Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොදු බල සේනා සංවිධානයේ පුහුනු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා පසුගිය සතියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගී විමත් සමග දැන් තිරය විවර වී තිබේ. බොදු බල සේනා නමැති තග් සංස්ථාවේ හැසිරීමත් ආන්ඩුවත් අතර සම්බන්ධයක් තිබෙන බවට යමෙක්ට යම් පමනක හෝ සැකයක් වී නම් ඒ සැකය ද ඉවත් කර ගත හැක. බොදු බල සේනා වූ කලී රාජපක්ෂ රෙජිමය විසින් කිරි පොවා ඇති දැඩි කරන පොලඟෙකි යන්න ගැන දැන් කිසිදු දෙගිඩියාවක් නැත.

මේ දිනවල බොදු බල සේනා භික්ෂූන් සමග චම්පික රනවක සහ උදය ගම්මන්පිල යන දේශපාලන කුම්භාන්ඩයෝ මැරතන් තරගයකට අවතීර්නය වී සිටිති. තරගයට මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔවුහු මුස්ලිම් උලමාවරුන් පතුරු ගසති. පසුගිය දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුව මුස්ලිම් ප‍්‍රජාවේ ආගමික නායකයින් වන උලමාවරුන්ව හැදින්වූයේ උලමලා යන ගර්හිත පදයෙනි. ජමියතුල් උලමා සංවිධානය ප‍්‍රභාකරන්ටත් වඩා දරුනු සතුරෙක් බව පවසමින් උදය ගම්මන්පිල පුවත්පතකට ලිපියක් සපයා තිබුනි. මේ වියරු ප‍්‍රහාර අභියස තවමත් මුස්ලිම් ප‍්‍රජාව පසුපස පාදයේ ක‍්‍රීඩා කරමින් සිටින බවය පෙනෙන්නට තිබෙන්නේ. හලාල් සහතිකය ගැන ඉදිරිපත් කල චෝදනාව හමුවේ එය හකුලා ගැන්මට ජමියතුල් උලමා සංවිධානය තීන්දු කල අතර ඒ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් සමූහයක් ගෙන්වීමට ද ඔවුහු ක‍්‍රියා කර තිබුනාහ. ඥානසාර භික්ෂුව "උලමලා" යනුවෙන් ගර්හිතව ආමන්ත‍්‍රනය කල ද මුස්ලිම් නායකයින් පිලිතුරු සපයන්නේ සංයමයෙන් හා ශික්ෂනයකිනි. සුලුතර ජාතික ප‍්‍රජාවකට අයත් වීම නිසා මුහුන දීමට සිදුවිය හැකි පීඩනය සම්බන්ධයෙන් මෙය කදිම නිදර්ශනයකි. මහ ජාතියේ වර්ගවාදීන් ඔබට එලව එලවා පහර දෙන විට ඔබට සිදුවන්නේ පසුපස පාදයට ගොස් හිස නමා ගැනීමටය.



බොදු බල සේනා ප‍්‍රවනතාව වැඩි සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන්නේ කවර ජනයා අතරද? මෙය වැදගත් දේශපාලන ප‍්‍රශ්නයකි. මෙම ව්‍යාපෘතිය වෙත වඩාත් ආකර්ශනය වී සිටින්නේ නාගරික හා අර්ධ නාගරික සිංහල සුලු ධනේශ්වර සමාජ කොටස් වෙති. 1920 ගනන් වල ඉතාලියේ හා ජර්මනියේ ෆැසිස්ට් ව්‍යාපාර වල නැගීම ගැන ලියමින් ලියොන් ට්‍රොට්ස්කි ෆැසිස්ට්වාදයේ මූලය වශයෙන් විස්තර කලේ ගැඹුරු වන සමාජ අර්බුදය තුළ අපේක්ෂා භංගත්වයට ගොදුරු වූ සුලු ධනේශ්වර සමාජ කොටස් සිය විමුක්තිය පතා දක්ෂිනාංශය වෙත නැඹුරු වීමයි. මෙවැනි ව්‍යාපාර උද්ගත වූ කල්හි නිර්ධන පංතියේ සැලකිය යුතු කොටසක් ද තමා පසුපස පෙලගස්වා ගැනීමට ඒවා සමත් වන ආකාරය ට්‍රොට්ස්කි එහිදී විග‍්‍රහ කරයි.

ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය දවසින් දවස උග‍්‍ර වෙමින් තිබේ. මේ ලියන මොහොත වනවිට බස් ගාස්තු සහ විදුලි ගාස්තු සැලකිය යුතු ප‍්‍රතිශතයකින් ඉහල යාමට නියමිතය. මෙලෙස ඉහල යන ජීවන වියදම පාලනය කරගැනීමට රාජපක්ෂගේ ධනේශ්වර රෙජිමයට කිසිදු හැකියාවක් නොමැත්තේය. මේ අර්බුදය යටතේ සමාජයේ මැද පංතික සහ සුලු ධනේශ්වර තීරු වඩ වඩාත් අසහනයට පත් වෙමින් සිටිති. උද්ධමනය වැඩි වැඩියෙන් වැඩ කිරීමට ජනයාට බල කරයි. එහි ප‍්‍රතිඵලය තව තවත් ජීවිතයේ විවේකය හා සතුට අහිමි වීමයි. ජීවිතය අතෘප්තිමත් මඩ වගුරක් තුල ගිලී යාමයි. පරිභෝජනවාදී සංස්කෘතියක් තුල විශාල අවශ්‍යතා ප‍්‍රමානයක් සමග ජීවත්වන සුලු ධනේශ්වර සමාජ කන්ඩායම් මේ ජීවන අරගලය හමුවේ වඩ වඩා අසහනයට පත්වීම අනිවාර්යය වන්නේය.



ගලබොඩඅත්තේ ඥානසාර විසින් සිදුකරන්නේ සමාජ අර්බුදය තුලින් මතුවන එම අසහනය පාලක රෙජිමයේ පැවැත්මට තර්ජනයක් නොවන ආකාරයට කලමනාකරනය කිරීමය. බොදු බල සේනා සංවිධානය යනු ෆැසිස්ට්වාදී තග් කල්ලියකි. උග‍්‍ර වර්ගවාදය එහි දේශපාලන දෘෂ්ටියයි. සිය සතුට අහිමි වී තිබෙන්නේ ගරා වැටෙන සමාජ තත්වයන් නිසා නොව අසල්වාසී මුසල්මානුවා නිසාවෙනි යන ව්‍යාජ සංඥාව සිංහල සමාජය වෙත නිකුත් කරමින් මොවුහු ඒ සංඥාව වටා සිංහල සමාජය - විශේෂයෙන් සිංහල සුලු ධනේශ්වරය - සංවිධානය කරති. රාජපක්ෂ රෙජිමයේ තක්කඩි පාලකයින් සිය අර්බුදය සහ අසමත්භාවය කලමනාකරනය කරගැනීම සදහා කිරි පොවමින් සිටින්නේ මෙම ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයටය.

මේ භයානක බල ක‍්‍රීඩාවේ අවසන් වන්දිය ගෙවන්නේ කවුද? එම වන්දිය ගෙවීමට නියමිතව සිටින්නේ ප්‍රභූ දරුවන් වන නාමල් හෝ රෝහිත බබාලා නොව මේ සමාජයේ ජීවත්වන සිංහල දෙමල මුස්ලිම් නිර්ප්‍රභූ ජනයාය. මෙහි ඇති ඛේදවාචකය වූ කලී එයයි.

(-රාමචන්ද්‍රගේ අඩවිය)

රාමචන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails