Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



න්‍යෂ්ටික පවුලේ බිහිවීම දේපළ ක‍්‍රමය ළොව පහළ වීමට සමනන්තර වේගපුරුෂ මූලික සමාජ සංස්ථාවත්, සුජාත භාවයත් එහි ම අංග ලෙස පවතී. දේපළ වල අයිතිය පුරුෂයා සතු ය. එහි පාලකයෝ පුරුෂයෝ ය. එම දේපළ උරුම විය යුත්තේ දේපළ හිමි පුරුෂයාට දාව උපන් දරුවන්ට ය. එහෙයින් දරුවන්ගේ සුජාත භාවයට ස්ත‍්‍රිය වග කිව යුතු ය. ඇය විවාහ වන තෙක් කන්‍යාවක් ව විසිය යුතු ය. විවාහයෙන් පසු පතිවෘතාව දිවි දෙවැනි කොට රැකිය යුතු ය. පියනට කළ වුවසරින් ම දිගැසියෝ සඟ මොක් වෙත්.

බටහිර ධනවාදයේ සමාරම්භක අවධියේ මෙම දේපළ ගලා යාම ක‍්‍රමවත් කිරීම සඳහා න්‍යෂ්ටික පවුල නමැති සමාජ සංස්ථාව උත්කර්ශයට නංවන ලදි. එහි පිරිමියා හා ගැහැණිය එකලාව වෙසේ. ෆ්‍රොයිඞ්ගේ විශ්ලේෂණයට ලක් වූ බොහොමයක් මූලික මනෝ ව්‍යාධීන් මේ න්‍යෂ්ටික පවුල කේන්ද්‍ර කොට පවතී. වික්ටෝරියානු සදාචාර සීමා තුළ මේ න්‍යෂ්ටික පවුල රක්ෂා කිරීම අත්‍යාවශ්‍ය කරුණක් විය. පවුලේ ප‍්‍රධානියා වූ පුරුෂයාට දාව සියලු දරුවන් උපන් බවට උප්පැන්න සහතිකය මගින් රාජ්‍යය පිළිගනියි. කසාද නීතිය මගින් න්‍යෂ්ටික පවුල ම රාජ්‍ය තන්ත‍්‍රය විසින් ද නීතියක් කොට රකියි. එසේ කිරීම පාලක පන්තියේ ද පහසුව පිණිස පවතී. සකල මිනිස් සමාජය ම ඔවුනට අභිමත පරිදි පාලනය කිරීමට එය මහෝපකාරී වේ. මේ සියලු නීති වත් සිරිත් ඈ දේපළ උරුමය ක‍්‍රමවත් කිරීම උදෙසා ම ය. දේපළ ගලා යාම ක‍්‍රමවත් වන විට මිනිසා නමැති ස්වභාවික සත්වයාගේ සහජාශයන් මැඩ ගැනීමට සිදුවේ. වනගත ව රංචු ලෙස ජීවත් වූ අවදියේ නොවූ පාලනයකට නතු විමට සිදු ව ඇත. මේ සහජාශයන් මැඩ ගැනීමට දේපළ ක‍්‍රමය මගින් යෝජනා කරනු ලබන බොහෝ සිරිත් විරිත් වේ. ඒ සියල්ල සොබාදහමට පටහැනි පීඩාකාරී ප‍්‍රතිෂ්ටාවන් ය.

සියලු සිරිත් නීති ආදී සමාජ ප‍්‍රතිෂ්ඨාවන්ගෙන් දේපළ ගලා යාම ක‍්‍රමවත් කෙරේ. එහෙත් මේ දෘඩතර කුටුම්භ සංරක්ෂණ මාදිලියෙහි වෙහෙසත් එහි පවත්නා නශ්ඨ භායවත් ඉවසිය නොහෙන පුහුදුන් ලෞකික සැප කැමැත්තෝ එහි මියර බිඳිමින් දිවියෙහි නැතක් සොඳුරු අරුත් සොයා ඉගිලෙත්. උපන්නාට වැනෙමින් බැඳගත් බෙරය ගසමින් ගත කරන උත්තරාරෝපිත වන්ද්‍ය ශුෂ්ක ජීවිතයට රැහැනි ව ගැයෙන ගීයක් ලෙස රසික හදවත් බැඳ ගැනීමට පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් ගේය පද රචකයා විසින් විරචිත මේ ගීය සමත් වේ.

... අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ......


උදා වී ඇති කුටුම්භ අඩස්සිගත ජීවිතය ඉස්පාසුවක් නැත්තකි. සොම්නස් බොහෝ දුරු ය. දොම්නස් මැ රජයයි. පසිඳුරන් ම තැවේ. මන කුමුදු මුකුලිත ව යේ. ගහේ බැන්ද ගොනුන් මෙන් ඔවුනොවුන් දිවි සරි කරනු පිණිස ගත සිත තව තවා රැකියා මැ කෙරෙත්. දාවලෙහි අව්වේත් රැයෙහි පින්නේත් දිවි රැක්මේ මර ගාතය ම කෙරෙත්. කංසකූට මාන, කූට, තුලා කූටාදී වෙළදපොළ උප්පරවැට්ටි හා ගැටෙමින් දිවි බරින් ඇඔරී මිරිකී සුසුම් ලා ලා වැටෙත්. සුතනඹුවන් හා විඳින ගේහසික පේ‍්‍රමයෙහි අසිරි නො වන්නට දිවි සිළිලාර වියැලී සිඳී නැසෙත්. මේ සා සිර වූ දිවියෙහි වියතක් තරම් ඉඩ හැර ඉන් ඔබ්බෙහි ඉඩක් ගත නොහේ. ඒ ඉඩ හැඟුම්වලට ඉඩ දී, මුකුලිත ව යන මන කුමුද පෙම් පැන් ඉස යළි විකසිත කරනු පිණිස ය.

භද්‍ර යෞවන සමයේ පේ‍්‍රමාර්ද හැඟුමින් බර ව පෙම්වතුන් පෙම්වතියන්සේ ගත කළ සොඳුරු සමය සිහිනෙන් ගෑ සුවඳක් සෙයින් මතකයේ පමණක් රැඳී ඇත. ඒ පේ‍්‍රමය යළි අළුත්වැඩියා කළ නොහැකි තරමින් ජරපත් ව ගොස් ඇත. එහෙත් පෙමෙහි පවස නො නිවී දැල්වෙයි. හඳපානේ මද අඳුරේ අත් පටලා යළි යන්නට අයදිනුයේ කඩතොළු ව ගිය ජීවිතය යළි පෙම් පිරියම් කොට රැක ගනු වස් වේ. පේ‍්‍රමයේ ආහ්ලාදය සඳරැසින් නැහැවුණු මද අඳුරේ දී වඩා තීව‍්‍ර වන බව කවි සමය යි. එය එසේ ම ය. එහෙයින් මේ ඇරයුම වඩා පෙම්බර සහවාසී අස්වැසිල්ලක් සඳහා ම වේ.

..... ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ......


හෙවනැල්ලෙන් මිදීම යනු ධ්වනිතාර්ථවත් යෙදුමකි. අප සෙවනැලි සහිත වනුයේ ආළෝකය ඇති විට ය. ආළෝකයෙහි වෙසෙත් දී අප ලෝකයට නිරාවරණය වෙයි. සැමට පෙනෙයි. සමාජ සම්මතය සදාචාරය ආදියෙහි විවර වූ උකුසු ඇස් ද හැකර කටවල් ද මේ ආළෝකය දෙසට විවර ව ඇත. එමෙන් ම සිය අඹු සැමි ආදී පවුල් සංස්ථා ද සෙවනැලි මෙනි. මේ අත්භවය මතු නොව ඒ සෙවනැළි සසර පුරා අප හා කැටිව සරන්නේ යි බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. සෙවනැල්ලෙන් මිදීම යනු මේ සියල්ලෙන් වියතක් තරම් ඉස්පාසුවක දී මිදීමයි. එසේ මිදී මද මද පිය මං තබා හෙමි හෙමිහිට ලැසි ව අවුදින් රහසින් ලොවට ම හොරා මුමුණමින් අත් පටලා ගෙන හඳපානේ මද අඳුරේ නැවතත් යාමට මේ අහිමිව ගිය පෙම්වතුන් දෙපළ සැරසේ. මේ අයැදුම ඒ සඳහා ය. නැවතත් ජීවිතය මැදින් අරඹා ඇති සෙයකි.

පවුල් සංස්ථාවේ අතොරක් නැති දුක් වේදනා ද ඥාති මිත‍්‍රාදීන්ගේ ඉමක් නොමැති යුතුකම් ඉටු කිරීම් ද සමාජ යුතුකම් හා දිවි සරි කර ගැන්මට කරන ආර්ථික යුද්ධය ද මදකට අමතක කොට පේ‍්‍රමයෙන් ස්නිග්ධ ව වෙසෙන්නට ඇති සුකුමාරමතික ඇල්ම මෙහි ඉමහත් සංයමයෙන් යුතු ව රචනා වී ඇත.

... හිර කර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමු වන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ.....


පැතූ පෙම් පැතුම් එලෙස ඉටු නොවී ඔවුනොවුන් වෙන් කෙරෙන සමාජ ආර්ථික බලවේගවලට යට නොවී ඒවාට හොර රහසින් ජීවිතය ආස්වාදය කිරීමේ අපේක්ෂාව මෙහි අන්තර්ගත යග දිවියෙහි ඇති දහසක් දොම්නස් හැඩුම් දෙඩුම් හසරැල්ලෙන් බැද සිර කෙරුමට මේ ප‍්‍රිය සම්ප‍්‍රයෝගය සමත් වේ. එක් ව විසීමේ හැකියාව දුරෙන් දුරු ව ගොස් ඇත ද පේ‍්‍රමාස්වාදයේ උත්තර සුවය ග‍්‍රහණය කොට ඉන් සපුරාගත් පැතුම් ඇති ව හිනැහීමට හැකි ය. මේ අත්භවයේ යළි හමු නො වෙතත් මේ හමුවිමේ සුඛ වේදයිතයන්ගේ පුණ්‍ය මහිමයෙන් ම මතු ආත්මයේ හමු වන පැතුමෙන් ඔවුන් හිමිදිරියේ වෙන් ව යනු ඇත.

යෞවනය ගෙවී ගොස් ගත සවි බල කෙමෙන් හීනව යෙත් යෙත් හිස නර කෙස් පහළ ව කයෙහි සුකුමාර බව නික්ම යාමට ආසන්න බවට දූත වදන් පවසත් දී පුද්ගලයා තුළ කෙමෙන් මරණ බිය වැඬේ. දිවියෙහි නො ලද සුව පහස් ආදී ආහ්ලාදයන් කෙරෙහි සැනෙන් සිත පෙළඹේ. යෞවනය පසු කොට දිවියෙහි යම් දුරක් ඉක්මවා ගිය අතීත පේ‍්‍රමවන්තයන් දෙපොළක් සිය වත්මන් තතු අමතක කොට වියතක් තරම් ඉසිඹුවෙහි සිය ජරපත් වෙමින් පවත්නා කාය ලක්ෂණ ඔවුනොවුන් කෙරෙහී ඉන්ද්‍රිය ගෝචර නො වන පරිදි හඳ පානේ මද අඳුරේ එක්වී නැවතත් අතීතයේ මගහැරුණු පේ‍්‍රමයේ සොඳුරු නිමේෂ අත් පත් කර ගැනුමට දරණ තැත ගීතයේ චිති‍්‍රත ය.

මේ ගීය වික්ටර් රත්නායකයන්ගේ ළ'ගන්නා හඬින් ගැයේ. ශබ්ද සංකලනය විෂයෙහි දක්වා ඇති කුසළතාව අර්ඝනීය වේ. සංගීත අධ්‍යක්ෂණය ද වික්ටර් රත්නායකයන්ගේ ම ය. ගිටාරයේ තත් මවන දීප්තිමත් ආළෝකයක් වන් ස්වර වර්ණත් වයලීනයේ ගලා හැලෙන කඳුලත් තබ්ලාවේ තාල තරංගයෙන් හනා වනා කලතා මිනිස් හඬේ අසිරිය සමඟ මුසු කොට චමත්කාර ජනක ගීයක් නිර්මාණය කිරීමට සංගීත අධ්‍යක්ෂවරයා සමත් ව ඇත.

අප ගතකරමින් සිටින දිවි තතු පවත්නා සමාජ ක‍්‍රමය නමැති උරචක‍්‍රමාලාවේ අණසකින් හා යදමෙන් වෙලී ඇති සැටිත් ඉන් මොහොතකට හෝ මිදී ක්ෂණභංගූර වුව ඒ උත්තර මිනිස් සුව සොයා ඉගිලෙන්නට දරණ වෙර වීරියත් මේ ගීතයෙන් ප‍්‍රකාෂයට පත් කෙරේ. පේ‍්‍රමයෙහි පවත්නා ආහ්ලාද ජනක එක් නිමේෂයක පැතුම මෙහි ගීතයට නඟා ඇත.

කාලය විසින් සොරකම් කොට ගෙන ගිය ආලය යළි ආස්වාදය කිරීමට පෙම්වතෙකු සිය පෙම්බරියට කරන මේ සොඳුරු අයැදුම අපගේ ද හැගීම් පද්ධතිය රස කවා පොබයාලීමෙහි පොහෝනා ගුණයෙන් යුතු වේ. ඒ තථ්‍ය ජීවිතය පිණිස කෙරෙන අයැදුමයි. ඉන් සම්මතයේ කුරිරු යදම් වලට, රැහැනි සිතුවිලි ම වැඩෙත්. ඒ නිදහස් ජීවිතයක් උදෙසා යොමු වන ආලෝක ධාරාවක් බඳු ය.



පදරචනය: පේ‍්‍රමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: වික්ටර් රත්නායක

[සිතුවම : Leonid Afremov]

සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails