Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුණු ඇළ ඉහත්තාවේ
ඒ දවස්වල තැනූ මන්දිර
පැලට් ලෑලි ය,
මළකඩ ටකරං ය,
බැරිම වුණොතින් ඉටිකොළ ය.
අගුල් නැති දොරවල් ය.
හුළඟටම පොලු කැඩුණු ජනේල ය.

ම.න.ස.ටත් අමතක වෙන,
වරිපනම් බදු ගෙවන
අනවසර ජීවිතය,
යූ.ඩී. එකට නම් ඉඳහිට මතක් වී
ලියුම් කඩදහි එවන...

මොන ජාතියෙන් හරි
වේල පිරිමහගන්න
හැම ජාතියෙම එවුන් පදිංචි,
ගෙවල් ඇති, ඇඩ්රස් නැති
වත්ත ය...
ඊට එපිටින් නැගී
අහස අතගාන කුණු කන්ද ය.
අමාවක රෑ පවා හඳ මෝදු වන්නේ ද
හැමදාම ඊට ඉහළින් ම ය...

සුරංගී වැඩ කෙරූ ගාමන්ට් එක තිබුණු
ටවුම ඊටත් ටිකක් එපිටින් ය.
ඒ වුණත් සුරංගී හිනිදුම ය.
ඇවිත් බෝඩිං වුණේ වත්තේ ය...

ඒ දවස්වල,
හැමදාම පාන්දර සුරංගී
වැඩපොළට දුවන්නී,
ඇළ ගාව පාරෙන් ය;
ඉඳහිට මිනී පාවුණ
කබරගොයි, තලගොයි විමානය,
කොස්තගේ බූලියට
හැමදාම පල්වතුර ලීක් කළ
ඇළ ළඟින් වැටී ඇති පාරෙන් ය.
කට කැඩුණු ටොයිලට් බට
ජපන් ජබර ගොල්ලේ සඟවාන
දම්පාට මල් එක්ක
කුණු ඇළත් හිනැහුණේ ඈට ම ය...

වත්තෙ තැන්තැන්වල
ඡන්දෙට හිටෙව් කණුවල
වයර් ඇදගෙන ගියෙත් එකල ය.
ඈට ලියුමක් ලීවෙත්
ඒ ලයිට් එළියෙන් ම ය...

වත්තටම වතුර දෙන,
ඉඳහිට හුළං දෙන
ටැප් දෙකෙන් පරණ එක ගාව ය,
එකල අපි මුණ ගැහුණෙ ම.
ඒ ඇයට ඉඳහිට ආ
ඉරිදා නිවාඩුවක ය.
වැස්සටම විතරක් පිරෙන
බඩ මහත වතුර ටැංකිය යට
වීය එදවස,
අපේ පෙම් රජ දහන...
තීන්ත පතුරු ගිය
ටැංකියේ දියසෙවල බිත්තියක
මළකෑව ඇණේකින්
අපේ නම් කෙටුව'යුරු
අදවගේ මට මතක ය.
එදා තරමක් වැස්ස ය...

පුංචි ගෙරවිල්ලටත් ගොඩ ගලන,
පැය දෙකේ වැස්සටත්
බිත්තිවල ඇල්බීසියා ලෑලි
අඩි තුනක් හතරක්ම හෝදන,
සුනාමි ඇළේ පහළ ය අපේ ගෙය.
මා එක්ක ඇය එනකොට
මාස තුනකුත් ඉවර ය.

ඒ වෙද්දි සුරංගිට විස්ස ය.
ඈ අරං ආ දවසෙත්
පලු පැලෙන්නම වැස්ස ය...

ඉනික්බිති සුරංගී
පුංචි දූ ලැබුවා ය,
පුරා අවුරුදු තුනක් හැදුවා ය.
කෙල්ලගේ ඇඟ පුරා රතු ලප මතු වුණේ
පූරුවේ කෙරූ කරුමයකට ය.
එදා හවසත් ටිකක් වැස්ස ය...

අහස හා සුරංගී
කෑ ගසා හඬද්දී
ඒ කඳුළු රැස් කළේ
කුණු ඇළ ය...
පුංචි දූ නැති සොවින්
විකල් වී එදා රෑ
කුණු ඇළේ සැඟවුණේ
සුරංගි ය...

ඒ මීට කාලෙකට ඉස්සර ය.
වත්තෙ හැම ගේකටම
අර ලියුම ඇවිල්ලත්
දැන් දවස් පහ හයක් ගෙවිලා ය.
එහි ලියා තිබුණේ ම;
විසබීජ කුණුකන්ද, දුර්ගන්ධ ගෝසාව
පදිංචිය පිණිස හොඳ නැති බව ය.
ඒ නිසා හැම දේම අකුලගෙන පිටවෙන්න
ආණ්ඩුව දින හතක් දෙන බව ය.
"මාස හයකින් ගෙයක් දෙන බව ය."

ඒ කාලෙ හැම රෑම
කුණු කන්ද ඉහළින්ම
රිදී දිය ඉහිරවූ
අර පරණ පුරහඳ ම,
අලුත් අහසක හෙටත්
කොහේ හෝ කොණක පායා ඒය...
කට්ට කලු අපායට
තට්ට තනියම ආව
සුරංගී,
මට නුඹව එතකොටත්
සිහි වේ ය...

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එළිවන තුරා නුඹ පමණි ළඟ තනියට
පොත් මේසයට හැමදා වඩින සකිසඳ

ඈ නොකී ඇදුරන් වියතුන්
වැඩ හිඟන රාක්ක පාමුල
ශාස්ත්‍ර මතවාද
බළල් පොර පරයා ඇවිළෙන
ගිනි අකුරු අතරේ
නිවුනු එක සත්වයා නුඹමය
කමක් නැත මනු සතකු නොවුණාට

පොත් මත පා තියා
ඉහල යන්නට නොසිතන...
සයනයක මුදු සුව
පොත් මතින් නිති විඳ විඳ...
සාහිත්‍ය පඬියන්
කැත කළ සාහිත්‍ය පිටු මත...
අපුලක්ද නොහිතා
බොල් හීන නොබලා සැතපෙන...

මාලු කරවල සුවඳකට
කිරි හදන සද්දයට
යෙහෙලියකගේ ඤාව් හඬකට පමණයි දුවන්නේ
ශාස්ත්‍ර මේස අතහැර..
සාරේට වඩා පැවැත්ම උතුම් බව
සාත්‍රේවත් කීවාද...

චූල ආශා, විසල් අරමුණු
අතර ගැටුමක් නොමැති පූසෝ
කරකවා රැවුල් ගස් එංගල්ස් සේ උඩට
පෙන්නන්න ඔය මූණ
චූල ආශා වසා
මහ මූණු පැළඳ ගත්
ඇමීබාවන් සදිසි නරයින්ට

ගොඩවුනේ ඇයි
ලියන මේසයකට...
තැනක් ලැබුනේ නැතිද
එෆ්. එම් රෑසියෝ
මෙගා නළු බටු බැට්ටියෝ
ගායන තාරකා පොඩි මැද

කවියකට ගෑවී
ඉතිහාස ගත වෙතැයි හිතුනාද...
''මහා කවියෙකුට පූසෙක්ව''
පොතක්වත් යම් දිනක ලියැවේද...
සරසවිය උඹ දෙස
ඇසක්වත් ඉඟිමරා බැලුවාද....
කරවල තරම්වත්
ලක්දිවට නොවටිනා පොත පත
කොට්ටයට මෙට්ටයට තියාගෙන
සැතපීම සැපතකැයි සිතුනාද...

ඉසුරු ප්‍රසංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඕනෑම සම්මාන උළෙලක් සමාප්ත වූ පසු සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් ලබා දුන් විනිශ්චය පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය හැකිය. බොහෝ විට එවැනි වාද විවාද ඇති වන්නේ කෘතිය අන්තර්ගතයේ ප‍්‍රමිතිය පදනම් කරගෙන විවිධ පාඨක රුචි අරුචිකම් වලට සාපේක්ෂව ය. නමුත් 2011 වර්ෂයේ මහව විජයබා මහා විද්‍යාලයේදී පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී ධම්මික බණ්ඩාර ගේ ‘මගේ පුංචි රෝස මලේ’ කෘතිය හොඳම ගීත සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත‍්‍ර වීම පිළිබඳ මෙරට ප‍්‍රබුද්ධ පාඨකයා අතර කිසිදු විවාදාත්මක තත්වයක් ඇති නොවිණි. ඊට හේතුව එය සම්මාන දීමට සුදුසු ප‍්‍රශස්ත කෘතියක් ලෙස පොදු මහත් පාඨකයාගේ පිළිගැනීම විය යුතුය.

මගේ පුංචි රෝස මලේ ගීත සංග‍්‍රහයට සම්මාන ලැබීම පිළිබඳ කිසිදු විවාදයක් මෙම ලියුම්කරුට ද නැත. එය පළ වූ කෘති අතර ප‍්‍රශස්ත මට්ටමේ ගේය කාව්‍යය අඩංගු කෘතියක් වන අතර ධම්මික බණ්ඩාර ද දක්ෂ ගී පද රචකයෙකු ලෙස රටේ කීර්තියක් දිනා ගත්තෙකි. එහෙත් ඔහු සම්මාන ලබා ගත් ආකාරය ප‍්‍රශ්න කිරිමට තරම් සදාචාරාත්මක ප‍්‍රශ්නයක් පොලාපැන්නේ පසුගිය වසරේ රාජ්‍ය සම්මානය දිනූ කෘතියටම මෙම වසරේ විද්‍යෝදය සම්මානයත් හිමි වීම නිසාය.

එකම කෘතියකට දෙවසරකදී ම සම්මාන ලබා ගැනීමේ අපූරු සම්මාන ව්‍යාකරණයක් හඳුන්වා දුන් එකම පුද්ගලයා මගේ පුංචි රෝස මලේ කෘතියෙහි කර්තෘ තුමා විය යුතුය. ඇත්තවශයෙන්ම එක් වර්ෂයක රාජ්‍ය සම්මාන ලැබීමෙන් පසුවත් ඊළඟ වර්ෂයට අදාළ විද්‍යෝදය සම්මානයත් ලබා ගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතු කරුණකි.

මේ පිළිබඳව කෘතියෙහි කර්තෘ ධම්මික බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මගේ පුංචි රෝස මලේ නමැති ගීත පොත 2010 වර්ෂයේ ලියාපදිංචි කර තිබුණද මුද්‍රණය කළේ 2011 වර්ෂයේ දී බවයි. 2010 ලියාපදිංචි වර්ෂය සළකා රාජ්‍ය සම්මානය හිමි වූ බවත්, 2011 මුද්‍රණ වර්ෂය සළකා මෙවර විද්‍යෝදය සම්මානය හිමි වූ බවත්ය.

සත්‍යය ලෙස හුවා දක්වන ධම්මික බණ්ඩාරගේ මෙම විග‍්‍රහය තුල සැඟව ඇති බොරුව බැලූ බැල්මට කෙනෙකුට නොපෙනේ. කිසියම් කෘතියක් ප‍්‍රකාශයට පත් කළ පසු එහි ලියාපදිංචිය එක වර්ෂයකටත් මුද්‍රණය තවත් වර්ෂයකටත් අයත් නොවේ. ඕනෑම කෘතියක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරෙන්නේ එය මුද්‍රණය කිරීමෙන් පසුවය. එය ද කතුවරයාට හෝ ප‍්‍රකාශකයාට අයත් කාර්යයක් නොව මුද්‍රණාල හිමිකරුවන්ට අයත් කාර්යයකි. එය ජාතික පුස්තකාල ප‍්‍රලේඛනාගාරයෙන් ISBN අංකය සමඟ ලබාදෙන උපදෙස් මාලාවට අනුකූලව කෘතිය මුද්‍රණය කර ඇති බව පෙන්වා, ලබා ගන්නා බලපත‍්‍රයකට සමානය. එම ලියාපදිංචිය කෙරෙන වර්ෂය අදාළ කෘතිය ප‍්‍රකාශයට පත් වූ වර්ෂය සේ සැළකේ. ධම්මික බණ්ඩාර මහතා එය හොඳින් දනිතත් පොට වරද්දා ගත් පසු ළමා මනසක් තිබෙන වැඩිහිටියෙක් බවට පත් වී කරන ප‍්‍රකාශ පිළිගැනීමට මෙරට ප‍්‍රබුද්ධ පාඨකයා සූදානමින් ඇතැයි සිතිය නොහැකිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සමීක්ෂණයට කෘති තෝරා ගන්නේ සම්මාන උළෙල පැවැත්වෙන වර්ෂයට පෙර වසරේ දෙසැම්බර් 31 දින දක්වා රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලූම ග‍්‍රන්ථයන් ය. ඒ බව නිර්දේශිත ග‍්‍රන්ථ හා සමීක්ෂණ මණ්ඩල පිළිබඳ තොරතුරු ඇතුළත් සමරු කලාපයේ පැහැදිලිව දක්වා තිබේ. කලා මණ්ඩලයේ මෙන්ම සාහිත්‍ය අනු මණ්ඩල සභිකයකු වූ මහාචාර්ය සමන්ත හේරත් මහතා පසුගිය සති අන්ත පුවත්පත් කීපයක් හරහා ද ඒ පිළිබඳව පුනරුච්ඡාරණය කර තිබිණි. එහෙත් 2011 වර්ෂයේ රාජ්‍ය සම්මාන ලැබූ ‘මගේ පුංචි රෝස මලේ’ ගීත සාහිත්‍ය කෘතියට නම් එම ක‍්‍රමය අනුගමනය කර ඇති බවක් නොපෙනේ. එම වර්ෂයේ රාජ්‍ය සම්මාන සඳහා ග‍්‍රන්ථ තෝරා ගත්තේ 2010 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ග‍්‍රන්ථ පමණි. එහෙත් ජාතික පුස්තකාල ප‍්‍රලේඛනයෙන් ධම්මික බණ්ඩාරගේ මගේ පුංචි රෝස මලේ ගීත සංග‍්‍රහය කෘතියක් ලෙස මුද්‍රණය කිරීමට ISBN 978-955-30-2952-2 අංකය රැගෙන තිබෙන්නේ 2011 පෙබරවාරි 23 දා ය. ඉන් පසු කෘතිය මුද්‍රණය කොට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලිියාපදිංචි කර තිබෙන්නේ 2011 ජූනි 29 වැනි දිනය.

පසුව එම කෘතිය උත්සවාකාරයෙන් එළිදැක්වූවේ 2011 අගෝස්තු 30 දින ලූම්බිණි රඟහලේ දී ය. එම වසරේ රාජ්‍ය සම්මානය ලැබීමට නම් එම කෘතිය 2010 වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර ලියාපදිංචි කර තිබිය යුතුය. නමුත් 2011 ඔක්තෝම්බර් 28 මහව විජයබා විද්‍යාලයේ දී පැවති රාජ්‍ය සම්මාන උළෙලේ දී මගේ පුංචි රෝස මල හොඳම ගීත සාහිත්‍ය කෘතිය ලෙස රාජ්‍ය සම්මාන ලබන්නේ කෙසේ ද යන්න ගැටළුවකි.

යට කී ගීත පොතට ISBN අංකය ගැනීම, ලියාපදිංචිය, එළිදැක්වීම, යනා දී සියලූ කාරණා සිදුවන්නේ 2011 වර්ෂයට අදාළව බැවින් 2012 විද්‍යෝදය සම්මානයට එම කෘතිය සළකා බැලීමේ වරදක් නැත. නමුත් එම සම්මාන කමිටුව ‘මගේ පුංචි රෝස මලේ’ කෘතියට සම්මානය ප‍්‍රදානය කරනු ලබන්නේ පසුගිය වසරේ රාජ්‍ය සම්මානය හිමි වූ බව දැන දැනම ඒ ගැන සඳහනක් ද කරමිනි. එහෙත් එම වසරේ රාජ්‍ය සම්මානයට පාත‍්‍ර වූයේ 2010 වර්ෂයට ලියාපදිංචියෙන් අයත් කෘති වලට බව සිතා බැලීම විද්‍යෝදය සම්මාන කමිටුවට අයත් කාර්යයක් නොවන බව මින් පෙනේ. එහි තේරුම කිසියම් කෘතියක් කුමන වර්ෂයකට අයත් වුවත් මුද්‍රණ වර්ෂය සඳහන් පිටුව පමණක් වෙනස් කර ඉදිරිපත් කරන්නේ නම් සම්මාන පිදීමට විද්‍යෝදය සම්මාන කමිටුව සැදී පැහැදී ඉන්නා බවයි. මෙවර ගීත සාහිත්‍ය කෘති සමීක්ෂණය කළේ ද ජනසන්නිවේදන විෂය පිළිබඳ කථිකාචාර්යවරියකි. පසුගිය වසරේ රාජ්‍ය සම්මාන ලැබූ කෘතියකට මෙවර විද්‍යෝදය සම්මානය ලබා දුන්නේ ඇයි දැයි ඇයගෙන් ද විමසූ විට ඇයද පැවසූවේ 2011 මුද්‍රණ වර්ෂය ලෙස කෘතියේ සඳහන්ව ඇති බැවින් සම්මාන දුන් බවයි. වඩා උත්ප‍්‍රාසාත්මක කරුණ වන්නේ එම කෘතිය 2010 වර්ෂයට අයත් ලෙස සළකා රාජ්‍ය සම්මාන දුන් අනු මණ්ඩලයේ සාමාජිකයකු , විද්‍යෝදය සම්මාන කමිටුවත් නියෝජනය කිරීමයි. අනෙක් කරුණ ගීත සමීක්ෂණයට සුදුසු අය සිටිය දී ජනසන්නිවේදනය විෂය කරගත් කථිකාචාර්යවරික් ලවා එම කෘතිය තේරීමයි. එය ද මගේ පුංචි රෝස මලේ... මමයි නුඹේ වියපත් බඹරා...යන ගීතයේ ම ජවනිකාවක් විය යුතුය.

ජාතික පුස්තකාල ප‍්‍රලේඛනාගාරයේ උසස් තනතුරක් දරන මහත්මයකුගෙන් ද (නම හෙළි නොකරන්නේ සදාචාරාත්මක නොවේ යැයි අප හඟින නිසා) මෙවැනි දෑ සිදු වීමට තිබෙන ඉඩ කඩ කෙසේදැයි විමසූ විට, ඔහු පැවසුවේ ඇතැම් ලේඛක ලේඛිකාවන් පහළ නිලධාරීන් සමඟ යහළු මිත‍්‍රකම් ඇති කරගෙන සම්මාන උළෙල සඳහාම දින වකවානු වෙනස් කර ගන්නා බවයි. තම දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීමට දෙමව්පියන් ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ආකාරයට මේ රටේ සාහිත්‍යකරුවන් ද පත් වී තිබීම ඉතා කණගාටුදායකය.

ගිය වසරේ රාජ්‍ය සම්මානය ලබා ගත් පසුත් මෙවර විද්‍යෝදය සම්මානය ලබා නොගෙන සිටීමට තරම් ධම්මික බණ්ඩාරගේ පුහුදුන් සිත ඉඩ නොදුන්න ද ප‍්‍රතිපත්තිමය හේතු මත ෂෝන් පෝල් සාත්‍රෙ නොබෙල් ත්‍යාගය පවා ප‍්‍රතික්ෂේප කළේ ය. එවිතරක් නොව මුහුදු ලිහිණි චිත‍්‍රපටයේ පසුබිම් සංගීතය වෙනුවෙන් තමාට ලැබුණු ජනාධිපති සම්මානය පවා තුන්වෙනි යාමය චිත‍්‍රපටයේ පසුබිම් සංගීතය කළ කේමදාස මාස්ටර් ට ලැබිය යුතු යැයි විශ්වාස කළ එච්.එම්. ජයවර්ධන නම් මිනිසෙක් මේ දූපතේ ද තවමත් වෙසෙන බව කිව යුතුය. ඒ කෙසේ වෙතත් නාසිවාදය පවා සාධාරණීකරණය කරමින් හිට්ලර් යටතේ විශ්වවිද්‍යාල කුලපතිකම භාර ගත් මාටින් හෙයිඩගර් වැනි දාර්ශනිකයන් ද සිටි බව අප අමතක කළ යුතු නැත.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මේ පොත නමින් මහින්දෙ තමයි ඉස්කෝලෙ වුවද එය හුදෙක් මහින්දීයයන්ට පමණක් රසවිඳින්නට ලියවුණක් නොවේ. හැට හැත්තෑව දශකවලදී පාසල් ගිය ලේඛකයාගේ අත්දැකීම් වන රසවත් සිදුවීම් සමුදායක් ගොනු කරතත් මෙය එකී පරම්පරාවට අයිති වන්නේද නැත. ඔබටත් ඔබේ පාසල ජීවිතයේ ආදරණීය ස්ථානයක් නම් මේ ස්මරණ කියවමින් ඔබේ අතීත සිහිවටන සොයන්නට පුළුවන. ඔබ පාසල් පේ‍්‍රමියෙක් නොවන්නේ නම් එසේ නොවීමට හේතුවද මේ පොත කියවීමෙන් අවබෝධ කරගත හැක."

- මහින්දෙ තමයි ඉස්කෝලෙ! [පෙරවදන]

ඉහත ජේදය සුන්දර නිහතමානී ද මැල් මහතා විසින් ලියනු ලැබූ "මහින්දෙ තමයි ඉස්කෝලෙ" කෘතියෙන් උපුටා ගැනු ලැබූවක් වුවත් මෙම සටහන එම කෘතිය පිළිබඳ අදහස් දැක්වීමක් වත් එම කෘතිය විවේචනය කිරීමක් වත් නොවේ. මහින්දීයයෙකු වීමේ අහම්බය සහිතව ලියනු ලබන නමුත් මෙම සටහන ද මහින්දීයයන් පමණක් අත් විඳි හෝ අත් විඳින සිදුවීමක් වන්නේ ද නැති අතර එය මෙම සටහන ලියන මගේ පරම්පරාව පමණක් මුහුණ දුන් අත්දැකීමක් පමණක් වන්නේ ද නැතැයි සිතමි. මෙම සටහන "මහින්දෙ තමයි ඉස්කෝලෙ" කෘතිය කියවන මොහොතේ මගේ සිත තුළ නැගි අතීත ස්මරණ ඇසුරින් සකස් කළ ලියවිල්ලක් මිස එම කෘතියට ඌන පූර්ණයක් සැපයීමක් ලෙසද සැලකිය නොහැකිය.

මීට වසර කිහිපයකට පෙර මා මහින්ද විද්‍යාලයට ඇතුළු වූයේ උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීම සඳහාය. උසස්පෙළ පන්තියට ඇතුලූ වූ නවක සිසුන් වන අපව පැරණි සිසුන් විසින් සුහදව පිළිගනු ලැබීය. කලා විෂය උගන්වනු ලැබූ ගුරුවරුන්ගෙන් මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ පස් හය දෙනෙකුගේ නම් හා රූපයන් පමණි. ඔවුන්ගෙන් 90%කටම අයත් වූ පොදු ලක්ෂණයක් පිළිබඳව මට අදින් සියවසකට පසුව වූවද මතකයට නඟා ගැනීමට අපහසු නොවේ යයි විශ්වාස කරමි.

ඒ සෑම ගුරුවරයෙකුටම තමන් පාසලේ දී උගන්වන විෂයට අදාල ටියුෂන් පන්තියක් ද තිබුණි. සති අන්තයේ දී හෝ සවස් කාලයේ දී ගාලූ නගරයේ පැවැත්වෙන මෙම ටියුෂන් පන්ති වලට සහභාගී වන ළමුන්ගෙන් වැඩි පිරිස මහින්දීයයෝම වූහ. අප පාසලට අලුතෙන් සම්බන්ධ වූ අය නිසා උසස් පෙළ පන්ති ආරම්භ වීමට පෙර සිටම අප සම්බන්ධ වී සිටියේ වෙනත් ටියුෂන් පන්ති වලටය.

අපේ දේශපාලන විද්‍යාව පිලිබඳ ගුරුවරයා පාසලේ දී පවා වැඩි වශයෙන් කතා බහ කලේ ටියුෂන් එකේ දී සිදු වූ සිදුවීම් අදාළ කරගනිමිනි. සමහර විට ටියුෂන් එකේ සිටි වෙනත් පාසල් වල ළමුන් ගැන ටියුෂන් එකට යන අප පාසලේ ළමුන් සමඟ කතා කළේය. ගුරුතුමාගේ ටියුෂන් පන්තිය ගැන දළ අවබෝධයක් එකල ඔහුගේ ටියුෂන් පන්තියට නොගිය අප කාගෙත් සිත් වල ගොඩනැගී තිබුණි. ඔහු සමහර විට අපට ඍජුව හා වක‍්‍රව ඔහුගේ පන්තියට එන්නැයි පවසයි. පාසලේ දී උගන්වන ගුරුතුමාගෙන් එම විෂයම ඉගෙන ගැනීමට මුදල් ගෙවා යන්නේ කුමකටදැයි පාසලට ඇතුල් වූ මුල් දින කිහිපයේ මගේ සිත තුළ වද දෙන ප‍්‍රශ්නයක් වූවත් මසක් දෙකක් ගතවන විට මම ඒ ස්වභාවය අවබෝධ කරගෙන හා ඊට අනුගත වී සිටියෙමි.

දිනක් එම ගුරුතුමා දේශපාලන විද්‍යාවට පන්ති යන්නේදැයි මගෙන් විමසා සිටියේය. ඒ පළමු වාර විභාගයෙන් අනතුරුව වන අතර ඒ වන විට විභාගයෙන් දේශපාලන විද්‍යාවට වැඩිම ලකුණු ලාභියා මම වීමි. මම යන පන්තිය ගැන ඔහුට කීවෙමි. "තමුසෙට හොඳ රෑන්ක් එකක් ගන්න ඕන නම් මගේ පන්තියට එනවා" යයි එදින ඔහු මට කියා සිටියේය. එසේ නොයෙක් අවස්ථා වල ඔහු විහිළු ස්වරූපයෙන් මෙන්ම ඇත්ත ස්වරූපයෙන් ද අපට ඔහුගේ ටියුෂන් එකට ආරාධනා කළ ද කුමන හේතුවකින් හෝ එය වැලකිණි. අනතුරුව වාර විභාග කිහිපයකදී මට ලකුණු අඩු වූ විට "ඒකනේ මම තමුසෙට කිව්වේ" යයි මට සරදම් ස්වරූපයෙන් පවසයි. දෙවන තෙවන වාර වන විට පාසලේ දී අපට විෂය ඉගැන්වීම සිමා වූ අතර උසස් පෙළ අධ්‍යාපනය යනු ටියුෂන් වලට පමණක් අදාළ කරුනක් බව සැවොම ඉබේටම වාගේ දැනගෙන සිටියෝය. එනිසා අප වාර විභාග වලට පවා පිළිතුරු සැපයූවේ ටියුෂන් පොතෙනි. (වාර විභාගයට එන ප‍්‍රශ්න ගැන හෝ ඊට සම්බන්ධ විෂයයන් ගුරුතුමා ටියුෂන් පන්තියේ දී උගන්වා ඇති බැවින් ඔහු එය සම්බන්ධ කරගෙන ප‍්‍රශ්න පත‍්‍ර සැකසුවේය. ඇතැම් විට එම විෂයයන් ඒ වන විට අපට අපේ ටියුෂන් වල උගන්වා තිබුණේ ද නැත. ටියුෂන් එකේ දී උගන්වා ඇති හෙයින් හා ගුරුතුමා බලාපොරොත්තු වන ස්වරූපයට පිළිතුරු සැපයීමට හුරුව සිටි ගුරුතුමාගේ ළමුන්ට බොහෝ විට වාර විභාගයේ දී ලකුණු වැඩි විය.)

තමාගේ ටියුෂන් පන්තියට සහභාගී වන ළමයි කෙරෙහි ගුරුතුමා විශේෂ සැලකිල්ලක් දැක්වූවාද එසේත් නැතිනම් නිතර දෙවේලේ ඔවුන් මුණ ගැසෙන බැවින් ගුරුතුමා අපට වඩා ඔවුන්ට ලෙන්ගතු වූවා දැයි මම නොදනිමි. කෙසේ වූවත් ඒ දිනවල ගුරුතුමා අපට වඩා ඔහුගේ ටියුෂන් එකට යන ළමයි සමඟ ‘ෆිට්’ වූයේය. ඔහුගේ අවධානය නොලබන අනෙක් අය ඉබේටම පැත්තකට වන්නේය.

භූගෝල විද්‍යාව ඉගැන්වූ ගුරුවරයා ද මෙසේ තමාගේ පන්තියට ළමයි සහභාගී කරවා ගැනීමට උනන්දු වූවෙකි. කෙලින්ම ආරාධනා නෙකරන ඔහු එය සිදු කලේ දේශපාලන ගුරුතුමාට වඩා නිර්දය ආකාරයෙනි. විවේක කාලවලදී අපට මුහුණට මුහුණ හමු වුවත් ඔහු අප හඳුනන බවක් වත් ඇඟෙව්වේ නැත. ඔහුගේ පන්තියට සහභාගී වන ළමයි සමඟ සුහද වන ඔහු ඔවුන්ට වාසි දායක වන ආකාරයට විනය සම්බන්ධව දඬුවම් දෙන ඇතැම් අවස්ථා වලදී කටයුතු කළේය. එය ඔහුගේ අතිශය දරුණු පිළිවෙතක් බව එකල අපට නොවැටහුණත් මේ ලියන මොහොත වන විට එය අපට පමණක් නොව නිදහස් අධ්‍යාපනයටම කළ කුහක කමක් යයි මට සිතේ. ඇත්තෙන්ම ඔහුගේ පන්තියට යන සිසුන්ට හා නොයන සිසුන්ට හිතාමතාම ඔහු සැලකූයේ දෙවිදියකිනි.

එකල බොහෝ ගුරුවරුන්ගේ ස්වභාවය වූයේ පාසලේ දී උගන්වන විට විෂය සම්බන්ධ කරුණු උඩින් පල්ලෙන් අතපතගෑමත් ටියුෂන් එකේ දී එය සවිස්තරාත්මකව හා ගැඹුරින් ඉගැන්වීමත්ය. මෙම සෙසු ගුරුවරුන් ද හොඳින් දැන සිටින්නට ඇති වුවද එකල එය අතිශය ස්වභාවික සිදුවීමක් පමණක් විය.



නිදහස් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් වෙන් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලීම් කරන විට ඒ පිළිබඳව මගේ ඇතුලාන්තයෙන්ම ප‍්‍රීති ඝෝෂා නැඟෙන අතරේම මෙම අතීත සිදුවීම් ද ඇනි ඇනී මා සිත රිදවීය. මෙවර මහින්දයෙන් උසස්පෙළ හැදෑරූ මල්ලී කෙනෙකුගෙන් තොරතුරු අසා දැනගත් පරිදි මා අත්විඳි ස්වරූපයෙන් තත්වය අංශුවක් හෝ වෙනස් වී නොමැති බව වැටහිණි. ගුරුවරු කිහිප දෙනෙක් අලුතින් සේවයට පැමිණ ඇතැයි පැවසුණ ද ඉපැරණි තත්වයන් වෙනසකට ලක් වී නොමැති බව ඔහු එක හෙළා පිළිගත්තේය. ඔහු දක්වනු ලැබූ කරුණු වලින් මගේ පැරණි මතකය ද වඩාත් පැහැදිලි ලෙස මා ඉදිරිපිට ගොඩනැගුණි.

"මහින්දෙ තමයි ඉස්කෝලෙ" පොත මෑතක දී කියවන්නට අතට ගත් මොහොතේ සිටම මගේ ඒ අතීත ස්මරණයන් තව තවත් අලූත් වී ඉදිරියට පැමිණිය ද මෙය හුදෙක් මහින්දය පිළිබඳ කතාව පමණක්ම නොවන බවද බොහෝ පාසල් වලට මෙය අදාළ වන බව මම විස්වාස කරමි. ඒ බව මගේ මිතුරියක් ද මෑතක දී මා හට පැවසීය. මෙය ලංකාවේ නාගරික උසස් පාසල් වලට ආවේණික පොදු ලක්ෂණයක් දැයි මම නොදනිමි. ග‍්‍රාමීය පාසල් වලින් අපහසුතා මධ්‍යයේ ඉගෙනගෙන ඉහළින් විභාගය සමත්වී කෙසේ හෝ නාගරික පාසල්වලට රිංගා ගැනීමට සිහින දුටු අපට නම් එකල එය අතිශය අමිහිරි හා පීඩාකාරී අත්දැකීමක් ලෙස දැනෙන්නට විය. මෙම සටහන මගේ අතීත මතකයන් ආශ‍්‍රය කරගෙන ලියන්නට උත්සාහ කළේ ආදි මහින්දීයයකු ලෙස ඇතිවන කැක්කුමටත් වඩා හදවතේ රැව්දෙන නිදහස් අධ්‍යාපනය පිළිබඳ කැක්කුම පෙරදැරි කරගෙනය. නිදහස් අධ්‍යාපනය ගැන අන් කවරදාකටත් වඩා සාකච්ජා වන මේ මොහොතේ මගේ මතකයේ නිදන්ව තිබු මෙම සිදුවීම ද කිසිදා විචාර ලිපි ලියන්නට නොපෙළඹෙන මා අතින් ලියවුණේ මෙකල අධ්‍යාපනය පිළිබද කතිකාව ද මට අවිඥාණිකව බලපෑම් කර ඇති නිසාදෝයි මම නොදනිමි.

ධම්මික ප්‍රසාද් තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බඳින්න සාජහන්ව
ප්‍රේමයේ තුංග තුරේ අග්‍ර ඵලේ නෙලාගන්න
ඊළඟ ටජ් මහලේ - රං යහනේ
රජෙක් එක්ක නිදි වදින්න
අපි යනවා අම්මෙ ඔන්න

වැතිරෙන පැදුරු - සේද පලස් වෙලා
නැගී සදෙව් විමන් බලා
ගොසින් අඳුන් පියර ගගා
සුරයන් මන බන්ඳන පුසුඹ නගා
තන පට - මිණි එබ්බුව දුහුල් සේල කිරුළු මුදා
කුමරුන් සතප්පවන රූප රාග බිසව් වෙන්න
අපි යනවා අම්මෙ ඔන්න

ඉපදී දීන ලෙසින් හීන කුලේ ලැයිං ගේක
දැඩිවී කුසගින්නේ දැඩි හිංසා දුකින් නේක
පාස්ව එස් එස් සී පැක්ටරියක නහින දාක
අප වන් කෙට්ටු ලියන් දැක්ක හීනයක්ය මේක

පයිප්ප අසල පාන්දරට නාන
පරිප්පු එක්ක පාන් උදේට කන
පයින්ම හැතැප්ම දෙක වැඩට දුවන
පව් කළ කෙල්ලො අපියි අම්මෙ ඔන්න

එනමුත් කුණු මුල්ලෙන් පින නැගිටින
සෙනසුරු අපලෙ ගෙවෙන
ගතේ වතේ කළුව මැකෙන
අත මිට රිදී කාසි - වළළු ලෙලෙන
දවසක් ළඟදි ඒවි සැකක් නැතුව

බඳින්න සාජහන්ව
ප්‍රේමයේ තුංග තුරේ අග්‍ර ඵලේ නෙලාගන්න
දුහුල් සේල කිරුළු මුදන
රූප රාග බිසව් වෙන්න
වරමක් ලැබෙයි අපට

එදාට යන්න දෙන්න
අම්මෙ ඔන්න

[‘යටි වියන’- 2007]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රංජිත් පෙරේරා ලියන ලද මෙම චිත්‍රපට විචාරය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ, සිනමා සංස්කෘති කාර්යාංශය මගින් නිකුත් කළ, චිත්‍රපට සඟරාවේ, 2012 ජනවාරි-අප්‍රේල් කලාපයේ පළ විය. පසුව එකී කලාපය තහනම් කොට පිටපත් සියල්ලම විනාශ කරන ලද අතර, මෙම ලිපිය අඩංගු සඟරාවේ ඡායා පිටපත් අපට යොමු කරන ලද සහෝදරයාට අනුව, තහනමට හේතුව මෙම ලිපියයි.
-බූන්දි වැ.දෙ.

"කුස-පබා නැරඹුවෙමි" ලිපිය කියවන්න මෙතනින් යන්න.


රංජිත් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉර විඳිමි
නිල් ඉරි කමිස තුළ
පරණයි නම් තමයි
එහෙත් ඉරිදා ඉර
මේවා නැවුම් කර ඇත

දිවා කෙටි නින්දට පසු
කාලය මිදෙයි හෙමිහිට
විඳ ඉරේ සුසුවඳ
මැද නමමි නිල් ඉරි කමිස

සොයමි මම තවමත්
ඔබෙන් ලද කමිසය මෙන්
වෙනත් නිල් ඉරි කමිස
සුදු පසුබිමෙහි
ඇද නැති සිහින් නිල් ඉරි ඇති

මධු බඳුනක් සමඟ
හිඳගනිමි සඳ මත
පෙනේ දුර ඈතින්
මල් පිපෙන, නිල් දළු ලන
මහ පොළොව

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජර්මනිය පුරා ප්‍රචලිත වෙලා තිබ්බ නාසි විරෝධී විහිළු කතා එහෙන් මෙහෙන් ඇහිලා, සර්වලෝක බලධාරී අධිරාජයා- හිට්ලර් උන්නෙ මල් වරුසාවක් පැනලා. ගෙස්ටපෝවෙ ඉන්න නොම්මර එකේ ඔත්තුකාරයව ගෙන්නලා නියෝග කෙරුවා පල ගිහින් මොන ලෝකෙන් හරි මේ බලු විහිළු කතා ගොතන එකාව අල්ලගෙන වර කියලා.

මිනිහා හැරෙන තැපෑලෙන් බඩු කුදලගෙන ආවා. ජෝකර් ඇවිල්ලා, වොන් ගෝල්ඩ්බ්ලූම් කියලා යුදෙව්වෙක්.

හිට්ලර් මාරාවේශෙන් ජෝකර්ට කඩන් පැන්නා.
"අර මට වැඩේට කලින් යනවයි කියන වනචර විහිළුව ගෙතුවෙ තෝ ද?"
"ඔව්. මමයි." ගෝල්ඩ්බ්ලූම් නිහතමානීව පිළිගත්තා.
"එතකොට, මගෙ අප්ප ඌරෙක් කියන ජඩ විහිළුව ගෙතුවෙ තෝ ද?
"ඔව්. ඒත් මමම තමයි."
"එතකොට, මං මළ දවසට ඒක යුදෙවු නිවාඩු දවසක් වෙනව කියන පාහර විහිළුව? ඒකත් තෝද?"
"එහෙමයි. මම තමයි" ගෝල්ඩ්බ්ලූම් බිම බලාගෙන සන්සුන් හඬින් කිවුවා.

"එතකොට, යුදෙව් ඌරෝ.....," හිට්ලර් යටි ගිරියෙන් කෑ ගැහුවා. (කවුරුත් දන්නවානෙ ඉතිං ඒකාධිපතියන්ට ඉවසීමක් නෑ කියලා...) "තෝ දන්නවද, මම තව අවුරුදු දහස් ගානක් යන තුරු කීර්ති කදම්බයෙන් දිදුලන- ශ්‍රේෂ්ඨ ජර්මානු ආර්ය අධිරාජ්‍යයේ- ශ්‍රේෂ්ඨ අධිරාජයා බව? පිරිසිදු ආර්ය ජාතියේ ආඩම්බරකාර පියා බව?"

"හඃ හඃ හා" ගෝල්ඩ්බ්ලූම් යටි උගුරෙන් සද්දයක් දාල මිනිහගෙ සරුවාංගෙම සලිත කර කර කර හිනාවෙන්ඩ පටන් ගත්තා. "උතුමාණෙනි, ඒක නං පට්ටම ජෝක් එක- හැබැයි ඕං මං නං නෙමේ ඒක ගෙතුවේ. ඒක මං ඇහුවෙත් අදයි."

ආදර්ශය-
හිට්ලර් චිර ජීවනයේ රහස හෙවත් කුරහන් තලප ගැන අඳෝසංසාරයක් දැන හිටියේ නැත.


ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(13 අහෝසි කළ යුතු බව ආ.ලේ. කියයි.)

13ත් වානා
දුන්නු ඩිංගත් ගන්ඩ ඕනා
යන ගමන පේනා
"ලේ."ට ලේ විතරමද ඕනා?

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තුප්පහියා යන්නෙහි සිංහල නිරුක්තිය මා නොදන්නා මුත් හිපියාත්(hippie) තුප්පහියාත් සංස්කෘතිකාර්ථයෙන් සමාන කරන වරනැගීම් ‍බෙහෙවින්ම ඒකමානී ඒවා. ඔවුන් අප්පිරියා සහගත ප්‍රතික්ෂේප කළ යුතු නන්නත්තාරේ යන අසික්කිත පිරිසක්. එබැවින් ලංකාවේ අර්ථයෙන් දෙමාපියන්ට අකීකරු, චාරයක් නැති ඇඳුම් අඳින, ගංජ ගහන, තැනක් නොතැනක් නැති, වැටෙන තැනක බුදියගන්නා ජාතියේ කිසි බරප්පතලක් නැති 'කාලකණ්ණි' පිරිස් හිපියෝ යන්නෙහි හැඟවුම බව පැහැදිලියි. එහෙත් මේ නොගැඹුරු නිගමනාත්මක කියවීම් වලට යටින් හිපි ව්‍යාපාරය (hippie movement) වැදගත් කියවීම් සපයන ඓතිහාසික මොහොතක්. මෙම තරුණ ව්‍යාපාරය ගැන සවිස්තරාත්මකව ලිවීමට මෙවැනි ලිපියක අසමත්කම් දන්නා මා උත්සාහ කරන්නේ හිපි සංස්කෘතික විලාසිතාවන්ගේ යටි පෙළ තරමක් හාරා අවුස්සන්නටයි. ඒ සඳහා 'හිපියන්' කියූ පමණින්ම ඇතිවන අර්ථ විසංයෝජනය කරනු පිණිස ඔවුන්ගේ දාර්ශනික හරයන් වෙත ලිපියේ මුල් කොටස ඉලක්ක කරනවා.

හිපි හිතීම් හා භාවිතා

මූලික වශයෙන් හිපි සම්ප්‍රදාය 1960-70 දශකවල ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ නගරය කේන්ද්‍ර කොටගෙන තරුණ ව්‍යාපාරයක් ලෙස පැන නැගී බටහිර රටවල් මතු නො‍ව ලෝකය පුරාම ව්‍යාප්ත වූවක්. විප්ලවීය තරුණ ජවයක් සමග බටහිර සමාජය රොද බැඳ ගත් මේ නිදහස් මතධාරී අවකාශය ඕපපාතිකව හටගත්තක් නොව ඊට පෙර බටහිර සමාජයේ ව්‍යාප්තව පැවති ඇතැම් සංස්කෘතීන්ගේ ආභාසයෙනුත් සමාජ ව්‍යාපාරයන්ගේ ආලෝකය ලබමිනුත් වර්ධනය වූවක්. ෆෝබියන්, බොහීමියන්, බීට් ජෙනරේෂන් ඉන් සමහරක්. එමෙන්ම හරිත ව්‍යාපාරය, ශාමන්වාදය, ශාකභෝජකවාදය වැනි දාර්ශනිකාලෝකය ලැබූ ව්‍යාපාර වෙතින් ඔවුන් පෝෂණය වුණා. ජේසුස් වහන්සේ, බුදු හාමුදුරුවෝ, හෙන්රි ඩේඩිඩ් තෝරියෝ, ගාන්ධි වැන්නන් හිපි දර්ශනයට විවිධාකාරයෙන් බලපෑ අය.


Hippies From A to Z: Their Sex, Drugs, Music and Impact on Society From the Sixties to the Present(1994) නමැති කෘතියේදී ස්කිප් ස්ටෝන් හිපි ව්‍යාපාරය ගැන ගැඹුරින් අධ්‍යයනය කරනවා. " හිපියෙක් විදිහට ජීවත්වීම, පංතියක්- ආගමක් හෝ ජාතියක්- රාජ්‍යයක් හැටියට සංස්ථාපනය වූ ඕනෑම ව්‍යුහයක් තුළ ඇති සමාජීය, දේශපාලන හෝ සදාචාර සම්මතයන් ඉක්මවා යන විශ්වීය විශ්වාස පද්ධතියක් පිළිගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා. මේ සියලූම බලාධිකාරී ආයතන වලට ඔවුන්ගේම න්‍යාය පත්‍රයක් තියෙනවා මිනිස්සු පාලනය කරන්නට සහ යටත්කරල තියාගන්නට. එම අධිකාරයන්ට සැබෑ හෝ පරිකල්පිත සතුරෙකුගෙන් යම් තර්ජනයක් එල්ල වන විට ඒවාට මුහුණ දීමේ දෘශ්ටිවාදීමය හා මර්ධනීයමය බලය මගින් ස්වයං ආරක්ෂාව සළසා ගැනීමේ හැකියාව තියෙනවා. රටකට එරෙහිව රටක්- ආගමකට එරෙහිව ආගමක්- පංතියකට එරෙහිව පංතියක් ආදී ලෙස ඉතිහාසයේ නිම ‍නොවන යුද්ධ සහ අරගල වලින්, ගණන් කළ නොහැකි මිලියන ගණනක් මිනිසුන් වේදනා විඳි සහස්‍රයකට පසුව පැමිණි මේ අවදියේ පවා සුළු අවදිවීම් හැරෙන්නට එවැනි සංස්ථාපිත සමාජ ව්‍යුහ වල තීරණාත්මක වෙනසක් වෙලා නැති බව අපි දකිනවා. සියලූම අවරෝධනාත්මක(මිනිසුන් මැඩ පවත්වන) ධුරාවලිගත ව්‍යුහයන්ට හිපි ජීවන ක්‍රමය ප්‍රතිවිරුද්ධයි. එම පීඩාකාරී ව්‍යුහ විසින් නිදහස, ආදරය, සාමය යන සියල්ල කැබලි කර දමනවා. හිපි ජීවන විලාසයේ ඉලක්ක වෙන්නේ මේවා. ඒ කියන්නෙ නිදහස, ආදරය සහ සාමය. මේ නිසා තමයි හැට ගණන් වලදී පාලන සංස්ථා හිපි ව්‍යාපාරයට බිය උනේ සහ මර්ධනය කළේ එම ව්‍යාපාරය පාලන තන්ත්‍රයේ නියාමයන්ට එරෙහිව කරන විප්ලවයක් විදිහට අර්ථදක්වමින්." (මේ ලිපිය ලිවීමේ දී මා ණයට ගන්නේ ස්ටෝන්ගේ අදහස්ය.)

ස්කිප් ස්ටෝන් කියන විදිහට ඔබ හිපියෙක් වෙන්නට නම් ආගමික හා අනෙකුත් දෘශ්ටිවාද අතර වෙනස්කම් නිසා ඇතිවන ගැටුම් බේරුම්කරණ විදි ක්‍රමයක් විදිහට අනිවාර්යෙන්ම 'සාමය' විශ්වාස කළ යුතුයි. ආදරය සහ ඉවසීම තමයි සාමයට මග. ආදරය අර්ථවත් කරනවා අනෙකා පිළිගැනීම සහ ඔවුන්ගේ නිදහස. ඔවුන් විනිශ්චය කරන්නෙ නැහැ ඔවුන්ගෙ පෙනුම පදනම් කරගෙන. මේ තමයි හිපි දර්ශනයේ සාරය ස්ටෝන්ට අනුව. හිපි ජීවන ක්‍රමයේ අත්‍යුත්කෘෂ්ට සදාචාරය තමයි නිදහස. ඒ වගේම හිපියන් කියා සිටින මේ 'කිසි අඩුපාඩුවක් නැති' නිදහස තමයි බලයේ සමානාත්මතාව පාලනය කරන- සීමා කරන- මර්දනය කරන ඕනෑම ක්‍රමයකට ඇති බරපතලම තර්ජනය.


හිපියෝ විකල්ප ව්‍යාපාරයන් සහ ජීවන විලාසයන් ගණනාවකට පුරෝගාමී උනා. දිග කොණ්ඩා වැවීම, සම්මතය තුළ අපිළිවෙල දීප්තිමත් වර්ණ සහිත ඇඳුම් පැළඳුම් විලාසිතා, තහනම් මත්ද්‍රව්‍ය භාවිතය(විශේෂයෙන්ම මනෝභ්‍රාන්තික අත්දැකීම් උපදවන) මෙන්ම දේපළ පොදුවේ බුක්ති විඳිමින් සාමුහිකව ජීවත්වීම ඉන් ප්‍රධාන විලාසයන්. විශේෂයෙන්ම හැට ගණන්වල මේ ව්‍යාපාරයට සම්බන්ධ වූ බහුතරය බටහිර මධ්‍යම පාංතික සැප පහසු ජීවිතය සහ අධිපති සංස්කෘතියත් ප්‍රධාන ධාරාවේ සංගීතය ඇතුලු කලාවන් ප්‍රතික්ෂේප කරමින් පොදු ජීවිතයකට ඇතුලත් වී නිදහස සොයා යන්නට තමන්ගේ ඇඳුමේ පැළඳුමේ සිට කලාව ඇතුලු සියලුම ප්‍රකාශනයන් පාවිච්චි කළ අය. එමෙන්ම හිපියන් තමන්ගේ ප්‍රකාශනයන් මගින් උත්සාහ කළේ අනාගත පරපුර සහ අපේ පෘථිවිය වෙනුවෙන් සියලුදෙනාගේම යහපත් අපේක්ෂාවන් දැල්වීමට. ස්කිප් ස්ටෝන් විස්තර කරන හැටියට 'හිපි දර්ශනයේ සාරයෙන් එන වසන්තය' නම් වූ අනෙකුත් විශ්වාස තමයි 'මහන්තත්වයෙන් තොර ආධ්‍යාත්මිකතාව', 'පෘථිවියට පණ ඇති බව විශ්වාස කිරීම' වගේ දේවල්. ඔවුන්ගේ මේ දාර්ශනික සාරයන් හරිත ව්‍යාපාරය, ශාමන්වාදය, ශාකභෝජකවාදය වැනි සම්ප්‍රදායන්ගෙන් හැඩවුණ ඒවා. මෙවැනි දාර්ශනික සහ දේශපාලන දෘශ්ටීන් සොබා දහම සහ ලෝකය සමස්තයක් ලෙස සළකමින් ආදරය කරනවා. ගෞරව කරනවා. ධනවාදයේ සහ අපේ භෞතිකවාදී සමාජයේ යම් යම් සිදුරු සහ කුහකකම් වලට එරෙහිව සිතන්නට මේ දෘශ්ටීන් අපිව තල්ලු කරනවා. හිපි ක්‍රමය යුක්තිසහගත කරමින් ස්ටෝන් ලෝකයේ ආරක්ෂා වළලු දමාගෙන ඉන්න ක්‍රම සහ සාම්ප්‍රදායික ව්‍යුහයන්ට අනතුරු අඟවන්නට සහ විකල්ප පෙන්වා දෙන්නට හිපියන්ගේ අවශ්‍යතාව අවධාරණය කරනවා. ඔහු කියන්නේ අපේ ඉලක්කය ලෝකයේ හැමදෙනාම හිපියෙක් කිරීම නොවන බවත් අපට තියෙන්නේ මේ සම්මත ක්‍රමයට විරෝධාකල්පයක් බවත් යනුවෙන්. "සත්තකින්ම අපට පුලුවන් හිපි ජීවන විදිහේ සදාචාරයන් උගන්නමින් සහ ඉවසීම- ආදරය වැනි දේ හුරු කරමින් අනෙක් අයට මේ ආභාෂය ලබා දෙන්නට.."ස්ටෝන් කියනවා.

සංස්කෘතික කැරැලි- නිදර්ශන ලෙස හිපි සංදර්ශන

ඉහතදී මතුපිටින් විස්තර කළ හිපි දාර්ශනික සාරයන් ඔවුන්ගේ පුද්ගල හා සමාජ භාවිතාවන් ආශ්‍රයෙන් විග්‍රහකිරීම සෑහෙන සංකීර්ණ කටයුත්තක්. සමහරු, මිනිස්සු අඳින පළඳින සහ හැසිරීමේ වෙනස් හා සුවිශේෂී වූ ජීවන විලාසිතාවක් හැටියට හිපියන් අර්ථ දක්වන ගමන් තවත් අය කියන්නේ තහනම් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන, රොක් ඇන්ඩ් රෝල් සංගීතය විඳින හෝ විප්ලවීය දේශපාලන දැක්මක් ඇති අය කියලා. ශබ්දකෝෂ අර්ථ දක්වන්නෙ සමාජයේ පවතින තත්වයන් අනුමත නොකරන සහ නිදහස් ජීවන විලාසයක් සොයා යන පිරිසක් විදිහට. පොදුවේ මේ නිගමනයන්ට එන්නට බලපෑ හිපි ව්‍යාපාරය ජනතාගත වුණු ඓතිහාසික මොහොතවල් රාශියක් හමු වෙනවා. මේ ලිපියේ මුල් කොටසේදී විස්තර කළ හිපි හිතීම් ඔවුන් ප්‍රායෝගිකත්වයට නැංවූයේ කෙසේද යන ප්‍රශ්නයටත් පිළිතුරු සෙවිය යුත්තේ මේ ඓතිහාසික සිදුවීම් ඔස්සේ යමින්.

Acid Tests

භ්‍රාන්ත මත් ද්‍රව්‍ය මගින් මනසේ අවදිබව ඇති කරන(psychedelic drugs) අත්දැකීම් හිපි ව්‍යාපාරයට ඉතාම තදින් බැඳී තිබෙන්නක්. ඇමෙරිකානු ලේඛක කෙන් කෙසී(Ken Kesey) මේ භ්‍රාන්ත කාරක මත්ද්‍රව්‍ය ගැන පර්යේෂණ කළ පුද්ගලයෙක්. ඔහු විශ්වාස කළා ලෝකය සම්පූර්ණයෙන්ම වෙනත් එකක් බවට රූපාන්තරණය කරන්නට එනම් 'නිදහස් ලෝකයක්' බවට පරිවර්තනය කරන්නට මේ මත් ද්‍රව්‍ය භාවිතය හොඳම මාර්ගයක් බව. ලෝකයේ ජනගහනයෙන් සෑහෙන ප්‍රතිශතයකට මේ මනෝභ්‍රාන්තික මත් අත්දැකීමට හුරු කළොත් විප්ලවීය සමාජ දේශපාලනික වෙනස්කම් ඇතිවන බව ඔහු හිතුවා. ඒ නිසා ඔහු තවත් අය සමග එකතුව LSD නමැති මත් ද්‍රව්‍ය සාදමින් කැමති ඕනෑම කෙනෙකුට එම අත්දැකීමට සම්බන්ධ විය හැකි අවස්ථා නිර්මාණය කරන්නට උත්සාහ කළා විශේෂයෙන්ම සංගීතමය උත්සව කේන්ද්‍ර කොටගෙන. මේ අත්හදාබැලීම් කැලිෆෝනියාවේ බොහෝ ස්ථාන වල පැවැත්වුවා. ඇතැම්විට ඔවුන් දැන්වීම් පළ කළා වීදි වල "Can you pass the acid test?" . LSD(lysergic acid diethylamide) පළමු අත්හදා බැලීම කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝහි(Palo Alto) දී 1965 නොවැම්බර් මාසයේදී සිදු කළා. මේ අවස්ථාවන්ට තරුණ සංගීත කණ්ඩායම් සහභාගී වී හිපි ව්‍යාපාරයේ අලුත් සංගීතමය පිටුවක් ආරම්භ කළා. 1966 ඔක්තොම්බර් 6 තෙක් LSD නීතියෙන් තහනම් කරල තිබුණෙ නැහැ.

Red dog experience


මේ 'රතු බල්ලා සැලූනය' හෙවත් රෙඩ් ඩෝග් සැලූන් නැවාඩාහි වර්ජිනියා නගරයේ හුදකලාව පිහිටා තිබුණු බීම හලක් සහ සංගීතමය අවකාශයක්. කැන්ඩ්ලර් ලොෆින්(Chandler Laughin) ගේ මූලිකත්වයෙන් 1963 අප්‍රෙල් මාසයේදී ගෝත්‍රික සම්ප්‍රදායක් පිහිටුවා ගනිමින් 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් යුතුව 'පියෝටේ' මංගල්‍යය වැනි රෑ පුරා නටමින් විනෝද වෙන උත්සවයක් පැවැත්වුවා. විශේෂයෙන්ම මෙම උත්සවය මනෝභ්‍රමික(psychedelic) මත්ද්‍රව්‍ය මෙන්ම ස්වදේශික ඇමෙරිකානුවන්ගේ ආධ්‍යාත්මික පුරුෂාර්ථ හා වටිනාකම් සමග බද්ධ වූවක්. 1965 ගිම්හාන කාලය අතරතුර ලොෆින් මේ අත්දැකීම පුළුල් කරමින් ජන සංගීතයේ විශිෂ්ට සංයෝගයන් හා රොක් සංගීතය ඇසුරින් තමන්ගේ ගෝත්‍රිකයන් සමග 'රෙඩ් ඩෝග් එක්ස්පීරියන්ස්' බවට පත් වූ දෙය නිර්මාණය කළා. මත් ද්‍රව්‍ය පාවිච්චි කරමින් විනෝද වීම(මනෝ භ්‍රාන්ති) , සංගීතයේ අද්විතීය සංවේදනයන් වෙත ළඟා වීම අතරේ ඉදිරිපත්කරන්නන් සහ ප්‍රේක්ෂකයන් අතරේ පැහැදිලි නිරූපණාත්මක වෙනස්කම් තිබුණෙ නැහැ. බිල් හැම්ගෙ පළමු මූලික ආලෝක ප්‍රදර්ශනමය නව අත්දැකීමට සම්බන්ධ වන්නට මේ ප්‍රජාවට හැකි උනා. (LSD වැනි මනෝභ්‍රාන්තික මත් ද්‍රව්‍ය හා මේ වෙවර්ණ ආලෝකය අතර සුවිශේෂි නෑකමක් තියෙනව. එමගින් මිනිස් සංවේදනයන් තීව්‍ර සහ නිර්මාණාත්මකව අවදි වන බවට සැළකෙනව.) හිපි ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ රෙඩ් ඩෝග් අත්දැකීම තීරණාත්මක එකක්.

Anti-war protests

1960 දශකයේ මුල් පරිච්ඡේදයේ ඇමෙරිකානු මිලිටරිමය ඇලලීමට විරුද්ධව පෙනී සිටිමින් රට හරහා පෙළපාලි යමින් සත්‍යග්‍රහ කරමින් දකුණේ බෙදීම් වලට විරුද්ධව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (civil rights movement) ක්‍රියාත්මක උනා හිපියන් බොහෝ පිරිසකගේ දායකත්වයෙන්. මෙය ඉදිරියට ගෙන ගිය ව්‍යාපාරයක් දක්වා පසුවට වර්ධනය වෙනවා.


Generation

මෙය ඇමෙරිකානු නාට්‍ය රචක විලියම් ගුඩ්හාට් ගේ නාට්‍යයකි. 1965 ඔක්තෝබර් 6 'ස්වභාවික ප්‍රසවය' (natural childbirth) වැනි නව 'හිපි' සාරමය වටිනාකම් උපයෝගි කොට ගනිමින් මුල් 'බ්‍රෝඩ්වේ' නාට්‍ය පෙනුමින් ප්‍රදර්ශනය කළ විචාරයට බඳුන් වූ හිපි ව්‍යාපාරය සම්බන්ධයෙන් සෑහෙන කතිකාවක් ඇති කළ ප්‍රථම නාට්‍යයි.

Underground press

විප්ලවීය සමාජ ව්‍යාපාර වල අදහස් ජනතාගත කිරීමේ මූලික උපකරණයක් හැටියට පුවත්පත ඓතිහාසිකව විශාල කාර්යයක් සිදු කරල තියෙව. විශේෂයෙන්ම තත් ක්‍රමයට අභියෝග කරන මෙවැනි ව්‍යාපාර වල ප්‍රචාරණ යාන්ත්‍රණය බොහෝවිට සිදුවන්නේ රහසිනි. හිපි ව්‍යාපාරයේ නැගිටීම සම්බන්ධයෙන්ද මේ රහස් පුවත්පත් කටයුතු ඇමෙරිකානු නගර කිහිපයකම පැතිරී යාම වැදගත් සංඥාවකි. 1964 මැයි මාසයේදී Los Angeles Free press ආරම්භ කිරීම මෙහි පළමු පියවර ලෙස සැළකේ. මේ ආරම්භයත් සමග ඇමෙරිකාවේ නගර පුරා විවිධ පුවත්පත් හිපි ව්‍යාපාරය සම්බන්ධයෙන් රහසිගතව ක්‍රියාත්මක උනා.

Trips festival

Stewart Band, Ken Kesey, Owsley Stanley, Zach Stwart ඇතුළු පිරිසක් මනෝභ්‍රමික මත්ද්‍රව්‍ය සහ සංගීතමය පරිසරයක් නිර්මාණය කරමින් 1966 ජනවාරි 21-23 සංවිධානය කළ මේ අවස්ථාවට මිනිස්සු දහස් ගණනාවක් සහභාගි උනා. Big brother and holding company වේදිකාවේ එකට එකතුවී 6000ක පමණ පිරිස් සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව LSD සමඟ මුසු වූ ප්‍රථම දියුණු ආලෝක ප්‍රදර්ශනය සේ සැළකෙනවා.


Summer of love

'ආදරයේ ගිම්හානය' 1967 ගිම්හාන කාලයේදී සැන් ප්‍රැන්සිස්කෝ නගරය අසළ හයිට්- ඈෂ්බරි ප්‍රදේශයේ මිනිසුන් ලක්ෂයකට අධික පිරිසක් දේශපාලන සහ සංස්කෘතික විතැන්වීමක් අපේක්ෂාවෙන් එකට එක්වූ ආශ්චර්යාත්මක මොහොතක්. 'ආදරයේ ගිම්හානය' යන්නෙහි මෙතැන අර්ථය ආදරයේ වියලුණු බවක් හෝ හිඟකමක් ඉඟි කරන්නක් නොව ආදරයෙන් තෙත් වුණු ගිම්හාන කාලය කියන එක. නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, වොශිංටන්, චිකාගෝ, මියාමි, ටොරොන්ටෝ ඇතුලු තවල් යුරෝපා රටවල් ගණනාවක නගර වැසියන් මේ අවස්ථාවට සහභාගී උනා. සැන් ප්‍රැන්සිස්කෝ තමයි හිපි විප්ලවයේ කේන්ද්‍රය. මේ ඓතිහාසික මොහොත කේන්ද්‍රයේ සිට ලෝකය පුරා හිපි ආලෝකය විහිදෙන්නට ප්‍රබල දායකත්වයක් සැපයුවා. මනස පුබුදුවන මත් ද්‍රව්‍ය සංගීතයේ මුසුකිරීම, නිදහස් ලිංගිකත්වය, නිර්මාණාත්මක අදහස් ප්‍රකාශනය සහ දේශපාලනයේ නිදහස මෙහි මූලික පරමාර්ථ උනා. විශේෂයෙන්ම මේ හිපි උත්සව පාලනයෙන් සහ ව්‍යුහමය හිංසනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. හිපි පරම්පරාව 'කිසි අඩුපාඩුවක් නැති නිදහස' කියන්නෙ ඒකට. තරුණ මිනිසුන්ගේ මේ අපූරු එකතුවීම නිරන්තරයෙන් ඉලක්ක කළේ විකල්ප ජීවන විලාසයන් පිළිබඳ සමාජ පර්යේෂණයක්. විශේෂයෙන්ම ඔවුන් ප්‍රායෝගිකත්වයට නංවමින් යෝජනා කරන මේ ජීවන විලාසිතාව 'සහයෝගීතා ජීවන ක්‍රමයක්. ' ආගන්තුක හා බාහිර පුද්ගලයන් (අනෙකා ) සමග සියලු සම්පත් (ආහාර, මත් ද්‍රව්‍ය, වෛද්‍ය ප්‍රතිකාර - බෙහෙත් ඇතුලු සියල්ල) නිදහසේ සහ සහයෝගීත්වයෙන් බෙදාගනිමින් නිදහසේ ආදරය කරන අවකාශයක් මේ තුළ හිපියන් නිර්මාණය කර ගත්තා.


'ආදරයේ ගිම්හානය'(summer of love) ශබ්දකෝෂයට පවා ඇතුලත් කරල තියෙනවා 1960 මේ මොහොත සිහිගන්වමින් හිපි ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරයේ මහජන පිබිදීමක් හැටියට අර්ථ දක්වන වැකිකඩක්(phrase) විදිහට.

Woodstock festival

'වුඩ්ස්ටොක් සංගීත සහ කලා පොළ' 1969 අගෝස්තු 15-18 පුරා පැවැත්වුණු දැවැන්ත 'හිපි' කටයුත්තක්. යුගයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හා කලාකරුවන් විශාල පිරිසකගේ ප්‍රාසංගික දායකත්වයෙන් දිනගණනාවක් පුරා පැවැත්වුණු මෙය rock and roll ඇතුලු ජනප්‍රිය සංගීත ඉතිහාසය වෙනස් කළ ඓතිහාසික මොහොතක් ලෙස සැළකෙනවා. 1970දී මෙම උත්සවයේ කැමරා රූප පාවිච්චි කරමින් Michael Waldeigh වාර්තා චිත්‍රපටයක් නිපදවලා තියෙනවා. ශබ්දකෝෂයට 'woodstock generation' එකතු වෙන්නෙ මේ සමග.

මේ ලිපියේදී හිපි ව්‍යාපාරයට අදාළ වැදගත් අවස්ථා කිහිපයක් පමණක් නාම මාත්‍රිකව හැඳින්වුවද මෙම ව්‍යාපාරයේ ඉතිහාසය සෑහෙන ප්‍රදේශයක් පුරා පැතිරුණු පුළුල් අවකාශයකි. නිදහසේ ආදරය කිරීම, පාලනාධිකාරීන්ට හා ඒකාධිපතිත්වයට විරුද්ධවීම, සරල හා සැහැල්ලු ජීවන ක්‍රමයක්, පරිසර හිතකාමීත්වය, අවිහිංසාවාදී බව, පොදුවේ දේපළ බුක්ති විඳීම, ප්‍රතිසංස්කෘතිකවත් බව, ශාකභෝජක වීම වැනි ප්‍රධාන කාරණා තම ජීවන රිද්මය කරගත් 'හිපියන්' ගේ ආභාෂය අද ද අපේ රටේ පවා දකින්නට ලැබේ. විශේෂයෙන්ම ලංකාවේ නූතනම තරුණ පරපුරේ ඇතැම් පිරිස් පවා හිපි ජීවන විලාසිතා අනුගමනය කරනව. විශේෂයෙන්ම කොණ්ඩා වැවීම්, ටී ෂර්ට් සහ ජීන්ස්, ටැටූ කෙටීම්, කරාඹු දැමීම් ආදී වූ හිපියන් වීමේ පෘෂ්ටීය උවමනාවන් මේ අය පිළිපදිනවා. ඔවුන් 'හිපියන්' ලෙස සමාජය විසින් ගර්හාවට ලක් කරන අයුරුත් එම ගැරැහීම් ආභරණයක් ලෙස සළකන තරුණයනුත් මට හමු වී තිබෙනවා මේ දිනවලදී පවා. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔවුන් සැබවින්ම 'හිපි' සාරයන් අනුගමනය කරනවාද යන්න. බාහිර විලාසිතාවන් මගින් හිපියෙක් බවට රූපාන්තරණය වූ ලාංකික සිංහල තරුණයන් බොහෝදෙනෙකුගේ ශබ්දකෝෂයේ "ජරා තම්බි- කැත දෙමළු" වැනි වචනත් ඔවුන්ගේ සාමාන්‍ය චර්යාව තුළ මතුවන හිංසකත්වයන්, සීමාන්තික ආදරයේ නැඹුරුවීම් සහ දේශපාලනික අවිඥානයත් ක්‍රම පාක්ෂිකභාවයනුත් හරහා 'හිපියා' යන්නෙහි සංස්කෘතිකාර්ථ බෙහෙවින් විකාරරූපී වෙලා තියෙනවා.


"හිපියෙක් වෙලා ජීවත් වෙන එක ඇඳුම් වල, හැසිරීමේ නැතිනම් ආර්ථිකමය හෝ සමාජ පරිසරය සම්බන්ධව වැදගත් එකක් නෙමෙයි. ඒක නිදහස, සාමය, ආදරය, පෘථිවිය සහ අනෙකා වෙත ගෞරවය දැක්වීම අවධාරණය කරන දාර්ශනික ප්‍රවේශයක්. හිපි ජීවන විදිහ කවදාවත් මැරෙන්නෙ නෑ. රාජ්‍යයක් කියල එකක් ඉපදුන පළමු වතාවෙ ඉඳලම සමාජයේ හිපියෝ හිටියා ජේසු, හෙන්රි ඩේවිඩ්, ජෝන් ලෙනන් ඔබ සහ මම ළඟ. මම විශ්වාස කරනවා අපි හැමෝම ළඟ හිපි පැටියෙක් ඉන්නව කියල. අපේ සමාජානුයෝජන ක්‍රියාවලාය තුළ ඌව මර්දනය කරල දාලා. අපි මේ හිපි පැටියව හොයාගෙන අපි අභ්‍යන්තරයෙත් සමාජයෙත් වගා කරන්නට අවශ්‍යයි" ස්කිප් ස්ටෝන් කියනවා.

'හිපි සාරය' සිතෙහි අමුණාගනිමින් මේ ලේඛනය අවසන් කරන්නට කලින් ජෝන් ලෙනන්ගෙ ප්‍රකාශයක් උදුරගන්න මම කැමතියි. "සිතින් මවන්න ස්වාමියෝ නැති ලෝකයක් ගැන, මට පුදුමයි හැකි උනොත් ඔබට, අවශ්‍ය නෑ ගිජුකම හෝ බඩගින්න, මිනිසාගේ සහෝදරත්වයක් පරිකල්පනය කරනවා සියලූම මිනිස්සු මුළු ලෝකයම බෙදා හදා ගන්න බවට ".

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ටයි කෝට් ඇඳන් උඹ වැතිරිලා හිටිය, සීරුවට
අත්තම්ම විතරක් මිදුලෙ, අඬ අඬා හිටිය හීනියට
මළගෙදර පහුකරන් ආපු මම හැරුණ මහ වීදියට
ඉස්සර දවස් මතක් කරන්න වාගෙ,
තරුත් පායල තිබුණ අහසෙ පේලියට

"මිතුර නුඹ වෙන්වුණේ හිතාගන්නත් බැරි විදියට "

ඉස්කෝලෙ කට් කරපු දවසක හෙමිහිට
සාක්කුවෙ ඔබාගෙන දෙකට නවපු පොත් ටික
දුව ගියේ, රට සල්ලි හොයාගෙන උඹ වැල්ලට
පිට්ටනියේ පයිප්පෙන් වතුර බී බඩගින්නට

හුළඟ එන අතට හැරි හැරී නැටු කෙහෙරැල්ල
කංස කූරක පහස හුරු පුරුදු හසරැල්ල
තරහ ගිය හැම විටක එසවුණා මැදැඟිල්ල
තාම මතකයි උඹට තිබුණු ඒ දැඟලිල්ල

ඇහුව හැම එකාගෙම මුවේ මදහාස නැංවුව
එදා රෑ අර නාකි සුද්දිවත් ළඟට කැන්දුව
තවම ඇහෙනව වගෙයි, බොංගෝ නාදයක රැන්දුව
කැඩුණු ජර්මන් වලින් උඹ කියපු ඒ සිංදුව

පෝස්ටර් ගැහුව, ජන්දේ කාලෙට පිට පිට
පාට මොක වුනත්, ඒක රුපියල් දාහෙ කුලියට
කුණුහරුප කියාගෙන බැනල එලෙව්වත් ඉඳ හිට
ප්ලේන්ටිත් අරන් දුන්න උඹ, ඉස්ටේසම ළඟ හිටපු පිස්සිට

"ජීවිතේ කොහොමද?" කියල කවුරුහරි ඇහුවම
මහපට ඇඟිලි උස්සල "එල කිරි" යි කී ලස්සන
නෑ බෑ නොකිය, ඕනෙ වැඩකට අත ඉස්සුන
කාටවත් බෑ පුරවන්න නම් උඹෙ හිස්තැන

උඹ ගැන කියන්නට මේ තරු එළිය මදී
දෑසින් කඳුළු කැට මතුවෙයි පපුව රිදී
බැණ බැණ හිටියමුත් ආගමකට නොබැඳී
මට සහතිකයි, උඹ ගිය තැන හොඳට ඉඳී

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රවේශය වෙනුවට සමුගැනීම

පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යුහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි, අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.


හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌ දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.


අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ. වී. පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යැයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.


ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යෑමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.

හිනිදුම සුනිල් සෙනෙවි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රියංකර රත්නායක නාට්‍ය උළෙල- ඔක්තෝබර් 26,27,28 ප.ව. 3.30/7:00- ලයනල් වෙන්ඩ්ට්හිදී.

26- ඊඩිපස්
27- විසේකාරියෝ (ලයිසිස්ට්‍රාටා)
28- අද වගේ දවසක ඇන්ටිගනී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2012 වසරේ සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද චීන නවකතාකරු "මෝ යෑන්" ගේ "The Red Sorghum" කෘතිය, චූලානන්ද සමරනායක විසින් සිංහලට නගන ලදුව "රතු සෝගම්" ලෙස 2012 නොවැම්බර් 01, බ්‍රහස්පතින්දා, ප.ව. 3:30ට, කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී දොරට වඩී. සුභාවී ප්‍රකාශනයකි.

දෙසුම- ගාමිණි වියන්ගොඩ.



Launching of Rathu Sorghum, sinhala translation of Red Sorghum (Magnum opus of Mo Yan Nobel price winner for literature- 2012 ), Translated by Chulananda Samaranayaka, will take place on 01st November 2012 at 3.00 p.m at Mahaweli Kendraya.

Gamini Wiyangoda will deliver a speech at the occasion.


මෝ යෑන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙළෙන්දී මම්.
ප්‍රාර්ථනා කූඩේ තබාගෙන
රන් ඇපල් විකුණම්.
රන් පිහියෙන් කපා
ඇපලය හතරට
අමෘතය දෙම්.
දුරට ඇපල්
ළඟට පැපොල් වෙම්.

රන් ඇපල් මලින් පිරුණු ගවුමක්
ලබන භවයේ අඳින්නට
මේ භවයේ බැංකුවේ
හැකි පමණ පිං තබම්.
නිකන් මල් පිපුණු චීත්තයක් ඇඳගෙන
හෝල්ටෙක ළඟ හිඳිම්.

නාලාගිරි සේ කුලප්පු
බස්වලින් විදින දුම් ගිනි මැද
අව් වැසි දූවිලි ඇතුළත
කොන්ද කෙලින් තියාගෙන පසුවෙම්.
ඇපල් හොරෙන් කන කපුටන්ට
කුණු ඇපල් සේ
කුණුහරුපෙන් බණිම්.

හොල්ල හොල්ලා
ණය ගහේ ඇපල් අතු
ලොකු මුදලාලිට
ඇපල් ගොඩවල් සේ ලොකු ණය ගෙවම්.
ඇපල් යුෂ සේ
තේ කහට වළදම්.

ගෙවල් කුලී වතුර බිල්
රතු ඇපල් එළි දකිම්.
ඇපල් කූඩේ හිරවී
ඇපල් ගොඩවල් පීර පීර
ජීවිතේ රන් ඇපලය හොයම්.

ඇපල් නැති ගහකින් වැටුණ
මිනිහා ගැන හිත හිත
රස ඇපල් ගොඩ දෙස බල බල
ජීවිතේ තිත්ත ඇපල් බුදිම්.

රන් ඇපලයක් සේ
බොරුවට හඳ පායනකොට
එක ඇපල් ගෙඩියක් පුතුට අරගෙන
ගෙදර දුවම්.
"අනේ මගේ ඇපලේ"යි ඌ බදාගෙන
සියක්වර සිපගනිම්.

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[බ්‍රෑම් ෆිෂර්, නෙල්සන් මැන්ඩෙලා සහ වර්ණභේදවායට එරෙහි සෙසු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙනි]

උසැති ගිරි සිරස මත
ප්‍රොමිතියස්* යදමින් බැඳ දමා ඇත
රුධිරයෙන්, කැත කුණෙන්
වැකී ඇත ඔහු සිරුර
විලංගුව ගෑවී පීරි ගෑවෙයි
රිදුම් කන ඔහු දෑත
සැතක් වන් ගල් පව්ව
කපයි ලේ ගලන ඔහු සිරුර
ගිනිහුලක් ගත් සියුස් දෙවි
දවයි දිය බුබුලු නැගි වත

ගොම්මන් වැටුණු කල
පියාඹා එති රාජාලියෝ
කුසගින්න, රාගය, බිය වැනිම
තුඩින්, නිය පඳුරෙන්
ඉරන්නට ඔහු අතුනු බහන්
ඉරන්නට ඔහු ඉකිලිය

යළි යළිත් වෙයි එයම
අයැදියි හෙතෙම මරණය
එහෙත් මිය යනු නොහැක
ශාපයකි සදාකල් ජීවිතය

පැමිණෙති යුවතියෝ
කෙටි සායවල් හැඳගෙන
මටසිලිටි දඟ යුග්ම
ප්‍රේමය පත් තෙත්ව ඇත
දැනේ ඔහු පපුව මත
සුමුදු තිසර තුඩු පහස
මිහිරි දෙව් රුධිරය
පුබුදුවයි ඔහු සිරුර
ඇසෙයි ඔහුගේ කනට
කොඳුරන මියුරු හඬ
පිළිකෙව් කරයි ඔහු
කළ වරද පිළිගන්න

සුරුට්ටුව නිවමින්
කතා අරඹයි සියුස්
මෘදුය ඔහු කටහඬ:
"සොරකම් කළෙහි නුඹ
ශුද්ධ වූ ගිනිසිළුව
මා පසුපසින් සිට
රංචු ගැසුණෙහිය මිනිසුන් සමග
කැරලි ගැසුවෙහිය නුඹ
දෙවියන්ට විරුද්ධව,
දවා හළු කොට මා ලොව
නව ලොවක් තනන්නට
යත්න දැරුවෙහිය නුඹ
එනමුදු කමා කරනෙමි මම
කළොත් ඒ නීච රැළ අමතක"
මට නොහැක, මට නොහැක
පිළිකෙව් කරයි ඔහු
කළ වරද පිළිගන්න

දෙව්ලොවෙහි පණිවිඩ
රැගෙන එහෙ මෙහෙ යන
පැමිණේය හර්මිස්
මුදු සම් පාවහන් හැඳ
එතැනින් පිටව යන
අවසරය ඔහු ළඟය
"අමතකද අප දෙදෙන
අවන්හල තුළ හිඳ
සවුදිය පිරූ රඟ
නුඹට ඇත්තේ වචනය
කියන්නට පමණකිය
මේ හිස් තිත් ඉර උඩින්
දමාපන් අත්සන"
පිළිකෙව් කරයි ඔහු
කළ වරද පිළිගන්න

පිටදී ගල් පව්වට
ඇඹරෙයි ප්‍රොමිතියස්

ඉරී ගිය තොල් මැදින්
පිටවෙයි කෙඳිරියක්:
මට නොහැක, මට නොහැක

රිය අරා හිඳගෙන
සියුස් දෙවි අණ කරයි
රිය ඉදිරියටම
පදවා යන ලෙසට
රාජාලි පියාපත්
හිරුඑළිය බොඳකරයි
රාජාලි හොට වැදී
යළි උදරය ඉරෙයි

හර්කියුලිස් බෝ ඈතය
විදුලි පුවතක් නොයන දුර
තැනිතලා, කඳු අතර නොපෙනී
වසන මිනිසුන් නිහඬවම
නිදිගත් සෙයක් පෙනෙන්නට ඇත

එනමුදු අඳුරු පුරයක
පැල්පතක් තුළ දිලෙන
ගිනි දළු නොනැගී දැවෙන
ගින්නක්ය දුර ඈත

ඒ ගින්න එක්වරම
දළුලා ඇවිල ගොස්
අඳුරු නගරය තුළම
නොපෙනී සැඟව යයි
ප්‍රොමිතියස්
ඉවසමින් දුක දරයි

[*ග්‍රීක දේව කථා පුරාණය අනුව ප්‍රොමිතියස් යනු ටයිටන් නම් වූ දේව සමූහයාගේ සාමාජිකයෙකි. දෙවියෙකු වූ බැවින් හෙතෙම අමරණීයය. මිහිතලය මත වූ සත්ත්වයන්ට අවශ්‍ය කරන විවිධ හැකියාවන් ලබාදීමේ කර්තව්‍ය ප්‍රොමිතියස්ටත් ඔහුගේ සොහොයුරු එපිමතියස්ටත් සෙසු දේව ගණයා විසින් පවරනු ලැබෙයි. එහෙත් එවැනි හැකියාවන් ලබාගැනීමට මනුෂ්‍යාගේ වාරය පැමිණි විට ඔහුට දීම සඳහා කිසිදු කුසලතාවක් හෝ ත්‍යාගයක් ඉතිරි වී නැති බව දෙසොහොයුරන්ට පෙනී යයි.

අසරණ මනුෂ්‍ය වර්ගයා ගැන අනුකම්පා උපදවන ප්‍රොමිතියස් එවක දෙවියන් සතුව පමණක් තිබූ මහඟු සම්පතක් වන ගින්දර සොරකම් කොට මනුෂ්‍යයාට ලබා දෙයි. ප්‍රොමිතියස් කළ මේ ක්‍රියාවෙන් දැඩි ලෙස කෝපයට පත් වන මහදෙවි සියුස් ඔහු කොකේසස් පර්වතයට තබා දම්වැලකින් ගැට ගසන ලෙස අණ කරයි. සෑම දිනෙකම උදෑසන ප්‍රොමිතියස් වෙත පැමිණෙන රාජාලියෙක් ඔහුගේ උදරය ඉරා අක්මාව අනුභව කරන අතර පසුදා උදෑසන විට ඔහුගේ අක්මාව යළි ලියලා වැඩෙන්නේ එය නැවතත් රාජාලියාට අනුභව කිරීමට හැකිවන පරිදිය. අමරණීය ප්‍රොමිතියස් මේ දඬුවම සදාකාලයටම විඳිය යුතුය.

ඔහු මේ වධය අවුරුදු දහස් ගණනක් තිස්සේ විඳි බවත් අවසානයේදී හර්කියුලීස් විසින් පෙරකී රාජාලියා මරා දමා ප්‍රොමිතියස් නිදහස් කොට ගත් බවත් කියැවේ. ]

ඩේවිඩ් එවන්ස්
පරිවර්තනය - නිලූක කදුරුගමුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

BoondiLets | මරා කියයි.

Posted by BoondiOnLine 10.22.2012



වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
පරිවර්තනය - සුගතපාල ද සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිංහල භාෂාව පොදුවේ භාවිත කරන අයගේ සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්, භාෂා නිපුණතාව ඉහළ නැංවීමේත්, ඔවුන්ගේ නිර්මාණශීලී කලා ප‍්‍රකාශන හැකියාව ගූණාත්මකව තවත් ඉහළට ගෙන ඒමේත් අරමුණින් පැවැත්වෙන,

මහාචාර්ය සුචරිත ගම්ලත් ප‍්‍රමුඛ විශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන,

භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹේ!

පළමු පියවර (ඩිප්ලෝමා)

•සම්භාව්‍ය සිංහල සාහිත්‍යය
•සිංහල භාෂාව
•නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය
•සිංහල සාහිත්‍ය ඉතිහාසය
•සිංහල භාෂා ඉතිහාසය

දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)

•ලෝක සාහිත්‍යය (රුසියානු, ඉංගී‍්‍රසි, ඉන්දියානු, අප‍්‍රිකානු, ප්‍රංශ)
•භාෂාවේ ඉතිහාසය
•කලාවේ ඉතිහාසය
•කලා විචාරය
•නූතන සිංහල සාහිත්‍යය

ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම

•කවි කිවිඳියන්
•ලේඛක ලේඛිකාවන්
•කලාකාරයන්/ කාරියන්
•මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යකාරයන්/ කාරියන්
•සරසවි ඇදුරන් ඇදුරියන්
•පාසල් ගුරුවරුන් ගුරුවරියන්
•වෘත්තීයවේදීන් /වේදිනියන්
•සරසවි සිසු සිසුවියන්
•භාෂාව, සාහිත්‍යය හා කලා රසවින්දනය වැඩිදියුණු කළයුතූ යැයි සිතන වැඩිහිටියන්
•උසස් භාෂා සාහිත්‍ය දැනුමක් ඇවැසි උ/පෙළ සිංහල සිසු සිසුවියන් (පළමුවෙන්ම අයදුම්පත් එවන කීපදෙනෙකුට පමණි)

සතියකට එක් දිනක් බැගින් සති අන්තයේ දිනක කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂය සන්ධාරය හේතූවෙන් මුළු පාඨමාලා කාලය වසර 2කට වැඩි වනු ඇත. අත්‍යන්තයෙන්ම උසස් පාඨමාලාවකි. මෙය මෙරට දී පැවැත්වෙන මේ වර්ගයේ එකම හා අවසාන පාඨමාලාවයි. එබැවින්, ප‍්‍රමුඛතාව ලැබෙන්නේ භාෂාව පොදුවේ භාවිත කරන අය හා අනාගතයේ එසේ කරන්නට බලාපොරොත්තූ වන අය සඳහා පමණකි. එනිසා භාෂා/සාහිත්‍ය/මාධ්‍ය/කලා/අධ්‍යාපන/වෘත්තිමය යන ක්‍ෂේත‍්‍ර වල ඉදිරිපෙළ සිටින, මැදිවියේ හා තරුණ, සියළු දෙනා මේ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී, විශේෂයෙන්ම, මාධ්‍ය/කලා/අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර වල, රැකියා සඳහා තෝරා ගැනීමේදීත්, ඒවායේ උසස්වීම් දීමේ දී ත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත. බලාපොරොත්තූ විය හැකි උසස් දැනුමට අමතරව, පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනැමේ.

ආසන සංඛ්‍යාව සීමිතය. සංඛ්‍යාව පිරුණු පසු අයදුම්පත් බාර ගැනීීම නවතා දමනු ලැබේ. එහෙයින්, අයදුම්පත් එවීම දිනකින් හෝ ප‍්‍රමාද කිරීම අවස්ථාව නොලැබීයාමට හේතූ විය හැකිය.

ආදර්ශ අයදුම්පත:

සම්පූර්ණ නම, ලිපිනය, දිස්ත‍්‍රික්කය, දුරකතන අංකය, විද්‍යුත් ලිපිනය, ස්ත‍්‍රී/පුරුෂභාවය, විවාහක/අවිවාහකභාවය, රැකියාව, පන්ති පැවැත්විය යුතු යැයි ඔබ සිතන්නේ සෙනසුරාදා/ඉරිදා දින දෙකෙන් කුමන දිනයේද? , අයදුම්කරුගේ අත්සන

අයදුම්පත් එවිය යුතූ ලිපිනය:
බෘහස්පති, 135, සල්ගස් හන්දිය, මත්තෙගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ටියුනීසියානු අරගලයෙන් පැන නැගී, විවිධ මාවත් ඔස්සේ ඇදී ගිය අරාබි පීඩිතයන්ගේ ජන අරගල, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින්, ඒවාටම ආවේණික නව හැඩ තලයන් අත් කරගනිමින්, ඉදිරියටම ඇදෙමින් පවතී. අරාබි වසන්තයේ ම දිගුවක් සේ සැලකිය හැකි බහරේන් ජන අරගලය පිළිබඳවත්, එහි ලා සිය ජීවිතය කැප කරමින් ජනතාව අවදි කළ නබීල් රාජාබ් පිළිබඳවත් සොයා බැලීම මේ ලිපියේ අරමුණයි. බහරේන් විරෝධතාකරුවන්ට එරෙහිව, බහරේන් රෙජීමය විසින් පවත්වාගෙන යනු ලබන සාපරාධී මර්දන ක්‍රියා පිළිවෙත මේ වන විට ලෝ පුරා මහත් අවධානයට ලක් වෙමින් පවතින අතර, ලෝ පුරා දුර්දාන්ත පාලනයන් අතර පවත්නා ඇඟ කිළිපොලන සුළු සාම්‍යය එමගින් නැවත නැවත ද විශද කෙරෙමින් පවතියි.

පෙබරවාරි නැගිටීම්

වසර හතළිහක හලීෆා පෙළපතේ රාජ්‍ය පාලනය අවසන් කරන්නැයි ඉල්ලමින් රජයට එරෙහි විරෝධතා පෙළපාළියකට බහරේනයේ සෑම දෙසකින්ම වීදි බට වැසියෝ, එහි අග නගරය වන මැනමාවට රැස් වූයේ පසු ගිය 2011 පෙබරවාරියේදීය. එම සාමකාමී විරෝධතා රැළියට සහභාගි වෙමින් සිටියදි බහරේන් ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන දැඩි ලෙස පහරදීමෙන් 16 හැවිරිදි තරුණයෙකු ඝාතනයට ලක් විණි. මුහාරක්හි පැවති එම අවමංගලෝත්සවයට සහභාගි වෙමින් සිටි දහස් ගණනක් වූ විරෝධතාකරුවන්ට, මාර්ග බාධක වල සිටි ආරක්ෂක හමුදා සහ පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම ඔවුන් විසුරුවා හරින්නට වූහ. (කරුණාකර, මෙවැනි අවමඟුල් වෙනුවෙන් උදේ පාන්දරින්ම අධිකරණ නියෝග ලබා ගන්නා වෙනත් රටවල් සිහියට නගා ගැනීමෙන් වළකින්න.)

එය චක්‍රීය මර්දන ක්‍රියාදාමයක ආරම්භය පමණක් වූ අතර, මේ වන විට විරෝධතාකරුවන් දහස් ගණනක් තුවාල ලැබීමෙන් හෝ ඝාතනය වීමෙන් අරගල භූමියෙන් සමු ගෙන ඇත. සිය ගනණක් කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි පරිද්දෙන් අතුරුදන් කරනු ලැබ ඇත.


Hamad bin Isa Al Khalifa

හලීෆා

හලීෆා පෙළපතේ රාජ්‍ය පාලනය 1783 තෙක් දිවෙන්නකි. 1933 සිට 1999 දක්වා පැවති සිය පියා- ඉසා බින් සල්මාන් අල් හලීෆා ගේ අභාවයෙන් පසු 1999 දී බලයට පත් වූ හමාඩ්, 1990 එරට ඇති වූ කැරැල්ලෙන් ඇති වූ අධික ආතතිය ඒ වන විටත් පහ ව නොති බූ බැවින් රාජ්‍යය තුල කිසියම් වූ ස්ථාවරයක් ලබා ගැනීම පිණිස කටයුතු කිරීම අරමුණු කොට සිටියේය. ඒ අනුව බහරේන් වැසියන්ගේ ජීවන තත්වයන් දියුණු කිරීමෙන් සහ බහරේනය මූල්‍යමය මධ්‍යස්ථානයක් පත් කීරීමෙන් ඔහු කිසියම් සාර්ථකත්වයකට පත් වූයේය.

එහෙත් 2003 සිට 2010 තෙක්ම දූෂණ සහ වංචා, රැකියා සහ නිවාස ලබාදීමේදි සිදු කරනු ලබන අකටයුතුකම් සහ විෂමතාවන්, විදේශිකයන් රජයේ හමුදා සඳහා නියුක්ත කිරීම, එරට ජන විකාශන සංයුතිය විපරිණාමය කරමින් සුන්නි මුස්ලිම්වරුන් ආසියාතික රටවලින් බහරේනයට සංක්‍රමණය කරවා ගැනීම පිළිබඳව දිගින් දිගටම එරට බහුතරය වූ ෂියා මුස්ලිම්වරු හමාඩ් රජයට චෝදනා එල්ල කරමින් සිටිති. රැකියා සහ තනතුරු සඳහා සමානාත්මතාවෙන් යුතු සාධාරණ පදනමක් ඇති කරමින් එය වෙනස් විය යුතු යයි ඔවුහු අවධාරණය කර සිටිති.

පවුල් ගස

අල් හලීෆා පවුලේ බහුතරයක් විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශයේ වෙනත් ඉහල නිලතල හොබවමින් සිටිති. ඒ අතර, දේශිය කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, යෞවන කටයුතු සහ ක්‍රීඩා, බහරේන් ආර්ථික සංවර්ධන මණ්ඩලය සහ උත්තරීතර ස්ත්‍රී මන්ත්‍රණ සභාව ද වේ. බහරේන් රාජ්‍ය ආරක්ෂක බලකාය සමන්විත වනුයේ එරට 30% ක සුළුතරය වන සුන්නිවරුන්ගෙනි. ප්‍රවෘත්ති කටයුතු බලතල සියල්ල ප්‍රවෘත්ති කටයුතු අමාත්‍යාංශයෙන් වියුක්ත කොට ඇති අතර එය හලීෆා පවුලේ තවත් සාමාජිකයෙකු යටතේ පාලනය වේ. මින් ප්‍රකට වනුයේ හලීෆා පෙළපතේ ඥාති සංග්‍රහය විනා අන් කවරක් හෝ නොවන බව ප්‍රකාශ කරන අතරම ඉන් වනුයේ ජනතාව ආන්තිකකරණයකි යි විරෝධතාකරුවෝ කියා සිටිති. (කරුණා කර පවුල් දිලීරය වැළඳීම නිසා විනාශ වුණු වෙනත් ආණ්ඩු සිහියට නැගීමෙන් වළකින්න.)



ෆේස් බුක් විරෝධතා

දේශිය/ජාතික කටයුතු ප්‍රඥප්තියට සහයෝගි ජනමත විචාරනයේ දසවැනි සංවත්සරය සහ 2002 වසරේ ප්‍රකාශයට පත් කල ව්‍යවස්ථාවේ නව වැනි සංවත්සරය යෙදී තිබුනු 2011 පෙබරවාරි 14 දින, ඊට විරෝධය පාමින් නිර්මාණය කොට තිබූ ෆේස් බුක් පිටුවට, සතියක කාලයක් තුල, Like කිරීමෙන් දස දහස් ගණනක් සහයෝගය ප්‍රකාශකර සිටියහ. ඊට පිළිතුරු ලෙස බහරේන් රජය විසින් සාහසික ලෙස විරෝධතාකරුවන් මර්ධනය කරමින් දැඩි ලෙස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ලක්ෂ සංඛ්‍යාත විරෝධතා කරුවන්ගේ ද්වේෂය අවුලුවා ලීමට හේතු විය. ඒ අනුව දිගින් දිගටම ක්‍රියාත්මක වූ විරෝධතා පෙළපාලිකරුවන් හමාඩ් ට ඉල්ලා අස්වෙන්නට යයි බල කරමින් සාමකාමී උද්ඝෝෂණ රැළි පැවැත්වූහ.

තෙවන ස්ථානය!

හමාඩ් පාලනයේ දැඩි මර්දනකාරි ක්‍රියා පිළිවෙත විවේචනය කරමින් ෆොරීන් පොලිසී සඟරාව හමාඩ් වර්ගීකරණය කොට තිබුණේ, 8 දෙනෙකුගෙන් යුත් අමෙරිකාවේ සදාචාර සම්පන්න නොවූ මිත්‍ර පාක්ෂික ලයිස්තුවේ තෙවන ස්ථානයේ ඉන්නා "මෙතෙක් අමෙරිකානූ සහයෝගය ලබන දුෂ්ට පාලකයන්ගෙන් කෙනෙකු" ලෙසය. 2011 පෙබරවාරි 15 වෙනිදා දුර්ලභ රූපවාහිනී ඇමතුමක් ලබාදුන් හමාඩ්, ඝාතනයට ලක්වූ විරෝධතා කරුවන් දෙදෙනා පිළිබඳ තමාගේ ශෝකය පලකළ අතරම ඊට සමාව අයැද සිටිමින් ඒ පිළිබඳ දැඩි ලෙස විමර්ශනය කළ යුතු බවත් කියා සිටියේය. (කරුණාකර, හමාඩ් සහ ඔබ දන්නා වෙනත් රජවරු මේ තරම්ම එක සමාන වූයේ කොහොමදැයි පුදුම වීමෙන් වළකින්න.) ඉන් දින දෙකකට පසු "පර්ල් වටරවුමෙහි දී" පැවති සාම විරෝධතා රැළියේදි එම ස්ථානය වටලා ප්‍රහාර එල්ල කල බහරේන් රාජ්‍ය හමුදා අතින්, විරෝධතා කරුවන් 4 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර සිය ගණනක් තුවාල ලැබූහ. ඉන් දින දෙකකට පසු හමාඩ් ගේ පුත්‍රයා වන සල්මාන් අල් හලීෆා සියළුම රාජ්‍ය හමුදාවන් වෙත නියෝගයක් නිකුත්කරමින් කියා සිටියේ වහා එම ස්ථානයේන් ඉවත් වන ලෙසයි. පසුව ඔහුට එරෙහි විරෝධතා පෙළපාලි සඳහා සති කිහිපයක් යනතෙක් පමණක් හමාඩ් රෙජීමය මුනිවත රැක්කේය.



බහරේන් කැරැල්ලේ උච්චතම අවධිය වූ 2011 මාර්තු වන විට ජාතික ආරක්ෂාව සඳහා රට තුළ හදිසි තත්වයක් ලෙස හමාඩ් විසින් මාස තුනක කාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව අර්ධද්වීපික ආරක්ෂක බලකායන් බහරේනය වෙත කැඳවා තිබිණි. සවුදි අරාබියාව විසින් සන්නද්ධ හමුදා භටයන් 1000ක් යොදවා තිබුණු අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් පොලිස් නිලධාරින් 500 ක් යොදවා තිබිණි. විරෝධතාකරුවන් එයට දැඩි ලෙස ප්‍රතිචාර දැක් වූ අතර එය "Occupy Bahrain" ලෙස නම් කෙරිණි. එහෙත් හමාඩ් ට අනුව නම් මෙලෙස සහයෝගි ආරක්ෂක බලඇණි කැඳවීමේ මූලික අභිප්‍රාය වූයේ ඔහුට විරුද්ධ විරෝධතාකරුවන්ගෙන් එරට යටිතල පහසුම් සහ දේප්ලවල ආරක්ෂාව ලබා ගැනීමයි! ඉන් පසු ද, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍ය විසින් මැනමා හි පැවති සාමකාමි විරෝධතා රැලි මර්දනය පිණිස මාර්තු 13 වන දින මෙම කුඩා ගල්ෆ් රාජධානිය වෙත මිත්‍ර හමුදා එවා තිබුණේය. ඉන් අනතුරුව බහරේනය තුල සාම කාමි සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩකාරි මර්දන ක්‍රියා දිනෙන් දින ඉහළ යන්නට වූයේය.

හමාඩ් ගේ මෙම පියවරත් සමගම එරට ආර්ථිකයට දැඩි අලාභ පමුණුවමින් ඔහුට එරෙහි විරෝධතා රට පුරා පැන නැගුනු නගර සියල්ලෙහිම ආරක්ෂක තත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය. ඒ අනුව මිනිස් ඝාතන දුසිම් ගණනේ අසන්නට ලැබුණු අතර අත්අඩංගුවට ගෙන අමානූෂික ලෙස පහරදීම් සිදු කිරීමෙන් මිය ගණන ඉහළ යන්නට විය.

නබීල් රාජාබ්

බහරේන මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිර්මාතෲ වන නබීල් රාජාබ්, බහරේන් රජය විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ විරෝධතාකරුවන්ට එරෙහි සාපරාධි මර්දනය පිළිබඳ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඒවා හෙළා දකිමින්, චෝදනා එල්ල කර සිටියේය. එසේම විරෝධතා මැනමා අගනගරය තුල සංවිධානය කීරීමෙ මූලික වගකීම ගෙන කටයුතු කළේ ඔහුය. පෙබරවාරි 14 දින ඇරඹි ව්‍යාපාරයේ නිල නොලත් නායකත්වය ඔහු යයි අල් ජසීරා විසින් කියා තිබිණි.

"මම පොදු ජනතාවගෙන් කෙනෙක්. මම විරෝධතාව හා එක්වන්නේ හුදෙක් අප පවතින ක්‍රමයට විරුද්ධව නැගී සිටිය යුතු නිසා. ඒක ඉතා භයානක බව ඇත්ත, අපට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවේවි. ඒත් වෙනසක් ගෙන එන්නට හැකිය යන විශ්වාසය මගින් අප පොළඹවනු ලබනවා." රාජාබ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

රාජාබ්ගේ මේ සියළු ක්‍රියාකාරකම් අභිමුව තම නිවට කම පාමින් 2011 මාර්තු 20 වන දින ඔහුගේ නිවසටකඩා වැදුණු හමාඩ් රෙජීමයේ හමුදා ඔහුගේ පරිගණකය ඇතුලු ලිපි ගොනු සියල්ල විනාශ කළහ. ඉන් අනතුරුව ඔහුගේ දෑස් සහ අත් බැඳ දමා ආරක්ෂක රථයක පිටුපසට ඇද දමා නොසරුප් වචන වලින් බැන වදිමින් ඔහුව දූෂණය කරන බවට තර්ජනය කර සිටියහ. ඔහු අගමැතිට පක්ෂපාති බව කියන්නට බල කළ අතර ඊට පිළිතුරු ලෙස ලැබෙන ඔහුගේ සෑම සෘජු ප්‍රතික්ෂේප කිරීමක් පාසා ම ආරක්ෂක හමුදාවන්ගේ පා පහරට ලක් වන්ට ඔහුට සිදු විය. අනතුරුව "අදිල්යා" වේ දේශීය කටයුතු අමාත්‍යාංශය වෙත රැගෙන යන ලදුව ඔහු නොදන්නා කිසිවෙක් ගැන දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් පසු ඔහු මුදා හැරිණි.

2011 අප්‍රේල් 10 වන දින රාජ්‍ය නිළධාරීන් විසින් නැවතත් රාජාබ්ට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරමින් කියා සිටියේ, නීතිය ක්‍රියත්මක කිරිම සඳහා ඔහුව එරට හමුදා අධිකරණයට පමුණුවන බවයි. ඊට පාදක වූයේ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ආරක්ෂක හමුදාවන්ගේ දැඩි ප්‍රහාරවලට සහ අනේක ශාරීරික වධ හිංසාවන්ට ලක් වීමෙන් මිය ගිය තරුණයෙකු වූ අලි ඉසා ඉබ්‍රාහිම් ගේ ඡායාරූප ට්විටර් සමාජ ජාලය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීමයි. ඔහු ශාරීරික වධ බන්ධනයන්ට ලක් වූ බව දැක්වෙන ඡායාරූප ගණනාවක් එයට ඇතුලත්ව තිබිණි. ඒවා අලි ඉසා ඉබ්‍රාහිම් ගේ භූමදානයට පෙර ලබා ගන්නා ලද ඡායාරූප වූ අතර එය අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශන ඒකකය මගින් තහවුරු කොට තිබිණි.


2005 පෙබරවාරි- නබීල් රාජාබ් විරෝධතා පා ගමනක[wikipedia]

කඳුළු ගෑස් බෝම්බ

රාජාබ් ගේ හෙළි කිරීම සහ චෝදනා සඳහා යළිත් වරක් බහරේන් රජය ප්‍රතිචාර දැක්වූයේ තෙවරක් ඔහුගේ නිවසට කඳුළු ගෑස් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙනි. අනතුරුව, රජය විසින් නබීල් රාජාබ් සහ මරියම් අල් හවාජාට (තවත් එක් ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.)ට එරෙහි ව්‍යාපාරයක් රට තුල දියත් කරන ලදී.

එසේ තිබියදීත්, මැයි මස බීරූට් හි පැවති පැවති අන්තර්ජාතික නිදහස් ප්‍රකාශන හුවමාරු සමුළුවට සහ ජූනි මස පැවති ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සමුළුවට සහභාගී වීමට නබීල් රාජාබ්ටත් මරියම් අල් හවාජාටත් හැකි විය.

ඉන් පසු, රාජාබ්, 2011 නොවැම්බර් මාසයේදී, බහරේනය තුළ මානව අයිතිවාසිකම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ, නිර්දේශ කිරීම් 11 ක් සහිත, පිටු 27 කින් යුත් වාර්තාවක් මුදා හැරියේය. ලොව වටා අසත්‍ය ප්‍රකාශ පතුරුවන්නේ යයි කියමින් ඊට එරෙහිව ඔහුට මරණීය තර්ජන පවා එල්ල කල අතර පසුව රාජ්‍ය මැර ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කෙරිණි.

නැවත වතාවක් මැයි 5 වන දින ලෙබනනයේ සිට පැමිණෙමින් සිටියදී බහරේන් ගුවන්තොටුපොලේදී නබීල් රාජාබ් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනිණි. ඊට හේතුව ලෙස ප්‍රකාශ වූයේ නීත්‍යානූකූල නොවූ විරෝධතා රැළියකට සහභාගී වීම යන්නයි. පසු දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "අපරාධ ගණනාවකට" එරෙහිව නබීල් රාජාබ් අත් අඩංගුවට ගත් බවයි. එහෙත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ජූලියන් අසාංශේ කියා සීටියේ, ඊට හේතු වනුයේ තමා හා පැවැත් වූ " World Tomorrow Telivision Talk" සහ "Project on middle-east" සහ බීබීසී "Hard- Talk" වැඩසටහන් බවයි.



සියළු අසත්‍ය චෝදනා ඔස්සේ ඔහු අත් අඩංගුවට ගැනීමට එරෙහිව නඩු විභාගයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් රාජාබ් කියා සිටියේ, "බහරේන් අධිකරණය යනු මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාකරන්නවුන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණය අගය කරන මිනිසුන්ට එරෙහිව කටයුතු කරන තැනක්" ලෙසය.

නැවත වරක්, ව්‍යවස්ථාපිත මණ්ඩලයට අවමන් කළේ යැයි කියමින් ඔහුට චෝදනා එළ්ල කෙරිණි. ඊට හේතු වූයේ සිවිල් වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන් ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය නිසි විමර්ශණයන් සිදු නොකළ බවට ට්වීටර් පණිවුඩයක් මුදා හැරීමයි. එසේම බී.අයි.සී.අයි. (BICI) වාර්තා තහවුරු කරන පරිදි එහිදි ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය තමාට වාසි වන අයුරින් බොහෝ අවස්ථාවන් හිදි කටයුතු කර ඇති බවයි.

ඔහුව අධිකරණය වෙත පමුණුවන ලද අවස්ථාවේ, ඉදිරිපත් කර ඇති කිසිදු චෝදනාවක් සඳහා තමා වරදකරුවෙකු නොවන බව රාජාබ් ප්‍රකාශ කර සිටියත්, ඔහුව දින 7ක් පුරා රක්ෂිත බන්ධනාගර කොට තැබිණි. මැයි 12 වන දින නඩු විභාගයක් නොවුනු අතර නැවත වතාවක් මැයි 16 තෙක් ඔහුව රඳවා තැබිණි. මැයි 20 දින රාජාබ් වෙනුවෙන් නීතිඥයන් 55 කගෙන් යුතු කණ්ඩායමක් පෙනී සිටිමින් කියා සිටියේ ඔහු වරදකරුවෙකු නොවන බවත් මේ සියල්ල ද්වේෂ සහගත ලෙස ඔහුට එල්ල කර ඇති චෝදනාවන් බවත්ය. එහෙත් එදින ඔහුට ඇප ලබා නොදුන් අතර නීතියට පටහැනිව විරෝධතා රැළි පැවැත්වූයේ යයි කියමින් අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. ඒ වන විට ලොව වටා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරි සංවිධාන ගණණාවකින් රාජාබ් නිදහස් කරන්නට යැයි ඉල්ලා ප්‍රකාශ නිකුත් කොට තිබිණි.

දින විස්සක රැඳවුම් කාලයකින් අනතුරුව 2012 මැයි 28 වන දින ඔහුව ඇප මත මුදා හැරියේ රටින් පිටවීමට පවා තහනමක් පනවමිනි.

රාජාබ් නිදහස් කිරීමෙන් දින කිහිපයක් ඉකුත්වූ වහා ජූනි 06 දින ඔහු නැවත වතාවක් අඩංගුවට ගනු ලැබිණි. ඒ "සුන්නි මුස්ලිම් අසල්වැසියන්ට ඒකාධිපති රාජ්‍ය පෙළපත හා සම්බන්ධකම් පවත්වන්නේයයි ප්‍රසිද්ධියේ අවමන් කළේ" යයි කියන කාරණය මතය. ඉන්පසු යළිත් ජූනි 27 දින ඇප මත ඔහු මුදා හැරිණි.



ට්විටර් පණිවුඩය

ජූලි 07 දින ඔහුට රටින් පිටවීම සපුරා තහනම් කෙරිණි. හරියටම ඉන් දින 02 කට පසු මුහුණු ආවරණ පැලඳි ආරක්ෂක සෙබළුන් දොළොස්දෙනෙකු විසින් රාජාබ් අත් අඩංගුවට ගැනුණු අතර එදිනම අධිකරණය විසින් ඔහුට මාස 3 ක සිර දඬුවමක් නියම වූයේ, බහරේන අගමැති වරයා අවමානයට පත් කරමින් රාජාබ් විසින් ට්විටර් පණිවුඩයක් මුදා හැරීම හේතුවෙනි.

"(අගමැතිතුමනි,) ඔබ ජනප්‍රිය චරිතයක් නොවන බව සියල්ලෝම දනිති. හුදෙක් මුදල් අවශ්‍යතාවය හැර අන් කිසිදු කටයුත්තක් සඳහා ඔවුන් (මුහාරක් වැසියන්) ඔබව පි ළිනොගනු ඇත." යන්න ඒ ට්විටර් පණිවුඩයයි.

ඔහුට එරෙහිව පවරා තිබූ චෝදනාව වූයේ අල්- මුහාරක් වැසියන් ප්‍රසිද්ධියේ අපකීර්තියට පත් කිරීම සහ සමාජ ජාල ඔස්සේ නින්දිත ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන්ගේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නකර සිටීමයි.

අපහාස කිරීම සම්බන්ධයෙන් නම් සාමාන්‍යයෙන් දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නිදහස් වීමක් බලාපොරොත්තු විය හැකි නමුත් රාජාබ් පිළිබඳ සැලකීමේදී එය අනපේක්ශිත තීන්දුවක් විය හැකි බව ඔහුගේ නීතීඥයා මාධ්‍ය අමතා කීවේය. හියුමන් රයිට් ෆස්ට්, හියුමන් රයිට් වොච් සහ එක්සත් ජනපද කොංග්‍රසයේ සාමාජිකයන් නව දෙනෙකු එක්ව රාජාබ් මුදාහරින ලෙස ඉල්ලා සිටියහ. ඊට අමතරව බහරේන මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ එකමුතුව සහ දේශපාලන පක්ෂ 5 ක් විසින් රාජාබ් ගේ නඩු තීන්දුව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලහ. මානව හිමිකම් පිළිබඳ බහරේන කොංග්‍රසය කියා සිටියේ, "රජය විසින් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ මාධ්‍ය වෙත කෙරෙන හෙළිදරව් සඳහා නුඹලාට හිමි වන්නේ මෙවැනි දඬුවමක් ය යන පණිවුඩය අනෙක් සියළුම ක්‍රියාධරයින්ට දෙන්නටයි." යනුයි.


2005 ජූලි- නබීල් රාජාබ්ගේ පිටෙහි පොලිස් පහර දීම් වල සලකුණු [wikipedia]

වසර තුනක සිරදඬුවම

ඒ අනුව ඉකුත් අගෝස්තු 16 වෙනිදා රාජාබ්ට වසර තුනක සිරදඬුවමක් නියම කෙරිණි. ඔහුට එරෙහි චෝදනා වූයේ, නීති විරෝධි ක්‍රියාකාරකම් නියැලෙමින් රැස්වීම් පැවැත්වීමට පෙළඹවීම, සමාජ ජාල ඔස්සේ නීත්‍යානුකූල නොවූ පෙළපාලි සඳහා කැඳවීම, නීත්‍යානූකූල නොවූ රැස්වීම් වලට සහභාගී වීම, පෙර දැනුම් දීමකින් තොරව විරෝධතා පෙළපාලි කැඳවීම සහ ඒවාට සහභාගී වීමයි. ඔහුට සහයෝගි පිරිස් සිදුකළ ප්‍රකෝපකාරි ක්‍රියා හේතුවෙන් මාර්ග අවහිර වීම, පෙට්‍රොල් බෝම්බ ප්‍රහාර වැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියා ඇති වූ බවත් ඔවුහු කියා සිටිති. එසේම එම ප්‍රකෝපකාරි ක්‍රියා හේතුවෙන් ඇති වූ ගැටුම් වල ප්‍රතිඵලය ලෙස සිවිල් ජන ජීවිත අහිමි වී ගිය බවත් ඔහුට චෝදනා කෙරිණි.

පසුගිය ජූනි මාසයෙන් පසු මැනමා හි පැවැත්වූ නීත්‍යානූකූල විරෝධතා රැළියට රාජ්‍ය විරෝධි සටන්පාඨ සහ සිරගතව සිටින නබීල් රාජාබ් ගේ ඡායාරූප රැගත් මිනිසුන් ලක්ෂ ගණනක් රැස්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකාරියක වන මාග්‍රට් සෙකාග්යා කියා සිටියේ, "අගෝස්තු 23 වන දින නබීල් රාජාබ් එරෙහිව දුන් නඩු තීන්දුව යනු මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් නීත්‍යානූකූලව කටයුතු කරන්නන් නිහඬ කිරීමේ බහරේන් රජයේ තවත් එක් නිර්ලජ්ජී ප්‍රයත්නයක්" බවයි.

"හමාඩ් රජු දිගින් දිගටම ප්‍රතිඥා දෙමින් සිටින දේශපාලනික ප්‍රතිසංස්කරණයන්ට වඩා පෙනෙන විදියට නම් බහරේන් පාලකයන් විසින් අනුගමනය කරන්නේ ඉතා ප්‍රබල මර්දනකාරි පිළිවෙතක්." මැදපෙරදිග සහ අප්‍රිකානු කලපයේ මානව හිමිකම් විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෝ ස්ටොර්ක් එසේ පවසයි. "නබීල් රාජාබ් සිය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සහ සාමකාමී රැස්වීම් පැවැත්වීම ඉක්මවා රාජ්‍ය විරෝධි යමක් කළේ යයි හුවා දැක්වීමට මේ දක්වා බහරේන් රජයට නොහැකිවී තිබෙනවා. ඔහුව වහා නිදහස් කළයුතුයි." තව දුරටත් ඔහු කියා සිටියේය.



බහරේන් අරගලය පුරාම, රාජාබ් අමෙරිකානු භූමිකාව විවෙචනයට ලක් කළේය. 2011 ජුලි 26 වන දින අල් ජසීරා වෙත සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ, අමෙරිකානු නිහඬතාව ඔහු හෙළා දකින බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් අමෙරිකානු පෙනී සිටීමේ අස්ථිර ක්‍රියාපිළිවෙත අදාල වනුයේ ඔවුන් හා ඉතා සුහද සබඳතා පවත්වන ඒකාධිපති රටවල් හැර අනෙක් රටවල් වලට පමණක් බවත්ය.

ඔහු තීන්දුව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව උසාවිය ට කෑ ගසා ඔහු කීවේ මෙපමණකි.

"වසර 3 ක් නෙමෙයි 30 ගියත් ඔබට මා නවත්වන්න පුළුවන් කමක් නෑ"

තීන්දු ප්‍රකාශයෙන් පසුව "ඔබේ ආරක්ෂාව පිළිබඳ ඔබට තැති ගැනීමක් නැද්දැයි?" මාධ්‍ය කරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ,

"ඒ කාලේ දැන් මං පහු කරලා ඉවරයි. මගේ පවුලේ සාමාජිකයන් මුලදී මේ ගැන හුඟක් කණගාටු වුනා, ඒත් දැන් ඔවුන් දන්නව අපේ සටන් කිරීමේ අරමුණේ විශාලත්වය සහ වැදගත් කම. මගේ ජීවිතේ අනතුරේ තමයි. ඒත් මං මගේ කාර්යයන් සහ කළයුතු සියල්ල නිසි ලෙස ඉටු කොට තිබෙනවා. ඒ නිසා ඔවුන් හෙට මාව ඝාතනය කළත් මගේ පවුලේ අය ආරක්ශිතයි."

සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කල නොහැකි වුවද ඔහු වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිඥයෝ කටයුතු කරගෙන යති.

අද, මේ වන විටත් බහරේනය තුල රජයට එරෙහි සාමකාමි විරෝධතා අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පෙළපාලි කරුවන් සිය ගණනින් අත් අඩංගුවට ගනිමින් ද, ඝාතනයට ලක් කෙරෙමින් ද, ප්‍රකාශන අයිතියට වැටකඩුළු බැඳෙමින් ද පවතී.



නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails