Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම කණ්ණාඩිය ඉදිරිපිට සිටගතිමි. එකින් එක මගේ ඇඳුම් අහවර කිරීමටය, මාගේ මේ සූදානම. කණ්ණාඩියෙහි මා පිළිබිඹුව වැටෙනු ඇත. නූල් නූල් එකට ඇමිණී ගෙතුණු ඇඳුමෙන් ආවරණිත සිරුර තව මොහොතකින් විවර වනු ඇත. මම නැවත දොර අසළට ගියෙමි. නැවතත් වරක්... මතක හැටියට ඒ සිව් වන වතාව විය යුතුය. මම නැවතත් අගුල කරකවා බැලුවේ එක අගුළු වැටී ඇතිද කියායි. එසේය. එය මැනවින් අගුලු වැටී ඇත. මම නැවතත් කණ්ණාඩිය අබියස.

මුලින්ම මම කරාබු ජෝඩුව ගැලවීමි. මගේම කන් පෙත්තේ සුමුදු බව මට දැනුණි. කනේ හිල මදක් උස්වී ගැටියක් සෑදී ඇත. මෙය කියන අවස්ථාවේදී... දැනුදු මම මගේ කන් පෙත්ත ඇල්ලීමි. නිරුවත් කන් පෙත්තේ එම සිදුර ඇති තැන මට දැනේ... එය කවර පාට වන්නට ඇත්දැයි මම කල්පනා කරමි. මගේ මතකයට කිසිවක් නිවැරදිව ඇතුළු නොවන්නේදැයි මට වඩාත් බියක් දැනෙන්නේ මෙලෙස සීමාවෙන් ඔබ්බට කල්පනා කරන විට විය යුතුය. එහෙයින් මම සීමාවක් තබා ගමි. මම ඔබට කියන මේ කථාන්දරය කියන්නේ එම සීමාවේ සිටයි.

කන් පෙත්තේ ඉහළ මද සීතලක මා ඇඟිලි තුඩු දැවටේ. ඔබගේ කන් පෙතිද එසේ වනු ඇත. මේ මූර්තියට එම සීතල ද එක් කළ හැකිනම් මා කෙතරම් අපූරු කලාකාරිනියක වනු ඇත්ද.... ? භෞතිකත්වයට ආරෝපණය නොවන ඇතැම් ගුණයන් සගවාලීමට තරම් කලා කෘති එක්තරා මට්ටමක අජීව ගුණයකින් පිරීම මා මනස විඩාවෙන් පුරවන්නකි. කෙතරම් එළවූවද, රූං කියා පැමිණ මා ගතෙහි වසා අනවසරයෙන් ලේ බොන මදුරුවෙක් කෙරෙහි ඇති වන නුරුස්නා ගතියම ඒ වේලාවන්හි මට මගේ කෘති කෙරෙහි ඇති වේ. කෙතරම් තැත් දැරූවද අප සිරුරේ ඇතැම් ස්ථානයක්හි පවතින උණුසුම සිසිල ඒ ආකාරයෙන් කලා කෘතියකට දිය නොහැක. එහෙයින් සියල්ලෙන් අංග සම්පූර්ණ වූත් පරිපූර්ණ නිර්මාණයක් කිරීමේ මගේ වෑයට සැම විටම නිරර්ථක උත්සාහයක් පමණකැයි නිරන්තරයෙන් මා සිතේ පැල් බැද ඇති සිතිවිල්ල මකාලීමට කිසිවකුගේ ඇගයීමක් සමත් නොවේ.

දෙවන පියවර වන්නේ රාත්‍රී ඇඳුම උරහිසෙන් පන්නා දැමීමයි. එය නිල් පැහැති විය යුතුය. මීට වසර ගණනාවකට පෙර මම මැහුම් පංති ගිය සමයේ මාතින් මැහුණු ඇඳුම එයයි. පාන්කඩ තරමටම දිය නොවුණත් එහි ඇති සැපපහසු බව නිසාම මම තවමත් එය අඳිමි. සිහින් හිරියක් ඇඟ පුරා වද්දමින් එය බිම වැටෙණු මට දැණිනි. අන්න එම හිරිය ද මාතින් නිමවෙන මූර්තියට ආදේශ කිරීමට මට තදබල උවමනාවක් විය. කැඩපතේ මාගේ සම්පූර්ණ නිරුවත් දේහය නිරූපණය වනු ඇත. එය පෙර පරිදිම රතු දුඹුරු පැහැයට හුරු කෙසඟ සිරුරම දැයි බලා ගැන්මට ඇත්නම්.... කල්ප ගණනක හිරු එළිය ඇඟ නොවැදි නිසා දැන් මගේ සිරුර මළානික පැහැයක් ගෙන තිබේ නම් එය පුදුමයක් නොවනු ඇත. නමුත් තවමත් එදාද මම ආශා කළ මගේ සිරුරේ රැඳි සිහින් සිසිලස මට දැනේ.... පෙරදීද මා කල්පනා කළේ පිරිමින් මේ මද සිසිලසට ආශා කරන්නේද නැතිනම් කාන්තා සිරුරෙන් විහිදෙන රශ්මියට ආශා කරන්නේද යන්නයි. කෙසේ වෙතත් ඇතැම් දිනෙක බසයේ යනෙන විට වුව මා අසල හිඳ ගන්නා ගැහැණියකගේ සිරුරෙන් විහිදෙන උශ්ණත්වයේ ප්‍රමාණය මැනීමට මම පෙරදී පුරුදු වී සිටියෙමි. ඇතැමුන්ගෙන් මගේ හමට දැනෙන්නේ හැගීම් අකුළුවන සුළු වූ රස්නයකි. තවත් එකියකගේ සිරුර දවස පුරා දමන ලද දහඩියෙන් තැම්බී අපුල ස්පර්ශයක් දනවන්නේය. එවැනියන් ළඟ යාමට වූ කල්හි මම වඩ වඩාත් පසුබා යමි. හැකිතරම් එවැන්නියන්ගෙන් දුරස් වෙමි. මනුෂ්‍යෙයකු තවත් මනුෂ්‍යයෙකුට බැඳීම ද ස්පර්ශයද ප්‍රධාන සාධකයක් වී යැයි මම නිතර සිතුවෙමි. තවත් ඇතැම් දිනයක ප්‍රියදායක උණුසුමක් ගත රඳවාගත් තැනැත්තියන් මට හමු වේ. මඳ පමණට උණුසුමද, සිසිලද කැටි වූ එම සිරුරු කෙතරම් ප්‍රියජනක දැයි මම නැවත නැවත කල්පනා කරමි.

ශාලාව පුරා මහ ඝෝෂාවක් නැතත් හීන් මුණු මුණුවක් සවන් පිටුපසින් මට ඇසේ. රාත්‍රිය වුවද විදුලි බල්බ රැසක් දල්වා ඇති සෙයකි. ඒ වෙනස මගේ ඇස් දෙකට ද දැනේ... නිවෙන දැල්වෙන ලෝකයක්... ලෝකය මහ වේගෙන් කැරකී දහවල රැය ක්ෂණයෙන් වෙනස් වන්නා සේ මට දැනේ. සම්මාන ප්‍රදානෝත්සවයට පැමිණීම මම කළ මහත් මෝඩකමක් සේ ද ආපසු හැරී යා නොහැකි බාධකයක් සේ ද මට දැනේ. ප්‍රශංසාවට යටින් හිස ඔසවන්නේ අනුකම්පාව ද, අනුකම්පාව ද, අනුකම්පාව ද......... දසහක් නෙත් මා වෙත හැරී තිබෙනු ඇත. දහයක් දොළහක් කැමරා කාච සිය දහස් ගුණයක් විශාලනය වී පෙනෙන මැස්සෙකුගේ ඇසක් මෙන් මා වෙත මේ මොහොතේත් එල්ල වි තිබෙනු ඇත.... කාගෙන් අසන්නද? මේ රැඟුම අවසන් වන තෙක් සිනහව මුවේ අලවාගෙන සිටිය යුතුව ඇත. අනේ මෙහෙමත් වධ බන්ධනයක්.

මම කණ්ණාඩිය ඉදිරිපස පූර්ණ නිර්වස්ත්‍රයෙන්... සරළව කීවොත් අව්‍යාජ මනුෂ්‍ය ප්‍රාණියෙකු සේ දිස් වනු ඇත. මම ඇඟිලිතුඩු ගෙනයමි. මුළින්ම මගේ නළල.... එහි මතුවී ඇති කුඩා බිබිළි කිහිපයක් මගේ ඇඟිලි තුඩගට දැනේ. කාලයකින් හැඩට නොකැපූ ඇහි බැමි... උස්වී දැනෙන ලලාටයේ කෙළවර... මා කෙට්ටු වී ඇති සෙයකි. තරමක් ගිළුණු කොපුල් තලට එයට සාක්ෂි තබයි. සෑදිය යුත්තේ ගෙල පසෙකට හරවා තරමක් උඩ බලා සිටින රූපයකි. මම ගෙල හරවා බිත්තියත් වහළයත් අතර ඇති දාරය හිතින් නිශ්චය කරගෙන බලමි. මගේ ඇඟිලි තුඩු ගෙල දිගේ පහළට... පහළට... ඒවා ගෙලත් උරහිසත් හරි මැද ඒ වල ගැසෙන කොටසේ නතර වෙයි. ඉංග්‍රීසි හෝඩියේ වි අකුරුති හැඩයක් මගේ ගෙල මුල මතුවේ.... පෙර කාලයට වඩා ගැඹුරින්... ඔහු සිඹින විට මගේ ගෙලේ කිතිය ඇති කළේ මෙතනික් නොව ගෙල පිටුපසිනි. ඔහු එය මැනවින් දනියි. මා තරහ ගත් කළ මා අස්වසන්නට ඔහුගේ පළමු උපක්‍රමය මගේ ගෙල සිඹීම වූයේ ඒ අයුරිනි. මගේ නොරිස්සුම පිට මගේ අකමැත්තෙන් මුලදී සිදු කළ එය, ඒ දෙතොලේ පහසත් සමග පසුව බල කර සිප ගැන්මකට ඔහුව පොළඹවාලීමට මා සිත යොමු කරවන්නකි. ඇකිළෙන උරහිස් සමග ගෙල මුල ගැඹූරු ආවාටය එහිදි තව තවත් වල ගැසේ.... මුව තරමක් විවර වේ... දෙනෙත් නිරායාසයෙන්ම අඩවන් වේ... මූර්තිය සදහා සුදුසුම ඉරියව්ව මේ යැයි මට සිතේ....

මම මගේම අතැඟිලි මගේ සිරුරේ තව තවත් පහළට ගෙනයමි. තරමක් මතුවී ඇති පයෝධර අග තන පුඩු පීදී ඇත්තේ නිකම්ම නිකන් සීතලටය. අවුරුද්දේ සෑම දිනම ඒවා පවතිත්නේ දැඩි නින්දක වාගේය. හදිසි සිතලකදී නෑමෙන් අනතුරුව පමණක් ඒව පණ ගසා දෑස් හැර බලන උදේ පිපෙන්නට ආසන්න මල් කැකැළු සේ පිබිදීමකට පත් වේ. මම... සිරුරේ මගේ ළැමේ පවත්නා උණුහුම හඳුනාගමි... මගේ අතැඟිලි වලින්ම..... දකුණත වම් පියයුර මත තබා මගේම හෘදයේ නාදය දැනෙන්නේදැයි බැලිමි. නැත. එය නැවතිලාවත් ද.

මම මගේ සිරුරේ මිම්ම ගතිමි.... තරමක් පෑදුණු ඉල ඇට ඇඟිලි තුඩගට හසුවේ. එම අවස්ථාව හිතේ ඇදෙන මේ මොහෝතේ නැවතත් මම ඇඳුමට උඩින් ළැමට පහළින් අතක් ගෙනයමි. ඉළ ඇට නිවැරදිව ගණන් කළ හැකි තරමට මා කෘෂ වී ඇත. එදා ඇඳුමෙන් තොර මගේ සිරුර පුරා දෑත ඇවිද්දවූ වේලෙහි පූර්වයේ සිටි මම කෙබඳුදැයි මම නැවත සිතින් ඇඳ ගතිමි. හීන්දෑරි සිරුරකින් යුතු මම දකින කවුරුත් එළඹෙන පොදු නිගමනයෙන් යුතු වූවෙමි... "කෙට්ටු මොකෝ ළමයෝ ඔච්චර". මගේ ඇඟිලිවලාන් අද මමම උත්තේජනයක් ලබමි. අදෘශ්‍යමාන හාදුවේ මූර්තිය සඳහා.....

වේදීකාවෙන් නිකුත් වූ මගේ ම නාමය මගේ සවන් තුළ තැවත නැවතත් දෝංකාර නංවනවා සේය. නාදය පිට වූයේ වේදිකාවෙන් වුවද පසෙකින් ඇති ස්පීකරය මගේ කන් හාරා එම වචන කීපය මගේ මොළයට ඇතුල් කරණු මට දැණිනි. 'එන්න මිස්' මා වේදිකාවට කැඳවාගෙන යාමට පැමිණි දැරියගේ කටහඬ සමග සීතල මෙලෙක් අතත් මා අත ගනු මට දැණීනි. අමතකව තිබූ සිනහව ආයාසයෙන් ගෙන මම නැවත මුහුණ මත එය ඇඳ ගතිමි. උපතින්ම අන්ධ වූවානම් එය වඩාත් පහසුවකැයි මට සිතේ. මන්ද, එවිට සිනහව දුක සැනසුම වේදනාව වැනි දහසකුත් හැඟීම් ඒ ඒ අවස්ථාවන්හි මුහුණේ ඇඳ ගැනීමට තරම් අවබෝධයක් එවිට නොලැබෙන නිසාවෙනි. ඇඳුම පිළිවෙලට ඇත්දැයි මම නොදනිමි. පැය ගණනක් එකම ඉරියව්වෙන් ඉඳ සිටින්නට සිදුවීමේ වධ බන්ධනයෙන් පසු දැන් ඇදුම සිසීකඩ වී ඇත්දැයි නොදනිමි... සමහරවිට එය පිටුපසින් තැලී පොඩිවී හපයක් වී ඇතිවා විය හැකිය. දැන් කරන්නට දෙයක් නැත. මට නොපෙනුනද මා පසුපස සිටින මහත් ප්‍රේක්ෂක ජනයාට මගේ සෑම ඉරියව්වක්ම පෙනෙනු ඇත. අඩුගානේ දහඩිය පිසගැනීමට හෝ ඉඩක් නැත. කනවැල අල්ලාගෙන යන ඇය පසුපස මම වේදිකාවට නගිමි.

මූර්තිය සදහා පදම්කරගත් මැට්ට තැබූ ලෑල්ල අසල මම ඉඳගතිමි. නැවත මගේ ඇඟිලි මගේ මුහුණ හරහා දිවවීමි. මෙය ඉතා පහසුය... මගේ මිම්ම මගේ ඇඟිලි වලින්ම ගැනීම.... තෙත් කරගත් දෑත පදම්කළ මැට්ටේ රඳවා මූලික හිසේ ආකෘතිය ගොඩනගමි. අම්මා මා කුඩා කළ එසේ මාව අඹන්නට ඇත. පුංචි නහය මුක්කන් විය නොදී රැහැයියකු සේ මා හඬනා විටදී මගේ නාසය ඇගේ දෑඟිල්ලෙන් උස් කරන්නට ඇත. නළල පිටුපසට තල්ලු කරන්නට ඇත. කන් පෙති දිගට අදින්නට ඇත. මා හඬනා හඬ පරදා මට තොඳොල් බස් කියමින් මා හුරතල් කරන්නට ඇත. දැන් මම මැයව අඹමි. අදෘශ්‍යමාන හාදුවෙන් පිබිදුණු ඇයගේ රූපය මම මැටි පිඩට කැටි කරමි. ඇය නාඬන්නීය. අතන මෙතන ඇද යැයි මැසිවිලි නොකියන්නීය. මට එරෙහිව සුසුමකදු නොහෙළන්නිය.

මම නැවත මැටි මිශ්‍රිත දෑත මා මුහුණේ ඇවිද්දවමි. මගේ ගෙල සහ මුහුණ පැත්තකට ඇල කර හිස මදක් ඔසවා දෑස් අඩවන් කර මුව මදක් විවර කර මම ඇය වෙමි.... නැතහොත් ඇයව මම කරමි... දශමයෙන් දශමය මම මගේ මුහුණේ මිම්ම ගමි.... හකුළාගත් උරහිස් අහේතුකව මට හිරියක් ඇති කරයි. මම ඒ රසය විදගමි. මගේ දෑත් මගේ සිරුර පුරා ඇවිද්දවමි... හෙමින්... දැනෙන නොදැනෙන වේගයෙන්.

තෙත් තොල්පෙති, හිරියෙන් විකසිත වුණ සිරුරේ උණුහුම ඒ ආකාරයෙන්ම මගේ මූර්තියට ඔබ්බවාලීමට හැකිනම්... ඒ හැඟුම් නොමැති මේ මූර්තියෙන් කවර ඵලයක්ද? ඇය උරහිස් හකුලා ගෙල පසෙකට හරවා හිස මදක් උස් කර අඩවන් දෑසින් සහ මදක් විවර වූ දෙතොලින් යුතුව බලා සිටින්නීය. ඇගේ දෑත් කතිර හැඩයට ලැම හරහා රැඳී ඇත. එක් අතක මෑත් වුණු ඇඟිලි දෙකක් අතරින් ඇගේ තනපුඩුට ඔබ දෙස බලා සිටිනු ඔබට පෙනෙනු ඇත. ඇය... අදෘශමාන හාදුවේ හිරියෙන් පිබිදී සිටින්නීය. මම මැටි වැකුණු මගේ නිරුවත් සිරුර තෙත රෙදි කැබැල්ලෙන් පිසදා ගනිමි. සිහින් වැලි කැට මගේ සම සිහින් සීරුම් තලමින් රටා මවයි.

වේදිකාව වෙත මා නගින මේ මොහොතේ කන් බිහිරි කරවන අත්පොලසන් නාදය මගේ පිටුපසින් ඇසේ. එය සැබැවින්ම මාගේ කලාකෘතියේ විශිෂ්ටත්වය උදෙසා ගැසෙන්නක්ද? මගේ දුර්වලතාවයට ගැසෙන්නක්ද? මා කෙරෙහි උපන් අනුකම්පාවෙන් ගැසෙන්නක්ද? කෙසේ වුව ඒ අත්පොළසනේ මාගේ ආබාධිත බව වෙනුවෙන් සියයට අසූවක පමණ බරක් ගැබ් වී ඇති බව මට හැ‍ඟේ. කෙනෙකු මා උදෙසා කථා කරන වචනයක් වචනයක් පාසා ගැබ් වු ඒ බර, ඒ අනුකම්පාව මම හඳුනමි. දෑස් පෙනුනානම් මේ සම්මානය මෙලෙසින්ම අද මට ලැබේවිද... ? මා වෙව්ලා යන පැනය එයයි. සැබැවින්ම කලාකාරිනියක විශයෙහි මා සමතෙක්ද? නැතහොතු හුදු මායාමය ප්‍රසාදයක්... අනුකම්පාවක් පිණිස මෙම සම්මානය මවෙත පුදන්නේද?

මහත් ප්‍රශංසාවකි. මයික්‍රෆෝනය බෙරිහන්දී කියන්නේ මා ගැන අනුකම්පා කරන්නට කියාද? 'මැය වැනි දිරිය කාන්තාවන් රටට අවැසි යුගයකි... ' ඒ මා වෙත අනුකම්පාවේ සහතිකය පිළිගන්වන ආකාරයද? මා සැබැවින්ම සාර්ථක වන්නේ ඇගේ කන් පෙත්තේ, පයෝධර තුඩග රැඳුණු සීතල දෙනෙත් යට ගිලුණු උණුහුම ඒ ආකාරයෙන් දිය හැකි වූ විට පමණක් බව මොවුන් වටහා තොගත් හැටි. මේ සම්මානය කවරක් සඳහාද? මහත් අත්පොළසනක්.....

මට එය දැනුණි. එය සිතලය. මැට්ටෙන් මා ඇඹූ ගැහැණිය තුළ තිබූ ඒකාකාර සිතල නොවෙයි මේ සම්මානය තුළ කැටි වූයේ. එය කවර පාටදැයි බලාගැන්මට ඇත්නම්.

තිළිණි ෂැල්වින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails