Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලොව බලවත්ම රාජ්‍යයක සුඛෝපභෝගි සමාජයක උපත ලබා හැදී වැඩුණ ද, එකී රාජ්‍යය විසින් ලොව අන් රටවල් වෙත කෙරෙන බලපෑම් සහ මිනිස් ඝාතන අභිමුව අමෙරිකානුවකු වීමේ වරදකාරී හෘද සාක්ෂියට එරෙහිව ඕ හඬ ගෑවාය. ලොව කොතැනක වුව ජීවත් වන මිනිසුන් සොඳුරු බව තරයේ ඇදහුවාය. මිනිසුන්ගේ වටිනාකම් ද සාමයේ වටිනාකම් ද, ආදරය, සහෝදරත්වය, සහයෝගය සහ අවබෝධකරගැනීමේ වටිනාකම් ද ඕ දැන සිටියාය. ලොව එක් කොණක වේදනාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන්, තෙත් වූ හදින් ද අපමණක් දයාවෙන් ද ඕ රෆා වෙත පිය නගන්නී, රෆා දරුවන්ගේ දුක් කඳුළු පිසින්නට, ජාතිවාදි කුරිරු පහරදීම් පිළිබඳ නිරන්තර ලෝක අවධානය ගොඩ නගන්නට, රෆා වැසියන් ආරක්ෂා කරන්නට අපමණක් වෙහෙසව කටයුතු කොට අවසන සාමය වෙනුවෙන්ම දිවි කැප කළාය.

රචෙල් කොරී, 1979 අප්‍රේල් 10 වන දින, වොෂින්ටන් නුවර, ඔලිම්පියාවේ උපත ලද අතර එවර්ග්‍රීන් පාසලෙන් කලා විෂයන් හැදෑරීමෙන් අනතුරුව, 2003 ජනවාරි මාසයේ දී ගාසාවෙහි- රෆා වෙත යන්නේ සාම ක්‍රියාකාරිනියක ලෙසයි. එහෙත් අවසනාවන්ත ලෙස ඊශ්‍රායෙල් හමුදා විසින් දිගින් දිගටම සිදු කෙරෙන නිවෙස් බිඳ හෙලීම් වැලැක්වීමට උත්සහ කරමින් සිටි අවස්ථාවෙක බුල්ඩෝසරයකට යට කිරීමෙන් ඈ ඝාතනයට ලක් වූයේ 2003 මාර්තු 10 වන දින, එනම්, වසර දහයකට පෙරයි.

අතළොස්සක් වූ වර්ගවාදී මුග්ධයින් ග්‍රහ ලෝකයේ අනාගතය තීරණය කරමින් හිඳිති. බහුතරයක් එය ඉවසමින් තමන්ගේ වාරය පැමිණෙන තෙක්, අනෙකාට කෙළවනු ටී.වී. වලින් බලමින්, විනෝද වෙමින් සිටිති. ඉතාම සුළුතර පිරිසක් ලෝකය වඩා යහපත් තැනක් වනු දැක්මේ ආධ්‍යාශයෙන් හැකි සියලු දේ කරමින් හිඳිති. රචෙල් කියවා ගැනීම, වැදගත් වන්නේ ඒ අවසානයට කියන ලද පිරිසටයි. මේ ලියවිල්ල සැකසෙන්නේ, රෆා වෙත යාමෙන් අනතුරුව, රචෙල් විසින් තබන ලද ජ'නල් සටහන් ඇසුරෙන්.

2003 ජනවාරි 29

ඇතැම්විට අමෙරිකා එක්සත් ජනපදය යනු අන් සියළුම ජන වර්ග වලට අයත් වැසියන් ජාතිවාදයෙන් සහ වෛරයෙන් හිඳින බව තරයේ විශ්වාස කරන්නට කැමති ලොව ඇති ජාතිවාදී රටවල් අතුරින් එකකි. එහෙත් මෙහි සිටින මිනිසුන් ඒ පිළිබඳ දැනුම් තේරුම් ඇති අයයි. ඔවුන් මට නිතර කියා සිටින්නේ අමෙරිකානු රජය සහ එරට සාමාන්‍ය ජනතාව ඉඳුරාම එකිනෙකාගෙන් වෙනස් බවයි.

ලියන්නට තරම වේලාවක් සොයා ගැනීම ඉතාම අසීරු කාර්යයක්. මෙහි සේවය සඳහා තව තවත් මිනිසුන් අපට ඕනෑකරන තිබෙනවා. ඇත්තෙන්ම මෙය සිර මැදිරියක්. බන්ධනාගාර නිළධාරීන් විසින් පමණට වඩා ඉඩ කඩ ඇතැයි තීරණය කිරීමෙන් පසු දැන් එය ඉතා කුඩා ඉඩක් දක්වා මිරිකා හැර තිබෙනවා. ඈත මුහුදෙන් එන සුවඳ පමණක් විඳිම්න් ජීවන් වෙන රෆා වැසියන්ට මුහුද කියන්නෙ තවදුවරත් යා නොහැකි තැනක්.



මා මෙහි පැමිණි දිනට පෙර දින අලි නමැති 8 හැවිරිදි කුඩා දරුවෙකු මිය ගියා. ඇත්තෙන්ම ඔහුට ඕනෑ වුනේ යුධ ටැංකිය බලන්නයි. ඒත් ඔවුන් ඒ දරුව ගේ හිස සුන්වෙන්නට වෙඩි තැබුවා.

මෙහි ඇති ඇදහිය නොහැකි දේ නම් අපි ආරක්ෂිතයි කියන හැඟීමයි. හම සුදු මිනිස්සු යුධ ටැංකි ඉදිරිපිට හිට ගන්නා හැමවිටම කුඩා දරුවන් අපට පිටුපසින් පැමිණ සෙල්ලම් කරනවා. අප හා සෙල්ලම් කිරීමට ඔවුන් සුන් බුන් ගොඩක් දෙසට පැමිණෙන හැමවිටම අප කරන්නෙ ඔවුන් වැලැක්වීමයි. ඇතැම් විට ඔවුන් කූඩුවක සිරවී උපත ලැබුවත්, වෙඩි හඬක් නොනැගුණු එකම රැයක් වුව පහන් නොකළත්, ඔවුන්ට තවමත් සෙල්ලම් කළ හැකිය.

මෙවැනි ස්ථානයක් ලොව කොතැනක වුව තිබුණේ යයි විශ්වාස කිරීමට මට තවමත් නොහැකිය. ඊටත් වඩා, ඔබට සිතන්නට හැකිද මෙහි දරුවන් පවා ජීවත් වන බව? බය ගැන අමතක කරන්න. බය ගැන අමතක කරන්න. රාත්‍රියට ඔවුහූ මට කියති. එහි දිවිගෙවන කුඩා දරුවන් පවා කිසි දිනෙක සිය නම වත් නොදන්වා රහසේම නිහඬවම සිය මාතෘ භූමිය වෙනුවෙන් මියයන විට මගේ ශරීරය පිළිබඳ මා තුල හටගත් භීතියත්, මේ මිහිමත ඉතාමත් අවධානය ලක් වූ තැනක ඇති නන්නාඳුනන නිවෙසක් තුල මියයාම පිළිබඳ මා තුල හටගත් භීතියත් පිළිබඳ මම බොහෝ සෙයින් ලජ්ජාවට පත් වුණෙමි.



2003, පෙබරවාරි

අහෝ රෆා,
රිදුම්දෙන නගරය රෆා
සරණාගතයන්ගෙන් රිදුම්දෙන
බිඳ වැටුණු නිවෙසින් ද
යුධ ටැංකි වලින් ඇද ගැසුණු පා පැදි වලින්ද
උණ්ඩයෙන් සිදුරු වුණු නිවෙස් වලින්ද රිදුම් දෙන
නිවෙස් ය උණ්ඩ පණුවන් විසින් කා හල
සිදුරුය තැන තැන
පසුව සියොතුන් එහි වැද බිජු රකින

අහෝ රෆා, රිදුම්දෙන නගරය රෆා
අතැඟිලි නැතිව දරුවන් උපදින
ඒ සිඟිති අතැඟිලි සොයා දෙන්නට
පියවරුන්ට සැතපුම් තිහ හතළිහක් වුව
ගාසාවට උන් රැගෙන යා නොහැකි
ඉපැරණි උණ්ඩ පහරින් නිය රහිත අතැඟිලි ඇති
වෙළුම් ලත් අතැඟිලි ඇති
ඉදිමුණු දෙතොල'තර රැඳුණු
දරුවන්ගෙ කුඩා කෙසඟ ඔබා බලන අතැඟිලි
අන් හැම දරුවෙකුම මෙන්
ආශාවෙන් තැන තැන සරණ, ඇසිපිය සලන
ආගන්තුක විසල් දෑත් වලට තට්ටු කරන
නොනවතින ෂෙල් මියැසිය මැද වුව
නිමක් නැති නමක් නැති රාත්‍රි දුරදක්නය
මරණයේ සමීප දසුන් පෙන්වන
ඉහළින් ද පහළින්ද
හාත්පසින් ද ඇතුළතින්ද
බිඳුණු කැබලි එක්කොට
නිමක් නොමැති පිළිසකර කිරීම් වලින්
පළුදූ වු සමින් යුතු ලප වැටුණු
කොන්ක්‍රීට් අතැඟිලිය.

නිවෙසකි
නිවෙසකි එය
අහෝ රෆා, රිදුම් දෙන නිවෙස් ඇති රෆා
කඳවුරු ඇති නිවෙස රෆා
ලොව අන් දේශයන් හි නාමයන් හා නිති වැඩුණ*
සිය අසල්වැසියන් වෙත තවමත්
වන්දි ගෙවමින් සිටින
අතැර යා නොහැකි නිවහන රෆා.

යොවුන් දරුවන් මුළු ගැන් වී හිඳින
නිවෙස් ය අඳුරු තරු එළි සලකුණු කල.
නිවෙස් ය ජීවිත කාලයක් තුල
වෙහෙසව ගොඩ නගන ලද
එද එක් රැයකින් බිම හෙළන
සුන් බුන්ය රිදුම් දෙන
විසල් කොන්ක්‍රීට් ගල් අතර
වල් පැලය ඉහළ නැග හිනැහෙන
අවතාරැති නිවෙස්ය රිදුම්දෙන
ස්කන්ධයක් ද ධාරිතාවක් ද නැති යාන්ත්‍රණයක් තිබෙන
කුමන බිත කුමන මොහොතක
මුඩුබිමක් වේ දැයි දෙගිඩියාවෙන් හිඳින

රෑ බොජුන්ය රිදුම්දෙන.
නොනිමි වෙඩි හඬ ගෙනෙන මියැසියද
දේශ සීමාවෙහි අක්‍රමවත් හද ගැසුම් ද අතර
නැමූ දණ ඉදිරියෙහි රෑ බොජුන් ය
පොලෝ මත තබන ලද

පණ ගැහෙන - මියැදුණු නිවෙස්ය
නිසලව බලා හිඳින
බුල්ඩෝසර සහ යුධ ටැංකි වෙනුවෙන්ම
සිඳුනු සහ බිඳුනු තේ වීදුරුය
පෙරළුණු කොන්ක්‍රීට් මතින් හෙවුණු
නෙරපා දැමූ මිනිසුන්ය.
බිළිඳෙකි
මිත්තණියකි
බිළිඳිය පටලා සිඟිති අත
එක් විසල් ඇඟිල්ලක
යව්වනයෙකි යොවුන් පා සමග
හිනැහෙයි ඔහු, නෙරපා හැරෙයි සුන් බුන් මතට
සරණාගත බවට, පලවා හැරෙයි ඔහු
නැතොත් ඝාතනය වෙයි ඔහු.

අහෝ රෆා, රිදුම් දෙන නගරය රෆා
පිපිරුනු දරුවන් හිඳින
බිහිරි වූ දරුවන් හිඳින
ටැංකි රිය සක් හඬට බිහිරි වුණ
නොතිත් පුපුරණ හඬට බිහිරි වුණ
වෙඩි හඬම මියැසියක් වුණ
කම්පනයම අත්පොළසන් දෙවන
එකලාව හඬ නැගෙන

* රෆා හි ඇති සරණාගත කඳවුරු නම් කොට ඇත්තේ ඒවාට ආධාර සපයන ලොව ඇති රාජ්‍යයන්ගේ නම් වලිනි.

-(රචෙල් කොරී- Rafah, oh Rafah)





[Let me stand alone- the journals of Rachel Corrie]

නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails