Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මිනිසා තාක්ෂණික වශයෙන් කෙතරම් සොබාදහම අතික්‍රමණය කරමින් සිටියයද තාක්ෂණයේ මූලික තීරකයෙකු වන ඉන්ධන, මේ වන විටත් ප්‍රධාන වශයෙන් ලබාගන්නේ පුනර්ජනනීය නොවන මූලාශ්‍රවලිනි. තව දශක ගණනාවක් ඇතුළත ලොව පවත්නා ඛණිජ ඉන්ධන අවසන් වන බව අපි දනිමු. තවමත් ලෝකය එම ගැටලුවට විසදුමක් සොයා ගැනීමට අසමත්ව ඇති බැවින් ස්වාභාවික සම්පත් මතම යැපෙන්නට තාක්ෂණයට ද සිදුව තිබේ.

මේ වන විට ලොව ඉතිරිව පවතින වහා ප්‍රයෝජනයට ගත හැකි ස්වාභාවික සම්පත් ආකර ලෙස සැලකිය හැක්කේ නිවර්තන වැසි වනාන්තරයි. ඝර්ම කලාපයේ ව්‍යාප්තව ඇති මේවා පෘථීවි දේශගුණයහා ජල චක්‍රයේ සමබරතාවට ඉටු කරන මෙහෙය නොසලකා හැරිය ද ඒ බිම්හි අන්තර්ගතව ඇති ඛණිජ හා දැව සම්පත් ප්‍රමාණය අති මහත්ය. මිනිස් ජීවිතය සුවපහසු කරවන රෝද සහ යන්ත්‍ර සූත්‍ර කරකැවීමට අවශ්‍ය තවත් තෙල් බිඳුවක් පෘථීවි අභ්‍යන්තරයෙන් හූරාගන්නට බලා සිටින තෙල් සමාගම්වලට නම් නිවර්තන වැසි වනාන්තර යනු කළඹන්නට ඔන්න මෙන්න තිබෙන කිරි මුහුදකි. මන්ද යත් ඒවා ඛණිජ තෙලින් පොහොසත් බැවිනි. දකුණු ඇමරිකාවේ රටවල් ගණනාවකට අයත් ලෙස පැතිරී ඇති ඇමසන් වනය මේ අයුරින් තෙල් සමාගම්හි අවදානයට යොමුවූයේ මෑතක සිට නොවේ. එබැවින් ඇමසන් වනයෙන් සැලකිය යුතු කොටසක් විවිධ අවස්ථාවන්හි තෙල් ගවේෂණයේ ගොදුරු බවට පත් විය.

මෙවර රුදුරු ඉරණමට මුහුණ දී ඇත්තේ ඉක්වදෝරයට අයත් ඇමසන් වන බිමිය. මේ අනුව ඉතා නුදුරේදීම තෙල් හා ජීව වායු ගවේෂණය සඳහා චීන සමාගමකට පවරා දීමට නියමිත බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන තුනකටත් වැඩිය. එය ඉක්වදෝරයට මායිම්ව ඇති ඇමසන් වන භූමි ප්‍රමාණයෙන් හරි අඩක් පමණ වේ. මේ ඉක්වදෝරය සිය ඇමසන් වන බිම් මෙලෙස වෙන්දේසි කිරීමේ එකොළොස් වැනි අදියර යැයි කියනු ලැබේ. ඉන් බොහෝ අවස්ථාවන්හිදී ගැණුම්කරු ලෙසින් ඉදිරිපත් වී ඇත්තේ චීනයයි. 2011 වසරේද මේ ආකාරයේ වන බිම් විකිණීමකට එරට රජය සූදානම් වූ නමුත් ආදිවාසීන්ගේ විරෝධතා මත එම උත්සාහය නවතා දමන්නට සිදුවිණි.

ඇමසන් වන බිම් යනු හුදෙක් වන බිම් නොව පෘථීවිය මත වසන සත්ව කොට්ඨාස අතුරින් 30%කගේ නිජබිම්ය. එමෙන්ම තෙල් හෝ ජීවවායු කැණීම යනු ගංගාවලින් වැලි කැණීම වැනි අවම පාරිසරික හානි ජනනය කරන ක්‍රියාවලියක් නොවේ. නිවර්තන වැසි වනයක සංවේදී ජීවීන්ට හා උන්ගේ පරිසර පද්ධතියයේ තුළ්‍යතාවට ඒවා ඇති කරන බලපෑම කෙතරම් දරුණුදැයි වටහා ගැනීමද අපහසු නොවේ. විශේෂයෙන්ම ඉක්වදෝරය ගත හොත් එහි වැසිවනාන්තර වනාහි ලෝකයේ වැඩිම උඩවැඩියා විවධත්වය ඇති පරිසර පද්ධතිය ලෙස සැලකේ.

ඛණිජ තෙල් සහ ජීව වායු ටොන් ගණන් එක්වර අවශෝෂණය කර ගැනීමට සමත්, වැසි වන ගැබ මධ්‍යයේ සවි කරන යන්ත්‍ර මගින් අසංතුලනය කරන්නේ එහි ශාක සහසත්ව ජීවිත පමණක් නොවේ. ලතින් ඇමරිකාව වන ජීවී සම්පතින් මෙන්ම මානව සම්පතින්ද අනූන බැවින් ඒවායේ ජීවත් වන සිය ගණණක් ගෝත්‍රිකයන්ගේ ජීවිතවලටද උරුම වන්නේ එවන් කණගාටුදායක ඉරණමකි. ආදිවාසීන්ගේ සංවිධාන මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් විවිධ පියවර ගනිමින් සිටියද මේ වන විට පුලුල් දේශපාලන හා ආර්ථීක බලයක් හිමි චීනයට අයත් තෙල් සමාගම පියවරක් පිටුපසට ගනිතැයි සිතිය නොහැකිය.


ඉක්වදෝර් අගනුවර පැවති ආදීවාසීන්ගේ විරෝධතාවයක්

මේ වනබිම් කොල්ලය පිටුපස ඇති දේශපාලනික හා ආර්ථීක හේතූන් විශ්ලේෂණයේදී පෙනී යන්නේ එය හුදෙක් තෙල් සමාගමක් විසින් භූමියක් මිළදී ගැනීමකට වඩා දුර දිග ගිය යමක් එහි තිබෙන බවය. චීනය ලතින් ඇමරිකානු කලාපය තුළ පතුරුවා ඇති බලය මෙවන් ගනුදෙනුවලට ඍජුවම බලපායි. චීනය සිය බලය විහිදුවා ඇති එකී කලාපයට අයත් ප්‍රධාන රටවල් හතර අතර ඉක්වදෝරය ද තිබේ. අවාසනාවකට මෙන් කලාපීය වශයෙන් චීනය සිදු කර ඇති අති විශාල ප්‍රමාණයේ ආයෝජන නිසා ඉක්වදෝරයේ දේශපාලන පද්ධතිය තුළද සැලකිය යුතු වෙනස්කම් සිදුවී පවතී.

අනෙක් කරුණ නම් මේ වන බිම් මිළදී ගන්නා චීනයට ඉක්වදෝරය මහා පරිමාණයෙන් ණයවී සිටීමයි. ඒ ණය ප්‍රමාණය පවුම් බිලියන 5.7 ක් පමණ වේ. කෙතරම් ණය ලබාගත්තද ඒවාමගින් දියත් කරන සංවර්ධන කටයුතු තුන්වන ලෝකයේදී එම ණය පෙරළා ගෙවීමට තරම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම ඉක්වදෝරය වැනි තුන්වන ලෝකයේ රටකදී සිදුවෙතැයි බලාපොරොත්තු විය හැකි තත්වයක් නොවේ. එහි අවසන් ප්‍රතිඵලය එම රටවල් ණය සිතාගත නොහැකි තරම් දැවැන්ත ණය කරුවෙකු වීමයි. විශාල රන් සංචිත හෝ විදේශ වත්කම් අහිමි තුන්වෙනි ලෝකයේ රටවලට එවන් ණය බරවලින් මිදීමට ඇති පහසු පිළිවෙතක් වන්නේ තම රටෙහි ස්වාභාවික සම්පත් හිලව් කිරීම වැනි ප්‍රාථමික උපක්‍රමයකි. ඉක්වදෝරය දැන් හසුව ඇත්තේ එම ණය උගුලටය. එමෙන්ම මේ ණයලබා දී ඇත්තේද ''දීර්ඝ කාලීන භාණ්ඩ හුවමාරු ප්‍රතිපත්තියක්''යටතේය. ණය වෙනුවෙන් ස්වාභාවික සම්පත් පවරා දීම වෙනත් වදන්වලින් හැදින්වීමක් ලෙස මෙම ප්‍රතිපත්තිය සැලකිය හැකිය.

විනාශය යනු ඇමසන් වනයට අමුතු අත්දැකීමක් නොවේ. යුරෝපයෙන් ගෙන ආ ආර්ථීක බෝග වගාව පිණිස පළමුවත්, කාර්මික විප්ලවයේ අඬු පඬු විහිදීමත් සමග කර්මාක්ත අමුද්‍රව්‍ය හා භූමිය සැපයීම පිණිස දෙවනුවත් ඒ වන බිම් සීඝ්‍රයෙන් වැනසිණ. මේ ක්‍රියාවලි නිසා උඩු යටිකුරු වූ ස්වදේශිකයන්ගේ ජීවන රටා නිසා එතෙක් පැවති වනය හා මිනිසුන් අතර පැවති සුහද සහජීවනය බිඳී ගොස් ඔවුන් ආර්ථීකයේ බලපෑම මත වනය සූරා කන්නටත් පටන් ගැණීම එම විනාශයේ ඊළඟ අදියර විය. අවසන් වශයෙන් පසුගිය දශක ගණනාවතක් තිස්සේ ප්‍රසාරණය වෙමින් පවතින ජනගහනයේ අවශ්‍යතාවන් සපුරාලීමට ද මේ බිම් හෙළි වෙමින් තිබේ. එමෙන්ම විප්ලවීය කෘෂිකාර්මික රටාවන් සමඟ හඳුන්වාදෙන ලැබූ මහාපරිමාණ කෙසෙල්, බඩඉරිගු හා සෝයාබෝංචි ආදී වගාවන් තුළද කිදී යමින් පවතින වනබිම් ගණන අක්කර දහස් ගණනකි.

දකුණු ඇමරිකාව වැනි ආර්ථීක දරිද්‍රතාවයේ ගිලුණු මහද්වීපවල දිළිඳු කම තවදුරටත් ධනවත් රාජ්‍යවල හිත සුවපිණිස හේතු වෙමින් පවතී. එබඳු රටවලට තමන්ගේ ස්වාභාවික සම්පත් වලින් කර්මාන්ත බිහි කිරීමට ඇති නොහැකියාව මත ධනවත් රටවලට ඒවාට ඇඟිලි ගැසීමේ හා ඒවා අත්පත් කර ගැනීමේ හැකියාව ඉහළ යමින් පවතී. මෙවන් රටවල පවතින මුදල් මගින් දියාරු කළ හැකි ආර්ථීක දේශපාලන ප්‍රතිපත්තිත්, පාරිසරික නීති රීතීත් එයට පිටුබලයක් සපයන්නට සමත් වෙයි. කර්මාන්ත බිහි කළ විගස ලාබ මිළට ශ්‍රමය සපයන්නට පොරකන ශ්‍රම සම්පත්වලින් යුතු මේ තුන්වන ලෝකයේ රටවල් ආයෝජකයන්ට හොඳ ක්‍රීඩා පිටියකි. එමෙන්ම ආර්ථීක අපහසුකම්වලින් පීඩිත රටවලට මෙවන් ආයෝජන බිහිවීම දියුණුවේ මං පෙත් විවිර වීමකැයි සිතීම ද පුදුමයක් නොවේ.

චීනය 1964-92 දක්වා වසර 24ක කාලයක් තුළ උතුරු ඉක්වදෝරියානු වන බිම් කොල්ලකෑමෙහි යෙදී සිටි අතර ළඟදීම ඇරඹීමට නියමිත පරිදි ඉතිරිව තිබූ බිම් කොටස් ද කොල්ල කෑමටද මාන බලමින් සිටියේය. නිරීක්ෂකයන් පවසන පරිදි පසුගිය දශක තුනක කාලය තුළ සිදුවූ ජෛව ඉන්ධන නිස්සාරණ කටයුතු සිදුවූ පෙදෙස්වල වනගත ජල ප්‍රභව යළි යථා තත්ත්වයට පත් නොවන ලෙසින්ම දූෂණය වී තිබේ. පෙදෙසි වැස්සන්ට ඒවා නෑමට හෝ බීමට ගත නොහැකිය. සැලසුම් කොට අති පරිදි මෙම වනහරණයද සිදු වුව හොත් උතුරු වනබිම ඇසුරේ ජීවත් වූ මිනිසුන් පත්ව ඇති එම අසරණ තත්ත්වයට දකුණු දිග ඇමසනියානු ජනයාටද මුහුණ දෙන්නට සිදු වීම වැලැක්විය නොහැකිය.

එමෙන්ම ඉක්වදෝරයේ දකුණු දිග අසල්වැසියා වන පේරු රාජ්‍යය මේ වන විටද ඉන්ධන කැණීමේ බියකරු ප්‍රතිඵල අත් විඳිමින් සිටී. පසුගිය මාසයේ පෙරුවියානු රජය මගින් හදිසි පාරිසරික තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඊයම්, බේර්මියම්, ක්රෝමියම් හා පෙට්රෝලියම්වලට සම්බන්ධ වෙනත් රසායනික සංයෝග එරට ජල ප්‍රභව හා පසට මුසුව පවතින බව සොයා ගැනීම නිසාය. පේරු ජනතාව වසර ගණනාවක සිට සිය ගංගාවල මත්ස්‍ය සම්පත අඩු වීම පිළිබඳව මැසිවිලි නගමින් සිටිති. එමෙන්ම ඇතැමුන් පවසන අයුරින් පෙරුවියානුවෝ දැන ජීවත් වන්නේ හතලිස් වසරක් තිස්සේ ඛණිජ තෙල් කැණීමෙන් ඉතිරි වූ කසල ගොඩකය. ඔවුන්ගේ කලපු සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර භූමිය දූෂණය ද අතිමහත්ය. සැලසුම්ගත වනහරණය සිදුවුවහොත් ඉක්වදෝරය තුළද මේ ආකාරයේ තත්ත්වයක් නුදුරේම දැකගන්නට හැකි වනු ඇත.

ඉක්වදෝරයේ විෂය භාර අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ දැඩි ආරක්ෂිත ප්‍රතිපත්ති මෙවර ඉන්ධන කැණීමත් සමඟ අනුගමනය කරන බවය. නමුත් මින් පෙරද මේ පොරොන්දුව දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙත් මීට පෙර ඛණිජ ඉන්ධන කැණීම්වලදී සිදුවූ අක්‍රමිකතා නිසා තෙල් හා ජීව වායු කාන්දු වීම් බහුලව සිදුවූ අතර ඒ බලපෑම් නිසා විකලාංග සහිත දරු උපත් මෙමන්ම ගබ්සාවීම් ද සිදු වෙමින් පවතී. ධනවාදී රටවල ආර්ථීක බලය හා සැලසුම් මත යැපෙන තුන්වන ලෝකයේ දේශපාලනය එම රටවල්වල ජනයා ඇද දමන්නේ කෙබඳු තත්ත්වයකටදැයි පෙන්වීමට මෙය හොඳ උදාහරණයකි.



මෙහිදී ධනවත් රටක් ලෙස චීනයේ පිළවෙත වඩාත් ගැටලුකාරී වන්නේ ඔවුන්ට සිය ව්‍යාපෘති තුළින් මතුවන පාරිසරික හානිය පිලිබඳව සැලකිලිමත් වීමට සදාචාරාත්මක යුතුකමක් ඇති බැවිනි. සමාජවාදී ලේබලය සහිතව කලක් ලොව ඉදිරියේ පෙනී සිටින චීනය පවා මුදල් ඉදිරියේ අත්තනෝමතික වේ නම් අප අනෙක් රටවල් ගැන සුබවාදීව සිතීමට තරම් මුග්ධ විය යුතු නොවේ. ලෝක පරිසර අර්බුදය නිවාරණය කරන ව්‍යාපෘතිවලට ලක්ෂ ගණන් වැයකරන කරන රටවල් පවා සිය ආයෝජනයන්හිදී පවත්වාගන්නේ මෙවන් ආර්ථීක ප්‍රතිපත්තීන්ය.

ආර්ථීක බලවතෙකු ලෙස චීනයක්‍රියා කළ අන්දම පිළිබඳව අප අවධානය යොමු කළ හොත්, තුන්වන ලෝකයේ ඕනෑම රටක් අරභයා ක්‍රියාකරනු ඇත්තේ මීට සමාන අන්දමින් බව අප සිහි තබා ගත යුතුය. ආර්ථීක බලවතෙකු වීමට යන ගමනේදී ඔවුන් දුප්පත් රටවලට ණය ආධාර සපයන්නේ හුදෙක් සත්ගුණවත් චේතනාවෙන්මද? කිසිවෙකු අත ලෙවකෑමට මී කඩන්නේ නැත.

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails