Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොහෝ විට පේ‍්‍රක්‍ෂකයෙක් චිත‍්‍රපටයක් නැරඹීමට සිනමා හලකට පැමිණෙන්නේ හුදකලාව නොවේ. සගයෙකු ද කැටිවය. චිත‍්‍රපටය දැනෙන සුළු නම් එය නැරඹීමෙන් පසුව පේ‍්‍රක්‍ෂකාගාරය තුල සංවාදයක් මතුවීම අසාමාන්‍ය සිදුවීමක් නොවේ. උඳුවප් වැහි කෝඩය විසින් ඉනි අවන් නැරඹු පේ‍්‍රක්ෂකයින් මඳකට සිනමාහල් ආලින්දයේ රඳවා ගන්නා ලදී. සිනමා කෘතිය පිළිබඳව අපගේ මෙම කියවීම ඒ මොහොතේ පේ‍්‍රක්ෂකයින් අතර ඇති වු සංවාදයෙන් පෝෂණය වු බව පවසන්නේ ඔවුන් වෙත දක්වන ගෞරවයක් වශයෙනි.

සිය සිනමා භාවිතය හරහා මෙතෙක් ගොඩ නගාගත් රසික සමාජයට එක් වන ලෙසට අශෝක හඳගම ඉනි අවන් තුලින් දමිල පේ‍්‍රක්ෂකයන්ට ආමන්ත‍්‍රණය කරයි. මෙම සිනමා පටය නරඹන රසිකයන් අතර දමිල සුළුතරයක් සිටිනු දැකීම පවා අතිශයින් බලාපොරොත්තු ඇති කරවන සුළුයි.

ශ‍්‍රි ලංකාවේ මෙතෙක් බිහි වු සම්භාව්‍ය සේ ගැනෙන සිනමා කෘති සියල්ල පාහේ සිංහල චිත‍්‍රපට වේ. ශ‍්‍රි ලංකාව වෙනුවෙන් විදේශ සම්මාන උළෙල නියෝජනය කරන ලද මෙම චිත‍්‍රපට දේශිය සිනමාවක් උදෙසා වුවත් මේ සියල්ල පාහේ හුදෙක් සිංහල පේ‍්‍රක්ෂකයින් සඳහා තිරගත කරන ලද චිත‍්‍රපට වේ. මේ සුපුරුදු ක‍්‍රමයෙන් බැහැරව ඉනි අවන් සිනමාපටය ප‍්‍රථම දර්ශනය සඳහාම දමිල පේ‍්‍රක්ෂකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වු බව සිංහල බහුතරයක් වෙසෙන කුරුණෑගල නගරයේ සිනෙක්ස්පෝ සිනමාහලට ගිය අපට දැක ගන්නට ලැබුණි. මෙය නවක දමිල සිනමාකරුවන්ට ඔවුන්ගේ නව ප‍්‍රවේශයන් පිළිබඳව විශ්වාසයක් ගොඩ නගා ගැනීමට හේතුවනු නොඅනුමානය.

ඉනි අවන් දේශපාලනය

ඉනි අවන් ශ‍්‍රි ලාංකික දමිල සමාජයේ පශ්චාත් යුධ සමයේ වර්තමාන පැතිකඩක් නිරාවරණය කරන සිනමාපටයකි. තිස් වසරක දීර්ඝ කාලීන යුද්ධය විසින් ශ‍්‍රි ලංකාව තුල දමිල සමාජය පිළිබඳව සුවිශේෂ වු සිංහල කියවීමක්ද, සිංහල සමාජය පිළිබඳව දෙමල කියවීමක්ද නිර්මාණය කර තිබේ.

සිංහල ජාතිවාදී දේශපාලන බල ව්‍යාපෘතිය තුල සිංහල කියවීම නිර්මාණය වන අතර දෙමල කියවීම සඳහා එළඹුම පෙළ ගස්වන්නේ දෙමල ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයේ මැදිහත් වීම තුලය.

ඉහත සඳහන් සිංහල ජාතිවාදී කතිකාව මගින් ඉනි අවන් සිනමාපටයේ දේශපාලනය තුල, අශෝක හඳගම විසින් LTTE ත‍්‍රස්තවාදියා මානවවාදී සෙලෝලයිට් වීරයෙක් බවට පත් කර ඇති බවට චෝදනාවක් කරළියට එයි. බිහිසුණු LTTE යුධ යාන්ත‍්‍රනයට නතු වු මිනිසෙකු විකෘති මිනීමරුවෙකු විනා මානව දයාවෙන් යුතු සංවේදී මිනිසෙකු වන්නේ කෙසේදැයි ප‍්‍රශ්න නගනුද ඇසේ.

LTTE දේශපාලනය තුලින් දමිල තරුණ තරණියන්ගේ බලාපොරොත්තු ඉටුනොවු විට සියල්ල විනාශ වු තත්වයක් යටතේ මේ තරුණ තරුණියන් අත් දුටු ජීවන යථාර්තයක් තිබේ. ඒ ඔවුන්ගේ ජීවිත යම් පිරිසකගේ දේශපාලන අරමුණු උදෙසා තොරොම්බල් වු බවයි. යුද්ධයෙන් පසු නැවත ජීවිතය අලූතින් ගොඩ නගා ගැනීමට ඔවුන් තුළ වන බලාපොරොත්තුවේ කවර නම් වරදක් වේද? එම බලාපොරොත්තුවට එරෙහි ව්නනේ විවිධ බල ක්ෂේත‍්‍ර ඔස්සේ කරලියට එන එම සමාජය තුලින්ම ගොඩ නැගෙන සූරා කෑමේ යාන්ත‍්‍රනයයි.



දකුණේ සිංහල සමාජය දශක තුනක් පුරා දුටු ප‍්‍රාර්ථනා සිහිනයක් තිබේ. එය නම් ඔවුන්ගේ සකල විධ ප‍්‍රශ්නවලට බලපාන හේතු සාධකය ලෙස හඳුන්වා දුන් LTTE සංවිධානයේ අවසානයයි. එම දෛව මොහොත වීදිපුරා කිරි උතුරවමින් සමරා වසර දෙකකට නොඅඩු කාලයක් ගත වී තිබේ. ඉන් ඉක්බිති මාධ්‍යයක් හරහා වාර්තා කරන ලද සේ එම ප‍්‍රදේශ මහත් වේගයකින් සංවර්ධනය වනු බලා සිටියේ ඊර්ෂ්‍යා පරවශ හැගීමකිනි. රූපවාහිනී සංවර්ධනය නැරඹීමෙන් පමණක් තෘප්තිමත් නොවී අපි ගී ගයමින් මළගමකට යන සුපුරුදු විලසින් කාපට් අතුරන මාවත් දිගේ උතුරු නැගෙනහිර සිය සංචාරක කලාපය කර ගත්තෙමු. මෙසේ දමිළ සමාජය සිංහල සමාජයේ ප‍්‍රමෝදය ජනිත කරන කලාපයක් බවට පත්විය.

ප‍්‍රමෝදයට ගල් ගැසීම

ඉනි අවන් සිනමා පටය සිංහල සමාජය විසින් යුද්ධයට පසු විඳීමට පටන් ගන්නා ලද ප‍්‍රමෝදය විනාශ කරයි. එය ප‍්‍රමෝදයෙන් ඔබ්බෙහි වු දමිළ සමාජය අත් විදින යථාර්තයේ පැතිකඩ පිළිබඳව අප මහත් තිගැස්මකට ලක් කරයි. කිසිවක් නිෂ්පාදනය නොකරන එහෙත් ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගැනීමට යෝජනා කරන සමාජයක ජීවත් වන අප අත් විඳින කාලකන්නිකම උතුරේ ජනතාවටද යෝජනා වී තිබේ. ඉන් අවන් මැදිහත් සිතින් කියවන පේ‍්‍රක්ෂකයා එය වැළඳගෙන මේ යථාර්තය පිළිබඳව සබුද්ධික වනු ඇත.

සමස්ථයේ අසමත් වීම

පශ්චාත් යුධ සමයේදී උතුරු නැගෙනහිර ජනතාව අත් විඳ පසක් කරගත් ඛේදනීය සත්‍ය වන්නේ ඔවුන් ශ‍්‍රි ලාංකික දේශපාලන කතිකාවෙන් සේම ආර්ථික කතිකාවෙන්ද පිටමං කර ඇති බවයි. ඔවුන් අලූත් වටයකින් එම සමාජයේ ගොදුරක් බවට පත් වී තිබේ. ඔබට උවමනා නම් ඔවුන් දමිළ ඩයස් හෝරාවේ ගොදුරක් ලෙස හැඳින්විය හැක. පශ්චාත් යුද සමය තුල රැකියා අවස්ථා ජනනය නොවූවා සේම ව්‍යාපාරික පංතියට වෙළඳපොලක් බිහි නොවුණු බව ඉනි අවන් තුල දේශපාලනිකව සංවාදයට බඳුන් වේ. ජුවලරි හිමියාට තව දුරටත් එහි වෙළඳපොලක් නොමැත. මේ ආර්ථිකයේ පාලනය බාරගෙන සිටි ව්‍යාපාරික පංතිය එළඹෙන නව සංවර්ධනයේ ඔවුන්ට හිමි කොටස ලබා ගැනීමට කෙටි මං සොයමින් හිඳියි. දකුණේ දේශපාලන ව්‍යාපාරික පංතිය විසින් හමුදාව හැර ගිය සෙබලූන් ඔවුන්ගේ පාතාල කටයුතු සඳහා යොදා ගන්නේ යම් සේද ඊට ගුණෝත්තර ශ්‍රේණියකින් යුතුව උතුරේ පුනරුත්තාපිත හෝ එසේ නොවු LTTE තරණයන් මේ සඳහා පාවිච්චි වේ.



සිනමා රූපී කියවීමකට කවුලූවක්

අශෝක හඳගම විසින් සීමිත දර්ශන තල ඔස්සේ යුද්ධයකට නතු වු ප‍්‍රදේශයකට යුද්ධය මඟින් සිදු කර ඇති විනාශය සිනමාත්මකව නිරූපනය කිරීම සඳහා ක‍්‍රම කීපයක් උපයෝගී කර ගනී. ජන ශුන්‍ය දර්ශන තල, අඳුර, හරිත වර්ණයෙන් තොර කටු පඳුරු සහිත ශුෂ්ක භූමි දර්ශන හා උචිත සංගීතය මඟින් කාන්සිය දනවන රූපාවලියක් අප ඉදිරියේ දිග හරී. සිනමා පටය පුරාම චරිතයන්හි නම් සඳහන් නොකිරීමෙන් ඔහු එම චරිත ඒ වට පිටාව නියෝජනය කරන පොදු සංකේත බවට පත් කරයි. නම සඳහන් නොවන පුනරුත්තාපනය කරන ලද තරුණයාට සිය ගමෙන් ලැබෙන්නේ ආක්‍රෝෂ පරිභාවයෙන් පිරුණු පිළිගැනීමකි. ඔහු උපන් ගමේ වැසියන් ඔහුගෙන් හඬගා අසන ප‍්‍රශ්නයක් තිබේ. නුඹ පමණක් මිය නොයා ඉතුරු වුණේ ඇයි? ඔහුගේ පාසල් වියේ පෙම්වතිය කණවැන්දුම් මවක් වී සිටී. ඇගේ ඛේදවාචකය ආත්ම කතනයක (monologue) ස්වරූපයෙන් දිග හැරේ. LTTE බලහත්කාරයෙන් ගැලවීමට ඇයට ඇති එකම විකල්පය වන ගැබ් ගැන්වීම සඳහා ඇගේ පියාට තරුණයන් අහිමි පරිසරයෙන් සොයා ගත හැකි වන්නේ ඇගේ සීයා වීමට තරම් වයෝවෘද්ධ මහල්ලෙකි. මල්වෙඩි වෙනුවට ෂෙල් ප‍්‍රහාර වලින් අලංකෘත මධු සමය එළඹි රාත‍්‍රියේ වෙඩි හඩින් බියපත්ව ඇඳ යටට රිංගන මනාලිය රැකවරණය පතන්නේ මෘත දේහයකිනි. මහල්ලා මංගල රාත‍්‍රිය මළ ගමක් බවට පත් කරමින් මිය යයි. දමිල යුවතියගේ සියළුම ජීවන අපේක්ෂාවන්ගේ අහිමි වීම ඉතාමත් ප‍්‍රභලව මතු කිරීමට සිනමාකරු සමත් වේ. ඒ සඳහා ඔහු පිහිට කර ගන්නේ යථාර්ථවාදී සම්භාවිතාවට (Probability) එහා ගිය සිනමාත්මක රීතියකි.

සිනමාකරු මෙම දැරියට ඇගේ ළමා කාලය, නර්තනය පිළිබඳ හීන, කන්‍යාභාවය හා සැමියා අහිමි වීමේ ශෝකාන්තය පේ‍්‍රක්ෂකාගාරයට ප‍්‍රක්ෂේප කරන්නේ ප‍්‍රබල තිර පිටපත නිසාවෙනි.

යුද්ධයෙන් දිවි ගලවාගත් දමිල තරුණයා පා තබන්නේ ඔහු ගොදුරු කර ගැනීමට මාන බලමින් සිටින අලූත් දඩබිමකටය. යුද්ධයෙන් පාඩම් උගත් ඔහු මේ දඩයක්කරුවන්ට එරෙහිව සටන් ප‍්‍රකාශ කරයි. සිනමා පටයේ අවසානය මෙම සටන් ඇරඹුම සිනිටුහන් කරයි.

"කතාවක් නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කල හැකිය. එහෙත් ජීවිතය වියා හමාර කල නොහැකිව අතතින් මෙතනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වු මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය."
- මළගිය ඇත්තෝ

මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ජීවිතය පිළිබඳ ඉහත ප‍්‍රකාශය සිහි ගන්වමින් සිනමා පටය නවතී. ඉන් පසු සිදුවන්නේ කුමක්ද? ඉතා ප‍්‍රබල ලෙස ඉහත ප‍්‍රශ්නය පේ‍්‍රක්ෂකගාරයට පතිත කිරීමට සිනමාකරු සමත් වේ. එය පශ්චාත් යුද සමය තුල දමිල සමාජය නැවත ඇරඹී ඇති ජීවන අරගලයේ ස්වභාවය පිළිබඳ සිතා බැලීමට කරන ආරාධනාවක් වැනිය. එම අරගලයේ කතාව යුද්ධය තරම්ම සංකීර්ණ හා දරුණු නොවන්නේද?

සිනමාකරු එම අරගලය තුල වු පංති ස්වභාවය හඳුනා ගනී. ජාතිවාදී තලයට ලඝු කරමින් කරනු ලබන සරල සුවදායක, ජනප‍්‍රිය තලයේ කියවීමෙන් බැහැරව එය කියා පෑමේ අසීරු උත්සාහය අශෝක හඳගම විසින් ජය ගෙන ඇති බව අපි කෘතිය පුරාම දුටුවෙමු. සිංහල ජාතිවාදය තව දුරටත් දමිළ සමාජයේ අංක එකේ සතුරා ලෙස ප‍්‍රකාශ කල හැකි නොවේ.

ජාති වාදයෙන් බැට කෑ සුළු ජාතික දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නගන වාමාංශික සිනමා කරුවෙකු ලෙස අශෝක හඳගම හඳුනාගත් පිරිසට මේ සිනමා කෘතිය ප‍්‍රවේශමෙන් කියවන ලෙස අපි ආරාධනා කරමු.



ත‍්‍රස්තවාදයට මරා දැමිය නොහැකි වු මානව දයාවක් කතානායක තරුණයා තුල ඇති බවට දැඩි විශ්චාසයක් සිනමාකරු ප‍්‍රශංසනීය ලෙස අප තුළ ගොඩ නගයි. ළමයෙකු මෙන් රසකැවිලි කන, බිරිඳගේ නර්තනය මිතුරෙකුගේ ළබැඳි සිනාවෙන් නරඹන, හුදකලා තරුණ ගැහැනියක සමඟ සංවරව සිටිය හැකි එම මානවකයාගේ ජීවිතය ජයග‍්‍රහණයෙන් කෙලවර විය යුතු යැයි නොපතන කිසිවෙකු පේ‍්‍රක්ෂකාගාරය තුල නොසිටි බව අපේ විශ්වාසයයි. සිනමා පටය නරඹන අතර අප අනන්‍ය වන්නේ වරෙක සමාජෙයේ වෛරයට බඳුන් වු එම තරුණයා සමඟයි. සිනමාකරුවෙකු සේ හඳගම පෙන්වන ශක්‍යතාවය එයයි. තරුණයාගේ ත‍්‍රස්ත ක‍්‍රියා පිරි අතීතය රික්තයක් තුළ තැබීමෙන් පේ‍්‍රක්ෂකයාට සිය පරිකල්පනීය අවකාශය තුල එය රිසිසේ කියවා ගැනීමට ඉඩ සලසා ඇත.

මීට අමතරව හඳගමගේ සිනමාත්මක භාෂාවට හසුවන ගැහැණියක් සිටී. එය යුද්ධය විසින් ජීවන අශාවන් සුන්කර දමන ලද අභාග්‍ය සම්පන්න දෛවෝපගත ගැහැනිය පිළිබඳව කතාවයි. යුද්ධය විසින් ඇයව කැදවාගෙන විත් ඇත්තේ කුමන නම් ආස්ථානයකටද? චිත‍්‍ර පටය නැරඹීමෙන් අනතුරුවද තිදරු මවක් වන එම ගැහැනියගේ සිනාව සදාකාලික පැල්ලමක් සේ අපේ හදවතේ ගැඹුරුම ස්ථානයක තැන්පත් වේ. එය මීට පෙර කිසිදු සිනමාකරුවෙක් ස්පර්ශ නොකල භූමියකි.

තත්කාලීන සමාජය රජකරන විරැකියාව, ඉච්ජා භංගත්වය, හිංසනය ආදී පීඩනයන් හමුවේ තරුණයා විසින් නැවත තුවක්කුව සොයා යෑමේ විභවය බැහැර කල නොහැකි බව සිනමාකරු පවසන්නේ වරක් නොවේ. ඒ තුවක්කුව ඔහු විසින් වල දැමු ඔහු අකමැති අතීතයයි. එය නැවත ගොඩ ගැනීම දක්වා ඔහුව තල්ලූ කරන බල වේගය හඳුනා ගැනීමට සිනමා පටය නරඹන කිසිවෙකුට අසීරු නොවේ.

[සාමුහික කියවීම- ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත කුමාර]

. Kahatapitiya/ C. Kumara - ජයන්ත කහටපිටිය/ චමින්ද ක්‍රිශාන්ත කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails