Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙර දවස
නිදහසේ ඇවිදගිය බිම්කඩෙහි
පලින් පල කටු කම්බි වැටවල් ය
උකුසු ඇස් නිදිමරන රැකවල් ය
මපුතුවන් ගැටවුන්ගේ නාඳුනන මුහුණු ය
නොවැටහෙන බස්වලින් එල්ලවන විමසුම් ය

බොහෝ දිනකට පසුව
ගෙවුන රෑ
මහා වැස්සක් ඇදහැළුණි
ගුවන් බෝම්බ ෂෙල්වෙඩිවලින්
සැදුන ආවාටයන්
ගැලූ මඩ වතුරෙන් පිරුණි
වර්ෂාවකට පසු
ඉපිලෙන නැවුම් සුවඳ වෙනුවට
මහපොළොව
ලේ ගඳම පිටකරනු මට දැනුණි

මගේ උරුමය රැඳි බිම්කඩෙහි
අනවසරයෙන් ඇවිද යමි
මේ මා එහි සරන අවසන් වාරයයි
හෙට දිනයේ දකින්නට ලැබෙනු ඇත දැන්වීමක්
‘පවරා ගන්නා ලද ඉඩමකි - ඇතුළුවීම තහනම්!’

ෂෙල් වරුසාවකින් අත් පා සිඳී ගිය
පඳුරු ගොමුවක් තුළින්
මතුවෙයි මගේ මුහුණ ම
නැත-ඒ මා වැනිම මවකිය
කලපුවේ නොගැඹුරු දියෙහි
උකුස්සන් විසින් රැගෙන ගිය
පුතුන් සොයා දිවයන
පටාචාරාය ඈ

වහල පුපුරා හැලුණ නිවසකින්
බිළිඳෙකු හැඬුම් ගලා එයි
තුරුළු කර සිය දරු
මුළු රැයක් තෙමුණ මවකගේ
කඳුළක් නොවියළී දිදුලයි

හිස සුන් තල් ගස යට නතරවෙමි
මපුතු පැටිවිය ගෙවූයේ ඒ සෙවණෙහි ය
දැවී කරව ගිය ගස පාමුල
ඔහුගේ සුවඳ ඇති දැයි සිඹ බලමි

පළල් කෙරෙනා මගෙහි
ඇදී යයි බස් රියක් වේගෙන්
බංකර් පස් බැමි සබ්මැරීන් නරඹා
ප්‍රීතියෙන් ඔකඳ වූ මුහුණු
කඳුළු අතරින් එබෙයි
මුහුණ සඟවා ගනිමි

හිමියා අහිමි ගවරැළක්
කළපු ඉවුරෙන් මතුවෙයි
පාදය අහිමි වැස්සියක
වේදනාබර දෑස් දල්වා බලයි

ඉදිරියට ඇදෙමි
නිහඬව සැම දෙයින් සමුගනිමි
එහෙත් මපුතු
මගෙන් අවසන් වරට වෙන්වුණු තැන
හැර යා හැකි ද මවක ලෙස?

අහස ගුගුරා හැලෙද්දී
පොළොව දෙදරා බිඳෙද්දී
මා දෙපා සිපගත්තේ ය ඔහු
ඉතිරි කර කඳුළක් මගේ කොපුලත
ගිහින් එන්නම්වත් නොකියාම
යන්නටම ගොසිනි මපුතු

මුහුදු වෙරළේ
බිඳුණු වැව නරඹන්නෝ
සතුටින් හඬ නඟත්
දිලෙයි කැමරා එළි
එකතුවෙයි සිහිවනට රූ
වීර චාරිකාවක ඇල්බමයකට

දනිමි අසමත් බව
කිසිදු කැමරාවක්
රූපයට නඟන්නට
අපේ දිගු පා ගමන
එය ඉතිහාසයෙන් මකන ලද පිටුවකි ය

කටු අත්තක පැටලි රෙදිකඩක්
දිගු කතාවක් කියන්නට හදයි
අසන්නේ කවුරුද ද්‍රෝහීන්ගේ පුවත්
වියැකුණු ලේ පැල්ලමක් දරාගත්
එය දිරා යා යුතු ය

ඇසේ දුරින් මට
කටු කම්බි මායිම් කණු රැගත් රිය එන හඬ
හනික දෙදණ බිම ඇන
සාරා දෑතින්ම මිහිමඬල
වළ දමමි මගේ හදවත
සදහටම පිටුවහල් වීමට පෙරාතුව

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails