Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2013 පෙබ. 02 වැනි දා 'දි අයිලන්ඩ්' පුවත්පතේ පළවූ MR Finishing JR's Relay, Bodu Bala Sena At Temple Trees & Fire-Walking Over The Jaffna Public Library නැමති ලිපියේ සිංහල පරිවර්තනය. [පරි- 'යහපාලනය ලංකා' වෙතින්.]

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙත නෛතික බලය පැවරීම සහ අගවිනිසුරු පදවියේ සේවා කාලය අවුරුදු 3 කට සීමා කිරීම සඳහා, 19 වැනි සංශෝධනයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් කියැවේ. ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වශයෙන් වැදගත් වූ ජනාධිපති ධුරය දැරීමේ වාර ගණන සම්බන්ධයෙන් පැවති සීමාව 18 වැනි සංශෝධනය හරහා ඉවත් කළ ආණ්ඩුව, දැන්,
අධිකරණයේ ස්වාධීන්තවයට මූලික වශයෙන් වැදගත් වන අගවිනිසුරු ධුරයේ සේවා කාලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සීමා කිරීමට යයි. අධිකරණ බලය අභ්‍යාස කිරීම පිළිබඳ කාරණයේ දී, ස්ථාවර නියෝග සහ නීති යනු දෙකක් මිස එකක් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෑතක දුන් තීන්දුවේ ප්‍රශ්නය ද මේ මගින් විසඳෙනු ඇත.

වර්තමාන ආණ්ඩුව වෙන මොකකින් අසමත් වෙතත්, කෛරාටික කමින් සහ ප්‍රෝඩාවෙන් අගතැන්පත් ය. සියලු මිනිසුන්ව සියලු කල්හි රැවටිය නොහැකි බව ආණ්ඩුව දනී. එහෙත්, අවශ්‍ය අයව අවශ්‍ය තන්හි දී රැවටීමේ කලාව හොඳින්ම දනී. මීට අවුරුදු 30 කට කලින් රනිල් වික්‍රමසිංහලාගේ පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෙල්ලමට ගත්තාටත් වඩා අධම ආකාරයෙන් එය සමග සෙල්ලම් කිරීමට හැකි බව ප්‍රදර්ශනය
කිරීමෙන් රනිල්ව මෙල්ල කොට, ජනාධිපති වීමේ තම වාරය ආ විට ඒ හැම ගැලවිජ්ජාවක්ම තමන්ටත් පාවිච්චි කළ හැකි වෙතැ යි යන බලාපොරොත්තුව රනිල්ගේ ඔලුවට දැමීමට රාජපක්ෂ සමත් විය. එසේ ගොනාට අන්දවන ලද විරුද්ධ පක්ෂ නායකයා, ආණ්ඩුවේ වැරදි ක්‍රියාවන්ට එරෙහි විරෝධතා ගොඩනගනවා වෙනුවට ඒවාට සහාය වෙමින් සහ අනුබල දෙමින් සිටී.

අතීතයේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාමය කරණම්වලට නිර්භීතව විරෝධය පෑ සියල්ලන්වමත් රවටමින්, මේ වන විට ඒ හැම කෙනෙකුගේම කටවල් වසා, තමන් අභියස නිවටයන් කිරීමට ආණ්ඩුව සමත්ව තිබේ. අද ආණ්ඩුවේ සිටින බොහෝ මන්ත්‍රීවරුන් පමණක් නොව, ජනාධිපතිවරයාමත්, 1977 සහ 1994 කාලයේ එක්සත් ජාතික පක්ෂය කළ කී සියලු දෙයට එරෙහිව සිටි ප්‍රබල විවේචකයෝ වූහ. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ ජංජාලය පිලිසකර කිරීම, 1994 දී තමන් ලද ජයග්‍රහණය තුළ ඔවුන් දුන් ගාම්භීර ප්‍රතිඥාව විය. ඒ සඳහාම, ඔවුහූ 2000 දී විකල්ප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ද ගෙනාහ. එහෙත්, 1994 දී සහ 2000 දී තමන් ගත් එම ස්ථාවරය වැරදි බවටත්, 1978 දී ජේ.ආර්. ජයවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිවැරදි බවටත්, මේ වන විට තමන් ලවාමත් ඔවුහූ විශ්වාස කරවා ගනිමින් සිටිති. නිකංම නිවැරදි නොව, යුක්ති සහගත ආකාරයෙන් නිවැරදි බව ය. 'ධර්මිෂ්ඨ සමාජය' සිහියට නංවා ගන්න, එය දැන් පේන තෙක් මානයේ ය. ජේ. ආර්. ජයවර්ධන පටන් ගත් ව්‍යවස්ථාමය කඩින්කඩ දිවීමේ තරගයේ අවසාන වටය මේ
වන විට මහින්ද රාජපක්ෂ නිමා කරමින් සිටී.




1978 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනා ව්‍යවස්ථාවේ හැම අකුරකමත්, හැම අරුතකමත් ලොකුම ආරක්ෂකයන් බවට අද පත්ව සිටින්නේ වර්තමාන ආණ්ඩුවයි. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව පන්නා දැමීම සඳහා ඔවුහූ ඒ ව්‍යවස්ථාවේ හරයෙන්ම දිව්රුවේය. අයුක්තිය යුක්තිය කිරීම සඳහා ඒ ව්‍යවස්ථාවේ අකුරක් නෑර කරේ තියාගෙන යන්නට, ඔවුහූ සිය පස්සා ගාත්වලින් පාර්ලිමේන්තුව තුළ නැගී උන්හ. නීතිය
සහ ස්ථාවර නියෝග අතර වෙනසක් ගෙනහැර පෑමෙන් අධිකරණය නොමග ගොස් ඇති බව පෙන්වා දුන්හ. නීතිය සහ ස්ථාවර නියෝග අතර ඇති "හෝ" යන නිපාතය විනිසුරුවරුන්ට අතහැරී ඇතැ යි කීහ. හිටපු නීති පීඨාධිපති සහ දැන් පාර්ලිමේන්තුවේ සිටින ප්‍රධාන පිලිස්තීනුවා වන ජී.එල්. පීරිස්, මේ තීන්දුව දුන් විනිසුරුවරු තමාගේ හොඳම ගෝලයන් අතර සිටින්නට නැතැ යි උරුහම් බෑවේය. තමන්ගේ තර්කය සනාථ කරනු වස් සහ තවදුරටත් එය තර කරනු වස්, දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පිලියෙල කෙරේ. මොන තරම් නිපුණ ද, කෛරාටික ද, නවීකාරක ද?

බොදුබල සේනා

ව්‍යවස්ථා සංශෝධන හැරුණුකොට, මඩේ ලගින්නට ආණ්ඩුව යොදාගන්නා තවත් ප්‍රියතම නගුලක් වන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ය. ව්‍යවස්ථාවෙන් අපේක්ෂිත පාර්ලිමේන්තුවේ භූමිකාවෙන් ජනාධිපතිවරයාට කිසි වැඩක් නැතත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක්‍රමයෙන් ඔහු බොහෝ වැඩ ගනී. දිනෙන් දින වියැකී යන 'ජාතික සංහිඳියාව' හෝ ඇඟිලි අස්සෙන් කවදත් ලිස්සා යන 'දේශපාලන විසඳුම' සොයා ගැනීමට අදාළව ආණ්ඩුව කරන දේවල් සහ නොකරන දේවල් සඳහා ඔහු පාවිච්චි කොට ඇති ප්‍රකට අවසරය වන්නේ තේරීම් කාරක සභාව ය.

විටෙක, දෙමළ ජාතික සන්ධානය සමග මොනයම්ම හෝ අර්ථවත් සාකච්ඡාවක් නොකර හැරීමේ තර්කය වශයෙන් එය පාවිච්චි කෙරේ. තවත් විටෙක, ආණ්ඩුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, නීතියෙන් මෙන්ම සම්මතයෙන් ද පිළිගැනෙන සකල ධර්මතාවන් සහ ක්‍රියා පරිපාටි සුනුවිසුණු කර දැමීම සදහා කුලියට ගන්නා තුවක්කුව වන්නේත් එයයි. ශිරානී බණ්ඩාරනායක සම්බන්ධයෙන් එය මනාව පෙන්නුම් කෙරුණි.
තවත් අවස්ථාවක, බොදුබල සේනා වැනි චන්ඩි බලඇණි සමග දීග ගොස්, රතු පලස් මතින් ඔවුන්ව පිළිගැනීමටත් තේරීම් කාරක සභා පාවිච්චි කළ හැකිය. "රට පුරා හිස ඔසවමින් ඇති ආගමික අන්තවාදය" ගැන විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ විවේචනය බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රතික්ෂේප කොට සිටි අවස්ථාවේ, එම ගොන් නියෝජ්‍ය ඇමතිවරයාගේ උත්තරය නොපිළිගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිළි කෙළේය: "ජනාධිපතිවරයා වගේම ආණ්ඩුවත් මේ තත්ත්වය ගැන ඉන්නේ බලවත් සැලකිල්ලෙන්. දේශපාලන වෙනස්කම් පැත්තකින් තියලා අපි මේ ප්‍රශ්නය වහාම විසඳගන්න ඕනේ." එසේ කී යහපත් ඇමතිවරයා, ජනාධිපතිවරයාගේ මල්ලෙන් විජ්ජාවක් එළියට ගත්තේය: "ජාතික අසහනය සහ ආගමික අන්තවාදය වර්ධනය වීම ගැන පරීක්ෂා කර බලන්න විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවනවා."

එහෙත් මේ අවස්ථාවේ දී, තේරීම් කාරක සභා සර්කස් එක එන තෙක් ඉන්නට පුලුවන්කමක් ජනාධිපතිවරයාට නොතිබුණි. පෙනෙන හැටියට, දෙමළ ජාතික සන්ධානයට වඩා බොදුබල සේනාව ජනාධිපතිවරයාට වැදගත් පාට යි. අගවිනිසුරුවරියකට වඩා එය වටිනා පාට යි. එනිසා, බොදුබල සේනා නායකයින්ව අරලියගහ මැදුරේ විශේෂ හමුවකට කැඳවන ලදි. ජනාධිපතිවරයා සමග බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, හෙළඋරුමයේ ගම්මන්පිල සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සාකච්ඡාවට සහභාගී වූහ. එහෙත් ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී කතා කළ නිමල් සිරිපාල ද සිල්වා සිටියේ නැත.





"අවුරුදු 30 ක යුද්ධයකින් අපි බැටකාලයි ඉන්නේ. දැන් අපි එක ජාතියක් විදිහට එකට ජීවත් වෙන්න ඕනේ." යි ජනාධිපතිවරයා බොදුබල සේනාකරුවන්ට මතක් කර දුන් බව වාර්තා විය. එය හරියට, ගොදුරු භක්ෂකයෙකුගෙන් ගොදුරට හානියක් නොකරන්නැ යි ඉල්ලා සිටීමක් බඳු ය. රටේ විවිධ පළාත්වල මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ව්‍යාපාර අවුළුවන ප්‍රධාන ප්‍රකෝපකාරීන් වශයෙන් බොහෝ දෙනා සළකන සංවිධානයකට ජාතික වැදගත්කමක් පැවරීමෙන් ජනාධිපතිවරයා කරන්නේ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමක් නොව. එම සංවිධානය සාකච්ඡාවකට කැඳවීම වූ කලී, ජනාධිපතිවරයාගේ අනුග්‍රහයක සංකේතයක් වශයෙන් ඔවුන් සළකනවා මිස, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව සමග ජාතික සංහිඳියාවකට ජනාධිපතිවරයා සමග එකතු වන ලෙස කළ ඉල්ලීමක් වශයෙන් ඔවුන් සලකන්නට ඉඩක් නැත.

සැබෑව වන්නේ, මීට සිව් වසකට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරිමෙන් අවසන් කෙරුණු යුද්ධයෙන් මේ ආණ්ඩුව දේශපාලනිකව කිසිවක් උගෙන නැති බවයි. ඒ යුද්ධයේ දී මේ රට පත් වූ අගාධයේ තරම ද ඔවුන්ට අමතක වී තිබේ. මීට බෙහෙවින් අදාළ සහ මේ සමග සැසඳිය හැකි ඉන්දීය අත්දැකීම්වලින් අපේ ආණ්ඩුව පාඩම් උගනිති යි අපේක්ෂා කිරීමත් මෝඩ කමකි. ආර්.එස්.එස්. (රාශ්ට්‍රීය ස්වයංසේවක් සංග්) සහ ෂිව් සේනා වැනි හින්දු අන්තවාදී සංවිධාන මගින් අවුලුවන ලද වර්ගවාදය ආපස්සට හරවා, ඒ සඳහා වන ව්‍යවස්ථාමය සහ ලෞකික දේශපාලනයේ ප්‍රගතිගාමී අත්දැකීම් ඉන්දියාව පාඩමට ගත්තේය. ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා යනු, ඉන්දීය හින්දු අන්තවාදී මූලාදර්ශවල ලාංකීය බෞද්ධ ප්‍රභේදයන් ය. ඉහත කී ඉන්දියානු අන්තවාදී සංවිධාන දෙක සමග, බී.ජේ.පී. පක්ෂය හැරුණුකොට, ඉන්දියාවේ වෙන කිසි ප්‍රධාන පක්ෂයක් සම්බන්ධකම් පවත්වන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම, ජාතික හෙළ උරුමය සහ බොදුබල සේනා වැනි ව්‍යාපාරවල හොඳ හිත දිනා ගැනීමට පොරකති. ඒවා, අපේ ආණ්ඩුවට, තමන්ගේ මානව හිමිකම් කැරැට්ටුව සහ යුද්ධයෙන් පසුව පවා දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමට අසමත් වීමත්, දැන් අගවිනිසුරුවරිය පන්නා දැමීමත් ඉලක්ක කොට මතුවෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රජාවේ පීඩනයට එරෙහිව බලමුලු ගැන්විය හැකි දේශපාලනික කසකාරයන් ය.



ආණ්ඩුව විසින් එක්සත් ජාතික පක්ෂය බෙලහීන කොට හීලෑ කරගෙන ඇති ආකාරයෙන්ම, අන්තර්ජාතික ප්‍රජාවට එරෙහිව දේශීය ප්‍රජාව උසිගැන්වීමේ කලාව ද ආණ්ඩුව ප්‍රගුණ කොට තිබේ. එන මාර්තුවේ දී, ජිනීවා ගොස් ගිය වර මෙන් තොරතෝංචියක් නැතිව තර්ක කොට මෝඩයෙකු වෙනවා වෙනුවට, කියන දේකට එකඟ වී ගෙදර ඇවිත් කිසිවක් නොකර සිටීමේ ප්‍රතිපත්තියකට මෙවර ආණ්ඩුව මාරු විය හැකිය. ජාතික පුවත්පතක කතුවරයෙකු සඳහන් කර තිබුණා සේ ජාත්‍යන්තරය ඉදිරියේ ආණ්ඩුව වෙට්ට පිත්තල වී ඇතිවා පමණක් නොව, දේශීය වශයෙන් පස්ස පැත්ත ආරක්ෂා කර ගැනීම සඳහා හෙළ උරුමය සහ බොදුබල සේනා වැනි බලගතු අංගෝපාංග ද පෝෂණය කරගෙන සිටී.

යාපනේ මහජන පුස්තකාලය

ආණ්ඩුව පැත්තෙන් බලන විට, පරාජිත එල්.ටී.ටී.ඊ. සංවිධානය මියගොස්ම නැත. තමන්ගේ ඕනෑම ක්‍රියාවක් විවේචනයට ලක්කරන ඕනෑම කෙනෙකු තුළ ආණ්ඩුවට කොටියෙකු පෙනේ. ආණ්ඩුවේ ඇස් ඉදිරියේ කොටියෙකු වීමට දෙමළෙකුම විය යුතු නැත. ශිරානී බණ්ඩාරනායක පවා කොටින් කෙරෙහි ඇල්මක් ඇත්තියකැ යි චෝදනාවට ලක්වුණි. හේතුව, ඇගේ නීතිඥයා දෙමළ ජාතිකයෙකු වීමයි. ඒ අර්ථයෙන්, ආණ්ඩුව එක්තරා විදිහක සංහිඳියාවක් අත්කරගෙන ඇතැ යි කෙනෙකු සරදමට කිව හැකිය. එසේ තිබිය දී, යාපනේ පුස්තකාලය ගිනි තැබීමත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැර කිරීමෙන්, මෑතක දී, ආණ්ඩුව බරපතල ලෙස පෙලෙන කොටි මතිභ්‍රමයට අනපේක්ෂිත මුක්කුවක් ලැබුවේය.
අවුරුදු තිස් දෙකක් තිස්සේ අරපරිස්සමින් රැකගෙන සිටි බවක් පෙනෙන පොලිස් රහසක්, විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ මතක සටහනක් තුළින් දැන් එළියට පැන තිබේ. ඔහුගේ 'මතකයට' අනුව, 1981 දී යාපනේ පුස්තකාලය ගිනි තබා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසිනි. මේ යල්පීනූ පොලිස් අනාවරණයේ ඇති මුරුග ව්‍යාජත්වය හෙලි කිරීමේ අවශ්‍යතාවක්, ඒ යුගයේ ජීවත් වූ සහ, 'මර්ජ්' සහ සී.ආර්.එම්. වැනි
සංවිධාන තුළින් ඒ යුගයේ අවාසනාවන්ත සිදුවීම් ලේඛනගත කළ අප වැන්නන්ට ඇත්තේ නැත. මගේ අරමුණ, නිවැරදිවම කිවහොත්, මගේ ප්‍රශ්නය වෙන එකකි. එම කටුක අත්දැකීම් අත්වින්ද සහ යුද්ධයෙන් පණ ගැටගසා ගත් අයවළුන්ට තවත් රිදවීමක් සහ අවමානයක් වෙතැ යි යන අංශුමාත්‍ර හෝ තැකීමකින් තොරව, ඉතිහාසයට බොරු කිරීම සඳහා පරණ සිදුවීම් ව්‍යාජ වේශයකින් තිරිහන් කරමින් තිබෙන පරිසරයක, මොනම විදිහකවත් සංහිඳියාවක් ගැන කෙසේ නම් අපේක්ෂා දල්වා ගන්න ද?



රාජන් ෆිලිප්ස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails