Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බඹරෙ වැල්ලෙ කැරකුන දා ගහපු පිණුම් බැරිවෙනකොට
අඟේ ඉඳන් කන මිරිකා උඹේ හිනා උන් ගත්තට
හතර ගාතෙ අතැ'ර දමා ගේ මැද තනිවුනු මිනියට
මැස්සෙක් වත් නෑ අඬන්න ඹ'ට අඬන්නෙ මං කුලියට

පවුලෙ උන්ගෙ මහන්තත්තෙ බේර ගන්න
බැහැ නුඹෙ ගුණ කඳ අපතෙට සින්න වෙන්න ඉඩ අරින්න
අවමගුලේ අවලස්සන කඳුළින් ලස්සන කරන්න
හිනැහෙනකොට දවසෙ කුලිය කඳුළු වරෙන් ! මට අඬන්න

පොඩිකාලේ ඇතිකළ තලගොයි පැටියා
හතර වටේ පැන කෙළි කෙළිමින් සිටියා
මාර දූත කප්පම වැරදුන සැටියා
මගෙ පණ අරන් නැගිටින් මගෙ හොර කොටියා

කෙස්ස කඩාගෙන- අතපය දරදඬු කරගෙන
දෑස් ඉදිමගෙන- දෙණ ලග ඇන බා ඉඳගෙන
වැලපෙන කොට බෙරිහන් දී මිනිය බදා ගෙන
අඬන්නෙ එන'වුන් උඹ ගැන, ම'දෙස බලා ගෙන

අද හවසට ඔය කුණු කය මහපොලොවට සින්න වෙනව
එතකොට මගෙ පොඩිඋන් රැළ බඩ ගින්දර අත ගානව
මැරෙන තුරාවට ත'වෙකෙක් පාන් පැළට බාර වෙනව
සිහිකර ඒ දුක උඹ ළඟ පෙරලි පෙරලි මං අඬනව

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චිලී රාජ්‍යයෙන් බිහි වූ ලොව ප‍්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා ලෙස සැල්වදෝර් අයියන්දේ බලයට පත් වීම, සී.අයි.ඒ. සංවිධානයේ මෙහෙයවීම යටතේ ජෙනරාල් පිනෝචේ විසින් අයියන්දේ ආණ්ඩුව බිඳ දැමීම ආදී සිදුවීම්වලට සමගාමීව ප‍්‍රකට කොමියුනිස්ට්වාදී කවියෙකු වූ පැබ්ලෝ නෙරූදාගේ මිතුරෙකු වටා ගෙතුණු Antonio Skarmata ගේ El Cartero de Neruda ප‍්‍රබන්ධ සාහිත්‍ය කෘතිය, ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තනය කර “නෙරූදාගේ ලියුම්කාරයා” නමින් සාහිත්‍යකාමීන් වෙත හඳුන්වාදීමේ උත්සවය සැප්තැම්බර් 06 දින පස්වරු 2.15 ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශනයකි.

එහිදී ‘ලතින් ඇමරිකානු ජීවිතය සමග අපේ ජීවිතය අතර සමානත්වය හා සාහිත්‍යයන් අතර අසමානත්වය’ යන මැයෙන් පියල් කාරියවසම් විසින් හා ‘අශුභවාදයක ගනඳුර මැද විමුක්තියේ ශුභාරංචිය හා ආදරය නම් වූ විප්ලවය‘ යන මැයෙන් විදර්ශන කන්නන්ගර විසින් ද ප‍්‍රධාන අදහස් දැක්වීම් ඉදිරිපත් කෙරෙනු ඇත. එමෙන්ම Antonio Skarmata ගේ ඉහත මුල් කෘතිය පාදකව කොට ගෙන Michael Radford විසින් අධ්‍යක්‍ෂණය කරන ලද Il Postino (The Postman) සිනමා කෘතිය ඉංග‍්‍රීසි උපශීර්ෂ සහිතව එදින පස්වරු 2.15 ට ප‍්‍රදර්ශනය කෙරේ.

සංවිධානය- මංසල කතිකා කවය
විමසීම්- 0718 107396





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැහැල්ලුවෙන් මා ඔසවා නැග ගුවන
පුළුන් පොදක් සේ තබමින් පියපතර
දැනේ මා රැගෙන යනු පවනක් මතින
පෙනේ පෙර දුටුව පියසක් මන නඳන

මේ දැන් පිපුණු වනමල්වල මුදු සුවඳ
හඬා බසින සිලිලාරෙක හීන් හඬ
අඳුරු නෙරළු සෙවණළු යට ඇති සිසිල
දැනේ දැනේ මා එහි ගෙන යන අරුම

පිපී රතුපුලින් ආ ඉඳුවර විලස
නොගොස් වියපත් ව පෙර දැරිය ම ලෙසින
මෙ ඔබ නොවෙද මා එන තුරු මග බලන
මියුරු බසින් මදහස කුසුමින් පුදන

නළුවක රඟහලක සළරූ මියැසියක
නෙක රසවතුන් හමුවන දෙසුමක් අසන
අත ගෙන ඇවිද ගිය සක්මන්මළු උයන
තවමත් මල් මුවින් වගුරයි මකරන්ද

මහරු කිවි දුමේ මල් විකසිත වෙමින
සොඳුරු පද අරුත් විමසන දැවටෙමින
නොයෙක් කුරිරුකම් මා දොස නොතකමින
දෙදෙන එක ම සිතුමක නිති පැටලෙමින

කෙනෙකුට වඩා සිතමින අනෙකා වෙසෙසා
වරදස කා අතද දොස් කිසිවක් නොතබා
සතර නෙතක් එක නිම්නෙක වෙත රඳවා
නිහඬ ලොවක දොඩමළු වී ලෙස පෙර දා

සරත දිවි කතර සරතැස විඳ නොමදා
සිඳිත බිඳිත හඬවත ලෝ දහම් ලෙසා
රිඳුණු බිඳුණු සිත ගල්වා ඔසු නොමදා
එලොව රැගෙන ගොස් මෙහි ගෙන එනු සොඳිනා

පාලිත අරවින්ද වීරක්කොඩි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සියොත් ගී මැද
සිසිල් සෙවණේ
ගල්පරය මත
නෙතු හෙලා ඉමි
ගඟ දියට

දියවැලක සිරි-සිරිය
උණපතෙක
සර-සරය
පුරුදු ගී තනුවක්
අතින් අල්ලාගෙන විත්
සවන් අසලින් තබා
පැන යයි

ඉර
සිරස පිරිමැද කියයි
දවස තරුණයි
තවටිකයි
පාව යන සුළඟක්
හාදු තවරා කොපුලත
රහසින් කියා යයි
“අදත් නුඹ ඒදැයි සැකයි”

අතැරදා නුඹ
මෙතැන මේ ගඟදිය මත
හැරී යන්නට ආපසු
හෙමින් ඔසවමි පිය

ලුහුබැඳම විත් පසුපස
බරට එල්ලි පපුවෙහි
කොනිති ගසමින් හිත
යළිඳු ඔබ මගෙ හිත මත

පද්මිණි ශ්‍රියාලතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජනරළ පුවත්පතෙහි කොටස් වශයෙන් පළ වූ විමල් කැටිපෙආරච්චි ලියූ දූවිලි සේල නවකථාව ජනගත කිරීමේ උළෙල 2012 සැප්තැම්බර් 04 වන දින සවස 4:00 ට පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

දේශන-
වරුණ දීප්ත රාජපක්ෂ
චන්ද්‍රසිරි දොඩන්ගොඩ





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කුළුඳුල් නවකතාව, සෙංකොට්ටන් ජනගත කිරීමේ උළෙල 2012 අගෝස්තු මස 31 සිකුරාදා සවස 3.00 ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙයි.

දෙසුම්-
සුමින්ද කිත්සිරි ගුණරත්න
චූලානන්ද සමරනායක
සුනේත්‍රා රාජකරුණානායක





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-උසස් අධ්‍යාපන අර්බුදයේ අයිටියෙන්නෙක හංගන ඇත්ත පැත්ත එලිකරන ගමනෙදි විශ්වවිද්‍යාල ආචාර්යවරු කීපදෙනෙක් අනුරාධපුර පැත්තෙ ඈත ගමක විශවවිද්‍යාලෙ ශිෂ්‍යයෙකුගෙ ගෙදරටත් ගොඩ උනා. ගෙදර හිටියෙ හන්දිපත් රුදාව හැදිල දවල්ටත් බුදියන පුතාලගෙ අම්ම විතරයි. පුතාලගෙ තාත්තටම කරුණු කාරණා තේරුම්බේරුම් කිරීමේ වැදගත්කම හිතේ අමුනගත්තු ඇදුරො ගං කෙරවලේ කැරකොපුවත් පාස්කරල ටැට්ටර්- අලි අඩි පාර දිගේ හේනටම ගියා ගිනි ගහන අව්වෙ ගිනි කකා. ගිනිකන වැටීගෙන වැටීගෙන එනකොට හේනක් කිව්වට පොලුත් පීදුනු තෙත කොල පාට හේන් පොඩ්ඩට යා ගත්ත. මේ අදිසි මහත්තුරු දැකපු ලූණුවලට වතුර ගගහ හිටපු පුතාලගෙ තාත්ත කැහැපොට ගහපු සර‍මෙ උඩපොට ලිහල අත් පිහගන්ඩ කලිං වක්කඩක් බැන්දා නියර තරං උසටම. ඇදුරන්ට හීල්ලුනා අවුව සැරට.-

මාර පෑවිල්ලක් නේ.. ?

ඇසළ පෝය ගෙවුනු ගමං
මෙහෙම තමයි සර්..
සර්ලා...

අපි පේරාදෙණියෙ.
පුතාගෙ විශ්වවිද්‍යාලෙ
උගන්නන අය..

මේ පාර සර්ගග
මේ දහබඹේ විතරයි
වැහිගමය නැති අගෝස්තුවෙ
ගොඩබ්බෝග බෑ
ළිඳටත්
හීං දාඩිය දානවා විතරයි.

රාම්පූර් රෙඩ්- රෝස්
පූන- නාසික්- හයිබිට්
ඔය කෝකටත් දැන්
හිත් මානන්නෑ කවුරුත්
ලංකබීජ දැම්මොත්නං ගොඩ ඉතිං

මේ පාර මාත්
බැංකු ණයට පිංසෙණ්ඩුව
උකස් තියල කුඹුර ඇපට
වතුර මැසිමකුත් අරගෙන
ලංකබීජම දැම්මෙ..

පුතාටත් හරි වියදං
ලාම්පුතෙල් ගිනි ගනං

තෙල් පොහොර නං
කෝක වෙතත්
වතුරවත් එපැයි සර්
පේනවනෙ අව්වෙ උනත් සැර විතරක්

උදේ පයිං හැරෙව්වැකි
ලියදි කෑලි දෙක තුනකට
රෑ තිස්‍සෙට උනන වතුර.
ඕං අයෙත් හැරෙව්වැහැකි
තවත් ලියදි දෙක තුනකට
හවස් කොරේ වෙනකොට ළිඳ
වදන වතුර.

උනන උනන වතුර ගගහ
හේනේමයි වැඩේ
දවස් හයක් ඕනෑමයි
තෙමාගන්ඩ එකමුරයක් දහබඹේ
ප්‍රවුත්තිවත් බලන්ඩ නෑ
බරපතලයි වතුර වැඩේ

අරමුණ වටේ කැරකෙන ඇදුරන්ට
හොරගල් ඇහිලිල්ල ඇරෙන්නට
පැලැස්තර නෑ අලවන්ඩ
මෙහේ ආවෙ අපරාදේ
කාලේ කන වැඩක් වගේ

....................

මේ බලන්ඩ සර්
ලොකූ යන්ඩ කලිං
කපල දීපු වලවල්ලොල
දැන් පොල් මල්..
උදව් ඕන්නෑ කියමුකො
හිතේ දොලටවත් දැන්නං
අපේ එකා පලා‍තෙවත්
එන්නෙම නැති තරං

කොහොමහරි අගෝස්තු රස්නෙ කාගෙන කාරණේට බහින්ඩ කුරුමානං අල්ලපු ඇදුරන්ට ඩීමෝ බට්ටා එකක සද්දෙ පාගාගෙන ටැට්ටර- අලි අඩි පා‍ර දිගේ ඇදීගෙන ආපු යකඩ කටක් කන්වොල හැප්පෙන්ඩ ගත්තු හින්දා තමන්ගෙ උක්ත අරමුණ තවත් හෝන්දුමාන්දු උනා. මේ දවස් වල අනුරාධපුරේ අගෝස්තු අව් රස්නෙට සැත්තැම්බර් ඡන්ද ඌෂ්නෙත් කලවං වෙලා. කැලණියෙන් පුරාවිද්‍යා ගෞරව උපාධියක් අරගෙන දැන් ඒකෙම පශ්චාත් උපාධිය හදාරන අර යකඩ ගෑනියක් තරං එඩිතර මේ ප්‍රදේශෙ අවුරුදු ගානක් තිස්සෙ පුරාවිද්‍යා කලාප භාර නිලධාරිනීලු කියන නායිකා සරීරයක් වාඩිය පැත්තට එමිං එමිං ඉන්නකොට ආචාර්යවරු දෙන්නා පුතාලගෙ තාත්තට ආයෙමත් හිනා බුලතක් දීල සමුදුන්නා.

*රාම්පූර් රෙඩ් සහ රාම්පූර් රෝස් මෙන්ම පූනා යනුද ලොකු ලූනු වර්ගයකි. හයිබිට් යන හයිබ්‍රිඩ්- දෙමුහුං ලූනු වර්ගයකට ගැමි ව්‍යවහාරය යි.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(ඔපරේෂන් ඒරියා උන්නා නං මීට හොඳයි)
-සෙබළ කෙඳිරුමකි.

බොහෝ දනට නිදහස් නැති
නිදහස් නම් ලද මඟ දිග
හඬන විලෝ තුරු ගෙල සිඳ
විරු සුරතින් මුල් අද්දන
නා තුරු දෙපෙළක අසිරිය

පියා නිදහසේ තනිවම
අතරමංව බලා හිඳිත
දැයෙක කිරුල උරුමය කී
විරු පුතු තණකොළ උදුරත

ළා තණ ගොබ මුකුළු කරන
නිල් පලසක සුව අහිමිව
වේලෙන් වේලට පැන පැන
පොදු ජනයා ගිනි පාගත

බදු ගෙන නිදහස් මාවත
පැජරෝ ප‍්‍රාඩෝ ඉගිලෙත
කතිරය කුරුසය කරගත්
මිනිස් කැලක සුසුම් මතින

බින්දැයි අභිමන් තරහින
කොඳුර කොඳුර පත් අහුලන
විරු පුත් උර මතින් තැනෙත
නිදහස් පංතියක කිරුළ

එද පාපිස්සක උරුමය
තවත් එපා යයි කියමින
නිදහස් නැති දන නැඟිටින
දවස නොම එතැයි කියමුද

නිදහස් මාවත දෙදරා
සහස් පා ගැටෙන එදවස
පත් අහුලන විරු සුරතට
උන් යළි පණ නොපොවාවි ද?

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මම දවස් දෙකක් නිදිමරලා ඉන්නෙ. බොරුවට නෙමෙයි ඇත්තටම නිදිමරලා ඉන්නෙ"
-රත්න ශ්‍රී ( 11 වැනි පැය කෘතිය දොරට වැඩීම - අගෝ. 25 රාත්‍රියේ දී)

දින දෙකක් මා අවදියෙන් තියා
දැන් ඔබ නිදන්නේ ඇයි හේමමාලී
එදා වාගෙම අදත් මගේ ළගින්ම හිඳ
කවිකමේ දෑස් හැර බලනවද හේමමාලී

පීපී ආ පෙම් මලක් තලා පොඩිකර යන
සැහැසි පෙම්වතියක් ගැන
කුරුටු ගා කවියක් දුක හරින පරිද්දෙන්,
ආත්මෙන් ආත්මෙට බැඳී එකටම හුන්
සොඳුර නුඹ යන විට දුක ඉවතලිය හැකිද?

හිස මුදුන දළදාව රැක ගත්තා මෙන් එදින
ලෙය මසින් රකින්නම් මෙදින නුඹ ළගින් හිඳ
පෙර වගෙම රැගෙන විත් දෝතින් ම ජීවිතය
ඇස් පියන් හැර ඉතින් මට එළිය දෙන්න දේවී

කල්ප සී. එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එකෝමත් එක කාලෙක බූරුවෙකුයි අලියෙකුයි හොඳම යාළුවො වෙලා හිටියා. දවසක් ඒගොල්ලො අතරෙ වාදයක් ඇති වුනා ඒ දෙන්නගෙන් සත්ත්ව ලෝකෙ නියෝජනය කරන හොඳම සතා කවුද කියන එක සම්බන්ධයෙන්. මේ දෙන්නම පිරිමි සත්තු හින්දා කතාවෙ උණුසුමට ටෙස්ටස්ටරෝන් හෝමෝන ප්‍රමාණය ඉහළ ගියා. අන්තිමට ඒගොල්ලො තීරණය කළා මුත්‍රා කිරීමේ තරගයක් තියල මේක ගැන තීරණයක් ගන්න. නියමිත පරිදි තරගය පවත්වන්නයි මුලින් තරගයට සහභාගි වෙන්නෙ කවුද කියල බලන්න තුණ්ඩු අදින්නයි කපුටො නම දෙනෙක් පත් කරා. පළමුවැනි තරගකරු වුනේ බූරුවා. බූරුවා ඉදිරියට ඇවිත් තේජවන්ත අරාබි අස්සයෙක් වගේ පපුව එහෙම පුම්බලා අඩි විස්සක් දුරට මුත්‍රා කරා. ඉවර වුනාම ඔහු පේළියෙන් ඉවත් වෙලා නරඹන්නන්ට හිස නමලා ආචාර කරා. දැන් අලියගේ වාරෙ. අලියා නැගිට්ටා. ඉදිරියට ආවා. පස්ස ගාතෙට බර දීලා මහා කුංචනාදයක් කරල ඉස්සරහ තියෙන යායම තෙමෙන විදිහට මුත්‍රා ගංගාවක් නිකුත් කරා. ඒ මුත්‍ර පාර කොච්චර මහේශාඛ්‍ය ද කියනව නම් හරියට පහළ ගලන ගංගාවට අළුතින් එකතු වෙන්න හැදිච්ච තව පොඩි ගඟක් වගේ පෙනුනේ.

කපුටෝ ඔක්කොම ඔළුව වනලා ජයග්‍රාහකයා අලියා බව නිවේදනය කළා.

අවුරුදු හයකට පස්සෙ බූරුවා අලියට ආයෙත් අභියෝග කරා තව මුත්‍රා කිරීමේ තරගෙකට එන්න කියලා. මේ පාරත් කලින් ගියේ බූරුවා. දෙන්නම මුල් වතාවෙ වගේම තරගෙට සහභාගි වුනා. හැබැයි මේ පාර දිනුවෙ බූරුවා කියල කපුටා නිවේදනය කරා. අන්දමන්ද වෙච්ච අලියා තමන්ට අසාධාරණයක් වෙලා කියලා මොර දෙන්න පටන් ගත්තා. අලියගේ කෑ කොස්සන් දීම අඩු වෙනකම් ඉඳලා එතන හිටපු මහළුම කපුටා පැහැදිළි කරන්න පටන් ගත්තා.

"හරි, මුත්‍රා කරපු ප්‍රමාණය බැලුවොත් ඔබ තමයි දිනුම්. මුත්‍රා කරපු මෝස්තරේ බැලුවත් ඔබ වෙන්න පුළුවන් හොඳම. ඒත් මේ පාර තරග නීති වෙනස්. මහ ගොඩක් මුත්‍රා පිට කරනවට වඩා යම් කිසි මුත්‍රා ප්‍රමාණයක් පමණක් පිට කරන කෙනාට තමයි ජයග්‍රහණය දෙන්න තීරණය කරේ. මේ පාර නියම කරේ බොහොම අඩු ප්‍රමාණයක්! මොකද ගියපාර ඔබ දිනපු වතාවෙ විද්ද මුත්‍රා ගංගාව අස්කරන්න අපට පහුගිය අවුරුදු හයේම මහන්සි වෙන්න සිද්ධ වුනා....!!!"

මහා ගෝසාවක් කරපු අලියා තමන්ට වංචාවක් වුනා කියලා බැන බැන යන්න ගියා.

පාඩම: මුත්‍රා තරගවලදී පවා ඇඟ පරදා මොළය දිනයි.
පරිවර්තනය - ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රත්න ශ්‍රී විජේසිංහගේ පිය බිරිඳ ඊයේ සමු නොගෙන ම ලොවෙන් නික්ම ගොස් තිබුණි.

ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා
දෑත නො හැර ළඟ හිටියේ කඳුළු දරා
සේම අහස දිය දී සෙනෙහස වපුරා
හේමමාලි වී ඉපදුණ යසෝදරා

තුන් යම බුදු පහන වෙවී ඇවිලෙන්නේ
ඒ එළියයි කවියට විවරණ දුන්නේ
ගේ මැද ගේ කුරුල්ලනි ඇයි නො කියන්නේ
හෙවණැල්ලක් කොහොමද සමු ගෙන යන්නේ

දුරු අරණේ මල් නො පිපුණ හවස් කල
දරු පැටවුන් රැක නො නිඳා පහන් කළ
තටු ඇවිදින් උන් ඉගිළුණු දවස්වල
තටු විහිදා මා රැකගත් කිරිල්ලිය

රාත්‍රියක වැළපෙන ගුරු තරුව අරා
බේත් පොවා ළය අත ගා වරින් වරා
පිටත් වුනේ අල්ලා ගත් අත නොහැරා
මටත් කලින් බුදු වෙන්නද යසෝදරා

පේන පේන පඳුරේ මල් පූදින්න
රෑන රෑන ආ ගිරවුනි නාඬන්න
හීන හීන නොමවී හෙට එළි වෙන්න
හේමමාලි එක පාරක් යළි එන්න

26-08-2012

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජීවිතේ මෙයයි මරණයත් මෙයයි
කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

අඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතක
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි
කොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයි

මා ගයන ගීතය ජීවිතේ සංගීතය
ගයාවී හෙටත් තව අළුත් ‍හඬක්

හිනැහේවි ලෝකේ කවටයා ඒවී
රූපේ වෙනස් ඇති ඒත් අද වගේමයි
ස්වර්ගේ මෙතනයි අපායත් මෙතනයි
කොතැනක‍ ගියත් ඒ මෙතනම තමයි

අඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතක
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි
කොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයි

හෙට ක්‍රීඩාවෙ මම හිටියත් නැතත්
හිනැහේවි තරු පිරුණු ආකාසෙ හෙටත්

ඔබට අමතක වේවි අනිත් හැම දෙනාටත්
ඒත් මම මෙතැනමයි ඔබේමයි සදා කල්
මගෙ මතක ගැවසේවි මෙතන හැමදාමත්
කොතැනක ගියත් ඒ මෙතනම තමයි

ඔබ පතන මොහොතක එන්නැයි කියන්න
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි
කොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයි

ජීවිතේ මෙයයි මරණයත් මෙයයි
කොතැනක ගියත් ඒ මෙතැනම තමයි

[Jeena Yahan Marna Yahan | Mera Naam Joker චිත්‍රපටයෙන්]



චිත්‍රපටය- මේරා නාම් ජෝකර් [1970]
ගැයුම- මුකේෂ්
රංගනය හා අධ්‍යක්ෂණය- රාජ් කපූර්

සිංහල පරිවර්තනය පහත දැක්වෙන ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙනි.

You live here, you die here
Where else can one go but here?
Call out for me whenever you wish
I'm still at the place I was before
These two worlds are here for me
Where else can I go but here?
These songs of mine, the music of my life,
Tomorrow will be sung by someone else.
The world will laugh as the clown
Will return with a changed face
Heaven is here, and so is Hell
Where to go but here?
In tomorrow's game, whether I am there or not,
The stars will forever be in the sky
You will forget, and so will they
But I will forever be yours
My memories will remain here
Where else to go but here?
whenever you desire, call out to me
I am there where I was earlier
my both worlds (life+death) are here
where else one can go
life is here and death is here
where else one can go
පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කලක සිට සයිබර් අවකාශයෙන් හා සිංහල පුවත්පත් කවි පිටු තුළින් සිය කාව්‍ය නිර්මාණ සහෘදයින් සමග බෙදා හදාගත් සුදීපා මිහිරි ගේ කුළුඳුල් පද්‍ය එකතුව "පෑළවිය" මේ අගෝස්තු මස තිස් එක්වෙනි දා පස්වරු 2:30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පාඨක දෝතට පිදෙයි.

මූලික දෙසුම- ජයන්ත චන්ද්‍රසිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හාට් එක විමලේට ඇටෑක් කරයි. හෙලිකොප්ටරෙන් කොළඹ ගෙනත්.
-පුවතක්

(-සසී නොකී කව-)

කුරා කුහුඹුවෙක් නැගුනත් සිරි යහනේ
මරා ගෙන මැරේවිද නෑ හිත සහනේ
"ටෙරා" නැතිව ගතියක් නැතිවද හීනේ
මොන මොන දෙයක්දෝ නොදැනෙයි සුවාමිනේ

පෙං හඳ බුර බුරා ඉහළට නැගෙන කලේ
සෙං කඳ වැඩි වී ද පපු ලේ නහර වැලේ
පිං මඳ මසුන් හිටියත් කොයි තරම් විලේ
රං කඳ ගියොත් මං තනියෙන් "පුංචි පැලේ"

පස් කමි කියා ඉඳ ගෙන "මවු පොළොව" පතා
බිස් කට් කකා බඩගින්නේ උන්නු සතා
දෙස් පේමයෙන් තෙපලූ රස පුංචි කතා
පස් යට වැළලුනොත් නම් එය දුකකි ඉතා

පහස ලැබුණු රජ දූවිලි සිප ගඤ්ඤයි
වෙහෙස වුනත් පිළිකන්නෙම ලැග ඉඤ්ඤයි
අලස නොවී යන ලෝකෙට උපයඤ්ඤයි
ඉවස ඉවස තව පපුවට දුක් දෙඤ්ඤයි

ගින්දරේ ලයේ ඇවිලී නැගෙන කොට
පත්තරේ එවුන් කීවත් මොකක් හෙට
කොප්ටරේ නොඑන්නට මේ දෙරණ පිට
"අන්දරේ කෙනෙක්" අද කෝ කියන් මට?

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු -24

Posted by BoondiOnLine 8.25.2012



මවිසින්
සුමුදුව ස්පර්ශ කරන සියල්ල
කටු මෙන් ඇනී
යළි මා රිදවයි.

-ඉසා
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු -23

Posted by BoondiOnLine



කෘමියන් අතර පවා
ඇතමුන්ට ගී ගැයිය හැක
ඇතමුන්ට බැරිය.

-ඉසා
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි.

පාරාදීසයට යන මඟ දිග
සාධු දන රිසි රිසිව හෙළා යන
සාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳින
මඟියෙකු නොවන මඟියාය මම

කිරිගල්පොත්ත මෙන් උත්තුංග
ඩයිනෝසර මතකයකි දුක් කන්ද
තවමත් හඬන මීවන ලන්ද
නියගින් පෑරුවේ මොන හිතකින්ද

පතන් බිම් පීරමින් සපැමිණ
සුතන් හා නෙලු ඵලය බුදිමින
ඇතුන් කොයි මේ බිමේ වැජඹුණ
සතුන් ගෙන් වෙඩි කකා මියැදුණ

උඩු වියන් යටි වියන් එලමින
අතීතය පස් යට ම වැලලුව
ජීවිතේ හිස් බඳුන් අරගෙන
පැමිණි දන සිප වැළඳ සැනහුව

හිතේ කුණු අත් මිටින් අරගෙන
තැනින් තැන දම දමා ගොස දෙන
මිනිසුනේ දුටුවාද දින දින
අවසඟව මිය ඇදෙන මහ වන

සමනල් වැවට ඉරගල වැටෙන
හවසක සෙමින් රතු ඇස් පිසින
ලෝකාන්තයෙන් රූරා වැටුණ
ඛේදාන්තයකි මේ වන අරණ

20-08-2012

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සින්ඩරෙල්ලා ෆැන්ටසියෙන්
ඇහැරුනා මම ‘දොලහ වෙන්නත්’ කලින්
ඒත් ඒ පේ‍්‍රම කථාව
හරිම සුන්දර මතකයක්.....

මට ‘දම්මි’ වෙන්නත් තිබුනා
ඒත් තෝරාගත්තේ මම
‘ඇනා සර්ගයෙව්නා’
වෙනසකට තිබුනේ
මම බල්ලන්ට අකැමැතියි
ඇවිදින්න එක්ක යන්න නම් - පුදුම හිරිකිතයි.

හතර වැන්නා නේද හිතුවේ
මා ‘ඒෂ්යා’ කියා
ඔහු දැනගෙන සිටියේ නැහැ
‘කැරළි කොණ්ඩයට’ වඩා මට ඇත්තේ
‘කැරළි හිතක්’ බව
ඉතින්
කඳුළු වගුරන්නේ නැතිවම
ඔහුට මා සමුදුන්නා.....

‘නොරිකෝ’ නම් වෙන්නට බැරිඋනා
මට ‘දෙවොන්දරා’ ලා හමු උනේම නැහැ,
ඒත් සකුරා මල්
අතරින් පතර පිපුනා-පරවුනා.....

දැන් ඔබ දන්නවා
‘සුදු පිරුවට’ අතුරන්න අනවශ්‍ය බව,
ඔබ ඉන්නේ මගේ ප‍්‍රථම පේ‍්‍රමයෙන්
‘ඇන්ටාර්ටිකාව’ තරම් දුරින්.....

ආයෙමත් මට හිතෙනවා
මගේ ජීවිතය දළු ලන බව
ඔව් ආයෙමත්.....
ඒ නිසා ඔබට කියන්නද
මේ වතාවේ නම්
මට ‘මම’ වෙන්න
ඉඩ දෙන්න.....

උද්‍යෝගී පලිහක්කාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ
රට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේ

ගොළු වුණු ගලෙක ඔබෙ සුසුමන් සිර වේද
නූපන් හෙටක දුටු සිහිනය බොද වේද
වෙඩි දුම් අතර පෙර හසරැලි මුසු වේද
ඉවසනු නොහී ඔය ගල් කුළ පිපිරේද

දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ
එක මොහොතකින් ඔබ යට වුණි ගල් කැටියේ

රෑ සද කැළුම් ගම් දොර අස වැටේවා
තරු කැට අහුරු ඒ තනි මග රැදේවා
උපදින හෙටට ඉන් අරුණලු ගෙනේවා
මාමා වැටුණු ගල මත මල් පිපේවා

සහන් කසීර වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කවදද අනේ ඔයා,

ණයක් වෙලා ...
ඉඩමක් අරන් ,
ගෙයක් හදල ,
බබෙක් හදල ,
වාහනයකුත් අරන් ,

ඉතුරුවක් කරන්නේ ?

කසුන් යසන්ත පිනිදිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සහෝදරයගෙ තාත්තගෙ බණ ගෙදර එන්න විදියක් නැහැ. අපි විඥාණවාදීන් නොවෙන හින්දා....
-මාක්ස්වාදී යැයි කියන සහෝදරවරු පිරිසක්

මළ ගෙයක් කියන්නේ
භෞතිකවාදය සූත්‍රගත කරන්නට
ලොකු තැනක් මගෙ මිතුරන්ට

ඒත් මට ඒ දවස
මනුෂ්‍යත්වයට පෙම් කරන
විඥාණවාදී සුසුමකට මොහොතක්

නො නැගිටින්නට වැටුණු මිනිසෙකු
පසට එක් වන දවස
පෘථිවියට සදාදර දවසකි
දරුවන්ට හඬන්නට දවසකි

සොහොන් ගේ විසිතුරුව තැනූ උන්
පැන් වඩා, සිවුරු පිරිකර පුදා
වැගිරෙනා පැන් කියන වතුර තුළ
පුපුරණා දුක නිවා දමන විට,

විඥාණවාදී නො විය යුතු බැවින්
පාංශුකූලයට දණ ගසන්නේ නැතුව
මහේෂාඛ්‍ය වීරයෙකු වන්නට
සහෝදරවරුනි, මට නොකියන්න

අවසාන වතාවට
නළල පිරිමදින විට
මළ දෑත් සෙනේහෙන් සිඹින විට
උරහිසින් හිස පොවා
දුක දරා ගනින් යැයි කියන්නට
සහෝදරයෙකුට නම් නොහැකි ද

මතක බණ නොකියනා දේශයක
මතකයක් නැති මිනිස් රූප මැද
ප්‍රේමයේ සූත්‍රය
අවලංගු කරවන්න

වතාවත් විච්ඡේදනය කර
මගේ සහෝදරයින්
විඥාණවාදය අපෝහණය කරයි
මම, මගේ දුක සහ ප්‍රේමය
අතාර්කික තර්කය තුළ
අපෝහණය කරමි

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඔක්තෝබරය ආරම්භයේදී මොන්ජේ (එස්ටැනිස්ලාවෝ හෙවත් මොන්ජේ- බොලීවියානු කොමියුනිස්ට් පක්ෂ නායක) තව වරක් සටන් සගයින් හමුවූ අතර, එහිදී හෙතෙම, බොලීවියාවේ කොමියුනිස්ට් පක්ෂය බලය ලබා ගැනීම සඳහා වන නිවැරදි මාවත ලෙස සන්නද්ධ අරගලය ඒකමතිකව පිළිගැනීම මගින් සාධනීය පියවරක් තබා ඇතැයි ප්‍රකාශයට පත් කළේය. අවඥා සහගතව ඔහු මෙසේ ද එකතු කළේය. "ඒ හුඟ දෙනෙක් සන්නද්ධ අරගලයට උදවු කරන්නේ කටින් විතරයි. මොකද ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට තරම් ශාරිරික හැකියාවක් නෑ."

කෙසේ වෙතත් ඉන් දින කීපයකට පසුව, පක්ෂයේ ක්‍රියාධරයන්ට වැටුප් ගෙවිය යුතු යැයි කියනා තරම් දුර දිග යමින් මොන්ජේ නැවතත් ගැටුම් ඇති කරගත් අතර සටන් සගයෝ එම ඉල්ලීමට එකඟතාව පළ කළෝය.

අප කඳුකරය බලා පිය මැන්නේ එවන් වාතාවරණයක් යටතේය.

මොන්ජේ සමග පැවති සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙස බොලීවියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වෙත ඒ වන විට මා තුල පැවති අවිශ්වාසය සහ සැකය තව දුරටත් ගැඹුරු වී ගියේය. කිසිදු චකිතයකින් තොරව මේ පුද්ගලයා එක් අන්තයක සිට තවත් අන්තයක් කරා සැණෙකින් මාරු වී ගියේය. එසේම ඔහු සිය දේශපාලන සංශයන් සාධාරණීකරණය කළේ ස්වකීය දරු පවුල පිළිබඳ වූ ප්‍රේමය ගැන සඳහන් කරමිනි. ස්වකීය පවුල කෙරේ ප්‍රේමය දැක්වීම ගරිල්ලා භටයෙකු සම්බන්ධයෙන් ගත් කළ අතිශය ස්වභාවිකය. මක් නිසාදයත්, නිසැකයෙන්ම අතිශය දුෂ්කර හා රළු වුවද අරගලය සෑම විටම ප්‍රේමය පිළිබඳ තියුණු සංවේදනයන්ගෙන් අභිප්‍රේරණය ලබනා හෙයිනි. මේ හේතුව නිසා මම වරෙක ඔහු හා මෙසේ පැවසීමි.

"මං හිතන විදිහට නම් ඔහේ තරම්ම මමත් මගේ දරු පවුලට ආදරෙයි. සමහර විට ඊටත් වඩා වැඩියි. හැබැයි මගේ ලෝකය කවමදාවත් මගේ දරු පවුලෙන් පමණක් සීමා වෙන්නේ නෑ. ඒකට මුලු මහත් ජනතාවම අයිතියි. බලවත්තු එකතු වෙලා දුබලයින් පාගා දමන, ඒ වගෙම ජනතාවගේ දරුවන් හැමවිටම දුබලයින් බවට පත් වෙන වනචාරී සමාජයක මගේ දරුවෝ ජීවත් වෙනවා දකින්න මට නම් ඕන නෑ. අපි මේ සමාජය වඩා යහපත් විදිහට ගොඩ නගන්න ඕනෑ. හැබැයි ඇඟ බේරාගන්න එහෙමත් නැත්නම් බයගුළු තාලෙන් නම් අපිට තව දුරටත් ඒක කරන්න ලැබෙන්නේ නෑ. ඒකට සටන් කරන්න වෙනවා."

******

බොලීවියානු අරගලයේදී චේ හා උරෙනුර ගැටී සටන් කළ ඉන්ටි පෙරේඩෝ එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාධරයෙකි. චේ ගේ අවසන් අරගලයේදී දිවි ගලවා ගැනීමට හැකි වූ පස්දෙනාගේ කණ්ඩායමේ ඉන්ටි පෙරේඩෝ ද විය. මාක්ස්වාදියෙකු වූ ඔහු ස්වකීය ජීවිතයම කැප කළේ බොලීවියාවේ විමුක්තිය උදෙසාය. චේ අත් අඩංගුවට ගෙන මරා දමනු ලැබූ පසුව, නැවතුණු තැන සිට යළිත් විප්ලවය සඳහා පූර්ව සූදානම් කටයුතු වල නියැලි ඔහු, 1969 සැප්තැම්බර් 06 වන දින බොලීවියානූ පොලීසිය විසින් මරා දමන ලද්දේය.

-"චේ හා එක්ව සටන් වැද" [ඉන්ටි පෙරේඩෝ]
පරිවර්තනය - චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(කුඩා දැරියකව සිටි කල තමා විඳි නිදහස සිහි කරමින් වැඩිවියට පත්වීමත් සමඟ තම ජීවිතයට පැනවුණු සීමා බන්ධන ගැන කවියා පසුතැවෙයි.)

මා
ගලක් වූ මලක්
පර්වතයක් වූ සුළඟක්
අයිස් බවට පත් වූ දිය රැල්ලක්

කුඩා කල
මල් කැකුලක් සේ
මඳ පවනක් සේ
දිය ඇල්ලක් සේ
ගලා ගියෙමි.

(යුද කලෙක ගැහැණු- 2002)

සංකරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"කාව්‍යයක්‌ විවේචනය කරන්නා කවියාගේ ප්‍රතිභාව කාව්‍යයෙහි ගැබ් වී තිබෙන හැටි සොයා බැලිය යුතුය. කවියාගේ ප්‍රතිභාව, කවියාගේ සිතුම් පැතුම් ආදිය ඇතුළත් කොට ගත්තකි. එහෙයින්, ඔහුගේ ප්‍රතිභාවෙහි සැටි සොයා බැලීම ඔහුගේ සිතුම් පැතුම් ආදියෙහි හෙවත් පෞද්ගලිකත්වයෙහි සැටි සොයා බැලීමකි. කවියා නුමුහු කළ නුවණ ඇත්තෙක්‌ නම් ඔහුගේ නුමුහු කළ නුවණ එහි දැක්‌ක හැකිය."
(ජී. බී. සේනානායක - විචාර ප්‍රවේශය)

කිසියම් වූ දේශයකට හෝ කිසියම් කාලයකට අයත් රසවත් භාවයෙන් සහ ආකෘතිකමය වටිනාකමින් යුත් වාච්‍යාර්ථයන් සේම ව්‍යංගාර්ථයන්ගෙන්ද පෝෂණය ලත් ලේඛන සමූහය, 'සාහිත්‍යය' ගණයෙහිලා ගිණිය හැකිය. සාහිත්‍ය ලකුණු සහිතව නිර්මිත වූ සාහිත්‍යයක නිර්මාණ අර්ථ දැක්‌වීම - විමර්ශනය කිරීම - විනිශ්චය කිරීම - විමසීම සාහිත්‍ය විචාරය ලෙස හඳුනාගත හැකිය. පවත්නා සාමාන්‍ය දැනීම විනිවිද යාමක්‌ අපේක්ෂා කළ හැකි මෙහිදී ඵෙතිහාසික, දේශපාලනික, සාමාජයීය නිර්මිත ඉක්‌මවා ගිය පොහොසත් නව දැනුමක විතැන් වීම සිදුවිය යුතුය. නිර්මාණකරුවාගේ පරමාර්ථ මැනවින් වටහා ගැනීම තුළින් නිර්මාණය සමඟ සහාත්මගත වීමෙන් අර්ථසාර විචාරයක්‌ දුට හැකි අතර, එහි සැඟව පවත්නා යථාර්ථ ඉස්‌මතු කොට පතයෙන් (Text යන අර්ථ ඇති මෙයින් කවිය, කෙටි කතාව, නව කතාව, ගීතය ආදී සියලු සාහිත්‍යමය නිර්මාණ අර්ථ ගැන්වේ) ගම්‍යමාන වන මතවාදමය ගැඹුර විවරණය කිරීම විචාරයේදී සිදු විය යුත්තකි. මෙලෙස යම් පතයක්‌ පිළිබඳ තාර්කික වූත්, විශ්ලේෂණාත්මක වූත්, තුලනාත්මක වූත් රසාවේශයක්‌ ඉදිරිපත් කරන්නා, විචාරකයාය. එහි රසය සොයමින් නිර්මාණය රස විඳින්නා, රසිකයාය. කලාත්මක අන්තර් ඥානය, රස වින්දන ශක්‌තිය හා වගා කරගත් රුචියක්‌ සහිත රසික පර්ෂදයක්‌ නොමැතිව කිසි විටෙක පතයක රුව ගුණ විමසීම කළ නොහැකිය. නිර්මාණය, විචාරකයා, විචාරය සහ රසිකයා විෂයෙහි උත්තර ප්‍රතිභාවයකින් හෙබි විචාර කලාවක මතුවීම නිතැතින්ම සිදු වන්නක්‌ වන හෙයිනි.

"සාහිත්‍ය විචාරය, සාහිත්‍ය කලාව නංවන සුහද මඟ පෙන්වන්නකි. සාහිත්‍ය කලාව බිහි කරගත් මිනිසා එය සිය විනීත ආස්‌වාදය පිණිස පවත්වා ගෙන යා යුතුය. ආස්‌වාදය මානසික ක්‍රියාකාරිත්වයකි. එම මානසික ක්‍රියාකාරිත්වය විග්‍රහ කිරීම විචාරය වේ...."
(ජේ. ජයනෙත්ති. මාර්ටින් වික්‍රමසිංහගේ විචාර මාර්ගය, 2003, 10 පිටුව)

විචාරයක්‌ හෝ විචාර මතවාදයක්‌ බිහිවන්නේ යම්කිසි කෘතියක්‌ පදනම් කරගෙනය. එසේ නොවන්නට කිසියම් විචාර ධර්මතාවක්‌ මත බිහිවන සාහිත්‍ය සම්ප්‍රදායක්‌ නොමැත. සාර්ථක විචාරකයා නිරතුරුවම සමාජයෙහි සිදුවන සමාජ - දේශපාලන සිදුවීම් දෙස සිය විචාරාත්මක නෙත නතු කරගෙන සිටිය යුතුය. ඔහු නිරන්තර සමාජ ගවේශකයකු විය යුතුය. සාහිත්‍ය කෘතියක බිහිවීම අහඹුවක්‌ නොවන හෙයිනි. නිර්මාණය බිහිවන සමාජ පරිසරයෙහි බලපෑම නොතිත්ව පතයෙහි අන්තර්ගත වේ. ගවේෂණශීලී විචාරකයා එකී සකල ප්‍රවේශයන් මැනවින් දත යුතු හෙයින් සාර්ථක විචාරයක්‌ සිදුකිරීම ඔහුට අසීරු නොවේ.

සාහිත්‍ය විචාරකයා විචාරකයකු වීමට මත්තෙන් හොඳ රසිකයකු විය යුතුය. කාව්‍යයක්‌ කියවා රස විඳීමේ හැකියාව ඔහුට තිබිය යුතුය. ගීතයක්‌ අසා රස විඳීමට හැකි විය යුතුය. සංගීත ඛණ්‌ඩයක රසය වින්දනය කිරීමට හැකි විය යුතුය. ඔහු නව කතා හෝ කෙටි කතා කියවන හොඳ පාඨකයකු විය යුතුය. ඔහු සිනමා ලෝලියකු විය යුතුය. ඔහුට කලාගාරයට ගොස්‌ සිතුවමක රැඳි රසය උකහා ගැන්මට වාසනාව තිබිය යුතුය. මෙනයින් ප්‍රමුඛ වශයෙන්ම විචාරකයා මේ කවරාකාර කලා කෘතියක්‌ වුව පරිපූර්ණ වශයෙන් රස විඳිය හැකි සංවේදී සහෘදයකු විය මනාය. සිය අසීමාන්තික අත්දැකීම් ගොන්නට එකතු වූ කවියක්‌ හෝ වේවා සිනමා පටයක්‌ හෝ වේවා එකී නිර්මාණ සමස්‌තය මුළුමනින්ම විචාරයට නතු කරගත යුතු වේ. එනම්, විචාරකයා පතයෙහි හාත්පස විශ්ලේෂණය කර එහි තුලනාත්මක අධ්‍යයනයක නිරත වී තම මතවාදය පළ කළ යුතු බවයි. පතයෙහි කොටසක්‌ පමණක්‌ විචාරයට ලක්‌වීමෙන් නිර්මාපකයාගේ පරමාර්ථ නිවැරැදිව හඳුනාගත නොහැකිව එකී නිර්මාණය මෙතෙක්‌ ඇති කරගෙන තිබුණු ප්‍රතිරූපය පවා පළුදු විය හැකිය. එය විචාරක කාර්යයට පටහැනි වූවකි. නිර්මාණකරුවාගේ අරමුණු වටහා ගැනීම තුළින් විචාරය විකාශනය කළ යුතුය.

"... කෘතියට ලියූ සංඥාපනයක්‌ මඟින් හෝ කළ යම් ප්‍රකාශනයක්‌ මඟින් තම අරමුණු ප්‍රකට කොට ඇත්නම්, විචාරකයාගේ පළමු කාර්යය විය යුත්තේ කලා විෂයෙහිලා එම අරමුණුවල වටිනාකමක්‌ ඇද්ද කියා විමර්ශනය කිරීමයි. නිර්මාපකයාගේ හිතේ තිබුණු දේ නිම කළ කෘතියට බද්ධ නොවූ බාහිරාංගයක්‌ වෙන්නත් පුළුවන. විචාරකයාට වැදගත් විය යුත්තේ නිම කළ කෘතියයි."
(ඒ. ඩී. රන්ජිත් කුමාර. අනුභූතිය හා නිර්මාණය, 1999, 165 පිටුව)

විචාරය යනු නිර්මාණ රචනය සේම සියුම්ව කළ යුත්තක්‌ය. නිර්මාණයෙන් රසික සිත්හි ඇති වන රසාවේශය විචාරය කියවීමෙන්ද ඇතිවිය යුතු හෙයිනි. රටක සාහිත්‍යයෙහි යහ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය මෙන්ම සාහිත්‍ය විචාරයද එකසේ වැදගත් වන්නේ එහෙයිනි.

"විචාරයක්‌ කියන්නේ යම් කලා නිර්මාණයක්‌ පිළිබඳව සවිඥානක තත්වයක සිට කරන ප්‍රකාශනයක්‌. නිර්මාණයත්, සමාජයත් අතර පාලම හදන එකයි විචාරයකින් කළ යුත්තේ. විචාරකයා නිර්මාණයට වඩා නිර්මාණයක්‌ කළ යුතු නැහැ...
(කමණී ජයසේකර, නිර්මාණ ආවේශය, (මහාචාර්ය ආරියරත්න ඇතුගල) 2008, 119 පිටුව)

නිර්මාණයත් සමාජයත් අතර පාලම හදන මෙම විචාරකයා නිර්මාණ ක්‌ෂේත්‍රයෙහි එක්‌ පෙරටුගාමි නිර්මාපකයෙකි. අන් අයකුගේ නිර්මාණයක්‌ දෙස වුව විචක්ෂණයෙන් බලා, එය විමර්ශනය කොට තමාගේ මතවාදයක්‌ ඇසුරේ ගැඹුරු අරුත් ඉස්‌මතු කිරීම ඔහුගේ වෑයම වන හෙයිනි. එනම්, සැමවිටම යම්කිසි කලා නිර්මාණයක විශේෂඥ අර්ථකථනයක්‌ විචාරකයා අතින් නිම්හිම් වේ. එය හුදෙක්‌ රසිකයා පෝෂණය කිරීමෙහිලා නිපදවන්නකි. පරිණත බුද්ධියක්‌ හෝ වර්ධනය කළ දැනුමක්‌ හෝ නොලත් සාමාන්‍ය දැනුමැති මිනිසා යම් කිසිවක මතුපිට පෙනෙන දෙය මිස නොපෙනෙන යථාර්ථයක්‌ නොසොයයි. සාමාන්‍ය මිනිසා අතරින් විචාරකයා වෙසෙස්‌ කොට සැලකිය හැක්‌කේ, ඔහු එකී සැඟව පවත්නා යථාර්ථය ගවේෂණය කරන්නකු වන නිසාය. සාමාන්‍ය ඇසට ගෝචර නොවන, සාමාන්‍ය හදවතට සමීප නොවන අත්දැකීමක්‌ විචාර ඇසට මැනවින් ගෝචර වන හෙයිනි. මෙනයින් යම්කිසි කලා පතයක සැබෑ සියුම් රසය සාමාන්‍ය රසිකයා වෙත යා කිරීමේ මහඟු කාර්ය විචාරකයාට පැවරේ.

සුලලිත රිද්මයකට අනුව ගැයෙන ගීතයක රසය සොයන රසිකයාට එම ගීතයෙහි සංවේදී අරුත් උත්පාදනය කරදෙමින් රසය තීව්‍ර කිරීමෙහිලා විචාරකයා පැමිණේ. කවියක පද අතර රසයක්‌ සොයන සහෘදයාට එකී රසය මැනවින් අහුලා දෙනු වස්‌ විචාරකයා පැමිණේ. සැරිසරන නේක රූප අතර අතරමංව සිනමා පටයෙහි කතාවක්‌ සොයන සිනමාලෝලියෙකුට රසවත් කතාවක චරිත රැගෙන විචාරකයා පැමිණේ. රේඛා හා වර්ණ අතර නවතින්නට තැනක්‌ සොයන රසිකයාට කලාත්මක සිත්තමක්‌ මවා දීමට විචාරකයා පැමිණේ. මෙසේ නිර්මාණය හා රසිකයා අතර ගොඩනැගෙන රික්‌තකය අවම කිරීමෙහිලා රසිකයා අසල නිරන්තරයෙන් විචාරකයා සැරිසරන බැව් පෙනෙන්නට තිබේ.

"... විචාරකයා කියන්නේ රචකයාත්, පාඨකයාත් අතරට පැමිණෙන තවත් අතරමැදියෙක්‌ පමණයි. ... විචාරය තිබිය යුත්තේ කෘතිය හොඳද නරකද කියන එක හොයාගන්න නෙවෙයි. පණිවිඩය ජනතාව අතරට ගෙන යාමටයි."
(නිර්මාණ ආවේශය, (මහාචාර්ය නලින්ද සිල්වා) 2008, 148 පිටුව)

පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට උත්සාහ දරන විචාරකයා රස වාදය, වනි වාදය, අලංකාර වාදය, නූතන වාදය, පශ්චාත් නූතන වාදය, මාක්‌ස්‌ වාදය, ව්‍යුහ වාදය, ආකෘති වාදය, ස්‌ත්‍රී වාදය ආදී වූ විවිධ පෙර'පර දෙදිග විචාර ක්‍රමවේදයන් ඒ ඒ නිර්මාණයන්ට යෝග්‍ය පරිදි භාවිතයට ගනී. අපූර්ව නිර්මාණයක රැඳි අපූර්වයෙහි චමත්කාරය රසික ජනතාවට ආස්‌වාදය කිරීමෙහිලා මෙකී කෙඳු විචාර ක්‍රමයකට වුව අනුගත වීමට අප විචාරකයාට නිදහස පවතී. මූලික වශයෙන්ම නිර්මාණකරුවාගේ පරමාර්ථය තේරුම්ගන්නා විචාරකයා, නිර්මාණය සමඟ සහානුභූතගතවී, නිර්මාපකයාගේ එම අදහස රසිකයා වෙත සාධනීය අයුරින් යා කිරීමට තමා තෝරාගත් විචාර මාර්ගය මෙහෙයවයි. විචාරයට නතු වන එම නිර්මාණයෙන් නිර්මාණකරුවා මෙතෙක්‌ නොවිඳි රසයක්‌ වුව මෙහිදී විචාරකයාට වින්දනය කිරීමට ඉඩ ලැබේ. එමඟින් රසිකයාටද නිර්මාණයෙන් පෙර නොවූ විරූ රසයක්‌ උකහා ගැන්මට අවකාශ සැලසේ.

"තමා විඳින වේදිතයන් අන්‍යයන්ට දැනවීමට සැලැස්‌වීමේදී රසයක්‌ ජනිත වේ. නමුත් කවියේ නිර්මාණකරුවාට එම රසය විඳීමට වාසනාව නැත. කාව්‍යය විචාරය කරන්නා එහි රසය වින්දනය කරයි. එම නිසා කවියා අභාග්‍යසම්පන්නය."

යනුවෙන් විද්වත් විචාරක මත ගොඩනැගුණේද නිර්මාපකයාට නොලැබෙන, විචාරකයාට සහ රසිකයාට පමණක්‌ ලැබෙන එම භාග්‍යය පිළිබඳවය. එදා මෙදා තුර ලාංකේය සාහිත්‍ය ක්‌ෂේත්‍රය වටා රොක්‌ වුණු නිර්මාණ විෂයෙහි පෘථුල විචාර මතවාදයන් බිහි විය. එමතුද නොව 'විචාර සාහිත්‍යය' ක නැගීම පවා අප සාහිත්‍ය විමර්ශනයේදී පැහැදිලිව දක්‌නා ලැබේ. එමගින් නිර්මාණයෙහි රසය වඩාත් සමහන්ව රසිකයාට සමීප කරවීමට විචාරකයාට හැකි වන අතර කවිය, ගීතය, සිනමාව හෝ නාට්‍යය හෝ මෙම කවර නිර්මාණයක්‌ සමඟ හෝ රසික බැඳීම වඩ වඩාත් තහවුරු වීම සිදුවේ. නිර්මාණයෙහි උද්දීප්ත රසෝද්දීපණය මැනවින් හදවතට ආමන්ත්‍රණය කරගනිමින් නිර්මාණය සමඟ අනන්‍යවීමට විචාරය තුළින් සමස්‌ත රසික පර්ෂදයට අවකාශ සැලසේ.

'ජැක්‌සන් ඇන්තනී'ගේ 'අබා', 'ප්‍රසන්න ජයකොඩි'ගේ 'සංකාරා', 'අශෝක හඳගමගේ 'තනි තටුවෙන් පියාඹන්න' වැනි සිනමා නිර්මාණ විෂයෙහි ගොඩනැගුණු විචාර මතවාද රාශියකි. 1947 'කඩවුණු පොරොන්දුව' පටන් 2011 'ගාමණී', 2012 'කුස පබා' දක්‌වා දිව ආ සිංහල සිනමාවෙහි සාරපූර්ණ ඉතිහාසගත රසමුසු තැන් එක්‌තැන් කළ ලක්‌ෂයක්‌ ලෙස 'අබා' සැලකිය හැකිය. ලාංකේය රාජ්‍යත්වයේ උත්පත්ති කතාවේ ඓතිහාසික රසය වින්දනය කිරීම පසෙකලා, ඉතිහාසයේ විකෘති වීමකැයි නැගුණු කතිතාවත් සමඟ ප්‍රේක්ෂක සිත්හි පෙර නොවූ විරූ අවධානයක්‌ 'අබා' සිනමා සිත්තම කෙරෙහි ගොඩනැගිණි. මෙලෙස ලංකාව මතු නොව ජාත්‍යන්තර සිනමාව පවා අතික්‍රමණය කරමින් රසික ආකර්ෂණය දිනා ගැන්මට දසතින් නැගී ආ විචාර මතවාද හේතු නොවූවයි කිව නොහැකිය. මහා භාරතය, රාමායණය, අශෝක්‌, ක්‍රිෂ් වැනි සිනමා කෘතිවලින් අපට සංවේදී නොවූ වීරයන් දෙස බලා මෙතෙක්‌ ඉච්ජාභංගත්වයන් සඟවා ගෙන සිටි ලාංකේය රසිකයාට, 'අබා' යනු අපේම වීරයකු බැව් ඒත්තු ගැන්වීමෙහිලා විචාරකයා, සිනමා කෘතිය හා රසිකයා අතරට පැමිණි හෙයිනි.

අධිතාත්වික වාදය ප්‍රායෝගයෝගිකත්වයට නංවමින් 'අශෝක හඳගම' භාවිත කළ සිනමා රීතිය 'තනි තටුවෙන් පියාඹන්න' තුළින් රසිකයා කුළුගැන්වීය. අධිතාත්වික වාදය සාමාන්‍ය රසිකයාට නොතේරෙන සහ තේරුම්ගත නොහැකි දෙයකි. සමාජ යථාර්ථයට ඔබ්බෙහි නිර්මාණය වන යම් ප්‍රස්තුතයක්‌ කියවා වටහා ගැනීම සාමාන්ය රසිකයාට නුහුරු හෙයිනි. විචාරකයාට මෙහිදී සිදු කිරීමට කාර්යයක්‌ තිබිණ. සිනමාවේ සියුම් රසාවේශ මැනවින් කියවා අර්ථ මතුපිටට ගෙන රසිකයාට දැනෙන්නට සැලැස්‌මය. එහෙත් කිසිවිටෙක විචාරක කාර්ය නිසා රසික වින්දනයට බාධා නොවිය යුතුය. විචාරය රසිකයාට මඟ පෙන්වන්නක්‌ පමණක්‌ වන හෙයිනි.

"සොඬින් නෙළුම් මල් ගෙනියන
වතින් කඟ පතින් දිදුලන ඇතින්නියේ
යදම් අමතක ද පා බැඳි විලංගුවේ
..........

වටින් මහ සෙනඟ ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි


රිද්මයානුකූල ගේයතා ලකුණින් සැදි සොඳුරු පද මාලාවක්‌ ගීතයක්‌ ලෙසින් රස විඳීමට සෑම රසිකයකුටම හැකියාව ඇත. තාලය සහ භාෂාවේ සරල සුගමත්වය නිසා එහි රස වින්දනයට බාධාවක්‌ සිදු නොවන හෙයිනි. එහෙත් සෑම නිර්මාණයක්‌ සඳහාම නිර්මාපකයාට යම්කිසි අත්දැකීමක්‌ විෂය වේ. ගීතයක්‌ රස විඳීමට නිර්මාපක අත්දැකීම අවැසි නොවුණත් එය දැන ගැනීමෙන් ගීතයෙහි පරිපූර්ණ රසිකයකු විය හැකිය. ඒ සඳහා විචාරක කාර්ය ඉමහත්ය. මතුපිටින් පෙනෙන වාච්‍යාර්ථ ඉක්‌මවන විචාරකයා, ව්‍යංගාර්ථ දනවමින් ගීතයේ රසඥතාව වර්ධනය කිරීමට රුකුල් දෙන හෙයිනි. 'ඇතින්න' යනු මාතෘත්වයේ සංකේතයයි. එක්‌ ඇතින්නකට පැටවකු ලැබුණු කල ඇත් පන්තියේ සියලු අම්මාවරුන්ට කිරි එරෙනුයේ එකී මාතෘත්වය තව තවත් අරුත් ගන්වමිනි. උත්තරීතර මාතෘත්වයෙන් දරුවාගේ සුඛ විහරණය ප්‍රාර්ථනා කළ අතීත අම්මාවරුන්ගේ නූතන ඛේදවාචකය හැඟවීමට ගේය පද රචකයා මෙහිදී උත්සාහ ගෙන ඇත. සොඬින් නෙළුම් නමැති ධනය උපයන්නට දරුවන් අමතක කර දමා දේශ දේශාන්තරයන්හි රැකියාවට යන අම්මාවරුන්ට වුව සමාජය ගරු කරයි. එහෙත් ඒ නෙළුම් මල නිසා නොව, ඇය මාතෘත්වය නමැති ගෞරවනීය පදවියට පත් වූවක වන නිසාය. ගීතයේ පද අතර සැඟවුණු මෙකී දර්ශනය පහදා දෙන්නේ විචාරකයාය. එයින් නිර්මාණය වෙත පෙර පැවති රසඥතාව තීව්‍ර කරමින් නිර්මාණය හා රසිකයා වඩ වඩාත් සමීප වේ.

"පිරුවානා පොත් වහන්සේ
කනප්පුවෙහි පෙරළී ඇත
මිදුල පුරා වියළුණ කොළ
ඒ මේ අත විසිර තිබේ
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස්‌ය
ඉඳහිට ගේ පිළිකන්නේ
බල්ලෙකු උඩු බුරනු ඇසේ"


(විමල් දිසානායක. නව කවි සරණිය, 1973, 115 පිටුව)


මෙවන් සංකේත බාහුල්‍යයකින් සපිරි කාව්‍ය නිර්මාණයකින් ඇඟවෙන ප්‍රස්‌තුතය වටහා ගැන්ම සාමාන්‍ය රසිකයාට උගහටය. පිරුවානා පොත් වහන්සේ කනප්පුවෙහි පෙරළී තිබීමත්, වියළුණ කොළ මිදුල පුරා විසිරී තිබීමත්, බල්ලෙකුගේ බිරුම් හඬත් සාමාන්‍ය සිද්ධීන් වන හෙයිනි. එහෙත් උවැසියකගේ මරණය ඉඟි කරන සංකල්ප රූප රැසක්‌ම විමල් දිසානායකයන් මෙම කාව්‍යයේ අන්තර්ගත කොට ඇත. කාව්‍යය කියවත්ම මියගිය උවැසියගේ රූපය හදවතේ ළැගුම් ගන්වන පරිද්දෙනි. පළමුව මේ හා මැනවින් සහෘදගත වන විචාරකයා දෙවනුව, තම සාර පූර්ණ විචාරය රසිකයා හමුවේ තබයි.

නිර්මාණය සහ රසිකයා අතර පවත්නා පරතරය අවම කරමින් රසිකයා නිර්මාණය වෙතට සමීප කරවීම විචාරකයා සතු ප්‍රමුඛ කාර්යක්‌ බැව් නිගමනය කළ හැකිය. මීට අතිරේකව නිර්මාණ විචාරය කිරීම තුළින් නිර්මාණකරුවා තව තවත් නිර්මාණ වෙත යොමු කරවීමත්, ඔවුන්ගේ අඩුපාඩු වටහා දීමත් විචාරක කාර්ය වනු ඇත. විචාරකයා හෝ රසිකයා නිර්මාණ කෘතියෙන් ග්‍රහණය කරගත් අදහස, නිර්මාණකරුවා කීමට උත්සාහ කළ අදහසම විය යුතු යෑයි සැලකුව නොමැනවි. නිර්මාණයක්‌ රසවිඳීමෙහිලා විචාරකයාට හෝ රසිකයාට හෝ සහෘදයාට කිසිම විටෙක සීමා පැනවිය නොහැකි හෙයිනි.

සමාජයේ පවත්නා යථාර්ථ මැනවින් ග්‍රහණය කරගනිමින් නිර්මාණයක්‌ විචාරය කරන්නේ නම් එය සාර්ථක විචාරයකි. එසේ නොවන්නට යථාර්ථය හා බද්ධ නොවී නිර්මාණය එකලාව ගෙන විචාර මතවාද පළ කිරීමෙන් විචාරය අතරමං වන ලකුණු පෙනේ. සමස්‌ත කලාවද, කලා භාවිතයද මතින් නැඟෙන අර්ථසාර විචාර මතවාද හේතුවෙන් නිර්මාණය සහ රසිකයා අතර ඇතිවන බැඳීම ශක්‌තිමත් වනු ඇත. එමඟින් එතෙක්‌ මෙතෙක්‌ අප සාහිත නිර්මාණ වෙත ලැබුණු රසික ආකර්ෂණය ඉමහත්ය. සුභාවිත, සුගම, නිර්ව්‍යාජ විචාර කලාවක්‌ නිර්මාණ ක්‌ෂේත්‍රයේ ස්‌ථාපිත වීම තුළ නිර්මාපකයාගේ නිර්මාණාවේශය රසිකයා වෙත මැනවින් යා කිරීමට විචාරකයාට නිර්මාණශීලී නිදහසක්‌ හිමි වේ.

උදේෂිණි කුමාරි දයාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(ආම්! නාංගල් කරුප්පු ඉනත්තවර්හල්)

ඔව්!
අපි කලුපාට ජාතියක්
සුදු පාට ජාතියකට
සුදු වෙන්න ඉඩ දුන්න

ඔව්! !
අපි කලුපාට ජාතියක්
සුදු පාට ජාතියක් ඉදිරියේ
අළු වෙච්ච- කුඩු වෙච්ච

ඉතින් අපට
උන් හිටි තැන් මොකටද?
අපට පුළුවනි
ගසාගෙන ගසාගෙන යන්න
උතුරු
කර සුළඟේ
හැඩය අත් කර ගන්න

ඔබට පුළුවනි
අප නවතන්න
නංගිගේ පොට්ටු තියු නළලතට
තුවක්කුව ඔසවන්න
අප්පගේ විපුර්ති ගෑ නළලතේ
ඉරි තුනම ගලවන්න
අම්මගේ රැලි වැටුණු නළලතේ
කලු තෙල් සළකුණු කරන්න
ඉතිරි වූ කඳවුරෙත් ඕන්නම්
උඹලාගේ සුදු පාට ගා ගන්න

සුදු පාට උඹලාම තියාගෙන
අපට ඔය කලු තෙල්ම පොව්වන්න
වතුරවත් නැති වෙච්ච ජාතියක
ආඬි ළිං පතුලෙත් උනන්නේ
මැහි තෙල්ය

කලු තෙල්ය ගලන්නේ
නහර දිග
ලේ තරම් උකු නැතත්
පියවුරෙන් ගලන්නෙත්
කැටි ගැසුණු කලු තෙල්ය

ඔව්!!!
අපි කලු පාට ජාතියක්
කිරිමදු වැල් ලෙසින්
කැටි ගැසුණු කලුපාට
කලු තෙල්ම ගලා යන.

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails