Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ සිටියේ මගීන් හතර දෙනෙක් පමණි. පළමුවන මගියා සුදු ජාතිකයෙකි. ඔහු ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය. ඔහුගේ හිම කබාය වටිනා එකකි. නිතරම තම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු බසයක් එන තෙක් බලා සිටිය්ය. මෙවැනි පුද්ගලයකු බස්වල යන්නේ කලාතුරකිනි. මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් වීම නිසා හෝ වාහනය අනතුරකට ලක්වීම නිසා ඔහු බස් නැවතුම් පොලේ තපිනවා විය හැක. දෙවැනි මගියා කළු ජාතිකයෙකි. ඔහු බස් නැවතුම් පොලේ ප්ලාස්ටික් පුටුවක අඩ නින්දේ අලස ලෙස දිගාවී සිටියේය. ඔහුගේ හිම කබාය කලු පැහැති අපිරිසිදු අතර මඩ පැල්ලම් වලින් පිරී පැවතුණි. සුමාන දෙකකින්වත් රැවුල කපා නොසිටි නිසා ඔහු කෙරෙන් දිස් වූයේ සාහසික පෙනුමකි. අවට සිටිවුන් ගැන තැකීමක් නොකළ ඔහු ශබ්ද නගා ඈනුම් යැව්වේය. ඔහු කෙරෙන් හැමූ උෂ්ණය නිසා අවශේෂ මගීහු ඔහුගෙන් තරමක් ඈත් වී සිටියහ.

තෙවැනි මගියා ජටාවක් පැළඳි ඉන්දියන් ජාතිකයෙකි. ඔහු තම බිරිඳ සමග බස් රථයක් එන තෙක් බලා සිටියේය. ශීත කාලයේ පවතින අඳුර නිසා ඔවුන් සිටියේ තරමක් නොසන්සුන්වය. හැකි ඉක්මනින් නිවසට යාම ඔවුන්ගේ අභිලාශය විය.

‘‘තවමත් බස් එකක් නෑ මට බයයි. ’’ කාන්තාව තම සැමියාට කිට්ටුව හින්දි බසින් කීවාය. එසේ කියන ගමන් ඇය නිදි කිරන කළු ජාතික මගියා දෙස බැලුවාය.

‘‘අද නිවාඩු දවසක් නිසා බස් වැඩ කරන්නේ දිනපතා කාල සටහනට නෙවෙයි වගෙයි. ’’ සැමියා පිළිතුරු දුන්නේය.

කළු ජාතිකයා ශබ්ද නගා ඈනුමක් ඇර ඉන්දියානු කාන්තාව දෙස යටසින් බැලුවේය. ඒ බැල්මට ඉන්දියානු කාන්තාව බිය ගත්තාය. ඇය තම සැමියාට වඩාත් ලං වූවාය.

‘‘අර මිනිහා අපි දිහා බලනවා, ’’ බිරිඳ සැමියාට කනට කර කීවාය. ‘‘අපි වැඩි වෙලා මෙතන ඉන්න එක හොද නෑ. ටැක්සියක්වත් ගන්න බලමු. ’’ මෙසේ කියන ගමන් කාන්තාව තම අසල තිබූ පෙට්ටි කිහිපය දෙපා අසල තබා ගත්තාය. මෙම තෑගි පෙට්ටි ඇය ගත්තේ ලබන මස කසාද බඳින ඇයගේ නැගණියට තෑගි දීමටය. බ්රැම්ප්ටන් වල වසන නැගණිය වෘත්තියෙන් හෙදියකි. ඇයගේ අත ගන්නා තරුණයා තව නොබෝ දිනකින් බර්නාලා සිට ඒමට නියමිතය.

‘‘අපි ටැක්සියක් ගමුද? ’’ ඇය යළි සැමියාගෙන් ඇසුවාය.

‘‘අපෝ ටැක්සියකට මහ ගාණක් ගනී. තවත් ටිකකින් බස් එකක් එයි. ’’ සැමියා කීවේ ස්ථීර හඬකිනි. මදක් කල්පනා කළ ඔහු සුදු ජාතිකයා අසලට ගියේය.

‘‘සුබ සැන්දෑවක් ! සමාවෙන්න කරදර කළාට. රිච්මන්ඞ් හිල්වලට යන බස් එක කීයටද එන්නේ ? ’’

සුදු ජාතිකයා නොරිස්සුම් ලෙස ජටාවක් පැළඳි විදේශිකයා දෙස බැලුවේය. ඇසූ ප‍්‍රශ්නය වැටහුණද විදේශිකයාගේ ඉන්දියානු උච්ඡුාරණය නොතේරුණාක් මෙන් ඔහු ඇඟවූයේය. ඉන්දියානු ජාතිකයා යලිත් වරක් ආචාරශීලීව එම ප‍්‍රශ්නය ඇසීය.

මෙවර සුදු ජාතිකයා පිළිතුරු දුන්නේ තමා ගමනා ගමන මණ්ඩලයේ සේවකයකු නොවන බවත්, බස් කාල සටහන නැවතුම් පොලේ තොරතුරු කාර්යාලයෙන් ලබා ගත හැකි බව කියමිනි. මෙය ඕනෑම කුඩා දරුවෙකු පවා දන්නා කරුණකි. මෙවැනි පිළිතුරක් ඉන්දියානු ජාතිකයා අපේක්ෂා නොකළේය. බස් නැවතුම් පොලේ තොරතුරු කාර්යාලය තරමක් දුරය. බිරිඳ මෙතැන තබා තොරතුරු කාර්යාලයට යාමට ඔහුට සිත් නොදේ. සුදු ජාතිකයාගේ උදාසීන පිළිතුර නිසා තරමක් නොසන්සුන් වූ ඔහු බිරිඳ අසලට ගියේය.

‘‘කීයටද බස් එක එනවා කියන්නේ? ’’ ඇය ඇසුවාය.

‘‘තව පැය බාගයකින් විතරලු. ’’ සැමියා කීවේ ඔරලෝසුව දෙස බලන ගමන්ය.

කළු ජාතිකයා තවත් ඈනුමක් ඇර සිගරට්ටුවක් දල්වා ගත්තේය. මෙතන දුම්බීම තහනම් බව දැක්වෙන දැන්වීමක්ද තිබේ. එහෙත් ඒ පිළිබඳව ඔහුට ගණනක් නැත.

‘‘මේ මිනිහා මෙතන සිගරට් බොනවා හරි ගඳයි, ’’ බිරිඳ සැමියාට කීවාය. ‘‘පොලීසියෙන්වත් පේන්න නැහැ. ’’

‘‘කෑගහන්න එපා. ඔයා හින්දි වලින් කීවට පොලීසිය කියන වචනය මිනිහට තේරෙන්න ඇති. මූ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් වගේ. ඔය බොන්නේ කේඑස්ජී එකක්ද කොහේද. ’’ සැමියා කේඑස්ජී ලෙස හැඳින්වූයේ කේරළ ස්පෙෂල් ගංජා යන අරුත දෙන ගංජා සුරුට්ටුවක් හැඳින්වීමටය. ඔහු ගංජා යන වචනය භාවිත නොකළේ එය කළු ජාතිකයාට තේරෙනු ඇතැයි සිතා ගෙනය.

‘‘මුං වගේ එවුන්ව අරගෙන ගිහිල්ලා හිර කරන්න ඕනෑ. මුම්බායි වල පොලීසිය නම් මේ වගේ කාළකණ්නින්ට දෙනවා ඇටකටු කැඩිලා යන්න. කොහේද මෙහේ මානව හිමිකම් අරවා මේවා නිසා මේ වගේ කාලකණ්නීන් වැහි වැහලා. ඉක්මණට බස් එකක් ආවොත් කොච්චර එකක්ද. රෑ වුනොත් මූ අපිට පිහියක්වත් ඇදලා ඉණ ඉහ අතගා ගනී. ’’ ඔහු සිතුවේය.

‘‘අනේ අර බලන්න, ’’ බිරිඳ පිළිකුලෙන් යුතුව කීවාය. ‘‘අර මිනිහා කිඹුහුමක් යවලා නහයෙන් ගලපු හොටු අල්ලෙන් පිස දැම්මා. හරිම ඌරෙක්, මගේ බඩත් දඟලනවා. මට වමනේ යන්න වගේ. ’’ ඇය අල්ලෙන් කට වසා ගත්තාය.

ඉන්දියානු කාන්තාව යලිත් කළු ජාතිකයා දෙස පිළිකුලෙන් බැලූවාය. එය කළු ජාතිකයාගේ අවධානයට අසුවේදැයි බියගත් සැමියා තෑගි පෙට්ටි උසුලා ගෙන වෙනත් අසුනක් වෙත ගියේය. දැන් ඔවුන් සිටිනුයේ කළු ජාතිකයා නොපෙනෙන ස්ථානයකය. මෙම ස්ථානය අසලම දොරටුව ඇති නිසා සීත ගතිය වැඩිපුර දැනේ. නමුත් හිටපු ස්ථානයට වඩා මෙතැන හොඳ බව ඔහු සිතෙන් තර්ක කළේය. වමනය දැමීමට තදින්ම අවශ්‍ය කළ කාන්තාව දෙනෙත් ඇඟිලි වලින් සම්බාහනය කරමින් සැමියා අසළ වාඩි වූවාය.

ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් බස් රථය පැමිණියේය. සැමියා වහාම තෑගි පෙට්ටි අතට ගෙන බිරිඳ සමග බස් රථයට ගොඩවූයේ දෙවියන්ට ස්තූති කරමිනි. සුදු ජාතිකයා සන්සුන් ලෙස බස් රථයට ගොඩවී ඉන්දියානු යුවල වාඩිවූ ස්ථානයට බොහෝ ඈතින් වූ අසුනක වාඩි විය. කළු ජාතිකයා පමණක් බස් නැවතුම් පොලේ වාඩිවී සිටි අයුරින්ම සිටියේය. බස් රථය ගැන ඔහු කිසිම තැකීමක් නොකළේය. ඔහු බස් රථයට ගොඩ නොවීම සියලුම මගීන්ගේ අපේක්ෂාව වූවා සේය.

බස් රථය පිටත් විය. බිරිඳ සැනසුම් සුසුමක් හෙලුවාය. ඇයගේ වමනය ගතියද පහවී ගොසිනි. මහාමාර්ගයේ වාහන අඩු නිසා බස් රථය ගමන් කළේ මදක් වේගයෙනි. එම නිසා ඔවුන්ට වැඩි පමාවක් නොවී තම නිවසට ඒමට හැකිවිය. නිවසට පැමිණි වහාම සැමියා තෑගි පෙට්ටි සාලයේ සෙටිය මත තැබුවේය. උණුසුම් කෝපි කෝප්පයක අවශ්‍යතාවය ඔහුට තදින්ම දැණුනේය. සීත නිසා ඔහුගේ දෙකන් ගල්වී ඇති සේය. බිරිඳ ඇඳුම් මාරුකිරීමට උඩු මහළයට ගියාය. මුලුතැන්ගෙට ගිය සැමියා කෝපි කෝප්පයක් බීම සඳහා විදුලි කේතලය කි‍්‍රයාත්මක කළේය.

උඩු මහළට ගිය බිරිඳ කෑ ගසමින් සැමියා සොයා මුළුතැන්ගෙට දුවගෙන ආවාය. බිරිඳගේ කෑ ගැසීම අසා ඔහුද කළබල විය.

‘‘මොකද? මොකද? ’’ ගොතගසමින් ඔහු ඇසීය.

‘‘මගේ පර්ස් එක නැහැ, ’’ බිරිඳ වැලපුණාය. ‘‘මගේ පාස්පෝට්, ක්‍රෙඩිට් කාඞ් ඔක්කොම ඒකේ. සල්ලිත් ඩොලර් 500 ක් තිබුණා. ’’

‘‘ඔයා කොහෙද පර්ස් එක තිබ්බේ? ’’ සැමියා ඇසුවේ හිස අතගසා ගනිමිනි.

‘‘මට හිතා ගන්න බෑ බස් නැවතුම් පොලේ වැටුණද නැතිනම් බස් එකේ වැටුණද කියල. මට මතකයි මම තෑගි වලට ගෙවන්න ක්‍රෙඩිට් කාඞ් එක ගන්න පර්ස් එක අරිනවා. ’’ බිරිඳ කීවාය.

‘‘හරි, හරි. ඊට පස්සේ? ’’ සැමියා නොඉවසිලිමත්ව ඇයගෙන් විමසුවේය.

‘‘අනේ මගේ ඔලුව වැඩ කරන්නේ නැහැ. මට දැන් මතක නෑ, ’’ බිරිඳ අඩමින් කීවාය. ‘‘අපි බස් නැවතුම් පොලේ කලබලයට තෑගි පෙට්ටි අරගෙන වාඩි වෙලා හිටිතැන් මාරු කරන කොට වැටුණාවත්ද? ’’

සැමියා මොහොතක් කල්පනා කළේය. ඔහු තම මිතුරු හරිනත් සින්ග්ට දුරකථන ඇමතුමක් දුන්නේය. මිතුරාගේ උපදෙස් ඇසූ ඔහු ව්‍යාකූල විය.

‘‘මේක ලොකු ප‍්‍රශ්නයක්, ’’ ඔහු බිරිඳ ඇමතුවේය. ‘‘හරිනාත් සිං කියනවා වහාම බැංකුවට කෝල් කරලා ක්‍රෙඩිට් කාඞ් එක අවලංගු කරන්න කියලා. ඔයාට බැංකුවේ නොම්මරය මතකද? ’’

බිරිඳ බැංකවේ දුරකථන අංකය සෙවීමට ඇයගේ දිනපොත පෙරලුවාය. ඒ අතර වාරයේ නිවසේ දුරකථනය නාද විය. සැමියා දුරකථනයේ රිසීවරය අතට ගත්තේ හරිනාත් සිං විය හැකියැයි සිතමිනි. එහෙත් ඔහුගේ පුදුමයට මෙන් අනෙක් කොනින් කථාකළේ කාන්තාවකි.

‘‘මට දේවි කිරාන් මහත්මියට කතා කරන්න පුලුවන්ද? ’’ ඇය ආචාරශීලිව ඇසුවාය.

‘‘මේ කතා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා, මහේන්ද්‍ර සිං. ’’ ඔහු කීය.

‘‘සර් ඔබගේ බිරිඳගේ පර්ස් එක අපගේ ෆින්ච් බස් නැවතුම් පොලේ කාර්යාලයට බාරදී තිබෙනවා. ඔබ හැඳුනුම්පතක් අරගෙන ආවොත් එය ලබා ගත හැකියි. නමුත් අපි තව පැය දෙකකින් කාර්යාලය වහනවා. අද එන්න අපහසු නම් හෙට උදේ එන්න. ’’ කාන්තාව ඔහුට කීවාය.

‘‘හරි, අපි දැන් එන්නම්, ’’ මහේන්ද්‍ර සින්ග් කාන්තාව දුන් තොරතුරු වහ වහාම ලියා ගත්තේය. ‘‘දේවි, ’’ ඔහු උද්දාමයෙන් බිරිඳට කතා කළේය. ‘‘ඔයාගේ පර්ස් එක බස් නැවතුම් පලේ කාර්යාලයේ තියෙනවා, අපි දැන්මම යමු. ’’

ඔවුහු ටැක්සියක නැගී යලි බස් නැවතුම් පොල වෙත ගියහ. ඔවුන් දෙදෙනා පිළිගත් කාන්තාව හැඳුනුම්පත් පරීක්ෂා කොට කිරාන් දේවිට ඇයගේ පසුම්බිය දුන්නාය. එහි ලියකියවිලි සහ මුදල් නොඅඩුව තිබිණි.

‘‘ඔබලා හරිම වාසනාවන්තයි. හොද වෙලාවට වැන්සන්ට මේ පර්ස් එක හමුවූයේ. වෙන කෙනෙකු ඇහුලුවා නම් මේක දකින්නට වත් ලැබෙන්නේ නැහැ. ’’ ඇය සිනා මුසු මුහුණින් කීවාය.

‘‘ කවුද වැන්සන්? ’’ දේවි කිරාන් ඇසුවාය. ‘‘එයාද පර්ස් එක බාර දුන්නේ. මට එයාට ස්තූති කරන්න අවශ්‍යයි. ’’

‘‘අර ඉන්නේ වැන්සන්. ’’ ඇය කාර්යාලයේ වීදුරු දොරටුව ආසන්නයේ පුටුවක වාඩිවී නිදි කිරන පුද්ගලයකු දේවි කිරාන්ට පෙන්වූවාය,

ඔහුව දැකීමෙන් දේවි කිරාන් පමණක් නොව මහේන්ද්‍ර සිං ද විමතියට පත්විය.

‘‘මොනවා, මේ අර බස් නැවතුම් පොලේ සිටි කළු ජාතිකයා නේද? ’’ දේවි කිරාන් සැමියාගෙන් හිංදි බසින් ඇසුවාය.

ඉක්බිතිව ඔවුන් දෙදෙනා වැන්සන් අසලට ගියේය.

‘‘වැන්සන් මහත්මයා, ඔබට ගොඩක් ස්තූතියි මගේ පර්ස් එක බාර දුන්නාට. ’’ දේවි කිරාන් කීවාය.

වැන්සන් ඔවුන් දෙස යටැසින් බැලුවේය.

‘‘වැන්සන් මහත්මයා ඔබට ස්තූති කරන්න මට වචන නැහැ. ’’ මහේන්ද්‍ර සිං ද කීවේය. ඔහු තම පසුම්බිය හැර ඩොලර් 20 නෝට්ටුවක් වැන්සන් අත තැබීය.

‘‘එපා, ’’ වැන්සන් මුදල් ප‍්‍රතික්ෂේප කළේය. ‘‘මේ වගේ දෙයක් කරලා සල්ලි ගන්නේ කවුද? ’’

‘‘මම කළේ මගේ යුතුකම. දැන් සර්රුයි, මැඩමුයි යන්න. රෑ වෙන්නයි යන්නේ. ’’

දේවි කිරාන් වැන්සන් ගේ විශාල ගොරහැඩි දෑත් තම මෘදු දෙඅත් වලින් අල්ලා ගත්තාය. ‘‘මහත්මයා, ඔබ කළ මේ උපකාරයට මිලක් නියම කරනවා නොවේ. ඒ නිසා මේ නෝට්ටුව ගන්න. නැත්නම් අපේ හිතට හරි නැහැ. ’’

වැන්සන් මඳක් සිනා සුනේය.

‘‘හරි, හරි. සල්ලි එපා. පුළුවන් නම් අර ස්ටාර් බක්ස් එකෙන් මට මධ්‍යම ප‍්‍රමාණයේ ඩබල් එකක් (කෝපි කොප්පයක් කිරි සහ සීනි සමඟ) අරගෙන දෙන්න. ’’ ඔහු මදක් නුදුරේ තිබූ ස්ටාර් බක්ස් කෝපි අවන් හලක් පෙන්වීය.

මහේන්ද්‍ර සිං වැන්සන්ගේ කරට අත දැමුවේය.

‘‘වැන්සන් මහත්මයා, මමත් බොහොම පිපාසයේ සිටියේ කෝපි උගුරක් බීමට. අපි ඔක්කොම යමු ස්ටාර් බක්ස් එකට මොනව හරි කාලා කෝපි ටිකක් බොන්න. ’’

ඔවුන් තිදෙනා කෝපි අවන්හල කරා පියමන් කළහ.

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails