Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විල සහ මල

"විලට උඩින් අන්න අර හරියෙ තිබුණ අඩ හඳ වගේ ගෙවිච්ච කලු ගලක්. ඒකෙ තමයි වලගම්බා රජ්ජුරුවො පැනලා යනකොට කඩුව මුවත් තිබ්බෙ. ගල ගෙවිච්ච පාර ඒ විදිහටම තිබුණා. රජ්ජුරුවො කඩුව මුවත් තියලා, බිසෝ ගොල්ලත් එක්ක විලට බැහැලා නාලා නෙලුම් මලුත් කඩා ගෙන යන ගමන් කැළණියත් වැඳගෙන ගිහින් තියෙනවා කලුතර පැත්තට. අන්න අර ගල් තලාව උඩ තමයි රජ්ජුරුවො සැතපිලා හිටියෙ. අදටත් එතන තියෙනවා ගල එරිලා ගිය පාර - රජ්ජුරුවන්ගෙ දේහෙ හැඩේට."

"ඔය වලගම්බා රජ්ජුරුවො නොගිය තැනක් නෑ. අපේ පැත්තෙත් තියෙනවා - ඔය විදියටම කඩුව මුවත් තියපු ගලකුයි - උන්නැහැ හදපු පන්සලකුයි." අත්තා මැදට පැන්නා.

"හරියට හරි ඔය රජ්ජුරුවො කඩුව මුවත් තිය තිය පැනලා ගියා - යන යන තැන පන්සල් හැදුව. මහත්තයල කොහෙයි කිව්වෙ?"
"අපි කුලියාපිටියෙනෙ."
"ආ කු- ලි- ය- පිටි- යෙ! කුලියපිටියෙ කොහෙද? දණ්ඩගමුවෙ?"
"නෑ - දීගල්ලෙ".
"ආ - දීගල්ලෙ! මං ගිහින් තියෙනවා එහෙ අර බස්නායක මහත්තයලගෙ කොහු මෝල තියෙන්නෙ වැව ගාව..." පියදාස අන්කල් බිම කෙටිල්ලත් නවත්තල කිහිල්ලත් කසල බීඩියකුත් පත්තු කරල ලොකු කයියකට ලෑස්ති වුණා.

"ඉතිං පියදාස අන්කල් විලට මොකද වුණේ?" උදයංග බැරිම තැන මැදිහත් වුණා.

(පිටු 28-29)

*********

" අන්න අතනදි තමයි රජ්ජුරුවො බිසව ඊනිසිම්බෙ" උදයංගට කියවුණා.

සුරවීරත්, ශාන්තිත් මුහුණින් මුහුණ බැලුව. " මොකක්ද කිව්වෙ?" දෙන්නම එකට වගෙ ඇහුව.

"මුකුත් නෑ" උදයංග හිනාවෙවී කිව්ව. ළඟදි වැටුණ දත ළඟ අලුත් දතක් ඇවිත් තිබුණා.

"එහෙනං සීනි සීනි කියනවා ඇහුණෙ?"

(පිටුව - 38)

*********

කළු පොකුට සහ රතු පොකුට

ඒ මුකුළුව ඒ ඇස් දෙක කළු පොකුටගෙ ජීවිතේ කණ පිට පෙරලල ආයෙ හොඳ පිට හැරෙව්ව.

නීලමනී පහුවදා උදේ මිදුල අතුගාද්දි කළු පොකුට පාගල නිමපු සිගරැට්ටෙක අහුලල අරන් කණ්ණාඩි මේසෙ ලාච්චුවට දැම්ම.

පුදුමයකට වගේ එදාම කළු පොකුට සිගරැට් බීම නැවැත්තුව. එදා මහ රෑ වෙනකල් කළු පොකුටගෙ හිත ඇතුළෙ මුකුළු සද්දයක් ඇහුණ. බලන බලන අත ජනෙල් කූරු දෙකක් අස්සෙන් ලස්සන ලොකු ඇස් දෙකක් එබුණා.

එදා කළු පොකුට චූටි සාදුගෙ "හත්පණ" පොත අතට අරන් ගොත ගගහ කියෙව්ව. බල කරල අකුරු උගන්නන්ට - උදේම ඇහැරවල ඉස්කෝලෙ යවන්ඩ අම්ම කෙනෙක් හිටිය නම් කියලා කළු පොකුටට හිතුණා. ඒ විතරක් නෙමේ පුවක් ගහ ගැන හරියට තරහ ආවා. පුවක් ගහට තිබුණෙ මුළු අවුරුද්දෙම මිනිස්සුන්ගෙ බඩගින්න නිවන වැඩේ බාරගන්න. එහෙම වුණා නම් සුමානෙකට සැරයක්වත් පුවක් ඉදෙනවා විදානෙ වත්තෙ. කළු පොකුට ගොයම් ගහටයි කොස් ගහටයි පලු යන්ඩ බැන්න මාස හය ගානෙ බාර ගත්තට.

කොහොම වුණත් සොබාදහම කළු පොකුටට කරුණාවෙන් සැළකුව. ඒ කියන්නෙ මාසෙකට සැරයක්වත් විදානෙ වත්තෙ පුවක් අරඹ තොරණ වගේ කහපාටට දිලිසුණා.

කළු පොකුට ගහෙන් ගහට පැන්නෙ දන්න ශිල්ප ඔක්කොම දාල පිම්ම ලස්සන කරල. පිම්මෙ හැඩිදැඩිකම මැකෙන්න මිල්ටන්ගෙ හරි ජෝතිගෙ හරි සිංදුවකුත් උරුවම් බාල, ඒ පිම්මට රිද්මයක් එකතු කරන්න කළු පොකුටට හැකි වුණා. දවසක් ඔහොම වත්ත පහළ ගහෙන් නැගලා මිදුලෙ ගහෙන් බහින කොට ජනේලෙ ළඟ නීලමනී නෝනා හිටියා. චාරුලතා නෝනත් ඇති කියල කළු පොකුට බිම බලා ගත්ත. ඒ වුණාට හිටියෙ නීලමනී නෝන විතරයි.

නීලමනී නෝනගෙ අත එළියට දික් වුණා. ඒ අත තිබුණෙ මිට මෙලවිලා.

"හා- මොකක්ද" නීලමනී තාලෙට ඇහුව.
" අත නෙ!" කළු පොකුට තාලෙකට නැතුව කිව්ව.
"අතේ?"
"ඇඟිළි!"
"වෙන?"
"වළලු!" කියාගෙන කළු පොකුට පුවක් අහුලන්ඩ හැරුණ.
"හදිස්සිය විතරක්"

කළු පොකුට ආපහු හැරිල බැලුව. තවමත් එළියට දික්වුණු අත මිට මෙලවිලා.

"කිව්වෙ නෑනෙ ඉතිං - මොකක්ද කියල!"
"මන් දනනවයැ පෙන්නන්ඩ එපායැ ඉතිං තියෙන එකක්"
"එහෙම පෙනනන්ඩ බෑනෙ"
"එහෙනං මං බලන්නං" කියලා කළු පොකුට නීලමනීගෙ අත අල්ලන්ඩ පනින කොට ඒ අත විදුලියක් වගේ ගේ ඇතුළට ගියා. ආයෙත් අත එළියට ආවෙ හෙමින් හෙමින්. කළු පොකුට පස්සට ගියා. අත දිග ඇරුණා. යන්තම් බීපු සිගරැට් එක ලස්සන අතේ තිබුණ.

"ආ - ගන්ඩ"
"මන් දැන් සිගරැට් බොන්නෑ"

(පිටු 13-14)

******

කළු පොකුටට ආයෙත් පුවක් කැඩිල්ල ලැබුණා. ඒත් දැන් ගස් නාකියි. පුවක් ගස් වැට දිගට ගහින් ගහට පනින්න බෑ. ගස් වලටයි කළු පොකුටටයි දෙගොල්ලටම දැන් වයසයි. පුවක් ගස් කීපෙකම කොට්ටෝරු බෙණ. කොට්ටෝරු බෙණ වල පුංචි පුංචි කොට්ටෝරු පවුල්. බෙණ තියෙන ගස් වල කරටියට පනින එක භයානකයි. ඒ වුණාට මිදුලෙ ගහට නැගල බිමට බහින කොට ජනේලෙ ළඟ නීලමනී නෝන හිටිය. මුකුළු කෙරුවෙ නෑ. ඇස් දිලිසුණෙත් නෑ. ඔහේ බලන් හිටිය. අවුරුදු ගාණකට ඉස්සර බැලිය යුතුව තිබුණු පරක්කු වුණු බැල්මක් වගේ. කළු පොකුට කතා නැතුව වත්ත පහළට ගිහින් පුවක් ඇහිලුව. ජනේලෙ ළඟට කිට්ටු වෙන්න ඔහුට හිතුණෙ නෑ. නීලමනී නෝනට "ගස්ගඳ" දැනෙයි කියල. පුවක් අහුලද්දි වුණත් පුවකෙන් පුවකෙට ජනේලෙ දිහා බැලුවෙ නෑ. පුවකෙන් පුවකෙට හිත නම් යන්තම් රිදුණා. ඒත් හරි පුදුම දෙයක් වුණා.

කළු පොකුට පුවක් අහුලගෙන ගේ ළඟට එනකොට නීලමනී නෝනගෙ අත ජනේලෙන් දික් වෙලා තිබුණා. ජුකී මහල රළු වුණු වළලු නැති අත. කළු පොකුට ගැස්සුණා. ගිනි පෙනෙල්ලෙන් බැට කාලා හිටපු හින්දා මේ කළාමැදිරි එළියටත් කළු පොකුට බයයි. නීලමනී නෝන මුකුත් කිව්වෙ නෑ. කළාමැදිරි එළිය හරිම දුර්වලයි. ඈතයි. අහිංසකයි. කළු පොකුට ගල් ගැහුණු තැන ගල් ගැහිල හිටිය. වළලු නැති අත දිග ඇරුණා. කහපාටට හැරුණු අවුරුදු ගාණක් පරණ සිගරැට් තුන්කාල ඒ අතේ තිබුණා. ටිකක් වෙලාව ගත වුණා... කළු පොකුට නීලමනී නෝනගෙ අතේ "ගස්ගඳ" අත නොගෑවෙන්න සිගරැට්ටෙක ගත්ත. අත දිග ඇරුණ දිග ඇරිල්ලෙන්ම ටික වෙලාවක් තිබිල ඇකිළිලා ඇතුළට ගියා. නොපෙනී ගියා.

එදා ඉඳල කළු පොකුටගෙ කන් පෙත්ත උඩපොකුටු කොණ්ඩෙ අස්සෙ චුට්ටක් බීපු සිගරැට් එකක් ගහගෙන ඉන්නව සමහරු දැක්ක. ඒක ගලවන්නෙ නාන කොට විතරයි කියලත් කතාවක් තිබුණ. කළු පොකුට ඉස්සර වගේම මහ බෝක්කුව උඩ ඉඳ ගෙන හිටියා රෑ ජාමේ. රතු පොකුට ආවෙ නෑ.

(පිටු 19-20)

[විල සහ මල - කෙටිකතා, 2003]

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails