Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



යූජීන් ඉයනෙස්කෝගේ 'රයිනෝසිරස්' නාට්‍යයේ පළමු රංගය දිගහැරෙන්නේ මෙසේ ය: පසුබිම නගර චතුරශ්‍රයකි. එහි රැඳීගත් නුවරුන් සාමීචියෙහි යෙදේ. බීමතට ලොල් වූ බෙරාන්ෂේ ද ඔහුගේ මිත්‍ර ෂෝන් ද ඒ අතර වෙති. මනුෂ්‍ය අධිෂ්ඨාන බලය ගැන හා තර්ක න්‍යාය ගැන ගැඹුරු වාද විවාදවල ගිළුණු චතුරශ්‍රය මැදින් හිටිහැටියේ රයිනෝසිරසයෙකු දිව යයි. අනපේක්ෂිත දසුනින් කැළඹෙන පිරිස් මොහොතකට සාමිචිය නවතා විශ්මයෙන් මුමුණති. අනතුරුව එය අමතක කොට යළිත් සල්ලාපයේ ගැළෙති. කාලය ගෙවී යයි. ඒ අතරවාරයේ තවත් රයිනෝසිරසයෙකු චතුරශ්‍රය හරහා දිව යයි. එතැන් සිට, වික්ෂිප්ත නගර වැසියන්ගේ සාකච්ඡාවන්ගේ තේමාව බවට රයිනෝසිරස්ලා පත් වේ. වහාම රයිනෝලා නවතාලිය යුතු බවට සියල්ලෝ ගිවිස ගනිති. නමුත් අනතුරුව දවසින් දවස නගර වැසියන් එකා බැගින් රයිනෝලා බවට පෙරළෙන ආකාරය දෙස බෙරාන්ෂේද, ප්‍රේක්ෂකයෝද බලා සිටිති. අවසානයේ බෙරාන්ෂේ හා ප්‍රේක්ෂකයින් හැරුණු විට සෙසු සියල්ලෝ රයිනෝසිරස්ලා බවට හැරෙති.

ප්‍රංශ-රුමේනියානු නාට්‍යකරු ඉයනෙස්කෝ, පසු කලෙක 'රයිනෝසිරස්' නාටකයේ පසුබිම් සන්දර්භය මෙසේ පහදයි:

''මා, රුමේනියාවේ තරුණයෙකුව සිටි වකවානුව කරා අපි ආපසු යා යුතු වෙමු. මා වටා සිටියවුන් මුළුමණින්ම ෆැසිස්ට්වාදය වෙතට හැරෙන ආකාරය දැකීමෙන් මම විශ්මයට පත් වීමි. එය එක රැයකින් සිදු නොවූ බව ඇත්තකි. එය ක්‍රමානුකූල ක්‍රියාදාමයකි. ටිකෙන් ටික, - වෘත්තීයවේදීන්, බුද්ධිමතුන්, ඊනියා ලිබරල්වාදීන් - යන සියල්ලෝ බලයේ ඇති පක්ෂය හා සම්බන්ධ වීමට ප්‍රමාණවත් හේතු කෙසේ හෝ සොයාගත්හ. ඔබට අහම්බෙන් ඔබේ පරණ මිතුරෙකු හමුවුණා යැයි සිතන්න - හිටිහැටියේ ඔබේ ඇස් පනාපිට ඔහු වෙනස් වන්නට පටන් ගනියි. ඔබට තව දුරටත් ඔහු සමග බුද්ධිමත් ආකාරයෙන් කතා කිරීමට නොහැකි අතර ඔහු තව දුරටත් සබුද්ධික මනුෂ්‍යයෙකු ලෙස නොහැසිරේ. රුමේනියාවේ සිටින අතරවාරයේ මා තැබූ දින සටහන්වලින් මා කියා සිටියේ මා වටා සිටි සියල්ලන් එකා බැගින් ක්‍රමානුකූලව මෘගයින් නොහොත් රයිනෝසිරස්ලා බවට පෙරළුණු ආකාරය ගැනයි.''
[-Ionesco's Imperatives: the politics of culture - Rosette C. Lamont 137-138 පිටු]

දකුණු ලංකාවේ වීදි ඔස්සේ දස වසරකට පෙර රයිනෝවෙකු හෝ දෙන්නෙකු අහම්බෙන් දිව ගියහ. ඒ දැක ඇතැම්හු පළමුව උත්ප්‍රාසය හා මවිතය පළ කළහ. දෙවනුව අමතක කොට දැමූහ. දස වසරක් ගෙවුණු තැන දැන් කතාව වෙනස් ය. රයිනෝලා ගහණ ලංකාවේ, අතරින් පතර හුදකලා වූ බෙරාන්ෂේලා වන් මනුෂ්‍යයින් ගැවසෙයි. මේ දවස්වල මා ලියන්නේ ඒ මනුෂ්‍යයින් වෙනුවෙනි......


Rhinoceros, performed by Naqshineh Theatre

[වර්ග සංහාරය: 'ඔළුවට' එරෙහිව හදවතින් සටන් කිරීම ලිපියෙන් තෝරා ගත් කොටසකි.
රාවය- 2009 අප්‍රේල් 19]

රෝහිත භාෂණ අබේවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails