Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘‘ඇත්තම කියනවනං වෙඩිල්ල නියම එල්ලෙටම පත්තු වෙලා තිබුණා’’

අවුරුදු පහක් හිරගෙදර යකඩ කූරු සහිත කවුඵවකින් පමණක් ලෝකය දෙස බලමින් ගෙවා දැමූ කාලකණ්ණි සහගත ජීවිතය අවසන් කිරීමෙන් හා ඉන් පසුව නැවතත් මානසික රෝහලේ රෝගියෙකු ලෙස උන්මාදනීය සිතුවිලි අතරේ ගෙවා දැමූ තවත් අවුරුදු දෙකකට පසුව ‘වික‍්‍රම ජයතිලක’ හෙවත් අපි කවුරුත් පොලිස්කාරයා යයි ආමන්ත‍්‍රණය කිරීමට පුරුදු වී සිටි වික‍්‍රම ඔහුගේ නොබිඳුණු ස්වරයෙන්ම කතා කළේය.

ඔහු සිනාසුණේය. නැවතත් පෙරට වඩා නොදෙවනි උද්‍යෝගයකින් යුතුව සිනාසුණේය. ඔහුගේ ජීවිතය පමණක් අවුරුදු හත අටක් එක එල්ලේම පසු නොබලා ආපස්සට ගමන් ගනිද්දී අනෙක් සියලූ දෙනාගේ ම ජීවිත පසු නොබලා නොනැවතී ඉදිරියටම ගමන් කොට ඇති අපූරුව ඔහුට පසක් වී තිබුණි. ඒ සත්‍යය ඔහුට වෙන කිසිවෙකු විසින් කරුණු කාරණා අවබෝධ කොට තේරුම් බේරුම් කර දුන් දෙයක් නොව, සියලු දෙනාම මානසික රෝගියෙකු ලෙස ඔහුව නම් කර තිබූ සමයේ ඔහුගේ චිත්ත ශක්තියෙන් ම අවබෝධ කොට ගත් දෙයකි.

අධිකරණ ශාලාව අතුරු සිදුරු නැතිව සෙනගින් පිරී තිබුණි. ඒ ඉතිහාසයේ දෙතුන් දෙනෙකු විසින් පමණක් සිදු කොට තිබූ මෙන් ම බහුතරයක් දෙනෙකුට සිදුකිරීමට අවශ්‍ය වී තිබූ නමුත් එසේ කිරීමට තරම් පිට කොන්දක් නොමැති වූ බැවින්, එවැනි කාර්යයක් කිරීමට තරම් පිටකොන්දක් තිබූ එක් පිරිමියෙකු වූ වික‍්‍රම දැක බලාගැනීමේ ආශාවෙන් ඔජවඩවන ලද සිතැත්තන්ගෙන් ද එසේ නොමැති නම් තම ස්වාමියා අමු අමුවේ ඔහුගේ නිල කාමරයේ දී ම වෙඩි තබා මොලයෙන් ඉළියට පිනූ මස් වැදලි හා ඉන් ගලාගිය රුධිරය ගංගාවකින් රජයේ ආයතනයක් තෙත බරිත කිරීමට තරම් හිතක් පපුවක් නොතිබූ නින්දිත ම්ලේච්ඡයෙකු, අධමයෙකු හුස්ම හිරවෙන තෙක් කඹයකින් එල්ලා, ගැට ගසා මරණයට පත් කළ යුතු යයි යන ගරු ගාම්භීර තින්දුව නඩුකාරයාගේ ගැඹුරු කට හඩින් ශාලාව පුරා දෙදරුම් කනවා සිය ඇස් වලින්ම බලන්නට හා සිය සවන් වලින් ම අසා ගැනීමට කැමති වූවන්ගෙන් ද යන්න පැහදිලි නැත. කාරණය කෙසේ වුවත් වඩා වැදගත් වන්නේ සෙනගය. ඉතින් සෙනගින් ශාලාව අතුරු සිදුරු නොමැතිව පිරී තිබුණි.

මැස්සා එල්ලී සිටියේ විදුලි පංකාවේය. එක් වරම එය හෝ හඩින් ක‍්‍රියාත්මක වීම ආරම්භ වන තෙක්ම ඌ උගේ පාඩුවේ එහි එල්ලී සිටියේය. නමුත් මැස්සෙකුට දරා ගැනීමට නොහැකි වේගයකින් පංකාව කැරකෙනවාත් සමග ම ඌ විසි වී ගියේය. ඌට උගේ තටු, පෙඳි, පිහාටු යනා දි ඕනෑම නමකින් ඕනෑම කෙනෙකුට නම් කළ හැකි උගේ පියාසරය පාලනය කර ගැනීමට නොහැකිවිය. පංකාවේ වේගය විසින් ඌ රැගෙන ආවේ විත්ති කූඩුවට නංවා ශාලාවේ සිටි සියලු දෙනාගේම නෙත් රැහැන් වලින් දිගේලි කොට බැඳ දමා සිටි වික‍්‍රමගේ තට්ට හිස වෙතටය.

එය තට්ට හිසක් බවට පත් වී තිබුණේ දින සති මාස අවුරුදු යනාදී වශයෙන් ගෙවී යමින් මිනිසුන් වියපත් කරනු ලබන කාලය නිසාවෙන්ම නොවේ. රාජකාරී ජීවිතය තුළ දී ඉහළ නිළධාරීන්ට ආචාර සමාචාර කිරීම වෙනුවෙන් විනාඩියකට දෙතුන් වතාවක් හරි බරි ගස්වන ලද පොලිස් හිස් වැස්මටත් (තොප්පියට) ඊටත් වඩා නඩුව අසා ඉවර වෙන තෙක් ඔහු රඳවා සිටි බන්ධනාගාරයේ දී දවසකට තුන් හතර වතාවක්, තමා වැනිම සුළු නිලධාරීන්ගේ යකඩ අත්වල ග‍්‍රහණයට හසු වී රළු බිත්තියේ හැපීමෙන් ලද තුවාල වල බෙහෙත් ගැල්වීම වෙනුවෙන් බූ ගෑ නිසාවෙනි. ඇත්තෙන්ම මැස්සා වසා තිබුණේ බෙහෙත් ගල්වන ලද තුවාල මතුපිටෙහිය.

ඔහුට ඇසුණේ බුරුමයෙන් යමක් හාරන විට ඇසෙනා රුං රුං හඬකි. එක්වරම එය සියුම් කිතියන් ලෙස සංවේදනය වුවත් ඇත්තෙන්ම එය කිතියක්මත් නොවීය. ඒ වෙනුවට එය සියුම් වේදනාත්මක කෙනෙත්තීමක් විය.

නඩුකාරයා කෙළින්ම ඔහුගේ මුහුණ බැලූවේ ඔහු ඒ සියුම් වේදනාවේ ක‍්‍රමක‍්‍රමයෙන් ගිලී යමින් සිටින විට දී ය. මැස්සාට ඒ වගක් නොවීය. ඌ දිගින් දිගටම බුරුමයෙන් තුවාල සහිත තට්ට හිස පාසාරු කරමින් සිටියේය.

සිහින ලෝකයත්, පියවි ලෝකයත් අතර ඉම සටහන් කිරීමේ විකල් බව ඔහුට ඒ මෙහොතේ දැණුන අතර ඔහු එවේලේ ඒ විකල් භාවයේ ගිලී කිමිදීම ප‍්‍රාර්ථනා කළේය. ඔහුට විත්ති කූඩුව තුළ දී ම ඒ විකල්භාවය නැමති මහාද්වීපයේ සශ‍්‍රීක පොලොවේ පය ගැසීමට ඉඩ ලැබුණු අතර ශාලාවේ සිටි සියල්ලෝම ඔහු තවදුරටත් සිය ඇස් රැහැන් වලින් දිගේලි කරගෙනම සිටියහ.

ඔහු සිටියේ රියැදුරු අසුනේය. උසස් නිලධාරියා හෙවත් සිය ස්වාමියා ඔහුගේ තනතුරුට අදාළ සියලූම පදක්කම්, ලාංඡන, ශූරතා අදී සියල්ලෙන්ම මනා ලෙස ලියකම් කරන ලද ගරු ගාම්භීර වූ නිළ ඇඳුමින්ම සැරසී සිටියේය. ඔහුගේ හැඩි දැඩි අතින් සුරුවම් කරන විට හුරුබුහුටි ලපටියෙකු වන් උණ්ඩ පුරවන ලද පිස්තෝලය ද ඔහුගේ බඳ පටියේ විය. ඔහුගේ නිලයට අදාළ සියලූම දේවල් අතරින් ඒ වෙලාවේ අඩුවකට තිබුණේ එක් දෙයක් පමණි. එනම් රජය විසින් දිවා රෑ ඔහු ආරක්ෂා කිරීමට ඔහුට ලබා දී තිබූ පෞද්ගලික ආරක්ෂක සේනාංකය පමණි. මේ ගමන යාමේ දී රියදුරු වික‍්‍රම හැර අන් සියලූම ආරක්ෂක නිලධාරීන් නවතා දමා ඒමට ඔහු තීරණය කළේ ඇයිද යන්න වික‍්‍රම දැන සිටියේ නැත.

"අයිසේ ..! වික‍්‍රම ඔතැනින් වමට..."

ඔහුට තිබුණෙ ස්වාමියාගේ අණ ක‍්‍රියාත්මක කිරීම නම් වූ දේවකාරියටත් වඩා ලොකු රාජකාරිය ඉටු කිරීම පමණි.

වාහනය සුපුරුදු පරිදි සිය උසස් නිලධාරියාගේ මිතුරෙකුගේ යයි සිතිය හැකි සුවිසල් මන්දිරයක් ඉදිරියේ නතර කරනවා වෙනුවට ඊට ප‍්‍රතිවිරුද්ධව ඉතාම සාමාන්‍ය මට්ටමේ නිවසක් ඉදිරියේ නතර කිරීමට අණවන ලදි. කිසිදු රස්තියාදු කිරීමකින් තොරව ඔහු එන තෙක්ම බලා සිටියා වන් වූ දොර වයස අවුරුදු තිහක් තිස් දෙකක් ඉක්මවූ නොයික්මවූ ඉතාම සුන්දර ගැහැනියකගේ රුව ඈත් මෑත් කරමින් ඇරී නැවත වැසී යනවා පමණක් වික‍්‍රම දැක ගත්තේය. ඉතිං වික‍්‍රම බලා සිටියේය... පැයක් දෙකක් බලා සිටියේය.

"ඇත්තම සිද්දිය නම් එදා ඉඳල හැම දවස් දෙක තුනකටම වතාවක් ලොකු සර් මාත්තෙක්ක ඒ ගමන ආවා. දවස් කීපයක් ආවට පස්සෙ තමයි මං දැනගත්තේ ඒක සර්ගෙ ප‍්‍රයිවට සිකියුරිටි එකේ පුෂ්පෙගෙ ගෙදර කියල..... ඒත් ඉතිං මට දිගටම එන්න සිද්ද වුණා............ මොකද මං සර්ගෙ ඩ‍්‍රයිවර් නිසා.............’’

‘‘......... කොහොම වුණත් මං අවුරුදු දෙකක් විතරම සර් පුෂ්පෙගෙ ගෑනිත් එක්ක බුදියන එක මුර කළා. ඇත්තටම මට ඒක දැණුනෙ මං ඒ වැඩේ කරනව වගේ හිරිකිතයක්............... මොකද මම හොඳටම දැනගෙන හිටිය එතන තිබුණෙ ආදරයක් නෙවෙයි බලහත්කාරකමක් කියල ’’


වික‍්‍රම එය හෙළිදරව් කළේ ඔහු මානසික රෝහලේ අසාධ්‍ය රෝගීන්ගේ අංශයේ ප‍්‍රතිකාර ලබමින් සිටි කාලයේ දී එහි දී ය.

වික‍්‍රම රියදුරු අසුනට බර වූ විට නිල ඇඳුමින් සැරසී සිටියත් නැතත් ඔහුගේ තරුණකම වැඩි වැඩියෙන් කැපී පෙනුණි. ඇත්තෙන්ම ඔහු මේ ලෝකෙට ඉපදී ඇත්තේ රිදුරෙකු වීමට ම යයි සිතෙන තරමටම රියදුරු අසුනත්, සුක්කානමත් ඔහුට කදිමටම ගැළපුණේය. සුක්කානම අල්ලා ගත් හැම වේලාවකම ඔහුට දැණුනේ, ඔහු එය සුරතල් කළේ ඕනෑම තරුණයෙක් සිය පළමුවන පෙම්වතිය සුරතල් කරන ආකාරයේම ළගන්නා සුලු චමත්කාරයකිනි. ‘සුදර්ශි බේබි’ වාහනයේ සිටින මොහොතතක නම් ඒ ළගන්නා සුඵ බව දෙගුණ තෙගුණ වී යයි.

"වික‍්‍රම අංකල් ඩ‍්‍රයිව් කරන කොට ඉන්නෙ හරියට මුළු ලෝකෙම අමතක වෙලා වගේ........’’ හරියටම සුදර්ශි වික‍්‍රම වෙනුවෙන් සිය දෙතොල් විවර කළ පළමුවන වතාව එයයි. එහි ඇඟවුම වූයේ මේ තරම් ලස්සන තරුණ කෙල්ලෙක් එක්ක ඔයා වාහනේ ඇතුළෙ ඉන්නෙ තනියම කියල ඇයි අමතක කරන්නෙ යන්නය. ඒත් ඔහුගේ සේවක මනසට එය හරියටම වැටහුණේ නැත. ඒ අවස්ථාව උදා වුයේ ද ඇය උදේ සවස සංගීත පංතියට කැටුව යාම ආරම්භ කර හරියට ම මාසයක් ම ඉක්ම වූ පසුවය. ඒ නිසා ම ඒ වචන කිහිපය ඔහුට කිසිදාක අමතක නොවන්නකි. සතුටත් දුකත් යන දෙකම එකම වර ඔහුගේ චිත්තාභ්‍යන්තරයට වැදුණේ ඒ මෙහොතේය. සතුට වූයේ සුදර්ශි කැටුව යාමට වාහනයට ගොඩ වන හැම දවසකම ඔහුගේ ප‍්‍රාර්ථනය වූ ‘‘අදවත් කතා කරයිද ’’ යන්න ඉටුවීම වෙනුවෙන්ය. දුක හෝ ශෝකය ජනිත වූයේ තමාට වඩා අවුරුදු තුනක් හෝ හතරක් පමණ වයසින් අඩු මේ සුන්දර යුවතිය ‘‘ වික‍්‍රම’’ යයි ආමන්ත‍්‍රණය කරනවා වෙනුවට "වික‍්‍රම අංකල්" යයි ඇමතීම වෙනුවෙනි.

එදා ඔහු ඇය වෙනුවෙන් නිකුත් කළ සිය පළමුවන වචන කිහිපය නිකුත් කිරීමට තත්පර කිහපයකට පෙර එය සිය දහස් වාරයක් සිය චිත්තය කළඹවා ලූ ඒ නුහුරු නුපුරුදු බව ඔහුට අද වනතුරුත් ජීවිතයේ වඩාත්ම හො`දින්ම සහ නිරවුල්ව මතක ඇති සංවේදනයයි.

" මං ඉපදිලා ඉන්නෙම ඩ‍්‍රයිව් කරන්න...’’
ගනුදෙනුව පටන් ගත්තේ ඒ විදියට ය.

"... මං ගොඩාක්ම ආසා වසන්ත රාගෙ ප්ලේ කරන්න....’’

දෙදෙනා අතර පළමු වචන කණ්ඩය හුවමාරු විමෙන් පසුව ගෙවී යන දෙවන සතිය වන විට ඇ සංගීත විෂය පිළිබඳ සමහර කරුණු ඔහු සමග කතා කිරීමට තරම් ඔහුට සමීප වී සිටියාය. එය ආක‍්‍රමණයක් විය. දෙදෙනා ම විසින් ඉතාම ශිඝ‍්‍ර ලෙස දෙදෙනාගේ කිසිදු අවසරයකින් තොරව ම දෙදෙනාගේ ලෝක ආක‍්‍රමණය කරමින් තිබුණි. අංකල් සහ බේබී හැලී ගොස් වාහනය තුළ සුදර්ශි සහ වික‍්‍රම පමණක් ජීවත් වන්නට පටන් ගෙන තිබුණි.

‘‘ අනේ මං දන්න රාගයක් නැහැ... හැබැයි ජෝති හරි මිල්ටන්ගෙ හරි සිංදුවක් යනව නං ඒක අහගෙන මාසයක් වුණත් බඩගින්නෙ ඉන්නං....’’

ඇත්තෙන්ම ඔහුට රිදුරෙකු වීමේ පිස්සුව තරමටම සංගීත පිස්සුවක් ද තිබුණි. ඒ ගීත ගායනයට නොව ගීත ඇසීමටය. රියදුරු අසුණේ සිටින විට ගීතයක් ශ‍්‍රවණය වේ නම් ඔහු එහි තාලය සුක්කානමට ගොනු කළේය.

‘‘... එයාට තිබුණෙ කන් හාරවන කට හඬක්...’’
වික‍්‍රම පසු කලෙක සුදර්ශී පිළිබඳව තමාට ම කියා ගත්තේය.

සිදුවීම් පෙළ ගැසීමට සූදානම් වන ආකාරය සාමාන්‍ය මට්ටමේ එකක් නොවන බව ඔහු ඉතාම නිවැරදිව තක්සේරු කළේ වාහනය ඇතුළේදී මේ තරම්ම දොඩමළු වන යුවතිය නිවසේ දී ඔහු සමග කතා නොකරනවා පමණක් නොව සෘජුවම මුහුනට මුහුණ හමු වීම පවා හිතා මතාම මග හරින බව ඔහුට දැණුන පළමුවන මෙහොතේ දීය.

ඇය කොට ස්කර්ට් එකකින් සහ සියුම් නූලක්වන් උරහිස් හැට්ටයකින් සැරසී ගව් ගණනක් ඈතට යොමු වී ඇති නොයිඳුල් පියයුරු දැසින් සෘජුව තමා දෙස බලා සිටිනවා දැකීම ඔහුගේ ප‍්‍රාර්ථනය වුවත් ඊට ප‍්‍රතිවිරුද්ධව ඇය කළේ ඔහුට නිවසේ සේවකයාට මෙන් සැලකීමය. ඇත්තෙන්ම සිදු වූයේ කිසිදු ආකාරයකින් නොසැලකීමය.

සුදර්ශි සිටියේ පසුපස අසුණේය. ගෙවෙන හැම මොහොතකම සිය ශක්කිමත් දැතින් සුක්කානම සුරතල් කරන වික‍්‍රම දෙස බලා සිටින විට ඇයට සිතුණේ මේ කඩවසම් තරුණයාගේ දැත් අතරේ සිර වි පොඩි වී සුරතල් වන්නට ඇත්නම් යයි කියාය. ඉතින් ඇය මනසින්ම වික‍්‍රමගේ දැත් අතරේ සිරවෙන සුක්කාම බවට පත් වී සිටියා ය. වාහනය මාර්ගය අයිනේ තිබූ පළතුරුකඩයක් අසල නතර කිරීමට අණ ලැබෙනා තෙක්ම වික‍්‍රම කරමින් සිටියේ සිය මනස තුළ පෙළ ගැසෙනා එමෙන්ම පෙළ නොගැසෙනා සුදර්ශි පිළිබද සිතිවිලි ජාලාවක පැටලීමය. කොටින්ම ඔහු සිටියේ ද අවුලකය.

සුදර්ශි වාහනයේ සිටියදී වාහනයෙන් බැස ගොස් පළතුරු රැගෙන නැවත වාහනයට එන විට සුදර්ශි සිටියේ වික‍්‍රමගේ රියදුරු අසුණ අසල ඉදිරි අසුනේය. මොහෙතක් ඇය දෙස බලා සිට ගල් පර්වතයක් හිස මත බරට තබා ගැනීමෙන් පසු නැවතත් සුපුරුදු ධාවනයේ යෙදුනේය.

‘‘... ඇයි බය වුණාද.. මං ඉස්සරහට ආපු එක..’’

‘‘මං මොකට ද බය වෙන්නෙ... මේක ඔයාගෙ තාත්තගේ වාහනේ.. ඉතිං ඔයාට කොතැන යන්න බැරිද..?“ ඔහු ඇය තේරුම් ගනිමින් සිටියේය. නමුත් ඒ බව නොහඟවන්නට උත්සාහ කළේය.

‘‘ එ..හෙම්...ම නෙවෙයි... මං අහන්නනෙ....’’ ඇයගේ කට හඬ එක්වරම ආවේශ වූයේ සුගායනීය වූ රිද්මයකටය. ඒ වසන්ත රාගය යයි ඔහු සිතුවේය.

නැවතත් ඔහු සිටියේ බරපතල අර්බුදයකය. එක් පැත්තකින් දින ගණනාවක් තිස්සේ ඔහුගේ තුරුණු සිත් සන්තානය කළඹවමින්, කලතවමින් එහි ගැඹුරට වැද දිය කෙළියක නිමග්න වී සිටින සුදර්ශීය. අනෙක් පැත්තෙන් කොටට කැපූ කොණ්ඩයට, හිස් වැස්මට, ඇඳ සිටින නිල ඇඳුමට, පැළඳ සිටින රාජ්‍ය ලාංඡනයට, රාජකාරී අංකයට හිර වී සිටන සිය රැකියාවය. ඔහු ඉදිරියේ යෝධයෙකු සේ විරාජමාන වන සිය ස්වාමියාය.

‘‘... කොහොම වුණත් ඕනම මිනිහෙකුට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ තමන්ගෙ හිතේ ගැඹුරු පතුලෙ වදින හැඟීම්. හිත පතුල කොනිත්තන හැගීම්. ආයෙත් වතාවක් මතක් වෙනකොට පවා හිත හිරිවට්ටන සිතුවිලි. ... ඉතිං මං තේරුම් ගත්ත....’’ බොහෝ කාලයකට පසුව ඔහු කීවේය.

කෙසේ නමුත් එය සිහිසුන් විමක් හෝ ක්ලාන්තයක් නොවීය. එය විකල් විමක් පමණි. එය සිහිසුන් වීමක් යයි පොට වරද්දා ගත් පළමු මොහොතේම හදිසි අනතුරු වාට්ටුවක් බවට පරිවර්තනය වෙමින් තිබූ අධිකරණ ශාලාව එය විකල් වීමක් යයි තේරුම් ගත් පළමු වන මොහොතේම යළිත් අධිකරණ ශාලාවක් බවට පරිවර්ථනය වන්නට පටන් ගත්තේය. ඊට සමානුරූපිව මැස්සා ද තුවාලය බුරුමයෙන් පසාරු කිරීම නතර කරමින් සිටි අතර වික‍්‍රම ද සිය තාවකාලික විසඥතාවයෙන් මිදී පියවි ලොවට එමින් සිටින්නේ යයි සිය දෑස් රැහැන් වලින් ඔහුව දිගේලි කරමින් සිටි වුන්ට දැනෙන තරමට ම ඔහු සාමාන්‍ය විය. ඇසින් දුටු සාක්ෂිය ඉදිරිපත් වූයේ ඒ වෙලාවේය. නඩු භාණ්ඩ ද අධිකරණ ශාලාවේ මේසයක් මත පොලිතින් කවර තූළ තැන්පත් වී තිබෙනු වික‍්‍රම දුටුවේය. පිස්තෝලයක්, උණ්ඩ කිහිපයක්, සහ තවත් මොන මොනවාදෝ... .

‘‘...මං දැක්ක සර්ගෙ කාමරෙන් වෙඩි සද්දෙ ඇහෙන්න විනාඩියකට ඉස්සෙල්ල වික‍්‍රම සර්ගෙ කාමරේට යනව...’’

පුෂ්පෙ හෙවත් ඝාතනයට ලක් වූ උසස් නිලධාරියාගේ පෞද්ගලික ආරක්ෂකයා හෙවත් එම උසස් නිලධාරියාගේ අනියම් පේ‍්‍රම පාරාදීසයේ නිල හිමිකරුවා ඉතා ම නිරවුල් වදන් වලින් සියල්ලට ම ඇසෙන පරිදි කීවේය.

වික‍්‍රමගේ තුවාලයේ කුණු රසයෙන් ඔජ වැඩී සිටි මැස්සා වික‍්‍රමව තේරුම් ගනිමින් සිටියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ තවත් විසඥතාවයක ගිලීමටය. පියවි ලෝකයට වඩා විසඥතාවයන් වඩා වැදගත් වන්නේ මෙවැනි වෙලාවල් වල දී යි මැස්සා වික‍්‍රම වෙනුවෙන් තීරණය කොට තිබුණි.

තමා පුෂ්පෙගෙ නිවසට යන එන එක ගැන පුෂ්පෙට කියන්නට එපායයි කිසි විටෙකත් උසස් නිළධාරියා වික‍්‍රමගෙන් ඉල්ලිමක් සිදු කර තිබුණේ නැත. ඒ වෙනුවට ඒ කාර්යය අවසන් වී නැවත වාහනයට පැමිණ අසුන් ගැනීමට තත්පරයකට පෙර සිය බඳ පටියේ විරාජමාන වන පිස්තෝලය තිබේ දැ යි පරීක්ෂා කළේය. වික‍්‍රම දෙස තියුණු බැල්මක් හෙලීමට පුරුදු වී සිටියේය. වික‍්‍රම ඒකපාර්ශ්වීයවම උසස් නිලධාරියා වෙනුවෙන් සම්මුතියකට පැමිණ සිටියේය.

‘‘... ඔක්කෝටම වඩා වටින්නේ මේ ලෝකෙ ජීවත්වෙන එක...’’ ඔහු තීරණය කළේය.

‘‘... අඩුම ගානෙ යාළුවෙක් විදියට උඹට මේක මට කියන්න තිබුණ. කෙළින්ම කියන්න බැරිනං අඟවන්න හරි තිබුණ... ඒත් උම්ඹ හෙම කළේ නැහැ... ’’ පුෂ්පෙ හොඳටම පදමට බී වෙරි වී සිටි වෙලාවක වික‍්‍රම කොක්කකට ඇද ගැනීමට සූදානමින් කීවේය. වික‍්‍රම ද පදමට වෙරි වී සිටියත් ඔහු සිටියේ හොඳ සිහියෙන්ය. ඔහු කිසිත් කතා කළේ නැත. ඔහුගේ නිහඬතාවය පුෂ්පෙගේ අරමුණ වෙනස් කළේය. ඔහු වික‍්‍රම කොක්කකට පටලවා ගන්නවා වෙනුවට ඔහුගේ අත් දෙක තදින් එහෙත් හෘදයාංගමව අල්ලා ගත්තේය.

‘‘... මචං උඹ මට මේක කලින් කිව්වනං අඩුම ගානෙ මං මගේ ගෑනි හදා ගන්නව..’’ ඔහු කීවේ අඬමින්ය. පිරිමියෙකු තවත් පිරිමියෙකු ඉදිරියේ කඳුළු සැලීම සිය පෞරුෂයට කරගන්නා හානියකැ‘යි යන සම්මතය බිඳමින් සැබෑ පිරිමියෙකුගේ ස්වරයෙන් ඇඬුවේය. වඩා වඩාත් හෘදයාංගමව හැඬුවේය. ඒත් වික‍්‍රම නිහඩය. ඇත්තෙන්ම වික‍්‍රම ද සිටියේ හඬමින්ය.

‘‘.. මචං මං නිකම්ම නිකං ඩ‍්‍රයිවර් කෙනෙක්...’’ යයි කීමට වික‍්‍රමට අවශ්‍ය වී තිබුණි. නමුත් වික‍්‍රම වෙනුවෙන් පුෂ්පෙ විසින් ඒ ටික කීවේය.

‘‘.... මං දන්නව උඹ නිකම්ම නිකං ඩ‍්‍රයිවර් කෙනෙක් විතරයි කියල.. උඹට තිබුණ අඩු ගානෙ මං පොන්නයෙක් කියල මාව නෝන්ඩි කරන්න...." පුෂ්පෙ වේගයෙන් හඬන්නට පටන් ගත්තේය. හැම මිනිහෙක් තුළම සැඟවී ඇති හෘදයාංගම හැඟීම් කොහේ හෝ කෙතැනක හෝ කුමක් හෝ බරකට යටින් සැඟවී සිට ඉඩ ලද පළමු මොහොතේ දී ම සියලූ ඇල වේලි ඉවුරු බිඳ එළියට පනින්නේ යයි වික‍්‍රම ඉගෙන ගත්තේ පුෂ්පෙගෙන් එදා ය.

‘‘.... මං ඉංජිනේරුවෙක් වෙන එක නතර කරල නිකම්ම නිකං පොලිස් කාරයෙක් කළේ ඒකි මචං... ඒකි ඒ තරමටම මං පිස්සු වැට්ටුව මචං...’’

කිසියම් හෝ අවස්ථාවක පුෂ්පෙගේ අතින් ඔහුගේම බිරිඳට කිසියම් අනතුරක් වේ යයි මුලින් අනුමාන කළ වික‍්‍රම සිය අනුමානය වැරදි එකක් යයි තීරණය කළේය. ඒ ඔහු කියූ සෑම වචනයකම තව දුරටත් ඈ වෙනුවෙන් ආදරය ඉතිරි වී ඇති බව ඔහුට හැඟුණු බැවිනි.

එය රජයේ නිලධාරියෙකුගේ නිල රථයක් යයි ඔවුන් දෙදෙනාට ම අමතක වී ගොස් තිබුණි. එසේත් නැත්නම් හිතා මතාම අමතක කොට තිබිණි. ඇය සිටියේ වික‍්‍රමගේ දෑත් ආදරයෙන් පිරිමදිමින්ය. ඒ සියුමැලි දෑතේ පිරිමැදුම් රිද්මය විසින් ඔහුට තාරුණ්‍යය යනු මේ යයි කියා දෙමින් සිටියේය. ඔහුගේ උණුසුමෙන්, හදවතේ ගැඹුරින් නැගී මතුව එන්නා වූ උණුසුම් හුස්මෙන් ඇය ද තාරුණ්‍යය මේ යයි, ජීවිතය මේ යයි තේරුම් ගනිමින් සිටියේය. කොටින්ම ඔවුන් දෙදෙනාම සිටියේ සියුම් වෙව්ලිල්ලකය.

‘‘... තාත්ත මේක දන්නව... ඒත් මට හිතාගන්න බැරි තාත්ත ඇයි ඔයාට මොකුත් නොකියන්නෙ .. ඒ වගේම ඇයි ඔයාව තවත් පර්සනල් ඩ‍්‍රයිවර් විදියට තියාගෙන ඉන්නෙ කියල.... ඒ ඔක්කොටමත් වැඩිය ඇයි මාව තවත් ඔයත් එක්කම ක්ලාස් වලට එවන්නෙ කියල...’’

‘‘...ඒව ඔක්කොම හරිම සංකීර්ණ ප‍්‍රශ්න.. ඒත් හැම සංකීර්ණ ප‍්‍රශ්නෙකටම තියෙන්නෙ අපිට තේරුම් ගන්න බැරි තරම් සරල හේතුවක්.."
ඒකයි ඒ. ඔහු කීවේ ඇය තව තවත් අවුලකට ඇද දමමින්ය.

‘‘.. එහෙනම් මට ඒව ඒව තේරුං ගන්න බැරි ඒ තරමටම සරල නිසා ද...?"

‘‘...නැහැ හැම දෙයක්ම අපි හිතන තරම් සංකීර්ණ නැති නිසයි...’’


ඇයට කිසිත් වැටහුණේ නැත. වැටහුණු එකම දෙය නම් තමා මේ දෑතින් පිරිමදිමින්, උණුසුම් කරමින් සිටින, එමෙන්ම උණුසුම ලබමින් සිටින මිනිසා නිකම්ම නිකම් පොලිස්කාරයෙකු නොව සංකීර්ණ මිනිසෙකු බවයි.

‘‘... මට බයයි.. එයා කොයි වෙලාවෙ හරි ඔයාට වෙඩි තියයි කියල...’’

‘‘... නැහැ එහෙම වෙන එකක් නැහැ. හරිනං මමයි එයාට වෙඩි තියන්න ඕන...’’


ඇය තිගැස්සුණාය. ක්ෂණිකවම ඇය ඔහුගේ උණුසුමෙන් මිදී ගත්තාය. හදවත මෙතෙක් වේලා පුරවා ලූ, හදවතේ ගැඹුරුම තැන් මෙතෙක් වේලා කොණිහමින් සිටි උණුසුමෙන් මිදී ගත්තාය.

‘‘... මං එයාට වෙඩි තියල එයා ඒ පුටුවෙන් අයින් කරාට තව කවුරු හරි ඒ පුටුවෙ වාඩි වෙනව.. ඒ නිසා ඒකෙන් වැඩක් නැහැ. මං කරන්නෙ ආදරේ කරන එක.. එයා කරන්නෙ ආදරේ කැත කරන එක..’’ ඔහුට එසේ කීමට අවශ්‍ය වුවත් ඔහු ඔහුගේ ම ඒකපාර්ශ්වීය මානුෂික සම්මුතියට තව දුරටත් ගරු කළේය.

ඇත්තෙන්ම සිදු වී තිබුණේ වෙනකකි. තමා වහාම ක‍්‍රියාත්මක වන පරිදි යාපනයට මාරු කර ඇති බවට සඳහන් ලිපියක් නිකුත් වනවා වෙනුවට මාස කිහිපයක කල් පමාවෙන් පසුව ඉතාම සාමාන්‍ය ලෙස සාමාන්‍ය වාර්ෂික මාරුවීම් හරහා තමාව යාපනයට මාරු කර ඇති බවට ලිපිය ඔහු අතට පත්විය. ඒ ලිපිය ඔහු අතට පත් වූයේ සිද්දිය සිදු වීමට පෙර දිනයේය. නමුත් ඔහු අපේක්ෂා කර තිබුණේ ඊට වඩා වෙනස් ආකාරයක ප‍්‍රතිචාරයකි. සදාකාලික අබ්බගාතයෙකු, එහෙමත් නැත්නම් ආදරය වෙනුවෙන් අභිරහස් මරණයකට ගොදුරුවීම, වැනි දෙයකි. මේ කෙටි කාලය තුළ දී කිසිදාක තමා අපේක්ෂා නොකළ තරමේ යුවතියකගෙන් ලද පේ‍්‍රමයේ උන්මාදනීය ආශ්වාදය විසින්, ඔහු එළඹිමට නියමිත ඕනෑම දෙයකට සූදානම් කොට තිබුණි.

එදා රෑ පුරා නිදිවර්ජිතව ඔහු කල්පනා කළේ සමනල පියාපතක් වන් මෘදු සිනිදු හදක් ඇති, ජීවිතය ගලා යමේ රිද්මය මේ යයි තමාට ජීවිතයේ පළමු වතාවට කියා දුන් මේ යෞවනියගේ සිත නොරිදවා ඇයගෙන් සමු ගන්නේ කෙසේදැයි යන්නය. මන්ද ඇය හිමි කර ගැනීම හැමදාමත් ඔහුට දුරස්ථ සිහිනයක් වූ බැවිනි. ඒ නිසාම ඇයගෙන් ලද ආදරයට දිය යුතු උපරිම ගෞරවය ලෙස ඔහුට දැනුණේ තමාගෙන් වෙන් වීමෙන් ඇයට දැනීමට ඉඩ ඇති දරුණු කම්පනය උපරිම මට්ටමෙන් අවම කිරීමේ ක‍්‍රමයක් සොයා ගැනීමය. ස්ථාන මාරුව පිළිබඳව ඇයට දැන ගන්නට සැලැස්වීම ඇයගේ සමනල ලෝකයට වෙඩි තැබීමකි. කිසිදු හේතුවක් නොදන්වා රහසේම සියල්ල විඳ දරා ගනිමින් අතුරුදන් වීම ඇයගේ ලෝකයට බෝම්බ ගැසීමකි. ඔහු සිටියේ උභතෝකෝටිකයකය.

කෙසේ වුවත් අද නැත්නම් හෙට හෙට, හෙට නැත්නම් අනිද්දා හෝ ජීවිතයේ කිසියම් දවසක ඇයගෙන් සමු ගැනීම නම් ඔහුට නියතයක් විය. ඒ සමු ගැනීම කෙසේ සිදු වුවත් ඇයගෙන් ඔහු ලද ප‍්‍රහර්ෂය මෙන්ම ඔහුගෙන් ඇය ලබන්නට ඇතැයි ඔහු අනුමාන කළ ප‍්‍රහර්ෂය ද කිසි දිනෙක වළලා දමන්නට නොහැකිය. එය හදවතේ කොතැනක හෝ සැඟවී තිබෙනු ඇත.

ඔහුට සිය උසස් නිලධාරියා හමු වී කියන්නට ඕනෑ කළේ එක් දෙයක් පමණි. එනම් ‘‘... සර් කොහොම හිතුවත් පුෂ්පෙගෙ ගෙදර සිද්දිය මං මේ වෙනකම්ම කිසි කෙනකුට කියල නැහැ...’’ යන්නය. එසේ නැත්නම් මෙවැනි අවධානම් ගමනක් යාමට තමා තෝරා ගැනීමෙන් තමාට සිදු කළ ගෞරවයට කිසිදු හානියක් මේ වන තෙක් තමා සිදු කර නොමැති බව කීමටය.

‘‘... ඇත්තම කියනව නං මං සර්ගෙ කාමරේට අඩි හතරක් පහක් ඈතින් ඉද්දී තමයි මට වෙඩි සද්දෙ ඇහුණෙ... මං එතෙන්ට යන කොටත් වැඩේ සිද්ද වෙලා ඉවරයි. බිම වැටිල තිබුණු පිස්තෝලෙ මං අතට ගත්තෙ මොකටද කියල මං අදත් දන්නෙ නැහැ...’’ ඔහු එසේ කීවේ මානසික රෝගි වාට්ටුවේ ඇඳ මත දී ය. මානසිකව ඔහු තනා ගත් පිස්තෝලයක කොකා ගස්සමින්ය.

නඩුව සඳහා කළින් නම් කර තිබූ සියලූ සාක්ෂි අවසන් කිරීමෙන් පසු අධිකරණයේ විශේෂ අවසරයක් ඉල්ලා ප‍්‍රකාශයක් කිරීමට සුදර්ශි ඉදිරිපත් විය.

‘‘... දවසක් වාහනේ ඇතුලෙදි වික‍්‍රම මට බලහත්කාරකමක් කරන්න හැදුව..
..##***~~112ßß22+++###\\\..
..##++***34\\455~~**ßß##\\\....
...අන්තිමට එයා මට තර්ජනේ කෙරුව මගේ තාත්තට වෙඩි තියනවයි කියල...’’


මැස්සා තුවාලයේ පතුළටම බසිමින් සිටියේය. ඔද්ද්ල් වී සැරව ගලනා, වේදනා දෙන තුවාලයකින් මෙතරම් ප‍්‍රණිත කුණු රසයක් ජනිත වේ යයි ඌ කිසි විටක සිතා තිබුණේ නැත. නමුත් තුවාලය පතුළටම පාසාරු කළ විට එවැනි දරුණු තුවාලයක කිසිදාක තිබෙන්නට නොහැකි අති පාරිශුද්ද වස්තුවක් ඌට හමු විය. එය වික‍්‍රමට කිසිදාක වචන වලට ගොනු කිරීමට නොහැකි වූවකි.

‘‘....... අන්තිම මොහාතේ එයා තාත්තගෙ පැත්ත ගත්තත් මං හැමදාමත් ආදරේ එයාගෙ ආදරේට... මගේ ඇඟේ හැම අංශුවක්ම කීරි ගස්සපු ඒ ආදරේට... සදාකාලිකවම මැරෙනතුරුම මං ආදරෙයි එයාට...."

සෝමසිරි ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails