Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පූර්විකාව

මෙම ලිපිය මහාචාර්ය කේ. කරුණාතිලක මහතා විසින් ලියන ලද ‘බොදු බල සේනා, ශිව් සේනා සහ ශී‍්‍ර ලංකාවේ අනාගතය’ ලිපියට පිලිතුරක් ලෙස ලියන ලද්දකි. එය 2013 අපේ‍්‍රල් 21 වන දින ඉරිදා දිවයින පත‍්‍රයේ කතුවැකියට දකුණු පසින් පළවිය.
මෙම කෙටි ලිවීම ඔස්සේ මාගේ අරමුණ වූයේ වර්තමාන සමාජයේ ඉතා තීරණාත්මක වාද විෂයක් බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ ආන්දෝලනාත්මක සමාජ භාවිතාව පිලිබඳව හුදු හැඟීම්බර ප‍්‍රලාපයන් හෝ ග‍්‍රාම්‍ය කටමැත දෙඩවීම්වලට එහා ගිය විධිමත් කියවීමක් සඳහා වන සංවාදයක් සඳහා මංපෙත් විවර කරගැනීමයි.

ඒ අනුව මෙම ලිපිය අපේ‍්‍රල් මස 23 වන දිවයින පුවත්පත වෙත ම විසින් යොමු කරන ලද්දේ මාගේ ලිපියට නිමිත්ත සැපයූ මහාචාර්ය කරුණාතිලකගේ මුල් පිලිය එම පවුත්පතේ පළවූවක් වන බැවිනි. ඊළඟට පළවූ ඉරිදා දිවයින පුවත්පත් දෙකෙහිම මාගේ ලිපිය පළ නොවූ අතර මේ ඉරිදා (මැයි 12) දිවයින පුවත්පතේ කර්තෘට ලියන ලිපි ඇතුලත් ‘ජනහමුව’ නමින් නම්කොට ඇති පිටුවේ ‘බෝතලේ අඬුපේ පාරට කාපට් දමන්න’, ‘මහ ඇමතිතුමනි ඇතාකඩ කුඹුරු රැකදෙන්න’, ‘කුඩා යාල පාලම ඉදිකිරීම් අතරමඟ නැවතිලා’ යන පාඨකයින් විසින් එවන ලද ප‍්‍රාදේශීය ගැටළු පිලිබඳ කෙටි ලිපි අතර මෙම ලිපියද පළකොට තිබින. වඩාත්ම බරපතල කාරණය මාගේ ලිපියේ මූලික තර්කයට අදාලව මා ඉදිරිපතර කර සිටි හිස්බුල්ලා සංවිධානය සහ බොදු බල සේනා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවය සම්බන්ධයෙන් වූ ‍ඡේද කිහිපය සම්පූර්ණයෙන් ලිපියෙන් කපා හැර තිබීමයි. දිවයින පළකළ ලිපියේ හිස්බුල්ලා යන වචනය පවා නොවූ නමුත් ලිපියට මා යොදා තිබූ ‘හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව’ යන ශීර්ෂය එසේම තබා තිබුණි. මාගේ ලිවීම පළ නොකර සිටියේ නම් එකී කි‍්‍රයාව මා දේශපාලනික ප‍්‍රතිචාරයක් ලෙස භාරගනිමි. ඒ සම්බන්ධයෙන් මාගේ විරෝධතාවයක් නොවන්නේ ජනමාධ්‍යයන්ට දේශපාලනයක් පවතින බවත්, එය අහිංසක කි‍්‍රයාකාරීත්වයක් නොවන බවත් අප නොදන්නා දෙයක් නොවන බැවිනි. නමුත් මෙම කි‍්‍රයාව වටහා ගන්නේ කෙසේද ?

මා දකින ආකාරයට මෙය මෙරටේ අතීතයේ පැවැති මාධ්‍ය සම්ප‍්‍රදාය සහ අද පවතින මාධ්‍ය සම්ප‍්‍රදාය පිලිබඳ ප‍්‍රායෝගික නිදර්ශනයකි. එකල වියහැකිව තිබුණේ මෙම ලිපිය තම පුවත්පතේ දේශපාලනය හා නොගැලපුනද එය පළකොට, පසුව එයට ශක්තිමත් පිලිතුරක් සම්පාදනය කරමින් එහි මූලික තර්කයන්හි වලංගුභාවය අභියෝගයට ලක්කිරීමයි. නැතිනම් එම ලිපිය පළ නොකර විසිකර දැමීමයි. නමුත් වර්තමාන කර්තෘ මණ්ඩලයේ මෙම කි‍්‍රයාකාරීත්වය විසින් නිරූපනය කරන්නේ මෙරට ජනමාධ්‍ය ඇදවැටි ඇති නිවට ආස්ථානය යි. තවදුරටත් මේ කර්තෘ මණ්ඩලයට ඇත්තේ තමන් විසින් පෙනී සිටින දේශපාලන ආස්ථානයක් නොව කුහක අවස්ථාවාදී, තම මතය වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට තරම් කොන්දක් නැති හැසිරීම්ය. පසුව මොවුහු සමාජය ඉදිරියේ මෙරට හරවත්, බුද්ධිමත් සංවාදයන් නැති බවත්, සමාජය බුද්ධිමය වශයෙන් පිරිහෙමින් ඇති බවටත් කෙඳිරිගාමින් නැවත තමන්ගේ පත්තර පඩංගු ඔස්සේ සමාජයට කැත වැඩ කිරීම කරගෙන යති. එමනිසා වර්තමානයේ අප ඉදිරියේ සිටින්නේ අතීතයේ මෙන් සතුරාට මුහුණට මුහුණ අභිමුඛ වෙමින් ඔහු හා සටන් කරන එදිරිවාදියකු නොවේ. කැත වැඩ කරමින් නිවටයින් මෙන් අභියෝග මඟහැර සිටින දුර්වලයින්ය. මෙය මෙම ලිපියට අදාල සිදුවීමෙන් ඔබ්බෙහි වර්තමානයේ සමාජීයවද පවත්නා ප‍්‍රවණතාවයක් ලෙස හඳුනාගැනීමට මම යෝජනා කර සිටිමි. එමෙන්ම මෙම කුහක කි‍්‍රයාකාරීත්වය මහාචාර්ය කරුණාතිලක මහතා නියෝජනය කරන බුද්ධිමය සම්ප‍්‍රදායේ උරුමය නොවන බැවින් කුමන දේශපාලන ආස්ථානයක් දැරූවද මෙම ලිවීම ඔහු වැන්නන් විසින් වැදගත් ලෙස භාරගනු ඇතැයි මම විශ්වාස කරමි. අද දවසේ මුග්ධත්වය විසින් යටපත් කරමින් පවතින්නේ එකී සම්ප‍්‍රදායයි.

ඉහත කී කරුණු හේතුවෙන් ඔබ කියවන මෙම ලිපිය, ඔබ නොකියවූ ප‍්‍රශ්නයකට ලියන ලද පිලිතුරකි. ප‍්‍රශ්නය ඔබ අවට සමාජයේ ඇත. එබැවින් ඔබ දැනටමත් එය කියවා ඇතැයි මම උපකල්පනය කරමි.

හිස්බුල්ලා, බොදු බල සේනා සහ අනාගත ශී‍්‍ර ලංකාව

බොදු බල සේනා සංවිධානය බිහිවීම සහ එහි ආන්දෝලනාත්මක සමාජ කි‍්‍රයාකාරීත්වය අද දවසේ අපගේ ගැඹුරු අවධානයට ලක්විය යුත්තක්ය යන්න අවිවාදිත ය. ලාංකීය සමාජය අභිමුවේ ඇති මෙම නව වාද විෂය හමුවේ මෙරට ශාස්ත‍්‍රාලීය ප‍්‍රජාව, විද්වතුන් සහ සමාජ කි‍්‍රයාකාරීන් නීද්‍රාශීලීව සිටින මොහොතක මහාචාර්ය කේ. කරුණාතිලක මහතා ‘බොදු බල සේනා, ශිව් සේනා සහ ශී‍්‍ර ලංකාවේ අනාගතය’ යන ලිවීම හරහා සිදු කරන මැදිහත්වීම වැදගත් යැයි මම කල්පනා කරමි. එම ලිපියෙන් ඔහු ආමන්ත‍්‍රණය කරන්නේ බොදු බල සේනා සංවිධානය වෙතය. එකී ප‍්‍රවේශය හේතුකොටගෙන, ඔහුගේම වචන වලින්ම කියන්නේ නම් "ලාංකීය සමාජය මුහුණ දෙන උභතෝකෝටිකය" වඩාත් පුලූල් ලෙස වටහා ගැනීමට තිබූ අවස්ථාව ඔහු මඟහැර යන්නේය යන්න මාගේ අදහසයි.

මා දකින ආකාරයට බොදු බල සේනාව විසින් නියෝජනය කරනු ලබන්නේ කි‍්‍රස්තියානි මිෂනාරි ව්‍යාපාරයට මුහුණදීම පිණිස 19 වන සියවස මැද භාගයේ දී නිපදවනලද සමාජ දේශපාලන නිර්මිතයක් වන නූතනවාදී බුදු දහම (බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය) සහ එහි ප‍්‍රකාශකයා ලෙස සමාජගත කරන ලද නව භික්‍ෂු භූමිකාවයි. පානදුරාවාදය, 1883 සිංහල කි‍්‍රස්තියානි කෝලාහලය, අනගාරික ධර්මපාල තුමා, විද්‍යාලංකාර ප‍්‍රකාශනය, ජාතික සංඝ සභාව, ජාතික හෙළ උරුමය යනාදී වශයෙන් මෙම නූතන බුදු දහමේ විකාශනය ඌනිතව සටහන් කළ හැක. මහාචාර්ය කරුණාතිලක "භික්‍ෂූන්ගේ සටන් භූමිකාව, බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ස්වකීය ආත්ම විමුක්ති මාර්ගයෙන් බැහැරව සමාජීය වගකීම් පවරාගැනීම සහ බෞද්ධයින් අතර නවීනතාවයට ඇති කැමැත්ත" යනාදී වශයෙන් සඳහන් කරද්දී කිසියම් ආකරයකට නූතන බුදු දහම සහ එහි පරමාදර්ශ කථිකයා බවට පත්වූ රැඩිකල් ආව්ගශීලී භික්‍ෂුව මෙහි පසුබිමේ හඳුනාගනී. නමුත් එහිදී අවධානයට ලක්විය යුතු වැදගත් නිරීක්‍ෂණයන් කිහිපයක්ම කරුණාතිලක මහතාට අතපසු වන අතර එනයින්ම ඒ මත පදනම්ව සිදුකළ හැකිව තිබූ විශ්ලේෂණයද ඔහුගෙන් මඟහැරී යයි.

බොදු බල සේනා සංවිධානයේ දැක්ම ලෙසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ 1978 ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති "ශී‍්‍ර ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂාකර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය" යන්න තහවුරු කරමින් එය අනාගත පරපුරටද උරුමකර දීමයි. ඒ අනුව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදී බුද්ධ ශාසනය සුරක්‍ෂිතකොට පෝෂණය කිරීම පිණිස විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කිරීම එහි මෙහෙවර වෙයි. එකී මෙහෙවර කි‍්‍රයාත්මක කිරීම සඳහා බොදු බල සේනාව ප‍්‍රධාන අංශ අටක් මත සංවිධානය වෙමින් පවතී. එනම්, බොදු බල සේනා ස්වේච්ඡා බලකාය, බෞද්ධ නායකත්ව පුහුණු ආයතනය, බොදු බල සේනා නීති ආධාර අංශය, බෞද්ධ දුක්ගන්නාරාල, බෞද්ධ බැංකුව, බොදු බල සේනා බෞද්ධ සංවර්ධන භාර අරමුදල, බෞද්ධ ව්‍යාපාර සම්මේලනය සහ බොදු බල සේනා සමාජ ඒකාබද්ධතා වැඩසටහනයි. අප සුපරික්‍ෂාකාරීව මෙම කි‍්‍රයාවලිය නිරීක්‍ෂණය කළහොත් පෙනී යන කරුණ වන්නේ මෙකී අංශ අට ඔස්සේ සමස්ථ ලාංකීය බෞද්ධ සමාජයම කිසියම් ආකාරයක නව්‍ය වූ සුසම්බන්ධ කිරීමකට ලක්කිරීමේ හැකියාවක් පවතින බවයි. දැනටමත් එය සිදුවෙමින් පවතී. බොදු බල සේනා සංවිධානය ඉතා කෙටි කාලයක් තුල බිම් මට්මින් පෙන්වන වර්ධනය ඒ පිලිබඳව සාක්‍ෂි සපයයි.

නමුත් මෙහිදී එකී සංවිධානය සුවිශේෂීත්වය වන්නේ එයට ඊළඟ ඡන්දයේදී පාර්ලිමේන්තුවට ගොස් ආසන කිහිපයක් දිනාගැනීමේ අදහසක් නොමැති බැවිනි. ඒ වෙනුවට එය වෙනම ආර්ථික ශක්තියක්, නීති පද්ධතිය වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීම්, සුභසාධන යාන්ත‍්‍රණයක් සහ මෙකී කාර්යයන් කි‍්‍රයාවේ යෙදවීම සඳහා වන කේඩරයක්, එනම් රාජ්‍යය විසින් ඉටු කළයුතු භූමිකාවක් එය විසින් ඉටු කරමින් සිටියි. වරක් රූපවාහිනී සාකච්ඡාවකදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප‍්‍රකාශකර සිටියේ ශී‍්‍ර ලංකාව තුල බුද්ධාගම වසර දහස් ගණනක් පැවත ඇති බැවින් මේ රටේ භික්‍ෂූන් වහන්සේට මෙරටේ ගමන් මඟ තීරණය කිරීමේ, මෙහෙයවීමේ ඵෙතිහාසික දේශපාලනික අයිතිවාසිකම පවතින බවයි. ඔවුන්ගේම වචනවලට අනුව, ඔවුන් "මේ රටේ බෞද්ධයා වෙනුවෙන් නිල නොවන පොලීසිය" යි. ඇත්තෙන්ම මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද ? මේ අර්ථයෙන් ගත්කළ බොදු බල සේනා යනු තවත් එක් සංවිධානයක් නොව ශී‍්‍ර ලංකා රාජ්‍යය තුල නිර්මාණය කෙරෙමින් පවත්නා තවත් රාජ්‍යයක් (State within state) ය යන්න මාගේ තර්කය යි.

මෑතකදී බොදු බල සේනා මූලස්ථානය ඉදිරිපිට ඉටිපන්දම් දල්වමින් සිදු කෙරුණු සාමකාමී උද්ඝෝෂණය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය කටයුතු කළ ආකාරය තුල මෙය මැනවින් නිරූපනය විය. ඔවුන් විරෝධතා කරුවන්ගෙන් විමසා සිටියේ "ඔබලා බෞද්ධයින්ද ? ඔබලා බෞද්ධ නම් ඔබ කොහොමද බෞද්ධාගමට විරුද්ධ වෙන්නෙ" යන්නයි. මෙය අප වටහා ගන්නේ කෙසේ ද ? එය සරළ ය. ඔවුන් විමසා සිටියේ සිංහල බෞද්ධ රාජ්‍යය තුල එහි පුරවැසියන් බෞද්ධාගමට විරුද්ධ වෙන්නේ කෙසේද ? යන්නයි. ශී‍්‍ර ලංකා රාජ්‍ය තුල කිසියම් සංවිධානයකට එරෙහිව සාමකාමී විරෝධතාවයකට අවසර තිබෙන නමුත් සිංහල බෞද්ධ රාජ්‍ය තුල සිංහල බෞද්ධ සංවිධානයකට එරෙහිව විරෝධය දැක්වීම යනු රාජ්‍යයට එරෙහිව යාමක් වෙයි.

මා කල්පනා කරන ආකාරයට බොදු බල සේනා සංවිධානය විදේශීය සංවිධානයක් හා සන්සන්දනය කරන්නේ නම් එය කළ යුතු වන්නේ නූතනත්ව විරෝධයක් කේන්ද්‍රකොටගත් ශිව සේනා සංවිධානය සමඟ නොව අතිශය නූතනවාදී හිස්බුල්ලා වැනි සංවිධානයක් සමඟ ය. හිස්බුල්ලා සංවිධානය යනු මේ වන විට ලෙබනන් රාජ්‍ය තුල පිටිහි රාජ්‍යය (State within state) කි. ෂෙයික් ඉබ‍්‍රාහිම් අල් අමීන් විසින් 1985 දී සකස් කරනු ලැබූ හිස්බුල්ලා සංවිධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දැක්වෙන පරිදි එම සංවිධානයේ පරමාර්ථය වන්නේ "කුරානය සහ සුන්නා මූලාශ‍්‍රයන්ට අනුකූල වූ සමාජයක් නිර්මාණය කිරීම" යි. හිස්බුල්ලා සංවිධානයට අයත් ඉස්ලාමීය ව්‍යාපාර ජාලයන්, රෝහල්, පාසැල්, රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා එරට තුල කි‍්‍රයාත්මක වේ. ඒවායින් ලැබෙන ලාභයෙන් රටේ ඉස්ලාමීය ප‍්‍රජාව වෙත නිවාස හා පොදු පහසුකම් ලබාදෙනු ලැබේ. හිස්බුල්ලා සංවිධානයේ ස්වේච්ඡා සටන්කරුවන් විශාල ප‍්‍රමාණයක් ලෙබනන හමුදාවට අනුයුක්තව සිටිති. මුල්කාලීනව හිස්බුල්ලා සංවිධානය වර්ධනය වන විට ලෙබනන ආණ්ඩුව ස්වකීය ජනප‍්‍රසාදය රැකගනු පිණිස උපායමාර්ගිකව හිස්බුල්ලා සංවිධානයට උපකාර කරන ලදී. නමුත් අද වන විට හිස්බුල්ලා සවිධානය විසින් ලෙබනන රාජ්‍යය ගිලගෙන අවසන්ය. එරට කිසිදු දේශපාලන නායකයකුට හිස්බුල්ලා සංවිධානයේ අණසකට පිටතින් කටයුතු කළ නොහැක. එරට අගමැති රෆීක් හරීරි ව හිස්බුල්ලා සංවිධානය විසින් ඝාතනය කිරීම මෙයට හොඳම උදාහරණයකි.

බොදු බල සේනාව කිසිසේත්ම හිස්බුල්ලා තරම් බලවත් සංවිධානයක් නොවන නමුත් මෙරටදීද මෙම අත්වැරදීම සිදුවීමට ඇති ඉඩ විශාලය. දේශපාලන බලය වෙනුවෙන් කවර පක්‍ෂයක් වුව අවස්ථාවාදී ලෙස බොදු බල සේනා සංවිධානය සමඟ සහයෝගී පැවැත්මකට යා හැකිය. නමුත් ඔවුන් නොදැන සිටින කාරණය වන්නේ බොදු බල සේනාව විසින් ස්වකීය ග‍්‍රහණයට ගන්නේ දේශපාලන බලය නොව ශී‍්‍ර ලංකා රාජ්‍යය වන බවයි. එය සිදුවූ පසු එය වෙනස් කිරීම මැතිවරණයකින් බලයේ සිටින පක්‍ෂය මාරු කරනවා තරම් පහසු කටයුත්තක් නොවනු ඇත. මේ මොහොතේ එය විසින් එක් අතකින් ශී‍්‍ර ලංකා රාජ්‍යය වෙත අභියෝග කරන අතර අනෙක් අතින් මෙරට බහුත්වවාදී ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජය වෙත අභියෝග කරමින් ඇත. 2012 ඔක්තෝබර් 04 වන දින බොදු බල සේනා සංවිධානය බංගලාදේශ තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයේදී පහර දීමේදී එම සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මාධ්‍ය අමතමින් මෙස් කී ය.

"ඔබ කවර ආගමකට හෝ ජාතියකට අයත්වුවත් කමක් නැහැ, ඔබ මතක තියාගන්න ඕන මේක සිංහල බෞද්ධයින්ගෙ රට කියල. ඔබ එය පිලිගන්නවනම් ඔබට මේ රටේ සාමයෙන් ජීවත් වියහැකියි. ඒක පිලිගන්න බැරි අය මේ රටෙන් යන්න ඕන"

මා දකින ආකාරයට අද දවසේ ශාස්ත‍්‍රඥයාගේ, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයාගේ සහ මිනිස් නිදහස අගයන සාමාන්‍ය මිනිසාගේ කාර්යය විය යුත්තේ මර්ධනකාරී ආකෘතීන් ශක්තිමත් කිරීම හෝ ඒවාට උපදේශනය සැපයීම නොව පොදු ජන සමාජය තුල නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ සංවාදය නැවත කේන්ද්‍රයට ගෙන ඒමයි. වර්තමාන සන්දර්භය තුල මහාචාර්ය කරුණාතිලක වැන්නන් බොදු බල සේනා සංවිධානය වැනි සංවිධානයන් ට මඟපෙන්වීම හෝ උපදෙස් දෙනවාට වඩා පොදු ජනයා ආමන්ත‍්‍රණය කිරීම වඩා වැදගත් යැයි මා කල්පනා කරන්නේ එබැවිනි.

විදුර ප්‍රභාත් මුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails