Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වෘශ්චික- ප්‍රේත දෝෂ.
දිනපතා රාත්‍රී අටේ සිට අටයි තිහ දක්වා ජාතික රූපවාහිනිය බැලීමෙන් වැලකීම මැනවි. සියළු ප්‍රේතාගමනයන්ට මුල් වන ඇන්ටනා රත්නයට කාකනීල මුදුවක් පළන්දා බූස්ටර් රත්නයට බලැති සුරයක් එල්ලීම මැනවි.

ධනු- රාජ සම්මාන.
"බඩුම තමා" යෝගය මේ වසර මුලදීම යෙදෙන බැවින් දුරබනණය අසලින් දුරස් නොවීම මැනවි. රාජ ලේකම් කාර්යාලයෙන් ඕනෑම මොහොතක කැඳවීමක් ලැබිය හැකි අතර, ඕනෑම රාජ කිචි කැවීමකට ආත්ම ශක්තියෙන් යුතුව මුහුණ දීම සඳහා, සෑම විටම සුවඳ ගල්වා නාභිය පිරිසිදුව තබා ගැනීම මැනවි.

මකර- අජීරණ දෝෂ.
වසර මැදදී ආහාර අපත්ය වීම් අජීරණ දෝෂ ඇති වීමට ඉඩ තිබේ. ආහාර සමග මුසාවාදා මිශ්‍ර වීමෙන් නොයෙකුත් විෂ රසායන උත්පාදනය වීමට ඉඩ ඇති බැවින් බත් එතීම සඳහා බේරේ ගෙදර පත්තර යොදා ගැනීමෙන් වැළකීම මැනවි.

කුම්භ- ව්‍යාධි.
වසර අවසානයට "ගොක්කොළ" යෝගය යෙදීමෙන් දැඩි ලෙස රෝගාතුර වෙයි. එහෙත් ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඕනෑම වියසනයකදී නොවැරදීම එන, (කොරු ඇවිද්දවන- මළමිනී නැගිට්ටවන) දුරකථන ඇමතුම ඔබට ද පැමිණීමට හොඳටෝම ඉඩ ඇති බැවින්, ඒ සදානුස්- මරණීය මොහොතේ දී ඒතුමා සමග තෙපළන වදන් වැල් කලින්ම සැලසුම් කිරීම මැනවි.

කන්‍යා- දඩ බිය.
'අට අනූවක් දඩ නව අනූවක් බදු' සංකල්පය යටතේ දිනකට දඩ වර්ග කිහිපයක්ම හඳුන්වාදෙන බැවින්, එකී දඩ වලට පාත්‍ර නොවී පාරේ ගමන් ගන්නා අන්දම කල්පනා කිරීමට යාමෙන්, කල්පවත්නා නුහුගුණ තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. මෙම සංකල්පය යටතේ පාර පැනීම වාහන එලවීම පමණක් නොව ඉදිරියේදී වාහන එලවීමේදී හුස්ම ගැනීම යන දරුණු වරදට ද දඩ පැනවීමක් සිදු කිරීමට නියමිතය. දඩ බියෙන් නිට්ටාවටම ගැලවීමට නම් අනුර සේනානායක හමු වී කිසියම් අපරාධයක වගකීම භාරගෙන, දැනට රට තුළ දඩයෙන් නිදහස් එකම කලාපය වන ආණ්ඩුවේ බෝඩිමක සිර ගත වීම මැනවි.

තුලා- ධන සම්පත්.
"මාලු බනිස්" යෝගය උදා වී ඇති බැවින් අදිරදවාදීන්ගෙන් රට බේරා ගන්නා අතරම දිනපතා පාරිතෝෂික දීමනා ලැබීමට ද හැකියාව උදාවේ. ඝෝෂක මඩි වල නිරෝගී පැවැත්ම උදෙසා දිනපතා රාත්‍රී කංසා පානය මැනවි.

කටක- මංගල යෝග.
වසර මුලදීම ඔබ සොයන ස්ත්‍රිය හෝ පුරුෂයා හමු වනු ඇත. මංගල්ල වියදමට අමතරව ලියාපදිංචියටත් පන්දාහක් වැය වෙන නිසාවෙන් යට ඇඳුම් කීපයක් පත්‍රයක ඔතා ගෙන චන්ද්‍රාලෝකයේ සැඟවී යාම මැනවි.

වෘෂභ- දිවි දෝෂය.
ඔබේ දිවිය ඔබට අයිති නොවීමත් එය රට කරන වෙළඳ තෙ-බෑයන්ට අයිති වීමත් කරණ කොට ගෙන එකී දිවිය අත් අඩංගුවට ගෙන නග්ගා නැවත ඔබට භාර දීම මගින් ඇති වීමට ඉඩ ඇති දෝෂය 'දිවි දෝෂය' නමි. දිවිය නග්ගා ආපසු භාර දීමට අමතක වීමට ඉඩ ඇති බැවින් අවසන් වරට දකින විට ඇඳ සිටි සරමේ වර්ණය 'පොලිසියෙන් පුවක්' වලට යැවීම මැනවි.

සිංහ- ඉසඩ් දෝෂය.
විභාගයට පෙනී සිටිනා ඔබට/ඔබේ දරුවාට මේ වසරේදීත් නිට්ටාවටම වැළඳීමට ඉඩ ඇති මෙම දෝෂය දූරිංභූත කිරීම සඳහා දෝෂයට අධිපති කුමාරවරු දෙදෙනාගේ බරට මැටි බූරුවන් දෙදෙනෙක් සාදා ගණ දෙවියන්ට පූජා කරන බවට යූ.ජී.සී.යට බාරයක් වෙන්න.

මිථුන- ශරීර සැප.
ශරීර උස බඹ එකහමාරකින් පමණ ද ශරීර බර හොණ්ඩර තුනයි මදටිය ඇට දෙකකින් පමණ ද ඉහළ යාම මගින් යුවරාජයා විසින් ඉෂ්ට සිද්ධ කරන ලද මහානුභාවසම්පන්න සංවර්ධනය ඔප්පු කොට පෙන්වීමේ වරම මේ වසරේදී ඔබට ලැබෙනු ඇත. ආමාශයේ යටිතල පහසුකම් අති සීඝ්‍ර ලෙස ඉහළ යාම නිමිති කොට ගෙන සූරි පඬී සහ හසන්ත මහත්තයා සමග දොරමඩලාව වැඩසටහනකට සහභාගී වීමේ වරප්‍රසාදය ලැබෙනු ඇත.

මීන- බදු බිය.
'අට අනූවක් දඩ නව අනූවක් බදු' සංකල්පය යටතේ දැනට බදු වලට යටත් නොකරන ලද සියලු අංශ ඉදිරියේදී සලකා බැලෙන අතර ඒ යටතේ නිවෙස්වල ඇති කරනු ලබන බල්ලන්ට මෙන්ම බල්ලන්ගේ ශරීර වල වසන මැක්කන්ට ද වෙනම බද්දක් හඳුන්වාදීමෙන් එකී සත්වයන්ගේ පුරවැසි අයිතිය තහවුරු කිරීමට ඉඩ ඇත. බදු බිය නිට්ටාවට සුව කර ගැනීම සඳහා පිට පිට කෙම්මුර දවස් හතක් හීන් ඉපලක් ගෙන මහරජාණෙනි ගාථා රත්නය මතුරමින් තකට පුලාගැනීම මැනවි.

මේෂ- රාජ භය.
"බඩු බනිස්" යෝගය යෙදී ඇති බැවින් රාජකීය උදහසට ලක් වීම නියතය. කරුණාකර මේ විකාර ලිපි කියවීම නවතා පින් දහම් කොට එලොවට වැඩ සදා ගන්න.

කක්ෂපුට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails