Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලංකාව වර්තමානයේදී අන්තර් ජාතික දේශපාලනය තුළ විවාදයට බඳුන් වූ මානව හිමිකම් උල්ලංඝනය වන, ප්‍රජාතන්ත්‍රවාදය අර්බූදයට පත් වූ, උතුරු - නැගෙනහිර සිවිල් යුද්ධය පැවති අවසාන කාල වකවානුවලදී සහ යුද්ධයෙන් පසුව ද මෙරටෙහි ඇති වූ දේශපාලන ඝාතන, පුද්ගල පැහැරගැනීම්, මරණ තර්ජන මුල්කරගත් බියවැද්දීම්, සාමකාමී පෙළපාලි, උද්ඝෝෂණ පොලිස් බලය යොදා මර්ධනය කිරීම, මෙන්ම
අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව අභියෝග කිරීම් යනාදී වශයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා එල්ලකර තිබේ.

මෙසේ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා එල්ල කිරීමේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ ප්‍රබල සමාජිකයින්වන ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රාජ්‍යයන් වඩාත් ඉදිරියෙන් කටයුතු කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිෂමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම (පසුගිය වසරේ මෙන්ම මේ වසරේ) ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලදී. එම යෝජනාව අනුව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අමතරව රජය විසින්ම පත්කරන ලද උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ (LLRC) නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ චෝදනාව ද ප්‍රබල ලෙස ඉස්මතු කර තිබේ.



විශේෂයෙන්ම යුද්ධයෙන් පසු කාලයේදී උතුරු නැගෙනහිර දෙමළ සමාජය මුල් කරගෙන බලය බෙදීමේ පුළුල් ක්‍රියාවලියක් රජය විසින් සිදුකිරීම පිළිබඳ නිර්දේශ එම කොමිෂන් වාර්තාව මගින් ඉදිරිපත් කර තිබුනි. මේ යටතේ දැනට පවතින පළාත් සභා ක්‍රමය වඩාත් බලගැන්වීම පිළිබඳව යෝජනාව ඉදිරිපත් විය. එහෙත් රජය අන්තර් ජාතික තලයේදී ජාත්‍යන්තර බලවතුන්ට උගත් පාඩම් කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරන බවට බොරු පොරොන්දු දෙමින්, දේශිය වශයෙන් ඉතාමත්ම සිංහල - බෞද්ධ අධිපතිවාදී දේශපාලනයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදය පළවී තිබේ.

මෙවර පැවත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ දී ශ්‍රී ලංකාව ට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව ජයගැනීමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්ව තිබේ. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාවේ ආණ්ඩුව ද ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමයි. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුව බලවත් අසීරු තාවයකට පත්වී ඇති අතර විශේෂයෙන්ම යුධ අපරාධ සම්බන්ධ චෝදනාවන්ට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට එක්සත් ජාතීන් ක්‍රියාත්මක වීමේ පුළුල් අවකාශයක් මේ වනවිට නිර්මාණය වී තිබේ. ඒ සඳහා පරීක්ෂණ කමිටුවක් මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගැනීමට ඉඩතිබේ. මෙය භයානක තත්ත්වයකි. අනෙක් අතට ශ්‍රී ලංකාවත් මානව හිමිකම් විරෝධී රාජ්‍යයක් ලෙස ශිෂ්ඨාචාරයෙන් කොන් කිරීමටත්, බටහිර රාජ්‍යයන් ගේ ආර්ථීක සම්බාධකවලට ගොදුරු වීමටත්, ඇති ඉඩප්‍රස්ථාව ඉතා පුළුල්ය. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ශිෂ්ඨාචාරයෙන් කොන් කිරීම යනු අන්තර් ජාතික සමාජය තුළ ශ්‍රී ලංකාවට නිසි තැනක් ලබා නොදී ශ්‍රී ලංකාව සමග අන්තර් රාජ්‍ය සම්බන්ධතා පැවැත්වීම ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් විසින් අතහැර දැමීමය. මෙහිදී ආර්ථීක හා වෙළඳ සම්බන්ධතා නතර කිරීම පමණක් නොව ක්‍රීඩාව, කලාව වැනි සංස්කෘතික සම්බන්ධතාද අත්හිටුවීම සිදුවිය හැක. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට හෝ ක්‍රීඩා කණ්ඩායම්වලට තහංචි පැනවීම දැක්විය හැක. එමෙන්ම අන්තර් ජාතික සංවිධානවල සාමාජිකත්වය අත්හිටුවීම වැනි ක්‍රියාවන්ද සිදු විය හැක.විශේෂයෙන්ම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව අහෝසි වීමට හෝ නොඑසේ නම් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ එම සමුළුවට සහභාගිවීම අත්හිටුවීමට හෝ ඉඩප්‍රස්ථාවන් ඉතා පුළුල්ය. (මේ වන විට කැනඩාවේ අගමැති ශ්‍රී ලංකාවට නොඑන බව ප්‍රකාශකර තිබේ.)



මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව අන්තර් ජාතික සමාජයෙන් කොන්වනවිට ආර්ථීක වශයෙන්ද ඉතාමත්ම අවාසිදායක තත්ත්වයක් උදාවීම නොවැළැක්විය හැකි දෙයක් වේ. මෙහිදී ඉන්දියානු රජය ලංකාවට එරෙහිවීම කෙරෙහි උතුරු- නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්නය සෘජු ලෙස බලපා තිබේ. යුද්ධයේ අවසාන කාලයේදී අහිංසක දෙමළ ජනතාවගේ ජීවිතවලට හා දේපලවලට සිදුවූ බරපතල හානි මෙන්ම යුද්ධයෙන් පසු
කාලයේ දෙමළ ජනතාව අවතැන් වීමේ ප්‍රශ්නය, උතුරු- නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පාලනය වෙනුවට දැඩි හමුදා පාලනයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය, උතුරු- නැගෙනහිර බලය බෙදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියට ගෙන නොයාම පිළිබඳ ප්‍රශ්නය යනාදී දේශපාලන ප්‍රශ්න මේ වනතෙක් නොවිසඳීම මෙම තත්ත්වය කෙරෙහි බලපා තිබේ.

(උපුටනය- හරය 2012 අප්‍රේල් කලාපයෙන්)

ටෙරන්ස් පුරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails