Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක් සෙමෙන් තවරා ගත්තාය. අනතුරුව ඇය විකාශන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නික්මී මාර්ගය වෙත පැමිණියාය. ඇය සිය සුඛෝපභෝගී මෝටර් රථය එනතෙක් බලා සිටියාය. ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින් ජීප් රථයක් හෙමින් සීරුවේ පැමිණ ඇය ඉදිරිපිට නතර කලහ. ඇසිල්ලකින් එයින් එලියට බට දෙදෙනෙක් නිවේදිකාවට හුස්මක් ගන්නවත් ඉඩ නොතබා ජීප් රියට දමාගෙන අධික වේගයෙන් පිටව යන්නට විය. නිවේදිකාව කෑ ගැසුවත් එය කාටවත් ඇසුනේ නැත.

ජීප් රථයේ රියැදුරා සහ ඉදිරිපස අසුනේ අයෙක්විය. පිටුපස අසුනේ දෙදෙනෙක් සිටි අතර නිවේදිකාව රථයට දමා ගත්තේ ඔවුන්ය. ඇයගේ අත් ගැටගසා තිබූ අතර ඇය මරහඬ තලමින් සිටියාය. අධික ලෙසට බියට පත්ව කඳුළු වගුරවමින් කෑගැසුවත් පලක් නොවීය. රථය වායුසමනය කර දොරගුලු වසා තිබුණු බැවින් ශබ්දය පිටට නොඇසුනි. ඇයගේ කෑගැසීම වලක්වාලීමට කට බැඳ දමන ලදි. ටික දුරක් ගිය විට ඇය හඬාගත නොහැකි තරමටම වෙහෙසවී ඇඬිල්ල නතර කලාය.

ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා ඇගේ කට ගැටගසා තිබූ පටිය ඉවත්කරන ලෙස අණකල අතර පිටුපස සිටි අයෙක් එය ගලවා දැමූවිට නිවේදිකාව යලිත් කෑගැසුවාය. ඉදිරිපස අසුනේ පුද්ගලයා දෙතොල් හරහා දබර ඇඟිල්ල තබා නිහඬවන ලෙස ඇයට සංඥා කළ අතර ඇය එයට අවනත වූවාය.

"දැන් අපිට පාර පෙන්නනවා තමුසේ කියන අර අගනගරේ දිහාවට"

ඉදිරිපස සිටියේ කැරලිකාර කණ්ඩායමක නායකයෙකි. ඔහු නිවේදිකාවට එසේ අණ කළේය.

"මොන අගනගරයක්ද?.. තමුසෙලට පිස්සුද ඕයි.. මාව අතාරිනවා.. මට මොනවහරි වුනොත් තමුසෙලට ඉන්න ලැබෙන එකක් නෑ... ඕයි මම ජනමාධ්‍යවේදිනියක්.. අතාරිනවා මාව"

"පුහ්.... ජනමාධ්‍යවේදිනියක්.... තමුසෙ දන්නවද ජනමාධ්‍ය කියන්නේ මොනවද කියලා.. එහෙමත් නැත්නම් ජනමාධ්‍යයක වගකීම් කියන්නේ මොනවද කියලා... "

කැරලි නායකයා අවඥා සහගත ලෙස පිලිතුරු දුන්නේය.

"ඒවලින් වැඩක් නෑ... තමුසෙට වෙඩි තියන්න ඉස්සෙල්ලා කියනවා කොහෙද තමුසේ අර කියපු අගනගරේ තියෙන්නේ කියලා"

කැරලි නායකයා එවර ස්වරය මදක් තීව්‍ර කර පැවසීය.

"මොකක්ද මම කියපු අගනගරේ... මේ අපි ඉන්නේ අගනගරේ නෙවෙයිද.. තමුසෙලට පිස්සුද.. කව්ද තමුසෙලා.. කොහෙද මාව මේ ගෙනියන්නේ.. "

"අපි නෙවෙයි තමුසේ තමයි අපිව ගෙනයා යුත්තේ... ඇයි තමුසේ අර හැමදාම රෑට උදේට දවල්ට කියන්නේ ප්‍රවෘත්ති වලින් අගනගරයක් ගැන... ජනතාව ප්‍රබෝධයෙන් අවධිවෙන.. සම්පත් ඉතිරෙන.. මිනිසුන් සමගියෙන් වාසය කරන.. දියුණුවේ මූලස්ථානය.. සංවර්ධනයේ දොරටුව.. ආරක්ෂාවේ කේන්ද්‍රස්ථානය.. රජුන්ගේ පාරාදීසය.. තව එක එක නම්වලින් තමුසේ වර්ණනා කරන්නේ... මිනිස්සුන්ගේ අතමිට උතුරන.. මිනිස්සු නිදහසේ ස්වඅභිමතය පරිදි වෙසෙන අගනගරේ.. ක්ෂේමභූමිය.. කෝ ඒක.. තමුසේ අපිට පෙන්නනවා ඒ අගනගරෙට යන පාර.. නැත්නම් මම තමුසෙගේ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා"

සුරූපි නිවේදිකාවගේ පැහැපත් මුහුණ කළුවිය. දෙනෙත් පිය කලබලයෙන් කිහිපවරක් ගැසිණි. හුස්ම කීපවරක්ම තදින් ගෙන සුසුමක් හෙලා නිහඬවී බිම බලාගත්හ. පිලිතුරක් ඇති බවක් පෙනෙන්නට විය.

"තමුසෙම නේද කිව්වේ ඒ නගරයක් ගැන.. අපි යටිබිම්ගතව හිටියත් තමුසෙගේ ඒ රම්‍ය අගනගරේ දකින්න ආසවුනා. අපි ආවා ඒක මේ අගනගරේ වෙන්න ඇති කියලා. ඒත් ඒක එහෙම නෑ. මේ නගරේ දූෂණ, වංචා හොර මැරකම් අපිරිසිදුකම විතරයි, කාලකණ්ණි දේශපාලනඥයන්ගේ හිස් වචන විතරයි. මිනිස්සු යටකරගෙන එකෙක් දෙන්නෙක් වැජඹෙනවා විතරයි, මිනිස්සු බඩගින්න යටකරගෙන හිනාවෙනවා. ලයිට් පත්තු කරගෙන කළුවර වහගෙන බඩගින්නේ නිදාගන්නවා.. උදේට නැගිටලා මල්ල අරන් රස්සාවට ගිහින් ජීවිතේ ගැන හීන මවනවා.. මාසේ අග ගන්න පඩිය සතියෙන් වියදම් වෙලා ඉවර වෙනවා.. ඉතුරු දවස් වල සුසුම් හෙලනවා.. කෝ මිනිස්සුන්ගේ සතුට.. කෝ තමුසේ අර උපමා උපමේය වලින් අලංකාරවලින් මවපු අග නගරේ.. පාර කියනවා වෙඩි කන්නේ නැතුව ඒකට.. "

සුරූපී නිවේදිකාවට ඇඬෙන්නට විය. ඇය ඉකිබිඳුම අතරින් කඳුලු බේරී බේරී කැරලි නායකායාට පිලිතුරු දෙන්නට වූවාය.

"දෙවියනේ ඒක මගේ රස්සාව.. මට කියවන්න දෙන ඒවා මම නොකිව්වොත් මට වෙන්නේ ගෙදරට වෙලා බඩගින්නේ ඉන්න.. මහා බිල් තොගයක්, නඩත්තු කුලී, කෑම වියදම්.. ඒ සේරම පියවන්නේ මට ලියලා දෙන දේවල් කියලා තමයි.. මේක මගේ රස්සාව.. දෙයියනේ මම මොනවා කරන්නද.. මේවා මගේ වැරදිද.. "

කැරලි නායකයා මදක් කල්පනා කරන්න විය. සිහින් සිනාවක් ඔහුගේ මුහුණට නැගිනි.

"ඔව් මේක තමුසෙගේ රස්සාව වෙන්න පුළුවන්. ලියන දෙන දේවල් තමුසේ කියවනවා වෙන්න පුළුවන්.. ඒත් තමුසෙට හෘද සාක්ෂියක් කියලා දෙයක් නැද්ද? ලියලා දෙන හැමදේම තමුසේ කියවන්න ඕනද? තමුසෙගේ කොන්දත් රැකියා ගිවිසුම එක්ක තමුසෙලාගේ චැනල් එකේ ලොක්කට දුන්නද? දැන දැන බොරු කියන උඹලගේ හෘද සාක්ෂියත් විකුණලද? අවජාතක හැත්ත.. "

නිවේදිකාව තව තවත් හඬන්නට විය. ඇයගේ හැඬුමට කැරලිකාරයන් කිසිවෙක්ගේ ළය උණු නොවුන බව සහතිකය. කැරලි නායකයා අවඥාසහගතව බලා සිටියදී නිවේදිකාව යලිත් සිය අඳෝනාව ඉදිරිපත් කළාය.

"මම පිළිගන්නවා... ඒ කියන දේවල් ඇත්ත නෙවෙයි වෙන්න ඇති.. ඒත් දෙයියනේ මම මොනවා කරන්නද.. මට හෘද සාක්ෂියක් නැතුව නෙවෙයි.. මේ මවාපෑම් කියද්දි මගේ හදවත දහස්වාරයක් අඬලා ඇති සැලිලා ඇති.. ඒත් මම කියලා මොනවා කරන්නද.. අවුරුදු ගාණක් දුක්විඳලා මේ තැන ස්ථිර කරගත්තේ.. හෘද සාක්ෂිය ගැන හිතලා මෙතනින් අයින් වුනොත් වෙන කිසි තැනක මට රස්සාවක් කරන්න ලැබෙන්නේ නෑ.. ඒ වගේම මම අඩියක් වත් හෙලවුනොත් මගේ තැනට පොරකන්න බලු පොරයක් වගේ තොගයක් එවුන් බලාගෙන ඉන්නවා.. මම මොනවද කරන්නේ... මම අසරණයි"

කැරලි නායකයා මහ හඬින් හිනා වෙන්නට විය. ඔහුගේ හිනාවෙන් මහා කතාවක් කියන බව නිවේදිකාව තේරුම් ගත්හ.

"ඔව් එක පැත්තකින් උඹලට බැනලා වැඩකුත් නෑ.. මේ රටට වින කරලා මේ රටේ ලේ ගංඟාවල් හලපු ත්‍රස්තාවාදී නායකයටත් උඹලා මහත්මයා කිව්වා, එතුමා කිව්වා.. මේ රටේ එලිපිට මිනී මරන එවුන්ට හුරේ දැම්මා.. එහෙම එකේ උඹලට මේවට කරන්න දෙයක් නෑ.. මේවා උඹලගේ ලොක්කන්ගේ වැරදි.. ඒත් උඹලා අද ඉඳන්වත් තේරුම් ගනින් මේ රටේ හැම එකෙක්ම හරක් නෙවෙයි කියලා උඹලගේ තණකොල කන්න.. "

නිවේදිකාව හඬමින් කැරලි නායකයාගේ කතාව අසා සිටියාය. ඒ හැරෙන්නට කළ හැකි යමක් නොවීය. කැරලි නායකයාගේ අණින් වාහනය නතර කෙරීය.

"ඔය ගෑණිව... ඔතනින් බස්සවලා අත් දෙක ලිහනවා.. හැබැයි අපි අත් ලිහුවත් තමුසෙගේ අත්, කට, කකුල් විතරක් නෙවෙයි තමුසෙගේ සිතුවිලි පවා බැඳලා දාලා කියලා තමුසේ අමතක කරන්න එපා.. "

දොර ඇර එලියට ගත් නිවේදිකාවගේ අත් ලිහා අත් බෑගය අතට දීමෙන් අනතුරුව ජීප් රථයේ දොර වැසීය. නැවත ඉදිරි ජනේලයෙන් ඔලුව දැමූ කැරලි නායකයා යමක් කීය.

"තමුසේ අර දවස පුරා මවපු නගරේ තමුසෙටවත් කවදාවත් දකින්න බැරිවෙයි.. සුබ රාත්‍රියක් තමුසෙට! "

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails