Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිංහල මුස්ලිම් අර්බුදයේ ඉතිහාසය යන මැයෙන් ලියන ලද ලිපිය*ට (ඇමිණුම බලන්න.) තුන් මසක් ගත වීමට මත්තෙන් එම ඉතිහාසය නැවත කියවෙන්නට පටන් ගෙන ඇත. 1915 දී ඇති වු සිංහල මුස්ලිම් අර්බුදය අවසන් වන්නේ මුස්ලිම් ජාතිකයන් සතු ව්‍යාපාරික ස්ථාන 350ක් ගිනි තැබීමෙන් හා තවත් ව්‍යාපාර 4075 ක් මංකොල්ල කෑමෙනි. එම ගැටුම් වලින් 189 දෙනෙකු තුවාල ලබා 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන අවස්ථාවේ ලංකාවේ පැවති වෙළඳ, සමාජ, දේශපාලන වාතාවරණය හා අද ඇති වී තිබෙන තත්වයෙහි වෙනසක් නැත. දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය කරන ලද ආගමික පසමිතුරුතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙස එම කාල වකවානුව තුළ කඩා දැමූ මුස්ලිම් ආගමික ස්ථාන ප්‍රමාණය 103 කි. මෑත කාලීනව ද එලෙසින්ම සැළකියු යුතු මුස්ලිම් පල්ලි ප්‍රමාණයක් කඩා දමන ලද අතර එළඹෙන වෙසක් සමය තුළ එවැනි සිද්ධීන් තවදුරටත් වාර්තා වන්නට ඉඩ තිබේ.

1915 සිද්ධියට හේතුව මුස්ලිම්වරු බෞද්ධ පෙරහැරකට පහරදීම බව සිංහල බෞද්ධයන් හොඳින් දන්නා කාරණය යි. නමුත් ඔවුන් නොදන්නා සිද්ධිය වන්නේ ඔවුන්ව මෙහෙය වුයේ එවකට පැවති ඉංග්‍රීසි පාලනය බව යි. කරුණු කාරණා කෙසේ වෙතත් එම ගැටුමේ අවසානය සනිටුහන් වන්නේ කුරිරු ඛේදවාචකයකින් බව අමතක නොකළ යුතුය. එකී කිසිදු හේතුවක් මනුෂ්‍යත්වය ඉක්මවා නොයන බව අප සිංහලයන්ට තේරුම් කර දිය යුතුය. ඉංග්‍රීසි පාලනය එම ගැටුමට උඩගෙඩි දෙන ලද බව නම් විශ්වාස කළ හැකි ය. මන්ද කවර කළක වුවද ජනයා කොටස් වලට බෙදී ගහ මරා ගැනීම පවත්නා පාලනයට සුබදායක ය. වර්ගවාදය පවත්වාගෙන යාම මෙම ක්‍රමයේ එක් කොටසකි. වර්තමාන බොදු බල සේනා සංවිධානයට පවා ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ, ජාතික සංවිධාන එකමුතුවේ හා ආරක්ෂක ලේකම්තුමාගේ අනුග්‍රහය ලැබෙන බව නොරහසකි. එසේ නොවන්නට කොළඹ 04, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ බොදු බල සේනාවට කාර්යාලයක් පවත්වාගෙන යාමට නොහැකි ය. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සමඟද බොදු බල සේනා සංවිධානය සම්බන්ධකම් පවත්ව යි.



අතීතයේ සෑම අවස්ථාවකදීම මුස්ලිම් ජාතිකයන් ක්‍රියාකරන ලද ආකාරය සියුම් හැදෑරීමකට ලක් කළ යුතු ය. ඔවුන් එකළ පවා සිංහල මහ ජාතිය සමඟ සන්නද්ධ අරගලයකට හෝ වෙනත් ගැටුමකට නොගිය අතර ඒ වෙනුවට ඔවුන් භාවිතා කරන ලද්දේ තම වර්ගයා බෝ කිරීම, වෙළඳාම දියුණු කිරීම වැනි උපක්‍රම යි. ඒ පිළිබඳ හැදෑරීම සඳහා මුසල්මානු අධිරාජ්‍ය සංකල්පය ගැඹුරු අධ්‍යනයකට ලක් කළ යුතු ය. 1915 ට සාපේක්ෂව යම් ප්‍රමාණයකින් මුස්ලිම් ජනගහනය වර්ධනය වී ඇත්නම් ඊට 1915 දී ඇති වු ගැටුම සහ එහි දී සිදුවු විනාශය විශාල ලෙස බලපෑම් කරන ලද බව නම් අනිවාර්යකි. ඉදිරියේ වැඩ අරඹන මුස්ලිම් ජාතිවාදය වර්තමාන අර්බුදය අවුලෙන් අවුලට පත් කරන්නට නියමිත ය.

ඉතිහාසයේ මුස්ලිම් ජාතිකයන් ලංකාවට ගොඩ බහින්නේම වෙළඳ පරමාර්ථයකිනි. එම නිසා නෛසර්ගිකවම ඔවුන්ට වෙළඳාමේ ශුරත්වය පිහිටා ඇත. එම ශුරත්වය 1915 ට පෙර සිටම සිංහල ව්‍යාපාරිකයන්ට තර්ජනයක් විය. එකළ වු සිංහල පුවත්පත්, සඟරා, කටකතා හා විවිධ ප්‍රචාරණ මාධ්‍ය භාවිතා කරමින් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට ජනයා පෙළඹවීම සිදු කළහ. වර්තමානයේදීත් සිංහල රාවය වැනි පුවත්පත්, පෝස්ටර්, අත්පත්‍රිකා හා ෆේස් බුක් භාවිතා කරමින් නෝලිමිට් ඇතුලු මුස්ලිම් ව්‍යාපාර වර්ජනයට පෙළඹවීම, එම ව්‍යාපාර වලට පහරදීම සහ ඒවාට යන පාරිභෝගිකයන්ට කුණු බිත්තර ගැහීම වැනි පහත් ස්ථානයට මෙම අර්බුදය පත්ව ඇත. මෙකී කාරණා සියල්ලම සිංහල ව්‍යාපාරික ප්‍රජාව විසින් පාලනය කරන ලද කාරණා බව පැහැදිලි ය.

මෙලෙස ඉතිහාසය නැවත නැවත පෙරලා සිදුවෙද්දී සියලු දේශපාලන පක්ෂ සුපුරුදු පරිදි මුනිවත රැකීම අවසනාවන්ත තත්වයකි. ඇතැම් වාමාංශික ව්‍යාපාර පවා මෙම අර්බුදය වටහාගෙන ඇත්තේ මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමේ මහගු අවස්ථාවක් ලෙස යි. ඉතිහාසය පුරාවටම ලාංකීය වාමාංශය වරද්දාගත් ස්ථානයක් වන්නේ ලංකාවේ ජනවාර්ගික අර්බුදය බව අමුතුවෙන් කිව යුතු නැත. ජ.වි.පෙ මෑතදී සිංහල ජාතිවාදයට විරුද්ධව කොටුවේ අත්පත්‍රිකා බෙදා දුන්නද එම වැඩසටහන බොදු බල සේනා විරෝධය මත අත්හැර දමා ඇත. පෙරටුගාමී පක්ෂයේ දීප්තලාත් මේ පිළිබඳ කිසිත් කරන පාටක් නැත. ඔවුන් විසින් ආරම්භ කරන ලද සම අයිතිය ව්‍යාපාරය තවමත් භාවිතා වන්නේ වරද්දාගත් ඉතිහාසය නිවැරදි කරගැනීමට පමණි. එජාපයත් මාධ්‍ය සාකච්ඡාවක අදහස් දැක්වීමට අමතරව විපක්ෂයක කාර්ය භාරය ඉටු කරන බවක් නොපෙනේ. එජාපයේ කැරලිකාර කණ්ඩායම සහමුලින්ම ජාතිවාදය වැලදගෙන ඇති අතර ජාතික පවුර නමින් සංවිධානයක් පිහිටුවා ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ රාජ්‍ය බලය දිනාගැනීමේ සටනට පිවිස ඇත.



ඒ අනුව අපට වැඩ කිරීමට ඉතිරිව ඇත්තේ කිසිත් නොකරන හිස් අවකාශයකි. සිංහලයන් ප්‍රමෝදයෙන් ඉපිල ගොස් ඇත. දෙමලුන් කබලෙන් ලිපට වැටී ඇත. මුස්ලිමුන් තුෂ්නිම්භූතව බලා සිටින්නේ ඊළඟට කුමක්වේදැයි හිතා ගත නොහැකිව ය. කෙළවර කුමක්දැයි අපි නොදනිමු. කැඩී වෙන්වී අරාජිකව ගිය සමාජයක මනුෂ්‍යත්වය වෙනුවෙන් සටන් කරන්නෙමු.

* ඇමිණුම-
සිංහල මුස්ලිම් අර්බුදයේ ඉතිහාසය

ශ‍්‍රී ලංකාවේ මේ වනවිට වර්ධනය වෙමින් පවතින ජාතීන් අතර අසමගිය පිළිබඳ අදහස් දැක්වීමේදී එහි අතීතය පිළිබඳ යළි මතක් කර ගැනීම වැදගත් ය. එය වඩාත් වැදගත් වන්නේ හැඟීම් අවුස්සන සුළු, ජනතාව ප‍්‍රකෝප කරන සුළු ක‍්‍රියාවන්ට ඉතිහාසයෙන් බලා ගත හැකි පාඩම් මොනවාද යන්න සොයා බැලීමටයි. දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය ආයුධ බලයෙන් මර්ධනය කර පෝෂණය කරවන ලද සිංහල ජාතිකවාදය දැන් අලූත් වටයකින් අලූත්ම නමකින් කරළියේ පෙරළි කිරීමට පටන්ගෙන ඇත. ඒ සිංහල මුස්ලිම් අර්බුදය ලෙස ය. නමුත් මෙම අර්බුදයේ අතීත කථාව ඉතා ඈත ඉතිහාසය කරා දිව යන්නකි.

1800 දී වැවිලි වතු ක්ෂේත‍්‍රය ලංකාවට හදුන්වා දීමත් සමඟ ඉන්දීය හා මලයාම් ජාතික කම්කරුවන් මෙන්ම ඉන්දීය මුස්ලිම් වෙළදුන් පැමිණියේ ය. නමුත් 1833 කෝල්බෲක් ආණ්ඩුක‍්‍රමය කි‍්‍රයාත්මක වීමට පටන් ගත් යුගයේ සිට ශ‍්‍රි ලංකාවේ මුස්ලිම් ජනයා නියෝජනය වුයේ දෙමළ ජනතාව හරහා ය. එනම් වෙනම ජන කොට්ඨාසයක් ලෙස මුස්ලිම් ජනයා සැළකුවේ නැත. ඒ අවධිය වන විට මුස්ලිම් ජනතාව මුහුදුබඩ යෝනකයින්, ලංකා යෝනකයින්, මැලේ ජාතිකයින් ලෙස කොටස් 3කට වෙන්වී සිටි අතර කොළඹ, මහනුවර වැනි නගරයන්හී යම් සමාජ තත්වයක් අත්පත් කර ගෙන සිටියේ මැලේ ජාතිකයන් විසින් ය. එබැවින් මැලේ ජාතික නායකයන් සමස්ථ මුස්ලිම් ජනයාගේ හඬ බවට පත්විය. එහිදී ඔවුන් තර්ක කරන ලද්දේ තව දුරටත් මුස්ලිම් ජාතිකයන් දෙමළ ජනකොට්ඨාසයට අයත් නොවන බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1889 දී ස්වදේශික නියෝජනත්වයක් මුස්ලිම් ජනතාවට ලැබුණි.

19 සියවසේ අගභාගය වන විට යටත් විජිත පාලකයන්ට එරෙහි අරගලය ක‍්‍රිස්තියානි ආගමට එරෙහි අරගලයක් බවට විතැන් වී තිබිණි. දේශීය සංස්කෘතිය පිරිහීයාමට එරෙහිවත්, අමද්‍යප ව්‍යාපාරය ලෙසත් බෞද්ධ පුනරුදය මෙකල උත්සන්නව පැවතියේ ය. අනගාරික ධර්මපාලගේ පැමිණීමේ සිට ආගමික හා ජාතික ව්‍යාපාර විශාල ප‍්‍රමාණයක් මෙකල අලූතින් ආරම්භ විය. වෙළදාමේදී වඩාත් දක්ෂ ලෙස මුස්ලිම් ව්‍යාපාර දියුණුවීමේ දී එකී තරඟය සිංහල මුස්ලිම් අරගලයක් දක්වා රැගෙන ඒමට සිංහල ජනයා කි‍්‍රයා කළ අතර දිනමිණ, සිංහල ජාතිය, සිංහල බෞද්ධයා වැනි සිංහල පුවත් හරහා මලයාම් හා මුස්ලිම් ජාතිකයන් නිර්දය ලෙස විවේචනය කිරීමට එකළ සිංහල සමාජය කටයුතු කළේය. අදත් එම තත්වය අන්තර්ජාලය හා සිංහල රාවය වැනි පුවත්පත් හරහා අපට දැකගත හැකිය. කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය කිරීටයට එරෙහිව අරඹන ලද ජාතික ව්‍යාපාර පසුකාලීනව සෙසු ජන වර්ග වලට එරෙහි ව්‍යාපාර බවට පරිවර්තනය විය. එය බි‍්‍රතාන්‍යයන් විසින් මෙහෙයවන ලද උපක‍්‍රමයක්ද කියා අදටත් පැහැදිලි නොවේ.

කෙසේ හෝ එමඟින් ඇති කරන ලද තත්වය හමුවේ 1915 දී සිංහල මුස්ලිම් ගැටුම් ආරම්භ වෙන අතර එයින් මුස්ලිම්වරුන් සතු ව්‍යාපාරික ස්ථාන 350ක් ගිණි තබා විනාශ කරන අතර තවත් ව්‍යාපාර 4075ක් කොල්ලකෑමට ලක්විය. එම ගැටුම් සමයේම මුස්ලිම් ජාතිකයන් 189 දෙනෙකු තුවාල ලබන අතර 25 දෙනෙකු මරණයට පත්විය. එහිදී මුස්ලිම් පල්ලි 103ක් කඩා විනාශ කර තිබුණි. මෙම ගැටුම් වලදී තුවාල ලද හෝ මරණයට පත්වු සිංහල ජාතිකයන් පිළිබඳ වාර්තා නොවන අතර ඉතා සුළු මුස්ලිම් ජනතාවක් ජීවත්වීම ඊට හේතුවන්නට ඇත. මෙම ගැටුමට සහයෝගය දැක්වීමේ හේතුව මත ඊ.ඒ. ගුණසිංහ, ඞී.එස්. සේනානායක හා ටී.බී ජයතිලක යන අය බි‍්‍රතාන්‍ය පාලනය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ කාලය වනවිට දෙමළ ජාතිකයින් සිංහල ජාතිකයින්ට සහාය දක්වන ලද අතර සිරභාරයට පත් වු සිංහල නායකයින් නිදහස් කරන ලෙස බි‍්‍රතාන්‍යයන්ට සංදේශයක් හරහා ඉල්ලීම් කරන්නේද පොන්නම්බලම් රාමනාදන් විසිණි. එය සිංහල බහුතරයකගේ ප‍්‍රසාදයට ද, මුස්ලිම් ජනයාගේ කණස්සල්ලට ද හේතු විය.



මෙලෙස දිගින් දිගටම ඇති වූ තාඩන පීඩන හේතුවෙන් මුස්ලිම් ජාතිකයන්ද සමාජීය හා දේශපාලන ක්ෂේත‍්‍රය තනි බලවේගයක් බවට පත්වීමේ අඛණ්ඩ උත්සාහයක නිරත විය. වර්ථමානයේ සිදුවී ඇතැයි කියන මුස්ලිම් ජනගහණයේ වැඩිවීමට ප‍්‍රධාන හේතුව වන්නේ ද එයයි. මන්ද ඉතිහාසයේ මුස්ලිම් ජනතාවට සිදුවන ලද අසාධාරණයන් වලදී දෙමළ ජනතාව සිංහලයින් සමඟ එකතුවීමත්, ඔවුන්ගේ රැකියාවන් නිදහසේ කරගෙන යාමට නොහැකි වීමත් නිසා 1921 වනවිට මුස්ලිම්වරු තමන් වෙනම ජාතියක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. ඔවුන් තව දුරටත් දෙමළ ජනකොටසට අයිති නොවන බවත් ලංකා මුස්ලිම්, ඉන්දියානු මුස්ලිම් ලෙස වර්ග නොකර තමන් සියලූදෙනා ශ‍්‍රී ලංකා මුස්ලිම් ලෙස හැදින්වුයේ එකී අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

වර්ථමාන සිංහල මුස්ලිම් අර්බුදයට පාදක වන සියලූ කාරණා කථා කළ යුත්තේ මෙම ඉතිහාසය පසුබිමෙහි තබාගෙන වන අතර මුස්ලිම් ජනතාවගේ ජනගහන වර්ධනය, මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය ඇතුළු සියලූ තර්ක ඉහත සදහන් ඓතිහාසික කාරණා සමඟ ගලපා ගත යුතුය. ඉදිරියේදී මේ පිළිබඳ ලියවෙන ලිපි, ගොඩනැගෙන තර්ක මෙම කරුණු ද සළකා බලනු ඇතැයි විශ්වාස කරමි.

ඡායාරූප- ෂෙහාන් ගුණසේකරගේ මූණුපොත් පිටුවෙනි.

තුසිත බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails