Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගියද, නිදහස් අධ්‍යාපන පනත හඳුන්වාදුන් අවස්ථාවේ දී එහි පුරෝගාමියා වශයෙන් කටයුතු කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිඳුන් මෙහි වටිනාකම සම්බන්ධයෙන් සිදුකරන ලද එක්තරා ප්‍රකාශයක් කැටිත්තක් වශයෙන් ගෙන මෙහිදී සඳහන් කිරීමට වටී. ඔහු පැවසූයේ ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවනට ද ඒ සඳහා අවස්ථාව නිදහස් අධ්‍යාපනය මගින් උදාවන බවකි. මෙම අරමුණ කෙතරම් නම් මානුෂික හා සහනදායී දැයි සිතාබැලිය යුතුය.

1948 නිදහස හා අධ්‍යාපනයේ අධිරාජ්‍යවාදී අරමුණු

වර්ෂ 1948 දී මෙරටට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හිමිකොට දෙමින් අධිරාජ්‍යවාදීන් පිටමංව ගිය ද ඔවුන් විසින් මෙරට තුළ පාලන කටයුතු කරගෙන යාමට සිය බටහිර සම්ප්‍රදායන් හා සිරිත් විරිත් ඇතුළු ජීවන හා ප්‍රතිපත්තිමය චර්යා මත සිය අඩිපාරේ ගමන්ගන්නා සුවච කීකරු පැලැන්තියක් නිර්මාණය කොට නික්ම ගියෝය. අප විසින් සිහි තබාගත යුත්තේ වෙනත් ජාතියක පිය සටහන් මත අන්ධානුකරණයෙන් ගමන් ගන්නා තවත් ජාතියක් කිසිදු දිනක සිය අනන්‍යතාවය තැවරුනු අඩි සටහන් මිහිතලය මත නොතබන බවයි. අධිරාජ්‍යවාදීන් මෙම ලාංකීය මහ පොලව මත නිර්මිත තත්ත්වය අසල්වැසි ඉන්දියාවේ තත්ත්වයෙන් වෙනස් වූයේ සුලු වශයෙනි. මැකෝලි සාමිවරයා ප්‍රකාශ කළේ භාෂාවෙන් හා සමෙහි වර්ණයෙන් පමණක් ඉන්දියානුවන් වන එහෙත් චින්තනයෙන් බටහිරයන් වන පිරිසක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කළ යුතු බවත් ය. එම අධිරාජ්‍යයවාදී චින්තනමය වහන්තරාවෙන් මෙරට ද වසාගත් බව අප දනිමු.

මැකෝලීකරණ කෝවෙහි දමා බ්‍රිතාන්‍යයන් විසින් නිර්මිත හා ඔපමට්ටම් කරන ලද මෙරට පාලක පැලැන්තිය සිය පාරම්පරික රදළ හා වලව්කාර ස්වභාවය දිගින් දිගටම පවත්වාගෙන යාමේ උවමනාව හා අධිපතීත්වය රැක ගැනීම ඇතුළු අරමුණු රැසක් හේතුවෙන් සාමාන්‍ය පොදු ජනයා අධ්‍යාපනය ලැබීමේ මාවතින් ඉවත් කොට සිය වතු හා කර්මාන්තයන්හි කම්කරුවන් වැනි විධායක ශ්‍රේණියේ නොවන රැකියා සඳහා ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ කම්කරුවන් හා යොදා ගන්නා ලදි. එසේත් නොමැති නම් සිය රදළ භාවයට තර්ජනයක් විය නොහැකි මට්ටමේ ස්ථානයන්හි රැඳවූහ. සිය දූ පුතුන් විදේශීය විශ්වවිද්‍යාල තුළින් උපාධිධාරීන් බවට පත්වද්දි මෙරට දුප්පත් දෙමාපියන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වූහ. මෙය එක්තරා රටාවක් මත සිදු වූ බව සමීපව මේ දෙස බැලීමේ දී පෙනී යයි. සිය හාම්පුතුන් වෙනුවෙන් කඹුරා සිය ජීවිතයම ගෙවා දැමීම නිර්ධනයාට උරුම වූ අතර සුලුතරයක් වූ පාලක පැලැන්තිය බූවල්ලෙකු පරිද්දෙන් රටෙහි දේශපාලන, ආර්ථීක සේම සාමාජීය යනා දී සෑම අංශයක් අතරෙහිම සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට යෙදුණි.

කාලය කෙමෙන් ගතවද්දි වාමාංශික දේශපාලන කණ්ඩායම් හා දේශීය චින්තනය මත පදනම්ව හටගත් ව්‍යාපාර හා අනෙකුත් ප්‍රගතිශීලී බලවේගයන්හි බලපෑම හේතුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් වෙත විතැන් විමට පාලකයනට සිදු වූ වග හඳුනා ගැනීම වටී. එසේ නොමැතිව බන්දේසියක තබා ජනතාව වෙත නිදහස් අධ්‍යාපන අයිතිය උරුමකර දීමට පාලනයින් ත්‍යාගශීලී වූවා නොවේ. නිදහස් අධ්‍යාපනය නැමැති සංකල්පය කලින් කලට විවිධ දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක කෝණයන්හි නිර්වචනයනට බඳුන් වීම සිදුවූ අන්දම නූතන ඉතිහාසය පිරික්සීමෙන් හඳුනාගත හැකිය. බලයේ සිටින්නන් එය සිය වාසියට අනුරූපවන අන්දමින් එය විග්‍රහ කර ගන්නා අතර විරුද්ධ පාර්ශව විසින් සිය බල වුවමනාව සංතෘප්තකර ගැනීමට උපකාර වන අනාගත අවියක් ලෙසින් ද 'නිදහස් අධ්‍යාපනය' විග්‍රහ කර ගන්නට යෙදුණි. මන්ද යත් මෙම සංකල්පය තරම් සංවේදී තවත් සංකල්පයක් නොමැති තරම් වන බැවිණි.

ෆැන්ටසිය තුළ පුරවැසියාට පුරවැසියා අමතක කරවීම

මෙරට ජනගහනය අතරින් බොහෝ පිරිසක් එදිනෙදා සටන් වදිනුයේ කුසගින්නට එරෙහිවය. කිරිපිටි, සීනි, හාල්, පරිප්පු, භූමිතෙල්, කරවල යනාදී එදිනෙදා ජන ජීවිතයෙහි භාවිත ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩයන්හි සේම ප්‍රවාහනය වැනි සේවාවන්ගේ ද මිල අහස උසට නැඟ තිබේ. පාලකයාගේ සැබෑ ස්වභාවය වනුයේ පාලිත ජනයා හට ජීවන අරගලයක් නිර්මාණයකර දීමය. එම අතිධාවනකාරී ජීවන අරගලය අතරතුර නතරවීමට හෝ හති ඇරීමට හෝ සමාජ සංසිද්ධීන් දෙස විමර්ෂණාක්ෂියෙන් හා විචාරවීමංසනාත්මකව අවලෝකනයක යෙදීමට හෝ නොහැකි වන සේ එම ගමන අතරතුර විවේකයක් ලැබීමට හෝ නොතබා කප්පාදු කරයි. එවිට පුරවැසියා විචාරාත්මක ලෙස සිතීමෙන් ඈත් වන අතර ඉන් අනතුරුව අප වෙනුවෙන් සිතීමටත්, අප සිතිය යත්තේ මොනවා ද නොසිතිය යුත්තේ මොනවා ද අපේ චින්තනයේ සීමා මොනවා ද යන දෑ කියා දීමට මාධ්‍ය හරහා පුරවැසියාගේ නිවසට ව්‍යාජ බුද්ධිමතුන් හා මතවාදී නිර්මාපකයින් යොමුකිරීම සිදුකරයි. ඔවුන් අප වෙනුවෙන් සිතයි. සැබෑවටම ඔවුන් කුලියට සිතයි. පුරවැසියා සිතීමෙන් වලක්වා එකී කෘත්‍ය තමුන් වෙත පවරාගැනීමට පාලකයාගේ දූතයෝ ක්‍රියා කරති. ඔවුන් විසින් සැලසුම් සකස් කරති. ඒ උදෙසා ගෙවීම් ඇතුලු සියලු වරප්‍රසාදයෝ ලබති. දෛනික ජීවිතය තුළ අධික කාර්යබහුලත්වය නිර්මාණය කිරීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රජාවගේ චින්තනය සොරකම් කර අධිපතිමතවාදය තැවරූ චින්තනයක් මනස් තුළට රහසේම එන්නත් කිරීමත් සිදුකරනුයේ එපරිද්දෙන් වග අප සියුම් ලෙස පසක්කර ගත යුතුය. ටෙලිනාට්‍ය, ක්‍රිකට් තරඟ, තරු තේරීමේ විවිධ තරඟ වැනි ෆැන්ටසිමය හීනයන් පෙන්වා ජීවන අරගලයක තමා නියුතු බව පවා අමතක කරවා පුරවැසියා සමාජ යථාර්ථයෙන් මුදවා සිහි මුර්ජා කොට දැමීම සිදුවේ. ජනතාවගේ චින්තනය අධිපති චින්තනයේ පැවැත්ම උදෙසා යටිබිම්ගත කෙරේ.

ජනයා පසුදා අවදිවීමේ අරමුණින් යහන්ගත වනුයේ තමා නරඹන ටෙලි නාට්‍යයේ මීළඟ කොටස හෝ තමා එස්.එම්.එස්. කළ සුපරි තරුව වේවා යැයි හෝ පතමිනි. රාත්‍රී ස්වප්නය වන්නේ ද එයයි. පසු දින බස් රියේ, දුම්රියේ හෝ වැඩපලේ දී සාකච්ඡාවට ලක්වන්නේ ද එයයි. මා එසේ පවසනුයේ මුලු මහත් සමස්තයම පිළිබඳ නොවේ. නමුදු අති බහුතරය එවැනි බව ප්‍රායෝගික යථාර්ථයයි. මිනිසාට මිනිසා අමතක කරවීම සඳහා හේතු වන්නා වූ එම සංකීර්ණ ක්‍රියාවලිය මෙරට පමණක් පවතින්නක් නොව ධනේෂ්වර සමාජදේහයෙහිම අනිවාර්ය ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියෙහි ඝණකම එක් එටකින් තවත් රටකට වෙනස් විය හැකිය. නිදහස් අධ්‍යාපනය රැකයත යුත්තේ මෙවන් වූ සමාජ තිරය පිටුපස පවතින්නාවූ ඕජස් ගලනා යථාර්ථයන් වසා ඇති දුහුල් සලු කීතු කීතු කොට ඉරා දමා සැබෑ නිරුවත දැක බලා ගැනීමට අවශ්‍ය අන්තර්ඥානය ශිෂ්‍යා වෙත ප්‍රක්ෂේපණය කරන්නා වූ සැතක් ද වශයෙන් එය වැදගත් වන බැවිණි. පෞද්ගලික අධ්‍යාපනය තුළ එය නොලැබී යන බැවිණි.


හසන්ත විජේනායකගේ කාටූනයක්- 'ලක්බිම' පුවත්පත

ආර්ථීක සාධකය

ආර්ථීකය නැමැති සාධකය විසින් සකලවිධ මානව සබඳතා හිරිවට්ටවා දමනු ලැබේනු පෙනේ. විදුලි බිල දැවැන්ත ඉහළ යාමකට මේ මොහොතේ ලක්ව තිබේ. මිල අඩුවන භාණ්ඩයක් ඇත්තේම නැති තරම්ය. මැතිවරණයකට දින කිහිපයක් පූර්වයෙන් මේවායේ මිල අඩු වුවද සාමාන්‍යය පවුලක නඩත්තු කටයුතු ද සිදුකර ගනිමින් දරුවකු හට අධ්‍යාපනයද ලබා දීමට මුදල් වියදම් කිරීමට දෙමාපියන් හට වත්කමක් නොමැති බව පැහැදිලි කරුණකි. මෙම තත්ත්වය දරුවන් කිහිපදෙනෙකු සිටින පවුලක නම් වඩාත් බරපතළය. ණය වෙමින් හෝ දරුවන් පාසැල් යොමුකිරීම ද අනතුරුව පෞද්ගලික උපකාරක පංති වෙත යොමු කිරීම ද වත්මන් අධ්‍යාපන රටාව තුළ අනිවාර්ය අංග බවට පත්ව ඇත.

නිදහස් අධ්‍යාපනය රැකගැනීම වැදගත් වනුයේ මෙයන් වටපිටාවක් තුළදීය. මන්ද යත් දැනුම් විධායකයක් කරා සහ ගෝලීයකරණය තුළින් විශ්ව ගම්මානයක් කරා ලෝකය ගමන්කරමින් සිටිනා මෙවන් යුගයක රටක සංවර්ධනය වඩා යහපත් වීමට නම් අදාළ රටෙහි පුරවැසියන් දැනුමින් සන්නද්ධව සිටීම ඉතා වැදගත් වන බැවිණි. නමුදු ගැටලුව වනුයේ රටක පාලකයන් සිය රටෙහි ජනතාව දැනුමින් සුපෝෂිත වනු දැක්මට රුචි නොවීමයි. මන්දයත් සබුද්ධික ජනතාවක් බිහිවීම යනු පාලකයාගේ පාලනකාලය කෙටි වීමක් බව ඔවුන් දන්නා බැවිනි. අයුක්තිය හා අසාධාරණයට එරෙහි පුලුල් සමාජ වෙනසක් උදෙසා සබුද්ධික ජනයා නිරතුරුවම පෙළගැසෙන බැවිනි. ඒ හේතුවෙන් අධ්‍යාපනය ලබාදීමේ දී පාලනයකට ලක් කරන ලද විෂය නිර්දේශිත රාමුවක් තුළ පමණක් ඉගැන්වීම් සිදු කෙරෙන අතරම ආර්ථීක වර්ධනය හා ලාභ උපරිම කර ගැනීමේ ඉලක්කය වටා අධ්‍යාපනය සංවිධානය කිරීම හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙය ලෝකමට්ටමින් පැතිර ඇති අන්දම චිකාගෝ විශ්වවිද්‍යාලයෙහි දර්ශනය පිළිබඳ මහාචාර්යවරියක වන මාර්තා නස්බොම් විසින් ද සිය "Why Democracy Needs The Humanities" කෘතියෙහි දක්වා තිබේ.

මානව ශාස්ත්‍ර විෂයයන් කප්පාදුවේ බලපෑම

ඒ අතරතුර මානව ශාස්ත්‍රීය විෂයයන් කප්පාදුකොට රැකියා වෙළඳපොලෙහි ව්‍යාජ ලෙසින් නිර්මිත ඉල්ලුමක් පවතින විෂයයන් මතුකිරීම මේ වන විට පැහැදිලිව හඳුනා ගැනීමට පුලුවන. මානව ශ්‍රාස්ත්‍ර විෂයයන් යනුවෙන් හඳුන්වනුයේ භාෂා, සාහිත්‍ය, කලා, ඉතිහාසය වැනි විෂයයන් ය. මේවායෙන් මානව චින්තනය පෝෂණය කරන අතරම ප්‍රභාෂ්වර දෘෂ්ටියකින් සමාජාවලෝකනයට අවැසි නව දැනුම හා විචාරාත්මක බවට හේතු භූත වන්නාවු පුලුල්වූ දැනුම් උල්පත් මිනිසා තුළ උත්පාදනය කරයි. එසේ උපදින නව දැනුමින් සමාජය නිවැරදි දිශානතියක් කරා මෙහෙයවීමට හැකිය. නිරුදක කතරක අහඹුවෙන් හමුවන සිසිල් පැන් ගලනා උල්පතක් සේ මානව ශාස්ත්‍රීය ඥානය පුරවැසියාට වැදගත් වේ. මේ වන විටත් ශිෂ්‍යයාගේ නිර්මාණශීලීත්වය හා විචාරාත්මක චින්තනය දියුණුකරනු වෙනුවට සාමිප්‍රදායික දෑ නිශ්ක්‍රීයව හා ප්‍රශ්නකිරීමකින් තොරව උරාගන්නා පිරිසක් බවට ශිෂ්‍යයෝ පිරිහෙලනු ලැබ සිටිති. සම්ප්‍රදාය යනු වනපොත් කරගත යුත්තක් නොව සංවාදයට කැඳවිය යුත්තකි. නිදහස් අධ්‍යාපනය රැකගතයුතු යැයි හුදු සටන්පාඨයක් වශයෙන් භාවිතකිරීමකට සීමා නොවී උක්ත සඳහන් කාරණාවෝද සංචිත වූ හා එකී කාරණාවන්ගෙන් පෝෂණය වූ සැබෑ නිදහස් අධ්‍යාපනයක් ඇතිකර ගැනීමට සැවොම එක් විය යුතුය. පරිපූර්ණ නිදහස් අධ්‍යාපනයක් විසින් බිහිකරනු ලබන පුරවැසියා යනු තමා අයත් කාලය හා සමාජය පිළිබඳ විචාරාත්මක චින්තනයෙන් යුතුව බලන්නකු වේ. අප විසින් නිදහස් අධ්‍යාපනය තුළ රැකගත යුත්තේ හා පෝෂණය කළ යුත්තේ මේවාය.

ධනේශ්වර ක්‍රමයෙහි ලෝක මට්ටමේ පවත්නා අර්බුදයේ බලපෑම

නව ලිබරල් ආර්ථීක ප්‍රතිපත්ති තුළ අනිවාර්ය අංගයක් වනුයේ රාජ්‍ය කළමනාකරුවකුගේ තත්ත්වයට පත්ව පැවතීමයි. එනම් ආයතන පෞද්ගලීකරණය කරමින් ඉන් ලැබෙන බදු හා අනෙකුත් ලාබ ලබමින් මූල්‍ය කළමනාකරනයෙහි නිරතවීමයි. මහාපරිමාණ කර්මාන්ත ශාලා ඇතුළු රාජ්‍ය අංශය සතුව පවතින සමාගම් ආදිය පෞද්ගලික අංශය වෙත පවරමින් ආර්ථීකය තුළ පෙර පැවති රාජ්‍ය අංශයේ ඒකාධිකාරිය අවලංගුකර දමමින් කටයුතු සිදු කෙරේ. මෙහිදී පාඩු ලබන ආයතන වඩාත් ගුණාත්මක ලෙසින් ප්‍රතිසංස්කරණයට ලක් කොට ඵලදායී ලෙසින් සකස්කිරීමට යැයි සඳහන් කරමින් මෙසේ පෞද්ගලීකරණ ක්‍රියාවලියට රජය අවතීර්ණ වුව ද සත්‍ය වශයෙන්ම රාජ්‍ය අංශයේ ලාභ ලබමින් පැවති බොහෝ ආයතන, සංස්ථා හා දෙපාර්තමේන්තු ආදිය ද ස්වකිය පෞද්ගලික අභිමතයන් හා ලාභ ප්‍රයෝජන මත පෞද්ගලික අංශය වෙත පවරා දීමට කටයුතු සිදු කරන වගට නිදහසින් පසුව උදාවූ මෙරට මෑත ඉතිහාසය දෙස නිරීක්ෂණය කිරීමෙන් හඳුනා ගැනීමට පුලුවන. මෙහිදී පාලකයින් විසින් මෙසේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය වෙත අවතීර්ණවනුයේ මන්දැයි විමසා බැලිය යුතුමය.

එහිදී හඳුනාගතහැකි වනුයේ ධනේශ්වර අර්ථ ක්‍රමයේ පවත්නා සමස්ත ලෝක අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් දිගින් දිගටම රාජ්‍ය අංශය තුළ මේවායේ පාලනය හා ආධිපත්‍යය පවත්වාගෙන යාමට ලිබරල් ධනපති ආණ්ඩු අසමත් වීමය. ඒ හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ආයතන පවරා දෙමින් රාජ්‍ය පාලනය ගෙන යාමට පාලකයින් කටයුතු සිදුකරයි. එසේ නොමැති වුව හොත් ගිලෙන නැවත් සමඟින් මුහුදුබත්වන නැවක භාණ්ඩ මෙන් පාලකයින් ද විනාශය කරා යන බව ඔවුන් පූර්ව දැනුම්වත් බවකින් සිටින බැවිනි. එමෙන්ම ස්වකීය සුඛ විහරණය උදෙසා ද පෞද්ගලීකරණය වෙත නැඹුරුවීම සිදු කෙරේ. එහිදී ස්වකීය හිතෛෂීන් සන්තර්පණය කිරීම උදෙසාත් මතුවට එන මැතිවරණයන්හි දී සිය ප්‍රචාරක කටයුතු ආදියට අවශ්‍යය මුදල් ලබාගැනීම වැනි වක්‍ර අරමුණු සංතර්පණය කිරීම උදෙසා ද පෞද්ගලීකරණය වෙත නැඹුරු වීම හඳුනාගත හැකිය. මෙහිදී අධ්‍යාපනය පෞද්ගලීකරණ ක්‍රියාවලියට ලක්කිරීම සම්බන්ධව පුළුල් කථීකාවක් ගොඩනැගිය යුතුය. මන්ද යත් අක්‍රමවත් පෞද්ගලීකරණය තුළින් උදාවනුයේ විනාශය මිස අන් යමක් නොවන බැවිණි.

නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ සම අයිතිය

නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුය යන තේමාව කණ වැකීමත් සමඟින්ම මතුවන ප්‍රශ්න කිහිපයක් පවතී. ඒවා නම්, එය රැක ගත යුත්තේ කාගෙන් ද? එය රැකගත යුත්තේ කෙසේ ද? එය රැක ගතයුත්තේ ඇයි? එසේ රැකගැනීමට ඇති තර්ජන කවරේද? යනා දී ප්‍රශ්නය. පෞද්ගලීකරණයත් සමඟින් නිසැකලෙසින්ම නිදහස් අධ්‍යාපනය විනාශ මුඛය කරා ගමන් ගන්නා බවට වෙසෙසින් තර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍යය නොවේ. අධ්‍යාපනය මුදලට යට කිරීමත් සමගින්ම ඊට සමන්තරව 'අධ්‍යාපනයේ සම අයිතිය' නැමැති මානවවාදී දේශපාලන මූළමර්මය ද අවලංගුවී යෑම සිදුවේ. ඇතැමෙක් නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවීමෙන් තොරව ලබාගත හැකි අධ්‍යාපනය බැව් පිළිගැනීමට අකමැතිය. එසේ වුවද නොමිලයේ ලබන අධ්‍යාපනය පමණක් නිදහස් අධ්‍යාපනය ලෙසින් අර්ථ ගැන්විය නොහැක. එයට තවත් බොහෝ දෑ අන්තර්ගතය. ඒ අනුව ඉගෙනීමට අවශ්‍යය නිදහස් පරිසරයක් පැවතීම හා එය නඩත්තුකිරීම, ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් අධ්‍යාපනය උදෙසා මුදා හැරීම, වගකිව හැකි ස්ථාවර රාජ්‍ය අංශයක පාලනයට එය නතු කිරීම සේම ජාති, ආගම්, කුල භේද හෝ දුප්පත් පොහොසත් වැනි කිසිදු භේදයකින් තොරව සියල්ලනට අධ්‍යාපනය තුළ සමාන අවස්ථා හිමිකරදීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය නිදහස් අධ්‍යාපනය යන පුළුල් සංකල්පය තුළින් විශද කෙරේ.

අධ්‍යාපනය යන්න මානව අයිතියක් වශයෙන් හඳුනා ගැනීම පළමු කොටම සිදු කළ යුතුය. අයිතිවාසිකම් සතු නෛසර්ගික ලක්ෂණයක් වනුයේ එය සියලුදෙනාහටම එක සේ අදාල වීම නැමැති නියතියයි. අයිතියක් නම් එය සියල්ලනටම සාධාරණව හා සමානව හිමිවිය යුත්තේය. එවන් අයිතිවාසිකමක් වෙත මිලක් නියම කළ හැක්කේ කවරකුටද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ.

පෞද්ගලීකරණය තුළින් අධ්‍යාපනය නැමැති මානව අයිතිය වෙත මිලක් නියම කිරීම නිතැතින්ම සිදුවේ. මෑතක දී දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මාළඹේ පෙද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ද සිදුවෙමින් පවතින්නේ එය යි. මෙසේ මුදලට යටත් කිරීම හේතුවෙන් අයිතිවාසිකමක් සතු අනිවාර්ය ලක්ෂණයෝ අකල්මරණයකට ලක්වීම නොවැලැක්විය හැකිය. ඉන් අනතුරුව මුදල් ඇත්තෝ පමණක් අදාල මුදල ගෙවීමෙන් අනතුරුව සිය අධ්‍යාපන අරමුණු කරා ළඟාවන අතර අතිබහුතරයක් වන දුගී දරුවන් හට සිය අධ්‍යාපන ජීවිතයට අතරමඟදී ආයුබෝවන් කීමට සිදුවේ. මෙහිදී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක අවශ්‍යතාව තදින් දැනීයාම සිදුවේ. පෞද්ගලීකරණය කිරීමත් සමඟින් අධ්‍යාපන ආයතන එහි හිමිකරුවන් විසින් ලාභ උපයන ආයතන බවට පත් කිරීම සිය මුඛ්‍ය අරමුණ කර ගනී. අනතුරුව එහි ගුණාත්මකභාවය කෙසේ වුව ද ඔවුනට අවශ්‍යය වනුයේ ලාභ ඉපැයීම පමණි. එවිට ඒවායෙන් බිහිවන පිරිසේ සේවය ලබනා ජනතාව හට උරුම වනුයේ ගුණාත්මක සේවයක් ලැබීමේ අයිතිවාසිකම නොවේ අසංතෘප්තයේ මානසික පීඩනයයි, අසහනයයි. එහි අනිවාර්යය මීළඟ ප්‍රතිඵලය වනුයේ සමාජය තුළින් කැරළි කෝලාහල පැන නැගීමයි. ඒ සම්බන්ධ ඓතිහාසික අත්දැකීම් කිහිපයක අඳුරු මතකය මෙරට සමාජ දේහය තුළ තවමත් පවතී.

වෙල්ලමුල්ලිවෛයික්කාල් හි නන්දිකඩාල් කලපුෙවි දී මෙරට දුගී මව් පිය වරුන්ගේ දූ පුතුන් වන රණවිරුවන් විසින් අවසන් කළ ත්‍රස්තවාදයේ භෞතික ස්වරූපය ප්‍රතිපත්තිමය වශයෙන් යළි නූපදින පරිදි අවසන් කිරීමට නම් පාලකයෝ අධ්‍යාපනය සූක්ෂම අයුරින් හැසිරවිය යුතුය. මෙය කළ හොත් මෙය සිදුවේ, මෙය නොකළ හොත් මෙය නොසිදුවේ යනාදී අයුරින් හේතු ඵල තර්කනයෙන් සිතා ප්‍රතිපත්ති සැලසුම් කළ යුතුව ඇත. ඒ සඳහා සමාජයේ සියල්ලන් දායක කරගත යුතුය. නිදහස් අධ්‍යාපනය නැමැති දෙවොල තුළ සියල්ලන්ට ඒකරාශී විය හැකිය. වර්ගය, ආගම හෝ දුප්පත් පෝසත් භේද මත කිසිවකු මින් බැහැර නොකළ යුතුය.


අවන්ත ආටිගලගේ කාටූනයක්- 'අද' පුවත්පත

පෞද්ගලීකරණය වූ පසු

පෞද්ගලීකරණය වූ අධ්‍යාපනය තුළ ඇත්තේ අතිධාවනකාරී වූ තරඟයකි. එම තරඟයේදී ඒ තුළ සේවය කරන කාර්යමණ්ඩලය වෙතින් නිර්දිෂ්ට රාමුවක සිට සිසුන් වෙත ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට නියම කෙරේ. එවැන්නක සේවය කරන ගුරුවරයා වෙත පැවරෙන රාජකාරිය පමණක් නිසි පරිදි නිසි වේලාවට අවසන් කොට දේශන ශාලාවෙන් නික්ම යාම සිදුවේ. එනම් යම් ආකෘතියක් හා එයටම ආවේණික මොඩලයක් විසින් පෞද්ගලීකරණය වූ අධ්‍යාපන ආයතන පාලනය වේ. මෙම ආකෘතිය අතික්‍රමණය කොට සිසු දරුවන් වෙත සංස්කෘතිය හෝ සදාචාරය පිළිබඳව කියා දී ගුරු හරු කම් දීමට ඒවායේ සේවය කරන ගුරුභවතුන් හා දේශකවරුන් ක්‍රියා නොකරයි. ඒ ඔවුන්ගේ පෞද්ගලික දෝෂයක් නිසා නොවේ. ඔවුනට ඒ සඳහා කාලයක් අදාල ආයතනය විසින් වෙන් කර දී නොමැති වීම නිසාය. එසේම තමාට පැවරී නොමැති දෑ සිදුකරන්නට ගොස් රැකියාව අහිමිකර ගැනීමට ද ඔවුන් අකමැතිවන නිසා සිසුන් තුළට ඇතුළු කරනුයේ තරඟකාරී ලෙසින් විභාග ජය ගැනීමට අවශ්‍ය කාරණා පමණකි.

ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල මෙම තත්ත්වයේ යම් යම් වෙනස්කම් පැවතිය හැකි වුව ද රජයේ පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන තරමේ විෂය කරුණු හා තැවරුණු මිනිසත්කම හා ගුණධර්ම සිසු පරපුර වෙත ලබා දීමට පෞද්ගලික ආයතන වලට නොහැක. මන්ද යත් ඔවුන්ගේ ඉලක්කය වනුයේ ලාභ ඉපැයීම වන බැවිණි. ඒ සඳහා සිය ආයතනයේ ඉගෙනගන්නා සිසුන් ඉහළින් විභාග සමත්වීම පමණක් තමනට අවශ්‍යය බැවිණි. ඊළඟ වාරයේදී සිසුන් තම ආයතනය තුළ ලියාපදිංචි වීම සිදුවන්නේ පෙර කණ්ඩායමේ සිසුන් ඉහළ සාමාර්ථ ලබා ඇති විට පමණක් වන බැවිණි. ඒ හේතුවෙන් ඒ වෙනුවෙන් හැකිතාක් විභාග ඉලක්ක කර ගත් විෂය කරුණු පමණක් ඉගැන්වීමට කාල වේලාව යොදාගන්නා බැවින් පෞද්ගලික ආයතන තුළින් බොහෝ දුරට බිහිවනුයේ හදවත සඟවාගත් හා මොළය පුරවා ගත් කෘත්‍රිම මිනිසුන් පිරිසකි. සමාජය අසංවේදී වන්නේ මෙවිටය. මෙවන් මිනිසුන් විසින් ආයතනයන්හි විවිධ තනතුරු දරන කළ සාමාන්‍ය ජනයාගේ දුක හෝ පීඩාව ඔවුනට නොදැනී යාම අරුමයක් නොවන්නේය. අසහනය ව්‍යාප්තවනුයේ මෙවන් හේතූන් නිසාවෙනි. විවිධ අපරාධ හා අපචාර ඇතිවීමේ වස්තුබීජ වන්නේ මෙවන් හේතූන් ය. එසේ හෙයින් අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමනවා වෙනුවට කඩිනම් ක්‍රියාමාර්ග මෙකී ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් වැදගත්ය.

රටෙහි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක පැවැත්ම තුළින් බිහිවන දරුවන් වනාහී බොහෝදුරට සංවේදී මානව මානවිකාවෝ වෙති. 'කවිය' 'ගීතය' වැනි කලාවට හා මනුශ්‍ය සදාචාරයට පෙම්බඳිනා සුපහන් සිත් ඇත්තෝ බොහෝ දුරට නිදහස් අධ්‍යාපනය තුළින් ජනිත වේ. ඇතැම් පිරිස් සිය නෛසර්ගික දුර්වලතා නිසාවෙන්ම නිදහස් අධ්‍යාපනය යටතේ උගත්ත ද යහපත් මිනිසකු බවට පත් නොවී සිටිය හැකි වුවද බහුතරයකගේ තත්ත්වය එසේ නොවී වඩා යහපත් දේශයක් බිහිවීමට නිදහස් අධ්‍යාපනයේ දරුවන් වශයෙන් දායකවීම සිදුවේ.

මේ වන විට විවිධ සමාගම් රැසක් ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අනුමැතිය යටතේ විවිධ ප්‍රමාණයෙන් මුදල් අයකර ගනිමින් උපාධි, ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලා පවත්වාගෙන යාම සිදුකෙරේ. සති අන්ත පුවත්පත් හි පිටු මේවායේ දැන්වීම් වලින් පිරී ගොස්ය. එක් ආයතනයක් පරයා තවත් ආයතනයක් සිසු පරපුර ආකර්ෂණය කරගැනීමට දැන්වීම් පළකිරීම හරහා දරන උත්සාහය හඳුනාගත හැකිය. මෙහිදී ගැටලුව වනුයේ මේ ආකාරයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අනුමැතිය අදාළ සියළු පෞද්ගලික ආයතන වෙත ලබාදී ඇත්තේ කුමණ තත්ත්වයන් යටතේද යන්නයි. එසේම එම ආයතන වෙතින් අයකරනු ලබන අසාධාරණ මිල ගණන් සම්බන්ධව වගකියනුයේ කවුරුන්ද යන්නයි. මේ ආකාරයේ ආයතනයන්හි තත්ත්වය, ගුණාත්මකභාවය, ස්ථාවරත්වය, විශ්වසනීයත්වය හා වගවීම වැනි නොයෙකුත් කරුණු සම්බන්ධව නිසි සොයා බැලීමකින් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අනුමැතිය ලබා දී ඇද්ද යන්නයි.

නිදහස් අධ්‍යාපනයේ දරුවෝ

අධ්‍යාපනයෙහි නිදහසත් නිදහස් අධ්‍යාපනයත් යන ද්විත්වයෙහිම එක්තරා දුරකට සමාන බවක් ඇති වග පෙනේ. ඉගෙනීමට ඇති අවහිරතා සහ බාධා නොමැතිවීම මෙහි පළමුව දක්වන ලද අධ්‍යාපනයේ නිදහස යන්නේ සරළ අරුතයි. නිදහස් අධ්‍යාපනයේ මහාර්ඝ වටිනාකම පෙන්වාදීම සඳහා නිදර්ශන කොතෙකුත් ඇතත් ඉතාම වැදගත් යැයි හැඟී ගිය හෙයින් පහත නිදසුන ගෙන හැර දක්වමි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයෙහි මහාචාර්යවරයකු ලෙසින් මෙරටට සුවිසල් කීර්තියක් අත් කර දුන් මහාචාර්යය මහාලිංගම් මහතාගේ ජීවිතය ගෙනහැර දැක්විය හැකිය. ලොව ප්‍රකට ගුවන් යානා නිශ්පාදන ආයතනයක් වූ 'ඇව්රෝ' සමාගමෙහි නිෂ්පාදිත ගුවන් යානා අභ්‍යවකාශ ගතකිරීමේදී ගිනිගන්නා ස්වභාවයක් හටගැනීම හේතුවෙන් සමාගමෙහි පරිපාලනය විසින් ලොව නන් දෙසින් මෙම දෝෂය නිවැරදි කරන්නට සමත් බුද්ධිමතුන් සොයා යන්නට විය. අදාල ගැටලුව නිවැරදි කොට යානා ගිනි ගැනීමෙන් වලක්වා ගැනීමට කිසිදු විද්‍යාඥයකු සමත් නොවූ වකවානුවක මෙරට නිදහස් අධ්‍යාපනයෙහි දරුවකු වූ මහාලිංගම් මහාචාර්යතුමන් එය නිවැරදි කරන ලද්දේ සමස්ත ලෝකයම මවිත කරවමිනි. මෙහිදී සිහි තබාගත යුතු කරුණ වනුයේ දැඩි සීමා මායිම් යටතේ හෝ මුදල් ගෙවීමෙන් පමණක් අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමට පාලකයෝ ක්‍රියා කරන්නේ නම් මෙවන් මහාලිංගම්ලා දස දහස් ගණනින් මාතෘ භූමියට අහිමිවීමයි. එය එසේ නොවනු ඇතැයි කාට නම් කිව හැකිද? මේ නිසාවෙන් ඉතිහාසයේ සංචිත අනන්ත නිදසුන් ප්‍රමාණයක් යලි ගොඩගෙන පිරික්සා බැලීමේදී නිදහස් අධ්‍යාපනයක අවශ්‍යතාවය පසක්කර ගැනීමට පුලුවන.

මිත්‍යාවේ දැහැනින් මිදී යථාර්ථවත් නැවුම් සමාජ ආස්ථානයක් කරා දෘෂ්ටිවාදාත්මකව විතැන් වීමට කාලය එලඹ ඇති බැවි සිහි කැඳවන්නට මෙය සුදුසුම මොහොත බව මාගේ හැඟීමයි. නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ සම අයිතියත් දිනා ගැනීමට ප්‍රගතිශීලී සමාජ බලවේගයෝ සියල්ල එක මිටකට එක් විය යුතුව ඇත. එය ආණ්ඩු පෙරලීමට ලඝු නොවී මාතෘ භූමියේ මතු පරපුර උදෙසා සමස්ත සමාජ ආර්ථීක ක්‍රමයේම පුලුල් වෙනසක් අපේක්ෂාවෙන් පරහිතකාමීත්වයෙන් සිදුවිය යුත්තකි.

එම්.ජී. නුවන් සමීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails