Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ස්වර්ණමය යුගයක් නිශ්චිතවම අවසන්වී ඇත. එළැඹුණේ නව යුගයක්දැයි අපි නොදනිමු. මහාචාර්ය සුචරිත ගම්ලත් මියගොස් ඇත. ගම්ලතුන් ඔබ අප සියලු දෙනා ගැන බොහෝ දේ ලියා ඇත. ඔහු ගැන මේ සටහන ලිවීමට යෙදුණ මොහොත සංවේදී ජනකය. ඒ ඔහුගේ කාබනික සිරුර අප අතහැර ගොස් ඇති බැවිනි. කෙනකු සිතන ආකාරයට බලපෑම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ගත්වහර, කටවහර මෙන්ම භාෂාව අතික්‍රමණය කළ හැකි පෞරුෂයක් ද ඊට අවශ්‍යය. ලාංකේය දේශපාලන කියැවීම් ක්ෂිතිජය ඉක්මවූ විචාරකයකු ලෙස මහැදුරු ගම්ලතුන් අප සිතන විදිහ වෙනස් කිරීමට ප්‍රබල බලපෑම් කළ විද්වතෙකි. මෙනයින් ඔහු ගැන හෘදයාංගම සටහනක් පමාවී හෝ ලිවීමට ලැබීම භාග්‍යයකි.

මහැදුරු ගම්ලතුන්ගේ සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා නෛපූණ්‍ය ගැන කතා කිරීම හෝ විචාර කලාවේ වාග් චාතූර්ය ගැන කතා කිරීම හෝ අදාළ පුද්ගලයන්ට භාර කර ඔහු තම අසුවියැති ජීවිත කාලය තුළ දී කවරනම් මනුෂ්‍යයකු ලෙස ගොඩනැගුණේ ද කවරනම් බුද්ධි ජීවියකු ලෙස සමාජය තුළ වෙනසක් ඇති වනු දැකීම සඳහා කටයුතු කළේ ද යන ප්‍රශ්න මතුකිරීමට මම කැමැත්තෙමි. දශක අටක් සපිරූ සිය ජීවිතයෙන් සමුගෙන යන විට මහැදුරු ගම්ලතුන් මෙරට විශිෂ්ටතම භාෂා පඬිරුවනක් මෙන්ම දේශපාලන, සිනමා සාහිත්‍ය කලා විචාරකයකු ලෙසද ඒ ඒ ක්ෂේත්‍රයන්හි මහඟු කීර්තියක් අත්කරගෙන සිටි බව කීම අතිශයෝක්තියක් නොවේ. මෙරට සහෘද පාඨක ප්‍රජාවගේ අප්‍රමාණ ගෞරවයට ද බුහුමනට ද පාත්‍ර වූ අදීන සුවිදග්ධ බහුශ්‍රැතයකු වූ හෙතෙම සිංහල භාෂාවට අසීමිතව ආදරය කළ දුර්ලභ ගණයේ භාෂා ප්‍රේමියෙකි.

''The most moral man is the most happy man'' - ''ඉතාමත් සදාචාරී පුද්ගලයා ඉතාමත් සන්තුෂ්ට පුද්ගලයා'' වෙයි මහා දාර්ශික සොක්‍රටීස් කීවේය. සදාචාරීවීම යනු හෘද සාක්ෂියට අනුව තම යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමය. මහැදුරු ගම්ලතුන්ගේ ක්‍රියා කලාපය තුළ පූර්වෝක්ත හෘද සාක්ෂියෙහි පාරදෘශ්‍ය භාවය මොනවට පැහැදිලි විය. මෙරට ජනමාධ්‍යවේදීන් තුළ මෙන්ම විද්වතුන්, බුද්ධිමතුන්, කලාකරුවන්, කීර්තිමත් රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් තුළ ද ගම්ලතුන් කෙරෙහි වෙසෙසි ගෞරවයක් පැවැතියේ ද ඒ නිසාය.



මහැදුරු ගම්ලතුන්ගේ සුනිශිත බුද්ධිය, අදීන චින්තනය, රමණීය භාෂා ශෛලිය, (සිංහල සහ සංස්කෘත මිශ්‍ර) වටහා ගැනීමට නම් ඔහු ලියූ කියූ දෑ පරෙස්සෙමන් විමර්ශනය කළ යුතුය. නව්‍යතර දෘෂ්ටියකින් සන්නද්ධ වූ ඔහුගේ විචාර දර්ශනය භාරතීය සෞන්දර්ය විද්‍යාවෙන් සහ මාක්ස්වාදී චින්තනයෙන් පොහොණි වූවකි. ''කව්සිළුමිණ විනිසෙහි'' (1966) ඔහු පළ කළ මාහැඟි අදහස් ඊට දෘෂ්ටාන්ත වෙයි. සාහිත්‍ය කලාව ආස්වාදනය කළ යුත්තේ පෘථුල දැක්මකින් යුක්තව බවත් සාහිත්‍ය කලාවේ සේවය විනෝදාස්වාදය පිණිස නොවන්නක් බවත් ඔහු නිතර පෙන්නා දුන්නේ පවතින විචාර විධික්‍රමවල ඌනතා පසක් කරමිනි.

සාහිත්‍ය විචාරයේ මුඛ්‍ය පරමාර්ථය මානව සමාජයේ අභිවෘද්ධිය වන්නේය යන අදහස ඔහු අනවරතයෙන්ම සුවිශද කළේය. විචාරකයාගේ කාර්ය භාරය විවෘත මනසකින් හා පළල් දැක්මකින් සිදු කළ යුතු බුද්ධිමය කර්තව්‍යයක් යන අදහස, සාහිත්‍ය කලා විචාරය මානව සම්බන්ධතා උදෙසා ප්‍රබලම ඥානාලෝකයක් යන අදහස මතුකිරීමට ඔහු යන්ත දැරීය. සාහිත්‍ය විචාර කලාවේ දීප්තිය උදෙසා අභිනව වචන තනමින් සහෘද සිත් සතන් සුපුෂ්පිත කිරීමට ගම්ලතුන් සතු වූ භාෂාධිපත්‍යය ප්‍රබලය. හඩු භාෂාවෙන් ලියමින් භාෂාව අනුභව කරන කිසිදු පුද්ගලයකුට ඔහුගෙන් සමාව නොලැබිණි. වරද නිවැරැදි කරගන්නා තුරු සතර අතින් පහරදීම ඔහුගේ විශේෂත්වයකි. සිංහල භාෂාවේ අගමුල සොයන දුහුනනට ඔහු ඇවිදින ශබ්දකෝෂයකි. සිය භාෂාව නමැති මහගෙය පිළිමලුන්ගෙන් රැකගැනීමට මේ මහ වියතා මුළු ජීවිතයම කැප කළේය. නූතන සිංහල භාෂාව ගොඩනැගීමේ පරම වීරයාවන්නේ ද මහැදුරු ගම්ලතුන්ය. ඔහු මෑතකදී සකසූ ශබ්ද කෝෂය සීගිරි පරිවතය තරම් අමරණීය සලකුණකි. දෙමළ ජනසංහාරයට එරෙහිව පෙනී සිටීමට කශේරුවක් තිබූ සිංහල මහාචාර්යවරයා වන්නේ ද ගම්ලතුන්ය. පරිදියේ ලේඛකයකු ලෙස ඔහු ඊට ලබාදුන් දායකත්වය සුළුපටු නොවේ. කලාකරුවා දේශපාලන කිහිලිකරුවකු නොවිය යුතුය යන අදහස තරයේ පිළිගත් හේ එය ප්‍රායෝගිකව පෙන්නා දුන්නේය.

මහැදුරු ගම්ලතුන්ගේ සැබෑ සංස්කෘතික දේශපාලනය කුමක්ද? අද්‍යතන අවවර්ධිත සමාජය කලාත්මක ලෙස විනිවිද දැකීමේ වුවමනාව ඔහුට තිබිණි. සමාජවාදී පරමාදර්ශ ගුරුකොටගත් හේ වැඩවසම් ජාතකවාදී හා ආගම්වාදී අගතීන්ගෙන් පරාරෝපණය වී කටයුතු කිරීමට තරම් පරෙස්සම්විය. ලාංකේය වාමාංශික කතිකාව තුළ මහැදුරු ගම්ලතුන්ගේ පුරෝගාමී මෙහෙවර අද්විතීය එකකි. මෙරට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කේන්ද්‍රිය භූමිකාව නිරූපණය කළේ ද මහැදුරු ගම්ලත්ය. එකල මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සහ ගම්ලත් යන දෙදෙනාම සංස්කෘතික දේශපාලනය සමග ඍජු ගනුදෙනුවක නිරතවූහ. අසූව දශකයේදී එහි ක්‍රියාශීලි භූමිකාවට ප්‍රවිශ්ට වූයේ මහැදුරු ගම්ලත්ය. මෙහිදී ගම්ලතුන්ගේ පක්ෂයේ සටන් පාඨය වූයේ ''ප්‍රවණතාත්මක කලාකරුවන් විප්ලවවාදී ව්‍යාපාරය දෙසට දිනාගැනීම'' යන්නයි. මෙනයින් මෙරට මාක්ස්වාදී විචාර සම්ප්‍රදායක් ස්ථාපිත විය. එකල සෑම විචාර කතිකාවකම ප්‍රධාන කතිකයා වූයේ ද ගම්ලත්ය.



මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙන් නියෝජනය වූ ස්ථාපිත කලා විචාරය සමඟ ගම්ලතුන්ගේ විවාද සම්පන්න දෘෂ්ටිවාද සංස්කෘතික දේශපාලන ක්‍රියාධරයන්ට ආකර්ශනීය විය. එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ලාංකේය මාක්ස්වාදී විචාර කතිකාව සංස්කෘතික දේශපාලනයට ප්‍රබල බලපෑමක් එල්ල කළේය. මහැදුරු ගම්ලතුන්ගේ කීර්තිනාමය මෙරට බුද්ධිමය සංස්කෘතිය තුළ නින්නාද වූවද ගණනින් තව තවත් හැකිළෙන ඉතා කුඩා සහෘද කණ්ඩායමක් හැරෙන්නට ඔහුගේ විචාර භාවිතාව සහ අනන්‍යතාව ගැන දන්නේ තවත් ස්වල්ප දෙනකු පමණි. සිංහල බස ව්‍යක්ත ලෙස හසුරවමින් සමාජ, දේශපාලන, සංස්කෘතික, සාහිත්‍ය කලා ක්ෂේත්‍ර අරබයා අදීන චින්තනයකින් පෑන මෙහෙයවූ මේ කෘතහස්ත මහදුරුන් මා කෙටි කලකට හෝ දැන හඳුනගෙන සිටියා යයි කීම මහත් වරප්‍රසාදයකි. ආපසු හැරී බලන විට ඇත්තෙන්ම ඒ කෙටි කාලය තුළ බහුපාර්ශවීය ඥාන ශාඛාවක ගැබ් වී තිබෙන විවිධ මාන සහ ඉසියුම් තැන් සංස්කෘතික සමාජ විද්‍යාත්මක තිව්‍රතාවකින් හා උද්යෝගයකින් යුතුව මම අනාවරණය කර ගනිමින් සිටියෙමි. ගම්ලතුන් විසින් පුවත්පත්වලට, සිනමා සාහිත්‍ය කලාව හා දේශපාලන සංස්කෘතිය පිළිබඳ ලියූ විවිධ ලිපි කියැවමට මා යොමු වූයේ පාසල් සිසුවකු ලෙස කටයුතු කරමින් සිටියදී වූවද ඒවා බරපතළ ලෙස සාවධානයෙන් කියැවීමට සහ හැදෑරීමට පටන්ගත්තේ පසු කාලයකදීය.

උගතකු, පර්යේෂකයකු හා බුද්ධිමතකු වශයෙන් මහැදුරු ගම්ලත් අනවරතයෙන් පළ කළ එක් උත්තරීතර කියමනක් තිබේ. ඒ විශිෂ්ටාර්ථ සාධනයෙහිලා අන්‍යයන් පොළඹවාලීමයි. එනම් වඩාත් ගුණාත්මක බවින් යුතු ශාස්ත්‍රීය කාර්යයක් වෙත පසු පරම්පරාව යොමු කිරීමයි. මහැදුරු ගම්ලතුන් දෙයාකාරයකින් එම මඟ පෙන්වීම සිදු කළේය. විටෙක තම ලිපි ලේඛන හා දෙසුම් ඔස්සේ ද තවත් විටෙක ඍජුවම දුහුනනට මග පෙන්වීම් කළේය. සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පමණක් නොව මෙරට බොහෝ සාධාරණ සමාජ දේශපාලන අරගලවල පිටුපස මහැදුරු ගම්ලත් සිටියේය. මාධ්‍යවේදීන් පැහැරගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද උග්‍ර විරෝධියකු වූ ඔහු ඒ සෑම මොහොතකම පිළිගත් සංවිධානවල සගයන් සමග ඊට එරෙහිව උද්ඝෝෂණ කළේය. එහෙත් ඔහු කිසිදු සංවිධානයක හෝ එන්.ජී.ඕ. ව්‍යාපාරයක රූකඩයක් නොවූයේය. රට පාවා දෙන එබඳු බඩගෝස්තරවාදීන්ගෙන් දුරස්ථ වූ හේ පශ්චාත්තාපව කල්පනාවක නිමග්මව සිටියේය. වාග් චාතුර්ය සහ ප්‍රබුද්ධ සිංහල භාෂා අන්තර්ගතය සහිත ඔහුගේ කදිම පොතපත මෙරට සිංහල ලේඛනකරණයේ සංධිස්ථානයකි. ගම්ලතුන් තුළ අතිසංවේදී පුද්ගලයකු මෙන්ම රැඩිකල් පුද්ගලයකු ද ජීවත්විය. මේ රැඩිකල් පුද්ගලයා එළියට අවතීර්ණ වූ අවස්ථා අපි අසා දැක ඇත්තෙමු. ඔහුට ඇතැමුන්ට මෙන් දෙබිඩි පිළිවෙතක් නොතිබිණි. ඔහු හැමවිටම අවංක ඍජු ගැඹුරු අදහස් ප්‍රකාශ කළේය.

මුදල් පසු පස හඹා ගොස් ස්වකීය ප්‍රතිභාව වෙන්දේසි නොකළ ඔහු මේ මහ පොළොවේ කිසිදු බියකින් සැකයකින් තොරව දෙපයින් නැගී සිටි පරමාදර්ශී සටන් කරුවෙකි. මිනිසාගේ සමාජ විමුක්තිය වෙනුවෙන් ජීවත් වූ අතිශය බියකරු දේශපාලන අවදානම් යුගයක සිය පරමාදර්ශ වෙනුවෙන් මුළු ජීවිත කාලයම සටන් වැදුණු අභීත ට්‍රොට්ස්කිවාදී විචාරකයානෙණි. සකල කලා වල්ලභයානෙණි ඔබට අපි හදවතින්ම ආචාර කරමු.

[මෙම ලිපිය 'ලංකාදීප' පුවත්පතෙහි 2013.04.02 වැනිදා මුල්වරට පළ විය.]

ශෂි ප්‍රභාත් රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails