Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සංස්කෘතික විචාරය සහ ජනප්‍රිය නවකතාව

මේ රචනයේ දී "ජනප්‍රිය නවකතාව" ලෙස සළකන්නේ විදග්ධ සහ ජනප්‍රිය(බාල සාහිත්‍ය ලෙස ආන්තිකකරණය කළ) බෙදීමට අනුව නොවේ. සිංහල පාඨක ලෝකයෙහි සාපේක්ෂව බහුතර කියවීමට ලක්ව ඇති නවකතාවයි. සමාජය සහ සංස්කෘතිය දෙස විචාරශීලීව හා විවේචනාත්මක දෘෂ්ටියකින් බලන්නට ආරාධනා කරන විශිෂ්ට සාහිත්‍ය කෘති විශ්ව සාහිත්‍යයේත් සිංහල සාහිත්‍යයේත් කොතෙක් තිබුණත් ඒ කලා කෘති දෙස සිංහල පාඨක ලෝකය එක්කෝ අන්ධය. එසේත් නැත්තම් ඒවා කියවන්නේ නිදිමතෙනි. සාහිත්‍යය හා කලාව සංස්කෘතියක වැදගත්ම කොටසක් බව මතකයේ තබා ගනිමින් අල්තූසරියානු අර්ථයෙන් ඒවා සමාජ ක්‍රමය(ව්‍යුහය) ප්‍රතිනිෂ්පාදනය කිරීමේ උපකරණමය කාරකත්වය උසුලන වැදගත් යාන්ත්‍රණයක් බවත් අවධානයට ගනිමින් සාහිතය ඇතුලු විශිෂ්ට කලාවන්ට තමා අයත් වන සංස්කෘතිය දෙසම විකල්ප ඇසකින් බලන්නට, සංස්කෘතික ආධිපත්‍යයන්ට අභියෝග කරන්නට, ප්‍රතිව්‍යුහගතකරණයන් යෝජනා කරන්නට ඇති හැකියාව අවධාරණය කිරීම මේ රචනයේ ප්‍රමුඛ අරමුණකි. සෙංකොට්ටං යනු, ඒ විභවය මැනවින් හඳුනා ගෙන සංස්කෘතියේ ආධිපත්‍ය සංකීර්ණ ලෙස ප්‍රශ්න කරන්නට දැනුවත්ව සම්බන්ධ වෙන නවකතාවක්ද, නැද්ද යන්න මෙහිදී අදාළ නොවේ. ලංකාවේ ඓතිහාසික කුල ක්‍රමයේ අවවරප්‍රසාදිත සීමිත ජන කොටසක් තේමා කොට ගෙන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ මේ නවකතාව දැන් සිංහල පාඨක ලෝකයෙහි බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. "ගිනි ගහන අව්වේ දිගු කලක් බර වැඩ කරමින් සිටි එකෙකුට නිල් සිහිල් දිය පිරි විලක් අසබඩ රුක් සෙවනක වැඩ ලැබීම වැනි අත්දැකීමක්" මේ නවකතාව කියවීමෙන් ලැබූ බව සිංහල නවකතා කියවීම නතර කර දමා තිබූ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයෙක් පසු ගිය දිනෙක රාවයට ලියා තිබුණි. පුවත්පත් විචාර ගණනාවක්ම මේ නවකතාව සාකච්ඡාවට ගෙන තිබේ. මා සෙංකොට්ටං "ජනප්‍රිය නවකතාවක්" කියන්නේ ඒ අර්ථයෙනි. මේ බොහෝ විචාර නවකතාකරුවාගේ සරල භාෂා ව්‍යවහාරය, කතා කීමේ හැකියාව, කවීත්වය ගැන වැඩියෙනුත් එහි තේමාත්මක මානයන් අඩුවෙනුත් ඉලක්ක කළ ඒවා ය. මේ කෙටි රචනයේ දී නවකතාවේ ව්‍යුහ සංරචනය, කලාත්මකත්වය ගැන රසවිඳීමකට හෝ විචාරයකට උත්සාහ නොකරන අතර මේ රචනය කැප වෙන්නේ සම්මත සංස්කෘතිය දෙස විවේචනාත්මකව, දුර සිට බලන්නට පාඨක ආකර්ෂණය දිනූ නවකතාවක් නැවත කියවීමටයි. එනම් ජනප්‍රිය කෘතියක් විචාරශීලී පරිකල්පනය පොහොසත් කරන්නට පාවිච්චි කිරීමේ වාසි අත්හදා බැලීමයි.

සෙංකොට්ටං තේමාව

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රිදීවිට නම් ගමේ මීට අවුරුදු අසූවක් තරම් ඈත කාලයක විසූ සමාජයේ කුල ධූරාවලියේ පහළම කුලයක් වූ රදා කුලයේ පවුලක් කේන්ද්‍ර කර ගනිමින් ඒ මිනිසුන්ගේ ජීවන පීඩනය චිත්‍රණය කරන්නට නවකතාකරුවා උත්සාහ ගනියි. රෙදි හෝදන පවුලක වැඩිමහල් දියණිය වූ පොඩිනා අනගිහාමි නම් ප්‍රභූ පවුලක පිරිමියෙකු සමඟ එක් දිනක් තුළ හටගත් ප්‍රේමයක් නිසා ගැබ්බර වෙයි. ඇය තමාට සිදු වූ "ප්‍රේමනීය අනතුර"ට වන්දි ගෙවන්නේ තමාගේම කුලයේ, ගමේ නෝන්ජල් පිරිමියෙකු වූ නම්බු හේනයා උපක්‍රමශීලි ලෙස පෙම් දැලේ පටලවා ගනිමිනි. ඔවුන්ගේ දරුවා බබා හේනයා ය. (සැබෑ පියා අනගිහාමි වේ) නම්බු හේනයා පවුල් ජීවිතය විෂයෙහිදීත් සාමාන්‍ය එදිනෙදා වැඩපොලේදීත් පෙන්වන අසාර්ථක බව නිසා මේ පවුලේ වගකීම් සහගත පිරිමියා ලෙස නවකතාවේ විස්තර වෙන්නේ පොඩිනාගේ පියා වන වීරප්පුලි හේනයාය. පවුලක් හැටියට නවකතාව පුරාම මොවුන් නොයෙක් කරදර වලට මුහුණ දෙයි. වීරප්පුලි හේනයාත්, බබා හේනයාත් සමාජය ඉදිරියේ කුල හීනයන් ලෙස නොයෙක් නින්දා විඳියි. පොඩිනා තම "පරණ ප්‍රේමය යළි හමුවන්නට යාමේ උත්තරීතර ප්‍රීතිය බුක්ති විඳීමට ගොස්" මරණය වැළඳ ගනියි. පොඩිනාගේ නංගී හීන් රිදී තම ගමේ දඩබ්බර තරුණයෙකු සමඟ ඇති කරගත් සරාගික සම්බන්ධය දුර දිග ගොස් විවාහ වී අවසානයේ අනාථ වී යළි නිවෙසට එයි. බබා හේනයාට අධ්‍යාපනයේ අයිතියද අහිමි වී යයි. අවසානයේ වීරප්පුලි හේනයා මානසික රෝගියෙකු දක්වා පිරිහෙයි. මේ අතර වීරප්පුලි හේනයාගේ පුත්‍රයා - ලුවිස් හේනයා මැණික් ජාවාරම්කාර පොහොසතකු සමඟ මිත්‍ර වී ඔහුගේ අකාල මරණයෙන් පසු මුදලාලිගේ දේපළට උරුමකම් කියන දියණියක් විවාහ කරගෙන නාගරික ජීවිතයට ඇතුලු වී පොඩිතිස්ස මුදලාලි නමින් ප්‍රසිද්ධ වෙයි. බබා හේනයා තම ජීවිතයේ දෙවැනි අවධිය ගෙවන්නේ ඔහුගේ මාමා වන පොඩි තිස්ස මුදලාලි සමගය. කුල ධූරාවලි නොසළකන නාගරික ව්‍යුහයට අතුළත් වන බබා හේනයා හොඳ අධ්‍යාපනයක් ලබයි. නවකතාව අවසානයේ ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකුව තමන්ගේ මිණිබිරියගේ ලන්ඩන්- ඔක්ස්ෆර්ඩ් සරසවි ආචාර්ය උපාධි නිබන්ධනය වන "ආසියාතික රටවල පැරණි කුල ක්‍රම" පිළිබඳ තොරතුරු සොයා දීමට ඇයත් සමග උපන් ගමට එන වික්ටර් සූරතිස්ස නමින් පාඨකයාට හමු වේ.

නවකතාව බැලූ බැල්මට ඒ තරම් සංකීර්ණ එකක් නොවේ. ඇතැම් විචාරකයන්ට අනුව අභව්‍ය සිද්ධීන්ගෙන්ද යුතු එහෙත් සාමාන්‍ය යථාර්ථවාදී නවකතාවකි. කෙසේ වෙතත් නවකතාවේ උක්ත තේමාව නවකතාකරුවා ප්‍රශ්න කරනවාට වඩා ගැඹුරින් මතු කර ගැනීමේ විභවය පිළිබඳ සංවේදී වෙමින් නූතන සමාජ ව්‍යුහයේ "කුලය" පිළිබඳ බෙදීම් අහෝසි වී ගොස් ඇති බැවින් ඒ ගැන කතිකාව නිෂ්පල යැයි සිතන බහුතරයක් වෙත නවකතාවේ තේමාත්මක මාන කෙරෙහි ගැඹුරින් සළකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමේ අරමුණින් මේ රචනයට න්‍යායික ආලෝකයත්, මතවාදීමය ආවේශයත් සපයන වැදගත් ග්‍රන්ථයක් වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ "පුරවැසි මංපෙත්'' කෘතියෙන් පේළි කිහිපයක් උපුටමි.

"ලාංකික සමාජයේ පැලුම් රේඛා හෙවත් ගැඹුරු ව්‍යුහයන් අතර, එහි ගති- ස්වභාව හැඩගැස්වීමේ ශක්තිය අතින් කුලය කේන්ද්‍රීය ස්ථානයක් ගන්නා බව කාලයක් තිස්සේ ලාංකික සමාජයේ සංස්කෘතික- ආධ්‍යාත්මික ජීවිතය අධ්‍යයනය කරමින් සිටින මගේ පිළිගැනීමයි... ශ්‍රී ලංකාවේ පශ්චාත්- විජිත සමාජ පද්ධතිය(රාජ්‍ය+සමාජය) වනාහි මහනුවර රාජාණ්ඩු පාලනය සහ සිංහල කුල ධූරාවලිය පදනම් කොටගත් සමාජ සංවිධානය යටත්විජිත බලය/ක්‍රියාවලීන් විසින් විනිවිඳිනු ලැබ විකාශය වූවකි. තතු එසේ නම් පශ්චාත්- විජිත සමාජය ගැඹුරින් වටහා ගැනීමේ පූර්ව කොන්දේසිය වන්නේ විජිත ආක්‍රමණයට භාජනය වූ සමාජයේ ගර්භීය ලක්ෂණ හෙවත් ව්‍යුහාත්මක ලක්ෂණද, එකී ගර්භයට නියමිත සංස්කෘතික ජාන ද අවබෝධ කොට ගැනීමයි." ( විජේසිරිවර්ධන, සුනිල් 2009, පි.144-145 )

කුලය - මිනිස් වෙනස්කම් සහ විභේදනයන්

"මිනිසුන් අතර ඇති වන/ස්වභාවිකව පැන නඟින විවිධත්වයේ ලක්ෂණ මිනිස් වෙනස්කම් වේග ස්ත්‍රී- පුරුෂ වෙනස, මානව විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක හැඩගැසීම්, පරම්පරා, සංස්කෘතික කලාප(ආගමික හා ජනවාර්ගික) ලෙස නොයෙක් අකාරයේ විසමතාවන්(differences) රාශියක් මිනිසුන් අතර තිබේ. මේ වෙනස්කම් වලට අදාළව මිනිසා බෙදා වෙන් කරන සමාජීය බෙදීම් ආචාර්ය විජේසිරිවර්ධන මිනිස් සමාජයේ විභේදනයන්(divisions) ලෙස හඳුන්වයි. කුලය, පංතිය, ප්‍රභූ- නිර්ප්‍රභූ, රජ- යටත්වැසි, පාලක- පාලිත ලෙස ඒවා නොයෙක් ආකාර ගනියි. ඔහු ඉතා නිවැරදිව පෙන්වාදෙන පරිදි මිනිසා උපතින් ලබා ගන්නා- සහජ වෙනස්කම් ද ඇතැම් විටෙක බෙදීම් දක්වා වර්ධනය කර ගනී. ලිංග භේදය, ජන වර්ග, ආගම් භේද, වැඩිහිටි තරුණ පරම්පරා භේද යනාදිය ලංකා සමාජයේ ප්‍රධාන බෙදීම් බවට පත්ව තිබේ. මේ දෙවැන්න, එනම් මිනිස් විභේදනයන්, බලය පිළිබඳ ව්‍යුහමය ප්‍රශ්නයක් ලෙස වටහා ගත යුතුය." (විජේසිරිවර්ධන, සුනිල් 2009, පි.61)

ව්‍යුහයන්ගේ ව්‍යුහ හෙවත් ගැඹුරු ව්‍යුහ

මිනිස් වෙනස්කම් හා විභේදනයන් පිළිබඳ ඉහත විස්තර කිරීමට අනුව සෙංකොට්ටං නවකතාවේ "කුලය" නමැති ව්‍යුහමය සැකැස්ම අප තේරුම් ගත යුත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසිනි. එහෙත් "දේශපාලන බලය" පිළිබඳ සෘජු අර්ථකථනයකින් නවකතාව වෙත එළඹෙනවාට වඩා නවකතාවේ තේමාත්මාක මානයන් ස්පර්ෂ කරන ව්‍යුමය හිංසනයන් ගැඹුරු ව්‍යුහ පිළිබඳ ප්‍රශ්නයක් ලෙසින් අවබෝධ කර ගැනීම වඩාත් තාර්කිකය. ව්‍යවස්ථාපිත රාජ්‍ය ව්‍යුහයට වෙනස් වූ සංස්කෘතික මාන මත පදනම් වූ ව්‍යුහමය සැකසුම් සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරීත්වයේදී හමු වේ. එනම් සාමාන්‍ය මිනිස් පැවැත්ම තුළ පුරවැසියා සම්බන්ධ වෙන ප්‍රධාන රාජ්‍ය ව්‍යුහයට අමතරව සංස්කෘතික පැවැත්ම තුළ ජීවිතය රාමු කරන, සීමා කරන, හිංසනයට ලක් කරන ආයතනික ව්‍යුහ ගණනාවක් තිබේ. ව්‍යුහයන්ගේ ව්‍යුහ හෙවත් ගැඹුරු ව්‍යුහ යනු මේ සංස්කෘතික මානයන් පදනම් කරගත් සමාජ පාලන සැකැස්මවල් වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ රිදීවිට ප්‍රදේශයේ ජීවත් වෙමින් ප්‍රභූ පැලැන්තික මිනිසුන්ගේ රෙදි සේදීම, මල්වර උත්සව වල කටයුතු වෘත්තිය කොට ගත් ජනයා සමාජයේ අවම පිළිගැනීමක් අවම මිනිස් අයිතිවාසිකම්(අධ්‍යාපනය ලැබීම වැනි) පවා නොලබන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුත්තේ මහනුවර යුගයේ සිට ඓතිහාසිකව විකාශනය වන සිංහල කුල ක්‍රමය සමාජයේ පැවැත්ම පිළබඳ "මූලාකෘතියක්" (විජේසිරිවර්ධන, සුනිල් 2009, පි.149) ලෙස වටහා ගැනීම මඟිනි. කුලය හා සමගාමි බලය පිළිබඳ කතිකාව වර්ධනය කරමින් තීරණාත්මක මැදිහත්මක් කරන්නට තිබූ අවකාශය නවකතාකරුවා විසින් මඟ නොහැරියේ නම් සෙංකොට්ටං විශිෂ්ට කෘතියක් වීමට ඉඩ තිබිණි. "කුල ක්‍රමය ආර්ථීක, දේශපාලන, සංස්කෘතික හා මිලිටරි යන සකලවිධ බල යාන්ත්‍රණයන්ගේ ක්‍රියා බිමක්" බව නවකතාකරුවාට මඟ හැරී යයි. එයින් අදහස් වන්නේ මේ ව්‍යුහය හා සම්බන්ධ සියලූම ප්‍රශ්න නවකතාව තුළ අන්තර්ගත විය යුතු බව නොවේ. ඔහු ස්පර්ශ කරන තේමාත්මකයන් තවත් ප්‍රබල කරන්නට ඒ සවිඥානිකත්වය අනිවාර්ය බවයි.

කුල ක්‍රමයටද හෙජමොනියක් ඇති බව අන්තෝනියෝ ග්‍රාම්ස්චි වැනි මාක්ස්වාදී චින්තකයන් ණයට ගනිමින් අපට කියන්නට පුලුවන. මහාචාර්ය ජයදේව උයන්ගොඩ සිය "ඔක්කොම රජවරු- ඔක්කොම වැසියෝ, රාජ්‍ය පිළිබඳ දේශපාලන න්‍යාය හා භාවිතය" කෘතියේදී "හෙජමොනි" යන්න සිංහලට පරිවර්තනය කරන්නේ "නායක ආධිපත්‍යය" යනුවෙනි. "ග්‍රාම්ස්චි ධනේෂ්වර පංතිය සතු ආධිපත්‍ය බලය න්‍යායික වශයෙන් පැහැදිලි කරන්නේ, හුදෙක් 'මර්දනය' යන්න ආශ්‍රයෙන්ම නොවේ. පාලක පන්තීහු පාලිත පන්තීන්ගේ 'කැමැත්ත' ද ලබා ගනිති. ආධිපත්‍යධාරී පන්තීන් පාලිත පන්තීන්ගේ කැමැත්ත ලබා ගන්නේ මුලු සමාජයටම 'නායකත්වය' දීමෙනි. මුලු සමාජයේම ඓන්ද්‍රීය නායකයා තමන් බව, පාලිත පන්තීන්ට ඒත්තු ගැන්වීමෙනි. සමස්ත සමාජයටම තමන්ගේ බුද්ධිමය- මතවාදීමය නායකත්වය පිළිගැන්වීම තුළිනි. තමන්ගේ අභිලාෂයන් සමස්ත සමාජයේම අභිලාෂයන් බවට ඒත්තු ගැන්වීමෙනි... පාලිතයන්ගේ ස්ව- කැමැත්ත මත ගොඩ නඟන නායකත්ව ආධිපත්‍යයකි." (උයන්ගොඩ ජයදේව, 2011, පි.130) ග්‍රාම්ස්චි ගේ හෙජමොනිය පිළිබඳ මේ විග්‍රහය "කුල ක්‍රමය" නම් සන්දර්භයේදී සෘජු අර්ථයෙන්ම ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. සමස්ත රාජ්‍ය ව්‍යුහයේ දී පවා, හෙජමොනිය ක්‍රියාත්මක වන්නේ දෘශ්‍යමාන තලයේදී නොව ඉතාම සංකීර්ණ ගැඹුරු තලයක බව අපි දනිමු. කුලය වැනි ව්‍යුමය සැකැස්මක හෙජමොනික පැවැත්ම ඊටත් වඩා සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වන හැටි කාල් මෑන්හයිම්ගේ අදහසක් ඇසුරින් පැහිදිලි කරන්නට පුලුවන. "අවසාන විග්‍රහයේ දී සමාජ ක්‍රමයක් පවත්වා ගෙන යාමට හැකියාව තිබෙන්නේ ඒ සමාජයේ සිටින තනි තනි පුද්ගලයින් තමන්ගේ හිස් තුළ ඒ සමාජය ගැන චිත්‍රයක් රැගෙන යන නිසා" බව ඔහු ලිවී ය. එම අදහස තවදුරටත් විග්‍රහ කරමින් ජේම්ස් කවනාග් "තනි තනි මනුෂ්‍යයා සමාජය ගැන චිත්‍රයක් තමාගේ හිස තුළ රැගෙන යනවා පමණක් නොව එම චිත්‍රයේ තමන්ට හිමි තැනත් ඒ චිත්‍රයේ ඔහු රැගෙන යන"බව පැහැදිලි කළේය. මෙය ඉතාම සියුම් වැදගත් සංකල්පයකි. මෙහි ඇඟවුම පවතින සමාජ ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කරන්නේ පාලකයන් විසින් නොව සියල්ලෝම හවුලේ බවයි. සෙංකොට්ටං නවකතාව පුරාම එහි චරිත "කුල ක්‍රමය" ප්‍රතිනිෂ්පාදනය කරන්නට තමාගේ දායකත්වය සපයන හැටි පැහැදිලිව පෙනේ.

වීරප්පුලි හේනයා ගම් ගානේ ඇවිදිමින් පොට්ටනියකට රෙදි එකතු කර ගෙන එයි. ඒවා සෝදා වේලා මැද නැවත ගම් පුරා ඇවිදිමින් බෙදයි. එය ඔහුගේ පාරම්පරික උරුමය ලෙස සළකන වීරප්පුලි හේනයා තම මුණුබුරාද පාරම්පරික උරුමයේ නියම පුරුකක් වනු දැකීමට ආශා කරයි. මෙය සමාජය පිළිබඳවත් එහි තමාට හිමි තැන පිළිබඳවත් ඔහු තුළ ඇති චිත්‍රය හෙළිදරව් කරන්නකි.

"යමං ළමයෝ…යි කී ඔහු විශාල රෙදි පොට්ටනිය උරේ එල්ලා ගත්තේය. ඔහු අනුකරණය කළ බබා හේනයාද තමාගේ කුඩා රෙදි පොට්ටනිය උරේ එල්ලා ගත්තේය. එය තම ආතා විසින් තමාට හුරතලයට සාදා දෙන එකකි. එයට ඔහු ඉතාම ආසා කරයි. ලොකු වී තම ආතා සේ ඉතා හොඳ රෙදි අපුල්ලන්නෙකු වීමට කුඩා බබා හේනයා හීන දකී" (මස්ඉඹුල මහින්ද ප්‍රසාද්, 2012, පි.20)

මේ කුඩා දරුවාට සමාජයේ තමාට හිමි තැන පිළිබඳ චිත්‍රයක් ඇතැයි සිතන්නට අපි ඉක්මන් විය යුතු නැත. ඔහු තවමත් සංස්කෘතිය හා අනුයෝජනය වෙමින් සිටින්නෙකි. සාපේක්ෂව අසංස්කෘතිකවත් අයෙකි. ඒ බව නවකතාව විසින්ම අපට පෙන්වා දෙයි. රුවන්වැලි සෑයේ කොත පැළැන්දවීමට පිත්තල එකතු කරන උපාසක පිරිසට පිං තකා යමක් පූජා කරන්නට කුඩා බබා හේනයා තම සීයාට යෝජනා කරන්නේත්, ඔහු සනසන්නට වීරප්පුලි හේනයා තමාගේ පිහි මිට උපාසක පිරිසට පරිත්‍යාග කරන්නට සැරසෙන විට "කිල්ලට අහු වෙච්ච උන්.." ලෙස වන අවමානය, කොන්වීම ප්‍රශ්න කරන්නට පෙළඹෙන්නේත් ඒ නිසාය. එහෙත් වීරප්පුලි හේනයාට මේ කොන්වීම ප්‍රශ්නයක් නොවේ. ඔහුට එය පුරුදුය. දරු මුණුබුරන් දැක සිටින වීරප්පුලි හේනයාගේ හිසෙහි තිබෙන අර කුඩා දරුවා දරා නොසිටින චිත්‍රය දැන් පැහැදිලිය. මේ සංස්කෘතියේ පාට තවමත් තවරා නොගත් අසංස්කෘතික දරුවා පිළිබඳවත් ඔහුගේ හිසෙහි ඇඳිය යුතු චිත්‍රය පිළිබඳවත් වගකීම දරන්නේ වෙනත් සංස්කෘතිකගත පුද්ගලයෙකි. විශේෂයෙන්ම පවුල් සංස්ථාවයි. එවිට කිසියම් සමාජ ක්‍රමයක හෙජමොනිය දරා සිටීමට අවශ්‍ය දෘෂ්ටිවාද සකස් කරන උපකරණමය දායකත්වය සපයන කේන්ද්‍රීය සාධකය වන්නේ පවුල වේ. අල්තූසරියානු අර්ථයෙන් පවුල මේ සඳහා දායක වන හැටි මෙන්ම, ආගම ද දෘෂ්ටිවාදී උපකරණයක් ලෙස ක්‍රියාත්මක වන හැටි මස්ඉඹුල නවකතාව ආරම්භයේදීම ප්‍රශ්න කරයි. මේ රචනයේ ද කලින් සඳහන් කළ පිත්තල සම්මාදමේ යන අවස්ථාවේ බබා හේනයාට "පිං ටිකක් එකතු වෙන්නැයි" කියා වීරප්පුලි හේනයා තමා පාවිච්චි කරන පිහියේ පිත්තල මිට පරිත්‍යාග කරන්නට සැරසේ. එය භාර ගන්නා පොඩි උපාසක දරුවාගේ නම ලියා ගන්නට සැරසෙන විට ඔවුන් කුල හීනයන් බව හෙළි වේ.

"මේ මහානුබල සම්පන්න පුණ්‍ය කර්මෙට කිලි මුහුවෙන්න දෙන්න බෑ. ඒකට අපේ ලොකු උපාසක මහත්තය සතුටු නෑ. උඹලා කොටහලු ගෙවල් වල අරහෙ- මෙහෙ යන උන්නේ. කොටහලු කියන්නෙ කිලි උපත..." (මස්ඉඹුල, මහින්ද ප්‍රසාද්, 2012, පි.9)

කුලය සම්බන්ධයෙන් උත්ප්‍රාසාත්මක වැකියක් වන මෙය ආගම සම්බන්දයෙන් විග්‍රහ කිරීම අපේ අරමුණ නිසා එහි උත්ප්‍රාසාත්මක බව, එනම් ඒ කිලි කුලීනයන්ගේම වග මදකට අමතක කර බෞද්ධ දර්ශනයට මූලික පදනම සපයන "මනුෂ්‍ය සමානාත්මතා මූලධර්මය" සම්පූර්ණයෙන් කටු ගා දමා බෞද්ධාගමිකයින් එය ක්‍රමානුකූලව කුලවාදී, ප්‍රභූවාදී ආයතනයක් බවට පරිවර්තනය කරන ලද බව' චිත්‍රණය ඇති ආකරය ගැන නැවත සිතන්නට පාවිච්චි කරමු. සංස්කෘතියේත් උපරි ව්‍යුහයේ පවතින ආධ්‍යාත්මික වටිනාකම් ලෙස ඝනීභූත වුණු ආගමික ක්‍රියාවන්ට උරුමකම් කීමේ හැකියාව ඇත්තේ බල ධූරාවලියේ ඉහලින් සිටින අයට බවට ආගමික නියෝජනයන් විසින්ම නගන තර්කය අල්තූසරියානු අර්ථයෙන් සමාජ ක්‍රමය ප්‍රතිනිෂ්පාදනයට අවශ්‍ය, ප්‍රතිනිෂ්පාදනයේ කොන්දේසි ප්‍රතිනිෂ්පාදනය කරන වැදගත් ව්‍යුහමය අවයවයක් ලෙස ආගම සියුම්ව මැදිහත් වන හැටි පෙන්වන හොඳ නිදසුනකි. එනම් කුල හීනයන්ගේ "හීනකම" යළිත් තහවුරු කරන්නට ආගමික සංස්ථාව ආයුධයකි. නවකතාව අවසාන අර්ධයේදී වීරප්පුලි හේනයාගේ "පවුලේ අය" පිළිබඳ සියලු අපේක්ෂාවන් බිඳ වැටී ගිය පසු මානසික තෘප්තියට ඉතිරි වන එකම දෙය ආගමට නැඹුරුවීමය. තමාගේ කුල පීඩනය ඉවසන්නට ඔහු පාවිච්චි කරන්නේ තමා බෞද්ධයෙක් වීමයි. ආගමික ලෙස සිතීමයිග වීරප්පුලි හේනයාගේ ආගමික නැඹුරුව නිදහස්කාමයක් නොව පලායාමක් බව ඔප්පු කරමින් බෝ පැළය සමඟ ඔහු කරන ගණුදෙණුව නවකතාවේ විස්තර වන්නේ උමතු බවේ රූපකයක් ලෙසිනි. ආගම හා සම්බන්ධ ආධ්‍යාත්මික විශ්වාස හා දාර්ශනික විස්තර කිරීම් සමාජ සංවර්ධනයට සහ පුද්ගල ආචාරධර්ම වර්ධනයට පලදායි ලෙස දායක කර ගත හැකි වුවත්, ලංකාවේ පමණක් නොව ලෝකයේ බහුතරයක් ආගමික භාවිතාවන්ගේ දායකත්වය සැපයෙන්නේ පවතින අධිපතිධාරී දෘෂ්ටිවාද ප්‍රතිනිෂ්පාදනයටත්, විනාශකාරී අනන්‍යතා දේශපාලනයට රුකුල් දීමටත් හැර වෙනත් දෙයකට නොවේග පීඩිත- පාලිත මනස් වලට මේ දෘෂ්ටිවාද පැමිණෙන්නේ ඒවායෙහි පවතින අධිපති හා විනාශකාරී ස්වරූපයන්ගෙන් නොවේ. සිහිල් සුළං, දා දලු පත්, දිය රැළි වැනි සිත නිවන කතා වල දැවටෙමිනි. "කර්මය" වැනි විශ්වාස මගින් පවා කරන්නේ මෑන්හයිම්- කවනාග් අදහස් කළ මනස්- චිත්‍රය ආරක්ෂා කර ගැනීමට අනුබල සැපයීම බව පෙනේ.

කුලය සහ සමාජ චල්‍යතාව

සමාජ චල්‍යතාව යනු සමාජායතනික ව්‍යුහයේ ඉහළ පහළ සංචලනයේ හැකියාව යැයි අපි සරලව සිතමු. දුප්පත් පවුලක කොල්ලෙක් හෝ කෙල්ලක් හොඳ අධ්‍යාපනයක් ලබා රැකියාවක් ලබා ගෙන පොහොසත්වීම එසේ චලනය වීමකි. මෙය ඉහළ පහළ දෙකටම සිදුවිය හැකිය. කුලය සම්බන්ධයෙන් සමාජ චල්‍යතාව දක්වන්නේ කෙබඳු සම්බන්ධයක්ද? තමා අයත් කුලය තීරණය වන්නේ උපතින් නිසා සමාජ තරාතිරම වෙත කුලය දක්වන්නේ ප්‍රවේණිගත සම්බන්ධයකි. එබැවින් කුල ධූරාවලිය තුළ ඉහළ පහළ සංචලනයේ හැකියාව එහි ස්වභාවයෙන්ම අහිමි කොට තිබේ. 'කුලය' වර්තමාන සමාජයේ පවා විවාහය(පෞද්ගලික ක්ෂේත්‍රය) සහ දේශපාලන නිලවරණ(පොදු ක්ෂේත්‍රය) තුළ තීරණාත්මක ලෙස බලපාන අඩවියක් බව ආචාර්ය විජේසිරිවර්ධනගේ කෘතිය පෙන්වා දෙයි. (විජේසිරිවර්ධන, සුනිල් 2009, පි.147). කුලීනයන් උරුමකම් කියන සමාජ වරප්‍රසාද වලට සාපේක්ෂව කුල හීනයන්ට තම මූලික මිනිස් අයිතීන් පවා අහිමී වී යයි. නවකතාවේ බබා හේනයාට අධ්‍යපනය ලැබීමේ ඉඩ කඩ ඇහිරෙන හැටි මස්ඉඹුල හොඳින් ප්‍රතිනිර්මාණය කර තිබේ. බබා හේනයාට අධ්‍යාපනයේ අවස්ථාව අහිමිවීම නීත්‍යානුකූල පසුබිමක් මත සිදුවන්නක් නොවේ.

පාසලේ දී කුලීන දරුවන්ගේ දෙමාපියන් බබා හේනයා තමන්ගේ දරුවන් සමග සම අසුන් ගන්නවාට විරුද්ධ වූ විට වීරප්පුලි හේනයාද එය අනුමත කරයි.

"අපේ ළමයා ඔය උන්නැහේලයෙ දරුවො එක්ක එකට ඉන්දෙව්වට මාත් කැමති නෑ. මයෙත් ඇඟ හිරිවැටුණ ඒ වෙලාවේ. මුන්නැහැල කැමති නං පැදුරු කෑල්ලක් එළා දීලා අපේ ළමයට අයිනකිං ඉන්න දෙන්න." (මස්ඉඹුල, මහින්ද ප්‍රසාද්, 2012, පි.112-113).

ගැමියෝ මෙයට එකඟ වෙන බවක් පෙනුණත් වහාම කෙනෙක් ඉදිරිපත් වෙයි.

"එහෙම ඉඳගත්තත් උගන්නන්නේ එකම දේවල් බව දැන් ඉස්කෝලෙ මහත්තයගෙ කටින්ම පිට උනානේ. අපි කැමති නෑ ඒකට. මේක මොන මළ විකාරයක්ද? අපේ දරුවොයි- රදවයි- බඩ හැලයයි- පද්දයි ඔක්කොම එකට ඉඳගෙන අකුරු ලියන්න තියාගත්තම අපි කොහොමද ගමක වසන්නේ?" (මස්ඉඹුල, මහින්ද ප්‍රසාද්, 2012, පි.113)

මේ මිනිසා අවසානයේ අසන ප්‍රශ්නය ඉතාම වැදගත් එකකි. කුල භේදයකින්- පංති භේදයකින් තොරව සියල්ලෝම සමානව ඉගෙන ගත් විට සාම්ප්‍රදායික ප්‍රභූ පිරිසට එනම් "නායක ආධිපත්‍යයට/හෙජමොනියට" එල්ලවෙන අභියෝගය ගැන මේ පිරිස සවිඥානිකය. ඔවුන්ගේ දෘශ්‍යමාන තලයේ පවතින "අඩු කලය" පිළිබඳ ගැරහුම ගැඹුරු අර්ථයකින් ව්‍යුමය වෙනස්කම් වළක්වන සමාජ චල්‍යතාව නතර කරන සියුම් උගුලකි. අධ්‍යාපනය යනු ප්‍රභූ වරප්‍රසාදයක් ලෙස කුල ක්‍රමය ඇදහූවත් එය නූතන ලෝකයේ පුරවැසි අයිතියක් ලෙස නීතියෙන් ස්ථාපිත වී ඇතග නමුත් වර්තමාන සමාජවල පවා "අධ්‍යාපනය ලැබීමේ අයිතිය" වෙනුවෙන් නොයෙකුත් සමාජ කණ්ඩායම් නගන හඬ ඉඟි කරන්නේ අධ්‍යාපනයට එරෙහිව ඇති හෙජමොනික එරෙහිවීමයි. ව්‍යුහවාදී මාක්ස්වාදී දාර්ශනික ලුවී අල්තූසර් දෘෂ්ටිවාදීමය උපකරණ පිළබඳ සිය විග්‍රහයේදී "අධ්‍යාපනය ලබා දීමේ ආයතන" පවතින සමාජ ක්‍රමය නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීමේ වැදගත් උපකරණයක් ලෙස හැඳින් වූ බව අපට මතකය. සැබැවින්ම නූතනම ලංකාවේ සමකාලීන යථාර්ථය තුළ සරසවියෙන් උපාධි ලබා ගිය අභ්‍යාසලාභීන්ගේ ඉරණමද එය අපට නැවත නැවුම් මුහුණුවරකින් මතක් කර දෙයි. එහෙත් මේ සන්දර්භය තුළ අප වටහාගත යුතු කාරණය නම් පවතින සමාජ ව්‍යුහය දෙදරවා හැරීමේ විභවතාව ඇති යාන්ත්‍රණයක් ලෙස අධ්‍යාපනයේ ඇති වැදගත්කමයි. ලංකා සමාජයේ ගැමි- නාගරික විතැන්වීම් අපට පසක් කර දෙන්නේ අධ්‍යාපනය ඔස්සේ තනි තනිව පුද්ගලයන් පංතිමය වශයෙන්, සමාජමය වශයෙන් ඉහළට නඟිනා හැටිය. නමුත් අධ්‍යාපනයට සමාජ චල්‍යතාවට දක්වන මේ සාධනීය දායකත්වයට වඩා "සමාජයක්" ලෙස ප්‍රගතිශීලී ප්‍රතිව්‍යුහගතකරණයකට අනුප්‍රාණය සැපයීමේ විභවතාව තිබේ. නමුත් ලංකාවේ අධ්‍යාපනික ක්‍රමයේ යථාර්ථය වන්නේ තනි තනිව පුද්ගයන්ගේ "කවනාග් චිත්‍රය" වෙනස් කරමින් නැවත පවතින ක්‍රමයේම දිගේලි කිරීමයි.

අධ්‍යාපනය, කලාව, ජනමාධ්‍යය වැනි දෘෂ්ටිවාදීමය උපකරණවලට අනෙකුත් දෘෂ්ටිවාදීමය උපකරණවලට සපේක්ෂව ස්වායත්තතාවක් තිබේ. තමාද අයත්වන ව්‍යුහය දෙස විවේචනාත්මකව බලන්නටත් එයට අභියෝග කරන්නටත් මේවාට පුලුවන. විශිෂ්ට සාහිත්‍ය ඇතුලු කලාවන් නිතරම එය සිදු කරයි. කුල ක්‍රමය යටතේ සමාජ චල්‍යතාවක හෝ පංති චල්‍යතාවක ඉඩක් නැති වුවද නවකතාවේ එය සිදු වෙයි. බබා හේනයා නමැති රදව් කුලයේ දුප්පතා කෝටිපති ව්‍යාපාරිකයෙකු දක්වා රූපාන්තරණය වෙයි. එහි මූලික හේතුව වීරප්පුලි හේනයාගේ අකීකරු පුත්‍රයා වන ලුවිස් හේනයාය. නවකතාවේ අඩුම ඉඩක් හිමි වන එහෙත් වැදගත්ම චරිතයකි මොහු. ලවිස් හේනයා රත්නපුර නගරයේ මුදලාලි කෙනෙක් සමග මැණික් ජාවාරමට සම්බන්ධ වන්නේ ගෙදර අකමැත්ත නොසළකාය. තම පාරම්පරික උරුමය වන රෙදි සේදීම් වෘත්තිය ඔහු අතහැර දමයි. "ව්‍යුහයන් ප්‍රතිනිෂ්පාදනය වීම නතර කිරීමේ පළමු කොන්දේසිය" වන්නේ මේ රචනයේදී විස්තර කළ තමා සමාජය පිළිබඳවත් එහි තමාට හිමි ස්ථානය පිළිබඳවත් තමා රැගෙන යන "මෑන්හයිමියානු- කවනාග්" චිත්‍රය ගලවා දැමීමයි. නැතිනම් වෙනස් කිරීමයි. නවකතාවේදී අවිඥානිකව ලුවිස් හේනයා කරන්නේ එයයි. ඒ අර්ථයෙන් ද ඔහු ප්‍රතිසංස්කෘතික පුද්ගලයෙකි. මැණික් මුදලාලිගේ මරණයෙන් පසු ඔහුගේ දේපළ උරුමක්කාරිය- දියණිය විවාහ කරගෙන කෝටිපතියෙකු බවට පත්වේ. දැන් ඔහු පොඩි තිස්ස මුදලාලි නමින් ප්‍රසිද්ධය. නවකතාවේ කියවෙන හැටියට මේ දෙදෙනා අතර රහස් ප්‍රේමයක් තිබුණි. උත්තර සංස්කෘතික හැඟීමක් වන "ප්‍රේමය" සමාජ චල්‍යතාවට දක්වන දායකත්වය ගැන නැවත වරක් සිතිය යුතුය.

නවකතාවේ පංති චල්‍යතාව පිළිබඳ වැදගත්ම අදහස විචාරාත්මකව මතු කර ගත හැක්කේ මේ හදිසි පොහොසත් වීමේ මූලයට අවධානය යොමු කිරීම ඔස්සේය. (ඇතැම් විචාරකයින් සහ පාඨකයින් නවකතාවේ අභව්‍ය සහ නොගැළපෙන තැනක් ලෙස විවේචනය කරන තැනකි මෙය) නවකතාවේ තේමාත්මක මානය වූ කුල පීඩනය වෙනතකට තල්ලු කරන්නේද, මේ පොඩි තිස්ස නමැති නවකතාවේ අවකාශය තුළ නොවැදගත් යැයි හැෙඟන/ඉඩ නොලද චරිතයයි. මෙවැනි "කේවළ චල්‍යතා" සමාජයේ අහම්බයෙන් සහ සහේතුකව ඕනෑ තරම් සිදු විය හැකි බව අපි අත්දැක ඇත්තෙමු. එහෙත් පවතින හිංසක ව්‍යුහ ප්‍රතිනිෂ්පාදනය ඉන් නතර වන්නේ නැත. නවකතාවේ සිටින මිනිසුන් පංති විඥානයක් සහිතව ඒකරාශීවීමකින් සිදුවන ව්‍යුහමය වෙනසක් හෝ විප්ලවයක්වත් ප්‍රගතිශීලී සමාජ පරිණාමයක්වත් සිදු නොවේ. එහෙත් මේ නවකතාවේ පොඩි තිස්ස මුදලාලි තමා අයත් වන කුල ව්‍යුහයෙන් තමා ඉන්නා තැන වෙනස් කිරීමේ පළමු පියවර තැබූ පුද්ගලයා ලෙස විප්ලවීය වැදගත්කමක් හිමි කර ගනියි.

වික්ටර් සූරතිස්සගේ(බබා හේනයා) "ඉහළට යාම"/සමාජ චල්‍යතාව පසුපස කතුවරයා සවිඥානිකව හෝ අවිඥානිකව සඟවා තබන ගැඹුරු ව්‍යුහය පිළිබඳ අධිපති දෘෂ්ටිමය ඡායාවක් තිබේ. එනම් බබා හේනයා නමැති "කුල හීන දරුවා" උසස් කුලයක ලේ උරුමයක් බවයි. අනගි හාමි ඔහුගේ ජාතක පියා බව පොඩිනා හැරෙන්නට නවකතාවේ එකම චරිතයක් හෝ(වික්ටර් පවා) අවසානය දක්වාම දැන ගැනීම වළක්වයි. නවකතාවේ චරිත නොදන්නා එහෙත් පාඨකයා දන්නා මෙය නැවත නැවත මතක් කරන්නට නවකතාකරුවා උත්සාහ ගනියි. එහෙත් නවකතාවේ තේමාත්මක මානයන් වෙත මේ කාරණය මගින් ප්‍රබල ආලෝකයක් නවකතාව පුරාම එල්ල වෙනු දක්නට නොලැබේ. ඇතැම් පාඨයන් තුළ "සැබැවින්ම ඔහු පොඩිනාගේත්- නම්බු හේනයාගේත් දරුවා විණි නම්'' නවකතාවේ අවසානය වෙනස් විය හැකි බවට සැකයක් උපදින්නට පුලුවන. එවිට චරිත අතරේ සැඟ වූ මේ දරුවා ප්‍රභූ පවුලක ලේ උරුමක්කාරයෙකු වීම ඔහුගේ ඉහළ නැගීමේ "කර්මය හෝ වාසනාව" පිළිබඳ සේයාවක් ඇතැයි යන සාධාරණ සැකය නැවත සේවය කරන්නේ ඒ සමාජ ක්‍රමයේ හෙජමොනික පැවැත්ම වෙතමය.

නවකතාව අවසානයේ වික්ටර් සූරතිස්ස ගත කරන මධ්‍යමපාංතික සුඛෝපබෝගී ජීවිතයත්, තමාගේ මිණිබිරිය සමග ඇගේ ඔක්ෂෆර්ඩ් ආචාර්ය උපාධි නිබන්ධනයට තොරතුරු සැපයීමට උපන් ගමට සංචාරය කිරීමත්, ඒ අවස්ථාවේ ඔහු මුහුණ දෙන සිතුවිලිමය අර්බුදය දෙසත් යළි අවධානය යොමු කළ යුතුය. ඔහු ඒ ගමන පුරා කිසියම් අතීතකාමයකින් දැවෙයි. තමා තනිව "පොහොසත් වීම" නිසා අහිමි වී ගිය "තම වර්ගයේ අනන්‍යතා සාරයන්" පිළිබඳව බෙහෙවින් පසු තැවෙයි. තමාගේ දුක්ඛිත අතීතය ඔහු ආවර්ජනය කරන හැටි නවකතාකරුවා චිත්‍රණය කරන්නේ අතිශය රෝමාන්තික රූපාවලියක් මවමිනි.

"දෙන ලද ක්‍රමය" හෙවත් පවතින සමාජ ක්‍රමයට එරෙහි පංති විඥානයකින් තොරව අහම්බෙන්/සමාජ ක්‍රමයේ ප්‍රගතිශීලි ක්‍රම විකාශනයකින් හෝ විප්ලවීය ප්‍රතිව්‍යුහගතකරණයකින් තොරව(සන්නද්ධ අරගලයකින් බලය අල්ලා ගැනීමක් මින් අදහස් නොවේ) සමාජ චල්‍යතාවෙහි කොටස්කරුවන් වූ විට මේ අතීතකාමයත් පාරම්පරික උරුමයන් පිළිබඳ රෝමාන්තීකරණය වූ පසුගාමී හැඟීම් ඇතිවීමත් වැළැක්විය නොහැක. සෙංකොට්ටං නවකතාව මේ ගැන හිතන්නට කරන ඉඟියකි. වික්ටර් සූරතිස්ස යනු අහම්බයක් මිස, තම පීඩිතකම පිළිබඳ සමාජමය අවබෝධයක් සහිතව තමාගේ කුලයේ පීඩිතභාවය වෙනුවෙන් ඒ ක්‍රමයට එරෙහිව "කේවළ චින්තනමය අභියෝගයක්" හෝ කළ අයෙකු නොවේ. ජීවිතයේ හැන්දෑව ගෙවන ඔහු තමාගේ උපන් ගමට යන ගමනේදී තමාගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ පාන්නේ එබැවිනි. තමාගේ අතීත පීඩාකාරී අත්දැකීම් වල පසුබිම වන අසාධාරණ- වැඩවසම්වාදී ආකෘතිකගත සමාජය කෙරෙහි විවේචනාත්මක හැඟීමක ඡායාවක් හෝ අවසානයේදී ඔහුට ඇති නොවේ. මේ ධූරාවලිගත සමාජයේ අතීත මතක පිළිබඳ කලකිරීමකට වඩා ඔහුට උපදින්නේ තමා විසින් මකා දැමූ අතීතය පිළිබඳ ලාලසාත්මක හැඟීම්ය.

"ආයෙමත් අර සුවඳ දැනෙනවා... රෙදි සෝඩා කලවම් වෙච්චි තම්බපු රෙදි සුවඳ. ඒ සුවඳ මට හැමදාම දැනේවි. ඔවු... ඉදිරියටත්, මිය යන්න කලින් ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවඳ මට දැනෙයි...." (මස්ඉඹුල, මහින්ද ප්‍රසාද්, 2012, පි.168)

මා අදහස් කරන්නේ සමාජයේ ඉහළට ගිය පසු තමන්ගේ අනන්‍යතා හෝ අතීතය මරා දැමිය යුතු බව නොවේ. වික්ටර් අවසානයේ මුහුණ දෙන අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයත් ඒ හා සම්බන්ධ වන අතීතය පිළිබඳ ආත්ම- ලාලසාත්මක ආවර්ජනාත්මක අර්බුදත් ලංකා සමාජයේ "ගමෙන්- නගරයට" විතැන් වූ බොහෝ දෙනෙකුගේ අත්දැකීම් වලින් ඒ තරම් වෙනස් වන්නේ නැත. සමාජ චල්‍යතාව යනු ගැඹුරු ව්‍යුහ වලින් නිදහස් මිනිස් ක්‍රියාවලියක් වන්නේ එය මිනිස් විභේදනයන් පිළිබඳ වඩාත් සාධාරණ හා තාර්කික ප්‍රතිව්‍යුහගතකරණයක් මගින් බව නවකතාව ඇසුරින් සිතිය හැකි බව මේ රචනයේ අවසන් යෝජනාවයි.

ආශ්‍රිත කෘති:

උයන්ගොඩ, ජයදේව, 2011, ඔක්කොම රජවරු- ඔක්කොම වැසියෝ, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ 05
මස්ඉඹුල, මහින්ද ප්‍රසාද්, 2012, සෙංකොට්ටං, සන්ථව ප්‍රකාශනයක්
විජේසිරිවර්ධන, සුනිල්, 2010, පුරවැසි මංපෙත්, ගැටුම් පරිවර්තන දේශීය ආරම්භනයට පහසුකරණය(FLICT) , කොළඹ

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails