Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකාවේ "හිටපු" අගවිනිසුරුවරිය "දෝෂාභියෝගයකින්" ඉවත් කර පත් කළ "නව" අගවිනිසුරුවරයා දැන් සිය ධූරයේ රාජකාරි කරමින් හිඳියි. රාජ්‍ය මාධ්‍යයට අනුව නම්, එය නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් ගත් ඓතිහාසික පියවරකි. තවදුරටත් ඔවුහු පවසන්නේ පාර්ලිමේන්තුව සතු ජනතා පරමාධිපත්‍යය බලය සහ එහි උත්තරීතරබාවය බාහිර බලවේග වලින් (මෙම බාහිර බලවේගවලට අධිකරණය ද අයත් බව කරුණාවෙන් සලකන්න.) ආරක්ෂා කර ගැනීමට මේ නිසා හැකිවූ බවය.

2009 වර්ෂයේදී, ශ්‍රී ලංකාණ්ඩුව විසින් LTTE සංවිධානය මිලිටරිමය වශයෙන් පරාජය කිරීමත් සමඟ එතෙක් පැවති දේශපාලන චින්තන රටාවෙහි බරපතල වෙනසක් සිදුවිය. එය දේශපාලනමය වශයෙන් ඛණ්ඩනීය මොහොතක් ලෙස හඳුනා ගත හැකිය. එයින් පසුව ඇති වුනු ලාංකීය දේශපාලන ගතිකයන් අවබෝධ කර ගැනීම ඊට පෙර පැවති ක්‍රමවේදයන් මගින් කල නොහැකි විය. ප්‍රැක්සිස් සාමුහිකය විසින් ඒ සඳහා ඉදිරිපත් කල සංකල්පීය නාමකරණය වුයේ "පශ්චාත් නන්දිකඩාල් ශ්‍රී ලංකාව" යන්නයි. එහි සුවිශේෂත්වය වන්නේ පාලකයන් විසින් ගනු ලබන ඕනෑම ආකාරයක පියවරක් අවසානයේදී සුජාත කිරීමට "යුධ ජයග්‍රහණය" පෙරට ගෙන ඒමයි. එනම්, දේශපාලනික ක්‍රියාකාරිත්වයන් අවසානයේදී යුද්ධය, එසේත් නැත්නම් ජනවාර්ගික අර්බුදය මගින් අධිනිශ්චය වීමයි. LTTE සංවිධානය සහ දෙමළා පිලිබඳ, සිංහලයා තුල ගොඩ නගා තිබුණු දෘෂ්ටිවාදය ඒ සඳහා මනා පිටුවහලක් විය. එමෙන්ම, LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ඇති වූ අනෙක් වැදගත් කාරණය වන්නේ රාජපක්ෂ රෙජීමය හෙජමොනික තත්වයක් දක්වා වර්ධනය වීමයි. වෙනත් ආකාරයකට පැවසුවහොත්, ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන මර්ධනය, ජනතා විරෝධයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි. ඒ සඳහා උදාහරණ අතිවිශාල ප්‍රමාණයක් පසුගිය වසර තුනක කාලය තුලින් ගෙනහැර දැක්විය හැකිය. "හිටපු" අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ "දෝෂාභියෝග ක්‍රියාවලිය" තේරුම් ගත යුත්තේ එවැනි පසුබිමක බව මගේ පුද්ගලික අදහසයි.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පත්වීම සම්බන්ධයෙන්ද ගැටළු පවතී. එය පිළිගත් ක්‍රමවේදයට පිටින් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද දේශපාලන පත්වීමකි. එමෙන්ම, මුල් අවධියේදී ඇය ලබාදුන් සමහර තීරණ ආණ්ඩුවට ඉතා පක්ෂපාති ඒවාය. එයට හොඳම උදාහරණය 18 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇය ලබාදුන් තීරණයයි. ඇයගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිධූරය ලබා දීම ද දේශපාලන හිතවත්කම මත සිදුවුවකි. එබැවින් දෝෂාභියෝගයට පෙරාතුව අධිකරණය සියයට සියයක්ම අපක්ෂපාතී, සුපිරිසිදු, ස්වාධීන ආයතනයක් ලෙස පැවතිනි යැයි පැවසුවහොත් එය සාවද්‍ය කරුණකි. නමුත් ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය කටයුතු කරන්නේ, විශේෂයෙන්ම ඉසෙඩ් ස්කෝර් ගැටළුව සම්බන්ධයෙන් සහ දිවිනැගුම පනත පිළිබඳව ඇය ලබාදුන් තීරණයන් සමඟය. සැබවින්ම ඒවා ආණ්ඩුවට සියයට සියයක් එරෙහිව ලබාදුන් තීරණ නොවන අතර අනෙක් අතට ආණ්ඩුව අපේක්ෂා කල තීරණම ද නොවේ. රාජපක්ෂ හෙජමොනියේ චින්තන රටාව හඳුනා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඔවුන්ගේ අභිප්‍රායන් එයාකාරයෙන්ම ඉටු නොවීම, ඔවුන්ගේ "අභිමානය"ට කැළලක් ලෙස සිතීම, ඔවුන්ගේ අහංකාර, මුරණ්ඩු ස්වරූපය මනාව පිළිබිඹු කරයි. අගවිනිසුරුවරිය ඉවත් කිරීම තීරණය වුයේ දෝෂාභියෝග වාර්තාව පිලිබඳ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමෙන් අනතුරුව නොවේ. ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තීරණය කිරීමත් සමඟම ඇය ඉවත්කිරීමත් තීරණය වී හමාරය. අනෙක් සියළුම ක්‍රියාවලින් එම තීරණයට සුජාතභාවයක් ලබාදීමට කරළියට ගෙන ආ ඇස්බැන්දුම් පමණි. තවමත් මෙම ඇස්බැන්දුම් ලිහා ගැනීමට තරම් ජනතාව විචාරශීලී නොවන බැව් අවබෝධ කර ගැනීමට තරම් පාලකයින් බුද්ධිමත්ය.



ඒ වගේම, අප ඉතා ගැඹුරින් අවබෝධ කර ගතයුතු කාරණයක් වන්නේ සමස්ථ "දෝෂාභියෝග" ක්‍රියාවලියම සියයට සියයක්ම දේශපාලන ක්‍රියාවලියක් වන අතර කිසිඳු අයුරකින් නෛතික ක්‍රියාවලියක් නොවේ. මෙය ඉතා හොඳින් අවබෝධ කර ගැනීම, පවතින මර්දනකාරී රෙජීමයට එරෙහිව සිදු කරන හෝ අනාගතයේදී හෝ සිදු කිරීමට අපේක්ෂා කරන අරගලයට ඉතා වැදගත් වේ. එයට හේතුව කුමක්ද? ජනතාවට යුක්තිය, සාධාරණත්වය ඉටු කර ගැනීමට පවතින සියලුම ආයතන සහ ව්‍යුහයන් මේ වන විට රාජපක්ෂ බල ග්‍රහණයට ගෙන හමාරය. උදාහරණයක් ලෙස ඉතා උත්තරීතර යැයි පැවසෙන, ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කෙරෙන පාර්ලිමේන්තුව සැලකුවහොත්, තුනෙන් දෙකක බලයක් ජනතාවගෙන් හිමි නොවූ ආණ්ඩුව ඒ වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ ක්‍රම වලින් බිලිබා ගත්තේය. ඒ සඳහා සමහරුන්ට මුදල් ලබා දුන් අතර තවත් සමහර මන්ත්‍රීවරුන්ට එල්ල වී තිබුණු දූෂණ චෝදනාවලට පියවර ගැනීම අත් හිටුවූවේය. එයට හොඳම උදාහරණයක් නම් අබ්දුල් කාදර් මන්ත්‍රීවරයාගේ සිද්ධියයි. සමෘද්ධි මුදල් වංචා කිරීම වෙනුවෙන් ඔහුට එරෙහිව විභාග වූ නඩුවට අදාල ලිපිගොණු අස්ථානගත කිරීමට ඔහු ආණ්ඩුවට පැමිණි විගස එවකට නීතිපතිවරයා වූ "නව" අගවිනිසුරුවරයා කටයුතු කළේය. මෙවැනි උදාහරණ තව බොහෝය. එබැවින්, වත්මන් ආණ්ඩුවට ඇත්තේ ජනතාවගෙන් අයථා ලෙස කොල්ල කා ගත් තුනෙන් දෙකක බලයකි. වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යනු රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ආර්ථීක අවශ්‍යතාවයන් වෙනුවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ගණිකා වෘත්තියේ යොදවන "ගණිකා මඩමක්" ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවන බව මගේ පුද්ගලික හැඟීමයි. තවද, 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය මගින් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා සියල්ලම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කර දමන ලද අතර විධායක ජනාධිපතිවරයාගේ වාර දෙකේ ධූර කාල සීමාවද අහෝසි කර දැම්මේය.

මෙලෙස අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන් "හිටපු"අගවිනිසුරුවරිය ඉවත් කර පත්කළ "නව"අගවිනිසුරුවරයාගෙන් අපට සැබවින්ම එවැනි ස්වාධීනත්වයක් අපේක්ෂා කල හැකිද? මෙය ඉතා හාස්‍යජනක මෙන්ම භයානක තත්වයකි. හාස්‍යජනක කාරණය නම් "නව" අගවිනිසුරුවරයා ලෙස පත්කල මොහාන් පීරිස් මහතා හිටපු නීතිපතිවරයා ලෙස රජය (රාජපක්ෂ රෙජීමය) වෙනුවෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පෙනී සිටි අයෙකි. එහිදී, පිළිගත් නීතිමය සම්ප්‍රදායන්ට එරෙහිවද කටයුතු කල අයෙකි. ඒ සඳහා උදාහරණ බොහෝ ඇති අතර අබ්දුල් කාදර් සහ දුමින්ද සිල්වාගේ සිද්ධීන් එයට උදාහරණ දෙකක් පමණි. එමෙන්ම, අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා වෙනත් රටක සිටින බවට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම ඉදිරියේ බොරු කීමෙන් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කල අයෙකි. අනෙක් අතට ඔහු රක්නා ලංකා සමාගම ඇතුළු රාජපක්ෂ පාලනයේ ඇති තවත් සමාගම් කිහිපයක ඉහල පෙලේ තනතුරු දරන්නෙකි. (සමහර විට මේ වනවිට එම තනතුරු වලින් ඉවත් වී සිටිනු විය හැක.) තවද කැබිනට් මණ්ඩලයේ සහ ජනාධිපතිවරයාගේ නීති උපදේශක ලෙස ද ඔහු කටයුතු කළේය. මෙවැනි පුද්ගලයෙක් අධිකරණයේ ඉහලම තනතුරට පත්කිරීමෙන් පසු අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වේ යයි පැවසීම සහ එසේ වේ යැයි යමෙක් අපේක්ෂා කරන්නේ නම් එය හාස්‍යයට කරුණක් නොවේද? නමුත් අවාසනාවකට අප ජීවත් වන්නේ තවදුරටත් එවැනි දේ විශ්වාස කරන ජනතාවක් සිටින රටකය. කිසිදු අපහසුතාවයකින් තොරව තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට කටයුතු කිරීමට පාලකයින්ට හැකිවී තිබෙන්නේද ඒ නිසාය. අනෙක් අතට මෙහි ඇති භයානක තත්වය කුමක්ද? යම්දුරකට හෝ ස්වාධීනව පැවති අධිකරණය, මෙම ඊනියා දෝෂාභියෝග ක්‍රියාවලිය මගින් සියයට සියයක්ම තම බල ග්‍රහණයට නතුකර ගැනීම, රාජපක්ෂ රෙජීමය විසින් "යුධ ජයග්‍රහණය" හරහා අත්පත් කරගත් හෙජමොනික ආධිපත්‍යය භාවිත කරමින් ඒකාධිපති පාලනයක් කරා යන ගමන් මාර්ගයේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සලකුණු කල හැකිය. මෙය ඊනියා දෝෂාභියෝග ක්‍රියාවලියක් ලෙස හඳුන්වන්නේ, සමස්ත ක්‍රියාවලියම සිදු වූයේ පිළිගත් අවම නීතිමය සම්ප්‍රදායන්ට හෝ අනුකුලව නොවන නිසාය. ශ්‍රී ලංකාවේ අධිකරණය සහ නීතිය යනු තවදුරත් සැමට එකසේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරදෙන ආයතන නොවේ. මෙතැන් සිට රාජපක්ෂවරුන් සහ ඔවුන්ට හිතැති පුද්ගලයින් අධිකරණයට සහ නීතියට ඉහලින් කටයුතු කරනු ඇත. මීට පෙරද බොහෝවිට සිදුවුයේ එයම වුවද (උදාහරණයක් ලෙස මර්වින් සිල්වාට අදාළ සිදුවීම්) වර්තමානයේදී එයට කිසිදු අවහිරයකින් තොරව අප ඇස් ඉදිරියේ අමු අමුවේ සිදුවෙමින් පවතී.



ආණ්ඩුවේ දේශපාලන තීරණයන් සහ ක්‍රියාමාර්ගයන් ගැඹුරින් විග්‍රහ කර බැලීමේදී, මෙම සමස්ත ක්‍රියාවලියම වෙනත් ආකාරයකින් වටහා ගත හැකි බව මගේ අදහසයි. එක් අතකින් යුද්ධය ජයග්‍රහණය කළා යයි පවසන ආණ්ඩුවම අනෙක් අතට තවමත් LTTE සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති බවත් ඔවුන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවත් යම් මට්ටමකින් ක්‍රියාත්මක වන බව පවසයි. එමෙන්ම ජාත්‍යන්තර බලවේග (මෙම බලවේගවලට චීනය, ඉරානය වැනි රටවල් අයත් නොවේ. එයට හේතුව ඔවුන් ජාත්‍යන්තර නොවන නිසාද එසේත් නැත්නම් බලවේගයන් ලෙස එතරම් බලවත් නොවීමද එසේ නැත්නම් වෙනත් කාරණයක්ද යන්න වෙනම සාකච්ඡා කලයුතු වේ.) දිගින් දිගටම ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බවද ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කරයි. තවද, රජයට කුමනාකාරයෙන් හෝ විරුද්ධ වන ඕනෑම අයෙක් LTTE සංවිධානයට එසේ නැත්නම් දෙමල ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ලෙස හෝ බටහිර බලවේගවල අතකොළු ලෙස හෝ එන්.ජී.ඕ. කාරයින් ලෙස හෝ හංවඩු ගසමින් සිටී.

කැලෑ පත්තර යනු පෞරුෂත්වයක් නැති පුද්ගලයින් තම විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට නොහැකි අසත්‍යය චෝදනා සමාජගත කිරීමට යොදා ගන්නා නිර්නාමික ක්‍රමවේදයකි. කැලෑ පත්තර ගැසීම ඉතා ප්‍රාථමික, ගෝත්‍රික ක්‍රියාවක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. වත්මන් ශ්‍රී ලංකා රජය යනු එවැනි ප්‍රාථමික, ගෝත්‍රික ක්‍රියාවලින් නඩත්තුවන දූෂිත ආයතනයක් බව තතු දන්නෝ ඉතා හොඳින් දනිති. රාජ්‍ය අනුග්‍රහය සහිතව දියත් වුනු එවැනි කැලෑ පත්තර ව්‍යාපාරයන්ට ඉතා මෑත උදාහරණ දෙකක් දැක්විය හැකිය. ආසන්නතම උදාහරණය නම් "හිටපු" අගවිනිසුරුවරියට එරෙහිව "ශිරාණි බණ්ඩාරනායක, ටී.එන්.ඒ. සහ ජ.වි.පෙ. හවුලක්" නමින් දියත් වුනු මඩ ව්‍යාපාරයයි. අනෙක් උදාහරණය නම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුනු සමයේදී එම සම්මේලනයේ නායකයින් එන්.ජී.ඕ. කාරයින් ලෙස හංවඩු ගසමින් දියත් වුනු මඩ ව්‍යාපාරයයි.

ඊනියා දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහිව කැනඩාව, බ්‍රිතාන්‍යය, ඇ.එ.ජ., ඔස්ට්‍රේලියාව ඇතුළු බොහොමයක් රටවල්ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍යය මණ්ඩලය ඇතුළු බොහොමයක් ජාත්‍යන්තර සංවිධාන වලින්ද මේ වනවිටත් රජයට විරෝධය දක්වා ඇත. එමෙන්ම එයට එරෙහිව මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී පියවර ගතයුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබිණ. එක් අතකින් බැලුවිට, රජයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සැබවින්ම සිදුවන බව යමෙකුට සිතුනහොත් එය පුදුමයට කරුණක් නොවේ. නමුත් මගේ පුද්ගලික මතය නම්, රජය විසින් එක්තරා ආකාරයක සැලසුමකට අනුව මෙම සමස්ත වැඩපිළිවෙල දියත් කරන බවයි.



එනම්, වර්තමානය වනවිට ඉතා ශක්තිමත් යැයි පිටතට පෙන්නුම් කරන රාජපක්ෂ රෙජීමය, සත්‍ය ලෙසම කෙටිකාලීන පැවැත්මක් නඩත්තු කරමින් සිටී. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, රටේ පවතින ආර්ථීක දුෂ්කරතාවයන්, මිනීමැරුම්, අතුරුදන්වීම් සහ පැහැරගෙනයාම් ඇතුළු විවිධාකාරයේ මර්ධනයන්ට එරෙහිව ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ජනතා අසහනයන් යටපත් කර ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකරලීමට ආණ්ඩුව විසින් විටින් විට විවිධාකාරයේ සිදුවීම් කරලියට ගෙන එමින් සිටී. මර්වින් සිල්වා හරහා විටින් විට සිදු කෙරෙන රංගනයන්, මුස්ලිම් විරෝධී ව්‍යාපාරයන්, කොළඹ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ ඒ සඳහා උදාහරණ කිහිපයක් පමණි.

පසුගිය මානව හිමිකම් කොමිසමේදී පොරොන්දු වූ පරිදි උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තවමත් ආණ්ඩුව සමත් වී නොමැත. ජිනීවා සැසිවාරයේදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එයට මුහුණ දීමට නොහැකිව සිටින ආණ්ඩුව, තම අසමත්භාවය වසන් කර ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරමින් සිටී. එහිදී, බටහිර විරෝධී ජන විඥානයක් ශ්‍රී ලාංකිකයින් තුල ඇති කිරීම ඉතා වැදගත් වේ. එවිට, ඉතාම පහසුවෙන් මානව හිමිකම් කඩකිරීම් සහ අනෙකුත් චෝදනා බටහිර කුමන්ත්‍රණ ලෙස හුවා දක්වමින් ජනතාව ඉදිරියේ සුජාත වීමට රජයට හැකිවේ. "හිටපු" අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ පවතින සංවාදය, ඉහත කී අරමුණ සඳහා ඉතා හොඳින් භාවිත කිරීමට රජයට හැකිවේ. අනෙක් අතට, ජාත්‍යන්තරය විසින් මෙරටට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා පිටුපස ඇති අරමුණුවල අවංකබාවය පිළිබඳවද බරපතල සැකයක් මතුවේ. ඔවුන් සත්‍ය ලෙසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, යුද්ධය නිමවීමෙන් පසුව යුධ අපරාධ චෝදනා එල්ල කරනු වෙනුවට එවැනි අපරාධ සිදුවිණි නම්, ඒවා සිදුවූ මොහොතේදීම ඒවා නැවත්වීමට ක්‍රියාමාර්ග ගැනීමට ඔවුනට හැකියාව තිබුණි. නමුත් ඔවුන් එසේ නොකළේය. එබැවින්, බටහිර රටවල් විසින් ඉදිරිපත් කරන චෝදනා සහ ගනු ලබන ක්‍රියාමාර්ග, ඔවුන්ගේ දේශපාලන බල ව්‍යාපෘතියට අදාළ තවත් එක් පියවරක් පමණක් යැයි පැවසුවහොත් එය එකහෙලා බැහැර කල නොහැක.

එමනිසා, වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන ගතිකයන් සහ ඒවායේ දිශානතිය අවබෝධ කර ගැනීමටත්, වඩාත් යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඒවා වෙනස් කිරීමටත් දෘශ්‍යමානීය තලය විච්ඡේදනය කර බැලීමේ දේශපාලන පරිකල්පනීය හැකියාව වර්ධනය කරගත යුතුවේ. පවතින මර්දනීය රෙජීමයට එරෙහිව අවස්ථානුකූල ක්‍රියාමාර්ග ගන්නා අතරම එවැනි දේශපාලන පරිකල්පනීය හැකියාවන් වර්ධනය කරන්නා වූ දීර්ඝකාලීන ක්‍රියාවලියකට ද නොපමාව එළඹිය යුතු වේ. එසේ නොමැති වුවහොත් මෙයටත් වඩා දරුණු ප්‍රතිවිපාකයන්ට ඉදිරියේදී මුහුණ දීමට අපට සිදුවනු නොඅනුමානය. බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවසු පරිදී, "ගැටළුව ඇත්තේ පාලකයින් තුල නොව, ඔවුන් පත්කර ගන්නා ජනතාව තුලය. එබැවින්, අප සිදුකල යුත්තේ පාලකයින් වෙනස් කිරීම නොව, අලුත් ජනතාවක් පත්කර ගැනීමය." මේ ඒ සඳහා සුදුසුම කාලයයි.



උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails