Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

හයිකු | හයිකු- 36

Posted by BoondiOnLine 12.31.2012



නව වසරේ මුල්ම සිහිනය!
ඒක රහසක්...
තනියෙන් සිනාසෙමි මම

ෂෝ-උ
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු- 35

Posted by BoondiOnLine



අලුත් අවරුද්දේ පළමු උදෑසන
පයින් ගස් අතරින් එන
ඉපැරණි සුළං රැළි

-ඔනිට්සුරා
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිසිර නින්දක නිදන තුරුළුව
කෙසඟ අපමණ කුහුඹුවන් මැද
මැදියමක නිදි නැති කුහුඹුවෙකි
මියෙන පළගැටියෙකුගෙ ගීයක්
සිරිය කොට හිත මැදට ඇනගත්

අණ ලෙසට, තනි පෙළට, පිලිවෙලට
වසත් මල් මගහැර දුරක යන විට
කොහෙන්දෝ නැගි ඔබේ ගී තාලයට
තටු ලබා පියැඹුවා හිත එදා අහසට

බිම වැටුණු පුංචි සමනළයා
වට වෙලා අප එකතුවී මැරුවා
අපට නැති උගේ තටු ඉරුවා
දුරක සිට ඔබ සෝ තනුව වැයුවා

එක දිගට, එකම විදියට
මුවට මුව තබා කී පිළුණු සුබ පැතුමට
ගොළුව, බිහිරිව, අඳව
හිතේ ඇති කුණුහරුප සේරම
නිහඬවම ගැයුවා මා
ඔබ නොදැන ඔබේ තනුවට

අපමණ නෑ සියන් මැද තනියි, සීතයි මට
එකට, එක හීනයක් මිස තනි හීන අකැපයි අපට
දිගයි මේ රැය අවදිව සිටින ඔබට මට
ගයන්නට එපා තව ඉඩ දෙන්න සිසිරයට

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය වන 'ඉනි අවන්' දෙමළ භාෂිත චිත්‍රපටය පිළිබඳ සංවාදයක් 2013 ජනවාරි මස 02 වන දින ප. ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙයි.

දෙසුම්:
දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී වියන්ගොඩ
සී. අන්ජලේන්ද්‍රන්


සංවිධානය : '14 - ප්‍රකාශනයට අවකාශයක් සිනමා ත්‍රෛමාසිකය'



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සන්නස්ගලගේ 'පිරිමි ගොඩයි මං විතරයි' යළි කියවීම
අමරකීර්ති- ගීතිකා ධර්මසිංහ- වරුණ රාජපක්ෂ සමග.
2012 ජනවාරි 04 සිකුරාදා. සවස 3:00.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය.

සංවිධානය- ජනරළ තොටුපොළ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා නො කරති. ඉතිහාස පොත් නැවත නැවත සිදු වන යුධ වලින් පිරී ඇත. මිනිසුන් වශයෙන් අපට අප අවබෝධ කිරීම ආරම්භ කිරීමට හැකි නම්, එකිනෙකා මැරීම නවතිනු ඇත.

පහත් ජාත්‍යාලයෙන් අපේ රට ගැන පමණක් කල්පනා කරනතාක්, අපි භයානක ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නෙමු. අප සැමට සතුටින් හා සාමයෙන් ජීවත් වියහැකි මේ මහ පොළව අප සැමගේ ම යයි අප වරක් දුටුවොත්, එවිට අපි එකට එක් වී අළුත් ලෝකයක් ගොඩ නගනු ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මේක මේ වඳුරොත් එක්ක කළ පුංචි පර්යේෂණයක්. රූප සටහන එක්ක බැලුවොත් තේරුම් ගන්න පහසුයි.

1. විද්‍යාඥයෝ කණ්ඩායමක්, වඳුරො පස් දෙනෙක්ව කූඩුවක දමලා, කූඩුව හරි මැදින් පුංචි ඉනිමගක් තියලා- ඒ ඉනිමග උඩ කෙසෙල් ගෙඩි කීපයක් තියලා- කූඩුව වැහුවා.

2. වඳුරෙක් කෙසෙල් ගෙඩියක් ගන්න ඉනිමග දිගේ ඉහළ නගින හැම වතාවෙම, විද්‍යාඥයෝ අනික් වඳුරන්ව සීතල වතුරෙන් නෑව්වා.

3. ටිකක් වෙලා මේ විදිහට වෙද්දි, ඉනිමග දිගේ ඉහළ යන වඳුරට අනික් වඳුරො එකතු වෙලා පහර දෙන්න පටන් ගත්තා.

4. ටික වෙලාවකට පස්සෙ, කෙසෙල් ගෙඩි වලට කොච්චර කෑදර වුනත්, කිසිම වඳුරෙක් ඉනිමග දිගේ නගින්න එඩිතර වුනේ නෑ.



5. විද්‍යාඥයෝ ඊට පස්සෙ එතන උන්න එක වඳුරෙක් ඉවත් කරලා, ඒ වෙනුවට අළුත් වඳුරෙක් කූඩුවට දැම්මා. එයා කූඩුවට දැම්ම ගමන් කළ පළවෙනි රාජකාරිය වුනේ කෙසෙල් ගෙඩි කන්න ඉනිමග දිගේ නැගපු එක. අනික් වඳුරො එයාටත් පහර දුන්නා. මේ දේ කීප වරක් වුනහම අළුත් වඳුරා ඉගෙන ගත්තා ඉනිමග දිගේ නගින එක ගුටි කෑමට හේතුවක් වෙන බව- ඒත් ඒ ඇයි කියන එක එයා දැනගෙන හිටියෙ නැහැ.

6. කලින් කණ්ඩායමේ හිටිය වඳුරන්ගෙන් තව වඳුරෙක් ඉවත් කරලා තව අළුත් වඳුරෙක් දැම්මා. එයත් ඉනිමග නැග්ගා. එයාට පහර දෙන්න පරණ හාදයොත් එක්ක මුලින්ම ආපු අළුත් හාදයත් එකතු වුනා. පරණ වඳුරො පස් දෙනාම වෙනුවට අළුත් වඳුරො පස් දෙනෙක් වෙනකල්ම මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කළා. අළුතෙන් එන අය ඉනිමග නැගීමත් සෙසු අය පහර දීමත් සිදු වුනා.

7. අන්තිමේදි ඉතුරු වුන වඳුරො පස් දෙනා කිසිම වෙලාවක සීතල වතුර ප්‍රහාරයකට ලක් නොවුනු නමුත්, කිසිම වඳුරෙකුට ඉනිමග නගින්න ඉඩ දුන්නෙ නෑ.

8. වඳුරන්ගෙන් අහල දැන ගන්න පුළුවන් නම් ඇයි උඹලා ඉනිමග නගින්න හදන එවුන්ට පහර දෙන්නේ කියලා උන් කියාවි මෙහෙම;

"මං දන්නෙ නෑ. ඒත් දේවල් වෙන්නෙ ඒ පිළිවෙළට තමයි."

ඒ උත්තරේ නිකං හොඳට අහලා පුරුදුයි වගේ නේද?

9. පෙර සිට පැවත එන පිළිවළ නිසා මොනම කෙහෙල් ගෙඩියක්වත් රහ නොබලා උනුන් කා කොටා ගැනීමේ වඳුරු හැසිරීම ගැන ඩිංගක් ගැඹුරට හිතමුද?

[උපුටනය- The Idealist වෙතින්]
පරිවර්තනය - සුභ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තේක්ක ලැහැබ මැද
ලඳු පඳුරු අතර සිරවුණ
අඳුර වටලෑ කුඩා නිවසට
තාම හවසට පාළුද?

* * *

එක් වීමකට නොව
වෙන් වීමකට මඟ කී
එක්තරා පාළු පාරක්..........

........දෙපස ගණ බඩවැටි
නිරතුරුව තෙත්බර ව පැවතිණි.

සඳ කැරැල්ලක් පවා නො වැටුණු
ඇතැම් ගණඳුරු රැයක
යනෙන විට මා
රැහැයියන් ගේ හා රෑබදුල්ලන් ගේ
නොනවතින හැඬුම් හඬ
හදවත පසා කළයුරු.........!

මගේ යන එන ගමන් නැවතී
කාලයක් ගත විණි.

එහෙත් හදවත තවම පාරයි
රැහැයියන් ගේ හා රෑබදුල්ලන් ගේ
නො නවතින හැඬුම් හඬ.............

* * *

රැහැයියන් නම්
තටු සෙමෙන් මැද හඬනවා විතරයි.
සවන් පත් තුළින් වැද
ඒ හඬට හදවතේ සදාකල් රිදුම් දෙන
ඉඩක් ගන්නවා විතරයි.

ඒත්
රෑබදුල්ලන් බොහෝ නපුරුයි.
බලාගෙනයි
දෂ්ඨ කළොත්
අහසෙ තරුත් මුහුදෙ මඩත් ඕනෑ වෙයි.

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කංගැට්ටා පුතා දිග කඩු ගිලින කොට
සෙංගැට්ටා ඇවිත් කනවා මයික් කට
දුම්බොට්ටා පුතා ගිය දඬුමොණරෙ පිට
අත්තට්ටා පුතත් ඉගිලී යයිද හෙට?

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නම් කරමු අපි අපේ මේ යුගය
යුගය යයි
බලාසිටිනා උන්ගේ

අහස නිහඬව සිටී බලාගෙන
සැම දෙයම
පොළොව මත සිදුවන

පොළොව ද
බලාගෙන සිටින්නී නිහඬවම
එනමුදු
බියෙන් තජ්ජිත වී
වරින් වර වෙවුලන්නී

මියෙති වෙවුලා වැටී
මහ කඳු
කුඩා කඳු
පුංචි පොඩි පස් කඳු
තුෂ්නීම්භූතව බලා සිට
කිසිත් කර ගත නොහැකිව

තුරු වැල් ද
ඇඹරෙමින් විලියෙන්
උනුන් හා කුමක් හෝ මුමුණමින්
බලා සිට
හිටි වනම උනුන් මත ඇද වැටෙති

ගංගා ද
මඟ දෙපස බලමින්
හඬ හඬා රහසින්
ගලා යයි පාඩුවේ

හිස් ප්ලාස්ටික් පිඟන්
ටින් බෙලෙක්
අතින් ගෙන
මහ වීදි
සුළු වීදි
අතුරු මං
අඩිපාරවල් නොහැර
බලා ඉන්නෝ
ජනී ජනයෝ
අද
නැතත්
හෙටවත්
කිසිවක් ලැබෙයි සිතමින්

ඉතින් අපි නම් කරමු
මේ යුගය
යුගය යැයි
බලා සිටිනා උන්ගේ

සජීවනී කස්තුරිආරච්ච්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



Thunder rumbles in the mountain passes
And lightning rattles the eaves of our houses.
Flood waters await us in our avenues.

Snow falls upon snow, falls upon snow to avalanche
Over unprotected villages.
The sky slips low and grey and threatening.

We question ourselves.
What have we done to so affront nature?
We worry God.
Are you there? Are you there really?
Does the covenant you made with us still hold?

Into this climate of fear and apprehension, Christmas enters,
Streaming lights of joy, ringing bells of hope
And singing carols of forgiveness high up in the bright air.
The world is encouraged to come away from rancor,
Come the way of friendship.

It is the Glad Season.
Thunder ebbs to silence and lightning sleeps quietly in the corner.
Flood waters recede into memory.
Snow becomes a yielding cushion to aid us
As we make our way to higher ground.

Hope is born again in the faces of children
It rides on the shoulders of our aged as they walk into their sunsets.
Hope spreads around the earth. Brightening all things,
Even hate which crouches breeding in dark corridors.

In our joy, we think we hear a whisper.
At first it is too soft. Then only half heard.
We listen carefully as it gathers strength.
We hear a sweetness.
The word is Peace.
It is loud now. It is louder.
Louder than the explosion of bombs.

We tremble at the sound. We are thrilled by its presence.
It is what we have hungered for.
Not just the absence of war. But, true Peace.
A harmony of spirit, a comfort of courtesies.
Security for our beloveds and their beloveds.

We clap hands and welcome the Peace of Christmas.
We beckon this good season to wait a while with us.
We, Baptist and Buddhist, Methodist and Muslim, say come.
Peace.
Come and fill us and our world with your majesty.
We, the Jew and the Jainist, the Catholic and the Confucian,
Implore you, to stay a while with us.
So we may learn by your shimmering light
How to look beyond complexion and see community.

It is Christmas time, a halting of hate time.

On this platform of peace, we can create a language
To translate ourselves to ourselves and to each other.

At this Holy Instant, we celebrate the Birth of Jesus Christ
Into the great religions of the world.
We jubilate the precious advent of trust.
We shout with glorious tongues at the coming of hope.
All the earth's tribes loosen their voices
To celebrate the promise of Peace.

We, Angels and Mortal's, Believers and Non-Believers,
Look heavenward and speak the word aloud.
Peace. We look at our world and speak the word aloud.
Peace. We look at each other, then into ourselves
And we say without shyness or apology or hesitation.

Peace, My Brother.
Peace, My Sister.
Peace, My Soul.

මායා ඇන්ජලෝ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පුතේ මේ සාගරය
හරි විශාලෙට හිටියට
එයාටත් තියනවා හදවතක්
අපිට වාගෙම ගැහෙන
උඹ වගේ හාල් මැස්සෙකුගෙත්
දුකකදි ඇඞෙන...

හොදින් කන් දුන්නොතින්
ඇහෙනවා කාටත්
හෝ ගගා හඞන මහ සමුදුරේ හඬ....

අන්න ඒ වෙලාවෙලු
එන්නෙ මුතු බෙල්ලො ටික
මහ සයුරෙ උකුලට
වැටුණු අර කඳුළු කැට
ඇරන් ලා ගන්නවලු
උන්ගෙ බෙලි කටු යට....

පුතේ සත් සමුදුරු පතුල
වැළලුණු රහසකිය මෙය
අනුන් වෙනුවෙන් වැටුණු
කඳුලකට විතරයිලු පුළුවන්
ධවල මුතුකැට වී ලෝකයක් බබළන්න...

ඒත් මුතු බෙල්ලො සැම
දන්නවා මේ රහස
මතු දිනක තමන් දිවි දෙන්න කැමතිව
රකින්නේ ඒකයි උන් මේ කඳුළු මුතු කැට...

විහඟ සත්සර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෘකයෙක් රැලෙන් අතරමංවූ බැටළු පැටවෙක් දැක, සිය සැහැසි අත් ඌ මත නොහෙලා ම ඌ මරා කන්නට මගක් ​සොයා ගන්නට සිතුවේය.
යටහත් පහත්ව බැටළුවා ඈමතූ වෘකයා... "මහත්මයා​ණනි, පහුගිය වසරේ ඔබ මට නිර්දය ලෙස නින්දා කළායි" කීවේය.
"ඈත්ත වශයෙන්ම..." ඉතා අසරණ ස්වරයකින් ඈද පැද කිවූ බැටළු පැටවා "මම එතකොට ඉපදී හිටියේත් නැතැ"යි කී​වේය.
වෘකයා, "ඔබ මගේ තණබිම් වල තණ කෑවා" යි කීය.
"ඒක වැරදියි මහත්මයාණනි, මම තවම තණපතක රසබලාවත් නැත්තෙමි"යි බැටළුවා කීය.
"ඔබ මගේ ලිඳෙන් දිය බිව්වා" වෘකයා නැවතත් කීය.
"නෑ... නෑ... නෑ... මම තවම දිය පොදක් බීලා නැහැ. තවමත් මගේ එකම ආහාරය හා පානය අම්මාගේ කිරියි"
බැටළු පැටවා කලබලයෙන් හඬගාද්දීම වෘකයා ඌ අල්ලා මරා කමින්,
"හොඳයි... මා ගෙනා හැම දෝෂාරෝපණයම නිශ්ප්‍රභා කරන්නට උඹට පුළුවන් වුණත් මම බඩගින්නේ නම් ඉන්නේ නෑ..!"යි කීය.

ක්‍රෑර පාලකයා සෑමවිටම සිය ක්‍රෑරකම සාධාරණීකරණය කරයි.

[ඊසොප් ගේ උපමා කතාවකි.]
පරිවර්තනය - සඳකාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මම

මට තියෙන්නේ තුනට බෙදුණු හදවතක්. හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා. ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි.. අංශක 170 යි 110 යි 80යි. ඇත්ත , බැලූ බැල්මට අංශක 170 ලොකුයි. ඒක එහෙම තමයි. මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා. අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්. උතසව, සාද , විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්. අංශක 80 හරිම පටුයි හැබැයි ඒ වගේම ගැඹුරුයි. කෝඨරකෙ ගැඹුරු බව තීරණය වෙන්නෙ ඒක ඇතුලෙ ජීවත්වෙන කාලෙ අනුව නෙමෙයි. ජීවත්වෙන විදිහ අනුව. හිත ඇතුලෙ ස්පර්ශ කරන තැන් අනුව. ස්පර්ශයේ රළු බව සහ සුමුදු බව අනුව. ඒ වුනාට මම ඒ හිස් කෝඨරකෙ පිරෙන්නම පස් පුරවලා තියෙන්නෙ. දැන් යනකොට ඉතිරි කරලා ගියපු කමිසෙ ගඳවත් දැනෙන්නෙ නැහැ. ගඳ නෙමෙයි ජීවන සුවඳ ද මන්දා... මොක වුනත් මම ඒක සදහටම මකලා ඉවරයි.

ඒ වුනාට අංශක 110 මේ දෙකටම වඩා වෙනස්. එයා ගියෙ නැහැ . මමයි එයාගෙ හදවතෙන් ආවෙ. ඒ හදවතේ හිස්තැනට මොනවා කරාද දන්නෙ නැති වුනත් මගේ හදවතේ කුටීරය තාම එහෙමමයි. ඒ කුටීරය ඇතුලෙ තියෙනවා .යූ' අකුර සහිත රත්තරන් මුදුවක්, ලස්සන සිනාවක් සහ රෝස පාට ෆලූඩා වීදුරුවක්. තව ජංගම දුරකථන තිබියදීත් ලියූ පෙම් හසුන්. කේන්දරවල නොගැලපීම් සහ කම්මුල් දිගේ ගලාගෙන ගිය කඳුළු බින්දු. සමහර දවස්වල එයා මට ආදරෙයි කියනකොට මම කියුවෙ මට ඔයා සහෝදරයෙක් වගේ කියලයි. කොහොමටත් සහෝදරයෙක් කියලා හිතෙන කෙනෙක් එක්ක විවාහයකටවත් රමණයකටවත් හිතා හදා ගන්න බෑ කියලා මට තේරෙනකොට ටිකක් පරක්කුයි. මම එයා දැක්කම ගිනි ගන්නෙ නැහැ. සීතල වතුර පාරකින් මුහුණ සෝදාගත්තාම ඇතිවන හැගීම වගේ හැඟීමක් මට දැනුනා.

එතකොට මම ඉන්නෙ වැඩ කරන තැන. හදිසියේ මගේ දකුණු අතේ වේදනාවක් ඇති වෙනවා. දකුණු අත දිගේ උරහිස දෙසට. රිදෙන්න ගන්නවා හදවත. කුමන කුටීරයදැයි හිතාගන්නටත් ප්‍රථම මා ඇතුලත් කෙරෙනවා රජයේ ඉස්පිරිතාලයට."හාට් ඇටෑක් එකක්" සිහි නැති වීමට ප්‍රථම එහෙම කියනවා මතකයි. ඊට පසුව කිසිවක් මතක නැහැ.

අංශක 110

"ඔයා හදිස්සියෙම ඉස්පිරිතාලෙට ඇතුල් වෙලා කියලා දැනගත්තම මම හිතුවෙ තව ලෙඩෙක් කියලා විතරයි. මම කෑම කාලා එන්න හිතුවේ ඒකයි. ලෙඩ්ඩු කියන්නේ හරිම සාමාන්‍ය දේවල් ගණයට වැටුනෙ දොස්තර කෙනෙක් වුනාට පස්සෙ. ඇස් ඉස්සරහාම මළ මිනීවල ඇස් නර්ස් නෝනලා වහනවා දැක්කට පස්සෙ. ඒත් ඒ ඔයා කියලා දන්නවා නම් සුවිශේෂී වෙනවා. සමහර වෙලාවට මගේ හදවත තාම ස්ඵන්දනය වෙන්නෙ ඔයා නිසා . ඔයා නොදන්නවා උනාට. ඒත් ඔයාගෙ හදවතේ නාල අවහිර වෙන්නට තරම් ප්‍රබල තැනක මම ඉන්න නැතුවැති කියලා මම දන්නවා. එතකොට කව්ද මේක කරපු බූරුවා කියලා හොයන්න වෙනවා. අවුරුදු පහකට පස්සෙ ඔපරේෂන් තියටර් එකේදි දකින්න තරම් අපි (අ)වාසනාවන්ත වුනේ ඇයි. ඒත් ඉස්සර මට නොපෙනෙන්න කෝල බැල්මෙන් බලලා රෝස මල් තිබුනු කුඩෙන් වහගත්ත සුදු කකුල් වලින් නහරයක් කපා ගන්න මට සිද්ධ වෙනවා. ඔයාගේ අවහිර වුන හදවතේ නාලය වෙනුවට පාස්සන්න. මේක කම්මලක් වගේනෙ. ඔයාට සිහිය තිබුනා නම් කියයි. ඒත් ඔයා එහෙම කියුවෙ නෑ. ඔයාව මම අඳුර ගන්නෙ සැත්කම කරන්න පලමුවෙන් අතින් ඉවත් කරපු යූ අකුර තියෙන මුදුවෙන්. ඒ මුදුවත් තිබුනෙ වෙද ඇගිල්ලෙමයි. හැබැයි මගුල් මුදුවට ඉහලින්. රුපියල් පන්දාහෙ යූ අකුරෙ ආදරේ. ඒත් ඉතින් මට දැන් නම් ඊට වටින මුද්දක් අරන් දෙන්න පුළුවන්. මම හිතුවෙ නෑ ඔයා ඕක දානවා ඇති කියලා. හදවතේ පැත්තක්ම පස් වලින් පිරිලා. මේ සේරටම මුල ඒක විත්තිය මම හොයාගන්නවා. ඒත් සැත්කම් කාමරයේ පස් ඉවත් කල හැකි සවලක් තිබුනේ නැහැ. මම අසරණ වෙනවා."

"මට කරන්න පුළුවන් උපරිමය කලා. ඒත් ඔයා ආයෙමත් ඇස් අරින්නේ නැති බව මම දැනගෙන හිටියා. මම ඔයාට ආදරෙයි මම කියුවා."

මගේ ඇස් වලට කඳුළු ආවා. අනිත් අයට පෙනුනට කමන් නෑ මම හිතුවා. මම ඔයා ව බදාගෙන අඬන්න පටන් ගත්තා. හිටි ගමන් නලලට සීතලක් දැනුනා. ඒ මොහොතකට විතරයි. ආයෙමත් සුපුරුදු කඳුළු.

ගන්ධබ්බ

මට කවුදෝ මන්දා ආදරෙයි කියනවා ඇහෙනවා. පුරුදු කටහඩක්. මම පාවෙලා යනවා. මම වගේ කවුද සැත්කම් මේසයක් උඩ ඉන්නවා. කවුදෝ මන්දා මාව බදාගෙන අඬනවා."අනේ ඒ එයා... අවුරුදු කීයකට පස්සෙද?"දන්නවා නම් මැරෙන්නෙ නෑ. ඒත් දැන් මැරිලා ඉවරයි. මම පාවෙලා ම යනවා. යන ගමන් එයාගෙ නලලට හාද්දක් දෙනවා.

එක පාරට වතුර පිරුණු බෝලයක් ඇතුලෙ ඉන්නවා දැනෙනවා. මම වතුර ගොඩක . කොහොමටත් මම මේ සෙවල ගතියට කැමති නෑ. ඉක්මනට මම මෙතනින් යන්න ඕන මට හිතෙනවා. මම බඩක් ඇතුලෙ. ඊයා... මට අප්පිරිය හිතෙනවා.

ඒ ගමන් කටහඬක්..

"ඉක්මනට ගෙදර එන්න සුබ ආරංචියක්. අදයි ප්‍රෙග්නන්සි රිපෝට් එක ලැබුනෙ. ලෙඩා මැරුනද? අයියෝ ගනන් ගන්න එපා. ඔය ලෙඩෙක් මැරුණු පලවෙනි පාර නෙමෙයි නෙ."

ටිකකින් වාහනයක් නවත්වන හඩ සහ මම ඉන්නා බඩ දොර දෙසට ඇවිදගෙන යන බව දැනෙනවා.

මම හිමිහිට බඩෙන් එලියට ඔලුව දාලා බලනවා. අංශක 110 . මට සතුටුයි.. ඒ වගේම දුකයි. අංශක 110 මම ඉන්න බඩේ අයිතිකාරයට හාදුවක් දෙනවා.

"මට සතුටුයි" එයා කියනවා.

"එහෙනම් ඇස් වල කඳුළු?" බඩේ අයිතිකාරිය අහනවා.

"ඒ සතුටු කදුළු"...

මට හිනා යනවා. කොච්චර අප්පිරිය වුනත් බඩේම ඉන්න මම තීරණය කරනවා.

දසුනි හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හිස බිමට නමාගෙන
සංසාර කන්ද නැගෙන
හැමදාම හවසට
ආවාම ගුහාවට
හඳ වුනත් ඉන්නේ ඔරෝගෙන

ගෙවීයන හැම නිමේෂය
කන් අගුළු වට්ටන තරම්
තරම් නිහඬය
ගලපන අකුරු වුනත් කවියට
කථාවක් නැතිවටම
එක පෙළට ළගින් හිටගෙන

මහ විසල් කොන්ක්‍රීට් වෘක්ෂයන් අතර
සෙවනැලි අහිමි වූ මිනිසුන්ය
අතරමග හැමතැනදි හමුවන
මොහොතක් උස්සා හිස
මං වාගෙම යළිත් බිමටම නවාගෙන
හාහූවක් නැතිව යන එන

මතක සැමරුම්
ටිකෙන් ටික අලුපාට වන
ඔබත් එක්ක ගත කළ
අවසන් සන්ධ්‍යාව
පමණි තවමත්
පාට තැවරුණු එකම මතකය

ක්‍රිශාන් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හඳගම යළි අප හමුවට සපැමිණෙයි. සිය අභිනව සිනමා කෘතිය "ඉනිඅවන්" අප ඇසුරට පත් වෙයි. හඳගම යළි පැමිණීම යනු සිනමාශ්‍රයට යළි අවස්ථා විවර වීමකැයි සිතද්දී ඇති වන්නේ සතුටකි. මන්ද යත් මෙතෙක් අප විඳ දරා ගත්තේ සිනමාව නාමයෙන් වෙළඳෙපලට ආ සුමධුර බණ කතා සහ රාජ පාක්ෂික ප්‍රශස්ත කාව්‍ය වන නිසයි. හුදු නරඹන්නකුම වී සිටි අප පළමුව විඳින්නන් බවට පත් කරන අනුබල සහිත "ඉනිඅවන්" සුවිශේෂ සිනමා කෘතියකැයි අප සිතන්නේ නූතන මිනිසාගේ පැවැත්ම සහ පුනර්ජන්මය පිළිබඳ නව සංවාදයකට මෙය මග පාදන නිසා ද වේ.

චිරස්ථායිතාව හෙවත් චිරස්ථීතිය යනු බොහෝ කාලයක් පවත්නා යන අර්ථයයි. චිර ජීවි යනු බොහෝ කල් ජීවත් වීමයි. චිත්‍රපටයක හෝ පොදුවේ නිර්මාණ කෘතියක චිරස්ථ ගුණය යනු නොකඩවා පවතින කල්පවතින, ස්ථීර නිත්‍ය යන අරුත් ගනී. (quality of lasting long) ස්ථායිතාව, කල්පවත්නා බව, කල්ගතවන බව සහ තහවුරු බව යනු යමක හෝ යමකුගේ චිරස්ථ ගුණය තහවුරු කරන්නා වූ පරිවාර අර්ථයෝය.

යම් නිර්මාණයක දිගුකල් පවත්නා ස්ථායි බව හා අඛණ්ඩව පවත්නා සජීවි බව සමග ගැනෙන අනෙක් සුවිශේෂම ගුණය වන්නේ සදාකාලික බවයි. එනම් කාලසීමා ඉක්මවා එය ආශ්වාදනය කළ හැකි අර්ථවත් හා වින්දනීය ගුණයකින් යුක්ත වීමයි. යම් නිර්මාණයක් සාර්වත්‍රික ව භාවිතයට ගැනීම යනු පොදුවේ සමස්තයට ම භුක්ති විඳිය හැකි වීම ද වේ.

නිර්මාණයක සාර්වත්‍රිකත්වය (universality) හා චිරස්ථායිතාවය අතර පවත්නා අනොන්‍ය සමීපතාව විසින් නිර්මාණකරුවාට ද චිරස්ථායි බලයක් ගෙන දෙයි. පවත්නා දේශපාලන හැඩරුව මත තම ආත්ම ප්‍රකාශන ස්වරූපය තීන්දු කරන නිර්මාණකරුවකු යම් තීරණාත්මක අවස්ථාවක තම ස්වෛරි ආත්ම ප්‍රකාශන ස්වරූපය අභිබවා නිර්මාණකරුවකු ලෙස තම පැවැත්ම සහ චිර ජීවි බව ගැනම සිතන්නට පෙළැඹෙයි. සිනමා කෘතියක පැවැත්ම සහ සිනමාකරුවාගේ පැවැත්ම අතර ඇත්තේ කෙටි දුරකි. සිනමා කරුවා චිරකාලිකයකු විය යුතුය. චිරකාලිකයා සහ චිරකාල භටයා හැඳින්වීම සඳහා යෙදෙන "veteran" නම් යෙදුමට අදාල තවත් අර්ථ වනුයේ "පරිණත වැඩිහිටියා, ප්‍රවීනයා, අත්දැකීම් බහුල වයසැත්තා" ආදී වශයෙනි. දැන් තමා ජීවත් වනුයේ තම අතීත සිනමා කෘති බිහි වූ සමාජ ව්‍යුහය තුළ නොවේයැයි හඳගම මෑතකදී පවසා ඇත.

පැවැත්ම සහ පැවතීම හඳගමගේ අභිනව සිනමා කටයුත්ත වන "ඉනිඅවන්" සමග සසඳා විමසීම සඳහා රෙනේ ඩෙකාට් නමැති දාර්ශනිකයා උපුටා දක්වන්නට සිත් වේ.

"මම සිතමි. එම නිසා මම පවතිමි. දිගුකල් පවතිනු පිණිස මම දිගුකල් සිතමි. මම සත්‍ය වස්තුවක් වන්නේ මම සිතන විට පමණකැයි දනිමි. මම සියල්ල අවිශ්වාස කරමි. එනම් මම සියල්ල සිතමි. එමනිසා මම පවතිමි." ඩෙකාට් කීවේ එපරිදිය.





අවස්ථාචෝචිත ලෙස ක්‍රියා කිරීමේ හැකියාව (practical intelligence) සාමාන්‍ය පුරවැසියකුටත් වඩා සිනමාකරුවකු තුළ තිබිය යුතුම වන්නේ සිනමාකරුවා එකී සාමාන්‍ය පුරවැසියා නියෝජනය කරන්නකු ද වන නිසාය. දේශපාලන සිනමාකරුවකුට මෙම තත්ත්වය අප හිතනවාටත් වඩා බරපතල ලෙස අදාලය. හඳගම තම සිනමාව තුළ සක්‍රීය කළේ සිය දේශපාලන ප්‍රකාශනයයි. එය එදා සේ අදත් නොවෙනස් ය. මෙම දේශපාලනමය ප්‍රකාශනය "ඉනිඅවන්" තුළ වඩාත් ප්‍රබල මෙන්ම සූක්ෂම ය. සිනමා ප්‍රකාශකයකුට සූක්ෂම වෙමින් සිය ප්‍රබලතාවය ආරක්ෂා කර ගත හැකි වනුයේ අවස්ථානුචිත වෙමිනි. "දැන් ඉස්සර වගේ නෙවෙයි" කියා හඳගම සිතනුයේ මෙනිසා විය හැකිය.

තමා වටා සිටි මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, විචාරකයින්, නිළියෝ, කලු සල්ලිකාරයෝ ආදී සියල්ලෝම සිය දිවි නසා ගනිද්දී හඳගම තවමත් ජීවත් වෙයි. කෙසේ හෝ නොනැසී ජීවත්වෙයි. එනම් ඔහු තවමත් චිත්‍රපට තනයි. සිනමාව තම ආත්ම ප්‍රකාශනය ලෙස තකන්නට හැකි තරමින් තවමත් යහ සිහි කල්පනාවෙන් ජීවත් වෙයි. තම ආත්ම ප්‍රකාශන මාධ්‍යය එනම් චිත්‍රපට තැනීම, ගී ගැයීම, රඟපෑම චිත්‍ර ඇඳීම, නාට්‍ය තැනීම වැනි විවිධ වූ තම මාධ්‍යය අතැර මහ ගැඹුරු අශිෂ්ට දුර්ගන්ධ දේශපාලන අගාධයට පැන අකාලයේ නැසීගිය කලාකාර ඥාති හිතමිත්‍රාදීන්ගේ දීර්ඝ නම් ලැයිස්තුවට මෙය ලියන මොහොත වන තෙක් හඳගම එයාකාරයෙන් ඇතුළත් වී නැත. ඔහු මේ පරිසරය වටහාගෙන ඇති තරම ඔහුගේ උපායවන්ත නම්‍යශීලී ආත්මාරක්ෂක හැසිරීම් තුළින් ම වැටහෙයි. නොනැසී ජීවත්වීමට තරම් සුදුස්සකු වීම අභියෝගාත්මකය. නොනැසී ජීවත්වීමේ වටිනාකම, ඒ සඳහා නම්‍යශීලී වීමේදී යමෙකු මුහුණ දෙන අභියෝගයේ බරපතළකම, ජීවත්වීම සඳහා සුදුස්සකු වීම වෙනුවෙන් සපුරාලිය යුතු සමාජසයහා පුද්ගලාත්මීය තත්ත්වයන් යනු අවසන් වරට අප ඇසුරු කළ හඳගමගේ "විදු" සහ අභිනව "ඉනිඅවන්" යන චිත්‍රපට සමග ව්‍යංගාර්ථයෙන් බැඳී පවත්නා අර්ථ වේ.

ඉතාම සුදුස්සා නොනැසී ජීවත්වීම යනු චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ එන මූලික සංකල්පයකි. මෙය හැඳින්වෙන්නේ උචිතෝන්නතිය (survival of the fittest) යනුවෙනි. ස්වාභාවික වරණය (natural selection) යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි. ඇතැමුන් තමාට නියමිත පරිසරයට ඔරොත්තු දීම සඳහා අන් අයට වඩා සුදුසු වීම මෙහි අරුතයි. වඩා සුදුස්සෝ නොනැසී ජීවත් වෙමින් වඩා සාර්ථක ලෙස තම වර්ගයා බෝ කරති.

ජීවි විශේෂයෝ තමන්ට දාව අනුජාතකයන් අධිකව බිහි කළත් මේ සියලු ජනිතයෝ මුහුකුරා ගිය තාක් ජීවත් වන්නේ නැත. නිරාහාරව හිඳ මිය යති. විවිධ රෝග වැළඳී මිය යති. ශාරීරික ආබාධ නිසා මිය යති. භෞතික පරිසරයේ යම් යම් හේතු මත මිය යති. හදිසි අනතුරු නිසා ද මිය යති. ඇතැමෙකු බීජ අවස්ථාවේ මිය යන අතර ඇතැමකු කළල අවස්ථාවේදී හෝ ලදරු අවස්ථාවේදී ද, යොවුන් හෝ වැඩිහිටි අවස්ථාවේදී ද මිය යති. මෙසේ මිය යන්නේ පරිසරයට ඔරොත්තු දීමට, අපේ ජීවීන්ගේ ප්‍රහාර වැළැක්වීමට, අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට සමත් නොවීම යනාදී විවිධ හේතු නිසාය. දුබලයා මියැදීම සාපේක්ෂ වන්නේ "බලවතා ජය ගනී" යන සංකල්පය ද සමගය.

මෙම ධර්මතාවය සෑම ජීවියකුට මෙන්ම සිනමාකරුවකුටද උරුමය. හඳගම විසින් ඔහුම මරාදමා ඔහුම ඔහු වෙත උපතක් ලබාදී ඇත. "අහස් ගව්ව" චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අවස්ථාවේ නැගී සිටි ප්‍රේක්ෂකයකු "අඩෝ පතිරාජ උඹ ඉවරයි" යනුවෙන් හඬනගා පැවසුවාක් මෙන් "අඩෝ හඳයා උඹ ඉවරයි" යනුවෙන් අපටත් මතු දවසක කියන්නට හඳගම ඉඩ නොතබනු ඇතැයි තමා සිතන්නේ යැයි ගුණසිරි සිල්වා මීට දෙවසරකට ඉහතදී වෙබ් අඩවිකට ලියා තිබිණි.("හඳගමගේ නව දිශානතිය හෙවත් කැඩපත ඔසවා පොළොවේ ගැසීම"- ගුණසිරි සිල්වා- ලංකා ඊ නිව්ස්)





"හඳගම ඉවර නෑ" යනුවෙන් ස්ව මත පෑ ගුණසිරි සිල්වාට පිළිතුරු දුන් නිහාල් පීරිස්ටද ප්‍රති විරෝධී වෙමින් අප මතු කළේ "මේ හඳගම විසින් ඒ හඳගමව ඉවරයක් කොට නව හඳගම කෙනෙකු උපදවා ඇති බව"යි. "විදු"යනු එම පුනරුප්පත්තියේ නව හැඳුනුම් නාමය වන බවද අවධාරණය කළෙමු. ("විදු - ජනප්‍රිය කලාවේ පීචං දේශපාලනයට දැනුවත් ප්‍රහාරයක්"- ලක්බිම ඉරිදා සංග්‍රහය 20101-09-26) මෙය හදිසි මරණයක් නොව, සිතාමතා සිදුකළ කාලෝචිත ඝාතනයක් බව අප එහිදී සාක්ෂිගත කළෙමු. "ඉනිඅවන්" අපගේ එම සාක්ෂි සාක්ෂාත් කරන තරම වැදගත්ය.

මැරි මැරී උපදිනවාට වඩා යළි ඉපදීම යෝග්‍ය නමුත් එසේ යළි ඉපදීම සඳහා මුලින්ම මරණයට පත්විය යුතුය. නැතිනම් ඝාතනය කළ යුතුය. සියදිවි නසාගන්නෝ ද අන් ලෙසකට යළි උපදිති. යම් සත්වයකු අකාලයේ අනපේක්ෂිතව මියැදෙනුයේ තම පරිසරයට ඔරොත්තු දීමට නොහැකි බව ජීව විද්‍යානුකුල අර්ථයයි. අන් අතකට අන් සත්වයින්ගෙන් තමා දෙසට එන ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය ශක්තිය හා ප්‍රතිශක්තිය තමාතුළ නොමැති ජීවියා ද අකාලයේ මරණයට පත්වෙයි. මේ අනුව සියල්ලෝම නියුතු වනුයේ ජීවන සංග්‍රාමයක ය. ජීවත්වීම සඳහා සියල්ලෝම අරගල කරති. අනෙකා සමග සටන් කරති. මේ අනොන්‍ය ගැටුමේදී දුබලයෝ සැනසෙන අතර, වඩා සුදුස්සෝ තවදුරටත් ජීවත් වෙති. ජීවත් වීම සඳහා නිතර අරගලයේදී නොනැසී ඉතිරි වන්නේ පරිසරයට ගැලපෙන සේ, අරගලයන්ට ඔරොත්තු දෙන සේ, පෝෂණය සපයා ගැනීමට හා තරගයෙන් ජය ගැනීමට සමත් වන සේ හොඳින් හැඩගැසුනවුන් හෙවත් වඩා උචිතවුවන් පමණකි. "උචිතෝන්නතිය" යනු එයයි. "ඉනිඅවන්" තුළ සංවාදයට ගැනෙන්නේ මෙකී "උචිතෝන්නතිය" පිළිබඳ සත්‍යයයි.

"බලවතා ජය ගනී" යන අර්ථය දේශපාලනය, වර්ගභේදය, අධිරාජ්‍යවාදය හා සූරාකෑම යන ක්ෂේත්‍ර ඔස්සේ වැඩිදුර අර්ථකථනය කරනුයේ වුවද මේ උචිනෝත්නතියම ය. මෙය සිනමා ප්‍රකාශන විධික්‍රමයනට ද අදාළ කොටගත හැකි බවට "ඉනිඅවන්" සහ මෙයට පෙර අප කියවූ "විදු" යන ප්‍රකාශන විලාස මගින් පෙන්වන හඳගමගේ ප්‍රතිජනනය විසින් බල කර සිටී. තමා මෙම චිත්‍රපටය ("විදු") කරන්නට බලපෑ එක් හේතුවක් වන්නේ සිනමාකරුවකු ලෙස පැවතීමේ ප්‍රශ්නයට මුහුණ දීමක් ලෙස යැයි හඳගම ම පවසා ඇත. (සමාජය වෙනස් කිරීමට මගේ උත්සාහය නොනවතින එකක්- අශෝක හඳගම සංවාදය- කේ. ඩබ්. ජනරංජන- රාවය 2010-06-13)

"අද්‍යතන මිනිසා" ද එකී සමස්තය තුළ ශුද්ධ අංශුවක් වන් "සිනමාකරුවා" ද අරගල කරනුයේ ස්ව පැවැත්ම සාදා ගැනීමේ අභිප්‍රායයෙනි. මෙම ජීවන සංග්‍රාමය තුළ එකෙකු පැරදී, මියැදී අනෙකා ජය ගනී. ජීවත් වීමට අවස්ථාව ලබයි. ජීවත් වන්නෝ අනොන්‍යව බැඳෙති. ගැටෙති. සියල්ලෝ තම පරිසරය තුළ ජීවත් වීමට හෝ විනාශ වීමට අවස්ථාව ලබති. එකෙකුගේ පරාජය තවෙකුගේ ජයග්‍රහණයයි. එනම් ජීවත්වීම නමැති ජයග්‍රහණය ලැබිය යුත්තෝ ඒ සඳහා අනෙකා පරාජයට පත්කළ යුතුය. මරණයට පත්කළ යුතුය.

පරිසරය ජීවත් වන්නට නුසුදුසු වූ විට සමාජීය හැඟීම් තියෙන මිනිසකුගේ වෑයම විය යුත්තේ එය වෙනස් කිරීමට ප්‍රයත්න දැරීම යැයි අශෝක හඳගම ප්‍රකාශ කළේ 2006 සීතල දෙසැම්බරයේය. (මව්බිම- 2006-12-03) එනම් මීට සිව් වසරකට ඉහතදීය. එසේ පවසා හය වසක් ගෙවුනු තැන අපට මුණ ගැසෙන හඳගමගේ චිත්‍රපටය "ඉනිඅවන්" ය. ජීවත් වීමට නුසුදුසු වූ කළ එම පරිසරය වෙනස් කිරීමට ප්‍රයත්න දැරිය යුතු බව හඳගම මෙළෙස අවධාරණය කළේ එම වෙනස වෙනුවෙන් පෙනී සිටියකු වන අජිත් සමරනායකගේ හදිසි මරණය වෙනුවෙන් කම්පිතවය. හඳගමගේ මෙම අවධාරණයත්, මූලාශ්‍ර වන මෙම සිද්ධියත් මිනිසා පරිසරය ජය ගැනීම යන අපගේ මෙම මාතෘකාවට සෘජුවම අදාළකොට ගතහැකි අනගි නිදර්ශන ය.

"අජිත්ගේ ජීවිතය නවතින්නේ අස්වාභාවිකව. ආර්ථීක හා දේශපාලන අභියෝග්‍යයට යට නොවී අදීනව සිටින්නට ප්‍රතිශක්තිය අජිත්ගේ චින්තනයට තිබුණාට සිරුර ලෙඩ කරන වෛරසයකට මුහුණ දෙන්නට ඔහුගේ සිරුරට ප්‍රතිශක්තිය තිබුනේ නෑ. මදුරුවන් බෝ වීම වළක්වා ගන්නට වැඩ පිළිවෙලක් නැති රටක අගනගරයේ මදුරුවන්ගේ බෝවන උණකට අජිත්ගේ ජීවිතය පරදිනවා." (මව්බිම- 2006-12-13) අප මෙම උපුටනය ගන්නා "මව්බිම" පුවත්පත ද අකල් මරණයකට පත්ව අන් ලෙසකට ප්‍රතිජනනය විය.

"උචිතෝන්නතිය" විග්‍රහ කිරීමේදී නිදර්ශනගත කළහැකි සිද්ධි හා චරිත බහුල බව මෙයින් පෙනේ. ජීවන යත්නය හෙවත් ජීවන සංග්‍රාමය විග්‍රහ කරමින් ජීවන යත්නය හා ජීවියා අතර බැඳීමත්, සීඝ්‍ර ව්‍යාපෘතියත්, ඔවුනොවුන් අතර හටගන්නා තරගයත්, මාර්ටින් වික්‍රමසිංහයන් සිය "සත්ව සන්තතිය" පොතේ විස්තර කරන්නේ පරිසරය, අනොන්‍ය බැඳීම මෙන්ම මරණය ඝට්ටණය ද හේතුවන බව පහදමිනි.

"සියලුම ජීව වස්තූහු එකිනෙකා කෙරෙහි බැඳී පවතිත්. ගවයන් සුලභ වනවිට ගොම කුරුමිණියෝ සුලභ වෙති. ගවයාගේ ගොම පිඬ කුරුමිණියාගේ ආහාරය වන බැවිනි. කුරුමිණියන් සුලභ වන විට තලගොයි ආදී කුරුමිණියන් කන සත්තු සුලභ වෙති. තලගොයි සුලභ වන කල මුගටියෝද සුලභ වෙති. තලගොයි බිත්තර මුගටියාගේ ආහාර වන බැවිනි. ඇට ජාති, ධාන්‍ය වර්ග හා ඵල වර්ග ද සුලභ වන කල පනුවෝත්, කුරුමි‚ සත්තුත් සුලභ වෙත්. පනුවන් කුරුමි‚ සතුන් සුලභ වන කල පක්ෂීහුද සුලභ වෙති. පනුවන් හා කුරුමි‚ සතුන් පක්ෂීන්ගේ ආහාරය වන බැවිනි. ජීව වස්තූන්ගේ බැඳීම මෙයින් හෙළිවේ. වෘක්ෂ විශේෂයක් හෝ සත්ව විශේෂයක් හෝ වඳවෙන කළ ඒ කරනකොටගන ඒ පලාතේ සියලු ජීව වස්තූන් අතර පැවති තුල්‍යතාවන්ද නැතිවේ." (සත්ව සන්තතිය- මාර්ටින් වික්‍රමසිංහ)

කුසගින්නේ පෙළෙන යාපනයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන යවන්නටත්, ජන සංහාරක යුද්ධයට එරෙහිවත්, "හඳගමලා" හදිසියේ කැඳවූ පුවත්පත් සාකච්ඡාවකට එදා අජිත් සමරනායක පැමිණ ඇත්තේ ඒ පිළිබඳ ආරංචියටය. එවැනි ලොමු ඩැහැගැන්වෙන වැඩකට ආරංචියකින් පැමිණෙන්නට තරම් මානුෂීය හදවතක් තිබුණු අජිත් සමරනායක අනුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අවධානමකට ලක්කරන්නට තරම් සංවේදීතාවයක් සහිත මිනිසෙක් යැයි හඳගම ස්මරණය කරයි. පරිසරය වෙනස් කිරීමට හා ජීවත් විය හැකි අයුරින් සුදුසු සේ සැකසීමට ප්‍රයත්න දැරීම වෙනුවෙන් පෙනී සිටි අජිත් සමරනායකගේ මරණය අශෝක හඳගමට දැනෙනුයේ "පේනතෙක්මානයක ඒ හීනය හැබෑ වන්නේ නැතිනම් මේ පරිසරයෙන් අයින් වෙන්න ලැබීමත් එක අතකින් වාසනාවක්" ය යනුවෙනි. (මව්බිම- 2006-12-03) "ඉනිඅවන්" චිත්‍රපටයෙහි තරුණයා, එනම් නොමැරි ජීවත් වන්නට වාසනාව ලද ත්‍රස්තවාදියාට උරුම වන පරිසරය හා ඔහුගේ සිහිනය අතර දුර ප්‍රමාණය පිළිබඳ සැබෑ අරුත ද හඳගමගේ එම කියමනත් සමග අති සමීපය.

අජිත් සමරනායක අද නැත. යාපනයේ ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ සංවේදී වූ ඒ හඳගම ද අද නැත. ජන සංහාරක යුද්ධයට එරෙහිව හඬ නැගූ බහුතරය ඒ පෙර වූ ආකාරයෙන්ම අද අප අතර නැත. යුද්ධය නිමා වුවද අජිත් සමරනායකව මරා ගත් මදුරු කරදරය එපරිදි ම ය. ජීවත් වීමට නුසුදුසු පරිසරය වෙනස් කිරීමේ හීනය සැබෑ නොවන අවාසනාවක එම පරිසරයෙන් ඉවත්වීමේ වාසනාව වැළඳගත් අජිත් සමරනායක මිය ගියේ තමා ප්‍රාර්ථනා කළ වඩාත් යහපත් සමාජයක් පිළිබඳ සිහිනයද තුරුළු කරගෙන යැයි හඳගම පවසයි.



ජීවන සංග්‍රාමය නම් වූ ධර්මතාවය තුළ ඇතැම් ජීවීහු වැඩිකල් ජීවත් වන අතර, ඇතැම් ජීවීහු අකල්හි මරණයට පත්වෙති. නොමැරී ජීවත් වන්නන්ගේ පරම්පරාව දියුණුවනුයේ අකාලයේ මියැදෙන සතුන්ගේ පරම්පරාව ක්‍රමයෙන් වඳවී යන සත්‍යතාවය මතය. "ක්‍රම විකාශ කර්තෘකය" යන මාතෘකාවකින් මාර්ටින් වික්‍රමසිංහ උචිතයා ජයගන්නා ආකාරය හා පරිසරය ඊට උචිත පරිසරය සකසන ආකාරය විස්තර කරයි.

"ශක්තිය ප්‍රයෝජන වන තැන ශක්ති සම්පන්නයා ජීවන යත්නයෙන් ජයගනී. දුර්වලයා පරාජයව අකාලයේ මිය යයි. දිවීම ප්‍රයෝජන වන තැන වේගයෙන් දුවන්නට පුරුදු වන සත්තු කලින් ආහාර ලැබ ගනිති. සතුන්ගෙන් බේරෙති. නුදුව හැකි සතුන්ට ආහාර නොලැබේ. එහෙයින් ඔවුහු පහසුවෙන් සතුන්ට හසුව ඔවුන්ට ගොදුරු වෙති. වතුර ගැලීමෙන් නිම්න නැමියක් යටවුණු කල, කඳු මුදුනට නැග ආහාර සොයාගැනීමට හැකි සතුන් නොමැරී ජීවත් වෙති. කඳු මුදුනට නැගගත නොහැකි වූ සත්තු ආහාර නොලැබ මිය යති. එයින් ඔවුන්ගේ පරම්පරාව වඳ වේ." මාර්ටින් වික්‍රමසිංහයෝ පවසති.

ස්වාභාවික ව්‍යසනයන් නිසා අනවසරයෙන් භූ පෘෂ්ඨය වෙනසක් වන විට එහි පරිසරයට වෘක්ෂලතා හා සතුන් අනුරූප විය යුතු බවත් ජීවන සංග්‍රාමය වඩාත් උඝ්‍ර වනුයේ වෙනස් වූ පරිසරයට අනුරූප වීමට කරන තැත නිසා බවත් වික්‍රමසිංහයෝ පහදති. බාහිර විපර්යාසයන්ට අනුරූප වීමට සියලු ජීවීහු යත්න දැරුවද එම යත්නය සාර්ථක කරගන්නෝ ජය ලබන අතර අන්‍යයෝ.... මියයති.

"ඉනිඅවන්" පහදන්නේ මෙම දහම ය. අශෝක හඳගම මෙහි තබන සිය දේශපාලන අරුත එපරිදි ය. ගැඹුරු ය.

(සේයා- virakesari.lk වෙබ් අඩවියෙනි.)

අජිත් ගලප්පත්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"පිවිතුරු සත්‍යනම්, නිදහස කිසිවෙකු විසින් ප්‍රදානය නොකරන බවයි, එය අප විසින් දිනාගත යුතුමය."

ඇස්පනාපිටම ඊනියා ජාත්‍යන්තරයේ අසාධාරණයට ලක්වෙමින් සිටින පලස්තීන රාජ්‍යය, එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නීරීක්ෂක රටක් ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි. පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස්ට අනුව එය රටක් ලෙස පලස්තීනයට පිළිගැනීමක් ලැබීමේ අවසාන බලාපොරොත්තුවයි. මේ අනුව පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සැසිවාර සදහා මෙන්ම අපරාධ යුක්ති අධිකරණය වැනි ආයතන තුළ ස්වාධීනව පෙනී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.

තත්ත්වය එසේ වන විට කෲර ඊශ්‍රායල පාලකයින්ගේ නියෝගයෙන් පලස්තීනයේ සාමාන්‍ය වැසියන් සියගණනක් නැවත වරක් ඝාතනයට ලක්වුණි. ඒවා ඊනියා බටහිර මානව හිමිකම් පඤ්ඤාවරුන්ගේ සැලකිල්ලට හසුවූයේ නැත. පලස්තීනයේ පාලනය හොබවන හමාස් නායකයින් ඉලක්කකොට ප්‍රහාර එල්ලකරනවා යැයි නන්දෙඩෙවුවද, විකල්ප මාධ්‍ය හරහා එළි දුටු සිය ගණනක් කාන්තාවන් හා ළමුන්ගේ මළසිරුරු වලින් සත්‍යය තවදුරටත් යටපත්කොට තැබිය නොහැකි විය. ලොව විශාලතම එළිමහන් සිරකඳවුරෙහි ගාල්කොට සිටින ලක්ෂ ගණනාවක් වන මිනිසුන් මතට එල්ල කරන ගුවන් ප්‍රහාර ත්‍රස්තවාදයේ නාමයෙන් යටපත් කළ හැකිද?

2006 වසරේ එල්ල කරන ලද ප්‍රහාර මාලාවෙන් දහසකට අධික පලස්තීනුවන් පිරිසක් ඝාතනයට ලක්විය. වරින් වර හමාස්හි ප්‍රතිප්‍රහාර හෝ සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් යැයි කියාගෙන එල්ල කරන ප්‍රහාර පිටුපස සැගවුනු කතා බොහෝමයක් ඇත. හමාස් සංවිධානය විසින් එල්ල කළ රොකට් ප්‍රහාර සදහා ප්‍රතිප්‍රහාරයන් ලෙස ඊශ්‍රායල් ප්‍රහාර සාධාරණීකරණය කිරීමට බටහිර හා ඇමරිකානු මාධ්‍ය හා රාජ්‍යතන්ත්‍රයන් උත්සාහ කරමින් සිටිනුයේ ඒ පසුපස රැදුණු තත්ත්වයන් වසන් කිරීම සදහාය.

අරාබි වසන්තය හා සමග ඇතිවූ අලුත් දේශපාලන තත්ත්වයන් තුළ, අරාබි කලාපයේ භූ දේශපාලන ක්‍රියාවලියේ වෙනසක් සිදුව ඇත. එසේ වුවද ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය තුළ ඇති නැමියාවත්, ඇමරිකාව ඒ සම්බන්ධයෙන් දක්වන සංශය බවත්, යුරෝපය පුරා පැතිර යන ආර්ථික අවපාතයත් පලස්තීන ඊශ්‍රායල් ගැටුම පසුපස ඇති ජාත්‍යන්තර තත්ත්වයයි. මීට අමතරව සිය රට අභ්‍යන්තරයේ පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබදව ඇති තත්ත්වය ද ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතානියාහුගේ ක්‍රියාපිළිවෙලට බලපෑම් සිදුකරමින් සිටින බවට සැක නැත. මේ අතර තුර සිරියාව තුළ අරාබි වසන්තයත් සමග හටගෙන ඇති සිවිල් යුධ තත්ත්වය දඩමීමා කොට ගෙන සිදුවීමට නියමිත ජාත්‍යන්තර මැදිහත්වීමේ ඉඩකඩද කලාපය තුල දේශපාලන කම්පනයක් ඇති කොට ඇත.



තත්ත්වය මෙසේ වන විට පලස්තීනයේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව විමසා බැලීම වැදගත්ය. ආසන්නතම ප්‍රහාරයට ලක්වූ ගාසා තීරුවෙහි පාලනය හොබවන්නේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය විසිනි. මිලියන එක හමාරක පමණ ජනයා මෙහි වාසය කරති. තවත් මිලියන දෙක හමාරකට අධික ජනතාවයක් බටහිර ඉවුරේ වාසය කරති. පලස්තීනය යනු බටහිර ඉවුර හා ගාසා තීරුව යන කොටස් දෙකම එක් කොටගත් නිල නොවන රාජ්‍යයකි. පලස්තීනයේ එක් කොටසක් වන ගාසා තීරුවේ බලය හමාස් සංවිධානය විසින් හොබවන අතර බටහිර ඉවුරේ බලය හොබවන්නේ ෆාටා සංවිධානය විසිනි. ඊශ්‍රායලය මෙන්ම ඇමරිකාව හා බටහිර රටවල් සියල්ල පලස්තීන නායකත්වය ලෙස ‍පිළිගනු ලබන්නේ ෆාටා හි නායක හා පලස්තීන ජනාධිපති මොහමඩ් අබ්බාස් පමණි. (හිටපු පලස්තීන ජනාධිපති යසර් අර්ෆත්ගේ අනුගාමිකයා) එහෙත් බටහිර ඉවුර හා ගාසා තීරුවේ බලය සමගි සන්ධාන රජයක් මගින් පාලනය කිරීමට උත්සාහ දැරුවද, පලස්තීනයේ ප්‍රධාන දේශපාලන සංවිධාන දෙක අතර හටගත් යුද්ධයෙන් ගාසා තීරුවේ බලය සම්පූර්‍ණයෙන් අත්පත්කර ගැනීමට හමාස් සංවිධානය සමත් විය.

වසර 2007දී හමාස් පාලනය ගාසා තීරුවෙහි ස්ථාපිත වූවායින් පසුව, ඊශ්‍රායලය විසින් එකී ප්‍රදේශයට දැඩි ලෙස සම්බාධක පනවන ලදී. ගොඩනැගිලි සදහා අත්‍යවශ්‍ය සිමෙන්ති පවා ගාසා තීරුවට රැගෙන යාමට අවසරයක් නොමැත. ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය නිල දේශපාලන සංවිධානයක් ලෙස පිළිගනු නොලබන අතර ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසට නම්කර ඇත. අනෙක් අතට හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය යනුවෙන් ‍රටක් නොපවතින බවට විශ්වාස කරනු ලබයි. මේ නිසා මෙකී දෙපාර්ශවය විසින් එකිනෙකාගේ විනාශය අරමුණු කොටගෙන ඇත. වසර 45කට පසු ගාසා තීරුවට පැමිණි හමාස් නායක කලීඩ් මිෂායල් විසින් හමාස් සංවිධානයේ 25වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ මහජන ඇමතීමේදී මේ බව තවදුරටත් ශපථ කොට ඇත. ඛලීඩ් මිෂායල්, සිරියාවේ හා ඛටාර් දේශයන් වල සිටිමින් හමාස් සංවිධානයට නායකත්වය සපයන ලදී.



ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු තව නොබෝ දින‍කින් මැතිවරණයකට මුහුණදීමට තිබේ. බටහිර හටගත් ආර්ථික අවපාතයේ බලපෑමත්, ධනවාදයේ අනිවාර්ය බිදවැටීම් වල තීවව්‍රතාවය මෙන්ම අරාබි වසන්තයෙන් සිදුවූ බලපෑම් වැනි සියළු බාධාවන් බිදලා ජනතාව වෙත සිහිනයක් මවා පෙන්වීම සදහා ඇත්තේ පලස්තීන මහා අනෙකා පමණි. ඊශ්‍රායලය තුල ජාතිකවාදය උලුප්පාලීමත්, අරාබිකරයේ අනෙකුත් රටවල් වලට එරෙහිව යුධ උණුසුමක් පවත්වා ගැනීම තුළින් සිය ජනප්‍රියතාව පවත්වාගැනීම් කුප්‍රකට රාජ්‍ය පාලන උපක්‍රමය ඔහු විසින් ක්‍රියාවට නංවමින් සිටියි. පලස්තීනය යුද්ධයට ඇදාගැනීම සදහා ඔහු උපක්‍රම භාවිතා කළේ මේ නිසාය. ඒ වෙනුවෙන් ඔවුන් විසින් නැගෙනහිර ජෙරුසලමේ ගම්මානයක අහිංසක ඊශ්‍රාලයල්වරු තිදෙනෙකු බිල්ලට දෙන ලදී‍.

පසුගියදා ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර ගාසා තීරයට එල්ල කිරීම හේතු ව‍ශයෙන් ඔවුන් දැක්වූයේ හමාස් නායකයින් තමන්ගේ ඉලක්ක වූ බවයි. වි‍ශේෂයෙන්ම හමාස් මිලිටරි අණදෙන නායකයා ලෙස ක්‍රියාකල අහමඩ් සයිඩ් කලීල් අල්ජබාරි ඊශ්‍රායලය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. ඉන් අනතුරුව හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාර රැසක් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලදී. එකී ප්‍රහාර වලින් බහුතරයක් ඊශ්‍රායලය සතු සුපිරි ආරක්ෂණ පද්ධතිය හසුවූ බවටද කියැවිණි. හමාස් අණදෙන නායකයාගේ ඝාතනයෙන් පසුවද දිගින් දිගටම ඊනියා ඉලක්ක ගත ගුවන් ප්‍රහාර වලින් 170කට අධික පලස්තීන ජනතාවක් මරුමුවට පත්විය. ඊශ්‍රායල් සුපිරි යුධ බලය හමුවේ හමාස්වරුන්ගේ යුධ බලය යනු අතිශය ප්‍රාථමික තත්ත්වයක පවතින්නකි.

අධිරාජ්‍යවාදයේ අතකොළුවක් හා එහි අනුගාමි‍කයෙක් ලෙස ප්‍රකට ඊශ්‍රායලය විසින්ම හමාස් සංවිධානය ගොඩනැගීමට සහ ඊට බලය අත්පත්කරගැනීම සදහා වැඩි දායකත්වයක් දක්වා ඇත. පලස්තීන විමුක්ති අරගලයේ පුරෝගාමී වූ යසර් අර්පත්ගේ පලස්තීන විමුක්ති සංවිධානයට (PLO) එරෙහි විකල්ප සංවිධානයක් ලෙස 1980 දශකයේ මුල්භාගයේ සිට හමාස් සංවිධානයට සියලු පහසුකම් සපයන ලද්දේ ඊශ්‍රායලය විසිනි. කුප්‍රකට අල්ඛයිඩා හා තලේබාන් ආදර්ශ ඉදිරියට ගෙන යමින්, හමාස් අන්තවාදී සංවිධානය පලස්තීන අර්බුදය විසදාලිය නොහැකි මට්ටමට රැගෙන ගිය පිළිකාවක් බවට පත්කොට හමාරය.



හමාස් සංවිධානය යටතේ පලස්තීන ජනයාට කිසිදු ආකාරයට නිදහසක් බුක්ති විදිමට ඉඩකඩක් නැත. එක් පසෙකින් ඊශ්‍රායල් මිලිටරි යටපත් කිරීමත්, අනෙක් පසින් හමාස් සංවිධානයේ සමාජ, දේශපාලනික මෙන්ම සංස්කෘතික යටපත් කිරීමත් විසින් පලස්තීන ජනයා මිහිමත අපායක සිරගත කොට ඇත. ගාසා තීරුවේ ක්‍රියාත්මක සියළු වෘත්තීය සමිති, සමාජ සංවිධාන සදහා හමාස් සංවිධානය සීමා සටහන් කොට ඇත. ඉස්ලාම් අන්තවාදී විශ්වාස ර‍ටේ නීතිය බවට පත්ව ඇත. අනෙකුත් සියළුම සමාජ සංවිධාන, සංස්කෘතික එළැඹුම් යටපත් කොට ඇත.
අරාබි වසන්තය විසින් විවර කළ රික්තය වෙත විතැන් වූයේ මුස්ලිම් අන්තවාදයයි. ඊට එරෙහි අරගලයක් ඊජිප්තුවෙහි මේ වන විටත් ක්‍රියාත්මකය. එසේ වුවද ඊජිප්තුවේ මේ වන විට බලය හොබවන "මුස්ලිම් සහෝදරත්වය" විසින් හමාස් සංවිධානය වෙත නව ශක්තියක් එක්කොට ඇත. සිරියාවේ පවතින සිවිල් යුධ තත්ත්වයේදී කැරළිකාර විපක්ෂය වෙත සිය සහාය සපයන බව හමාස් නායක ඛලීඩ් මිෂායල් පවසා ඇත. ඒ අනුව බටහිර විසින් සිදුකිරීමට නියමිත අතපෙවීම මගින් සිරියාවේ ස්ථාපිත වනුයේ තවත් ඉස්ලාම් අන්තවාදී පාලනයක් බවට අනාවැකි පලවීම බොහෝදුරට සාධාරණය. ඊජිප්තුවේ, ලිබියාවේ අත්දකින ඉස්ලාම් අන්තවාදී පාලනයන් විසින් මිනිසුන් වෙත කොපමණ තරම් යහපත් සමාජයක් අත්දැකීමට ඉඩ සලස්සනවා ද යන්න ගැටළු සහගතය. මානව විමුක්තිය වෙනුවට අන්තවාදි දෘෂ්ඨියක් තුළ ක්‍රියාකරමින්, තමන්ගේ විශ්වාසයන් පිළිනොපදින අන් සියළු පිරිස් විනාශකිරීමට උත්සාහ කරලීම තුල මානව ශිෂ්ඨාචාරය ගෝත්‍රික සමාජයක් දක්වා නැවත පල්ලම් බැස්සවීම කොතෙක් දුරට අනුමත කළ හැකිද?

එක් පසෙකින් බටහිර ඇමරිකානු පාර්ශ්ව විසින් ඊශ්‍රායලය ඇතුළු තමන්ට හිතවත් රාජ්‍යයන් හෝ සංවිධාන විසින් සිදුකරන ජනඝාතන සාධාරණීකරණය කරන අතරම, අනෙක් පසින් ධනේශ්වර අධිරාජ්‍යවාදය මුළු ලෝකයම වෙලාගැනීමට උත්සාහ කරමින් සිටියි. බටහිර හෝ ඇමරිකානු විරෝධී රාජ්‍යයන් ලෙස චීනය හෝ රුසියාව පෙනී සිටීමට උත්සාහ කළද, එය දෘෂ්ඨීවාදයට එරෙහි වූවක් නොවන බවට සාක්ෂි චීනයේ වහල් ශ්‍රම සූරාකෑමෙන් ඔප්පු කර සිටී. ධනේශ්වරයට එරෙහි දෘෂ්ඨිවාදය ලෙස පෙනී සිටීමට උත්සාහ කරන ඉස්ලාම් අන්තවාදය ඇතුළු අනෙකුත් මූලධර්මවාදී සංවිධාන විසින් සැබැවින්ම සිදුකරමින් සිටිනුයේ හුදු විරෝධයක්ම පමණක්ම බවත්, එහි ආකෘතික වශයෙන් සිදුවනුයේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික සාමාජයීය වශයෙන් පමණක් ගෝත්‍රික සමාජයක් දක්වා පල්ලම් බැසීම පමණක් බවටත් දැන් පැහැදිලිව ඇත.
පලස්තීන ජනයාගේ අරගලය, එහි ජනයාගේ අරගලයක් දක්වා නැවත වරක් විස්ථාපනය විය යුතුය. දේශපාලන රික්තයන් පිරවීමට පැමිණෙන විවිධ රැළි මෙන්ම සංවාදාත්මක නොවන බලවේගයන් ඇසුරින් සමාජය සංවිධානය වීමේ අනිසි ඵලවිපාක පිළිබදව පලස්තීන ජනයා සංවේදී විය යුතුමය. නිවරැදි දේශපාලන එළැඹුමක් හරහා පලස්තීන විමුක්ති අරගලය ජයග්‍රහණය කරා මෙහෙය වේ නම්, එය සමස්ත ලෝකවාදී ප්‍රගතිශිලි ජනතාව අමන්දානන්දය පත්කරන සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.





සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු- 34

Posted by BoondiOnLine 12.21.2012



බලන්න අර ඉටිපන්දම!
මොනතරම් බඩගිනි සුළඟක් ද?
හිම අතරින් දඩයම් කරන!

-සියෙරා
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





BLINDFOLD- විරාජ් ලියනාරච්චිගේ කෙටි චිත්‍රපටය.

රංගනය- සරත් කරුණාරත්න, තිලංක ගමගේ, දිස්න ඩිලන්ත
මියැසි නිමැවුම්- පාලිත අබේරත්න
සංස්කරණය- සමන් සුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රිදී සමෝවාරයක් තුළ වුව
හේමන්ත සිසිලනයක
නිද්‍රාගතවනු හැක්කේ ජලයට
සුළුකාලයකි හිතවත
විසල් සුළං ප්‍රවාහයකින්
අළු ගසා දැමුන තැන
ඇවිලී ගිනි පුපුරු
වාෂ්පව යන බැව් එ'දිය
මුලින්ම හැඳින්නේ
සාර්ගේ මිනිසුන්ය

වාමන පොලිස් පංචස්කන්දයක
ගිනියම් වදන් වැලකින්
ළය පැළී මියගියා
නිලව්නා නම් වීරවරිය
එහෙත් මිය ගියේ නෑ ඈ තුළ
සදාකල් දිවි ගෙවූ මව
කුලී හේවායන් දැන සිටියා එය...

එක් භූ කම්පනයකින්
බිඳී ගියා වොල්ගා නදී දෑල
විසිරුණා මාතෲ වොල්ගාවගේ දිය
වියළි තැනි බිම මත
පලා පැහැයෙන් මෘදු වූවා එබිම...

අතහැරුණි ඔහු අතින් රතු ධජය
මවකගේ බිඳුණු හදවත අසල
ජීවිතාශාව දැල්වුණු තැන
ගොළුවුණා විප්ලවීය හදවත
ඉස්තරම් සාර් තරු පැළඳුනා
පව්ලූෂාගේ කබාය මත
සමාව ලැබුවා සාෂා
වංශක්කාර දෙගුරුන් වෙතින
මිහිරි පොල්කා නැටුමකිය
ඉනික්බිති ඔවුනගේ ජීවිතය

හොහොල්, නතාෂා, රිභීන් ඈ
සියල්ලන් දිනාගති
සාර්ගේ විමුක්තිය
කොපෙක් ලියලනා
රාජ්‍ය බිම් මත...
පරණ උපමා රස කථාවන්
පහදවමින් උන්නා ගෝර්කි
එම්ප්‍රදෝරු මහ රජාට...

විප්ලවය සිදුවුණේ නෑ හිතවතුනි
මේ අමුතු රුසියාව මත
"අම්මා" ලියැවේවිද
එහෙව් බිමක.

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|
Related Posts with Thumbnails