Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඒක් භාෂාවකට අනන්‍ය වූ සාහිත්‍යක් ඇති බව අපි දනිමු. එසේම ඇතැම් භාෂාවකට සාහිත්‍යක් නොපැවතීමේ අවකාශයය ද පවතී. එහෙත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ විවිධ භාෂාවන්ට අනන්‍යය වූ සාහිත්‍යක් පිළිබඳව නොව, විවිධ සාහිත්‍ය ශානරයන් පිළිබඳ විවිධ සාහිත්‍ය විචාරකයන් සිය මතවාදයන් විචාරාත්මක අවකාශයේ සැරිසරන්නට ඉඩ සලස්වන සාහිත්‍ය විචාරවාදයක් පිළිබඳවය. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ ලංකා සමාජ සන්දර්භය තුළ කථිකාමය වශයෙන් හීනතාවයක් පෙන්නුම් කරනු ලබන සාහිත්‍ය න්‍යායයක් පිළිබඳව මෙහිදී සලකා බැලීමට මා උත්සාහ කරමි. විවිධ සාහිත්‍ය ශානරයන් අතර නවකතාව, කෙටි කතාව, කවිය, නාට්‍ය, චිත‍්‍රපටය, ගීතය ආදී වූ වශයෙන් සාහිත්‍ය ශානරයන් ප‍්‍රමාණයක් පවතී. මේ සෑම සාහිත්‍ය ශානරයක්ම මතුපිට අවකාශය ස්පර්ශ කිරීමෙන් යම් රසවින්දනයක් ලබාගැනීමේ අවකාශය රස විදින්නාට නිරායාසයෙන් ලැබේ. විශේෂයෙන්ම පැරණි සාහිත්‍යය තුළ මෙම ලක්ෂණය ඉස්මතුව පෙනේ. විවිධ සාහිත්‍ය විචාර මතවාද ඔස්සේ විවිධ විචාරකයන් ඒ ඒ සාහිත්‍ය ශානරයන් පිළිබඳව කලින් සඳහන් තළ ආකාරයටය මතුපිට අවකාශය තුළ පෙනෙන්නට පවතින දෙයට එහා ගිය ගැඹුරක් සොයා යාමේ උත්සාහයක නිරත වේ. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ එකී ගැඹුර සොයායාමේ ගමන් මඟ සඳහා ලාංකීය සාහිත්‍ය විචාරකයන් තවදුරවත් සලකා බලනු ලබන්නේ මාක්ස්වාදී සාහිත්‍ය න්‍යාය, ස්ත‍්‍රීවාදී සාහිත්‍ය න්‍යාය, මනෝ විශ්ලේෂණවාදී සාහිත්‍ය න්‍යායය ආදී වශයෙන් වූ සාහිත්‍ය න්‍යායන් කීපයකි. මා මෙහිදී මෙකී සාහිත්‍ය න්‍යායන් ඔස්සේ සාහිත්‍ය ශානරයන් පිළිබඳව විචාරයක් සිදු කිරීම කිසිසේත් වැරැද්දක් සේ නොදකින අතර එකී සාහිත්‍ය විචාර ප‍්‍රවේශයන් සාහිත්‍ය ක්ෂේත‍්‍රය තුළ විශාල කාර්යයභාරයක් සිදු කිරීම සඳහා ඉවහල් වූ බව මෙන්ම ඉදිරියටත් ඉවහල් වන බව අවිවාදයෙන් පිළිගනිමි.

විවිධ සාහිත්‍ය ශානරයන් පිළිබඳව නවමු ප‍්‍රවේශයකින් යළි සළකා බලන්නට ඇරයුම් කරනු ලබන සාහිත්‍ය න්‍යායයක් ලෙස පරිසරවාදී සාහිත්‍ය න්‍යාය (ECOCRITICISM) හඳුනා ගත හැක. පරිසරවාදී සාහිත්‍ය විචාර ධාරාව මතුවන්නේ 1970-80 කාලයේය. ඇමරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය තුළ මතු වුනු මෙම සාහිත්‍ය න්‍යාය අද වන විට පුළුල් ලෙස පැතිරගොස් ඇත. පරිසරවාදී සාහිත්‍ය න්‍යායය සරලවම අර්ථ දක්කනවා නම් පරිසරය හා සාහිත්‍ය අතර පවතින ඥාතීත්වය මෙහිදී අවධාරනයට ලක්කරයි. විශේෂයෙන්ම විසිවන සියවස අග භාගයේ පරිසරය සම්බන්ධයෙන් මිනිසුන් සිතන ආකාරය සෑහෙන දුරට වෙනස් වන්නට පටන් ගැණුනි. මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ විසිවන සියවසට පෙර පොදුවේ සමාජය තුළ ජීවත් වූ මිනිසා පරසරය පිළිබඳව සලකා බලනු ලැබුවේ පරිසරය සමඟ කරනු ලබන නිරන්තර අරගලය තුළ තමන් ලබා ගන්නා ජයග‍්‍රහණයන් පිළිබඳවයි. උදාහරණයක් ලෙස වනාන්තරය යනු ස්වභාව දහමේ අපූරු නිමවුමකි. එහෙත් වනාන්තර එලිපෙහෙළි කිරීම මිනිසා ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස මිනිසුන් සිතන්නට පුරුදුව සිටියේය. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණය වන්නේ ස්වභාව ධර්මය මිනිසුන් දැක්කේ ස්වකීය අවශ්‍යතාවයන්ගේ වපසරිය තුළ තමන්ට අවැසි අයුරින් හීලෑ කරගැනීමයි. සොබා දහම හීලෑකරගැනීම ශිෂ්ටාචාරයේ ප‍්‍රධාන අරගලය ලෙස විසිවන සියවසට පෙර සිටි මිනිසුන් විශ්වාස කරනු ලැබුවේය. උදාහරණයක් ලෙස මිනිසුන් විසින් ගසක් ස්වකීය අවශ්‍යතාවයක් වූ මේසයක් නිර්මාණය කරගැනීමේ වුවමනාව වෙනුවෙන් කපා ගැනීම යනු සොබා දහම හීලෑ කිරීමකි. එනම් මෙය සොබා දහම හීලෑ කිරීමේ ප‍්‍රතිඵලයකි. මිනිසුන් විසින් විවිධ වූ අවශ්‍යතාවයන් වෙනුවෙන් පරිසරය හීලෑ කරගනිමින් කරනු ලබන අරගලයේ එක් අවස්ථාවක් ලෙස සංස්කෘතිය (CULTURE) නිර්මාණය කරගනී. මිනිසා සංවර්ධනය ලෙස වටහා ගත්තේ ඒ අයුරින් පරිසරය හීලෑ කරගනිමින් කරනු ලබන ක‍්‍රියාකාරකම්ය. මෙහිදි මාගේ මතකයට නැගෙන්නේ මහත්මා ගාන්ධි විසින් ප‍්‍රකාශ කරන ලද ප‍්‍රකාශයකි. එනම් "සොබා දහමට මිනිසුන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට හැකියාව තිබුනත් මිනිසුන්ගේ තණ්හාව පරිපූර්ණත්වයට පත් කිරීමට නොහැකි බවයි.” පරිසරය හා මිනිසා යනු දෙදෙනෙක් යනුවෙන් අර්ථ දැක්වීම යළි සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම මිනිසා යනු පරිසරයේම තවත් එක් කොටසකි. මිනිසා යනු පරිසරයේ හිමිකරුවා නොවන බව පරිසරවාදී සාහිත්‍ය න්‍යායය ඔස්සේ මිනිසාට මනාව ඒත්තු ගන්වයි.

ඉහත සඳහන් කළ ආකාරයට විසිවන සියවසේ මැද භාගය වන තෙක්ම මිනිසාගේ දියුණුවේ රහස ලෙස මිනිසුන් විශ්වාස කරනු ලැබුවේ සොබා දහම හීලෑ කිරීම පිළිබඳව ක‍්‍රියාවලියයි. නමුත් 1970-80 කාලය තුළ බටහිර සමාජ සන්දර්භය තුළ ස්වභාව දහමට එරෙහි මිනිසා පිළිබඳ යළි සළකා බැලීමේ ප‍්‍රතිඵලයක් ලෙස පරිසරවාදී සාහිත්‍ය න්‍යාය ආරම්භවේ. මේ සඳහා මූලික වූ හේතු කාරනා විශාල ප‍්‍රමාණයක් පැවති අතර ඒ සඳහා මූලිකම හේතුවක් ලෙස, පොසිල ඉන්ධන වලට අත් වූ ඉරණම සඳහන් කළ හැක. එනම් කාලයාගේ ඇවැමෙන් මිනිසාට අවබෝධ වෙන්න පටන්ගත්තා බලශක්ති ප‍්‍රභවයක් ලෙස පොසිල ඉන්ධදන දිනෙන් දින හීන වෙමින් යන බව. මෙකී යථාර්ථයත් සමඟ මිනිසා ස්වභාවදහමේ හිමිකරුවා නොව ස්වභාවදහමේ තවත් එක් කාටසක් යන්න සිතා බලන්න පුරුදු විය. එනම් මිනිසා පරිසරය සමඟ සුසංයෝගයෙන් කටයුතු කළ යුතුය යන කාරනා සළකා බලන්නට මිනිසා උත්සාහ කරනු ලැබුවේය.

පරිසරවාදී සාහිත්‍ය න්‍යායය මූලික වශයෙන්ම හදුන්වා දෙනු ලැබුවේ ශෙරිල් ගෝල්ෆේලි (CHERYLL GLOTFEL) නම් වූ මහචාර්යවරියයි. ඇය විසින් ASSOCIATION FOR THE STUDY OF LITERATURE AND ENVIRONMENT නම් වූ සංවිධානය පිහිටුවා ගනු ලැබිණි. මෙම සංවිධානය ඔස්සේ මුල්කාලීන පරිසරවාදී සාහිත්‍ය න්‍යායාත්මක රචනා විශාල සංඛ්‍යාවක් ඉස්මතු විය.

කවිය නම් වූ සාහිත්‍ය ශානරය ඔස්සේ පරිසරවාදී සාහිත්‍ය න්‍යාය ඇසුරු කර ගනිමින් පරිසරය හා සාහිත්‍ය අතර ඥාතීත්වය අවබෝධ කරගැනීමේ අවකාශය පවතී. ඒ සඳහා මා මූලික වශයෙනම තෝරා ගනු ලැබුවේ නන්දන වීරසිංහගේ කාව්‍ය පඨිතයකි.

කළු ගල් ඇදි
නැඟි
මට හිමි
බින් කඩ
හැර යමි
මඳකට
සඳ වෙත
පවරා
මොළොක් කරන ලෙස


මෙම පඨිතය දෙස ඕනෑකමින් බැලීමේදී පෙනී යන්නේ ඒ තුළ කවියා පරිසරය ස්වකීය නිර්මාණ අවකාශය තුළ කොතරම් දුරට කේන්ද්‍රීයත්වයට පත්තර ඇත්ද යන්නයි. දෛනික ජීවන ගමනේ මිනිසා විවිධ රැකියාවන් තුළ ස්වකීය කාය ශක්තිය මුදා හරිනු ලබන්නේ නිරන්තර ජීවන අරගලයේ දෛනික ජයග‍්‍රහණයන් වෙනුවෙනි. එකී පසුබිමක සොබා දහමේ ඒ ඒ නිමේශයන් තුළ මිනිසා නැවත නැවතත් සොබා දහමේ අනවරත මෙහෙවරේ කොටස්කරුවන් වන බව මේ කාව්‍ය වියමන තුළ නැවත නැවතත් අවධාරණය කරයි. සඳ වෙත පවරා යන ගමන තුළ විද්‍යමාන වන්නේ කථකයා නැවත නැවතත් ස්වභාව දහමේ තවත් එක් කොටස් කරුවෙක් නොවන වග නොවේද?

පරිසරවාදී සාහිත්‍ය න්‍යායය පිළිබඳ සඳහන් කිරීමේදී නිරන්තර මගේ මතකය දිව යන හයිකු කවියක් වේ.

"කේතළයට අන්ඩක්
ඉන්න මම ඉල්ලාගෙන එන්නම්
තොරක් නැතිව කෑ ගහන
පැණි කුරුල්ලාගේ උණ පඳුරෙන්"


මෙම හයිකු කවිය ඔස්සේ අපූරු ප‍්‍රකාශයක් ඉස්මතු වේ. අපි සාමාන්‍ය සමාජ ජීවිතය තුළ අපි සතු සියලු වස්තු අපේය යන අනන්‍යතාවය මතට එකතු කරගනිමු. එහෙත් උණ පදුරේ සැබෑ උරුම කරුවන් පැණි කුරුල්ලන් වන බව හයිකු කවිය යළි යළිත් මතක් කර දෙයි. මෙම තොරතුරු වෙත අවධානය යොමු කිරිමේදි සාහිත්‍ය න්‍යායයක් වශයෙන් සමාජ කාර්යයභාරයක් සිදු කිරීමේ අවකාශ්‍ය තදින්ම පෙන්නුම් කරනු ලබන සාහිත්‍ය න්‍යායයක් ලෙස පරිසරවාදී සාහිත්‍ය න්‍යාය හඳුනාගත හැකිය.

දුමින්ද යූ. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails