Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(මාර්තු 18 වෙනිදා ඉර්ෆාන් හුසේන් විසින් පාකිස්ථානයේ පළවන ‘Dawn’ පුවත්පතෙහි වෙබ් අඩවියට ලියන ලදුව Sri Lankan Muslims under threat මැයෙන් පළ වූ ලිපියේ සිංහලානුවාදය.) දිනපතා දේශීය ඉංග්‍රිසි පුවත් පතක පළවූ කුහුල දනවන වාර්තාවක් පසුගිය දා මගේ නෙත ගැටිණ. ඒ අනුව හලාල් සහතිකයෙන් තොරව මස් වර්ග අලෙවි කළ යුතු බවට වූ බලකිරීම් වලට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කැමැත්ත පළකොට ඇතැයි පෙනෙන්නට තිබේ . පසුගිය වසර කිහිපය පුරා මුස්ලිම් ජනයාට එරෙහි ව්‍යාපාරයක් ගෙනයමින් සිටින රැඩිකල් බෞද්ධ කණ්ඩායම්වලට මෙය විශාල ජයග්‍රහණයකි. මුස්ලිම් දේවස්ථාන වලට පහර දී ඇති අතර යාඥාවන් කඩාකප්පල් කරමින් , සාමාන්‍ය මුස්ලිම් ජනයාට එරෙහිව පොදුවේ රාජ්‍ය විරෝධී වීමේ චෝදනා එල්ල කර ඇත . මේ පිළිකුල් සහගත ව්‍යාපාරයට විරෝධය දක්වන ලෙසත්, ආරක්ෂාව සහතික කරන ලෙසත් ඉල්ලමින් මුස්ලිම් - දෙමල ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මහා ලේකම් වරයාට ලිපියක් යොමු කර තිබේ.

මුස්ලිම්වරුන්ට චෝදනා එල්ල කරන්නන් අතර ප්‍රමුඛත්වයක් ගනු ලබන්නේ බොදු බල සේනාව නමැති කණ්ඩායමයි . අන්ත ජාතිකවාදී භික්ෂුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කණ්ඩායම “ශ්‍රී ලංකාව බෞද්ධයන් සඳහා පමණක්’ යන අන්‍ය ජාතීන් කෙරෙහි වූ භීතිය වපුරන න්‍යාය පත්‍රයක් අනුගමනය කරයි. මෑතක සිට බෞද්ධ භික්ෂුන් රටේ දේශපාලනය තුළ වැඩී එන හා පසුගාමී භූමිකාවක් රඟ දක්වනු ලබයි.

භික්ෂුන් සිය බලය මුලින් පෙන්වූයේ දෙමළ ජනයාගේ කැරැල්ල යටපත් කිරීමට රාජපක්ෂ ආණ්ඩුවේ අභිලාෂයට රුකුල් දීමෙනි . දෙමළ කොටින්හට, වඩා වැඩි ස්වයං පාලනයක් ලබාදෙමින් සාමකාමිව ගැටලුව විසඳා ගත හැකිව තිබු සැම අවකාශයක්ම පළමුව මොවුන් විසින් අවුරාලනු ලැබිණි . පීඩනය තවදුරටත් ගොඩනගනු පිණිස ඔවුහු දේශපාලන පක්ෂයක් පිහිටුවගනිමින් , පාලක සන්ධානය තුළ ඉඩක් ලබා ගැනීමට ප්‍රමාණවත් තරමේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගත්හ.

අනතුරුව, ජනාධිපති රාජපක්ෂගේ සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුදාවන්ට අවශ්‍ය තරම් නවකයන් සොයා ගැනීමේ දුෂුකරතාවට මුහුණ දී සිටින විට, මෙම භික්ෂුන්, බෞද්ධ ප්‍රදේශවල සිටින දහස් ගණන් තරුණයන්ව හමුදාවට බැදීම සඳහා පොළඹවනු ලැබිය . ඔවුන් විසින් මේ නවකයන්ට ලබාදුන් සහතිකය වුයේ බුද්ධාගමෙහි චිරස්ථිතිය පිණිස වූ යුද්ධයක් තුළ සටන් කිරීම් හා ඝාතනයන් කර්ම විපාකයන්ට අයත් නොවන බවය.

මිට සිව් වසරකට පෙර අමානුෂික යුද්ධය අවසන් වුයේ දැන් විදේශයන්හි නිරීක්ෂණයට මෙන්ම විවේචනයටද ලක්ව ඇති ලේ ගැලීම් වලිනි. මේ ලියන මොහොත වන විට ඇමෙරිකාව විසින් ගෙන එනු ලබන යෝජනාවකට ජිනිවා හි පැවැත්වෙන මානව හිමිකම් කොමිසම ජන්දය ලබාදීමට සැරසෙමින් සිටි. එමගින් ගැටුමේ අවසන් කාලයේදී ඝාතනයට ලක්වුවා යැයි කියන දස දහස් ගණනක් වූ දෙමළ ජනයාගේ ඉරණම ගැන ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටි.

මේ පසුබිම තුළ, මුස්ලිම් විරෝධී ව්‍යාපාරය මැඩ පැවැත්වීමට රජය ඉතා සුළුවෙන් කටයුතු කිරීම අමුතු දෙයකි. මෙය මෙම ව්‍යාපාරයට ඇති සහාය හා ආකර්ශනය වර්ධනය වුවහොත් එහි ප්‍රතිඵලය ඉතාමත්ම නරක එකක් වනු ඇත. මුස්ලිම්වරු ප්‍රධාන වශයෙන් ප්‍රදේශ තුනක රාශිභූතව සිටිනු දැකිය හැක. කොළඹ සහ ගාල්ල තදාසන්නයේත්, උතුරු-නැගෙනහිර මුහුදු බඩ ප්‍රදේශවලත් වශයෙනි. නගරබද මුස්ලිම්වරු ව්‍යාපාරයන්හි නියුක්තව හෝ වෘත්තිකයින්ව සිටියදී දෙවනුවට කී මුස්ලිම්වරු බොහෝ විට සමන්විත වන්නේ දුප්පත් ධීවරයන්ගෙනි.

නිල නොවන වාර්තාවන්ට අනුව , මිලියන 21.4 ක මුළු ජනගහණයෙන් 10% ක් මුස්ලිම් ප්‍රජාවගෙන් නියෝජනය වන බව 2011 ජන සංගණනයේ සඳහන් වේ. ඉකුත් ජන සංගණනයට අනුව 7.6 % ක්වූ මුස්ලිම් ජන ප්‍රතිශතය සැසඳීමේදී මෙය සැලකිය යුතු වර්ධනයකි . නව ජන සංගණන දත්ත නිල වශයෙන් නිකුත් නොකිරීමට එක් හේතුවක් ලෙස කියනුයේ මුස්ලිම් ජනගහන වර්ධනය බහුතරය අතර නොසන්සුන්තාවයක් ඇති කරනු ලැබීම වළක්වනු පිණිස ය.

90 දශකයේ මුල් භාගයේදී කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම්වරුන් වාර්ගික ශුද්ධයකට ලක් කොට ඇත. උතුරේ දෙමළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ වල සිටි දහස් ගණනක් මුස්ලිම් ජනයා ඔවුන්ගේ ගම් බිම් හා ගොවිබිම් වලින් දකුණට පලවා හරිනු ලැබීය. යුද්ධය අවසන් වූ පසු මුස්ලිම් ජනයා සිය දේපළ නැවත ඉල්ලා සිටීමට උත්සාහ කළ ද , එහිදී ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල වූයේ එම ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගත් සිංහල ගොවින්ගෙනි. අවතැන් වූ බොහෝ මුස්ලිම්වරු කොළඹ අවට පදිංචිව සිටින අතර ඔවුන්ගේ දරුවන් සිය වාසස්ථානය ලෙස සලකනුයේ අගනුවර ය.

මුස්ලිම් විරෝධී ව්‍යාපාරයේ එක් ගාමක සාධකයක් වනුයේ ඔවුන් කෙරෙහි පවත්නා ඊර්ෂ්‍යාව ය. නගරබද මුස්ලිම්වරු පසුගිය වසර කිහිපය පුරාම සාපේක්ෂව සාර්ථකත්වය වෙත ගමන්කර ඇති අතර ලාභදායි මැණික් වෙළඳපොලෙහි යම් ඒකාධිකාරයක් පවත්වා ගැනීමටද සමත්ව සිටියි. සෙස්සන් දේපළ වෙළඳාම් හා ඉදිකිරීම් කේෂ්ත්‍රයට යොමු වී ඇත . බොහෝ දෙනෙක් නීති වෘත්තියේ නමක් ගොඩනගාගෙන තිබේ. සුළු පිරිසක් දේශපාලනයට අවතිරණව සිටියද කිසිදිනෙක උසස් තානාන්තර වලට ළඟාවීමේ අපේක්ෂාවන් තබා ගත නොහැකි බව ඔවුන් හදුනාගෙන ඇත. සමස්තයක් වශයෙන් ඔවුහු වැඩිමනත් අවධානයට ලක් නොවී සිටීමට කටයුතු කොට තිබේ.

දශක ගනාවකට පෙර ශ්‍රී ලංකාවේ පදිංචි වූ අරාබි වෙළෙදුන්ගෙන් තමන් පැවත ඒම ගාල්ල හා මාතර මුස්ලිම් පවුල් ගණනාවක් අතර අභිමානයට හේතුවක් වී තිබේ. සෙස්සන් පැමිණ ඇත්තේ ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශ වලිනි . කුඩා හා ධනවත් බෝරා ප්‍රජාවක් කොළඹ ජීවත් වෙති. උතුරේ මුස්ලිම්වරු බොහෝ දෙනෙක් පැවත එනුයේ වෙරළ බඩ පදිංචි වූ මැලේවරුන්ගෙනි.

මේ අනුව, සමෘද්ධිය සහ විවිධත්වය ඇති කිරීමේලා උපකාරී වූ වාර්ගික සංයෝජනයක ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු නියෝජනය කරති. මේ දක්වා ඔවුන් සිය අසල්වැසියන් සමග සහජීවනයෙන් ජීවත්ව තිබේ. කෙසේ වෙතත් සියවස් ගානක් එකට ජීවත්ව තිබියදීත් අනුකලනය සිදුව ඇත්තේ මන්දගාමීව ය. අනෙකුත් බොහෝ සුළුතර ප්‍රජාවන් මෙන් මුස්ලිම්වරුන්ද තමන්ට ආවේනික වූ ආහාර රටාවන් සහ අඳින පළඳින විධි පවත්වාගනිමින්, සමූහ වශයෙන් ජීවත් වීමේ නැඹුරුවක් පවතී. සාමාන්‍යයෙන් කාන්තාවන් යම් හෝ ආකාරයක හිජාබ් ආවරණයක් පළඳින අතර බොහෝ මුස්ලිම් පිරිමින් රැවුල් වවා, හිස් වැසුම් පළදියි.

නිදහස් මතධාරී සිංහලයන් පවා චෝදනා කරනුයේ මුස්ලිම්වරුන් ඔවුන්ගේ විදී පිරිසිදුව තබා නොගන්නා බවට සහ සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රවාහයෙන් වෙන්ව සිටීමට රුකුල් දෙන බවටය .

මුස්ලිම් සහ සිංහලයන් අතර විවාහයන් ප්‍රභූන්ට සිමාවී තිබේ. නමුත් ඔවුන්ගේ වෙහෙස නොබලා වැඩ කිරීමේ ගුණය හා ව්‍යාපාරික ආචාරධර්මගැන සියල්ලෝ පිළිගනිති.

සිවිල් යුද්ධය හා එය අවසන් වූ ආකාරය විසින් සාමකාමී බෞද්ධයන් පිළිබඳ මිත්‍යාව පුපුරුවා හැරිණි. මෙ ලෙසම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය සම්බන්ධයෙන්ද අවංක කණස්සල්ලක් පවතී. රජය මැදිහත් නොවුණහොත්, විසකුරු සුළු ජන සංහාරයක් ඇති වීමේ විභවයක් මෙහි ඇතැයි නිරීක්ෂකයන් හඳුනාගෙන තිබේ.

කෙසේ නමුත් අසුන්දර යථාර්තය වන්නේ මුස්ලිම්වරුන්ට වඩා බෞද්ධ බහුතරය සතු අති විශාල ජන්ද ප්‍රමාණයයි.

මුස්ලිම් විරෝධී හැගීම් මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වුයේ මන්ද යන්නත්, එසේ සිදුවුයේ කෙසේද යන්නත් බොහෝ දෙනාට ප්‍රහේලිකාවකි. කුමක් වුවද, 2009 දී සිවිල් යුද්ධය නිමාවෙන් පසුව, දශක ගණනාවක ගැටුම තුළ විවරවූ ජනවාර්ගික තුවාල, සාමය ප්‍රතිෂ්ඨාපනය මගින් සුව ‍කෙරෙනු ඇතැයි පුළුල් පිළිගැනීමක් තිබිණි. කණගාටුදායක ලෙස, පරාජිත හා දිරි සුන් දෙමළ ජනයා වෙත ළඟා වීමට රජය ගෙන ඇත්තේ සුළු ප්‍රයත්නයකි.

එක් න්‍යායක් වන්නේ, අන්ත දක්ෂිණාංශික කඳවුරේ ජයග්‍රාහී සිංහලයන්ට, අන්‍ය ජාතීන් කෙරෙහිවූ අනියත බිය පවත්වාගෙන යාම වෙනුවෙන් නව ඉලක්කයක් අවශ්‍ය වී ඇති බව ය. ව්‍යාපාරික ප්‍රජාවේ ඇතමුන් ඇස් ගහගෙන සිටින්නේ සාර්ථකතත්වයට පත් ඔවුන්ගේ මුස්ලිම් තරඟකරුවන්ගේ වත්කම් කෙරෙහිය. දේශපාලනඥයන් බලාසිටිනුයේ යුද්ධය අවසන් අදියර පැවති වකවානුවේදී පණ පොවනු ලැබූ බෞද්ධ අනන්‍යතාවයේ ශක්තිමත් හැඟීම්වල වාසිය ගැනීමට ය. මෑතකදී පහසුවෙන් බිඳලිය හැකි චෝදනා මත අරාබියේදී ගෙළ සිඳ මරා දැමුනු ශ්‍රී ලංකික තරුණ ගෘහ සේවිකාවගේ සිද්ධිය අන්තවාදීන්ට වඩ වඩා උණ්ඩ සපයනු ලැබිණ.

මේ කිසිවක්, ශ්‍රී ලංකාවේ වාසය කරන සාමකාමී හා සමෘද්ධිමත් මුස්ලිම් ප්‍රජාවට යහපත් ප්‍රවෘත්ති නොවේ. හාත්පස පැතිරෙමින් ඇති විසකුරු ප්‍රචාරයන් ගැන සොයා බලා පිපිරීමක් වළක්වා ගන්නට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

[- Sri Lankan Muslims under threat - dawn.com ]
[Image- lankamuslim.com]

ඉර්ෆාන් හුසේන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails