Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නචඡ්ඡා වසලෝ හොතී
නචඡ්ඡා හොති බ‍්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හොති
කම්මනා හොති බ‍්‍රාහ්මණො


කුමන පුද්ගලයෙකුවත් උපතින් වසලයකු හෝ බ‍්‍රාහ්මණයකු නො වන වගත් අදාළ පුද්ගලයා වසලයකු හෝ බ‍්‍රාහ්මණයකු වන්නේ ඔවුනොවුන් කරනු ලබන්නා වූ ක‍්‍රියාමාර්ගයන් අනුව බවත්, බුදුන් වහන්සේ වදාළ සේක. උන්වහන්සේ එසේ වදාළ ද "මේ ගෞතම බුදුන්ගේ රාජ්‍යය" යැයි පාරම්බානා අති බහුතර සිංහල බෞද්ධයින් උපතේ සිට මරණය දක්වා සැම සියලූ කටයුත්තක දී ම කුලය ප‍්‍රධාන සාධකයක් කොට සලකයි. මේ සඳහා සරල ම උදාහරණය සතිපතා පුවත් පත්වල පළවන මංගල දැන්වීම් තීරය යි.

දෙවනුව දේශපාලන ක්‍ෂේත‍්‍රය යි. සමාන අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදය හෝ වෙනත් ඕනෑම වාදයක් හිසමත තබාගත් දකුණු ඉවුරේ මෙන් ම වම් ඉවුරේ දේශපාලනය තුළ ද කුල භේදය ප‍්‍රධාන සාධකයකි. විශේෂිත ම කරුණ වන්නේ බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා යැයි පවසමින් මහණ දම් පිරීමට බඳවා ගන්නා කුල දරුවන් ද කුලය අනුව වර්ග කිරීම ය.

මේ සඳහා ඉදිරිපත් කළ හැකි ඉතා ආසන්නත ම උදාහරණය නම්: පසුගිය දිනක මාතර ප‍්‍රදේශයේ දී සිදු වූ, යතිවරයන් වහන්සේ නමකගේ පිළිරුවක් ස්ථාපිත කිරීමේ දි ඇති වූ කලබගෑනිය යි.

මේ සියලූ සමාජ සංසිද්ධීන් මෙසේ තිබිය දී සාහිත්‍යය කලාව හරහා කුල බේදය පිළිබඳ සාකච්ඡා මතුකරයි. ලාංකේය පොළෝ තලයේ කුණු වී ඕජස් ගලනා අනෙක් සියලූ දුඃඛ දෝමනස්සයන් මෙන් ම කුල බේදය නමැති ව්‍යසනය ද කුමනාකාරයෙන් සාකච්ඡාවට බඳුන් කළ ද කිසිදු වෙනසකට නම් ලක් නොවේ. මේ ගැටලුව සම්බන්ධයෙන් ඇරැව්වල නන්දිමිත‍්‍ර ගේ ‘‘මම ඔබ සිඹිමි’’, තාරකා වාසලමුදලි ගේ ‘‘මැටි’’, චම්මින්ද වෙලගෙදර ගේ ‘‘සක්කාරං’’ සහ ස්වර්ණකාන්ති රාජපක්‍ෂ ගේ ‘‘දවුල’’ යන කෘතීන් හි පිළිවෙළින් රජක කුලය, කුඹල් කුලය, මහනුවර පෙරහැර හා සබැඳි බෙරව කුලය සහ සමස්ත බෙරව කුළය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩ නගා තිබිණ. මේ අතුරින් ඇරැව්වල නන්දිමිත‍්‍ර ගේ ‘‘මම ඔබ සිඹිමි’’ කෘතිය සහ තාරකා වාසල මුදලිගේ ‘‘මැටි’’ කෘතිය තුළින් අදාළ සමාජ ප‍්‍රශ්නය මතුපිටින් අතගා, හැඩ බලා, කිසිදු විශ්ලේෂණයකින් තොරව හුදු කතන්දරයක් ගොතා තිබූ අතර චම්මින්ද වෙලගෙදර සහ ස්වර්ණකාන්ති රාජපක්‍ෂ තම වපසරිය තුළ අදාළ ප‍්‍රස්තූතය විචක්‍ෂණශීලිව සාකච්ඡා කොට තිබිණ.

කරුණු මෙසේ තිබිය දී 2012 වසරේ ද, රජක කුලය පිළිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතියක් ඇසුරු කරන්නට ලැබිණ. එනම්, කාව්‍යක්කාරයකු ලෙස සම්මානයෙන් පිදුම් ලද මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ ‘‘සෙංකොට්ටං’’ සාහිත්‍යය නිර්මාණය යි.

කතුවරයා සිය නවකතාව තුළ ද තමන්ගේ කවිත්වය උපයෝගී කොට ගනිමින් පද්‍ය කාව්‍ය වෙනුවට ගද්‍ය කාව්‍යයක් නිර්මාණය කොට ඇත. හෙතෙම සිය පළමු කාව්‍ය සංග‍්‍රහය තුළින් පාඨක ප‍්‍රජාවගේ සිත් සතන් ආලෝකමත් කළ ආකාරයට සාපේක්‍ෂව ‘‘සෙංකොට්ටං’’ කෘතියෙහි දුර්වලතා සහ අඩු ලූහුඬුතා නැතුවා නොවේ. නමුදු නවකතාවක තිබිය යුතු මූලික ගුණාංගයක් වන වෙහෙසකින් තොරව කියැවීමේ හැකියාව කෘතියෙහි අඩංගු ය.

රජක කුලය මතු නොව ගොවිගම යැයි කියාගන්නා කුලය හැර අනෙක් සියලූ කුලයන්ට අයත් මිනිසුන් වෙත ගොවිගම කුලයේ පුද්ගලයින් නිරන්තරයෙන් පීඩා කරති; ගරහති; අන් කුලයන්ට අයත් පුද්ගලයින්ගේ ආත්මාභිමානය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වති. එකී පීඩනයන්ගෙන් අල්පමාත‍්‍රයක් හෝ මතුකරලන්නට කතුවරයා දරා ඇති උත්සාහය ඵල දරා ඇති බව කෘතිය කියැවීමෙන් අනතුරුව පසක් විය.

1930 දශකයේ සිට 2006 දක්වා විස්තාරණය වන කතා පුවතේ ආරම්භක චරිතය වන වීරප්පුලි හේනයා ප‍්‍රමුඛ බබා හේනයා, ලුවිස් හේනයා හෙවත් පොඩි තිස්ස, මල්මා රිදී, පොඩිනා, නම්බු හේනයා, අනගි හාමි, හීං රිදී, බබානිස්, බවතා සහ ගුණ රාලහාමි මෙහි ප‍්‍රධාන චරිතයෝ වෙති.

මේ සියලූ චරිතයන්ගේ එකමුතුවෙන් මතු නොව අතුරු චරිත කිහිපයක් ද ඇසුරු කොට ගනිමින්, කතුවරයා එකී පීඩිත කුල හීනයන් අත් විඳිනා දුක්‍ඛ දෝමනස්සයන් විදාරණය කොට ඇත. බුදුන් වහන්සේ දේශනා කළ සමානාත්මතාව බෞද්ධයින් විසින් ම නිශේධනය කරන අයුරු මැනවින් දක්වා ඇත.

රුවන්මැලි මහා සෑයේ කොත්කැරැල්ල අලූත්වැඩියා කිරිම සඳහා පිත්තල එකතු කරන මොහොතේ වීරප්පුලි හේනයා මුහුණ දෙන ඛේදවාචකය එයට කදිම නිදසුනකි.

පිත්තල භාණ්ඩ පරිත්‍යාග කරන්නන්ගේ නම් ගම් විමසීමේ දී නඩේ ගුරාගේ දෙවැනියා වීරප්පුලි හේනයාගේ සිහින පුපුරවා හරින්නේ මෙලෙසිනි.

‘‘මේ මහානුබල සම්පන්න පුන්‍ය කර්මෙට කිලි මුහු වෙන්න දෙන්න බෑ. ඒකට අපේ ලොකු උපාසක මහත්තය සතුටු නෑ. උඹලා කොටහළු ගෙවල්වල අරෙහෙ- මෙහෙ යන උන්නේ. කොටහළු කියන්නේ කිලි උපත... ’’
- පිටුව 19

මෙම සිදුවීමට අදාළ කාල වකවානුව 1930 දශකය යි. වර්තමානයේ ද සතර පෙහොයට ම සිල්ගන්නා ඇතැම් කාන්තාවන් යම් හෙයකින් සිල් ගැනීමට නියමිත දිනයේ මාස් ශූද්ධිය ඇති වී තිබුනේ නම් එදිනට පන්සල් යාමෙන් වැළකී සිටින බව නොරහසකි. එහෙත් බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ සිය කෙස් කළඹේ සඟවාගෙන පැමිණි හේමමාලා කුමරිය අදාළ කාල සිමාව තුළ දී මාස් ශූද්ධියට ලක් නොවූයේ ද? එසේ ලක් වූවා නම් දන්ත ධාතූන් වහන්සේ කිල්ලට හසු නොවුනා ද? මෙලෙස පිත්තල භාණ්ඩ සම්මාදමේ යන පිරිස අතරින් මාස් ශුද්ධියට ලක් වූ උපාසිකාවන් සිටින්නට නොහැකි ද? ඔවුන් කිලි නොවන්නේ ද? එදත් අදත් මේ ඊනියා බෞද්ධයින් මෙබඳු අවස්ථා මගහරින්නේ ඇයි?

තමන්ගේ වාසිය සඳහා සත්‍යය සත්‍යය ලෙස පිළි නො ගනිමින් අසත්‍යය ම සත්‍යය ලෙස පිළිගන්නා දනන් අතීතයේ පමණක් නොව වර්තමානයේ ද ජිවත් වෙති. පාලකයින් තම පැවැත්ම වෙනුවෙන් මහජනයා වෙත පනවනු ලබන නහුතයක් නීති රීති මෙන් ම ආගම නමැති සංකල්පය ද පීඩිතයා තව තවත් පීඩනයට ලක් කිරීම සඳහා පීඩකයා භාවිතා කරනු ලබන මෙවලමකි. කුලය ද එබඳු ම මෙවලමකි. කුලීනයාට කුලහීනයා, කුලහීනයා බවට පත්වන්නේ හෝ නොවන්නේ ඒ ඒ අවස්ථාවන්ට අනුරූප ව ය. පොඩිනාට අත්වන ඉරණම එයට කදිම නිදසුනකි.

ආදරය පරයා නැගී එන රාගය හේතුකොට ගෙන ඉතා සුළු මොහොතක දී තමන්ගේ තාරුණ්‍යය කුලීනයකු වෙත පුදන පොඩිනා අවසන මරු වසඟයට යන්නේ ද කලකට ඉහත තම සිරුරේ රස උරා බී තමන් ගැහැනියක් බවට පත් කළ අනගිහාමි නම් කුලීනයාගේ ම සැලසුමකට අනුව ය. මෙබඳු කුලීනයින්ගේ ගොදුරු බවට පත් වූ කුලහීන කාන්තාවන් අතීතයේ මෙන් ම වර්තමානයේ ද ජිවත් වෙති. එහි විශේෂත්වය වන්නේ මෙබඳු ඉරණම්වලට ලක් වූ බොහෝ කාන්තාවන් ජිවත් වන්නේ ‘සුන්දර ගම’ තුළ වීම ය. ග‍්‍රාමීය ප‍්‍රදේශවලට සාපේක්‍ෂව නාගරික, විශේෂයෙන් ම කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශයන්හි කුලය නො වැදගත් සංකල්පයකි.

කුලබේදය පිළිබඳ සාහිත්‍යය කෘති නිර්මාණය කළ බොහෝ කතුවර කතුවරියන් ස්පර්ෂ කළේ මතුපිට දක්නට ලැබෙන ලක්‍ෂණ පමණි. මස්ඉඹුල මෙය අතික‍්‍රමණය කරමින් එහි සැඟව ඇති සමාජ දේශපාලන අනුභූතීන් ග‍්‍රහණය කර ගැනීමට සමත්ව ඇත. මතුපිට කතාව පමණක් කියවන්නාට මෙය නො දැනුන ද කෘතියේ යටිපෙළ එය මැනවින් පිළිබිඹු කරයි. මෙය වඩාත් තිව‍්‍ර වන්නේ වීරප්පුලි හේනයා විසින් අනුරාධපුරයේ සිට රැුගෙන විත් රෝපණය කොට, සාත්තු සප්පායම් කොට උස්- මහත් කළ බෝ රුක පිළිබඳ සිදුවීම යි. එක් අතකට මෙය අප, අපේ ඉතිහාසය පිළිබඳ දරන්නා වූ සහ තිබෙන්නා වූ මත ද අභියෝගයට ලක් කරන්නකි. ඒ පිළිබඳ ව නැවත නැවතත් සිතීමට පෙළඹවීමකි.

වීරප්පුලි හේනයාගේ මුනුබුරා වන බබා හේනයා නොහොත් වික්ටර් සූරතිස්ස මුහුණ දෙන ගැටලූව මෙයට කදිම නිදසුනකි. කුඩා කල ගමෙන් පිටමං වන ඔහු නැවත සිය උපන්ගමට පැමිණෙන්නේ ඔහුගේ මිනිබිරිය සමගිනි. අතිතයේ දිනෙක තම සීයා අනුරාධපුරයේ සිට රැගෙන ආ බෝරුක පිළිබඳ ව මෙන් ම අදාළ ස්ථානය පිළිබඳ ව වත්මනෙහි එහි පූජනීය ස්ථානයක් ඉදිකොටගෙන වැඩවසන භික්‍ෂූන් වහන්සේ විසින් කරනු ලබන ප‍්‍රකාශය (164 පිටුව වෙත අවධානය යොමු කරන්න) බබා හේනයා නොහොත් වික්ටර් සූරතිස්ස වික්‍ෂිප්ත කරන්නකි. එහෙත් ඔහු තම හදවතේ පැන නගින ගැටලූව නිරාකරණය කර ගැනීම සඳහා එම පූජනීය ස්ථානයේ වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේගෙන් මෙසේ විමසයි.

‘‘හාමුදුරුවනේ, විරප්පුලි හේනයා කියල මනුස්සයෙක් මේ පන්සල එක්ක මොක වත් සම්බන්ධයක් හෙම තිබුණා කියල මිනිස්සු වත් කියල නැද්ද? ’

එයට පිළිතුරු සපයන භික්‍ෂූන් වහන්සේ...

‘‘ම්හ්... එහෙම සඳහනක් කොහේවත් නෑ. ’’
- පිටුව 165

අතීතයේ සිදු වූ/සිදු කළ වරද වර්තමානයේ ද කරමින් සිටියි. ආනන්ද කුමාරස්වාමිගේ මී මුනුබුරකු හෝ මී මිනිබිරියක ලංකාවට පැමිණි දිනක එබඳු අත් දැකීමකට මුහුණ දෙනවා නොඅනුමාන ය.

කාලයාගේ ඇවෑමෙන් ඇතැම් අවස්ථාවක කුලය නමැති සංකල්පය ද වාෂ්පීකරණය වීම නො වැළක්විය හැකි ය. කතුවරයා මෙය ඉතා මැනවින් ස්ඵුට කොට ඇත.

‘‘උඹ දන්න ඇත්ත හැම දා ම හිතේ තියාගෙන හිටපං... ’’

‘‘ඔහු බෝධිය දෙස බලා සිතින් කියා සිටියේ ය. ඔහුගේ මුහුණට සිනහවක් නැගිණි. මෙයට වසර ගණනාවකට ඉහත දී තමා මෙන් ම තමාගේ අන් වර්ගයා ද තලා- පෙළා දැමූ මිනිසුන් ම මෙදා වෙළෙන්දන් වී මුදල් සෙවීමට ගන්නා උත්සාහය ඔහුට සිහිපත් විය. තමාට හිමි ‘හයිවේ ප්ලාසා’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ඇති රෙදි සේදිමේ සාප්පුව පවත්වාගෙන යන්නේ නුවර වෙසෙන සුරංග බණ්ඩාර යන වෙළෙන්දායි. ඔහු එයට නම් තබා ඇත්තේ 'SURANGA WASH & DRY PROFESSIONALS' හෙවත් ‘... රෙදි සේදීමේ විශේෂඥයෝ’ කියා ය. එයින් ඔහු මසකට ලක්‍ෂ හත- අටක ආදායමක් උපයයි. ... ’
-165, 166 පිටු

මින් පිළිබිඹු වන සමාජ දේශපාලන යථාර්ථය සාහිත්‍යමය කියවීමකින් ඔබ්බට ගමන් කරන්නකි.

සාහිත්‍යය රසයෙන් අනුන වූ සෙන්කොට්ටං කෘතිය පර්ච්ඡේද දොළසකින් සමන්විත වන අතර එකොළොස් වන පරිච්ඡේදය සහ දොළොස් වන පරිච්ඡේදය අතර කාල පරාසය දශක හයකට අධික ය. මෙම ආකෘතිය කෘතියේ ගලා යාමට විශාල බාධාවක් බව ද සඳහන් කළ යුතු ය. අදාළ පරතරය සම්පූර්ණ කළේ නම් මෙය තව තවත් රසවත් වන්නට ඉඩ තිබිණ. ඇතැම් විචාරකයින් ‘‘පොත් ගෙඩි’’ යැයි හඳුන්වන ආකාරයේ කෘතියක් විය හැකි ය. අතැම් විට කතුවරයා ඉහත චෝදනාව තමන්ටත් එල්ල වේදෝ යන අහේතුක බිය හේතුවෙන් කෘතිය දීර්ඝ වීම වැළැක්වූවා ද යන්න සැක සහිත ය. එය කෘතියට මෙන් ම පාඨකයින්ට ද කළ අසාධාරණයක් බව ස`දහන් කළ යුතු ය. කෙසේ නමුත් ඉහත සඳහන් අඩුපාඩුව සහිත ව වුව ද මස්ඉඹුල සිය සාහිත්‍යය ශක්‍යතාවන් ඉතා මැනවින් පිළිබිඹු කළ කෘතියක් ලෙස ‘‘සෙංකොට්ටං’’ කෘතිය හැඳින්විය හැකි ය.

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails