Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


"බෞද්ධ හා ඉස්ලාම් ආගමික ආතතිය- මේ මොකද වෙන්නේ?" යන ලිපිය හා බැඳේ.

මීට පෙර ලිපිය තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත්, ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය යි. දැන්, මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය, විතැන් වීමට නියමිත වෙන්නෙ ඉස්ලාම් අන්තවාදයටයි.

අන්ත සිංහල ජාතිවාදීන් හැරුනු කොට මැදහත් සියලු දෙනා දන්න දෙයක් තමයි මේ වෙන කොට ලංකාව ඇතුලෙ පැතිරුණු මුස්ලිම් අන්තවාදයක් නොමැති බව. විශේෂයෙන් තමන්ගේ ආගමික භාවිතාව ඇතුලෙ දැඩි බවක් පවත්වාගෙන යනවා වුණත්, සමාජය හා සිදුකරන ගනුදෙනුවෙදි, මුහුවීම් ඇතුලෙ එහෙම දැඩි අන්තවාදයක් දකින්න නොලැබෙන බව. එහෙත් ජාත්‍යන්තරය තුළ මුස්ලිම් හෝ ඉස්ලාම් ත්‍රස්තවාදය කියන්නේ අතිශයින්ම සංවිධානාත්මක හා සංකීර්ණ වූවක්. එය ජාත්‍යන්තර මට්ටමෙන් දෙවැනි වෙන්නෙ බටහිර හා චීනය ප්‍රමුඛ ධනේෂ්වර වෙළඳ යාන්ත්‍රණයට පමණක් යැයි කීවත් වැරදි වෙන එකක් නෑ. විශේෂයෙන් බර්ලින් තාප්පය ඇද වැටීමට පෙර, බටහිර ලිබරල්කරණයට විරුද්ධව වාමාංශික බලවේග විරුද්ධව සිටියා වුණත් බටහිර ලිබරල්කරණයේ අද ප්‍රමුඛතම හතුරා වෙලා ඉන්නෙ ඉස්ලාම් අන්තවාදය යි.

පාරජාතික ඉස්ලාම් අන්තවාදය

යම් යම් රාජ්‍යයන්, සීමාවන් අතික්‍රමණය කරමින් ව්‍යාප්තිය තමයි පාරජාතිකත්ව කියල හදුන්වන්නෙ. ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය විසින් අතිවිශාල සමාගම් යම් නිශ්චිත දේශසීමාවක් පරයමින් ව්‍යාප්ත වීමයි පාරජාතික එසේත් නැතිනම් බහුජාතික සමාගම් විදිහට හඳුන්වන්නේ. ඉස්ලාම් අන්තවා‍දයේ ක්‍රියාකාරීත්වයත් මේ වෙන කොට පාරජාතික තත්ත්වයට පත්වෙලා. විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කරමින් ඉන්න අල්ඛයිඩා සංවිධානය මේ වන විට සිදුකරමින් සිටින්නේ ප්‍රාදේශීය වශයෙන් හෝ දේශසීමාවන්ට සීමා වෙලා තිබෙන අන්තවාදී සංවිධාන වලට ආධාර ලබාදීමත්, මිලිටරි පුහුණුව ලබාදීමත් මෙන්ම ඒවා එකිනෙකට ජාල කිරීම මගින් අන්තර් සහයෝගය ව්‍යාප්ත කිරීමේ කාර්යයයි. ‍අල්ඛයිඩාව පිළිබදව සාර්ථකම අධ්‍යනය යැයි සැලකෙන Inside Al-Queda හි කතෘ මහාචාර්ය රොහාන් ගුණරත්නට අනුව ත්‍රස්තවාදයට එරෙහි බටහිර මිලිටරි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉස්ලාම් අන්තවාදී සංවිධාන මැදපෙරදිග කලාපයෙන් අග්නිදිග ආසියානු කලාපයට යොමුවීමේ ඉඩකඩක් තිබෙනවා.

දූපතක් ලෙස ලංකාවේ පිහිටීම මගින් යම් ආකාරය ආවරණයක් ලැබුණත්, සරු පසක් ලංකාව තුළ තිබේ නම් ඉස්ලාම් අන්තවාදයේ මූලස්ථානයක් ලෙස ලංකාව පත්වීමට ඇති හැකියාවෙහි අඩුවක් වෙන්නෙ නෑ. තාක්ෂණය, මිලිටරි යටපත් කිරීම්, ආරක්ෂාව තර කිරීම් තුළින් ත්‍රස්තක්‍රියා යටපත් කළ හැකිය යන අදහස අසත්‍ය වන හොදම උදාහරණයක් නම් පසුගිය දා පුපුරා ගිය බෝස්ටන් බෝම්බයයි.

ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත විමට හේතු මොනවාද?

කවර හෝ අන්තවාදයක් විසින් අත්පත් කරගනු ලබන්නේ සමාජය තුළ පවතින කිසියම් රික්තකයක්. ඉස්ලාම් අන්තවාදය තුළදී ආගම විසින් යම් යම් පෙළඹවීම් සිදුකරන බවට චෝදනා එල්ල වුණත්, එය ත්‍රස්ත ක්‍රියාකාරීත්වය දක්වා වර්ධනය වීමේදී, අනෙකුත් සමස්ත ත්‍රස්ත ක්‍රියාකාරීත්වයන් හා පොදුවේ තබා මැනිය හැකි පොදු තත්ත්වයන් ගණනාවක් දකින්නට පුළුවන්. මේ සදහා විවිධ සමාජ විද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක කරුණු කාරනා හේතු වෙන බව දකින්න ලැබෙන දෙයක්.

ඉස්ලාම් හා බටහිර ගැටුම

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන අදහස් දක්වන රොබර්ට් පෙපේට අනුව මේ ත්‍රස්තක්‍රියාවන්ට හේතුව තමන්ගේ මාතෘභූමි තුළින් විදේශ හමුදාවන් පන්නා දැමීමේ අරමුණයි. ඒ අනුව මේ වන විට දැඩිව ඉස්ලාම් අන්තවාදී ක්‍රියා දකින්න පුළුවන් ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පලස්තීනය, ලිබියාව වගේ රටවලට මේ තර්කට අදාළ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමේ ඊනියා වුවමනාව පෙන්වමින් තෙල් හා අනෙකුත්, භෞතික සම්පත් හා භූ දේශපාලනික වුවමනා මත දියත් කෙරුනු ආක්‍රමණ මගින් ඉස්ලාම් අන්තවාදය දැඩිව ව්‍යාප්ත වීමත්, එහි ප්‍රචණ්ඩ ස්වරූපය වැඩි වැඩියෙන් ඉස්මතු වීමත් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු දියත් වුණු කුප්‍රකට "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" කාලපරිච්ඡේද‍ය පුරාවට දකින්නට පුළුවන් දෙයක්.



ඉස්ලාම් ආගමේ "ජීහාඩ්" කියන වචනයට අනුව "අරගලය" යන්න ඉස්ලාම් ආගමට එරෙහිවූවන්ට එරෙහි දෙයක් කියලයි අල්ඛයිඩාව අර්ථ දක්වන්නේ. අල්ඛයිඩාව සටන් කරන්නේ ලෝකෙම ෂරියා නීතිය යටතට ගේන්න. 2002 වසරෙදි, ඇමරිකාවට එරෙහිව තමන් සටන් කරන්නේ ඇයිද යන කාරණය පැහැදිලි කරමින් ඔසාබා බින් ලාඩන් විසින් ලියන ලිපියෙහි බටහිර රටවල් විසින් අනුගමනය කරන දේව විරෝධී සංස්කෘතියට එරෙහි කරුණු ගණනාවක් දක්වා තිබෙනවා. ඒ අනුව බටහිර "නිදහස්වාදය" සම්පූර්ණයෙන්ම ෂරියා නීතියට පටහැනි ලෙසටත් කාන්තා නිදහස, සමලිංගික අයිතීන්, ලිංගික නිදහස විසින් ලෝකය යක්ෂයාගේ දිශාවට දක්වාගෙන යන්නක් ලෙසටයි බටහිර ලිබරල්වාදී සංස්කෘතිය ඔහු අර්ථදක්වන්නේ. එක්පසෙකින් අන්ත පරිභෝජනවාදයක් හරහා ලෝකයේ විනාශය දිශාවට අරං යන බටහිර ලිබරල්වාදී ප්‍රතිපත්ති ගැන කොන්දේසි විරහිත විරෝධය දැක්විම තුළ යම් සදාචාරමය විරුද්ධත්වයක් දකින්න පුළුවන්.

මේ ආගමික අර්ථදැක්වීම් වල තියෙන ප්‍රධාන කාරණය ඒවා අර්ථදක්වන විදිහ. 'ජිහාඩ්' යන වචනය අභ්‍යන්තර හා බාහිර අරගලය වශයෙන් අරගෙන, අභ්‍යන්තර අරගලය මිනිසා තුළින්ම වන අරගලයත්, බාහිර අරගලය ඉස්ලාම් ආගමේ සතුරන් හා වන අරගලයත් වෙනවා.
හුදු ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගසනවාට වඩා වැඩි යමක් බින් ලාඩන් ගේ ලිපියෙහි වන බවට උදාහරණ සපයන කුඩා කොටසක් පහත දැක්වෙනවා.

"නිදහස හා සාමය කියලා ඔබ කියන ඒවා අයිති ඔබට (ඇමරිකාව) හා සුදු ජාතිකයින්ට විතරයි. අනෙක් මුළු ලෝකෙට එනම් "ඇමරිකානු මිතුරන්"ට ඔබලා මේවා ලබා දෙන්නේ ඔබලගේ විනාශකාරී, නපුරු ප්‍රතිපත්ති හා පාලන ක්‍රමත් එක්කයි. ඒවාගෙන් ඔබලා මේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන්න වගබලාගන්නවා. ඇල්ජීරියාවේ ඉස්ලාම් පක්ෂයට ඒ රටේ ඡන්දය දිනලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ඕන වුණා. ඒත් ඔබ ඔබේ විනාශකාරී ඒජන්තයින් එහි හමුදාවට යවලා, අවි වලින්, යුධ ටැංකි වලින් පහර දුන්නා. හිංසා කරා, සිරගත කරා. ඒ තමයි "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පොතේ අලුත් පාඩම”!!!
[-Guardian]

මුස්ලිම් පවුල් සැකැස්මේ ආදර්ශය

පහුගිය කාලය පුරාවට ලංකාව තුළ පැතිරුණු මුස්ලිම් විරෝධය තුළ මතුව ආ කරුණු අතරින් එක් කරුණක් වුනේ මුස්ලිම් ජනගහන වර්ධනය. සාමාන්‍යයෙන් පවුලක සිටින ළමුන් ගණනට වඩා වැඩි ප්‍රමාණයක් මුස්ලිම් පවුලක සිටින බව අපි බොහෝ විට දකින දෙයක්. මේ තත්ත්වය ලංකාවේ විතරක් නෙවෙයි අනෙකුත් රටවල මුස්ලිම් පවුල් අතරත් පොදුවේ තිබෙන දෙයක්. තුර්කිය, ඉන්දුනීසියාව, ඇල්ජීරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, පාකිස්ථානය වැනි මේ බොහෝ රටවල පවතින ආර්ථික අහේනිය මේ රටවල ඉන්න තරුණ පිරිස් අසහනයට පත්කරනවා. මෙකී ආර්ථික අපහසුතාවයන් තීව්‍ර කිරීමටත්, නිවාස හා සනීපාරක්ෂක පහසුකම් තව තවත් දුර්වල කිරීමටත් වැඩි සාමාජිකයින් පිරිස් සිටින පවුල හේතුවෙනවා. රැකියා විරහිත තරුණ පිරිස් ඉතා පහසුවෙන් අන්තවාදී පිරිස් වලට ගොදුරු වීම අවදානම ඉහල බව Undestand Terror Network කෘතිය ලියූ ආචාර්ය මාක් සේග්මන් දක්වා සිටිනවා. අල්ඛයිඩාව මෙවැනි අවවරප්‍රසාදිත පරිසර පවතින රටවල සීග්‍රලෙස ව්‍යාප්ත වෙමින් සිටිනවා.



සමාජ අනන්‍යතාව සදහා අන්තවාදය

හෙන්රි ටජ්ෆෙල් හා ජොන් ටර්නර්ගේ සමාජ අනන්‍යතා න්‍යාය කියන්නෙ කිසියම සමාජ කණ්ඩායමකගේ හැසිරීම හරි ක්‍රියාකාරීත්වය හා ඉගැන්වීම් මගින් පුද්ගල අනන්‍යතාවය ගොඩනැගීමයි. එතනදි තමන්ගේ අනන්‍යතාවයට වඩා වැදගත්ම බලපාන්නේ තමන් අයිති කණ්ඩායම සහ එහි ප්‍රතිපත්ති, ඉගැන්වීම්, සංස්කෘතිය ආදි කාරණාවන්.

පසුගිය කාලය පුරාවට යුරෝපය හා ඇමරිකාවට එරෙහිව ප්‍රහාර සැලසුම් කළ හා ක්‍රියාත්මක කළ පිරිස් සම්බන්ධයෙන් වන ප්‍රධාන ලක්ෂණයක් වෙන්නෙ ඔවුන් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති, එමෙන්ම බටහිර සංස්කෘතියට විවෘත වුණු, බටහිර සංස්කෘතිය හා සම්බන්ධ ජීවන විලාසයකට සම්බන්ධකම් ඇති පිරිස් වීම. මොවුන්ගෙන් වැඩි පිරිසක් විවිධ මුස්ලිම් රටවලින් සංක්‍රමණය වූ දෙවැනි පරම්පරාවට අයිති වූවන්. උදාහරණයක් ‍විදිහට ඇෆ්ගනිස්ථායේ උපත ලබා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙලා, ඇමරිකානු අධ්‍යාපනය ලබන පුද්ගලයෙක්. සැබැවින්ම ඔවුන්ගේ අනන්‍යතාවත් පාරජාතිකයි. ඒත් ඔහුට තියෙන තමන්ටම අනන්‍ය වූ අනන්‍යතාවය වෙන්නෙ ඉස්ලාම් ජිහාඩ්වරයෙක් බවට පත්විමයි. මේ නිසා තමන්ගෙ සමාජ අනන්‍යතාවයේ පිළිඹිඹුව, තමන්ගේ අරමුණ බවට පත්කරගන්නවා. මේ පිළිබද පර්යේෂණ කළ ඔලීවියර් රෝයිට අනුව බටහිර ලෝකය තුළ හැදි වැඩි ඇති අය වගේම ඉස්ලාම් ආගම වැළදගත් පිරිස්ද අන්තවාදය කරා පෙළඹීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.

බටහිර ‍‍ලෝකය විසින් උත්කර්ෂයට නංවන අධිපරිභෝජනවාදය නිසාම අනෙක් පසින් අපේක්ෂාභංගත්වයක් හා අනන්‍යතා අර්බුදයක් සමාජය පුරා පැතිර යනවා. මෙය සමාජ විද්‍යාත්මකව කතාබහ කළ යුත්තක්. මේ නිසාම විවිධ අන්තවාදයන් ඔස්සේ මෙකී සමාජයමය කඩාවැටීම නිර්වචනය කරගනු ලැබීම දකින්න පුළුවන්. භාවනා පංති හතු පිපෙන්නාක් මෙන් පැතිරීමත්, ක්‍රිස්තියානි ආගමික නිකායන් පැතිරවීමත් ලංකාවෙදි දකින්න පුළුවන් වගේම බටහිරදී මෙයට මුස්ලිම් අන්තවාදය විතැන් වීමේ තත්ත්වයක් දකින්නත් පුළුවන්. පසුගියදා ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා සැලසුම් කිරීම හා ත්‍රස්ත පුහුණුව ලැබීම යන චෝදනා යටතේ සිරගත කෙරුණු රිචඩ් ඩාර්ට් නැමැති එංගලන්ත ජාතික තරුණයාගේ කතාව එවැන්නක්. සිරගත වීමට පෙර ඔහුගේ සොහොයුරෙකු විසින් නිපදවූ My Brother the Islamist [බලන්න.] වාර්තා චිත්‍රපට‍ය තුළ මේ ගැන හොඳින් පෙන්වා දෙන වැඩසටහනක්.

විවිධ කල්ලි, අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර, වැනි දෑ අයිති වන්නෙත් මේ ගණයටමයි. කරුණු ගැඹුරින් සැලකුවම තේරෙන දෙයක් තමයි කළු හෝ සුදු කියලා නිශ්චිතවම දෙයක් වෙන්කරලා අඳුනගන්න අපහසුයි කියන එක. ඒ පුද්ගලයාගේ හෝ අවස්ථාවේ දේශපාලනයට යටත්වයි අපේ තේරුම්ගැනීම සිද්ධ වෙන්නෙ. වඩාත් වැදගත් වෙන්නෙ වඩාත් විවෘත මනසකින් මේ දේවල් දිහා බලන එක.

මුස්ලිම් අන්තවාදය ලෝක මට්ටමින් තේරුම් ගන්නකොට තේරෙන දෙයක් තමයි, ඒ තත්ත්වයන් ලංකාවේ බෞද්ධ අන්තවාදයටත් යම් යම් තත්ත්ව වලින් අදාලයි කියන එක. මේ කරුනු වලින් මේ වන විට ලංකාවේ පවතින තත්ත්වය ව්‍යාප්ත විය හැකි මට්ටම් ගැන පෙර කියැවුමක් කරගන්න පුළුවන් වගේම, අනෙක් පැත්තෙන් අන්තවාදි අදහස් මුල්කරගෙන ආවේගශීලී වෙන මිනිසුන්ගේ මානසික මට්ටම් තේරුම් ගන්නත් හැකියාව ලැබෙනවා. මේ සියළු අධ්‍යනයන්ගේ, තේරුම්ගැනීම් වල අවසාන පෙලැඹවීම වෙන්න ඕන සිදුවිය හැකි සමාජමය අනතුරු වළක්වා ගැනීමයි.

අවසානයක් ලෙස සී.අයි.ඒ. සංවිධානයේ හිටපු විශ්ලේෂකයෙකු වන මයිකල් ෂූවර්ගේ පහත අදහස ඉස්ලාම් අන්තවාදය පමණක් නොව ත්‍රස්තවාදය යැයි සම්මත සියළු තත්ත්වයන් විග්‍රහ කර ගැනීමට හොද වෙයි කියා හිතනවා.

"ඔවුන් අපට වෛර කරන්නේ අපි කවුරුන් වන්නේ ද යන්න මත නොව අප කරන දේ අනුවය."



ආශ්‍රිත කියවීම්-

-"Terrorism in Southeast Asia-Threat and Response" by Rohan Gunarathna
-Islamic Terrorism in South Asia and India's Strategic Response
-UK trio jailed for preparing acts of terrorism
-Social identity theory

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails