Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පශ්චාත් යුධ සමයේ දකුණේ සිට උතුර බලා ඇදෙන සිංහල විනෝදචාරිකා රිසියන් ගේ අරමුණ කුමක් ද? යළි දැකීමට ලැබේදෝයි සිතන්නටවත් නොහැකි වූ ආස්වාදනීය මුහුදු වෙරළ, වැලි කඳු, බිමට සමතලා කොට ඇති වැල්වටිතුරේ ප‍්‍රභාකරන්ගේ මුල් නිවෙස, තල් සූකිරි, රියෝ අයිස් කී‍්‍රම්, නාගදීපය වැඳ පුදා ගැනිම ආදී සිල්ලර දසුන් ය. උතුරු වසන්තය, සංවර්ධනය වෙමින් පවතින උතුර, යළි සුපුරුදු ජීවිතය ලැබූ දෙමළ ජනතාව වැනි ආණ්ඩුව මගින් ආටෝප කරන ලද රාජපක්‍ෂ රෙජීමයේ පශ්චාත් යුධ පින්තූරය යටින් ඇති කිසිවක් ඔව්හු කිසි විටෙක දකිනු නැත. යළිත් රට එක් සේසත් කළ වගට පුරාජේරු වැකි සහිත, ජනාධිපතිවරයාගේ නාසිස්මික මනසේ ස්වභාවය කියාපාන දැවැන්ත ඩිජිටල් කටවුට් ආගමික සිද්ධස්ථාන ඇතුළත පවා අටවා, රාජ්‍ය දෘෂ්ටිවාදය ජපවීමට ඉඩ සලසා ඇති ඒ බිමෙහි සැබෑ උරුමකරුවන්ගේ ඇත්ත ජීවිත අද දවසේ මුහුණ පා ඇත්තේ කිනම් තත්ත්වයකට ද? පසුගිය වසරේ සිංහල, හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවල පෙන්වූ පරිදි නම් නටන, ගයන, ප‍්‍රීති වන, අවුරුදු කුමර කුමරියන්ව කිරුළු පළඳින, අඩු නැතිව ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් ඉපිළෙන දෙමළ තරුණ තරුණියන්ය එහි වෙසෙන්නේ.

අශෝක හඳගමගේ නවතම සිනමා කෘතිය වන, දෙමළ භාෂිත චිත‍්‍රපටයක් ලෙස පේ‍්‍රක්ෂකයාට සම්මුඛ වන "ඉනි අවන්" චිත‍්‍රපටය, ඉහත කී සියළු අධිපතිවාදී අයිසිං තට්ටු පුපුරුවා හරිමින්, යුද්ධය විසින් දෙමළ සමාජය මත ඇති කළා වූ ගතික ස්වභාවයන් පිළිබඳ සිරස්කඩකි. එය වියමනක් ලෙස කියවීමකට ලක් කරන්නේ නම්, මේ වන විට රාජපක්‍ෂ රෙජීමය විසින් "යළි පිබිදෙන උතුර” ලෙස අපට බලහත්කාරයෙන් පටවන යාපන මිනිසා පිළිබඳ දෘෂ්ටිවාදය ඛණ්ඩනය කරයි. එය කවරාකාර දැයි තක්සේරු කර ගත හැකි වන්නේ, එහි මතු පිට බිඳ යටි තලය ට කිඳීමෙනි. වෙනත් ආකාරයකට කියන්නේ නම් චිත‍්‍රපටය අප වෙත දක්වනු ලබන සංඥාවන් හි තැනුම් ඒකක වන ‘හැඟවුම් කාරක’ හා ‘හැඟවුම්’ මතුකොට ගැනීමෙනි.

ඉනි අවන් ඇරඹෙන්නේ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ කේඩර්වරයෙකු (දර්ශන් ධර්මරාජ්) යළි ගමට පැමිණීමෙනි. බස් රථයක් තුළ ඔහු පැමිණෙන දීර්ග දර්ශනය මත ගොඩනැගෙනුයේ චිත‍්‍රපටයේ ධාරනාවට ප‍්‍රබල සංකේතීය අගයකි. ඒකාකාරී වූ ගමනින් අනතුරුව ඔහු බස් රථයෙන් බසින අයුරු නොපෙන්වන සිනමා කරුවා කැපුමක් :භාවිත කොට සමීප රූපයකින් අපට සම්මුඛ කරවයි. මේ තාක්ෂණික පිම්ම ම චිත‍්‍රපටයට ජීවන අර්ථයක් සපයයි. (හිටපු කේඩර්වරයාගේ ජීවිත හැළ හැප්පීම නිරූපනය කීරීමට උපකාර කරයි.) ඒ හා යා කරන රූප කිහිපය දක්වන්නේ නැවත පදිංචිව ජීවිතය ගොඩනගා ගැනීමට කිසියම් පියවරක් තබා ඇති දෙමළ ජනයා ය. එහෙත් ඒ යළි පිබිදෙන උතුර ලෙස හකුලා දැක්විය හැකි නව එළඹුමක් නොවේ. කිසියම් අපැහැදිළි මොහොතක; අවිනිශ්චිත උත්සාහයක් පිළිබඳ හැඟවුමකි. මේ පසුකර නිවසට ළඟාවන තරුණයා, නිවෙසේ බිත්තියක එල්ලා ඇති තම සේයාරුවට දමා ඇති මල් මාලය ගළවාගෙන ගෙළ පැළඳ ගනී. ඒ සමඟ අසල් වැසියකු ඔහු වෙත සාප කරමින් බැන වදින්නේ එල්ටීටීඊ ය බැඳන තම තරුණ දරුවන් අකාලයේ මියගියත්, මොහු ජීවත් වන බැව් කියමිනි. මේ අවස්ථාවට අතුරු කතාවක් ලෙස අපි 71 අරගල කරුවන් යළි සමාජ ගත කළ මොහොත යා කළ හොත් මැරුණු සගයින්ගේ දෙමාපියන් දිවි ගලවා ගත්තවුනට තැබූ දෙස් දෙවොල් වලින් දෙසවන් පිරෙනු ඇත. කෙසේ වුව පශ්චාත් යුධ සමයක යළිත් ජීවිතය සොයා පිළිපන් හිටපු එල්ටීටීඊ තරුණයාට යළි ජීවිතය ගොඩනගා ගන්නට රාජ්‍ය මතවාදය අනුව නම් ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි. රජයේ රැකියා ලබා දීමෙන් ද, විවිධාකාර වෘත්තීය පාඨමාලා නිම කිරීමෙන් ද සලකනු ලැබූ හිටපු කේඩර, කේඩරියෝ රාජ්‍ය මාධ්‍ය පුවත් ඔස්සේ අප දකිමින් සිටින්නෙමු.


පශ්චාත් යුධ උත්කර්ශණ සිනමාව ඔස්සේ රාජ්‍යට පක්කලිකම් කළ ‘සෙල්වම්’ වැනි චිත‍්‍රපටයකදී දෙමළ තරුණයන් පුනරුත්ථාපනයකොට, හමුදාව මගින් ම බැංකු ආදී රාජ්‍ය රැකියා ලබා දී සමාජයට පිටත් කර හරිනු ද අප දුටුවෙමු. නමුත් හඳගමගේ චිත‍්‍රපටයට අනුව අප දකින්නේ ඇත්ත යථාර්ථය ඒ තරම් සරල නොවන බවයි.

"හිටපු එල්ටීටීඊ" නැමති ලේබලය නිසාම කෙනෙකු තම දෙමළ සමාජය තුළින් ම පිටස්තරයෙකු බවට පත්වීම ජය ගත යුතු පළමු ගැටළුව වන විට, තමා නොදන්නා අදිසි හුයකින් හැසිරවෙන ප‍්‍රාග්ධන සාධකය තුළ යළි පීඩිතයෙකු වීම මත ගොඩනැගෙන සංකීර්ණතා ඉනියවන් හි ප‍්‍රකාශමාන වෙයි. එය වියමනක් ලෙස කියවිය හැකි ප‍්‍රවිශ්ටයක් ලබා ගැනීමට නම් අප ජාතික ගැටළුව පිළිබඳ අප තුළ ඇති මිනුම්දඬු යොදාගෙන හඳගමගේ ම පූර්ව කෘති (මේ මගේ සඳයි චිත‍්‍රපටය, මේ පාරෙන් එන්න, නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලි නාට්‍ය) සබැඳිව කළ කියවීම් අමතක කළ යුතුය. ඉනි අවන් තුළ ඇත්තේ ඉන් මුළුමනින්ම වෙන් කොට ගත්, සම්පූර්ණයෙන්ම පශ්චාත් යුධ තත්ත්වයක් තුළ දෙමළ සමාජය මුහුණදී ඇති දෙයට අභ්‍යන්තරිකව සිනමාත්මය නාභි ගත කළ ස්වරූපයකි. විශේෂයෙන් අවකාශය භාවිත කිරීමේ සිනමාකරුවා සිදුකරනුයේ හමුදා නිළ ඇඳුම් වැනි සුලබ සංකේත ඔස්සේ විෂයය ඉදිරිපත් නොකිරීමය. (එකම තැනෙකදී මුනගැසෙන පොලිස් නිළධාරීනි හැර) ඒ කිසිවකින් තොරව පසු යුධ තත්ත්වයක මේ පසුබිම යනු ජාතික ගොහොරුවේ කර වටක් ගිලී හුන් මහ ජාතික මානසිකත්වය මගින් දෙමළා වෙත උරුම කර දුන් ප‍්‍රථිඵලය බැව් ඉනි අවන් තුළ කියැවෙන්නේ අපූරුවට ය. මෙහිදී හඳගමගේ විචක්ෂණශීලී ස්වභාවය මතුවන්නේ සිංහල සමාජය හා දෙමළ සමාජය යනුවෙන් බෙදුම් කඩනයකට යටත් නොවී සමාජීය වශයෙන් ඇති පොදු අමනකම් හා දුර්වලකම් දෙමළ සමාජය තුළ ද දැකීමෙනි. (උදා: කුල සාධකය). මෙහිදී නිල ඇඳුම් නොපෙන්වීම චිත‍්‍රපටයෙන් මතු කරන විෂය සරල මතික කරන්නක් බව සහ සැබෑ තත්ත්වයන් මගහැර කැමරාව වෙනතකට යොමු කිරීමක් ලෙස ද මත පළවේ. රූපය සංඥව ලෙස කියවන විට අර්ථ සම්පාදනය සිදුවන්නේ දෘෂ්‍යමානයෙහි අප දකින දෙය තුළම නොවේ. දකින දෙය අනුසාරයෙන් එහි නැති වපසරියක සමාජමය, දේශපාලනමය ආදී අරුත් සම්පාදනය සිදුවේ. සැමියා මියගිය රැයෙහි පසුබිමෙන් ඇසෙන ෂෙල් හඬත්, එහි ගිනිදළුත් මැදින් දිවයන දෙමළ ගැහැනියගේ දසුන පමණක් වුව බොහෝ දෑ කියයි. සැබැවින්ම අපට එහි නිල ඇඳුම් පෙනෙයි.


යුද්ධයකින් අවිනිශ්චිත කරන ලද ජීවිත කෙරෙහි දෙමළ සමාජයට තෝරා ගැනීමට සිදුවී ඇති විසඳුම් අතීතයට එක් වුණද වර්ථමානයේ හා අනාගතයෙහි ඒවායෙ ප‍්‍රථිඵල හට නොගනී ද? මෙහිදී ඉනි අවන් තුළ එල්ටීටීඊ තරුණයාගේ පේ‍්‍රමය බිඳවැටීම ගත හොත් එය සාම්ප‍්‍රදායික කුලය අධිනිශ්චය කළ වැඩිහිටි සමාජයේ තීරණයකි. වැඩිහිටි සමාජය විසින් පෙම්වතියට උරුම කරන ලද විසඳුම වනාහී වයසට නොගැළපෙන යෝජිත පිරිමියෙකු හා විවාහයකි. එහි ප‍්‍රථිඵලය එක්දරු වැන්දඹුවක ලෙස ඈ තනිවීම ය. හිටපු එල්ටීටීඊ පෙම්වතා ඇ දරුවා ද සමඟ නිවෙසට කැඳවාගෙන ගොස් එකට ජීවත් වීම විශේෂයෙන් අලූත් පරම්පරාව දෙස හඳගම හෙළන දෘෂ්ටිය ප‍්‍රකාශ කිරීමක් වෙයි. පිටත සමාජය විසින් ලේබල්ගතකොට ඇති ත‍්‍රස්තවාදියා තුළ සිටින මිනිසා මතුකර ගැනීමක් ද වෙයි. නමුදු මෙම ජීවිතයන් හි ඉදිරිය තීරණය කරනුයේ ජීවිත හිමියවුන් ම නොවේ. යුද්ධයෙන් පසු ඒ බිමෙහි කි‍්‍රයාත්මක ලිබරල් ධනවාදයයි. රාජ්‍ය විසින් වසන්තය ලෙස අර්ථ දක්වනු ඇත්තේ එහි ආධිපත්‍යයික ක‍්‍රියාව සුරතට ගැනීමයි. තරුණයා යටත්කොට ගන්නා නීති විරෝධී ව්‍යාපාරිකයා ඔස්සේ එම ජීවිත මුහුණ දෙන රැළි සුළි හට ගැනෙන්නේ රාජ්‍ය ආර්ථිකයේම පාතාල ප‍්‍රථිඵලයක් ලෙසය. ව්‍යාපාරිකයාගේ හිටපු ආරක්‍ෂක නිළධාරියාගේ බිරිඳගේ චරිතය ඉනි අවන් පුරා සැරි සරනුයේ යුද්ධය විසින් ඇති කළ විපරීත තත්ත්වයකුත්, අලූත් ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු සහගත තත්ත්වයකිනුත්ය. එය චරිතයෙන් ඔබ්බට ගොස් සමස්තය සංකේතකරණය කරන භූමිකාවකි. එතැනදී හැඟවුම් කාරකය ඇය බවට පත්ව පීඩනය හැඟවුම බවට පත්වෙයි.

ඉනි අවන් පිළිබඳ අප කියවීම මෙසේ ගලා ගියත් සම්ප‍්‍රදායික සිනමා විචාරය තුළ එය මුහුණ දී ඇත්තේ වෙනත් ඉරණමකටය. ‘මව්බිම’ පුවත්පතේ පළවූ ගුණසිරි සිල්වා ගේ විචාරයට අනුව "මෙය ආණ්ඩුවට නිර්ලජ්ජිතව කඬේ යන චිත‍්‍රපටයකි." "හඳගම මුළුමනින්ම රාජ්‍ය මතවාදයට අනු ගත වීමකි." මෙය එල්ටීටීඊ කේඩර්වරියක හා ඇගේ දියණිය පිළිබඳ පසුබිම්කොට ගත්, මනිරත්නම් ගේ ‘කන්නත්තිල් මුත්තම්ටාල්’ (කම්මුලට පුංචි හාදුවක්) චිත‍්‍රපටය පිළිබඳ ලංකාවේදී පළ වූ මතවාදී පරස්පරයට තරමක් සමානය. (මේ චිත‍්‍රපට දෙක ආඛ්‍යානමය වශයෙන් හෝ මතවාදීමය වශයෙන් සම වෙතැයි මින් අදහස් නොකෙරේ). එකල එම දෙමළ චිත‍්‍රපටය මෙහි ප‍්‍රදර්ශනය වූ විට, එය එල්ටීටීඊය උත්කර්ශයට නංවන, සිංහල බෞද්ධයාට පහර ගසන චිත‍්‍රපටයක් ලෙස සති අන්ත පුවත්පත් පිටු පුරා මත පැතිරිණ. එහෙත් පසු කලෙක වෙනත් දකුණු ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂක වරයෙකු උතුරට ගෙන්වා එල්ටීටීඊ ය ට සිනමා වැඩමුළුවක් පැවැත්වීමට උත්සුක වූ ප‍්‍රභාකරන් පවසා තිබුණේ, කන්නත්තිල් මුත්තම්ටාල් තුළින් තම සංවිධානයේ ප‍්‍රතිරූපයට හානියක් සිදුවූ බවටත්, එකී හානිය ප‍්‍රතිපූරණය කරනා චිත‍්‍රපටයක් තැනිය යුතු බවත් ය. චිත‍්‍රපටයක් කියවීම පිණිස ව්‍යවච්ඡේදනය කැරෙන තැන හෙවත් කියවන අස්ථානයෙහි පටු බව මතුවන පරස්පරයකි මේ. මෙතැනදී සමස්තයක් ලෙස අප කියවීමට අනුව ඉනි අවන් අකුණේ රාජ්‍ය විසින් වපුරා ඇති එල්ටීටීඊ ය තුළ සිටින ‘ත‍්‍රස්තවාදියා’ නැමති චිත‍්‍රය බොඳ කර දමා ඒ තුළ සිටින මිනිසා මුණගස්වයි. ඒ මිනිසා තුළ ආදරය, පරිත්‍යාගය හා බලාපොරොත්තුව බලවත්ය. සැබැවින්ම සංඥාර්ථවේදී කියවීමක නියැලෙන විට ගුණසිරි දකිනවා ට වඩා යමක්, අනිවාර්යයෙන්ම එසේ චිත‍්‍රපටය තුළදී මුණගැසේ.


ඉනිඅවන් තුළ හිටපු එල්ටීටීඊ තරුණයා සතුව තිබූ ගිනි අවිය, ඔහුගේ බිරිඳ අතින් අහසට එල්ලකොට වෙඩි තබා මූණිස්සම් අවසන් කිරීම කියවීමට ලක්විය යුතුය. මේ මොහොතේ එසේ අවකාශයට මුදා හරින්නේ කුමක්ද? මෙතුවක් ජීවිතය වෙලා ගත් පීඩනයට එරෙහිව ගත් ‘අවිය’ නැමැති මාර්ගයෙන් විතැන් වීමයි. ඒ තුළ ඇති හති වැටීමයි. එහෙත් යළි යළි වෙනත් වෙසකින් එය ඔවුන් මත පැටවේ නම් අනාගතය කෙබඳු වේ ද? ඒතැනදී අවිය ඔවුන් එකතුව යළි පිරියම් කරගන්නට සැරසෙන ජීවිතයට උදව් අවශ්‍යය දැයි අපි අසන්නෙමු. එය අප විසින් කරන හුදු විහිළුවක් පමණක් බවට පත්වනුයේ, වචන මාත‍්‍රයක් පමණක් හෙයිනි. මේ වන විට අපි කුමක් කරමින් සිටිමුද? දෙමළ මිනිසාගේ අවශ්‍යතා සපිරෙන සාධාරණවූ දේශපාලන විසඳුමක් ලබා දීමෙන් වැලකීම කෙතරම් යුක්ති සහගත හා දේශපේ‍්‍රමී දැයි වාද කරමින් සිටිමු. රටට බහු වාර්ගික ජනපදනමක් තිබුණද සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමේ ආනිසංශය කෙතරම් බලවත් දැයි වහසි බස් දොඩමින් සිටිමු. අතර මග නැවතුණ ජීවිත සදිසි යතුරුපැදිය යළි පණගන්වන්නට උත්සාහ දරන ඔවුන් අසලින් යමින් සි ටින සිංහලයා අසන ප‍්‍රශ්නයද මේ පසුබිමෙහි තබා තේරුම් ගත යුතුය. සිංහල අප තවමත් ඔවුන්ගේ ජීවන අරගලය බරසාරව තේරුම් ගෙන ඇත්ද? එවන් පසුබිමක් තුළ මින් පසු කුමක් සිදුවේද? ඉනිඅවන් අවසන් දර්ශනයේදී අහස ට යොමු වන කැමරාව ගිලෙන්නේ ඒ අවිනිශ්චිතතාව තුළය.

[ඡායාරුප- මොහාන් රාජ් මඩවලගේ එකතුවකින් උපුටා ගැණින.]

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails