කාරයා
5. බාවනාව
6. සාපේක්ෂණී
7. සුද්දිලාගේ කතාව
8. ක්ෂීර සාගරය කැළඹිණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මනෝ ප්‍රනාන්දු විසින් සංස්කරණය කරන ‘සංකථන’ සමාජ හා සංස්කෘතික සඟරාව ජුලි මස 28 වන සෙනසුරාදා දින වෙළඳපොළට නිකුත් වේ.

මෙහි,
“එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්“ - ජස්ටින් පියරත්න
“ලියෝ තෝල්ස්තෝයි : පුනර්-කතිතාවක්“ - දර්ශන මේදිස්
“ස්වර්ණ පුස්තකයේ අර්බුදය“ - චින්තක රණසිංහ
“සමානත්මතාව, මිනිසාගේ අයිතීන් සහ සමාජවාදයේ උපත“ - ඩේවිඩ් නෝර්ත්
“ධර්මපාල සේනාරත්න : හේතුවාදියකුගේ මරණය පිළිබඳ සටහනක්“ - මනෝ ප්‍රනාන්දු

සහ තවත් විමර්ශනාත්මක ලිපි එකතුවක් අඩංගු වේ.

සරසවි - නුගේගොඩ, සූරිය ප්‍රකාශකයෝ - මරදාන යන ස්ථාන වලින් මෙය මිල දී ගත හැක.

විමසීම්- 071 664 0759 [හෙට්ටිආරච්චි]





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අර මිහිරි සීනු නාදය" ඔබගේ කළින් කෙටිකතා පොත්වලට වෙනස් වෙන්නෙ කොතනින්ද?

මීට කළින් පළ වූ මගේ කෙටිකථා පොත් පහ තුළම තියෙන්නෙ එකිනෙකට වෙනස් ලක්ෂණ. තරමක හෝ සමානත්වයක් තිබුන නම් ඒ මුල් පොත් දෙකේ විතරයි. එකිනෙකට වෙනස් විදිහට කෙටි කථා නිර්මාණය කරන්න මගේ විශේෂ සැලකිල්ල යොමු වුනේ "නන්දන උයන" කියන පොතේ ඉඳන් වෙන්න පුළුවන්. කොහොම වුනත් "මම දැන් නිදමි", සහ "විල සහ මල" වගේ පොත්වලට එනකොට මේ කියන විවිධත්වය තවදුරටත් ඉස්මතු වුණා කියලයි මට හිතෙන්නේ.

ඒ හැම පොතකම වගේ තියෙන නිර්මාණවලින් සමහර ඒවා යථාර්ථවාදී ප‍්‍රතිනිර්මාණ. තවත් සමහර ඒවා කාලාවකාශ සම්ප‍්‍රදායන් බිඳින, යථාර්ථවාදී සීමාවෙන් ඔබ්බට යන කතා. කොහොම වුනත් කෙටිකතා ලියද්දි මම යථාර්ථවාදයෙන් සම්පූර්ණයෙන්ම එළියට ගිහින් නෑ. අර මිහිරි සීනු නාදය තුළත් මේ කියන විවිධත්වය ඒ විදිහටම ආරක්ෂා කරන්න මම කරන්න උත්සාහ ගත්තා. ඒකෙ තියෙන සමහර කතා මුල මැද අග කතා ධාරාවෙන් ලියවිලා තියෙන්නේ. තවත් නිර්මාණ තියෙනවා ඇත්තටම ඒවගේ කතාවක් නෑ. "යතුරු සිදුරක" කියන කෙටි කතාව ඒ වගේ එකක්. ඒකෙ කතාවක් නෑ. තියෙන්නෙ තේමාවක් විතරයි. මොකද ඒක කතාවකට අහුවීම පිළිබඳ කතාවක්. ඒකෙන් කියවෙන්නේ මිනීමැරුම්, ස්ත‍්‍රි දූෂණ වගේ අපරාධ ප‍්‍රති නිර්මාණය කර පෙන්වන රූපවාහිණී වැඩසටහනක්, එය නිර්මාණය කරන මාධ්‍යවේදියා සහ ඒ කතාවට ඇබ්බැහි වූ සමාජය ගැන.

සෙසු කෙටිකතා පොත් සමග බලද්දී පේන්න තියෙන දෙයත් තමයි සඟවා ප‍්‍රකාශ කිරීමට වඩා ඍජුව තේමාව ප‍්‍රකාශවන ආකාරයෙන් කතාව කියන්න අර මිහිරි සීනු නාදයේදී ඔබ වැඩිපුර ඇලූම් කරන බව?

ලංකාවේ දේශපාලනය කියන එක තුළ අද තියෙන්නෙ අති විශාල ඝනත්වයක්නෙ. ඒක තියෙන්නේ සමාජයේ අනික් හැම දෙයක්ම වහගෙන. ක‍්‍රිකට්වල ඉඳන් රූපවාහිණි වැඩසටහන දක්වා හැම දේ තුළම තියෙන්නේ දේශපාලනය. ඉතිං ඒ දේවලින් ඈත ඉඳලා අපේ සමාජය ගැන ලියන්න හරි අමාරුයි. මේ පොත ලියද්දි මං කල්පනා කළ දෙයක් තමයි ඒ කියන එදිනෙදා හැඟීම ඒ අයුරින්ම තියෙද්දි ඒ ඇතුළෙ කිසියම් තේමාත්මක ගවේෂණයක් කරන්න බැරිද කියන එක.

එහෙම වුනා කියලා වක්‍රෝත්තිය කියන එක අර මිහිරි සීනු නාදයේ නෑයි කියන්න බෑ. මේකෙ තියෙන සමහර කතා ගෙතිලා තියෙන්නේ වක්‍රෝත්තිය වටා. "නොනිදන අවදිය" කියන කතාව ඒකට හොඳ උදාහරණයක්. ඒ කතාවෙන් කියවෙන්නේ තරුණයෙක් ගෙවල්වලට පැනලා මිනිස්සුන්ගේ දින චර්යාව වෙනස් කිරීම පිළිබඳව. විශ්වවිද්‍යාලය කියන එක මේ කතාව ඇතුලෙ භාවිත වෙන්නේ විශාල වක්‍රෝත්තියක් විදිහට. ඒක කතාව තුළදි මතුවන්නෙ දෛනිකත්වය නිරූපණය කරන සංකේතයක් හැටියට. විශ්වවිද්‍යාලයක් පාසලයක් වගේ තැනක් දෛනිකත්වයේ සංකේතයක් විදිහට හොඳටම ගැලපෙනවා. මොකද ඒ ඔක්කොම පැවැත්වෙන්නේ නිශ්චිත කාල සටහනකට. දිනචර්යාගත ජීවිතය නිරූපණය කරන්න විශ්වවිද්‍යාලය තෝරගත්තෙ ඒකයි. විශ්වවිද්‍යාලයක සමාසිකයක් පටන්ගන්න නිශ්චිත දවසක් තියෙනවා. ඉවරවෙන්න නිශ්චිත දවසක් තියෙනවා. පැවරුම් බාරදෙන්න ඕනෙ නිශ්චිත කාලයකට. දේශන පැවැත්වෙන්නෙ නිශ්චිත කාලයකට. ඉතින් දින චර්යාගතවීම පිළිබඳ කතාවක් කියන්න විශ්වවිද්‍යාලය ඉතාම හොඳ තෝරාගැනීමක්. සමහරවිට විශ්වවිද්‍යාල පිළිබඳ සමීපව දන්න කෙනෙක්ට මේක සෘජු කතාවක් විදිහට පේන්න පුළුවන්. ඒත් එහෙම නොවන අයට මේක විශාල රූපකයක්.



මේ කියන වර්තමාන දේශපාලන ඝනත්වය ස්පර්ෂ කරන්න වක්‍රෝත්තිය බාධාවක් වෙන්නෙ කොහොමද?

ප‍්‍රියංකර රත්නායකගේ "අද වගේ දවසක ඇන්ටිගනී" බලද්දි මට මතුවුණු එක ප‍්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේක වර්තමාන දේශපාලන ඝනත්වය නිරූපණය කරන රූපකයක් විදිහට ගන්න බැරිද කියන එක. මොකද මේ නාට්‍යයේ නමට අදවගේ දවසක කියලා දාලාත් තියෙනවානෙ. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ සම්භාව්‍ය සාහිත්‍ය රූපකය උත්තර ඓතිහාසික එකක් වීම තුළ. ඒ නිසා ඒක නිශ්චිත භාවයෙන් තරමක් ඈත් වෙනවා. නමුත් ප‍්‍රබන්ධ කතාවෙන් කාල හා අවකාශමය නිශ්චිත බව නිරූපණය කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ කාරණයේදී ඕනෑම තැනකට පාවිච්චි කරන්න පුළුවන් උත්තර රූපකය නැත්නම් සාර්වත‍්‍රික රූපකය භාවිත කරන්න අමාරුයි.

උත්තර ඓතිහාසික සාහිත්‍ය රූපකය තුළ තියෙන තවත් ප‍්‍රධාන ගැටලූවක් තමයි ඒක සාමාන්‍ය පාඨකයාට කොතරම් දුරට අහුවෙයිද කියන එක නිෂ්චය කරන්න බැරි කම. සාහිත්‍යක යථාර්ථවාදය පහලවෙන්නෙම උත්තර ඓතිහාසික තත්ත්වය තුළින් ඈත්වෙන්න. එහෙමත් නැත්නම් එදිනෙදා ඓතිහාසික මොහොත ගැන ලියන්න. ඒක පුරාණෝකිතියෙන්වත් ග‍්‍රීක ශෝකාන්තයෙන්වත් කරන්න බැරි වුණු එකක්. ඒ විතරක් නෙමෙයි කවිය තුළ පවා ගොඩක් වෙලාවට තියෙන්නේ උත්තර ඓතිහාසික ලක්ෂණ. ඒ නිසා කවියෙන් පවා එදිනෙදා තමං ජීවත්වන මොහොත පිළිබඳ ගැටීම යථාර්ථවාදයේදී වගේ පෙන්නන්න අමාරුයි.

ඔබ මුලදි කිව්වා ඔබ ඔබේ නිර්මාණවලදී සම්පූර්ණයෙන් යථාර්ථවාදයෙන් බැහැර වෙන්නේ නෑ කියලා. එසේ නමුත් මේ කියන ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, එසේත් නැතිනම් ඔබ යෝජනා කරන "ඓශ්චර්යාත්මක යථාර්ථවාදය" කියන එකත් යථාර්ථයෙන් බැහැර වුණු දෙයකට වඩා එහිම දිගුවක් නේද?

ඔව්, ඒක ඇත්ත. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යථාර්ථයෙන් බැහැර දෙයක් කියන වැරැද්ද ගොඩක් වෙලාවට වෙන්නේ හදිසි විචාරකයින් අතින්. ඔවුන් හිතන දේ තමයි ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේදී වෙන්නේ යථාර්ථය අතහැරලා මැජික් ලෝකයකට යන එක කියලා. ඔවුන් කල්පනා කරනවා වෙන්න පුළුවන් ආශ්චර්යාත්මක යථාර්ථවාදී නිර්මාණත් සුරංගනා කථා හරි එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම කාල්පනික ලෝකයක් තියෙන "ලෝඞ් ඔෆ් ද රින්ග්" හරි "හැරී පොටර්" හරි වගෙයි කියලා.

යථාර්ථවාදයයි ආශ්චර්යාත්මක යථාර්ථවාදයයි වැරදියට තේරුම්ගන්න හොඳ නෑ. ආශ්චර්යාත්මක යථාර්ථවාදය කියන්නෙත් එදිනෙදා ඓතිහාසික යථාර්ථවාදයේම අන්තර්දෘෂ්ටිමය දිගුවක්. ඒකට අන්තර්දෘෂ්ටිය සපයන්නෙත් ඒ දිගුවන මොහොත තුළම තමයි. උදාහරණයක් විදිහට සල්මන් රුෂ්ඩිගේ නවකතාව එන සිද්ධියක් ගන්න පුළුවන්. ඒකෙ එක තැනකදී රටේ බැංකු ගිණුම් හිටිගමන් අක‍්‍රිය වෙනවා. ඒත් එක්ක සිද්ධවන්නේ සමහර මිනිස්සුන්ගේ අණ්ඩකෝෂ මිදී ගල්ගැහෙන එක. බැංකු ගිණුම් "ෆ‍්‍රීස්" වෙනවා කියන එක රූපකයක් විදියට එනවා අණ්ඩකෝෂත් "ෆී‍්‍රස්" වීම විදියට. මේක ඇත්තටම වෙනවා. මෙහිදී අපි වටහා ගන්න ඕනෙ එහි රූපකමය අර්ථ.



අර මිහිරි සීනු නාදයේ තියෙන "සුවඳ දුම් දැල" කියන කතාව ඉතාම යථාර්ථවාදී ස්වරූපයෙන් යන එකක්නෙ. නමුත් ඒකෙ එක රූපකයක් තියෙනවා නයි වයිරය කියන සංකල්පය පදනම් වුන. කතාවෙ සමහර අවස්ථාවලදි මේ නයි වයිරය කියන රූපකය භාෂාවෙන් ගැලවිලා යථාර්ථයෙදි නයෙක් බවට පත් වෙන බව එක චරිතයකට පේන්වා. එතනදි වැදගත් වෙන්නේ ඒ නයා පේන්නේ කාටද කියන එක. නයා පේන්නේ වෛරය තියෙන කෙනාට. සාහිත්‍යයික රූපකය ගැන සිංහල කෙටිකතා කලාව තුළ මේ විදිහේ අත්හදාබැලීමක් කළ එක අවස්ථාවක් විදිහට සුවඳ දුම් දැල හඳුන්වන්න පුළුවන්. ඒක කතාව තුළ හරියට වැඩ කරනවාද කියල මම දන්නෙ නෑ.

සාම්ප‍්‍රදායික යථාර්ථවාදයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වෙලා කතාවක් ලිව්වම ඒකෙන් ඉතාමත් සංකීර්ණ දේවල් ගොඩනගන්න පුළුවන් බව ඇත්ත. ප‍්‍රභාත් ජයසිංහගේ 'වයඹදිග වැසියෝ' කියන කෙටිකතා පොත ඒ වගේ එකක්. ඒ පොතේදි ලේඛකයා ඉතාම දක්ෂ විදිහට අධියථාර්ථවාදී රූපක ගොඩනගනවා. ඒත් ඒක කියවද්දි ඇතිවන ප‍්‍රශ්නය තමයි මේ සංකීර්ණ රූපක ඇතිකරන අර්ථ ඒ විදිහටම ලංකාවේ කියවේවිද කියන එක. ඒ නිසා තමයි පාඨකයාට වඩාත් පහසුවෙන් අර්ථ ග‍්‍රහණය කරගතහැකි ඍජු සහ ඒ වගේම තේමාවට එළඹීමට ඇති ප‍්‍රවේශයන් වැඩි කතා නිර්මාණය කිරීම වැදගත් වෙන්නේ.

ඒ උනාට අධියථාර්ථවාදී අත්හදා බැලීම් අත්හැර දැමිය යුතු නෑ. මං මේ පොතේදිවත් එහෙම කල්පනා කළෙත් නෑ. උදාහරණයක් විදිහට කළිං කියූ නොනිදන අවදිය වගේ කථාවක් ගන්න පුළුවන්. ඒකෙ දෙවියන් භූතයන් වගේ අධිමානසික චරිත නැතිබව ඇත්ත. ඒකෙ ඉන්න තරුණයා ගෙවල්වලට පැනලා මිනිස්සුන්ගෙ දෛනික ජීවිත වෙනස් කරන බොහොම යථාර්ථවාදී චරිතයක්. ඒත් ඔහු කරන ඇතැම් වැඩ කවුරුත් කරයි කියලා හිතන්න අමාරු දේවල්.

තේමාවෙන් වියුක්ත හුදු ඇස් බැන්දුමක් වන්නට කතාවේ ආකෘතියට ඉඩ නොදී එය තේමාව විසින් ඉල්ලා සිටින සහ එහි අර්ථ කුලූගන්වන උපකරණයක්් හැටියට පාවිච්චි කරන්නට අර මිහිරි සීනු නාදයේදීත් ඔබ විශාල දැනුවත් පරිශ‍්‍රමයක් ගන්න බව පේනවා. උදාහරණයක් විදිහට "නොනිදන අවදිය" කියන කතාවම ගත්තත්, ඒකාකාරී දෛනික චර්යාව පිළිබඳ මුවට සිනහවක් නංවනින් ගමන්ම පුරුදු කතා ආකෘතියෙන් පිටපනින්න බැරි පාඨකයා තමං තුළම අර්බුදයට යවමින් ආපසු කල්පනා කරන තැනට ඔසවා තබන්නට ඔබගේ ආකෘතිය සමත් වෙනවා?

විශේෂයෙන් පශ්චාත් ව්‍යුහවාදයෙන් පස්සේ එන නූතන සාහිත්‍ය න්‍යාය තුළ අපි ඉගනගන්න දෙයක්නෙ කියන විදිහ, කියන දේ තුළින් වෙන් කරන්න බෑ කියන කාරණය. කියන විදිහ කියන්නේ කියන දෙයහිම කොටසක්. ප‍්‍රබන්ධ කතාවේ අන්තර්ගතය කියලා එකක් තියෙනවා ඒක ඕනෑම ආකාරයකට කියන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවානම් එක වැරදියි. කතාව කියන්න පාවිච්චි කරන මෙවලම් කියන දේ දාන්න පාවිච්චි කරන භාජනයක් නෙමෙයි. ඒ මෙවලම් අර්ථයේම කොටසක්. ඉතින් ඔබ කිව්වා වගේ දින චර්යාව වෙනස් කිරීම වගේ දෙයක් සාම්ප‍්‍රදායික කතාවකින් කියන්න බෑ. ඒක කියන්න ඕනෙ ඒ අර්ථය පෝෂණය කරන ආකාරයේ ක‍්‍රමයකින්.

මම කළිනුත් කිව්වා වගේ කතාවකට අහුවුන පිරිසක් පිළිබඳ කියන්න තියෙන හොඳම විදිහ තවත් කතාවකින් කියනඑක වෙන්න බෑනෙ. ඒ නිසා තමයි ඒ වගේ අර්ථයක් තියෙන "යතුරු සිදුරක" වගේ කතාවක් කතාවකින් නොකියා තේමාවක් විදිහට කියලා තියෙන්නේ.

පාඨකයින් කියන අය පොතක් කියවන්නේ යම් යම් අපේක්ෂා ඇතුව. ඒ අපේක්ෂා පාඨකයා තුළ ගොඩනැගෙන්නේ ඔහු හෝ ඇය එතෙක් දන්නා සම්ප‍්‍රදායන්ගෙන්. ඔහු තුළ තියෙන මේ කියන ව්‍යුමහය අපේක්ෂාවන්ට අභියෝග කරන්න නිර්මාණකාරයාට සමහර වෙලාවට ඕනෑවෙන්න පුළුවන්. මොකද එහෙම අභියෝග කරන්නේ ඇයි කියලා පාඨකයා හිතලා බලන්නේ එතකොට. කෙටි කතාවෙන් පාඨකයා බලාපොරොත්තුවෙන ව්‍යුහමය අංගවලට යම් කතාවක් තුළින් අභියෝග කරන්න පුළුවන්නම් ඒ තුළින් කෙටිකතා කලාව සාර්ථක වෙනවා. අනික තමයි මෙවන් අභියෝගයක් හොඳටම කරන්න පුළුවන් වෙන්නෙත් කෙටිකතාව තුළින් විතරයි. ඒත් එක පොතක් තුළ එක කතාවකින් හරි දෙකකින් හරි විතරයි. මොකද එහෙම නැත්තම් පාඨකයින් පොතත් එක්ක දිගටම ඉන්නේ නැතිව කියවීම අතහැරලා දාන්න පුළුවන් නිසා. නවකතාවක ඒ දේ කරන්න අපහසුත් ඒකයි.

මේ අර්ථයෙන් බලද්දි අද ලංකාවේ කෙටිකතා කලාව ඉතා සාර්ථක මට්ටමකට තියෙනවා කියලා කියන්න පුළුවන්. අජිත් තිලකසේන, එරික් ඉලයප්පආරච්චි, පියල් කාරියවසම්, මංජුල වෙඩිවර්ධන, නිශ්ශංක විජේමාන්න, ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, ප‍්‍රභාත් ජයසිංහ වගේ ලේඛකයින් රාශියක් ඉතා සාර්ථක කතා නිර්මාණය කරමින් ඉන්නවා. එකම ගැටලූවකට තියෙන්නේ කෙටිකතාවක් පරිස්සමට කියවන සියුම් රසිකත්වය තවම ලංකාව තුළ මුහුකුරා ගිහින් නැති එක.



සාහිත්‍ය කියවීම සඳහා කිසියම් පුහුණුවක් තියෙන්න ඕනෙ. බොහෝදෙනා ප‍්‍රබන්ධ කියවද්දි ඒ කෙරේ ඉතාමත් හදිසි වෙනවා. ප‍්‍රබන්ධයක් කියවද්දි ප‍්‍රධාන අංග කිහිපයක්ම බලන්න ඕනෙනෙ. කතාවේ කථකයා කවුද, කතාව කියන්නෙ කාටද, කතාව කියන්නෙ උත්ප‍්‍රාසයෙන්ද උපහාසයෙන්ද එහෙමත් නැතිනම් වාච්‍යාර්ථයෙන්ද. කථාව කියන්න භාවිත කරන යථාර්ථ තලය සිහිනමය එකක්ද නැත්තම් තාර්කික එකක්ද, මොන චරිතයක් හරහාද කතාව නාභිගත කරලා තියෙන්නේ වගේ හැම අංගයක්ම එතනදි එක වගේ වැදගත්.

ලංකාවෙ ගොඩක් විචාරකයින් කරන්නේ එක තැනක ඉඳන් කතාව දිහා බලලා කතාවෙන් කියන්නේ මේකයි කියලා තමන්ගේම සාරාංශයක් හදාගන්න එක. අන්තිමට තමන්ගේම සාරාංශය විචාරය කරන එක. විශේෂයෙන් කෙටිකතාව වගේ සියුම් ප‍්‍රබන්ධයකදී ඒ වගේ දෙයක් කරන එක ලොකුම වරදක්. අන්තිමට බලද්දි විචාරකයා කියලා තියෙන්නේ තමං ගැනමයි. කතාවෙන් ගොඩනගන දේවල් ඔක්කොම එතනදි නැති වෙනවා. අජිත් තිලකසේන වගේ ඉතා සියුම් ලේඛකයින් ලියන දේ මතුපිිටින් බලලා ඒ වගේ සාරාංශයක් කළොත් ඒකෙන් වෙන්නෙ ලොකු අපරාධයක්. ඒ නිසා ඒ වගේ තැන්වලදි කරන්න ඕනෙ ඒ අය ලියලා තියෙන කතාව දිහාම ආය ආය බලන එක. ඒක තමයි තරුණ නවකතාකරුවෙකු වෙත කියන පොතේදි මාරියෝ වර්ගාස් යෝසා කියන්නෙ ප‍්‍රබන්ධ කතාව කොච්චර දක්ෂ විචාරකයකුටවත් සියයට සියයක් විචාරාත්මක ගද්‍යයට පරිවර්තනය කරන්න බෑ කියලා.

ඒ වගේ තත්ත්වයක් ව්‍යුහවාදීය පාඨක කේන්ද්‍රිය සංකල්පයත් එක්ක ගැටෙන්නෙ නැද්ද?

හිතලා බලනවානම් ඇත්තටම ඒක හොඳ ප‍්‍රශ්නයක්. ව්‍යුහවාදයෙන් කියන්නේ කතුවරයා අර්ථයේ මූලාශ‍්‍රය නෙමෙයි කියන එකනෙ. රචකයා අර්ථය හටගන්වනවා විතරයි. එහෙමත් නැත්නම් ඔහු කරන්නේ ඒ පඨිතය කිසියම් ආකාරයකට පෙළගස්වා කියන එක විතරයි. රසිකයාට පුළුවන් වෙන්න ඕනෙ ඒක කියවලා ඒ ගැන ලියන්න. ඒ ලියද්දි ඒ අය දක්ෂ විචාරකයින් වෙන්න ඕනෙ. ලෝසා කියන්නේ ඉතාම දක්ෂ කෙනකුට වුවත් පඨිතය සියයට සියයක් කියවලා ඉවර කරන්න බෑ කියලා. ප‍්‍රබන්ධයේ තියෙන සියලූ, අර්ථ, පැතිමාන, ඇඟවීම් ආදිය ගද්‍යමය භාෂාවට පරිවර්තනය කරන්න අමාරුයි. පොතක් කියවද්දි අපිට දැනෙන හැම දෙයක්ම භාෂාවෙන් ලියන්නත් බෑනෙ. කොච්චර දේවල් කිව්වත් හොඳ කෘතියක් නම් ඒකේ තවත් දේවල් ඉතුරු වෙනවා. සාහිත්‍ය කෘතිය කියවලා ඉවර කරන්න බෑ කියලා ව්‍යුහවාදය කියන්නේ ඒකයි.

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කලාතුරෙන් දවසක ගමට යන විට
අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට
සිංහල උලු සෙවිලි කල ඒ වහල යට
සඟවා තිබෙ මගෙ ජීවිතයෙහි සතුට

ඈත අහස දෙස නිකමට දෑස හෙලා
කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා

ගහ කොළ කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට
ඔහුගෙ මුහුන හොඳ හැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යැයි සැක සිතෙයි මට

-හෙට ඉරක් පායයි (1963)

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඈත් වූ පසු 'ආදරය'
ඇරඹුවෙමි මම - 'සිහිවටන' ඉවත් කෙරුමට

පිබිදෙන විටම ඇස ගැටුනු
කාලයක් තදින් සිපගත්
සේයාරුව
නොඅරින ලාච්චුවක සිරගත කළෙමි

දවසකට දෙතුන් වර කියැවූ
ඊ පණිවිඩත් - කෙටි පණිවිඩත්
නොසිතා තව වරක් - කියවා අවසන් වරටත්
අනේ මෙතරම් බොළඳ වැකි යැයි
තනිවම හිනැහෙමින්
මකා දැමුවෙමි තිරයෙන්

මහත් සෙනෙහසින් ඇඟ ලූ
තිලිණ ලද නෙක වර
පළඳනා රැගෙන - ඇඟිලි තුඩගින්
එකතු කර කුණු බඳුනට
සේදුවෙමි දෙඅත් මැනවින්

ශපථ කරමින් 'ඉරහඳ'
නෙත් පියෙන තෙක් තබා ගන්නට
ඇඟිලි වට ලූ දිලිසෙන රන් 'රවුම'
ඉවත් කර අසීරුවෙන්
නැවත යවන්නට මංජුසාවක බහාලූවෙමි

සියල්ල මැනවින් ඉටු විනැයි සිතමින්
සොම්නසින් සයනයට ඇදුනත්

අනුරාගයෙන් කැලඹුණු - හෝරා ගණන්
තැවරුණු ගතත්
පෙර මතකයන් දැවටෙන - තව බොහෝ දේ
ලියවුනු සිතත්

විසල් ස්මාරකයන් සේ නැගෙන කල
එයින් ගැලවෙන මඟ නොදත්තෙමි.
ඒ හෙයින් තැවෙන්නෙමි

උද්‍යෝගී පලිහක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[The newest exhibition of Chandragupta Thenuwara, an exhibition of sculpture & drawings:‘The Monument and other works’ will continue at Lionel Wendt Gallery, Colombo from July 24 to 31. This is his introduction to his work that gives an in-depth analysis about the underlying causes for the political and social unrest increasing day by day. ]

On May 19 2009, the ethnic war in our country came to an end through a military solution. However, the only thing that has been silenced is the sound of guns. The end of a war should be accompanied by a process of peace-building. This is one of the most profound challenges that confront a country that reaches the end of a conflict. A conflict is not something that can be resolved like calming down a sudden outburst of temper. What happened in our country is the result of a conflagration that erupted from embers of injustice and unrest that smoldered under the ashes for decades. The ethnic unrest in our country did not arise in 1983 for the first time. Even though those were times when the electronic media was not active, when the media was not that strong, and when cameras did not show the reality of what was happening on the ground, at the very same moment that it actually happened, this unrest lay under the surface, festering. 1983 became a decisive and defining year, because neither the causes nor the incidents that had taken place during the riots of 1958 and before that had not been resolved. From 1983 onwards, we battled in front of the electronic and print media, and in front of sophisticated cameras, making them witnesses to our actions. The Black July of 1983 and the era of Terror in 1988-1989 are intrinsically inter-connected. The fear, the suspicion, the despair, the killings, the violence, and the injustice did not end in May 2009 with the military solution to the war.


"The Monument and other works"-2012

Those who are in power, those who rule our state, what they should have done is take steps to eradicate the fear and mistrust that has become embedded in people’s minds over decades of war. We are being told that one form of terrorism has come to an end. But what we can see taking place today is that there is another equally terrible system that is being put in place, with invisible forms of anti-democratic and coercive practices that protect the political regime and guarantee their grip on power; this system is being maintained in a very artificial manner. In the past, people lived in fear because of the uncertainty they had to live with, because they could not know whether the person who left home in the morning would return home or would be blown up somewhere, somehow. The environment in which we live today is far more terrifying. A culture of lackeys is being cultivated at the highest level. There has been no reduction in the terror wrought by ‘white van’s, nor in the intimidation of the media. Systems that are in place either terrorize us with the threat of death, or else give us royal treatment and then intimidate us. The Emergency Regulations have been relaxed but the invisible ‘regulations’ remain in place. There are more unidentified gunmen, rapists and assassins in our life than there are identifiable members of the security forces or the Police. In the past we heard only the lamentations of mothers; today, we hear them curse and call for vengeance. Today, silence has indeed become golden. The art of living today is one of tolerating injustice, remaining silent and remaining alive. As those who live in such a fear-ridden society, we should certainly not become party to the act of sweeping what happened in 1983 or during the war under the carpet.

Yes. Our people have forgotten that to live means to do more than breathing and keeping your body alive. Freedom does mean remaining within the four walls of your home and maintaining silence. I believe that every artist has a historical responsibility to fulfill. Today we spend our time looking for external and internal ‘enemies’. We have returned to an age of being migratory hunters. In the midst of all this, we cannot erase 1983. Nor should we try to do it. All that has happened is that the issues raised by the incidents of July 1983 have been temporarily rendered powerless. These issues will remain like embers under ashes until such time as we are able to transform our social and cultural structures and build a society that is truly free in every sense, one in which there is respect for principles of justice. State politics that allow for the will of the majority to prevail at all times, while crushing the wishes of the minority, and that only focuses on survival from day to day, is not true governance. This is why it has become impossible for us to commemorate July 1983. This is why we must remember it and talk about it. This is why our society must remain on guard at all times.


"The Wall and other works”-2011

Monuments and memorials are built by a society that wants to carry forward its cultural stamp into the future. The memories are transmitted into the future, from generation to generation. We are familiar with the Samadhi Buddha statue in Anuradhapura, the Buddha statue in Aukana. And in more recent times we have the SWRD Bandaranaike memorial Samadhi and the Olcott Samadhi. The monument in this exhibition is a new Samadhi. This time my exhibition has two parts. The main feature is a sculpture. It consists of figures of four women looking out in four directions. It calls to mind the hopes of the many mothers, wives, sisters, daughters, grandmothers, friends of the disappeared in Sri Lanka, the hopes that die and are reborn every day. It is the hope that the beloved son, husband, brother, grandson and friend will return home at some moment, or that there will be some news of him. The act of making someone disappear is designed to break the spine of a society. This tactic renders the family members helpless and inactive, leaving at their doorstep the hope that if not today, then tomorrow, the disappeared one will return. This Samdhi is dedicated to all women who have the capacity to give birth. Four women whose wombs bear the hopes of bringing forth life stand looking out in four directions. They hold the outline of an empty space in their hands. They are waiting to hear some news about their loved one. They represent the four major ethnic communities of our multicultural society. She who looks south represents the Sinhala community. The Tamil woman looks to the north. Looking westwards is the ‘Burgher’ woman, and looking east is the Muslim woman. It is the government in power at the time that has the Constitutional power to safeguard the lives of its citizens and the primary responsibility to do so. Therefore, if a government is accountable to its citizens, then the facts about these disappearances have to be brought to light.


"Vigil" and other works-2010

How can a society in which disappearances take place be identified as a society that is at peace? Today disappearances are taking place at a time when there is no longer a war going on. Can there be areas from Point Pedro to Dondra Head that we do not know about but that are under government control? At a time when the government has secured control over the entire island? Can there be unidentified and unidentifiable areas and forces that are active anywhere on this island? The disappearances that took place before May 2009 can be laid at the door of the ‘terrorists’. The disappearances in the 1988-1989 period were attributed to the so called ‘patriotic’ forces. Today there are neither terrorists nor patriotic forces. So who can be held responsible for the disappearances that are taking place today? The government has to hand over to the people the power that the Constitutional bestows on them.

The other part of my exhibition shows a series of line drawings. They depict barbed wire entangled with the debris of nature. There is also a set of hidden shapes and forms. These hidden forms are guns, knives, pistols, swords and so on - it is this set of drawings that I refer to as the ‘other works’ In these drawings, I feel that the images of barbed wire acquire new meaning.

It is something that entered my mind as I watched the images of people who had been trapped in the areas controlled by the LTTE as they crossed over into the ‘No War Zones’ in May 2009. The borders of these ‘No War Zones’ had been defined by barbed wire. We saw people running along the corridors marked off by barbed wire in order to enter the ‘No War Zones’. This was a journey supposedly between life and death. These people who fled from the war zone into the ‘No War Zone’ were once again herded into temporary camps, surrounded by barbed wire. No family members or opposition politicians or well-wishers were given permission to visit them there and to inquire after their situation. They came from far away; they were once again placed at a distance. Nobody in the outside world could know what was going on in those camps. It is only by following the news that flowed from these camps, that were in place for several years, to communities outside Sri Lanka that we were able to know what was going on. I imagined that the barbed wire that was there for so long would, in time, intermingle with the natural thorny bushes and scrub from that area and generate an entirely new landscape.

There is a history to barbed wire in our country. In the 1960s I remember that in many houses you did not have big walls. They had fences, made of coconut thatch, bamboo, palmyrah leaves, branches of trees like albeesia and so on. We used barbed wire to prevent cattle and goats from straying into our gardens. From the 1970s onwards you see that houses begin to be surrounded by high walls. People placed barbed wire on top of these walls. Barbed wire which had been used to keep out cattle now began to be used to build walls as high as those around any military encampment. The barbed wire that I knew has evolved into something that is very sharp and pointed today. The barbed wire that I knew as a boundary marker has today become part and parcel of the state’s security apparatus. It encircles the camp housing people displaced by the war. It is unclear to us who is actually being separated from whom, by the barbed wire. This is the new struggle we have to wage, to tear away these barriers that continue to keep us trapped in our silent voiceless world.

-23 July 2012

About the Writer :
Chandraguptha Thenuwara is a senior Lecturer and head of the History and Art Theory Department at the University of the Visual and performing Arts, Colombo. He is also the founder of the Vibhavi Academy of Fine Arts which he founded in 1993. Chandraguptha Thenuwara has exhibited widely in Colombo, Kandy, Baticaloa, Jaffna, Moscow, Vienna, London, Melbourne, Liverpool, Falkirk, New Delhi, Dhaka, Fukuoka, New York, Helsinki, Den Haag and Paris. His works are also included in the collections of the Queensland Art Gallery Australia, Fukuoka Asian Art Museum Japan, John Moore's University Art Collection Liverpool and the Fine Arts Museum of Udmurtia, Izhevsk, Russia. His public monuments include the Seeduwa Monument to the Disappeared, Monument for Cardinal Cooray at Basilica of Tewatta and Monument to Neelan Thiruchelvam at Kinsey Terrace Colombo. Chandraguptha Thenuwara is a leading Sri Lankan artist whose work focuses on issues surrounding the impact of war in Sri Lanka. In response to this overwhelming crisis Thenuwara has devised his own stylistic formulation, which he has called 'Barrelism'.


චන්ද්‍රගුප්ත තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අය්යා-
සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
පඩි නුවණින් පැන විසඳන හන්දා
බණ්ඩට මම වැන්දා

නංගී-
අය්යා කීවා මට හරි නෑ
බන්දූ බණ්ඩට වැඩිය අගේ
නිතරම අප ගැන වෙහෙසන හන්දා
බන්දුට මම වැන්දා

අය්යා-
නංගී එය හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
බණ්ඩා දුක් වින්දා

නංගී-
පේපර් බාගෙට දෙන්නේ ය
ඒකෙම උත්තර ඇත්තේ ය
ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
නා ගන්නෙත් බන්දුයි

අය්යා-
මයික් වලට මොනවා කිවුවත්
බන්දූ කොපමණ උඩ පැන්නත්
බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
කවුරු කෝම කිවුවත්

නංගී-
අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
කට ඇරියොත් නම් බඩුම තමයි
බන්දුගෙ සත පහ මූණේ ලස්සන
දැක්කම සිරියාවයි

අය්යා-
නංගී සත පහ ලස්සන ද
ටොපියක්වත් කන්නට හැකිද
එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
ලස්සන සත පහ ද?

නංගී-
අපි මෙය දැන් බේරා ගනිමූ
සිරි අය්යාගෙන් ගොස් අසමූ
බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
එතකොට සිරි අය්ය කියයි

අය්යා-
ඔව් ඔව් මම ඒකට කැමතියි
සිරි අය්යලා මේවා දනිතී
යමු යමු අයියේ යමු යමු අයියේ
සිරි අය්යා ළඟටා

දෙන්නම-
සිරි අයියේ කරුණක් අසමී
බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අය්යා අප හට
බේරා දෙනවා ද?

සිරි අයියා-
බණ්ඩා හොඳයි කීවොත් වැරදියි
බන්දු හොඳයි කීවත් වැරදියි
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
දෙන්නම හොරු ය කියා

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය.

"ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? "හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය.

"හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. " ග්‍රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. " මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. " ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය.

"පොලිසියේ රාළහාමි කෙනෙක් " හේමපාල ග්‍රාමසේවකගේ වචන ප්‍රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය.

"ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. "


හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි.

"කොල්ලාට කරදරයක්වත් වෙලාද? " ඔහු තැවුණේය. "ඉතින් ග්‍රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. "

"හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්‍රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. "


අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය.

"මේක වෙන්න බැහැ. මේක වැරදීමක් " ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා.
එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි.

"මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. " ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය.

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය.

"හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. "
ග්‍රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය.

*****

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය.

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය.

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි.

"කාගෙන්ද කෝල් එක? "
තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය.

"ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. " රාජේෂ් කීවේ කලබලයෙනි.

"ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, " තවරාණි මෙහිදී ඇසුවාය.

"කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං" මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය.

"පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. "
රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය.

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි.

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. "හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ" වික්‍රමරත්න රාළහාමි කීවේය.

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය.

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය.

"හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට ජයරත්න එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි ජයරත්න එකට යමු. " වික්‍රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය.

"පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. "

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. "මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද", ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය.

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය.

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. "අඩෝ, අපි මූව වලට දාමු, " පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ.

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. "උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු"

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ ජයරත්න මල් ශාලාවට පැමිණියේය.

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය.

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය.

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය.

"පාර්වතී කටවහපං" ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. "තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා" එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය.

"ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. "
මිසිස් දේවරාජා තවරාණිට කීවාය. "අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. " තවරාණිට ඇඬුම් ආවාය.

"රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. "

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. "පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. " ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය.

"රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. "
මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය.

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය.

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත.

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ.

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ.

"තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? " කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්‍රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය.

"අපි සිංහල, " සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. "මහත්තයව ගෙදර බස්සවන්න යනවා. "

"ආ මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? " එක් මැරයෙක් ප්‍රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. "ඒයි මහත්තයා, තමුසෙ සිංහල ද? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. "

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය.
"මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. "

"අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. " මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය.

"ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, " මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය. "අනේ අපේ මහත්තයට ගහන්න එපා. " සිල්වා දෑත් එක් කොට වැන්දේය. "අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, " මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්‍රදේශයට පා පහරක් එල්ල කළේය.

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. "අනේ අපේ මහත්තයා" සිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය.

******

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

"නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, "
පාර්වතී මුර ගෑවාය.

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි.

"මොකද ඔහේලා මෙහේ කරන්නේ. " ඇය උස්හඬින් ඇසුවාය. "නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. " මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි.

"මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. "


"නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. " ඔහු පෙට්ට්‍රල් බූලියක් අතට ගත්තේය.

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින මහින්දාලංකාර හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය.

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි.

"උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? "

"මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. " සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය.

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය.

"සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. " භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත.

"උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. "

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ.

*****

තම පුතාගේ හත්දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟවැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය.

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය.

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරුපවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

"සිල්වා මොකද වුණේ? " හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. "නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? "

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. "රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. "

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. "හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. " ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. "මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. "

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය. "හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ" ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails