Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු ලබන නාමකරණයට දේශපාලනික අර්ථයක් ඇත. එය පශ්චාත් යටත් විජිත යන යෙදුමට ද පොදුවන අතර, ලංකාව විෂයෙහි දී, භාෂාමය ලෝකයේ නිතර කියැවෙන අලුත් වචනය වන පශ්චාත් යුද අවධිය යන දේශපාලනික හැඟවුම්කරණය පුණර්උච්ඡාරණය කිරීමේ සන්දර්භය තේරුම් ගැනීම දේශපාලනික, සමාජීය සංස්කෘතික හා ආචාර ධාර්මික වශයෙන් වැදගත් වනු ඇත.

දෙදහස් නවයේ මැයි මස නන්දිකඩාල් කලපුවට කොටු කරනු ලැබූ දෙමළ විමුක්ති සටන යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහී පාර්ශ්වය විසින් සළකුණු කරනු ලැබූ නිදහස, පීඩනයට පත්, අගතියට පත් ජනයාට නිදහසක් නොවී, යුද්ධය හා යුද්ධයට හේතුකාරක මූලයන් විසින් බිහිකර ඇති ප්‍රතිවිරෝධයන් හා ආකල්පයන් තවමත් ක්‍රියාත්මකව පැවතීම තුල පශ්චාත් යුද තත්ත්වය යන නාමකරණය දේශපාලනය තුල බැරෑරුම් ලෙස වලංගුව පවතී.

පශ්චාත් යුද තත්ත්වයෙන් මිදීමේ හැකියාව, පවත්නා මහින්ද පාලන ක්‍රමයට ඇත්තේ වුවද, එය දේශපාලනික මුග්ධබවෙහි සාගරයක ගිලී සිටීම හේතුවෙන් විසඳුමක් නො මැති තැන, යුක්තිය පසිඳලීම හා සාමය ස්ථාපිත කිරීම අනාගතයේ ඇති සිහිනයකි. එය අභ්‍යන්තරය තුලින් සාපේක්ෂක වශයෙන් පිළිගත හැකි අයුරකින් හෝ විසඳා ගිනීමට නොහැකි නම්, එය තුන් වැනි පාර්ශවයක කාර්යයක් වනු නොවනුමානය. වසර තිහකට අධික කාලයක් පුරා විවිධ හැඩයන්ගෙන් වර්ධනය වූ වාර්ගික ගැටුම හා මහා විනාශයකින් කෙළවර වූ සිවිල් යුද්ධය විසින් ඇති කරනු ලැබූ අගතිය විසින් යුක්තිය අපේක්ෂා කරන්නේය. යුක්තිය ඉෂ්ට කිරීම යන්න ජයග්‍රාහකයාගේ සාමයේ (Victor’s Peace) වචන පෙළහර පෑමෙන් ඔබ්බේ ඇති සංකිර්ණ ක්‍රියාවලියකි.එය දේශපාලන වේදිකාවන්ගේ, එදිනෙදා පාදඩ මාධ්‍ය භාවිතාවේ, ජාතිවාදී, වර්ගවාදී පෙළඹ වීම් සහිත ව්‍යාපෘතීන්ගේ කොටසක් නොවන අතර එහි ඇති අති මහත් බර දේශීය දේශපාලනයට ඇති වගකීමක් වන්නේ නමුත් එය හරියාකාරව ඉටු නොකිරීමේ අසමාර්ථය දේශීය දේශපාලයෙන් ඔබ්බට විතැන් වූ ජාත්‍යන්තර ක්‍රියාවලියක් යන්න ලෝක ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයන්, යුධ අපරාද, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ හා වර්ග සංහාරයන් පිළිබඳ හැරී බැලීමේදී හොඳින් පෙනී යන්නකි.

අනෙක් අතට, ලංකාව දූපතක් ලෙස සාගරයෙන් වටව වෙනම ලෝකයක් ලෙස සලකා දේශපාලනික තීන්දු ගනු ලැබුව ද, සිතාගෙන සිටිය ද, ලංකාව නැමැති ජාතික රාජ්‍යය සෑම සියලු ආකාරයකින්ම ජාත්‍යන්තරය හා ගැට ගැසී ඇත. නූතන භූ දේහපාලනය හා අන්තර්ජාතික ක්‍රියාකාරීත්වයත්, ජාතික රාජ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රසාරණය හේතුවෙන් ස්වයිරීත්වය යන පැරැණි නිර්වචනය ද අර්ථ රාමුවෙන් පිට පැන ඇත. සම්භාව්‍ය ජාතික රාජ්‍යයේ නිර්වචනයන් විනිවිද පුළුල් වීම සිදු වී ඇති බැවින් ස්වයිරීත්වය ප්‍රායෝගිකව ඇති යථාර්ථය කුමක් ද යන්නත් බැලීම රටෙහි තරම හා ක්‍රියාව අනුව තේරුම් ගත යුතුය. එසේම වසර තිහකට වඩා පැරණි වාර්ගික ගැටුමේ ප්‍රතිථල අභ්‍යන්තරිකත්වයෙන් ඔබ්බට විතැන් වී ජාත්‍යන්තරකරණය වීම අතීතයේ සිට ප්‍රසාරණය වීම මිස හැකිලීමක් දක්නට නැත. මේ නිසා පශ්චාත් යුද ලංකාව යනු නිකම්ම නිකම් වචනයක් නොව, විශ්ව ප්‍රඥ්ප්තීන්, ජාත්‍යන්තර නීතින්, හා මානව ශිෂ්ටාචාරයේ සම්මුතිකාමී වගවිමේ සන්දර්භයන් තුල නිර්ණය වන්නා වූ සංසිද්ධියක් වී ඇත. දේශීයව කුමන ගණන්කාර කම් ප්‍රදර්ශනය කළ ද, තර්ක විතර්කයන්ගෙන් ජය ගනිමින් ජත්‍යාල සුඛාස්වාදයක් ලබා ගත්ත ද, ලාංකික ජනාවාර්ගික ප්‍රශ්නය හා විනාශකාරී යුද්ධය විසින් ඇති කළ ප්‍රතිඵලයනට වගවීමේ ජාත්‍යන්තර සන්දර්භය නිර්මාණය වී ඇත. නිර්මාණය කරමින් සිටිති. එය සාපේක්ෂ වශයෙන් ලෝකයේ අන් සිදුවිම්වලට වඩා වේගයෙන් ඉදිරියට පැමිණීම මිස නොසලකා හැරීමක් ලෙස සැලකිය නො හැකි ය. මෙහිදී වඩාත් අවධානයට ලක්ව ඇති මාතෘකාවන් අතර ප්‍රධාන වී ඇත්තේ, යුධ අපරාධ( War Crimes) හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ (Crimes against Humanity) යන චෝදනාවන්ට වගවිය යුතු ද යන කාරණාය.

යුද අපරාධ(War Crimes)

යුද අපරාධ නැමැති සංකල්පයේ ආත්මය නැතිනම් හදවත යනුවෙන් සැලකෙන්නේ රටක හෝ එහි හමුදාවෙහි ක්‍රියාකාරකම් සඳහා අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් පිළිබඳවය. ජාත්‍යන්තර නීතියේ දී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු දරුණුම ගණයේ අපරාධ අතර ඇති අපරාධයන් ය.මේවා ඉතා බැරෑරුම් ලෙස සලකනණු ලබන අතර එම අපරාධයන් සඳහා ගත වන කාල වකවානුවක් ද නොමැති ය. එයින් අදහස් වන්නේ අපරාධයන්ට වරද කරුවන් වන්නන් සඳහා දඬුවම් පැමිණවීමට අපරාධය සිදු වූ කාලයේ සිට කොපමණ කලක් ගතවන්නේ ද යන්න සලකනු ලබන්නේ නැත යන්න ය.

යුද අපරාධ පිළිබඳ සංකල්පය මෑතක පැමිණියක් ය. දෙවන ලෝක යුද්ධයට පෙර එය සාමාන්‍යෙයන් පිළිගණු ලැබුවේ යුද්ධයේ ස්වභාවයේ කොටසක ඇති භයානක දෙයක් ලෙස වන අතර යුද අපරාධයන්ගේ වාර්තා ගත නිදසුන් ග්‍රීක හා රෝම කාල පරිච්ඡේදයන් වෙත ගමන් කරනු ඇත.

විසිවන ශතවර්ෂයට පෙර හමුදාවන් නිරන්තරයෙන්ම සතුරු හමුදාවට හා සටන්කරුවන් නොවන පුද්ගලයන්ට ද ඉතා අමානුෂික ලෙස සලකන්නට විය. එහෙත් යුද්ධය ජය ගත් පසු එම අපරාධ වලට පදනම් වූවන්ට කිසිදු දඬුවමක් තිබුණේ ද යන්න ගැටලුවකි. සෙන්පතියන් හා දේශපාලනඥයින් සාමාන්‍යෙයන් ඕනෑම දඬුවමක දී යුද්ධයකදී ක්‍රියාකළ ආකාරයෙන් බේරී පලා යන්නට විය. එසේ නොමැතිව, ඔවුන්ගේ පරාජයෙන් අනතුරුව වරදකරුවන් කිරීම හෝ දඬුවම් දීම සිදු වන්නේය.



යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යුහාත්මක ප්‍රෙව්ශයක් හෝ දේශපාලන නායකයින් හා හමුදා නායකයින් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයේ තත්වයන් පිලිබඳව හෝ ඔවුන්ගේ බට කණ්ඩායම් සම්බන්ධව අපරාධමය වගකීමක් ගත යුතු ද යන්න කිසිදු විදියේ පොදු ගිවිසුමක් නොතිබිණි. මෙම ආකල්පයන් වෙනසකට ලක් වූයේ දෙවන ලෝක යුද්ධය අතරතුර දශ ලක්ෂ ගනන් ජනයා විශේෂයෙන් නාසි ජර්මනිය විසින් යුදෙව්වන් ඝාතනයට ලක් විමේ දී හා ජපානය විසින් සිවිල් වැසියන්ට හා යුද සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකිම නිසා ය.

සාමාන්‍යයෙන් ජයග්‍රහණයට පත් රටක් හෝ පාර්ශවයක් යුධ අපරාද සඳහා නඩු කිමට පිවිසීම හෝ තම ජනයාට විරුද්ධව ක්‍රියා කිරීම සිදුවන්නේ කලාතුරකිනි.මේ නිසා එවැනි යුධ අපරාධ නඩු යනු වෛරය පිරිමැසිමේ නඩු ලෙස සැලකිය හැකි අතර තමන්ගේම අයුක්තියේ ක්‍රියාවන් ලෙස දැකිය හැකිය. මෙම තත්තවය එසේම නොවන බව වියට්නාම යුද්ධයේ දි අමරිකානුවන් යුද අපරාධවලට වගකිව යුතු බවට ද පැරණි යුගෝස්ලාවියාව මෙම සම්ප්‍රධායට විශේෂිත ව්‍යතිරේකයන් ලෙස දැකිය හැකිය.(BBC Ethic Guide)

ලංකාවෙහි පැවැති යුද්ධය හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනෙන යුද අපරාධ සම්බන්ධ නිර්වචන හා නිර්ණායකයන්ට අනුව යුද අපරාධ කණ්ඩායම් තුනකට හෝ වර්ග සංහාරය යන්න ඇතුලත් වන්නේ නම් හතරකට වැටෙන්නේය.

1. සාමයට එරෙහි අපරාධ (Crimes against peace)

2. යුද අපරාද(War Crimes)

3. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ(Crimes against Humanity)

4. වර්ග සංහාරය(Genocide)


මෙම වර්ගකිරීම්වලට අදාලව අපරාධ බවට ඇතුලත්වන කරුණු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ ද,(Rome Stature of the International Criminal Court) ජිනීවා සම්මුතියේ ද අඩංගුව පවතින අතර ලාංකීය සන්දර්භය එයට ඇතුලත් ද නැත් ද යන්න පිළිබඳ දැවෙන කාරණයක් වී ඇත.

යුද අපරාධ සම්බන්ධ විෂයය පශ්චාත් යුද තත්ත්වය හා අත්‍යන්ත සබඳකමක් පෙන්නුම් කළ ද එය ඈතක ඇති විෂයයක් වී ඇත. ඒ පිළිබඳ අපේක්ෂා සහගතව සිටින හා කටයුතු කරන පාර්ශවයන්ට කාලයේ ඉවසීමටත්, දේශිය හා ජාතයන්තර දේශපාලනයේ චලනයේ දිශාවන් වෙතත් අවදානය යොමු කළ යුතුව ඇත. එහෙත් යුද්ධයකින් පසුව ඇති විය යුතු සංහිඳියාවට ඇති නොහැකියාව විසින්ම යුද අපරාධ යන ඈතක ඇති නපුර ලං කර ගැනීමට පාලක රෙජීමය අති සමත්කමක් දක්වන තත්ත්වයක් පෙන්නුම් කරන්නේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දක්වන සංවේදී බවේ තරම නිසාය. මෙම තත්වය යටතේ යටත් පිරිසෙන්,දේශීය හා විශ්ව සම්මුතීන්ට අනුව අගතියට පත් වූවන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටු විය යුතු වුවද අභ්‍යන්තර හා භාහිර බල දේශපාලනයේ දී, අතීතය තම තමන්ගේ න්‍යාය පත්‍ර බවට පත්කර ගෙන එක් කොටසක් ක්‍රියා කරන අතර, එම අතීතයම ඉන් ඔබ්බට පැමිණ පැවැත්මක් බවට පත්වීමේ යථාර්ථයෙන් ද ගැලවිය නොහැකි වී ඇත. මෙම යථාර්ථයේ ගැටලුව මනුෂ්‍යත්වය හා යුක්තිය මතම පදනම්ව සංයුක්ත ලෙස වර්ග කිරීමේ දී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ තේරුම් ගත යුතුය. එනම් දේශීය යථාර්ථය හා ජාත්‍යන්තර යථාර්තය යන සරළ බෙදීම් දෙකය.

දේශීය යථාර්ථයේ අනුකූලතාව ජාත්‍යන්තර යථාර්ථයට සහ සම්බන්ධයක් ඇති අතර යුක්තිය සාමය හා සංහිඳියාව සඳහා නැගෙන ජාතික තෙරපුම මෙහිදී වැදගත් සාධකයකි. එහෙත් මෙම සංවේදී කාරණාව සම්බන්ධයේ දී, මහා ජාතිවාදයේ අඳුරු සෙවනැල්ලට සියල්ලෝ එකතු වී කටයුතු කිරීම, රාජපක්ෂ ආණ්ඩුවට පමණත් නොව පරම්පරා ගණනකට මහ ජාතිවාදය ඔසවා තබන්නකි. මෙය තේරුම් ගැනීමේ වැදගත් අවස්ථාව වන්නේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හා සම්බන්ධ ක්‍රියාවලියය. මානව හිමිකම් හා සම්බන්ධ වර්ධනය වෙමින් පවතින ක්‍රියාවලිය තේරුම්ගත හැක්කේ, රාජපක්ෂ හැර සියල්ලන්ගේ සාමාජ හෘද සාක්ෂියේ නිරුවත වසා ගැනීමේ මනෝ විද්‍යාත්මක ප්‍රකාශනය ලෙසය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට විවිධ මතයන් ගෙන හැර දක්වමින් විරුද්ධ වීමේ දේශපාලනය මෙන්ම මනෝභාව ද වැදගත් වන්නේ ජාතිවාදය යන්න වචන ඔබ්බේ ඇති ආකල්පමය, මුල් බැසගත් සංස්කෘතික ලක්ෂණ හා සෙසු සමස්ථයන් තුලින් ඇති කරන මානසික තත්ත්වය නිසාය. මෙම ජාතිවාදය වසා ගැනීමේ ඇති ජනප්‍රියම ප්‍රවාදය වන්නේ අධිරාජ්‍යවාදයයි.(අධිරාජ්‍යවාදය යන්න ඓතිහාසිකව පැන නැගුණු ලෝක යථාර්ථයක් වුවද එය තේරුම් ගැනීම නිෂ්චිත තත්ත්වයන් යටතේ කළ යුත්තකි.)


වඳුරා සමඟ සිට ගැනීම නොහොත් අධිරාජ්‍ය විරෝධී සටන

අධිරාජ්‍යවාදයට එරෙහි ප්‍රවාදයේ ධූරාවලි ලැයිස්තුවට අයිති නොවන දේශපාලන කණ්ඩායම කුමක්දැයි නම් කිරීමට පවා අසීරුවන තරමට මානව හිමිකම් හා අධිරාජ්‍යවාදය සමඟ ගැට ගසා ඇත. මෙකී ප්‍රවාදයට අනුව සිංහල බෞද්ධ ජාතියක් ලෙස, සිංහල බෞද්ධ වාමාංශිකයින් ලෙස, සිංහල දෙමළ මුස්ලිම් රාජපක්ෂ හිතවාදීන් ලෙස හා පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස උසේ අනු පිළිවෙලට රාජපක්ෂ පිටු පසින් ධූරාවලි ගත කළ හැකිය. එයට අනුව සිංහලයින්ගේ අණසකින් යුත් රටක් ඇත. මනුෂ්‍යයින් ලෙස සමාජයක් නැත. බලය මත පදනම් වූ ලෝක දැක්මකින් යුතු කුඩාම දේශපාලන කණ්ඩායම්වල සිට විපක්ෂය හා පාලක පක්ෂය යන කොටස් වලින් යුතු සමස්ථය මනුෂ්‍යත්වයේ යථාර්ථයෙන් මෙපිට ඇත. මේ අනුව පශ්චාත් යුද අවධියේ දේශපාලනික අර්ථය නැති කිරීමට නම් රටක් හා ශිෂ්ට සමාජයක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයන් ඇත. අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ දිග්ගැසුණු ගැටුමට ඇති මූලයන් ආකස්මිකව ඇති වූවක් නොවන අතර අවිහිංසාවාදයේ සිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමට හේතු වූ මූලයන් බුද්ධිමත්ව සමාලෝචනය කරමින් මහා ජාතියේ සුළු ජාතික භීතියෙන් නොව මනුෂ්‍යත්වයේ මිනුම් දඬුවලින් ප්‍රශ්නයට ඇතුල් විය යුතු වේ. එසේ ඇතුලු විමේ දී, ප්‍රධාන වගකීම රටක ජනයා නියෝජනය කරන පාලන ක්‍රමය සතුවන අතර එය විසින් එය ඉටු නොකරන්නේ නම්,සෙසු දේශපාලන ප්‍රවාහ හා සිවිල් සමාජය හමුවේ ඇත් ප්‍රධාන වගකීමක්වනු ඇත. එහෙත් අභාග්‍යයකට නැත්තේ ද එම හඬමය. තිබෙන හඬ ද මහ ජාතිවාදය විසින් යටපත් කර දමා ඇත.



පැවතුණු යුද්ධයත්, සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් හා අපරාධයන් සඳහා සෘජු වග උත්තරකරුවන් ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුවත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයත් වග කිව යුතු අතර ඔවුන්ට පමණක් වගකිමේ දෑත් දිගු කිරීමෙන් සමාජයක් ලෙස ගැලවිය නො හැකි ය. වක්‍රාකාරයෙන් මානව සංහාරයන් හා යුධමය ක්‍රියාවලියක් දක්වා සමාජ මනස දෘෂ්ටිමය ලෙස මෙහෙය වූ පිරිස් ද සපුරාම වගකිව යුතු වන්නේය. ඒ අනුව දකුණේ සිංහල බෞද්ධ ජාතිවාදය විසින් නිර්මාණය කරනු ලැබූ, රාජපක්ෂ ආණ්ඩුවේ සහායක බලවේග මෙම මානව විරෝධී සංහාරයට ආචාර ධාර්මිකව වගකිව යුත්තෝ වන්නෝය. එහෙත් මෙම වගවීමට විනිශ්චයාසනයක් දේශියව හෝ ජාත්‍යන්තරව නොමැත. ඒ සඳහා කොතෙතුත් සාක්ෂි ගබඩා වුවත් ඊට වගවීමේ සමාජ හෘද සාක්ෂියක් පවා නොමැත්තේය.

මීට වසර දෙකකට ප්‍රථම එනම් 2011 වර්ෂය මුල දී අන්තර් ජාලයට මුදාහල වීඩියෝ පටයක් ඇත. මෑතක දී ද ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති අවස්ථාවක දී, එය නැරඹුවෙමි. කථා නායකයා පූජ්‍ය දඹර අමිල හිමියන් ය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකි. අමිල හිමියන්ගේ ඹප්පු කිරිමට අනුව යුද ජයග්‍රහනයේ සැබෑ උරුමකරුවන් අන් කිසිවකු නොව, යුද්ධයට නායකත්වය දුන් හමුදාපතිවරයා සහ රාජපක්ෂ රෙජිමයට යුද්ධය සඳහා ඔක්ෂිජන් දුන් ජනතා විමුක්ති පෙරමුණ හා ඒ හා බද්ධ වූ බහු ජන ව්‍යාපාරයන්ය. එසේ නම්, එම යථාර්ථයට ප්‍රතිමුඛව යුද්ධයේ සිදු වූ අපරාධ වලට වග උත්තර කරුවන් වීමේ අයිතියක් ඔවුන් සතු නොවන්නේ ද? (වීඩියෝ පටය බලන්න: මෙතනින් යන්න.) මහින්ද රාජපක්ෂ යුද්ධය පස්සට අදින අවස්ථාවේ දී හරියට බල්ලෙකු නෑවීමට ගෙන යන්නාක් මෙන් ඔහුව යුද්ධය වෙත දක්කන ලද්දේ ජවිපය බවට එහි නායකත්වය විසින් පිළි ගන්නා සත්‍යයකි. මෙම ප්‍රකාශය ජවිපේ නායක සෝමවංශ අමරසිංහගේ ආඩම්බරකාරී හේතු පාඨයක් වුවද එහි ඇති මානුෂීය ඛේදවාචකයේ ගැඹුර තේරුම් ගැනීමට සමාජයක් ලෙසම සිංහල සමාජය අසමත් වී ඇත. එසේම චම්පික රණවක වැනි ජාතික හෙළ උරුමය නායකත්වය ද ඊටම නො දෙවෙනි ස්ථානයක සිටින අතර නලීන් ද සිල්වා, අමරසේකර වැනි දෘෂ්ටිවාදී ජාතිවාදී බලවේගයන් ද යුද්ධය ජය ගැන්වීමේ ලැයිස්තුවෙහි ඇත.යුද්ධයේ අවසාන කාලය වන විට, බහුතර දකුණු සමාජය යුද්ධයේ ජයග්‍රාහී විඝඨනය නාට්‍යානුසාරීව ජන මාධ්‍ය හරහා කොටස්කරුවන් බවට පත්ව ජයග්‍රහනයේ ආශ්වාදය බුක්ති විඳින්නට විය. රතිඤ්ඤා බෙර හඬ නන්වමින් අවසන කිරි උතුරා කිරිබත් කමින් මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ගැටුමේ හේතුවට ඵලයක් සොයා ගැනීමේ අසමත්කමේ ව්‍යාධියෙන් පෙලෙමින්ය.




එහෙත් 2009 මැයි මාසයෙන් පසුව මහා සතුරාගෙන්, මහා අනෙකාගෙන් නිදහස් වූ සමාජය ඉතිහාසයේ අවසානය යැයි යන හැඟීමකින් කටයුතු කළ ද, මහා රික්තයකින් මහා සමාජය ගල් ගැසෙන්නට වූයේ විනාශයත් සමඟ අහිමි කරගත් හෘද සාක්ෂිය සහිතවය. සංඛ්‍යාත්මක වශයෙන් සුළු පිරිසක් හැරුණු විට, බහුතරයේ කැමැත්ත අභිලාෂය හා මනෝභාවය වූයේ ඓතිහාසික සතුරාගේ කඩා වැටීමය. විනාශයමය. එනම් දෙමළාගේ අවසානය ය.

දූපතක් රටක් රාජ්‍යයක් තුල ජන වර්ග දෙකක් අතර සිවිල් යුද්ධයක් ඇති විය. එය ස්වකීය රාජ්‍යයේ අවශ්‍යතාවයට කැමැත්තට හා අභිලාෂයට පමණක් අනුව සිදු වූවක් නොවූ අතර එසේ වූවත් ලෝක සම්මතයෙන්, නීති හා සම්මුතීන්ගෙන් බැහැරව ක්‍රියා කළ නොහැකි බව දිනෙන් දින යථාර්ථයක් වී තිබේ. අත්තනෝමතිකව බලය හා මුග්ධකම මත ඕනෑම දෙයක් කළ හැකි වුවද එහි විපාකයන්ගෙන් බැහැර විමට පහසු නොවන බව පෙනී යන්නේ, යුද්ධය අතර තුර හා අවසානයේ දි හා ඉන් අනතුරුව සිදු වූ යේ යැයි සලකන මානව විරෝධී අපරාධයන් විසින් සාක්ෂි සපයන නිසාය.

තුන්වැනි බලවේගය

එහෙත් යුධ අපරාධ, හා මානව හිමිකම් උල්ලංඝණයන් සඳහා සෘජු වගකීම නෛතිකමය වශයෙන් පාලක රෙජීමයට පැවරුණ ද සදාචාරාත්මක වශයෙන් ඇති සමාජ වගකීම නිර්වචනය වී නොමැති සමාජයක් තුල, සෙසු අයගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුය. රාජපක්ෂව දඬුකඳේ ගැසීයෙන් හෝ බලයෙන් පහ කිරීමෙන් මිය ගිය සමාජ ආත්මයට පිළියමක් වන්නේ නැත. සමාජ සංහිඳියාවක් හෝ යුක්තියක් හා සාමයක් ලැබෙන්නේ නැත. එය නිවැරදිව නිදසුනකින් තේරුම් ගැනිමට නම්, නාසි ජර්මනිය වෙත හැරීම වටිනාකමක් ගෙන දෙන්නේය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව, යුද්ධයේ දී සිදු වූ අපරාධ හිට්ලර් මතට පටවා චෝදනා නගන්නට වුවත් ඔහු පසු පස සිට නිහඬව සහය වූ ජාතික සමාජවාදී බහුතරය සිටින්නට විය. යුද්ධයෙන් පසුව සංහිඳියාව ඇති කිරීමේ දී නිහඬව සිටි පරම්පරාවේ වරද හා සදාචාරය පිළිබඳ ගැටුම මතු කළ අවස්ථාවක් වූයේ 1968 ජර්මන් ශිෂ්‍ය අරගලයයි.

1968 ව්‍යාපාරයේ හදවත වූ පරම්පරා ගැටුමක හැඟීම ඇති කිරීමට විශෙෂිත බලයක් ජර්මනිය තුල ගෙන දුන්නේ නාසි කාල පරිච්ඡේදයේ දීර්ඝ සෙවණැල්ල විසිනි. පැරිසියේ සිසුන් ඒකාධිපති ඩිගොල්ට එරෙහිව අරගල කරද්දී, ජර්මානු සිසුන් තමන්ව දුටුවේ, හිට්ලර්ට සහ නාසින්ගේ අපරාධවලදී නිහඬව කුමණ්ත්‍රණකාරීව උන් තම දෙමව්පියන් අපරාධයන්ට සහාය දීමට එරෙහිව කළ අරගලයන් ලෙසය.(Utopia or Auschwitz: Germany's 1968 Generation and the Holocaust)

නමුත් ලංකාවේ රාජපක්ෂට හා පාපකාරී සමාජ පරම්පරාවට යන සමස්ථයට එරෙහිට ඇඟිල්ල දිගු කිරීමේ සැබැ ලාංකීය උවමනාව ඇති ව්‍යාපාරයකට ඇති කාලය දුරය. නිසි ගර්භාෂයක පිළිසිඳ ගත යුතු එම කළල නම් වූ සමාජ ප්‍රබුද්ධත්වයට සංසර්ගගත විම අද යුගයේ ලාංකික සිංහල දෙමළ මුස්ලිම් හා සෙසු අලුතින් හිතන ජනයාගේ කාර්යය වනු ඇත. එය හුදෙකලා සංසිද්ධියක් නොවන අතර පුළුල් ලෝක දැක්මක් සතු කරගත් ප්‍රතිපත්තිගරුක, ආචාර ධර්මීය මනුෂ්‍යත්වයේ ව්‍යාපාරයක් විය යුතුය. විවිධත්වයට ගරුකරමින් තමන්ට ඇති අයිතිය අනෙකාට ද ලැබිය යුතු නම්, එයට ජාතිය, වර්ගය, හා භූමිය බාධකයක් නොවීමේ සරල සිද්ධාන්තයවත් වටහා ගතහැකි මිනිසුන් ද ව්‍යාපාරද, අදහස් හා මතවාද අලුතින් කල්පනා කළ යුත්තේ, දිනෙන් දින මිනිසා අලුත්වන නිසාය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සිතන ක්‍රියාකරන විකල්ප තුන්වෙනි බලවේගයකට ලංකාවේ මනස පෑදේවා!!!

2013.03.22

උදය ආර්. තෙන්නකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails