Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රූප වන්දනාව ශු. බයිබලයට අනුව පාපයකි. අප රටේ ජනතාව විවිධ රූප අඹාගෙන ඒවාට වන්දනාමාන කරති. දෙවියන්ට පිදිය යුතු ගරුත්වය පුද කරති. දෙවියන් සත්‍යය වේ. එහෙත් මේ රූප වන්දනාවෙන් අන්ධ වී ඇති අයට සත්‍යය නොපෙනේ.

"ඔබ අස අසාත් තේරුම් නොගන්නාහුය.
මේ සෙනඟ ගේ සිත් අඟරුය
ඔවුන්ගේ කන් වැසී ඇත.
ඔවුන්ගේ ඇස් පියවී ඇත."
(මතෙව් 13-4-15)


ජේසු තුමා යෙසායා දිවැසිවරයා උපුටා දැක්වීමෙන් පෙනී යන සුපැහැදිලි කරුණ නම්, යෙසායා යුගයේදී පමණක් නොව ජේසුතුමාගේ යුගයේදී ද ජනයා දැක දැකත් නොදකින්නා සේ හා අස අසාත් නොඇසෙන්නාක් සේ සිටින බවත් දැක්වීමටය. ලෝකය තුළ හැම තැනම හැමදාම එහෙමය. ලංකාවේද එහෙමය. එදා ද අදද එසේමය. සම්‍යක් දෘෂ්ටිය යනු නිවැරදි දැකීම ය. මිථ්‍යා දෘෂ්ටිය යනු එහි විරුද්ධාර්ථයයි.

ජනයා, කපාගෙන/ අඹාගෙන වන්දනාමාන කරන මේ රූප මොනවාද?

ජාතිය එකකි. කුලය තව එකකි. පක්ෂය තවත් එකකි. ආගම ද දැන් රූපයකි. පැරැන්නන් ජාතිය කීවේ කුලයටය. "එයා අපේ ජාතියේ කෙනෙක්." "එයා අපේ ජාතියේ නෙමේ." මේ අයුරින් කීවේ ඔවුන් කුලය ගැනය. කුලය යනු පවුල් පරම්පරාවය. පැරණි ක්‍රමය තුළ ඔවුන් කළ යුතුව තිබුනේ එකම ජීවන වෘත්තියක් ය. එබැවින් විවාහය වැනි කාරණාවලදී එකම වෘත්තිය හා බැඳුනු කුල පරම්පරාවක් සමඟ බැඳීම වෘත්තීය ජීවිතය සඳහා පහසු කටයුත්තක් විය. වත්මන් ගෝලීය ධනේශ්වර ආර්ථීක රටාව තුළ කුල ක්‍රමය ප්‍රායෝගිකව අහෝසිය. එහෙත් ඇතැම් කාරණා වලදී මේ රටේ පසුගාමී ජනයා තවමත් කුලය වන්දනාමාන කරති. එය පදනම් කරගෙන අනෙක් අයව හෙළා දකිති.

කතා කරන භාෂාව පදනම් කරගෙන ජාතිය නිර්මාණය වීමට පදනම් දැමුවෝ ඉංග්‍රීසිහුය. ඔවහූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට වාර්ගික පදනමින් නියෝජිතයන් තේරීම හා ඒ සඳහා මැතිවරණ පැවැත්වීම මඟින් ලාංකිකයන් භාෂාමය පදනමින් හා වාර්ගික පදනමින් භේද භින්න වීමට මං සැලසූහ. මෙලෙස භාෂාවත්, ජනවාර්ගිකත්වයත් දෙවියන් කර ගැනීම නිසා මේ රට හෙළු ලේ කඳ අති විශාලය.

මේ රට මහා ආගාධයකට ඇද දමමින්, රටට වින කටින අනෙක් රූප වන්දනාව දක්නට ලැබෙන්නේ පක්ෂ දේශපාලනය තුළය. තමන්ගේ පක්ෂය කරන කියන සියළු දෙය හරි යයි ඔවුහු සිතති. ඔවුන්ගේ සියළු ක්‍රියා සාධාරණීකරණය කරති. ජේ.ආර්. යුගයේදී අන්ධ භක්තියෙන් යූ.ඇන්.පී.යට වන්දනාමාන කළෝ බොහෝ වූහ. උන්නැහේ තමන්ගේ බලය තවත් වැඩි කරගැනීමට අත්තනෝමතික ලෙස ව්‍යවස්ථා වෙනස් කරමින්ද, සංශෝධන ගෙනෙමින්ද, ජනමත විචාරණ පවත්වමින්ද, මැතිවරණ වංචාවලට ඉඩ සලසමින්ද, ජාතිවාදය පෝෂණය කරමින්ද, සට කපට ලෙස නීතිය තමන් අතට ගනිමින්ද, විරුද්ධ පාක්ෂිකයන් මර්දනය කරමින්ද කටයුතු කරද්දී, අන්ධ භක්තියෙන් බොහෝ දෙනා සිය නායකයාට හුරේ දැමූහ. ඔහුගේ ක්‍රියා සාධාරණීකරණය කළහ. එකී පූර්වාදර්ශය ඊටත් වඩා හොඳින් ක්‍රියාවට නැංවූ ප්‍රේමදාසද, චන්ද්‍රිකාද අන්තනෝමතික ලෙස කටයුතු කරද්දී ද අන්ධ පාක්ෂිකයෝ ඒවාද අනුමත කළහ. අද මහින්ද ජනාධිපතිවරයා සකල බලය තමන්වෙත අවශෝෂණය කරගනිමින්, රටේ අධිකරණයේ තීරණවලටද පයින් ගසා, තමන්ට වාසි වන අන්දමට සියල්ල තමන් වටා භ්‍රමණය වන්නට සලස්වද්දී, ඒ සියල්ල හරි යැයි සිතන්නට හා කියන්නට සුවිශාල සෙනඟක් පාක්ෂික අන්ධභාවය තුළ සැදී පැහැදී සිටිති. තවත් බොහෝ අය රට ත්‍රස්තවාදයෙන් මුදා ගත්තේ මහින්දාණ්ඩුව යැයි සිතති. එම නිසා ඕන දහදුරා වැඩක් කරන්නට ඒ කාරණාව ලැයිසන් එක කරගන්නට ඔවුහු ආණ්ඩුවට අවසර දී ඇත.

ආණ්ඩුව ද, එහි පුරෝහිතයෝ ද, එහි රූකඩයෝ ද, ආණ්ඩුව කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී කටයුතු වලට එරෙහිව ජනබලයක් ඒකරාශීවන හැම අවස්ථාවකදීම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කථාව පෙරට ගෙන එති.

ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාව

කොටියාගෙන් නිදහස් කරගත් රට අස්ථාවර කරන්නට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව ආණ්ඩුව හා එහි බත්බැළයෝ හැමවිටම කියති. එසේ කියමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියළුම බලවේග යටපත් කරන්නට හා වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් මර්දනය කරන්නට ඔවුහූ දක්ෂ ලෙස ක්‍රියා කරති. මේ රටේ පොදු ජනතාව දේශපාලන අවබෝධයක් රහිත ගොන් රැළක් බවට පත් කර ඒ ජනතාවට 'බුද්ධිමත් ජනතාවක්' කියමින් තව තවත් ගොනාට අන්දවති. මේ අය විටෙක සම්මන්ත්‍රණ ද පවත්වමින් කියමින් සිටියේ යුද්ධය පවතින කාලයේද රට බෙදන්නට බටහිර අධිරාජ්‍යවාදී රටවලට වුවමනාව තිබූ බවත් ඒ කාලයේ ඒක කරගන්න බැරි වූ නිසා දැන් විවිධ උපක්‍රම පාවිච්චි කරන බවත් ආණ්ඩුව (ආණ්ඩුවේම නීතියට පිටින් ගොස්) ධුරයෙන් ඉවත් කළ අග විනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකද ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ කොටස්කාරියක් බවත් ය. ලංකාවේ තකතීරු ජනතාව මේවා විශ්වාස කරති.



ඇත්ත කථාව නම් ඔය කියන අධිරාජ්‍යවාදී බලවේග වලට LTTEය පැරදවීමේ ලොකු වුවමනාවක් තිබිණි. මන්ද යත් LTTEය යටතේ තිබූ භූමියේ ඔවුන්ගේ ගෝලීය ධනේශ්වර වුවමනාවන් සපුරා ගැනීම අපහසු වී තිබීමය. ගෝලීය ධනේශ්වර වුවමනාවන් සපුරා ගැනීමට බලවත් රජයක් තිබීම වැදගත් වන්නේ එකී ධනේශ්වර ආධිපත්‍යය අදාළ බලවත් රජය හරහා මුලු රට පුරාම පැතිරවීමේ හැකියාව ලැබෙන බැවිනි. එබැවින් ගෝලීය ධනේශ්වරයට සියලු ආණ්ඩුවලට වඩා මහින්දගේ රජය වැදගත් වන්නේ ආණ්ඩුව නැමති පුවරුව තුළ බොහෝ බලවේග කළමණාකරණය කිරීමේ ඉමහත් හැකියාවක් ඔහු සතු බැවින්ය.

යුද්ධයේදී එම බටහිර බලවේග සහයෝගය දුන්නේ LTTEයටවත් දෙමළ අරගලයටවත් නොව මර්දනකාරී රජයටය.

ලංකාවේ දේශප්‍රේමීන් යැයි කියා ගන්නා උදවිය ලංකාණ්ඩුව කොටි පැරදවීම ගැන උදහස්ව ලංකාණ්ඩුවට දැඩි බලපෑම් එල්ල කරමින් රජය අස්ථාවර කරන්නට ඇමරිකන් ආණ්ඩුව ප්‍රමුඛ බටහිර රටවල් උත්සාහ කරන බව කියමින් දිවා රෑ නොබලා ඒවාට දෙස් දෙවොල් තියති. එහෙත් දෙමළ අරගලයට එරෙහි යුද්ධයේ ප්‍රබලතම ආධාරකරුවා වූයේ ඇමරිකාව බව ඔවුහු නොකියති. ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයේදී F.M.F (Foreign Military Financing) යටතේද I.M.E.T (International Military Education and Training) යටතේද ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන ගණන් මූල්‍යාධාර සැපයීය. තවද අති නවීන රේඩාර් මූලික නාවුක නිරීක්ෂණ පද්ධතියක්ද නාවුක යාත්‍රාද ශ්‍රී ලංකාවට සැපයූ අතර ශ්‍රී ලංකා හමුදාව පුහුණු කිරීමේ කටයුතුවලටද නියැළුණි. ශ්‍රී ලංකාවේ හතුරකු ලෙස හුවා දක්වන ඇමරිකාව මෙලෙස යුද්ධයට ආධාර කළ බව මේ කිසිවෙක් ලංකාවේ ජනයාට නොකියන්නේ ඇයි? ඇමරිකාව එක්සත් රාජධානිය ඇතුළු බටහිර බලවතුන් පමණක් නොව ඉන්දියාව චීනය පකිස්ථානය ඊශ්‍රායලය ඉරානය වැනි පෙරදිග ලෝකයේ බලවතුන්ද මේ සඳහා ශ්‍රී ලංකාවට නොමසුරුව ආධාර කළ බව ලක්වැසියන්ට නොකියන්නේ ඇයි? (අදාළ රටවල් යුද්ධයේදී ලංකාණ්ඩුවට උදව් කළ ආකාරය හෙළිදරව් කිරීමට මෙහි ඉඩකඩ මදිය. එබැවින් උදව් කළ බව පමණක් සඳහන් කිරීම ගැන පාඨකයෝ කමත්වා.) ඉන්දියාවට යන රාජ්‍ය නායක හා වෙනත් දූත පිරිස් මේ ගැන ඉන්දියාවේදී ද, ඉන්දියාවෙන් එන දූත පිරිස් හමුවේ ශ්‍රී ලංකාවේදී ද මේ ගැන ඉන්දියාවට ස්තූතියි කියන්නට අමතක නොකරන බව ඒ පිළිබඳව පළ වූ වාර්තා නිරීක්ෂණය කරන්නෙකුට පෙනේ. ඉහත කී බටහිර හා පෙරදිග බලවතුන් යුද්ධයේදී ආණ්ඩුවට ආධාර නොකළේ දැයි හැකිනම් කියන ලෙස අපි ඔය කියන ඊනියා දේශප්‍රේමීන් හා දේශ හිතෛෂීන්ට අභියෝග කරමු. එබැවින් අධිරාජ්‍යවාදී විජාතික බලවේගවල උදව්වෙන් යුද්ධය දිනූ ආණ්ඩුවත් එහි පාර්ශ්වකරුවනුත් උදව් කළ අයටම දෙසා බාන කොට අපට පෙනී යන්නේ අඬන ළමයි රවටන්නට අනෙකාට බොරුවට බනින උන්දෑගේ භූමිකාවය.

"අපේ තකතීරු ගොන් තඩි රවට්ටන්න නම් ඔබතුමන්ලාට බොරුවට බණින්න වෙනවා. ගණන් ගන්න එපා හොඳේ" එසේ නැතිනම්

"උඹලාගේ තකතීරු ගොන් රැළ රවට්ටන්න අපට ඕන තරම් බැන්නට කමක් නෑ ඳේ"

තිරයෙන් පිටුපස සිදුවන දෙබස එවැන්නක් විය යුතුය. අධිරාජ්‍යවාදී විජාතික බලවේගවලට පතුරු ගැලවෙන්න බැණ වදාරණ දේශප්‍රේමියෝ හා ඔවුන්ගේ පවුල්වල උදවිය බේත් ගන්නත් නිවාඩු ගත කරන්නත් අධිරාජ්‍යයේ සරණය සොයා මංගච්චන ආකාරය තකතීරු ජනයාට පෙනෙන්නේවත් ඒ ගැන ඇසෙන්නේවත් නැත. නොඑසේ නම් ඔවුහු දැක දැකත් නොදකිති. අස අසාත් නොඅසති. තවද ලංකාවට කෙරෙන බලපෑම්වලට විරෝධය දැක්වීමක් ලෙස දැනටමත් ඇමරිකන් පුරවැසිභාවය දරන මේ ඇතැම්මු සිය ඇමරිකන් පුරවැසිභාවය ඉල්ලා අස් කරගන්නේ නැත. ඒ ඇයි? ඒත් අප රටේ තකතීරු ජනයාට මේ අයගේ රඟපෑම් තේරෙන්නේ නැත. නොඑසේ නම් තක්කඩිකමට ඇස් කන් පියාගෙන සිටින්නෝය.

ගෝලීය අධිරාජ්‍යවාදයේ ලංකීය මුහුණුවර

ගෝලීය අධිරාජ්‍යවාදය ලෝකය පුරා තම අණසක පතුරුවා ලන්නේ ලෝක වෙළඳ සංවිධානය (W.T.O), ලෝක බැංකුව (W.B) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) හරහා බව රහසක් නොවේය. ජනයාගේ කුසගින්න තුට්ටුවකටවත් මායිම් නොකර ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා යටිතල පහසුකම් සපයන පාරවල්, ගුවන් පාලම්, අධිවේගී මාර්ග, සන්නිවේදන පහසුකම්, සංචාරක පහසුකම් සඳහා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරීමට ඔවුහු සංවර්ධනය යැයි කියති. ඒ සඳහා තුන්වන ලෝකයේ රටවල්වලට ලෝක බැංකුව හා I.M.F හරහා ණය ආධාර සපයති. ඒ සඳහා ඔවුහු කොන්දේසි පණවති. එම කොන්දේසිවලට යට වෙමින් ණය අරගෙන අදාළ රටේ ඇත්ත වුවමනාවන් මත කරන ලද සැලසුම් නොව ඔවුන්ගේ සැලසුම්වලට අනුව කටයුතු කරන ආණ්ඩු තව තවත් ණය උගුල්වල රටම පටලවයි. ලංකාව ලෝක බැංකුවෙන්, I.M.F එකෙන් පමණක් නොව චීනය ඉරානය ඊශ්‍රායලය ඉන්දියාව වැනි වෙනත් බලවත් රාජ්‍යයන්ගෙන්ද ණය හා යුද්ධාධාර ලබාගෙන ඇත. මෙහි ආදීනව තේරුම් ගැනීමට ගමේ පොළී මුදලාලි දෙස බැලීම පමණක් සෑහේ. පොලී මුදලාලි ධනවත් වන්නේ පොළියට දීමෙනි. ණය කරුවා නිසි කලට ණය පොළීද සමඟ ගෙවීමට බැරි වන විට තවත් ණය ගන්නේ ඒවා බේරන්නටය. ඔහු එතැනටද පැටලේ. ඒක බේරන්නටත් එක්කම දැන් තවත් ණය ගන්නට සිදු වේ. ණයට දෙන සියල්ලෝ විගස මහා ධනවතුන් බවට පත්වන විට ණය කරුවා ණය ජාලාවක පැටළී මහා අමාරුවක වැටේ. අපේ රටට වී ඇත්තේ එයය. ගෝලීය ධනේශ්වරයේ නූතන මුහුණුවර දැකිය හැක්කේ පොලී මුදලාලිගේ භූමිකාව තුළින්ය.



අදාල රටවල නායකයන් ඒ සඳහා පොළඹවා ගැනීමට ගෝලීය බලවතුන් අනුගමනය කරන ක්‍රම දැන ගැනීමට නම් දේශහිතෛෂී ව්‍යාපාරය විසින් පරිවර්තනය කර පළ කරන ලද ජෝන් පර්කින්ස් විසින් ලියන ලද ආර්ථීක කුළී ඝාතකයකුගේ පාපොච්චාරණය (Confessions of an Economic Hit Man) යන කෘතිය කියවීම මැනවි. එහෙත් ඛේදවාචකය නම් එම දේශහිතෛෂී ව්‍යාපාරයම කොටියා පැරදවීම නම් ජාත්‍යන්තර උගුලේම පැටලී ගෝලීය අධිරාජ්‍යවාදයට රට පාවා දීමට දායක වී සිටීමය. කොමිස් මුදල් ලබා දීම, පවුල් පරම්පරාවන් කෝටිපතියන් කිරීම, අල්ලස් දීම, අල්ලස් ලෙස කාන්තාවන් ලබා දීම, ඔවුන්ගේ ආරක්ෂාව සහතික වීම වැනි බොහෝ කාරණා ගෝලීය අධිරාජ්‍යවාදයේ වුවමනාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස නිර්ලෝභීව යොදා ගන්නා ආකාරය එම කටයුතුවලට දායක වූ ජෝන් පර්කින්ස් ගේ කෘතියේ මනාව විස්තර කර ඇත.

මේවා ගැන විමර්ශනාත්මකව හොඟන් ඇස් ඇර බලන්නෙකුට නම් ගෝලීය අධිරාජ්‍යවාදයටම බනිමින් එම අධිරාජ්‍යවාදී සැලසුම්වලටම අනුව ක්‍රියාත්මකවන ආණ්ඩුවේ නිරුවත පෙනෙන්නේය. එසේ නොපෙනෙන්නේ එක්කෝ තකතීරු ගොන්තඩියන්ටය. නැතිනම් ස්වාර්ථකාමී තක්කඩියන්ටය.

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails