Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවිය ගැන පණ්ඩිතමානී ව අදහස් පළ කිරීමට තරම් මම අභ්‍යාසවෘද්ධ කවියකු හෝ විචාර පටුත්වයක් ඇත්තෙක් හෝ නො වෙමි. එමෙන්ම කවියකු, කවිය පිළිබඳ තම ආස්ථානය පළට කරන්නේ ඒ පිළිබඳ විචාර ප්‍රවාද ඇද බෑමෙන් නො වේ. ස්වකීය නිර්මාණ සමුච්චය සහෘදයා ඉදිරියට පැමිණ වීමෙනි. එහෙත් වසර කිහිපයක් තිස්සේ ඉඩ හසර ලබන සෑම විටෙක ම අභිරුචියෙන් විවිධ කවි රස විඳින්නකු හා කවි ලිවීමේ නිර්මාණ අභ්‍යාසයේ නිරත වන්නකු වශයෙන් මගේ දෙවැනි කව් එකතුව පළ කරන මොහොතේ කවිය පිළිබඳව මගේ ආස්ථානය කෙටියෙන් මෙසේ පළ කරන්නට මම සාහසික වීමි.

කවිය වියුක්ත අහස් විමනක් නො වී එය උද්භව වන සමාජ දේශපාලන හා ආර්ථීක සන්දර්භය විවරණය කළ යුතු ය, කවිය යම් සමාජ අර්ථ සාධනයක් සිදු කළ යුතු ය යන ප්‍රවාදය පසුගිය කාලයේ ඇතැම් විචාරකයන් හා කවීන් විසින් දැඩි ව නඟනා ලදී. මේ ප්‍රවාදයට එරෙහි ව කවිය හා එහි අර්ථ සාධනය පිළිබඳ ව තවත් කවීන් හා විචාරකයන් පිරිසක් විසින් ප්‍රතිප්‍රවාද නඟනු ද පෙනිණි.

මේ විවාදය ඇසූ මා තුළ කවිය අරභයා මූලික ප්‍රශ්න කිහිපයක් පැන නැංඟේය. ඒ මෙසේ ය.

1. කවිය, කෙටිකතාව හා නවකතාව යන මාධ්‍යයන් ගෙන් වෙනස් වන්නේ කෙසේ ද?
2. සෑම කවියකු ම ආවේෂය ලබන්නේ මේ ජීව ශ්‍රෝතයෙන් වුවත් ඔවුන් එකෙකා විවිධ අයුරින් එයට ප්‍රතිචාර දක්වන්නේ මන්ද?
3. කවිය ඇසුරේ සමාජ දේශපාලන යථාර්ථය පිළිබිඹු විය යුත්තේ කෙසේ ද?


දැන් මම මගේ නැණ පමණ ඉහත ප්‍රශ්නයන්ට පිළිතුරු සපයන්නට තැත් දරමි.

1. කවිය කෙටිකතාවෙන් හා නවකතාවෙන් වෙනස් වන්නේ කෙසේ ද?

කවිය ද, කෙටිකතාව හා නවකතාව මෙන් ම එය උද්භව වන මානව දිවි තතුව කෙරෙන්ම ආවේශය ලබයි. එහෙත් කවිය, කෙටිකතාව හෝ නවකතාවට වඩා කාලය හා අවකාශය ඉක්මවා යමින් අදාළ අනුභූතිය යම් සර්ව කාලීන තේමාවක් වෙත ඔසවයි.

නවකතාව හෝ කෙටිකතාව හෝ තදනුබද්ධ සන්දර්භය නොඉක්මවන බව මින් අදහස් නො වේ. කෙටිකතාව හා නවකතාව බෙහෙවින් ම සමාජ විවරණයක් වේ. කවිය ද ජීවිත හා සමාජ විවරණයක් වන නමුත් කවියා ගේ ආත්ම ප්‍රකාශනය අනෙක් මාධ්‍ය දෙකට වඩා කවිය තුළදී ප්‍රබල ද, ප්‍රමුඛ ද වේ.

අනෙක් අතට කවිය නවකතාවට හා කෙටිකතාවට වඩා සංක්ෂිප්ත ය. එය වචනය ම පරම කොට ගෙන ඒ අතර ම වාච්‍යාර්ථය ඉක්මවා චිත්ත රූපික ගුණය මතු කර ගැනීමට උත්සුක වෙයි. ඒ මඟින් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ඉසියුම්, සාර්වත්‍රික විදර්ශනාවක් ව්‍යුත්පන්න කර ගන්නට කවිය යත්න දරයි.

මේ කරුණු පැහැදිලි කිරීම සඳහා ඉංග්‍රීසි කවි පර්සි බයිෂෙ ෂෙලී ගේ 'ඔසිමැන්ඩියස්' නම් කවිය උපුටා දැක්වීම උචිත ය.

Ozymandias

I MET a Traveler from an antique land,
Who said, "Two vast and trunkless legs of stone
Stand in the desart. Near them, on the sand,
Half sunk, a shatterd visage lies, whose frown,
And wrinkled lip, and sneer of cold command,
Tell that its sculptor well those passions read,
which yet survive, stamped on these lifeless things,
The hand that mocked them and the heart that fed:
And on the pedestal these words appear:
"My name is OZYMANDIAS, King of Kings."
Look on my works ye Mighty, and despair!
No thing beside remains. Round the decay
Of that colossal Wreck, boundless and bare,
The lone and level sands stretch far away.

මෙහි දී කවියා කියන්නේ ඔහුට පෞරාණික භූමියක සිට පැමිණි සංචාරකයකු හමු වූ බවයි. එම සංචාරකයා කාන්තාරයේ දී දුටු කැඩී බිඳී ගිය සුවිසල් පිළිමයක නටබුන් ගැන කවියාට කියයි. මේ පිළිමය චිත්ත රූපයන් හි සමවාය සම්බන්ධය ඇසුරෙහි ගොඩනැගෙන ප්‍රබල සංකේතයකි.

කාන්තාරයේ සිටගත් කඳක් රහිත සුවිසල් ශෛලමය පා යුගලක් තමා දුටු බව සංචාරකයා කවියාට පවසයි. ඒ සමඟම වැල්ලේ අඩක් ගිලී ගිය සෙල්මුවා මුහුණකි. මඳක් රවාගත් රැළි කර ගත් තොල් සඟලින් යුත් මේ මුහුණ යම් විධානාත්මක ස්වරූපයෙන් නිර්මාණය කොට තිබේ. ප්‍රතිමා වේදිකාව මත මේ වචන කොටා ඇත. 'රජුන් ගේ ද රජු වන මම ඔසිමැන්ඩියස් වෙමි. මවිසින් කරන ලද බලවත් කර්මාන්ත දෙස බලව්. '

එහෙත් කවියා ඉන් අනතුරු ව පවසන්නේ කුමක් ද? දක්නට ඇත්තේ හාත්පස විසිර පැතිර යන සුවිසල් නටඹුන් භූමියකි. පාළු සමතල වැල්ල දුර ඈතට විහිද යයි.

ප්‍රතාපවත් නරපතීන් ගේ පරිහාණිය බලසම්පන්න අධිරාජ්‍යයන් ගේ බිඳ වැටීම ගැන කවියා වදනකුදු නො කියයි. සියලු මනුෂ්‍ය ප්‍රයත්නයන්, සාඩම්බර නිර්මාණ ඈ සියල්ල කාලයේ වැලි තලාවෙන් යටපත් වී යන බව ෂෙලී කවියා සෘජු ව නො කියයි. ඒ වෙනුවට ඔහු චිත්ත රූප සමූහයක් ගෙනවුත් අප අභිමුව තබයි. කාන්තාරයේ පිහිටි බිඳ වැටුණු ප්‍රතිමාව, වැල්ලේ අඩක් ගිලී ගිය ප්‍රතිමා මුහුණ, ප්‍රතිමා පාදස්තලයේ සටහන, සීමා රහිත නටබුන් භූමිය, ඉමක් කොනක් නැතිව විසිර යන සියල්ල වසා ගන්නා වැලිතලාව යන මේ සියලු රූපක ඔස්සේ මැවෙන සමස්ත චිත්ත රූපය නිසා අප සිත් තුළ දහසක් සංවේදනා අලෙව් දෙයි.

මේ දිවි තතුව පිළිබඳ ව අපට හැඟිය හැකි ඒත්තු යන යම් ධර්මතාවක් වෙත කවිය සිය කූට ප්‍රාප්තියේ දී ප්‍රබල ආලෝක ධාරාවක් එල්ල කරයි. ඒ සත්තාව හදිසියේ ප්‍රාදූර්භූත වීමෙන් අපි ආලෝලනයට හා විස්මයට පත් වෙමු.

කවියෙන් කාව්‍යාත්මක ව අනාවරණය කරන මේ ධර්මතාව හෝ සත්තාව හැම විට ම අති ගම්භීර යමක් නොවන්නට පුළුවන. කවියෙන් එවැනි අතිගම්භීර දෑ ම ආශ්‍රය නිශ්‍රය කිරීමේ අවශ්‍යතාවක්ද නැත. උදාහරණයක් ලෙස රොබට් බ්‍රව්නිං කවියා ගේ Meeting at Night කවිය විමසා බලමු. තම පෙම්වතිය හමුවීමට යන පෙම්වතකු පිළිබඳ ව කවියෙන් හැඟවෙයි. එහෙත් ඒ කවියේ කොතැනකවත් මේ රාත්‍රී හමුව පෙම්වතුන් දෙදෙනකු ගේ හමුවක් යැ යි බ්‍රව්නිං කවියා ඍජු ව නො කියයි.

රැයෙහි තම පෙම්වතිය වෙත යන පෙම්වතාට මේ මුළු මහත් විශ්වයෙහි ම ඇති අතිශයින් ම වැදගත් ම දෙය නම් තම පෙම්වතිය හමුවීම යි. ඒ නිසා තමා යන මඟ දක්නට ලැබෙන ඉතා ක්ෂුද්‍ර දෙය පවා ඉතා අරුමැසි අයුරින් හේ දකියි. බ්‍රව්නිං කවියා චිත්‍රණය කරන්නේ හුදෙක් කථානායකයා දකින මේ අරුමැසි දර්ශන පමණකි.

Meeting at Night

The grey sea and the long black land;
And the yellow half-moon large and low;
And the startled little waves that leap
in fiery ringlets from their sleep,
As I gain the cove with pushing prow,
And quench its speed i' the slushy sand.

Then a mile of warm sea-scented beach;
Three fields to cross till a farm appears;
A tap at the pane, the quick sharp scratch
And blue spurt of a lighted match,
And a voice less loud, through its joys and fears,
Than the two hearts beating each to each!

මෙලෙස විවිධ චිත්ත රූප අප අභිමුවට ගෙන ඒමෙන් කවිය අප තුළ යම් සංවේදනාවක් කුළුගන්වයි. ඒ සංවේදනාව සමඟ කවිය, කියවන අපි මෙහි අවසාන දෙපදයෙන් මෙය පෙම්වතුන් ගේ හමුවක් විය හැකි බැව් අනුමාන කරන්නෙමු.

"And a voice less loud, through its joys and fears
Than the two hearts beating each to each"


මෙවැනි සර්වකාලීන තේමාවක් ඇසුරු කරන කවියක්, සමකාලීන සමාජ දේශපාලන යථාර්ථය විෂද නොකරන්නේ යැ යි චෝදනා කිරීම සාහසික චෝදනාවක් සේ පෙනෙනු නිසැකය.

මේ අනුව කවිය යනු කෙටිකතාව මෙන් ජීවිතයෙන් පෙත්තක් හෝ අංශු මාත්‍රයක් හෝ නො වේ. එය මේ දිවි තතුව ඇසුරෙන් ජීවිතය පිළිබඳ ව සරල හෝ ගැඹුරු එහෙත් සාර්වත්‍රික ආලෝචනාවක්(Insight) උත්පාදනය කරන ඉසියුම් මාධ්‍යයකි.

මේ අනුව කවිය රස විඳිය යුත්තේ දේශපාලන හා සාහිත්‍ය විචාර මතවාදයන් හි එය ගටමින් නො වේ. කවියක් නිර්මාණය කිරීමටත් එය රස විඳීමටත් සහෘදයා තුළ යම් අන්තර් ඥානයක් (මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කියන පරිදි වැටැහෙන නුවණක්) තිබිය යුතු ය. මේ අන්තර් ඥානය හෙවත් වැටැහෙන නුවණ ලැබිය හැකිකේ විවිධ විචාර හා දේශපාලන මතවාදයන් ඇසුරේ ශික්ෂණය වීමෙන් නො ව කිසිවකින් ශික්ෂිත නො වීමෙනි. කිසිවක් කෙරෙහි දෘඪව නොඇලුණු, මනුෂ්‍ය ජීවිතය පිළිබඳ සදය සමාධියක් සහිත මනසක් වඩවා ගැනීමෙනි. කවිය සිය කූටප්‍රාප්තියේ දී අනාවරණය කරන සහ කවියේ යටි ස්තරයන්හි සඟවා ගෙන සිටින ආලෝචනාවන් ග්‍රහණය කර ගත හැක්කේ එවැනි සුනිශිත මනසකට පමණි.

2. සෑම කවියකුම ආභාසය ලබන්නේ මේ ජීව ශ්‍රෝතයෙන් වුවත් ඔවුන් එකෙකා විවිධ අයුරින් ඊට ප්‍රතිචාර දක්වන්නේ මන්ද?

එක් එක් කවියා තමා ජීවත් වන කාලය, අවකාශය, සංස්කෘතිය, ජනවර්ගය, පවුල් පසුබිම, අධ්‍යාපනික පසුබිම, ප්‍රතිභාව, ව්‍යත්පත්තිය හා සතතාභ්‍යාසය අතින් එකෙකාට වෙනස් වෙයි.

මේ නිසා ඔවුහු ස්වකීය වින්දන ක්ෂේත්‍රයන් අතින් එකෙකාට වෙනස් වෙති. මේ නිසා ඔවුන් එකෙකා මේ ජීව ශ්‍රෝතය අන්වේෂණය කරන්නේ එක් එක් පරිමාණයට ය.

එක් කවියකු දෘශ්‍යමානය සහ පවත්නා සමාජ, දේශපාලන තතු අන්වේෂණය කරන අතර, තවත් කවියකු එය අන්වේෂණය කරන ගමන් ම යම් උත්තර ඓතිහාසික සත්තාවක් උපුටා ගනී. යම් ඓහලෞකික හෝ පාරභෞතික හෝ දෘෂ්ටියකින් මේ ජීව ශ්‍රෝතය අන්වේෂණය කරන තුන් වැනි කවියකු පවත්නා විෂය ලෝකයෙන් වියුක්ත යැ යි බැලූ බැල්මට පෙනෙන එහෙත් එහි ඖරස ඵලයක් ම වන ආලෝචනාවක් ස්වකීය කවිය කෙරෙන් නිෂ්පන්න කරයි.

මෙය අපට තරමක් වෙනස් උදාහරණයක් මඟින් වටහා ගත හැකි ය.

මුහුදු ජලය එක ම ප්‍රපංචයකි. සත්තාවකි. කිමිදුම්කරුවෝ මුහුදු ජලයේ කිමිදෙති. ඒ ඒ කිමිදුම්කරුවන් ගේ ප්‍රවීණත්වය, අත්දැකීම, ශාරීරික යෝග්‍යතාව හා පැලැඳ සිටින කිමිදුම් උපකරණ වල ශක්‍යතාව අනුව කිමිදුම්කරුවාට කිමිදිය හැකි ගැඹුර වෙනස් වෙයි.

මුහුදු ජලයේ පළමු මීටර් දහය කිමිදෙන කිමිදුම්කරුවා දකින්නේ කුමක් ද? හිරු එළියෙන් හොඳින් ආලෝකවත් වූ උණුසුම් ජල කඳකි. ඒ මට්ටමේ සිටින මුහුදු ජීවීන්, ශාක ආදිය ඔහු දර්ශනය කරයි.

මේ පළමු මීටර් දහය ඉක්මවා තවත් ගැඹුරට මීටර් දහයක් කිමිදෙන කිමිදුම්කරුවා ගේ අත්දැකීම ඊට වෙනස් ය. ඔහු කිමිදෙන ජලය වඩා ගැඹුරු ය. වඩා ශීතල ය. එහි සිටින සතුන් හා ශාක මුල් මීටර් දහයේ සීමාව තුළ සිටින ශාක හා සත්ත්ව ප්‍රජාවට වඩා වෙනස් ය.

වඩා හොඳ උපකරණ පැලැඳි දක්ෂ, අත්දැකීම් බහුල කිමිදුම්කරුවෙක් මුහුදු ජලයේ වඩාත් ගැඹුරට කිමිදෙයි. ඔහු දක්නා ජලය බෙහෙවින් ම අඳුරු ය. අතිශයින් ම ශීතල ය. ඔහුට ඉහළින් තිබෙන ජල කඳ මගින් ලබා දෙන පීඩනය ඉතා අධික ය. මෙහි සිටින බොහෝ ජීවීහු ජාත්‍යන්ධයන් වන අතර ඒ ජීවීන් හා ශාක හිරු එළිය නොමැති, නිර්වායු තත්ත්ව යටතේ ජීවත් වීමට මනාව හැඩ ගැසුණාහු වෙති.

මේ ගැඹුරට ම කිමිදෙන කිමිදුම්කරුවා ක්‍රමයෙන් පහළට යත් ම ජලය තුළ ඇති මේ ස්තරායනය මැනැවින් දකී. ඒ නිසා ඔහු අර මුල් දෙදෙනාට ම වඩා මුහුදු ජලය නම් ප්‍රපංචය පිළිබඳ ව පැහැදිලි හා විචක්ෂණ චිත්‍රයක් ඇත්තෙක් වෙයි.

කවීන් ද මේ කිමිදුම්කරුවන් බඳු ය. මේ ලෝක සත්තාවට ඔවුන් එකෙකා වෙනස් අයුරින් ප්‍රතිචාර දක්වන්නේ ද මා අර මුලින් කී සාධක ඒ ඒ කවියා තුළ වෙනස් සාන්ද්‍රණයන්ගෙන් පිහිටන නිසා ය.

දැන් මතු වන ප්‍රශ්නය නම් කවියට එළැඹෙන මේ විවිධ ප්‍රවේශයන් අතුරින් අප විසින් අනුදත යුතු ප්‍රවේශය කුමක් ද? අප විසින් පිටු දැකිය යුතු ප්‍රවේශය කුමක් ද යන්න යි. අප කාලය විසින් පරායනය කොට ඇත්තාවූ ඓතිහාසික සන්දර්භගත කවිය පිටුදැකිය යුතු ද, නැත හොත් වියුක්ත අහස් විමනක් වැනි සර්වකාලීන තේමාවන් ඇසුරු කරන දාර්ශනික කවිය පිටු දැකිය යුතු ද? මේ ප්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීම පිණිස අපි තවත් වෙනස් ශික්ෂණයක් කෙරෙන් ආකෘතියක් ඇද ගනිමු.

මිනිසා ගේ ඉච්ඡාවන් විවිධ ය. එකම පුද්ගලයා ගේ ද ජීවිතයේ විවිධ අවධීන්හි ද මේ ඉච්ඡාවෝ වෙනස් වෙති. මිනිසා ගේ අවශ්‍යතා පිළිබඳ ව ඒබ්‍රහම් මැස්ලෝ නම් විද්වතෙක් ධුරාවලියක් ගොඩනැඟීය. එය හැඳින්වෙන්නේ 'මැස්ලෝ ගේ අවශ්‍යතා පිළිබඳ ධුරාවලිය'(Maslow's hierarchy of needs) යනුවෙනි.

මැස්ලෝ ගේ අවශ්‍යතා පිළිබඳ ධුරාවලිය අනුව මිනිසා ගේ අවශ්‍යතා පහත පෙනෙන පරිදි පිරමිඩයක ආකාරයට දැක්විය හැකි ය.

පිරමිඩයේ පහළින් ම ඇති අවශ්‍යතා මිනිසා ගේ මූලික අවශ්‍යතා වේ. ඒ අවශ්‍යතා පිරිමැසුණු පසු මිනිසා ඊට ඉහළ ස්තරයේ පිහිටි ආරක්ෂිත අවශ්‍යතා සපුරා ගැනීමට යොමු වේ. මැස්ලෝට අනුව මින් අනතුරුව මිනිසා තුන් වැනි ස්ථරයේ පෙන්වා ඇති සමාජ අවශ්‍යතා වෙත යොමු වෙයි. මෙලෙස මේ අවශ්‍යතා ධුරාවලිය සංතෘප්ත කර ගැනීමේ කූටප්‍රාප්තිය වන්නේ පිරමිඩයේ ඉහළින් ම පිහිටි ස්ව අවබෝධාත්මක අවශ්‍යතා සපුරා ගැනීමට මිනිසා යොමු වීම යි.

වත්මන් කළමනාකරණ විශේෂඥයෝ මැස්ලෝ ගේ න්‍යායට සංශෝධනයක් ගෙන එති. එනම් එක් අවශ්‍යතාවක් මුළුමනින් ම පිරිමසා ගත් පසු පමණක් අනෙකට යොමු වන මැස්ලෝ ගේ ප්‍රවාදය වෙනුවට සංකීර්ණ මනසක් සහිත ජීවියකු වන මිනිසා මේ සියලු අවශ්‍යතා එකවර පිරිමසා ගැනීමට උත්සුක වන බව යි. තම විශ්‍රාම ජීවිතයේ සුරක්ෂිතතාව උදෙසා බැංකුවට ගොස් ස්ථීර තැන්පතුවක් අරඹන පුද්ගලයකු සති අන්තයෙහි තම පවුලේ සාමාජිකයන් සමඟ චිත්‍රපටියක් නරඹන්නට යන්නේත්, පෝය දිනට පවුලේ අය සමඟ පන්සලට යන්නේත් මැස්ලෝ න්‍යායට ගෙනෙන ලද මේ සංශෝධනය තහවුරු කරමිනි.

ඉදින් කවීහු ද විෂම ඉච්ඡාවන් ඇත්තෝ වෙති. ස්වකීය පාඨකයන් ද එබඳු ම බව කවීහු දනිති. ඒ නිසා ඔවුහු මේ සියලු තලයන් සංස්පර්ශ කරමින් කවි ලියති. එක් කවියෙක් මිනිසා ගේ දිළිඳුකම, මානව හිමිකම්, පංති පරතරය විෂද කරන විට තවත් කවියෙක් මේ ජීවන අභිරහසට දාර්ශනික අර්ථ කථනයක් තම කවිය කෙරෙන් සපයන්ට උත්සාහ දරයි. නැත හොත් මරණින් මතු ජීවිතය වැනි පාරභෞතික ආස්ථානයන් ආශ්‍රය කරයි. එහෙත් මේ සියලු කවියෝ මානව ජීව ශ්‍රෝතසෙන් ම ප්‍රාණාවේශය ලබන්නාහු වෙති.

මේ අනුව බලන කල කවියේ සංවේදනා ක්ෂේත්‍රය ඉතා පුළුල් ය. මේ නිසා තුන් කල්හි ම වලංගු, පවත්නා සන්දර්භය ඉක්මවා යන විදර්ශනාවක් නිෂ්පාදනය කිරීමට කවිය සමත් වෙයි. නවකතාව හෝ කෙටිකතාවට වඩා කවියෙහි මෙම සර්වකාලීන ගුණය ප්‍රමුඛය.

කවියා ගේ කවියට පිටු දෙන සංකීර්ණ මානව චේෂ්ඨා විඥානවාදී ද, භෞතිකවාදී ද යන්න ගැන සෙවීම දාර්ශනිකයන් ගේ ද, දේශපාලන විචාරකයන් ගේ ද කාර්ය භාරයකි. කවියා ඒ ගැන කරදර නො වේ. මේ වනාහි කවියා ගේ අමිල වැඩබිම යි. එහි ඇති කිසිදු ආම්පන්නයක් නිරර්ථක යැ යි ඔහු ඉවත් නො කරයි. ඒ නිසා කවීන් ලිවිය යුත්තේ අසවල් ජාතියේ කවි පමණෙකැ යි කවියාට සීමා පැනවිය නොහැකි ය.

එහෙත් දෛනික ජීවිත මඩ වගුරෙහි ගිලී, ජීවන සටනෙහි ගැලී සිටින මිනිසාට ස්වකීය ජීවිතය පිළිබඳ ලෝකායත දෘෂ්ටිය ඉක්මවා ගිය ඥානයක් සම්පාදනය කර දිය හැකි ප්‍රබල ම මාධ්‍යය කවිය යි.

3. කවිය ඇසුරෙහි සමාජ දේශපාලන යථාර්ථය පිළිබිඹු විය යුත්තේ කෙසේ ද?

සෑම කවියක් ම (ශුද්ධ කවිය ලෙස ඇතැම් විට හැඳින්වෙන ප්‍රවර්ගය පවා) උපත ලබන්නේ ම මේ දිවි තතුව මඟින් කවියා ගේ සංවේදනා ක්ෂේත්‍රය තුළ උත්පාදනය කරන තරංගයක් පරිද්දෙනි. එහෙත් විශිෂ්ට කවිය මේ දිවි තතුව හෝ විවිධ සමාජාර්ථීක කාරණ හෝ මහත් උද්වේගයෙන් පැවැසීමෙන් හෝ එය කලාත්මක ව පුනරුච්චාරණය කොට අප තුළ භාව ප්‍රකම්පනයක් ඇති කිරීමෙන් හෝ පමණක් සෑහීමට පත් නො වෙයි.
සමාජ යථාර්ථය හොඳ කවිය ඇසුරේ පවතින්නේ එහි ඓන්ද්‍රීය අංගයක් වශයෙනි. කවිය විමසා බලන පාඨකයකුට මේ ඓන්ද්‍රීය සමාජ යථාර්ථය මතු කර ගත හැකි ය. එහෙත් හොඳ කවිය එතැනින් නොනවතී. එය මානව ජීවිතය පිළිබඳ සර්වකාලීන ආලෝචනයක් ද සම්පාදනය කරයි.

ඇතැම් විට බැලූ බැල්මට කවියක් යම් සමාජ දේශපාලන සන්දර්භයක් හා බද්ධ වී නැත. එහෙත් එය මානව ජීවිතය පිළිබඳ සර්වකාලීන මානයක් කවිය ඇසුරු කොට ගොඩ නඟයි. සාවධාන පාඨකයා මෙය හඳුනා ගනී.

උදාහරණයක් ලෙස අපි ලාල් හෑගොඩ කවියා ගේ 'මා මිනිසෙක් ඔබ ගඟක් නිසා' නම් ඉතා ප්‍රකට කවිය විමසා බලමු.

ශිෂ්ටාචාරගත නාගරික මිනිසාට සොබාදහම ඔස්සේ ප්‍රකෘතිය මුණගැසීම මේ කවියේ තේමාව යි. ප්‍රකෘතියෙන් ඉවත් ව, ශිෂ්ටාචාරගත ජීවිතයක් ගෙවන මිනිසා සුන්දර නදී ඉවුරක කුඹුක් වියනක් යටට පැමිණෙයි. ඔහු එහි පෙනෙන සොබා සෞන්දර්යයෙන් වසඟ වෙයි.

"අතරින් පතර රතු කොළ උඩු වියනෙහි
දිගු ඇඟිලි තුඩින් පවනේ සෙල වී මෑත් වී
පෙන්වයි නිල් අහස මල් කමක් කැටයමක් සේ
එහිම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී

හිරුගෙ තඹ රැස් ගලන සඳ ගඟ ගලන දෙසට ම
උඩු වියන් යට මඳ අඳුර තුළ ගලන මි‚ කඳ
මෙලෙස පැවසිය නොහැකි අසිරිය කවි බසින් මිස
සසර අන් බැමි බිඳී ආලෙන් බැඳෙයි මා සිත"


එහෙත් මේ ශිෂ්ටාචාරගත සාටෝප මිනිසාට නදියේ දිය රළින් නඟින නාදය තමාට සුපුරුදු බසක් සේ හදිසියේ ම හැඟී යයි.

"සිනා සේ පෙණ පිඩු සේ
දියතත් ගල් අතර බිඳ දා නාද අනුනාද නංවා
කෝමලව ඇඹරී විලියෙන් පවසනා
පසක් වේ ඔබේ බස . බසක් සේ සුපුරුදු"


මේ සුන්දර සොබාදහම් නිර්මිතය වෙතට තමා කැඳවන්නාක් මෙන් මේ පුද්ගලයාට හැඟෙයි. ඔහු තම පලඳනා එකින් එක ඉවත් කරමින් ගං දියේ තම නිරුවත් හෙවණැල්ල ඔස්සේ ප්‍රකෘතිය දර්ශනය කරයි.

"වීසි කර අත බැඳි ඔරලෝසුව
ගලවා දමමි මිරිවැඬි කොහේ යන්න ද ඔබ හැර
උනන විට සළු එකිනෙක
පෙනේ අඳුරු සෙවනැල්ලක් ව
ඡායාව මගේ ම සිරුරෙහි"


අනතුරු ව ඔහු නිරුවත් සිරුරින් ගං දියට බසින්නේ එසේ කිරීම හැර වෙනත් ඊට වඩා මනෝඥ, නිසර්ගසිද්ධ විකල්පයක් නැතැයි වටහා ගනිමිනි. තමා ද මේ අනන්ත සොබාදහමේ එක් වේෂයක්, නිර්මිතයක් බව වටහා ගනිමිනි. ඒ ක්ෂණිකාවබෝධය කවියා කුළුගන්වන්නේ පහත දැක්වෙන අරුමැසි කාව්‍යාවසානය සමගිනි.

"තුරුළු වනු මිස
ආදරයෙන් සෙමෙන්
වෙ ද අන් මඟක්
මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා"


බැලූ බැල්මට පවත්නා ජීවන යථාර්ථයෙන් දේශපාලනික දේශපාලනයෙන්(Political Politics) වියුක්ත යැ යි පෙනෙන මේ කවිය මානව පැවැත්ම හා ජීවන සත්තාව පිළිබඳ ව සාරගර්භ ප්‍රකාශයක් වෙයි.

සියලු සමාජාර්ථීක, දේශපාලන මතවාදයන් හා විචාරවාදයන් නිපදවන ශිෂ්ටාචාරගත මිනිසාට ප්‍රකෘති සොබාදහම සමඟ තවමත් ඔහුට තිබෙන අභින්න සම්බන්ධය නදී ඉවුරක කුඹුක් සෙවණක් යට දී අනාවරණය වෙයි.

විශිෂ්ට කවිය ආශ්‍රයේ සමාජ දේශපාලන යථාර්ථය පවතින්නේ එහි ඓන්ද්‍රීය තලයේ ය යන්න වටහා ගන්නට තවත් කදිම නිදසුනකි. නන්දන වීරසිංහ කවියා ගේ 'නිහඬ නිරිඳු' රණකාමී නරපතියන් රැසක ගෙන් උපලක්ෂිත ලංකා ඉතිහාසයෙහි දුටුගැමුණු රජුට ද නොදෙවැනි තරම් රණ ශුරත්වයකින් යුක්ත වූ මහා විජයබා නිරිඳුන් ගේ පිළිරුවක් කවියාට වස්තු විෂය වෙයි.

මේ මහා විජයබා නිරිඳු පිළිරුව එකල මහ පුරවරයක් මැද ගොඩ නැඟෙන්නට ඇති නමුදු ඒ භූමිය අද ඈත රුහුණේ වනගත බිමක් බවට පෙරළී ඇත. අද ඒ රුවට සේසත් නඟන්නේ වනයෙහි පැතිරී අතු ඉති පමණෙකි. එදා නෙක ප්‍රභූන් හා සමාගමයෙහි ඉන්ට ඇති නමුදු අද ඔහුට ඇති එක ම සමාගමය වනයේ මලිති, පැණි කුරුලු ආදී සියොත් ගණයා ගේ කූජනය පමණෙකි.

එදා ජයපැන් බී උදම් ව ප්‍රශස්ති ගැයූ වන්දි භට්ටයන් ප්‍රමුඛ මහා ජනගඟ කාල නිම්නය ඔස්සේ බැස ගොස් ය. අද ඔහු ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් පමණි.

එහෙත් මේ සනාතන දහම විඳගත් විජයබා නරපති පිළිරුව අකම්පිත ය. නිවුනේ වේ ය. තවමත් තුගු උදාරම් කය දරන මුත් ජයෙන් උද්දාම වූ මුහුණ හැරපියා තමා පසක් කළ සත්තාවෙන් ලත් එළිය ඇති නිවුණු මුහුණින් නිහඬ බව බෙජෙන නිරිදෙකු අද අපට දිස් වෙයි.

මේ කවිය, අසහාය යුධ ජයග්‍රහණයකින් උපයා ගත් බ්‍යාම ප්‍රභා මණ්ඩලයකින් සහ මහා කීර්ති කදම්බයකින් උජ්වලිත ජන නායකයකු රජය කරන මෙසමයේ, කාලය නම් සනාතන දහමට සාපේක්ෂ ව 'සමකාලීන සමාජ යථාර්ථය' නම් ප්‍රපංචයේ භංගුර ස්වරූපය මේ යැ යි කාව්‍යාත්මක ව පවසන නිර්මාණයකි.

විශිෂ්ට කවියෙහි සමාජ යථාර්ථය ඓන්ද්‍රීය ව පවත්නා අතර යම් සර්වකාලීන තේමාත්මක මානයක් වෙත කවිය ඔසවනු ලබන්නේ ය යන ප්‍රවාදය ඉහත නිදසුන් දෙක ඔස්සේ ස්ඵුට වන්නේ යැ යි හඟිමි.

මෙහි දී තවත් අතුරු ප්‍රශ්නයක් පැන නඟී. යම් හෙයකින් කවිය කෙරෙන් කවියා නිෂ්පන්න කරන ආස්ථානය, අනුභූතිය පිළිබඳ ව කවියා ගේ අර්ථකථනය හෝ ආත්ම ප්‍රකාශනය සමඟ එකඟ වීමට පාඨකයාට නොහැකි නම් සිදු වන්නේ කුමක් ද?

කව් රස විඳීමට පාඨකයන් නො ව සහෘදයන් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. කවිය කෙරෙන් පැනෙන ආස්ථානය කවරක් වුවත් ඒ ඇසුරෙන් උපදින කවිතාව රස විඳීමට සහෘදයා සමත් වෙයි.

අදේවවාදීන්ට තාගෝර් ගේ ගීතාංජලිය රස විඳීමට හැකි වන්නේ එබැවිනි. ක්‍රිස්තියානි සාරධාර්මික හරයන් යටි හුයක් සේ දිවෙන ටී. එස්. එලියට් වැනි කවියකු ගේ නිර්මාණ, ලෝකය පුරා විවිධ භක්තිකයන් රස විඳින්නේ එබැවිනි. එලියට් ගේ 'Journey of the Magi' වැනි කිතු උපත පාදක කරගත් කවියක් කියැවීමෙන් අප මහත් ප්‍රහර්ෂයක් විඳීමේ රහස ඇත්තේ එතැන ය.

කෙසේ වතුදු මේ නිබන්ධය මීට වඩා දිගු කරන්නට මම අපේක්ෂා නො කරමි. මගේ විචාර ධාරිතාව ද ඊට ඉඩ නො දෙයි. මගේ කවිය ගැන මෙන් ම කවිය පිළිබඳ ව මා දරන ආස්ථානය පිළිබඳව ද ඔබේ අදහස් දැන ගැනීමට මම කැමැත්තෙමි.

සුනන්ද කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails