Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කර්ම" යනු ප‍්‍රසන්න ජයකොඩිගේ "සංකාරා" චිත්‍රපටයෙහිම දිගුවකැයි අප සිතන්නේ මෙම රූප කාව්‍ය යුගල නම් කරන්නාවූ බුද්ධවාචික වාච්‍යර්ථයට පටුවෙමින් නොවේ.

චිත‍්‍රපට කාර්යයේ පොදු මුඛ්‍යාර්ථය වන ජීවිත විවරණය සමඟ මෙම ගැඹුරු සංකල්ප ද්විත්වය දක්‌වන්නාවූ සම්බන්ධතාවය ප‍්‍රබලය. "සංකාරා" චිත‍්‍රපටය අන්තර්ගතයට මුල් තැන දුන් අතර "කර්ම" යනු ස්‌වරූපයට සහ ආකෘතියට (Form - Structure) මුල්තැන දෙන බව හැඟෙයි. ස්‌වප‍්‍රකාශනය අභිබවා ප‍්‍රකාශන මාධ්‍ය හා ප‍්‍රකාශන විධි ක‍්‍රම කෙරෙහි ප‍්‍රබලව යෑපීම සිය දෙවන නිර්මාණයේදී බොහෝ නිර්මාණකරුවන් මුහුණ දෙන අභියෝගයකි.මෙය සිය මීළඟ නිර්මාණ කටයුතු වලින් නිරාකරණය කරගත යුතු අභියෝගයකි.එබැවින් ප‍්‍රසන්න ජයකොඩි ඉදිරියේදී තමාටම අවනත වන්නේද? නැතහොත් තම මාධ්‍යයට අවනත වන්නේද යන්න නිශ්චය කිරීම අප පසුවට කල් දැමිය යුතුය. කෙසේ වෙතත් දැනට තිබෙන රූප සාක්‍ෂිවලට අනුව සලකතොත් බෞද්ධ දර්ශනය චිත‍්‍රපට ගත කරන විශිෂ්ටතම සිනමා කවියකු ලෙස ප‍්‍රසන්න ජයකොඩි හැඳින ගත හැකිය. මොහුගේ විශිෂ්ට බව වනුයේ ප‍්‍රචාරකවාදී නොවී සිය කවිත්වය මතම යෑපීමය.

පෙනෙන රූප සහ නොපෙනෙන රූප, එනම් සිනමාකරුවාගේ දෘෂ්‍යමානිත රූප සහ ඒ ඇසුරෙන් රසිකයා දැකිය යුතු රූප අතර චිත‍්‍රපටය තීන්දු කෙරෙයි. මෙය අන් අතකින්, රූප සහ නාම, හෙවත් භෞතික රූප සහ එම වස්‌තු නම් කෙරෙන ආකාරය යනුවෙන්ද විග‍්‍රහ කළ හැක.ජීවිත විවරණය සඳහා භෞතික රූප සහ ඒවා හැසිරෙන ආකාරය හඳුන්වා දෙන නාම හෙවත් චිත්ත බලවේග එකිනෙක ගැලපීමට සිනමාකරුවා පෙළඹෙයි. නාම සහ රූප අතර පවත්නා වෙනස හඳුනා ගැනීමට හේතුවන්නේ සංඥ හෙවත් "සඤ්ඥා"ය. සිනමාකරුවාගේ කාර්යය වී ඇත්තේ මෙසේ සංඥාවට හසුවන්නාවූ සලකුණු හෝ ගුණ දරා සිටින භෞතික රූපය අපගේ විඥාණය තුළම හෙළිදරව් වීමට ඉඩ සැලසීමයි. "කර්ම" චිත‍්‍රපටයේ නොපෙනෙන රූපය එනම් හෙළිදරව් කරගත යුතු රූපය ප‍්‍රබල වනුයේ එලෙසය. මෙහි රූපය ගැඹුරු අර්ථපූර්ණ වන්න සේම සංකීර්ණය.

"කර්ම" චිත‍්‍රපටයෙහි එන පියල් යනු (ජගත් මනුවර්ණ) ස්‌ත‍්‍රීන් දෙදෙනකුට මැදි වන නිෂ්ක‍්‍රීය පුරුෂයෙකි. එක්‌ අතක තම මව්ය. අනෙක්‌ අතෙහි තම පෙම්වතිය ය. තම මව් මග හැරෙද්දී ඒ වෙනුවට හසුවන අහඹු තරුණිය කෙරෙහි ඔහු ආසක්‌ත වෙයි. මව කෙරෙහි සැලකිලිමත් නොවන ඔහු මවගේ වියෝවෙන් පසු හමුවන පළමු සහ එකම ස්‌ත‍්‍රී රූපය වන අමන්දා (මිෂෙල් හර්ෂ්ට්‌)කෙරෙහි සැලකිලිමත් වෙයි. ඔහුට සිය මව මග ඇරෙන්නේ ඇයි දැයි පැහැදිලි නැත. මවගේ වියෝව පිළිබඳව ස්‌වයං වරදකාරී හැඟීමකින් ඔහු පීඩා විඳින්නේ ඇයි? එපමණටම ඔහු අතින් සිදුවූ වරද හෝ අතපසුවීම කුමක්‌දැයි හේතු සැපයිය යුතුව ඇත. සිය යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට සමීප වන්නට මොහුට හේතුවන්නේ තම මවගේ වියෝවීම පිළිබඳ ස්‌වයං වරදකාරී හැඟීමද? එසේත් නැතහොත් යාබද කාමරයට පවා දැනෙන ඇසෙන තරම් තදබල වූ ඇගේ රාගී හැසිරීමද?


සංකාරා

අමන්දා තම සහකරු වන නදී සමඟ බැඳෙන්නේ ශාරීරිකවය. ඔවුනොවුන් අතර ඇත්තේ ශාරීරික ගනුදෙනුවක්‌ පමණි. ඇයගේ රෝගය ඔහුට ගැටළුවක්‌ වන්නේ සහ ඇගෙන් පලා යන්නට තරම් එය හේතුවක්‌ වන්නේ ඒ නිසාය. සිය ශරීර මත ඇති "බර්ත් මාක්‌" ගණනය කරන හා ශරීර අවයව රූපගත කොට රස විඳින තරම් පටු මෙම ශාරීරික බන්ධනයට බාධා කරන්නේ පියල්ය. පියල් තම අඳුරු හුදෙකලා කුටියේ සිට මේ ශාරීරික පෙම්වතුන්ගේ සයනය වෙත ගල් ප‍්‍රහාරයක්‌ එල්ල කරනුයේ සිය චෛතසික ගනුදෙනුවේ පීඩාව මෝචනය (Catharsis) කරමිනි. මෙය ඇයගේ සහකරුවා නමැති භෞතික රූපය සමඟ ඊට ප‍්‍රතිවිරෝධී ලෙස අමන්දා හමුවෙහි පෙනී සිටින පියල් නමැති චිත්ත බලවේගය අතර ඝට්‌ටනයකි. එනම් රූප සහ එම රූපවල හැසිරීම නම් කෙරෙන නාම අතර ගැටීමකි. මෙම නාම රූප එළිදරව් කරගැනීමෙහි චිත්ත අරගලයෙහි අමන්දා, පියල් සහ නදී යන තිදෙනාම නියුතු වෙති. මෙම තිදෙනා යනු සමස්‌ත මනුෂ්‍යයාගේ ස්‌වරූපයන් සංකේතවත් කරන ඉඟි පමණි. මුළු ජීවිත කාලය පුරා තමාට බලපෑ තම මව වෙනුවට පියල් සමීප වන්නේ අමන්දාගේ කුමන හේතුවකට දැයි පැහැදිලි නැත.ඇය මත රැඳෙන්නේ මන්දැයි පැහැදිලිය.

කුමන හේතුවක්‌ මත ඔහු ඇයගේ ජීවිතයට සමීප වුවද ඔහු ඇය වෙනුවෙන් හදවතින්ම කැප වන්නට සිතන්නේ පියයුරු පිළිකාවකින් ඇයගේ එක්‌ පියවුරක්‌ අහිමිව ඇතිවග සැලවීමත් සමඟ නොවේද? එසේ නම් ඒ මොහොත වනතුරුම ඔහු ඇය හා එක්‌වන්නේත්, ඇය ඔහුට ඉඩ දෙන්නේත් කාමාසක්‌ත හැඟීමකින් බව හැඟෙයි. මෙතරම් බරපතළ රෝගී තත්ත්වයක්‌ ඇය පියල්ට සඟවන්නේ ඇයි? ඔහු එය නොදැන සිටියාද? මෙබඳු ප‍්‍රකාශන ආකෘතියක්‌ මත එබඳු ගැටලු මතු නොකළ යුතු වූවද රස වින්දනයට බාධා පමුණුවන අසම්පූර්ණ සහ අහේතුක චරිත සහ සිද්ධි මෙහි බහුලය. පියල්ගේ දෙමවුපියෝ සහ අමන්දාගේ දෙමවුපියෝ සැනෙකින් පෙනී සිට එසැනින්ම අතුරුදන් වෙති. සාධාරණීකරණය කොට ගළපා ගත යුත්තේ රසිකයාය.

චිත‍්‍රපටයේ ආරම්භක සහ අවසන් රූප රාමු පෙළ මෙම තරුණයා සිය චිත්තවේගී කම්පනයෙන් මිදී යළි කළලයක්‌ බවට පත්වන සංකේත රූපයකි. ජල ටැංකිය යනු ගර්භාෂයයි. එපමණටම ඔහුට සිය මව අහිමිවීම කම්පනයකි. මව මියයන්නේ දීර්ඝ කාලයක්‌ දුක්‌ විඳිමිනි. ඇය පණ අදිද්දී එනම් ජීවිතය විඳවද්දී ඔහු ඇයව නොතකා අහක බැලූවෙකි. එකම සයනයක ජීවත්වන පුතුගේ නිශ්චලල අක්‍රීය බවත්, එම රාමුව තුළම මියයන මවගේ මරණාසන්න චංචල බවත් සංකේත රූපගත කෙරේ. පසු තැනක ක්‍ෂණිකව ඔහුට නැවතත් සිය මව සිහිවෙයි. ඒ සිය මව වෙනුවට තම චිත්ත රික්‌තයෙහි තබාගත් අමන්දා සමඟ කම්සැප විඳිද්දීය.

පියයුරු පිළිකාවකින් මරණාසන්න රෝගියකු බවට පත්ව සිටින අමන්දාගේ සැබෑ තත්ත්වය දකින පියල්ට වහා තම මවු සිහිවෙයි. එනම් කුඩා දරුවකුට කිරිදෙන මව සිය දරුවා අතැර පිටතින් ඇයට කැඳවූ කිසිවකුට අවනත වන අතීත මතක රූපයයි. මෙම හුදෙකලා පීඩිත කුඩා දරුවා පියල් විය යුතුය. මිනී පෙට්‌ටි ඔන්චිල්ලාවෙහි දෙපසක වාඩිවී ප‍්‍රතිවිරුද්ධව හබල් ගසන සිය මවුපියන් අතරට මෙම දරුවා මැදි වෙයි. මවුපියන්ට සිය දරුවා මග හැරෙයි. එම දරුවා තමාව හුදෙකලා කළ මවත්, තම අදහස්‌වලට කන් නොදෙන පියාත් එම දෙදෙනාම ප‍්‍රතික්‍ෂේප කරනු වැනිය. සිය පියා සමඟ පසු කලක ඔහු නිරත වන දීර්ඝ දුරකථන සංවාදය තුළින් අප වටහා ගන්නේ පියල් තුළ සිය පියා කෙරෙහි ඇති වෛරී පළිගැනීමේ චිත්ත ස්‌වභාවයය. පියා තම පුතුට කතා කරන්නටවත් ඉඩ නොදෙයි.

තරුණයා සිය පියාගේ මෙම අන්තගාමී දරදඬු ආකල්ප ඉවසාගෙනම වේගයෙන් ඉදිරියට ඇවිදගෙන යන්නේ ක්‌ෂතිමය හුදෙකලාවකිනි. අතරමගදී මුණ ගැසෙන මිතුරකුගේ යතුරුපැදිය ඔහුගේ අඛණ්‌ඩ දෘඩොත්සාහී ගමන තවත් වේගවත් කරයි. ඔහු නොනැවතී පෙරට යන නිහඬ මගියෙකි. මව හෝ පියා වුවද බාධකයක්‌ ලෙස නොතකන්නෙකි. සිය මවුපියන් නිසා පියල් කුඩා කල පත්වූ සිද්ධීන් ඔහු තරුණ වියට එළැඹෙද්දී ක්‍ෂතීන් (Trauma) බවට පත්වන සිනමාකරු බවට පත්වන සිනමාකරු කියයි.එහෙත් පියල්ගේ චිත්තාභ්‍යන්තරයෙහි වන අති සංවේදී බව ජගත් මනුවර්ණගේ සියුම් රංගනය මත තබන සිනමාකරුවා එම චිත්තවේගී ස්‌වභාවය තීව්‍ර කරන්නාවූ ගැටලුවේ ප‍්‍රභවය සහ නිමිත්ත (Symptoms) ගන ප‍්‍රමාණවත් තැකීමක්‌ නොකරයිග සිය ළමාවියේදී තම මවුපියන් නිසා පියල්ගේ ආශාවන් අවරෝධනය වූ බව ඉඟි කෙරුණද එකී අවරෝධිත ආවේගයන්ට හේතු පසුබිම හෙළි නොකරයි.

පියා සමඟ නිරත පියල්ගේ ක්‍ෂණික දුරකථන සංවාදය මෙම ගැටළුවට චිත‍්‍රපටය තුළ දුන් ක්‍ෂණික විසඳුමක්‌ වැනිය. එබඳු හුදෙකලා ක්‍ෂණික පිළියම් මෙම චිත‍්‍රපටයේ පුද්ගල කේන්ද්‍රීය ප‍්‍රකාශන ආකෘතිය තවදුරටත් අනාඛ්‍යාන (non - narrative) ස්‌වරූපයටම ඇද දමයි. මෙය යම් ආකාරවූ වියුක්‌ත ස්‌වභාවයක්‌ (abstract) ගන්නේ චරිත හෝ සිද්ධීන්ට කිසිසේත්ම අදාළ නොවන හුදෙකලා රූප හා සිදුවීම් ක්‍ෂණිකව රඳවන නිසාද වෙයි. අන්තර්ජාතික විදග්ධ සිනමා රසිකයන් "කර්ම" දුටුවේ පර්යේෂණාත්මක සිනමා කෘතියක්‌ ලෙස යෑයි සිනමාකරුවා පවසයි. පර්යේෂණාත්මක කටයුත්තකදී හුදෙකලා තනි යෙදුමකට වුවද අනපේක්‍ෂිත නව්‍ය අර්ථයක්‌ රසිකාගාරය වෙතින් යෝජනා කෙරෙනු ඇත. එසේම මෙබඳු සංකීර්ණ හා වියුක්‌ත ප‍්‍රකාශනයකදී සිනමාකරු අතින් සිදුවන අත්වැරැද්දකට වුවද රසිකාගාරය අර්ථ සොයනු ඇත. නිර්මාණකරුවාගේ නිර්මාණය සහ ඒ ඇසුරෙන් රසිකයා සකසා ගන්නා නිර්මාණය එකිනෙකට වෙනස්‌ හා ප‍්‍රතිවිරෝධී විය හැකිය. පුද්ගල කේන්ද්‍රීය ආත්ම ප‍්‍රකාශනයේදී මෙම දුරස්‌ථකම ප්‍රබල කාරණයකිග සිනමාශාලාවට ඇතුළුවෙද්දී දුන් චිත‍්‍රපටයේ කතා සාරාංශය මුද්‍රණය කළ පත‍්‍රිකාව නොතිබුණේ නම් මෙම චරිත තුන හා පරිච්ඡේද හතරකින් යුත් කුඩා කතන්දරයවත් නිරවුල්ව ගළපා ගැනීම දුෂ්කර වන්නට ඉඩ තිබිණි.

චිත්‍රපටය මැද ශීර්ෂ පාඨ යොදා සමස්‌ත ආඛ්‍යානය පරිච්ඡේද හතරකට බෙදා ඇත. මෙය සිනමා කෘතිය විඳින්නට සිත කය හික්‌මවා සූදානම් වන්නන්ට කතා සාරාංශය සැපයීමට වඩා මඳක්‌ නිර්මාණශීලීය. රූපයෙන් කතා කරන කවියකු වචන මත යෑපෙන්නේ ඇයි? කෙසේ වෙතත් මෙම රූප කාර්යය වාචිකව පරිච්ඡේද නම් කිරීම කර්ම නියාමය රූප නිදර්ශනයකට නැගීම සරල කරයි. එනම් චේතනාව සහ ක‍්‍රියාව අතර සම්බන්ධය විග‍්‍රහ කිරීම ලිහිල් කරයි. හිතාමතා කරන ක‍්‍රියාවත් එහි ප‍්‍රතිඵලයත් අතර ඇති බැඳීම කර්ම නියාමයෙන් ගැඹුරුව විග්‍රහ කෙරේ. දුකට හෝ සතුටට හේතු ප‍්‍රත්‍යවන චේතනාව මුල්වී වචනයෙන් හෝ ශරීරයෙන් කරනු ලබන ක්‍රියාව තීරණය කෙරේ. සිනමාකරුවා තේමා කොට ගන්නේ මෙම පෘතග්ජනයන්ගේ චේතනාවන් භව තණ්‌හාවේ ආක‍්‍රමණයට හසුවී කිළිටි වන තරමයි. හේතුවක්‌ සමඟ ඵලයක්‌ බැඳී තිබේ. ක්‍රියාවක්‌ සමඟ ප‍්‍රතික‍්‍රියාවක්‌ බැඳී තිබේ. කර්මයත් සමඟ විපාක බැඳී තිබේ."කර්ම" කියාපාන්නේ මෙම නියාමය ය.



කර්ම චිත්‍රපටයේ පරිච්ඡේද නම් කිරීම අර්ථ දක්‌වන්නේ අනිත්‍යතා සංකල්පයයි. එනම් ඇතිවීම, පැවතීම හා නැතිවීම යන අවස්‌ථා තුන අවබෝධ කර ගැනීමය. චිත්‍රපටයේ එම පරිච්ඡේද නම් කෙරෙනුයේ ඉව ඇල්ලීම (gaze) හුස්‌ම (breath) දියවීම (melt) සහ භාව විරේචනය (Catharsis) යනුවෙනි. චිත‍්‍රපටයේ රූප මත තැබෙන මෙම ගැඹුරු නාමකරණය සිනමාකරු පහදන්නේ 1. ජීවිතය 2. අනෙකා සමඟ සම්බන්ධය 3.දෙදෙනාගේ සම්බන්ධතාවයේ ස්‌වභාවය සහ 4. ඒ සම්බන්ධතාවයේ ප්‍රතිඵලය යනුවෙනි. මිනිස්‌ සිත ඇතුළතට අප කිමිදෙන්නේ මෙම අනිත්‍යතාව දැකීමටය. එනම් අවිද්‍යමාන (අවිඡ්ජා) සිතින් දැකීමටය.එනම් ඇසට පෙනෙන රූප දැකිය හැක්‌කේ විඤ්ඤාණයටය. බණකතා සහ රජකතා අසන පොදු ජන ප්‍රේක්‍ෂකාගාරයට "කර්ම"යනු කරුමයක්‌ හෝ අප්‍රබංසයක්‌ වීම "තවත් ඡන්ද ප‍්‍රතිඵලයක්‌"ලෙස විග‍්‍රහයට ගතයුතු දේශපාලනික කරුණකි. වර්තමානයේ චිත‍්‍රපටි යනු චිත‍්‍රපට නොවන අන් ව්‍යාපෘති වාර්තාය."කර්ම"යනු ප‍්‍රතික‍්‍රියාවකැයි අප සිතන්නේ ඒ නිසාය.

විශාල පඩිපෙළකින් බැස මෙම මනසිභූත තනිකඩයා තම අඳුරු මූසල කුටිය වෙත යන එන අතරතුර පසු කරන විශාල බිත්තිය මත අලවා ඇති නාට්‍ය පෝස්‌ටර් කිහිපයකි. පිටත යනෙන වාහනවලින් නික්‌මෙන තියුණු ආලෝකධාරා එම අන්ධකාර බිත්තිය මත වැදී නොවැදී අපට කියා සිටින්නේ කුමක්‌ද?

යමකුගේ චිත්ත කම්පනය හෙවත් ක්‍ෂතිය (Trauma) කලාව තුළින් භාව ශුද්ධියකට ලක්‌ කළ හැකි බවයි. සිනමාකරුවා තම රූප කවිය මත භාව විරේචනය යනුවෙන් සිරස්‌තල යොදා අපට ඇඟිල්ලෙන් ඇන කියන්නේ එයයි. ස්‌වකීය චිත්ත රූප පොදු රූපාවලියක තැබීමට අසමත් වන තැනක සිනමාකරුවා දෙපස රූප හා සිද්ධි මධ්‍යයේ තනි සංකේත රූප ඔබ්බවා ප‍්‍රකාශනය හා එහි වින්දනය තවත් සංකීර්ණ කරයි. මෙහි එන හුදෙකලා පියල් නාට්‍යකරුවෙකි.ඔහුගේ ගුප්ත හුදෙකලා බව චිත‍්‍රපටය තුළ විග‍්‍රහ කරනුයේ පිටත සමාජ සබඳතාවලින් බැහැරව සිටීමට සිය අතීතය හා එහි බියකරු රහස්‌ හේතු වන බවයි.

එම බියකරු රහස්‌ අඩුම තරමින් සිය මවගේ හිඩැස පුරවන පෙම්වතිය වන අමන්දාටවත් හෙළිනොකිරීමට පියල් වගබලා ගනී. මොහු තම පියා සහ සමස්‌ත සමාජ සබඳතාවලියම අත්හැර දැමූවකු ලෙස පෙන්වයි. මෙය ආත්මීය හුදෙකලා බවත් (Psychic isolation) ඔහු තම අඳුරු කාමරය වෙත බැස එන්නේම ඉහත විවෘත වූ ආලෝකවත් කවුළුව මත සිතැස තබමිනි. දීප්තිය පිරුණු නිදහස්‌ සුන්දර ආලෝකයක්‌ මෙම සිරකරුවා සිතින් අපේක්‍ෂා කරයි. සිය මවගේ සේයාරූ කා දමන මීයන් ගැවසෙන පියල්ගේ මූසල ගුහාව තුළ මෙතෙක්‌ ඔහුගේ තනියට සිටියේ පූසකු පමණි.

මෙම බළලා ද ප‍්‍රබල සංකේතයකි. අවරෝධිත ආවේගයෙන් පීඩිත තරුණයාගේ සිත හඟවන සංකේතයකි. පියල්ගේ සිත මෙන් මෙම බළලාද බිත්තියෙන් එහා ඇති ලෝකයට රිංගන සමීප රූපය ප‍්‍රබලය.අනෙකාගේ සිතට එබී බලන්නාගේ අවසන් ඉරණම මෙම බළලාගේ අකල් මරණයෙන් කියාපායි. මෙම අර්ථය විඳින්නාට දැනවීම සඳහා මෙතරම් සංකේතාත්මක රූපක කුමටද? අධ්‍යාත්මය සංකේතාත්මකව නිරූපණය කිරීමේදී එම රූපක ඇසුර සිනමාකරුවා පහදන යථාර්ථය අතික‍්‍රමණය කොට සිය ශෛලිය තීව්‍ර කරන්නේ නම් එය උචිතම භාවිතයක්‌ නොවේ.

බළලා මියයන තැන පියල් හා අමන්දාගේ ආශ‍්‍රය උපදියි. ඇගේ සිරුරෙන් පෙරී ස්‌පර්ශ වී පිටතට ගලා එන සබන් පෙණ ජල පහරට පාදය තබා සිතින් ඇය හා එක්‌වූ පියල් හැබැහින් ඇය දකී. පියල්ගේ සිත සංකේතවත් කළ බළලා මියයන්නේ අමන්දාගේ සිරුර හරහා පෙරී ආ ජල දහරාව පියල්ට මුණගැස්‌වූ කුහරයෙහිය. පියල්ගේ සිත නිරූපණය කළ සිය අන්ධකාර කුටිය චිත‍්‍රණය කළ අඳුරු පැහැය වෙනුවට මෙහි දෙවන පරිච්ඡේදය එනම් දෙදෙනා මුණගැසෙන අවධිය සිනමාකරුවා අපට පෙන්වන්නේ ආලෝකවත් පැහැයෙනි.

ඔහුගේ සිත අඳුරේ තබා ඇයගේ සිත ආලෝකවත්ව තැබීම සංසන්දනාත්මකව ගත නොහැක. මන්දයත් දෙදෙනාම අන්ධකාරයේ පීඩිතයන් වන හෙයිනි. මෙම වර්ණ පැහැය හෝ ආලෝකයේ අඩු වැඩි බව ප‍්‍රබලව අපට හැඟෙනුයේ, කර්ම, චිත්‍රපටයේ සියුම් රූප රචනා විලාසය කෙරෙහි අප බෙහෙවින් බැඳෙන නිසාය.එකිනෙක චරිතවල චිත්තාභ්‍යන්තරයේ කම්පන ස්‌වභාවය තීව්‍ර කිරීම සඳහා ඇතැම් තැනක පමණක්‌ හස්‌තගත කැමරා භාවිතයක්‌ කෙරෙහි සිනමාකරුවා යොමුවෙයි. එහි රූප බලන විලාසයද රූපයේ ප්‍රබලතාව හා රූප රිද්මය ආයාසයෙන් අර්ථගන්වනු වැනිය. සිනමාකරුවා මාධ්‍ය කෙරෙහි අසීමිතව බැඳෙන වග අප වටහාගන්නේ එවැනි තැනකදීයග.



අමන්දා යනු තම චිත්තාවේග සියල්ල Blog වෙත Upload කරන නූතන සංස්‌කෘතිය නියෝජනය කරන්නියක ලෙස තීන්දු කිරීමෙන් සිනමාකරුවා අපේක්‍ෂා කරන්නේ තම ප්‍රකාශනය සමාජ කේන්ද්‍රීය තලයට නොයවා පුද්ගල කේන්ද්‍රීය සීමාවෙහිම තබා ගැනීමයග අන්තර්ජාල අවකාශයේ විද්යුත් දෙඩිවිලි (Chat) සහ මෙකී මානුෂික සබඳතාවන්හි හා චිත්ත ආවේගයන්හි සංවේදීතා එකිනෙක නොපෑහෙන තරම්ය. අමන්දා තමාට සමීපවන සෑම අවස්‌ථාවකම පියල් පහළ අඳුරු ආගාධයේ සිට ඉහළ අහස පෙනෙන වහළය මතට රැගෙන යන්නට සිනමාකරුට අවශ්‍ය වෙයි.

අනුන්ගේ ලිංගික කටයුතු දෙස රහසින් එබී බලා සන්තෘප්තිය සොයන මෙම දර්ශනකාමිය (Voyeur) අහසේ නිදහසේ පියාසර කරන අහස්‌ යානා දකින තරමට නිදහස ලබයි. පිළිකා රෝගී තරුණිය තරුණයාගේ සුළු තුවාල කෙරෙහි අසීමිතව තැවෙන තරමට ඔවුනොවුන් ළංවෙයි. එබැවින් මෙතෙක්‌ කල් පියල් ඇයගේ කාම ජීවිතය දෙස හොරෙන් බැලූ කවුළුවට ලෑලි තබා ඇණ ගැසීම ඔවුනට බාධාවක්‌ නොවේ. පියල් තුළ අවරෝධනය කරන ලද දෑ ක‍්‍රියාවන්ට පෙරළෙයි. මව අහිමිවීම නමැති ප‍්‍රතිරෝධය බලවත් නිසා පියල් අවිඥනික කඩතුරාවක්‌ සකසාගෙන සත්‍යය වසන් කරයි. ඔහු අමන්දාට තම ජීවිතය හෙළි නොකරන්නේ වුවද ඒ නිසාය. අමන්දා යනු පියල්ට තම චෛතසික හිඩැස පුරවා ගැනීමට මගක්‌ පමණි. ඇයගේ ශරීරය මත වැතිරෙන සිය සහකරුවා සේම ඇගේ සිතට ඇතුළු වන පෙම්වතාද එනම් නදී සහ පියල් යන දෙදෙනාම ආත්මාර්ථකාමියෝය. ස්‌වීයත්වය පිළිබඳ ආබාධිතයෝය.

පියල් යළි තම කුස හොත් අවධියට යන්නේ මෙම ස්‌වකීය චිත්තාවබෝධයෙන් පලා යන්නටය. තමා අතින් වූ වරද පිළිබඳ පශ්චාත්තාපී හැඟීමෙනි. එනම් තම මව ඉදිරියෙහිද දෙවනුව තම පෙම්වතිය ඉදිරියෙහිද ඔහු වරදකරුවෙකි. ඔහු තම කඳුළු ජලයෙන් සෝදා හරිමින් නැවතත් චිත්ත ගර්භයෙහිම සිරකරුවකු බවට පත්වෙයි. "Reborn" ටීෂර්ට්‌ එකකින් මතුපිට ශරීරය වසා සිටියාට පියල් යළි යළි උපදින්නට හීනමචන නොස්‌ටැල්ජික සත්වයෙකි.

පියල් කියන චරිතය ඇතුළෙ මාත් ඉන්නවා ප‍්‍රසන්නත් ඉන්නවා, යෑයි ජගත් මනුවර්ණ විවේකී ඉරිදා පත්තරයක්‌ තුළ එන කුඩා අතිරේකයකට පවසා තිබිණි.

අජිත් ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක දවසක් හැන්දෑවක රණවිරුවෙක් නිලඇඳුම් පිටින් ම බත්තරමුල්ල හරියේ දියවන්නා ඔය ළඟ ජොගිං කරමින් සිටියේ ය. කෙල්ලන් සහ කොල්ලන් බෝට්ටුවලින් ගොස් දිය බුං ගැසූ අතර පොඩි උන් අම්මලාගේ අත්වල එල්ලී ගෝඪා අංකල්ගේ රෙස්ටෝරන්ට් එක පැත්තට ඇද්දෝය. වෝටර්ස් එජ් එකේ වහලකින් උඩට නැග්ග කුරුල්ලෙක් හංස බෝට්ටුවක් උඩ නැවතී වට පිට පිට බලා පිටත ශ්‍රීයෙන් උන්මාද වී දියවන්නාවට පැන දියකාවෙකු වුනේය. රණවිරුවාට දාඩිය දැම්මා මදි නිසා 'ලෙෆ්ට් රයිට්' 'ලෙෆ්ට් රයිට්' කියමින් මාච් කරන්නට පටන් ගත්තේ ය. කාලෙකින් මාච් පාස්ට් නොකළ නිසාදෝ ලෙෆ්ට් වෙනුවට රයිට් ඉස්සර වෙන බව රණ විරුවාට පෙනුනේ නැත.

"ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් රයිට් ලෙෆ් ෆ් ෆ්...."

"හූ"

කවුදෝ හූ කියන සද්දයක් ඇසී වටපිට බැලූ රණවිරුවාට පෙනුනේ මද අඳුර නසාගෙන පොළව පුරා පත්තුවෙන විදුලි පහන් එළියෙන් ඒකාලෝක වූ ජොගිං මාවතේ විසල් තුරු අස්සෙන් එබී බලන හපුටු මූණකි.

"කවුද ඩෝ හූ කියන්නෙ? වර ඩෝ එළියට..." රණවිරුවා බූට් සපත්තු අතට අරං ඔළුව වටේ කරකවා ජූඩෝ ඉරියව්වකට ආවේය.

"වෙඩි තියන්නැත්තං එන්නං..." හපුටු මූණා අස්සෙන් ඔළුව දා ආයිත් කීවේය.

"වෙඩි තියන්න කෝ යකෝ තුවක්කු? තෝ මට කෝචොක් කරනවද? වර මෙහෙට්ට...." හපුටාගේ හත්මුතු පරම්පරාවෙ ම ආච්චිලා මතක් කළ රණ විරුවා කමිස කොළරයෙන් අල්ලා ඇද එළියට ගත්තේය.

"බුදු සර් වෙඩි තියන්න නම් එපා.." හපුටු මූණා වගේ හිටි එකා ගේ මූණ බිම උලපු පාර උගේ මූණේ තිබූ බදාම වැනි නාවර තලි ගැලවී ගොස් අවුරුදු විසි දෙකක විතර කොල්ලෙකුගේ මූණක් මතුවුණේය.

"මොකද උරුලෑවො උඹ ගාව ඔච්චර ගඳ?"

"මේකනෙ සර්. එහෙන් ලයිට් කපල. මෙහෙන් වතුර බිල නැගල නැගල දැන් හැම ගෙදරම වතුර කපල. වැස්සොත් විතරයි අපි නාන්නෙ මූණ හෝදන්නෙ. මොකද මේවයෙ වතුර තිබූන කියල අපිට මූණක් කටක් හෝද ගන්න දෙනව කියලද? රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සර්ල කාණු වතුර ඇල පාරවල් හිටන් මුර කරනවනෙ...." කොල්ලා කටේ හිරි ඇර දියවන්නා ඔය දෙසට අත දිගු කළේ ය.

"යකෝ නාන්න වතුර නැතිවෙන්නෙ උඹල පෙර කරපු කරුම හින්ද. ...මට ඇල්ලුවෙ නෑ උඹේ කතාව. කියපිය තෝ අන්තර්ජාතික කුමණ්ත්‍රණ කාරයෙක් නේද? හූ කියල අහල මට අපහාස කළේ? තෝ හැදුවෙ මාව මානසිකව වට්ටන්න නේද? වට්ටලා මගේ සංවේදී හදවතට කෙළවන්න නේද?" රණවිරුවා දත්මිටි කෑවේය.

"අනේ නෑ සර් ... මම මේ.. මුලු දවසටම කාල නෑ.. ගන්න පඩිය යන්තං රේසිං කාර් එකට පෙට්‍රල් ගහන කොට ඉවරයි. පාන් කෑල්ලක්වත් හොයා ගන්න කියල පාරට බැහැල කාර් එකේ ඉබාගාතේ ඇවිදින කොට තමයි සර් ‘ලෙෆ්ට්' කියල ලෙෆ්ට් වෙනුවට රයිට් කකුල තියනව දැක්කෙ...."

"තෝ කාටවත් කියල තිබුණොත් බලාගෙනයි. මට ලෙෆ්ට් රයිට් වැරදුණා කියල...."

"අනේ නෑ සර්- කිව්වට කාටවත් තේරෙන එකක්යැ...." කොල්ලා ටිකක් හරි බරි ගැහුණේය.

රණවිරුවා ටිකක් සන්සුන් වුනේය.

"ඒක ඇත්ත ඕයි. මුන්ට කිසි දෙයක් තේරෙන්නෙ නෑ තමයි. දැන් බලනව. අපි දාඩිය දාගෙන කුණු ඇදගෙන කුණු වතුර නාගෙන මේ පාක් එකයි ජොගිං පාත් එකයි හැදුව. කෝ මේකට එන උන් ගෙ නෑනෙ කිසි කෙළෙහි ගුණයක්."

"මේකනෙ සර්.. යුද්ධෙ ඉවර වුනාම රණවිරුවන්ට මිනිස්සු පහන් පත්තු කරන්න ගත්තනෙ. දැනුත් ඔය ජොගිං කරන්න එන අය හවසට එන්නෙ දෙයියන්ට බුදුන්ටත් එක්ක රණවිරුවන්ටත් පහන් පත්තු කරල."

"හැබෑට?" රණවිරුවා ටිකක් කොල්ලාට ළං වුණේය.

"ඔව් සර්.. මිනිස්සු දැක්කනෙ සර්ල යුද්ධෙ ඉවර වෙච්ච සැනින් මෙතන කුණු කාගෙන, මඩ නාගෙන, කෙල්ලන්ට පැණි පෙරාගෙන, ලොක්කට ගුණ ගී ගයාගෙන, ක්ලබ්වල කුඩ්ඩන්ගෙන් ගුටි කාගෙන පාක් හදන්න කුලී වැඩ කරනව. මිනිස්සු හිතන්නෙ නෑ සර් මේ අර යුද්ධ කරපු රණවිරුවොමයි කියල...."

"හරි වැඩක්නෙ යකෝ.. ! එතකොට ඇත්තටම කවුද යුද්ධ කරේ පිටසක්වලින් ආපු උන්ද?"

"වෙන්නැති සර්. සර්ලට මතක නැත්තං අපිට කොහෙ මතක තියෙන්නද? කවුරු වුනත් අර ටී වී එකේ පෙන්නපු රට රකින ජීවිත රකින අභිමානවත් මුරදේවතාවන්ව අපේ මහා සෙන්පතියෝ කුණු කාණු සුද්ධ කරන්න දායි කියල හිතන්න අමාරුයිනෙ නේද සර්? ඒක හින්ද තමයි මිනිස්සු ‘ආයු රක්ඛංතු ආවඩා‘ කියල ඒ උත්තමයන්ට ගෙදර පහන් පත්තු කරන්නෙ."

"යකෝ මේ කුණු කාණු සුද්ධ කරන්නෙත් රට වෙනුවෙන් තමයි. කොළඹ තව්තිසා දිව්‍ය ලෝකෙ උනාම තොපිට නරක්වෙලා තියෙයි. කාණුවක් දැක්කොත් සුද්ධ කරල බෝට්ටු දාල, පැල්පත් අටවං ඉන්න කාළකණ්නිංව පන්නල පාක් හදල වතුර මල් දාල මේව හදන්නෙ රට වෙනුවෙන් නෙවෙයිද?"

"ඔව් සර්.. ඒත් සර්ලට සලකන විදිහ මදි නේද?

"අපිට? ඇයි මදි ?"

"නෑ සර්ල නියම ගේමක් දීල එක සතියට උතුරෙ හත් අටදාහක් බාවල අරූගෙ මොළෙත් හැන්දට අරන් යුද්ධෙ දිනවල දුන්නනෙ සර්...."

"මේ අපි? මට මතක නෑනෙ ඕයි!
"

හිටි අඩියේ යමක සිහිවී බූට් ගැලවූ රණවිරුවා ෂෝටකට බැස හඩු ටී ෂර්ට් එකකට බැස්සේය.

"සර් ඔය කොහෙද යන්නෙ?"

"මම යනව අයිසෙ නුගේගොඩ- එහෙ වැලි පාක් එක ළඟ කුණු කානුව සුද්ධ කරල ගිනි නිවන හමුදාවෙ උන්ව පන්නල බෝට්ටු දාන්න තියෙනව"

"එතකොට සර් ජොගිං"

"ආ.. ජොගිං කරන්නෙ කාණු සුද්ධ කරල මාස හයකට සැරයක් හම්බවෙන ඉන්ටවල් එකට. තව මාස හයකින් හම්බ වෙමු..."


කොල්ලා පාන් කෑල්ලක් හොයාගෙන රේසිං කාර් එකෙන් ජයවර්ධනපුර පැත්තට ගියේය.

ආලෝක රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කල් ඇතිව දැනුම් දී
මග බලා ඉනු පිණිස
කල් ඉකුත් වූ පසු
ඇවිත් නතරව මා පසෙක
වීණාව මට දී
ඔබ ගැඹුරු නින්දක

මට නැතත් කාලයට ඉක්මන් ය
ඉතිං මට
වයන්නත් බැරි
නො වයා ඉන්නත් බැරි....

ඔබ නිදනවාට මම කැමති
සිහින දකිනවාට අකමැති
ඔබ නිදන හැටි මට දකින්නට හැකි
ඔබේ සිහිනය මට දකින්නට බැරි

නිද්‍රාවට කළ හැකි එකම දෙය
මට නො පෙනෙන්න
ඔබේ සිහින සඟවා ගැනුම
එනිසාම
අවැසි ය මේ වෙණ වැයුම
නින්දෙන්ම ඔබ මිය නො යන්නට
සිහිනයෙන් සිහි විකල් නොවන්නට

මම වයමි...
නොනැවතී වයමි

දැන දැනම...
ගැඹුරු බව
ඔබේ සිහිනය....
මගේ වෙණ නදට වැඩියෙන්

නොබිඳ වෙණ තත්
වයමි...
යළි යළි වයමි
ඔබ ට....
සිහින නොපෙනෙනු පිණිස.

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වටපිට බලනෙමි මම
හති ඇර ඇර
හිනා මූණක්?
හිනා මූණක්?

අනේ සුසානෝ
මම කොළඹ එන විට
මගේ සුසානය ඉදි වී ඇත එතන
කලකිරුණු රැළි වැටුන
නහරවැලි ඉලිප්පුන මුහුණු මිස
පෙනෙන තෙක් මානයක
සිනා කඳුළක් නොමැත
කරදහි මිස

හදවත් නැත
තනතුරු මිස
මිනිසුන් නැත
සී.සී. - ඒ.ඒ.- ජී.ඒ.
කා.ස. - පා.ස.-ජූලී
අංක විසි හත දරන ඡේදයේ
4 (B) වගන්තිය
ඔබේ අංකය ඒ.ඩී. 705 සහ
...... දාතම දරන.

අදම
වහාම
අප‍්‍රමාදව
අප්පමාදෝ අමත පදං

ඇඟිළි වලින් ඇදී ඇවිත්
පෑන් තුඩින් ගලා ගිහින්
දවසින් දවසට
කරදහි වල එකතු වෙන්නෙ
නුඹෙ ආත්මය.
ටක්.ටක්.ටක්.

සංගීතය ටයිප් ගසන ප‍්‍රභාවතී
අනුකම්පා කරපන් මට
නුඹයි මගේ ආලෝකය
ඔය සියුමැළි රතැඟිළි තුඩු
කල් යන කොට
ගෙවී යාවි ඊයමටම
ඊට පළමු
හිස ඔසවා
එක මොහොතක්
ඉඳු නිල් ඇස් වලින් බලන්
මා දිහාව.

එකකු අනෙකා දෙස බලන්නෙ
අවිශ්වාසයෙන්
බියෙන් සැකෙන්
යාලුවා මරා ගෙන
තනතුරෙන් ඉහළ යන
කල්පනාවක් තිබේ යටි හිතේ.

ඒ නිසා
අවංකව මුහුණ දෙස බලා ගෙන
සිනාසෙන්නට බැරිය
විරිත්තමි.

අනුන් ඉසුරට ඊර්ෂ්‍යාවෙන්
මූණ කලු වී
පිච්චි පිච්චි
මා සිටින්නෙ මහා දුකකින්

මරපන්
මරපන්

කාම ගින්න මෙන්
ක්ෂුධා ගින්න මෙන්
මිනිස් හදවතේ පැළපදියම් වූ
මුල් ආශාවකි
විනාශ කරනට ඇති ආශාවත්

මිනිසා මෙලොවට බිහි වන්නේ
මරපන්
මරපන්
රහසේ පවසන හදවත ඇතිවයි.

පුංචි දරුවකුට ආදරයෙන්
කෙළි බඩුවක් ගෙන දුන්නෝතින්
දුන් මොහොතින් ඌ කඩා දමයි.

ගඟ උතුරා මොර දෙන්නේ
මරපන් මරපන් මරපන් කියලයි.
යකඩ රේල්ලුව දුවගෙන දුවගෙන දුවගෙන යන්නේ
මරපන් මරපන් මරපන් මරපන්.

මෝටර් රථ ඝට්ටනය වී
මිනිසුන් මිය ගොස්
තාරපාර මැද ලේ ඉහිරුණු තැන
වට වෙති වෙන මිනිස්සු

ලේ බලන්න
ඉහවහ ගිය ආසාවෙන්.

ශිෂ්ටාචරයෙ කඩතුරාව යට
බලා සිටි මරු
ලේ රහ බලනට
මොහොතක් එන තුරු.

එහෙව් කලෙක
අහිංසකව තෙතබර වූ නුඹේ දෑස
ක්‍ෂේම භූමියක් වගේ ය.

[මක් නිසා ද යත් | 1964 | පිටුව 22 - 26]

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලියනගේ අමරකීර්තිගේ කෙටිකතා සංග්‍රහය "අර මිහිරි සීනු නාදය" පිළිබඳ විචාර කතිකාවක් 2012 නොවැම්බර් 29 දා සවස 2:00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

අදහස් දැක්වීම්- චූලානන්ද සමරනායක, උපුල් ශාන්ත සන්නස්ගල, චින්තක රණසිංහ සහ ලක්ශාන් මධුරංග වික්‍රමරත්න.
සංවිධානය- "ජනරළ" තොටුපළ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඔබට ඕනෑම නම්
අහර වුව
සුළඟ වුව මා වෙතින් අරගන්න
ඔබේ ඔය සිනහව
මා වෙතින් නොමගන්න.

ඔබ නෙළා රැගෙන ආ
කටු තුඩැති රෝස මල
සැනෙන් පිපිරී ගලන
ප්‍රමෝදයෙ දිය දහර
ඔබ තුළ මතුව නැග එන
රිදීමය තරංගය
මා වෙතින් නොමගන්න.

කටුක අරගල අතර ගෙවා කල්
වෙහෙස වූ නෙත් රැගෙන එන කලට
කිසි කලෙක කොයි ලෙසක
වෙනස් නොම වන ලොව දැක
ඔබේ ඔය සිනහව
ඇතුලු වන විට මා තුළට
නැගෙන විට මා සොයා අහසට ම
විවර වෙයි මා වෙතට
ජීවිතේ දොරටු හැම.

පෙම්බරිය, අඳුරුතම පැය තුළ
පිපෙන විට ඔය සිනහව
දකියි ඔබ
මග අතුල ගල් බොරළු
මගේ ලේ පැහැය ගෙන
වර්ණවත් වනා’යුරු
හිනැහෙන්න හිනැහෙන්න
ඔබේ ඔය සිනහව
නැවුම් අසිපතක් බඳු වෙයි
මගේ දෑතට.

සරත් සමුදුර අසබඩ
මැවෙනා පෙණ රැළිති බඳුව
නැගිය යුතුය ඔය සිනහව
වසත් කලට
මා බෝ දිගු කලක් පුරා
බලාපොරොත්තුවක් දරා
බලා හිඳි කුසුමක් ව
ඇවැසිය මට ඔබෙ සිනහව
නීල කුසුම - රෝස කැකුල
මා දේශයෙ පිළිරැව් දෙන.

හිනැහෙන්න රාත්‍රියට
දහවලට සහ සඳවතට
හිනැහෙන්න දූපතක
එක මතෙ'ක වෙලුනු මං වලට
හිනැහෙන්න මේ යොවුන් තරුණයට
කිසි ම කමකට නැතැයි
එද ඔබට පෙම් බඳින
එහෙත් මා නෙතු අරින
නෙතු පියන හැම විටම
පිය මනින යළි දු එන වෙලාවට
අහර හෝ සුළං හෝ
එළිය හෝ වසන්තය
නැතැයි මට පවසන්න
ඒ නමුත්
මා මියෙන ඔබේ ඔය සිනාවන්
නැතැයි මට නොකියන්න.

['Your Laughter' by Pablo Neruda]

පැබ්ලෝ නෙරුඩා
පරිවර්තනය - ප්‍රශංසනී පරණවිතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වසර හතළිහකට පසු, කොකා කෝලා සමාගම, බුරුමය තුළ සිය අලෙවිකරණ මෙහෙයුම් යළි ඇරඹූ පුවත ඉකුත් සතියේ ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළ වාර්තා කර තිබුණේ, තවමත් කොකා කෝලා අලෙවි නොකෙරෙන රටවල් මොනවාද යන කුහුල දනවන පැනය ද සමගයි. පිළිතුර නම් කියුබාව සහ උතුරු කොරියාවයි. මේ රටවල් දෙකම ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙළඳ සම්බාධක පනවන ලද රටවල්. කියුබානු විප්ලවයෙන් පසු, කස්ත්‍රෝගේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ, 1962 වසරේ දී, එරටින් කොකා කෝලා සමාගම පිටමං කරනු ලැබුවා. උතුරු කොරියාවේ 1950 වසරේ සිට කොකා කෝලා අලෙවිය තහනම් කොට තිබෙන අතර කොකා කෝලා සමාගම පවසන්නේ, නිල වශයෙන් නොවුණ ද ජාවාරම්කරුවන් විසින් මේ දෙරටටම කොකා කෝලා ගෙන ගොස් නීතියට පිටින් අලෙවි කරන බවයි. වසර දහයක පමණ දැඩි වෑයමකින් පසු, කොකා කෝලා සමාගම චීනයට ඇතුළු වුනේ 1979 දී. අද වන විට චීනය එම සමාගමේ විශාලතම පාරිභෝගික පදනම සහිත කලාපයයි.

කිසියම් රටකට "කොකා කෝලා" ඇතුළු වීම, ප්‍රබල සංකේතාර්ථ දනවන්නක්. A History of the World in Six Glasses කෘතියේ කර්තෘ Tom Standageට අනුව, "කොකා කෝලා යනු බෝතලයක අසුරන ලද ධනවාදයට ඉතාම කිට්ටු දෙය"යි. බුරුමය තුළ 1962 සිට 2011 දක්වා පැවති මිලිටරි ජුන්ටාව, සිය දරදඬු පාලනය ඉහිල් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පියවර මනිද්දී, බෝතල් කරන ලද "ධනවාදය"- බුරුම තරුණ තරුණියන්ගේ "ප්‍රජාතන්ත්‍රවාදයේ පවස" නිවීමට එරටට ඇතුල් වීම කෙතරම් උත්ප්‍රාසජනකද? එක්සත් ජනපදය අනුදක්නා ප්‍රජාතන්ත්‍රවාදයේ අනුල්ලංඝනීය කොන්දේසි අතුරින් ප්‍රධානතම කොන්දේසිය වන්නේ, ඇමරිකන් සමාගම් වලට සිය වෙළඳ කටයුතු රිසි පරිදි පවත්වාගෙන යාමට ඉඩ දීමයි. එහිලා නිදහස යනු, එකී සමාගම් වලට පරිධියේ රටවල සියළු ධනය කොල්ලකෑමට හැකි වන පරිදි වසා තිබෙන සියළු දොරටු හැර දැමීමයි. 1989 බර්ලින් තාප්පය බිඳ වැටුණු මොහොතේ, බොහෝ නැගෙනහිර ජර්මානුවෝ කොකා කෝලා පෙට්ටි ගණන් මිලයට ගත් අයුරු සිහි කරන Standage පවසන්නේ "එය- එනම් කොකා කෝලා බීම, නිදහසේ සංකේතයක් වූවාක්" වැනි බවයි.



සමස්තයක් ලෙස ගත් විට ව්‍යතිරේඛමය අවස්ථා කිහිපයක හැර කොකා කෝලා සිය "නිදහසේ" පානය මුළු ලොව පුරාම "නිදහසේ" ව්‍යාප්ත කරමින් සිටිනවා. කොකා කෝලා සමාගමට අනුව එහි දළ දෛනික ගෝලීය අලෙවිය බෝතල් බිලියන 1.8 ක්. කොකා කෝලා යනු හුදු පානයක් නොව ඇමරිකානු මාදියේ ජීවන විලාසය සමග තිර ලෙස බැඳුණු කිසිවක් වීම නිසාවෙන් ම ඇමරිකානු විරෝධයේ සංකේතයක් ලෙස කොකා කෝලා වර්ජනය කිරීමේ ප්‍රවණතාවක් ද වරින් වර ඇති වී තිබෙනවා. 2003 දී කොකා කෝලා වීදි දිගේ හලමින් තායිලන්ත උද්ඝෝෂණකරුවන් දැක්වූ විරෝධය ඉන් එක් අවස්ථාවක්. එහිදී ඔවුන්ගේ විරෝධය සෘජුවම එල්ල වුනේ ඇමරිකාවේ ඉරාක ආක්‍රමණයට. මෑතක දී ඇමරිකාව සමග සෘජුව ගැටෙන ඉරාන නායක Mahmoud Ahmadinejad ඉරානය තුළ කොකා කෝලා තහනම් කරන බවට තර්ජනය කොට ඇති අතර වෙනුසුවේලා නායක හියුගෝ චාවේස් කොකා කෝලා හෝ පෙප්සි කෝලා වෙනුවට දේශීයව නිපදවන පළතුරු බීම බොන ලෙස තම රටවැසියන්ගෙන් ආයාචනය කළා.

Cocacolonization

කොකා කෝලා සහ කොලනයිසේෂන් යන වචන දෙක දෙමුහුන් කිරීමෙන් තනා ගත් Cocacolonization යන උත්ප්‍රාසවත් වචනයෙන් හැඟවෙන්නේ ඇමරිකානු සංස්කෘතික යටත් විජිතකරණයයි. ජාතික රාජ්‍යයන්ගේ සංස්කෘතිකමය සීමා විනිවිදිමින් ඇමරිකානු/ ධනේශ්වර සංස්කෘතික අගයන්, රාජ්‍යයන් සහ සංස්කෘතීන් තුළට කඩා වැදීමේ ක්‍රියාවලිය එමගින් පැහැදිලි කෙරෙනවා. මෙම වචනය මුල් වරට යොදාගෙන ඇත්තේ 1950 තරම් ඈත කාලයකදී, ප්‍රංශයේ කොකා කෝලාවලට එරෙහිව ඇති වූ විරෝධතා ව්‍යාපාරයකදී. ලෝකය වම සහ දකුණ ලෙස ධ්‍රැවීකරණය වූ සීතල- යුද සමයේදී, ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර දෙබෙදුම උද්දීපනය කරමින්, කොකා කෝලා ධනවාදයේ සෘජු සංකේතයක් බවට පත් වූවා. Richard Kuisel ඒ පිළිබඳ මෙසේ පවසනවා.

"කොකා කෝලා තරම් ඇමරිකාව සමග එකට යන (හඳුනාගැනෙන) කිසිදු වෙළඳ නිෂ්පාදනයක් නැති තරම්. එය විශ්වීය පානයක් බවට පත් වෙමින් තිබෙනවා."

සීතල යුද සමය ගැන කියවෙන ඇමරිකන් කඳවුරේ විහිළු කතාවකින්, සෝවියට් රුසියාව වරක් හඳට ගොස් හඳ මතුපිට රතු පාටින් පින්තාරු කළ බවත්, ඉන් පසු ඇමරිකාව හඳට ගොස් ඒ රතු හඳ මත සුදු පාටින් කොකා කෝලා ලෝගෝව පින්තාරු කළ බවත් කියවෙනවා. සෝවියට් රුසියාව බිඳ වැටෙන තෙක්ම එරට සහ නැගෙනහිර යුරෝපීය රටවල ප්‍රධාන සැහැල්ලු බීම සැපයුම්කරු වූයේ පෙප්සි සමාගමයි. අද පවා බොහෝ රටවල කොකා කෝලා සමග තරඟ වදින දේශීය සමාගම් කෝලා යන වචනය සමග කිසියම් දේශීය ඌරුවක් ගත් නමක් සංයෝජනය කරමින් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.



ඉන්දියාව තුළ කොකා කෝලා නිෂ්පාදන ක්‍රමවේදය නිරන්තර ප්‍රශ්ණ කිරීම් වලට ලක් වූ අතර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ජලයේ අඩංගු පලිබෝධනාශක සහ වෙනත් රසානනික සංඝටවල ප්‍රමාණය පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක විවේචන එල්ල වූවා. එමෙන්ම, කොකා කෝලා නිෂ්පාදනය සඳහා විශාල භූ ගත ජල පරිමාවක් යොදා ගැනීම මගින් දේශීය ජල මූලාශ්‍ර වියළී යාමේ අනතුරක් ඇති බවත් එමගින් කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙන බවටත් චෝදනා එල්ල වුනා. ඉන්දීය පරිසර ක්‍රියාකාරිනී වන්දනා ශිවාට අනුව කොකා කෝලා එක් ලීටරයක් නිෂ්පාදනය සඳහා පිරිසිදු ජලය ලීටර නමයක් පමණ වැය වෙනවා. 2006 දී කේරල ප්‍රාන්ත රජය පලිබෝධනාශක සාන්ද්‍රණය සම්බන්ධ චෝදනා මුල් කරගනිමින් කොකාකෝලා තහනම් කළ නමුත්, පසුව අධිකරණ මගින් තහනම අවලංගු කෙරුණා.

මේ වර්ෂයේ මුල් කාර්තුවේදී සිය වෙළඳ පිරිවැටුම, ගිය අවුරුද්දේ මුල් කාර්තුවට වඩා 6%ක වර්ධනයක් පෙන්වන බව ඉකුත් අප්‍රේල් මාසයේදී කොකා කෝලා සමාගම නිවේදනය කළා. මුල් තෙමසේ ආදායම පමණක් ඩොලර් බිලියන 11.14ක්. මේ කාල සීමවට අදාළව ඉන්දියාව තුළ 20%ක්, චීනය තුළ 9%ක් සහ බ්‍රසීලය තුළ 4%ක් ලෙස ආදායම් ඉහළ ගොස් තිබෙනවා. උපතින් වසර 126කට පසුත්, කොකා කෝලා සමාගම සියළු වෙළඳ තරඟකරුවන් අතර අනභිබවනීය වීමට බලපාන ලද හේතුව හුදෙක් ඉර මුදුනට ඒම නිසා කූල් වීමට කොකා කෝලා බීම පමණක් නොවෙයි. එහි ඇත්තේ සංකීර්ණ දේශපාලනික සංස්කෘතිකමය පසුබිමක්.



(BBC පුවත් සඟරාව සහ වෙනත් ජාලගත මූලාශ්‍ර ඇසුරෙනි.)

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඔබේ පොඩි පැල්පතේ
ඉස්සරහ බිත්තියේ හරි මැදට
ගසා ලොකු ඇණයක් තදට
මුහුණ ලා පළා පැහැ කුඹුරට
තනාදුන් කූඩුව සීරුවට
එපා දැන් මට

සුදෙන් පිරියම් කොට
ඇතුල්වීමේ දොරටු හිල්කොට
පිදුරු අතුරා ඇතුළට
උණුසුමට ගුලිවෙලා ඉන්නට
ඔබ තනා දුන් කූඩුව
එපා දැන් මට

දවස කුඹුරේම දියකොට
දහදියෙන් දිය බැඳි ඔබට
රන් පැහැ වී කරල්
මෙහෙම ඔච්චම් කරනකොට
ඔබේ දෙනෙතින් වෑහෙන
මරණීය කඳුළු කැට
තවත්නම් බැහැ මට
මෙතන ඉඳගෙන බලා ඉන්නට

වී කුරුල්ලෙක් වුව
නිකං ඉඳගෙන පිනට
නොකමි වී නම් මින් මනත්තට
සරු වූ විටක අත මිට
ඉහළම මිලක් දෙන්නට
ඔබේ ඔය වී කඳුලට
යළිත් එන්නම් විගහට
ඔබත් සමගින් කල් අරින්නට.......

ඉන්දික ගුණවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1961 සැප්තැම්බර් 18 වැනිදා රාත්‍රියේ මහනුවර කෞතුකාගාරයෙන් සිංහලේ අන්තිම රජු වශයෙන් සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔටුන්න හොරුන් විසින් පැහැර ගත්තා. මෙම ඔටුන්නේ තිබුණු රතු මැණික් කැට 41 හා ඔටුන්නේ වූ රත්තරන් වලින් කපා ඉවත්කරන ලද රත්තරන් තහඩු කැබලි දෙකක් 1961 ඔක්තෝම්බර් 08 වැනිදා කැළණියේ නිවසකින් සොරා ගන්නට පොලීසිය සමත් වුනා. 1961 දී සිදුවූ මෙම සිද්ධිය අපි මතක් කලේ වෙන කිසිවක් නිසා නොව අද වන විටත් කොළඹ කෞතුකාගාරය කැඩූ කුඩු කාරයෙකු පිළිබඳ කතාව අපේ මාධ්‍යවලට මරු news එකක් වන නිසායි. 1961 දී රාජසිංහ රජුගේ ඔටුන්න හොරාගත් පුද්ගල කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය දින 20 ක් ගතකර තිබුණා. 2012 මාර්තු මාසයේ 16 වැනිදා රාත්‍රියේ කොළඹ කුරුඳුවත්තේ කෞතුකාගාරය හොරුන් බිඳ තිබූ අතර එම සොරුන් (නියම සොරුන් දැයි ප්‍රශ්නයක් පවතී) අත් අඩංගුවට ගත්තේ 2012 අගෝස්තු 20 වැනිදා රාත්‍රියේයි. දින 157 ඇවෑමෙන් කොළඹ කෞතුකාගාරය බිඳි බවට පවසමින් පොලීසිය මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්නේ කුඩුකාරයෙක්. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරපු කොළඹ හතේ කඩු ගිලපු කුඩුකාරයාගේ නාඩගමට අපේ මාධ්‍යකරුවන් හොඳ පිටපතක් (තමන් සේවය කරන මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ දේශපාලනික පැහැය අනුව යමින්) ලියා අධ්‍යක්ෂණය කොට කිසිඳු සංස්කරණයකින් තොරවම දැන් තිරගත කරමින් සිටී. මේ ඒ නාඩගම :

දර්ශණ අංක 01 (පොලිස් මුලස්ථාන ශ්‍රවණාගාරය)

මාධ්‍ය ප්‍රකාශක- අයියෝ විපතකි , බලන්න මහතුනි
රජසිහ රජුගේ කඩුව නැතෝ
කඩුවයි කොපුවයි මැණිකුයි මුද්දයි
අරගෙන ගිහින්ලු කොතැන වෙතේ

News Labour- කවුරුද කවුරුද කොහොමද සිදුවුනේ
කියන්න කියන්න රස කරලා
කුණුවෙන්නට පෙර ගහමුද
Braking හොරා දුවයි එතකොට පැනලා

මාධ්‍ය ප්‍රකාශක- දෙන්න සති දෙකක්
අල්ලනවා අපි
ඕවත් කජ්ජද අපිට අනේ
ඇල්ලුව ගමන්ම එන්නකො දුවලා
කැමරා ඔන් කරගෙනම පනේ

දර්ශණ අංක 02 (රෝහලක ඇඳක් මත වැතිරී සිටින පුද්ගලයෙකි. ඔහුගේ මුහුණේ සමීප දසුනක්)

සිකුරිටි- සිකුරිටි මමයි
මම දැක්කා බෝ දේ
උන් ඉස්සුවා
ඉල කැඩුවා සිතූ සේ

ගත්ත උන් දැක්කා
දැක්ක වග කිව්වා
අම්බානක ගැහුවා
මතකම නැහැ ඒවා

දර්ශණ අංක 03 (පොලිස් මුලස්ථාන ශ්‍රවණාගාරය)

මාධ්‍ය ප්‍රකාශක- එන්නකො මල්ලි
අපි ඇඳගත්තා රූපේ
මේකා තමයි
අරගෙන පැන්නේ කටුගේ

News Labour- අයියේ මේකා
පිටරට සිටිනා එකෙකි
දන්නා පරිදි අම්බානක
පෝසත් එකෙකි

දර්ශණ අංක 04 (පිළියන්දල පොලීසිය)

මාධ්‍ය ප්‍රකාශක- මේ කටුගේ බින්ද එකා
කුඩු ගහනවා හොඳට යකා
අල්ලාගෙන දෙක දෙනකොට
මූ කිව්වා වික්ක එකා

News Labour- අයියේ එතකොට මේකද
මූගේ මුහුණ වෙනස් නේද
අර ඇන්ඳෙ මූ නොවේද
එතකොට ඒකා කවුරුද

මාධ්‍ය ප්‍රකාශක- බහුජාතික කුමන්ත්‍රණේ
කටුගේ පිටුපස තිබුනේ
ආශ්චර්යෙ උහුල ගන්න
බැරිවයි මෙය කර තිබුනේ

News Labour- අම්මෝ අයියෝ ඇත්තද
එහෙනම් ඒකත් එහෙමඳ
දේශප්‍රේමෙන් වැඩෙම්ද
මෙහෙම ලිව්වාම හොඳයිද

අවදිවව්! කෞතුකාගාර හොරකම පිටුපස බහුජාතික කුමන්ත්‍රණයක්!

නිවුස් ලේබර්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



[මෑත පෙර දිනෙක 1969දී තිරගත කළ හන්තානේ කතාව සිංහල සිනමා කෘතිය පේරාදෙණි සරසවි කලාගාරයේ නොමිලේ ප්‍රදර්ශනය කරල සංවාදයක් පැවැත්තුවා. ඒ අපි එකට බලපු එකම ෆිල්ම් එක. පළවෙනිත් එක.]

ඔක්තොම්බරේ සීත හවසක
හතළිහක් වස් අතීතෙක
හන්තාන සන්තානෙ
රූප මත කියවමින
සිනමාහලෙක සැප'සුන් නොව
දිගාරින අකුලන
කලාගාරය සැපසුන් අසුන්
යාබදව ඈ-මා

"පරසිඳු අඳුරු" තප්පර දශමෙකදි වුව
අතකිනුත් නාල්ලන
ශිෂ්ට ආචාර බැඳුම් බිය
හා විවාහක
අයන්නක් මුලින් ආ නියම පෙම එක්ක
තුන් කාලෙ අඳුරක
ගෑවි ගෑවී අපි දෙදෙන

සංවා‍ද නිවේදක කියෙව්වා
මෙහෙයුම් වාක්කිය වගේ
ස්වර්ණ-විජේ-ටෝනි මවන
සුබා-බන්දු-අනුර එහෙම
අදත් පැටවුන් විලාසෙන් හරි
ඉන්නවලු අප කා තුළත්
සිදුවීම් ගණනකට පස්සෙදිත්..
(71/78/83/88/89)
චිත්‍රපටි කළුවරේ
අතින්වත් නාල්ලන එයා
සංවාද ආලෝකෙ
කෙනිත්තුව මා අතින්..
ඒ කෙනිත්තිල්ලට
ගැස්සිලා ඇකිළුණ මේසය
දිගාරින විටදි ඈ තප්පරෙන්
ලේ කැටගැසුණි
මේස දෙක යා වෙන
ඇඟිල්ලක ඉඩ හිඩැස නැති
හිඩැස් දාරය අතර
මා සුරත් සුළැඟිල්ල..
ඉරුවෙ නෑ ඈ
මු‍වෙ රුවා මා සුරත් සුළැඟිල්ල
ඉඟියකින් සන් කළා
උරුව උරුවා
මගෙ ඇඟිල්ලෙම එයාගේ එක.
අනුකරණයක් මා කළා..

හැටන‍මේ මේ බිමේ
රූප පෙන්නුව නිදහස
වටා ගැටගැහෙන කොට
නව සහස්‍රක නිදහසේ කතිකාව
සිනිඳුවට ඇඟ ඇළුණු
පනා හඳවල්, තාරුකා තව හැඩතල
විසිරිච්ච හැට්ට පපුවෙන්
මදටිය රතින් දිලිහෙන
බෝ කොළ හැඩැති හදවතක
කුඩා මැවුමක් උගුලලා රහසින්
මිටිමෙලෙව්වා මා අත
"පරිස්සම් කර ගන්න.පස්සෙ මම අහනවා කෝ කියා"
කෙඳිරුවා..

කලා හා සංවාද ගණුදෙනුව
හින්දමද මන්ද ඈ ඕනවට වැඩියි දැන්
ප්‍රේමයේ සැරිසැරිලි අස්සට
සංකේත.සංකේත.සංකේත.
ආදරේ කියන්නේ
සංකේත විතරමද කියනවද?

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා
..........යෝ වාත වේගයෙන් ඉගෙලෙනු කොතැනා
බදා රජ දෙඋර මැඳුරේ පිළිකණු කුණු බුදිනා
විලාසයට කවදාවත් බිම නොවැටේ සිතුනා

අභ්‍යාස-
හිස්තැනට සුදුසුම වචනය සොයන්න. [ල.25]

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එය නාදයකි. සැබවින්ම කියතොත් සීනු නාදයකි. නිකම්ම සීනු නාදයකුදු නොවෙයි. මිහිරි සීනු නාදයකි. මිහිරි සීනු නාද අප කොතෙකුත් අසා ඇති බැවින් මේ කියන්නට යන්නේ කොයි මිහිරි සීනු නාදය දැයි යළිඳු අසන්නට සිදුවෙයි. ඒ වෙනකක් නොවෙයි.

'අර මිහිරි සීනු නාදය' යි.,

ඉතිං හරියටම මේ මිහිරී සීනු නාදය දැන ගැනීමට පාඨකයාට දොළක් නූපදියි ද? සැබෑවටම නම් මේ වික්‍රම අයියාගේ බයිසිකලයේ සීනු නාදය බව දැන ගැනීමට පිටු කිහිපයක් පෙරළී යනතුරු බලා හිඳීමට සහෘදයාට සිදුවෙයි. පිටු පෙරළීම නිරුත්සාහක ක්‍රියාවක් වන්නේ ඒ තරම් ම ඒ සීනු නාදය මිහිරි වන නිසා ය.

නිර්මාණයක නම ඇසූ පමණින් ම එය කියැවීමේ රුචිය ඇති කරවන්නට සමත් වන්නේ නම්, ඉන් පැවසෙන්නේ නිර්මාණකරුවා ඒ වන විටත් සහෘදයා කෘතිය වෙත ආකර්ෂණය කර ගැනීමේ ප්‍රථම අදියර ජය ගෙන ඇති බවකි. අමරකීර්ති මෙහි දී සිදු කර ඇත්තේ පද සංයෝජනය (Syntax) මට්ටමේ මිහිරි කිති කැවීමකි. නිර්මාණය කියවන්නට පෙර ම පාඨක මනස් තුළ කුතුහලයෙන් හා ප්‍රහර්ෂයෙන් ප්‍රමුදිත කරවන්නට අමරකීර්ති සමත් වන්නේ මෙ ලෙසිනි.

නිර්මාණකරුවෙකු සතු ප්‍රතිභාව විදහා පාන සුවිශේෂී ම අංග ලක්ෂණයක් ලෙස ඔහුගේ නිර්මාණ භාවිතාව සලකා බැලිය හැකි ය. එකී භාවිතාව තුළ නිර්මාණකරුවා ලබා ඇති පරිචය හා ප්‍රශස්ත ලෙස අත්දැකීම් කෘතිය තුළට සම්පිණ්ඩණය කිරීමේ ශක්‍යතාව හුදෙක් ම ගැබ්වෙයි. ඒ අර්ථයෙන් අමරකීර්ති ගේ ‘අර මිහිරි සීනු නාදය’ කෙටිකතා සංග්‍රහය ඔහුගේ සාහිත්‍යමය ශක්‍යතාව විදහා පාන කැඩපතකි.

අඩුවැඩි වශයෙන් ගුණදොස් විචාරමින් මේ සබැඳි ව පළ වූ පුවත්පත් හා අන්තර්ජාල ලිපි බොහොමයක් පසුගිය දිනවල ඇස ගැසුණි. ඉනුදු පසුගිය ඉරිදා (25) රාවයේ පළ වූ ‘සාහිත්‍යයේ යථාර්ථවාදය යනු කිම?’ යන හිසින් මහාචාර්ය සුචරිත ගම්ලත් ලියූ ලිපිය පිළිබඳ සටහනක් තැබීම මෙහි අරමුණයි.

එහි දී ඔහු මෑත භාගයේ පළ වූ කෘති හතරක් තෝරා ගනිමින් යථාර්ථය හා සාහිත්‍යයේ සම්බන්ධය ගැන කරුණු දක්වයි. අමරකීර්ති ගේ ‘අර මිහිරි සීනු නාදය’ ශෂී ප්‍රභාත් ගේ ‘ප්‍රඥා ප්‍රාසාද’ චින්තක රණසිංහ ගේ ‘පිරිමි කවුරුද වරදෙ නොබැදෙන’ හා මස්ඉඹුල ගේ ‘සෙංකොට්ටං’ එම කෘති හතරයි.

ඉතා ම හොඳ යැයි කියා මිතුරන් දෙදෙනෙකු විසින් ඔහු අතට පත් කළ ‘අර මිහිරි සීනු නාදය’ පිළිබඳ මහාචාර්යතුමාගේ කියැවීම අපට දනවන්නේ නො පහන් හැඟීමකි. එය හුදෙක් විචාරයකට එහා ගිය පුද්ගලික කෝන්තර පිරිමැසීමක් දැයි සිතෙන තරමට වංක වූවකැයි විටෙක සිතෙයි. ගම්ලතුන් යනු ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතාපවත් දැවැන්තයෙකු බව නො කිවමනා ය. එ වැන්නෙකුගෙන් හැම විට ම සමාජය අපේක්ෂා කරන්නේ විදග්ධ, සාරගර්භ අදහස් විනා පුද්ගලික කෝන්තර පිරිමහන විචාර නො වේ.

තුංමංහන්දියේ ලොකු මාමා ගේ චරිතය සිංහල සාහිත්‍යයේ අපට හමු වූ විශිෂ්ට ම චරිතයකි. හේ රසවතෙකි. කලාව හඳුනන සුන්දර මිනිසෙකි. නමුත් ‍ඔහුගේ ඇති නරකක් නම් බී ගත් විට ඔහුට පරණ කෝන්තර මතක් වී බැණ අඬගසමින් රණ්ඩුවට යෑම යි.

ගම්ලතුන්ට ද විචාරයක් ලිවීමට පෑන අතට ගත් විට පරණ කෝන්තරයක් මතක් වී ඇත. සාහිත්‍යයේ යථාර්ථවාදය පිළිබඳ එතුමා ගේ දැනුම විමසන්නට අප වැන්නකුට තරම් නො වෙයි. එ නමුත් එතුමා ‘අර මිහිරි සීනු නාදය’ අරබයා හුවා දක්වන තර්ක සාධාරණ නො වන බව එකහෙළා ම කියන්නට සිදුවෙයි. ඒවා හුදෙක් බොල්, වියළි ඒවා බව පැහැදිලිව ම පෙනෙයි.

‘දේශපාලනය මනුෂ්‍ය ජීවිතයට හානිකර වන්නේ නම් එහි කුමන වරදක් නිසා දැයි කිය යුතු ය. එසේ කියා නැත’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

රංජනී හා වික්‍රම අයියාගේ ප්‍රේමයට දේශපාලනය බාදාවක් වූ නිසා දේශපාලනය මනුෂ්‍ය ජීවිතයට හානිකර වූවකැයි ගම්ලතුන් දකී. මෙය පටු අදහසක් බව තේරුම් ගන්නට මහ වෙලාවක් අවශ්‍ය නො වේ. කතාකරුවා කියන්නට උත්සහ දරන්නේ වෙනත් දෙයක් බව හොඳින් ම පැහැදිලි ය. ගම්ලතුන් එය හරිහැටි වටහා ගෙන නැත. එය ඔහුගේ මනසේ ඇති යුතෝපියාවකට බලහත්කාරයෙන් කතාව ඈඳන්නට තැත් කිරීමකි. මෙ වැනි පූර්ව විනිශ්චයන් මත පිහිටා සපයන විචාර, නිරර්ථක වන්නා සේම ඉන් සාහිත්‍ය ලෝකයට හෝ පාඨකයාට වන සෙතක් නම් නැත.

සැබෑ ප්‍රබන්ධ කතාවේ ස්වභාවය ලෙස එතුමා දකින්නේ 'යථාර්ථය විශ්ලේෂණය කොට නිරාවරණය කර තිබිය යුතු ය' යන අදහසයි. ඒ අනුව ‘අර මිහිරි සීනු නාදය’ තුළ ජ.වි.පෙ. දේශපාලන දර්ශනය විග්‍රහ කර තිබීමක් ඔහු ඉඳුරා ම අපේක්ෂා කරන බව පෙනෙන්නට ඇත. එවිට සිදුවන්නේ මිහිරි සීනු නාදය කෙසේ වෙතත් ජ.වි.පෙ. සීනුව නාද වීමක් පමණක් විය හැකි ය. ගම්ලතුන් යථාර්ථය ලෙස ඉල්ලා සිටින දේශපාලන විග්‍රහය මේ කුඩා කෙටිකතාවෙන් අපේක්ෂා කිරීම හාස්‍යයට කරුණකි.

අපි කෙටිකතාවක් කියැවීමෙන් මෙවැනි දේශපාලන යථාර්ථයන් හෙළිදරවු කිරීමක් කිසි විටෙකත් අපේක්ෂා නො කරමු. කෙටිකතාවට හැමදාමත් විෂය වූයේ මනුෂ්‍ය ජීවිතය හා මිනිස් චිත්ත සන්තානය පිළිබඳ ගැඹුරු දර්ශනයක් මිස දේශපාලන විවරණයක් නම් නො වේ.මෝපසාං, චෙකොෆ්, ගොගොල්, ඇලන් පෝ, ගෝර්කිවැනි ප්‍රකට කෙටිකතාකරුවන් කළේ එයයි. සමාජ යථාර්ථය හෝ දේශපාලන විග්‍රහයන් කෙටිකතාවකට විෂයගෝචර නො වුව ද එය නවකතාකරුවාට හා නාට්‍යකරුවාට නම් අපූරුවට විෂය වූවකි. ජීවිතයෙන් පොත්තක් රූපණය කිරීමට ඉදිරිපත් වන කෙටිකතාව යනු පරිසමාප්තාර්ථයෙන් ම සංක්ෂිප්ත කලාවකි. එයින් මනුෂ්‍යත්වය පිළිබඳ සියුම් අරුත්බර කියැවීමක් විනා ගම්ලතුන් කියන ආකාරයේ පුළුල් දේශපාලන හෝ සමාජීය යථාර්ථ විග්‍රහයක් නම් නො වෙයි.

රුසියාවේ දේශපාලන, ආර්ථික හෝ සාමාජීය දර්ශනය විවරණාත්මක ව හෙළිකළ කෙටිකතා අපට දක්නට නො ලැබෙයි. ඒ හැමෙකක ම ඇත්තේ මනුෂ්‍යත්වය පිළිබඳ සංවේදී සමීප රූපයන් පමණකි. නමුත් කතාවේ පසුබිම තුළ මුළුමනින් ම පාහේ යට කී දේශපාලන සමාජාර්ථික දේශපාලන දේහයන්ගෙන් පිරී පවතින බව නම් ඉඳුරා ම සත්‍යයකි.

මින් පෙනෙන්නේ මහාචාර්යතුමාගේ පුද්ගලික අභිප්‍රායන්, මනෝමය යුතෝපියාවන් ඔහු කෙටිකතාවෙන් අපේක්ෂා කළ සැටියකි.

‘මේ අමානුෂික සමාජය නැමති ගවර වළෙන් ගොඩ ඒමට මිනිසාට ඇති සැබෑ විමුක්තිය මාර්ගය නම් දේශපාලනය යි. කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලනය යි. 1917 රුසියානු විප්ලවයේ අඛණ්ඩතාව ය වන දේශපාලනය යි. එම දේශපාලනය සඳහා ප්‍රේමය කැප වූවාට වරද නැත’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

මේ කවර මනෝමූලික කතාවක් දැයි හෙළිකළ හැක්කේ ද ගම්ලතුන්ට ම පමණි. ඔහුගේ පුද්ගලික දේශපාලන මතවාදයන් බාහිර යථාර්ථය තුළින් අපේක්ෂා කිරීම හා එවැන්නක් කලා නිර්මාණ ඔස්සේ දැකගැනීමට බලාපොරොත්තු වීම කෙතරම් අසාධාරණ ද? එසේ නො වන නිර්මාණ නොකියවා ම පසෙක දැමීමට තරම් ඉක්මන් වීම කෙතරම් අයුක්ති සහගත ද?

සැලකිල්ලෙන් කියැවී නම්, සීනු නාදය පිළිබඳ ගම්ලතුන් දක්වන බාල තර්කයන්ට වඩා සාධාරණ විවේචන කිහිපයක් ම ඉන් සපයා ගන්නට තිබුණු බව අපගේ හැඟීමයි. මේ අරබයා ගොනු කළ හැකි ප්‍රධාන විවේචනය ලෙස පෙනී යන්නේ ‘අර මිහිරි සීනු නාදය’ වූ කලී කෙටිකතා ආකෘතිය ඉක්මවා යන්නක් බවයි. සමස්ත කෘතිය පුරාවට ම දකින්නට ලැබුණු පොදු ලක්ෂණයක් වූයේ ද ඒකීය ධාරණාව පිළිබඳ සංලක්ෂණයන්ට අඩුවෙන් ම අවනත වූ බවකි. මේ අතුරින් ද විෂය වූ නිර්මාණය සංක්ෂිප්ත නවකතාවකට කිට්ටු ලක්ෂණ උසුලයි. පියසීලි විජේමාන්නගේ ‘වෙලේගෙදර සුගුණවතී’ යනු ද එවැනි අර්ධ නවකතා ලක්ෂණ දැරූ කෙටිකතාවක් බව සිහිපත් කළ හැකි ය. කෙසේ වෙතත් අමරකීර්ති ගේ කෙටිකතා (මීට පෙර පළ වූ ‘විල සහ මල’ ද ඇතුළත් ව) ඉතාමත් සූක්ෂම හා හොඳින් ගලපා ගත් වස්තු බීජයන්ගෙන් මෙන් ම සංවිධිත ආඛ්‍යාන ලක්ෂණයන්ගෙන් ද අනූන බව නො කියා බැරි ය. ඔහුගේ අනුප්‍රාසාත්මක හා සියුම් හාස්‍ය මුසු ලේඛන ශෛලිය පැසසුම් කටයුතු ය. නමුත් ගම්ලතුන් මීට දෙන සම්මානය කුමක්ද?

‘මේ පොතේ ඉතිරි කථා මම නො කියවූයෙමි. ඒ පළමු කථාවෙන් ම මට ඉතිරිවා කියැවීම අරුචි වූ නිසා ය’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

මෙය කෙතරම් සැහැසි ප්‍රකාශයක් ද? මෙබඳු නිර්මාණයක් ගම්ලතුන් තනි පෑන් පහරකින් කපා හරින්නේ සිත්පිත් නැත්තකු පරිද්දෙනි. ඒ සියල්ල පසෙකින් තබමු. ගම්ලත් වැනි සුචරිතවත් පඬිරුවනක් වෙතින් අප බලාපො‍රොත්තු විය යුතු අන්දමේ අදහසක් ද ඒ? සැබෑ විචාරකයා තුළ තිබිය යුතු සංයමය, ඉවසීම මෙයින් පළ වෙයිද? නිර්මාණකරුවා පිළිබඳ විචාරකගේ පුද්ගලික ආකල්ප සාහිත්‍ය සමාජයට කිසිසේත් අදාළ නැත. එක් කතාවක් කියවා සමස්තය පිළිබඳව ම විනිශ්චයන් දීමට ගම්ලතුන් ඉක්මන් වීම තුළින් පෙනෙන්නේ ඔහුගේ විචාර බුද්ධිය නොව, පරණ කෝන්තර පිරිමැසීමේ ‘ලොකු මාමාගේ’ ගතියයි. අඩුම තරමේ ඔහුත් අවශේෂ චරිතයක් ව සිටින ‘යතුරු සිදුර’ වත් ඔහු විසින් කියැවිය යුතු ව තිබිණි. ‘නොනිදන අවදිය’ තුළින් ඉඟි කරන සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම ඇති ‘අවුලට’ ඔහු ද පංගුකාරයෙක් නො වන්නේ යයි කාට නම් කිව හැකිද?

‘ලේඛකයාගේ මිත්‍රයා ප්‍රශස්ති ගායකයා නො ව යුක්ති සහගත විචාරකයා බව කියනු කැමැත්තෙමි’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

ඉතිං ගම්ලතුන්ගේ මේ යුක්තිය ඇත්තේ කොතැනකද? පරණ කෝන්තර පිරිමැසීමක් විනා සැබෑ යුක්ති සහගත විචාරයක් ඔහු මෙකී කෙටිකතාව අරබයා සිදුකර නැති බව අපගේ අවංක හැඟිමයි.

ගම්ලතුන් යනු සිංහල වියරණය පිළිබඳ දැනුමැති උගත් පඬිරුවනකි. වියරණ දෝෂ හා අක්ෂර වින්‍යාසයේ දෝෂ දුටු තන්හි දී ඔහු කිපෙන්නේ අඳු කොළ දුටු නාගයෙකු පරිද්දෙනි. ඒවාට ප්‍රතිචාර දක්වන්නට අවි අමෝරන්නේ ද එ සැණිනි. එසේ වූ ගුරුන්ටත් අකුරු වරදී යන කියමන සනාථ කරමින් ගම්ලතුන්ටත් තැන් කිහිපයක දී වරදී. ඔහු සිය ලිපිය අරඹන්නේ ම වියරණ වරදකිනි.

‘එසේ කිරීම යථාර්ථවාදය යන්නෙන් මා අදහස් කරන්නේ කුමක් දැයි පහදා ලීමට උපකාර වෙතැයි සිතුණෙන් මේ ලිපිය ලියමි’

‘මේ සම්බන්ධයෙන් ඔවුහු මළමිනී මෙන් නිහඬ ය’

‘නායකයෝ ඒ පන්තිමය අවශ්‍යතාව ප්‍රකාශ වන මාධ්‍ය පමණි’

‘දියණියෝ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කේෂ්ත්‍ර පර්යේෂණවල නිරත වෙයි’

(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

මේ තබා ඔහු සෙංකොට්ටං ගැන තබන සටහන ද අතිශය උත්ප්‍රාසාත්මක ය.

‘කීප පළක සිදු වී තිබෙන උක්තාඛ්‍යාත සාම්‍ය බිඳීම ඇස කොනිත්තන්නේ වුව ද ඔහුගේ භාෂාවේ තිබෙන පොදු සරල සුන්දර ගලනය නිසා මේ දෝෂය නොතක හළ හැකි ය’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

ගම්ලතුන් මස්ඉඹුලට සමාව දුන්නත් අප හට ඔහුට සමාව දිය නොහැක්කේ එතුමා වියරණය පිළිබඳ වැරදි දක්වමින් සෙස්සන් පතුරු ගසන හැටි දුටු විට ය. ගම්ලතුන්ගේ මේ වියරණ බිඳීම මගේ ඇස ද කෙනිත්තුවේ ය. එයින් ම ඔහුගේ ලිපිය කියැවීම අපෝ වී ගියත් සෙස්ස ද මම ඉවසීමෙන් යුතු ව කියැවීමි.

ශෂී ප්‍රභාත් ගේ හා චින්තක ගේ පොත් ගැන දී ඇති විචාරයට මැදිහත් වීමට නො හැක්කේ ලියුම්කරුට තවමත් ඒවා කියැවීමට නො ලැබුණු නිසා ය. නමුත් 'සෙංකොට්ටං' ගැන ගම්ලතුන් ගේ විචාරයට අපි ද එකහෙළා ම එකඟ වෙමු. 'සෙංකොට්ටං' යනු විශිෂ්ට කාර්ය සාධනයක් බව අවිවාදිත ය. ඉතාම කලාතුරකින් පොතකට හොඳක් කියන රන්ජන් අමරරත්නයන් ද මෙය පසසා තිබිණි. ප්‍රේමතිලක පේරුකන්දයන් ද ‘සෙංකොට්ටං’ කෘතියට කටපුරා හොඳයි කීමට පෙළැඹී තිබෙණු දක්නට ලැබිණි.

එය සැබෑය. හොඳ දේට හොඳයි කීමට අප කිසිම කලෙක මැළිවිය යුතු නැත. එසේ නො කරන්නේ නම් එය කුහකකමකි.

සීනුවක් අතින් වසා නාද කළ විට ඉන් නැ‍ඟෙනුයේ බොල් හඬකි. මහාචාර්යවරයා ද සිදුකර ඇත්තේ එතුමා ගේ පුද්ගලික පූර්ව විනිශ්චයන් හා ‍පරණ කෝන්තර නැමති අතින් වසා සීනුව නාද කිරීමකි. අර සීනු නාදයේ මිහිර ඔහු අතින් වියැකී ගොස් ඇත්තේ එ පරිද්දෙන් යැයි අපට සිතෙයි.

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පිළිසිඳ ගැනීම:

මම ඇත්තටම මෝඩ කෙල්ලක් ද? යහපත් කෙනෙක් ඇවිල්ල ‘මම ඔයාට ආදරෙයි කරුණාකරල මට ආදරේ කරන්ඩ’ කියල බැගෑපත්ව කියනකොට එයාගෙ සපත්තුවේ ලේස් ගැටේ ලෙහිලා වගේ දේවල් නිදහසට කාරණා වශයෙන් හොයන්ඩ තරම්. මම ඒ කෙනාගෙ තියෙන ඊරිසියා සහගත ආදරය අඳුනා ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නෙ ඇයි? එයාට සියලු දේ බලාපොරොත්තු වීමට මම වහාම අවසර දිය යුතුයි.

මට අසාධාරණ විදියට ආදරය ලැබෙනව. ඉතින් ඒකට කරන්න තියෙන්නෙ ලැබෙන දේ හරියට කළමනාකරණය කරන එකයි. නාස්ති කරන්න නරකයි. ඉස්සරවෙලාම මම ඇස් දෙක පිහදා ගත යුතුයි. දුක් විතරක්ම ආහාරයට ගැනීම නතර කළ යුතුයි. ජීවිතය කියන්නෙ දුකක් වගේ දේකට තමයි. මම මේ ලියන්නෙත් ඒක නෙ. දුකේ සතුටට. මම ටිකක් මගෙන් එළියට ඇවිල්ල බලන්න ඕනෙ මා දිහා. පිට කෙනෙක් විදියට. මට බලන්න ඕනෙ මම කොච්චර පොහොසත් ද කියල. කොච්චර වටිනව ද කියල. සමහරවිට වෙන අයගේ ඊරිසියාවට ලක්වෙන්න තරම් වටිනවත් ඇති.

මම ප‍්‍රධාන ප‍්‍රවාහයට එන්න ඕනෙ. පුරුදු වෙන්න ඕනෙ. පිරිමි ඉල්ලන්නෙ මුහුණ සෝදන විට තුවාය ඉදිරිපත් කරන්න වගේ ඉතා සුළු දේවල්. හරියට බැලුවොත් දුක හිතෙනවා. තමා ස්වාමිපුරුෂයා තනතුරේ ඉන්නා බව සනාථ වෙන්න සුළු සුළු දේවල් විතරයි පිරිමින්ට ඕනැ. පිරිමි හරි මෝඩයි. ඒක අපි සියලු දෙනාම අවිවාදයෙන් පිළිගන්න දෙයක්. ගෑනු වැඩිය බුද්ධිමත් වෙනවටත් පිරිමි කැමති නෑ. ඒ නිසා බුද්ධිමත් විදියට බුද්ධිමත් නෑ වගේ ඉන්න ඕනෙ. කොච්චර පහසු ද? මම කොහේ හරි කියවල තියෙනව ‘ඔබට යම් කිසි විදියකින් බුද්ධිය හෝ සතුට යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ලැබුණහොත් සතුට තෝරාගන්න’ කියල.

මම ඊරිසියාවන්ත පෙම්වතෙක් නැතුව උපේක්ෂාවන්ත පෙම්වතෙක් බලාපොරොත්තු වෙන එක වැරදියි. හොඳයි මට ඊර්ෂ්‍යා රහිත පරමාදර්ශී පෙම්වතෙක් ලැබුණයි කියල හිතමු. එයා කියනව... ‘ඔයා යාළුවො ආශ‍්‍රය කරන්න. ගෑනු පිරිමි ඕනැ කෙනෙක්. මම ඔයාගෙ නිදහසට ගරු කරනවා... ඔයා ඕනැ දෙයක් ලියන්න, කියවන්න, බලන්න. මම හොයන්නෙ නෑ මොනව ද කියල. ඔයාගෙ නිදහස නෙ. මම ගරු කරනව... ඔයා කතා කරන්න, අතින් අල්ලගෙන ඉන්න, ඔයා කැමති කෙනෙක්ව. මම ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. ඔයාගෙ නිදහස. ගරු කරනව... ’ මම කැමති ද? මම බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ පෙම්වතෙක් සමග විවාහ වෙන්න ද?... ප‍්‍රවේශමෙන්! සමහරවිට මම බලාපොරොත්තු වෙන දේ මට ලැබෙන්න පුළුවන්.

මට දැනෙන විදියට නම් අවුරුදු දාස් ගණනක් ගිහිල්ලත් පිරිමි වෙනස් වෙලා නෑ. ඒ ගොල්ලො කෙලින්ම නො කිව්වත් ඉල්ලා හිටින්නෙ ‘ගෙට එන කලට පා දොවන, දසන් දක්වා සිනා නොමසෙන’ බිරින්දෑවරු. මට කරන්න තියෙන්නෙ ඉතා සුළු ‘පෙන්වීමක්’. ඒක වංචා කිරීමක් නෙවේ. තරුණ බිරියන් ස්ටොකින්ස් (විතරක්) ඇඳල, හයි- හීල්ස් දාල නිදන කාමරේදි ස්වාමියාට පෙන්නන්නෙ. ඒ වගේ තමයි. සතුටු කිරීම සඳහා. මට කියන්න තියෙන්නෙ ‘මම ඔයා වෙනුවෙන් කැප වෙන්නම්, මම ඔයාව දරා සිටින්නම්’ කියල. කොච්චර සතුටට පත්වෙයිද? ඒ වචනවලට තේරුමක් නෑ. මගෙ ඇඟෙන් කෑල්ලක් යන්නෙත් නෑ. ලස්සණ පාට විතරයි. මිනිස්සු පාටට කැමතියි. මගෙ බුද්ධිමත්කම, ස්වයං තීරණ ගැනීමේ හැකියාව හා ඒකට ඇති අයිතිය ප‍්‍රදර්ශනය කරන්න උවමනා නෑ. යටින් ඉන්නම් කියල කියන්න විතරයි තියෙන්නෙ. යටින් ඉන්නම උවමනා නෑ... වචන ඉතාම වැදගත්. ශිෂ්ටාචාරය හදල තියෙන්නෙ වචනවලින්. මිනිස්සු හිතන්නෙත් වචනවලින්.

මගේ ‘පිරිමි ළමයා’ මම ෆේස්බුක් එකේ ඉන්න එක ගැන ඊර්ෂ්‍යා කිරීමත් ඉතා පැහැදිලියි. මම සාමාන්‍ය ගෑනු ළමයින්ට වඩා කොම්පියුටරය ආශ‍්‍රය කිරීමත්, වල් ගෑනු යාළුවාගේ- ඒ කියන්නේ යාළු පිරිමි තුන් දෙනෙක් ඉන්න යාළුවාගේ අත අල්ලාගෙන යෑමත් ඒ වගේම තමයි. ලංව සිටීමේදී චරිත ලක්ෂණ පේ‍්‍රරණය වෙනවා. නිශ්චිතවම, ‘වල්කම’ ආරෝපණය වුණ අයගෙන් නො වුණ අයට. මම දන්නව නෙ මගේ ගෑනු යාළුවාගේ කෘතහස්ත අත්දැකීම් ගැන. මම කිසි නො හැදිච්චකමක් නො කළත් නො හැදිච්චකම් කිරීමට උවමණා කරන සාධක මගේ හැසිරීම් සහ ආශ්‍රයන් තුළ තියෙනව. ඉතින් ඒ පිරිමි ළමයට චලනය නොවී ඉන්න කියන්න බෑ. ඉතා ප‍්‍රාථමික ගෝත‍්‍රික සමාජවලත් පුරුෂයා සංවාසයේ යෙදුන ස්ත‍්‍රිය සමග රැඳී සිටීමට නම් ඉල්ලා සිටින්නේ වෙනත් පුරුෂයන් හා සංවාසයේ නො යෙදීමේ සහතිකය. දියුණු සමාජවලත් ඉල්ලන්නෙ ඒකම තමයි වෙන වචන වලින්. මට තියෙන්නේ ඉල්ලා සිටින සහතිකය ඉල්ලා සිටින වචනවලින් දෙන එක.


ගබ්සාවීම:

සියලු දේ හරියට පටන් ගන්නත් කලින් කෙටියෙන්ම අවසන්. ඒ කියන්නෙ මාස එක හමාරකට විතර පස්සෙ අපේක්ෂිත හා අනපේක්ෂිත පරිදි ඒක නැවතුණා. එයාට තේරෙන්න ඇති මට එයාව එපා වෙමින් පවතින බව.

තදබල රංඩුවක්... පහුවදාම එයා යාළුවො දෙන්නෙකුටත් කියලා නවත්තනවා කියල. ඊටත් පහුවදා මට... ‘‘අපි දෙන්නා අතර එකඟතාවයක් නැති නිසා මේක තව දුරටත් තියෙන්නෙ නෑ’’.

මට යකා නැග්ගා. මාත් එක්ක කතා නො කර වෙන එවුන්ට කියලා ඉවර වෙලයි මට කියන්නෙ. ඒ මදිවට අති සාමාන්‍ය විදියට ඔෆීස්එක ඇතුළෙත් හැසිරෙනවා. මමත් ගණනක් නෑ වගේ පෙන්නගෙන හිටියට මට තේරුණා මං ඉන්නෙ අමාරුවෙන්. මට කොහේ හරි වේදනාවක් දැනෙනවා.

මං එහෙම වේදනාවක් කැක්කුමක් බලාපොරොත්තු වුණේ නෑ. මොකද මට එයාව එපා වෙලා තිබුණෙ. කිසිම විදියකින් මාව අගය නො කරන, මගේ වැරදිම දකින පිරිමියෙක් එයා. නමුත් දැන් මගේ හිත රිදිලා. මට විශ්වාස කරන්නත් බෑ. අපි දෙන්නා නො ගැලපෙන බව ඇත්ත. ඒත් ඒ ගැන මාත් එක්ක කතා කරලයි අනිත් අයට කියන්න ඕන. මට තව දුරටත් කළකිරීම ම. සැරින් සැරේ මගේ ඇස්වලට කඳුළු.

රෑ දු. ක. අමතල මට හිතෙන දේවල් මගේ පැත්තෙන් එයාට කියන්න ඕන. නමුත් රෑ වෙනකොට මගේ මානසිකත්වය වෙනස්. මේ මිනිහත් එක්ක වචනයක්වත් කතා කරල වැඩක් නෑ. මටත් නො කියා තීරණ අරන් යාළුවන්ටත් කියලා. මගේ වැරදි විතරක් උලුප්පලා කියන්න ඇති. කවුද කියන්නෙ තමන්ගෙ වරදකින් සම්බන්දයක් කැඩුණා කියල. ගෑනු කෙනෙක් නම් පිරිමි කෙනාට දොස් කියයි. පිරිමි කෙනෙක් නම් ගෑනු කෙනාට දොස් කියයි. ඉතිං තව මොනවා කතා කරන්න ද? මට මොන ලැජ්ජාවක් ද? ඉඳලා ඉඳලා පටන් ගත්තු දේ මාස දෙකක්වත් පවත්ත ගන්න බැරි වුණා.

කී දෙනෙක් හීල්ලුව ද හොඳ මූණ පෙන්නන් හිටියට ඔය ඔෆීස් එක ඇතුළෙම? දැන් ඉතින් ඔක්කොම වස් දොස් යයි. දැන් ඒ මිනිස්සු හිනාවෙනව ඇති මට. සමහරු සිංදුත් කියනවා. හැමෝටම වැඩේ තේරුණේ නැතුවට මොකක් හරි ලොකු ප‍්‍රශ්නයක් කියල තේරෙන්න ඇති.

දැන් මාත් එක්ක පෙර පරිදි නිදහසේ හිනා වෙන්න, කුණු දේවල් කතා කරන්න, අත ටිකක් අල්ලන්න සීමා බන්ධන නෑ කියල එයාල හිතන්නෙ. මේ ටිකට මේ මිනිස්සු මාත් එක්ක කිලුටු විහිළු කරගෙන ආව නෙ. මගේ කේන්තිය නිමක් නෑ. මම එකෙකුට නං බැන්නා හොඳටම. කොහොමටත් මං හිතාගත්තා සුපුරුදු හිතවත්කමින් එතන ඉන්න පිරිමි ආශ‍්‍රය නො කරන්න. වෙනසක් පෙන්නන්නම වෙනවා.

දැන් දවස් තුනයි. රෑ දු. ක. කරන්න හිතුවට දු. ක. කළේ නෑ.

අදත් මම හිනා වෙවී හිටියා ඔෆීස් එකේ. දවස් පහක් තවම අපි දෙන්නා අතර කතාවක් නෑ. නමුත් සැරෙන් සැරේ ඇස්වලට කඳුළු පිරෙනවා. මම මේ සම්බන්දය තුළ සතුටින් හිටියෙම නෑ. නමුත් මගේ හිත රිදුනෙ ඇයි කියල තේරෙන්නෙත් නෑ. අර කොල්ලත් කිසිම ගාණක් නැතුව අපූරුවට ඉන්නවා. ඇයි මට විතරක් දුක හිතෙන්නෙ? මං කොම්පියුටරේ ඉස්සරහ ඉන්නකොට එයාට මාව පේන්න බෑ නෙ. මං එදා දවසෙම පුළුවන් හැම වෙලේම නෙට් එකේම එල්ලිලා හිටියා.

හවස තුන හමාරට විතර කවුරුවත් නැති වෙලාවක් බලල ආවා.

‘‘දැං ඔයාට සතුටු ඇති නේ ද? දැං ඔයා නිදහස් නෙ. කොහොමත් ඔයා මාව ගණන් ගත්තෙ නෑ. ඔයා වෙන සිහින ලෝකවල නෙ හිටියෙ. ඔයාට මේක නවත්ත ගන්න විදියක් නැතුව නෙ හිටියෙ. මං ආයෙ පාරක් නිකං ගෑනියෙකුට අහුවුණා. ඔයා මාව හොඳට ඇන්දුවා. ඔයා මට වංචා කරා. හෘද සාක්ෂියක් තියෙනව නම් තේරෙයි.... ’’

‘‘කොහෙ ද ඇන්දුවෙ? මොකක් ද කරපු වංචාව? ඔයාට මං කලිනුත් කියල තියෙනවා කතා කරනකොට පරිස්සමින් වචන පාවිච්චි කරන්න කියල. මං අපේ අම්මටත් මේක කියපු හින්ද ද මං වංචාකාරි වුණේ? හැම දෙයක්ම කෙළින් කතාකරන හින්ද ද බොරුකාරි වුණේ? මට ගාණක් නෑ කියන්නෙ මං මෙතන අඬ අඬා ඇවිදින්නෙ නැති හින්ද ද? නෑ නෑ මට දුකයි, මට ලැජ්ජයි. ඉඳලා ඉඳලා කොල්ලෙක් එක්ක පළවෙනි වතාවට යාළුවෙලා මාස එක හමාරකින් ඒක නවත්තන්න මට ලැජ්ජයි. මොකක්ද මගේ තත්වෙ? ඔයාට හැම වෙලේම ලොකු ඔයාගෙ තත්වෙ නෙ. අපි දෙන්න නො ගැලපෙනවා වුණත් අපට ඒ ගැන කතා කර ගන්න තිබුණා. නමුත් ඔයා මට නො කියා යාළුවන්ට මාව පාවල දුන්නා. අපේ පෞද්ගලික දේවල් පටන් ගන්න හැටි ඉවර කරන හැටි කියන්නෙ මොකට ද අනිත් අයට? ඒක තමයි ලොකුම වැරැද්ද. ඔයාට හෘද සාක්ෂියක් තියෙනව නම් මං ගැන කියන හැම නරක වචනයකටම පසුතැවෙන්න වෙයි. ඉස්කෝලෙ යන ළමයෙක් වාගෙ මෝඩ විදියට හැසිරුණා. ඒ මදිවට මං ඔයාට වංචා කළාලු. ඇන්දුවලු. මගේ නෙවේ වංචාව ඔයාගෙ. ඔයාගෙ පැණි බේරෙන වචනයි බොරු. මං ඒ වචන නො කිව්වට දැන් බලද්දි මට විතර නෙ ඇත්ත හැඟීමක් තිබිලා තියෙන්නෙ. මගේ කරුමෙකට තමයි මට ඔයාට හිත ගියේ. නැත්තං වෙන කොල්ලො නැතුවට ද? ඔයා හිතන්න එපා ඔයා හැමදාම පංසල් ගියාට ඔයාට පසුනොතැවී ඉන්න පුළුවන් කියල. මම ඔයා වගේ හැමදාම පංසල් ගියේ නැතුවට මට ඔයාට වැඩිය ආගමක් ධර්මයක් තියෙනවා. මං විශ්වාස කරනවා මේ සොබාදහම ගැන. ඔයා ලොකු වැරැද්දක් කරේ. මට නො කියා යාළුවන්ට කිව්වා හැමදේම. ’’

‘‘ඒ යාළුවො පරණ විහිළුවම කරයි කියලයි මං එහෙම කිව්වෙ. අනික එදා ඔයා හැසිරිච්ච විදියට මට හිතුණා ඊට පස්සෙ ඔයා කවදාවත් මගේ මූණ බලන එකක් නෑ කියල. මට හිතුණා ඔයාම මේක නවත්තයි කියල. ’’

‘‘ඒක තමයි. මට මේ හැම දේම තේරෙන හින්දම හොඳයි. ඔයා දැනගෙන හිටියා මට ඔයාව එපා වෙලා කියල. ඔයා හිතුවා ඔයාට කළින් මම මේක ඉවරයක් කරල දායි කියල. නමුත් ඔයා ඉස්සර වුණා. එතකොට ඔයාගෙ හිත හදාගන්න ලේසි නෙ, ඉස්සෙල්ලම නැවැත්තුවෙ ඔයා කියල. නේ ද? ’’

‘‘............ ’’

‘‘ඔයා හරි ඉක්මනට හදිසි තීරණ ගන්නවා. ඊට පස්සෙ තැවෙනවා. ඔයාට තියෙන්නෙ සංවේදී හිතක් තමයි, හැබැයි ඉක්මනට බිඳිලා වැටෙනවා. මමත් සංවේදියි තමයි. ඔයාටත් වැඩිය ඉක්මනට හෙලවෙනවා. ඒත් බිඳිලා වැටෙන්නෙ නෑ. හෙලවි හෙලවි හරි ඉන්නවා. ඔයා හිතුවෙ මම හදිස්සි වෙයි කියල. ඒත් මං ඔයා තරම් කලබල නෑ. අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ තමයි. ඒත් ඇයි ඔයාට බැරි වුණේ හැම දේම මාත් එක්ක තීරණය කරල අනිත් අයට කියන්න. ඔයා මහ පටු මිනිහෙක්. ’’

‘‘ඔව් මන්ති... මං එහෙම හිතුවා, ඔයා මගේ මූණවත් බැලූවෙ නැති හින්දා. ඔයා මේක නවත්තන්න හිතලා ඇති කියලා මං හිතුවා. ඔයා කොච්චර කේන්තියෙන්ද හිටියේ! ඒ කියන්නෙ ඔයා එහෙම කරන්න හිතුවෙ නැද්ද? ’’

‘‘නෑ මං එහෙම හිතුවෙ නෑ. අපි හැම සතියෙම රණ්ඩු වෙන්නෙ මේක නවත්තමු කියලම නෙ. ඒත් එදා හවස රණ්ඩුවෙලා මාව පාරෙ දාල ගියාම මට ඔයා එපාම වුණා. මට තනියෙම ස්ටේෂන් එකට යා ගන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඔයාට එන්න තිබුණා මට කෝච්චියක් තියෙනව ද නැද්ද කියල බලන්න. මං එදා යනකොට රෑ නමයයි. ඔයාගෙ මහ ලොකු තත්වෙ විතරයි ඔයාට ලොකු. ’’

‘‘ඔව් මන්ති... මං වැරැද්දක් කළේ. මට ඔයාට කියන්න තිබුණා. එදා ඔයාව දාල ගිය එකත් නරකයි කියලා මට තේරුණා. ඒත් මං කොහොම ද ඔයා පස්සෙන් එන්නෙ ඔයා මාව දාල ගස්සගෙන ගියාම? මම ඔයාට තුන්පාරක් කෝල් කළා. ඔයා කතා කළේ නෑ. අන්තිමට මම ගෙදරට අටයි හතලිස් පහට කතා කරා. තාත්තා ගත්තෙ. ඔයා ආවෙ නෑ කිව්වා. මට බයත් හිතුණා. මම පුෂ්පීට කෝල් කරලා කිව්වා ඔයා ආව ද නැද්ද කියල බලන්න කියල. එයාගෙ ෆෝන්එකේ අවුට්ගොයින් කපල කිව්වා. එදා රෑ මම කතා කරපු වෙලාවෙ ඔයා කතා කළා නං අපට මේ ගැන කතා කරගන්න තිබුණා. එහෙම නම් මේ දේ වෙනස් වෙන්න තිබුණා. ඊට පහුවෙනිදාත් ඔයා මගෙ මූණවත් බැලූවෙ නෑ නෙ. ඉතිං ... ... ... ’’

‘‘දැන් වැඩක් නෑ ඒ ගැන කතා කරලා. ඔයා ඔක්කොම තීරණය කරගත්ත නෙ. ඒක ඉවරයි. එච්චරයි ... ’’

මිනිහට හොඳටම තුවාල වෙලා. කතා කරපු සැර පරුෂ ස්වභාවය අන්තිමට හොඳටම බාල වුණා. මම තවත් එතන නො ඉඳ ආවා. එතකොට වෙලාව හවස පහයි.

සෙනසුරාද දු. ක. එකක්.

‘‘මන්ති, මං ලොකු වැරැද්දක් කළේ.... මට තේරෙනවා. මට මේ දවස් ටිකේම නින්දක් නෑ. මහ රෑ දොළහටත් ඔයාට කෝල් කරන්න හිතෙනවා. පාන්දර හතරටත් ඔයාට කෝල් කරන්න හිතෙනවා. එක පාරක් බැට කාපු මට කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්න සුදුසු මානසිකත්වයක් නෑ... එහෙම තියෙද්දිත් මං ඔයාව අතරමං කළා. මං දන්නවා ඔයා මට වංචා කළේ නෑ. මමයි හැම වෙලේම ඔයා අවිශ්වාස කරන්නෙ. ඔයා ළඟ නාදුනන මිනිහෙක් වාඩිවෙලා හිටියත් මට සැකයි. ඔයාට හැමෝම ආදරේ වෙනවා. මං ඒකට කැමතිත් නෑ මන්ති... ඔයා වෙන කෙනෙක් එක්ක හිනාවුණාමත් මගේ ඇඟේ කරන්ට් එකක් දුවනවා. ඒකයි මං ඔයාට වද දුන්නෙ. මං මහ ආත්මාර්තකාමියෙක්. මං ඔයාට කොච්චර රිද්දුවද? ... ඒත් මං ඔයාට තවම ආදරෙයි. මං කවදාවත් බඳින එකක් නෑ. මම මේ ජීවිතේ කළකිරිල ඉන්නෙ... ඒත් මං ඔයාට හැමදාම ආදරෙන් ඉඳී. තවත් ජීවිතයක් අතරමං කරන්න මට බෑ. මට මේ වලෙන් ගොඩ ඒමක් නෑ ... මං අවාසනාවන්තයෙක්. මන්ති, අනේ ... ඔයා අර පර්ෆියුම්එක ආයෙමත් දාන්න එපා. මට ඒ සුවඳ දරා ගන්න බෑ. මගේ හිත ආයෙත් වැටෙනවා. ඔයා ළඟට එද්දි මං නැගිටල ගියේ ඔයා එක්ක තරහට නෙවෙයි. මට ඔයා එක්ක කිසිම තරහක් නෑ. ඒත් ඒ සුවඳ මට දරාගන්න බෑ දැන්. මං ඒකට හරි ආසයි. ඔයාට තුරුළු වුණාමත් මට එන්නෙ ඒ සුවඳ. මං ඒක හරි ආසාවෙන්, ආදරෙන් වින්දෙ. දැන් මට ඔයා ඉන්න පැත්තටවත් එන්න හිතෙන්නෙ නෑ ඒ සුවඳ එනකොට. මට දුකයි ... ඒක දැන් මට අයිති සුවඳක් නෙවේ. මං දන්නවා දැං ඉතිං මට ඔයාව කවදාවත් ලැබෙන්නෙ නෑ...... ’’

මට ඇඬෙන්න ඔන්න මෙන්න. මට කතා කර ගන්නත් බෑ. මගේ තරහ නිවිල. මට දැන් දුකයි. ඇත්තම කියනවනං මම වරදකාරීයි. මම දන්නවනෙ මමත් එක හිතකින් හිටියෙ නෑ කියලා. එයාට කිසිම විදියකින් ඒක දැනගන්න බැරි වුණාට. අනික මට පුළුවන් උපරිමයෙන් මං එයාට සැලකුවෙත් නෑ නෙ. ඒ හින්දම මට දුකයි. මං එයාව බැන්දත් නැතත් එයාට මානසික උදව්වක් දෙන්නම වෙනවා.

‘‘මේක කවුරුවත් දන්නෙ නෑ මන්ති... ඔයා විතරයි දන්නෙ. ඔයා මේක කාටවත් කියන්න එපා. මං කොහොම ද මන්ති මං කෙල්ලෙක් හින්දා මානසිකව වැටිලා කියල තව කෙනෙක්ට කියන්නෙ? මං මගේ හැම දේම කිව්වෙ ඔයාට විතරයි. මං ඔයාව මගේ යාළුවා කර ගන්නං. ඔයාගෙ හිත හරියයි. මන්ති මට දුකයි මං ඔයාගෙ පළවෙනි පිරිමියා වෙච්ච එකට. වෙන කෙල්ලෙක් නං වහ බොයි. නැත්තං මට සාප කරයි. මගෙ මූණවත් බලන්නැති වෙයි, මං කරපු කියපු දේවල්වලට. ඒත් ඔයා තාමත් මාව දරාගෙන ඉන්නවා. ඔයාට හොඳ කෙනෙක් හම්බවෙයි. මන්ති ඔයා බඳින්න. මට නං කසාද ජීවිතයක් ඕනැ නෑ. මං ගිය ආත්මෙක කරපු ලොකු පවක් වෙන්න ඇති. සොබාදහම මොකක් හරි අඩුවක් එක්ක මිනිස්සුන්ව මවන්නෙ.... ’’

නිමාව:

මං ඉපදිලා ඉන්නෙ පිරිමියෙක් නැතුව ජීවත් වෙන්න. මට සියලු දේ ලැබෙයි. කරුණාවන්ත ස්වාමිපුරුෂයෙක් ඇරෙන්න. ‘අපි දෙන්න ගැලපෙන්නෙ නෑ තමයි මන්ති... ඒත් මට ලෝබයි ඔයා අතාරින්න. මට දුකයි. ’ ඒ වගේ පේ‍්‍රමාන්විත දෙබස් පොතක ලියල අරන් තියාගන්න තමයි මට දැන් වෙන්නෙ.

[උපුටා ගැනීම: නොසිදුවීම්|nonevents]
සිතුවම : Francine Van Hove

සමර විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මම කෑරලා
හඬමි මහ රෑ කෑ ගසා

ගයන පද
කන් කටුක නම්
කන් අගුල්ලා ගනිල්ලා
තරහ නෑ

මම ගයන්නේ ඇත්තයි
ජීවිතේ තිත්තයි

උඹලා
සුව සිහිනවල ගිලිලා
නිදනවට මම ආස නෑ

සුව නින්ද මග බිඳිලා
සුව සිහින මඟ හැරිලා
තුහ් කියා මට කෙළගහල්ලා
කමක් නෑ

"නින්ද නැති කල රැය දිගුයි
වෙහෙස ඇති කල මග දිගුයි" *

තොපට ඒ වග දැනෙන තෙක්
ගිරිය පුප්පා කෑ ගසන්නෙමි

සමාවෙල්ලා
මියුරු පද මම දන්නෙ නෑ
ඉගෙන ගන්නත්
ආස නෑ

*ධම්ම පදය
[නිශ්ශබ්ද | 2003]

අනුර කේ එදිරිසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සැල්වදෝර් අයියන්දේ (1928 ජුලි 26- 1973 සැප්තැම්බර් 11) 1970 දී චිලි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ මැතිවරණයකින් තෝරා පත්කර ගැණුනු ලොව ප්‍රථම මාක්ස්වාදී ජනාධිපතිවරයා ලෙස ය. වසර 40ක් වූ සිය දේශපාලන ජීවිතය තුළ ඔහු චිලී සමාජවාදී පක්ෂය නියෝජනය කළ අතර, ජනතා හිතවාදී නායකයෙකු පමණක් නොව ආදරණීය මිනිසෙකු ලෙස ද ඉතිහාසය විසින් සිය උර මත පැටවූ වගකීම නිසි ලෙස ඉටු කළේය. ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු, එක්සත් ජනපදය ඔහු එම තනතුර භාරගැනීම වැළැක්වීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර ජෝන් එෆ්. කෙනඩි ගේ පටන් රිචර්ඩ් නික්සන් දක්වා අමෙරිකානු ජනපතිවරු ඔහු සහ කියුබානු ජනපති පිදෙල් කැස්ත්‍රෝ අතර වූ දැඩි මිත්‍රත්වයත් ඔහුගේ ක්‍රියාකාරීත්වයත් නොරිස්සූහ. අයියන්දේ විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී සංවර්ධන වැඩපිළිවෙල ට එරෙහි විවිධ දේශීය පාර්ශවයන්ගේ සහ අමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයෙහි සහයෝගයෙන් 1973 සැප්තැම්බර් 11 වැනි දා චිලි රට තුළ හමුදා කුමන්ත්‍රණයක් දියත් කෙරුණි. ජනපතිවරයා විසූ මන්දිරය වැටලීමට මොහොතකට පෙර ඔහු සිය ජනතාව ඇමතූ අතර ඉන් මොහොතකට පසු පිදෙල් කැස්ත්‍රෝ විසින් ත්‍යාග ලෙස පිරි නැමූ ගිනි අවියකින් ඔහු සිය දිවි නසා ගත් බැව් නිවේදනය කෙරුණි. ඉන් පසු එවකට හමුදා නායකයාව සිටි ඔගස්ටෝ පිනෝෂේ සිය වසර 17 ක ඒකාධිපති පාලනය (1973-1990) ඇරඹී ය.

අල් ඛයිඩාවේ සැප්තැම්බර් එකොළහ ගැන පශ්චාත්තාප වන ඇමරිකා එක්සත් ජනපදය, එයින් වසර 28 කට පෙර තමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සැප්තැම්බර් එකොළහ ගැන ඉතා පහසුවෙන් අමතක කරනු ලැබ ඇත. එහෙත්, පිනෝෂේ ප්‍රධාන නළුවා ලෙස රඟ පෑ එකී 'චිත්‍රපටය', චිලී ජනතාවට එරෙහිව කරන ලද බිහිසුණු අපරාධයක් බව, සිය අවසන් කතාවේ දී අයියන්දේ ඉතා නිවැරදිව කියන පරිදිම, ඉතිහාසය තුළ සැඟවිය නොහැකි සත්‍යයකි. මේ, සිය අවසානයට පෙර අයියන්දේ සිය ජනතාව අමතා කළ කතාවෙහි අසංක්ෂිප්ත පරිවර්තනයකි. එක්සත් ජනපදය සහ එයට අයත් නූල් වලින් නැටවෙන රූකඩ ආණ්ඩු විසින් දස ගුණයක ප්‍රචණ්ඩත්වයකින් යුතුව ලෝ පුරා මානුෂිකත්වයට එරෙහි අපරාධ කරමින් සිටිනා මේ යුගය තුළ අයියන්දේ ට නැවත සවන් දීම සියළු ප්‍රගතිශීලී මිනිසුන්ට වැදගත් වනු ඇත.


චිලී- සන්තියාගෝ- අයියන්දේ සිය ජනතාවට ආචාර කරමින්

සැන්තියාගෝ ඩි චිලී
1973 සැප්තැම්බර් 11

මාගේ මිත්‍රවරුනි,

මෙය ඔබ අමතන්නට මට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි. ගුවන් හමුදාවන් විසින් මේ වන විටත් "මගලානේස්" ගුවන් විදුලියේ ඇන්ටනා වෙත බෝම්බ ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

මාගේ වදන්වල කිසිදු තිත්ත රසයක් නැත. ඔවුන්ගේ වදන් කලකිරීම් සහිතය. එවදන් තමාගේ ශපථ කිරීම් පාවාදුන්නවුන්ට: චිලී සොල්දාදුවන්ට ද, ධූරන්ධර ප්‍රධාන අණදෙන නිළධාරීන්ට ද, නාවික බලඇණියේ අණ දෙන්නා ලෙස තමා තනතුරෙහි පිහිටුවාගත් අද්මිරල් මෙරිනෝට ද , මෙන්දෝසා මහතා - රජයට ඇති තම පක්ෂපාතීත්වයත් භක්තියත් පිළිබඳ ප්‍රතිඥා දුන් තුච්ඡ ජනරාල් වරයාට සහ තවද ඔහුව කැරබිනෙරෝස් හි නායකත්වය වෙනුවෙන් තෝරා පත් කළවුන්ට ද සදාචාරාත්මක දඬුවමක් වේවා.

මට යමක් කීමට ඉතිරිව ඇත්නම් එය කීමට ඇත්තේ වැඩකරන ජනතාවට යි. මා ඉල්ලා අස්වන්නේ නෑ! ඓතිහාසික සංක්‍රාන්තියක් හා හිඳ, ජනතාව වෙත ඇති පක්ෂපාතීත්වයට මාගේ ජීවිතයෙන් වන්දි ගෙවමි. එසේම දහස් ගණනක් වූ චිලී ජනතාවගේ යහපත් හෘද සාක්ෂිය තුළ වගා කරනූ ලැබූ සියළු බීජයන් සදාකාලිකවම ඔවුන් තුලින් වියැකී නොයන බව විශ්වාසයෙන් යුතුව මම කියමි.



ඔවුන්ට පිරිස් බලය ඇත. එබැවින් අපව මැඩලමින් පාලනය කරන්නට ඔවුනට හැකිවනු ඇත. එහෙත් සමාජ ක්‍රියායනයන් ග්‍රහණය කිරීමට අපරාධයෙන් හෝ බලාත්කාරයෙන් නොහැකිය. ඉතිහාස අපගේය. මිනිසුන් විසින් ඒ ඉතිහාසය ගොඩනගා ඇත්තේය.

මාගේ දේශයේ වැඩකරන ජනතාවෙනි, මා කෙරෙහි වූ ඔබගේ පක්ෂපාතීත්වයට මා ස්තුතිවන්ත විය යුතුය. සාධාරණත්වය උදෙසා උදාර අභිලාෂයන් යුත් අර්ථකථකයෙකු පමණක් වූ මිනිසෙකු තුළ ඔබ විසින් නිධන් කළ අති උත්කෘෂ්ඨ විශ්වාසය වෙනුවෙන් ද ස්තුතිවන්ත විය යුතුය. ඔහූ ඔබ තැබූ විශ්වාසය සුරක්ෂිත කරමින් ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කිරීම සහ ගරු කළ ඔහු පොරොන්දූ වූ පරිදි ඔහුගේ වචනය තබා ඇත්තේය. මට ඔබ හැම ආමන්ත්‍රණය කිරීමට ලැබෙන මේ අවසන් නිශ්චිත මොහොතේ අප උගත් පාඩම් වලින් ප්‍රයෝජනයක් ගන්නේ නම් මැනවි.


Patricio Guzmán තැනූ Salvador Allende (2004) වාර්තා චිත්‍රපටයෙන් [බලන්න: imdb.com]

එනම් විදේශ ප්‍රාග්ධනය, අධිරාරාජ්‍යවාදය, එහි විපාක ලෙස ආරක්ෂක හමුදාවෝ සිය සම්ප්‍රදාය බිඳ නිර්මාණය කරන ලද වාතාවරණය, ජනරාල් ශෙනේදා විසින් උගන්වනු ලැබූ සහ අණදෙන නිළධාරී අරායා යළි යළිත් ප්‍රතිඥා දුන් සම්ප්‍රදායන්, අද ගැන බලාපොරොත්තු සහගතව සිටින, එමෙන්ම තම වරප්‍රසාද සහ යහපත සුරක්ෂිත කරගැණීම පිණිස බලය නැවතත් ජයග්‍රහණය කරා රැගෙන යාමට විදෙස් උපකාර පතන එකම සමාජ කණ්ඩායම තුළ ගොදුරු බවට පත් වූවන්.

දරුවෙන් වෙත ඇති අපගේ කැපවීම පිළිබඳ දන්නාවූත් අප කෙරෙහි නොමඳ විශ්වාසයෙන් කටයුතු කළා වූත් ගොවි මව්වරුන් වූ අප රාජ්‍යයේ නිහතමානී ගොවි කතුනි, අන් සියල්ලට ඉහළින් මම ඔබව ආමන්ත්‍රණය කරමි. වෘත්තීය ආයතනයන් විසින් රුකුල්දෙනු ලැබූ රාජ්‍ය ද්‍රෝහීත්වයටත්, ධනවාදයේ වාසි සහගතභාවය ආරක්ෂා කළ වර්ගවාදී ආයතනයන්ටත් එරෙහිව අඛණ්ඩව නැගී සිටි දේශප්‍රේමී වෘත්තීය ක්‍රියාධරයන් වූ චිලී රාජ්‍යයේ සියළුම වෘත්තිකයන් ආමන්ත්‍රණය කරමි. අරගලය කෙරෙහි වූ ඔවුන්ගේ ආත්මය සහ සංතුෂ්ටිය පිළිබඳ ගයමින් එය අප වෙත පවරා දුන් සියළුම තරුණ කණ්ඩායම් ආමන්ත්‍රණය කරමි. ත්‍රස්ත ප්‍රහාරයන් ඔස්සේද, පාලම් පුපුරවා හැරීමෙන්ද, දුම්රිය මාර්ග කඩා බිඳ හෙලීමෙන්ද, තෙල් සහ ගෑස් නල විනාශයට පත් කිරීමෙන්ද, කාලයක් මුළුල්ලේ නිහඬ මුවින් එසේ ක්‍රියා කිරීමට ගැති කම් කළ අපගේ රාජ්‍ය තුළ විද්‍යමාන වූ ෆැසිස්ට්වාදය හේතුවෙන් හිංසාවට ලක් වීමට නියමිත චිලී රාජ්‍යයේ වැසියා වන කම්කරුවා ද, ගොවියා ද ප්‍රාඥයා/බුද්ධිමතා ද ආමන්ත්‍රණය කරමි. ඔවුහූ අපරාධ කොට ඇත්තෝ ය. ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත.


සැල්වදෝර් අයියන්ද- අවසන් දිනයේ අවසන් මොහොතට පෙර

"මගලානේස්" ගුවන් විදුලි සේවාව නිහඬ වනු ඇත. මේ ලෝහ උපකරණය විසින් මාගේ හඬ තවදුරටත් ඔබ වෙත රැගෙන නො එනු ඇත. ඊට කම් නැත. එනමුත් ඔබ එය නිරන්තරයෙන් ශ්‍රවණය කරනු ඇත. මන්දයත් මම හැමවිටම ඔබ සමීපයෙහි සිටිමි. ස්වකීය දේශයට පක්ෂපාතී වූ ගෞරවනීය මිනිසෙකුය යන මා පිළිබඳ හැඟීම ඔබේ මතකයේ රැඳෙනු ඇත.

සෑම කල්හිම මිනිසුන් විසින් තමා ආරක්ෂා කළ යුතු වන්නේය. එනමුත් කිසිවිටෙක තමා බිලි දිය යුතු නොවන්නේය. තමා උණ්ඩයෙන් විනාශකිරීමටත් සිදුරු කිරීමටත් ඉඩ නොදිය යුතු වන්නේය. ඔවුන් අවමානයට හෝ ගැරහීමට පත් නොවිය යුතු වන්නේය.

මාගේ රාජ්‍යයේ වැඩකරන ජනතාවෙනි, චීලී රාජ්‍යයත් එහි ඉරණමත් පිළිබඳ මට මහත් වූ විශ්වාසයක් ඇත්තේය. කුමන්ත්‍රණකාරී අවස්ථාවන් පැතිරෙන්නට පටන් ගන්නා සෑම අවස්ථාවකදීම අනෙක් මිනිසුන් විසින් මේ අඳුරු සහ අමිහිරි යුගයන් පරාජයට පත් කරනු ඇත. උදාර වූ මංපෙත් නැවත විවර වනු ඇත්තේය. වඩා යහපත් වූ සමාජයක් ගොඩනැගීම උදෙසා නිදහස් මිනිසුන් එ මං ඔස්සේ පිය නගනු ඇත්තේය. එය දැන නොපමාව ඉදිරියට යනු.

චිලී රාජ්‍යය දිගුකල් දිනේවා! චිලී වැසියෝ දිගුකල් දිනේවා! කම්කරු ජනතාව දිගුකල් දිනේවා!

මේ මාගේ අවසන් වචන වන්නේය. මාගේ පරිත්‍යාගය කවර ලෙසකින් හෝ නිෂ්ඵල නොවන බව මාගේ විශ්වාසයයි. යටත් පිරිසෙයින්, එය සැහැසිබව, බියගුළුබව සහ රාජද්‍රෝහීත්වයට එරෙහි දඬුවමක් වූ ආදර්ශවත් පාඩමක් වන බැව් මම විශ්වාස කරමි.

-සැල්වදෝර් අයියන්දේ



අයියන්දේගේ ප්‍රාණ නිරුද්ධ දේහය විනාශ කරන ලද ජනපති මැඳුරෙන් පිටතට ගෙන ආ අන්දම
පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු- 33

Posted by BoondiOnLine 11.22.2012



පැහැබර සරත් සඳ...
හැම තණ පඳුරකම
හෙවණැල්ල යට
රෑහි කූජනය

-බුසොන්
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උණගලාවෙහෙර කොත කොහිද නැත
නියඟලා මල පිපුණ වග වාසගම් ඇත
පිබිදිලා බලනා සඳෙහි අර විඩාපත් ඉර
සැඟවිලා ගියෙ ද ගිරිතලේ වැව් පතුල මත

කදුරුවෙල බස් රථය ඩැහැගෙන ගියා උදයෙම
හන්දියට එක්වූ නෙළුම් මල් පොකුරු රැස
හිනා පිපිලා සුවඳ හමනා විටදි දස අත
අඳුර විනිවිද කඳුළු බිඳුවකි ඒ දෙනෙත අග

විශාකාවක් නොවුණි අම්මා දුක් ගැහැට මැද
නිමාවක් නැති වේගයෙන් දිවගියා දිවි මග
කතාවක් ගෙතුනා තමයි කොක් පියාපත් ලැබ
ගඩාගෙඩියක් ගෙනත් දුන් නෑ කවුරුවත් වෙන

වනාතය මත වැටී තිබුනා රන් පියාපත
ගලාගෙන ගොස් නැවතිලා ඇල වේළි දිය කඳ
මුවා වෙන්නට ගසක් නැති වී යනෙන මග තොට
විඩාපත් වී කල්පනාවට වැටුනි තනියම අපේ ඇත් රජ

ලියදි හාරා සොයා ගන්නට මැණිකක් ද නැති
දිය කඩිති මත වැතිර සිටියා අරුම භූ පති
මළානික කිරි වැදුන ගොයමට වින කැටූ නිති
කොතෙක් කීවද ඇසෙනු නොහැකිය නෑසු කන් ඇති

මඩ දොවා ගෙන ගොඩට විත් දැන් බොහෝ කල්
මඟ සොයාගෙන ආවේ නෑ මඟුලැ'තු වුනත්
මධුවිතට වස විස මුහුව දුර ගමන් ගොස්
කොත් කැරැල්ලම වැව් පතුලෙ සැඟවුණිද දැන්

උණගලා වෙහෙරට උඩින් සඳ පායලා
සොයනවා නුඹ කෝ කොහේ කොතැනද කියා
කියා ගනු බැහැ මල් වලට නික්මුණ කතා
වචන ගිලිහී වක්කඩේ යට ඉතින් හෙමිහිට සැඟවුනා

කටකතා මංකඩේ ළඟ දළුලන විඩේ
මං ඇවිත් තලනවා සත්තයි පීකරේ
අං ආව උන් ආයේ ඇවිදින් ගංකරේ
දැන් ඉතින් මුව අත තබමු අපි ආයුදේ

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලැට්ටොප් නොදුන්න කේංතිය හංදා ද කොහෙදෝ, කවුරුන් හෝ කෙළෙහි ගුණයක් නොදන්නා මාද්යවේදී ජඩයෙක්, ලෝකේ හිඟනම ජනාදිපතිතුමා ඉන්නෙ ඌරුගූවේ දේසේ කියලා කියා තිබෙනු දැකලා, අපේ චිරං ජයතුමාට ඌරු විසේ නැග්ගේය. මොනම ටයිටල් එකක් යටතේවත් එතුමාට ඉහළිං මොනම ඌරෙකුටවත් යන්ට බැරි විත්තිය නොදන්නේ, ඉන්තේරුවෙංම, දේසදොරෝහී ජඩයෙකුට මිස වෙන කාටද? ඕං ලෝං ඕං ලෝං කියා කියා හිත හිතා ලෝං ඕං වල හීනෙං කාර් පැද පැදා හිටියත් අන්තිමේදී නෝ ලෝං වෙලා පට්ට පදිරි වෙච්ච ඔය ඊරිසියාකාර ජඩ මාද්දිවේදීන් නොදන්නවාට අපේ ජනාධිපතිතුමා කියන්නේ ලෝකෙන්ම ඉන්නා දොන්තම දොන්ත හිඟන්නා යන්න කිසිවෙකුට සැඟවිය නොහැකිය. කොහේදෝ තියෙන කරුමයක් පඩිසං දීමෙං ජනාදිපති නොවෙන්නට උන්නැහේ මෙලහටත් ටිං කබලක් හොලව හොලවා දියවන්නා පාක් එකට එන ජැන්ටල්මන්ලාගෙන් සල්ලි හිඟාකනවා නොඅනුමානය.

අද පවා චිරං ජයතුමාගේ ඇඹේණිය ඒ තුමාට බණින්නේ ඕං ඔය ජනාදිපතිකොම පැත්තක දාලා නෙළුං පොකුණ ඉසව්වේ හිඟා කෑවා නං මීට වඩා හොඳයි කියාලාය. මොකද ජනාදිපතිකොමට හම්බුවෙන හිඟන පඩිය ඇරෙන්නට වෙන මොනම ආදායං මාර්ගයක්වත් මේ උන්නැහේට නැති හංදාය. රණ්ඩු කරලා කරලා බැරිම තැන දවසක් ඇඹේණිය අමතර ආදායං මාර්ගයක් පාදා ගන්නට හිතා පාංදරිං ඉඳි ආප්ප තම්බන්නට ලක ලැහැත්ති වූවාය. දැලි පිහ පිහා පිටි තංබන දර්සනය දරා ගන්නට බැරුව, අල්ලට ලැම්බොගිනියක් ගෙන ලෙව කකා පොල්කට්ටෙන් කහට බි බී උන්නු නාමල්ට, අම්මා විඳින දුක දැක ඇහැට රගර් බෝලයක් තරම් ලොකු කඳුළු බිංදුවක් ඉණුවේය. වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා හීනෙං අබ්යවකාස සටලයක යමිං හිටි රෝහිත පුතා, නාමල්ගේ ඉකිය අසා නැගිට තම අයියන්ඩිය හැඬ වූ අම්මාගේ ඒ කුරිරු ඉඳි ආප්ප මිරිකන යංත්‍රයට කක්සයෙන් එළියට පනින්නට පෙනල්ටි සොට් එකක් ගැහුවේය. ඉන් පසු ඒ මිරිකන යංත්‍රය පුර්තුවිය වටා කක්ස ගත වීමත් සමග ලංකාව නිදි ඇඳුම පිටිංම අජටාකාස යුගයට පා නැගුවාය.

අම්මා අඬාගෙන සාලයට යන ඔයවු අස්සේ නාමල් මල්ලීට කිවුවේ මල්ලී මට මේව තවත් බලං ඉන්ට බෑ මං හෙට ඉඳං අන්නාසි කපන්ට යනවා කියාය. ඒ අසා රෝහිත "අයියේ අපි වගේ කොල්ලන් පව්කාර- උපදින්නට එපා පතනව සංසාර" කියා හිඟන සිංදුවක් කිය කියා වෙළඳාමක් කර ගංට සිංහලේ ගිය මද්දු අය්යාට දුක කියා ලියුමක් ලියන්නට ගත්තේය.

සාලයට ගිය ආර්යාව ජනාදිපතිතුමා කුඩා තුවායක් පමණක් ඇඳගෙන ඉන්නවා දැක ඒ පාර මක් වුනාදැයි ඇහුව කලට ජනාදිපතිතුමා කීවේ උදේම බැසිල් මල්ලි ආවා සරමක් ඉල්ලගෙන. පව් හිඟන්නා මං ඇඳං හිට්ට මටත් තිබ්බ එකම සරම කඩලා උන්දැට දුන්නා. දැං ඉතිං අර ජෝතිපාලට උනා වගේ මං මේ තුවායක් ඇඳගෙන ඉන්නවා. කියලාය. ඒ අසා ජනාදිපතිතුමාව ඉඳිආප්පයක් මෙන් මිරිකන්නට තරම් ඌරු ජුවල් ගිය ආර්යාව කීවේ "එහෙනම් දැං වත් ගිහිං හැංගෙනවා තව ටිහකින් අනික් හිඟන මල්ලියත් එයි - උන්දැට තුවාය දීල ඔහෙට ඉන්න වෙන්නෙ ඉතිං...."

ඉතිං, ඔය දේවල් ඔයාකාරෙන් සිද්ද වෙන අල්ල පනල්ලේ දවසක් පොඩි කොළුවා පත්තරේකට කියා තිබෙනු අඬෝවැඩියාව අහම්බෙන් දැකීමෙන් චිරං ජයතුමාගේ පපුව හෝස් ගා ගියේ ය. මේ ජනාදිපතිකොමක් හංදා තමුනුත් තමුංගෙ පවුලේ උදවියටත් සිද්ද වෙන විනම්බෑසිය ගැන හිත හිතා පාට් ටයිම් රස්සාවක්වත් කොට අඹු දරු රකිංට ඕනෑය හිත හිතා පොරවකුත් ගෙන දර කපා විකුණා උපයමියි සිතා වනයට වැදුනේය. වනය මැද දර කප කපා ඉදිරියට යන්නාහු, ගඟක් දැක විඩා නිවන්නට සිතැත්තේ අඹේණිය ඔතා දුන් කුරහන් තලපය කොටා බා දිය බොන්නට ගඟට නැමෙන්නාහු ඉතා කෘශව ගිය තම ශරීරය දැක මහත් දුකට පැමිණියේය. එසඳ යෝධ ආලෝක ධාරාවක් දැක හිස ඔසවා බලනාහු, ගඟබඩ කුඹුක් ගහේ සිටි රුක් දෙවියන් දැක මේ නම් අර ගුලි තුන දීමට පැමිණි දෙවියෝ ම බව දැන නමස්කාර කරන්නට විය. දෙවියන් ද පුරුදු පරිදි ගුලි තුන උඩ දා කැමති වරයක් ඉල්ලව යනාදී වාක්ය කියා අතු පතර සැඟවී ගිය අතර චිරං ජයතුමා පොරවත් ගඟට වීසි කොට ගුලි තුන අමුඩ ලේන්සුවේ ගැටයක් ගසා ඒ තුළ බහා හංගාගෙන නැවත පැල් කොටය දෙසට පිය මනින්නට වීය.

*****

ලොවට හොරෙන් දවස් එක හමාරක් ගත වූ අතර පසුදා රෑ හතේ නිවුස් වල ක්‍රයිම් වොච් විශේෂාංගය යටතේ කැලෑවක කුඹුක් ගහක බරපතල තුවාල සහිත වයසක මිනිහෙක් දෙකකුලෙන් එල්ලා තිබෙනු පෙන්වන ලද අතර, නි. පො. පති අනුර සේනානායක පැවසුවේ ඔහු සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිගේ ගඟ ළඟට එන මිනිසුන්ට අබිං වැනි විෂ මත් ගුලි අලවි කළ නිසා කුපිත වූ මහජනයා පහර දී ඔහුව එල්ලා ඇති බවත් ඒ පිළිබඳ දැඩි පරීක්ෂණ මේ මොහොතේත් ඇරඹී ඇති බවත් ය. එසේම කණේ වැලමිටි වංගුවක් සහිත මේ භයානක අපරාධකරු වං- කංගුවා හෙවත් කං- වංගුවා ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

කඩප්පුලි මාද්යවේදියෙක් අනුර සේනානායකට හොරෙන් චූදිතයා සමග කතා බස් කොට තිබූ අතර ඔහු පවසා තිබුණේ මෙවැන්නි.

"ඊයෙ රෑ තුන් දෙනෙක් ආවා. තෝ ගාව තව ගුලි තියනවා ඒවා දීපිය කීවා. මං කිවුවා නෑ ම කියලා. ඒත් උන් කිවුවා නොදුන්නොත් තෝව වැලිකඩ යවනව කියලා. ඒ පාර මං පරාණ බයට ලඟ තිබ්බ ගුලි සේරම දුන්නා. පස්සෙ මට ගහල කකුල් දෙකින් කුඹුක් ගහේ එල්ලුවා."

*****

ඒ කතා මේ කතාවලිං පලක් නැත්තේ ය. ලැට්ටොප් මාද්දිවේදියෙක් නොවුනා උනත් මං මේ ජුංඩ ලීවේ, චිරං ජයතුමා සෙකන්ඩ් වෙනවා බලං ඉන්ට බැරි හංදාමය. ලෝකයේ උසම ජනාදිපති, ලෝකයේ නුවණක්කාරම ජනාදිපති, ලෝකයේ සක්තිමත්ම ජනාදිපති, ලෝකයේ අහිංසකම ජනාදිපති, ලෝකයේ තේජවන්තම ජනාදිපති, ලෝකයේ දිගම ජනාදිපති, ලෝකයේ පළලම ජනාදිපති, ලෝකයේ ආදරණීයම ජනාදිපති, ලෝකයේ සැක්සිම ජනදිපති, ලෝකයේ වැඩිම වර්ශාපතනයක් සහිත ජනාදිපති, ලෝකයේ වැඩිම රසෝද්ගමනයක් ඇති ජනාදිපති යන ඕනෑම ටයිටලයකින් නොම්බර එකෙං කප් ගහපු අපේ උත්තමයා ලෝකයේ හිඟනම ජනාධිපති ටයිටලයෙන් පරද්දන්ට? එවුව කොහෙද... ඕං බලා ඉඳිවු... හිඟනම ජනාදිපති විතරක් නොවෙයි ඒ උන්නාන්සෙ ලෝකයේ වැඩිම කාලයක් හිඟංනෙක් වසයෙංම රට පාලනය කොරපු ජනාදිපති වසයෙනුත් ගිනස් පොතට යනවා යනවා මයි. ඒ වගේම වැඩියෙන්ම හිඟන්නො ඉන්න රට වසයෙන් ඉතිහාස ගත වීමට අපේ මේ සුංදර දිවයිනට හේතු වාසනා වේවා යි කියා ප්‍රාර්තනා කොරමින් සියලු ඌරුගූවේ කුමන්ත්‍රණ පරදවනට එකා මෙන් එකට එකතු වෙන ලෙසත් සියළු හිඟන්නන්ට (සොරි ජනතාවට) ආයාචනා කරනවා.

චිරං ජයතු!

කක්ෂපුට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සමහරවිට ඔබ දන්නවා ඇති.

‘බල්ලෝ බත් කති’ කියන්නෙ සුගතපාල ද සිල්වා මහත්තයගෙ නවකතාවක්. මේ කියන්න යන කතාවට කිසිම සම්බන්ධයක් නැති වුණත්, ඒ නම මුලින්ම මතක් වුණේ ඇයි කියන්න දන්නෙ නෑ. කොහොම වුණත්, බත් කෑවත්, කටු කෑවත් බල්ලො කරන්නෙ තමුන්ට කන්න දෙන ස්වාමියා වෙනුවෙන් ඉවක් බවක් නැතුව බුරන එක බව අපි දන්නවා. එහෙම වෙලාවට අපට ‘බල්ලොත් එක්ක බෑ’ කියල කියවෙන්නෙ ඇයි කියල හරියටම දන්නෙත් නෑ. කොහොම වුණත් මේ කතාව නම් බල්ලො ගැනවත්, කටු ගැනවත්, බිරිල්ල ගැනවත් නෙමෙයි. මිනිස්සු ගැන.

මිනිස්සු ගැන කියන කතාවකට බලූ කතාව ගැට ගැහෙන්නෙ කොහොමද කියල හොයන්න යන්න එපා. ඊට වැඩිය මේ සිද්ධියට අවධානය යොමු කරන එකයි වැදගත්. ලිපිය ලියන්න පටන් ගනිද්දි මුලින්ම සිහියට ආව බලූ කතා ටික කිසිම අදාලත්වයක් නැතිව මෙතන සඳහන් කිරීම ගැන සමා වෙන්න. මතක් වුණු නිසා සඳහන් කළා මිසක් මේ ලිපිය ඇතුළෙ කොතනකවත් බල්ලො ගැන සඳහන් වෙන්නෙ නෑ මිනිස්සු ගැන මිසක්. මිනිස්සුන්ට බල්ලො කියල අපහාස කරන්නෙ නෑ අපි. ඒක අපේ මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට සහ අපි මේ කතා කරන මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවයට වගේම බල්ලන්ගේ ආත්ම ගෞරවයටත් හානි කිරීමක් කියලා අපි හිතනවා. ඒ නිසා නැවත නැවතත් ඉල්ලා සිටිනවා, මේ සිද්ධිය බොහොම අවධානයෙන් කියවන්න කියලා. මේ ඉහළින් තියෙන බලූ කතාව එක්ක පටලවාගන්නෙ නැතුව.

පහුගිය දවසක ඉරිදා ජාතික පත්තරේක තිබුණු ප‍්‍රවෘත්තියක් අහම්බෙන් වගේ ඇහැ ගැටුණෙ දැකලා පුරුදු කෙනෙක්ගෙ පින්තූරයක් එක්ක තිබුණු නිසයි. පින්තූරෙ හිටියෙ සුනිල් පෙරේරා. ඔව්... ජිප්සීස් සුනිල් පෙරේරා තමයි. පහුගිය සෙනසුරාදා දවසක කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැත්වුණු, ගාල්ලේ රිච්මන්ඞ් ආදි ශිෂ්‍යයන්ගෙ සුහද හමුවකදි සිද්ධ වුණු අලකලංචියක් ගැන තමයි ප‍්‍රවෘත්තිය තිබුණෙ. ආරංචියෙ හැටියට නම් සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි. සුනිල් පෙරේරා එයාගෙ ‘අයි ඩෝන්ට් නෝ වයි’ කියන ජනප‍්‍රිය ගීතය එදා ඒ සාදයේ දී ගායනා කරල තියෙනවා. ඉතින් ඒ වෙලාවෙ එතන හිටපු රිච්මන්ඞ් ආදි ශිෂ්‍යයෙකුට ඒ ගීතයෙ වචන දරාගන්න බැරි වෙලා. එතනින් තමයි ගැටුම පටන් අරගෙන තියෙන්නෙ.

කවුද හැබෑටම මේ ආදි ශිෂ්‍යයා?

එයා වී. කේ. ඉන්දික කියල පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙනෙක්. ඒ කියන්නෙ ජනතා නියෝජිතයෙක්. ආරංචි විදියට එයා අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඇවිත් තියෙන්නෙ හම්බන්තොට, වීරකැටිය ප‍්‍රදේශයෙ ඉඳලා. මෙහෙම කියද්දිම ගැටුමෙ සුලමුල ගැන සුලූවෙන් හරි අවබෝධයක්, වැටහීමක් එන්න තරම් මේ ලිපිය කියවන ජනතාව බුද්ධිමත් බව අපි දන්නවා. ඒත් එහෙම තේරුම් ගන්න අමාරු අය වෙනුවෙන් අපි කතාව සැකෙවින් කියනවා.

අපි කවුරුත් අහල තියෙන විදියට, අපේ රටේ ලොකු ලොකු ඉස්කෝලවල, ලොකු ලොකු ආදි ශිෂ්‍යයො කරන විදියටම ලොකුම ලොකු ගාණක් වියදම් කරලයි මේ සාදය සංවිධානය කරල තියෙන්නෙ. ඒ සාදයේ ටිකට් එකත් ඒ වගේම ලොකුම ලොකු ගාණක් බව ආරංචියි. අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහත්තයත් මේ සාදයට සහභාගී වෙලා තියෙනව. මේ අපි කියන වී. කේ. ඉන්දික මන්ත‍්‍රීතුමා විතරක් නෙමෙයි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඇතුළුව රාජපක්ෂවරු බොහෝම දෙනෙක් ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයො කියන කාරණයත් මේ වෙලාවෙ මතක් කරන්නෙ රිච්මන්ඞ් විද්‍යාලයටවත් ඒ රාජපක්ෂවරුන්ටවත් අපහාසයක් කරන්න හිතාගෙන නම් නෙමෙයි ඔන්න.

සාදය බොහොම ජයට කෙරීගෙන ගිහින්, සුනිල් පෙරේරා සින්දු කියන අවස්ථාවත් ඇවිල්ලා. පහුගිය කාලෙ පුරාම එක එක විදියට, එක එක අය, එක එක දේවල් කතාබහ කළත් සුනිල් පෙරේරා කියන්නෙ අවුරුදු ගාණක් තිස්සෙ සංගීත ක්ෂේත‍්‍රයේ තමුන්ටම අනන්‍ය වෙච්ච සළකුණක් නිර්මාණය කරගත්ත කලාකරුවෙක්. එයාගෙ ගොඩක් නිර්මාණවල වගේම කතාබහේදි වුණත් සුනිල් පෙරේරා, කියන්න තියෙන දේ බය නැතුව කෙළින්ම කියන කෙනෙක් බව අපි දැකල තියෙනවා. ඉතින් එදා ඒ සාදයෙදි සුනිල් පෙරේරා කියන්න පටන් අරගෙන තියෙන්නෙ, ‘‘එහෙම වෙන්නෙ ඇයි.. ? අයි ඩෝන්ට් නෝ වයි... ’’ කියන එයාගෙ බොහොම ජනප‍්‍රිය ගීතය. සුනිල් පෙරේරා ප‍්‍රසංගවලදි ගොඩක් වෙලාවට සින්දුව කියල නිකම්ම නිකං ස්ටේජ් එකෙන් බැහැල එන ගායකයෙක් නෙමෙයි. අවස්ථානුකූලව තමන්ගෙ ගීතයෙ වචන එහෙමත් පොඞ්ඩක් එහාට මෙහාට කරල කියන වෙලාවල් තියෙනවා. පේ‍්‍රක්ෂකයා එක්ක මුහු වෙලා, බොහොම හිතවත්ව කරන දෙයක් ඒක. ඉතින් එදා ‘‘අයි ඩෝන්ට් නෝ වයි... ’’ කියද්දිත් ඒ විදියෙ දෙයක් වුණානම් ඒක ලොකු පුදුමයක් නෙමෙයි. ඒත් සුනිල් පෙරේරා ඒ ගීතය ගායනා කරද්දි එතන හිටපු වී. කේ. ඉන්දික මන්ත‍්‍රීතුමාට අසූහාරදාහට තදවෙලා තියෙනවා. ඒකට හේතුව, රාජපක්ෂවරුන්ට අපහාස කරනව වගේ එයාට ඒක ඇහිල තිබීම. එහෙම වෙන්නෙ ඇයි කියලනම් අපි දන්නෙ නෑ.

කොයි දේටත් කළින් ඉන්දික මන්ත‍්‍රීතුමාට මේ තරම් ජුවල් ගිය සින්දුවේ වචන ටිකක් ආයෙත් මතක් කරගන්න එක හොඳයි කියලා අපි හිතනවා. මුළු සින්දුවේම නෙමෙයි, මේ ටිකත් ඇති.

කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි?
බලේ අරන් මොළේ නැතුව වැ‍ඩේ කන්නෙ ඇයි?
වැඩේ කාලා රටත් කාලා බලන් ඉන්නෙ ඇයි?
ලංකාවේ ඔහොම තමයි,
අයි ඩෝන්ට් නෝ වයි...

ඉඩම් කඩම් උගස් කරල ඉගෙන ගන්නෙ ඇයි?
ඉගෙනගත්ත එවුන් පාරෙ හිඟාකන්නෙ ඇයි?
නූගත් අය ලොකු පුටුවල රජ කරන්නෙ ඇයි?
ලංකාවේ ඔහොම තමයි,
අයි ඩෝන්ට් නෝ වයි...


මේ සින්දුවේ කොටස් දෙකක් විතරයි. හැබැයි මේක කියවද්දි, ඉන්දික මන්ත‍්‍රීතුමාගෙ ක‍්‍රියාව ‘හොරාට කළින් කෙහෙල් කැන වැටපැනීමක්’ වගේ දෙයක් කියල ඔබට හිතෙනව නම්, ඒක අපේ වරදක් එහෙම නෙමෙයි ඔන්න.

කොහොම වුණත් එතනින් පස්සෙ සාදයට නම් ඒ හැටි ආයුෂ තිබිල නෑ. මේ හම්බන්තොට, වීරකැටියෙ මන්ත‍්‍රීතුමා ගෝරි දාල තියෙනවා ඒ සින්දුවෙන් තමුන් අදහන, තමුන්ගෙ අනභිභවනීය, අසහාය, උත්තරීතර නායකතුමාට අපහාස කළැයි කියලා. සුනිල් පෙරේරට පහර දෙන්නත් ගියා කියලයි අහපු දැකපු අය කීවෙ. මන්ත‍්‍රීතුමානම් කියන්නෙ, ‘‘වහාම ඔය අපහාස කිරිල්ල නවත්තලා සමාව ගන්න... ’’ කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටියා කියලයි. පහුගිය ඉරිදා පත්තරවල වාර්තා වුණු විදියටනම් ඕක තමයි සිද්ධිය.

හැබැයි එතන හිටපු අය නම් තවත් කතාවක් කියනවා. ඒ තමයි, සුනිල් පෙරේරා ඒ වෙලාවෙ සින්දුව කියන්න පටන් ගනිද්දි චන්දිම වීරක්කොඩිගෙ නම විතරක් මතක් කරලා තියෙනවා. ඉතින් ඒකට ඉන්දික මන්ත‍්‍රීතුමාගෙ හිතේ ඇතිවුණු ඉරිසියාව මේ විදියට එළියට ඇවිත් තියෙන බවත් කට්ටිය කතා වෙනවා. ඒකෙ ඇත්ත නැත්තනම් ඉතින් දන්නෙ මන්ත‍්‍රීතුමාම තමයි. පස්සෙ දවසක ඉරිදා පත්තරේකට එතුමා මේ සිද්ධිය ගැන කියපු දෙයක් එයාගෙ වචන වලින්ම ඒ පත්තරේ වාර්තා කරල තිබුණා. පත්තරෙන් අහල තිබුණෙ මන්ත‍්‍රී තුමා සුනිල් පෙරේරට ගැහුවද? කියලයි. ඉතින් ඒකට අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ මහජන නියෝජිතයා දීල තිබුණෙ මෙහෙම උත්තරයක්.

‘‘මම ගැහුවානම් අද සුනිල් පෙරේරා කියල කෙනෙක් නෑ. ඌ සමාව ගත්ත නිසා මම වැඬේ අතෑරල දැම්මා. රාජපක්ෂවරු ඉස්සරහ සුනිල්ට ඒ සින්දුව කියන්න පුලූවන් ඇති. ඒත් මං ඉස්සරහා රාජපක්ෂවරුන්ට අපහාස කරන්න බෑ. ඔය යකා ඔය සින්දුවම කියලා ඔයිට කලිනුත් ගුටිකාලා තියෙනවා... ’’

(මෙහෙම වෙන්නෙ ඇයි? - ශාන්ත බණ්ඩාර, 2012.11.18 ඉරිදා මව්බිම)

හිනාවකින් එහාට ගිය දැනුවත් භාවයකින් මේ කතාව දිහා බලන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ ප‍්‍රකාශයට අනුව, ඒ වෙලාවෙ සුනිල් පෙරේරා මේ මහජන නියෝජිතයාගෙන් සමාව ගත්තෙ නැත්නම් එයා වැඩේ අතාරින්නෙ නෑ. ඒ කියන්නෙ මේ වෙද්දි සුනිල් පෙරේරා කියල කෙනෙක් නෑ. මේක සුලූපටු ප‍්‍රකාශයක් ද.. ? මේ කතා කරන්නෙ පාලක රෙජීමයේ ඉහළ නිළධාරියෙක් නෙමෙයි. ‘සොල්දාදු උන්නැහේ’ කෙනෙක්. ඒ නිසයි මේ වගේ කතාවලට රටේ ජනතාවගෙ ඇඟ හිරි වැටෙන්න ඕන. මන්ත‍්‍රීතුමාගෙ මේ කතාව අහද්දි අර මුලින්ම අපි කියපු නවකතාවයි, නාට්‍යයයි මතක් වුණා නම් ඒක අමතක කරලදාල ඉතුරු ටිකත් කියවන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

දැන් ඉන්දික මන්ත‍්‍රීතුමා කියන විදියට මේ රටේ ගායන ශිල්පියෙකුට ගීතයක් ගායනා කිරීම සඳහා තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියේ ප‍්‍රමාණයත් තීරණය කරන්නෙ ඒ ක‍්‍රමයටයි. කොහොමත් හම්බන්තොට, වීරකැටිය පැත්තෙ මන්ත‍්‍රීතුමෙක්ගෙන් නෙමෙයි, ප‍්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක්ගෙන් වත් මීට වැඩිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒක විහිලූවක්. මොකද ඒ පළාතෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන වචනෙට තියෙන්නෙ අමුතුම අර්ථකථනයක් නිසා. ඒ අරුත්ගැන්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන කාරණය ගැන සාකච්ඡා කරද්දි මුළු රටටම පොදු අර්ථකථනයක් විදියට රටේ ඉහළම තැන්වල ඉඳලා පහළට පහළට ස්ථානගත වෙද්දි ඇත්තටම ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ කියන වචනෙ විහිළු නාට්‍යයකට හරි, සුරංගනා කතාවකට හරි දාන්න සුදුසු නමක් විතරයි කියලා අපට හිතෙනවා. මේ මොහොතේ ඔබත් මමත් ජීවත්වන මේ සමාජයේ, මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය පවා තීරණය වෙන්නෙ පාලකයින්ගෙ වුවමනා එපාකම් වලට අනුව කියන කාරණය සුදුවෑන් එකක් තරමටම ඇත්තක්. ඉතින් එහෙම වටපිටාවක ගායනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ගැන කතා කරද්දි ඒක විහිළුවක් මිස වෙන මොකක් ද.. ? භාෂණයේ, ප‍්‍රකාශනයේ නිදහස කියන දේ තීරණය කිරීමේ පූර්ණ විධායක බලතල පාලකයන් විසින් අත්තනෝමතික විදියට තමුන්ගෙ වුවමනා එපාකම් වෙනුවෙන් පාවිච්චි කරද්දි, ඒ පාලක පන්තියේම වුවමනා එපාකම් වෙනුවෙන් ජීවිත පරදුවට තියලා ඉදිරිපත් වෙන ඉදිරි ආරක්ෂක වළල්ලෙ සොල්දාදු උන්නැහේලා විදියට, මේ මහජන නියෝජිතයන්ගෙ ක‍්‍රියාකලාපය ගැනත් ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ.

‘‘මාළිගාවෙ කටුකන උදවිය රජ්ජුරුවන්ටත් වැඩිය සැරයි’’ කියල කතාවක් තිබුණත් ඒ කතාව මෙතනදි උදාහරණයක් විදියට පාවිච්චි නොකරන්න තරම් අපි සදාචාර සම්පන්න වෙනවා. මොකද මේ කතා කරන්නෙ මහජන ඡුන්දෙන් උත්තරීතර පාර්ලිමේන්තුවට පත්වුණු මන්ත‍්‍රීවරයෙකු ගේ වැඩක් ගැන නිසා. වගකිවයුතු තනතුරක් දරන මහජන නියෝජිතයෙක් තමුන්ගෙ යුතුකම වෙනුවෙන් සාදයකදි පවා කැප වුණු එකට කටුකනඅයගෙ කතාව වගේ උපමා කතාවක් නොකියා ඉන්න තරම් අපි මාධ්‍ය ආචාර ධර්මවලට ගරු කරනවා. මොකද, අබේසුන්දර මහත්තයා විම සුමේ පිටපත ලියද්දි තියාගන්න වගකීමට වැඩිය වගකීමක් අපට මාධ්‍ය ආචාර ධර්ම ගැන තියෙන නිසා.

මේ කතාව අහද්දි එක පාරටම මතක් වුණේ ‘‘රාජපක්ෂවරුන්ගේ පා වැකි දුහුවිල්ල ද මට සැපකි... ’’ කියලා ප‍්‍රසිද්ධ වේදිකාවක ජනාධිපතිතුමාගෙ පුටුව ගාව බිම ඉඳගෙන තමුන්ගෙ පක්ෂපාතී, සුවච කීකරුකම ප‍්‍රදර්ශනය කරපු, තමුන්ගෙ අහිංසක, සොච්චම් ඇමති වැටුප එකතු කරලා පුතාට ලැම්බෝගිනි කාර් කට්ටක් අරන් දෙන්න හීන මවන ඇමතිතුමාව. මොකද මේ වගේ රාජපාක්ෂික සංදර්ශනවලදි මීට කලින් කප් ගහලා තිබුණෙ එතුමා නිසා.

මේවා හිනා යන කතා බව ඇත්ත. කොහොම වුණත් මේ විදියට දවසින් දවසම වල් වැදෙන්නෙ රටේ ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ, අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ජීවත් වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය කියන කාරණය හිනාවකින් මගඇරලා යන්න බැරි තරම් භයානක කාරණයක්. පාලකයන් විසින් අත්තනෝමතික විදියට මේ තීරණය කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය. උතුරේ ජනඝාතක යුද්ධයක් සිද්ධ වෙද්දි ජාතික නාළිකාවල ප‍්‍රවෘත්ති අහපු, ‘‘අපේ කීයද? උන්ගෙ කීයක් ඉවරද? ’’ කියන කාරණාව සංසන්දනය කරලා හිත හදාගත්තු, අන්තිමේ මහා ජන සංහාරයකට පස්සෙ කිරිබත් කාපු, හිරිවැටුණු සමාජයකට මේක තවත් එක ප‍්‍රවෘත්තියක් විතරයි. නිමලරූබන්ලා, ඩෙල්රුක්ෂාන්ලා මැරෙද්දි වගේ වගක් නැතුව හිටපු, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරපු මාධ්‍යවේදීන්ව සුදු වෑන්වලින් අරගෙන යද්දි කට ඇරගෙන මෙගා නාට්‍ය බලපු, වැලිකඩ රැඳවියන් ඝාතනය වෙද්දි ‘‘ඕකුන්ට ඔහොම වෙලා මදි... අපරාධකාරයො... ’’ කියලා අත පිහිදගෙන රේඩියෝ එකේ බණ චැනල් එකක් අල්ලපු සමාජයකට, ‘මෙහෙම වෙන්නෙ ඇයි.. ? ’ කියන කාරණය ගැන හරි අවබෝධයක්, තේරුමක් නැති බව පුදුමයක් නෙමෙයි. ඒත් මේ විදියට ජීවත්වීමේ අයිතිය පවා අහිමි වීමේ අවදානමකට අධිවේගෙන් ගමන් කරද්දි, නිදාගෙන ඉන්න සමාජයක් විදියට අපි ඉන්නෙ කොයිතරම් භයානක අඩියක ද කියන කාරණය යන්තම් හරි ඇහැරලා ඉන්න කෙනෙකුට වුණත් තේරුම් නො යන්න විදියක් නෑ. උතුරට එල්ල කරපු තුවක්කු කටවල්ම දකුණේ ගෙවල් ඉස්සරහත් පත්තු වෙද්දි, නිදි හෝ නිදි වගේ සිටීම අතිශයින්ම භයානක නැද්ද?

එක අතකට, තමුන්ගෙ පුද්ගලික ලාභ ප‍්‍රයෝජන වෙනුවෙන් අම්මා තාත්තා වුණත් පාවලා දෙන තරමට පිරිහුණු අපේ මහජන නියෝජිත පුතාලගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. උගත් බුද්ධිමත් මහජන නියෝජිතයො වෙනුවට මේ විදියට චණ්ඩිපාට් සහ ගොංපාට් වලින් ප‍්‍රශ්න විසඳන අයව තමුන්ව නියෝජනය කරන්න පත්කරලා යවපු ‘බුද්ධිමත්’ ඡන්ද දායක ජනතාවත් මේවට වගකියන්න ඕන. සුනිල් පෙරේරා මීට කාලෙකට ඉස්සර යූ. ඇන්. පී. වේදිකාවට නැගපු එකයි, එයා කතෝලිකයෙක් වීම කියන කාරණයයි පැත්තකින්ම තියලා මේ සිද්ධිය දිහා බැලූවත්, හම්බන්තොට මන්ත‍්‍රීතුමාට මීට වැඩිය වෙනස් ක‍්‍රියාමාර්ගයක් ගන්න ඉඩක් මේ ක‍්‍රමය ඇතුලෙ හදලා දීලා නැහැ. මන්ත‍්‍රීතුමා විසින් කළේ තමුන් විසින් කළ යුතු ම දේ. තමුන්ගෙ ස්වාමියාට අපහාස කරනවා කියල හිතාගෙන සුනිල් පෙරේරට ගහන්න පනිනවා හැර, ඒ වගේ වෙලාවට කරන්න පුලූවන් වෙන දෙයක් ගැන එයාට හිතාගන්න බෑ. සමහරවිට එහෙම කල්පනා වුණානම් සුනිල් පෙරේරාට දෝෂාභියෝගයක් වගේ එකකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නත් තිබුණා. ඉන්දික මන්ත‍්‍රීතුමා තමුන්ගේ උගත්කමේ සහ හැදියාවේ සීමාවන් තමයි ඒ විදියට පෙන්නලා තිබුණේ. එතනින් එහා අධ්‍යාපනයක් තියෙන්න විදියක් නැහැ, ඉස්කෝලෙ මොකක් වුණත්.

සුනිල් පෙරේරා කතෝලිකයෙක් වීම කියන කාරණයත් සඳහන් කළේ හේතුවක් ඇතිව. තවත් ටික දවසකින් අපේ රටේ සිංහල බෞද්ධ ආගම වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන අය විසින් ඉන්දික මන්ත‍්‍රීතුමාව ජාතික වීරයෙක් විදියට නම් කරන්නත් බැරි නැහැ. මොකද සුනිල් පෙරේරා කියන්නෙ කතෝලිකයෙක් වීම කියන කාරණය විතරක් එයාලට වැදගත් වෙන නිසා. හෙට අනිද්දට මොකක් හරි බලසේනාවකින් මේ කාරණයත් තමුන්ගෙ සිංහල බෞද්ධ ෆේස්බුක් කැම්පේන් එකක් වෙනුවෙන් ඈඳාගන්න ඉඩ තියෙනවා. හිනා වෙන්න එපා. ගෝත‍්‍රික සමාජයක විතරක් නෙමෙයි, මේ වෙලාවෙ අපේ රටෙත් ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුලූවනි. මේක එහෙම රටක්. ආණ්ඩුවක්. මෙහෙව් මහජන නියෝජිතයො ජාතික වීරයො වෙන එක මේ සිංහල බෞද්ධ රටේ, එහෙමත් නැත්නම් ධර්ම රාජ්‍යයේ අතිශයින්ම සාමාන්‍ය දෙයක්.

කොහොම වුණත් අන්තිමේ දි කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ, මේ විදියෙ සිද්ධියක් සිද්ධ වුණා, ඒ ගැන පත්තරවලත් ගියා කියලා විතරයි. එතනින් එහාට ඒ ගැන හොයන්න, මතක තියාගන්න ඇත්ත වුවමනාවක් අපට නැති වීම කණගාටුවට කාරණයක්. ඒක මේ වගේ කාරණාවල දි ගොඩාක් නපුරු විදියට බලපානවා. ඕනම සිදුවීමක් අපට මතක තියෙන්නෙ වැඩිම වුණොත් සතියයි, නැත්නම් දෙකයි. ‘‘මිනිස්සුන්ට මතකයි... ’’ කියලා අයි. ටී. එන්. එකේ කොයි තරම් කෑගහලා කිව්වත් ඒක එහෙම නෑ. මිනිස්සුන්ට හරිම ඉක්මණට දේවල් අමතක වෙනවා. එහෙම සමාජයක් ඇතුළෙ මීට වැඩිය ගොඩාක් භයානක දේවලූත් බොහොම සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා. ඒව මේ පද්ධතියෙම කොටස් විදියට දිගටම තියේවි, මිනිස්සු මේ නිදාගෙන ඉන්න නින්දෙන් ඇස් අරිනකල්ම. හැබැයි, එක දෙයක්... එහෙම ඇස් අරින්න පුලූවන් වෙන්නෙ ඇත්තටම නිදිනම් විතරයි. ‘නිදි වගේ’ ඉන්න අයව ඇහැරවන්න ඊටත් වැඩිය අමාරුයි. කොහොම වුණත් මේ නින්ද මේ විදියටම තියෙනකල් කිසිම දෙයක් වෙනස් වෙන එකක් නෑ. හැබැයි මිනිස්සු නින්දෙන් ඇස් ඇරපු දවසක අනිවාර්යයෙන්ම මේ දේවල් වෙනස් වෙන්න පටන් ගනීවි.

මොකක්දෝ හේතුවකට මට ආයෙමත් සුගතපාල ද සිල්වා මහත්තයගෙ නවකතාවෙ නම මතක් වුණා. හැබැයි පොඞ්ඩක් වෙනස් විදියට.
‘‘බල්ලෝ කටු කති’’.
ඒත් එහෙම වුණේ ඇයි කියල නම් ‘‘අයි ඩෝන්ට් නෝ වයි... ’’

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails