Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සමග සමග ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර කළ කතා බහ

පශ්චාත් නූතන කථිකාව ලෝකය තුළ ගොඩනැගෙන්නේ කොහොමද?

පශ්චාත් නූතන වාදය ලෝකය තුළ ගොඩ නැගෙන්න පටන්ගන්නෙ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල වගේ ඉඳන්. මේකෙ මූලික ලක්ෂණ හඳුනා ගන්නටනම් අපිට ලියෝතාගේ "පශ්චාත් නූතනවාදී තත්ත්වය" කියන පොතට යන්න වෙනවා. මොනවා වුණත්, එදා ඉඳන් අද දක්වා දියුණු වූ පශ්චාත් නූතනවාදී සංකල්ප නිසා ලෝකයේ ගොඩක් දේවල් ගැන මෙතෙක් තිබ්බ ගතානුගතික දැක්ම උඩු යටිකුරු වුණා. ඒ අනුව ඒ දේවල් දිහා බලන්න අලූත් ප‍්‍රවේශයක් විවෘත වුණා. පරිගණක තාක්ෂණය, මෝස්තර කලාව, රූපවාහිනී තාක්ෂණය හා නව වාණිජ රැල්ල වගේ කරුණු මේ වෙනස්කම් කෙරේ තදින් බලපෑවා. පශ්චාත් නූතනවාදී තත්ත්වය පිළිබඳ ලියෝතා තම සංකල්ප ඉදිරිපත් කරන්නේත් මේ ඔක්කොම දේවල් සැලකිල්ලට අරගෙන.

ලෝකය තුළ පශ්චාත් නූතන තත්ත්වයක් ගොඩනැගෙන්නේ ඒ තුළම තිබුණු අභ්‍යන්තරික පරස්පරතා නිසා නූතනවාදය දියවී යෑමේ ප‍්‍රතිඵලයක් හැටියට. නූතනවාදය ආරම්භ වෙද්දි, එක පැත්තකින් අලූත් ලෝකයකට පා තැබීම සඳහා විද්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් හැඩ ගැසෙමින් තිබ්බා. ඒ වගේම ආර්ථිකය වැඩවසම් තත්වයක ඉඳලා ධනවාදයකට මාරුවෙමින් තිබ්බා. තවත් පැත්තකින් සමාජ සම්බන්ධතාවලදී වගේම ආර්ථික සම්බන්ධතාවලදී අනික් සියල්ලට වඩා මුදල කේන්ද්‍රගත වුණා. ඒ මොනවා වුණත් අලූත් ලෝකයක් පිළිබඳ මිනිසා තුළ වර්ධනය වූ ප‍්‍රාර්ථනා සහ බලාපොරොත්තු අඩු වුණේ නෑ.

අලුත් ලෝකයක් පිළිබද මේ කියන බලාපොරොත්තු දල්වන්න වගේම බිඳ දමන්නේත් වැඩිමනක් දායක වෙන්නෙ නූතනවාදී දේශපාලන ව්‍යාපෘතිය?

ඔව්, නූතනවාදී දේශපාලන ව්‍යාපෘතියේ ප‍්‍රධාන කොටසක් වුණේ රජුගෙන් උදුරාගත් පාලන බලය විධායකයක් වෙත හා ජනතා නියෝජිත පාර්ලිමේන්තුවක් වෙත පැවරීම. වෙන විදිහකට කියනවානම්, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදත් අධිකරණය පිළිබඳ නූතන සංකල්පත් ගොඩනැගෙන්නේ මේත් එක්ක. ඒ විතරක් නෙමෙයි ස්වෛරීත්වය, පරමාධිපත්‍ය, උත්තරීතරභාවය, මානව හිමිකම් වගේ සියල්ල ඒ දේශපාලන රූපය විසින් ඇති කරනු ලැබූ සංකල්ප. ඒ දේශපාලනික ව්‍යාපෘතියට අමතරව තමයි සංගීතය, චිත‍්‍ර ශිල්පය, සාහිත්‍ය කලාව, නාට්‍ය, ගෘහනිර්මාණ ශිල්පය ඇතුලූ සියලූ දේ කෙරේ මේ කියන නූතනවාදී සංකල්ප රිංගන්නෙ.

ධනවාදයයි නූතනවාදී සංස්කෘතියයි ඇතිවීමත් එක්ක තමන්ගේ සියලූම ප‍්‍රශ්න විසඳෙයි කියලා මිනිස්සු කල්පනා කළා. ප‍්‍රගතිය පිළිබඳ සංකල්පයත්, යුක්තිය පිළිබඳ සංකල්පයත්, සත්‍යය පිළිබඳ සංකල්පයත්, සාධාරණයක් යනුවෙන් දෙයක් ඇති බවට වූ සංකල්පයත් වගේ එක්කෝ අලූත් සංකල්ප එහෙමත් නැතිනම් අලූතින් නිර්වචන ලබා දුන් පැරණි සංකල්ප නූතනවාදී ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරුණා. විශේෂයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන සියල්ල ස්වාධීනව හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරතැ’යි විශ්වාස කිරීම තුළ දේශපාලනය පිළිබඳ සුන්දර සිහිනයක් මැවුණා.

ඒත් නූතනවාදී ව්‍යාපෘතිය මගින් ඇතිකරනු ලැබූ ඒ සුන්දර සිහින හැමදෙනාගේම ඇස් පනාපිට උඩු යටිකුරු වෙන්න වැඩි කල් ගියේ නෑ. උදාහරණයක් විදිහට "ජනතාව උදෙසාය", "ජනතාවගේ යහපත පිණිසය" වගේ නූතනවාදය විසින් ගොඩ නගනු ලැබූ සියලූම සංකල්ප පළවෙනි ලෝක යුද්ධය වගේ කරුණු නිසා පොතට විතරක් සීමා වන විදිහට දියවෙලා ගියා. ඒත් එක්ක ලක්ෂ ගණනින් මිනිස්සු මිය ගියා. දේපල විශාල වශයෙන් විනාශයට පත් වුණා. තවත් පිරිසක් අංගවිකලභාවයට පත් වූණා. ඒ විතරක් නෙවෙයි ලෝකය විවිධ රාජ්‍ය වලට ද කැඩිලා බිඳිලා ගියා.

මේ විදිහට බොඳවෙලා ගිය ජනතාවගේ සිහින ආපහු දලූලන්නට හේතු වන එක සිදුවීමක් එක්දහස් නවසිය දහ හතේදී සිදුවුණා. ඒ රුසියානු විප්ලවය. රුසියානු විප්ලවයත් එක්ක ජනතාව තුළ ගොඩනැගුණු ඒ හීනය බිඳවැටෙන්නත් වැඩිකල් ගියේ නෑ. ඒ විප්ලවීය රුසියාව ඉතාමත් ඉක්මනින් ස්ටැලින්වාදයත් එක්ක ඒකාධිපතිත්වයක් කරා තල්ලූ වෙච්ච නිසා.

නූතනවාදී සිහිනය තවදුරටත් දියකරලා දාන්න නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡුන්දයෙන් පත්වූ ඒකාධිපතියෙකුත් සමත් වුණා. ඒ තමයි හිට්ලර්. දෙවන ලෝක යුද්ධයේ අවසාන ප‍්‍රතිඵලය වූණේ කෝටි හතළිහක් වූ පිරිසක් මරණයට පත්වීම. හිරෝෂිමා - නාගසාකි හරහා මේ සිහිනය දහවලේදීත් පේන නපුරු හීනයක් බවට පත් වෙද්දී තවත් පැත්තකින් ලෝකය පුරා ආර්ථික සම්බාධක පැනවුණා. ඒ විතරක් නෙමෙයි දරිද්‍රතාව ඉහළ ගියා. අවසාන ප‍්‍රතිඵලය වූණේ එක්දහස් නවසිය පනස් ගණන් වන විට නූතනවාදී ව්‍යාපෘතිය කීතු කීතුවලට පත්වීම. ජනතාව විසින් ගොඩනැගූ හීන කෑලි කෑලි වලට බිඳෙමින් එකතු කරගන්නට බැරි තේරවිලි බවට පත්වීම.

පශ්චාත් නූතනවාදය සහ පශ්චාත් ව්‍යුහවාදය ගොඩනැගෙන්නෙ මේ ව්‍යුහවල බිඳවැටීමත් එක්ක?

නූතනවාදයේ සියලූ ව්‍යුහයන් මේ විදිහට ඇස් පනාපිට බිඳවැටෙද්දී ඒ තත්ත්වය තේරුම්ගැනීමට වෙනත් මානයන් අවශ්‍ය වුණා. ඔබ කිව්වා වගේ පශ්චාත් ව්‍යුහවාදය හා පශ්චාත් නූතනවාදය බිහිවන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්. මේ අය හොයලා බැලූවේ සුණු විසුණු වූ නූතනවාදී ව්‍යුහයන්ගේ මේ අයාලේ යෑම සහ එසේ වූයේ මන්ද කියන කරුණ. කලිං කිව්වා වගේ ලියෝතා "පශ්චාත් නූතනවාදී තත්ත්වය" කියන පොතේදී කථා කරන්නෙත් මේ ගැන.

බටහිර ඇතිවූ මේ "නූතනවාදී" ලක්ෂණ ආසියාව තුළ පිළිඹිඹු වෙන්නෙ නෑ?

මේ ලක්ෂණ පැහැදිලිව ඉස්මතු වූණේ බටහිර රටවල තමයි. ආසියාව තුළ ඒ වගේ තත්ත්වයක් ඉස්මතු වෙන්නෙ නෑ. මොකද ඒකට ප‍්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් තමයි ආසියාව කෘෂිකාර්මික ආසියාවක් වීම. අනික් වැදගත්ම කරුණ තමයි ආසියාව ආගමික සහ කුලවාදී එකක් වීම. මොකද මේවා තියෙන තැනක විද්‍යාවක් වර්ධනය වෙන්න ඉඩක් නෑ.

නමුත් බටහිර රටවල තිබුණු තත්ත්වය ඒ වගේ නෙමෙයි. ඔවුන් ආගමට විරුද්ධව ගනු දෙනු බේරා ගන්න එක ඉතාමත් කල් ඇතිව පටන්ගත්තා. ඒකෙ ප‍්‍රතිඵලය වුණේ දෙවියන් වහන්සේ දිව්‍යලෝකයට යවන එක. අන්තිමට පල්ලිවල බාර්, සමාජ ශාලා වගේ ලෞකික ආයතන පිහිටෙව්වා. බටහිර සමාජය තුළ කුල පදනමක් තිබුණෙත් නෑ. ඒ ලක්ෂණ හින්දා තමයි බටහිර සමාජය නූතන තත්ත්වයට කෙම්බිමක් වෙන්නෙ.

නූතන හා පශ්චාත් නූතන ව්‍යාපෘතීන් බටහිර කේන්ද්‍ර කරගෙන ආරම්භ වුනත් ඒවා ආසියාව ඇතුළු සෙසු රටවලට වේගයෙන් කාන්දු වුණා. උදාහරණයක් විදිහට ලංකාව ගන්නවානම් නූතනවාදය හා පශ්චාත් නූතනවාදය කියැවීමට අවශ්‍ය කරන න්‍යායාත්මක උපකරණ ලංකාවට එන්නේ ප‍්‍රමාද වෙලා තමයි. ඒ වුනත් නූතන හා පශ්චාත් නූතන සෙවණැලි රටේ සමාජ, දේශපාලන හා සංස්කෘතිය දේහය තුළ ඊට කළිං සිට පිළිබිඹු වුණා?

ඔව්. නූතන හා පශ්චාත් නූතන තත්ත්වයන් පිළිබඳ න්‍යායාත්මක කරුණු ලංකාවට එන්නේ තරමක් ප‍්‍රමාද වෙලා තමයි. සමහර තරුණ කණ්ඩායම් හා සීමිත ශාස්ත‍්‍රාලීය උගතුන් පිරිසකගේ වෙහෙස මහන්සිය නිසා.


මොනවා වුනත් ලංකාවේ වර්තමාන දේශපාලනය තේරුම්ගද්දී ඒ තුළ තියෙන පශ්චාත් නූතනවාදී හෙවණැලි නොතකා හරින්න බෑ. ලාංකික දේශපාලනයේ ගොඩනැගෙමින් පවතින ව්‍යුහ, දේශපාලන කථිකාව තුළ විතරක් නෙමෙයි දේශපාලනික කාර්ය කොටස කියන සියලූම අංග වල මේ පශ්චාත් නූතනවාදී අවතාර පේන්න තියෙනවා.

ඒ කියලා පශ්චාත් නූතනවාදය ඉහ මුදුනින් පිළිගන්න අපි සූදානම් වෙන්න ඕනෙත් නෑ. පශ්චාත් නූතනවාදය විසින් ලොකයේ තියෙන ගැටලූව ඉතාමත් හොඳින් හඳුනගත්තා තමයි. ඒත් එකට විසඳුම කියන්නට තරම් පශ්චාත් නූතනවාදය සමත් වෙලා නෑ. ෆෙඩ්රික් ජෙම්සන්, ටෙරී ඊගල්ටන්, ඇලෙක්ස් කැලිනිකොස් වගේ වියත්තු මේ තත්ත්වය හොඳටම පෙන්නලා දීලා තියෙනවා.

අනික් කරුණ තමයි, මේ මොහොතේ පශ්චාත් නූතන ලක්ෂණ පිළිඹිඹු වනවා කියන එකෙන් මීට කළින් ලංකාවේ දේශපාලනය තුළ ඒ වගේ අර්බුදයක් තිබ්බේ නෑ කියලා මම අදහස් කරන්නේ නෑ. ඒකෙන් අදහස් කෙරෙන්නෙ කිසිදාක නොතිබුණු විදිහට වර්තමාන ලාංකීය දේශපාලනය පශ්චාත් නූතන ලක්ෂණ පිළිඹිඹු කරන බව විතරයි. ලියෝතා පශ්චාත් නූතනවාදී සංකල්ප හඳුනාගන්නේ එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලනෙ. ඒ යුගය තුළ ලංකාවේ දේශපාලන ක‍්‍රමය බලනවානම්, එදා තිබුණේ අගමැති කේන්ද්‍ර වූ දේශපාලනයක්. මනාප ක‍්‍රම වගේ දේවල් එදා තිබුණෙ නෑ. ඡුන්දය තිබුණෙත් මැතිවරණ කොට්ඨාශ මට්ටමින්.

ඒ කියන්නෙ ලාංකික දේශපාලනයට මේ කියන ලක්ෂණ රිංගුවායැ’යි හිතන්න පුළුවන් නිශ්චිත ඓතිහාසික මොහොතක් නැද්ද?

මං කල්පනා කරන විදිහට ලාංකීය දේශපාලනයට පශ්චාත් නූතනවාදී පිළිඹිඹුවට එන්නේ එක්දහස් නවසිය හැත්තෑ අටෙන් පස්සෙ. මේකට හේතු වුණේ නූතන ව්‍යාපෘතියට අයත් වූ දේශපාලනික ක‍්‍රමය ජේ.ආර්. ජයවර්ධන විසින් බිඳ දැමීම. ඇත්තටම ජේ.ආර්. කරන්නෙ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉවතදමමින් අගමැති වනුවට විධායක ජනාධිපතිවරයකු සහිත ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන එක. මේත් එක්ක ගොඩනැගෙන සියලු දේ පශ්චාත් නූතනවාදී අදහස්වලින් තේරුම්ගන්න පුළුවන් ඒවා.

පශ්චාත් නූතනවාදය පිළිගන්න එක් ප‍්‍රධාන සංකල්පයක් තමයි සත්‍යය කියා එක් දෙයක් නෑ කියන එක. මේක එක්දහස් නවසිය හැටගණන්වල ෆෙඩ්රික් නීට්ෂේත් ඉතාමත් උපහාසයෙන් පෙන්නලා දීලා තියෙනවා. දවසක් මහ දවල් විදුලි පන්දමක් අල්ලමින් නීට්ෂේ මහපාරේ යමක් හොයමින් ගමන් කළා. නීට්ෂේගේ මේ ක‍්‍රියාව ගැන කුතුහලයට පත්වුණු අසල්වාසීන් ඔහුගෙන් අහනවා "ඔබ මේ මහදවල් මොනවද හොයන්නෙ" කියලා. එතකොට නීට්ෂේ කියන්නේ තමන් "දෙවියන්වහන්සේ සොයනවා" කියලා. ලංකාවේ දේශපාලනය ඇතුළෙත් සත්‍යය කියන්නෙ අයාලේ ගිය දෙයක්. වෙන එකක් තියා සත්‍ය සොයා යන්නන් පවා මෝඩයින් කියලා හඳුන්වන තත්ත්වයක් තමයි ලංකාවෙ තියෙන්නෙ. උදේට කියන ප‍්‍රවෘත්තිය දවල්ට කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම ප‍්‍රතිවිරුද්ධ විදිහට. දවල් කියපු ප‍්‍රවෘත්තිය රෑට කියන්නේ ඊටත් වඩා හාත්පසින් වෙනස්ව. එකම ප‍්‍රවෘත්තිය රේඩියෝ එකේ කියන්නෙත් පත්තරේ තියෙන්නෙත් ටීවි එකේ කියන්නෙත් වෙනස්ම ආකාරයකටය. වෙනම රේඩියෝ චැනල් දෙකක හරි වෙනම රූපවාහිනී චැනල් දෙකක කියැවෙන්නෙත් එකිනෙකට වෙනස් විදිහට. දේශපාලනික ප‍්‍රවෘත්තියකට විතරක් නෙමෙයි ක‍්‍රිකට් මැච්එකක් ගැන කියැවෙන ප‍්‍රවෘත්තියක පවා තත්ත්වය එකයි.

ලංකාවේ අද තියෙන්නේ කිසිම දෙයක් නිශ්චිත නැති, අල්ලන්නට බැරි, ආඳන් ලෙස ලිස්සලා යන සංස්කෘතියක්. වෙනත් විදිහකට කියනවානම් ජෝන් බෝඩි‍්‍රයා වගේ පශ්චාත් නූතනවාදීන් පෙන්වාදුන් විදිහෙම සංස්කෘතියක්. ඒ වගේ සංස්කෘතියක අල්ලන්න, ග‍්‍රහණය කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තත්ත්වයත් එහෙමමයි. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන්නේ ලොක්ගේ, හොබ්ස්ගේ, මොන්ටෙස්ක්‍යූගේ පොතේවල විතරයි. මිනිස්සුන්ට හිතන්න කථා කරන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහ හතර වන වගන්තියෙන් ඉඩ දීලා තියෙනවා. ඒත් ඒක ක‍්‍රියාත්මක වෙන්නෙ කොහොමද? නීතියේ තත්ත්වයත් ඒ වගේ. ඒකෙ නිශ්චිතභාවයක් තිබුණානම් අද වනවා වගේ දේවල් වන්නේ නෑනෙ. රටේ යුක්තියක් සාධාරණයක් කියලා එකක් තියෙනවාද. කොටින්ම කියනවානම් වර්තමාන ලංකාවේ පරම ඇගයුම් පද්ධතියක් නෑ. මේක ඇතුළෙ හොඳ නරක ඇතුළු සියලූ දේවල් නිර්වචනය වන්නේ එකිනෙකාට අවශ්‍ය ආකාරයට.

නූතනවාදී ව්‍යාපෘතිය ඇතුළේ හැම දෙයකටම පිළිගත් විධික‍්‍රමයක් තිබුණා. උදාහරණයක් විදිහට දැනුම සම්බන්ධයෙන් තිබුණේ විද්‍යාත්මක විධික‍්‍රමය. දේශපාලනය සම්බන්ධයෙන් තිබ්බ විධික‍්‍රමය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විධික‍්‍රමය. ඒත් පශ්චාත් නූතනවාදයේදී මේ විදිහට එක් විධික‍්‍රමයක් ගැන තියෙන විශ්වාසය ප‍්‍රතික්ෂේප වුණා. ඊට අනුව ඕනෙම විධික‍්‍රමයක් තියෙන්න පුළුවන්. රටකට ව්‍යවස්ථාවක් තියෙන්නේ දේශපාලනය පිළිබඳව විධික‍්‍රමයක් නිර්මාණය කරන්න. ඒ වුණත් ලංකාව තුළ ව්‍යවස්ථාව පිළිගැනෙනවාද. නෑනෙ. අද සිදුවන හැම ක‍්‍රියාවක්ම ඒක්කෝ ව්‍යවස්ථාවෙන් පිට ඉඳන් කරන ඒකාධිපති ක‍්‍රියාවන්. එහෙමත් නැත්තම් ව්‍යවස්ථාවේ ඇති ඒකාධිපති ලක්ෂණ පුළුල් කරමින් සිදු කරන ඒවා. මේ ව්‍යාපෘති ඇතුළෙ සතුරා මිතුරෙකුත් මිතුරා සතුරෙකුත් වෙන්න ඕනෑම මොහොතක පුළුවන්.

පදනම් විරෝධය කියන සංකල්පයත් ලංකාවේ දේශපාලනය තේරුම්ගන්න ඉතා වැදගත්. පශ්චාත් නූතනවාදීන් කියන විදිහට පදනම් සියල්ල දියවෙලා ඉවරයි. පශ්චාත් ව්‍යුහවාදීනුත් කිව්වනෙ ව්‍යුහ කියන දේවල් නිවාඩු අරින්න ඕනෙ කියලා. ලංකාවෙ දේශපාලනය ඇතුළෙත් පදනම් නෑ. දේශපාලඥයින් පවතින්නෙම පදනම් බිඳ දමමින්. වෙනකක් ඕනෙ නෑ, ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නමත්, ඒ ඇතුලේ තියෙන දෙයත්, එක ක‍්‍රියාත්මක වන ආකාරයත් එකිනෙකට වෙනස්නෙ. ඒකට අනුව මේ රටේ නම ශ‍්‍රීලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජය. ඒ වුණත් මේ කියන දවටනයේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය කියන කිසිවක් ව්‍යවස්ථාව තුළ නෑ. එක භාවිත කරද්දී තත්ත්වය ඊටත් වඩා බරපතලයි. අනික තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි සමාජවාදයයි එකට තියෙන්නත් බෑ. එහෙම එකට තියෙන්න පුළුවන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි ධනවාදයි. මොකද ඒ දෙකම කරන්නේ එකම දේ. ඒ කියන්නෙ සූරාකෑම හා මර්දනය. ඉතිං මේවා සමාජවාදයත් එක්ක පෑහෙන්නේ කොහොමද?

මේ විදිහට අයාලේ යන ශ‍්‍රී ලාංකීය දේශපාලනික ව්‍යුහයන් පශ්චාත් නූතනවාදී සංකල්පයන් සමග තේරුම් ගන්න එක වර්තමානයේදී අවශ්‍යයි. ඒත් මේ ගැටලූවෙන් මිදෙන්න නම් ඒක මාක්ස්වාදයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනෙ. ශ‍්‍රමයේ වටිනාකම, පංති ඝට්ටනය, පංති ආරවුල් සහ බලය කේන්ද්‍රගතවීම වගේ න්‍යායන් සියල්ල සමග අන්තර් සම්බන්ධයක් ගොඩනගන්න ඕනෙ. ලංකාව මේ තියෙන තැන ඉඳන් ගොඩගන්නනම් කරන්න පුළුවන් පළවෙනි කාරණය තමයි මහත්මා ධනවාදය තුළ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කරගැනීමය. ඊළඟ පියවර වෙන්න ඕනෙ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමාජවාදී පිළිවෙතකට පරිවර්තනය කිරීම.

[රාවය. 2013 මාර්තු 10]
ඡායාරූප- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails