Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වැලේ වනපු රෙදි දිගේ වතුර බේරෙනවා. රෙදිවල දාර දිගේ ඇදෙන දිය සීරාව නිසා පොළව හිල් වෙනවද කියල බැලුවත් මිදුලෙ පිරිල තියන වතුර කන්දරාවෙ තරමට හිල් වෙන එක කෙසේ වෙතත් වතුර ගලන රටාවට මිදුලෙ ඉරි ඇඳිල ඇති කියලනම් හිතුණා. වැලි පොළව දිගේ මහා වතුර පාරක් ගලද්දි කොහොමත් නෙරු නිම්න රටා ඇඳෙනවනෙ.

'දවස් තුනක් ඇති හරියටම වැලට රෙදි ටික දාලා. ඔය අපූරුවට වේලෙන්නෙ. නිකන් රෙදි ටික සවුත්තු වෙනව විතරයි.... දැන් ඕක දිහා බකන්නිලං හිටියම වේලෙයි කියල හිතං ඇති. තමුසෙට තිබුණනෙ ඔය ටික අර ලෑලි කාමරෙන් දාල වේලගන්න.... '

මගේ කම්මැලිකමට නොසැලකිල්ලට ඔහුගේ මා නුරුස්නාකමට හැම දේටම ඇති පිළිකුල නිසා වෙන්න ඇති සද්දෙන් පටන්ගත් නෝක්කාඩුවේ සැර ක්‍රමයෙන් අඩු කරමින් ඔහු දිගටම හිතේ කෝන්තර දිගහැරගෙන ගියා. රෙදි වැල දිහා බලන් හේත්තු වෙලා හිටිය දොර උළුවස්සෙන් මෑත් වෙලා මම කේතලේ ලිපේ තියන්න ආවෙ මගේ ඇඟ ඇතුලෙන් මාවම විදගෙන ඇවිත් තිබුණු හිරිගඩු අතගගා උණුසුමක් අතට දෙන ගමන්මයි. එළියෙ අඳුරයි ගේ ඇතුලෙ අඳුරයි අතරෙ මහා ලොකු වෙනසක් තිබුණෙ නැති වුණත් ඇස් දෙක ගේ ඇතුළට හරවං ඉන්නවට වඩා එළිය බලාගෙනම ඉන්න එක එක අතරට සැනසීමක් කියලා හිතුණා. පෙරේද හවස රෙදි ටික හෝදල වැලට දාපු ගමන්මයි අහස කළු කරන් ආවෙ. තෙත රෙද්දෙ ආය මොනා තෙමෙන්නද කියලයි මම වැහි අන්දකාරෙ බල බලත් රෙදි ටික වැනුවෙ. කොහොමත් මෙහෙට වහින කාලෙට පැල් බැඳන් වහිනව මිසක ආය මොන පෑවිල්ලක්ද. ගේ අස්සෙ වනල පුස් කකා තිබුණත් එකයි එළියෙ තෙමි තෙමිම තිබිල පුස් කෑවත් එකයි. වතුර අල්ලන්න බැරි තරම් සිතල. ඇඟිලි වලට ඉඳිකටු තුඩුවලින් අනිනව වගේ. මං කේතලේට වතුර පුරෝලා ගෑස් එක පත්තු කළා. ජොග්ගුවට සීනියි කෝපි කුඩුයි දාලා වතුර නටනකන් අත් දෙක රත් කරගන්න කේතලේට උඩින් අත් දෙක ගෑස් එකට අල්ලන් හිටියා. ටිකින් ටික දුම් දාන්න පටන් ගත්තු කේතලේ ඉක්මනින්ම අත් දෙකත් තැම්බෙන තරමේ රස්නෙට දුම් වලා උඩ යැව්වා.

'ක්‍රීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊස්'

'අර මගේ කමිසෙකුයි කලිසමකුයි මැදල තියන්ඩ. හෙට ප්‍රෝග්‍රස් මීටින් එක. බෑග් එක ගාවින් තියන්ඩ, ඊයෙ දවල් වැඩ කරන්ඩ ගත්තු ෆයිල්ස් ටික ඇති මේසෙ උඩ. ඒ ඩොක්‍යුමන්ට්ස් ටික එකතු කරල තියන්ඩ...... චික් සපත්තුත් ඉවරයි මේ ජරා වැස්සට'

කකුල් දෙකත් උඩට අරන්, හරියට ඉසුරුමුණියෙ මිනිසා සහ අශ්ව හිස කැටයමේ මනුස්ස රූපෙ වගේ, සෝපාවෙ ඉඳගෙන ටීවි එකේ ඇස් අලවන් හිටපු ඔහු අතට මං කෝපි කෝප්පෙ දෙන ගමන් ඔහු මාව ඉලක්ක කරල කියපු ඒ වාක්‍යයේ අන්තිම ටික ඔහු කියාගත්තෙ නම් ඔහුටමයි. ඉරිද දවස තාම පටන්ගෙන වැඩි වෙලාවක් නැහැ. සෙනසුරාදා ඉරිද ඔහු ගෙදර ඉන්න දවස්. ඒක වෙනස් වෙන්නෙ කලාතුරකින් මොකක් හරි ගමනක් වැටුණොත් විතරයි. වෙනදට වඩා අද විශේෂත්වෙකට තිබුණෙ එළියෙ මහ හඬින් හඬා වැටෙන වැස්ස විතරයි. වැස්ස නැත්නම් අපේ ගෙදර හරිම නිස්කලංකයි. සතියෙ දවස් වලටනම් ඇල්පෙනිත්තක් වැටුණත් ඇහෙන තරම් නිහඬතාවයක් ගේ ඇතුලෙ තියෙන්නෙ. ඒක බිඳෙන්නෙ ඔහු ගෙදර ආව වෙලාවට... ඒ කියන්නෙ හවස හයෙන් පස්සෙ විතර. 'මොකද මේ පාපිස්ස ගැහුවෙ නැද්ද, අර මල් පැල ටික සේරම මැලවිලා ගිහින්. වතුර ටිකක්වත් දානව පණ ඇති මිනිස්සු මේ ගෙදර ඉන්න බව පේන්න වත්, කෝ මගේ සරම, ඔය තුවාය ගේනව.. මේ තුවාය තෙත ඇයි, අවුවට දාන්නත් මම කියන්න ඕනද, ඇයි ටැංකියේ වතුර ඇරියෙ නැද්ද' ඒ විදිහට ඔහු ගෙදර ආවම ගෙදරම පිරිල යනව ඒ දෝංකාර දෙන කටහඬින්. ඒක නැවතෙන්නෙ කරන්න තිබුණත් නැතත් කරන වැඩ අහවර කරල ඔහු ඇවිත් ටිවි එක දාගත්තම.

බීට්, අල, අයිස් කුකුළෙක්, අඟුන කොළ මිටියක් මං ගත්තා ෆ්‍රිජ් එකෙන්. වැස්ස කිසි වෙනසක් නැතිව එකම ස්වර එකම විදිහට වයනවා. ටක් ටක් ටක් ටක්.... බීට් පෙති කැපෙද්දි එකම තාලයෙන් පිහිය ලෑල්ලට වදිනවා. එක පෙත්තක් පිහි දාරෙ ඇලවෙද්දි අනෙක් පෙත්ත ලෑල්ලට වැටෙනවා. ලෑල්ලෙ වතුර එක්ක බීට් වල රතු පාට දිය වෙලා ලේ පාට හීනි දාරයක් ලෑල්ල දිගේ බේරෙනවා. ලේ.... එක පුංචි ලේ බිංදුවක සටහන. ඒ ලේ සටහන තියෙන නැතිවෙන එකේ වෙනස...... මිනිස්සුන්ගෙ ජීවිත මොන තරමින් වෙනස් කරනවද..... ? මට ඉස්සරහින් පේන කවුළුවෙන් මං එළිය බැලුවා. පේනව මට මගේ ඉස්සරහම ඒ රෙදි වැල පැද්දි පැද්දි ඉන්නව වැස්සෙ තාලයට නටනව වගේ.

'බකන්නිලන් ඉන් නැතුව කන්න හදනවා. රෑට තමයි කන්න වෙන්නෙ ඔහොම ගියොත්'

ඔහුගෙ හඬ නැවතත් මාව පියවි සිහියට ගෙනාවා. වෙලාව උදේ අට වුණත් මහා පාළු අඳුරක් තිබුණෙ වැස්ස නිසාම. අත් සිතල වෙලා. ඇඟිලි තුඩු රැළි වැටිලා. කුකුළා අයිස් එක්ක මිදිල තිබුණත් ඉක්මනින් උයන්න ඕන නිසා අඬු ටික ඈත් මෑත් කරගන්න අයිස් එක්ක මට සෑහෙන තරඟයක් දෙන්න වුණා. අප්‍රසන්නම දෙයක් මට කුකුල්ලු සුද්ද කරන එක. කවද ඉඳලද කියන්න නොදන්නව වුණත් කුකුල්ලුන්ව කපන මට ඔක්කාරෙට එන දෙයක් වුණා. ඒත් කරන්න දෙයක් තිබුණෙ නැහැ අකමැත්තෙන් වුණත් කපනව හැර. පුරුෂ ලිඟුවක් වගේ නහර පෑදිලා දිගට ඇදුණු කුකුළාගේ බෙල්ලත් වෘශණ සිහිගන්වන ගොදුරත් නිසා ඒ ඔක්කාරය දෙගුණ තෙගුණ වුණා. මගේ මනසේ මම විහින්ම හදාගත්තු බහුබූත විදිහට මේ දේවල් හිතින්ම යටපත් කරන්න උත්සාහ කළත් මම මගේ සිතිවිලි වලට පැරදුනා ඒ හැම මොහොතකදිම.

'මේ වහළෙ වතුර වැක්කෙරෙන එක හදාගන්න තාම බැරි වුණානෙ. බාස් කෙනෙක් හොයා ගන්න ඕන අප්පා. ගේම ජරා වෙනව මේ කරුමෙ නිසා. '

බීල ඉවර වුණු කෝපි කෝප්පය සින්ක් එකෙන් තියලා, කොහු මිටෙන් වහළෙට ඇනල උළු කැටයක් එහෙ මෙහෙ කරන්න නිරර්ථක උත්සාහයක යෙදෙන ගමන් ඔහු කීවා. ගින්දරට අත දාන්න තරම් සීතලයි. ඒත් ගින්දරට අත ලං කරන්න බැරි කමට මම හට්ටිය වටේ අත් තියාගෙන හිටියා. උයද්දි දැනෙන මේ අලසකම මම කුස්සිය හුරු කරගන්න හදපු කාලෙ ඉඳලම මට දැනෙන දෙයක්. කෑල්ලෙන් කෑල්ලට කැපෙන එලවළු එක්ක සිතිවිලි අතරමං වෙනවා. පිහිය ලැල්ලට වදින සද්දෙ හිත මමත් නොදන්න කොහෙදෝ දුරකට ගෙනියනවා. ළූණු ගෙඩියෙන් රවුම් වෙවී කැපෙන දාර එක්ක හිත රවුම් වෙලා කැරකිලා යනවා. ගින්දරේ නලියන දැල් සංගීතය නැතින නටන ලස්සන නැටුමකට අපූරුවට රිද්මය අල්ලනවා. සාලෙන් ආයෙමත් වැස්ස පරද්දගෙන ටීවි එකේ හඬ ආපු නිසා මම දැනගත්තා ඔහු වැඩසටහනක් බලනව ඇති කියලා.

දවස ගෙවෙන්නෙ හරි හෙමින්ද කියලත් හිතුණා. කොයි තරම් වැඩ තිබුණත් කාලය රබර් පටියක් වගේ ඇදෙනවා. වැඩ වැඩි වෙන තරමට කාලයත් වැඩි වෙනවද මංදා. සති අන්තේ නිවාඩු දවස් නැති, දවස් පහේ සතියක් තිබුණනම් මොන තරම් සැනසිමක්ද කියල අනන්තවත් හිතෙන එක මට නැති කරගන්න විදිහක් නැති වුණා. මං එහෙම හිතන එක වැරදිද කියල ආයෙමත් මට හිතන්න, මගෙන්ම අහන්න ඕන වුණත් ඒ සිතිවිලි වලට ඉඩ දෙන්න මට පුළුවන්කමක් නැහැ. සෙනසුරාද, ඉරිද, පෝය, රජයේ නිවාඩු දවස් එපා වෙන්න පටන් ගත්තෙ මොන කාලෙ ඉඳන්ද කියල මතක් කරන්න මම වෙහෙසුනත් මට හරියටම ඒ ගැන මතකයක් නැහැ. ඒක පටන්ගත්තෙ අදක ඊයෙක නෙවෙයි.... ඔවු, මතකයි මට. මං හිතන්නෙ ඒ අපි බැඳපු කාලෙම ඉඳන් වගේ තමයි. 'තෝ මගේ ජිවිතේ කාලකණ්නි කළා වල් වේසාවි' ඒ වචන මගේ කන් ඇතුළෙ තැන්පත් වුණා වුණාමයි ආය පිටවුණේ නැහැ. මගේ කන් ඇතුළට එදා රිංගගත්තු ඒ වචන අත පය අකුළුවගෙන කන් අස්සෙ බැඳගත්ත අට්ටාලෙක මුල්ලකට වෙලා ජීවත් වුණා. විටින් විට අතපය දිගෑරලා ඒ වචන මට මතක් කළා මම කෙනෙකුගේ ජීවිතයක් සදාකාලික කාලකණ්නි බවකට පත් කරපු වල් වේසාවියක් කියලා. දැන් ඒ වචන හොල්ලන්නවත් බැහැ. අවශ්‍යම දේට හැර මං කතා නොකරම ඉන්න තත්වෙට පත්වුණෙත් එකකින් එකකට උත්තර බැඳිල්ලෙත්, නිදහසට කරුණු කීමෙත්, වැරදි නිවැරදි කිරීමෙත් තේරුමක් නැති බව බොහොම ඉක්මනින් වැටහුණු නිසා.

ප්‍රශ්න පත්තර වලට උත්තර ලීවෙ ඉස්කෝලෙ යන කාලෙ. උසස් පෙළ අන්තිම ප්‍රශ්න පත්‍රයට ලියල එද්දි මං හිතුවෙ මුළු ජීවිතේම අප්පිරියාවෙන් කරපු විභාග සේරම දැන් ඉවරයි කියලයි. ඒත් මට එදා ලොකු වැරදීමක් වෙලා තිබුණා. ඉස්කෝලෙන් පස්සෙ ආපු අළුත් ජීවිතේ, විවාහයත් එක්ක තවත් විභාග ගණනාවක් මගේ ඉස්සරහ දිගහැරුණා. අම්මගෙ අතින් එදා සුදු රෙද්ද මගේ ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇතිරුණේ අළුත උපන් බබෙක් වගේ පරිස්සමට. ලැජ්ජාවද, බයද, කුතුහලයද, සැකයද, අස්ථාවරත්වයද කියන්න දන්නෙ නැති මොකද්දෝ හැඟීමක් එක්ක මම ඒ වෙලේ අම්ම දිහා බලල හිනා වෙන ගමන් බිම බලා ගත්තා. මංගල රැය ගැන මනාළියකගෙ හිතේ ඇතිවන තිගැස්ම අනිත් කාටත් වගේ මටත් ඒ වෙලේ ඇති වෙලා තිබුණා.

'මේ, ඇඳුම් මැද්දද? අමකත කරල දාන්ඩ එහෙම එපා. දන්නවනෙ, උදේට මට කැ ගහන්න ඉඩ තියන්ඩ එපා'

රෙදි මැදල ගොඩක් වෙලා වුණත් මතක් වෙන මතක් වෙන වෙලාවට කෑ ගහන එක ඔහුගේ පුරුද්ද හෝ හැටිය නිසා මම මොකුත් කියන්න ගියේ නැහැ. උවමනාවෙන් බැලුවනම් පෙනෙන්නත් තිබුණ අයන් බෝඩ් එක උඩ තිබුණ ඇඳුම. සමහරවිට ඔහු කාමරේට යන්න නැතිව ඇති. ගියානම් ඒක දකින්න තිබුණ.

යන්තම් වැස්ස ටිකක් පායාගෙන ඇවිත්. සියඹලා ගහේ බිමට බරවෙච්ච අතු වල කොළ ඉති එකට එකට ඇලිලා තද නින්දක වගේ. වැහි අන්දකාරෙත් එක්ක මගෙත් ඇස් පියවීගෙන යනව වගෙයි. ඇඳේ ඇලවෙන්න තරම් කොහෙන්ද ඒත් විවේකයක්. වැස්සෙ සැරට ඉරුණු කෙහෙල්ගස්වල කොළ ඕනෑවට එපාවට දෙපැත්තට පැද්දි පැද්දි තිබුණෙ හුළඟ හින්දමයි. හුළඟෙ අනාදරේ කොච්චරද කියනව නම් කෙසෙල් කොළ කීතු කීතුවට ඉරිලා. කෙසෙල් කොළ වල පැද්දිල්ල බලන් හිටපු මගේ හිතට ඉබේම ආවෙ පුංචි කාලෙ අම්ම කියා දීපු කවියක්.

'පිස්සා නං ඔළුව වනයි - පිස්සී නං කැලේ දුවයි'

ඒ පද පේළි දෙක පුංචි හිනාවකුත් එක්ක දිගින් දිගටම කෑ ගහල කියනව වගේ හිත අස්සෙ ඉන්න කවුරුහරි. පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි. කෙහෙල් කොළ පැද්දෙන ලතාවට හිත අස්සෙ එක්කෙනා තාලෙ අල්ලනවා. ඒත් එක්කම මතක් වුණා තවත් කවියක්.

'අබුං කටයි
බත් දෙකටයි
මගේ පුතත්
ඔක්කොම කයි'


හිතේ හිටපු එකා දුවල ගිහිං හැංගුනා වගේ. වචනෙන් කියාගන්න බැරි දුකක් මගේ හිතට ආවා. අම්ම ඉස්සර මටත් එහෙම බත් කැව්වා. 'දෝණි රවුමක් දූවලා එන්න කුරුල්ලෙක් වගේ. ඇවිත් රූං කියල බයියං කට කන්න..... ' වැහි මිදුමෙන් ඈතට ඈතට අම්මගෙ කටහඬ ඇදිල ගියා. හිතේ යාන්තමට මැවීගෙන ආපු රූපෙ මීදුම ගිලත්තා. කොහෙන් ආපු කරුම මීදුමක්ද? ආයෙමත් ඇස් අගට කඳුළු බිංදුවක් ඇවිත් බව දැනුණා. කාලෙකට කලිනුයි මං මටම පොරොන්දු වුණේ ආය කවමදාකවත් මං අඬන් නැහැ කියලා. අම්මගෙන් බත් කට කට කවාගද්දි හිතිල තිබුණෙ නැතත් මමත් මගේ පුංචෙක්ට බත් කවන්නෙ මෙහෙමයි කියලා, එදා පෝරුවට නගින්න කලින් දවසෙ මුළු රෑම ඇහැරගෙන එකින් එක පොර කකා ආපු සිතිවිලි අතර ඒ වගේ සිතිවිල්ලකුත් අහම්බෙන් හරි මතු වෙන්න ඇති කියල මට හිතුණා. ඇස් වලට උනපු කඳුළු ආයෙමත් ඇස් යටටම ගිලාබස්සවන්න මම උඩ බලාගෙන ඇහිපිල්ලන් ගැහුවේ මීදුමත් එක්ක හිතේ ආයෙමත් පුරෝගත්තු මහා බර එක මොහොතකට හරි පැත්තකින් තියන්න ඕන නිසා. කඳුළු කියන දේ ඉස්සරහටත් මට ඕනකරන වටිනා දෙයක් බව තේරුම් අරන් හිටිය නිසා කඳුළු පරිස්සම් කරගන්න අවශ්‍ය වුණත් මම ඒ මොහොතෙදිත් ආයෙමත් මටම වුණ පොරොන්දුව මතක්කරගත්තා.

'දවස පටන්ගත්ත වෙලේ ඉඳල එළිය බලාගෙන මොන මගුලක් කරනවද? ගේ හරියට යක්ස විමානෙ වගේ. අර ලයිට් ටිකවත් දානවා. මේවයෙ බූතයොත් පැටව් ගහයි මෙහෙම ගියොත්'

මගේ සිතිවිලි ලෝකෙ සීසීකඩ විසිරුණේ මගේ තිගැස්සීම නිසා. යාන්තම් පායගෙන ආවත් අහස ආයෙම වහින්න අර අදිනවද කියලා හිතුණෙ ගෙරවිල්ලට කලින් ජනෙල් වීදුරුවෙන් ගෙට පාත් වුණු අකුණක එළිය හින්දයි. පිටදී හිටපු උළුවස්සෙන් මෑත් වෙලා ගේ දිහාවට හැරුණු මගේ ඇස්, හරියටම ඔහුගෙ ඇස් ඉස්සරහ අහම්බෙන් නතරවුණා. ඒත් එක්කම ඒ අකුණු එළියෙන්ම අඩ අඳුරෙ ඔහුගෙ ඇස් වල මම දකින්න අකමැතිම ඒ බැල්ම අඳුරගන්න මට බැරි වුණේ නැහැ. ඔහුගෙ ඇස් දිහා කාලෙකින් කෙලින් නොබලපු බව ඒ අකුණු එළිය මට මතක් කරල දුන්නා.

'ඇඳ හදනවා'

ඕනෑවට එපාවට සඟරාව පෙරළ පෙරළ හිටපු ඔහු මට කිවෙ රෑ කෑම මෙසේ අස් කර කර ඉද්දි. හීල්ලුණ සුසුමට ඔහේ පාවෙන්න ඇරල මම පුරුදු වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න උත්සාහයක යෙදුණෙ සීතලට නොවුණත් මටම වාරු නැතින වෙව්ලන ඇඟිලි තුඩු අවනත කරගන්න උත්සහයක යෙදෙන ගමන්. ඒ නියෝගය හැමදාම ලැබෙන එකක් නොවුණත් මම කවදාවත් කනට අහන්න ආස කරපු නියෝගයක් නෙවෙයි ඒක.

එළියෙ මහ හඬින් වහිනවා. අකුණු එළියට කාමරේ සැරින් සැරේ එළිය වැටුණා. උඩ තට්ටුවේ වහන්න බැරි වුණ දොර හුළඟට ඇරෙමින් වැහෙමින් උළුවස්සට වදින සද්දෙ එක දිගට ඇහුණත් ඔහු කිසි දෙයක් කීවෙ නැහැ. කුස්සියේ තෙමුණු මුල්ල දෝරෙ ගිහින්ද දන්නෙත් නැහැ කියල මට හිතුණා. එළියෙ තෙත මගේ හිතටත් ඕන කළා වුණත්, මගේ ඇඟ උඩ තිබුණ දාඩියෙන් නෑවුණ ඔහුගෙ ගිණියම් ඇඟ නිසා ඒ සීතල තෙත මගේ හිත ගාවට ගන්න පුළුවන්කමක් තිබුණ් නැහැ.

'කි පාරක් කියන්න ඕනද මළමිණියක් වගේ ඉන්ඩ එපා කියලා'

හතියත් හුස්මත් අතර අරගලයට මද විවේකයක් දීලා කඳ කෙලින් කරගත්තු ඔහුගෙ ඇස් මගේ ඇස් වලට එබුණ ඒ තරවටුවත් එක්ක. ඒත් එක්කම ජනේලෙ විනිවිදගෙන ආපු අකුණු එළියෙන් ලා රතු පාටට ඒ ඇස් දිලිසුණා. එකපාරම ඔහුගෙ බැල්ම නපුරුවුණා වගේ මට දැනුණෙ ඒ අකුණු එළියම මගේ සුදුමැලි මූණෙ රටාව ඒ විදිහටම ඇඳල ඔහුගෙ ඇස් දෙකට කේළම් අල්ලන්න ඇති කියල හිතුණු නිසයි. 'තෝ මගේ ජීවිතේ කාලකණ්ණි කළා වල් වේසාවි' මගේ කන් අස්සෙ නිදාන උන්නු ඒ වචන අඬු පඬු දිගහැරල අවදි වෙනවත් එක්කම මම කකුල් තද කරල ඔහුගෙ උකුල හිරකරගත්තා. කොහේවත් නැති කුකුළෙක්ගෙ බෙල්ලක් මතක් වෙද්දිම මම ඇස් තදකරගත්තා ඔහුගෙ ඇස් ආයෙමත් මගේ ඇස් හසුකරගනී කියන බය නිසා. ඔහුගෙ පිට දිගේ ගලන දාඩියෙන් ලිස්සලා යන්නම දඟලපු මගේ අත් වලට, පුළුවන් තරම් උපරිම දහිරිය දාලා වාරුවක් අරන් හිර කරගන්න මම උත්සහ කළා.

අඩු වැඩි වෙන රිද්මය ටිකින් ටික නැති වෙලා යන්න හදද්දි මගේ ඇඟ ඇතුලෙන් ආබාධිත වෙලා හිටපු මොකෙක්දෝ අතපය දිගෑරලා නැගිටින්න හදනව වගේ මට දැණුනත් ඌව නැගිට්ටවල ගන්න කෙනෙක් හිටියෙ නැහැ. ඔහු මගේ ඇඟ මතින් පසෙකට වෙලා අනිත් පැත්ත හැරුණා.

මගේ ඇස් කට්ට කළුපාට අඳුරෙ මමත් නොදන්න දෙයක් හෙව්වා. කවදාවත්ම මට හොයාගන්න බැරිවුණු, සමහරවිට හෙව්වත් ජීවිත කාලෙටම හොයාගන්න බැරිවෙන දෙයක්. ඔහේ බලා ඉන්නව ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නැහැ. ඔහුගෙත් මගේත් එකට කලවම් වුණු දාඩිය පිහදන්න ටිකෙක් ටික එළියෙ දඟලපු සීතල ලං වුණා. 'කල්ප, අනේ ප්ලීස් මට දරු පැටියෙක් දෙන්න' මම මට පුළුවන් උපරිම හඬින් ඒ වෙලේ මුර ගෑවා. මට පිටුපාලා අනිත් පැත්ත හැරිලා යාන්තම් ගොරවන ඔහුගෙ සුව නින්දේ හඬ, මගේ කටහඬත් පරද්දලා මගේ කන් ඇතුළෙ රවුම් ගැහුවෙ හුළඟෙ 'ශෝ' හඬත් එක්ක. හිතේ විලංගු බිඳගෙන ගලපු කඳළු හංගන්න මට අමුතුවෙන් උඩ බලන්න ඕන වුණේ නැහැ...

[සිතුවම: Dimitar Voinov]

තිළිණි ෂැල්වින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails