Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත.

හිට්ලර්ගේ පක්ෂයේ මුල් නාමය වුණේ, ‘ජර්මන් කම්කරු පක්ෂය’ යි. කම්කරු පක්ෂයක් යැයි කී විට එය, ප‍්‍රගතිශීලී අර්ථයක් දනවයි. ඊට කලකට පසු ඔහු එම නාමය තවත් ‘ගෞරවාන්විත’ කෙළේය. ඒ මෙසේ ය: ‘ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය’ යනුවෙනි. දැන්, කලින් තිබූ කම්කරු පක්ෂයට ‘සමාජවාදී’ නාමයකුත් එක්ව ඇති බැවින් එයට තවත් ප‍්‍රගතිශීලී අරුතක් ආරූඪ කෙරේ. එහෙත්, ‘ජාතික’ සහ ‘ජර්මානු’ යන විශේෂණ පදත් ඇති නිසා, අර කී ‘සමාජවාදය’ සහ ‘කම්කරු’ අර්ථ දැන් විපර්යාසයකට පාත‍්‍ර වෙයි.

මේ සියලූ නම් හිට්ලර් තමන්ගේ පක්ෂයට එල්ලාගත්තේ, ඒ පිළිබඳව හොඳින් දැනුවත්ව ය. එහි තිබුණේ, ‘කම්කරු’ හෝ ‘සමාජවාදී’ යන්නෙන් සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන හරය පිළිබඳ ආශාවක් නොව, පෙර කී, ‘කම්කරු’ හා ‘සමාජවාදී’ යන වචනවල සපුරා ප‍්‍රතිවිරුද්ධය කරලියට ගැනීමේ අවශ්‍යතාවයි. මේ නිසා, අද බොදුබල සේනා ප‍්‍රකාශනය, තමන් ජාතිවාදී හෝ ආගම්වාදී නොවන බව කියන විට, එයින් අදහස් කරන්නේ අප අදහස් කරන දේ නොවන බව දත යුතුය.

ඊළඟට, ෆැසිස්ට්වාදයේ සැබෑ ස්වභාවය නොදන්නා පුහුදුන් ජනයාට හැඟෙන්නේ, මුස්ලිම් විරෝධී ව්‍යාපාරය මේ අවස්ථාවේ ඔවුන්ගේ ‘බෝ වීම’ යම් තාක් පාලනය කිරීම සඳහා යොදාගත හැකි සාධනීය මැදිහත් වීමක් වශයෙනි. ඊටම උඩගෙඩි දෙමින් මෑතක දී ආණ්ඩුවත් වන්ධ්‍යාකරණ සැත්කම් තහනම් කෙළේය. එවැනි සැත්කම් නිසා, ලංකාවේ සිංහල-බෞද්ධ ජනගහනය හැකිලී යතැ යි යන්න ඒ පසුපස පැවති තර්කණය විය. එනම්, ‘කුඩා පවුල’ මින් මතු සිංහල-බෞද්ධයාට ‘හරාම්’ බවයි.

ඒ නිසා, හලාල් ලේබලය ඉවත් කිරීම, පොදුවේ රටට සහ සමාජයට ලැබුණු ජයග‍්‍රහණයක් වශයෙන්, සාමාන්‍යයෙන් ජාතිවාදී නොවන සිංහලයන් පවා සිතූ බවක් පෙනෙන්ට තිබුණි. මධ්‍යස්ථ යැයි කියන ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා ගිය සතියේ, මේ අර්බුදයේ දී මුස්ලිම් ප‍්‍රජාව දැක්වූ ඉවසීම වෙනුවෙන් සිය ස්තුතිය පිරිනැමුවේ එබැවිනි. මෙහි දී මුස්ලිම් ජනයාගේ ඉවසීම අවශ්‍ය කෙළේ කුමක් ඉදිරියේ ද යන්න සහ එම දෙය, මුස්ලිම් ජාතිකයාගේ ඉවසීම නැති කරන දෙයක් විය හැකිව තිබුණේ කෙසේ ද යන්න සැළකිල්ලට ගැනුණු බවක් නොපෙනේ. මන්ද යත්, එය එසේ විණි නම්, මුස්ලිම් ජනයාට ඔවුන්ගේ ඉවසීම ගැන ස්තුති කරන අතරේම, බොදුබල සේනාවේ ප‍්‍රකෝපකාරීත්වය දෙසටත් විවේචනාත්මක ඇඟිල්ලක් දිගු විය යුතුව තිබුණු බැවිනි. එහෙත් එවැන්නක්, ආණ්ඩුවේ බලධාරීන්ගෙන්වත්, ‘ස්වාධීන’ යැයි කියාගන්නා බෞද්ධ භික්ෂූන්ගෙන්වත් අපට දකින්නට ලැබුණේ නැත. ඉතිං, අවසානයේ දී මෙය සමාජය අත්කරගත් ජයග‍්‍රහණයක් වශයෙන් අර්ථගන්වන විට, එම ජයග‍්‍රහණය ලබන ‘සමාජය’ වෙන දෙයක් නොව, බොදුබල සේනාවම බව කෙනෙකුට වැසැංගිය නොහැකි විය.

හොඳයි, හලාල් ලේබලය ඉල්ලා අස්කරගෙන ඇති නිසා ඉන් පසු ප‍්‍රශ්නය අවසන් විය යුතුව තිබුණි. එහෙත් මෙය ප‍්‍රශ්නයේ ආරම්භයක් පමණක් බව පෙන්නුම් කරමින්, එක් පැත්තකින් පිටරට පටවන භාණ්ඩවලට පමණක් හලාල් ලේබලය ලබා දීමත් තමන්ට සෑහීමකට පත්විය හැකි විසඳුමක් වශයෙන් භාර නොගන්නා මේ ෆැසිස්ට්වාදියෝ, අනිත් පැත්තෙන්, තම ප‍්‍රහාරයේ ඊළඟ වටය ද දැන් ප‍්‍රකාශයට පත්කරති. ඒ කුමක් ද? ලබන සතියේ සිට මහනුවරින් ඇරඹෙන්ට නියමිත තවත් බොදුබල සේනා රැස්වීමකින් පසු, මුස්ලිම් ගැහැනුන් හඳින විශේෂ ඇඳුමකට එරෙහි ව්‍යාපාරයක් ද දියත් කිරීමට කැසකැවීමයි. මේ සම්බන්ධයෙන් ජර්මානු පූජකවරයෙකු දෙවැනි ලෝක සංග‍්‍රාම සමයේ ජර්මනියේ තත්ත්වය ගැන ලියූ කවියක් රාවය පාඨකයා බොහෝ වර අසා ඇති නිසා මෙහි සඳහන් නොකරමි. කෙසේ වෙතත්, එයින් කියැවෙන්නේ, නොදැනුවත්කම, ෆැසිස්ට්වාදයේ අවාසනාවන්ත බිල්ලක් නොවී බේරෙන්නට මොනම ආරක්ෂණයක්වත් කිසිවෙකුට නොසපයන බවයි.







ඇස් දෙක පමණක් පිටතට පෙනෙන සේ ඇඳුම් ඇඳීමට යම් ගැහැනියකට සිදුවීම මේ ලියුම්කරු සලකන්නේ කාන්තා මර්දනයක් වශයෙනි. එසේම, කාන්තාවක් වේවා, පිරිමියෙකු වේවා, ආගමික නියමයක් මත ඇඳුම් තෝරා ගැනීම, එම පුද්ගලයා මත අභ්‍යාස කෙරෙන අනියම් මර්දනයකි. එවැනි මර්දනයක් පැනවිය හැක්කේ ඕනෑම ආගමක පූජ්‍ය පක්ෂයක් වෙනුවෙන් පමණි. උදාහරණයක් වශයෙන්, බෞද්ධ භික්ෂූන් සඳහා සිවුර හෝ කිතුණු පූජකවරුන් සඳහා ලෝගුව ආදී වශයෙනි.

ගිහි ඇඳුමක මූලික අරුත, නිරුවත ආවරණය කිරීමයි. පුද්ගල නිදහස උදුරා ගැනීමට නූතන සමාජයකට අයිතිය පැවරෙන්නේ ඒ මූලික කාරණය සම්බන්ධයෙන් පමණි. එනම්, නිරුවතින් මහපාරේ යාමට කිසිවෙකුට නූතන සමාජය අයිතියක් දෙන්නේ නැති බවයි. මෙසේ නිරුවත ආවරණය කිරීමේ මූලික ක‍්‍රියාවලිය තුළ (ඇඳුම තුළ) නිරාවරණය කර පෙන්වන දේවල් ද තිබේ. ඒවා, ප‍්‍රධාන වශයෙන් සංස්කෘතිය, ආගම, ජාතිකත්වය, දේශගුණය සහ සෞන්දර්ය ආදී සාධක යටතට ගැනේ. ඊයේ (13) කොළඹ කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේ පැවති පොතක් දොරට වැඞීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයෙකු වශයෙන් පැමිණි වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, කරේ පොරවක් එල්ලාගෙන, උඩුකය නිරුවත්ව සම්භාවනීය සභාවට පැමිණීම, ‘ත‍්‍රස්තවාදී’ ක‍්‍රියාවක් වශයෙන්වත්, ‘අශීලාචාර’ කමක් වශයෙන්වත් කිසිවෙකු දුටුවේ නැත. එසේ පැමිණීමට ඔහුට සංස්කෘතිකමය අයිතියක් තිබුණි. ඔහු කරේ එල්ලාගෙන සිටි පොරොව, එම සභාවේ සිටි කිසිවෙකුට තර්ජනයට කාරණයක් නොවුණි.

ඒ ආකාරයෙන්, හින්දු භක්තිකයා වේට්ටිය හැඳීම, සිංහලයා සරම බැනියම හැඳීම, මුසල්මානුවා දිග කමිසය සහ ලෝගු කලිසම හැඳීම සහ යුරෝපීයයා කලිසම් කෝට් හැඳීම ඔවුන්ගේ සංස්කෘතිය කියාපායි. මේ එකක්වත් ඒ කිසි ජාතියකට හෝ ආගමකට අනිවාර්ය නැත. මුස්ලිම් පිරිමියාට අවශ්‍ය නම් යුරෝපීය ඇඳුමින් සැරසිය හැකිය. නැත්නම් සරම කමිසය හැඳිය හැකිය. එහෙත්, මුස්ලිම් ගැහැනියට ඒ අයිතිය නැත. ඇය, මුහුණ පමණක් නිරාවරණය කිරීමේ නිදහසේ සිට, ඇස් දෙක පමණක් නිරාවරණය කිරීමේ ‘නිදහස’ දක්වා බාල්දු කොට තිබේ.

එසේ කරන්නේ ඇයි? ඇගේ ශරීරය දැකීමෙන් පිරිමියා ඇවිස්සිය හැකි නිසා ය. ඒ නිසා, පිරිමියෙකුගේ ඇවිස්සීම වළක්වනු වස් ගැහැනියට ඇස් දෙක හැරුණු කොට සර්වාංගයම වසා ගැනීමට බලකෙරේ. තවත් විදිහකින් කිවහොත්, ඇගේ ශරීරය ආවරණය කළ යුතු ප‍්‍රමාණය පාලනය කරන්නේ පිරිමියෙකුගේ ආගමක් මගිනි.

මේ ආශ‍්‍රයෙන් ප‍්‍රශ්න ගණනාවක් පැනනගී. පිරිමියාගේ ලිංගිකත්වය ඇවිස්සීමට හේතු වන ගැහැනු සිරුරේ අංග කවරේ ද? ඇස් දෙක හැරුණු කොට මුළු සිරුරම වසාගන්නා ගැහැනුන් වෙසෙන සමාජයක, එම ගැහැනියගේ සිරුරේ සෑම මවිලක්ම පිරිමියා ඉදිරියේ ‘ලිංගිකව ප‍්‍රකෝපකාරී’ වෙති යි පිරිමියා විශ්වාස කරයි. දැන්, මේ විශ්වාසය බිහි වුණේ, මුස්ලිම් සමාජවල මිස බෞද්ධ, ක‍්‍රිස්තියානි හෝ හින්දු සමාජවල නොවේ. එහි අරුත වන්නේ, මෙතරම් පහසුවෙන් ලිංගිකව ඇවිස්සෙන පිරිමින් බිහිකර ඇත්තේ ද මුස්ලිම් සමාජයම වන බවයි. ඊට විසඳුමක් වශයෙන් ගැහැනියගේ ඇඳුම සකස් විය යුතු යැයි කීම සමාන කළ හැක්කේ, මෑතක දී ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ තරුණියගෙන් එරට ඇමතිවරයෙකු ඇසූ ප‍්‍රශ්නයට ය. ‘මහ රෑ මොකට ද ගෑනියෙක් එළියට ගියේ?’

ඊළඟට, නූතන ලෝකයේ සෑම පුද්ගලයෙකුටම අනන්‍යතා පත‍්‍රයක් තිබිය යුතු බවට පිළිගැනීමක් තිබේ. එවිට, අර කී සර්වාංගය වැසූ ගැහැනියට නිකුත් කරන අනන්‍යතා පත‍්‍රයේ අරුතක් තිබිය හැකි ද? උදාහරණයක් වශයෙන්, එවැනි ගැහැනියක් කෙනෙකුට වෙඩි තබා පලායන්නේ යැයි සිතන්න. එම වෙඩි තැබීම ඇසින් දුටු කිසිවෙකුට පසු අවස්ථාවක ඇය හඳුනා ගැනීමට පිළිවන් කමක් ලැබේවි ද?

කොටින්ම, මට මුහුණ පෙන්වීම ප‍්‍රතික්ෂේප කරන කිසිවෙකුට මගේ මුහුණ දැකීමේ අයිතියක් තිබිය නොහැකිය.

නූතන ලෝකයට අයෝග්‍ය, මර්දනකාරී මෙවැනි සංස්කෘතික හෝ ආගමික පැනවීම් සහ බලහත්කාරී චාරිත‍්‍ර අභියෝග කළ යුත්තේ ලෞකික තලයක හේතුවාදීව මිස, බොදුබල සේනාව සේ එක ආගමක් කරේ තියාගෙන අනිත් ආගම ප‍්‍රශ්න කිරීමෙන් නොවේ. මේ කියන ඇඳුම පිළිබඳ බොදුබල සේනාවට අද ඇති ප‍්‍රශ්නය ඉහත දැක්වූ කිසි කරුණකට අදාළ නැත. එය අදාළ වන්නේ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයටම පමණි. එම අන්තවාදය තුළ, බෞද්ධ ගැහැනියගේ ඇඳුමත් අනාගතයේ දී ප‍්‍රශ්න කෙරෙනු ඇත. ඩෙනිම් කලිසම ඈට තහනම් වී ඔසරිය හෝ ළමා සාරිය අනිවාර්ය කෙරෙන කාලය වැඩි ඈතක නැත.

මේ නිසා, මුස්ලිම් ගැහැනියගේ ඇඳුම පිළිබඳ ලෞකික ප‍්‍රශ්නය බොදුබල සේනාවේ ව්‍යාජ සටන් පාඨයක් කර ගැනීමට ඉඩ දිය යුතු නැත. ඇගේ නිදහස, සමාජ සංවර්ධනයත් සමග යම් දවසක ඇය දිනාගනු ඇත. එම ඇඳුම ඇය මත පැටවීමට මුස්ලිම් පිරිමියාට අයිතියක් නැති තරමටම, එම ඇඳුමෙන් ඇයව බලහත්කාරයෙන් ගලවා ගැනීමේ අයිතියක් කිසි අන්තවාදී ව්‍යාපාරයකට පැවරෙන්නේ ද නැත.





(-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.16)

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails