Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත්‍ය ශානරයන් පිළිබඳ විචාර සිදුකරන බොහෝ විචාරකයන් අන්තර්ගතයට පමණක් සිමාවිම නිර්මාණයට සිදුකරන විශාල අසාධාරණයකි. මන්දයත් අන්තර්ගතය තරම්ම ආකෘතියද නිර්මාණයක් සඳහා බලපාන හෙයිනි. යම් සාහිත්‍ය ශානරයක් ඔස්සේ සමාජගත කරනු ලබන අදහස නිර්මාණකරුවා ආයසයකින් තොරව අයාලේ යන්නට ඉඩ හරින්නේ නැත. එනම් නිර්මාණකරුවා අන්තර්ගතය තවදුරටත් පෝෂණය කරනු ලබන ආකෘතියක් ස්වකීය නිර්මාණය සඳහා ඉවහල් කර ගනී. විශේෂයෙන්ම කවිය, කෙටි කතාව, නවකතාව, නාට්‍ය ආදි වු සාහිත්‍ය ශානරයන් සඳහා පොදුවේ පිළිගත් ආකෘතියක් නොපවතින අතර ඒ ඒ නිර්මාණකරුවාගේ කියවීම ඔස්සේ ආකෘතික භාවිතාව වෙනස් වේ. මහගමසේකරයන්ගේ ''කුසලානේ ලු මිදි යුෂ''* නම් කවිය වෙත අවධානය යොමු කිරිමෙන් ආකෘතිය කෙරෙහි ඔහු දක්වා ඇති සැලකිල්ල මනාව අවබෝධ වේ. මෙහිදි කුසලානයක හැඩයක් ඇසුරු කරගනිමින් වචන අතර අවකාශමය හිඩසක්ද යොදාගනිමින් අපුර්වත්වයක් ගොඩනැගිමට කවියා සමත්ව ඇත. කුසලානය පිළිබඳ නිරන්තර අදහසක් පාඨකයාගේ මනසේ ගැබ්ව පවති. ඒ නිසාම පඨිතය හා පාඨකයා අතර සමීප කියවිමක් සඳහා අවශ්‍ය අවකාශමය ඉඩ විවර වේ.

අජිත් තිලකසේනයන්ගේ සංයුක්ත කවි වෙත අවධානය යොමු කිරිම මගින් තවදුරටත් ආකෘතිය පිළිබඳ විමසා බැලිය හැක. විශේෂයෙන්ම අජිත් තිලකසේනයන්ගේ සංයුක්ත කවි ඔස්සේ ඔහු මතු කරන්නට උත්සාහ කරනු ලබන දාර්ශනික චින්තාවට ආකෘතිය විශාල පිටුවහලක් වී ඇත. ශබ්දමය ස්වභාවයට එහා ගිය දෘෂ්‍ය රූප මතු කිරිම සඳහා තිලකසේනයන් ආකෘතික භාවිතාව මැනවින් ඇසුරුකර ඇත. සංයුක්ත කවි පිළිබඳව සාකච්ඡා කිරිමෙදි ආකෘතියෙන් වියුක්තව කියවීමක් සිදුකිරිම පිළිබඳව සිතීම පවා අර්ථශුණ්‍ය කාර්යකි. විශේෂයෙන්ම නිර්මාණකරුවාට ස්වකීය නිර්මාණය පිළිබඳ වඩාත් සතුටු විය හැක්කේ ඒ සඳහා පාදක කරගත් වස්තු විෂය පිළිබඳ පමණක් සලකා නොව එය පාඨකයා වෙත සමිප කිරිම සඳහා ඔහු විසින් තෝරා ගනු ලබන ආකෘතිය පිළිබඳවත් සැලකිලිමත් වීමෙනි. කියන දේ තරම්ම කියනු ලබන ආකාරය ද වැදගත් වන නිසාවෙනි.

ආකෘතිය පිළිබඳ සලකා බැලිමෙදි නුතන සාහිත්‍ය ක්ෂත්‍රයේ පමණක් නොව අතීත සම්භාව්‍ය සාහිත්‍ය තුළද එය දක්නට ලැබේ. ජාතක කතා වෙත අවධානය යොමු කිරිමෙන් එය මනාව වටහා ගත හැක. ජාතක කතාව තුළ එයටම ආවේනික වු ආකෘතියක් දක්නට ලැබේ. අතීත කතාව සහ වර්තමාන කතාව පිළිබඳ කියවිමක් ඒ තුළ අන්තර්ගත වේ. ජාතක කතාකරු ඉස්මතු කිරිමට බලාපොරොත්තු වන අර්ථය වඩාත් තීව්‍ර කිරිමට යොදාගත් ආකෘතිය මැනවින් ඉවහල් වී ඇත.

කාලයත් සමඟ වෙනස් නොවන දේට රැඳී සිටීමේ ගැටලුවක් පවතින බව අපි ප්‍රශ්න කිරිමකින් තොරවම පිළිගනිමු. එසේනම් එකි න්‍යාය ධර්මය සාහිත්‍ය සඳහාද ඉවහල් වේ. නුතන සමාජ සන්දර්භය තුළ ජිවත්වන මිනිසා සෑම කාර්යයක් තුළම පීඩනයක් අත්විඳිමින් කාර්යබහුලත්වයට පත්ව තිබේ. ඒ නිසාම මිනිසුන් ඉදිරියේ ඇති විශාල ගැටලු ප්‍රශ්න කිරිමකින් තොරවම සාමාන්‍ය දැනිම බවට පත්ව තිබේ. එය සමාජ පරිහානියක පෙරනිමිති වැන්න. නුතනයේ, නිර්මාණකරනයේ යෙදෙන බොහොමයක් දෙනා ඉහත කී සාමාන්‍ය දැනීම බවට පත්ව ඇති සමාජ යථාර්ථය ප්‍රශ්න කිරිමට ආකෘතියේ දායකත්වය මැනවින් ඇසුරු කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම විකල්ප සංගිත කණ්ඩායම් ඔස්සේ එය තහවුරු කරගත හැක. ඔවුන් අපේ සමාජ සන්දර්භය තුළ කණ්ඩායම් සංගීතයේ ගමන් මඟ පැහැදිලි වෙනසකට බඳුන්කර ඇත. පසුගිය දවසක Down Town Pulse නමින් විකල්ප සංගිත කණ්ඩායම් එකමුතුවෙන් ප්‍රසංගයක් පැවැත්විණි. ඔවුන් කොතරම් දුරට සමාජයේ සාමන්‍ය දැනීම බවට පත්ව තිබෙන තත්වයන් ප්‍රශ්න කිරිම සඳහා ආකෘතිය භාවිතා කර ඇද්ද යන්න හඳුනාගත හැක.

විචාරකයන් පමණක් නොව නිර්මාණකරුවන්ද ඇතැම් අවස්ථා වල ස්වකීය කියවීම එක් තැනකට පමණක් විතැන් කිරිමට උත්සාහ ගනි. ඒ හරහා ඔවුන්ගෙන් නව දිශානතීන් පිළිබඳ අදහසක් පහළ වේය යන්න සැක සහිතය. එවැනි වටපිටාවක පේරාදෙණි විශ්වව්ද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කථීකාචාර්ය වරයකු වන පුජිත ද මැල් විසින් නිෂ්පාදනය කරනු ලැබු සොක්‍රටිස් නාට්‍ය සාර්ථක අත්හදා බැලීමක් ලෙස හඳුනා ගත හැක. මෙහිදි සාම්ප්‍රදායික නාට්‍ය ආකෘතියෙන් මිදී ක්ෂේත්‍ර සුවිශේෂි නාට්‍ය නම් වු ක්‍රමවේදය භාවිත කරමින් නාට්‍ය නිර්මාණ කර තිබුණි. ඒ තුළ ද නව ආකෘතික කියවිමක් මැනවින් දක්නට ලැබුනි. සොක්‍රටිස් නාට්‍ය පිළිබඳව නව කියවීමක් සඳහා වු අදහස පාඨකයාට මුලින්ම දැනෙන්නේ ඔහු අත්විඳින ආකෘතික වෙනස තුළයි.

නිර්මාණකරුවා මෙන්ම විචාරකයාද අන්තර්ගතය තරම්ම, ආකෘතිය පිළිබඳවත් සැළකිලිමත් වීම ඔස්සේ පඨිතය සහ පඨකයා අතර වන දුරස්ථභාවය බොහෝ සෙයින් අවම කරගත හැක. මෙහිදි වැදගත් කාරණයක් වන්නේ අන්තර්ගතය හෝ ආකෘතිය යන දෙකෙන් එකක් අනෙකට වඩා වැදගත් ද යන්න නොව, නිර්මාණයේ සාර්ථකත්වයට දෙකම ඉතා වැදගත් යන්නයි. සාහිත්‍ය ශානරයන් පිළිබඳ විමසිමේදි "කියන දේ තරම්ම, කියන ආකාරය ද" ඉතා වැදගත් වේ.

*කුසලානේ
ලු
මිදි යුෂ
කුසලානේ
හැඩය ගනී
කුසලානේ
ලු
විෂ වුව
කුසලානේ
හැඩය ගනී



දුමින්ද යූ. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails