Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2001 සැප්තැම්බර් 11දින අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාම් මූලධර්මවාදය සහ ත්‍රස්තවාදය වැනි මාතෘකා ගැන අලුත් උද්යෝගයක් බටහිර ලෝකය තුල ජනිත වූයේය. මෑතක සිට ලංකාව තුල ද මහත් අභිරුචියෙන් ඉස්ලාම් මූලධර්මවාදය පිලිබද කථා කරනු දක්නට ලැබේ. පසුගිය දිනෙක ඇමැති චම්පික රනවක "අල් කයිදා හා අල් ජිහාඩ්" යනුවෙන් එලි දැක්වූ කෘතිය මෙම අභිරුචිය පිලිබද හරස්කඩක් ලෙස සැලකිය හැක. මේ අනුව බටහිර දේශපාලන වේදිකා තුල පට්ටා ගැසූ මාතෘකාවක් හදිසි ආකර්ෂනයක් සහිතව ලංකාවේ දේශපාලන වේදිකා මත ප්‍රාදුර්භූත වී තිබේ.

එකම කාසියේ දෙපැත්ත?

ඉස්ලාම් මූලධර්මවාදය හෙවත් දේශපාලන ඉස්ලාමය (Political Islam) ගැන කෙරෙන විවාද වලදී අදහස් දක්වන බොහෝ අය අන්තවාදය ඉස්ලාම් ආගමේ ස්වභාවික ආනුශංගයක් ලෙස හැදින්වීමට ප්‍රිය කරති. උදාහරනයක් ලෙස 2007 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පලකල ලෝක ආගම් පිලිබද හැදින්වීමේ කෘතියක දී ඉස්ලාම් ධර්මය ගැන කෙරෙන විස්තරය එහි බිහිවීමෙන් ආරම්භ කොට අවසන් කරන්නේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් සහ මැඩ්රිඩ් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම් ගැන සදහන් කරමිනි. මේ සදහන පසුපස පවතින තාර්කිකය සරලය. එනම් කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව ඉස්ලාම් ආගම දේශපාලන අන්තවාදය වෙත පාර කපන බවයි.

සැමුවෙල් හන්ටින්ටන් සහ බර්නාඩ් ලුවිස් වැනි දක්ෂිනාංශික චින්තකයෝ බටහිර දී ඉස්ලාම් එනයින්ම මූලධර්මවාදී වේ යන අදහස ප්‍රවර්ධනය කිරීමෙහිලා මූලිකත්වය ගත්තෝ වූහ. ලුවිස් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ලියන කෘතියක දී (What went wrong) තර්ක කරන්නේ ‍රාජ්‍යයෙන් ආගම වෙන්කිරීම පිලිබද ඓහිකවාදී අදහස ඉස්ලාමයට ආගන්තුක බවයි. ශිෂ්ටාචාර අතර ගැටුම ගැන සිය ප්‍රවාදය ඉදිරිපත් කරමින් හන්ටින්ටන් තර්ක කලේ වර්තමානයේ ලෝකය අත්දකින්නේ වෙනස් ඇගයීම් සහිත බටහිර ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයත් ඉස්ලාමීය ශිෂ්ටාචාරයත් අතර ඝට්ටනයක් බවයි. ප්‍රශ්නය ඉස්ලාම් මූලධර්මවාදය නොව සිය සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වය ගැන මහත් උමතුවක් මිනිසුන් තුල බෝ කරන ඉස්ලාම් ශිෂ්ටාචාරයම බව මෙහිදී හන්ටින්ටන් තර්ක කරයි.

බටහිර දී මුස්ලිම් සමාජය ගැන මහත් අභිරුචියෙන් ගෙන හැර දැක්වූ උක්ත ප්‍රාචීනවාදී (orientalist) අදහස දැන් දැන් ලංකාව තුලත් විශාල වශයෙන් උපුටා දැක්වෙමින් තිබේ. මෙහිදී මේ නිසා පැනනගින්නේ අතිමූලික ගැටලුවකි. මුස්ලිම් සමාජය සමග සහවාසයක් ඇති කරගන්නේ කෙසේද එය එනයින්ම මූලධර්මවාදය ප්‍රවර්ධනය කරන්නක් වන විට? මෙම ලිපිය තුලින් අප උත්සාහ කරන්නේ මූලධර්මවාදය ඉස්ලාමයේ ස්වභාවික ආනුශංගයකි යන අදහස වැඩි දුරටත් විභාග කොට බලමින් එහි නිරවද්‍යතාවය පිරික්සා බැලීමටය.

ලෝකයේ මැද පෙරදිග කලාපය තුල ඉස්ලාම් මූලධර්මවාදය මේ වනවිට බලවත් දේශපාලන බලවේගයක් බවට පත්වෙමින් තිබේ. මෙය සත්‍යය කරුනකි. ඉස්ලාම් ආගමට දැඩි අර්ථ නිරූපන සපයන ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය වැනි "සාමකාමී " සංවිධාන වල සිට මරාගෙන මැරෙන සටන්කාමී සන්නද්ධ කන්ඩායම් දක්වා විවිධ ‍අන්තවාදී දේශපාලන බලවේග මුස්ලිම් ලෝකය තුල හොල්මන් කරමින් සිටී.


ශිෂ්ටාචාර අතර ගැටුම?

කෙසේ වුවත් මූලධර්මවාදයේ මෙම පැන නැගීමේ ඓතිහාසික දේශපාලන හා සමාජයීය සන්දර්භය නොසලකා හැර මූලධර්මවාදය සරලව මුස්ලිම් ජනයා සමග අනන්‍ය කිරීමට යන්නේ නම් එහිදී අප සිදුකරන්නේ බලවත් වරද්දා ගැනීමකි. ඉස්ලාම් භීතිකාවෙන් පෙලෙන ඇතැම් දක්ෂිනාංශික බටහිර මාධ්‍යයෝ තලෙයිබාන්වාදය යනු දුෂ්ට මුස්ලිම් සංස්කෘතියේ නොවැලැක්විය හැකි වියරුවක් ලෙස අප පිලිගන්නවා දැකීමට රුචි කරති. එසේ වුවද ඉස්ලාමීය මූලධර්මවාදයේ නැගීම එහි ඓතිහාසික පසුතලය තුල පිහිට වු විට පැහැදිලි වන්නේ එය මුස්ලිම් සමාජය තුල සිදුවූ මෑතකාලීන පැන නැගීමක් වන බවයි.

20 වන සියවස අග භාගයේ දී ලෝකය විවිධාකාර දක්ෂිනාංශික උද්ගතයන් ගනනාවකට මුහුන දුන්නේය. ඉන්දියාවේ බීජේපීය විසින් නියෝජනය කල හින්දු මූලධර්මවාදය සහ බටහිර රටවල ක්‍රිස්තියානි මූලධර්මවාදය එලෙස උද්ගත වූ අතර ඉස්ලාම් මූලධර්මවාදයේ නැගීම හුදෙක් හුදෙකලා සංසිද්ධියක් නොව එම වෙනත් අන්තවාදයන්ගේ නැගීම සමග සමකාලීනව සිදු වන්නකි. මෙම ලියුම්කරුගේ ප්‍රධාන තර්කයක් වන්නේ ඉස්ලාම් මූලධර්මවාදය මුස්ලිම් ලෝකය තුල මෑතකාලීනව අධිපතීත්වයට ලක්වූ ප්‍රවනතාවයක් මිස අතීතයේ සිටම අඛන්ඩ ප්‍රවාහයක් ලෙස ගලා එන්නක් නොව බවයි.

මුස්ලිම් අධිරාජ්‍යයන්ගේ යටගියාව

මුල්කාලීන මුස්ලිම් ශිෂ්ටාචාර ගැන ලියමින් ඒවා තුල දේශපාලන කටයුතු හා ආගමික කටයුතු අතර තත්වාකාර (de facto) වෙන්වීමක් දැකිය හැකි බවට මොහොමඩ් අයූබ් වැනි ශාස්ත්‍රඥයින් තර්ක කොට ඇත. ආගම හා රාජ්‍ය පාලන කටයුතු පිලිබද බලතල බෙදීමක් උලමාවරු හා මුස්ලිම් රාජ්‍ය නායකයින් අතර පැවැති බව දක්වන හෙතෙම උමයියාද් සහ ඔටෝමන් වැනි අධිරාජ්‍යයන් තුල මුස්ලිම් පාලකයා ආගමික සංස්ථාවන් අභිබවා බලවත්ව සිටි ආකාරය පැහැදිලි කරයි. ලෞකික පාලකයින් සිය බලය පැතිරවීම සදහා ආගම පාවිච්චි කලාද? පැහැදිලිවම ඊට "ඔව්" යන පිලිතුර දෙන අයූබ් එනමුත් එය ආගමික අංශය විසින් දේශපාලන අංශය මෙහෙයවීමක් ලෙස නොව දේශපාලන අංශය විසින් ආගමික අංශය මෙහෙයවීමක් ලෙස හදුන්වයි. වැඩවසම් යුගයේ සෙසු සියලු රාජ්‍යයන්වල - කතෝලික වේවා, හින්දු වේවා,බෞද්ධ වේවා - සිදුවූයේ මීට වෙනස් දෙයක් නොවේ. ලෞකික පාලකයින් හා ආගමික නායකයින් අතර තිබූ බලතල බෙදීම "තත්වාකාර" එකක් වන්නේ නිල වශයෙන් මේ පැරනි අධිරාජ්‍යයන් ඉස්ලාමීය වූ නිසාය.එහෙත් භාවිතයේ දී ලෞකික මුස්ලිම් පාලකයින් ආගමික නායකයින් නොතකා ක්‍රියා කිරීම පිලිබද උදාහරන එමට දැක්විය හැකි බව දක්වන අයූබ් මධ්‍යකාලීන යුගයේ බටහිර සමාජවල ක්‍රිස්තියානිය හා රාජ්‍යය අතර පැවැති සම්බන්ධයෙන් මුල්කාලීන මුස්ලිම් සමාජවල ආගම හා රාජ්‍යය අතර පැවැති සම්බන්ධය එතරම් වෙනස් නොවන බවට තර්ක කොට ඇත.

යටත්විජිතවාදය සහ ජාතික විමුක්ති අරගල

මෙසේ පැරනි මුස්ලිම් රාජ්‍යයන් වල ආගම හා රාජ්‍යය අතර තිබුනු තත්වාකාර දුරස්ථභාවය වඩාත් නිශ්චිතව තහවුරු වීම ආරම්භ වන්නේ 19 වන සියවසේ උදාවත් සමගය. 19 වන සියවස වනවිට පැරනි මුස්ලිම් අධිරාජ්‍යයන් බටහිර යටත් විජිතවාදයේ බලපෑමට හසුවීම ඇරඹී තිබුනි. මේ බලපෑම් මෙම අධිරාජ්‍යයන් වෙත බටහිර නූතනත්වය හදුන්වා දුන්නේය. බටහිර ආක්‍රමන හමුවේ සිය දේශභූමි ගිලිහී යාම වලක්වා ගනු වස් ඔටෝමන්, පර්සියානු බඳු මුස්ලිම් අධිරාජ්‍යවල පාලකයෝ ධනවාදී ප්‍රතිසංස්කරනයන්ට දොර හලෝය. මේ ප්‍රතිසංස්කරනවලට සමගාමීව බටහිර අධ්‍යාපනය යනාදිය මේ අධිරාජ්‍යයන් තුල ව්‍යාප්ත විය. සාම්ප්‍රදායික ආගමික ලෝක දෘෂ්ටිය වෙනුවට වඩා නූතන ලෝක දෘෂ්ටියක් සහිත නව ප්‍රභූ සහ මැද පංතියක් එතුලින් මේ රටවල බිහිවන්නට විය.

එලෙස බිහි වූ නව ප්‍රභූ පංතිය පසුකාලීනව අරාබි රටවල් තුල බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධව ඇති වූ ජාතිකවාදී විජිත විරෝධී අරගල වලට නායකත්වය දීමට ඉදිරියට පැමිනෙන්නේ. 20 වන සියවස වනවිට රැඩිකල් ජාතිකවාදී රැල්ලක් මුස්ලිම් රටවල් සිසාරා හඹායමින් තිබුනි. 1923 තුර්කියේ බලයට පත්වූ ජාතිකවාදී නායක මුස්තාෆා කෙමල් තුර්කිය ඓහික රාජ්‍යයක් ලෙස ස්ථාපනය කලේය. ආගම හා රාජ්‍යය අතර තිබු සම්බන්ධය කඩා දැමූ හෙතෙම ශරියා නීතිය වෙනුවට ස්විට්සර්ලන්ත සිවිල් නීති සංග්‍රහය මත පදනම් වූ නව සිවිල් නීතියක් හදුන්වා දෙමින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ලෙස හැදින්විය හැකි දේශපාලන ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාවට නැංවීය.

නසර්වාදයේ භූමිකාව

කෙමල් වැන්නවුන් වෙතින් නියෝජනය වූ මෙම මුල්කාලීන ජාතිකවාදී ප්‍රවාහය කෙසේ වුවද ඉසිලුවේ ප්‍රභූවාදී ස්වභාවයකි . එම ව්‍යාපාර වල මූලිකත්වය ගත් අය සමාජයේ පිලිගත් ප්‍රභූන් වූහ.


අබ්දුල් ගමල් නසර්

රැඩිකල් මුස්ලිම් ජාතිකවාදය එහි අලුත් අදියරක් වෙත එලැඹියේ දෙවන ලෝක යුද්ධයට පසුවය. මේ කාලයේ අලුත් පරම්පරාවක රැඩිකල් ජාතිකවාදයක් අරාබි රටවල් මූලික කරගෙන බිහිවීම ඇරඹෙන අතර ඊජිප්තුවේ අබ්දුල් ගමල් නසර් මෙම නව ජාතිකවාදයේ උද්යෝගිමත් ප්‍රකාශකයා ලෙස සැලකිය හැක. මෙම නව අරාබි ජාතිකවාදය සමාජයේ ප්‍රභූ පිරිස් අතරින් නොව පහල සමාජ පංතීන් අතරින් සිය බලය උකහා ගත්තකි. ගෝලීය බලවතුන්ගේ අනුග්‍රහය සහිතව ඊශ්‍රායලය අරාබි රටවල්වලට එරෙහිව යුද මෙහෙයුම් දියත් කිරීමට සමගාමීව අරාබි ජාතිකවාදය වඩ වඩා රැඩිකල්කරනය වීමත් වඩ වඩා වාමාංශය වෙත තල්ලු වීමත් සිදුවිය. අරාබි රටවල කොමියුනිස්ට් පක්ෂ වල බලපෑම වැඩි වන්නට වූ අතර මේ නව වාමවාදී හා ජාතිකවාදී දහරාව මුස්ලිම් රටවල් බොහොමයක් තුල ප්‍රබල ඓහික සම්ප්‍රදායක් ජනනය කලේය. වෝලටර් ලැක්වෙයර් 50 දශකයේ අරාබි රටවල උගත් තරුනයින් අතර පැවැති දේශපාලන මතාන්තර ගැන ලියමින් දක්වන්නේ කොමියුනිස්ට්වාදය සහ ජාතිකවාදය ඔවුන් අතර වඩාත් බලපැවැත්වූ මතවාදී දහරාවෝ බවය.

"අරාබි සමාජවාදය" නමැති තේමාව යටතේ අබ්දුල් ගමල් නසර් ඊජිප්තුවේ දියත් කල ප්‍රතිසංස්කරන මාලාව එහි හරයෙන් ගත්කල දැඩි ඓහික ස්වභාවයක් ගත්තේය. ජනසතු කිරීම් හා සමාජ සුබසාධක වැඩසටහන් ප්‍රවර්ධනය කල නසර්වාදය අපට එක්තරා ආකාරයක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් ලෙස නම් කල හැක. ආගමික නායකයින් දේශපාලනයට ඇගිලි ගැහීම සමග සෘජුව අභිමුඛ වූ නසර් ඉස්ලාම් අන්තවාදය යෝජනා කල එවකට එතරම් බලයක් නොතිබුනු සංවිධානයක් වූ මුස්ලිම් සහෝදරත්වය (අද ඊජිප්තුවේ බලය දරන පක්ෂය) වැනි ප්‍රවනතා සමග අභියෝගාත්මකව අභිමුඛ වූයේය. ඉන්දුනිසියාවේ සිට ඇලිජිරියාව දක්වා මුස්ලිම් රටවල් ගොන්නක ඓහික වටිනාකම් ප්‍රවර්ධනය කල යටත් විජිත විරෝධී ව්‍යාපාරයන්ගේ පිබිදීමක් මේ යුගයේ දක්නට ලැබේ. ඊජිප්තුව, ඉරානය, ඉරාකය, සිරියාව, ලෙබනනය,සුඩානය වැනි රටවල කොමියුනිස්ට් පක්ෂ මේ යුගය වනවිට කම්කරු හා ගොවිජන බලවේග පංති සටන් තේමා වටා සාර්ථකව සංවිධානය කරමින් සිටි අතර අද මූලධර්මවාදී ගුහාවක් ලෙස චිත්‍රනය කෙරෙන ඇෆ්ඝනිස්ථානයේ ආන්ඩු බලය එරට සමාජවාදී බලවේග විසින් '70 ගනන් වලදී අත්පත් කරගත්තේ අනාගමික සමාජ දේශපාලන ප්‍රතිසංස්කරන දාමයකට මුලපුරමිනි.

මූලධර්මවාදය මුස්ලිම් සමාජයේ ජාති ලක්ෂනයක් නම් හත්වන සියවසේ සිට විසි එක් වන සියවස දක්වා අඛන්ඩ මූලධර්මවාදී ප්‍රවාහයක් මුස්ලිම් සමාජවල දක්නට තිබිය යුතුය. එහෙත් අප දුටු පරිදි අතීතයේ බොහෝ මුස්ලිම් අධිරාජ්‍යයන් තුල ආගමත් රාජ්‍යයත් අතර තත්වාකාර වෙන්වීමක් තිබූ අතර 20 වන සියවසේ මෑතක් වන තුරුම මේ සමාජ බොහොමයක තීරනාත්මක දේශපාලන බලවේග වූයේ මූලධර්මවාදයට පටහැනිව ඓහික වටිනාකම් ප්‍රවර්ධනය කල රැඩිකල් ජාතිකවාදී හා වාමාංශික දේශපාලන සම්ප්‍රදායන්ය.

මුස්ලිම්වරු එනයින්ම මූලධර්මවාදී නම් එවැනි ඓහික දේශපාලන සම්ප්‍රදායක් මේ සමාජවල පැවතුනේ කෙසේද? මෙලෙස මුස්ලිම් රටවල බලවත්ව පැවැති ඓහික දේශපාලන සම්ප්‍රදායයන් බිදවැටී අද දක්නට ලැබෙන මූලධර්මවාදී ප්‍රවනතා ඉස්මතු වූයේ කෙසේද? ඒ සදහා බලපෑ හේතු කවරේද?

ලෝකය තුල මහත් පරාක්‍රමයක් ඉසිලූ ජාතිකවාදී හා වාමාංශික දේශපාලන ප්‍රවාහයන්ට එරෙහිව ඉස්ලාම් මූලධර්මවාදය පෙරමුනට ගැනීමෙහිලා තීරනාත්මක කාර්යභාරය ඉටු කලේ එක්සත් ජනපදයේ නායකත්වය යටතේ ගෝලීය ධනවාදය විසිනි. එලෙස එම ප්‍රවාහයන්ට විරුද්ධව ඉස්ලාම් මූලධර්මවාදය උසි ගන්වන්ට ගෝලීය ධනවාදී බලවතුන්ව පෙලඹවූ තර්කනය ඉතා සරලය. නසර් වැන්නන් නියෝජනය කල රැඩිකල් ජාතිකවාදී ව්‍යාපෘතීන් මෙන්ම වාමාංශික දේශපාලන ව්‍යාපෘතිය ද ගෝලීය ධනවාදයේ ආර්ථික හා දේශපාලන ව්‍යාප්තිවාදයට බාධා කල පවුරු ලෙස ඉස්මතු වී තිබුනි.


2012 ඉරාකයේ බැග්ඩෑඩ් හි පැවැති මැයි දින පෙලපාලියට සහභාගී වූ තරුනියක්-
මොට්ටැක්කිලිය වෙනුවට රතු තරුව


උදාහරනයක් ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමල් නසර් විසින් සූවස් ඇල ජනසතු කිරීම දැක්විය හැක. මේ පියවරත් සමග නසර් සටන්කාමීව බටහිර කඳවුර සමග අභිමුඛ වූයේය. සෝවියට් සංගමයේ පිටුබලය මෙවැනි නායකයන් සදහා සැපයින. තෙල් සම්පතින් අනූන අරාබි ලෝකය අධිරාජ්‍යවාදයට එරෙහිව එක්සත් වියයුතු බවට නසර් කලාපය පුරා මහත් උද්ඝෝෂනයක් ගෙනගිය අතර ඔහු තමාට එරෙහි තර්ජනයක් ලෙස සැලැකූ බටහිර බලවතුන් නසර්වාදයට එරෙහිව පෝෂනය කිරීමට තෝරාගත්තේ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයයි. මුස්ලිම් සහෝදරත්වය වෙත ආධාර බ්‍රිතාන්‍ය සූවස් ඇල සමාගම, එ.ජනපදය හා සෞදි අරාබිය තුලින් ගලා ආවේය.

සෞදි අරාබි කලණ මිතුරා

අරාබි ලෝකයේ ආධිපත්‍යය සදහා වූ ව්‍යාපෘතියේ දී ස්වකීය විශ්වසනීය සගයා ලෙස බටහිර බලවතුන් තෝරාගන්නා ලද්දේ සෞදි අරාබියයි. අමෙරිකානු ජනාධිපති අයිසන්හවර් කලාපීය නායකත්වය සදහා නසර්ට විකල්පයක් ලෙස සෞදි රජපවුල ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමුකල යුතු බවට වරෙක විවෘතව අදහස් දක්වා තිබුනි. වෙනත් මුස්ලිම් රටවල මෙන් සටන්කාමී ජාතිකවාදී හෝ වාමවාදී උද්ගතයන් තම රට තුල පැනනැගීමට ඒකාධිපති සෞදි රජපවුල කිසිදු ඉඩක් නොතැබීය. එවැනි යම් හෝ විසමුම්තික ව්‍යාපාරයක් පැන නැගෙන සලකුනක් හෝ සෞදිය තුල වී නම් එය සිය යකඩ හස්තයෙන් තලා පෙලා මුලිනුපුටා දැමීමට මෙම කුප්‍රකට රජ පවුල පසුබට නොවීය. ඉස්ලාම්වාදයට "විරුද්ධ" ලිබරල් බටහිර රාජ්‍යයන්ට උග්‍ර මූලධර්මවාදී සෞදි රාජ්‍යය එදා මෙන්ම අදත් "මිත්‍රයෙකි"!

ඇෆ්ගනිස්ථානයේ දී මොහාමඩ් නජිබුල්ලාගේ වාමවාදී ආන්ඩුවට එරෙහිව මුජහදීන් - ශුද්ධ වූ සටන්කරුවන් - හදාවඩා ගැනීමෙහිලා සී.අයි.ඒ. සංවිධානය කල මැදිහත්වීම අද වනවිට සියල්ලෝ දනිති. සෝවියට් ආධාර ලැබූ නජිබුල්ලාගේ රජය පෙරලා දැමීමේ දී ශුද්ධ වූ ඉස්ලාමීය සටන්කරුවන් සමග එක්සත් වූ එක්සත් ජනපදය මොවුන් වෙත මුදල් හා විවිධාකාර ආධාර නිර්ලෝභීව සැපයීය. පසුකාලීන තලෙයිබාන්වාදයට උපත දුන්නේ මෙම මුජහදීන් සටන්කරුවන්ය. නජිබුල්ලාට එරෙහිව මුජහදීන්වරු ගොනු කල එක් මූලික සටන් පාඨයක් වූයේ ඔහුගේ ආන්ඩුවේ "ඉස්ලාම් විරෝධී" ස්වභාවයයි. කාන්තා සාක්ෂරතාවය නංවමින් සමාජ හා දේශපාලන ජීවිතය තුල කාන්තා සහභාගීත්වය නැංවීම සදහා නජිබුල්ලාගේ රජය ගෙන තිබූ ක්‍රියාමාර්ග මොවුන්ගේ දැඩි විවේචනයට පාත්‍ර විය. තලෙයිබාන්වරුන්ගේ මූල බීජ මෙම මුජහදීන්වරු තුල පැහැදිලිවම විද්‍යාමාන වූ අතර සැබැවින්ම තලෙයිබාන්වාදය නමැති දරුවා ඉස්ලාම්වාදය නමැති ඩිම්බය සමග ගෝලීය ධනවාදය නමැති ශුක්‍රානුව සංසේචනය වීම තුලින් උපන්නෙකි. තලෙයිබාන්වාදය "දුෂ්ට" හා " නපුරු" බව අද බටහිර ලිබරල්වාදීන් කියද්දී ඔවුන් නරුම ලෙස අමතක කරන කරුන වන්නේ එම දරුවාගේ පිතෘවරයා තමාම බවයි.

රැඩිකල් ජාතිකවාදයේ සීමාව සහ වාමාංශයේ පරිහානිය

කෙසේවුවද '70 දශකය වනවිට මුස්ලිම් ලෝකය තුල අරාබි ජාතිකවාදය සහ වාමාංශය සතුව පැවැති පරාක්‍රමය දුර්වල වීම ආරම්භ වී තිබුනි. මේ සදහා බල පෑ හේතු රාශියකි.

රැඩිකල් අධිරාජ්‍ය විරෝධී එලැඹුමක් දැක්වූවද ඊජිප්තුවේ නසර්වාදය වැනි ජාතිකවාදී ප්‍රවනතා අභ්‍යන්තර දුර්වලතා රාශියකින් ගහන වූයේය. මැද පංතික දෘෂ්ටියකින් මෙහෙයවුනු මෙම ප්‍රවනතාවෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යයක් ඇටවීමෙන් එහා ගමන් කිරීමට අසමත් වූහ. සුබසාධක රාජ්‍යය එම සමාජ තුල බලපැවැත්වූ සමාජ අසමානතා ආමන්ත්‍රනය කිරීමට තරම් ප්‍රමානවත් එකක් වූයේ නැත. 1973 ආර්ථික අර්බුදය විසින් ලොව පුරා සුබසාධක රාජ්‍ය ආකෘතිය අර්බුදයට යවද්දී අරාබි ජාතිකවාදී සුබසාධකවාදය ද එම අර්බුදයෙන් ගැලවුනේ නැත.

මොස්කව් නුවර මගපෙන්වීම යටතේ කලාපීය කොමියුනිස්ට් පක්ෂ 60 දශකය පුරාම තම රටවල ජාතිකවාදී රෙජිමයන් අරභයා අනුගමනය කරමින් සිටියේ අවිවේචනාත්මකව සහය දීමේ ප්‍රතිපත්තියකි. සෝවියට් සංගමයේ විදේශ ප්‍රතිපත්තිය යටතේ නසර්ගේ ආන්ඩුව වැනි ජාතිකවාදී ආන්ඩු සමග හිතවත්කමක් පවත්වා ගැනීම අවශ්‍ය වී තිබුනි. සෝවියට් සංගමය මේ නිසා ඒ ඒ රටවල කොමියුනිස්ට් පක්ෂ වලට එම ආන්ඩු කෙරෙහි "මෘදු" පිලිවෙතක් අනුගමනය කරන ලෙස බලපෑම් කලේය. සමාජවාදී ජාත්‍යන්තරවාදය පිරිහුනු රාජ්‍යයක් වූ සෝවියට් සංගමයට තවදුරටත් අදාල නොවීය. එය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් ලෝකයේ සමාජවාදී අරගල ද්විතීක කිරීම ඉතා විවෘතව මේ යුගය වනවිට සිදුකරමින් සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිකවාදී රෙජිමයන් අර්බුදයට යනවිට වාමාංශය ද දුර්වල වන්නට වූයේය. ඒ සදහා බල පෑ එක් හේතුවක් වූයේ ජාතිකවාදී පාලනයන්ට දැක්වූ අවිවේචනාත්මක සහයෝගය නිසා වාමාංශිකයන් සහ ජාතිකවාදීන් අතර කැපී පෙනෙන වෙනසක් පොදු සමාජය තුල සටහන්ව නොතිබීමය.

මෙලෙස ඓහිකවාදී වාමාංශය හා ජාතිකවාදය මුස්ලිම් ලෝකය තුල දුර්වල වීම අත වැනුවේ රැඩිකල් ඉස්ලාම්වාදයේ පැමිනීමටය. 20 වන සියවසේ අවසන් දශක තුන යනු දේශපාලනික ඉස්ලාම්වාදය ජයග්‍රහනය කිරීමේ දශක තුනයි. සමාජ ආර්ථික ගැටලු වලින් පීඩාවට පත්වන පීඩිත සමාජ කොටස් වෙත "ඉස්ලාමීය විසදුමක්" යෝජනා කල කුමේනිගේ ඉරාන "විප්ලවය" මෙකී මූලධර්මවාදයේ ජයග්‍රාහී සන්ධිස්ථානයක් විය. අද සටන්කාමී මූලධර්මවාදී සංවිධාන සිය සොල්දාදුවන් බදවා ගන්නේ සමාජයේ අවවරප්‍රසාදිත පීඩිත පංතීන් අතරිනි. අරාබි ලෝකය තුල වාමාංශය බලවත්ව සිටි 40,50 දශක වල මෙම පීඩිත සමාජ පංතීහු පංති අරගලයේ ධජය යටතේ සංවිධානය කරනු ලැබූහ. අද ඔවුන් සංවිධානය කෙරෙන්නේ ආගම්වාදයේ නිස්සාර ධජය යටතේය. ඕනෑම සමාජයක වාමාංශය බලවත් වන තරමට ඒ සමාජවල ආගම්වාදය, ජාතිවාදය යනාදිය දුර්වල වන්නේ වාමාංශය විසින් සමාජය පංති පදනම මත සංවිධානය කිරීම හේතුවෙන් ජාතික සහ ආගමික බෙදීම් යටපත් වී යාම සිදුවන නිසාය.

වර්තමානයේ බටහිර රටවල් හා ඇතැම් ඉස්ලාමීය සංවිධාන අතර ඇති ආරෝව කුමක්ද? මෙය වූ කලී සමෘද්ධිමත් මැදපෙරදිග කලාපයේ ධනය බෙදාගැනීම පිලිබද කාලකන්නි ආරවුලක් විනා බටහිර මාධ්‍යයන් විසින් හුවා දැක්වෙන ආකාරයට "සුන්දර ලිබරල්වාදය" සහ "දුෂ්ට ඉස්ලාම්වාදය" අතර ගැටුමක් නොවේ. මෑතක දී ඊජිප්තුවේ බලයට පත් 'මුස්ලිම් සහෝදරත්වය' බදු පක්ෂ හරයෙන් ගත්කල ධනේශ්වර සංස්ථාවෝය. මේවා ගෝලීය ධනවාදයට කිසිසේත්ම විකල්පයක් නොවේ.

මේ මොහොතේ සැබැවින්ම මැදපෙරදිගට අවශ්‍යව තිබෙන්නේ වාමාංශික ව්‍යාපෘතියේ නව පුනර්ජිවනයකි. ඊජිප්තුව හා ටියුනීසියාව පසුගිය කලෙක දෙදරුම් කැවූ ජනප්‍රිය මහජන අරගල වලදී ඒ රටවල වැඩකරන පංතියේ ජනයා දැක්වූ සටන්කාමී පුරෝගාමීත්වය එබදු වාමාංශික පුනර්ජීවනයක් සදහා ඒ සමාජවල ඇති විභවය විදහා දක්වන්නේය. ඊජිප්තුවේ හොස්නි මුබාරක් ආන්ඩුව බිද වැට්ටවූ මහජන අරගලයේ දී සුවිශේෂී කාර්යයක් ඉටු කරන ලද්දේ වැඩ වර්ජන කැදවමින් වීදියේ සටන් කල වැඩ කරන ජනතාවෝය. එම ජනතාව දේශපාලනිකව සංවිධානය වී නොසිටීම මත එම අරගලය අවසානයේ මුස්ලිම් සහෝදරත්වය වැනි ඉස්ලාම්වාදී සංවිධානයක් වෙත ජය ගෙන දෙමින් නිමා විය. එසේ නිමා වුවද, එම සටන් වලදී ඒ රටවල වැඩ කරන ජනතාවෝ දැක්වූ සටන්කාමීත්වය ගෝලීය ධනවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් අන්ධකාර වී තිබෙන මැදපෙරදිග අහස මත පෑයූ දීප්තිමත් තාරකාවකි. එම සටන්කාමීත්වය නිසි ඉදිරි දැක්මක් සහිතව මෙහෙයවීම සමග මුස්ලිම් ලෝකය තුල වාමාංශික කතිකාව පුනර්ජීවනය කිරීම පිලිබඳ ප්‍රශ්නයට ගැට ගැසී තිබේ.

[-රාමචන්ද්‍රගේ අඩවිය]

රාමචන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails